රන්සිරිමල් කියවූ අනිත්කොන

අනිත් කොනේ බෝධිනී රන්මැණික්....!

කොළඹ කොටුව දුම්රිය ස්ථානය බොහෝ දෙනා හමුවන තැනකි. දන්නා නොදන්නා බොහෝ දෙනා මුල් වරටත් ආයෙ ආයෙත් හමුවන ගමන් ඇරඹෙන ගමන් අවසන් වෙන මෙන්ම හැමදාම ගමන් යන තැනකි කොටුවේ ස්ටේෂම.

මේ ගමන් බිමන් යන අතරමග දෙදාස් පහේ අවුරුද්දේ අග්ගිස්සේ දවසක, අන්තර්ජාලයේ අවුණා තිබුණු සිංහල කවි පන්ති කීපයක් හරහා හඳුනාගත් බෝ ගේ මුහුණ මම දැක්කේ පහුගිය අවුරුද්දේ, දෙසැම්බරයේ කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයේ දී යි. මා ලංකාවේ ගතකල මාසය පුරාම සිද්ධ නොවූ ඒ හමුවීමට රාජකාරිය අස්සේ රෝහල් ගතකල නෑ සියෙක් ගැන බලන්නට යන අතරමග වීල් එකක නැගී දොස්තර බෝධිනී සමරතුංග නංගී කොටුවේ ස්ටේෂමට ආවාය.

ඒ විනාඩි කිහිපයේ කතා බහේ කවි, කතාන්දර, අන්තර්ජාලය, දේශපාලනය, රට, රටේ අනාගතය, ආදී නොයෙක් විස්තර තිබිණි. බෝධිනී රන්මැණික් එදා අත තැබූ 'අනිත් කොන' ගැන මේ සටහන පරක්කු කිරීම උවමනාවෙන් සිදු නොවූවත්, එසේ වූයේ හේතුවක් ඇතිව යැයි මට සිතෙයි. සමහර පොත් අප ආපසු ගොස් කියවන්නේ එදා සිහිනය තුලටම ආපහු යන්නට ය. එදා රසය ආයෙත් විඳින්නට ය. තවත් සමහර පොත් අප ආපහු ගොස් කියවන්නේ එදා නොවැටහුනු දේ වටහා ගන්නට ය. එදා නූගත් පාඩම් ඉගෙන ගන්නට ය. තවත් සමහර පොත් අපි අත දිග හරියේ තියා ගන්නට කැමති වෙමු. හිතුණු විට ඇවිත් පිටුවක් දෙකක් පෙරලා කියවන්නට ආසා වෙමු. ඒ ඒවා ජීවිතයට සමීප බැවිනි. ඒවා තුල ජීවිතය තිබෙන්නා වූ බැවිනි. ඒවා අපේ ජීවිත වලට අත්පොත් වෙයි. මග පෙන්වන්නේ වෙයි. හිතට ලංකර තබාගන්නා ගමන් සගයින් වෙයි.

හිත සසල කරවන දේ මුත්, හිත නිය ගසා සූරා ජීවිතය පෙන්වන කතාන්දර ඇති, විශේෂයෙන් අපේ රටේ සිංහලයින්ය කියන්නා වූ අපට ජීවිතය පෙන්වන කතාන්දර ඇති, බෝධිගේ 'අනිත් කොන', ඒ වාගේ පොතකි.

මුහුණු පොතේ, අන්තර්ජාලයේ, බ්ලොග් පිටු අතර වමාර වමාරා තර්ක කරන; මිරික මිරිකා චප්ප කරන; බොහෝ තර්ක විතර්ක යොදමින් විසඳුම් හොයන්නට වචන හරඹ යුද්ධ කරන; ප්‍රශ්න වල සුල මුල... ආදරණීය වචන වලින් සටහන් වී මේ පොතේ සටහන් අතර මම දකිමි.

බෝ.... එදා ලිව්වේ හෘදයාංගම කවිය. ඒ හෘදයාංගම හැඟීම් ඒ සුවඳින්ම මේ කතාන්දර තුල මම දකිමි. අන්තිමේ දී හැම විසඳුමකම පදනම ආදරය විය යුතු බව ආයෙ ආයෙත් විශ්වාස කරන්නට ඕ අපට ආරාධනා කරන්නීය. ආදරය හීනයක් නම් නොවෙයි. සිනා සාගරයකුත් නොවෙයි. ඒ සියල්ල මා මෙන්ම ඔබත් දන්නා බව මම දනිමි.

ඉතින් ම‍ගේ මේ සටහන කලකට පෙර 'අනිත් කොන' කියවූ අයට ආයෙත් පිටුවක් දෙකක් කියවන්නට, නොකියවූ අයට මුල සිට අගටම කියවන්නට ආරාධනාවක් වෙයි. හෙටත් අනිද්දාත් ඉන් අනිද්දාත් බෝධිනී නංගී තවත් ලියනවා ඇති. ඒ බොහෝ දේ අපේ ජීවිත වලට අත්පොත් වෙනවා ඇති.

-රන්සිරිමල්

--------------------------------------------------------------------

"මට ම‍ගේ පියාගෙන් ලැබුණේ අපූරු උපදෙසකි. "පුතේ මමත් කාලයක් තිස්සේ හිතුවේ දෙමළ ඉගෙන ගත්තානම් කොයි තරම් හොඳද කියලා... ඒක මේ රටේ ජීවත් වෙන්න ගොඩක් වැදගත් වෙනවා. මේ ප්‍රශ්න බොහොමයකට මුල ඔය වගේ සුළු දේවල් තමයි. පුළුවන්නම් ඉගෙන ගන්න" යැයි ඔහු කීය.

ඒ වන විට මා දැන සිටියේ වාංග පෝංග, ඔන්ඩු රෙන්ඩු මූන්ඩු නාල විතරම ය. ඉස්කෝලෙදීවත් අප දෙමළ ඉගෙන ගෙන තිබුණේ නැත. අපේ කාලේ දෙමළ විෂයය අනිවාර්ය නැති නිසා අපට එය ඉගෙන ගන්නට ලැබුණේ නැත. මෙහෙන් යද්දී සිං‍හලෙන් දෙමළ උගනිමු පොත් කීපයක් රැගෙන ගිය නමුත්, වාට්ටුවල පිරී ඉතිරී යන රෝගී ගංගාවත් එක්ක මොන දෙමළ ඉගෙන ගැනීමක් ද...?

මා කළේ දෙමළ පුළුවන් සිංහල උපස්ථායිකාවකගෙන් සහය අරගෙන ලෙඩුන්ගෙන් අහන්නටම ඕනෑ දේවල් ටික කොලයක ලියා ගැනීමයි... ඉන්පසු රෝගීන් දියහැකි උත්තර ද ලියා ගතිමි. ඉන්පසු කටපාඩම් කළෙමි... කොළේ ලියැවුණු වදන් ටික කිහිප සැරයක් ලෙඩුන් සිය ගණනකගෙන් අහන විට නිකම්ම මතකයේ රැඳිනි. එයාලා කියන උත්තර වල නොදන්නා වචන එවෙලෙම අහගන ලියාගත් අතර ඉන්පසු මම වචන අමුණන හැටි ඉගෙන ගතිමි. අපි කතා බහ කරද්දීද පාවිච්චි කරන, "ඉතින්, එතකොට, එහෙම නැත්නම්. ඊට පස්සේ, සමහර විට, ආයෙම, එහෙම කරොත් වගේ ඒවා ටික ඉගෙනගත් විට කතාව‍ බොහෝ පහසු විය. අතීත අනාගත වර්තමාන යෙදුම්, අග වෙනස් වෙන හැටි, ඒවා නම් වරද්ද වරද්ද තමයි ඉගෙන ගත්තේ..."

පොතේ පිටු 12-13

No comments:

Post a Comment

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !