Thursday, August 24, 2017

ඇගේ ගර්භාෂය ඔබේ නොවේ !

මගේ ජීවිතේ මම කම්පනයට පත් වෙච්ච මොහොතවල්  බොහෝ ය.
ඒ උනත් මට අමතක කරන්න බැරි කතා ගොඩක් නැවත මතකය ට නැගුනේ මේ දිනවල කරලියට නැගුණු ගබ්සාව නීතිගත කරන යෝජනා සමග ය.
අවුරුදු 12 දැරියක් අපේ මාතෘ සායන වලට ගෙන ආවේ කොන්වන්ට් එකේ සිස්ටර් කෙනෙක්.
එදින ඇය ගෙන ආ ඒ දැරිවියගේ මුහුණේ තිබුනේ අතිශය වේදනාබර හැඟීමක්. මා දැනගත් පරිදි , ඇගේ මව පියා දෙදෙනාම නැතිව ඇය ආච්චී සමග විසූ අතර බඩු ගෙන එන්න කඩයට ගිය විට එම මුදලාලි විසින් ඇයට අතවර කර තිබුනා, පසුව ලැබෙන තෑගි බෝග නිසා ඇය කිහිප වරක් මෙලෙස අපයෝජනය වී තිබුනා. හරි හමන් ඉස්කෝල අධ්‍යාපනයක් නොලැබුණු මේ දරුවන් යන්තම් ඉස්කෝලේ යන්න පටන් ගන්න කාලය මේ වන විට එළඹ තිබුනා. නමුත් ඇයගේ බඩ ලොකු වෙන්න ගත් නිසා ආච්චි සමග රෝහලට ආපු ගමනේ දී ඇය දැනගත්තේ පිරිමියෙකු අරම කළහම මෙහෙම දේවල් වෙන්න පුළුවන් බව. එතකොට ඇයට මේ සංහදිය කළ වැඩිහිටි පිරිමියා ? ඔහු මෙහෙම වෙන බව නොදැන සිටියා වෙන්න බෑ.
නමුත් ඔහු කියා තිබුනේ ඇය බොරු කියන බව. අධිකරණ වෛද්‍ය සාක්ෂි කැඳවන්නට පොලීසියට පැමිණිලි දමා ඇය පරිවාසය ඔස්සේ කන්‍යාසොයුරියන් විසින් පාලනය කරන ළමා නිවාසයට බාර කර තිබුනා.
හඳුනා ගනිද්දී ඇගේ දරු ගැබට සති විසිපහක් වුනා. ඇය මේ වන විට අවුරුදු 13 විය එළඹ සිටියා.   ඇයට ඕනෑ වුනේ නෑ දරුවා. ඇය දරුවා පරිවාසයට බාර දුන්නා.
මට තවම මැවී පෙනෙන්නේ, ඇය වාට්ටුවේ ඇඳ මත සිට, හවස කාටූන් යන විට ටී වී එක දිහා බලන් ඉන්න හැටි. මම දහස් වර හිතෙන් හඬා වැටුනා. ඇතැම් විට පපුව රිදෙන්න තරම් ඒ කම්පන බලවත් වුනේ අපි මනුස්සයන් නිසා වෙන්න ඇති.
ඇය දරුවා ප්‍රසූත කරන්නට ආවේද මම වැඩ කරන වාට්ටුවටමයි. ඇයට ප්‍රසූත වේදනා එඅ විට විශේෂඥ වෛද්‍යවරයා කීවේ සාමාන්‍ය ආකාරයෙන් ප්‍රසූත කරවන්න පුළුවන් වෙයි. සැත්කමක් කරලා මෙච්චර පොඩි වයසෙම එයාට අසාධාරණයක් කරන්න ඕනේ නෑ කියලයි. (මෙයට වෛද්‍ය විද්‍යාත්මක හේතු තියෙනවා).
ඇය ප්‍රසව වේදනා දරා ගනු නොහැකිව කෑ ගහපු හැටි, දඟලපු හැටි මගේ හිතේ අදටත් කම්පනයන් ඇති කරන දර්ශන ලෙස මතකයට නැගෙනවා.
මට මතක් වෙනවා, තමන්ගේ තාත්තා විසින් දූෂණය කරන ලද දැරිවියන්. ප්‍රමාණය මතකයට නොනැගේ. ඒ තරම් හිත සසල කළ සිදුවීම් වෛද්‍ය සේවයේ යෙදෙන මට දරාගන්නට බැරි වුනා නම්, ඒ පොඩි හිත් වලට කොයිතරම් කම්පනයන් ගෙන ආවේ දැයි මට සිතේ.
එක් දැරිවියක් අප වෙත පොලිසියෙන් බාර දුන්නේ ඇගේ අවුරුදු 8ක කුඩා නැගණියද සමග ය. ඇය අවුරුදු 13 වයස් වූ අතර පියාගෙන් ලැබුණු තිලිණය සති 12 ක කළලයක් ලෙස වැඩෙමින් තිබුනා. මව ගෘහසේවිකාවක ලෙස මැදපෙරදිග රැකියාවකට ගිහින් තිබුනා.
අක්කාට මේ දේ කළත් ඇය නිහඬව සිටි අතර නංගීටද අතවර කළ පියා ගැන ඇය අසල්වැසි කාන්තාවක් මගින් පවුල් සෞඛ්‍ය සේවිකාවට කියා තිබුනා.
ඔවුන් දෙදෙනාගෙම ලිංඟාශ්‍රිතව, සමාජ රෝගයක ලක්ෂන වන සැරව බිබිලි තුවාල මතුවී තිබුනා.
"bastard ! , must have gone around too giving these innocent kids this disease" විශේෂඥ වෛද්‍ය තුමන් තරහින් පැවසූවේ මොවුන් පරීක්ෂා කරන අතර තුර.
වාසනාවකට, ඒ දැරිවිගේ කළලය ගබ්සා වුනේ ඇය රෝහල් ගතව සිටියදී.
අප ඇයට අත්වෙන්නට ගිය ඉරණම වෙනස් වූ බව ඇයට කියද්දී
"ඒක එහෙම වුන එක දේවාශිර්වාදයක්" ලෙස ඇය කීවා. ඔවුන් ගැන බොහෝ දුක හිතුනා.
මේ කතා ගොන්නෙන් කිහිපයක්. තව මෙවැනි ලියූ නොලියූ කතා බොහෝමයි.

ඊළඟට මට හමුවෙන ජාන විකෘති සහිත දරුවෙක්ට ජීවිතය ගැන කතා බස් කරද්දී " ඇයි ඩොක්ටර් මගෙ අම්මට මාව පොඩි කාලෙම මරලා දාන්න බැරි වුනේ " කියා මගෙන් ඇසුවා. ඔහුට දුක් විඳින්න, ළමා නිවාසෙක අත හැර ගිය මව ට ඔහු සදාකාලිකව වෛර කරමින් සිටියා.

තැලසීමියාව නම් ජාන රෝගය වැළදී සිටි දරුවන් සමග වැඩ කරද්දී එවැනි අක්කා නගෝ දෙන්නෙක් කීවේ, අපිට ජීවත් වෙන්න කොහෙත්ම ඕනෙ වුනේ නෑ ඩොක්ටර්, අම්මා උස්සන් ගිහින් ළමා වාට්ටුවේ තියාගෙන කොහොම හරි ජීවත් කෙරෙව්වා" කියමිනි.
"ඩොක්ටර් අපි කොච්චර දුක් විඳිනවද ! ඇයි ඔයාට අපේ කතා ලියන්න බැරි. " කියා මාස කිහිපයකට කලියෙන් ද මා කලින් වැඩ කළ ඒ වාට්ටුවල දැරියක් මා හමුවේ චෝදනා රැසක් ගෙන හැර පෑවා.

අප ළමා වාට්ටුවට, මානසික ඒකකයෙන් ළදරුවන් යොමු කරයි. මොවුන් ඇති දැඩි වෙන්නේ, සාත්තු සේවිකාවන්ගේ සෙවනේය. මව එක්කෝ හිර ගත වී ඇත, නැත්නම් මනෝව්‍යාධියකින් අසනීප වී දරුවා එපා කියා අයින් කර සිටී.
ළමා රක්ෂණ අධිකාරියේ ළමානිවාසයකට ගෙන යන තෙක් දරුවන් බාර කරන්නේ රෝහල් වලටය. එයින්ද මානසික ඒකකයට එවන පිරිසකුත් සිටී.

"මෙයාගේ අම්මා මානසික රෝගියෙක්. මේ ළමයා අරගෙන මෙයාගේ අම්මාගේ නංගි කෙනෙක් හිඟා කද්දී, එයාවයි ළදරුවාවයි අල්ලලා උසාවි දාලා, උසාවියේදි, මෙයා ඉදිරිපත් වෙලා අර මෙයාගේ පුංචිව නිදහස් කරලා, දැන් මෙයා තමා අත් අඩංගුවේ ඉන්නෙ. එතකොට මෙයා කියන්නේ එයා දන්නේ නැතුව ළමයා අරන් ගිහින් තියෙන්නෙ කියලා" අපෙ ප්‍රශ්න හමුවේ මේ කතා දිග හැරේ.
තමන්ට උවමනා නැති ඉරණමකට බලෙන් තල්ලු කරන ලද ගැහැණු සහ දැරිවියන් , ජීවිත කාලයක්ම තමන්ට අනවශ්‍ය දරුවෙක්ගේ බර දරාගෙන ජීවත් විය යුතු ද ?
අපේ රටේ එවැනි දරුවන් , මවට එපා කියන දරුවන්, සියල්ලෝම අන්තිමට නවතින්නේ, රජයේ ළමා නිවාසවල ය. හදා ගන්නට කෙනෙක් ඉදිරිපත් නොවුනොත් මොවුන් ඒවායේ උස් මහත් වේ.

එනිසා මේ සම්මත වුනු ගබ්සා නීති ගැන මේ මොහොතේ විරුද්ධව බණ කියන්න එන කවුරුන් හෝ වෙත්නම් ඔවුන් ගැන දැනෙන්නේ පිළිකුලකි.  මන්ද ඔවුන් හැමටම වඩා ,
මේ ගැහැණුන් සහ දරුවන් විඳින දුක හොඳින්ම දැකිය හැකි ඒකක කිහිපයක මා අවුරුදු ගණනාවක් තිස්සේ වැඩ කරන නිසා ය.
ඔව් එය ජීවියෙක් කළලයක් වැනි බොහෝ තර්ක තිබෙනවා. එනමුත් කරදර කාරී ප්‍රතික්ෂේපිත පරිසරයක වැඩෙන්න සිදුවෙන ඒ දරුවා ඊට වඩා අමාරු ජීවිතයක් ගත කරනවා නොවෙ ද ?  මේ මව්වරුන් ට තනිව දරු බර දරන්නට වීමෙන් ඔවුන් පත් වෙන කරදරකාරී තත්වය ගැන අප සංවේදි වෙනවා ද ?

අප දකින්නේ පණ ඇති ගැහැණු ය. පණ ගැහෙන ජීවී ගැහැණියකගේ , ගැහැණු දරුවෙකුගේ ජීවිතය තමන්ට අනවශ්‍ය තමන් ඉල්ලූ නැති, කාටවත් වගකිව නොහැකි ජීවියෙකුගේ බරක් සමග ඉතිරි වෙනවා නම් ඒ දරුවා ඉන්පසු සමාජයේ නොයෙකුත් අකටයුතුකම් මැද දිවි ගෙවනවා නම් එය කොයි තරම් නම් සමාජ ඛේදවාචකයක්දැයි ඔබ මදකට සිතුවා ද ?
motherhood is a choice ! මාතෘතවය යනු ස්ව කැමැත්තක් !
අප හමුවට විවිධ වූ සංකූලතා ඇතිව , හොර ගබ්සා කරුවන්ගේ අලකලංචි නිසා අසාධ්‍ය තත්වයෙන් පසුවන ගැහැණුන්ද දරුවන් ද, පැමිණේ, මා විටින් විට ඔවුන් ගැන ලියා තැබුවා ඔබට මතක ඇති.
ජීවී වේවා අජීවී වේවා, ජීවත්වෙන්නට ඇති අයිතිය ගැන පඬි වදන් දොඩවන මහතුනි, නෝනාවරුනි, ඔබ අසල ඇති මහ රෝහලේ ප්‍රසව හා නාරි වේද ඒකකයට ගොස් ඇත්ත තත්වය වටහා ගන්න.
ඇගේ ගර්භාෂය ඇගේ ය. ඒ ගැන තීරණයක් ගැනීමට ඇයට නිදහස තිබිය යුතු ය !
මේ ගබ්සා නීති ගෙන ආවේ බොහොම සාධාරණ මානුෂීය හේතු සහිත කාරණා දෙකකදී ය ! එනිසා මම ඒවාට එකඟ වෙමි.
පසුගිය ලිපි

අවසානයේ සියල්ල දරන්න වෙන්නෙ අපටය https://anithkona.blogspot.com/2013/02/blog-post_27.html
ඉන්දියාවේ සිදුවීම ෆේස් බුක් හමුවේ https://anithkona.blogspot.com/2013/01/blog-post_12.html
ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද https://anithkona.blogspot.com/2010/07/blog-post.html
අනිත් කොන තනිවුණු ළමා මව්වරුන් https://anithkona.blogspot.com/2012/02/blog-post_28.html 
දැන් ඉතින් විසිකරන්න යෑ https://anithkona.blogspot.com/2016/01/blog-post_81.html
ආපසු හැරෙන්නට නොහැකිය https://anithkona.blogspot.com/2011/09/gender-based-violence.html

10 comments:

  1. එකඟ වෙමි. ඔව්,, ඇගේ ගර්භාශය ඇගේය...බලහත්කාරයෙන් රෝපණය කරන ලද ජීවියෙකු එහි වැඩිය යුතු නැත..විශේෂයෙන් බාල වයස්කාර ගැහැණු දරුවන් සම්බන්ධයෙන්වත් මෙම නීතිය අවශ්‍යය..මගේ මතය නම් මෙම අපරාධකරුවන්ට අවමය මරණීය දණ්ඩනයයි..

    ReplyDelete
  2. කොන්දේසි විරහිතව එකඟයි. රෑ එළිවෙනකන් පිරිත් අහන ධර්මද්වීපයේ දවසකට ස්ත්‍රී දුෂණ කීයක් සිදු වෙනවාද. ඔබ වැනි වෘත්තිකයින්ට පුළුවන් මේවාට සැබෑ ලෙසම මැදිහත් වෙන්න.

    ඩොක්ටර්ගේ බ්ලොග් එකේ ලියන පලවෙනි කොමෙන්ට් එක. බොහොම සංවේදී අත්දැකීම් ගොන්නක්. දිගටම ලියමු. ජයවේවා !!!

    ReplyDelete
  3. ඔබ, කාන්තාවක්, මවක් සහ කාරුණික හදවතක් ඇති වෛද්‍යවරියක් ලෙස මේ තත්ත්වයට මුහුණ දුන් දැරියන්, තරුණියන්, කාන්තාවන් පිළිබඳව කරන මේ පැහැදිලි කිරීම ඉතා අගය කරමි.දැනටමත් මේ පිළිබඳව විවිධ මතවාද ඉදිරිපත් වෙමින් පවතින අතර ඔවුන් හට නියම තත්වය වටහා ගැනීමට ඔබගේ මෙම ලිපිය උපකාරී වේවායි පතමි.හැකිනම් තවත් මෙවැනි අවස්ථා පිළිබඳව ලියන්න.

    ReplyDelete
  4. තාමත් කාලකන්නි ටිකක් ඉන්නවා මේවට විරුද්ද වෙන :/ ගොඩක් හොද ලිපියක් .
    මේ තියෙන්නේ මම ඔයා ගැන 2012 දී ලියපු ලිපිය. පමා වෙලා හරි හොද දෙයක් කරන්න යද්දී සහයෝගය දෙන්න ඕනා .http://snimalka.blogspot.com/2012/12/blog-post_30.html

    ReplyDelete
  5. ජීවී වේවා අජීවී වේවා, ජීවත්වෙන්නට ඇති අයිතිය ගැන පඬි වදන් දොඩවන මහතුනි, නෝනාවරුනි, ඔබ අසල ඇති මහ රෝහලේ ප්‍රසව හා නාරි වේද ඒකකයට ගොස් ඇත්ත තත්වය වටහා ගන්න.//////////// athha

    ReplyDelete
  6. එහෙත් ළදැරියන් ගර්භාසය තමන්ගේ යැයි දැන ගන්නා විට ප්‍රමාද වැඩියි නොවේද.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !