Wednesday, April 21, 2021

පපුව හිරවෙන ස්මාරක

"අක්කා, මේ වෝඩ් එක හදලා තියෙන්නේ පයිලට් කෙනෙක් සිහි වෙන්න..."
අසල පඩි පෙල නඟින තැන තිබූ ස්මාරකය පෙන්වමින් මගේ සහෝදර වෛද්‍යවරයා පවසද්දී තමා එය මගේ ඇස ගැටුනේ. 

"මම ඒක සම්පූර්ණයෙන් කියෙව්වා. මේ පැත්තේ අහිමිවීම් ඒ පැත්තේ අහිමිවීම් වගේම සැරයි. දරුණුයි. ඒක මතක් කරන්නේ මේවගේ අහිමිවීම් දුක් කඳුළු රැගත් ස්මාරක. බලලෝභී දේසපාලනය නිසයි මිනිස්සු හැමෝම දුක් වින්දේ, අපි එහෙ ඉන්නකොට හිතුවේ යුද්දෙ නිසා දුක් කරදර අපට විතරයි කියලා. ඒත් දකුණෙත් මිනිස්සු එකම විදිහට දුක් වින්දා නේද " ඔහු කියන්නේය. ඔහු යාපනේ වැසියෙකි.

" ඒක සම්පූර්ණයෙන් ඇත්ත මල්ලී. මම වැඩ කරන්න  උතුරට යනකම් මමත් කුඩා කාලයේ ඉඳන් දැක්කේ අපේ අහිමිවීම් විතරයි. අපි මරණ ගනන් කරමින් අපේ පැත්ත ගැන විතරක්ම දුක් වුණා. මුළු රටක මළගම ලියාදුන් යුද්ධයෙන් අවසානයේ ඉතිරි වුණේ මේවගේ පපුව හිරවෙන ස්මාරක පමණයි මල්ලී"  හිතේ නැගෙන සංවේගය සමග මම කීවෙමි. 

ඒ දෙමහල් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණය ගොඩ නගා තිබුනේ 1995 ඇන්ටනෝව් යානයේ ගුවන් නියමුවෙක් ලෙස සේවය කරමින් සිටියදී, අහිමි වූ රංජිත් ප්‍රනාන්දු නම්, අවුරුදු 23 පැහපත් කඩවසම් තරුණයා සිහිවෙන්න ය. බිත්තිය මත ඇති ඒ සෞම්‍ය රුව අප දිහා මන්දස්මිතය රැඳි මුහුණින් බලාගෙන සිටී.  එංගලන්තයේ ගුවන් නියමු අධ්‍යාපනය හදාරා ස්වේච්ජාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී සේවය කළ ඔහු, ප්‍රහාර දියත්වන මොහොතක තවත් ගුවන් යානා අනතුරට පත්වූ මොහොතක යාපනය පලෙයි දක්වා යානා මෙහෙයවීම නිසා වීර වික්‍රම විභූෂණ සම්මානයෙන්පුදන ලදී. 

යුද කාලයේ වෙනත් රටකට වී සිට ඉන්පසු පැමිණ පදක්කම් පැළඳි අය සිටින්නට ඇත. එහෙත්  ඔහු ස්වේච්ඡාවෙන්ම පැමිණ යුද්දය බුර බුරා ඇවිලෙන කාලයක රට රකින්නට තම සහය දුන් අයෙකි. දෙමාපියන් හට තම එකමපුතු අහිමිවීම නිසා වන්දියක් ලෙස රුපියල් මිලියනයක් ලබා දී ඇත. ලෙහිහොවා වැදු පුතුන් අහිමිව කාසි කොපමණ ලදද් කුමට ද ? ඒ දෙමාපියන් සහ සොයුරිය විසින් මේ කරුණාබරිත මනුෂ්‍යයාගේ කැපවීම සහ ජීවිත පරිත්‍යාගය සිහිවීම පිණිස ඇඳන් විසි තුනක් සහිත වාට්ටුවක් සාදා ප්‍රධානය කර තිබිණි. 

Ranjith Fernando jr. , studied at royal college colombo and qualified through the civil aviation authority of the united kingdom and obtained the commercial pilots license in 1994. He joined SLAF as a volunteer pilot. In april 1995 volunteering to fly to palay jaffna immediately after a missile attack, he was awarded weera wikcrama vibhushana. in 1995 november, The antonov aircraft which he ws the co -pilot, went missing with 68 army commandos. The SLAF has awarded 1 million as the compensation for the loss of his only son. The father mother and his sister utilised these funds to utilize this ward with the feverent hope that this kind hearted human being's name dedication and contribution to his country will be perpetually remembered. 

යුද්ධය විසින් මේ බිමේ ලියැවුණේ අහිමිවීම්ය, දුක්ක දෝමනස්ස පිරුණු ඛේදවාචකයන් ය. දෙමාපියන්ට දරුවන් අහිමි කළ , දරුවන්ට දෙමාපියන්ට අහිමි කළ මේ අකාරුණික කාලය ගැන ලියන්නට කතා එමට ය. 
ඒ අහිමිවීම් පපුපුතුරෙහි සඟවා කෙසේ හෝ ජීවිතේ ඉතිරි කාලය ගෙවා ගන්නා මිනිසුන් ඒ කොනෙත් මේ කොනෙත් අඩු නැති ය. 
එහෙත් මේ රටේ අප්‍රබ්‍රංස දේසපාලුවන් තවමත් ගිනි පුපුරු විසිකරගන්නෝය. කොහෙන් හෝ අවුලුවා තම ගොඩ වැඩි කරගන්නෝය. 

මා ලියන්නේම උතුර ගැනය, යුද්ධය ගැනය... දැන් ඕවා ඇති යැයි පවසන, සැප පහසුව ආරක්ෂිතව උන් අයවලුන් බොහෝ වෙත්. එහෙත් මේ ටික ලිවිය යුතුමය. 

රන්ජිත් ප්‍රනාන්දු ගුවන් නියමුවාද , උතුරු කොන යෞවන යෞවනියන්ද , දකුණේ 71, 89 දී ගිනිබත් කළ යෞවන යෞවනියන්ද නැවත නොඑන බව දරාගනිමින් දැවෙමින් දෙමාපිය සහෝදර හිත් බොහෝ මේ භූමියේ විසිරී ඇත. එහෙත් ඒ හිත්වලට සුව සැදුවේ කවුරුන්ද ? 

අප අපේ ඊළඟ පරම්පරාවට ඉගැන්විය යුත්තේ  මේ අහිමිවීම්වල බරපතල කම ගැන ය. අප පාසැල්වල පරිච්ජේද වෙන්කළ යුත්තේ මේ මිනිස් ඛේදවාචකය ගැන උගන්වා සහවේදනය සපිරි මිනිසුන් බිහි කිරීමට ය. 

තමන්ගේ දරුවන් අහිමි දුකින් මුලතිව් හි දුක්වෙන අම්මා ද මැදවච්චියේ දුක්වන අම්මා ද එක තැනක හිඳ මේ අහිමි වූ දුවා දරුවන් මතක් කර බණපදයක් කියා පහනක් පත්තු කරන්නට මේ රටේ හිත් හැදෙන්නේ කවදාද ? එවන් සැමරුමක් අප පිරිය යුතු නොවේද ?
ගෙදරින් එක් අයෙක් ත්‍රස්ත සංවිධානයට බැඳෙන ලෙස අණ කළ විට තම සොයුරු සොයුරියන් රැකගන්න තමන්ගේ ජීවිතය කැපකරමින් සංවිධානයට බැඳී ආයුධ ඔසවාගත් සොයුරන් සොයුරියන් මට වන්නියේදී හමුවිය. 

අවි ඔසවාගත් දහසක් දුවා දරුවන් එතැනට ඇද දැමූ යුද්ධය නැවතුන සහනය එසේ සියලු ජාතීන්ට එක සේ දැනිය යුතු නොවේද ? එසේ දැනෙන්න නම් ඔවුනට අහිමිවූ ඔවුන්ගේ මිනිසුන් අමතක කරන්න යැයි අප කියන්නේ කෙසේ ද ? 

ඔවුන්ද අපද එකම කාසියක දෙපැත්තක හිඳ එක සේම විසල් දුක් කරදර දෝමනස්සයන්  විඳි බව වටහාගත් දිනක සැබෑ සංහිදියාව හිමි වනු ඇත.

අද , ඔබ අහිමිව අවුරුදු විසි හයකට පසු, උපන් බිමේ මිනිසුන්ගේ ජීවිත රැකීම උදෙසා දිවි පිදූ ඔබ සිහිවීම පිණිස හැදූ වාට්ටුව අභියස හිඳ මේ බිමට අහිමි වූ ඔබ වැනි ආත්මාර්ථයෙන් තොර වූ එඩි බල විර් යය සහිත දූ පුතුන්  දස දහස් ගණනක් අහිමි වූ අතීතය සංවේගයෙන් සිහි කරමි.

 - වෛද්‍ය බෝධිනී සමරතුංග

Monday, April 5, 2021

Jesus knew... but Judas ate too...

 ජේසු දැනන් හිටියා ඒත් ජුදාස්ව එලෙව්වෙ නෑ..

මා වැඩ කළ ආයතනයේ චීෆ් ෆාමසිස්ට් ‍එක්ක සේවය කළ ෆාමසිස්ට් මාරුවීම් ලැබ යද්දී සමුගැනීමේ සාදයක් පැවැත්වූවා. එතනදී ආයතනයේ අධ්‍යක්ෂතුමා හරි අපූරු කතාවක් කීවා.
සහයක ඩැනීලා ගැන ඒ අපූරු කතාවෙන් මතක හිටින ටික මම ලියා තැබුවා. 

"මේ සහය දුන්නු ෆාමසිස්ට් ගැන එයාගේ ඉහළ ඔෆිසර් කීව කතා කොච්චර ලස්සනද ? ටීම් එකක සහයෝගය දෙන්න ඕනේ එහෙමයි. ඒත් අද වෙන්නේ මොකක්ද ? කාලයක් තිස්සේ වැඩ කරගෙන කටු කාගෙන ඒකකය පවත්වගෙන එන නිලධාරියාට තව දෙවෙනියෙක් හෝ සහයට නිලධාරියෙක් පත් කළාම එයා සහයක් වෙනවා වෙනුවට අර වැඩ කරන් හිටපු මනුස්සයටත් වැඩ කරන එක නෙමේ ජීවිතේ එපා කරවන තැනට වැඩ සිද්ධ කරනවා. මුදුනා වෙන්න හදනවා. මූගේ තැන නැතිකරලා මම එක වෙන්නේ කොහොමද බලනවා,ඒත් මේ සහාය නිලධාරියා ගැන එහෙම ආකල්පයක් දැක්කේම නැහැ. එයා මේ කරගෙන ආපු දේ කරන්න සහය දුන්නා." 

මම මේ දේවල් කොතෙකුත් දකිනවා. සමහර විට දිගු කාලයක් තිස්සේ මනුස්සයකුගේ කැපවීම සහ ගොඩ නැංවීම දිහා හරි අපහසුවෙන් බලන් ඉඳලා තමන්ට ඒ තැන ගන්න හෝ අර වැඩ කරන මනුස්සයට අංචි අදින්නම තමයි වැඩ.

කාලයක් මම මහත් පසුතැවිල්ලක සිටියා. මගෙන් අප්‍රමාණ උදව් ලබාගෙන, මගෙන්ම බෙහෙත් පවා අහගෙන, ඔවුන්ගේ ජීවිතය පවා ඇතැම්විට බේරා ගත් අවස්ථා එමට තිබුනත් අනික් පැත්තට හිත රිදන සමහර විට ජිවිතය, රැකියාව පවා අවදානමේ යොදන දේ කළ මිනිසුන් ගැහැණුන් ගැන !

ඔවුන්ගේ ක්‍රියා හමුවේ මම මහත් කම්පා වුණා. එහෙම දේ කරද්දී ඔවුන්ගේ හෘද සාක්ෂිය කතා කරන්නේම නැද්ද කියා මම කම්පා වුණා. 
මෑතකදී පවා, ලොකුම ගොඩ ඉල්ලා නැහෙන මිනිසුන්, ඇසිල්ලකින් හිත් රිදවන මිනිසුන්, අනෙකාගේ වේදනාව ඉදිරියේ සහවේදනයක් නැති මිනිසුන් හමුවේ මම කම්පා වුණා. කිසිම කතාවක් නැතුව කිසිම සම්බන්දයක් තියා ගන්නැතුව අත් හැර දැම්මා. 

"ඔවුන් එහෙම කරන්නේ කොහොමද ?" හිත හිතා මගේ හිතේ සහනය නැතිකරගත්තා. ජේසුට වින කළ ජුදාස් ගැන හිතමින් මගේ ජීවිතේ ජුදාස් ලා හමුවෙන තරමට මම ඔවුන්ගෙන් ඈතට දිව්වා. මම මා ප්‍රවේසම් කරගත්තා. මූනිච්චාවට ආශ්‍රය කළා. 
එතකොට මම ජුදාස් කෙනෙක් වුනේම නැද්ද ? මම මාව ප්‍රශ්න කළා.

අවසානයේ එහෙම මිනිස්සුන්ට එහෙමම ඉන්න දෙන්න මම ඉගෙන ගත්තා. ඔවුන්, ඔවුන්ගේ අකුසල හෝ කර්ම ගොඩ වැඩි කරගත්තාවේ. මම මගේ කර්ම ගැන බලා ගන්නවා කියා ඒ සිදුවීම් එලෙසම තියෙන්න ඇරියා. ඒත් එවන් මොහොතවල් තුළ මම ජුදාස් කෙනෙක් වෙලාම නැද්ද ? මම මාව ප්‍රශ්න කළා.

අදටත් මා ප්‍රතික්‍රියාවක් නොදැක්වූ නිසා බොහෝ ප්‍රේමණීය ලෙස ඔවුන් මා හමුවේ රඟපෑම් කරනවා. සමහර විට ඇත්තටම වෙන්නත් ඇති සමහර විට ලාභ ප්‍රයෝජන දිගටම පවත්වා ගැනීම සඳහා, "අනේ මොනවා කීවත් කරත් එයා උදව් නොකර ඉන්නේ නෑ" කියා හිතනවත් ඇති. 

මගේ මෝඩකම කියලත් කියනවා ඇති. ඒත් සියල්ල දකිමින් දැනගනිමින් සිටින නිසා අපට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ එක්කම ඔවුන් ගැන අහිතෙන් වුවද හිතවත්කම දක්වන මා ගැනත් මම දකින්න ගත්තා. මමත් ජුදාස් කෙනෙක් වෙලාම නැද්ද ? එහෙම අවස්ථා මතක් කරගත්තා.

ජේසුස්වහ්න්සේ දැනගෙන හිටියා ජුදාස් ඔහුව පාවා දෙන බව, ඔහුට විරුද්ධව කටයුතු කරන බව ඒත් ඔහු ට එන්න දුන්නා, ඔහුටත් අවසාන භෝජනයේදී ආහාර දුන්නා ඔහුටත් තම සුරතින් ආහාර කැව්වා. 

ජීවිතේ මොනයම් මොහොතක හෝ අපි කවුරුත් ජුදාස් කෙනෙක් වෙන්න ඇති...ඒ දේවල් එහෙමම දැනෙන්නත් ඇති. අපටත් එහෙම ජුදාස්ලා අනන්ත හමුවෙන්න ඇති. ඒ මොහොතේ අපි සියළු බැඳීම් කඩා බිඳ දමා අත්හරින්නත් ඇති. ඒත් අපි හැසිරිය යුත්තේ ජේසුතුමා හැසිරුණු ආකාරයට යි. 
ඒක මෝඩ කම, නිවට කම, රැවටෙන සුළු වීම කියා අපහාස කරන්නත් පුළුවන්. හැබැයි ඒක තමයි විදිහ. 

වෙලාවකට අපි හැමෝම ජුදාස් ලා, වෙලාවකට අපි හැමෝම ජේසුලා. 
ජේසු දැනන් හිටියා ඒත්  ජුදාස්ව එලෙව්වේ නෑ.
බුදුන් දැනන් හිටියා ඒත්  දෙව්දත්, අම්බපාලී හෝ චිංචිමාණවිකාව පස්සෙ දුව දුවා එලෙව්වේ නෑ.