Monday, February 10, 2014

ලැප්ටොප් එක තුවායෙන් එතීම, දැන් හැදෙන ළමයි සහ ෆේස් බුක්


අවුරුදු 3 වූ දෙවෙනි අයියගෙ පුතා, ලැප්ටොප් එකෙන් නොයෙක් ඒ වයසට හරියන අධ්‍යාපන සීඩී වල ඇති ක්‍රියාකාරකම් කරනවා මවුස් එකත් පාවිච්චි කරමින්. නමුත්  මම ලැප්ටොප් එකක් ඇල්ලුවේ වෛද්‍යවිද්‍යාලයේ හතර වන වසරේදී මට අනුකම්පා කරල පිටරට සිටින මාමා සහ නැන්දා විසින් අරන් දුන්නු එකක්. ඒකත් දූවිලි නොවදින්න තුවායකින් එහෙම ඔතාගෙන තමයි බෑග් එකේ දාගෙන එහෙ මෙහෙ ගියේ. ඉස්සර යුද්ධෙ කාලේ අගනුවර චෙක් පොයින් එකකදී එහෙම මගේ " තුවායෙන් ඔතපු ලැප් ටොප් එකට" ලැබුනේ හිනා සාගරයක්. ඒවගේම මා එක්ක යමින් ඉන්න යාළුවන්ගෙන් රැවුම් ගෙරවුම්. ඒක තමයි මේ තාමත් පාවිච්චි කරන්නේ. ඒත් ඉතින් අද කාලේ අවුරුදු තුනේ හතරේ දරුවත් දන්නවා ලැප්ටොප් එකක් ඔන් කරන හැටි. 
අපි දන්නවා අපි ඒ කාලේ එහෙම නොවුනු විත්තිය දැන් කාලේ ළමයි හරි ඇඩ් වාන්ස්, දන්නවා වැඩියි පණ්ඩිතයි. චාරයක් නෑ, කියනවට වඩා අපි මේ සමාජමය උඩු යටිකුරුවීමත් එක්ක ඇතිවුනු වෙනස තේරුම් ගන්න ඕනෑ. අපිට සෙල් ෆෝන් ලැබුනේ කැම්පස් යද්දී කියලා අලුත් පරම්පරාවත් එසේ විය යුතු නෑ. අපිට කම්පියුටර් ලැබුනේ විශ්ව විද්‍යාලේ යද්දී කියා අපේ දරුවන්ට පරිඝණක හෝ ඒ ආශ්‍රිත දැනුම නොදී ඉන්න උවමනා නෑ.

3 වසරේ එක්තරා දැරිවියක්, ඇගේ අක්කා කොල්ලෙක් සමග යහළු බව කී විගස අපේ පන්තියේ එකියක් ගුරුවරියට එය පැවසූ අයුරුත්, ඒ ගැන බොහොම ලොකු කලබලයක් ගුරුවරියගෙන් සිදු වූ අයුරුත් ඒ දැරිවිගේ දෙමාපියන් පාසැලට ගෙන්වූ අයුරුත් මට මතක් වේ. එවැනි පුවතක් 3 වසර කුඩා වුන් අතරේ හුවමාරු වීම මහා ලොකු දෙයක් ලෙස ඒ ගුරුවරියටත් පාසැලටත් අපටත් දැනුනේ ඇයිදැයි මා තවමත් සිතනවා... එකළ ඔවැනි දෑ ඇසීම අපට පුදුමයක් ගෙන දුන්නා පමණක් නොවේ, දිවිය ලෝකෙන් සුරංගනාවියන් ගෙනැවිත් දුන් බබාලාත්, දත් වැටුනම දත් ගෙනත් දෙන ලේන්නුත්, දොස්තර හොඳ හිත, හෝ හඬ කැවූ අර සිංහල කාටුන් ටිකත් පමණක්ම අපේ දැනුම් පතයට වැටුනු කාලයකි. නමුත් අද දරුවන් ඊට වඩා ගොඩක් ඉදිරියෙන් සිටිනවා. මුළු 3 වසර පන්තියක් බය බිරාන්ත කෙරූ අර සිදුවීම අද මොන්ටිසෝරි ළමයින්ටත් බොහොම සුළු සිදුවීමක්. පසු කාලීනව රූපවාහිනිය පුළුල් වීමත් මාධ්‍ය භාවිතය වැඩිවීමත් සමග අද දරුවන් අපට වඩා බොහොම ඉදිරියෙන් සිටිනවා. 

මෙන්න මේ වෙනස අඳුරගන්න බැරි වැඩිහිටියන් සිටින කල මෙවැනි බොහොම ඛේදනීය තත්වයන් ඇතිවෙනවාමයි.


තාක්ෂණික දැනුමෙන් පොහොසත් නොවූ ඒ කාලය...

යන්තම් ළමා විය පසුකරමින් යොවුන් වියට පා තබන දුවා දරුවන් , මීට අවුරුදු 10 - 20 කට  පෙර අපි වැඩෙන කාලයේ අපි සිටි මානසික මට්ටමේ සිටින්නන් නොවන විත්තිය හැමෝම තේරුම් ගන්න ඕනේ. ගුරු බවතුන් විශේෂයෙන්ම , ඔවුන්ගේ වයසත් සමග මේ අවුරුදු 20 ඇතුලත සිදුවූ සංස්කෘතික වෙනස්කම් සහ විවෘත සන්නිවේදනය තුලින් අපිට වඩා කලින් කුඩා කලම ඔවුන්ව ලෝකෙට විවෘත වෙනවා. දැන් බලන්න මේ ලියන මටත් උසස් පෙළ කරන අවධියේ... මොබයිල් ෆෝන් එකක් කියන දේ බොහොම අලුත් ආම්පන්නයක්. මැද පන්තියේ පවුලක් වුනු අපේ පවුලේ මෝබයිල් ෆෝන් එකක් තිබ්බේ පියාට පමණයි. ඒකත් ගඩොල් බාගයක් විතර බර අර නොකියා වර්ගයේ එකක්. බොහොම පරිස්සමෙන් තමයි පාවිච්චි කලේ. උසස් පෙළ ඉවර කරලා අවුරුද්දකට පසු විශ්ව විද්‍යාලයට ඇතුල්වෙද්දි තමයි මා අතට පියාගේ පරණ මෝබයිල් ෆෝන් එක ලැබෙන්නේ. ඒ වෙද්දි අපි පුරුදු වෙලා උන්නේ ගෙවල් වල තියෙන ලෑන්ඩ් ලයින් හෙවත් ටෙලිකොම් දුරකථන වලින් පණිවිඩ හුවමාරු කරගන්න. අපටම කියලා අතේ ගෙනියන්න පුළුවන් මොබයිල් ෆෝන් එකක් කියන දේ නිකම් හීනයක් වගේ. නමුත් අද වෙන විට ඒ තත්වය වෙනස්. මොන්ටිසෝරි යන කුඩා දරුවත් දන්නවා සෙල් ෆෝන් එකක් පාවිච්චි කරන්න, බොත්තම් ඔබන්න කතා කරන්න. 

මේ සංස්කෘතික, අධ්‍යාපනික, සහ සදාචාරාත්මක පුපුරා යෑම වටහා ගැනීමට උත්සහ කරමු...

මතකද වසර කිහිපයකට කලින්, පාසැලට මොබයිල් ෆෝන් එකක් ගෙනාවා කියා දඬුවම් ලැබ, අගනුවර උසස් බාලිකාවක හත හෝ අට වසරේ දියනියක් තමන්ගේ පාසැලේම වැසිකිළියක් තුල ගෙල වැල ලාගෙන මිය ගිය සිදුවීම. මතකද උසස් පෙළ හෝ සා පෙළ හරි හොඳ ප්‍රතිඵල නොලැබී මව් පියන් වැඩිහිටියන් වෙතින් එල්ල වූ බැනුම් හෝ පීඩනය නිසා දිවි නසාගත්තු දරුවන් ප්‍රමාණය ?

මා කායික වාට්ටු වල සේවය කරන කාලයේ, විභාග ප්‍රතිඵල පැමිණියා යැයි ඇසූනු විට අපි කියන්නේ " හපොයි එහෙනම් දිවි නසා ගැනීම් හෝ තැත්කිරීම් වැඩි වෙයි " කියලයි. මේ තත්වයේ වර්ධනයක් එන්න එන්නම දකින්න ලැබුනා.

 හැමදාම කිසියම් ඛේදනීය යමක් සිදුවුනවිට පමණක් ඒ ගැන කතා ලියලා, ෆේස් බුක් ස්ටේටස් යොදා කටමැත දොඩවා වැඩක් නෑ කියල මා හොඳින්ම දන්නවා. ඒ ඔස්සේ ඉදිරියට් පැමිණෙන වෙබ් පිටු වලිනුත් ෆේස් බුක් ස්ටේටස් වලිනුත්, අපිත් මේ කාලේ මෙහෙම දේවල් කලා, අපිට මෙහෙමයි ගුරුවරු සැලකුවේ යැයි කියවුනා.  මේ සිදුවී ඇති ව්‍යසන දිගින් දිගටම සිදුවුනොත් ආත්ම ශක්තියක් නොමැති දරුවන් ගොන්නක් සමාජෙට ඉතිරිවෙන්නේ. සීමාවාසික කාලයේ සිට මේ දක්වා නිතරම හදිසි තීරණ නිසා ජීවිතේ නැති කරගත් පුංචි ඈයෝ, එහෙම කරගෙන වෙලාවට ඉස්පිරිතාලේ ගෙනත් අපි බේරාගත්තු පුංචි එවුන් ඕනේ තරම් මට මුණගැසී තිබුනා., ඔව් ඔබ කියාවි දැන්නම් ඉන්නේ පුංචි එවුන් නොවන විත්තිය. නමුත් ළමා ලෝකය නැති කරේ අපි වැඩි හිටියෝමයි. ඒකට වගකියන්න ඕනේ දෙමාපියන් පවුල් පරිසරය වගේම ජන මාධ්‍ය සහ පාසැල්.  දරුවන් ගැන වඩා විමසිල්ලෙන් කටයුතු කළ යුතු කාලයක් මේ ඇවිත් තියෙන්නේ. ඉතා කුඩා ළමයි දිවි නහගන්නවා වගේ දේවල් අපි කුඩා කාලේනම් ඇසුවේම නැති තරම්.

ප්‍රින්සිපල්ගේ බැණ වැදීම් හමුවේ ෆේස් බුක් පින්තූර ප්‍රශ්නයක් එක්ක දිවි නසා ගත් දැරිය සම්බන්දයෙන් පුවත කණ වැකුනු මොහොතේ ඇත්තටම මට හිතට දැනුනු දුකත් තරහවත් එක්කම කණගාටුවක්. ප්‍රේම සම්බන්දතාවන් පැවැත්වීම දඬුවම් දිය යුතු වරදක් යැයි මට නම් සිතෙන්නේ නැත. නමුත් ඒ දේ සාධාරණීකරනය කරන්නත් බැරි තරම්. මොකද, පාසැල් පෙම දුර දිග ගිහින් අන්තිමේ අවුරුදු 14, 15 වියේදීම ගැබ් ගත් , දරුවන් වැදූ දියණියන් , තනිවුනු ළමා මව්වරුන් බොහෝමයක් මට එදත් අදත් හමුවෙන නිසා.

අපි කොහොමද මේ ප්‍රශ්නෙදී මධ්‍යස්ථව ක්‍රියා කරන්නේ ?

ඕක සාමන්‍ය දෙයක්, ඒ වයසෙදි ආදරේ කිරීම වරදක් නොවේ, අපිත් කලා, කියා වීර වැකි පළ කරනවාට වඩා ගැඹුරින් මෙයට පිළිතුරක් සෙවිය යුතුමය. මුලින්ම මෙවැනි අමනෝඥ ලෙස ක්‍රියා කරන ගුරුවරයින් ගැන පරීක්ෂා කල යුතුයි. අදාල බලධාරීන් මෙවැනි ගුරුවරුන් ගැන විධිමත් පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ මානසික තත්වය පරීක්ෂා කළ යුතුය. ළමා විය , පෙර ළමා විය, පසු ළමාවිය, නව යොවුන් විය යනුවෙන් ළමා මනෝ විද්‍යාව තුලින් ඔවුන්ගේ ගුරු අධ්‍යාපනයේ උගන්වන බව මා හොඳින්ම දන්නවා. අපේ විෂය මාලාවේ කවදාවත් සමාජ ආචාර ධරම හෝ සමාජ ප්‍රශ්න ගැන කතා කරන්න පීරියඩ් එකක් තිබ්බේ නෑ, අපේ පාසැලේ වුනත් ගයිඩන්ස් කවුන්සෙලර් කෙනෙක් සිටි බවක් මට මතක නෑ . නමුත් දැන් පවතින තත්වය තුල එසේ දරුවන්ගේ සිතට කතා කල හැකි ඔවුන්ගේ මනස වටහා ගන්නා ගුරුවරුන් සිටීම අත්‍යාවශ්‍යයි කියා මට සිතේ. 

මේ අනිත් කොණ විත්ති කතා වල ඔබට අනන්තවත් මෙවැනි දරු දැරියන් ගේ කතා දැක කියවා අපේ අවවාද, ප්‍රයත්නයන් සහ ඔවුන්ගේ ජීවිත ගොඩනැගීම් දිනුම් දකින්න ඇති. දරුවන් ගැන සැබැවින් කැක්කුමකින් ක්‍රියා කරන්නන් කල යුත්තේ මේ ගැන සමාජ පෙරළියක් ඇති කිරීමය එය බ්ලොග් ලෝකෙන් පටන් ගෙන ඇති වග දුටු විට මට බොහෝ සතුටක් දැනුනා. ඒ පරිඝණක ආශ්‍රිත රැකියාවැති, හෝ අඩුම තරමේ ෆේස් බුක් ගිනුම් ඇති වත්මන් දෙමාපියන් මේවා කියවාවි හැදේවි දරුවන් ගැන හිතාවි කියන සිතුවිල්ල නිසා. මෙන්න මේ  කියන දේ තේරෙනවද බලන්න.

1st group - දෙමාපියන් ඉන්නවා, දරුවන්ට ෆේස් බුක් තහනම්, අන්තර්ජාල තහනම්, ඒවගේම ඇතැම් විට රූපවාහිනී තහනම් කරපු. විශ්වාස කරන්න, දෙමාපියන්ට හොරෙන් , මිතුරන්ගේ ගෙවල් වලට ගොස්, ඔවුන්ගේ පරිඝණකයෙන් ෆේස් බුක් පාවිච්චි කරන, යහළුවන්ගේ දුරකථන මගින් අන්තර්ජාලය පරිශීලනය කරන දරුවන් අනන්තවත් මට මුණ ගැසෙනවා. දෙමාපියන්ට වහකදුරු හෙයින් ඔවුන් ඒ ගැන පවසන්නේත් නෑ. ඔවුන්ගේ ෆේස් බුක් නිසා සිදුවන ප්‍රේම අලකලංචි, කලබල, හෝ ඒ ගැන උපදෙස් ගන්න එන්නේ අපෙනි. ඒ ඔවුන්ගේ වෛද්‍යවරුන් වන අපි ඔවුන්ගේ මනසට වඩා ළංවී ඇති නිසාය, ඔවුන්ගේ ප්‍රශ්න වලට අපි වඩා සංවේදී නිසාය.  එසේ ෆේස් බුක්, අන්තර්ජාලය අජීර්ණ වූ දෙමාපියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් මේ දේවල් මොනවාද, මේවයින් දරුවන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන දේ ගැන විමසිලිමත් විය යුතුයි.

2nd group - සමහර දෙමාපියන් සිටිනවා තම පරිඝණකයෙන් තම යොවුන් දරුවන්ට අන්තර්ජාලය පරිහරණයට වෙලාව වෙන්කර දෙන, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ෆේස් බුක් පරිහරණය කරන, දෙමාපියන්ද ෆේස් බුක් ගිණුම් සාදාගෙන දරුවන් හා සම්බන්ද වෙන. එක අතකට මට හිතෙනවා ඔවුන් දිනුම් කියලා. තහංචි නැතිව හොර රහසේ පරිහරණය කිරීම් නැතිවීම තුලින් ඒ දරුවන්ට එය තවත් එක විනෝදාස්වාද දෙයක් පමණක් වෙන්නේත්, ලෝකයම එය නොවෙන්නේත් ඒ නිසාය. ඒ තවත් පැතිකඩකි.

ඒ එක්කම මට තවත් කාණ්ඩ දෙකක් පෙන්වා දෙනවා, හෙන් රි බ්ලොග් වෝකර් සහ ඇනෝනිමස් කියවන්නෙක්.

3rd group: (Majority is this.)ළමයින්ට අන්තර්ජාලේ එක්ක, ෆේස් බුක් එක්ක, ඕනෙ දෙයක් කරගෙන ඉන්න ඇරලා ඔහේ ඇස් කන් පියාගෙන නිර්වින්දනය වෙලා වගේ ඉන්න දෙමව්පියො. මේ අය අවංකවම ලමයි මොනවා කරනවද කියලා තේරුම් ගන්න තරම් දැනීමක් නැති නිසා හෝ නොසලකා සිටීම පහසුවක් නිසා හෝ, වෙනයම් හේතුවක් නිසා හෝ එහෙම කරනවා වෙන්න පුලුවන්. 

4 th group  : ළමයට ආදරේ වැඩිකමට කිසි දෙයක් තනියම කරගන්න දෙන්නෙ නෑ. ළමයාගේ හැමදේම පාලනය කරනව. අන්තිමට ළමයා දෙමව්පියන්ගෙ රූකඩ වෙලා. නිකම්ම ගේ ඇතුලට ජීවිතේ දිය වෙනවා. මේ ගැන මට පොතක් උනත් ලියන්න පුලුවන්. දෙම්ව්පියො පොඩ්ඩක් හිතනවනම් හොඳයි දරුවොන්ටත් ජීවිතයක් තියෙනව කියලා.

දෙමාපියනි මා ඉහත කරුණු දැක්වූ කාණ්ඩ ගැන සිතා බැලීම සහ ඔබ කුමන කාණ්ඩයක සිටින්නෙක්ද යන්න සිතා බැලීම ඔබ සතුය. ඔබට ඕනෑ හොරෙන් යමක් කර අමාරුවේ වැටෙන, ඇතැම්විට ඔබට අහිමි වෙන්නත් පුළුවන් දරුවන්ද නැත්නම් ඔබේ ඇස් මට්ටමේ සිට, සමාජයේ ඒ වයසේ දරුවන් අතර ප්‍රචලිත හෙයින් කැමති හෙයින් ඔබේ අනුදැනුම ඇතුව යම්කිසි තරමකට මේ දේවල් පරිහරණය තුලින් ඔබට හිමි වෙන දරුවන්ද ? කියන දේ තෝරා ගැනීම ඔබට බාරයි.

මට මතකයි අපි 10, 11 වසර වල සිටියදී අපිත් එකිනෙකා හා කතා කලේම සහෝදර පාසැල් වල පිරිමි ළමුන් ගැනමයි. පොඩ්ඩක් ඇහැට කනට පේන කොල්ලෙක් හිටියානම් ඔහු ගැන කුමක් හෝ කතාවක් ගොතනවා. අහවලා අහවලාට කැමතියි. අරයා අන්න අරයත් එක්ක යාළුයි, ස්කූල් බස් එකේ යන්නේ අර ඉස්කෝලෙ ගාවින්. ඔවැනි දෑ අනන්තවත් අපි අතරේ කතා වුනා. එකල බාල දක්ෂ ජම්බොරියකට ගියත්, තමා දෙස බැලූ හෝ ඉඟි කෙරූ කතා කෙරූ පිරිමි ළමුන් ගැන අපි අනන්තවත් කතා බස් වුනා...   10, 11 වසරේදී පන්තියේ බොහෝ කෙල්ලන්ගේ පෙම් පණිවිඩ ලියුම් පත් තැපැල්  පෙට්ටි වලට දැම්මෙව්වේ පාසැලේ සිට ගෙදරට පයින් සහ ඇතැම්විට බස් එකේ තනියම ගමන් කල මා ලව්වාය. ඒවා ගැන කවුරුත් කිසිමාකාරයකින් සැලකිල්ලක් දැක්වූයේද නැත. පාසැල් වේලාවේ එසේ අසුවූ පෙම් පත් කාඩ්, පෝස්ටර් ෆොටො උනත් පාසැල් වේලාවෙන් පසු සුළු අවවාදයක් කර නැවත පත් කිරීම හැරුණු කොට , අප පන්තිවල කිසිම කෙල්ලෙක්ට, දඬුවම් විඳින්න සිද්ධවූ බවක්වත් අඩු තරමේ ප්‍රසිද්ධියක් ලැබුනු බවක්වත් අපි නොදන්නෙමු. 

අපේ රිපෝට් කාඩ් එකක අඩු ලකුණක් තිබ්බයි කියලා දෙමාපියන් ගුරුවරුන් බැන්නත් අපි හිතුවේ පාඩම් කරලා ඊළඟ පාර හොඳට ලකුණු ගන්නවා කියලයි. එහෙම මානසිකත්වයක් අපි තුල ඇති වෙලා තිබ්බා. ඒකට විෂය මාලාව අනුභද්දිත පාඩම් මෙන්ම, කියවීම තුලින් අපිට ලැබුනු දැනුම සහ ආත්ම ශක්තිය වැඩියි කියලයි මට හිතෙන්නේ. අද වෙන විට විෂය මාලව කීප ගමණක් වෙනස් වෙලා. අපේ කාලේ සිංහල පොතේ පාඩම් නොවෙයි දැන් තියෙන්නේ. හැබැයි මේ ගැන විවේචනය කරන්න මම උත්සහ නොකරන්නේ, මම ඒ සම්බන්ධයෙන් දැන උගතෙක් නොවන නිසයි.

නව යොවුන් වියට පා තබන පිරිමි ගැහැණු දරුවන්ගේ, මනස සහ ශරීර ක්‍රියාකාරිත්වය හෝමෝන වෙනස් වීම් එක්ක ඔවුන්ට දරාගන්න තිබෙන දේවල් , පාසැල් විෂය මාලාව, ක්‍රීඩා හෝ අමතර පුහුණු කුසලතා, එක්කම ගෙවල් වලින් එන පීඩනය , දෙමාපියන් ගේ අඬදබර, ආර්ථික දුෂ්කරතා, විභාග නිසා ඇතිවන මානසික ආතතිය මේ දේවල් ඔක්කොම අත්දැකීම් අඩු ඒ කාලේ තනියම දරා ගන්න බැරි බව මේ කියවන ඔබත් ලියන මමත් හොඳින්ම අඳුරනවා කියා හිතනවා. 

බැනුමක්, කෝප වීමක් විවේචනයක් දරා ගන්න නොහැකි වීම ඇත්තෙන්ම කණගාටුදායකයි. දරුවන් ඇති දෙමාපියන් මීට වඩා සමාජ දැනුම ඔවුන්ට දීම අත්‍යාවශ්‍යයි. බැනුම් ගර්ජන නොසරුප් වැනි දෑ වලින් කඩන් වැටෙන හිත් ඇති දරුවන් මෙවැනි තත්වයන්ට ගොදුරු වෙනවා. විශ්වාස කරන්න, කුඩා කල ගුරුවරුන්ගෙන් බැණුම් දඬුවම්, (අපේ කාලේ ගහන්නත් අවසර තිබ්බානේ) ඊට පස්සෙ, විශ්වවිද්‍යාලයේ ගුරුවරුන්, ප්‍රොෆෙසර්ලගෙන්, ජේෂ්ඨයින්ගෙන් බැනුම්. වෛද්‍යවරයෙක් වී රැකියාවක් කරද්දී මේ දේ අඩුවුනාද  ? නෑ අපි, සීමාවාසික කාලයේ සිට අද දක්වා අපේ ජේෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් අහන බැනුම් කෑ ගැසීම්, බෙරිහන් දීම් කොතරම්ද ?, සායන වට වලදී  ලෙඩුන්, ඔවුන්ගේ නෑයින් සහ සමස්ථ කාර් යය මණ්ඩලය ඉස්සරහා, තමන් යටතේ වැඩ කරන දොස්තරවරුන්ටම බොහොම අසබ්‍ය විදියට බනින විශේෂඥයින් සිටිනා බව ඔබ දන්නවාද, අනන්තවත් අපේ උන්, ඇස් වල කඳුළු පුරවගෙන වෝඩ් රවුන්ඩ් කරපු අවස්ථා එමටයි. 

නමුත් ඒ හැම දේම ඉදිරියේ ආත්ම ශක්තියත්  , දරා ගැනීමේ ශක්තියත් ඉතිරි වී තිබුනු නිසා, බැනුමක් , දඬුවමක් නිසා ජීවිතය අවසානයි කියා හිතුවේ නෑ. අන්න ඒ තත්වයට එන්නට අපේ කුඩා උන් පුරුදු කරන්න ඕනෑ. ආත්ම ශක්තිය ඇති කරන දෑ මාධ්‍ය මගින් පෙන්විය යුතුයි. ජීවිතය නැති කරගැනීම යනු පිළිතුරක් නොවන විත්තිය ඔවුන්ට වටහා දිය යුතුයි.

විභාගයක ප්‍රතිඵල , ප්‍රේම සබඳතාවයක බිඳ වැටීම, ගුරුවරුන්ගේ බැනුම් හෝ වැඩිහිටියන්ගේ කෝපය, ජීවිතය නවත්වන නැතිකරන දෙයක් නොවන බව ඔවුන්ට වටහා දිය යුතුමයි.
මේ වෙලාවේ මට මගේ අම්මා දුන්නු අවවාද මතක් වෙනවා. "ඔය විභාගේ ඔයා පාස් උනත් ඔයා අපේ දුවමයි, ෆේල් උනත් ඔයා අපේ දුවමයි. යන්තම් පාස් උනත් ඇති පුතේ හිත නරක් කරගන්න එපා" මට මේ වචන නිසා වැඩියෙන් පාඩම් කරන්නත් වැඩියෙන් ලකුණු ගෙන ඔවුන් සන්තෝෂ කරන්නත් උවමනා වීම පුදුමයක් නොවේ. මගේ මුහුණු පොතේ ඉන්න යහළුවන් බොහෝ දෙනෙක්, ඔවුන්ගේ අලුත උපන් දරුවන්ට මෙන්ම අවුරුදු 3, 4 දරුවන්ටත් ෆේස් බුක් ගිනුම් හදා ෆොටෝ දමමින් ටැග් කරමින් සිටිනවා. ඒ දරුවන් යහළුවන් හමුවීම තියා මොන්ටිසෝරි යන්නත් කලින් අර අම්මගෙයි තාත්තගෙයි යහළුවන් පිරිස ෆේස් බුක් හරහා ඔවුන්ගේ යහළුවන් වෙලා. මේ වගේ ලෝකෙක , ෆේස් බුක් ගිනුමක ටැග් වීම නිසා බැනුම් අහන්න සිදුවෙන දැරිවිය, ප්‍රේම සම්බන්දතාවයක් පැවැත්වීම නිසා ද්වේශසහගත බැනුම්වලට ලක් වෙනවා.  සමාජ වෙනස්වීම් සංස්කෘතික උඩු යටිකුරුවීම් නොදන්නා ගුරුවරු ෆේස් බුක් පැමිණීම මේ තත්වය ඇතිවීමට තවත් හේතුවක් මේ එක එක මට්ටමේ දරුවන් පිරිසක් තේරුම් ගන්න, ඊට වඩා වෙනස්ම පරිසරයක සමාජයක ගොඩ නැගුනු ගුරුවරුන් හුරු කරොත් ඒකත් බොහොම වටිනවා. මොකද, අපෝ ඒක හරී භයානක දෙයක් කියන්න කලියෙන් හොයා බැලීම හෝ සිතා බැලීම වටිනවා. අපේ කාලේ ඔය ගුරු දෙගුරු රැස්වීම් වල කිව්වේ ටීවී තහනම් කරන්න. බලන්න දෙන්න එපා කියලයි , නමුත් අද වෙන විට කියන්නේ ෆේස් බුක් තහනම් අන්තර්ජාලය තහනම් කරන්න කියලයි.

සිද්ධ වෙන දේවල් එලෙසින් දිගටම සිදුවීමත්, වලක්වන්න බැරි ලෙස අප ඇද බැඳ තැබීමත් යන මේ කාරන  නිසා බොහොම කළකිරීමෙන් ඉන්න මාස ගණනාවක් ගෙවිලා ගියා. බාගෙට ලියවුනු කතා ගොඩක වර්ඩ් ෆයිල් අත පත ගගා ඉන්නේ, තවම හරියට හිත එකලස් කරගෙන ලියන්න බැරි වුන නිසාමයි අවුරුදු 4 තිස්සේ ලීවත් මේ බ්ලොග් එකේ මාසෙකට එකක් හෝ දෙකක් ලිපි පළ වෙන්නේත් ඒ නිසාමයි.

මෙන්න මෙවැනි දේවලුත් සිදු වෙනවාලු... පින්තූරය ගත්තේ ෆේස් බුක් එකේ හුවමාරු වූ පිටුවකින්

62 comments:

  1. මගේ නම් අදහස දෙමව්පියන් දරුවන්ට මෙයිට වඩා සමීප වීමෙන් ගොඩක් ගැටළු විසඳ ගන්ඩ පුළුවන් වෙනවා.මගේ අම්මා මට අදටත් යාළුවෙක් වගෙයි.මගේ ප්‍රශ්නයක් කියන්ඩ මම කවදාවත් පැකිලෙන්නේ නෑ.මගේ යාළුවෝ මම දන්නවා උංගේ ප්‍රශ්න උං යාළුවන්ට කියනවා මිසක් දෙමව්පියන්ට කියන්ඩ බයයි.ඒ දෙමව්පියන් සහ ළමයි අතරේ දුරස්ථභාවය වැඩි හින්දා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මල්ලී.... දෙමාපියෙක් වෙන්න කලින් සුදුසුකම් සපුරාලීමට , පන්තියක් හෝ විභාගයක් තිබ්බා නම් අර අපේ ඊ බා එක්‍සෑම් එක වගේ... අනිවාරය‍ යෙන් මේ සමීපකම ගොඩක් පවුල් වල නෑ. ආඥාදාරීන් වෙලා බොහෝ දෙමාපියන්. දැන් ඔහේ හදන්නන් වාලේ ළමයි හදලා.. අන්තිමට පවුලත් විනාසයි රටත් විනාසයි.

      Delete
  2. Replies
    1. තැන්ක්‍යූ හිරු !

      Delete
  3. //නමුත් දැන් පවතින තත්වය තුල එසේ දරුවන්ගේ සිතට කතා කල හැකි ඔවුන්ගේ මනස වටහා ගන්නා ගුරුවරුන් සිටීම අත්‍යාවශ්‍යයි කියා මට සිතේ. //

    මේක තමයි වෙන්ඩ ඕනේ...

    මට හිතෙනවා එන්න එන්නම ගුරුවරු, පාසල් හරිම දරදඬු වෙනවා කියලා. තාක්ශනේ, සමාජේ විපර්යාස වලට අනුවර්තනය නොවී තව තවත් දරදඬු වෙලා.

    මට මතකයි ආච්චි කියනවා අපේ සීයා වෙන කෙනෙක් ඉස්කෝලෙදී පංතියේ ගෑනු ළමයෙක්ට "ඔයා හරි ලස්සනයි" කියල ඉංග්‍රීසියෙන් කියන හැටි පන්තියේ ගුරුවරයාගෙන් ඇහුව සිද්ධියක්. ඒ ගුරුවරයා ඉතිං හිනාවෙවී නිවැරදි ඉංග්‍රීසි වාක්‍ය කියා දුන්නලු. පස්සේ තමයි මේ කතාව ගෙදරට ආරංචි වෙලා තියෙන්නේ. හැමෝම හිනා වෙලා විතරයි.

    මගේ දෙමව්පියන් ගේ කාලෙත් පාසල් පෙම් සම්බන්දතා වැහි වැහැලලු. අර ගොළු හදවතේ ෆිල්ම් එක වගේ තමයි කියල එයාල කියන්නේ.

    අපේ කාලේදී නම් ඉතින් එක අක්ක කෙනෙක් ඉස්කෝලේ උඩ තට්ටුවක ඉඳන් පාරේ ගිය නෑදෑ අයියා කෙනෙක්ට අත වැනුවා කියලා මහා ලොකු කලබගෑනියක් කරලා අන්තිමට ලැබෙන්න තිබුණු ප්රිෆෙක්ට් කමත් නැති කරා. පෙම් පතක් අහුවුණොත් වෙන දේ හිතාගන්න පුළුවනි නේ එතකොට.

    අනිත් එක....ඔය සිද්ධියේ ළමයා විශාදයෙන් පෙළුන බව තමයි කියවෙන්නේ. එහෙම කෙනෙක්ට යම් අවවාදයක්, දඬුවමක් දෙන කොට ඒ විදියට කරන්න ඕනෙනේ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත නිරෝෂිනී... එදාට වඩා අද අපි බාධක වලින් හිර වෙලා... මතකනේ අර මිනී ස්කර්ට් කාලේ...ඉස්සර මීට වඩා සමාජය පුළුල් දැක්මක් තිබ්බා. අද මේ කුහකකම් වැඩිත් සම්බාදක නිසා කියලයි හිතෙන්නේ

      Delete
  4. ඉතාම වටිනා පෝස්ටුවක් ...!

    මේ ගැන ලිව්ව එක නම් ගොඩක් පින්. මම දිග කොමෙන්ටුවක් පස්සේ දාන්නම්කො...

    ReplyDelete
  5. බොහොම ඇත්ත අද කාලේ ඉන්නේ එක අන්තෙටකට ගිහිල්ලා හිතන මිනිස්සු දෙයක් ගැන මධ්‍යස්ථව හිතලා වැඩකරන මිනිස්සු හරි අඩුයි

    ReplyDelete
    Replies
    1. අන්තෙකට යන ගණනටත් වෑඩිය ඉන්නෙ analyse කරන්නෙ නෑති අය. ඔහේ කවුරුවත් කියනවට හරි කොහේ හරි කියවල අහල තියන දේවල් පිලිඅරගෙන මතයක එල්බ ගෙන ඉන්නවා. Lack of an analytic mind.
      ඉතා හොද පෝස්ට් එකක්

      Delete
  6. මේ බ්ලොග් එක කොත්තු සින්ඩියෙන් අහම්බෙන් මුණ ගැහුනේ.. මගේ සින්ඩියෙත් අනවසරයෙන්ම එල්ල ගත්තා.. මට පේන විදියට නම්. ඔබ වෛද්‍යවරියක්, උගත්, රටට සේවයක් කරනා යහපත් පුරවැසියෙක්. ඒ වගේම බුද්ධිමතෙක්.. අපේ සමාජයේ නැත්තේ මේන් මේ දෙයයි.. උගත් කම තිබුනට බුද්ධිමත් නෑ..

    අර කොළඹ පාසැලේ සිදුවුනේ ෆෝන් එකක් අරගෙන ඒමම නෙමෙයි. ෆෝන් එකේ පෝන් තිබීම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්, බ්ලොග් ලෝකේ වැඩිය ගැවසෙන්න බැරි වීම තුලින් මා හඳුනා ගත් පිරිස අඩුයි. මම කියවන බ්ලොග් ප්‍රමාණයත් අඩුයි. නමුත් හැමදාම හොයා බලා අලුත් බ්ලොග් ඇඩ් කරගෙන කියවනවා. ඔබේ සින්ඩියට ඇතුල් කිරීම ගැන ගොඩාක් ස්තූතියි. 2009 යුද්ධයෙන් පසු රටෙ අනිත් කොණේ විත්ති ලියන්න පටන් ගත්තු බ්ලොග් එකයි තාමත් ලියැවෙන්නේ... ෆෝන් සිදුවීම, ගැන මට පැටලිලි සහගතයි. මම ඒ සිදුවීම ගැන දන්නේ එයාකාරයෙන් නොවේ... ගැහැණු පාසලක සිදුවීම නේද ? ස්තූතියි පැහැදිලි කිරීම ගැන..

      Delete
  7. මාතලන් පෙන්නපු පාරෙන් ආවෙ,බොහොම අගේ ඇති කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප කඩේ .... අගය කිරීම් සතුටින් බාරගන්නවා

      Delete
  8. ආවෙමි.. කියෙව්වෙමි.. තේරුම් ගත්තෙමි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සප්‍රී

      Delete
  9. 3rd group: (Majority is this.)ළමයින්ට අන්තර්ජාලේ එක්ක, ෆේස් බුක් එක්ක, ඕනෙ දෙයක් කරගෙන ඉන්න ඇරලා ඔහේ ඇස් කන් පියාගෙන නිර්වින්දනය වෙලා වගේ ඉන්න දෙමව්පියො. මේ අය අවංකවම ලමයි මොනවා කරනවද කියලා තේරුම් ගන්න තරම් දැනීමක් නැති නිසා හෝ නොසලකා සිටීම පහසුවක් නිසා හෝ, වෙනයම් හේතුවක් නිසා හෝ එහෙම කරනවා වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. හැබෑමයි අයියා, මේක ගැන මතක් වුනේ නෑනේ.. ඔබේ 3 වෙනි කාණ්ඩෙත් ඉන්නවා තමයි. මම ඒක බ්ලොග් එකට ඇඩ් කරාට කමක් නෑනේද ? බ්ලොග් ලියන්න කියවන්න ආයේ කාලෙකින් මේ ආවේ.

      Delete
  10. මට අපේ දරුවන් ගැන මහා භයානක අනාගත දර්ශනයක් මැවෙනවා...

    ගුරුවරුන් අතින් හිංසනයට, වධබන්ධනයට වගේම ඇගයීමටත් මම ලක් වෙලා තියෙන හින්දා මට මේකේ බරපතලකම හොඳටම වැටහෙනවා... තමන්ගේ තරුණ කාලේ අමතක කරපු දුෂ්ට ( සමාවෙන්න... මට ඒ වචනෙට වඩා සැර අඩු වචනයක් හොයා ගන්න අමාරුයි ගලපන්න නම්...) ගුරුවරු මට මුණගැහිලා තියෙනවා... ගුරුවරුන්ට ඔක්කොටම කලින් මනෝවිද්‍යාව කියල දෙන්න ඕනේ.. අඩුම තරමේ අනිවාර්ය ට්‍රේනින් එකක් දෙන්න ඕනේ...

    අනිත් පැත්තෙන් බැලුවම.. ළමයි උනහම පොඩ්ඩක් දරාගැනීමේ ශක්තියකුත් තියෙන්න ඕනේ.. සමහර වෙලාවට ඉස්සර වගේ නෙවෙයි නේ දැන් ළමයි හැදෙන්නේ.. ( මම කියන්නේ ගුටි නැති, අම්මලා තාත්තල විසින් මල් පෙති වගේ හැදෙන ළමයි ගැන.. එහෙම නැතුව සෙල්ලම් බඩු , ඇදුම් එහෙම බෙදා හදාගෙන පරිහරණය කරන්න වෙන ළමයි නොවෙන්න පුළුවන්) එහෙම පරිසරයකින් එන ළමයින්ට දරා ගැනීමේ ශක්තිය නැති වෙන්න ඉඩකඩ බොහොම වැඩි. ( මට හිතෙන හැටි) .
    දරුවෙක් වැරැද්දක් කළහම මව්පියන් හැසිරෙන්න ඕනේ විදිය මේ හැම දේටම වඩා වැදගත්.. ළමයාගේ මානසික තත්වය තේරුම් අරගෙන එකට සුදුසු පියවරක් ගන්න එක එයාලගේ යුතුකම.. ඒ වගේම වගකීම. මුළු ලෝකෙම ඇගිල්ල දික් කලත් දෙමව්පියන්ට පුළුවන් ඒ ළමයට ශක්තියක් වෙන්න, නිවැරදි වෙන්න.. ඒ වගේම නිවරද්දේ චෝදනා කරනවා නම් ශක්තිමත් වෙන්න...

    ReplyDelete
    Replies
    1. මටත් එසේමයි උපේක්ෂා... දෙමාපියන්ගේ බැනුම් දඬුවම් නිසා වහ බීලා කොච්චර ළමයි එනවද ? විභාගේ ලකුණු නිසාත් එහෙමයි. මේ ගැන වැදගත් අධීක්ෂණයක් සහ අවධානයක් දිය යුතුමයි.

      Delete
  11. දරුවන්ට මගපෙන්වන්න වැඩිහිටියන් අළුතෙන් ඉගෙන ගත යුතු කාලයයි මේ...

    ReplyDelete
  12. කතාව හැබෑව. අනේ අපෙත් පොඩි එවුන් ඉන්නවනේ, උන් ලොකු වෙන කොට තව මොනවා අහන්න වේවිද මන්දා. දරුවො කාගේත්! කියල බලන්න පුලුවන් උන්දාකට මේ ප්‍රශ්න අඩුවෙයි කියලත් හිතෙනවා. අනේ මන්දා.

    ReplyDelete
    Replies
    1. එහෙම නොහිතන අය වැඩියි සමාදි... සමහරු කැමති අනිත් අයගේ දරුවන් විඳවනවට, වැරදි මග යනවට...

      Delete
  13. ඉතා වටිනා අදහස් අඩංගු ලිපියක්. මෙය කෙනෙකුගේ චින්තන ක්‍රියාවලියට නව මානයක් සපයනවා. මේ ලිවීමේ ව්‍යායාමයේ දිගටම නිරත වන්න. ඔබට සුබපැතුම්.

    ReplyDelete
  14. Excellent post !
    We write, we read, and we forget,.. this will only be a hot news for two more weeks, and then it will become a sad memory only for her family,.
    Until something happens, we all will fall into the same stream..
    Only those who have wisdom will act accordingly, and they do always,. Others, ignore, that's the sad truth.
    Can't write in SInhala,. whenever I can, will comment in Sinhalese,
    Again, excellent post, to the point.

    ReplyDelete
  15. ළමා මනසට එබී බැලිය නොහැකි ගුරුවරයෙක් වේ නම් ඔහු/ඇය වෙනත් වෘත්තියක් තෝරා ගන්නවා යනු ගරු වෘත්තියේ ගෞරවය රැකීමකි.
    මා පාසැල් යන කාලයේ එක් විෂය අවස්ථාවක් සඳහා (මතක පරිදි ජීවන කුසලතා) අඩු කෝප්පයක් ගෙනාවේ නැහැ කියා අඟලකට වඩා ඟනකම් ඇති පොල්ලකින් වේගවත් පහරවල් හතරක් කා ඇත. ඒ 9 වසරේදී ය.
    නමුත්, ජීව විද්‍යාව හදාරනවිට සෛලයක හරස්කඩ ඇඳගෙන ආවේ නැතුවාට ලබපු දඩුවම වනුයේ විද්‍යාගාරය ඉදිරිපිට විනාඩි 2 ක් පමණ දණ ගැස්සවීමක් පමණි.
    රසායන විද්‍යාවේදී අදාළ ගුරුතුමා එක් වැරැද්දකදී දුන් දඬුවම වනුයේ විද්‍යාගාරය වටා වටයක් දුව වීමයි. මේ සියල්ල 12 වසරේදීයි. ඔවුන් සැබවින්ම බුද්ධිමත් ගරුවරුද විය.
    මා අදටත්, ඒ උ. පෙ. ගුරුවරුන්ට ආදරය කරමි. ගරු කරමි. ඔහුන්ගේ දඩුමව සිත කා වැදුණි. අදාළ දඬුවම සමඟ ඔහුන් අපට දුන්නේ උපදේශයකි. බැන්නේ නැත. එහෙත් මා පළමු කී ගුරුවරයාට මෙන්ම, තවත් කිහිප දෙනෙකු ගැන මට ඇත්තේ වෛරයකි. එවන් වේගවත් පොලු පහරක් අතහරහා විඳීමට මා අදටත් සමත් නොවේ. එබැවින් ඇත්තේ වෛරයකි. ගුරුවරුන් හෝ විදුහල්පතිවරුන් වූ පමණින් උද්දච්චකමින් ළමුන් දෙස බැලීම අනුමත කළ හැකිද?
    *
    මා සා. පෙ. ලියනවිට තැපැල් හැඳුනුම්පත මා වෙත ලැබීමට විවිධ හේතු මත ප්‍රමාදයක් විය. එහිදී නි. විදුහල්පති කියා සිටියේ,
    “කරන්න දෙයක් නෑ. ඒවා අපිට ප්‍රශ්න නෙමේ“
    නමුත්, මා හට උගන්වාද නැති එක ගුරුතුමියක් ඊට මැදිහත්වී හැඳුනුම්පත ලබාදුන්හැටි මාගේ මතකයේ තවම තියේ. නමුත්, අපට මවක් වූ ඇයට එක දරුවෙකුවත් සිටියේ නැත. එහෙත් ඇය අම්මා කෙනෙක්, සැබෑ ගුරුවරියක් විය.
    සැබවින්ම ළමයෙකුට දඬුවම් කිරීමට මා විරුද්ධ නැත. එය ළමයා යහමඟට ගැනීමට හැකි පරිදි විය යුතුය.
    *
    අන්තර්ජාලය මට පාසැලැක් විය. මා බොහෝ දෑ ඉන් උගෙන ඇත.
    FB මට තවත් එක පුවත්පතකි. වාරණයකින් තොරව විවෘතව අදහක් පල කිරීමටත්, සංවාද කිරීමටත් හොද තෝතැන්නක් විය.
    *
    අද ගරු-දෙගුරුන් ළමුන්ට පහත අයුරින් කියනවා මා අසා ඇත.
    “අද කාලේ හැදෙන ළමයි කිසිම විනයක් නැහැ. සාරධර්ම කියලා මොනවත් දන්නේ නෑ. අපේ කාළයේ නම් අපි ඔහොම නෑ“
    මොහොතක් සිතන්න,
    ඒ ගුරු-දෙගුරුන් කුඩා කාලයේදීත් ඔහුන්ට ඔහුන්ගේ වැඩිහිටියන් එසේ පවසා ඇතුවාට කිසිදු සැකයක් නැහැ.

    ReplyDelete
  16. මේ සිදුවීම ගැන ඇතිවුන සංවාද අතරින් මම කියැවූ හරවත්ම කතිකාවත මෙයයි. සිදුවීමෙන් හද කම්පා වුන නිසාම තවමත් මගේ අදහස බ්ලොග් එකේ අකුරු කරන්න බැරි වුනා. ඒ දැරිවියගෙ මිනිවලටත් සාප කරන කාලකන්නි අන්තර්ජාලයේ දෙන පොර ටෝක් දැක්කාම දැනෙන හැඟීම් වචනයට නගන්න මගේ භාෂා දැනුම ප්‍රමාණවත් මදි.

    අද තමයි මුලින්ම ඔබේ බ්ලොග් අඩවියට ගොඩවැදුනෙ. ඒ මාතලන්ගේ ලිපියක තිබුනු ලින්ක් එක ඔස්සේ. දැන් ඉතින් ලියන හැම ලිපියක්ම බලන්න එනවා අක්කා. බ්ලොග්කරණයට ආධුනිකයන් වූ අපිට යමක් උගත හැකි මෙවැනි ලිපි දිගටම ලියන්න ඔයාට හැකියාව ලැබේවා......!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි , මිනිස්සු විවිධාකාරයි. හැමෝම සාපේක්ෂව හිතන්නේ. මමත් දැක්කා දැරියට අවමන් වෙන ලෙස පළවූ පුවත් සහ පෝස්ට්. අනේ මන්දා. සේරමල්ලා එක විදිහකට හිතනවානම් මෙච්චර් ප්‍රශ්ණ නෑනේ. බස්සිගේ පිටුව දැක්කෙත් අදයි. මේ බ්ලොග් පිළිතුරු නිසා. අනිවාරය‍එන් කියවනවා මං.

      Delete
  17. 4 වෙනි කාණ්ඩය : ළමයට ආදරේ වැඩිකමට කිසි දෙයක් තනියම කරගන්න දෙන්නෙ නෑ. ළමයාගේ හැමදේම පාලනය කරනව. අන්තිමට ළමයා දෙමව්පියන්ගෙ රූකඩ වෙලා. නිකම්ම ගේ ඇතුලට ජීවිතේ දිය වෙනවා. මේ ගැන මට පොතක් උනත් ලියන්න පුලුවන්. දෙම්ව්පියො පොඩ්ඩක් හිතනවනම් හොඳයි දරුවොන්ටත් ජීවිතයක් තියෙනව කියලා.

    ReplyDelete
  18. පොඩි උන් එක්ක සමීප බවක් ඇති කර ගන්න බැරි දෙමව්පියන් ඉන්න පවුල් වල ලමයින්ට වෑඩි සැලකිල්ලක් ඉස්කොලෙනුත් නොලැබුනාම තමා මේ දේවල් දුර දිග යන්නෙ.

    ReplyDelete
  19. වැඩිහිටි පරම්පරාව හණමිටි අදහස් ඔලුව උඩ තියාගෙන යන්නේ නැතුව බුද්ධිමත්ව හිතලා වැඩ කරන්න ඕනේ.මොකද එයාලා ළමයි තේරුම් ගත්තේ නැත්නම් කවුරු ළමයින්ව තේරුම් ගන්නද? ඒ ගොල්ලෝ පොඩි කාලේ කරපු දේවල්ම අපි කරන්න ඕනේ කියලා නෑ නේ සමාජේ හැඩ ගැස්සෙන විදිහට හොද දේවල් අරගෙන වැඩක් නැති දේවල් ඈත් කරගන්න දැන් පරපුරට උදව් කරන්න ඕනේ දෙමවුපියෝ වැඩිහිටියෝ .ඒ ගොල්ලොත් වල්මත් වෙලා උඩ පනින්න ගත්තොත් ඉස්සරහ පරපුරක් අපිට ඉතුරු වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. අනේ මන්දා එක පාරට ලෝකේ පෙරළෙනවා හතර අතට. ඇයි මේ මහ ලොකු වෙනස්කම් මේ අපේ කාලෙම සිද්ධ වුනේ...එහෙමත් හිතෙනවා වෙලාවකට. තාක්ෂණය දියුණු වෙනකොට ජීවිත අබලන් වෙනවා වගෙයි.

      Delete
  20. හරි අපූරු ලිවීමක්. සහ ලිපියක්.

    කාලෝචිතයි.

    ඒත් මේ නංගිලා මේ තරම් හිතට වහල් වෙලා ආවේගශීලි වෙන්නේ අඩු ගණනේ ලඟ මිතුරියක්වත් නැද්ද ඇට දුක බෙදා ගන්න ? නේද?

    ReplyDelete
  21. මම හිතන්නේ බොහෝ ප්‍රශ්නවලට එක හේතුවක් තමයි දෙමව්පියන්ගේ නිවැරදි අධීක්ෂනයක් නැතිවීම. දරුවන් දඬු කඳේ ගහලා අති පාන්ඩිත ලෙස හැසිරෙනවාට වඩා ඉතා සියුම්ව වටහාගැනීමේ ශක්තියක් තිබිය යුතුයි.

    බොහෝ කරුණු ලිපිය තුලත් කමෙන්ට්ස් තුලත් අඩංගු වෙලා තියෙනවා. නිදහස් මනසකින් හිතන්න පුළුවන් සමාජයන්ගෙන් ලබා ගතයුතු පාඩම් බොහොමයි.

    ReplyDelete
  22. මෙතන තියෙන පළමුවෙනි ප්‍රශ්නේ හුගක් දෙමව්පියන්ට මේ තාක්ෂණයයි , වෙබ් අඩවියි තේරුම් ගන්ඩ තියෙන නොහැකියාව තමයි ප්‍රශ්නේ. සමහර දෙමව්පියෝ හිතාගෙන ඉන්නේ ළමයි පරිගණකයට වෙලා වෙබ් search කරන එක ළමයට ලොකු දැනුමක් තියෙන විදියට. ඒක ඒ අයට තියෙන දැනුම පිළිබද ප්‍රශ්නයක්, ඕකෙම අනිත් පැත්ත හිතන දෙමව්පියොත් ඉන්නවා (අන්තර්ජාලය කියන්නේ වසංගතයක් වගේ). හැමෝටම තියෙන වැරදි සංකල්පයක් තමයි මේ වෙබ් අඩවි කියන්නේ දියුණු තාක්ෂනය කියන එක, ඒක තාක්ෂණික දියුණුවේ අතුරු ප්‍රතිපලයක් (පරිගණක යනු දියුණු තාක්ෂනයක් නොවේ). ඇත්තටම බැලුවොත් ළමයින්ට සමාජ ජාල වෙබ් අඩවි අවශ්‍ය නැහැ. මොකද එකෙන් කිසිම සහයෝගයක් ළමයෙකුට ලැබෙන්නේ නැහැ. නමුත් අන්තර්ජාලය භාවිතය ගැටළුවක් නැහැ මොකද සෙල්ෆ් ලර්නිග් කියන එක වැදගත් නිසා. මෙතන ගැටලුව තියෙන්නේ ඕක දැනෙන ආකාරයට කියලා දෙන්න කෙනෙක් නැතිකම.

    දැන් මම එහෙම කිව්වා කියලා ෆේස්බුක් ගිණුමක් ළමයෙක් හදාගැනීම මාරාන්තික වරදක් විදියට සැලකිය යුතු නැහැ, නමුත් අඩුම තරමේ ඔවුන් එහි කරන්නේ මොකද්ද කියන එක සොයාබැලිය යුතු වෙනවා. අනිත් එක තමයි දෙයක් සිද්ද වුනාම ඒක උනේ කොහොමද කියලා හොයලා බලන්නේ නැතුව කටයුතු කරන එක ( මිය ගිය දරුවාගේ ෆේස්බුක් ගිණුමට ටැග් කරන ලද චායාරුපය වැනි දේ ) මේක එම විදුහල්පති වරයාට තිබුන තාක්ෂණික දැනුමේ වැරද්දක් නෙවෙයි, ඒක එයාගේ තීරණ ගැනීමේ ඇති හැකියාවෙහි ඇති දුර්වල කමක්. ඒ ළමයා ඒ චයාරුපය එයා විසින් කරන ලද්දක් නොවන බව පුන පුනා පවසද්දීත් බැනපු එක තමයි හොදම උදාහරනේ. ඕක ගැන දන්නේ නැත්නම් අඩුමතරමේ තාක්ෂණික උපදෙශකයෙකුගෙන් වත් අහන්න තිබුන ඇත්තටම එහෙම එකක් වෙන්න පුලුවන්ද කියන එක. එකෙන්ම තේරෙනවා මිනිහගේ තියෙන දුර්වලකම.

    ReplyDelete
    Replies
    1. (පරිගණක යනු දියුණු තාක්ෂනයක් නොවේ)

      තේරුණේ නෑ.. !!

      Delete
  23. දැන් කියවෙන දේවල් අනුව විදුහල්පතිවරයා තමන්ගේ සීමාව ඉක්මවා ගොස් ඇති බව තමයි කියවෙන්නේ. එසේ නම් ඒ සඳහා ඔහුට දඬුවමක් ලබාදිය යුතුයි. නමුත් විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දෙන මානසිකත්වයක ඉන්න රජය, හමුදා හැසිරීමක් පෙන්නුම් කරපු එක ගැන විදුහල්පට දඬුවම් කරයි කියලා හිතන්න අමාරුයි.

    ඇත්තටම මම හිතන්නේ අපි අද අත්දකිමින් ඉන්නේ විශාල සමාජ විපර්යාස සිදුවූ කාලවකවානුවක්. ඩිජිටල් කැමරා, දුරකතන, පරිගණක, අන්තර්ජාලය ආදිය ළමා කාලයෙදීම පරිහරණය කරන්න ලැබුණ මුල්ම ළමා පරපුර තමයි දැන් ඉන්නේ. මේ පරම්පරා දෙක අතර පරතරය ඉතා ඉහලයි, ඒවගේම ගැටුම් වැඩියි. මේ නිසාම ළමයින්ගේ ළමා කාලයෙන් වැඩිම කොටසක් ගතකෙරෙන පාසල් තුල මේ වෙනස වටහාගෙන යම් යම් වෙනස්වීම් සිදුවිය යුතුමයි.

    විදුහල්පතිවරයා වැරදියි කියමුකෝ, නමුත් ඒ නිසා මේ ළමයා සියදිවි නසා ගැනීම තවත් ප්‍රශ්නයක් කියලා මම දකින්නේ. තාක්ෂණ දියුණුවත් සමග තොරතුරු ලැබීම සහ පුද්ගල සබඳතා වැඩි නිසාම, මට හිතෙනෙන අද ළමයින්ගේ ඔළුවට යන දේවල් ප්‍රමාණය වැඩියි. මානසික ගැටළු ඇති වීමට වැඩි ඉඩකඩක් අද සමාජයේ තියනවා. මව සහ පියා දෙදෙනාම රැකියා කිරීම, නෑදෑපිරිස සමග නොව පවුල් ඒකක වශයෙන් ජීවත්වීම ආදිය නිසා ළමයින් දෙමාපියන් අසුරේ හෝ පවුලේ වැඩිහිටියන් ඇසුරේ හැදීවැඩීමත් දැන් සාපේක්ෂව අඩුයි.

    මේ දැරියගේ සිත්තැවුලට හේතුව විදුහල්පතිවරයා වුණත්, හෙට වෙන ළමයෙකුට මේ සිත්තැවුල වෙනත් දෙයකින් ඇති වෙන්න පුළුවන්. විභාග ප්‍රතිඵල, පෙම් සබඳතා ආරවුල්, දෙමාපිය ආරවුල්, වෙනත් ළමයින්ගේ හිරිහැර හෝ අපි නොහිතන යම් දෙයක් වෙන්න පුළුවන්. දෙමාපියන් සමග හොඳ සම්බන්ධතාවයක් තිබීම බොහොම වැදගත්, ඒත් අපි දන්නවා හැමවෙලාවෙම ඒක ප්‍රායෝගික නෑ, මේ දැරියගේත් මව සහ පියා වෙන්වී සිටි බව සඳහන් වෙලා තියනවා මම දැක්කා.

    මගේ අදහස නම් ඉතා පුළුල් උපදේශන සේවාවක් පාසල් මූලික කරගෙන ආරම්භ විය යුතුයි. ළමයින්ට ප්‍රශ්නයක් ඇති වූ විට බියක් සැකක් නැතිව කතා කරන්න පුළුවන් වෘත්තිකයන් පිරිසක් පුහුණු කල යුතුයි. මෙහෙම කියනකොටම මට හිතෙන්නේ, හැම දේම වගේ දූෂිත අපේ සමාජයේ සද්භාවයෙන් යුතුව මේ වගේ සේවාවක් පටන්ගනීමට ඉඩක් තියනවද කියන එකයි. ඒ වගේම වැදගත් දෙයක් තමයි දුරකතන helplines. තමන්ගේ ප්‍රශ්නයක් තව කෙනෙකු සමග මුහුණට මුහුණ කතා කිරීම මුලින් දුෂ්කර විය හැකි නිසා helplines ක්‍රමය අවශ්‍ය වෙනවා.

    මේ ගැන කල්පනා කරනකොට මට හිතෙන තව දෙයක් තමයි, අන්තර්ජාලය ගැන දැනුවත් පිරිසක් විදිහට අපිට පෞද්ගලිකව කරනන් පුළුවන් දේවල්. මෙවැනි නව යොවුන් වයසේ පසුවන දරු දැරියන් ඔබගේ නෑදෑයන්, හිත මිතුරන්, අසල්වාසීන් අතරත් ඇති. ඔවුන්ගේ දෙමාපියන් පිළිබඳවත් ඔබට යම් අවබෝධයක් ඇති. අන්තර්ජාලය, ෆේස්බුක්, ආදිය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමට ඔබට යම් දෙයක් කල හැකියි නේද? මගුල්ගෙවල්, මළගෙවල්, දාන, මත්පැන් සාද වගේ පිරිස එක් රැස් වෙන අවස්ථාවක මේ වගේ මාතෘකාවක් ගැන කතා කලහැකියි නේද? බ්ලොග් ලියනවා, කොමෙන්ට් කරනවා සේම අපි මේ දේ ගැනත් අවධානය යොමු කලයුතුයි කියලා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස ඉතාම වටිනවා තිසර... පාසැල් මට්ටමෙන් හෙල්ප් ඩෙස්ක් එකක් අවශ්‍යමයි... පිට කාට හරි ප්‍රශ්නෙ කියන්න ළමයි කැමතියි මොකද කුඩා කල ඉඳන් "මේ ළමයා නම් මෙහෙමයි, අර එහා ගෙදර ළමයා වගේ හැදෙන්න, අර නැන්දගෙ පුතා, අර අයියා අර අක්කා වගේ හැදෙන්න" කියනවා ඇරෙන්න තමන්ගේ දරුවා විනිශ්චය කරන කෙනෙක් වෙනවා ඇරෙන්න දෙමාපියන් ඔවුන්ගේ හිත ඇතුලාන්තයට එබී බැලුවේ නෑ නේද කවදාවත්. ඔබ කීවා වගේ මම නම් කොහේ හරි සාදයකට දානෙකට මගුලකට ගියොත් පැටලෙන්නෙම සමාජ විෂමතා ගැන කතාබහකට....ඒකෙන් අපේ දැනුමත් අළුත් වෙනවා අන් අයගේ අදහසුත් අළුත් වෙනවා.

      Delete
  24. ++++++++++++++
    ඔන්න බුකියේත් ෂෙයාර් පාරක් දැම්මා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙප් මහත්තයා.

      Delete
  25. මෙහා කොණේ ඉඳන් වුනත් ආයිමත් "අනිත් කොණ"ආයි ලියන්න ගත්තු එක හොඳයි ... ඒ වගේම මේ ලිපිය ඉතාම සමබර අදහස් එකතුවක් .. මේ අවාසනාවන්ත සිදුවීම ගැන සිදුවෙන හුඟක් කතාබහ ආවේගශීලී මතුපිටින් කෙරෙන කතා... මගේ අදහස මේකයි .. අපි හිතමුකො ප්‍රින්සිපල් සැඟවුනු මානසික රෝගයක් ඇති කෙනෙක් කියල ( මේ හාදය නම් ඇත්තටම එහෙමද කොහෙද ).. ඉතින් අපේ දරුවො හදන ක්‍රමයෙ ( ගෙවල් වලින් සහ කුඩා කල සිට අද්යාපනයෙන් ) තියෙන්න ඕන නේද , මේ වගේ මිනිස්සු සමාජයෙ ඉන්නවය , උන් හැසිරෙන්නෙ මෙහෙමය , ඒකට අපි ප්‍රතිචාර දක්වන්න ඕන මෙහෙමය කියල දරුවන්ට ජීවිතාවබෝධයක් ලබාදෙන ක්‍රමයක් ... අපිට මානසික විකෘති මිනිසුන් සමාජයෙන් අතුගාල දාන්න බෑනෙ ( යමක් වෙනකම් හඳුනගන්න බෑ නෙ ). නමුත් දරුවන් තුල අර කියපු අවබෝධය වගා කරන එක කරන්න පුලුවන්.. තව දෙයක් මම එක එල්ලේ කියනව.. ( ඇය ෆේස් බූක් පරිහරණය කලාය කියන එක උඩ මේක තවත් වලංගුභාවය වැඩි වෙනව ). අර හාමුදුරුකෙනෙක් හරක් මරන්න එපා කියල ගිනිතියාගත්තු වෙලේ... ඒ කලේ පාරමිතාවක්ය අරක මේක කියල ෆේස් බුක් එකෙයි මේල් හරහයි ඒ මුග්ධ ක්‍රියාව උත්කර්ෂයට පත් කරපු හරකුනුත් මේ මරණයට වග කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සපතේරු උන්නැහේ... දරුවෝ හදන ක්‍රමේ කොහොම වෙතත් දරුවෝ හැදෙන්නේ දෙමාපියන් ඇසුරේ නෙමෙයිනේ දැන් කාලේ, එක්කෝ නැනී, එහෙම නැත්නම් ආච්චි හෝ සීයා එක්ක. මේ ක්‍රමයට කාටවත් බැනලා වැඩක් නැති තරම් . අම්මා තාත්තා දෙන්නම රස්සා කරන්න ඕනෙ නිසා, මුදල් මත්තෙම ගොඩ නැගුනු ජීවිත නිසා... මේවා මේ විදිහට සිද්ධවෙන්නේ. නාට්‍යවලත් චිත්‍රපට වලත් දැක්කා බොරුවට දෙමාපියන් බය කරන්න සිය දිවි නසාගන්න හදනවා. ඕවයෙන් තමයි ලෙහෙසියෙන් මේ අදහස් ළමයින්තුලට යන්නේ...

      Delete
  26. තාක්ෂනය අවභාවිතාකිරීමට දරුවන් පෙළඹෙන්නේ දෙමාපියන්නේ ගේ ඇති තාක්ෂණික දැනුම අඩුකම නිසි කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ නොදැනීම නිසා දෙමාපියන්ට ඒ ගැන දැනගන්න ලැබෙන්නේ වෙනත් අයගෙන්, බැරිවෙලාවත් පාසැලේ ගුරුවරයා, අල්ලපු ගෙදර නෝනා, හෝ අම්මාගේ අක්කා නැන්දා පැවසුවොත් ළමයින්ට මේක අරක කරන්න එපා කියලා අපේ අයත් ඒක පිළිගන්නවනේ...

      Delete
  27. මාතලන් මේ කොණට යොමු කළ එක කොතරම් හොඳ දෙයක්ද.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතපු එකම ලොකු දෙයක්. ස්තූතියි...

      Delete
  28. කනගාටුවටම කාරණේ තමයි අපි බොහොම දෙනෙකුට මේ සිදුවීම මතක තියෙන්නේ ඉතාම කෙටි කාලයක් වීම. ඒ නිසාම වැරදි නිවැරදි වීමක් බලාපොරොත්තු වෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අනන්තවත් දකිනවා, මෙවැනි මානසික ආතතියෙන් පෙළෙන ප්‍රශ්ණ හමුවේ ජීවිතේ අවසානයැයි සිතන ළමුන් නමුත් උපදේනය සහ අවවාද , ඇතැම් විට බෙහෙත් හේත් පමණයි දිය හැක්කේ... සමාජ වටපිටාව වෙනස් කරන්න ලොකුම සටනක් දිය යුතුයි.

      Delete
  29. Blog liweemath wilasithawak wegena ena kaaleka, Ithamath pulul dakmakin liyana stahanak bawa hodinma pahadiliy! Jathika puwathpathakawath melesa niwaradiawa tharakikawa karaunu galapa liyana satahan dakaganna amarui dan!!!

    ReplyDelete
  30. මාතලන් පෙන්නපු පාරෙන් ආවෙ, ඔබේ විග්‍රහය ඉතා හරබර මෙන්ම වැදගත් එකක්.
    දෙමාපියන් සහ ගුරුවරු කියවිය යුතුම විග්‍රහයක්.

    ReplyDelete
  31. හොද පෝස්ට් 1ක් :)

    ReplyDelete
  32. අන්තර්ජාලය ළමුන්ට ස්පර්ෂ කරන්න ඉඩ දියයුත්තේ වගකීමකින් තමයි. නමුත් ඕනාවට වඩා කුහක වෙන්න ගියොත් ලෝකේ ජීවත් වෙන්න බැරි වෙයි. ළමයින්ට අධ්‍යාපනය දෙන්න ඕනේ ඔවුන්ට නිසි පැවැත්ම සමාජය තුල හදාගන්න මිස ලිංගික කුහකත්වයන් ඔලුවට දාන්න නෙවෙයි. අර කුරුණෑගල සිද්ධියත් විදුහල්පතිගේ ගතානුගතික කුහකකමේ ප්‍රතිඵලයක් මේවා අනාගතේ නොවියයුතුයි.

    ReplyDelete
  33. ඉතාම වටිනා පොස්ට් එකක්. අහම්බෙන් වගේ මතලන්ගේ ලින්ක් එකෙන් අවේ. අපි ලියන බ්ලොග් වලින් සමාජයට දෙයක් දෙන්න පුලුවන්නම් ඉතාම වටිනවා. අද තමයි මේ පැත්තේ අව පළමු දවස.

    ReplyDelete
  34. ඉතා හොද පෝස්ට් 1ක්

    ReplyDelete
  35. වැරැද්ද තියෙන්නේ භාවිතාවේයි. ෆේස්බුක් වේවා, යුටියුබ් වේවා, මේවා තියෙන්නේ, පොදු දේවල්(කන්ටෙන්ට්) හැමෝටම වැඩි දෙනෙක් දකින තැන්වල හුවමාරු කර ගන්නයි. නමුත් අපේ අය කෙල්ලට හාදු යවන්නෙත් පෝස්ට් එකක් විදියට, බල්ලා දොස්තර ගාවට යන්න කලින් පොස්ට් එක දාලා තමයි යන්නේ. කඩේකට ගියත් කන්න ඉස්සෙල්ලා පිඟාන පොටො අරන් තමයි කන්න පටන් ගන්නේ. මේ පුරුද්ද තමයි තමන්ගේ පෞද්ගලික දේ මොකද්ද, හැමෝටම පේන්න දාන්න ඕන එක මොකද්ද කියල තෝර බේර ගන්න බැරි තරමට පුරුද්දක් වෙන්නේ. ඉස්සර කෙල්ලෙක්ගෙන් පොටො එකක් ඉල්ල ගන්න කොයි තරන් කට්ටක් කන්න ඕනෙද සමහර විට යාලුවෙලා කාලයක් යනකල් දෙන්නේ නෑ. ඒත් දැන්? කාමරේ රෑට ඇඳන් ඉන්න ඇඳුම් පිටින් පොටො ගහලා අර ශොප් එකෙන් මේ ශොප් එකෙන් ගත්තේ කියලා හිරිකිත නැතුව පෝස්ට් එකකුත් දානවා ලැජ්ජා නැතුව. වැරැද්ද තියෙන්නේ කොතනකවත් නෙවෙයි. තමන්ගේ මෝඩකම කොයි තරන්ද කියන එක මතයි. සමහරුන්ගේ ෆේස්බූක් පිටුව කියන්නේ නොමිලේම තමන්ගේ පෞද්ගලිකත්වය ප්‍රසිද්ධ කරන තැනක් වගේ. තමන් ලියන්නේ මොනවද, ශෙයා කරන්නේ මොනවද කාත් එක්කද කියන එක තම නැණ පමනින් විමසීම වටී!

    ReplyDelete
  36. ඉතාම හොද ලිපියක් සහෝ ,, මේ වගේ දේවල් සාමන්‍ය ජනතාව අතරට ගෙනියන්න පුලුවන්නම් කොච්චර හොදද ,,බ්ලොග් කියවන ලියන අපිට වගේම කාටත් වටිනවා ,, ජය වේවා

    ReplyDelete
  37. පුවත් පතක පළවිය යුතුම ලිපියක්
    එකඟය ඔබට
    ජයවේවා.

    ReplyDelete
  38. වෙද නළාව , ඉන්ජෙක්ෂන් කටු පමණක් නොව පැන පෑන්සල ද හුරු දොස්තර නෝනල ඉන්න බව, අනෙක් මිනිස්සුන්ට දෑනෙන හැඟීම් දැනීම් ඒ වගේම නැත්නම් ඊටත් හොඳින් දොස්තරලටත් දැනෙන බව වගේම ඒ රාජකාරියේදි මුහුණ දෙන්න වෙන දුෂ්කර අවස්ථා, සංවේදි අවස්ථා සිංහල බ්ලොග් කියවන්නා ට අවබෝධ කරවු බ්ලොග් අඩවියක් අනිත් කොණ.

    ReplyDelete
  39. වෙද නළාව , ඉන්ජෙක්ෂන් කටු පමණක් නොව පැන පෑන්සල ද හුරු දොස්තර නෝනල ඉන්න බව, අනෙක් මිනිස්සුන්ට දෑනෙන හැඟීම් දැනීම් ඒ වගේම නැත්නම් ඊටත් හොඳින් දොස්තරලටත් දැනෙන බව වගේම ඒ රාජකාරියේදි මුහුණ දෙන්න වෙන දුෂ්කර අවස්ථා, සංවේදි අවස්ථා සිංහල බ්ලොග් කියවන්නා ට අවබෝධ කරවු බ්ලොග් අඩවියක් අනිත් කොණ.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !