Saturday, April 29, 2017

දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු !

"දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු " කෙනෙක් එහෙම කියමින් කොරිඩෝවේ එහෙ මෙහෙ ගියා.
"එහෙම ගිහින් කොහොමද ? එතකොට හොස්පිටල් එක ?" තව කෙනෙක් විමසිලිමත් වුනා.
 "දැන් ඕගොල්ලො පරිස්සමට ක්වාටර්ස් එකට ගිහින් ඉන්න. ගෙදර යන්න ඕනෙ නම් ලෑස්ති වෙන්න" එහෙමත් කීවා කලබල වුන කෙනෙක්..

රෑ හතට විතර කෝල් එකක් එනවා මම දන්න නම්බර් එකකින්... අපේ පවුලේ හිතවතෙක් වන ඒ මහතා රැකියාව කළේ මේ ප්‍රදේශයේ බව දැනගෙන හිටියට කතා බහ කළාට ඔහුගේ තරාතිරම වත් මම දැනගෙන හිටියේ නෑ ඕන්.

"පුතා මොකක්ද හොස්පිටල් එකේ ප්‍රශ්නෙ ?"
"ආ අන්කල්ටත් ආරංචි වුනා ද ?" මම සිදුවූ දේ සහ දැන් තත්වය පැහැදිලි කරමින් , "මේ ප්‍රදේශයේ නායක නිලධාරී තැන එනවලු දැන් සාකච්ජාවකට,  ඔක්කොම ඩොක්ටර්ස්ලා එන්න ඕනෙ නෑ කියලා, අපිට කීව නිසා ආවේ නෑ. අර කට්ටිය රැස් වෙලා ඉන්නවා. අපි දැන් ක්වාටර්ස් එකේ"

"එතකොට ගෙදර ගියා කීවේ ඩොක්ටර්ස්ලා" ඔහු තවත් ප්‍රශ්නයක් ඇහුවා.

"මම හිතන්නේ කොහොමත් අද නිවාඩු යන්න හිටියේ ඔය කියන කෙනා සහ තව කෙනෙක්, ඒ දෙන්නා ඔය සුපුරුදු නිවාඩුවට ගියේ"
"මයි ගෝඩ්, කොළඹට නිව්ස් එක ගිහින් තියෙන්නේ ඩොක්ටර්ස්ලා හොස්පිටල් එක අත ඇරලා යනවා කියලානේ" මට සිනහා නැගුනි. කවුරු හරි ප්‍රශ්නෙ ලොකු බැරෑරුම් කරන්න හිතාන,  කියන්න ඇත්තේ,අපි මේවා අත ඇරලා යනවා කියලා වෙන්නැති... මෙවැනි සුළු දේ මහ දේවල් කරන පිරිස් නිසා ප්‍රශ්න කලබල සහ සටන් දක්වා පැතිරෙනවා කියලා නම් තේරෙනවා.

"මම ගේට්ටුව ගාව ඉන්නේ පුතා අපි ක්වර්ටර්ස් එක ළඟ නවත්වන්නම් එළියට එන්න"
"ආ අන්කල් අර සාකච්ජාවටද එන්නේ ? අර මෙහෙ ලොක්කා එනවා කීව"
"ඒ මම තමා" ඔහු කී විට, මට පුදුම සිතිනි ඔහු ඒ ගැන මින් පෙර සඳහනක් හෝ කර තිබුනේ නැත.

අඩේ.. මම දැනන් නොසිටිය මේ ප්‍රදේශයේ හමුදා ප්‍රධානියා ඔහුය. මෙතරම් නිහතමානී අයෙක් මා ජීවිතය පුරාවට දැක නොතිබිනි. ඒ ප්‍රදේශයේ පිරිස පවා ඔහු ගැන හරි පැහැදීමකින් සිටි අතර, ආරවුල් වලදී පවා හමුදා මූලස්ථානයේ සහය පැතූ අයුරු ගැන කතන්දර බොහෝ ය. අර අනාථ නිවාසයේ දරුවන් මාමා කියමින් දිව ඇවිත් වඩා ගන්නට අත් දිගු කළේ මොහුට ය. අනිත්කොන ට ඕස්ට්‍රේලියාවෙන් එවූ බඩු ගොන්නක්... මා එයින් මාරුවීම් ලබා ආවට පසුව ලැබුන නිසා, මා එහි නොසිටි නිසා,  ඒවා බාරගෙන බෙදා දී තිබුනෙත් මේ මහත්මයා ප්‍රමුඛ හමුදා පිරිසම ය.

හාත් පස වසා ගත් සැඳෑ කළුවරය, ගේට්ටුව අසල ඇති ලයිට් කණුවේ බල්බයෙන් මලානික එළියක් විහිදුවයි.
මම විගහින් ගේට්ටුව ළඟට ගියෙමි. ඩිෆෙන්ඩර් රථ දෙකක් පැමිණ, එකකින් බැස්සේ අපේ හිතවත් අන්කල් ය. ඔහු බසිනවාත් සමගම සෙබළු කිහිප දෙනෙක් බැස වට විය.

දැන් මේ කියවන ඔබ හැම හිතනවා ඇති මේ අලකලංචිය මොකක්ද කියලා. මම මෙතෙක් මේක නොලියා හිටිය කතා ගොන්නෙන් එකක්.  මීට අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක් නිසා , දැන් ලීවට කමක් නෑ කියල හිතුනේ. අපි කලබල නොවූ නිසා මේ කිසිවකින්, කිසිම ආකාරයේ පුවතක් මැවුනේ නෑ. එනිසා ලෝක ප්‍රවෘත්තියක් වෙලා, රටේ අවුලක් ඇති කරන්නට පවා තිබුණු සිද්ධියක් ඉබේම නිවී ගියා.

අනිත්කොන කියන්නේ කොහොමත් ලෝක අවධානය ඉහළින්ම තිබුනු පෙදෙසක් නේ. ඉතින් මේ අනිත් කොනේ යුද්ධෙ ඉවර උනත් එක්ක එහි ගිය වෛද්‍ය බැටෑලියන් එක මම හිතන්නේ සීයකට වැඩී. මම අයිති උනේ එහි හදවත වගේ තිබුනු අග නගරේ මහ රෝහලට පත් වුනු 30ක වගේ වෛද්‍ය පිරිසකට.

සුපුරුදු පරිදි අපි ඉතින් වැඩ රාජකාරි වල යෙදෙනකොට, රෑ වාට්ටු වටයට පවා සියළු වෛද්‍යවරු එනකොට අපේ විශේෂඥ වෛද්‍යවරයත් දින කිහිපයක් බලලා කීවා " මොකද මේ හැමෝම හැම තිස්සෙම වාට්ටුවේ... ඔයාලා හැමෝම එන්න ඕනේ නෑ, හතරෙන් පස්සෙ රෑට ඔන්කෝල් එක්කෙනා හිටියම ඇති" කියලා

"අනේ සර් කාමරේ උන්නත් කරන්න වෙන වැඩක් නෑනේ. " ඔන්න ඕකයි අපේ උත්තරේ... අපිට වාට්ටුව නිකම් ගෙදර වගේ.

ඔය අතරේ අපිට ආරංචි වෙනවා, මීටත් උඩින් තියෙන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යාවරයෙක්ට, දේශපාලන බුවෙක් පහර දීලා කියලා... ඒකත් ඔය රෝහලේ ටෙන්ඩර් ප්‍රශ්නෙකට දෙස්පළුවෙක් අත පෙවිමක්ලු, ඒ වෙලාවේ ඒකට විශේෂඥ වෛද්‍යවරයා විරුද්ධ වෙලා. එතෙන්දි තමා ඔහුට දෙස්පළුවා පහරදීලා තියෙන්නේ.  ඉතින් මේකට විරුද්ධතාවය පාන්න ඊළඟ දවසේ මුළු ද්‍රිස්තික්කයේම රෝහල් වල වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක නිරත වෙන්න කියලත් අපට පණිවිඩයක් ආවා.

කොහොමත් ඔය වර්ජන කීවට රෝහලේ බාහිර රෝගී අංශයේ බෙහෙත් නොදෙන එක විතරයි වෙන්නේ. හැබැයි මේ රෝහලක වර්ජනයක් නම් පැය දෙක තුන බස් වල එන රෝගීන්, බොහෝ ඈත ඉඳන් රුපියල් සීයක් කුලී වැඩ කරලා හොයන් එන අසරණ රෝගීන් නිසා ඔවුන්ව රෝහල්ගත කරලා හෝ බෙහෙත් ටික දීලා යවන්නත් ක්‍රමවේද සකසනවා.

එදින උදේ සාකච්ජාවේදී අපේ ඒකකයේ (ප්‍රසව හා නාරිවේද) විශේෂඥ වෛද්‍යවරයා සහ අපි වෛද්‍යවරු තුන් දෙනා ට තිබුනේ ගර්භනී මව්වරුන්ගේ ක්ලිනික් එක. සතියට සැරයක් පවත්වන මේ ක්ලිනික් එකට සීයකට වඩා පිරිසක් පැමිණෙනවා. "මේක මිස් වුනොත්, අපිට ආයේ මේ අය හමුවෙන්නේ මාසෙකින්නේ... මේ ගොල්ලොන්ට එන යන දවස් නොකීවොත් සමහර විට අමාරු වෙනකම්ම එන එකකුත් නෑ. මාතෘ මරණ කීපයක් තමා සිද්ධවෙන්නේ , එනිසා මම නම් ක්ලිනික් එක කරනවා, මොකද කියන්නේ ඕගොල්ලො ?" සර් ඇසුවා.
"හරි , අපිත් ලෑස්තියි. " අපි තුන්දෙනාම එකඟ වුනා. කොයි තරම් ජිවිත සහ මරණ අතර අවධානම් ඇති ඒකකයක්ද කියනවා නම් ඇතැම් දිනක අපි එක දිගට පැය විසි හතරක් වැඩ කරන වෙලාවලුත් තිබුනා... ඒ පිට රෝහල් වලින් එවන හදිසි අවස්තා එක්කමයි. දවසක් උදේ ඉඳන් රෑ හය හත වෙද්දි...මාත් අනෙක් වෛද්‍යවරයාත්... සීසර් සැත්කම් දහයක් කර තිබුනා. ඇතැම් විට සහය වෙන්න වෛද්‍යවරයෙක් නැති නිසා හෙද හෙදියන් සමග සැත්කම් සිදු කළේ. අපේ විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ නිසා, කිසිම බියක් නැතිව වැඩ කළ කාලයක්.

සැත්කම් මේසය මට වඩා උස නිසා බොහෝ විට එයට යකඩ ආධාරකයක් මත සිටගන්න පවා සිදුවෙනවා. මම වැරෙන් ගැට දමමින් මසද්දී, "ඕවා ලේසියෙන් ගැලවෙන්නෙ නෑ ගෑණු ගැට නේ" කියමින් විහිළු කරමින් අප වෙහෙසකර තත්වයෙන් මුදන්නට පවා ඔහු අවට සැරි සරමින් උත්සහ කරනවා. අදටත් සැමරුමක් සේ මගේ දකුණු අතේ මැහුම් මහද්දී, ඉඳිකටුව රඳවන අඬුව වදින තැන ඇතිවුනු කරගැටය ඉතිරි වී තිබෙනවා.

ප්‍රසූතිකාගාරයේ වුනත් දිනකට දරු උපත් දහයක් වත් උපරිම සිදු වෙනවා, (හෝ ඊට වැඩී) ඉතින් ඒ හැමෝගෙම කැපුම් තුවාල මහන්නෙත් අපිමයි. මැහුම් එළියට නොපෙන්නෙන්න මහන්න උපරිම උත්සහය ගන්නා අපේ මැහුමක් ආසාධනය වෙලා මෙහි නැවත කිසිවෙක් පැමිණියේ නැත.
ඒතරම් දුෂ්කර අවධියක... අපිට වර්ජනයක් කරනවා කියන එක විහිළුවක් වුනා. නමුත් විරෝධතාවයක් ලෙස එය කළ යුතු වුනා.
අප එ නිසා සියළු ගර්භනී මව්වරුන් , අපේ වාට්ටුවට ගෙන්වා ගත්තා. මානසික රෝග සම්බන්ද වෛද්‍යවරයාත්, ඔහුගේ රෝගීන් බලන බව කීවා. ඉතින් අපි අපේ වාට්ටුව පිටුපස කොරිඩෝවට ගර්භණී මව්වරුන් ගෙන්වාගෙන, එතැන තිබූ ස්කෑන් රූම් එකේ ඔවුන්ව පරීක්ෂා කරමින් සායනය පැවැත්වූවා. වාට්ටුවේ මිස්ලත් මිඩ් වයිෆ් මිස්ලත් හරි හරියට උදව් වුනා.

මීට කළින් මා සේවය කළ මනෝ වෛද්‍ය වාට්ටු වලදිත් වැඩ වර්ජන වලදී අපි සායනය නම් අත හැරියේ නෑ. මනෝ ව්‍යාධියෙන් පසුවෙන පුද්ගලයින්ට එය තවත් බරක් සහ ප්‍රශ්න රැසක් නිසා අපි අපේ සායන පැවැත්වූවා. ඔවුන්ට ගෙදරින් පිටවෙන්න ඇති එකම කාරණයත් සායනය පැවැත්වෙන දිනය.. ඒවගේම ඔවුන්ගේ බෙහෙත් ටික ඒ අයට මාසයක් ජීවිතේ පවත්වාගෙන යන්න තියෙන අමෘතය වගේ. බොහෝ අය බෙහෙත් වලටම ජීවිතේ බාරදීලා හිටියේ. සමහරුන්ට සුව වෙන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. ඇතැම් විට රෝහල් ඖෂධාගාරයෙන් නිකුත් කරන සුපුරුදු බෙහෙතක පාට හෝ හැඩය වෙනස් වෙලා තිබුනත්, ඒ අය නැවත පෙති මුල් උස්සගෙන අපි ළඟට දුවන් එන පුරුද්දක් තිබුනා.

 රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වුවද පැවසුවේ, නිසි සුදුසුම ආකාරයෙන් වර්ජන දිනයේ කිසිම නේවාසික රෝගියෙකුට හෝ හදිසි අවශ්‍යතා ඇති අයට අකටයුත්තක් නොවන සේ සේවය කරන්න කියා මිසක සේවය අත් හරින්න කියා නොවේ.

ඔයින් මෙයින් වර්ජනය පැවැත්වූ දින ගෙවුන නමුත් අපිට නම් එය සුපුරුදු පරිදි වැඩ රාජකාරි බහුල දිනයක් වුනා. පත්තර සහ මීඩියා වලින්ද බාහිර රෝගී අංශය වැඩ නැති බව වාර්ථාකර තිබුනා.
එනමුත්  පසුවදා වෛද්‍යවරුන් සියල්ලන්ට රැස්වීම් ශාලාවට රැස් වෙන්න කියා හදිසි පණිවිඩයක් ආවා.
ඒකත් වර්ජනය සම්බන්ධ මොකක් හරි වෙන්න ඇති කියලා අපි හිතුවේ....
ඒත් අන්තිමේ අපි හිතුවේ වත් නැති තරම් දරුණු දෙයක් අහන්න ලැබුනේ...
ඉතිරිය ඊළඟ පෝස්ට් එකෙන් ලියන්නම්....

Monday, April 24, 2017

මේ රට අපේ තමා ඒත් !

අපිටත් මේ රට හදන්න යමක් කරන්න පුළුවන් කියලා හිතුනේ... මම ලියූ මෙන්න මේ පෝස්ට් එකට.. සහ මුහුණු පොතේ ලියූ මේ "මගී ආරක්ෂාව ගැන නොසිතන්නේ ඇයි - https://anithkona.blogspot.sg/2017/03/blog-post_16.html    සටහනට ඉක්මන් ප්‍රතිචාර ලැබී තිබෙනු දකින්න ලැබුනම යි.
 දැන් ඔය නිදහස් චතුරශ්‍රයේ නිදහසේ ඉන්න දෙන්න කියලා කෑ ගැහුවා වගේ කට්ටිය මෙහෙම දකින අඩු ලුහුඬු කම් ගැන වැඩියෙන් ලීවොත් මේවා අපිටම හදා ගන්න පුළුවන් නේද කියාත් හිතුනා.  මෙන්න ඒ පෙර  ලිපිය -

වැරදි හදා ගන්න ඉක්මනින් ක්‍රියාත්මක වුනු ඔවුන්ට ස්තූතියි... කලින් පාර අසල ගොඩ ගැසූ පස් කඳු නැති අතර තාවකාලික පටි යොදා වලවල් සලකුණු කර මගීන්ට යෑමට පාරක් පාදා තිබුනේ මෙලෙසයි. හොඳටම ප්‍රවේසම් සහිත නැති වුනත් මේ වෑයමට ස්තූතියි.


ඒ වගේම තවත් යමක් සටහන් කරන්නයි කියලත් මතක් වුනා... මා සේවය කරන රෝහලේ විශේෂයෙන් මම වැඩ කරන වාට්ටුවේ විවිධ අවශ්‍යතා සැරෙන් සැරේ මම මුහුණු පොත ඔස්සේ දැනුවත් කරනවා.. එතකොට මගේ පාසැල් මිතුරන් බ්ලොග් මිතුරන් විටින් විට ඔවුන්ට හැකි අයුරින් යම් යම් උදව් කර තිබෙනවා.
ඔහොම කතා බහ යන අතරේ, එක්තරා  හිතවත් මාධ්‍යවේදී සොයුරෙක් මට කියනවා, අපි ඇවිත් ශ්‍රමදානයක් කරන්නම් කියලා...

ඔය අතරේ අපට මතක් වෙනවා වාට්ටුවේ ඇඳන් ළදරු ඇඳන් එහෙම තීන්ත ගාලා පිළිසකර කළ යුතු බව...
"ඉතින් දැම්ම රෝහලේ නඩත්තු අංශෙට ඔය වැඩේ  කරන්න බැරි වෙයි කියලා කීවේ" කියලා අන්තිම සාකච්ජා වලදී
"අපිට පුළුවන්නම් කරගන්න තීන්ත දෙන්නම් කීවා රෝහලෙන් " යන්න ඇසුනම, අපේ විශේෂඥ වෛද්‍යතුමියත් අපිට බැරිද තීන්ත ගාන්න කට්ටියක් හොයා ගන්න කියලා අහද්දී මම කලින් ම "නංගී අපි ඇවිත් ශ්‍රමදානයක් කරන්නම් , ඔය තීන්ත ගාන වැඩ වගේ" යැයි අපිට ශ්‍රමදානය ගැන මතක් කළ පිරිස ගැන කීවා.
කොහොම හරි පේන්ට් ගන් දෙකක්ද සොයා ගෙන බොහොම අමාරුවෙන් සූ ගාලා පස් දෙනෙක් වගේ පිරිසක් සොයාගෙන ( එන්නම් කියලා නෑවිත් සිටි පිරිසකුත් හිටියා )

අන්තිමේ අපි කොහොම හරි ඉන්න පිරිස සේරම එකතු කරගෙන මේ වැඩේට බැස්සා.... මමත්  ඇතුලුව. වාට්ටුවේ සියලුම කොට් සහ බෙඩ්ස් නම් සේරම පේන්ට් කර ගත්තා.
මුහුණු පොතෙන් පමණක් දැනගෙන හිටි පතිරණ අයියා, තුෂාර, සාරංග, දසුන් ගම්ලත්, කමි සහ බොහෝ දෙනෙක් ස්වේච්ජාවෙන් ඇවිත් අපට උදව් කළා.
එහෙම නොවෙන්න අදටත් අපේ වාට්ටුවේ පරණ තීන්ත කෑලි කැඩෙන දරුවන් දත් ගහනකොට ඒවා බඩට ද යන අර පරණ තීන්ත ඇති ඇඳන් ළඳරු කොට් තියෙන්නට පුළුවනි.
 මේ සටහන ලියැවුනේ කුණු කන්ද කඩන් වැටෙන්න කළින්. ඒත් ඒ කුණු කන්ද ඇති ප්‍රදේශයේම මූලික රෝහලක වැඩ කරන මට පසුගිය අවුරුද්දේ ගංවතුර කාලේ කනින් කොනින් ඇසුනේ කුණු කන්ද ජර්මනියට බාර දෙන්නට යන බවත් අවුරුද්දකින් බැලුවොත් ඔතන කන්දක් නොතිබෙන්න පුළුවන් බවත් ය. අනේ මන්දා ඒ කියන කතා කොහොම වුනත් අන්තිමේ ඉතා ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් ව පැවති කුණු කසල පිරිච්ච මේ ප්‍රදේශය , ඊටත් වඩා ඛේදනීය තත්වයක් ඇති කරමින් නාය ගියේ ජීවිත රැසක් බිල්ලට ගනිමින්.
කුඩා කාලයේ , ජර්මනිය ප්‍රංශය වැනි රටවල සංචාරය කරද්දී මම දුටුවේ ඔවුන් ඉතා පුදුම සහගත ලෙස කුණු බක්කි කිහිපයක බෝතල් වෙනම, ප්ලාස්ටික් පොළිතීන් වෙනම සහ දිරන ආහාර ද්‍රව්‍ය වෙනම බැහැර කරන බවය.
ජර්මනියේ නැන්දා උනත් "ඔන්න පුතේ මේකට දිරන කෑම ජාති, මේකට පොලිතීන් කොළ කඩදහි..." කියා අපි ගිය දවසෙම කසළ බැහැර කරන අන්දම පැහැදිලි කර දුන්නා මේ එක්දහස් නමසිය අනූ ගණන් වලදී. "බැරි වෙලාවත් පොලිතීන් කොළයක් වැටුනොත් මේකට.." කියා මම ඇහුවම නැන්දා කිව්වේ එතකොට දඩ ගහන බවත් එහෙම බැරි විම් නම් කොහෙත්ම සිදු කළ යුතු නැති දෙයක් බවත් ය.

 මට මතකයි එකල මට දී තිබුනු කැමරාවෙන් (ඩිජිටල් නොවන) රීල් දමා පාවිච්චි කරන කැමරාවෙන් මම මේ කුණු බක්කි වල ෆොටෝ එහෙමත් ගත්තා. ඇයි මේ ෆොටෝ නාස්ති කරන්නේ කියලා අහද්දී වැඩිහිටියන් මම කීවේ, "නේචර් ක්ලබ් එකේදී මේවා පෙන්වලා අපේ ඉස්කෝලෙත් මෙහෙමෙ වැඩක් කරන්න ඕනෙ" කියලයි.
ඔව් , නැවත පැමිණි පසු අපි එවැනි දේවල් පාසැලේ ක්‍රියාත්මක කළා , ඒක මම හිතන්නේ සුළු කාලයකට පමණක් ක්‍රියාත්මක වී නිලතල මාරුවත් සමග හෝ යම්කිසි ප්‍රශ්නයක් මත ඇණහිටියා. ඒ ගැන මතකය අඩුයි. පාසැල් කාලයේ  ඇතැම් සංසිද්ධීන් අමතකම වෙලා ගිහින්.

කසළ නිසි අන්දමින් බැහැර කළ යුතුයි. යුතුමයි. දැන් මා වෙසෙන කැළණිය ප්‍රදේශයේ නම් පොළිතීන් කඩදහි වෙනම එකතු කරන අතර, දිරන ආහාර ද්‍රව්‍ය වෙනම එකතු කරනවා. එකතු කරන පිරිස කීවේ එම ආහාර ද්‍රව්‍ය ඌරු කොටු සඳහා ලබා දෙන බවය.

කුණු වෙන් කළ යුතුමය ! ප්ලාස්ටික් යකඩ නොදිරන දෑ නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෙස වෙන් කර ගත යුතුය. දැන් වෙන්නේ සේරම එක ගොඩේ ගොඩ ගසන එක හෝ වල දමන එක, පස් පුරවන එක. මම හිතන්නේ නෑ ඒකෙන් මහ පොළවට සෙතක් වේවි කියලා.
අනික, කුණු ගැන වදවෙන එක අපි කාගේත් යුතුකම බව ඇත්ත නමුත් නිසි ක්‍රමවේද සැකසිය යුත්තේ රට කරවන්නට අප එතෙන්ට පත් කර, මහජන මුදලෙන් පඩි ගන්නා , නඩත්තු කරනා ආයතන සහ දේශපාලකයින් ය. එනිසා අපේ ටොපි කොළය නිසා මීතොටමුල්ලට අපිත් වගකිව යුතුයි කියන ආණ්ඩුව හෝ පාලක පක්ෂ බේරන සුළු වැකි ගැන නම් මට දැනේන්නේ අපුලක්. කසල කළමණාකරනය කිරීම ගැන ප්‍රායෝගික පුහුණුව සහ අධ්‍යාපනය ලැබූ උගත් බුද්ධිමත් ශ්‍රී ලාංකික ප්‍රජාවක් සිටිනවා. මේ අවස්ථාවේ ඔවුන්ගෙන් උපදෙස් සහ උදව් ලබා ගැනීම කළ යුතුයි. ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු රජයේ ආයතන වගකීම ගත යුතුයි. ‍
මේ රට අපේ තමයි. නමුත් හැමෝටම හැම දේ ගැනම ලොකු ඉගෙනීමක් නැති නිසා. ඒ අදාල සුදුසු දේ සඳහා හැකියාව ඇති සුදුස්සෝ පත්කළ යුතුමයි. එක අපි කාගේත් වගකීම යැයි මට සිතේ. 

Wednesday, April 5, 2017

උණ වලිප්පුවට මොකද කරන්නේ ?

"ඉක්මනින් එන්න ඩොක්ටර් බබෙක් ඇරෙස්ට් වෙලා " හදිසි ප්‍රතිකාර අංශයට ඒ වගේ හදිසි තත්වයන් ඇති වුනාම එහි සිටින ඩොක්ටර්ට අමතරව ළමා වාට්ටුවල වැඩ රාජකාරි කරන අපිවත් කැන්දාගන්නවා ඉක්මනින්. එතකොට දරුවෙක් ගැන කොහොමත් හොඳම අවශ්‍යම දේ ඒ සම්බන්ද වැඩි පුහුණුව ලැබූ අත්දැකීම් බහුල අප ඒකකයේ කෙනෙක් ගෙන්වා ගැනීමයි.
මීට පෙරද කීප වරක් එහි ගොස් ඇත්තෙමි.
මා යන විටත් ඔවුන් දරුවා වම් අතට හරවා , ගුද මාර්ගය ඔස්සේ දරුවාට වලිප්පුව පාලනයට දිය යුතු , ඩයසෙපෑම් නම් බෙහෙත ඇතුලත් කර තිබේ. නමුත් ෆිට් එක නැවතුනේ නැති නිසා පසුව එය එන්නතක් ආකාරයෙන් දෙන විට දරුවාගේ ශ්වසනය සහ හර්ද ස්පන්දනය අඩු වී තිබේ. නමුත් පැය දෙක තුනකදී දරුවා යථා තත්වයට පත් විනි.

වලිප්පුව (seizure) කියන රෝගය ගත්තම ඒකෙත් විවිධ ප්‍රබේද තියෙනවා, සරල, උණ සහිතව,  සංකීර්ණ උණ සහිතව සහ ඇතැම් විට උණ රහිතව. මේ තත්වයන්ගෙන් වැඩි වශයෙන් සිදු වෙන්නේ, අධික ශරීර උෂ්ණත්වය සමග මුළු ඇඟම  හෝ අත් , පය වෙන වෙනම හෝ ,   රිද්මයානුකූලව චලනය වෙමින් ඇස් උඩ යමින් දරුවා දරදඬු වෙමින් ටික වේලාවකට සිහි විසඥ වීමය.
ඒවගේම එවිට කටින් සෙම වැනි ශ්‍රාවයක් පිට විය හැක.
මළ මූත්‍රා පිට විය හැක.

මේවායේ වරිගීකරණය අපි සිදු කරන්නේ ලක්ෂන අනුව ය. මෙය ඇති වීමට හේතුව තවමත් පැහැදිලිව විස්තර නොවන අතර එය අධික උෂ්නත්වයට අප ශරීරය ප්‍රතික්‍රියා දක්වන ආකාරයක් බව පැවසේ. සත්වයින් යොදා කරන ලද පරීක්ෂන වලදි එයට සයිටොකයින් (cytokines) නම් සෛල වලින් පිටවන කුඩා අංශු සහ ඒ ආශ්‍රිත පද්ධතිය ( cytokine network)  බලපාන බවත්, ස්නායු අතර සන්නිවේදනයට මෙය බලපෑම් කරන බවත් සොයාගෙන ඇත. කොහොමත් දරුවන් කුඩා කළ වලිප්පු තත්වය ඇති වීමට මොළයේ දරා ගැනීමේ ශක්තිය අඩු වීමත් හේතු වෙනවා ( seizure threshold ). මෙය කොහෙත්ම බය විය යුතු තත්වයක් නොවන බවයි මගේ වැටහීම.

බොහෝ විට මේ වලිප්පුවට ප්‍රධාන  හේතුව වෛරස බැක්ටීරියා ආදී ආසාධන යි. ඒ වගේම පවුලේ අනිත් අයගේ රෝග ඉතිහාසයේ එවැනි වලිප්පු තත්වයන් තිබේනම්, දරුවන්ටද එය ඇති විය හැක. ඇතැම් විට මොළය සම්බන්ධ ආසාධන තත්වයන් වලදී ද ඇති විය හැක. මීට අමතරව මොළයට ඔක්සිජන් සැපයුම අඩාල වුන අවස්ථාවලදීද වලිප්පු තත්වයන් උණ රහිතව ද ඇති විය හැක.

දරුවාට පළමු වර උණ වලිප්පුව සෑදී ඇති නිසා මවට, පියාට  හෝ ගෙදර අයට ඒ සම්බන්ද අත්දැකීමක් නැත. ඔවුන් දරුවා ඔසවාගෙන ගෙන ඇවිත් තිබුනේද කෙළින් අතටය.

ඇතැම් විට අප වෙත ගෙන එන දරුවන් ට නැවත වාට්ටුවේදී  දිව හැපී තිබෙනු දකින මව්වරුන් බොහෝ සසල වේ. ඇතැම් අය වැඩිහිටි උපදෙසින් කටට යකඩ ඇණ , ලී කැබලි දමා දත් පූට්ටුවීම නවත්වන්න උත්සහ කර තිබේ. ඇතැම් දරුවන්ට උණ වලිප්පුව හැදුනම මව්වරුන් ක්ලාන්ත වේ. එහෙමත් නැත්නම් ඉහ අත් බදා වැලපේ.
 කළ යුත්තේ මේ කිසිවක් නොවේ...... ෆිට් එකක් ආවම මොකද කරන්නේ කියන එක පැහැදිලි කරන්න අම්මලාට කියවන්න මවිසින් රචිත අත් පත්‍රිකාවෙහි සටහනක් මෙහි පල කරන්නට සිතුනා. ප්‍රයෝජනවත් වේයැයි සිතුනා.
මෙන්න ඒ පත්‍රිකාව

උණ වලිප්පුව හෙවත් උණ සමග එන ෆිට් එකකදී කළ යුතු දේ...


උණ සමග එන වලිප්පුව, දරුවන් කුඩා කාලයේ දී ඇති විය හැකි තත්වයක්, වයස මාස 6 සිට අවුරුදු 6 දක්වා දරුවන්ට උණ සමග මේ තත්වය ඇති විය හැක.


සිදු කළ යුතු දෑ

· එවිට දරුවාව වම් පැත්තට හරවා, සුමට මතුපිටක හාන්සි කරවන්න.

· මුහුණ පැත්තකට හැරවීම වැදගත් එවිට වමනය, සෙම පිටතට පැමිණීම පහසු කරවන අතර ශ්වසන මාර්ගය අවහිර නොවේ. (නැතහොත් හුස්ම හිර විය හැකිය)

· දරුවා අසලම සිටින්න.

· දරුවාගේ වලිප්පු ලක්ෂණ පටන් ගත් වේලාව සහ අවසන් වුනු වේලාව, කොපමණ වේලාවක් පැවතියේද යන්න නිවැරදිව සටහන් කරගන්න.

· දරුවාගේ ඉරියව් සහ චලනයන් නිරීක්ෂණය කරන්න. (ඇස් උඩ යෑම, එක අතක්, පයක් හෝ සම්පූර්ණ ශරීරය චලනය වීම)

· මිනිත්තු 5 කට වඩා ෆිට් එක තිබේ නම් ළඟම ඇති රෝහලට දරුවා රැගෙන යන්න.

· බෙහෙත් හෝ වෙනයම් කිසිම දෙයක් ෆිට් එක වෙලාවේ දරුවාගේ කටට ඇතුල් කරන්න එපා. දිව හැපීම සිදු වුවද මොනයම් දෙයක් හෝ ඔබේ අතවත්, දරුවාගේ කට තුළට නොදමන්න. ‍



· සාමාන්‍යයෙන් වලිප්පුව තත්වය මිනිත්තු 5-10 වැනි කාලයක් තුල සමනය වේ. එසේ නොමැති නම් වැඩි දුර ප්‍රතිකාර දිය යුතු වේ.

(මේ කරුණු හරි වැරදි බලා , අනුමත කළේ අප විශේෂඥ වෛද්‍යතුමියයි)

photos from  : https://kidsaid.com.au  and http://www.aboutkidshealth.ca//En

Sunday, April 2, 2017

වෛරස් උණට බෙහෙත් තියේ ද ?

"වෛරස් උණ වගේ තමා පේන්න තියෙන්නේ.. "
ලේ රිපෝට් එකක් ගැන ඇසූ මවකට මා පැහැදිලි කර දුන්නා.

" මේ සුදු රුධිරානු, මේ තියෙන්නේ ලිම්ෆොසයිට් කියන සෛල වර්ගය... ඒක වැඩී නේ. සුදු රුධිරාණු අඩු වෙනවා වෛරස් උණ වලදී" එහෙම පැහැදිලි කරද්දී අම්මලා කට අයාගෙන බලන් ඉන්නේ විද්‍යා පාඩමට පාසැලේදිවත් හරියට සවන් නොදීමේ ආදීනව මතක් කර ගනිමින්. සමහරු තේරෙනවා වගේ ඉන්නවා. ඔව් ඔව් කියලා ඔළුවත් වනනවා. නමුත් ඔවුන් බොහෝ අය සමාජයේ අඩුම ආර්ථික තත්වයන් යටතේ ඇති දැඩි වුන , වසර පහ හෝ හයට වඩා පාසැල් නොගිය, ලාබාල මව්වරුන්.

"ඉතින් ඩොක්ටර් බෙහෙත් දෙනවනේ " එහෙමත් අහනවා අම්මලා.

මට ඕනෙ නම් අනිත් අය කියනවා වගේ "හරි අපි බෙහෙත් දෙනවා" කියලා ගොඩින් බේරන්න පුළුවන් වුනත් වඩා හොඳයිනේ තේරුම් කරන එක, එනිසා සැරයක් මම අම්මෙක්ට කීවා,

" මේක වෛරස් උණක්නේ , වෛරස් වලට ලෝකේ කොහේවත් හරියටම බෙහෙත් නෑ අම්මා"කියලා.

"මොනවා මගෙ දරුවාගෙ ලෙඩේට බෙහෙත් නෑ" ඔන්න ඔහොම එක අම්මෙක් ඉහ අත් බදා වැලපෙන්න තියා ගත්තයින් පසු එක පාරම ඔය වගේ කතා කියන්නේ නෑ.
මම අහනවා "වෛරස් කියන්නෙ මොනවද කියලා දන්නවනේ අම්මා... බැක්ටීරියා වගේ නෙමේ. වෛරස ඉතින් ඇඟෙන්ම සටන් කරලා ප්‍රතිශක්තිය ඇති කරන් ඇඟෙන්ම අයින් වෙන්න ඕනෙ " වගේ තේරෙන විදිහකට කියලා දෙනවා.
නැත්නම් සමහර විට මේ කියන දේවල් පත්තර වල ගිහින් හරි ජංජාලයක් වෙන්නත් තිබුනා. බෙහෙත් නැති ලෙඩක් ය කියලා මුළු ගම්මාන පිටින් කලබල වෙන්නත් තිබුනා.

ඔව් වෛරස නිසා අපි බොහෝ අකරතැබ්බ වලට මුහුණ පානවා.

H1N1ඉන්ෆ්ලුවන්සා වෛරස ( කුරුළු උණ , සූකර උණ උණ කියමින් හඳුන්වන වෛරස), ඩෙංගු වෛරසය, වසූරිය, පෝලියෝ, ඊළඟට පැපොල කම්මුල්ගාය...මේ අවුරුදු සමය එළෙඹෙන්නේ වාට්ටු පිරී ඉතිරී යෑමත් සමග ය. අධික තද බදය සහිත සාප්පු සංකීර්ණ සහ නිමි ඇඳුම් වෙළඳ සැල් වල තෙරපෙන මව්වරුන් දරුවන් මා කොතෙකුත් දැක ඇත.... නමුත් රෝහල් ගත වෙන්නට ඔවුන් බය අනික් අයගේ රෝග බෝ වේ යැයි බියෙනි
මේවට දෙයියන්ගෙ ලෙඩ කීවෙත්, ඉබේම වැළඳිලා ඉබේම හොඳ වෙන නිසා ය කියලත් මතයක් තියෙනවා

මේ වෛරස එක්ක ගණු දෙනුව හරි අමාරු වෙලා තියෙන්නේ වෛරස් ශරීරයට ඇතුල් වූ වහාම අපේ සෛලයක් ආක්‍රමණය කරගෙන ඒවා ඇතුලේ ජීවත් වෙන නිසා. ඉතින් ආසාධිත සෛල හඳුනාගෙන ඒකට විරුද්ධව සටන් කිරීම අපේ ඇඟෙන්ම සිදුවිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් බැක්ටීරියා වලට නම් රුධිරය ඔස්සේ දෙන ප්‍රතිජිවක වලින් ලෙහෙසියෙන් ආසාධනය මැඩ පැවැත්විය හැකිය.

ඉතින් දැන් මේ නිතර තමන්ව වෙනස් කරගන්නා වෛරස නිසා අපිටත් ඒවට අපේ ඉමියුන් සිස්ටම් එක හෙවත් ඔය රෝග එක්ක සටන් කරන සොල්දාදුවො සෙට් එක ( Immune system) ලෑස්ති කරන්න බෑ. දැන් ඔය පොඩි කාලේ ඉඳන් දෙන එන්නත් වලින් කරන්නේ අපේ ඉමියුන් සිස්ටම් එක හෙවත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට , මෙන්න මේ ආකාරයේ වෛරස් එන්න පුළුවන් ඒවට මෙහෙමයි සටන් කරන්න ඕනෙ කියලා පොඩි පෙරහුරුවක් දෙන එක... පොඩි ප්‍රමාණයකින් එම වෛරස හෝ කොටස් එන්නත් කරන නිසා රෝගය හැදෙන අවධානම බොහොම අඩු ප්‍රතිශතයක තියෙන්නේ. එතකොට ඒ උගත් පාඩම් වල උපකාරයෙන්, බොහෝ ළදරු කාලයේ වැළඳිය හැකි ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා වෙනවා.

ඉතින් වෛරස වලට බෙහෙත් නෑ... ඒක හරි ! අපිට කරන්න පුළුවන් සැර බාල කරන එක, දැනීම් විඳීම් අඩු කරන එක. උණ, වේදනාව, දද කුෂ්ඨ එහෙම ඒවට අවශ්‍ය ප්‍රතිකාර කරන එක.
ඉතින් ඩෙංගු උණත් එහෙමයි. වෛරස් ඝනයට වැටෙන්නේ. ෆ්ලාවි විරිඩෙ කියලයි ඔන්න අපි ඉගෙන ගත්තෙ.

මේ මාස කිහිපයක් ම... ඩෙංගු අධික පළාත් ආශ්‍රිතව වසන නිසා ඩෙංගු උණ ලක්ෂන සහිත ළමුන් දෙතුන් දෙනෙක්වත් දිනකට ඇඩ්මිට් වෙනවා ඒ අයගෙන් එක්කනෙක් හෝ සමහර විට සියලු දෙනාම අඩු ප්ලේට්ලට් සහිතව සහ අසාධ්‍ය තත්වයට පත් වෙනවා. ඒ අතරිනුත් ශරීර අභ්‍යන්තරයේ තරල එක් රැස් වීම් සහිතව "leaking" කියන්නේ රුධිර වහන තත්වයන් සහිතව අසාධ්‍ය වෙන්නේ එක් අයෙක් හෝ දෙන්නෙක්...
දැන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් අපි 90% දෙනාට ඩෙංගු උණ වැළඳී රෝගාතුර වෙන්නෙ නෑ. 10% විතර දෙනෙක්ට හැදෙනවා, රෝහල් ගත වෙනවා,  නමුත් ඒකෙනුත් අසාධ්‍යම වෙන්නේ 1%.කට.

"ඩෙංගු කියන්නෙ මැරෙන්න ඕනෙ ලෙඩක් නෙමේ... ඔන්න තමන් යටතේ ඉන්න ලෙඩෙක් මැරුනොත්, හවුස් ඔෆිසර්ව තමයි මම යවන්නේ මිනිස්ට්‍රියේ තියෙන නඩු විභාග වල වග උත්තර බඳින්න" වැහි කාලේ පටන් ගන්නකොටම කායික වෛද්‍ය වාට්ටු වල සීමාවාසික පත්වීම භාර ගත්ත මටත් අනිත් සීමාවාසික වෛද්‍යවරියටත් අපේ, විශේෂඥ වෛද්‍ය තුමිය දුන්න විධානයෙන් අපි භය බිරාන්ත වෙලා ගියා.

ඒකාලේ එක දිගට ඇඳන් පහ හය දෙපැත්තෙම ක්‍රිටිකල් ලෙඩ්ඩු මූත්‍රාත් ලේ පැහැයෙන් යන අය, කොහොම හරි කරදරයක් නොවී එක මනුස්සයෙක් වත් නොමැරී අනේ අපේ දුෂ්කර සේවා කාලය නිමා වුනා.මතකනේ අර මම කලින් ලීවේ, එක පැත්තක කොටි ත්‍රස්තයෙක් සහ අනික් පැත්තේ ලංකා හමුදාවේ සොල්දාදුවෙක් දෙන්නම, ඩෙංගු උණ් හැදිලා ඉන්නකොට කළ කී දෑ එහෙම.  හැබැයි වාට්ටුවේ කොච්චර ලෙඩ්ඩු හිටියත් ඒ අයට විදින මදුරුවෝ අපිට විද්දත් ඩෙංගු නම් හැදුනේ නෑ.
"ඩෙංගුවත් හැදෙන්න, සර්පයෙක්වත් කන්න... "  කියමින් ගත කළ අති දුෂ්කර සමයක් ද මේ වෙනකොට ගෙවුනා කියලත් මතක් වුනා.
ඉතින් දැනුත් ඒ කියලා වෙනසක් නෑ. මේ ලියන මම සීමාවාසික වෛද්‍යවරු නැති මූලික රෝහලක සේවය කරන නිසා අප මත සියලු බර පැටවී තිබෙනවා.

ඩෙංගු උණ ලක්ෂන ගැන අපට වඩා සමාජය දැනුවත් බව සැබැවි නමුත් එහෙනම් ඇයි අපිට මේ මරණ වලක්වා ගන්න බැරි.
ගොඩක්ම ඒකට හේතුව, අපේම නොසැලකිල්ල. රෝග වාහක මදුරුවන් බෝවන තැන් ගැන සැලකිල්ලක් නැතිවා වගේම,  උණ හැදුනම තමන් ගැන බලා ගන්න උවමනාවකුත් නෑ.

එක තාත්තෙක් තමන්ගේ දරුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඩෙංගු උණ හැදිලා නවත්තගෙන හිටියා. අම්මා නැතිවෙලා තිබුනේ ඩෙංගු උණෙන්. දරුවන්ටත් උණ කියමින් ගෙදර වැඩ පළ කරමින්, තාත්තාට උණ ට ගෙනාපු බෙහෙත් බොමින් ඉඳලා ඒ අම්මා නහයෙන් ලේ ගලලා ගෙදර කලන්තෙ දාලා මැරිලා වැටෙනකන්.

මෙහෙම කතා ඕනෙ තරම්... ගොඩක් දරුවො එක්ක එන අම්මලාව අපි යවනවා වැඩිහිටි වාට්ටු වල ඇඩ්මිට් වෙන්න. බලද්දි අම්මලටත් උණ.
ඉතින් දවස් තුනකට වඩා උණ තියෙනවනම් අනිවාර් යයෙන් වෛද්‍යවරයෙක් හමුවෙලා රුධිර පරීක්ෂනයක් කරගන්න. ඩෙංගු ඇන්ටි ජන් හෝ ඇන්ටි බොඩී කිරීම අනිවාර්යය නෑ. සාමාන්‍ය රුධිර පරීක්ෂනයක් ඇති. ඒකේ සෛල ගණන් මගින් සහ පැක්ඩ් සෙල් වොලියුම් කියන රුධිරයේ සංඝටක වල ප්‍රමාණය යන මේ දත්ත වලින් වෛද්‍යවරයෙක්ට ඩෙංගු උණ හෝ නොවන බව අනුමාන කළ හැක.
අවශ්‍යම දේ හරියට මැනලා ශරීරගත කරන්න ඕනෙ තරල ප්‍රමාණයන් ඒ ආකාරයෙන්ම දෙන එක. ඒකට ශරීර ස්කන්ධය අනුව සහ රුධිර පරීක්ෂාවේ අගයන් සහ පිටවන මූත්‍රා ප්‍රමාණය මැන බලා ඒ අගයන් එක්ක සංසන්ධනය කරමින් තමයි බර අනුව අවම ප්‍රමාණ මෙන්ම උපරීම ප්‍රමාණ තීරණය කළ යුත්තේ. ඒකට රෝහල් ගත වීම අවශ්‍යමයි.
හරියට මේ දේවල් කළොත්  ඩෙංගු රක්තපාත උණ තත්වය උනත් හොඳින් පාලනය කර ගත හැකියි. ඒත් ගෙවල් වල ඉඳගෙන ගොඩ වෙදකම් කරමින් අන්තිම මොහොතේ අමාරුම වෙලා ,රෝහල් ගත වුනාම නම්, මේ තත්වයෙන් ගොඩ ගන්න අමාරුයි. අවයව ඉන්ද්‍රිය පද්ධති වලට එතකොටත් වෙන්න පුළුවන් හානිය සිදුවෙලා නිසා.
අනික තමයි දරුවන් වුනත් බොන්න බෑ කියද්දී අම්මලා ආ එහෙනම් කමක් නෑ කියලා නිකම් ඉන්න එක.. එහෙමත් නැත්නම් "කන්නෙ නෑ බොන්නේ නෑ අනේ කවන්න " වගේ දෙයක් ලෙඩුන් උතුරා ගලන වාට්ටු වල එහෙමෙහෙ දුවමින් හෙදකම් කරන මිස්ලාට කියන එක. සේලයින් එකක් එල්ලනකම් ඔය දේ මතුරන එක.


ඊළඟට ආහාර, කඩේන් ගේන ඒවා නොදෙන තරමට හොඳයි. ඔය පිටට පාචනය , බඩ එළියේ යෑම වගේ දෙයක් ඇති වුනොත්. අපේ වාට්ටුවෙත් බබාලගෙ ලොකර් උඩ තියෙන්නෙම , ගෑස් පැණි බීම, කලරින් පුරවපු බෝතල්.

 මම අම්මගෙන් අහන්නේ " ඔය බීම එකේ තියෙන ඒවා දනන්ව ද? ලේබල් එක කියවන්න, නොදන්න ජාති තියේ නම් දෙන්න එපා. " කියලයි
 කොහොමත් ලෙඩින් ඉන්නකොට කඩ කෑම ගෑස් බීම නම් දෙන්නම එපා. ඊට අමතරව රතු පැහැය ඇති කිසිම දෙයක් දෙන්න එපා. මොකද හදිසියේ වමනේ ගියොත්, මලපහ ගියොත් එහි රතු පැහැය තිබුනොත් අපට බේරුමක් කරගන්න අමාරුයි ඒ ලේ වමනේ යෑමක්ද නැත්නම් ආහාර වල ඩයි නිසා හෝ බීට්‍ රූට් නිසා වෙච්ච රතු පැහැ වීමක්ද කියලා.

ලෙඩ හොඳවෙන්න සියයට හැත්තෑ පහක් පමණ නිසි ආහාර ජලය සහ සනීපාරක්ෂාවයි වැදගත්. එනිසා අම්මලාට, බලා කියා ගන්නන්ට  විශේෂ වගකීමක් තියෙනවා කුඩා දරුවන් සහ ඇඳන් වලට සීමාවූ වයසක රෝගීන් වෙනුවෙන් කරන්න !
photo credit : dinamina.lk