Sunday, June 5, 2016

ගංවතුරේ දින සටහන් !

On may 17th

Struggling to get to work ! Felt bad about the kids who had to go to school in this rain. Hospital is safe from floods ! but kelani river is conquering her banks.. කැළණි ගඟ දෙපස ඉවුරක්වත් නොපෙනෙන්නට සාදා තිබූ කුඩා ගෙවල් සියල්ල වතුරෙන් යටවී ඇත. පරිසරය හා සංහිඳියාවෙන් ජීවත් නොවීමේ විපාක මේ මිනිසුන් විඳින්නේ. වෙල් යායවල් ගොඩ කර සාදන ලද නිවාස පිහිටි ඉසව් සියල්ල වතුරෙන් යටවී ඇත.

එක දිගට ඇද හැළුනු වර්ෂාව නිසා ටිකෙන් ටික පළාතේ එකතුවුනු ජලය සහ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යෑම වැනි කරුණු නිසා මා රැකියාවට යන එන විට දුටුවේ හෙමි හෙමින් පාරවල්... වෙල් යායවල් සහ වෙල් ගොඩ කර සෑදූ නිවාස සංකීර්ණ ජලයෙන් යටවෙන අන්දමය.
මේ ළඟදී කලා හිත ලියන සුමිත් කළණසිරි සොයුරා විසින් කරන ලද පාසැල් දරුවන් සඳහා සපත්තු පරිත්‍යාග කිරීම සිදුවුනු හෙලේනා විජේවර්ධන පාසැලත් මා එන මග හමුවන්නක් ඒ ඉදිරිපිට මේ දසුන් රූපගත වුනේ මැයි මස 17 වෙනිදා 




On May 19th

හැමදාම කැළණි ගඟ පසු කරමින් වැඩට යන ගෙදර එන නිසා.. මම නිතරම ගඟ අසබඩ ජීවිත් වෙන මිනිස්සු සහ ගෙවල් ගැන හිත හිතා එතැන් පසු කරන්නේ.. ගඟ උතුරා ගැලුවොත් මේ අය මොකද කරන්නේ ? හැම තිස්සෙම මම හිතපු කාරණයක්. අද ප්‍රායෝගිකව මේ දේවල් වලට විසඳුම් සොයන්න වෙලා වගේ... මට බොහොම තදින් මේ දේවල් දැනෙන්නේ..ඒ ලෑලි ගෙවල් වල ඉන්නා ජීවිත ගැන සිතන කොට.., ඒ අය කොහේ කොහොම ඉන්නවා ඇද්ද කියා සිතෙනවා. රස්සාවට යන්නත් දැන් වට වන්දනාවක යන්න වෙනවා... කොළඹටම ගිහින් විකල්ප මාර්ග භාවිතා කරන්න වෙලා ! Kelaniya residents warned of flash floods. The water levels of the Kelani River has risen once again. If it reaches 9 feet water could over flow the bunt which protects kelaniya and colombo...

එතකොට බොහෝ අය ( මා එම ප්‍රදේශයම මූලික රෝහලක වැඩ කරන නිසා) කීවේ අවුරුදු විසි ගාණකට කළින් ගංවතුර ආවා ඒ උනත් ආයේ ඒ තරම් වතුරක් එන්නෙ නෑ කියලයි...

කැළණි මුල්ල ප්‍රදේශයේ බොහෝ පැරණි ගෙවල් වල බිත්ති වල ටයිල් අල්ලා තියෙන බවක් දුටුවා. ඔවුන් කීවේ ගංවතුර ආවත් ඉක්මනින් බැස යන බවයි.
මේ අවුරුදු 3 ට වෙල් ගොඩ කරමින් නිවාස හැදෙන බව මා දුටුවා... (උදේ හවස යන එන පාර නිසා ) 
මේ සියල්ල ඔස්සේ පසු ගිය අවුරුදුවලත් වැස්සා... ගඟේ වතුර වැඩි උනා... අංගොඩ කැළණිමුල්ල හරහා කැළණි විහාරෙට යන්න තිබුනු පටු පාරේ.. ඉතා පටු යකඩ පාළම ඔස්සේ අපි ගියා ආවා.. කවදා අලුත් පාර/ පාළම හැදෙයිද සිතමින්.. වාහන තදබදයේ පැය ගණන් ගත කරමින් අපි ගඟ දිහා, ගඟට මායිම්ව, ගෙවල් හදන් කැඳ විකුණමින් පළතුරු විකුණමින් ඉන්නා පිරිස දිහා බලමින් එතනින් ගියා ආවා.

"ඔහොම ගෙවල් වල හරියට නින්ද යනවා ද? " විටෙක අපි කතා වුනා. කොයි මොහොතේ හෝ ගඟට බිලි විය හැකි ගෙවල් ජීවිත ගැන හූල්ලමින් අපි එතැනින් ගියා ආවා... අවුරුදු කීපයක්ම !

ගිය අවුරුද්දේ මේ අළුත් පාළම සාදා නිම කර තිබුනා. මේ අවූරුද්දේ ඇද වැටුණු මහ වැස්සෙන් අපිට කැළණි විහාරෙන් එහාට යන්න බැරි තරමට, ගඟ දෙගොඩ තලා ගලා ගියා. කැළණි මුල්ල අංගොඩ එතනින් එහාට, සේදවත්ත, කොටිකාවත්ත වගේම වැල්ලම්පිටියත් ... කඩුවෙල හංවැල්ල මල්වාන දක්වාත් කැළණි ගංවතුරෙන් යට වුනා...අපි රෝහල වෙත ළඟා වුනේ කොළඹට ඇවිත් ( පැය 3ක් පමණ ගියා) රාජගිරියේ බුත්ගමුව පාර ඔස්සේ වටයක් ගසමින්.


මේ අතර සැරින් සැරේ විවිධ පැති වල, වෛද්‍ය සායන පැවැත්වූ අතර... අප රෝහලෙන්ද වෛද්‍යවරු ඒවා සඳහා යොමු කළා. MOH හෙවත් කලාප බාර වෛද්‍ය කාර්‍යාලයෙන් අවශ්‍ය බෙහෙත් ඕනෑම වෛද්‍යවරයෙක්ට ලබා දෙන බවත් පැවසූවා. අපට ද ඒ සායන සඳහා සහභාගි වෙන්න පුළුවන් වුනා.
දණක් උස  වතුරේ බැස බෝට්ටු වල නගිමින් බසිමින්, පාරවල් වල මේස පුටු අටවා තිබූ වෛද්‍ය සායන වලදී ඔවුන් වෙනුවෙන් වෙහෙසුනේ... ජීවිත යුද්ධයක් අතරින්. 
මේ මා  දුටු දසුන්...බෝට්ටුවෙන් වෛද්‍ය සායනයක් කරා යන විට...වෛද්‍ය කඳවුරු සඳහා සංවිධාන ශක්තිය දුන්, ආධාර දුන් බොහෝ අය සිටිති. ඇතැමුන් පිට රටවල සිට මේවාට ආධාර උපකාර කළ අතර මේ බිමේ සිටි තරුණ පිරිසක් දිවා රෑ නොබලා උරෙනුර ගැටී වැඩ කළහ. ත්‍රිවිධ හමුදාවේ පිරිස කළ මෙහෙය අමතක නොවන්නේ ගංවතුරෙන් බැට කෑ පිරිසට ය. " අපිට උදව්වට හිටියේ නේවි එකේ අය, ආමි එකේ අය " කියමින් රෝහලේදී අප හා කතා බස් කරන අය පැවසුවා.

ගෙවල් වල ඇති බඩු මුට්ටු ප්‍රවේසම් කරන්න තමන්ගේ ජීවිතය පවා අවදානමේ දමා ගත්ත් අයත් අඩු නැතිව සිටියා. අප දන්නා හඳුනන එවැනි පවුලක පිරිසක් පළමු තට්ටුව යටවීමෙන් පසු දෙවෙනි තට්ට්ටුවට වී බඩු මුට්ටු ආරක්ෂා කරමින් සිටියේ අපගේ කන් කෙඳිරිගෑම් ද නොතකමිනි. රෝහල් සේවකයෙකුගෙන් ඇසූනේ... එහෙම ගෙදර රැකගෙන සිටි ගැබිනි මවක් වතුර මට්ටම ඉහළ යන විට වහලයට නැග්ග බවත් අන්තිමේ වහලය අසලට ආ බෝට්ටුවට ගොඩ වෙන්නට යද්දී පෙරළී වතුරට වැටුණු බවත් මිනිය ගොඩ ගන්නට පැය 2ක් ගතවූ බවත් ය. මාස 9 ක ළදරුවෙක් මිය ගොස් සිටියේ ඇඳෙන් වතුරට පෙරළීමෙනි.






දැන් ගංවතුර බැස ගිහින්... 

පාරවල් වල එද්දී පසු කරගෙන එන ගෙවල් වල බිත්ති වල හරස් ඉරි , මඩ පාට ඉරි පෙන්නුම් කරන්නේ වතුර තිබූ මට්ටම... දැන් හමුවෙනවා අඩු රුධිර පට්ටිකා සහිත උණ දවස් 3 කට වඩා තිබුනු දරුවන්... වෛරස් උණ ( ඩෙංගු විය හැකි) ලක්ෂණ සමග ... ඒ එක්කම කඳවුරු වල සිටි පිරිස නැවත තමන්ගේ ගෙවල් වලට යමින් සිටී.
අත දරුවන්ගේ සිට අවුරුදු 12 දක්වා දරුවන් ඇතුලත් වෙන අපේ වාට්ටුවේ බඩ එළියේ යෑම සහ වමනය සහිත දරුවන් ඇතුලත් වීම බොහෝ සෙයින් වැඩි වී තිබේ.

ඒ ප්‍රදේශයේම රෝහලක සේවය කරන නිසා නිතර හමුවෙන පිරිස හා ඒ ගැන විමසන්න මට හැකි වෙනවා. බහුතරය කියන්නේ හරි හැටි දෙයක් ලැබුනේ නැති බවයි. ඔක්කොම පාරවල් වල පොරකාලා කට්ටිය බෙදා ගත්තා... ඒ එකතු කරපු අය කිසි දෙයක් අනිත් අයට දුන්නේ නෑ.. එහෙම කතා එමටයි. 

ඒ හැම කතාවකම බර පැන තියෙන නිසා එකපාර විශ්වාස කරන්න හෝ නොකරන්න බෑ. සමහරු කියනවා... අපිට ලැබෙන්නේ නෑ... අපි කුලියට නේ ඉන්නේ... අපි රෙජිස්ටර් වෙලා නෑනේ කියලත්... බොහොම දුක්බර කතා. නමුත් කුලී නිවස අයිති අයට ඒ මුදල් ලැබෙනවාලු... එතකොට මේ අයගේ හානි වුණු භාණ්ඩ ? ඒ වගේම ඇහෙනවා ගංවතුර බැස ගිය පසු.. වැඩට බැහැලා ඉල්ලම් පාදාගෙන ඉන්නා අය ගැනත්...! 

අපි එක්ක මිනිස්සු බයක් නැතුව එයාලගේ අදහස් උදහස් කියනවා. අපෙන් රෝග වලට බෙහෙතක් මිසක් වෙනයම් දෙයක් බලාපොරොත්තු වුනේ නැතුවට අපි ඇස් කන් පියාගෙන ඉන්නේ කොහොමද ? අපි නිකම්ම..එයාලගේ දුක අහගෙන ඉන්න අය බවට පත් වෙලා..."මේ ටිකේම හිටියේ යහළුවෙක්ගේ ගෙදර මිස්.. අපි කඳවුරු වල හිටියේ නැති නිසා ආධාර ලැබුනේ නෑ.. ඊයේ ඔන්න ..... හමුවෙලා හාල් කිලෝ 5ක් පිටි පැකට් එකක් වගේ දේවල් ඉල්ලාගත්තා. කුලියට ඉන්න නිසා වන්දියක් නෑ " ඔන්න ඔය වගේ කතා එමටයි... මේ අය මේ කියන හැම කතාවකම තියෙන්නේ... ආධාර ගසා කෑ පිරිස ගැනයි.

ඒ අතර ඊයේ රෝහලේ සුළු සේවකයෙක් පැවසුවේ.. අහවල් කඩේ හාල් පරිප්පු වේලෙන්න දාලා යනුවෙනි... යම් දුරකථන අංකයකට කතා කර ඒ ගැන දැනුම් දෙන බවත් ඔවුන් පැවසුවා. ගංවතුරට හසු වූ හාල් ගෝනි පරිප්පු ගෝනි වැනි දේ වේලා විකුණන්න පවා මිනිස්සු පෙළඹිලා. අනෙකාට කුමක් සිදුවුනත් තමන්ගේ මඩිය තර කර ගන්න පෙලඹී ඇති මිනිස් හිත ගැන නම් පුදුමයි !

දැන් වතුර බැස යමින් තිබේ...
සෝදා පාළු වූ ජීවිතද වේලාගත යුතුය...
එහෙත් මේ තෙත බරිත වූ හිත් වේලෙන්නේ කවදා ද ?

මේ අතර , මේ වතුරට හසුවූ පොත පත බේරා ගත නොහැකි වූ දරුවන් තැන තැන හඬා වැටෙද්දී... "පහ වසර නෝට් ටික බේරා ගත්තා , හතර වසරෙ ඒවා වතුරේ ගියා" කියා ඊයේ සායනයට පැමිණි දරුවෙක් පැවසුවේ සිනහ මුහුණෙනි. 
මේ දරුවන් සඳහා හිත් හදන්නට උදව්වෙන්නට ඉදිරිපත් වුනු පෙරමුණ ගත් පිරිස අපමණය. ඒ ගැනත් විස්තර පසුව ලියන්නම්.