Monday, February 2, 2009

මිහි මඬලේ දරුවෝ

“Man did not weave the web of life – he is merely a strand in it.
Whatever he does to the web, he does to himself.”
Chief Seattle, 1854.
මේ ලෝකේ පවතින්නේ සොබාදහම නිසා. පොඩ්ඩක් හිතන්න අපි හුස්ම ගන්න ඔක්සිජන් ටික අපිට නැති උනොතින් මොකද වෙන්නේ ඔයාම හිතලා බලන්න. වහ ගන්න අත්ලෙන් නහයයි කටයි හුස්ම ගන්නෙ නැතුව ඉඳලා බලන්න මොකද වෙන්නේ කියලා. ..
වනාන්තර මැද්දේ යන ගමන් එක පාර නැවතිලා ගහක පොත්තක හරි කොළයක හරි වහලා ඉන්න කුරුමිණියෙක් දැක්කම ළංවෙලා ඒ සතාට කරදරයක් නොකර බලනවා මිසක් හිරිහැරයක් කරන්න හිත් දුන්නේ නම් නෑ. පුංචි කාලෙ ඉඳලම ගහට කොළට ඇලට දොලට සතා සීපාවුන්ට පෙම් බැන්ද නිසාම… ගහ කොළ ආරක්ෂා කරන්න සෑහෙන්න කට්ටක් කන මේ අපේ අමාරුව protect the nature කුලප්පුව… කියලයි හැඳින්වූයේ. අපි චාරිකා යද්දී උනත් වලදී නීති රීති පද්ධතියක්ම තියෙනවා. මූලිකම දේ පොලිතීන් අඩංගු කිසිම දෙයක් පාවිච්චි කරන්නේම නැති තරම්. බත් මුලේ ඉඳන්ම කෙහෙල් කොළ වල ඔතාන එන්න ඕනේ. ඊට පස්සෙ බීම ..ලොකු කඩදාසි මල්ලකට ඔක්කොම පොලිතීන් අපද්‍රවය එකතු කරනවා , බැරි වෙලාවත් ගමන් කරන අඩි පාරේ පොලිතීන් කෑල්ලක් තිබ්බොත් ඒක අපි අපේ ගමන් මල්ලට. මේවා සංසාරික පැවතුම් කියලයි වැඩිහිටියෝ කිව්වේ.

මට මතකයි ඒ කාලේ විශ්ව විද්යාලයේදී විද්‍යා පීඨයේ ශාලාවක පරිසර සංගමයේ රැස්වීම් පවා තියද්දී කෙහෙල් කොලෙන් ඔතලා කාඩ්බෝඩ් පෙට්ටි වල දාලා බත් දුන්නේ.. බීම බෝතල් වලට බීම බට දුන්නේ නෑ.. ඒවෙනුවට වීදුරු දුන්නා.. මම ඒකාලේ තර්ක කලා.. එතකොට වීදුරු හෝදන්න වතුර නාස්ති වෙනවනේ.. වතුරත් සම්පතක්නේ කියලා. ඒත් පොලිතීන් ව්‍යයසනයට වඩා වතුරෙන් හෝදලා වීදුරු පාවිච්චි කරන එකනම් හොඳයි කියලා දැන් හිතෙනවා.
හැමෝම සිරිපා කරුණා කර අවසන් වූ පසු සිරිපාදෙ නගින සංගමයේ කට්ටිය පහළට එන්නේ පොළිතීන් කුණු රොඩු ගෝනි කර බැඳගෙන. ඒක කිසිම මුදලකට යටත් නොවූ සේවයක්. “සමනළ කන්දට වඩා ලොකු පොලිතීන් කන්ද.. ” ඒ කාලේ පත්තර වල ඔහොම පළ වුනා ෆොටෝත් එක්කම.
…මහ පොළව කියන්නේ අම්මා කෙනෙක්. එයාට දඩබ්බර නොසන්ඩාල දරුවෝ වගේම බොහොම ආදරණීය දරුවොත් ඉන්නවා. අපිට අර පොඩි කාලෙ ඉඳන්ම මේවා රැකගන්න ඇම්මක් තියෙන නිසා ඒ එන අමාරුව මැඩගන්නේ නැතුව වැඩ කරන්නේ. හැමෝටම එහෙම අවශ්
යතාවයක් එන්නේ නෑනේ. අනික සැරෙන් සැරේට මිහි මඬලේ දරුවෝ එළි බහිනවා ඒ අය මේ හැම දෙයක්ම පුළුවන් විදියකට රැක ගන්න බලනවා… නමුත් මේ හැම දේම තාවකාලිකයි. කවදා හෝ මේ සියල්ල නැති නාස්ති වී යනවා.

… මේ ගඟ නිසා ඉස්සරහට මෙහෙම විනාශයක් වෙනවා.. මේ කන්ද නාය යන්නේ මේ නිසා. … ඇයි මිනිස්සුන්ට මේවා පෙනෙන්නේ නැත්තේ. …ආ අර පයිනස් ගස් වගාව නිසා අපේ රටේ කඳුකර පරිසර පද්ධතියට වෙන විනාශය ගැනත් කාලයක් තිස්සේම කියෙව්වා… වැසි වනාන්තර විකිණීම, පරිසර පද්ධති විනාශ කිරීම ගැන ඒ තැන් වලට ගිහින්ම බහින් බස් වුනු කාලයක් තිබුනා.
“How can you buy or sell the sky, the warmth of the land? The idea is strange to us.If we do not own the freshness of the air and the sparkle of the water, how can you buy them? ” Chief Seattle, 1854
… පරිසරයට බද්ධ වෙච්ච අයට ගහකින් කොළයක්වත් මලක්වත් කඩන්න හිත් දෙන්නේ නෑ. ඒක ඒ අයට තමන්ගේම අත පය කපාගන්නවා වගේ දැනෙන්නේ… කතාව ඇත්ත මේ අදහස් නිසා මටත් ගහකින් කොළයක් මලක් කඩන්න නම් බැහැ.
මේ ගහකොළ ඇල දොල නැති වෙච්චි දවසට මේ ලෝකය කොයිතරම් මුඩු හිස් තැනක් වේවිද.