Sunday, April 2, 2017

වෛරස් උණට බෙහෙත් තියේ ද ?

"වෛරස් උණ වගේ තමා පේන්න තියෙන්නේ.. "
ලේ රිපෝට් එකක් ගැන ඇසූ මවකට මා පැහැදිලි කර දුන්නා.

" මේ සුදු රුධිරානු, මේ තියෙන්නේ ලිම්ෆොසයිට් කියන සෛල වර්ගය... ඒක වැඩී නේ. සුදු රුධිරාණු අඩු වෙනවා වෛරස් උණ වලදී" එහෙම පැහැදිලි කරද්දී අම්මලා කට අයාගෙන බලන් ඉන්නේ විද්‍යා පාඩමට පාසැලේදිවත් හරියට සවන් නොදීමේ ආදීනව මතක් කර ගනිමින්. සමහරු තේරෙනවා වගේ ඉන්නවා. ඔව් ඔව් කියලා ඔළුවත් වනනවා. නමුත් ඔවුන් බොහෝ අය සමාජයේ අඩුම ආර්ථික තත්වයන් යටතේ ඇති දැඩි වුන , වසර පහ හෝ හයට වඩා පාසැල් නොගිය, ලාබාල මව්වරුන්.

"ඉතින් ඩොක්ටර් බෙහෙත් දෙනවනේ " එහෙමත් අහනවා අම්මලා.

මට ඕනෙ නම් අනිත් අය කියනවා වගේ "හරි අපි බෙහෙත් දෙනවා" කියලා ගොඩින් බේරන්න පුළුවන් වුනත් වඩා හොඳයිනේ තේරුම් කරන එක, එනිසා සැරයක් මම අම්මෙක්ට කීවා,

" මේක වෛරස් උණක්නේ , වෛරස් වලට ලෝකේ කොහේවත් හරියටම බෙහෙත් නෑ අම්මා"කියලා.

"මොනවා මගෙ දරුවාගෙ ලෙඩේට බෙහෙත් නෑ" ඔන්න ඔහොම එක අම්මෙක් ඉහ අත් බදා වැලපෙන්න තියා ගත්තයින් පසු එක පාරම ඔය වගේ කතා කියන්නේ නෑ.
මම අහනවා "වෛරස් කියන්නෙ මොනවද කියලා දන්නවනේ අම්මා... බැක්ටීරියා වගේ නෙමේ. වෛරස ඉතින් ඇඟෙන්ම සටන් කරලා ප්‍රතිශක්තිය ඇති කරන් ඇඟෙන්ම අයින් වෙන්න ඕනෙ " වගේ තේරෙන විදිහකට කියලා දෙනවා.
නැත්නම් සමහර විට මේ කියන දේවල් පත්තර වල ගිහින් හරි ජංජාලයක් වෙන්නත් තිබුනා. බෙහෙත් නැති ලෙඩක් ය කියලා මුළු ගම්මාන පිටින් කලබල වෙන්නත් තිබුනා.

ඔව් වෛරස නිසා අපි බොහෝ අකරතැබ්බ වලට මුහුණ පානවා.

H1N1ඉන්ෆ්ලුවන්සා වෛරස ( කුරුළු උණ , සූකර උණ උණ කියමින් හඳුන්වන වෛරස), ඩෙංගු වෛරසය, වසූරිය, පෝලියෝ, ඊළඟට පැපොල කම්මුල්ගාය...මේ අවුරුදු සමය එළෙඹෙන්නේ වාට්ටු පිරී ඉතිරී යෑමත් සමග ය. අධික තද බදය සහිත සාප්පු සංකීර්ණ සහ නිමි ඇඳුම් වෙළඳ සැල් වල තෙරපෙන මව්වරුන් දරුවන් මා කොතෙකුත් දැක ඇත.... නමුත් රෝහල් ගත වෙන්නට ඔවුන් බය අනික් අයගේ රෝග බෝ වේ යැයි බියෙනි
මේවට දෙයියන්ගෙ ලෙඩ කීවෙත්, ඉබේම වැළඳිලා ඉබේම හොඳ වෙන නිසා ය කියලත් මතයක් තියෙනවා

මේ වෛරස එක්ක ගණු දෙනුව හරි අමාරු වෙලා තියෙන්නේ වෛරස් ශරීරයට ඇතුල් වූ වහාම අපේ සෛලයක් ආක්‍රමණය කරගෙන ඒවා ඇතුලේ ජීවත් වෙන නිසා. ඉතින් ආසාධිත සෛල හඳුනාගෙන ඒකට විරුද්ධව සටන් කිරීම අපේ ඇඟෙන්ම සිදුවිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් බැක්ටීරියා වලට නම් රුධිරය ඔස්සේ දෙන ප්‍රතිජිවක වලින් ලෙහෙසියෙන් ආසාධනය මැඩ පැවැත්විය හැකිය.

ඉතින් දැන් මේ නිතර තමන්ව වෙනස් කරගන්නා වෛරස නිසා අපිටත් ඒවට අපේ ඉමියුන් සිස්ටම් එක හෙවත් ඔය රෝග එක්ක සටන් කරන සොල්දාදුවො සෙට් එක ( Immune system) ලෑස්ති කරන්න බෑ. දැන් ඔය පොඩි කාලේ ඉඳන් දෙන එන්නත් වලින් කරන්නේ අපේ ඉමියුන් සිස්ටම් එක හෙවත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට , මෙන්න මේ ආකාරයේ වෛරස් එන්න පුළුවන් ඒවට මෙහෙමයි සටන් කරන්න ඕනෙ කියලා පොඩි පෙරහුරුවක් දෙන එක... පොඩි ප්‍රමාණයකින් එම වෛරස හෝ කොටස් එන්නත් කරන නිසා රෝගය හැදෙන අවධානම බොහොම අඩු ප්‍රතිශතයක තියෙන්නේ. එතකොට ඒ උගත් පාඩම් වල උපකාරයෙන්, බොහෝ ළදරු කාලයේ වැළඳිය හැකි ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා වෙනවා.

ඉතින් වෛරස වලට බෙහෙත් නෑ... ඒක හරි ! අපිට කරන්න පුළුවන් සැර බාල කරන එක, දැනීම් විඳීම් අඩු කරන එක. උණ, වේදනාව, දද කුෂ්ඨ එහෙම ඒවට අවශ්‍ය ප්‍රතිකාර කරන එක.
ඉතින් ඩෙංගු උණත් එහෙමයි. වෛරස් ඝනයට වැටෙන්නේ. ෆ්ලාවි විරිඩෙ කියලයි ඔන්න අපි ඉගෙන ගත්තෙ.

මේ මාස කිහිපයක් ම... ඩෙංගු අධික පළාත් ආශ්‍රිතව වසන නිසා ඩෙංගු උණ ලක්ෂන සහිත ළමුන් දෙතුන් දෙනෙක්වත් දිනකට ඇඩ්මිට් වෙනවා ඒ අයගෙන් එක්කනෙක් හෝ සමහර විට සියලු දෙනාම අඩු ප්ලේට්ලට් සහිතව සහ අසාධ්‍ය තත්වයට පත් වෙනවා. ඒ අතරිනුත් ශරීර අභ්‍යන්තරයේ තරල එක් රැස් වීම් සහිතව "leaking" කියන්නේ රුධිර වහන තත්වයන් සහිතව අසාධ්‍ය වෙන්නේ එක් අයෙක් හෝ දෙන්නෙක්...
දැන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් අපි 90% දෙනාට ඩෙංගු උණ වැළඳී රෝගාතුර වෙන්නෙ නෑ. 10% විතර දෙනෙක්ට හැදෙනවා, රෝහල් ගත වෙනවා,  නමුත් ඒකෙනුත් අසාධ්‍යම වෙන්නේ 1%.කට.

"ඩෙංගු කියන්නෙ මැරෙන්න ඕනෙ ලෙඩක් නෙමේ... ඔන්න තමන් යටතේ ඉන්න ලෙඩෙක් මැරුනොත්, හවුස් ඔෆිසර්ව තමයි මම යවන්නේ මිනිස්ට්‍රියේ තියෙන නඩු විභාග වල වග උත්තර බඳින්න" වැහි කාලේ පටන් ගන්නකොටම කායික වෛද්‍ය වාට්ටු වල සීමාවාසික පත්වීම භාර ගත්ත මටත් අනිත් සීමාවාසික වෛද්‍යවරියටත් අපේ, විශේෂඥ වෛද්‍ය තුමිය දුන්න විධානයෙන් අපි භය බිරාන්ත වෙලා ගියා.

ඒකාලේ එක දිගට ඇඳන් පහ හය දෙපැත්තෙම ක්‍රිටිකල් ලෙඩ්ඩු මූත්‍රාත් ලේ පැහැයෙන් යන අය, කොහොම හරි කරදරයක් නොවී එක මනුස්සයෙක් වත් නොමැරී අනේ අපේ දුෂ්කර සේවා කාලය නිමා වුනා.මතකනේ අර මම කලින් ලීවේ, එක පැත්තක කොටි ත්‍රස්තයෙක් සහ අනික් පැත්තේ ලංකා හමුදාවේ සොල්දාදුවෙක් දෙන්නම, ඩෙංගු උණ් හැදිලා ඉන්නකොට කළ කී දෑ එහෙම.  හැබැයි වාට්ටුවේ කොච්චර ලෙඩ්ඩු හිටියත් ඒ අයට විදින මදුරුවෝ අපිට විද්දත් ඩෙංගු නම් හැදුනේ නෑ.
"ඩෙංගුවත් හැදෙන්න, සර්පයෙක්වත් කන්න... "  කියමින් ගත කළ අති දුෂ්කර සමයක් ද මේ වෙනකොට ගෙවුනා කියලත් මතක් වුනා.
ඉතින් දැනුත් ඒ කියලා වෙනසක් නෑ. මේ ලියන මම සීමාවාසික වෛද්‍යවරු නැති මූලික රෝහලක සේවය කරන නිසා අප මත සියලු බර පැටවී තිබෙනවා.

ඩෙංගු උණ ලක්ෂන ගැන අපට වඩා සමාජය දැනුවත් බව සැබැවි නමුත් එහෙනම් ඇයි අපිට මේ මරණ වලක්වා ගන්න බැරි.
ගොඩක්ම ඒකට හේතුව, අපේම නොසැලකිල්ල. රෝග වාහක මදුරුවන් බෝවන තැන් ගැන සැලකිල්ලක් නැතිවා වගේම,  උණ හැදුනම තමන් ගැන බලා ගන්න උවමනාවකුත් නෑ.

එක තාත්තෙක් තමන්ගේ දරුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඩෙංගු උණ හැදිලා නවත්තගෙන හිටියා. අම්මා නැතිවෙලා තිබුනේ ඩෙංගු උණෙන්. දරුවන්ටත් උණ කියමින් ගෙදර වැඩ පළ කරමින්, තාත්තාට උණ ට ගෙනාපු බෙහෙත් බොමින් ඉඳලා ඒ අම්මා නහයෙන් ලේ ගලලා ගෙදර කලන්තෙ දාලා මැරිලා වැටෙනකන්.

මෙහෙම කතා ඕනෙ තරම්... ගොඩක් දරුවො එක්ක එන අම්මලාව අපි යවනවා වැඩිහිටි වාට්ටු වල ඇඩ්මිට් වෙන්න. බලද්දි අම්මලටත් උණ.
ඉතින් දවස් තුනකට වඩා උණ තියෙනවනම් අනිවාර් යයෙන් වෛද්‍යවරයෙක් හමුවෙලා රුධිර පරීක්ෂනයක් කරගන්න. ඩෙංගු ඇන්ටි ජන් හෝ ඇන්ටි බොඩී කිරීම අනිවාර්යය නෑ. සාමාන්‍ය රුධිර පරීක්ෂනයක් ඇති. ඒකේ සෛල ගණන් මගින් සහ පැක්ඩ් සෙල් වොලියුම් කියන රුධිරයේ සංඝටක වල ප්‍රමාණය යන මේ දත්ත වලින් වෛද්‍යවරයෙක්ට ඩෙංගු උණ හෝ නොවන බව අනුමාන කළ හැක.
අවශ්‍යම දේ හරියට මැනලා ශරීරගත කරන්න ඕනෙ තරල ප්‍රමාණයන් ඒ ආකාරයෙන්ම දෙන එක. ඒකට ශරීර ස්කන්ධය අනුව සහ රුධිර පරීක්ෂාවේ අගයන් සහ පිටවන මූත්‍රා ප්‍රමාණය මැන බලා ඒ අගයන් එක්ක සංසන්ධනය කරමින් තමයි බර අනුව අවම ප්‍රමාණ මෙන්ම උපරීම ප්‍රමාණ තීරණය කළ යුත්තේ. ඒකට රෝහල් ගත වීම අවශ්‍යමයි.
හරියට මේ දේවල් කළොත්  ඩෙංගු රක්තපාත උණ තත්වය උනත් හොඳින් පාලනය කර ගත හැකියි. ඒත් ගෙවල් වල ඉඳගෙන ගොඩ වෙදකම් කරමින් අන්තිම මොහොතේ අමාරුම වෙලා ,රෝහල් ගත වුනාම නම්, මේ තත්වයෙන් ගොඩ ගන්න අමාරුයි. අවයව ඉන්ද්‍රිය පද්ධති වලට එතකොටත් වෙන්න පුළුවන් හානිය සිදුවෙලා නිසා.
අනික තමයි දරුවන් වුනත් බොන්න බෑ කියද්දී අම්මලා ආ එහෙනම් කමක් නෑ කියලා නිකම් ඉන්න එක.. එහෙමත් නැත්නම් "කන්නෙ නෑ බොන්නේ නෑ අනේ කවන්න " වගේ දෙයක් ලෙඩුන් උතුරා ගලන වාට්ටු වල එහෙමෙහෙ දුවමින් හෙදකම් කරන මිස්ලාට කියන එක. සේලයින් එකක් එල්ලනකම් ඔය දේ මතුරන එක.


ඊළඟට ආහාර, කඩේන් ගේන ඒවා නොදෙන තරමට හොඳයි. ඔය පිටට පාචනය , බඩ එළියේ යෑම වගේ දෙයක් ඇති වුනොත්. අපේ වාට්ටුවෙත් බබාලගෙ ලොකර් උඩ තියෙන්නෙම , ගෑස් පැණි බීම, කලරින් පුරවපු බෝතල්.

 මම අම්මගෙන් අහන්නේ " ඔය බීම එකේ තියෙන ඒවා දනන්ව ද? ලේබල් එක කියවන්න, නොදන්න ජාති තියේ නම් දෙන්න එපා. " කියලයි
 කොහොමත් ලෙඩින් ඉන්නකොට කඩ කෑම ගෑස් බීම නම් දෙන්නම එපා. ඊට අමතරව රතු පැහැය ඇති කිසිම දෙයක් දෙන්න එපා. මොකද හදිසියේ වමනේ ගියොත්, මලපහ ගියොත් එහි රතු පැහැය තිබුනොත් අපට බේරුමක් කරගන්න අමාරුයි ඒ ලේ වමනේ යෑමක්ද නැත්නම් ආහාර වල ඩයි නිසා හෝ බීට්‍ රූට් නිසා වෙච්ච රතු පැහැ වීමක්ද කියලා.

ලෙඩ හොඳවෙන්න සියයට හැත්තෑ පහක් පමණ නිසි ආහාර ජලය සහ සනීපාරක්ෂාවයි වැදගත්. එනිසා අම්මලාට, බලා කියා ගන්නන්ට  විශේෂ වගකීමක් තියෙනවා කුඩා දරුවන් සහ ඇඳන් වලට සීමාවූ වයසක රෝගීන් වෙනුවෙන් කරන්න !
photo credit : dinamina.lk

46 comments:

  1. ඩෙංගු වලට හොයාගත්තා කියන ආයුර්වේද බෙහෙත් ගැන මොනවද කියන්නෙ

    ReplyDelete
    Replies
    1. මොකුත් කියන්න බැරි... මම ඇස් දෙකින් දැකලා හෝ පාවිච්චි කරලා හෝ නැති නිසා. පැපොල් ගස් කොළ ගැන කියනවානේ ? අනේ ඉතින් සමහරු හොරෙන් දෙන්නත් අහනවා. අපිට මොකුත් කියන්න බෑ. අපි දන්නෙ නෑනේ. අසාත්මිකතවක් හෝ ඇවිත් අසාධ්‍ය වුනොත් එහෙම.
      මම ආයුර්වේදයට විරුද්ධ නෑ. අපිට වැඩියෙන් ක්ලිනිකල් ට්‍රයල්, පර් යේෂණ ඔවුන් සිදු කළ යුතුයි. මේ ඩෙංගු පිළියම් ගැන වුවත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මතය එළිපිට ඇසේන්නේ නැත්තේ ඇයි ?

      Delete
  2. අගේ ඇති ලිපියක්

    ReplyDelete
  3. ඉතාමත් වටිනා ලිපියක්

    ReplyDelete
  4. කාලීනව වැදගත් පෝස්ට් එකක්. Thank yu Dr.

    ReplyDelete
  5. වටිනා ලිපියක්..

    ReplyDelete
  6. " මේ සුදු රුධිරානු, මේ තියෙන්නේ ලිම්ෆොසයිට් කියන සෛල වර්ගය... ඒක වැඩී නේ. සුදු රුධිරාණු අඩු වෙනවා වෛරස් උණ වලදී"
    මට මේක පරස්පරයක් වගේ. පැහැදිලි කර දෙන්න පුලුවන් ද? මගේ ළමයින්ට කියා දෙන්න පුලුවන් එතකොට.

    ReplyDelete
    Replies
    1. ඇටමිදුළු ( දරුවන්ගේ විශේෂයෙන්) වල ක්‍රියාකාරිත්වයට බාධා වන නිසා. විස්තරාත්මක පිළිතුරක් ලියන්නම් ඉක්මනින්

      Delete
  7. Thanks for the info.. Better Presentation

    ReplyDelete
  8. කොළොම්පුුරේ ගේ පුංචි පුතංඩියත් දැන් උණ රෝගයක් හැදිලා ඉස්පිරිතාලේ තමයි ඉන්නේ. ස්තූතියි දැනුවත් කළාට.

    ReplyDelete
    Replies
    1. අයියෝ මොකද උනේ. දැන් හොඳ ද: ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනබ

      Delete
  9. viral ආසාදන වලටත් ප්‍රතිජීවක අවභාවිතය කිරීම ගැනත් ලියන්න පුලුවන්නම් හොඳයි අක්කෙ. සමහර වෙලාවට නර්සස් ලත් ඇවිල්ල කියනවා Augmentin , amoxicillin , cefuroxime චිට් එකක් ලියලා දෙන්න කියල. හොයලා බලද්දී මොකක් හරි පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක්. ඒ වෙලාවට වයිරස් ගැන බැක්ටීරියා ගැන කියල දෙන්න යන එකට එයාලා හරි අකමැතියි. පොඩි සපෝටිව් ට්‍රීට්මන්ට් එකකින් විසඳන්න පුලුවන් දේට ලෝකේ තියන සේරම hifi antibiotics පාවිච්චි කරන එක කොයි තරම් අපරාධයක් ද කියල ගොඩක් ඇයට තේරෙන්නේ න. ඇත්තටම මේ මාතෘකාව මෙතන නෙමේ කතා කරන්න ඕන. වෙනම medical forum එකක . එත් කියන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. අපේ පැතිවල ඉන්නවා වන් ෂොට් කියලා හදුන්වන ඩෙක්ටස්ලා. ඇත්තටම රජයේ රෝහල්වල සේවය කරන අය. පුද්ගලික තැනදි දෙන්නේ දිය හැකි උපරිම බේත. බේත් වේල් දෙකයි ලේඩේ ඉවරයි. ලෙඩ්ඩු යන්නෙම එතැනට හේතුව එක පාර වැඩේ ඉවර නිසා. එත් අනාගතයේ වන ඉරණම අති භයානකයි. මම හොදට දන්නවා පොඩි ලෙඩකට ගිය අයෙකුටත් Augmentin ලියලා දිලා. ඕකත් වෙළද නාමය

      Delete
    2. ඒකනම් ඇත්ත නංගී... කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ඔහේ ඇන්ටි බයොටික් දෙනවා. වැඩිය ඕනෙ නෑ... මගේ දන්න කියන යාළුවෙකුත් අහනවා බබා කඩින් කඩ චූ දානවා කියලා.. බලද්දී phymosis (පිරිමි දරුවන්ගේ මුත්‍රා කරන තැන පෙරසම ඇලවී පසු පසට නොයෑම ) and ballooning (මූත්‍රා කරන තැන බැලුමක් මෙන් පිම්බීම) මගෙන් කෙලින්ම ඇහුවේ... cefuroxime දෙන්නද කියලා. වෙනදත් එහෙමලු... මම කීවා එහෙම බෑ මූත්‍රා එකක් කරලා කල්චර් එකක් කරලා වවලා බලලා විශබීජය අඳුරගෙන තමා ඕනෙ එකක් කියලා. අනික අර ප්‍රශ්නෙටත් මොකුත් කරලා නෑ...

      Delete
    3. වන් ශොට් බෙහෙත් ගැන හා ප්‍රථි ජීවක ගැන මේ දොස්තර මහත්තුරු නෝනලා වෙනම ප්‍රසිද්ධ සාකච්චාවක් කරා නම් හොඳයි.
      මොකද ඊයේ මම ඔලුවේ කැක්කුමක් හැදිලා ගියා මගේ මිතුරියක් (වෛද්‍ය වරියක්) ලඟට බෙහෙත් ගන්න. ඇය මට පිරිටන්, ප්‍රෙන්ඩිසිලෝන්, තවත් මොකක්දෝ පුංචි සුදු පාට පෙත්තක්, පැරසිටමෝල් පෙත්තක් වගේ මොකක්දෝ වේදනා නාශකයක් (ඇය කීවා එය පැරසිටමෝල් නොවෙයි කියා අත්‍යාවශ්‍ය නැතිනම් ගන්නට එපා කියා) ඊට අමතරව ප්‍රථිජීවකයකුත් දෙන්න හැදුවා. මම ඒක එපා කී නිසා ලිව්වේ නැහැ. හැබැයි බෙත් ගත්තේ එක වේලයි ඔළුවේ කැක්කුම නැහැ. ඔන්න ඔහොමයි වුනේ.

      Delete
  10. වැදගත් සටහනක් අක්කේ...
    ඇත්ත නොසැලකිල්ලනිසයි තවමත් කොච්චර දැනුවත්උනත් ඩෙංගු අඩුවක් නැත්තෙ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි රටක් හැටියට අපිට කළ හැකි දෑ බොහෝ යි.

      Delete
  11. එතකොට වෛරස් නොවන උණත් තියෙනවද? "ආ මේක වෛරස් උණක් " කියනකොට ඔය ප්‍රශ්ණෙ මගෙ ඔලුවට එනවා.

    Don't frequently move in and out of the air conditioned rooms? Why is that? Is it something to do with the shock the body is subjected to when we do so due to the difference in temperature?

    ReplyDelete
    Replies
    1. probably... I think we can relate to it as that

      Delete
  12. වැදගත් ලිපියක් අක්කෙ

    ReplyDelete
  13. මිනිස්සුන්ට තේරෙන බසින් වෛද්‍ය විද්‍යාත්මක දේ කියා දෙන එකත් හරිම අසීරුයි නේද...
    මේ ලිපිය තුළින් යළි යළිත් වැදගත්ම දේ මතක් කර දුන්නාට ස්තුතියි

    ReplyDelete
  14. ඉතාමත් වටිනා ලිපියක් ...

    ReplyDelete
  15. ස්තූතියි... පොඩි දරුවන් ඉන්න අපිට වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඔබ ආ එකට සතුටුයි

      Delete
  16. මෙහෙමත් ඩෙංගු පැතිරගියත් සමාජයේ
    තවමත් කසල මහමග අපි දමා තියේ
    සිතුවත් ඩෙංගු ගැන හිත තුළ ඇතිය භයේ
    වත්තත් ගේත් පිරිසිඳුනම් භයක් නොයේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. කවි මිතුර...

      Delete
  17. මේ වටින ලිපියටත් ගොඩක් ස්තූතියි අක්කේ.

    ReplyDelete
  18. බොහොම හොඳ දැනුවත් කිරීමක්.වයිෆ්ගේ අම්මාට සෙනසුරාදා රෑ ඉඳන් උණ.බෙහෙත් ගත්තත් අඩුවක් නැහැ.ඉතින් දැන් ලේ රිපෝර්ට් එකක් ගන්න කියලා ආවේ වයිෆ්ට.

    ReplyDelete
    Replies
    1. හරි ඒක තමා දවස් 3කට වඩා උණ නම් !

      Delete
  19. සිංහලෙන් මෙහෙම කියල දෙන එක ලොකු දෙයක්.. අපිට ප්‍රශ්නයක් අවහම google කරලා බලනවා.... නමුත් එහෙම කරන්ඩ පහසුමකක් නැති.. පහසුකම තිබ්බත් කරගන්ඩ තේරෙන්නේ නැති ගොඩක් මිනිස්සුන්ව අන්ධකාරෙන් මුදාගන්න මේ වගේ දැනුම බෙදාහැරීම ඉතාමත් වටිනවා! ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නදීර... මේකට තව ගොඩක් දේ එකතු කරන්න ඕනෙ කියලා දැන් හිතෙනවා.

      Delete
  20. තවමත් ඩෙංගු රට පුරාම පැතිර තියේ
    එණමුත් මග දෙපස කුණු කඳු උසට තියේ
    රැකගත්තොතින් පරිසරයක් මදුරු නොයේ
    දිවියත් එවිට සුරැකෙයි නොම ඉන්න භයේ

    ජයවේවා!!!

    ReplyDelete
  21. NS1 ganath liyanna.eka kalinma karanna ona neda.

    ReplyDelete
    Replies
    1. ඒක උණ වැළඳී පළමු පැය 48 කළොත් මිසක.. නැත්නම් හරියන්නෙ නෑ

      Delete
  22. අවු 5 කට විතර කලින් එක පශුවයිද්‍යවරියක් මගෙ බල්ලෙකුගේ ටික් ෆීවර් වෙලටත් ගස්ලබු කොල යුෂ දීලා බලන්න කිව්වා. අපි කලා. ටික් ෆීවර් පාලනය වුනා. ඒත් දුන්නෙ ඩොක්සයික්ලින් එක්ක නිසා යුෂ ඉෆෙක්ටිව්ද කියල දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ආයුර්වේද ගැන ට්‍රයල් කරා නම් හොඳයි. ඒ මොකුත් නැතුව මිනිස්සුන්ට අපිට මොකුත් කියන්නත් බෑනේ. ඒ අංශයේ දැනුමක් නැතුවත් බෑනේ

      Delete
  23. අනිත් කොනේ දොස්තර නෝනාගේ ලිපිය බොහෝම වටිනවා.
    (මම ඔබව එහෙම ඇමතුවේ ඔබේ බ්ලොගය ගැන වෛද්‍ය රුවන් ලියූ ලිපියෙන් මා මේ බ්ලොගය හඳුනාගෙන කියවන්නට පටන් ගත් නිසයි )
    මමත් පොඩි ප්‍රශ්නයක් අහන්නම්, මම අහලා තියෙනවා ඩෙංගු වැලඳුනු අයගේ අක්මාව දුර්වල වන බවත් එම නිසා සුව වූ පසු කලක් යන තුරු අධික රසකාරක සහිත ආහාර හා මධ්‍යසාර නුසුදුසු බව. ඒ වගේම පැණිරස වැඩිපුර අහාරයට එක් කර ගැනීම සුදුසු බව. මේක ඇත්තද?
    දැන් වන විට සමාජයේ ඩෙංගු සුව වූවන් ඉතා භහුල නිසා මේ ගැනත් විශේසඥ උපදෙස් සමාජයට ඉතාම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... පැණිරස ගැන නම් නොදනිමි... අක්මාව දුර්වල වෙන බව ඇත්ත. ඔබ එයින් මා හඳුනා ගැනීම ගැන මට බොහෝ සතුටුයි... ඒවගේම සතියක් හෝ දෙකක් පමණ වෙහෙස නොවී සීටීමත් වැදගත්

      Delete
  24. යන්තම් ගෙදර ආවා. දුව ස්තූතියි සොයා බැලුවාට. දැන් වෙයිරස් උනට ප්‍රතිකාර ඉතාම සාර්තකයි. ඩෙංගු සදහා කරන ප්‍ර්‍රතිකාර ලෙසමයි ඒ උනටත් කරන්නෙ. තව ටිකක් මේ ගැන විස්තරාත්මකව ලියන්න. මේ වසන්ගතය කවදා ඉවර වෙයි ද මන්දා. මුලු රටම ගිලගෙන. වේයිද්‍යවරු දිවා රෑ නොනිදා වැඩ. වගකිව යුත්තෝ නිදි. අනේ අපේ රට.

    ReplyDelete
  25. ස්තුතියි, ඔබගේ ලිපි සරළයි, හරිම පැහැදිලියි, කාටත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. එහෙම ලියන්න හැමෝටම බැහැ.
    මේ වගේ ලිපි පුවත්පත් වලත් පලවෙනවානම් හොඳයි. බ්ලොග් එකට ලියන එකේම පිටපතක් කතුතුමා, අහවල් පත්තරේ, කොළඹ කියල තැපැල් කරලා බලන්න. කතුතුමා පල කලොත් බොහෝ අය වෙත මේ දැනුවත් කිරීම ළඟ වෙනවා. එතකොට මහා ජනතාවට ප්‍රයෝජනවත් වේවි. ජනතා සේවයට කැමති ඔබට මෙවැනි ලිපි ලිවීමට තව තවත් ශක්තිය, ධෛර්යය වගේම විවේකය, මානසික නිදහස නොඅඩුව ලැබේවා. මතක තියාගන්න, අපි ඔබට බොහොම ආදරෙයි.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !