Wednesday, December 12, 2012

තාවකාලික සමුගැනීම්....


එදින මට වැඩි වැදගත්‍කමක් නැති වුවද, උදෑසන ජේෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනා නගරයේ කේක් කඩයට ගිය බවට ආරංචි පැමිණියාය.  "අනේ කේක් විතරක් හරියන්නේ නෑ මොනවා හරි එහෙනම් දෙන්න වෙනවා" සෙසු යහළුවන්ද පැවසූයෙන් අප පේස්ට්‍රි රෝල් සහ වඩේ රැගෙන පැමිණියෙමු. කිසිදාක උපන්දින සාද පවත්වා නැති මුත් එදින වෝඩ් එකේ කුඩා තේපැන් සංග්‍රහයක් ඔවුන් මා වෙනුවෙන් ලෑස්ති කර තිබිනි. මා කුඩා රසකැවිලි සහිත රෝල් පේස්ට්‍රි පාර්සලය රැගන වාට්ටුවට යත්ම එහි සිටි හෙදි සොයුරිය, අනේ ඩොක්ටර් කියා මුහුණ රතු කරගෙන ඔවුන්ගේ විවේක කාමරයට දිව ගියාය. පසුව ආරංචි වුනේ ඇය එහි අඬමින් සිටින බවය. "මේ මොකද මිස් අඬන්නේ ?" මා විමසූ විට. "ඩොක්ටර් ට්‍රාන්සර් ඇවිත් යනවා නේද? කියමින් ඉකි ගසමින් අඬන්නට විය. දැන් එයට ඇටෙන්ඩන්වරියද එකතු වී ඇත. මොවුන්ගේ ලෙංගතුකම කොතරම්ද යනු, ට්‍රාන්සර් අද හෙට ඒවියැයි බලාපොරොත්තුවෙන් සිටින අප, මේ සමුගැන්මේ සාදය පවත්වන්නට යනවා යැයි මොවුන් සිතා ඇත. " ට්‍රාන්සර් ආවේ නෑ, අද මගේ උපන්දිනය නේ" කියූ විට යන්තම් ඔවුන්ගේ ඇඬුම් නැවතිනි. "අපට මෙහෙට වෙලාම ඉන්නත් බෑනේ. ගෙවල් වල අය බලන් ඉන්නවා නැවත ළඟ පාතකට එනකම්" අපේ කාලය ඉවර වුනු විට නැවත මේවා අත හැර නව තැනක වැඩ බාර ගන්නට වෙයි. තව මාස කිහිපයකින් යන්නට බලා සිටින අපටද මේ පළාත් අත හැර අපේ ඉතින් අනිත් කොණෙන් සමුගැන්ම නම් ඉතා අමාරු වෙන හැඩයි. මේ තාවකාලික සමුගැනීම් , හමූවීම් වෙන්වීම් අපේ රැකියාව සමග නිරන්තරයෙන් බැඳුනු දේ වෙයි.

ජීවිතයේ නොයෙක් අවදි පසුකර අද තරුණ විය ඉක්මවමින් සිටින අපට රැකියාව නිසා ලංකාව පුරා නොයෙක් තැන ඇවිදින්න වුනා. ඒත් ඒ සමග ලැබුනු ජීවිත අත්දැකීම්, විවිධ සංස්කෘතීන් විවිධ ජාතින් මෙන්ම විවිධාකාරයේ මානසික තත්ව සහිත මිනිසුන් සමග වැඩ කරන්න ලැබීම නිසා බොහෝ දේවල් අත්දැකීම් ගොන්නට එකතු කරගත්තා. ඒ අත්දැකීම් මෙලෙස අකුරු කරන්නට කියා දුන් මුල් ගුරුවරුන් නිසා අන්තර්ජාලය හරහා අපට රෝහල් වල මුණ ගැසුනු ජීවිත ගැන කතා බහ කළා. ඒනිසාම මේ අන්තර්ජාලය ඔස්සේ අනිත්කොණ වටා ගොඩ නැගුනු හිතවත්කම් සහ මනුස්සකම්, අප සමග මේ අනිත්කොණ වැසියන්ගේ දුක බෙදා හදා ගැනීම දක්වාම වර්ධනය වුනා. සමහරුන් සැබෑ ජීවිතයේ යහළුවන් බවට පත්වුනා. එසේ අවුරුදු දෙකක පමණ සිට ඉතා සෙමින් ලියවුනු මේ කතා ගොන්නේ අද පළ කරන්නේ පණස් වැනි 50 වැනි පෝස්ට් එක.
(ඔය අතරේ හිත රිදෙන සිදුවීම් ද ඇති පදම් සිදු විනි. )

මෙහෙත් දුක් විඳිනවා මිනිස්සු එහෙත් දුක් විඳිනවා මිනිස්සු. ලෝකේ කොහෙත් එහෙමයි. ලෝකේ පුරාම සැප මෙන්ම දුකද එක ලෙස පවතිනවා. මා දකින ජීවිත තුලින් යමක් ලියා තැබුවේ ඔබේ උදව් ඉල්ලන්න නොවේ. අප සිටින පරිසරයේ අප සිටින ප්‍රදේශයේ අවට තිබෙන කරදර  නැති කරන්න සැහැල්ලු කරන්න අපටම දායක වෙන්න පුළුවන් බව පෙන්වන්නයි. ඇත්තටම අපට පුළුවන් ආකාරයට ඔවුන්ගේ දුකට පිහිට වෙනවා වගේම ඔබටත් ඔබ සිටින ගම නගරයේ... සමහර විට අල්ලපු ගෙදර සිටින මිනිසුන් වෙන්න පුලුවන් දුකකින් කරදරයකින් සිටිනවානම් පිහිට වෙන්න. ඔබට වැඩියෙන් යමක් ඇත්නම් මේ අනිත්කොණටම එන්න උවමනා නෑ. ඔබට සිටින අවට ඕනෑ තරම් දුක් කරදර ඇති අය ඉන්නවා වෙන්න පුළුවන් ඔවුන්ට පිහිට වෙන්න ඔබට එය මහඟු ආශිර්වාදයක් වෙනවා නො අනුමානයි.

 අපට හැම තැනම දුක කරදර පෙනෙනවා. පත්තර වලින්, අන්තර්ජාලයෙන්, කෝච්චියේ යන එනකොට, බස් එකේ යන එනකොට, ගෙදර අහල පහළින්, බඩු ගන්න පොළට ගියවිට... රූපවාහිනියෙන්, මුහුණු පොතෙන්, විටෙන් විට අනුන්ගේ දුක් කරදර දකිනවා විඳිනවා. එනිසයි අපට හැකි පමණින් අප අවට සිටින්නන්ගේ දුකට යම් සහනයක් ගෙන දෙන්න කුමක් හෝ කරන්නේ. ඒ කළ කී දෑ ඔබ සමග බෙදා හදා ගත්තේ ඔබටත් යමක් කළ හැකියි කියා කියන්නටයි. නැතුව අප මෙසේ කලා යැයි පුරාජේරු කියවීමට නොවේ. සමහර විට මේ දෙසට උදව් උපකාර කිරීමට අපේක්ෂාවෙන් ඔබ එවූ ඊ මේල් එකට ප්‍රතිචාර නොදැක්වූයේ හිතේ ඇති වූ කලකිරීම නිසා. ඇත්තටම උදව් අවශ්‍ය අය ඔබ අවට ඕනෑ තරම්....

ඔබ අවට බොහෝ දුක් කරදර තියෙන්න පුළුවන් එකම වෙනස ඔබට ඒවා නොපෙනීමයි. එනිසා ඔබට මේ සංවේදී කතා කියවා හිත් සසල විනි නම්, මටත් යමක් අනුන් වෙනුවෙන් කරන්නට හැකි යැයි සිතුනා නම් ඔබට හැකි පමණින් ඔබ අවට සියල්ලන්ට උදව් උපකාර කරන්න. රෝහලේ වාට්ටුවලටම කොටුවී දවසේ බොහෝ පැය ගණනක් ගත කරන අපට කළ හැකි දේ සීමිතයි. අප කරනා සේවය බොහෝ සේ අගය කරමින් දිරි දුන් සැමට ස්තූතියි. ඔබ පිළිගත්තත් නැතත් වෛද්‍යවරු තවමත් මේ රටේ ඈත එපිට රෝහල් වල බොහෝ කරදර මැද්දේ තවමත් සේවය කරයි. ඒ කරනා සේවයට මේ ලිපි උපහාරයක්ම වේවායි පතමු.

Monday, December 3, 2012

මේවා එවන්නේ අනිත්කොණට...ඕස්ට්‍රේලියාවෙන් මනුස්සකම...


මතකද එක්තරා දිනක මම මෙසේ ලියුවා.... ඇමෙරිකාවෙන් ඇඳුම් සහ එකම ඇඳුම හෝදන්න සැත්කමෙන් පසු ඇඳෙන් බැස්ස හැටි ගැන. ඒ ලිව්වේ අපි එදිනෙදා දකින විඳින දුක් කරදර පොදි බැඳි ජීවිත වල එක්තරා පැති කඩක්. දැනට අවුරුදු 3 කට කලින් සිට සැරෙන් සැරේ ( ඉතා හෙමින්) ලියවුනු මේ සටහන් නිතර ලියන්න වෙලාව නැති කමින් පරක්කු වීම ගැන බොහෝ දුකයි. ඒත් වැඩ අධික වුනු තෙහෙට්ටු කාලයට ලියන්න හිත හදා ගන්න හරි අමාරුයි. ඒ ගැන සමාවෙන්න.

කාලයක් යුද්ධයෙන් බැට කෑ දේශයක, හැම කල්හිම දුප්පත්කමින් අඟහිඟකම් වලින් බැටකන තුන්වන ලෝකයේ රටක, මෙවැනි ප්‍රදේශයක මෙවැනි මිනිසුන් අතර ජීවිතයේ තරුණ අවදියේම සේවය කරන්න ලැබීම ලොකු ආත්ම තෘප්තියක් එක් කරනවා. හැම දාම අපේ දොස්තර මේසේ ලොකර් එකේ තියන් ඉන්න කුඩාවුන්ගේ ඇඳුම් කෑලි කිහිපය අඟහිඟකමින් උපරිමයට දුක් විඳින ඔවුන් හට ලබා දෙන විට බොහෝ අය හඬා වැටෙනවා. ඒ අපි ඔවුන් ගැන හිතනවා කියා ඔවුන්ට දැනෙන නිසා කියා එක අම්මා කෙනෙක් කීවා.

අද උදෑසන රෝහලට පැමිණෙන විට පාර එහා පැත්තේ සිටි අම්මා කෙනෙක් "ඩොක්ටර්..." කියා මා අමතා පාර පැන තකහනියක් පැමිණියා. "මේ ඩොක්ටර් මගෙ බබා. පුතේ මේ ඔයාව බලපු ඩොක්ටර්." ඇය කුඩා දරුවාට මා හඳුන්වා දෙයි. දරුවා යාන්තමට මෝදුවී ඇති දත් පෙන්වා හිනාවෙයි. අර කලින් පෝස්ට් එකේ ලියූ කුඩා මල්ලිගේ අම්මා, පසු ගිය දිනෙක මානසික රෝගී වාට්ටුවේ සිටියදී මා ඒ අසලින් යද්දී අර අලුත ඉපදිච්ච දරුවා (දැන්නම් මාස 4 පමණ වේ) රැගෙන මා පසු පස දිව ආවේ දරුවා පෙන්නීමටයි.

 "මේ ඩොක්ටර් සීසර් කරපු බබා... ඩොක්ටර් වගේම සුදුයි " එක් මවක් සායනයකදී පවසයි. "අනේ අම්මේ මම සීසර් කරා කියලා මං වගේ වෙන්නේ නෑ.අම්මා වගේමයි බබා " මම ඇයට එසේ කීමේ බරපතල කම වටහා දුන්නේ අනික් වෛද්‍යවරුන්ගේ විහිළු තහළු මැද්දේය. එක වෛද්‍යවරයෙක් සිනහා අතරින් පැවසුවේ "හොඳ වෙලාවට ඔයා වෛද්‍යවරියක් , බැරිවෙලාවත් පිරිමි වෛද්‍යවරයෙක්ට ඕක කිව්වනම්.."කියාය. ඔවුන් එසේ සිතන්නේ අප කෙරෙහි හිතේ ඇති සෙනෙහස නිසාය. ඔවුන්ගේ දෑසෙහි සටහන් වී ඇත්තේ සහෝදරත්වය සහ ලෙංගතු කමය. අප කළගුණ ඔවුන්ට මතකය.


"අපි ඔබේ කතා කියෙව්වා. මට ඔවුන්ට යමක් කරන්න ඕනේ..." ඕස්ට්‍රේලියාවේ සහෘද බ්ලොග් කියවන්නියක් ලියා එවා තිබුනා.  "අපි ඇඳුම් එකතු කලා... ඔබේ කතාව කියවලා... ඒවා එවනවා අනිත්කොණට ... " තවත් කෙනෙක් ලියා දැන්වූවා.එසේ ලියුවේ උදව් බලාපොරොත්තුවෙන් නොවන නිසා කරදර නොවිය යුතු බව කිහිප විටක් මා ලියා දැන්වූවා.

ඒත් ඔවුන් පැවසුවේ,   "ඔබ කියුවත් නැතත් දැන්නම් අපි සංවිධානය වී අවසානයි. ඔන්න අපි මෙන්න මෙදිනට මේ සියල්ල තැපැල් කරනවා"  ඔවුන් සහ එහි සිංහල බෞද්ධ විහාරය මේ සඳහා මුල් වූ බවයි කියවුනේ.... එච්චර ඇඳුම් තොගයක් කොහොමද බෙදන්නේ. ඉස්පිරිතාලේ ගබඩා කර තියා ගන්නත් බැරි වෙනවා. අනික සැවොම අපි වගේ පරාර්ථකාමීව සිතන්නේ නැති නිසා.... දැනටත් තමන්ගේ දුක් ගැනවිලි කියන බොහෝ සේවකයින් ඉන්න නිසා... ඒ සඳහා මේ පළාත් බාරව ක්‍රියාකරන ඉහළ හමුදා නිලදාරී මහතාට දන්වා සිටියේ මේ ලියන දේවල් සහ අනිත්කොණද පෙන්වමිනි. දෙන්න පුළුවන් හොඳම තැන, දුප්පත්ම ගම්මාන, සහ අනාථ නිවාස අපේ සිතුවිලි වලට ඇතුලු වුනා. ඉතා කාර් යය බහුල ඒකකයක දිස්ත්‍රික් ප්‍රධාන රෝහලේ වැඩ කරන ගමන් මේ දේවල් කරන්නට එහෙ මෙහෙ දුවන්න පුළුවන්කම සීමිත බවත්  මා ඕස්ට්‍රේලියාවේ යාළුවන්ට දැන්වූ අතර මේ සඳහා මේ ප්‍රදේශය බාරව සිටින ඉහළම කෙනාගෙන් මේ කාර් යයට  උදව් ලැබෙන බව දන්වා යැව්වේ හදපිරි සතුටෙන්.

රෝහලේ දී බෙහෙත් ගැනීමට පැමිණි විට මුණ ගැහෙන කුඩා දරුවන් සිටින අනාථ නිවාසයට දිනක් යොදාගෙන අප ගියේත් එහෙයිනි. කුඩා දරුවන් 300 ආසන්න පිරිසක් සිටින බව වැටහුන අතර මොවුන් බොහෝමයකගේම මව පියා යන දෙදෙනාම නොමැති අයයි. ඔවුන් අප හා ගිය හමුදා අණදෙන නිළදාරී මහතා දුටු විගසම " --- මාමා" යනුවෙන් හඬ නගමින් පැමින අප හට ආයුබෝවන් කීවෝය.  ඔවුන් වෙනුවෙන් ඉදි කළ කෝවිලේ වැඩ දැන් නිමවී ඇත. අවට ඇත්තේ ඉතා පිරිසිඳු බවකි. තමන්ගේ දරුවන් හා සමානව අන් දරුවන් ගැනත් සිතන්නට පුළුවන් අය සිටින්නේ බොහොම අඩුවෙනි. එවන් ආදරයක් කරුණාවක් මේ දරුවන් වෙත ලබාදෙන හමුදාවේ මාමලා අයියලා, මල්ලිලා සැවොම ඇත්තටම මේ ප්‍රදේශයේ මිනිසුන්ගේ හිත්වල ලියන්නේ මිතුරුදම සහ සහෝදරත්වයයි. ආයෙත් සහෝදර ජාතියක් වෙනුවෙන් වෛරය හිතන්නට ඉඩක් නොතියන්න එයම මහෝපකාරී වෙනවා ඇති.  දුර බැහැර සිට බොහෝ ලෙංගතුව එවනා මේ තෑගි සියල්ල නිසි තැනට ලබා දීමට ඔවුන්ගේ සහයෙන් හැකිවෙනවා ඇති. (ඒ විස්තරත් රැගෙන නුදුරු දිනකම යළිත් ලියන්නට බලාගෙන සිටිමි.)

Thursday, November 22, 2012

පිටරට ගිය දරුවන් සහ වත්ත පහළ මහළු මඩම...

Love them and care for them now... cause you will miss them once they are gone !

රෝහලෙන් පිටත ......
දන්නා හඳුනන අයියා කෙනෙකුගේ අම්මාගේ මරණයෙන් පසු තුන් මාසේ දානය, අපිත් සහභාගි වුනා. දානය අවසානයේ මතක වස්ත්‍ර පූජාව සහ පැන් වඩද්දී දුටුවේ මේ අම්මාගේ අනික් දරුවන් කිසි කෙනෙක් නෑවිදින් සිටීමයි. දරුවන් හත් දෙනෙක් වදාපු අම්මා මියෙනතුරු රැක බලාගත්තේ ලොකු පුතා හෙවත් අර අඳුරන අයියා සහ ඔහුගේ බිරිඳ, ඒත් මැරුණාට පසු දේපල බෙදාගන්න ආවේ ඈතින් ඉඳගෙන තමන්ගේ පවුල් ගොඩනගමින් සිටි අනෙක් දරුවන්. ඒ වෙනකොට මේ දේපල නොබෙදා තිබුන හෙයින් ඔවුන් දොස් පරොස් වී ගොස් තිබිනි. අන්තිමට අම්මාට මතක පැන් වත් කරන්න හිටියේ එකම එක දරුවයි. ඔහු පැවසුවේ ඒ වන විට සන්තක එකම දේපල වන ඔවුන්ගේ නිවස අම්මාට පිං පිණිස පන්සලකට පූජා කරන බවය.

හැම දාම වත්ත පහළට වෙන්න පිහිටි අල්ලපු ඉඩමක ඇති මහළු නිවාසයේ තනි කර දමා ඇති මහළු මව්වරු ඇවිදිනු දකින වාරයක් වාරයක් පාසා පපුවට සියුම් දුකක් ඇති වෙයි. අද මේ නිවසේ තනිව ඇති සැමියාගේ මව ද මමද ගෙයි පිටිපස්සේ පිහිටි බංකුවේ ඉඳගෙන "අනේ පව් ඒ අය..." කියමින් ඔවුන් ගැන දොඩමළු වෙමු. ඇයටනම් ඇගේ එක් පුතෙකු හෝ නිවසේ සිටින නිසාත් නෑදෑ හිතමිතුරන් නිරතුරු යන එන නිසාත් පාළුවක් නොමැත. එහෙත් මා රැකියාව කරන කාලයේ නම් ගෙදර කිසිවෙකු නැති හෙයින් බොහෝ පාළු බව වැටහේ. අපි පහළ ඉඩමේ නවතා ඇති කාරය දෙසද ඒ දෙසට පැමිණ "අනේ මාව ගෙදර අරන් යන්න පුතේ... " කියමින් වැඳ වැටෙන මහළු මව දෙසද බලා සිටින්නෙමු. "අනේ අර ගෑණු කෙනා අදත් අඬනවා" අම්මා (සැමියාගේ මව) පවසයි.
"මොන හිතකින් ඔහොම දාලා ගිහින් ඉන්නවද දන්නේ නෑ" මට හිතෙයි. අපිට නම් අපේ දෙමාපියන්ට එක් දිනක් හෝ කතා නොකර සිටින්නේ කොහොමද ? නොදැක ඉන්නේ කොහොමද ? සොයා නොබලා ඉන්නේ කොහොමද ? ඇතැම් විට බිරිඳගේ කීම නිසා පවුල රැකගන්න ඔවුන් මෙලෙස තම මවට නොසලකා ඉන්නවා විය හැක. එසේ සිටින පුතුන් ඕනෑ තරම් දැක ඇති නිසා එසේ වීම පුදුමයකුත් නොවේ.

ඊළඟට සින්නම්මා සිහිවේ.වැහි වැඩි කාලෙට මොකක් හෝ බොරු ලෙඩ ගොඩක් ඇද බා රෝහල් ගත වෙන ඇය එසේ එන්නේ ගෙදර කවුරුත්ම නැති නිසා ගංවතුරට බය නිසා යන්න දන්නේ අපි කාර් යය මණඩලය පමණි. ඇඳක් ඇත්නම් විගහින් පැමිණ අල්ලාගෙන සියලු සන්තක දේ ඒ යට ගොඩ ගහගෙන දින ගණනක් සිටින ඈ වැස්ස තුරුල් වීම හෝ වාට්ටුවේ කාර් යය මණ්ඩලය හා බහින් බස් වීම හෝ මේ මොන හේතුවක් නිසා හෝ ඇගේ කැමැත්තෙන්ම පිටව යයි. "මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා නෝනා. ඒත් මාව බලන්න එන්නේ නෑනේ. ඔක්කොම ඉන්නෙ කොළඹ. මමයි මහත්තයයි මෙහෙ තනි වුනා. අන්තිමට මම විතරයි ඉතුරු." ඇයට අනුව සියල්ලන්ම උසස් රැකියාවල නිරතවෙන්නන් ය.

 " මම දරුවන්ට හොඳට ඉගැන්නුවා. ඒකයි ඒගොල්ලො හොඳ ඉහළ රැකියා කරන්නේ. ඉගැන්නුවේ නැත්නම් අදත් ඒගොල්ලො මෙහෙ කොහොම හරි කුලී වැඩ කර කර හරි ඉන්නවනේ" ඇය දුක්බරව පවසයි. "ඒත් ඉගැන්නුව එක හොඳයි නේද නෝනා" ඇය අසයි.

 විටෙක දරුවන් මෙහි ඈ සමග නැති වීම ගැන දුක්වෙයි. විටෙක දරුවන්ගේ දියුණුව ගැන පුරසාරම් දොඩා ඇය සතුටු වෙයි. "අඩු තරමේ මේ තරම් උසස් රැකියා කරන දරුවන්ගෙන් එකෙකුට බැරි උනාද මේ අම්මට ඇඳුමක්, කෑමක් , හරියට ඉන්න සල්ලි ටිකක් එවන්න " අපේ ජේෂ්ඨ වෛද්‍යවරයා කියයි.

 ඇත්ත... ඔවුන් තම හර්ද සාක්ෂියට පිටුපා සැපසේ සතුටින් ජීවත් වෙනවා වන්න පුළුවනි ... නමුත් යම් දිනක තම මව විඳි දුක් කරදර මතකයට නැගි කලෙක ඔවුන්ටම ජීවිතේ බොහෝ පසුතැවිලි වන්නට සිදුවෙනවා ඇති. මා කාලෙකට ඉහතදී සේවය කළ මානසික සෞඛ්‍යය ඒකකය මගින් බොහෝ මහළු නිවාස වලට මාසික සායන සඳහා අපව යොමු කෙරිනි. මේ සියල්ලන්ගේම වූයේ යුද්ධයෙන් පසු ඉතිරි වූ වයස්ගත වූවන් සහ දරුවන් අතහැර දැමූ මහළු අම්මලා තාත්තලා. ඔවුන් බලන්න වෛද්‍යවරු එනකම් ඔවුන් කල්ගත කලේ නො ඉවසිල්ලෙන්... ඒ අප ඔවුන්ගේ දරුවන් සේ සිතා අප සමග විහිළු තහළු කරන්නත් අපට අවවාද දෙන්නත් ඔවුන්ට ඉඩ කඩ තිබුනු නිසාය. එසේ සිටි බොහෝ අය ඒ පොල් අතු නිවස්න වල සැප පහසුකම් අඩු ඇඳන් වල වැතිර සිටියේ බොහෝ අසරණවය.

 "මේ අයගේ දරුවන් ගොඩක් ඉන්නේ පිටරට... අඩු තරමේ එක දරුවෙක් ඩොලර් සීයක් එව්වනම් දරුවො පස් හය දෙනෙක් එකතු වුනොත් තමන්ගේ දෙමාපියන්ව හොඳ ගෙදරක , අත් උදව්කාරයෙක් එක්කම තියන්න පුළුවන් නේද ? ඒ අතින් නම් හරිම මෘගයි මේ දරුවන්. ෂික් ..." අපේ ජේෂඨ වෛද්‍යවරයා එසේ ගෝනි කඩමාල්ලක වැතිර සිටි අම්මෙක් පෙන්වා පවසයි. ඇයගේ දරුවන් සියල්ලෝම සිටින්නේ පිටරට ය.

ඒ අතර ඔහු රෝහලේ හතර වෙනි තට්ටුවෙන් වාහනය නැවැත්තුවේය. මහා වැසි මැද්දේ අප බැස ගතිමු. වාහනය පාක් කරන්න තිබුනේ ඊටත් ඉහළ තට්ටුවේය. ඔහු වාහනය පාක් කර පැමිණියේය. ඉන්පසු රෝගීන්ගේ පෝලිමේ ඔහු සිටින අතර මමත් අම්මාත් (ඔහුගේ මව) හිඳගෙන සිටියෙමි. ඊළඟට රසායනාගාර වාර්ථා ගැනීමට ඔහු නැවත පහළට දුවද්දී අප හෙමින් ලිෆ්ට් එකේ ගියෙමු. ඒවා ට රුධිරය දීමට අම්මා එක්කගෙන ගොස් නැවත අප පළමු තට්ටුවේ සිටියදී ඔහු පස්වන තට්ටුවට දිවගොස් වාහනය ගෙන ආවේය. අධික වැසි සහිත වූයෙන් අප වාහනයට ගොඩ වූයේ අමාරුවෙනි. "ඔයා හිටියේ නැත්නම් මම වෙනදට හැම දේම තනියමනේ කරන්නේ " ඔහු පැවසීය.
ඔහු සැම විටම අම්මා කැමති කෑම බීම සොයා බලා ගෙනවිත් තබයි. "පව් අම්මා, අපි පොඩි කාලේ අපිට හැම දේම ඉල්ලනකොට හදලා උයලා දුන්නනේ." ඔහු පවසයි.

" කාගෙවත් උදව් ඉල්ලන්නේ නැතිව අම්මව බලාගන්න එකත් අම්මාගේ සියලු දේ සොයා බලා කරන එකත් ලොකු පිනක් ! ඒ අතින් ඔයා උතුම් මනුස්සයෙක් !
මම ඔහුට නිරන්තරයෙන් පවසමි. දෙමාපියන්ගේ අගය නොදන්නා, ඉන්න ටික කාලයකට හෝ ඔවුන් සන්තෝෂ නොකර දුක් දෙවන , මහළු මව් පියන් අත හැර දමා තමන්ගේ සුඛවිහරණය ගැන පමණක් හිතන මහ ආත්මාර්ථකාමී මිනිස්සුන් පිරුණු ලෝකෙක ඔහු ඉතා සොඳුරු මනුස්සයෙක් වන්නේ එහෙයිනි !

Wednesday, September 26, 2012

අනේ අම්මේ බොන්න එපා ! ඒක වීරකමක් නෙමෙයි


"මම කවුද කියලා දන්නව ද ?" එහෙම ඇසුවේ උදෑසන සායනික වටය අවසාන වෙත්ම අප වෙත එවා තිබූ කායික වෛද්‍ය වාට්ටුවේ නේවාසික රෝගී තරුණයෙක් ගෙන්. ඊට කලින් දින කිහිපවිටක් ඔහු පරීක්ෂා කර බලා තිබුනත් ඔහුට අප ගැන මතකයක් තිබුනේ නෑ. ඔහු අප මුහුණ වත් නොබලා බිම බලන් සිටියේය.  මට ඊට දිනකට කලින් මහ පාන්දර ලැබුනු ඇමතුමෙන් කියවුනේ අසාමාන්‍ය ලෙස හැසිරෙන බොහොම කළහකාරී තරුණයෙක් කායික රෝග වාට්ටුවේ ඇඳක බැඳ දමා දැන් සිටින නිස හැකිනම් පැමිණ බලන ලෙසය. මා ගොස් බලන විට කිසිවෙකුටත් ළං වීමටවත් නොදෙමින් ඔහු ගස් බැඳි වන සතකු මෙන් ඇඳෙ ඒ මේ අත දඟලමින් සිටී. කටින් පිටවෙන්නේ කිසිවෙක්ට අහන්නට බැරි නරක වචනය. මා දමිළ බසින් එම වචන නොදැන සිටි නිසා තේරුනේ නැති නමුත් පසුව මිස් කෙනෙකු කීවේ බොහොම නරකම වචන ඔහු කී බවය. පිරිමි සේවකයින් දෙදෙනෙකු වැර වීරියෙන් ඇඳට ඔබා සිටි ඔහුට නින්ද යෑමට එන්නත් දී පරීක්ෂා කර බැලුවෙමි. ළඟින් වෑහෙන්නේ අධික මත් පැන් ගඳකි. බිරිඳ යැයි කියන තරුණිය කියන්නේ රට ගිහින් පැමිණියාත් හරි නිතරම මෙලෙස මත්පැන් සාද පවත්වන බවය. තවම තරුණ වියේ සිටින මොවුන්ගේ ජීවිත මත්පැන් නිසා අසරණ වී ඇත.  මත්පැන් මත් ද්‍රව්‍ය ගැන වෛද්‍යවරු බහුතරයක් සිටින්නේ ඒවා හොඳ නැත යන ස්ථාවරයේය. රතු වයින් සහ ඇල්කොහොල් යම් පමණකට ශරීර සෞඛ්‍යයට හොඳ යැයි කියවෙන නමුත් ඒ ප්‍රමාණය ගැන හැඟීමක් නැතිව පමණ ඉක්මවා පාවිච්චිය මගින් බොහෝ කරදරකාරී තත්ව ඇති වේ.
 බීමට ගිජු කෙනෙක් වෙත්නම් සමාවෙන්න මේ පහර ගහන්නේ ඔබේ ඒ නරක පුරුද්දටයි.

එකී තරුණයාම දිනකට පසු සම්පූර්ණ වෙනස් මනුස්සයෙක් බවට පත්වී ඇත. මට අඳුරගන්නටත් බැරි විය. "අපිව මතකද ? " නැවත වෛද්‍යවරු වන අපි ඇසුවෙමු. "නෑ ඩොක්ටර් මට මොකුත් මතක නෑ" " ඔබ හිටියේ දැඩි ලෙස ජීවිත හානිකර තත්වයකයි.ඒ අවස්ථාවේ නිසි ප්‍රතිකාර ලැබුනේ නැත්නම් ඔබ මරණයට පත්වෙන්න පවා පුළුවන් බව ඔබ දන්නවා ද ? " අපි ඔහුට delirium tremens යනුවෙන් හඳුන්වන එම තත්වය පැහැදිලි කර දුන්නෙමු. අධික ලෙස බීමට ඇබ්බැහි වූවන් එක දිගට මත්පැන් පානය කර අවස්තාවේදී, ඉන් මිදී ඉන්නාවිටදි ඇතිවන තත්වයකි. ඒ ගැන වැඩිපුර දැන ගන්න උවමනා නම් මෙතැනින් කියවන්න.   (Delirium tremens is mainly caused after a long period of drinking, being stopped abruptly and experiencing withdrawal, leading to the biochemical regulation cascade.) 

නැවත ප්‍රකෘති තත්වයෙන් පසු වූ ඔහු අපට පැවසුවේ මේ කරදරකාරී බීමත්කමින් මිදීමට ඕනෑ බවත් එය නිසා හානි වූ ඔහුගේ ජීවිතය යතා තත්වයට පත් කරගැනීමට අවශ්‍ය බවත්‍ ය. සති දෙකක් පමණ ඉන්පසු මානසික සෞඛ්‍යය ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ගත් ඔහු නැවත ගෙදර ගියේ අලුත් මිනිසෙක් ලෙසය. 

මෙවැනි රෝගීන් අනන්ත අප්‍රමාණ ලෙස මා දැක තිබෙනවා. ඔවුන් සියල්ලන්ටම ඇත්තේ එකම නිදහසට කාරණාවකි... ඒ ඇබ්බැහිවිමය. මේක නැතුව වැඩක් කරන්න බෑ යන තත්වයට ඔවුන් පත්වී හමාරය. 

පිරිමි පමණක් නොවේ අධික ලෙස බීමත් වී සිටි ගැහැණුද හමුවී තිබේ. හත්දරු මවක් වන එක් කාන්තාවක් අප ඒකකයටපැමිණියේ අධික ලෙස බීමත්වය. නමුත් කණගාටු දායක දෙය නම් ඇය ඒ වන විට ගැබිණියක වීමය. ප්‍රසූති වේදනා සමග ඇය පැමිණි අතර කටින් වහනය වුනේ මත්පැන් ගඳය. ඇය කැටුව ආ සැමියාද සිටියේ බීමතිනි. අපට අනේ අපොයි කියැවිනි. ඒ මදිවාට දරුවා ප්‍රසූති කරන තෙක් බලා සිටියදී කුස තුල සිටි දරුවාගේ තත්වය බැරෑරුම් වුන නිසා සිසේරියන් සැත්කමක් කරන්නටද විය. 

ඔබ අසා ඇති  fetal alcohol syndrome( is a pattern of mental and physical defects that can develop in a fetus in association with high levels of alcohol consumption during pregnancy )  යන තත්වය. 

මෙය ලංකාවේ නම් ඉතා අඩුවෙන් දක්නට ලැබෙන සිදු වීමක්. මන්ද අප රටේ ස්ත්‍රීන් අතර මත්පැන් භාවිතය එතරම් වැඩි නැති නිසා. මෙවැනි දරුවෙකුගේ මානසික සහ කායික වර්ධන දුර්වලතා ඇතිවන්නේ කුස තුල වැඩෙන කාලයේ පටන්. එහෙම වෙන්නේ, මව දරුවා කුස තුල වැඩෙන කාලයේදී අධික ලෙස මත්පැනි පාවිච්චි කිරීම නිසායි. වැදෑමහ සහ මවගේ රුධිර සංසරණය අතරින් මත් පැන් මත් ද්‍රව්‍ය ඉතා පහසුවෙන් දරුවා වෙත ළඟා වන හෙයිනි. මොළයේ හා ස්නායු පද්ධතියේ වර්ධනයේ සහ ක්‍රියාකාරිත්වයට මෙන්ම මාංශපේෂි වල වර්ධනයටත් ඉන් හානි සිදු වෙනවා. තවද දරුවාගේ බාහිර ස්වරූපයෙත් ඉහත රූපයේ ආකාරයට ඇතැම් වෙනස්කම් ඉස්මතුවී පෙනෙනවා. 



මා කායික රෝග වාට්ටුවේ සීමාවාසික වෛද්‍යවරියක් ලෙස සේවය කරද්දී පාරේ වැටී සිහි නැතිව සිටියදී පොලිසිය විසින්ගෙන ආපු අම්මා කෙනෙක් සමග සිටියේ අවුරුදු එකහමාරක පමණ දරුවෙක්. ඒ අම්මා අධික බීමතින් සිහි මුර්ජාවී සිටි අතර දරුවා කිළිටි කඩමාල්ලක ඔතා සිටියා. දරුවා ඉක්මනින් ළමා වාට්ටුවට ඇතුලත් කර ඇය සතුව තිබූ බෑගයෙන් කඩදාසි මල්ලක් අපට ලැබුනා. එහි වූයේ ඇගේ දරුවාගේ හර්ද සැත්කම් කරපු බව සඳහන් කාඩ් සහ ඒ සඳහා බෙහෙත් අවශ්‍ය බවත් කියමින් හිඟාකන්නට යොදාගන්නා ලිපි ලේඛන වගයකි. දරුවා පරීක්ෂා කර බැලූ අපට එය සත්‍ය බව වැටහුනේ ඔහුගේ ළය පුරා තිබූ හර්ද සැත්කමින් පසු ඉතිරි වන විශාල කැලල දුටු විටයි.  ඒ දරුවාගේ මුහුණේද ඉහත සඳහන් කල fetal alcohol syndrome රූපයේ දැක්වූ ලක්ෂණ තිබුනා. 

පසුව ඒ අම්මා සිහි ආ විට අප සමග පැවසුවේ දරුවා ලැබෙන කාලයේ නොව ඊට පෙර සිට පවා ඇය මත්පැන් පමණක් නොවේ ඊට වඩා දරුණු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි නිසා. දැන් දරුවාගේ රෝගයේ ලිපි ලේඛන පෙන්වා ඒ සඳහා සල්ලි හොයාගන්නා බවය. ඒ දරුවා හොඳට වැඩී තිබුනේ නැත. මෙවැනි කතා ඕනෑ තරම් අප වාට්ටු වලින් ඇසේ. ජොයින්ට් එකක්, මලක් , දුම්වැටියක් වයින් බිඳක් කිව්වට මේ සියල්ලන්ගෙන්ම ඔබට පමණක් නොව ඔබේ දරුවාටත් හානි විය හැක. 

බොහෝ අය තමන් මත්ද්‍රව්‍ය මත් පැන් පාවිච්චි කරනවා පමණක් නොව එහි වින්දනය ගැන අන් අය වෙත ප්‍රචාරය කරන්න්නේ ඒක මහ ලොකු කමක්, වීරකමක් හෝ විප්ලවීය බවක් ඇති ලෙස අඟවමිනි. නමුත් යථාර්තය නම් ඔවුන් අඩු වයසින්ම රෝගීන් බවට පත් වීමය. එනිසා මත්පැන් මත්ද්‍රවය වලට ඔබේ ඇබ්බැහිවීමක් ඇත්නම් ඉන් මිදීම සඳහා සටන් කරන්න. ඒ සඳහා උපකාර ක්‍රමවේද හා වෛද්‍ය උපදෙස් සෑම රෝහලකම ඇති කායික හා මානසීක වෛද්‍ය ඒකක වලින් ලබා ගත හැකිය. මෙවැනි හානිදායක පුරුදු වලින් මිදුනොත් ඔබ සැබවින්ම වීරයෙක් ! විශේෂයෙන්ම දරුවෙක් ලැබෙන්න  ඉන්න අම්මා කෙනෙක් කොයි තරම් නම් ප්‍රවේසම් වෙන්න ඕනෙද කියා ඔබ දන්නවා ඇති. නිරෝගී දරුවෙක් බිහි කරන එක මවකගේ යුතුකමක්. ජාන විකෘති වලට අමතරව මවගේ නොහොබිනා ක්‍රියා නිසා දරුවන්ට මන්ද මානසික තත්ව ඇති වුනොත් එය කෙතරම් වේදනාකාරී ද ? 

image credit :
Drunk Pregnancy. Under Arrest. ( http://mindforums.com/38 )
Pubmed article : Alcohol and pregnancy  http://www.ncbi.nlm.nih.gov/pubmedhealth/PMH0004694/


Thursday, September 13, 2012

ඇමෙරිකාවෙන් ඇඳුම් සහ එකම ඇඳුම සෝදන්න සැත්කමෙන් පසුඇඳෙන් බැස්ස හැටි.....


ලියන්නනම් බොහෝ දේවල් තිබුනත් ඉක්මනින් ලියා ගන්න බැරි වුනේ කාර් ය බහුල කම නිසා. ඒ ගැන සමාවෙන්න.
මතකනේඉහළ වෛද්‍යවරයෙක්ගෙන් " විහින් මැරෙන්නෙ නැතිව රාජකාරිය විතරක් කරන්න කියලා අහගත්තා..." ඒ උනත් කවදාවත් පාඩම් ඉගෙන ගත්තේම නැති තරම්. කෙනෙක්ගේ අපහසුකම් අභියස අපේ හිත් උණු වෙන්නේ අර පරණ අත්දැකීම් සියල්ල අමතක කරමින්...

අපේ වාට්ටුවට නිතර එන යන අවුරුදු 3ක මල්ලියෙක් හිටියා. ඔහුගේ නම ඇහුවට හැමදාම කිව්වේ "තම්බි" කියලයි.දෙමළෙන් තම්බි කියන්නේ මල්ලි නේ ... ඒකයි අවුරුදු 25ත් පැනපු ඇන්ටිලා අන්කල්ලා වන අනිත්කොණේ අපි එයාට තම්බි කිව්වේ. ඔහුගේ මව මානසික රෝගයකින් පෙළෙන්නියක්. අනිත්කොණ රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයට මේ මව පැමිණෙන්නේ ඇගේ සිව්වෙනි දරුවා ලැබෙන්න ඉඳෙද්දි. වැරහැලි කඩමාලු වෙච්චි ඇඳුම් ඇඳගෙන පැමිණෙන ඇය සමග මේ 3 හැවිරිදි දරුවාත් පැමිණෙයි. රාත්‍රියට වාට්ටුවේ කොණක රෙද්දක් එලා නිදියන්න දෙන මේ දරුවා දැක්කම අපි කොහොම හරි ඇඳක තියෙන මෙට්ටයක් බිමට දාලා දෙනවා. කොහොම හරි, කොච්චර කිව්චත් දරුවා එක්කරගෙන එන්න එපා කියලා වාට්ටුවේ නතර වෙද්දී මේ අම්මා දරුවා දමා එන්න තැනක් නෑ කියලා කියද්දී අපටත් කියන්න උත්තරයක් නැති තරම්.

කොහොම හරි පසුගිය දවසක ඇය ආවේ අපි දන්නා හඳුනන තම්බිත් කැටුව. මේ මල්ලියා අතේ නිතර දකින කහ පාට බෑග් එක තිබුනා , හැම රෝහල් ගතවීමකදීම ඇඳගෙන එන කුණු නාවර පෙරුනු කළිසමත් ඇඳගෙන හිටියේ. ඔන්න ඉතින් අම්මා ප්‍රසව වේදනා එක්ක ආපු නිසා පුතාව ලේබර් රූම් හෙවත් ප්‍රසූතිකාගාරයේ දොර ළඟ නවත්වා ඇතුලට ගියා. අපේ මේසය දිහා පොඩි එකා බලන් හිටියා ඉතින් දැං මම මොකද කරන්නේ කියා අහනවා වගේ. අපි ඔහුට ඉඳගන්න පුටුවක් දුන්නා අපේ මේසය අසලින්ම ඉඳගත්තා අර බෑග් එකේ ගල් කැට කීපයක් ටොපි කොළ ප්ලාස්ටික් බෝතලයක් පමණක් තිබුනා. අපේ වාට්ටුවේ නර්ස් මිස්ලාත් මිඩ් වයිෆ් මිස්ලාත් ඇසූ විට තවම දවල්ට කෑවේ නැති බවත් කීවා. දහවල් අනෙක් රෝගීන්ට ගෙනෙන රෝහල් කෑමෙන් ස්වල්පයක් ඔහුට ලබා දුන්නා. කිසි කරදරයක් නොකර පැත්තකින් ඉඳගෙන කෑවා. වාට්ටුව පුරා දුවන අම්මා ඉල්ලමින් කෑ ගසන අනෙක් දරුවන් එක්ක සසඳනවිට මොහුගේ තිබුනේ සැබෑ තැන්පත් බවක් මතක තියාගන්න මොහු අවුරුදු 3 ක කුඩා දරුවෙක්.

 හවස 4 වෙන විටද මව එළියට පැමිණියේ නෑ. එක කාරුණික මිඩ් වයිෆ් මිස් කෙනෙක් සමග අනෙක් වාට්ටුවටද ගොස් පැමිණි ඔහුට දැන් බිස්කට් කිහිපයක් ලැබී තිබුනා. අපි තේ බොන විට ඔහුටද තේ එකක් ලබා දුන්නා. වෙන ඇඳුම් තිබේදැයි ඇසූ විට අපට ලැබුනේ නැහැ යනුවෙනි. ඇතුලත දරුවා ලැබෙන්න ඔන්න මෙන්න සිටි ඔහුගේ මවද කීවේ වෙන ඇඳුම් නොමැති බවයි. දැන් ඉතින් මොනවා කරන්නද... අපේ කාරුණික මිඩ් වයිෆ් සොයුරිය කීවේ, "වෙන ඇඳුමක් තිබ්බානම් මේ නාවර පෙරන් ඉන්න පැංචාව මම නාවනවා ඩොක්ටර්" කියලයි.

ළමා වාට්ටුවට කතා කර බැලුවෙමු. එහිද ළමා ඇඳුමක් නොමැති බව කී අතර වෙන ඉල්ලාගන්න තැනකුත් නැති හැඩයි. මෙහි පැමිණෙන බොහෝමයක් මව්වරු බොහෝ දුප්පත් නිසා කාගෙන් ඇහුවත් ලැබෙන්නේ නැත යන උත්තරයයි. තවත් සිතමින් කල් ගත කළ නොහැක. තම සිව්වන දරුවාද ප්‍රසූත කළ මව අපට පැවසුවේ අළුත උපන් බිළිඳාට ඇන්දවීමට ඇඳුමක් වත් තමා ළඟ නැති බවයි.ඒ මවටවත් ඇඳුමක් නොතිබි හෙයින් ලෙයින් තෙත්වූ ඇඳුම් ඉවත් කොට අප වාට්ටුවේ තිබුනු බෙඩ් ෂීට් එකක් ඇයට දුන්නේ රෙද්දක් ආකාරයෙන් ඇඳීමටය.  මට අනේ අපොයි කියැවිනි. අපේ සමහර දෙමාපියන් තමන් ලැබෙන්න ඉන්න දරුවාට අවශ්‍ය කළමනා ඇඳුම් සියල්ල ලෑස්ති කරන්නේ ඉපදෙන්න මාස ගණනාවකට කලිනි. අධික දුප්පත්කමද, මානසික අවුල් වියවුල් නිසාද මොවුන් මෙලෙස අසරණ වී ඇතැයි සිතේ.

A9 මාර්ගයෙන් එපිට ඇත්තේ ඇඳුම් කඩයකි. එහෙත් සියල්ල ගිණි ගනන්‍ ය. නමුත් තවත් සීත සිතා ඉන්නට කල් නැත. කුඩයත් හෑන්ඩ් බෑගයත් ගත් මම කඩයට ගොස් කුඩා පැංචාට හරියන ජාතියේ කළිසම් දෙකක් සහ කමිසයක් මිළදී ගත්තෙමි. අළුත උපන් බිළිඳාට බිළිඳු ඇඳුම් අඩංගු කට්ටලයක් ගත්තෙමි. එවිට මතක් වුනේ... පසු ගිය දිනක මා විසින් සීසර් කරන ලද අවුරුදු 30 හැවිරිදි තවත් මවකි. ඇයගේද සැමියා ඇය දමා ගොස්‍ ය. අවුරුදු 13 ගැහැණු දරුවෙක් සිටී. මේ ලැබෙන්න ඉන්න දරුවා ඇගේ අනියම් පෙමක ප්‍රථිපලය. නමුත් ඒ පුද්ගලයාද දැන් ඇයව දමා ගොස් ඇත.  ඇගේ බලවත් කැමැත්ත නිසා අපි මේ දරුවාද සීසර් සැතකමක් මගින් පිටතට ගතිමු. ඉන්පසු පැය හතරකට පසු ඇඳ වෙත ගොස් බැලූ විට දකින්න ලැබුනේ  දරුවා පමණි. මව කොහිදැයි බලද්දී මූත්‍රා පිට වීමට දමා තිබූ බෑගයත් ඉනේ ගසාගෙන ඇය නාන කාමරයේ ඇඳුම් හෝදනවා දුටිමු. වෙන අම්මලාව සීසර් සැතකමින් පසු නැගිටවා ගන්නට මහත් පරිශ්‍රමයක් යෙදිය යුතු අතර බොහෝ කැක්කුම් නිසා ඔවුන් ඉතා අමාරුවෙන් කෙඳිරි ගාමින් පසුවෙයි. නමුත් ඇය ඇවිදගෙන ගොස් රෙදිත් හෝදයි. ඇයි මෙහෙම කළේ කියා ඇසූ විට කිවේ... එහා ඇඳේ අම්මා කෙනෙක්ගෙන් ඉල්ලාගත් ළදරු ඇඳුමක් පමණක් තිබෙන හෙයින් නැප්කින් එක සෝදා වියලා ගත යුතු බවය. මට බොහෝ දුකක් දැනිනි. අනේ අපේ සමහර මිනිස්සු ඇඳුම් නාස්ති කරන හැටියක්....~!
 මට රෙදි කඩයේදී ඇයවත් මතක් වුනි. ළදරු ඇඳුම් කට්ටල කිහිපයක් මිළදී ගත්තේ කොළඹින් ගන්නවාට වඩා තෙගුනයක් පමණ මිලක් ගෙවමිනි. ඉන්පසු ඒවා ගෙනැවිත් අළුත් උපන් බිළිඳුන් සහ මව්වරුන් සිටින වාට්ටුවට ගොස් , මල්ලීට ගත් ඇඳුම් සමග අවශ්‍ය හැමටම බිළිඳු ඇඳුම් ලබා දෙන්න යැයි මිඩ් වයිෆ් මිස්ට සහ නර්ස් මිස්ට බාර කලෙමි. ආපසු පිටව යද්දී මා දුටුවේ ඇඳ විට්ටමේ ඔළුව ගසාගෙන බිම බලාගෙන දුකින් සිටින කුඩා කොළු පැටියාය. "මොකද මේ දුකෙන් " මම ඇසුවෙමි. " අනේ මට ඕනෙ කළේ මල්ලියෙක් ඒත් අම්මා ගෙනත් තියෙන්නේ නංගියෙක්නේ " ඔහු සොවින් පැවසුවේය. අනේ පොඩ්ඩොන්ටත් හිතන්න තියෙන දේවල්.

බාහිරින් යම් උපකාරයක් මෙවැනි මව්වරුන්ට අවශ්‍ය හෙයින් අදාල තැන්වලට ලියා ඔවුන්ට උපකාර සහ ඇඳුම් පැළඳුම්ලබා ගන්නට මානසික සෞඛ්‍යය ඒකකය හරහා සූදානම් කළෙමි. මේ , මෙවැනි කතාන්දර සියයකින් එකක් පමණි. අනිත්කොණ විතරක් නෙමෙයි දිවයිනේ අගනුවර රෝහල වලත් මෙවැනි කතා ඔනෑ තරම් දුටිමි. මන්ද රජයේ රෝහල් කරා එන්නේ පුද්ගලික් සැප පහසු රෝහල් වලින් බෙහෙත් ගන්නට බැරි තරම් දුප්පත් මිනිසුන් නිසාය.

මව අළුත උපන් බිළිඳා සහ කුඩා දරුවා සතියක් පමණ අප වාට්ටුවෙ සිටි අතර අකුරු වත් නොදන්නා වැඩිය කතා බහ නොකර කුළෑටිව සිටි දරුවාට අපේ හෙදි සොයුරියන් සහ මිඩ් වයිෆ් මිස්ලා හැකි විටක අකුරක් දෙකක් කියා දෙනු, ලියන්නට හුරු කරනු දුටුවෙමු. අළුතෙන් ලැබුනු ටී ෂර්ට් කලිසම් ඇඳගෙන තම්බීත් බොහොම පිරිසිඳුව හිටියා. ආ අර සීසර් සැතකමින් පසු ඇඳෙන් බැහැපු අම්මා........, ඇය දරුවා හදා ගන්න බෑ කියා පරිවාස බාරයට දෙන්න ඕනෑ යැයි කීවා. නමුත් පරිවාසෙන් එනතුරු දවස් 5 පමණ දරුවා සමග ගත කල මව, "අනේ ඩොක්ටර් දවස් 5 මම කිරි දුන්නා, මට මගේ දරුවා දෙන්න බෑ , මම ගෙදර අරන් යනවා, කොහොම හරි හදා ගන්නවා" කියා දරුවා ගෙදර අරන් ගියාය. ඇයටද බාහිර උපකාර ක්‍රමයක් ඉස්පිරිතාලයේ මානසික සෞඛ්‍යය ඒකකය මගින් සකස් කර තිබුනි.

 මගේ මේ කතා මුහුණු පොත හරහා දුටු , ඇමරිකාවේ සිටින ඥාතී අයියා විසින් බොහෝ ළමා ඇඳුම් සහ කුඩා මේස්කුට්ටම් විශාල ප්‍රමාණයේ තොගයක් එවා තිබුනි. "අපිට නම් කොහොම හරි ගන්න පුළුවන් මේවා අනිත්කොණට අරන් යන්න "කියමින් ඒවා දුටු  බබෙක් ලැබෙන්න සිටින තව ඥාතී සොයුරියක් පවා ඒවා නොගෙන මා වෙත ලබා දුන්නේ, මේ කතා වලින් සසල වූ ඔවුන්ගේ හදවත් වල ඇති කාරුණික බව සහ මිනිස්කම නිසාය. සාරියක් ගන්නට ගිය පිටකොටුවේ සාරි කඩේ දමිළ පිරිසද අනිත්කොණ තොරතුරු දැන් කොහොමද කියා අසා රෙදි කච්චි කිහිපයක් එහෙට එවන්නට පොරොන්දු වුනේ ඔවුන්ට හැකි පමණ මේ වැසියන්ට උදව් කරන්නටය.
කන්නට බැරි කේක් තට්ටු පිට තට්ටු හදන්නට රුපියල් තිස් දහ, පනස් දහ වියදම් කරන අප රටේ තරුණ තරුණියන් සිතා බැලිය යුතු කාරණා බොහෝමයක් තිබේ. ඒ දරිද්‍රතාවයේ අන්තිම අඩියේ සිටින මිනිස්සුද බොහෝ මේ මහ පොළව මත ජීවත් වෙන බවය. එය ඔවුන්ගේ කර්මය කියා හිත හදාගන්නවා වෙනුවට අපේ කර්මය ගැන හිතා පුළුවන් උපරිමයෙන් උදව් කිරීම වටිනවා යැයි සිතේ. මේවා ලියන්නේ ලොකු කමකට නොව, මෙවැනි ජීවිත මේ මහ පොළව මත තිබෙන බව කියා දෙන්නටය.

Sunday, July 29, 2012

විහින් මැරෙන්නේ නැතුව රාජකාරිය විතරක් කරන්න !



නොලියූ කතා ටිකක්...

"අද ටිකක් කලින් අපට යන්න වෙනවා සර්." ස්නායු වෛද්‍ය විශේෂඥ තුමා වෙත එසේ කියද්දී ඔහු අප දෙස කණ්නාඩි කුට්ටමට යටින් බැලුවේ "මොකක්ද ඒ පාර" කියමිනි.

" සර් අපි හොයාගත්තා, ලොජ් එකක් තියෙනවා කියලා මේ අහවල් ගමේ. එතෙන්ට පොඩි කෙල්ලො කොල්ලෝ එනවලු. ඒකට විරුද්ධව මොකක් හරි කරන්න ඕනෙ නිසා පන්සලේ හාමුදුරුවන් හම්බුවෙන්න යන්න හදන්නේ අද හවස."

"අයිසේ මේ මම කියන්නේ නෑ ආයේ. මේ තමන්ට කරන්න පුළුවන් වැඩේ විතරක් කරලා නිකම් ඉන්න මේ නන්නාඳුනන පළාත් වලට ඇවිත් ගම් හදන්න යන්නේ. තමුන්ලා දන්නවද ඔය ඕවා කරන මිනිස්සු පාතාලේ එහෙම සම්බන්දකම් තියෙන උන් කියලා. පිස්සු නැතුව ඉන්ඩ. මම දැක්කා දෙන්නා තුන් දෙනා එකතුවෙලා බැහැගෙන අර  පොන්ඩ් එක සුද්ධ කරනවා ඊයේ පෙරේදා." සර් තරහ ගිහින් අපිට හොඳටෝම බැන්නා.

"ඔව් සර් අපි පේන්ට් කරා අළුතින් මාළු ගෙනත් දැම්මා" මේ බ්ලොග් එකේ කතා වලත් සිටින අපෙන් එකෙක් එහෙම කිව්වේ ඒකටත් බැනුම් අහගන්න වෙයි කියලා හිතාගෙන නෙමෙයි.

අපේ හිටපු ජේෂ්ඨයින් දෙදෙනෙක් හදපු ලොකු පොකුණ සුද්ධ පවිත්‍ර කර එයට අලුතෙන් මාළු පැටව් ගෙනත් දමා වටේ සිමෙන්ති බන්ට් එක වටේ තීන්ත ගෑවේ අපි වෛද්‍යවරු සේරම එකාවගේ එකතුවෙලා. 

ඊළඟට කොහොම හරි එදා අපි කරන්න ගිය වැඩේ නැවතුනේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ තුමාගෙන් බැනුම් සංග්‍රහයක් එක්ක ඒ රට හදන්න කලින් ජීවිතේ බේරගෙන වැඩ කරන්න ඉගෙන ගන්න කියලා.
අනිත්කොණ රෝහලට යන්න කැමැත්තෙන් ඇප්ලයි කරපු දවසෙත් ස්නායු වෛද්‍ය සර්ගෙන් බැනුම් ඇහුවේ ලොකු වැරැද්දක් ජීවිතේට එකතු කර ගත්තා වගේ.

"වෙන උන් ඊළඟ උසස්වීමට විශේෂඥයෙක් වෙන්න ඉගෙන ගන්නවා කොළඹ ඉඳගෙන ඉගෙන ගන්නේ නැතුව තමුන් තව ඈතට ගිහින් මොනවා කරන්නද යන්නේ?" ඔහු බොහෝ වෙලාවක් බැන වැදුනා. ඒ අරමුණක් නැතිව සිටි අපට. "හරි සර් ඈතට ගිහින් පාඩම් කරන්නම් මොකක් හරි" ඔහොම කියා යන්තම් ෂේප් උනා. වැඩ කරන අතරේ අපි කොහොම හරි ඊළඟ විභාගෙටත් පාඩම් කරා.

අනිත් කොණ රෝහලේ අඩුවක්ව පැවති ලොකු බුදු මැදුරක් නිර්මාණය කර ගොඩ නැගුවා. මහ විහාරේ හාමුදුරුවන් වහන්සේ ඒ කාලයේ හැමදාම බණ කියද්දී මතක් කරන්නේ "මං දවසක් මෙතැනට වඩිනකොට මේං මේ ගහේ නලාව එල්ලලා අපේ දොස්තර මහත්තුරු ටික උදළු අරන් හරි හරියට පස් කපනවා. සිමෙන්ති අනනවා. " කියලා.
බුදු මැදුර සහ මළුව හැමදාම හවස අතුගෑවේ හේදුවේ අපි දොස්තරලා. සමහරු හුඟක් දොස් කීවා. සුළු සේවකයින්ට ඒක කරන්න අණ කරන්නේ නැතුව ඇයි මෙහෙම නැහෙන්නේ කියලා. අපි හැමෝම මිනිස්සු. රැකියාවේ උස් පහත් බේද තිබුනත් මිනිස්කම අතින් හැමෝම එක වගේ විය යුතුයි. අනිත්කොණ වැසියන් අපෙන් දුටු දයාව කැපවීම සහ සහෝදරත්වය නිසා ඔවුන් අපට සැලකුවේ ඔවුන්ගේම පවුලේ අය වගෙයි. ඔවුන්ගේ ගෙදරක බණක් දානයක් වුනත් , කෝවිලක උත්සවයක් වුනත්, මගුලක් උනත් අපිට කියන සිරිතක් තිබුනා. කෝවිලේ හැදෙන පොංගල් බත වාට්ටුවේ හිර වෙලා ඉන්න අනිත්කොණ ඩොකාට අනිවාර් යයෙන් එවනවා. හරියකට උයා පිහන් කන්නේ නැති බව දන්නා සුළු සේවයකයින් , රෑට එයාලා හදන උප්පමා, ඉට්ලි වඩේ වගේ දෙයක් මටත් ඔතාගෙන එන සිරිතක් තිබුනා. ඒ කාලය මතක් වෙද්දී ඇසට කඳුළක් නැගෙනවා ඔවුන් මතකයට එන නිසා.
මේ කතා මේ ආකාරයෙන් ලියන්න පටන් ගත්තේත් අප ඒකක වල ප්‍රධානීන් වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතියෙන් සහ ආරාධනාවෙන්. මෙහෙමෙ ලියන්න තුන් හිතකවත් නොතිබුනා වගේම කතා ලියන්න පුළුවන් කියලා හිතුනේම නැති තරම් මොකද අවුරුදු ගණනාවක් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන් නේ.

අළුත උපන් දරුවාට අන්දන්න රෙදි කෑල්ලක් නැති අම්මලා දුටුවිට ගොස් තමන්ගේ මුදලින් බබා ඇඳුම් රෙදි ගෙන ආවේ අපට බොහෝ සල්ලි තිබෙන නිසා නොවෙයි. එවෙලේ අපි ඔවුන් කුමන ජාතියක කුමන ආගමක උන්ද කියා බල බල උන්නේ නැත. බස් එකට සල්ලි නැති අයට කාසි කීයක් හරි මිට මෙලෙව්වේ මනුස්සකමට හිත උණු වුන හින්දා. වාට්ටුවේ සිටින ඇතැම් රෝගීන් බත් කන්න බෑ කියා සිටිද්දී කාත් කවුරුත් නැති ඔවුන් හට ඉඳි ආප්පා රොටී හෝ ආප්ප මුලක් ගෙනත් දුන්නේ වෛද්‍යවරුන් කිහිපදෙනා මුදල් දාලා. ඒවට ඔය යුද්දේ තියෙද්දී මේ පැති වලට ඇදී ආපු ආධාර උදව් ආවේ නෑ කවදාවත් !

මේ බ්ලොග් එක ලියන්නට පටන් ගත්තේ 2009 අවුරුද්දේදීය. ඒ තවත් මෙලෙස ලියන වෛද්‍යවරුන් කිහිප දෙනෙකු නිසාය. ඔවුන් ලීවේ ඉංග්‍රිසියෙනි. සිංහලෙන් ලියූ අය ලියුවේ සායනික අත්දැකීම් නෙමෙයි කවි කතා ප්‍රබන්ද වගේ ඒවා.
එක් දිනක අප විශේෂඥ වෛද්‍යවරයා  විමසුවේ මෙහි සිටින දොස්තරලාගේ විශේෂ කුසලතා මොනවාද කියාය. අප සියල්ලන් උඩ බිම බැලුවේ සර් මොනවා අහනවාද කියාය. "ඔය චිත්‍ර අඳින. ලියන, සංගීතය කරන අය නැත්ද මේ සෙට් එකේ." සර් ඇසුවේය. මේ අනිත්කොණට පුළුවන් ලියන්න. ඒ වෙනකොටත් වාට්ටුවේ සියලු ලිපි ලේඛන සැකසුවේ මාය. "මෙන්න මෙයාලට ලියන්න පුළුවන් සර්." අපේ ජේෂ්ඨ අක්කලා අයියලා පැවසුවෝය. පසු දිනක සායනය අතර තුර අම්මා කෙනෙකු පෙන්වා ඔහු කීවේ මෙන්න ලියන්න හොඳ කතාවක් මෙයාගේ හිස්ට්‍රි එකේ තියෙනවා.
"සර් එතකොට ඒක එතිකල් නෑනේද. පුද්ගලික කරුණු ලියන එක".
එහෙම ඇහුවම සර් කිව්වේ "ඇත්ත තොරතුරු පල කරන්න එපා. කතා වගේ ලියන්න එතකොට ප්‍රශ්ණයක් නෑ.සමාජයට හානි දායක දෙයක් ලියන්නේ නෑනේ ඕගොල්ලො.අනිත් අයට ගත යුතු ආදර්ශ තියෙනවා. මේ වගේ මිනිස් ජීවිත තියෙන බව ලියන්න ඕනේ. ඒවගේම මෙහෙ මිනිස්සු සමග ඩීල් කරන විදිහ ලියන්න. ඒවා හානි දායක නෑ. කාගෙවත් පුද්ගලිකත්වයට හානි වෙන්නෙත් නෑ."
(සායන වල වෝඩ් රවුන්ඩ් එකේ, ගමේ අය සේරම ඉස්සරහ හිස්ටරි ගන්න වෙන අපට. එක මේසෙ  හතර පැත්තේ වෛද්‍යවරු හතර දෙනෙක් ඉඳගෙන ලෙඩ්ඩු බලන ක්ලිනික් තියෙන ලංකාවේ, දුෂ්කර ප්‍රදේශ වල තියෙන රජයේ රෝහල් වල පුද්ගලිකව මේ හැමෝම හමුවෙන්න තනි තනි කාමර නෑ. ලෙඩා කියන ඔක්කොම පෝලිමේ ඉන්න අයටත් වටේ ඉන්න අයටත් ඇහෙනවා. පොඩි දරුවන්ගෙන් සායනික ඉතිහාස ගනිද්දී බොහොම අමාරුයි වෙලාවකට අවට පිරිලා ඉන්න පිරිස නිසා. මේ තත්වය නැතිවෙන්න ගොඩක් කල් යයි. පුද්ගලික රෝහල් වලත් ,  පිටරටවලත් එහෙම නැති වෙන්න පුළුවනි. ඒ වගේ පහසුකම් ලැබෙන්න තව කාලාන්තරයක් යයි.)

 විශේෂඥ වෛද්‍යතුමා එහි නීතිමය සහ සදාචාරමය පැත්ත ගැන අපට කරුණු වටහා දුන්නේය. හැම ඒකකයකම ප්‍රධානී මෙන්ම විශේෂඥ වෛද්‍යතුමන්ලාගේ තුමියලාගේ අවසරය මේ සඳහා ලැබුනි. ඒ සියල්ලෝම මෙය කියවන බවද දනිමි. සමහරු ප්‍රින්ට් අවුට් අරගෙන තබාගෙන සිටිනු දුටුවා. නමුත් මට ලියන්න ලැබුනේ හෙමින්. ඉදිරියට ලියන්න හැකිවෙයිද කියන්න බෑ. සමහර විට හෙමින් හෙමින් ලියවේවි. ඒත් ප්‍රමාදය ඉවසමින්, කියවන හැමෝටම ස්තූතියි.

Wednesday, July 25, 2012

මම වහ බිව්වේ තාත්තා හින්දා කියූ ඇය අන්තිමට අපිවත් රැවැට්ටුව හැටි.


සුපුරුදු පරිදි අනිත්කොණ මනෝ වෛද්‍ය ඒකකයේ සිටියදී හවස් වරුවම ගත වුනේ අනෙක් වාට්ටු වලින් අප වෙත යොමු කරන රෝගීන් හෙවත් රිෆරල් බැලීමටයි. එහෙම වෙලාවට පුරුද්දක් වශයෙන් සිංහල රෝගීන් මා විසින්ද  දමිළ රෝගීන් දමිළ අයියා විසින්ද බලනු ලබන්නේ, වස බී හෝ පෙති බී හෝ ගෙල වැලලාගෙන හෝ ඔවැනි නොයෙක් ආකාරයට දිවි නසාගන්න තැත් කර බේරාගෙන කායික, ශල්‍ය වාට්ටු වල ප්‍රතිකාර කල තරුණ තරුණියන් බොහෝමයක් අප වෙත එවෙලාවට කවුන්සලින් හෙවත් උපදේශනය සඳහා යොමු කරන නිසාවෙනි. බොහෝ තරුණියන් පෙම් සබඳතාවලට පවුලේ විරෝදයට ප්‍රති උත්තර ලබා දී තිබුනේ දිවි නහ ගන්න ගිහින්. හුඟක් අය එහෙම කරන්නේ මැරෙන්න තියෙන උවමනාවටම නොවේ. අන් අය බිය වද්දා හෝ අනුකම්පාව ලබා ගන්නටයි.
වහ බීලා එන හැමෝටම වගේ මගෙන්නම් ලැබෙන්නේ පොඩ්ඩක් සැර උපදෙස් මාලාවක්. හොඳට තියෙන ශරීර කූඩුව නරක් කරගන්න හදනවා මෙන්ම රටට දැයට වැඩදායක යමක් කරන්න තරුණ ජීවිත කාලය යෙදෙව්වොත් හොඳයි නේද කියන එක මේ අයට ඒත්තු ගන්වන්න මම උපරිමයෙන් ක්‍රියා කරනවා.
එකළ බොහෝ විට පෙම් සබඳතා බිඳී පැමිණෙන්නන් මුහුණින්ම අපට කියන්නට පුළුවන් කමක් ලැබී තිබිනි. අවුරුදු 16, 17 වයස් වල ගැහැණු දරුවන් 3 දෙනෙක් පමණ අනිවාර් යයෙන් දිනකට එලෙස ඇඩ්මිට් වෙයි. එලෙස කෘමිනාශක වර්ගයක් බී දිවිනහගන්න ගිහින් හදිසි අනතුරු වාට්ටුවටත් එතැනින් කායික රෝග වාට්ටුවටත් ඇතුල් කළ ඇය අප වෙත උපදේශනයට එවා තිබිනි.

ඇය බොහොම පැහැපත් ලස්සන අවුරුදු 18ක් වයසැති ළමයෙක්. ඇඳ ඉහ පත හෙවත් BHT  එක සමග අප වාට්ටුවට එවා තිබුනේ වස බීමෙන් අනතුරුවයි.

“මොකද දරුවෝ මේ වගේ මෝඩ වැඩ කරගන්නේ ?” මම සුපුරුදු ලෙස කතා බහ ඇරඹුවෙමි.
“ඩොක්ටර් හිතනවා වගේ මෝඩ වැඩක් නෙමෙයි. මම වහ බිව්වෙ ප්‍රේම සම්බන්දතාවෙකට නෙමෙයි. අපේ තාත්තා හින්දා”
ඇය හරි වේගෙන් මුහුණට දමලා ගහන්නා වගේ ඒ කිව් කතාවට මට පුදුම හිතිනි.

“හරි එහෙනම් කියන්නකො බලන්න මොකෝ ආවේ කියලා.” මම ඇසුවෙමි.

“අනේ අපේ තාත්තා හරි වසයි ඩොක්ටර්. මගෙ ප්‍රශ්නෙකට තාත්තා මා එක්ක තරහ ගිහින් ඉන්නේ. තාත්තා මොනවා හරි කරගනියි කියලා මට බයයි එනිසා මම වහ බිව්වා. අපේ ගමේ කතාවක් ගිහින් මම කොල්ලෙක් එක්ක ලොජ් එකකට ගියා කියලා. ඒක බොරුවක් ඩොක්ටර්, මම එහෙම ගියේ නෑ. එයා එක්ක සම්බන්දතාවයක් තිබුනා ඒත් ගෙදරින් කැමති නැති නිසා මම ඒක නැවැත්තුවා. මට මේ අවුරුද්දේ ඒ ලෙවල් කරන්නත් බැරි වුනා ඒ නිසා. අන්තිමට ක්ලාස් යන එකත් ඉස්කෝලේ යන එකත් නැවැත්තුවා තාත්තා. මාව ගෙදරටම කොටු කරලා තියා ගත්තා.”

ඇය මා හමුවේ ඇගේ ප්‍රශ්න එකින් එක දිග හරින්නට විය.

ඊට පස්සෙ එයා එක්ක සම්බන්දයක් තිබ්බෙම නෑ . ගමේ හැම තැනම මට කතා හදලා.” 

එසේ කියූ ඒ ගැහැණු දරුවා මගේ පය පාමුළ වැටී

 “ අනේ ඩොක්ටර් මගෙ ටිකට් කපන්න එපා. මට ඉස්පිරිතාලේ ඉන්න දෙන්න අනේ ඩොක්ටර් , ගෙදර යැව්වොත් තාත්තා මාව මරයි. අනේ ඩොක්ටර් මාව බේර ගන්න” යනුවෙන් විලාප තියනන්ට විය. 
මෙය අදහා ගන්නට බැරි විය. අසළ සිටි හෙදි සොයුරියද ඇය වත්තම් කොට නැගිටුවා කෑ නොගසන ලෙස පවසනු ඇසිනි.

ඇය පැමිණ සිටියේ ඇගේ අම්මා සමගය. ඒ මව කියූ ආකාරයට ඒ පවුල ගමේ මොහොම නම්බුකාර ලෙස ජීවත් වෙන පවුලකි. ඇය ප්‍රේම සබඳතාවය පැවැත්තූ කොලුවා බොහොම දුප්පත්  සා පෙළ වත් පාස් නැති කෙනෙකි. ඉතින් මේ සම්බන්දතාවය දැන ගත් විගස ගෙවල් වලින් විරුද්ධ වී ඇය පාසැල් යාම පවා නවත්වා තිබිනි.

“ඉතින් දරුවෝ ඔයා එහෙම තැන තැන ගියේ නැතිනම් ඇයි තාත්තා මෙතරම් කෝපයෙන් ඉන්නේ”

“මම එයා එක්ක සම්බන්දේ නවත්තපු නිසා එයා ඉන්නේ තරහෙන්. එයා ගමේ කිය කියා ගිහින් මම ගමේ ඉන්නෙ හයි කාරයෙක් දණ ගැස්සුවා. දුවට මෙහෙම දෙයක් කලා කියලා. මටයි බෑණා කියන්න වෙන්නේ” කියලා.

“අනේ ඩොක්ටර් මෙයාගේ තාත්තා කියනවා ගෙදර එන්න එපා. ආවොත් අම්මවයි දුවවයි දෙන්නම මරණවා කියලා. මම මොනවා කරන්නද මේ දරුවෝ කරන දේ වලට.ගෙදර පොඩි උන් කෑවද දන්නේ නෑ. ඉස්කොලේ ගිහිනුත් නැතිව ඇති. ” අර අම්මා ඉකිබිඳ හඬයි.

“ගෙදරක වැඩිමහළු දරුවා හරියට හැදෙන්න ඕනෑ. එතකොටයි පවුලක් දියුණු වෙන්නේ. පිටිපස්සෙන් එන සහෝදරයින්ට  තමන් ආදර්ශයක් වෙන්න ඕනෑ. බලන්න හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයෙක් නේද. ඉගෙන ගෙන ඉහළට ගිහින් හොඳ රස්සාවක් ලැබුනම කාටවත් යටත් නොවී තමන්ගේ අම්මාට තාත්තාට සහෝදරයින්ට සලකගෙන ඉන්න පුළුවන්නේද?” 

ඇගේ සා පෙල ප්‍රථිපල ඇසූ මම ඇයට උපදෙස් දුනිමි. කිසිම දුකක් නොදී හදා වඩා තිබුනු මේ දරුවන්ට ගෙදරම සිටින අම්මා කවා පොවා සියළු වැඩපල කර දී තිබිනි.

මම නම් මෙවැනි කතා අනන්තවත් අසා කියවා ඇත ඒ ටෙලි නාට්‍ය වල සහ නවකථා වලය. කොහොම නමුත් මෙය බැරෑරුම් ප්‍රශ්ණයක් නිසා මම පසු දින අප විශේෂඥ වෛද්‍යරවරයා හමුවට ඔවුන් යොමු කළේ එම පියාටද අප හමුවීමට එන්නැයි පණිවිඩයක් යවමිනි.

“ඩොක්ටර්ට පිං සිද්ධ වෙනවා” ඇය නැවත ඇය සිටි වාට්ටුවට යද්දී එසේ කීවාය.
----------------------------------
පසුදින ඇය සහ මව පැමිණ වාට්ටුවේ උපදේශන ශාලාවේ එක කොණක සිටි අතර පියා අනෙක් කොණට වී අහක බලාගෙන සිටියේය. පළමුවෙන් අපි ඇගේ පියා සමග කතා කෙරුවෙමු.

“මට හිටියා ලොකු දුවෙක්. එයා දැන් මැරිලා. ඔය ඉන්න එකී ගෙදර ආවොත් මම මරණවා. අම්මවයි දුවවයි දෙන්නවම මරණවා. එහෙම නැත්නම් එයාලම දිවි හානි කරගෙන මැරෙන්න ඕනේ ඒකයි මගේ නියමය. එයාට වෙන දඬුවමක් නෑ”

මට කන් අදහා ගනන්ට බැරි විය. තමන් හැදූ දරුවෙකු ගැන පියෙකු එසේ කියයි නම් එය ඉතා ශෝකජනකය.

විශේෂඥ වෛද්‍යතුමාටත් අනෙක් ජේෂ්ඨ වෛද්‍යවරයාටත් ඔහුගේ හිත හදන්නට සමතයකට පත් කරන්නටම බැරි විය.

“ඔයාගේ දුව කියනවනේ එයා එහෙම දෙයක් කරේ නෑ කියලා. ඔයාට ඔයාගේ දරුවා විශ්වාස කරන්න පුළුවන් නේද” අපි ඇසුවෙමු.
“බෑ මට එහෙම දරුවෙක් නෑ.” ඔහු කුඩා දරුවෙක් මෙන් ඉකි ගසමින් හඬයි. පපුවට අත් ගසමින් හඬයි.

“ටිකට් කපලා එව්වොත් ගෙදර මම මරණවා අම්මවයි දුවවයි. අරූවයි ඔක්කොම මරලා මමත් මැරෙනවා එක්කෝ මම හිරේ යනවා” ඒ පියා ඒ වචන පෙළ පමණක් වරින් වර දොඩයි.

“හරි මහත්මයා එහෙනම් ගෙදර ගිහින් හෙට එන්න ආයෙම කතා කරමු.” අපි එසේ කියා පිටත් කර හැරියෙමි.
කායික රෝග වාට්ටුවෙන් ටිකට් කැපූ හෙයින් , ගෙදර ගියොත් මිනී මැරෙන බැවින් ඇය අපේ වාට්ටුවට මාරු විනි. හවස් වරුවේ නිදහස් නිසාවෙන් ඇය පැමිණ අපේ මේසය අසළ තිබෙන බංකුවේ හිඳගෙන ඇගේ දුක පවසයි.
“මට ඕනේ ඩොක්ටර් කිව්වා වගේ දැන් ඉගෙනීම හොඳින් කරගන්න. උසස් පෙළ මේ පාර ලියලා. කැම්පස් ගිහින් හොඳ රස්සාවක් කරන්න”

දින ගණනක් නිතර දෙවේලේ මම සහ හෙදි සොයුරියන් කළ දේශනා අසා අවසානේ, අනේ මේ දරුවා හරි පැත්තට වැටිලා නේද මටත් සිතුනි. දෙවෙනි තුන්වෙනි දින වලත් අර තාත්තා පැමිණ බැණ වැදී මරණ තර්ජ්න කර ගියේය. 

“ඩොක්ටර් විශ්වාස කරනවද ඔය කෙල්ල කියන ඒවා. බොරු බේගල් ඇද බාන්නෙ. බලන්නකෝ අන්තිමට අපිට බොරු කරන තරම” මැදිවියේ ඇටෙන්ඩන්වරිය සහ හෙදි සොයුරියන් නිතර මට අනතුරු ඇඟවීය.

 ඒ අතර නිතර අප නිදහසේ සිටින වෙලාවට ඇය පැමිණ මා සහ හෙද සොයුරියන් හා කතා බස් කර ජීවිතය ගැන බොහෝ උපදෙස් ලබා ගත්තාය. 

ඔය අතර අප විශේෂඥ වෛද්‍යතුමන් හා කතා බස් කර ඒ පියාද දිනෙන් දින දියණිය කෙරෙහි දයා හදවත් ඇත්තෙක් බවට පත් විය. අවසන හඬා වැටුනු ඔහු පැවසුවේ. පොලිස් පරීක්ෂණ ඉවර වෙලා අදාල පුද්ගලයා හිරේ ගිය පසු ඒ ගමේ ඉඩම් කඩම් විකුණා දමා වෙන පළාතකට ගොස් ඇය හා අනෙක් දරුවන්හට ඉගෙනීමට පාසැල් සොයා ඔවුන් හා හොඳින් ජීවත් වෙන බවය.

“මට දුක ඩොක්ටර් ඇහැක් වාගේ පරිස්සම් කරපු මගේ දරුවා විනාස කරපු ඒ කොල්ලා ගමේ තැන තැන කියනවා මම ගමේ හයි කාරයෙක් දණ ගැස්සුවා කියලා” ඒත් එහෙම කියුවත් පියා ඇගේ මුහුණ බලන්නට එකඟ නොවීය. එනිසා ඔහු පෙර දිනවල මෙන්ම ආ පාරෙන්ම හැරී ගියේය.

අපට බොහෝ සතුටු හිතිනි. සාර්ථක ලෙසින් ප්‍රශ්ණ විසඳෙද්දී ඇත්තටම ඒවා හොඳ අතට පත් කිරීමට දායක වීම ගැන සතුටු හිතිනි.

එහෙත් දින කිහිපයක් යාමට මත්තෙන් එක් සවස දිනක් මිස් අපට කතා කර පැවසුවේ ඇය වාට්ටුවේ නොමැති බවය. විගසින් වෛද්‍යවරුන් සියල්ලෝම එතැනට ගියෙමු. ඇඳුම් බෑගයත් සිම් පතකුත්, අප වාට්ටුවේ තිබී කියවන්නට කියා මගෙන් ඉල්ලාගත් ජීවිතය ජය ගන්න දහම් මග , නමැති පොතත් ඇඳ මත වෙයි. ඇය සොයන්නට සියල්ලෝ රෝහල පුරා දිව ගියෝය. හැම තැනින් ඇසුනේ ඈ වාට්ටු වල අමුත්තන් පැමිණෙන වෙලාවේ ගැහැණු ළමයින් දෙදෙනෙකු හා කතා කරමින් සිටි බවය.

ඔය අතර අප ඇයගේ පියාට මේ බව දැනුම් දුන් ගමන් ඔහු පැමිණියේය. “ මයෙ දරුවා මම ගෙදර ගෙනිච්චනම් ඉවරයි.මෙහෙ තිබ්බ එකයි වැරැද්ද. ඔගොල්ලොන්ට බලාගන්න බෑ කිව්වනම් ගෙනියනවනේ.” කියමින් අඬන්නට විය. අපට බනින්න සැරසෙන මොහු ගැන මට ඇති වූනේ විමතියක්. මුලින් මරන්නම ඕනෑ යයි කියමින් , ඉන්පසු ගෙනියන්න බෑ කියමින්. පසුව වෛද්‍ය පරීක්ෂණ ඉල්ලා සිටි පියා දැන් හරියට අපි නිසා දරුවා නැති වුනා වගේ කතා කරමින් එයි.

“ඔයාලම නේද දරුවා මෙහෙ දාලා ගියේ. මැරෙන්න කියලා. බලන්නකෝ දැන් කතා කරන හැටි”
අපේ හෙදි සොයුරියන්ට සහ ඇටෙන්ඩන් වරියට බොහෝ තරහ ගොස් තිබිනි. සියල්ලෝම වාග් ප්‍රහාර එල්ල කරගනිති.

“ඉතින් තාත්තමනේ දරුවා ගෙනියන්න බෑ කිව්වේ” ඔහුගේ කියමනට මම ද කිව්වෙමි.

“වැඩක් නෑ නංගී ඒ තාත්තා එක්ක කතා කරලා. ආවේගශීලී වුනාම කවුරුත් ඔහොමයි. කමක් නෑ ඔහේ බනින්න දෙන්න. තව ටික දවසකින් එයාටම තේරෙයි කාගෙද වැරැද්ද කියලා.” අපේ ජේෂ්ඨ අයියා එහෙම කීවේය.

“අපි කිව්වනේ ඩොක්ටර් ට ඒ කෙල්ල බොරු කරන්නේ කියලා. ඔන්න ඩොක්ටර් ගේ අනුකම්පාවට වෙච්ච වැඩේ. තව උපදෙස් දුන්නා හැම දාම, අපි හිතුවා ඩොක්ටර් කියන දේ අහගෙන හිටි හැටියට කැම්පස්ම යයි කියලා. ඩොක්ටර් එයාට ජීවිතේ ගැන කියා දුන්නු ඒවා අහලා අපි දෙන්නා හැදුනා. අපි හිතුවේ අපිට මෙහෙම කියා දෙන්න කෙනෙක් හිටියනම් කියලා ” යෙහෙළියන් මෙන් මා හා සිටින අපේ හෙදි සොයුරියන් දෙදෙනාම මට ඔලොක්කුවට මෙන් කියයි.

අප හැමටම බැන වැදී ඒ තාත්තා පිටවී ගියේය. ඔය අතර අපේ ඇටන්ඩන්වරියෙක් ඒ ගමේ සිටි නිසා ඇයත් මහත්මයත් ඒ ගෙදරට ඇගේ මාමා බාප්පා සමග ගොස් ඔච්චර උදව් කරපු දොස්තරලාට බැණ වැදීම ගැන දොස් කියා තිබිනි.

ඉන්පසු කිහිප ගමනක් මේ තාත්තා අප සොයා වාට්ටුවට ආවේ අපෙන් සමාව ඉල්ලීමටය. “මයේ දරුවොන්ගේ වයසේ හිටියට ඔබ තුමන්ලාගෙන් මම කරපු වැරැද්දට කකුල් දෙක අල්ලලා වැඳලා සමාවගන්න ඕනේ” කියූ විට අපි,
“එහෙම ඕනේ නෑ තාත්තේ කවුරු උනත් කරදර අවස්තාවල හැසිරෙන්නේ එහෙමයි කියා” හිත සනසා යැව්වෙමු. දරුවා මරණ බවට තර්ජනය කරද්දී නපුරු තාත්තෙක් කියා සිතුනත් පසුව ඔහු ගැන දුක සිතුනි. 

ඉන්පසු, අනිත්කොණ එම රෝහලෙන් සමුගන්නා දිනයට කලින්දා හවස අපි අවසන් වරන වැඳ මල් පහන් පූජා කිරීම සඳහා ප්‍රදේශයේ මහ විහාරයට ගිය විට ඒ තාත්තාද එහි පැමිණ සිටිනු දකින්නට ලැබිනි.
අපි එහෙන් යන බව කියූ විට ඔහු බොහෝ දුක් වුනා. ඇය ගැන අපි ඇසුවේවත් නෑ. ඒත් ඒ තාත්තාම පැවසුවේ.

“එයා ඒ කොල්ලත් එක්කම යන්න ගිහින්. කොහේ ඉන්නවද දන්නේ නෑ. මට බයේ දෙන්නම හැංගිලා ඇති. මට තවත් එහෙම දරුවෙක් හිටියා කියලා හිතෙන්නේ නෑ ඩොක්ටර්. මේ තාත්තට අම්මට දුන්න දුක, වේදනාව. ගමටම අපිව ලැජ්ජා කරපු හැටි එයාට මතක් වෙයි දවසක”

ඇස් වල කඳුළු පුරෝගෙන බිම බලාගෙන ඒ තාත්තා වඳිනු දුටු විට මට පුදුමාකාර දුකක් දැනිනි. අපේ දෙමාපියන්ට අපි ඒ ආකාරයේ දුකක් නොදුන් එක ගැන සහනයක් දැනිනි. ඇය වාට්ටුවේ ඇඳ උඩ දමා ගිය මගේ බණ පොත දකින හැම සැරේම මට ඒ දැරිය මතක් වෙයි.

ප.ලි. නිතර නොලිවීම ගැන සමාවෙන්න. අධික කාර් ය බහුල කම සහ අන්තර්ජාල පහසුකම් නොමැති කම එයට හේතුවක්. නමුත් කොහොම හරි සතියකට එක කතාවක් හෝ ලියන්නට උත්සහ කරන්නට මම අදිටන් කර ගත්තෙමි. අදගස් දක්වන කියවන සැමට ස්තූතියි.

Friday, July 20, 2012

හතුරු හිත් මිතුරු කළ බෙහෙත...අනිත්කොණ සිට


මිත්‍රත්වයේ පාළම….

පසුගිය කොටසෙන් මා ලියූ ලෙස මල්ලී කෙනෙක් (පුනුරුත්ථාපනය වූ හිටපු ත්‍රස්ත ළමා සොල්දාදුවෙක්) කතා කර ඔවුන්ගේ උත්සවයකට ආරාධනා කරා. ඒ අප විශේෂඥ වෛද්‍යතුමා විසින් ඔවුන් ගේ ජීවිතද, මනෝ සෞඛ්‍ය පිළිබඳවද ලියන ලද සතුට නැමැති ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයටයි. මා මේ වන විට වෙනත් මහ රෝහලක ජේෂ්ඨයෙක් ලෙස වැඩ කළද ඔවුන්ගේ ඉල්ලීම අහක දමන්නට බැරි නිසා එහි ගියෙමි.

කොළඹ පැවති එම උත්සවය බොහෝ උත්කර්ෂ ලෙස පැවැත්විනි. මා ශාලාවේ පිටුපස කොණකට වෙන්නට ඉඳගෙන සිටියේ පෙර දින මෙහි බසයෙන් පැමිණෙද්දී දැනුනු වෙහෙසද සමගිනි. උත්සවය අවසානයේ පොත් පිළිගැන්වීමේදී, ඔවුන්ගෙන් කෙනෙකු වේදිකාව මතට පැමිණ කියා සිටියේ…යුද්ධයෙන් බොහෝ සේ බැට කා, අන්ත අසරණ වූ ඔවුන්ගේ ජීවිත නැවත යහමගට ගන්නට අප වූ වෙහෙසද, පෙන්වූ හරි මාර්ගයද, ඔවුන්ගේ සිතේ තුවාල හොඳ කර අමතක කරවීමට අප දුන් සහයද අති මහත් ය කියාය. එක සිංහල වෛද්‍යවරියක්, අපට අක්කා කෙනෙක් වී අවවාද උපදෙස් සහ සහයෝගය ලබා දුන්නා. ඇය නිවාඩු දමා පැමිණ  මෙ තැන ඉන්නවා. ඇයට අපි මේ පොත පිළිගන්නනවා කියාය. මා ඒ හඬින් තිගැස්සුනා. අන්තිමේ අත්පොළසන් මැද වේදිකාව මතට ගොස් ඔවුන්ගේ අතින් පොතක් මට ලැබුනා. ඔවුන් හා අප අතර බේදය දුරු කරන්නට කදිම මග කුමක්දැයි මට දැන් වැටහේ.

එක කලෙක , සිංහල අජීර්ණයකින් පෙළුනු සෞන්දරාජා (අනවර්ථ නමකි) මට මතක් වේ. ඔහුගේ අයියා කෙනෙකු යුද්ධයෙන් මිය ගිය ත්‍රස්ත නායකයෙකි. එනිසාම 40 හැවිරිදි මොහුට සිංහලුන් පෙන්නනට බැරිලු. මානසික රෝගයකින් පෙළුනු ඔහු රෝගය උත්සන්න වී කායික වෛද්‍ය වාට්ටුවට ඇතුල් කළ පසු සිංහල කතා කරන සියල්ලන්ටම පහර දුන්න්නේය. එහි නේවාසික වෛද්‍යවරයා, සුළු සේවකයින් මේ පහර කෑමට ලක්විය. රෝගියෙක් කියා අනුකම්පා කර ඔහු අපේ වාට්ටුවට විගසින් මාරු කළේය. සිංහලෙන් කතා බස් නොකරන්නැයි අපට උපදෙස් ලැබිනි. දෙමළද යම් තරමකට කතා බස් කළ හැකි මා සමග සියලු රෝගීන් මිතුරු වී සිටියෝය. මොහුද  උදෑසන වෝඩ් රවුන්ඩ් එකේදී බලෙන්ම මා හා කතාවට පැමිණේ. අපේ පිරිමි සුළු සේවකයින් සහ හෙද සොයුරන් ඔහු වටේ වලල්ලක් මෙන් සිට ගෙන සිටියේ මට ගහන්නට සැරසුනොත් බේරා ගන්නටය. නමුත් ඔහු ඉදිරියේම අමතක වී හෙදි සොයුරියන් හා හරි හරියට සිංහලෙන් කතා කරන මට කිසි දිනෙක  බැන වැදීමක් හෝ ඔහු කළේ නැත.

අන්තිමේ වාට්ටුවෙන් බැහැර කෝවිල වෙත යද්දී පොලිස් නිළදාරී මහතෙකුට සහ නිළදාරිනියකුට පහර දී ඔහු කුදලාගෙන ආවේ මෙහෙම රෝගියෙක් නිදැල්ලේ යැව්වේ ඇයිදැයි අප වාට්ටු බාර හෙද පාලකවරයාට දෝස්මුරයකුත් සමගය.  අන්තිමේ අප ඔහු මීට එහා පිහිටි මානසික රෝහලට ඇතුල් කරන්නට තීරණය කෙරුවෙමු.
“ඩොක්ටර් ඔච්චර කතා කරලත් සිංහලෙන් කිසිම කරදරයක් කරේ නෑනේ”
“මටත් පුදුම මේ සිංහල ඩොක්ටර් ට කිසිම කරදරයක් නොවුනු එකයි” අපේ විශේෂඥ වෛද්‍යතුමා පුදුමයෙන් කීවේය.

 ඔය අතර.....

"ඩොක්ටර්ගෙත් කං ඇහෙන්නෙ නැති වුනාම තේරෙයි..." කන ඇහෙන්නෙ නැති "කලා" හෙවත් අපේ වාට්ටුවේ සේවය කරන මැදිවියේ සුළු සේවිකාව අපට බනිමින් යයි. දැන්නම් ඉවසන්න ඔන්නේ සීමාව පනිමින් සිටී. 

මීට පෙරද මෙ ආකාරයෙන් වෛද්‍යවරුන්ට බැණ වැදී ඇති අයෙකි. හෙදි සොයුරියන්ටද එකටෙක කියමින් බැණ වදිනවා මගේ කන වැටී තීබුනි. "මෙහෙ එන්න" මම ඇය කැඳවූයෙමි. ඇයට කතා කරන්න නම් බොහෝ වැර වීරියෙන් කෑ ගැසිය යුතුයි. ඒ ඇයට කන ඇහෙන්නේ නැති නිසාවෙනි. ඇය සමග වාට්ටුවේ වැඩ කරන්න සියලු දෙනා බොහෝ පරිශ්‍රමයක් දැරිය යුතුයි. මන්ද අපි කියන කිසි දෙයක් ඇහෙන්නේ නැති නිසා මොකක් හරි පිස්සුවක් අන්තිමට කරන නිසාවෙනි. "තමුන් ඉස්සෙල්ලා දැන ගන්න වැඩ කරද්දී කන ඇහෙන්න දාන්න දෙන උපකරණය පළදින්න. ඒක දාගෙන එන්න " මම මීට පෙරද ඇය හා කතා කර ගත නොහැකි අවස්ථාවක පැවසුවෙමි. “ ඒක දාන්න බෑ ඩොක්ටර් කන රිදෙනවා” නිතරම කියන නිදහසට කාරණාව එයයි.

වාට්ටුවේ හදිසි අවස්ථා එමටයි. එවිට අරක කරන්න , මේක ගේන්න. මේක තියන්න. අරක ගේන්න. යැයි නියෝග කරද්දී ඒ දේ ඇහෙන්නේ නැත්නම් අපට උදව්වට සිටින සුළු සේවකයින්ගෙන් පලක් නැති තරම් ය.
ඇය තවත් මොනවදෝ කියවමින් මා අසලට පැමිණියා ය.
“ තමුන් තේරුම් ගන්න , අපි දොස්තරලා අපිට ඕනෙ නෑ කාගෙවත් ආබාධ තත්වයකට හිනාවෙන්න. ලොකු සර් ඇහුවේ ඇයි මේ මනුස්සයගේ කන ඇහෙන්නේ නැද්ද කියලා විතරයි” මම ඇයට පැහැදිලි කර දුන්නෙමි.
ඇය හතලිස් හැවිරිදි වේ. ඇගේ ස්වාමි පුරුෂයාට සහ ඇයට දරුවන් නොමැති නිසා. ( ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ තත්වයක් හේතුවෙන්) අධිකරණය මගින් දරුවෙක් ගෙන හදා ගැනීමට ඒ ගැන සඳහන් කර මෑතකදී ලියුමක් අපෙන් ඉල්ලා සිටියාය. ඒ ලියුම ලියන්න කරුණු අසද්දී අප විශේෂඥ වෛද්‍යතුමා දැනගත්තේ ඈ කන් ඇසීමේ දුර්වලතාවයකින් පෙලෙන බව.
“ඔයාලාට ඉඩම් ප්‍රශ්ණයක් තිබ්බේ නෑනේ. යුද්ධයෙ නිසා ශෙල් පිපිරීම් නිසා මගේ කණ ඇහෙන්නේ නැතිව ගියේ, ඕගොල්ලො අපි වගේ දුක් වින්දේ නෑනේ”  ඇය දොඩවයි.
ඇය මා අසලින් පිටවී ගිය පසු අප වාට්ටුවේ ජේෂ්ඨ සනීපාරක්ෂක සේවිකාවක් පැමිණ,
“ඩොක්ටර් එයා ඕනෙ කමින් ඩොක්ටර්ලා කියන දේ අහන්නේ නැතුව ඉන්නේ. ඔය කණ ඇහෙන්නෙ නැත්තේ ෂෙල් පුපුරලා නෙමෙයි. එයයි මහත්තයයි කලේ ගම්වල පොඩි එවුන් අල්ලාගෙන ගිහින් බලහත්කාරෙන් ළමා සොල්දාදුවෝ හැටියට එල් ටී ටී එකට බාර දෙන එක. ඒකයි ඔය මිනිස්සුන්ට ළමයි නැත්තේ ඒ කරපු පව් වැඩ වලට. ඔය කණ ඇහෙන්නේ නැත්තේ එහෙම ළමයෙක් බලනෙ අල්ලගෙන යද්දී ඒ ළමයගේ තාත්තා ඇවිත් මෙයාගේ ඔළුවට ගහලා ළමයා බේරගත්තු නිසා”
මගේ ඇඟේ හී ගඩු පිපුනි. භයානක ඉතිහාස නිරන්තරයෙන් මා හමුවේ දිග හැරෙයි. එහෙනම් ඇය අප හා එකටෙක කියන්නෙත්, ගෞරවයක් නැතිව හැසිරෙන්නෙත් අපේ අණ නියෝග බැහැර හරින්නෙත් තාම හිතේ තිබෙන කේන්තිය නිසා වෙන්න පුළුවනි.

යුද්ධය නිමවූ කාලයේම අපි අනිත්කොණ රෝහලේ වැඩ බාරගත් නිසා, අයි ඩී පී රැකවරණයේ සිටින ත්‍රස්තයින් එහෙමත් නිරතුරුවම අප රෝහලට පැමිණියා. ඔවුන් ඇතැම් විට අපේ මුහුණ බැලුවේවත් නැත. කතා කෙරුවේද නැත. එහෙම අයටත් ඔවුන්ගේ ඒ හයිකාරකම් විඳ දරාගෙන බෙහෙත් කරන්නට අපි වෛද්‍යවරුන් මෙන්ම හෙදි සොයුරියන්ටද සිදු වුනා. අවසන වාට්ටුවෙන් පිටවෙද්දී අපට කියුවේ , අපි හිතන් හිටියට වඩා සිංහල මිනිස්සු ගොඩක් හොඳයි. කියාය.

හැකිතරම් අනුකම්පා කරන්න, හැකි තරම් ඇයට කාරුණික වන්න. සතුරු වී වෛර කළ, යුද්ධ කළ මිනිසුන් දිනා ගත් අපට, ඇය දිනා ගන්න බැරි වෙන එකක් නෑ ! මගේ හිත මට කිව්වා.

ඒ කිව්වා වගේම දින දෙක තුනක් යද්දී ඇය බොහෝ යටහත් පහත්ව අප හමුවේ සිටියා. ඒ ඇය එතරම් අකාරුණික වුවද අපි ඇයට අවශ්‍ය ලියුම සාදා දුන් නිසා.බයෙන් බයෙන් මා අසලට විත් කතා කරේ මම බැන වදී යැයි බියෙනියි සිතිනි. නමුත් පෙර සේම සිනහ වී කතා කරන්නට මට හැකි නිසා ප්‍රශ්ණයක් වුනේ නැත.

 වෛර කරන්නෝ වෛරයෙන්ම නැසෙති , අවෛරය සියලු දේ දිනයි...කියා කියමනක් කුඩා කල අසා තිබුනාට එහි ප්‍රායෝගික බව දුටුවේ ෆැකල්ටියේ සහ ඉන්පසු රැකියාවේ යෙදෙනවිටයි.


Thursday, July 5, 2012

හොඳ නරක , Some doctors are mad !





අපි අනිත් කොණ ඉන්දෙද්දී කරපුවා ලියද්දී කාට උනත් හිතෙන්න පුළුවන් අපි පම්පෝරි ගහනවා කියලා… ඒක ගැන නම් අනේක වාරයක් සමාවෙන්න. ඉන්න තැන වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් හැටියට මේවා ලියන්නේ අපි මෙහෙමත් කලා කියලා කියන්න මිසක් ලොකු කමකට නම් නෙමේ. 

අපි අනිත්කොණ රෝහලේ ඉන්නකම් පටන් ගත්තු පෝයදා බණ සඳහා වැඩම කළ පන්සලේ පොඩි හාමුදුරුවෝ හැම තිස්සෙම කිව්වේ මේ තරුණ දොස්තර මහත්තුරු නෝනලා ටික , මග මානවකයෝ වගේ කියලා. මොකද ඒ පැත්තේ අවුරුදු 40 පුරා කරගන්න බැරිව තිබ්බ බොහෝ සමාජමය දේවල් අප සුළු පිරිසකගේ එකමුතුවෙන් සිදු වුන නිසා. පින්තූර සහ විස්තර වැඩියෙන් ලියන්න තිබ්බා නම් හොඳයි නමුත් පින්තූර සහිත ලැප්ටොප් එක අඩපණ වී ඇති නිසා එය අළුත්වැඩියාවට දුන්නෙමි. එය යථා තත්වයෙන් ලැබුනොතින් පින්තූර සමග මින් පසු විස්තර වැඩියෙන් ලියන්නම්.

“පුළුවන්ද මට උදව්වක් කරන්න” මා සමග වැඩ කරන තවත් යහළුවෙක් වන ඩොක්ටර් අපේක්ෂා හදිසියේම කෝල් කලා.

“ඔයානේ මේ සති අන්තේ ගෙදර යන්නේ, ඒ වෙනුවට මට යන්න දීලා සෙනසුරාදා තියටර් ලිස්ට් එක ඔයා කරනවද?” සාමාන්‍යයෙන් ශල්‍යකර්ම වලට ඉතා යුහුසුළුව සහභාගි වන අපේක්ෂා මගෙන් එහෙම ඇහුවම මට දැනුනේ පුදුමයක්.

මම සිද්ධිය පස්සේ කියන්නම්…. ඇය මට කීවාය.

කොහොම හරි දින හුවමාරුවෙන් පසු ශල්‍යාගාරයේදී එක් රෝගී කතක් ඇගේ ශල්‍ය කර්මයට ප්‍රථම මගෙන් විමසුවේ ඩොක්ටර් අපේක්ෂා ඉන්නවද කියාය.
පසුව මම අසා දැන ගත්තේ ඉහත සඳහන් ස්ත්‍රිය අපේක්ෂාගේ ඥාතී කෙනෙක් බවද, අපේක්ෂා ඉගෙන ගන්නවාට ගොඩක් කරදර කළ කෙනෙක් බවය.

“ඒ ලෙවල් කරන කාලේ නිතරම ඒ නැන්දා කිව්වේ… සයන්ස් කරලා මොකටද ? නාකි වෙන්න වෙන්නේ ගෙදරටම, කැම්පස් යන්න නම් එපා. කියලා. මම මෙඩිකල් ෆැකල්ටි ඉන්න කාලේ, එයාගේ දුවට බලෙන්  බයෝ කෙරෙව්වා ඒ ලෙවල් වලට ඒළමයා පාස් වුනේම නෑ. අන්තිමට ඒ නංගි කියලා තිබ්බා අපේක්ෂා අක්කට විරුද්ධවනේ මට බයෝ කරන්න කිව්වේ අම්මා කියලා. මම පත්වීම ලැබිලා දොස්තර කෙනෙක් හැටියට සේවය කරන්න පස්සේ අපිත් එක්ක කිසිම ඇයි හොඳයියක් තිබ්බේ නෑ. පස්සෙ කාලෙක ආරංචි උනා, හදි හූනියම් කොඩි වින ගොඩාක් අපිට විරුද්ධව කළා කියලත්. අනේ මම නම් ඕවා ගණං ගත්තෙ නෑ. අපිට ඉන්න එකම පිහිට බුද්ධ ධර්මය විතරයිනේ.”

“කොහොම හරි මේ ඉස්පිරිතාලෙටම ඇවිත් ඇඩ්මිට් උන දවසේ මම දැක්කම එයාගේ මූණ හතරැස් උනා. ඒත් ළඟට ඇවිත් කතා කළා. එයාට කැන්සර් එකක්. අන්තිමට සර්ජරි එකේ මොකක් හරි උනොත් කියයි මම හිතලම මොකක් හරි කළා කියලා.”

අපේක්ෂාගේ කතාව ඇත්තය. කොහොමත් සමහරුන්ගේ ඉරිසියාව නිසා අහස පොළොව නුහුලන අපරාධ කරති. අන්තිමේ ඔවුන්ම දුක් විඳිති.

“මට නම් එයාලා ගැන තියෙන්නේ අනුකම්පාවක්…” අපේක්ෂා අන්තිමට කිව්වා.

“ඔව් ඔයා මග ඇරලා හිටි එක හොඳයි.” අපිට හැඟුනෙත් එහෙමයි.

ගොඩක් මිනිස්සු තමන් ගැන හොයනවාට වඩා අනුන් ගැන සොයති. අනුන්ගේ දියුණුව දැක ඉරිසියා කරති. අන්තිමේ ඒ පවින් තමන්ටම වින කර ගනිති. හොඳ නරක කොහෙත් තියෙනවා. අප සේවය කළ අනිත්කොණ රෝහලේ විශේෂඥ වෛද්‍යතුමා නිතර කියූ දෙයක් නම්.. 

"Some doctors are bad, some doctors are mad, the rest is sad because of previous 2 categories " කියලා.

 "සමහර දොස්තරලා නරකයි. සමහරුන්ට පිස්සු, අනිත් සේරමලා දුකින් අර කළින් කියූ දෙපිරිස නිසා" කොයි තරම් ඇත්තද ? 

Tuesday, July 3, 2012

ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොළසන් සමග රාජිතන් අපරාජිත විය !


ජීවිතේ බොහෝ දුක් පීඩා මැද ඉගෙනුම ලැබූවෙමි. වෛද්‍යවරියක්/වෛද්‍යවරයෙක් වූ පසුද දුක පීඩාව වෙනස් වූයේ නැත. නමුත් ඒවා මම පිළිගන්නා ආකාරය වෙනස් කෙරුවෙමි. තව දුරටත් දුක හෝ පීඩාව මට වෙහෙසකර වුනේ නැත. මා ඊට ගොදුරක් වෙන්නට ගියේද නැත.

දිගු කලකින් දන්නා හඳුනන මල්ලියෙක් කතා කළේය. "ආයුබෝවන් අක්කා" 

"ආ දැන් සිංහලෙන්ම කතා කරනවා" මට එක වරම කියැවිනි.  

මුලින්ම මා දකිද්දී ඔවුන් සිටියේ වයස 13, 14, 15 වියේදීය.පළමු දින වලදී ඔවුන් මා හා කතා කළේම නැත. පසුව බොහෝ සෙයින් ලෙංගතු විය. මුලින් මැඩම් යැයි ආමන්ත්‍රණය කල ඔවුන්ට මා පැවසුවේඅක්කා කියන්න කියාය. ඔවුන් කටපුරා අක්කා කියති. දැන් අවුරුදු 3 ඉක්ම ගොස් ඇත. අප ඒකකයමේ ඉසව්වේ මනෝ සෞඛ්‍ය ය ගැන ක්‍රියා කරන එකම රෝහලේ විය. එනිසා ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු සියල්ල සොයා බැලුවේ රජයේ රෝහලේ අප ඒකකයෙනි. මුලින් ඔවුන් මා සමග කතා කලේ බියෙන් බව දැනිනි, නමුත් මා ඔවුන්ගේ බසින් කතා කළ නිසා වඩා හොඳින් ඔවුන් හා කතා කරන්නට පුළුවන් විය. පසුව ඒ බිය පහ විය. 

 සමහර දිනක ටවුමට පැමිණි විට අප ඒකකය වෙත පැමින හලෝ! කියා යනන්ට ඔවුන් අමතක නොකළෝය. සියල්ලන්ම පුනුරුත්ථාපනයෙන් පසු නිදහස ලබා සිය මාපියන් නෑසියන් සමග සතුටින් සිටී. අඩි 6 පමන උස ශිවා ( අනවර්ථ නමකි) පැමිණ කියූවේ නිදහස් වෙන්නට ප්‍රථම ඔවුන් ලොකු ට්‍රිප් එකක් ගිය බවය. නුවර එළිය කොළඹ මෙන්ම ගාල්ල මාතර ප්‍රදේශ වලද ඔවුන් සංචාරය කර තිබුනි. 
"අරලිය ගහ මන්දිරේටත් ගියා ඩොක්ටර්ප්‍රසිඩන්ට් එක්ක කතා කලා. හරිම සතුටුයි. " ජනාධිපතිතුමා ඔවුන් හා ළඟට පැමිණ කතා කර තිබුනි. එය ඔවුන් හට මහ ලොකු දෙයකි. ඔවුන් මොන තරම් නිදහසක් සතුටක් දැන් භුක්ති විඳිනවාදඑදා අපිට ඇසුනේ වෙඩි හඬ සහ බෝම්බ හඬ අපි හිටියේ මර බියෙන්. නමුත් දැන් අද අපි නව ජීවිතයක් ලබාආකාසය වෙත පියා සලන්නට බලාගෙන ඉන්නවා. ඔවුන්ගෙන් එකෙක් ලියූ නිසඳැසක එහෙම තිබුනා. මොන තරම් තාඩන පීඩන ගොඩක් මැද්දේ ජීවිත ගෙව්වාද ඔවුන්. 

ඔවුන් සිටි කෑම්ප් එකේ ලොක්කා හෙවත් ඔවුන් පියෙකු සේ සලකන හමුදා නිළදාරි මහතා කියූවේ. "මට ඕනෑ මේ දරුවෝ... අනාගතයේ මගේ දරුවන් සමග යුද්ධ නොකරන්න ඔවුන්ගේ සිත සහ ජීවිතය හරි මගට යොමු කරන්නයි" 

ඒ සිතිවිල්ල කොතරම් උතුම්ද ?

"අක්කේ උත්සවයට එනව ද?" පසුගිය දිනක ඔවුන් ඇසීය.

"කොළඹනේ තියෙන්නේ හරි මම එන්නම්.

 රජයේ වෛද්‍යවරුන් ලෙස යුද්ධයේ සැබෑ තත්වය සහ ඉන්පසු මෙහෙ ජන ජීවිත ගැන මේ ප්‍රදේශ වල සිටම දැකපු නිසා යුද්ධය ඉවර වීම ගැන තිබෙන්නේ සතුටක්. 
 ඔය අතරේ වැඩ අධික වූ එක් දිනක් හවස  විශේෂඥ වෛද්‍යතුමා දුරකථනයෙන් කතා කොට පැවසුවේ. යම් පිරිසක් මා හමුවීමට පැමිණෙන බවත් ඒ අය අප ඒකකය වෙත එද්දී මම ඇතුලු අනෙක් වෛද්‍යවරු එහි පැමිණ සිටිය යුතු බවත් ය. 
රෝහලේ ප්‍රධාන ගොඩ නැගිල්ලේ තිබූ අප සායනය වෙත අපි ගොස් එහි ජනේලයෙන් පාර දෙස බලා සිටියේ කවුද මේ කැන්දන් එන පිරිස කියාය. මොන කෝලමක් නටන්නද මන්දා කියමින් අපේ අනෙක් වෛද්‍ය අයියාද සිටියේය. දුර ගමන් යන විශාල බස් රියක් පැමිණ රොහල් ගේට්ටුවෙන් ඇතුල් කලේ එවිටයි. වෛද්‍ය අධිකාරිතුමාත් ගේට්ටුව දෙසට දුවනවා අපි දුටුවේ එවිටයි. ඔන්න නැවැත්තූ බස් එකෙන් ඉතා උස යෝධයන් වැනි විදේශික තරුණ තරුණියන් 25 පමණ පිරිසක් පිටතට පැමිණ අපේ සර්සහ වෛද්‍ය අධිකාරී පළාත් පාලන ලොක්කෝ සමග අප දෙසට පැමිණෙන්නට විය. 

"කෝලමක් වගෙයි " අපටද කියැවිනි. ඒ පැමිණ සිටියේ ඕස්ට්‍රේලියානු පා පන්දු කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයන් සහ විශ්ව විද්‍යාල මහාචාර් ය වරුන් ය. ඔවුන් මෙහි පැමිණ ඇත්තේ අනිත් කොණ පුනුරුත්ටාපන වැඩමුළු වලට සහය දී ඒ දරුවන් හා ක්‍රීඩා වැඩමුළු පවත්වන්නටයි. විශාල පතාක යෝධයන් වැනි ඔවුන් පැමිණ තිබුනේ අප හමුවී අප මෙ කොණ කරන දෑ ගැන දැන ගැනීමටයැයි මට සිතිනි. නමුත්  ඕස්ට්‍රේලියාවට මසක වැඩමුළුවකට සහ සම්මන්ත්‍රණයකට ගිය විශේෂඥ වෛද්‍යතුමා අපි වෛද්‍යවරුන් තිදෙනා මෙහි කරන ලද සහ කරමින් සිටිනා සියල්ල ඔවුන් හා පවසා තිබුනේ පරිගණක සැකසුම් සහ පවර් පොයින්ට් සමගිනි. 
 ඕස්ට්‍රේලියාවේ පැවති, national reconciliation conference එකේදී අප යුද්ධයෙන් පසු ඒ ප්‍රදේශ වල කරනා සේවය අගයමින් එම පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක එහිදී ප්‍රදර්ශනය කෙරුනාලු. ඒ පතාක යෝධයන් වැනි ක්‍රීඩකයින් ක්‍රීඩිකාවන් පිරිස (පාපන්දු ක්‍රීඩකයින් ඉතා විශාලයිනේ) පැමිණ අප ඉදිරියේ සිට ගෙන අත්පොලසන් දී  කිව්වේ අප කරන මෙහෙය ඉතා අගය කරන බවය. එම ඒකකයේ එකම සිංහල වෛද්‍යවරිය හැටියට මා මේ ප්‍රදේශයට පැමිණි දින සිට මා ලැබූ අත්දැකීම් මට ඔවුන් හා කියන්නට වුනා. රජයේ නියෝජිතවරියද ඇත්තටම ඔවුන් හට ඇත්ත හරියට කියා දෙන්නට යුහුසුලු වුනා. එවන් නිළදාරිනියන් සිටීම ඉතා අගය කරමි.
 ඇත්තටම ඒක අපූරු සැන්දෑවක් ! 

"අක්කාරාජිතන් මතකද ?" දුරකථනයෙන් කතා කළ මල්ලී කියවයි.

"ඔව් මල්ලී මතකයි" මම කීවෙමි.

 "එයා ඒ ලෙවල් හොඳට පාස්ඒ එකයි බී එකයි සී එකයි. කැම්පස් තේරුනා. සුහාෂන් අක්ක දුන්නු පැන්සල් සෙට් එකට ස්තූති කලා " මල්ලී කියුවේය. 

මා චිත්‍ර අඳින බව දැන එංගලන්තයේ සිටින යහළුවෙක් විවිධ  පැන්සල් 54 සහිත චිත්‍ර කට්ටලයක් එවා තිබිනි. අප ඒකකයේ බිත්ති හැඩවී ඇත්තේ සුහාෂන්ගේ චිත්‍ර වලිනි. ඔහු ඉතා දක්ෂ දරුවෙකි. මා එම පැන්සල් කට්ටලට ඔහු වෙත යැව්වෙමි.

අවුරුදු 13,16 වියේදීම ගිනි අවි අත දරාමිය යන්නට පවා තිබුනු ඒ දරුවන්ගේ ජීවිතඅද කළ එළි වී ඇත. ඔවුන් හට නැතිවූ ජීවිතය නැවත ලැබී ඇත. අද සියලු දෙනා නිදහස්වී තම නෑ සියන් සමග ගෙවල් වල සිටී. අවුරුදු 30ක යුද්ධයේ අවසාන අදියරේදී හමුදාව විසින් මුදා ගත් එම ළමයින් නැවත අද පාසැල් යයි. විභාග ලියයි. නිරන්තරයෙන් අපි හා කතා බස් කරයි. අද ඒ ප්‍රදේශයේ මා නොසිටියද ඔවුන් දුරකථනය ඔස්සේ කතා කර මා හා විස්තර පවසයි. සිංහලයින් ගැන ඔවුන්ගේ හිතේ තියෙන්නේ ආදරයකි. ඒ ඔවුන්ට හමූවූ සොඳුරු සිංහල මිනිසුන් නිසාය. තවමත් ඔවුන් තම තාත්තා යැයි පවසන කඳවුරු බාර මේජර්වරයාද එවන් සොඳුරු මිනිසෙකි ! 


Sunday, June 24, 2012

You are your country ! අපිට තියෙන ප්‍රශ්ණ...

බයිසිකල් පැදීම සම්බන්ධයෙන් ලියූ ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම සිතට ඒක අස්වැසිල්ලක්. උඩුගං බලා පීනන අය දිහාවපර ඇසින් බලන අයද, තමන්ගේ ගොඩට දමාගණන්ට ඉහළ නගින අය කපා කොටා බිම හෙළන අයද බහුල සමාජයේ හිතකර වෙනසදිහා හිතකර ලෙස බැලූ ලිපි කියවන ඔබ වන්නන් සිටීම භාග්‍යයක්.

කිහිප ගමනක් A 9 ප්‍රධාන මාර්ගයේ ගමන් කළද දැන්නම් ඒ වෙනුවට අතුරු මාර්ග යොදා ගනිමින් මාර්කට් එකට, ෆුඩ් සිටි එකට ළඟාවෙන්නේ හැමෝගෙන්ම ලැබූ අවවාද සහ සතියේ සෑම දිනකම දකින්න ලැබෙන අනතුරු හා මරණ නිසා.

අහෝ A9 ලිපිය ලියූ දිනට පසුවදා… වාට්ටු වල වැඩ අවසන් කොට පහළට පැමිණෙද්දීම A9 ප්‍රධාන මාර්ගයේම පිහිටි ප්‍රාදේශීය රෝහලකඇම්බියුලන්ස් රථයක් නැවැත්තුවා. අපේ හිතවතියක් වන ඒ රෝහලේ වෛද්‍යවරිය කඩිමුඩියේ එළියට බැස, කෑ ගසා සියල්ලන් රැස් කරඇතුළේ තිබූ ස්ටෙචරය සමග රෝගියා හදිසි සත්කාර ඒකකය වෙත තල්ලු කරගෙන ගියාය.

දහවල් 12 පමණ වූයෙන් ETU (emergency treatment unit) හෙවත් හදිසි සත්කාර ඒකකය එවෙලාවේ බොහෝ කලබල නිසා අපි තිදෙනාදනිල නිවාසයට යන ගමන නවත්වා එහි දිව ගියේ උදව් කිරීමටය.
රෝගියා දුටු මතින්ම බොහෝ අසාධ්‍ය යැයි සිතුණි. අපේ හිතවත් වෛද්‍යවරිය කීවේ, පුස් බයිසිකලයේ ගමන් ගත් ඔහු, ටිපර් රථයක්හප්පාගෙන ගොස් ඇති බවය. ඔළුවට හානි සිදු වී ඇත. ඔක්සිජන් ප්‍රතිශතය බලාගෙන ඉඳෙද්දී පහළ බසී. නාසයෙන් කටින් ලේ ගලයි.ශ්වසන මාර්ග සියල්ලම අවහිර වී ඇත. මොළයට දැඩි හානි සිදුවූ බවක් පෙන්වයි. ඔහුට සිහියක් නැත. නිර්වින්දන වෛද්‍යවරයා බටයක්දමා ශ්වසනය යථා තත්වයට පත් කරන්නට උත්සහ ගත්තද බටය දිගේ පැමිණෙන්නේ ලේ පමණි. හර්දයද අකර්මණ්‍ය වී ඇත. අනෙක් අයවටවී කෘතිම හර්ධ ස්පන්දනය ඇති කිරීමට උරස් ප්‍රදේශය තෙරපයි. එහෙත් රිද්මයේ වෙනසක් නැත. දෙතුන් පාර විදුලි සැර මගින් හෘදයක්‍රියාත්මක කිරීමට උත්සහ ගත්තද එය සාර්ථක වූයේ නැත. ඔහු මිය ගොසිනි. අපි පිටතට පැමිණියෙමු.


එක දරුවෙක් වඩාගෙන තවත් දරුවෙක් අතින් අල්ලාගෙන ඔහුගේ බිරිඳ ETU එකේ දොරකඩ බලාගෙන සිටී. ඇය සිතන්නේ ඔහු ජීව්ත්වේය කියාය. අප නැවත නිල නිවස වෙත ගියෙමු. දැන් රෝහල දෙසින් මහත් විලාප හඬක් ඇසේ. නිර්වින්දක වෛද්‍යවරයා පිටතට පැමිණඔහුගේ බිරිඳට කනගාටුදායක පුවත පවසන්නට ඇති.

තරුණ මව දරුවන් දෙදෙනෙකු සමග තනිවී සිටී. කුලී වැඩ කර එදාවේල සරි කරගත් ඒ 32 හැවිරිදි තරුණ පියා, ටිපර් රථ බයිසිකල්ගැටුමෙන් ලොව හැර ගොසිනි !

මගේ යෙහෙළියක් මා දෙස බලා “ පේනවා නේද.. තව බයිසිකල් පදිනවා” යැයි මා දෙස ඔරවාගෙන දොඩවයි. ඔව් එය ඇත්තෙන්ම භයානකයි ! (අත්දැකීමෙන් දනිමි.) රජය හෝ වගකිවයුතු ආයතනයක් මේ දේවල් ගැන සැලකිලිමත් වෙනවානම් හොඳයි සිතේ.

රටේ නායකයින් කීප දෙනෙක් මාස කිහිපයකට කලින් මේ අනිත්කොන රෝහලට පැමිණියා මතකය. ඒ පැමිණෙද්දී නම් දින 3 ඇතුළතරෝහල කළ එළි වී අමුතුම සිරියක් ගෙන ආවේ අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පින් සිදු වෙන්නටයි. උත්සවයට කලින් දින එක්ලේකම්වරයෙක් රෝහලේ පිවිසුම් කොරිඩෝවේදී, අපි හවස වැඩ ඉවරවෙලා නිල නිවාසයට යමින් සිටියදී මුණ ගැසිණි.

“මම අහවලාගේ ලේකම් , ඩොක්ටර්ස්ලා කොහේද, කොහොමද කොයි පළාතේද. මෙහෙ හොඳද” යනුවෙන් ඇරඹි කතා බහ අවසානයේ.

“මොනවද ඩොක්ටර් තියෙන අඩු පාඩු” යැයි ඇසුවේය.

“අඩු පාඩු නම් එමටයි. අපට තියෙන්නෙ එකම එක ශල්‍යාගාරයයි.(operation theatre) ඉතින් හදිසි සැත්කම් අවස්ථා පැමිණි විට ඇතුළේකරමින් ඉන්න සැත්කම නවත්වා ඒ ලෙඩා එළියට අරගෙන අර හදිසි සැත්කම කරන්න වෙනවා. එහෙම නැත්නම් ඇතුළේ එක ඉවරවෙනකම් එළියේ ලෙඩා ජිවත්කරන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා”

“ඒ කිව්වේ”

“දැන් හිතන්න, කකුලක් කැඩිච්ච රෝගියෙක්ගේ සැත්කම කරමින් ඉන්නකොට, බබෙක් හම්බුවෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේප්‍රශ්නයක් වෙලා හදිසියෙන් සීසර් කරන්න උණොත්. මිනිත්‍තු කිහිපයකින් ඒ දේ කරනන් ඕනේ. හැකි තරම් ඉක්මනින්. ඉතින් එතකොටඅර තියටර් එකේ ඇතුළේ ඉන්න ලෙඩා ඉක්මනින් සිහි ගන්වා එළියට ගන්න වෙනවා.”මම පැහැදිලි කළෙමි.

“ආ හරි. ඔව් ඩොක්ටර් ඒක ගැන මම සටහන් කරගන්නම්”

“තව.. මේ රෝහලේ ලිෆ්ට් එකක්වත් වැඩ කරන්නේ නෑ. දැන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු 3ක්. වාට්ටු සහ ශල්‍යාගාර තියෙන්නේ දෙවෙනි තට්ටුවේ. ස්ටෙචර් පිටින් කර මතින් උස්සගෙන තමයි පඩිපෙළ නගින්නේ. හදිසියෙවත් රෝගියා වීල් චෙයා එකේ ගෙනාවොත්, සුළු සේවකයන්ට තේරෙන්නේ නෑනේ රෝගියාගේ තත්වය, එයාලා රෝගියා පයින් පඩිපෙළ දිගේ ගෙනියනවා. මේ ළඟදි දවසකත් පඩිපෙළ පාමුල අම්මා කෙනෙක් බබෙක් ප්‍රසූත කළා. අපි සේරම පල්ලෙහාට දුවලා තමයි දරුවා ගත්තේ. ඒකට අපිට කාටවත් බනින්න බෑ. දරුවෙක්ප්‍රසූත කරද්දී වීල් චෙයා හෝ ස්ටෙචර් එකේ ඒ අම්මව උඩට උස්සගෙන එන්න බෑනේ. සමහර විට හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ශල්‍යාගාරයට ගෙන යන හදිසි රෝගීන් පවා කර මතින් පඩිපෙලින් ගෙන යද්දී කොයි තරම් අමාරුද ඒකට විකල්පයක් නෑ. එනිසා පුළුවන්නම් මේ ලිෆ්ට් දෙකක් බිල්ඩිමේ දෙකොනේ තියෙනවා ඒ දෙක හරි ගස්සලා දෙන්න.”

“හොඳයි ඩොක්ටර්.. මම ඇහුවේ ඩොක්ටර්ස්ලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මෙහේ. ඉඳුම් හිටුම් , පහසුකම්” එතකොටයි මට තේරුණේ මොහු අසන්නේ අපේ පුද්ගලික අවශ්‍යතා ගැන කියා.

“ඕ සමාවෙන්න. නෑ අපිට නම් එහෙම කියන්න තරම් අපහසුකමක් නෑ. කියන පරක්කුවෙන් අපට අවශ්‍ය සියල්ල අපිට සපයන්න මෙහෙ පිරිස ඉන්නවා. එකම දේ මේවායේ තියෙන දේවල් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕනෙකම තියෙන අය හෝ පිරිස නෑ. ඒකියන්නේ maintenance, මේ දේවල් හරියට maintain කරනවානම් හොඳයි. එතකොට ගොඩක් කල් පවතිනවා. අනික අපිට කොහොම හරි එදා වේල කාලා බීලා ඉන්න හැකියාව තියෙනවා, ඒ උණත් මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට නම් සෑහෙන්න අමාරු ඇති. දැන් පාරවල් හැදෙන නිසා වාහන යනවා නෙමෙයි පියාඹනවා. දවසකට එකක් හෝ දෙකක් මාර්ග අනතුරු මරණ” මම ආයෙත් මාතෘකාවෙන් පිට කියවනවා.

පිටි ටින් රැගෙන වාට්ටුවටආපු ඩ්‍රග් රෙප් මල්ලී මා එක්ක කතා කළාට පසු ආයේ පැත්ත පළාතේ නො ආවා මෙන්. මොහුද හිතන්න ඇතිකතා කරපු මෝඩකම කියා. “අපේ ට්‍රාන්සර් ඉක්මනින් හරි ගස්සාගන්න බලන්න තිබ්බනේ කියලා” මේ කතා බහ ගැන කියූ විට අපේඑකෙක් කියයි.

තවත් කිරි පිටි කොම්පැනියකීන් මෑතකදී අප සොයා පැමිණියා. ඉතා මිල අධික අධි පෝෂණ කිරි පිටි එකක් වන එම ටින් එකක් නොමිලේමගේ මේසය මත තියන්නත් ඔවුන් අමතක කළේ නෑ. මේ පළාතේ පෝෂණ ඌනතා තියෙන අම්මලා කොතෙකුත්ද. ඔවුන් මා හට ටින් එකදුන් විටම මම කළේ අප වාට්ටුවේ සිටින එවන් මන්ද පෝෂණය සහ දැඩි රක්ත හීනතාවයෙන් පෙළෙන, රුධිර පාරවිලයනය කරමින් සිටිනඅම්මා කෙනෙකු කැන්දා ඔවුන්ට ඇගේ තත්වයද පහදා දී මට ලැබුණු ටින් එක ඇයට පිරි නැමීමයි. "ඔයාලටත් ලොකු පිනක් ! මම කීවෙමි.

"ඩොකටර්ට සහන මිලකට ලබා දෙන්න පුළුවන්" ඔවුන් කියයි.

"අපි දොස්තරලා අපිට කොහොම හරි මේ දේ අවශ්‍යනම් ගන්න පුළුවන් මල්ලී, ඒ උණත් මේ මිනිස්සු හරිම දුප්පත් එයාලට අවශ්‍ය යකඩපෙති උණත් නොමිලේ දෙන නිසා එයාලා බොනවා. නමුත් අපිට ඊට වඩා දෙයක් කරන්න බෑ.මං දන්නවා ඕගොල්ලොන්ට පුළුවන්නම් මීටවඩා මේ සත්කාර වලට උදව් කරන විත්තිය. ඕගොල්ලො මේ කරන ප්‍රජා සත්කාර උණත් ගොඩක් හොඳයි මම සුබ පතනවා." ඔවුන් අපකරන සමාජ සත්කාර වලට කියූ සැණින් පැමිණ පුළුවන් තරමින් උදව් උපකාර කරයි.

"ඩොක්ටර් නම් මහ පුදුම වැඩ කරන්නේ... මං දැක්කා කරපු දේ" අපේ නර්ස් මිස් කෙනෙක් කියයි.

ඒ අතර අපි ම් මාස ගණනාවක් ලියුම් ලියා… මීටින් තබා, වගකිවයුත්තන් දැනුවත් කර, අපේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනා සහවිශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු දෙදෙනා යන මේ හතර දෙනාගේ මැදිහත් වීම නිසා දැන් අපට ශල්‍යාගාර දෙකක් ලැබී තිබේ.එනිසා දැන් හදිසි සැත්කම් එසැනින් සිදු කරන්නට අපට හැකියාව තිබේ. නමුත් ලිෆ්ට් දෙකනම් තාම වැඩ කරන්නේ නැත. ඒකත් අපිම කෑගසා හදාගත්තොත් මිසක් !
අප ඒකකයට අලුතෙන් පැමිණි විශේෂඥ වෛද්‍යතුමා කියුවේ… අඩු තරමේ මේ රෝහලේ සියල්ල අප කියූ සැණින් ක්‍රමානුකූලවසිදුවෙනවා. වෙන ප්‍රධාන රෝහලක මෙහෙමවත් පහසුකම් නෑ කියලයි. ඒ කතාව නම් සෑහෙන්න ඇත්ත. මෙහෙ දොස්තරලාට නියමගෞරවය සහ සැලකීම නො අඩුවම ලැබෙනවා. මොකද මේ මහ රෝහලේ කොඳු නාරටිය වන්නේ අපි නිසා.

Im doing what ever I can to change the unwanted into something productive and healthy.


Tuesday, June 12, 2012

අහෝ A9 සහ බයිසිකල් පදින දොස්තරලා



 “ඩොක්ටර් රාජන් ගේ නංගියි දරුවයි හැප්පිලා එතනම මැරිලා මල මිනී දෙක ඕ ඩී එකට ගෙනාවේ . එවෙලේ රාජන් තමයි ඇඩ්මිෂන් රූම් එකේ හිටියේ, ඩොක්ටර්ට හිතා ගන්න බැරි උනා. අපි ඒ වේගෙන්ම ඇක්සිඩන්ට් වෝඩ් එකට ගෙනිච්චා ඒත් දෙන්නම එතනමයි.”

ඕ.පී.ඩී එක හෙවත් බාහිර රෝගී අංශයේ වැඩ කරන මගෙම හිතවත් දොස්තර කෙනෙක් එදා හවස අප වෙත ගෙන ආපු ආරංචියෙන් අපට අනේ අපොයි කියවුනා. A9 මාර්ගය දැන් වඩා හොඳින් පිළිසකර කර තිබෙන නිසා මේ මාර්ගයේ යන එන රියදුරන් රථ වාහන ධාවනය කරන්නේ හරියට අත්තටු ලැබුනා වගෙයි.

රාජන්ගේ නැගණිය සහ දරුවා මෝටර් බයිසිකලයේ ගමන් කරද්දී ටිපර් රථයක් විසින් යට කර දමා තිබුනේ රෝහල පෙනෙන මානයේ තිබුනු කහ ඉරක් අසලමයි. එපමණක් නොව දිනකට එක වරක් හෝ තුවාල වීම් නිසා ඇතුල් කරන රෝගීන්ද මසකට මරණ කීපයක්ද සිදුවේ.

අද උදේ ශල්‍යාගාරයේ සැත්කම් සිදු කරන අතර කණ වැටුනේ මීට දිනකට උඩදී බයිසිකලය ටිපරයක හැපී මෙහි ගෙන ආ දරුවා මිය ගිය බවය. මෙවැනි මරණ නිරන්තරයෙන් සිදුවේ. 

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විශ්‍රාමික ශ්ල්‍යාගාර සිස්ටර් හෙවත් ප්‍රිපාලන හෙද සොයුරියගේ එකම පුතා යාපනයේ සිට ගෙදර එද්දී වෑන් රථයක හැපී මිය ගියේ ඔහු බයිසිකලයක ගමන් කරද්දීය. එම සිදුවීම අපට බොහෝ සංකා ගෙන දුන්නා මන්ද ඇය අප නිතර ඇස ගැටෙන දොඩන කෙනෙක් නිසා. නන්නඳුනන කවරෙකු උනත් මේ සියල්ලන්ගේම ජීවිත වටිනාකම කියා නිම කළ නොහැක. නොසැලකිලිමත් කමට වඩා ටිපර්, බස් රථ වල තිබෙන්නේ වේගයෙන් ධාවනයයි. සමහර විට ඇම්බියුලන්ස් රථයෙන් හදිසි රෝගීන් ප්‍රවාහනය කිරීමේදි පවා බස් රථ අපට ඉඩ දෙන්නේම නැති තරම්. එවෙලෙට එම බස් රථ අංක සටහන් කරගෙන පොලිසියට ලබා දීමට තරම් තරහවක් ඇති වෙනවා. ඇම්බියුලන්ස් හදිසි ගිලන් රථයක් යනු කුමක්දැයි කියාවත් ඉගෙනුමක් නොලැබූ බස් රථ රියදුරන් A9 මාර්ගයේ සිටී කියා මම බය නැතුව ඕනෑම තැනක කියන්නේ එහෙයිනි.


මේ ප්‍රදේශයේ බොහෝමයක් පිරිස පුස් බයිසිකලයෙන් ගමන් බිමන් යති. එය සාමාන්‍ය ජනයාගේ වාහනයයි. ගැහැණු පිරිමි බේදයකින් තොරව , ඇතැම්විට පිරිමින්ට වඩා ගැහැණු පුස් බයිසිකලයෙන් ගමන් බිමන් යති. එහෙත් උතුර දකුණ යාවීමත් සමගම වාහන එන්න එන්නම වැඩි වීමත් එක්කම පුස් බයිසිකල් වල ගමන් කරන මිනිස්සුන්ට සිදුවන අනතුරුද වැඩිවේ.

බයිසිකලයක් පදින මම...

මම ද අනිත්කොණ පැමිණි පසු ගෙදර තිබෙන බයිසිකලය මෙහෙ ගෙනෙන්නට හැදුවෙමි. ඔව් මම කුඩා කල සිටම එක එක ජාතියේ බයිසිකල් කිහිපයක සාඩම්බර අයිතිකාරයෙක් වීමි. මම වැඩෙනවාත් සමගම බයිසිකලයේ ප්‍රමාණයත් වැඩි විය. ඒත් ප්‍රවාහන අවහිරතා නිසා දිනෙන් දින දැනට මා ගෙදරදී පාවිච්චි කරන්න අම්මා අරගෙන දූන්නු බයිසිකලය මෙහි ගෙන එන එක කල් ගියාය. 
අනෙක් හැමෝම කාර් ගන්න හීන මවද්දී මගේ සිහිනය වුනේ බයිසිකලයක් ගැනීමයි. ඒ එය පරිසරයට හිතකාමී එකම වාහනය වන නිසාය. පරිසරයට හානි නොකර ජීවත්වෙන්න පොඩි කාලේ ඉඳන්ම පුරුදු වී ඇති නිසා දුම් දමන ඛණිජ තෙල් බොන වාහන වලට කොහෙත්ම ආසා නැත. එමෙන්ම එය සෞඛ්‍යයටද හිත කරය. මා බයිසිකලයක් පදින බව දැනගත් ඇතැම් පොෂ් යැයි කියා ගන්නා මිතුරෝ “අපොයි ලැජ්ජා නැද්ද ඩොක්ටර් කෙනෙක් වෙලා බයිසිකල් පදින්න” යැයි කීවෝය.

“ඉතින් මම තමයි ගන්නම ඕනේ. මෙච්චර ඉගෙන ගෙන කාර් එකක් පදිනවානම් මගේ ඉගෙනීමෙන් ඇති වැඩේ මොකක්ද ? මම ආඩම්බර වෙනවා මම ඩොක්ටර් කෙනෙක් වෙලා බයිසිකලයක් ගත්තු එක ගැන. මම ජීවිතේ දිනා ගත යුතු සියල්ල දිනා ගත් කෙනෙක්. උපරිම වශයෙන් ආදරයද රැකවරණයද ලබන අතර සාමකාමීව ජීවිතය ගෙන යන්නට හැකියාව ලැබුනු කෙනෙක්. අනික මම ඉගෙන ගත්තු කෙනෙක්. බුද්ධිමත් අය දන්නවා පරිසරයේ වටිනාකම” 

මගේ උත්තරයෙන් සියල්ලෝම කටවල් පියා  ගත්තෝය. මම විතරක් නොවේ, තව බොහෝ වෛද්‍යවරුද පෙර කල සිටි ශල්‍ය වෛද්‍ය විශේෂඥතුමා වැනි විශේෂඥ වෛද්‍යවරු පවා බයිසිකලයෙන් රෝහලට පැමිණේ.අපි කුඩා කල සිටම පරිසරයට ආදරය කිරීමට පුරුදු වූ අය වන්නෙමු. මිහි මඬලේ දරුවෝ කථාවෙන් ඒ බව මගේ මුල් කථාවලදී කියා ඇත්තෙමි. 





එවන් දෙයක් වටහා ගත නොහැකි උන් කියන දේ අසා මම නිහඬව සිනහ නගා සිටියෙමි. ඒ මෝඩයින් දාහක් සමග තර්ක කර දිනිය නොහැකි බැවිනි. ඉතින් ඔන්න ඔහොම මම බයිසිකලයක් පැද්දත් බොහෝ වෙලාවට A9 ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන්නම නො හැකිය. බොහෝ විට කරන්නේ අතුරු පාරවල ගමන් කර අදාල ස්ථානයට යන එකයි. එහෙම නැත්නම් මාර්ගයෙන් එපිට කැලෑ පාරේ ගමන් කරන එකයි. මොකද A9 එකේ බයිසිකලයෙන් ගියානම් එහෙම  A9 එකේ යන ටිපර් සංඛ්‍යාවයි බස් පෝළිමයි , බස් තරඟයයි නිසා අපේ රෝහලට තව දොස්තර කෙනෙක් අඩු වෙන එකයි වෙන්නේ. දොස්තරලා අඩු මේ දවස් වල එහෙම දෙයක් උනොත් කොහොමත් අමාරුවේ වැටෙන්නේ රෝහල නිසා. සියල්ලන්ගේම ආයාචනයෙන් මම හැකිතාක් දුරට A9 වලින් මිදී සිටින්නෙමි. එමෙන්ම බයිසිකලයෙන් නගරය දිහාට යද්දී, අප හඳුනාගෙන අතවනන රෝගීන් බොහෝය.

අපේ රටේ දේශපාලකයින් රට රටවල සංචාරය කරනවා යැයි මම සිතමි. එහෙත් ඔවුන් අනිත්කොණ කියවනවා යැයි මම නොසිතමි. 


කෙසේ හෝ වෙනත් රටවල බයිසිකල් පදින්නට පදික වේදිකාවේම වෙන් කළ තීරුවක් තිබෙනවා. ඉතින් ඒක මහ මාර්ගයේ සෙසු වාහන වලටද පහසුවක් වගේම බයිසිකල් පදින අයටද හිතකරයි. අපේ රටේ මාර්ගවල ආරක්ෂාව වැඩිනම් මෙලෙස විකල්ප මාර්ග තීරුවක් තිබේනම් මීට වඩා බයිසිකල් පදින්නට මිනිස්සු උනන්දු වෙනවා ඇති යැයි මට සිතේ.


ඉඳගෙන පමණක් වැඩ නොකරන, ශල්‍යාගාරයේදී පැය ගණන් සිටගෙන සිටින අපට වෙරිකෝස්  , අධික රුධිර පීඩනය, දියවැඩියාව මෙන්ම තරබාරුව වැනි තත්වයන්ට ඉක්මනින් ළඟා වීමේ අවධානමක් තිබෙනවා. එමෙන්ම පරිගණක ආශ්‍රිතව වැඩ කරන අයටද මේ අවධානම වැඩියෙන් තිබෙනවා. එනිසා බයිසිකලයක් පැදීමෙන් බොහෝ දුරට මේ තත්වය අඩු කරගන්න පුළුවන් වෙන එකනම් ෂුවර්.  මොකද හැමෝම ජිම් එකකට හෝ ශරීර සුවතාවයට කියලා වයායාම් නොකරන නිසා. අනික අපේ රටේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ, ෆ්‍රයිඩ් රයිස් , කොත්තු රොටී, පරාටා වැනි පිටි තෙල් අධික කෑම වලින් කුස පුරවාගන්නයි එනිසා වෙන්නේ තවත් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන එකයි.




උතුරු කොණේ සියල්ලන්ගේම වගේ හිතකර වාහනය බයිසිකලයයි. එනිසා පොදු ජනයාටද අපි වැනි බයිසිකල් පදින දොස්තරලාටද හිත සුව පිනිස A9 මාර්ගයේ භයානක බව අඩු කළ යුතුය.


මෙය හදිසියේ හෝ කවුරු හරි පරිසර හිතකාමි මහතෙකුගේ හෝ සංවිධානයක ඇස ගැටුනොත්, මහ මාර්ගයට යාබද ව බයිසිකල් මංතීරුවක් සකසන එක ගැන මීට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ හිත් වල අවධානයක් ඇති කරන්න. බයිසිකල් පදින එක මීට වඩා මිනිස්සුන්ට කිට්ටු කරන්න උත්සහ ගත්තොත් හොඳයි කියලා හිතනවානම් ඔබලා කරන කැම්පේන් එකකට අපිද (බයිසිකල් පදින දොස්තරලා ) උපරිම වශයෙන් සහය දක්වන්නෙමු.
මිහිකත සම්පතක්. දිනෙන් දින වැඩි වෙන පරිසර හානියට සමගාමීව පරිසරය දැන් අපිට අහිතකර වෙන්නට පටන් අරගෙන. එක්කෙනෙක් හෝ මේ ගැන හිතා කටයුතු කරන්නේනම් මොන තරම් හොඳ ද?

මම නිතරම සිතුවේ… “ලෝකේ ඔබ දකින්න ඕනේ වෙනස ඔබම වෙන්න” කියාය. 
Be the change you want to see in the world !

ඒ නිසාම මම නිතරම හිතකර වෙනසක් බවට පත්වීමි.
ඔබත් පුළුවන්නම් කරන්න !


Image credit.. Earthian  on face book.and the rest from google search.