Monday, February 27, 2012

අනිත්කොණ තනිවුනු ළමා මව්වරුන්...

unmarried, unwanted / teenage  pregnancy යන පාඨයත් සමග  MOMH (medical officer- mental health) , MOMCH (medical officer- maternal and child health) විසින් අප සායන වෙත යොමු කරන එවන ළමා මව්වරුන් දුටු විට සිතට බොහෝ කළකිරීම් ඇතිවේ. අවුරුදු 15, 16 වියේ පසුවන අය (පිසාචයන් මැද ලිපියේ ලියූවාක් මෙන් ) මෙන්ම 18, 19 වියේදී විවාහ වී ගැබ්බරව දරුවන් ප්‍රසූත කිරීමට එන මව්වරුන් මේ ප්‍රදේශවල සීග්‍රයෙන් ඉහළ යයි. මේ ගැන හොයා බලන්නටම ප්‍රොෆෙසර් කෙනෙකුත් මේ ළඟදී මේ ප්‍රදේශයට පැමිණියාලු. මේ ප්‍රදේශ වල වැඩිහිටියන්ගේ නම් අදහස යුද්ධයෙන් නිදහස් වී අවසානයේ අසීමාන්තිකව ලැබුනු නිදහස නිසා මේ තරම් සමාජය පිරිහීමකට ලක්වුනා කියලයි.
මුහුණ දකිද්දීම කුස දරා සිටින බර පොදිය ගැන ඇත්තටම  ඕනෑම කෙනෙක්ට දුකක්ඇතිවේ. ඊළඟ ප්‍රශ්ණය බැඳලාද යන්නයි.
බොහෝමයක් දෙනාගෙන් ලැබෙන පිළිතුර - වයස හරි නැහැ එනිසා රෙජිස්ටර් කරලා නෑ කියලා යන්නයි. මහත්තයා ළඟ ඉන්නවද ඇහුවොතින් එයටද ඔව් කියා පිළිතුරු දෙන්නේ කිහිප දෙනෙයි.

මාලතී අවුරුදු 17 වියැති දැරිවියකි. යුද්ධය අවසානය වන විට ඇයට සහ ඇගේ මවට ඉතිරි වුනේ ඔවුනොවුන්ගේ පිළිසරණ පමණි. යටි බඩේ කැක්කුමයැයි කියමින් රෝහල් ගතවුනු ඇයට ප්‍රසව වේදනා නොවන බව වැටහුනේ පරීක්ෂා කර බැලීමේදීය. සති 29 පමණ වෙන නිසා ඔහොම කැක්කුම් සමහර විට ඇතිවෙනවා කියා පවුල් සෞඛ්‍ය ය නිළදාරිනිය විසින් ඇයට පැහැදිලි කර දෙද්දී වයසක අපේ නර්ස් මිස් පැවසුවේ.. පාසැල් යන වයසේ ඔහොම දේවල් කරගත්තම ඉතින් දුක් විඳින්න තමයි වෙන්නේ කියාය.

"මාලතී ඉස්කෝලේ ගියාද ?"
 " ඔව් ඕ ලෙවල් කරා" ඇගේ ප්‍රතිඵල මා හා කියයි.
 "ඒ දෙකයි බී හතරයි ඉතිරි ඒවා සී " .

"ඉතින් දරුවෝ මේ තරම් හොඳ රිසල්ට්ස් අරගෙනත් ඇයි ඉගෙනීම නතර කර ගත්තේ" මම ඇසුවෙමි.
ඇගේ මව පැවසුවේ... "තාත්තා නැති මේ දරුවා තව තියාගෙන මට රැකගන්න ශක්තියක් නෑ එනිසා එයාගේ මස්සිනාට බන්දලා දුන්නා"
 මා මීට ඉහතදී අනිත් කොණ අම්මලා සහ අපේ නිදහස ලිපියේ ලියුවාක් මෙන් මේ අම්මලාගේ ජීවිත මෙලෙස වෙනස් වීම ගැන ඔවුන්ට දැඩි ලෙස දොස් කියන්නටද නොහැකිය. ආර්ථික මට්ට්මෙන් සහ සමාජ උපකාරවලින් දැනුවත් කිරීම් වලින් අඩු ප්‍රදේශ වල මේ ආකාර දේ සිදුවෙන එක පුදුමයක් නොවේ. දරු ප්‍රසූතියේදී කැක්කුම ඉවසාගත නොහැකි ඒ දරුවන් හඬා වැලපේ. දරුවන් ලැබෙද්දී ඔහොම තමයි කියමින් වේදනා නාශක දෙනවා හැරෙන්න වෙන විකල්පයක් නොමැත. එවැනි දේ කරගත්තේ ඇයි කියා බැන හඬ ගාන්නටද පරක්කු වැඩිය. මේ ප්‍රදේශ වල නව යොවුන් වියේ සිටින දරුවන් මෙන්ම 13, 14 වියේ සිටින දරුවන්ද මෙවැනි දෑ ගැන දැනුවත් කළ යුතුමය. මන්ද ඔවුන් නොදැනීම ඔවුන් අපයෝජනයට ලක්වෙන නිසාවෙනි.

නන්දනී දරු ප්‍රසූතිය සඳහා අපේ රෝහලට ඇතුල්වෙද්දී ඇයගේ කුසට මාස 10 සම්පූර්ණ වී තිබුනි. නමුත් කීසිම දිනක ඇය මාතෘ සායනයකට සහභාගී වී තිබුනේ නැත. මහ රෑ බොහෝ අමාරු ප්‍රසව වේදනා සහිතව පැමිණි ඇයගේ රුධිර ඝණය, රුධිර හිමෝග්ලොබින් මට්ටම හෝ කුසේ ඉන්න දරුවා එක් පාරක් හෝ ස්කෑන් කර බලා නොතිබිනි. සුපුරුදු පරිදි මෙලෙස කරන්නේ ඇයිදැයි දෝස් මුරයක් සමග ඇය ස්කෑන් පරීක්ෂා කරන විට ඇයගේ නෙතින් කඳුළු කැට කඩා හැලිනි. මොකක් නැතත් මේකනම් කරගන්න දන්නවා... සුපුරුදු පරිදි වැඩිහිටි මිස්ලාගේ දෝෂාරෝපණය ඇසේ.

 "අනේ ඩොක්ටර් මම බී ඒ ග්‍රැජුවේට් කෙනෙක්. මම ටීචිං ලැබෙන කම් හිටියේ. "නන්දනී ඇගේ කඳුළු කථාව මා හමුවේ දිග හැරියාය.

පවුලේ වැඩිමහළු දරුවා වන ඇය නොයෙක් දුෂ්කරතා මැද ඉගෙන ගෙන ....... විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් කාලයේ දැන හඳුනගෙන සිටි එහිම ශිෂ්‍යයෙක් සමග පෙම් සබඳතාවක් පවත්වා තිබුනි. මේ අදමයා විසින් ඇගේ අකමැත්ත පිට * (ඇයට අනුව) මේ සා කරදරයක් සිදු කර පසුව ආදරය පිටින් දමා බොහෝ පොරොන්දු දී ඇය ගැබ්බර වූ විට ... මේ දරුවා තමාගේදැයි සැක කරන බව ඇයට පැවසුවාලු.

" පොලිසි යන්නනේ තිබුනේ... " මගේ අදහසය.

"මෙච්චර දෙයක් කරලා එහෙම කැත කතා කරන්න පුළුවන්කමක් තියෙන මිනිහෙක්ගෙන් මොකද්ද ඇති වැඩේ ඩොක්ටර්. මම පුළුවන් විදිහට දරුවා හදා ගන්නවා. මම ගමින් ඈත මේ පළාතේ යාළුවෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නේ බබා ලැබෙනකම්. "

නීතිය අනුව මෙවැනි සිදුවීම් අප රෝහල් පොලීසියට හෝ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ යුතුය. දරුවෙක් තනියම හදා වඩා ගැනීම කළ හැකි නොවෙන බවත් ඇයට මේ සඳහා සාධාරණයක් ඉටු විය යුතු බවත් බොහෝ වෙලා රැගෙන අප පැහැදිලි කර දුන්නෙමු. ඇයට ඒසා අපරාධයක් කළ ඒ මිනිසාගේ මුහුණ බලන්නටවත් අවස්ථාවක් උදාවුනොතින් එය ඇයට කළ නොහැකි දෙයක් බව ඇය පුන පුනා කීවාය. ඇය දරුවා ප්‍රසූත කළ පසු ඉහත සඳහන් අංශ වෙත අපි ඇය යොමු කෙරුවෙමු. දින දෙකක් යන්නට මත්තෙන් ඇය දරුවාද සමග වාට්ටුවෙන් අතුරුදහන් වී තිබුනි.

 උපාධිදාරිනියක් වූ ඇයගේ හෙට දවස යහපත් වේවා යැයි කියා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙනයමක් අපට කළ නොහැකිය. ඒසා කරදරයක් වුනත් දරුගැබ විනාස නොකර රැක ගත් ඒ අම්මා ගැන එහෙම මතකයක් ඉතිරි වෙද්දී සමාජයට මුහුණ දෙන්නට බැරිව, ආර්ථික ප්‍රශ්ණ හෝ සාමාජීය ප්‍රශ්ණ කන්දක් නිසා අන්තිමේ තමන්ගේ දරුගැබ විනාස කරගන්න නොයෙක් නීතිවිරෝදී ක්‍රම උපායන් සහ නීති විරෝදී ගබ්සා මධ්‍යස්ථාන වලට යන අම්මලාද අන්තිමේ බොහෝ කරදර සිදු කරගෙන නතර වෙන්නේ රෝහලේ නාරිවේද වාට්ටුවේ හෝ මෝචරියේය. ඔහොම පැමිණෙන හැමෝටම තිබෙන්නේ එකම කතාවකි. ඉබේ සිදුවීමක් ලෙස අපට කියූවත් පරීක්ෂා කර බලද්දී අලගිය මුලගිය තැන් සේරම අම්මලා එකින් එක හෙළි කරනවා. එවැනි දේ නිසා ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කොට එලොව ගොස් මෙලොව ආ අම්මලාද ඕනෑ තරම්. රටේ නීතිරීති පද්ධතියක් තිබුනත් එය සමාජයට කොතරම් අනුගතද යන්න නැවත සොයා බැලීම වටී. නැත්නම් නිරපරාදේ නාස්ති වෙන්නේ නොදැනුවත්කම නිසා කරදරේ වැටෙන ජීවිත පමණි.

ඊළඟට අපේ නාරිවේද සායන වලට සති හයකට පසු පවුල් සංවිධාන ක්‍රම වේදයක් අනුගමන කිරීමට මේ කුඩා අම්මලා පැමිනෙන්නේ අලුත උපන් කිරි කැටියත් කර ගහගෙන. එහෙම පැමිණෙන ඔවුන්ගේ අත්වල ඉන්නේ නොයෙක් විච්චූර්ණ කර අන්දවා ගත් බෝනික්කන් වැනි දරු පැටවුන්‍ ය. දරුවන්ට අධික රස්නය දැනෙන විච්චූරන ඇඳුම් මෙන්ම කණකර ආයිත්තම් පුරවලාය. අර කුඩා ඇඟිළි වලටත් රත්තරන් මුදු පළඳලා.අපේ අවවාද  නිසා ඇතැමෙක් එවෙලේම ඒවා ගලවනවා. ඔවුන්ට දොසක් කියන්නත් බෑ, ඇයි ඉතින් ළමා වියේදී අම්මලා වුනු මේ අම්මලාට මේ දරුවා බෝනික්කෙක් වගේ හැඩ කරන්නට සිත් දීම පුදුමයක් නොවෙයි නේද ?

12 comments:

  1. මොනව කියන්නද කියල හිතා ගන්නත් බැහැ. හරිම කණගාටුදායක තත්වයක්. එක පැත්තකින් මිනිස්සුන්ගෙ තියන අනවබෝධය, තවත් පැත්තකින් දුරදිග බලලා කටයුතු නොකිරීම.
    මම හිතන්නෙ පොත පතෙන් දැනුම ලබනවා වගේම මිනිස්සුන්ට සමාජ ආශ්‍රය තුලිනුත් තමන්ගෙ ජීවිතයට හුඟක් දේවල් ලැබෙන්න ඕන.අඩුම ගනනෙ ආගම දහමටවත් නැඹුරු වෙන්න ඕනෙ..එහෙම නැති ජීවිත අයාලෙ යන්න තියන ඉඩ ගොඩක් වැඩියි කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
  2. කියන්න වචන නෑ මේ වගේ දේවල් අනන්තවත් අහනව,ඔයාලට කොහොම අද්දැකීම් ඇත්ද?

    ReplyDelete
  3. හුඟාක් අවස්ථා වල හරි හැටි අධ්‍යාපනයක් ලැබීමට නොලැබීමත් මේ තත්වෙට හේතු වෙනව කියල හිතෙනව.

    ReplyDelete
  4. ළමයින්ට ළමයි හදන්න වෙන එක ශෝචනීයයි. අනේ මන්දා. පවුල් සංවිධානය ගැන දැනුවත් වෙන්න ඕනේ කලින් නේ. ඒත් පලවෙනි ළමයගේ පස්සේ හරි ඒවා දැන ගන්න එක හොඳයි.

    ReplyDelete
  5. නුගත්කමේ බර දුප්පත් කමේ බර වගේම සාමයේත් යුද්දයේත් බර අන්තිමට දරන්න වෙන්නේ ගැහැණියට තමයි..කවුරු මොන දේ කතාකලත් අන්තිමට වෙනවා අපි දකින්නේ ඕකයි.. බොරුද හොඳයි ? යුද්දෙක වැඩිම බරපැන දරන්නේ ගැහැණිය.. අපේ රට එකට හොඳම උදාහරණය..

    ReplyDelete
  6. හැමදාමත් වගේ දුක හිතෙන කතාවක්. සැහෙන කාලයක් තව පරම්පරාගානක් දුක් විඳියි කියල හිතෙනව. දොස්තර නෝනට පිං මේවගෙ අය සුවපත් කරනවාට. සුවපත් කරනවා වගෙම දැනුවත් කරනවාට. ඔබනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිං කඳක්.

    ReplyDelete
  7. නූගත්කමටත් වඩා උවමනාවක් නැතිකම.මොකෝ ඔය තත්ව යටතේ ළමයෙක් හදාගත්තම කොච්චර අමාරුද ජීවත් වෙන්න කියලා තේරෙන්නෙ නැතුව නෙමෙයිනෙ.

    ReplyDelete
  8. මේක නම් හරිම සංවේදී කතාවක්... මේ ප්‍රශ්ණෙ කී පැත්තක් තියෙනවද...? අර පුංචි ළමයින්ට ළමා කාලය හරියට ගෙවිල යන්නත් කලින් අම්මලා වෙන්න සිද්ද වෙච්චි එකම මොනතරම් අපරාධයක්ද...? ඔය කියන ආර්ථික ප්‍රශ්ණ හමුවේ නිසි අධ්‍යාපනයක් තිබුණත් වැඩක් වේද කියලත් හිතෙනවා වෙලාවකට...

    ReplyDelete
  9. ළමා මවු වරු හා විවාහයෙන් පිට ගැබ් ගැනීම් ගැන කතාකලොත් මෙහි පැතිකඩ කීපයක් තියෙනවා .ඒ නීතිමය පැතිකඩ , වෛද්‍ය විද්‍යාත්මක කාරණා හා සමාජයීය සාධක .මේ ප්‍රශ්නෙට උත්තර හොයනවනම් මේ කියන හැම පැත්තක්ම එකට එකතුවේලා ඕනේ උත්තර සොයන .උදාහරණයක් හැටියට ලෝ රිෆොර්ම්ස් කරලා වැඩක් නෑ මේව ගැන වෛද්‍ය හා සමාජ විද්‍යඥයන්ගේ අදහස් නැතුව .

    දහ අටට අඩු ලමා මවු වරු ගැන කිව්වොත් මේ අය ගැබ් ගන්නේ බොහෝවිට ව්‍යභිචාරය incest , සම වයසෙ ටීනේග් පෙම්වතුන් , හෝ වෙනත් පිටස්තරයෙක්ගෙන් වෙන ලිංගික අතවර නිසා .ගොඩාක් වෙලාවට ටීනේජ් පෙම්වතෙක් සම්බන්ධ නම් පොලීසිය බලනේ දෙන්න බන්දවන්න . ප්‍රශ්නේ මෙකයි ගෑණු ලමයාගේ වයස 18 ට අඩු නම් එයා ලමයෙක් ,විවාහයට වයස මදි .ඒ වගේම එයාගේ වයස දාසය හෝ ඊට අඩුනම් එයා සමග වෙන සෙක්ෂුවල් ඉන්ටර්කෝර්ස් එකකට එයාගේ කැමැත්ත තිබ්බත් නැතත් ඒක ලිංගික අතවරයක් .නමුත් අවුරුදු දාහත කියන අතරමැඩි කලාපේ ඉන්න ගෑනු දරුවො ගැන නීතිය silent . එහෙම කෙනෙක් පෙම්වතා අතින් අනාථ වුනොත් පොලීසිය බලන්නේ කේස් සෙට්ල් කරලා වයස හරිගියාම බන්දවන්න .දාසය හෝ ඊට අඩු වුනත් එච්චර තමා . ඉන්සෙස්ට් නිසා ගෑනු ලමයෙක් අනාථ වුනොත් පවුලේ උදවිය කැමති නෑ පිටට ඒක කියන ලැජ්ජාවට ,අන්තිමට ඩොක්ටර් කිව්ව වගේ යටි බඩ කැකුමකින් තමා රෝහල් ගතවෙනේ . රේප් කේස් එකක් වුනොත් පොඩි ගෑනු ලමයෙකුට ඒක පවුලට අවනම්බුවක් .මොනව කරත් කෙල්ල වැරදී කියන මතේ සමාජේ ඉන්න නිසා ඒව යටගහනවා උසාවි පොලීසි වලට ගෙනියනේ නෑ . යම් ප්‍රමණෙකට මේ දේවල් වලදී ගබ්සාව නීතිගත කලොත් හොඳයි කියලා මම ලේමන් පොයින්ට් ඔෆ් විව් කියනවා .ලමයෙක් කොහොමද තව ලමයෙක් ව රැක බලාගන්නේ .මෙහෙම අතවර වලට ලක් වෙන අය දෙවෙනි පාරට අතවර වලට ලක්වෙන්නේ පොලීසි , උසාවි , රෝහල් වල ඒයාලට වුන දේ කියන්න ගියාම . අපිට ඒ වගේ දේවල් වලදි ඔය කියන ආයතන වල එහෙම දේවල් හැඬල් කරන්න සෙන්සිටිව් ට්‍රේන් වුන ස්ටාෆ් නෑ . ඒ වගේම එහෙම අයට ඒ ප්‍රශ්නෙන් ගොඩ එනකන් ඉන්න හිටින්න තාවකාලික ආරක්ෂක නිවාසත් නෑ . ලංකාව මේ අතින් හරි පසුගාමියි

    විවාහයෙන් පිට ගැබ් ගැනීම් කියනවනම් මම අර උපාධිධාරිණිය ගැන පුදුම නෑ .මා එක්ක කැම්පස් එකේ හිටිය මිතුරියො ( වැඩියක් ඉන්ග්‍රිසි ලියන කියන කතා කරන ඉහලම පාසල් වලින් ඉගෙනගත් උදවිය ) ගේ ලිංගික අධ්‍යාපන දැනුම ඉතා අල්පයි. දවසක් උපත්පාලන ක්‍රම ගැන තිබුණ පොතක් මම කියවන්න ලයිබ්‍රරි එකෙන් ගනිද්දී මගේ හොඳම මිතුරියක් ජරා පොත් කියවනවා කියලා මට බැන්නත් එක්ක :) ලිංගික අධ්යාපනය කියන එක රහසක් ජරා, දෙයක් හැටියට ලංකාවේ තියෙනකන් මේක වලක්වන්න බෑ. ඒ වගේම මෙහෙම ගොඩාක් අය හොර පාරෙන් හොර වෙදුන් ගාවට ගිහින් ගබ්සා කරන් තමන්ගේ ජීවිත්තේත් අනතුරේ දාගන්නවා . එත් එහෙමත් ගෑනු කෙනෙක් ඉන්නවා දහිරියෙන් දරුවා හදාගන්න ,ඒත් සමාජේ ඒ ලමයා අපහාසෙට ලක් කරන්නේ අවජාතක කියලා , මොකද මහා සමාජේ අපි ගෙදර බුදුන් කියලා උතුම් කරලා සලකන්නේ විවාහයෙන් දරුවන් උපදවන මවු වරු විතරනේ . ලමයි කලු ගඟට විසි කරන අම්මලාට , කුනු කූඩේ දාල යන අම්මලාට බනින්න කලින් සමාජේ පිරිහිලා කියන්න කලින් මේ වටා තියෙන අනික් ඔක්කොම කාරණා ගැන හිතුවොත් විත්‍රයි අපිට මේවට විසඳුම් ගේන්න පුලුවන් .නමුත් හැම වෙලේම ලංකාවේ ඉන්න ජනතාවගේ වැරැද්ද එයාල දකින්නේ ආසන්නම අවසානය විතරයි -only the end result.අර මුලින් කිව්වා මේ එක්ක බැඳුනු සියලු කාරණා නෙවේ

    ඩොක්ටර් කෙනෙක් හැටියට සංවේදී වෙලා ඔබ දැක්ක දේ ලිව්වට ස්තුතියි

    ReplyDelete
  10. මේ දවස්වල බොහොම වැඩ ඇති.. එකයි අලුතින් මොකුත් නැත්තේ..

    ReplyDelete
  11. මේකෙන් කතා ගොඩක් කියවෙනවා.. ආසියාවේ මොන ලොකුදේ හැදුවත් මොන මොන ranking හම්බුනත් අපි ඉන්නේ කොතනද කියල හරියටම පෙන්නේ මේ දේවල් වලින්... ඔබගේ සේවය ඇගයීමට මට වචන නැත...

    ReplyDelete
    Replies
    1. බොහෙ සිද්ධින් පිලිබද අත්දැකිම් හා දත්ත පසුවිපරම් අප සතුව තිබෙනවා,
      ආණ්ඩුවේ රෝහල් තුල පහසුකම් ඇතිකල යුතුයි මෙවැනි අකටයුත්තකට පත් වූ දරුවෙකු හට වහා ( මාස 3කට කලින්) වෙද්‍ය උපදෙස් මත ගබ්සාවක් කර ගත හැකි ආකාරයේ

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !