Saturday, July 22, 2017

මූත්‍රා මැනීමේ මහා වැඩමුළුව !

ඇඳක් ඇඳක් ගානේ වෙද නළාවත් එල්ලගෙන යනකොට ඒ ඇඳන් පාමුල පුටුවකට බර වෙලා ඔළුව ගහගෙන ඇඳ විට්ටමේ, බුදුවෙන්න පාරමී දම් පුරන බෝසත් අම්මලා, නිදි මරාගෙන දරුවන් කරේ එල්ලගෙන ,
"තවම හොඳ නෑ ඩොක්ටර්"
"ඇයි දන්නෙ නෑ උණ එන්නේ, "
ඒවගේ කතා කියන්නේ බොහොම කණගාටුවෙන්. ඉතින් එකවරක් නොව සිය වරක් උනත් එන එන දොස්තරගෙන් නර්ස් නෝනෙක්ගෙන් එකම දේ අහන්නේ හිත සැහැල්ලු කරගන්න වෙන්නත් ඇති.  වාට්ටුව වටේ ඇඳෙන් ඇඳට යද්දී,  මගේ කරේ නළාවේ පැටලිලා    එකතුවෙන දුක් කඳුළු සෝ සුසුම් , හිතට ගෙන එන්නේ බරක්
ඩෙංගු රෝගීන් ගණනෙහි අඩුවක් දකින්න තිබුනත්, නේවාසිකව තවමත් ඩෙංගු ඇන්ටිජන් පොසිටිව් ඒවගේම නෙගටිව් වුනත් ප්ලේට්ලට් අඩුවෙන පිරිසක් තවම එනවා , ප්‍රතිකාර ගන්නවා.
කළින් තිබුනු අමුතුම ආකාරයේ රෝගීන් උතුරා යෑමක් දැන්නම් පෙනෙන්නට නෑ.
ඔය අතරේ, මම රෑ වැඩ සඳහා වාට්ටුවට පැමිනෙද්දිම මිස් කෙනෙක් කීවේ..
"ඩොක්ටර් අන්න අර අහවල් ඇඳේ බබා පැය තුනක්ටම මූත්‍රා මිලි ලීටර් 25 දාලා තියෙන්නේ" කියලයි...

ඔන්න ඉතින් ෆයිල් එක අරන් පසුගිය සටහන් බලද්දී තේරුණ දෙයක් තමයි, මේ දරුවා ඊට කළින් සෑම පැය තුනකටම වරක් සීයකට වඩා මූත්‍රා දමා තිබෙන බව.
මේවගේ එකපාරම අඩුවීම් තමා භයානක.
කෝකටත් පෙර උගත් පාඩම් ඇති නිසා
එක පාරක් පැය තුනක්ම ගියේ මිලි මීටර් නමයයි කීව අම්මෙක් නිසා අපේ හදවත් නවතින්න ගිහින් මොකුත් කරන්න කලින් " කෝ මනින කප් එක " කියලා ඒක බලද්දී, මිලි ලීටර් 9 කියා අවුන්ස 9ක් පෙන්නුවා කප් එක පිරෙන්න එතකොට චූ ගිහින්.
ඔන්න ඔහොම වැඩ කරන අම්මලා ඉන්න නිසා, අපිට එයාලා මූත්‍රා මනින කප් එක ඉල්ලගෙන හොයාගෙන බලන්නත් වෙනවා. ඔව් අර මූත්‍රා මනින කප් එක, සිරින්ජ් එක.... එක සැරයක් කිලෝ 40 කියලා ගහපු සිරින්ජරයක් නිසා 40 ඒවා 7 දැම්මා කීව බබෙක් ගැන, ඒකත් කලබල වෙන්න කලින් ඔය සිරින්ජරෙ පෙන්වන්න කීව නිසා යන්තම් කරදර වෙන්න කලින් සිද්ධිය බේරුම් කර ගත්තා.

හැබැයි ඊයේ අම්මා නම් එක හෙලා කියා හිටියා. හරියට මැන්න බව.
මායි මිසුයි යනවා ඇඳ ළඟට... "කෝ දෙන්න කෝප්පේ" අම්මා කෝප්පේ දෙනවා...
මට පේනවා අවසාන අගය ලෙස අඩියට පොඩ්ඩක් උඩින් සටහන් වෙන්නේ 100 ml ඒ කියන්නේ මිලි ලීටර් 100 ඊට පස්සෙ 150 , 200 ඔහොම වැඩි වෙමින් යන්නේ ඉහළට යනකම්... දැන් මට පුදුම අම්මා කොහොමද 25 ml  මැන්නේ කියලා.
"කෝ අම්මේ මිලි ලීටර් 25 සලකුණ"
අම්මා අන්දුන් කුන්දුන්... "අනේ මට ඇස් පේන්නෙ නෑ, පුතා තමයි කීවේ 25 කියලා" ඔන්න බළලා මල්ලෙන් එළියට පනිනවා.
දරුවා නිදි..  මේ අවුරුදු 12 විතර වෙන ඔය අපිව නුරුස්සන සෙට් එකේ පොඩ්ඩෙක්.
මම කතා කරලා අහනවා, "පුතේ කොහොමද ඔයා විසිපහක් කීවේ..."
"අනේ මං දන්නෑ.. මට හිතිච්ච ගානක් කිවා" ඔන්න දරුවාගේ උත්තරේ
එහෙම කියලා චක් චුක් ගාලා මෙන්න මේ පැංචා ආයෙම බුදි.
දැන් අම්මා ඔරවගෙන ඉන්නවා අපි දිහා.
"අම්මේ මොකද කරන්නේ , මේ දරුවට ඩෙංගු ( ඇන්ටිජන් පොසිටිව්) එතකොට මේ දරුවාගේ මූත්‍රා මනින එකයි දියර හරියට දෙන එකයි තමයි ඔයා කරන්න ඕනෙ. "
"කෝ බලමු මනින ඒවා ලියන කොළ "
ඒකත් බලද්දී හොඳටම ලියලා තිබ්බට මට තේරුනා මේ අම්මට එහෙම විශේෂ වැටහීමක් මේ කරන වැඩේ ගැන නැති බව.
"ඇයි මේ වැඩිපුර දීලා" මම අහද්දී උත්තරේ වුනේ
"බොනකොට වමනෙ ගියා එනිසා මම ආයෙත් වැඩිපුර ප්‍රමාණයක් දුන්නා" කියලයි.
"වමනේ ගියොත් අපිට කියන්න ඕනෙ, එහෙම ඔයාට ඕනෙ විදිහට පොවන්න බෑ" මම පැහැදිලි කළා.
"ඇයි මේ උණ බහින්නේ නැත්තේ"
මම මේ මුත්‍රා ප්‍රශ්නෙ විසඳන්න හදද්දී අම්මා වෙන වෙන ඒවා අහනවා මග අරින්න ප්‍රශ්නෙන්.

"දැන් අම්මේ ඔයාට කළින් හිටපු ඩොක්ටත් ලොකු මැඩමුත් මේවා පැහැදිලි කළා, ඔන්න ඩොක්ටර් අර ඩොක්ටර් මාලිත් මෙයාට පැයක් විතර අඬගහලා පැහැදිලි කළා" මිස් මට කියනවා.

"අම්මේ මේ කරන දේ හරියට කරන්න කියන්නේ අපි හොයන බලන නිසා නෙමේ. ඔයාගේ දරුවා කරදරයක් නැතිව ලෙඩ හොඳ වුනොත් ඒක ඔයාගේ සැනසීම. මේ දේවල් කරන්නේ අපිව සනසන්න නෙමේ "

අපි කළේ මිලි ලීටර් 10 සිරින්ජරේ ගානේ මේ අම්මට දෙන එක, අල්ලපු ඇඳේ ඉන්න ආච්චියෙක් , එයාවත් චෙක් කරා නිකමට , අනේ එයාගෙ කෝප්පෙත් 100 ml වල්ට වඩා අඩුවෙන් මනින්න බෑ. ඒ පාර එයාටත් ඔන්න කියලා දුන්නා.
ඊළඟට ආයෙම ඒ පොත බලද්දී, එක පාරම බොන්න දුන්නු ගාන වෙනස් කරලා. මම එහෙම කරෙත් නැති නිසා බලද්දී, ළමයගෙ අම්මා, ආච්චිට බබා බලන්න බාර දෙද්දී වරද්දලා කියලා කියලයි තේරුනේ.
"අනේ පුතේ මට 40 ml  තැන පේන්නෙ නෑ " කියමින් මං ළඟට ආයෙම ආවා කෝප්පේ උස්සගෙන, ඒපාර වෝඩ් රවුන්ඩ් එක පැත්තක තියලා, ටිපෙක්ස් එකක් ගෙන්නගෙන මෙයාලට සලකුණු කරලා දුන්නා " අපිම ආයේ මේ ප්‍රමාණ වෙනස් කරනකම් මෙහෙම තමා" කියලා.

ඊළඟට මම දහයට ඇවිත් බලනවා. කෝ අර බබාගේ පැයෙන් පැය මැන්නද කියලා
"අම්මේ පහුගිය පැයේ කීයක් දැම්මද ?"
"සිරින්ජරෙන් තුනක් "
ආ ඒකියන්නේ 30 ml මම ගණන් හදා ගන්නවා.
"ඊළඟ පැයේ ? "
"දැම්මේ නෑ, මැන්නෙ නෑ, කෝ මට කීවේ නෑනේ"
ඉතින් මට පොළොවේ පස් කන්න හිතුනා, මෙච්චර පැය භාගෙටත් වඩා වෙහෙසිලා...
අම්මේ ඔයාට කරන්න තියෙන්නේ වැඩ දෙකයි. දැන් බබාට මූත්‍රා අඩු නිසා අපි සියළු දියර ජාති සේලයින් එකෙන් දෙනවා. එනිසා බොන්න දෙන්න එපා ! මූත්‍රා හරියට පැයෙන් පැය මැනිලා කියන්න" මම ඇඟිලි දෙකක් ඔසවලා ඇයට පෙන්නමින් කීවා. ඒත් මෙයා පැය තුනක් යද්දි ඔන්න මැනලාම නෑ.
"හා දැන් දාන්න මේ පැයේ බලමු" මම කීවා.
ඔන්න අම්මා ටිකකින් එනවා.  "කොච්චරක් තිබ්බද ?"
"සිරින්ජර 3යි පොඩ්ඩයි"
"කෝ ගේන්න සිරින්ජරේ, ඉතින් ඔය පොඩ්ඩ මනින්නනේ සිරින්ජරේ දුන්නේ"
අම්මා මට සිරින්ජරේ දික් කරමින්, දෙකේ ස්ළකුණ පෙන්වයි." ඇයට කියවා ගන්න බැරි බව දැන් මට වැටහේ. අහෝ මම විඳි දුකක් !
"ඩොක්ටර් ඔයාගේ කට ගලක උලාගත්තනම් හොඳයි කියලා හිතුනා නේද ?" වාට්ටුවේ මිස්කෙනෙක් අසයි.
අප වෙත එන බොහෝ මව්වරුන් මෙවැනි අඩු ආදායම් ලාභී පවුල් වල හරි හමන් ඉගෙනුමක් ලැබූ අය නොවේ. ඔවුන් කියන දේවල් ඒ අයුරින්ම ගත්තා නම් මේ දරුවන්ට එක්කෝ අපි වැඩිපුර දියර දී අමාරුකරගෙනය, නැත්නම් අඩුවෙන් දියර දී විජලනය කරගෙනය.
මේ ලංකා අහස යට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක වැඩකරනවා යනු විටෙක අප, නඩුකාර උන්නාන්සෙලාය, විටෙක ගණිත ගුරුවරුන් ය. විටෙක පෝෂණවේදීන් ය. විටෙක පවුල් ආරවුල් විසඳන අයවලුන් ය. ඇඳුම් සපයන්නෝය, සෙල්ලම් බඩු සපයන්නෝ ය. මදුරු දැල් ගෙන එන්න ආධාර සොයන්නවුන් ය. මිතුරන් සමග එකතුවී වාට්ටු පේන්ට් කරන පේන්ට් බාස්සුනැහැලාය.

කොටින්ම වාට්ටුවේ හෝ රෝහලේ කුදු මහත් අඩු පාඩුකම් පෙනෙද්දී දෑස් පියන් අපේ වැඩේ විතරක් කරගෙන පාඩුවේ ඉන්නට බැරි බැරියාව ඇති අය ය. එහෙම අයට මේවායේ කරන්නට වැඩ ඕනෑ තරම් ය.

මේ සියලු සංවේදනා විටෙක වෙහෙසක් ය. මතක් කරද්දී සැනසෙන්නට කරුණු ඕනෑ තරම් ය !

Monday, July 17, 2017

ලීකිං ලීකිං - ඩෙංගු කතා

"ඩොක්ටර් ඔයා අන්න අර ඇඳයි මේ ඇඳයි බලලා ඉන්න... ඉක්මනින්." උදෑසනම වාට්ටුවෙ වෝඩ් රවුන්ඩ් කරන්න හදද්දිම මිසීගෙන් නියෝගයක්. එවෙලෙම බලපු pcv එක ඉහළ අගයක් ඇවිත්. ඒකියන්නේ රුධිරයේ තරල සහ සෛල අතර ප්‍රතිශතය.

දරුවගේ අත් තරමක සීතලක් දැනෙනවා ඒත් ඔහු හරි පහසුවෙන් ඉන්නවා. ඇහුවට අමාරුවක් නෑලු . බඩ පොඩ්ඩක් රිදෙනවා. හැබැයි තේරෙනවා පරීක්ෂා කරද්දී නාඩි වැටෙන්නෙත් අඩුවෙන් බව. මූලික සොය බැලීම් පරීක්ෂන සියල්ල බැලූ විට ටක්කෙටම හිතුනේ "ලීකින්" කියලා. ඩෙංගු රක්තපාත උණ තත්වයේදී , රුධිර නාල වල ඇති තරල ඉන් පිටතට ගලා යෑම අපි ලීකිං කියා හඳුන්වනවා. ඒකට හේතුව රුධිර පට්ටිකා අඩු වීම නොවේ. රුධිරයේ ඇති සයිටොකයින් සහ රුධිර පට්ටිකා සක්‍රීය කරන සාධකය නම් දේවල් යැයි හොයාගෙන තියෙනවා ( cytokines, platelet activating factor)

"කෝ ඉක්මනින් ස්කෑන් එක ගේන්න." මොකද කළින් රෑ හිටපු වෛද්‍යවරයා ස්කෑන් එකේ ලීකිං නොමැති බව හඳුනාගෙන තිබුනා. ස්කෑන් එකෙත් ලීකිං ඇති බව පෙන්නුම් කළා. මෙහෙම දේවල් සැනින් හඳුනා ගත හැක්කේ පැයෙන් පැය, මූත්‍රා මනිමින්, පැය හතරකට හෝ හයකට වරක් pcv අගය කරමින් මේ අය බොහොම කිට්ටුවෙන් පරීක්ෂා කරමින් පවතින නිසා. එසැනින් ක්‍රියාත්මක කර තරල නාලිකා වල රඳවාගන්න රුධිර පීඩනය හොඳින් පවත්වාගන්න අවශ්‍ය දේවල් කළ යුතුයි.

දැන් මෙහෙම ඒවා වෙනකොට ඒ අම්මලාත් කලබල වෙනවා. මම එහෙම නිසාම ඩෙංගු අසාධ්‍ය තත්වයේ අය ඉන්නා කොටසේ අම්මලා සියළු දෙනාට, රක්තපාත තත්වය හඳුනා ගන්න හැටි මෙහෙමයි කියලා, ඔය උඩ සඳහන් කළ විස්තර හා සමාන විස්තර කියා පෑවා.

අම්මලාගේ කාර් යය නියම කරන දියර ප්‍රමාණ මැන මැන දෙන එක, මූත්‍රා මැනලා කියන එක.

ඒත් අම්මලා අහන්නෙම ප්ලේට්ලට් ගැන !

දවල් දෙකට, රෑ දහයට අප වෙත එන දැනුම් දීම පොදුය "බඩ දනවා !"

බබාට කැව්වද උදේට කෑවද රෑට කෑව ද ? ඕවා ඇහුවම කියන්නේම.

දරුවා කන්න බෑ කියනවා

අප්පිරියා කරනවා

ඕක් ගානවා

එනිසා කවලාම නෑ. ඉතින් බඩ පපුව දන්නේ නැත්නම් පුදුමයි

"අම්මලා ඉන්නේ කවා ගන්න. මට කරන්න පුළුවන් සේලයින් දෙන එක ඩෙක්ස්ට්‍රෝස් දෙන එක. ඒවා දීල කෑම නැවැත්තුවොත් දරුවගේ බඩට හොඳක් වෙන්නෙ නෑ... ගැස්ට්‍රයිටිස් හැදිලා තව අමාරු වෙනවා මිසක. අනික වෛරස් උණ හොඳ වෙන්න ඇඟෙන්ම ප්‍රතිශක්තිය ඇතිකරගන්න ඕනෙ. ඉතින් ඇඟට ශක්තිය ඕනේ. කෑවොත් ඉක්මනින් ගෙදර යන්න පුළුවන්" කියලා මම ඔවුන්ට කියනවා

ඒත් අම්මලා අහන්නේම ගස්ලබු කොළ ඉස්ම දෙන හැටි, මතුරපු තැඹිලි දෙන හැටි, ඩෙංගු හොඳ වෙන කැඳක් දෙන හැටි.
ඒත් ඔය තෙල් බෙහෙත් කට්ටිය කියන්නෙම, රෝහලට යන්න ඇඩ්මිට් වෙන්න. ඊටපස්සෙ ඇවිත් අපෙනුත් බෙහෙත් ගන්න, අර වෛද්‍යවරු කරන ඒවා කරන්න දීලා මේ තෙලත් ගා ගන්න කියලයි !

ඇඩ්මිට් වෙද්දිම තරල රුධිර නාලිකා වලින් එළියට ගිහින් උදර කුහරය උරස් කුහර ආදී තැන් වල පිරිලා... සේලයින්, ඩෙක්ස්ට්‍රෑන් ඇල්බියුමින් දීලා පැය 48 ක්‍රිටිකල් පීරියඩ් එකෙන් පස්සෙ පොඩි එවුන් හිනා වෙලා ඉන්න හැටි දකින එක තරම් සතුටක් තවත් නෑ.
Vascular leaking, bone marrow suppresion වැනි දේවල් ගූගල් කරලවත් කියවගන්න.
කියන්නේ පදනමක් ඇතිව.
විශ්ව විද්‍යාල උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරුගෙන් ලැබෙන පිළිතුර මේ අපේ ක්‍රමය සමානයි මොකද එයාලා මිනිස් ශරීරය ගැන විද්‍යාත්මක කරුණු කාරනා ඉගෙන ගත් අය නේ.
ඇත්තටම විජ්ජාව තියෙන්නේ ක්‍රිටිකල් වෙලාව හඳුනා ගන්න එකෙයි. ඒ වෙලාවේ හරියට දියර මැන මැන දෙන එකෙයි මුත්‍රා පිටවීම මනින එකෙයි.

"අනේ මට කලන්තේ කීව පැංචිගේ ඇඳ ළඟට ඊයේ නම් අපි කීප ගමනක් දිව්වා. එයා ඇස් තදින් වහගෙන හොඳින් හුස්ම ගන්නවා. ඩෙංගු නේ එනිසා පැයෙන් පැය පරීක්ෂා කරමින් මොනිටර් කරනවා. දැන් මේ තුන් වෙනි පාර අපි දුවගෙන ආපු. මට නම් ෂුවර් මේක මේ අපිව අන්දවාගන්න කරන වැඩක් කියලා. සමහර විට මෙහෙම දරුවොත් ඉන්නවා... "ඇත්තටම කලන්තෙ නම් ඇස් අරින්න ඕනෙ ඔන්න" ඔහොම කීවම, ඇස් අරිනවා. අනේ අපෙ පොඩි උන් !
දැන් ඔන්න හොඳටම කලන්තෙ කීව කෙල්ල නැගිටලා ඊළඟ මිනිත්තුවේ කකුලක් පිට කකුලක් දාගෙන හාන්සි වෙලා මිදි කනවා. "කොළ පාට මිදි"

මේ බබා එනකොටම ෂොක් වෙලා ආවේ...නිල් වෙලා, සීතල වෙලා, නාඩි අහුවෙන්නෙ නෑ, ප්‍රෙෂර් අඩුයි. එනිසා අධික ප්‍රමාණයක ද්‍රාවණ බර අනුව ශරීර ගත කරමින්, යථා තත්වයට පත් කරගත්තේ. මැජික් නෙමේ සේලයින්, ඩෙක්ස්ට්‍රෑන් කියන ද්‍රාවණ.

ප්ලේට්ලට් අගය හොඳයි. ඒත් රක්තපාත තත්වයෙන් ඇඩ්මිට් වෙලා තිබ්බේ. උදර කුහරයේ හිස් අවකාශ වලට තරල පිරිලා තිබ්බා.

විශේෂඥ වෛද්‍යතුමිය ලෙඩ්ඩු බලන එක නවත්තලා අහනවා. "දැන් කොහොමද අර බබාට" කියලා

"අන්න අරහෙ මිදි කනවා" අපි කීවා

අපි හැමෝටම හිනා. මොකද ඊයේ අච්චර නිල් වෙලා කලන්ත වෙලා ආපු ළමයා විශේෂඥ වෛද්‍ය තුමිය ළඟට අඬ ගහල ඇහුවෙත්. "මේ මට මිදි කන්න පුළුවන්ද ? " කියලා
"රතු මිදි නම් ලෙල්ල ඇරලා කන්න" කීවම කියාපි..
" නෑ නෑ කොළ මිදි කොළ මිදි "

ඔය අතර ..

දරුවා හොඳටම උණ ගැනිලා , හුස්ම ගන්න අමාරුයි කියාගෙන එනවා අපිට හුරු පුරුදු අම්මා කෙනෙක්. එයා නිතරම එන නිසා පුරුදුයි. අපිට උනත් කතා කරන්නේ දමලා ගහනවා වගේ වචන වලින්. දෙවෙනි ළමයා. කුලී වැඩ කරලා එදා වේල හම්බ කරගන්න මිනිස්සු. දරුවාට ශ්වසන ආසාදනයක් එක්ක හොඳටම ඇදුම උත්සන්න වෙලා. ටික වෙලාවකින් මම ආයෙ යනවා ඇඳ ළඟට...අම්මා නුරුස්සනා බැල්මෙන් මට කියනවා

"මට සේරම එපා වෙලා. මං මොනා කරන්නද ?"

ඒවා හරි තදින් බනින සුළු විදිහට කියන්නේ....

මාත් ගැස්සෙනවා. මට මොකද මෙයා බනින්නේ කියලා. අවුල් අම්මලා එක්ක අපේ වාට්ටුවේ කට්ටියට ගහන්න පවා පැන්න සිදුවීම් තියෙන නිසා මම හෙන බයෙන් කිට්ටු වුනේ අර දරුවා බලන්න. හැබැයි කොහොමත් ඕනෑම අම්මෙක් දරුවාගේ අසනීප නිසා කලබල වෙන නිසා ඔය කියන ඒවා ඉවසනවා. කොටින්ම වෛද්‍යවරියක් එයාගේ දරුවා ඇඩ්මිට කරගෙන ඉන්නා අතර ප්‍රශ්න ඇතිකරන් බැන වැදුන විටත් ඉවසන්න තමා සිදු වුනේ.
දරුවා ටිකෙන් ටික හොඳ අතට හැරෙනවා. මම එතැනින් යන්න හදනවිට අම්මා ආයෙම කියනවා

"මහත්තයට එන්න කීවා. ඇඩ්මිට කරගත්තනම් උඹම බලාගනින් කීවා මම කොහොමද මේ ළමයට කෑම බීම ගේන්නේ ඇඳුම් ගේන්නේ" 
දැන් මම මොනවා හරි කියන්නම වෙනවනේ. 
"ආ එහෙමද" මගේ හිත බොහෝ සෙයින් සසැලිනි. 
ඒ පැංචාට ඇඳුම් නම් අපේ බබාගේ කුඩා වෙන ඒවා ලොකර් එකේ ගෙනැවිත් තියෙන නිසා තෝරලා දුන්නා. කෑමත් බීමත් රෝහලෙන් ලැබෙන නිසා අවුලක් වුනේ නෑ. 
පසුව ආරංචි වුනේ හවස් වෙනකොට තාත්තා ආවලු 
ඒත් මේ අය ගැන අප්‍රමාණ දුකක් දැනෙනවා ! අපේ රටේ දුක් විඳින ජනතාව

ජායාරූප දෙකම මම ගත්තු ඒවා ! ඒ මැෂිම අපේ වාට්ටුවේ pcv චෙක් කරන මැෂිමයි. අත් දෙක අපේ වාට්ටුවේ මදුරු මිස් කෙනෙක්ගේ අත් දෙක ( මදුරු කීවේ ඇයි කියා දන්නේ නැත්නම් මීට කළින් කතාව කියවලා බලන්න ! )

Sunday, July 9, 2017

ඔයාලත් මදුරුවෝ වගේමයි, විදිනවා ලේ ගන්නවා !

ඩෙංගු අධි වසංගත තත්වය නවතිනකම් මේ ඩෙංගු කතා ලියැවෙනු ඇත.
මම සැරින් සැරේ, මේ ගැන ලියන්නේ අවධානය යොමු කරන්න වගේම, මේ පවතින තත්වය ගැන දැනුවත් කරන්න.
හැමදාම වගේ, අප රෝහලත් ඩෙංගු උණ අධිකවම ඇති ප්‍රදේශයක වන නිසා, අහල ඇති බෝවන රෝග වෛද්‍යායතනය මෙන්ම මෙහිද වාට්ටු පිරී ඉතිරී ගොසින්.

මහ රෑ තිස්සේද පැයෙන් පැය රෝහල් ගත වන පිරිස අඩු නැත. වැඩිහිටි වාට්ටු වල තත්වය බොහෝ ඛේදනීයයි. අප වාට්ටු ඉක්මනින් පිරී ඉතිරී යයි. මව්වරු හෝ ළඟ සිටින අයවලුන් නිසා දෙගුණයක පිරිසක් වාට්ටුවේ රැඳී සිටී.

මධ්‍යම රාත්‍රිය පසුවන තුරුද රෝගීන් බලා අවසන් නොවීය. රැගෙන ආ එක් කුඩා දරුවෙක්ගේ මල්ලීද ඒ වන විට සිටියේ, ඩෙංගු ප්‍රතිදේහ ජනක (NS1 Ag) ඇති බවට ලද රිපෝට් එක නිසා රෝහල් ගතව ය. මේ වැඩිමහළු දරුවාගේ ඩෙංගු ප්‍රතිදේහ ජනක (NS1 Ag) negative නිසා ඔහුව දිනකට පෙර බාහිර රෝගී අංශයෙන් ගෙදර යවා තිබිනි. නමුත් ලක්ෂන සහ සංකූලතා ගැන දැනුවත් කර තිබිනි.

එදින හවස සිට ශරීරය පුරා කුඩා රතු ලප සහිතව, මූත්‍රා පිටවීමද අඩාලව, මලානික වී ඔහුද ගෙන ආවේ රාත්‍රියේය.
අම්මා සිටියේ ඇඩ්මිට් කරගත් දරුවා ළඟය , ගෙදර සිටි අනෙක් දියණියට , මේ දරුවාට කවා පොවන්නට බැරි වීලු, මෙවැනි සමාජ ප්‍රශ්න දරන්නට සිදුවී ඇත්තේ වෛද්‍යවරුන් වන අපටය. ඒ ඔවුන් අප හමුවේ මේ ප්‍රශ්න අත හරින නිසා ය. ඇඳුමේ පැළඳුමේ සිට සනීපාරක්ෂාව දක්වා සියල්ල පෙන්නුම් කරන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන ඔවුන්ගේ දුක්බර කතාව ය.

ඉතින් ඔවුන්ගේ මෙවැනි පවුල් වල ඇති ප්‍රශ්න සියල්ලද, අප මතම අත හරී....

" ගෙදර ඉතින් මම නෑ කියලා මෙයා කන්නෙ බොන්නෙ නැතුව අම්මා හොයමින් හිටියා" මේ අයට කිසිවක් කියන්නට නොහැකිය. පිය වරු කෙසේ හෝ එදිනෙදා යමක් හරි හම්බ කළ යුතුය.

ඒ තාත්තා වීල් එක එලෙව්වෙ නැත්නම් මේ රෝහල්ගතව ඉන්න පවුලට කන්න බොන්න හරි හොයන් එන්නේ කවුද ? මට සිහි විය.

තව දියණියක ඇඩ්මිට් වී තිබුනේද ඩෙංගු රක්තපාත ලක්ෂන සහිතවය. ඇය හඬා දොඩා ඇති බවක් වැටහේ. මම පරීක්ෂා කරන මුළුවෙලාවෙම ඇඬුම් බරව සිටියා ය.

"ඇයි මේ අඬන්නේ... ඇඩ්මිට් කරාට ද ?" වයස දහතුනක දියණියක් නිසා මම ඇසුවෙමි.

"නෑ ඩොක්ටර් තාත්තා බීලා ඇවිත් රණ්ඩු කරා, මම හොඳටම අමාරුවෙන් හිටියේ, අම්මා කොහොම හරි රණ්ඩු කරලා ඉස්පිරිතාලේ ගේනකොට තාප්පෙකත් හප්පගත්තා. මට බැන්නා, අසනීප වුනාට " කියමින් ඇය හඬා වැටේ.
"කෝ දැන් තාත්තා.. " මම ඇසුවේ සාමාන්‍යයෙන් පියවරුන්ද කොහොම හරි අපි පරීක්ෂා කරන මේසය අසල රැඳී සිටින හෙයිනි.
"බැන බැන ගියා යන්න" මව කියයි.
බොහෝ හුරුබුහුටි ඒ දියණියගේ මුහුණ දැඩි කම්පනයක සේයාවක් පෙනේ.

මා මේ කතා ඉවසා සිටින්නේ කොහොමද ඔබම සිතන්න. මා ලියන්නේ විටින් විට මට හමුවෙන හර්ද කම්පනයන් ය. ඒවා මවෙත ගෙන එන්නන්, බොහෝ දරිද්‍රතාවයෙන් දුක් විඳින පීඩිත පන්තියේ මිනිසුන් ය. මෙවැනි කතා එක සියයක් මට ලිවිය හැක. ජීවිතය මා හමුවේ තබන්නේ එවැනි වූ මිනිසුන් ය.

මූත්‍රා මනින්න කප් ගෙනෙන්න කඩේට යන්න කියන්න වෙන්නේද , ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න අමතක කළ නිසා නොවේ. වෙන කරන්න කිසිවක් නොමැති නිසා ය.

ස්කෑන් මැෂිම ද වාට්ටුව පුරා ගෙන යමින්, විටෙක ශරීර තුලට තරල පිටවී රක්තපාත තත්වය ඇද්දැයි වෛද්‍යවරයා පරීක්ෂා කළ යුතුවේ. එවිට වෙනත් රෝගා බාද නිසා රෝහල් ගතවූ අම්මලාටද ස්කෑන් ඕනෑකමක් ඇතිවේ. ඒ අයට කාරුණිකව හේතු සාධක පෙන්වා දෙමි.

වාට්ටුව පුරා අඳෝනා හඬ අඩුවක් නැත. විටෙක එය යටිගිරියෙන් කෑ ගසන දරුවෙක්ගේ මහ හඬකි. ඒ ලේ ගන්න වෙලාවලටය.

අපිත් විදිනවා විදිනවා ලේ ගන්නවා ඉවරයක් නෑ... කියා මිස් කෙනෙක්ට කියැවිනි.

සමහර විට අම්ම්ලා ළමයින් දෙපිරිසම අඬති. කුඩා දරුවන්ගේ සෝ සුසුම් ඉවසිය හැක්කේ කාට ද ?
" ඔයාලත් මදුරුවො වගේ..." දරුවෙක් දිනක් බැන්නේ ඒ වේදනාවට විය යුතු ය. 

තව මවක් පැමින තිබුනේ තමන්ට සහ පවුලේ සැමට ඩෙංගු හැදුණු නිසා, මේ දරුවාට උණ ගැනී, ලේ පරීක්ෂා කළත්, ඩෙංගු ලක්ෂන ඉන් පෙන්නුම් නොකළත්, ඇති වූ බිය නිසා වෙනි.
ඇයගේ ටිකට් කපා තිබුනේ දින දෙකකට කළින්.
"මේ ලේ එකනම් හොඳයි අම්මා, බය වෙන්න එපා" මම ඇයව අස්වසන්නට වීමි.
"ඒත් ඩොක්ටර් මම කොහොමද හිත හදාගෙන ඉන්නේ" ඇය පවසයි.
"ඩෙංගු උණ හැදිලා ගෙදර යැව්වත් විවේකීව ඉන්න ඕනෙ අම්මා ඔයා කොහොමද මේ දරුවා ළඟ ඉඳගෙන නිදිමරන්නේ"
"වෙන කවුරුත්ම නෑ ඩොක්ටර්,  සැරෙන් සැරේ මම ලොකු දුව පුතා සේරම ඇඩ්මිට් වුනානේ , මහත්තයට නිවාඩු නෑ" ඇය පවසයි.

වෛද්‍යවරුන් ගැන අහිතෙන් බොහොම නිර්දය ලෙස ලියන්නෝද හිඟ නොවේ. මම හිතන්නේ මේ වෙලවේ කවුරුත් තරහ ගන්න ඕනේ මදුරුවන් වැඩිවීම, අධි වසංගත තත්වය ගැන සහ ඒවාට නිසි පිළියම් නොකරන යාන්ත්‍රණය ගැන මිසක් වෛද්‍යවරුන් හෙදියන් සහ සාත්තු සේවකයන් කියන , මේ වෙලාවේ බොහොම සීරුවෙන් වැඩ කරන පිරිස සමග නොවේ.

ප්‍රශංසා අනවශ්‍යයි, ඇතැමුන් කියනවා වගේ මේ කරන්නේ රැකියාවක් නේ ඒ රැකියාවට අපිට පඩි ගෙවනවනේ... කියන මේ ටිකත් මේකටම එකතු කරනවා ! රෝගීන් ආවරණය කර තව මදුරුවන් කෑම වලක්වාගැනීමට කටයුතු කරන්නැයි රෝග මර්ධන ඒකකයෙන් දන්වයි. නෙට් හැමෝටම නැත. ඇත්තේ ගිය අවුරුදු දෙකකට කලින් විශාකා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය ගෙන ආ ආධාර වල තිබුණු නෙට් තොගය පමණි. මේ ගැන ලියූ සැනින්,  වෛද්‍ය වාසනා කැටගොඩ නංගී, නෙට් රැගෙන පැමිණියා ය. (ගංවතුර වෛද්‍ය කඳවුරු වලටත් පැමිණ සහය වුනේ ඇයයි) 


8 July 2017
Ward full of dengue and Im consoling my self that "this too shall pass... " but awaited too long for this to end... and i keep reminding my self that Im not the ruler ! It is dissapointing to see thi situation. Seeing photos of negambo and other hospitals is a pain too.
Thank you dr. Vasana Ketagoda for getting us the mosquito nets.
වාට්ටුව පිරෙන එකේ ඉවරයක් නැත මව්වරුන් දරුවන් සියල්ලන් හැටකට අධික ප්‍රමාණයක් සිටී. රෑට එන්නේම අඩපණ වූ දරුවන් කරේ එල්ලාගෙනය. ඒ ඇවිත් පොවන්න මනින්න කියද්දී තරහ ගන්නේ අප සමගය.

ඇඳන් නැති එක ගැන හෝ කලබලය තව දුරටත් ප්‍රශ්නයක් කර නොගනිමි. කියා, ලියා වැඩක් නැත. එන තාක් අයට වෙදකම් කරමි.
#denguediary

පින්තූර - වාට්ටුවේ ලද අස්වැසිල්ලකදී මා ගත් පින්තූර...
උපුටාගන්නේ නම් මගෙන් අවසර ගන්න !

Tuesday, July 4, 2017

ඇන්ටිජන් ඇනිටිබොඩි මොනවද අප්පා මේ !

අවුරුදු දහයෙන් ඉහළ ළමයි කොහොමත් අපි එක්ක තරහෙන් ඉන්නේ ...හරියට ඩෙංගු අපි හදවලා බලෙන් නතර කරන් ඉන්නවා වගේ....
නමුත් ඊට වඩා පොඩි අය අපි එක්ක හරි ඉක්මනට යාළු වෙනවා. අපේ ලොකු මිස් ළමයින්ට පාට පෙට්ටි කොළ එහෙම දුන්නම මෙන්න මේ වගේ චිත්‍ර ඇඳලා දෙනවා.  රසික උඩගම කියන මිතුරා, මේ එක චිත්‍රයක් අපූරුවට කැන්වස් පෝස්ටරයක ප්‍රින්ට් කරලා ගෙනත් දුන්නා. ඒක තමා එක පින්තූරෙක පෙනෙන්නේ අපි වාට්ටුවේ ඇතුල්වෙන තැනම ඉස්සරහ ගහලා තියෙනවා. 

අපොයි අර ටීනේජර්ස්ලා (නව යොවුන් වයසේ කට්ටිය) නම් හෙන අමාරුකාරයෝ. මේවා මම කලින් ෆොටෝ අරගෙන තිබ්බට අප්ලෝඩ්කරන්න ලියන්න බැරිම වුනේ දවසක්ම උණ ගැනී හිටි නිසා.

ඔන්න ඉරිදා මගෙ ඔන් කෝල් එක , ප්‍රසව වාට්ටුවෙන් කෝල් එකක් එනවා එදා උදේ හම්බුන බබෙක් කෙඳිරි ගානවා කියලා. ගිහින් බැලින්නම් අනේ ඔව් ඒ පැංචා කෙඳිරිගානවා නොනවත්වා. ඒක පෙනහළු ශ්වසන සම්බන්ද ආසාධනයක් වෙන්න හොඳටම ඉඩ වැඩී. එයාට කඩිනමින් කළ යුතු දේ කරලා ඒත් හරියන්නේ නැති නිසා විශේෂඥවෛද්‍යතුමියටත් දන්වලා වැඩි දුර ප්‍රතිකාර කරන්න අපේ වාට්ටුවට මාරු කරගන්න හදන අතරේ. (අර මම ලීවේ අපි රණ්ඩු කරලා අටවගත්ත පොඩි නොමේරූ ළදරුවන් දාන ඉන්කියුබේටරය ගැන ? මෙන්න මෙතනින් ඕනෙ නම් ඒ කතාව කියවන්න)

ඒ අතරේ මට කෝල් එකක් එනවා ප්ලේට්ලට් 33 000 shock  හෙවත් අසාධ්‍ය තත්වයට වෙලා දරුවෙක් ඇඩ්මිට් වෙලා කියලා. ETU එකෙන් ඒ වෙද්දිත්, අවශ්‍ය දියර විශාල ප්‍රමාණයක් ශරීර ගත කරලා. එයාව ප්‍රකෘති තත්වයට අරගෙන තිබ්බේ. ඇත්තටම ශරීරයෙන් විශාල දරුවෙක්.
මෙයාගේ කතාව මේ වගේ... 
පළමු දවසේ උණ, පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් බෙහෙත් ගන්නවා.කිසිම රුධිර පරීක්ෂාවක් කරන්නේ නෑ.
  ඊළඟ දවසෙම උණ හොඳ වෙනවා, දෙවෙනි දවසේ උණ කොහොමත් නෑ. තුන්වෙනි දවසෙන් පස්සෙ උණත් නෑ අමාරුත් නෑ.. ආයේ හතරවෙනි දවසෙ බඩ රිදෙනවා.. බඩ රිදෙනවා වැඩිවෙනකොට පස්වෙනි දවසේ අපේ බාහිර රෝගී අංශයට එනවා. 
එද්දිම ක්ලාන්ත ගතියක් තියෙන නිසා ප්‍රෙශර් බලනවා... හොඳටම අඩුයි. නාඩි දැනෙන්නෙත් නෑ. ඉතින් ඉක්මනින් දියර ශරීරගත කරලා ඇඩ්මිට් කරනවා

ඇයි තුන් වෙනි දවසේ ලේ බැලුවේ නැත්තේ.. ඇහුවම අම්මා කියන්නේ "දවස් දෙකයිනේ උණ තිබ්බේ කියලා. "ඒත් අපි අමතක කරන්න නරකයි ප්ලේට්ලට් අඩුවෙන්නෙත් සංකූලතා වැඩි වෙන්නෙත් උණ බැස්සම තමයි කියන එක. 
ඊළඟට මේත් අර නාහෙට නාහන වයසේ එක්කෙනෙක්නේ " ඉස්පිරිතාලේ එන්න බෑම කීවා" කියා අම්මා කීවා. එයාගෙ නම් ස්කෑන් එකේ රුධිර තරල පිටත උදර කුහරයේ පිරී ඇති බව පෙනුනා. අපේ වාට්ටු වලටම දැන් ස්කෑන් මැෂිම ගානේ දීලා තියෙනවා මේ අයගේ සංකූලතා ඉක්මනින් හඳුනාගන්න. 

මේවා ඩෙංගු දැකලා දැකලම ඉගෙන ගන්න පාඩම්. 

ඒ එක්කම මම දැක්කා ඩෙංගු ඇන්ටිජන් නෙගටිව් නම් තමා ඇඩ්මිට් කරන්න ඕනේ කියලා වැරදි මතයක් පතුරනවා. 
එහෙම ඇඩ්මිට් කළානම් අපිට තව තට්ටු ගොඩනැගිලි තුනක් සහ ඇඳන් පන්සීයක් විතර ඕනෙ කරනවා. මොකද ඇන්ටිජන් එක නෑ කියලා තමයි අපි සැනසීමෙන් උණ රෝගය ඇති අයව ගෙදර යවන්නේ. ඒවගේම තමයි ඇන්ටිජන් නෙගටිව් වුනත් ලේ රිපෝට් එකේ ඩෙංගු උණ දර්ශක ලෙස භාවිතා කරන ප්ලේට්ලට් සහ සුදු රුධිරාණු කියන මේ දේවල් වගේම ඇඟේ දියර සහ සෛල ප්‍රමාණ ගැන වැටහීමක් ගන්න කරන හෙමැටොක්‍රිට් අගය ගැනත් බලන්න ඕනේ. ඇන්ටිජන් නෙගටිව් වුනත් අර platelet , white cell counts දර්ශක වල වෙනස් වීමක් ඇත්නම් ඒ අයව ඇඩ්මිට් කරනවා. නැතුව ඇන්ටිජන් නෙගටිව් හැමෝම ඇඩ්මිට් කරන්නේ නෑ. 

මොනවද මේ ඇන්ටිජන් කියන්නේ.... 
සරලවම කීවොත් ප්‍රතිදේහ ජනනය කරන්න අපේ ඇඟේ ප්‍රතිශක්තිකරන පද්ධතියට  උදව් වෙන දේ තමා ඇන්ටිජන් හෙවත් ප්‍රතිදේහ ජනක. ඒ කියන්නේ යම් ආගන්තුක දෙයක් හානිකර දෙයක් අපේ ඇඟට ඇතුල් වූ සැනින් ඒවායේ මතුපිට ස්ථරයේ ඇති ප්‍රෝටීන වලින් ඒවා ආගන්තුක දේවල් ලෙස අපේ ශරීරය විසින් හඳුනා ගන්නවා. ඒවා සෛල, වෛරස බැක්ටීරියා, මේ හැම දේකම මතුපිට තියෙන ප්‍රෝටීන ... එතකොට මේවායේ ලක්ෂණ නිසා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතිය ඒවා හඳුනාගෙන ඒවා විනාශ කරන්න ඕනෙ කරන ප්‍රතිදේහ නිපදවනවා.  ප්‍රතිදේහ ගිහින් අර ප්‍රතිදේහ ජනක ඇති සෛලවලට බැඳී ඒවා විනාශ කරන්න ක්‍රමවේද සපයනවා. ඔය පින්තූර බැලුවම තේරෙයි. එතකොට ඉක්මනින් අපිට ලේ වල පෙනෙන්නේ ප්‍රතිදේහ ජනක... මොකද ප්‍රතිදේහ ජනක ආවම තමා ප්‍රතිදේහ නිපදවන්න අපේ ඇඟේ ප්‍රතිශක්තිකරන පද්ධතියට සංඥා නිකුත් වෙන්නේ. එතකොට රෝගය හැදිලා ටික කලක් ගියාම තමා ප්‍රතිදේහ හෙවත් ඇන්ටිබොඩීස් අපේ ලේවල හඳුනාගත හැකි මට්ටමකට එන්නේ

මේ ප්‍රතිදේහ නිපදවනකොට ඒවා ආයෙ ආයෙත් නිපදවන්න මතකයක් අපේ ඇඟේ ප්‍රතිශක්තිකරන පද්ධතියට ඇතුල් වෙනවා. ඒකයි සමහර රෝග අපිට එක පාරක් හැදුනම ආයේ හැදෙන්නෙම නැත්තේ. ඔය දෙයියන්ගේ ලෙඩ කියන්නේ. ඒවගේම සමහර ඒවායේ ප්‍රතිදේහ ජනක සුළු ප්‍රමාණයක් අපේ ඇඟට ඇතුල් කළාම අපේ ඇඟේ ප්‍රතිශක්තිකරන පද්ධතිය ඒකට අවශ්‍ය අවි හෙවත් ප්‍රතිදේහ හදලා මතක ගබඩාවේ තියාගන්නවා. ඉතින් මේ නිසා තමයි අපි කුඩා කාලේ අපෙ ඇඟේ ප්‍රතිශක්තිකරන පද්ධතියත් හරියටම වැඩ කරන්නේ නැති කාලේ ඔය එන්නත් මගින් සුළුවෙන් ප්‍රතිදේහ ජනක අපේ ශරීරයට හඳුන්වලා දීලා ප්‍රතිශක්තිය ඇති කරන්නේ. 

එතකොට ඩෙංගු වෛරසය ඇතුල් වුන ගමන් අපේ ලේවල තියෙන්නේ මොනව ද ? ප්‍රතිදේහ ජනක. ඒ කියන්නේ ඇන්ටි ජන්. ඒක උපරිමයෙන් ලේ වල අපිට මනින්න පුළුවන් අගයන්ගෙන් තියෙන්නේ උණ හැදිලා පළමු දින දෙක තුල. උණ කියන්නේ මේ ප්‍රතිදේහ ජනක වලට අපේ ඇඟෙන්ම එන ආරක්ෂිත උපක්‍රමයක්. බොහෝ බැක්ටීරියා සහ වෛරස අධික උෂ්ණත්වයේදී මැරෙනවා. නමුත් අපිට දරාගන්න බැරි නිසා අපි පැරසිටමෝල් බොමින් උණ අඩු කරගන්නවා. ඉතින් අපේ ශරීරයටම අපි ඒක අඩු කරගන්න ඉඩ දෙන්නේ නෑ. ඒක වෙනම කතාවක්. 
එතකොට ඇන්ටිජන් පොසිටිව් හෙවත් ප්‍රතිදේහ ජනක රුධිරයේ ඇත කියන්නේ මොකක්ද ? ඒ රෝගියාගේ ඇඟේ වෛරසය තිබෙනවා. මෙන්න මේ අය ගැන අපි කල්පනාවෙන් ඉන්න ඕනෙ. ලේ පරීක්ෂා කරලා සෛල ප්‍රමාණ බලන්න ඕනෙ. සාමාන්‍ය වුනත් ගෙවල් වල යවන්න බෑ , මොකද වෛරසය ශරීරගතවෙලා නිසා ඒක කොයි මොහොතේ හරි ඩෙංගු රක්තපාත තත්වයට යන්න පුළුවන්

එතකොට ඇන්ටිජන් නෙගටිව් නම් - එහෙනම් ඒත් ඒ අයට උපදෙස් දෙන්න ඕනෙ, දින තුනක් යනකොට රුධිර පරීක්ෂාවක් කරගන්න කියලා. නමුත් සාමාන්‍යයෙන් හැමෝම වගේ ඇන්ටිජන් ටෙස්ට් එකත් එක්ක Full blood count එකක් කරගන්නවා. ඒකේ වෙනසක් නැත්නම් ඩෙංගු නොවේ කියන්න බැරි අපිට ඔය ටෙස්ට් එකේ sensitivity කියලා කොටසකුත් එන නිසා. එනිසා නෙගටිව් නම් , හිත සැහැල්ලු වුනත්, ඔවුන්ට උණ රෝගය ඇත්නම් දින තුනක් මත්තෙන් නැවත සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් හෙවත් රුධිර සෛල ප්‍රමාණ කියැවෙන පරීක්ෂාවක් කරන එකයි හොඳ. 

අපි නම් ඇන්ටිජන් පොසිටිව් නම් ඇඩ්මිට් කරන අතර නෙගටිව් නම් ඉහත සඳහන් උපදෙස් දෙනවා. මොකද බහුතරය ඇන්ටිජන් නෙගටිව්. මේ ලියන මටත් දින තුනක් උණ තිබුන නිසා රුධිර පරීක්ෂාවක් කරගත් අතර එය ප්‍රශ්නයක් පෙන්නුම් කළේ නෑ. ඉන්පස්සු නැවත සති කිහිපයකින් උණ ගත් අතර මෙවර ඇන්ටිජන් පරීක්ෂාවක් කළ අතර එය නෙගටිව් වුනත් රුධිර පරීක්ෂාවෙන් පෙන්නුම් කළේ බැක්ටීරියා ආසාධනයක්. එය ඩෙංගු දර්ශක වලට හාත්පසින් වෙනස් අගයන් ගෙන දෙන්නේ. 

 වෛද්‍ය විද්‍යාලේ ඉගෙනගත් ක්ෂුද්‍රජීව විද්‍යාව වගේම, ව්‍යාධිවේදය සහ ප්‍රතිශක්තිකරණ විද්‍යාව කියන විෂය වල සම්පින්ඩනයක් තමා තේරෙන සිංහලෙන් ලීවේ. ඒ මම බ්ලොග් ලියන නිසාම නෙමේ. ඩෙංගු උණ පිරී ඉතිරී යන රෝහලක ළමා වාට්ටුවේ වැඩ කරන නිසා ! මේක අපිටත් හරි හිසරදයක් වෙලා ඇති නිසා. 

ඇයි අපිට එක දවසක් දාගෙන මුළු රටටම නිවාඩු දීලා, සුද්ද පවිත්‍ර කරලා දුම ගහලා මේ ඩෙංගු වසංගතය ඉවරයක් කරන්න බැරි.

#denguediary

මගෙන් අවසර නොගෙන මෙය උපුටා  ගැනීම  හෝ පල කිරීම කරන්න එපා !
antibody antigen picture from internet