Thursday, August 13, 2020

සමීපවෙන්න !

"ජීවිතේ නැති කරගන්න හිතෙනවා. ඔබට කරදරයක් නොවෙයිනම් මට කතා කරන්නපුළුවන්ද ? "
මෙසේ අසමින් මා සමග කතා බස් කළ යොවුන් දියණිය බොහෝ සංකා සංවේදනා බහුල කරදරකාරී දිවියක් ගත කරන බව පැවසුවාය. ඇයට ඕනෑ වුණේ කතාබස් කරන්නට, ඇය පෙළන ප්‍රශ්නය කියන්නට කෙනෙකි. 
ඇය සිටියේ උසස්පෙළ පන්තියේ ය. එවැනි දරුවන් මා හමුවේ ඔවුන්ගේ මානසික අවපීඩනයන් මුදා හැරියේ ගෙදරදී මේ ගැන කතා බස් කරන්නට කෙනෙක් නැතැයි කියමිනි.
නව යොවුන් වියේ දරු දැරියන් මෙන්ම පාසැල් යන දරුවන්ද දැන් දැන් ආතතියට ලක්ව විශාදයේ ලක්ෂන පෙන්නුම් කරන බව පෙනෙන්නට තිබේ.

නහඹර විය කියා අපි බස් වහරේ හඳුන්වන teen age / යොවුන් වියේ පසුවන දරුවන් ඉඳහිට "නාහෙට අහන්නේ" නැතිව ක්‍රියා කිරීම අපේක්ෂා කළ යුතු වුවද, විශාදය යනු වෙනස්ම දෙයකි. මේ වයස්වල දරුවන්ට ඇතිවන මානසික අවපීඩනයේ ඍනාත්මක අතුරු බලපෑම් ශෝකජනක මනෝභාවයන්ගෙන් ඔබ්බට පැතිරෙන අතර අද ඒවා වැඩි වන බවක් දක්නට ලැබේ. විශාදය කියා අප හඳුන්වන depression නම් තත්වයට පත්විය හැකිවන අතර මේ නිසා ඔබේ දරුවාගේ පෞරුෂත්වයේ සාරය විනාශ විය හැක. 
මේ මනෝභාවයන් තුළදී නිරන්තරයෙන් අධික දුකක්, බලාපොරොත්තු සුන්වීමක් හෝ කෝපයක් ඇති කරවන සුළුය. බොහෝ කැරලිකාර හා සෞඛ්‍ය සම්පන්න නොවන හැසිරීම් හෝ යෞවනයන් තුළ ඇති ආකල්ප විශාදියේ ඇඟවුම් විය හැකිය. 
යෞවනයන් තුළින් විශාදය හෝ මානසික අවපීඩනය පෙන්වන සුළු ලක්ෂණ කිහිපයක් අපට හඳුනා ගත හැක. මේ ලක්ෂන තුළින් ඔවුන් පත්ව ඇති ගැටළු සහගත තත්ත්වයන් මග හරවා ගැනීමට “ක්‍රියා කරන” අයුරු අපට වටහා ගත හැක.

පාසලේදී ගැටළු තත්ත්වයන් ඇතිවීම  - මානසික අවපීඩනය නිසා අවදානය දීමේ අපහසුතාවයක් ඇති කරන අතර මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරේ.  පාසැලේදී, මෙය දුර්වල පැමිණීම, ශ්‍රේණි පහත වැටීම හෝ කලින් හොඳින් වැඩකළ ශිෂ්‍යයෙකුගේ පාසල් වැඩ දුර්වල වීම සහ කණස්සළු ස්වභාවය් සිටීම වැනි දේ තුළින් පෙන්නුම් කෙරේ.

පලා යාම - මානසික අවපීඩනයෙන් පෙළෙන බොහෝ යෞවනයන් නිවසින් පලා යති. එවැනි උත්සාහයන් සාමාන්‍යයෙන් උපකාර ඉල්ලා කරනා වැලපීමකි. මට හමුවූ එවන් අවුරුදු දහහතරේ දරුවෙක් අධික ලෙස කෝපයට පත්වූ විට නිවසෙන් පලා ගොස් දින ගණන් අසල්වැසි නෑදෑගෙවල්වල සිටින බව ඔහුගේ මෑණියන් පැවසුවාය. එහෙත් එය් හේතු සොයන්න හෝ දරුවාට උදව් දෙන්න වැඩිහිටියන් ප්‍රමාද වී තිබුණි.

මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයට යොමුවීම යෞවනයන් තම මානසික අවපීඩනය අඩු කරගැනීමට යොමුවන තවත් අනිසි ක්‍රියාවකි.  තමන් පෙලනා මනෝභාවයගෙන් තාවකාලික අත්මිදීම සඳහා මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කළ හැකිය. අවාසනාවකට මෙන්, මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහියක් වන ආකාරයට නරක අතට හැරේ.

හීනමානය  හෝ තමන් ගැන බොහොම දුර්වල ආත්ම අභිමානයක් ඇතිවීමද මෙහිදී දරුවන් තුළින් දක්නට ලැබේ.. මානසික අවපීඩනයෙන් කැත, ලැජ්ජාව, අසාර්ථකත්වය සහ නුසුදුසුකම වැනි හැඟීම් ඇති කළ හැකිය.

ස්මාර්ට්ෆෝන් ඇබ්බැහිය - යෞවනයන් ඔවුන්ගේ ගැටලුවලින් මිදීමට දුරකථන භාවිතය සහ අන්තර්ජාල සමාජ ජාලා භාවිතා කිරීමට පෙළඹේ   යා හැකි නමුත් ඇබ්බැහිය තුළින් විශාදය තත්ත්වය තවත් දරුණු කළහැක.

නොසැලකිලිමත් සමාජ හැසිරීම- මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයන් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අධික ලෙස මත්පැන් පානය කිරීම සහ අනාරක්ෂිත ලිංගික හැසිරීම වැනි භයානක හෝ අධි අවදානම් සහිත හැසිරීම් වල නිරත විය හැකිය.
සමහර යෞවනයන් ආක්‍රමණශීලී හා ප්‍රචණ්ඩකාරී විය හැකිය. නව යොවුන් වියේ ඇතිවන මානසික අවපීඩනයන් විශාදය වැනි තත්ත්වයන් , ආහාර ගැනීමේ අක්‍රමිකතා සහ ස්වයං-හානි කරගැනීම වැනි මානසික සෞඛ්‍ය ගැටලු ගණනාවක් සමඟ සම්බන්ධ වේ. මානසික අවපීඩනය ඔබේ දරුවාට ඉමහත් වේදනාවක් ගෙන දෙන අතර එදිනෙදා පවුල් ජීවිතය කඩාකප්පල් කරයි. ඔබේ දරුවාට සුවයක් දැනීමට උපකාර කිරීම සඳහා ඔබට කළ හැකි බොහෝ දේ ඇත. පළමු පියවර වන්නේ දරුවන් තුළ ඇතිවන මානසික අර්බුද කෙබඳුදැයි අධ්‍යනය කිරීමය. ඉගෙන ගැනීම ඒ තුළින්, ඉහත දැක්වූ අනතුරු ඇඟවීමේ සලකුණු දුටුවහොත් කුමක් කළ යුතුද යන්නද වටහා ගත යුතුය.
මා සමග කතා කළ දරුවන් දෙදෙනාගේම පවුල් පරිසරය තුළ ඔවුන්ට තමන්ගේ මානසික පීඩනයන් දරාගත හැකි කතා කළ හැකි වැඩිහිටියෙක් නොවීය. මව පියා රැකියාවට යනවිට ඔවුන් ඇති දැඩි වෙන්නේ මෙහෙකාරිය හෝ ආච්චී සීයා සමගය. දරුවන් සමග ගතකරන කාලය අඩු වීම සහ මුල් අවස්ථාවලදී  ඔවුන්ගේ ප්‍රශ්න ගැන දෙමාපියන් දරුණු දැඩි ස්වරූපයෙන් කටයුතු කිරීම නිසා ඔවුන් දෙමාපියන්ට කියන්නට බියක් දැක්වීම බොහෝ අවස්ථාවලදී පෙනේ.
හොඳින් සවන් දීම - මේ දරුවන්ට මේ තත්ත්වයෙන් මිදෙන්නට උපකාරවන දෙයකි. ඔවුන්ගේ හිත පෙලන දේ ගැන විවෘතව කතා කළ හැකි පරිසරයක් නිවසේ ඇති කළ හැක්කේ වැඩිහිටියන් වන අපට ය. ඔවුන්ගේ හැඟීම් අවඥාවට ලක් කරන සුළු ප්‍රකාශ නිකුත් කළ යුතු නොවන අතර දෙමාපියන් වශයෙන් මේ ලක්ශන හඳුනාගත් සැනින් ඒ ගැන වඩා අත්දැකීම් ඇති මනෝවෛද්‍යවරයෙක් හා සාකච්ජා කිරීම සුදුසු වේ. එවැනි උපදේශනය තුළින් වඩා සාර්ථක ලෙස ඔවුන්ගේ ජීවිත හැඩගස්වාගත හැකිය.
අදරණීය දෙමාපියනි, වැඩී උස්මහත්වන ඔබේ දරුවා  දෙස බලන්න, සවන් දෙන්න ඔවුන්ට සමීප වෙන්න !

Sunday, August 9, 2020

එහෙම කළාම මෙහෙම වෙනවද ?

හතේ අපේ පොත නමින් දරුවන්ට ලිංගික අධ්‍යාපනය සපයන පොතක් නිර්මාණය වී ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන් සහ ක්ශේත්‍රයේ ප්‍රවීන අධ්‍යාපන විශේෂඥයින් මගිනි. ඒ පොතට ඇති වූ සමාජ විරෝදය හමුවේ එය අද ඉවත් කරගැනීමට සිදුවී තිබේ.
ඉතා කුඩා වයසේදිම බරපතල ලිංගික අපචාරවලට ලක්වුණු දරුවන් දැරිවියන් මට හමුවෙන්නේ රෝහල් වාට්ටු තුළදීය. දරුවන් මෙලෙස අපයෝජනයට ලක්කරන වැඩිහිටියා බොහෝ දුරට ඔවුන්ගේ නිවසේ සිටින තමන්ගේම කෙනෙකි. අප හමුවේ දිගහරින කතන්දරවලින් කියැවෙන්නේ මේ දරුවන් තමන්ට සිදුවෙන්නේ කුමක්දැයි නොදැන සිටි නිසාම බිය නිසාම හෝ ඇබ්බැහිය නිසාම ඒ දෙයට ඉඩ දී ඇති බවය.  තමන්ගේ නිවසට එන නෑයින් දරුවන් සමග නිදිකිරීම පවා කොයිතරම් භයානකදැයි අන්තර්ජාල සටහනකින් පැහැදිලි කර තිබුණි.

නංගිගේ බඩ ලොකු වෙනවා යැයි පවසමින් භාහිර රෝගී අංශයට පැමිණි අක්කා නගෝ දෙදෙනා ප්‍රසව හා නාරිවේද වාට්ටුවට ඇතුල් කර තිබිණි. ඒ දැරියගේ වයස අවුරුදු 13 කි. අක්කා ගෙදර ගොස් නංගිගේ බඩේ සති 20 ක කළලයක් වැඩෙමින් පවතින බව පැවසූ විට පියා ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබුණි. මව මැදපෙරදිග ගිහින් ය. අම්මාගේ ගවුම ඇඳගෙන තමා ළඟ නිදියන්න එන්න යැයි තාත්තා පවසන බව ඇය කීවාය. තමන්ගේ අක්කාට මේ දෙය නොකියන ලෙසද බිය වැද්දූ තාත්තා තමන්ට සිදු කරන්නේ කුමක්ද ඇය නොදැන සිටියාය. තාත්තා මරාගත්තේ අප යැයි ඇය බැන වැදුනාය. ඒ ඇයට තාත්තා කළ.සංහදියේ තරම මේ ළපටි දැරියට නොතේරුණු නිසාය. දරුවා ලැබුණු පසුද  දුටුවේ හවස පහට ඇඳ උඩ ඉඳගෙන වාට්ටුවේ රූපවාහිනය දෙස හැරී කාටූන් බලන දැරිවියකි.

අවුරුදු 12 ක දැරියක අප හමුවට පැමිණියේ කඩේ මුදලාලි නොයෙක් තෑගි දෙමින් ඇයට කරන ලද සෙල්ලම නිසාය. ඇය ඒ ලොසින්ජර ටොපි ටිපි ටිප් පැකට් එකට ඇය සමග කරන සෙල්ලම කුමක්දැයි නොදැන සිටියා මෙන්ම එය ඉවසා සිටිය බව පැවසුවාය. ඇය යුද්ධය අවසානයේ ඉතිරි වූ මිත්තණිය සෙවනේ සිටි අතර කිසිවෙකුට මේ ගැන පවසා තිබුණේ නැත. එහෙම වුනාම මෙහෙම වෙනවා ? බබාලා එන්නේ එහෙමද ? කියමින් ඇය සසල වූවාය. ඇය ප්‍රසව වේදනාවෙන් කෑමොර දුන් හැටි මට අදටත් මතක ය.
2012 දී ලෝක විනාසය වෙනවා යැයි පැතිරුණු ආරංචියකි. ඒ එක්කම අප හමුවට ගෙන ආ නව යොවුන් වියේ දැරියන් කිහිප දෙනෙකි. වැඩිහිටි පිරිමි ළමෝ මෙය විනෝදයක් බවද ලෝක විනාශය වෙන්න කලින් මේ විනෝදය ලැබිය යුතු බවද පවසා ඔවුන් පාළු නිවසක් වෙත රැගෙන ගොස් තිබිණි. 
ඔවුන් කිසිවෙක් මේ කරන්නේ කුමක්ද කියාවත් දැන සිටියේ නැත. අතුරු ප්‍රතිඵල දැන සිටියේ නැත.

බොහෝ විට උතුරු කොනේදී දැරිවියන්ට ලිංගික අධ්‍යාපනය ගැන කියා දෙන්නට සිදුවුණේ අපට ය.වයස 16 සිට එක්ව ජීවත් විය හැකියැයි කියනා රටක එසේ ඉක්මනින්ම දරුවන් ලබා තනිවූ දැරියන් ගැන කතන්දර රැසක් මට ලියන්නට හැකිය.

ළමයින්ට මේවා කියා දිය යුතු වයස කවරක්දැයි ඇතැමෙක් අසයි.  යමක් වැටහෙන කතා කරන්න හැකි තේරුම් ගත හැකි වයසේ කුඩා ඩ්ජරුවන්ට පවා තමන් අනවශ්‍ය ලෙස අතගාන්නට බලපෑම් කරන්නට ඇඳුම් උනන්නට තැත් කරන වැඩිහිටියන් ගැන සරලව තේරුම් කරදී එවන් මොහොතවලින් බේරෙන්නට දෙමාපියන්ට වැඩිහිටියන්ට ඒ ගැන කියන්නට දරුවන් හුරු කළ යුතු නොවේද ? 

නාන්න ළිඳට ගෙන ගිය තාත්තා තමන්ගේ අඟපසඟ අතගෑ බව අවුරුදු පහක දැරිවියක අප හමුවේ පැවසුවේ ඇය අම්මාත් සමග රෝහල්ගතකර ඇති අවස්ථාවේදීය ඒ තාත්තා ඇයට කල ලිංගික අපචාරවලට එරෙහිව මව පොලිසී ගිය නිසාය.

කණ රිදෙනවායැයි ඇඩ්මිට් කළ දරුවා පසුව කීවේ විදුහල්පති කණට ගැසූ බවත් පන්තියට පැමිණ මහත දරුවන්ගේ බඩ, පසුපස ප්‍රදේශය මිරිකන බවත් තමන්ගේ බඩ මිරිකූ බවත් ය. 
බාලවයස්කාර දැරියන් දරුවන් බස් රථ තුළදී හිංසනයට ලක්වේ. “ජැක් ගැසීම” ගැන මා දැන ගත්තේ බස් රථයේ එලෙස හේත්තුවන්නට ආ මිනිසෙක් නිසාය. මේ සමජයේ අමනයින් දරුවන් පෙලා දමන්නන්, ලිංගික අප්චාර කරන්නන් බහුලය. ඔවුන් නිදැල්ලේ සිටී. අපචාරයට ලක්වන දරුවා හෝ දැරිය නැවත ඒ පාපතරයා සිටින ගෙදරටම ඇතැම්විට බාරදෙන්නට හෝ යැවීමට සිදුවේ. 
අප ජීවිත කාලය තුළ හමුවන අනන්තවත් මෙවැනි කතා ලියා ඔබ හමුවට ගෙන එන්නේ කැඩී බිඳී යන හිත හදාගෙන රාජකාරිය විතරක් කරන්න කියන බලපෑම් මගහරිමිනි. 
ඔවුන් හැකි අයුරින් දැනුවත් කරමු. ඔවුන්ගේ ශරීරය ගැන, එහි සිදුවන වෙනස්කම් ගැන, ඒ ඒ වයස්වලදී ඔවුන්ට සිදුවන, දැනෙන දේ ගැන හරියාකාර තොරතුරු සහ අධ්‍යාපනයක් නොදීමෙන්   ඔවුන්ට වැරදි තොරතුරු මෙන්ම වැරදි ආකාරයේ අත්දැකීම් ලැබිය හැකිය.
ස්ත්‍රී/ළමා දූෂකයින් ගැන වෙන රටවල තිබෙන්නාක් මෙන් registry අපේ රටේ තිබෙනවාද ? 

මෙවන් අධමයන් වෙනුවෙන් අප කළ යුත්තේ සමාජ විරෝදයක් ගෙන ඒමය. එහෙත් ඒ වෙනුවට අපේ රටේ  ඉන්නේ එවැන්නන් ඔසවා පාර්ලිමේන්තුවට යවන අපූරු මිනිසුන් ය. 
පාසැල තුළින් මේවා කියා දෙන්නේ නැති බව බොහෝ දේවලින් පැහැදිලි වේ. එනිසා එවැනි දෑ ගැන වෛද්‍යවරුන් මගින් හෝ පාසැල් දරුවන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකසන්නට කාලය පැමිණ ඇතැයි සිතේ. 
ඔබේදරුවා සුරක්ෂිත ද ? 

වෛද්‍ය බෝධිනී සමරතුංග
රැස සායනික සටහන් නොවේ තීරුවෙන්

Tuesday, July 14, 2020

මේ දුක හරි පොඩියි !

ජීවිතයේ තනිවුණු දා දැනෙනා ළතැවුල් අත ගෙන
මහ ගින්නක පැන මියෙන්න සිතක් සිතනවා
සාගින්නද උහුලනු බෑ පොඩිවුන් අරගෙන පිම්මට
මහ දියකඳ බදා වැළඳ නිමක් සොයනවා

අනෙකා ඇවිදින මග තොට උන් විඳිනා මහ කරදර
ඒ ගැන වඩියක් හිතුවද ඔබෙන් අහනවා
උන් ඇවිදින ගව් සිය දුර උරහිස් දරණා බර පොදි
ඒ ගැන විමසා සිටි උන් නැතැයි පෙනෙනවා

සංසාරේ විඳිනා දුක මඟ සොයලා මඟ දකින්න
මුනිවරයන් දෙසූ දම් හඬ අදත් ඇහෙනවා
අනුන්ගෙ දුක දකින තැනදි බදා වැළඳ දරණ විටදි
මේ දුක් කඳ මොන පොඩීද කීයා සිතෙනවා

බෝධිනී සමරතුංග
2020 ජූලි
මිනිසුන්ගේ දුක් විඳීම් ගැන සත දෙකේ කතාවකින් පසු !
After discussing my 2 cent on "problems with a med friend.
(උපුටා ගැනීම හෝ කොපි කිරීම නොකරනු මැනවි)
ඇවිලෙන සිතකට දම්පැන් සොයමින් ඇවිදින කතරක
දහම් හඬින් මුලා කරන දනෝ

Monday, July 13, 2020

බුදුන් වඳින්නේ ප්‍රශ්න තියෙන අයද ?

ගේට්ටුවෙන් ඔබ්බෙහි ඇත්තේ A 9 ප්‍රධාන පාරයි. පාන්දර 3 පමණ ය. ඉන් මෙහා ඇති බුදු මැදුර අභියසදී පියවර වේගය, අඩු කළ මා බුදු මැදුරේ වළාකුළු බැම්මේ මුදුන අතින් අල්ලාගෙන නැවතුනේ වට පිට බලන ගමන්. මා මෙහි ආවේ වාට්ටුවේ හදිසි තත්ත්වයක් පාලනය කර අහවරව ය. 

මධ්‍යම රාත්‍රී දොළහ පසුවෙද්දීම රාත්‍රී වැඩමුරය භාරව සිටින වෛද්‍යවරිය වන මා වෙත දුරකථන ඇමතුමක් ලැබුනේ පැයක පමණ වූ කෙටි නින්ද හමාර කරමිනි. රාත්‍රී සේවයේ නියුතු වෛද්‍යවරයා සිටිය යුත්තේ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ ය. එහෙත් එම වාට්ටුවට වෛද්‍ය විවේක කාමරයක් නොතිබිණි. මේ වාට්ටු සංකීර්ණයම හදිසියේ හැදූ ඒවා වන නිසා ඔහොම කාමර හදන්න මතක් නොවෙන්නත් ඇති. එනිසා විටින් විට වෛද්‍ය නේවාසිකාගාරයේ සිට පෙනෙන දුරකින් පිහිටි වාට්ටුව වෙත අපට දුවන්නට සිදුවුනේ දිනක් හැර දිනක් පාසා යෙදෙන රාත්‍රී වැඩමුරය සහිත දිනවල ය. 

"ඩොක්ටර්, ඇඩ්මිශන් එකක් හදිසිම එකක් නෙමේ" හෙදිය දුරකථනය ඔස්සේ පවසයි. 

“ හරි මිස් මම එන්නම්” මම විදුලි පන්දම රැගෙන නේවාසිකාගාරයේ කාමරයේ සිටි අනෙක් වෛද්‍යවරිය සුවසේ නිදනු බල බලා, ශබ්ද නොනැගෙන සේ දොරවසා අගුළු දමා නික්මුනා. 

මා යන විට ඇවිත් තිබුණේ නොදන්නා යම් සතෙක් විසින් සපා කෑ අයෙකු ය. ඔය අතර වාට්ටුවේ සිටින ඇදුම රෝගියෙක් වූ ජෙයපාලන් මාස්ක් එක එක අතකින් අල්ලාගෙන ඔක්සිජන් සමග නාස් කුහරය වෙත ඇදෙන දුම ආඝ්‍රහනය කරමින් සිටියේය. 

ජෙයපාලන් වයස පණස් ගණන් වන ගොවියෙකි. දිර්ඝ කාලයක් ඇදුම සඳහා ඖෂධ ගනී.මේ කාලයේ පැවති වර්ෂා තත්ත්වය නිසා විටින් විට ඇදුම සහ ශ්වසන රෝගී තත්ත්වයන් සහිත අය රෝහල්ගත වේ.
මා වෙද නළාව තබා පිට පැත්තෙන් ඔහුගේ ශ්වසනය සහ ශබ්ද පරීක්ෂා කළෙමි.

ඉක්මනින් හුස්ම ගනී.. පිට කරන්නේ කීං කීං හඬ සමග හුස්ම ගත්තාට වඩා දීර්ඝ කාලයක් වැය කරමිනි. වාට්ටුවේ බහුතරය කහිමින් සෙම් සොටු පිටකරමින් සිටී. ඒ රෝග කාරක අපටද වැළඳේ, ඇතුල් වෙන රෝගීන් හට පෙති කරල් පොවමින් අපද ඒ පෙති, කරල්ම බොමින් මේ ගත කරන කාලය ගැන මදක් නතරව සිතමි. 

“සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා 

ආතුරේසු මනුස්සාස විහරාම අනාතුරා” (ධම්ම පදය) 

ආතුර වූ මිනිසුන් මැද අප අනාතුරව වෙසෙමු. ධම්ම පද ගාථාව මතකයට නැගේ. කයින් ආතුර වෙනවට වඩා දරුණු හිතින් ආතුර වෙන එක. මම මගේ හිතට එය මතක් කරදෙමින් හිත හදා ගනිමි. 

සැනෙන් බිඳෙන සසලවෙන හිත්වලින් ආතුරව ගතින් ආතුරව උදව් පතා පැමිණ ඇත්තේ අපට ආගන්තුකයන් ය. ඒ මිනිසුන්ගේ සෙම් සොටු කිවිසුම් කැස්ස සමඟ අප මුහුණු මත තැවරේ. ප්‍රෙශර් මනිමින් නළාව තබමින් ඇඟේ හැම තැන අල්ලා මිරිකා ඔබ ඔබා පරීක්ෂා කරමු. දහඩිය වැකුණු ශරීර, දිනගනන් නා පිරිසිඳු නොවූ ශරීර ඇත්තන් කිසිඳු ආවරණයක් නොමැති අත්වලින් අල්ලා ලෙඩේ හොයගන්න පරීක්ෂා කරමු. 

උදේ රෑ ආසාදන වලකාගන්න පෙති ගිල, රෑ පුරා ලෙඩ රෝග උත්සන්න වන අය සමග ඔට්ටු වී උදෑසන තඩිස්සු වූ නිදි නොලැබ විඩාබර ඇස් රැඳි මුහුණින් වාට්ටුව පුරා ඇවිදිමු. ක්ලිනික් දිනවල ක්ලිනික් දුවන්නෙමු. 

දැන් මදක් පහසුවෙන් හුස්ම ගනිමින් ඇඳේ උඩ කොටසේ මෙට්ටයට උස්සා පහසු කර දී තිබෙන හෙයින් දැන් සැනසිල්ලේ  සිටී. ඔරලෝසුවෙන් වේලාව බැලුවෙමි. පාන්දර තුනහාමාරටකිට්ටුය. ඊළඟට නිතර සොයා බලන රෝගීන් වාට්ටුවේ ඉදිරිපස කොටසේ සිටියායින් ඔවුන් ගැන සොයා බැලුවෙමි. ඩෙංගු උණ සෑදී ඩෙංගු රක්තපාත තත්ත්වය සමග පොර බදිනා, රෝගියාගේ තත්ත්වය මේ වනවිට හොඳ අතට හැරෙමින් පවතින නමුදු දවසට කිහිප පාරක් දෙවියන් සිටින අත සොයා වඳින්නට ඇඳෙන් බැස කකුල් අත පය සෝදන්නට බැරි වීම නිසා කණස්සල්ලක් ඔහුගේ හිත පෙලයි. මන්නාරම් දෙසින් ආ වැසියෙකි. 

"අනේ ඩොක්ටර් මට වන්දනා කරන්න ඕනෙමයි. දැන් දවස් ගාණක්ම මට වන්දනා කරන්න බැරි උනානේ." ඔහුව පරීක්ෂා කරද්දී පවසයි. 

“ඔබේ දෙවියන් තේරුම් ගනීවි ඔබ දැන් සුපුරුදු ලෙස වන්දනා කරන්න බැරි තත්ත්වයක ඉන්නේ කියලා. හිතින් සියල්ල හිතන්න තාත්තා. හිතේ භක්තියනේ වැදගත්ම. කය වෙහෙස කිරීම හොඳ නැහැ නෙව. ඇරත් මූත්‍රා බටේ එහෙ මෙහෙ උනොත්. බෑග් එක ගැටහලා තියෙන්නේ ඇඳ විට්ටමේ. ඉතින් එහෙ මෙහෙ දුවන්නැතුව ඉන්න තාත්තේ” 

" ඔබවද මේ ප්‍රතිකාරද දෙවියන් දෙන උදව් දුවේ" කියමින් හේ සැනසෙයි.

අපි නාඳුනන මේ සියල්ලන්ට අම්මේ, තාත්තේ සීයේ,මාමේ, අයියේ මල්ලී යැයි කියන්නේ අපේ සංස්කෘතියේ හුරුව නිසා ය. 

මෙහි වැසියන් අපට පෙරලා අම්මා හෝ අයියා යැයි පවසති. මා කලින් ලීවා මෙන් ඒ ගෞරවය හඟවන ආමන්ත්‍රනයකි. අනිත් කොන පොතේ මේ නිසා ඇතිවූ අලකලංචි ලීවා මතක් වේ. 

එළිමහන් පාරෙන් රෝහල් බුදු මැදුරට ඇවිද එන්නට සිතුන නිසා මා කෙටි පාර අමතක කළාය. නිරිත දිගින් හමන සිහිල් සුළඟට නිරාවරණව ගල් කණු සතරක් අතර මැදි කර සමාධියෙන් වැඩ සිටි බුදු පිළිමය පිහිටි කොටස රාත්‍රියේද එළිය කර තිබිණි. බුදු රුව හිත නිවා සනසයි. ඉදිරිපිට අතුරා ඇති කළුගල් ටයිල් මත හිඳගත් මම සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා යැයි මෙත් වැඩුවෙමි. මළගිය ඇත්තන්ට පින් දුන්නෙමි. සියළු රෝගී හදවත් නිවී සැනහේවා යැයි මෙත් වැඩුවෙමි. මගේ හදවත පුරා ඇවිල යන ශෝකී කම්පන ය මෙවෙලෙත් අඩු වූයේ නම් නැත. 

“ඔය බුදු මැදුරෙ තිස්සෙම රැඳෙන්න එපා. මිනිස්සු හිතයි ඔයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා” එක් වෛද්‍යවරයෙක් මට පැවසූයේ වෛද්‍ය නේවාසිකාගාරයේ භෝජනාගාරයේ ආහාර ගන්නා වෙලාවේදීය. 

“බුදුන් වඳින්නේ ප්‍රශ්න තියෙන අයද ?” මම ඇසුවේ විමතියෙනි. 

“ඔව් හොඳට බලන්න !” ඔහු කියන්නේ සමාජයේ බහුතරයකගෙන් පෙනෙනා හෝ බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නා මතයකි. 

මම දෑස් ඇරලා අවට බැලුවෙමි. අඩවන් වූ දෙනෙතින් සමමෙත් සිහිලෙන් නැහැවෙමින් වැඩ හිඳින බුදු රුව මා ඉදිරිපිට ! ඊට පිටුපසින් ගේට්ටුවේ මුරකුටිය දෙසින් මුර උන්නැහේ හිස දමා බලන්නේ මේ මහා රෑ බුදුන් වඳින්නේ කවුරුන්ද කියා විය යුතුය.

බුදුන් වැඳීම හැමෝම කළ ද බුදුන් පෙන්වූ මග ගමන් ගන්නා මිනිසුන් අල්පය. 

"කටින් බුදු බණ විදින මිනිස්සු තමයි භයංකරම, බුදු  සරණා යී.... කියලා ෆෝන් එක තියන මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ! ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා වෝඩ් රවුන්ඩ් එක කරමින් මේ ළඟකදි ඉඳන් බුදු මැදුරක් හැදීම වෙනුවෙන් වෙහෙසෙන අපට කීවේය. 

"මේ මහ පොළොව උඩ බුදුන්, ජේසුන්, සහ සාන්තුවරයින් ඇවිද්දා, මේ සියලු ගහකොළ මේ පෘථිවි ය මත මෙලෙසින්ම ඇවිද්දා එනමුත් ඔවුන් පාරාදීසයක ජීවත් වුනා, ඔබ අපායක ජීවත් වුනා. " osho ලීවේය. ඒ හෘද සූත්‍රය නම් පොතේ ය.

To me, you are Buddhas. All your efforts to become enlightened are ridiculous if you don't accept this basic fact. This has to become a tacit understanding, that you are it! This is the right beginning, otherwise you go astray. This is the right beginning! Start with this vision, and don't be worried that this may create some kind of ego -- that "I am a Buddha." Don't be worried, because the whole process of The Heart Sutra will make it clear to you that the ego is the only thing that doesn't exist -- the only thing that doesn't exist! Everything else is real - the heart sutra

Friday, July 10, 2020

කලන්තේ දැමීම්

අද මා සේවය කරන සෞඛ්‍යායතනයේදී පුහුණුවට පැමිණි හෙදියන් හෙද සොයුරන් පිරිසක් දකින්නට ලැබුනා.
ඔවුන් අතරින් පැමිණි කෙනෙක් ඇසුවේ "ඩොක්ටර් උතුරේ අහවල් රෝහලේ වැඩකළා නේද ?" කියා ය.
මට එවිටම ඔහුව මතකයට ආවේ එහි හමුවූ හෙද සොයුරෙක් ලෙසය එහෙත්  ඔහු වැඩ කළ ඒකකය මතකයට ආවේම නැත.
"තියටර් එකේ මතකද ඩොක්ටර්" ඔහු ඇසූවිට මටටක්කෙටම මතක් විය.
"ඔව්නේහැබැයි මම ඊටපසු අවුරුද්දේ මාරුව ලැබ කොළඹ ආවා" මම කීවෙමි.
මෙච්චර මේ මූඛ නහය ආවරණය කර ගනිමින් මාස්ක් දමා සිටියද අවුරුදු 8 කට පසුව වුවද ඔහු මා හඳුනාගත් හැටි පුදුමය.
අප වැඩකරන ඕනෑම තැනක සෑම අංශයකම අය හා සුහදව කටයුතු කිරීමද ඔවුන් සැම තරාතිරම් ලෙස නොව මිනිසුන් ලෙස සැලකීමද මා උගත් දහමය. ඒ සමග සහෝදරත්වයෙන් වැඩ කළ නිසා ඔවුන් සැම , ගෙවල්වලින් බොහෝ දුර බැහැර වැඩ කළ අප වෙත දයාබර වූවෝය.

ඇත්තටම ඔහුව මතකයට නැඟීමත් සමග එහි සිදුවූ සිදුවීමද මතක් වුණි.  පත්වීම ලැබ තියටර් එක හෙවත් සැත්කම් කරන ශල්‍යාගාරයේ පුහුණුවට ආ ඔවුන් කිහිප දෙනෙක් අප සැත්කම් කරනු බලා සිටින්නට විය. පළමු දවසෙම ඔහු කලන්තය හැදී වැටුනේ අප සැම පුදුම කරමිනි. මන්ද ඔහු වැටෙනකම් අප දුටුවේ නැත.
එදා සියල්ලන්ටම ඔහුව බයිට් එක විය.


ඉන්පසු එළඹි දිනක වාට්ටුව බලන් හිටි මා වෙත ආ දුරකථන ඇමතුමකි. "ඩොක්ටර් ආර් කලන්තේ දැම්මා ඉක්මනින් තියටර් එකට එන්න"
කලන්තේ දමා සිටියේ සුමිතුරු වෛද්‍යවරයාය.
නිතරම විහිළුවෙන් ඉන්නා මේ සගයා, ප්‍රසව හා නාරිවේද ඒකකයේ ඉන්න බහුතරයක් දෙනා හෙදියන් සුළු සේවිකාවන් සහ වෛද්‍යවරියන් දෙදෙනා සහ රෝගීන් සියල්ල ස්ත්‍රීන් නිසා... මේක නම් ඉතින් පිටරට විකාශය වන විහිළු නාට්‍ය සීරීස් එකක් වැනි ජීවිතයක් බව කියමින් සිටියේය.
දැන් ඔහු කලන්තේ දමා ඇත.
 ඉතින් එදා සිට මම ඇතුළු හෙදියන් අප සියල්ලන් බොහෝදිනක් යනකම් ඔහුට විහිළු කළේ "වැඩක් නෑ ඉතින් ඔහොම කලන්තේ දමනවානම්" කියාය. ඒවෙනකොට ශල්‍යාගාරය සහ සැත්කම් අපට ඒ තරම් හුරු පුරුදුය.
" අධි ආලෝක අර තියටර් ලයිට් එක ඔළුව මුදුනේ තියන් අලුත් සර් ට ඇසිස්ට් කරලා බලන්න" ඔළුව නම් රත් වුණා නොසෑහෙන්න"
කියමින් ඔහු නිදහසට කාරණා කීවේය.
ඉන් පසු එවැනි කාලයවැයවන සැත්කම් සඳහා අත්  උදව් දීම භාර වුනේ මට ය. එහෙව් එක් දිනක තියටර් එකේ ලයිට් එක (අධි ආලෝකමත්) ඔළුව උඩින් ම විහිදෙන සැත්කම් දිනයක මට ද සිදුවුනේ ඇස් නිලංකාර වේගෙන යද්දී අසල සිටි හෙදියට යන්තම් කියා ගැනීමය.
"මිස් මට කලන්තේ වගේ"
මිස් පැමිණ මා පසු පසින් සිට ගත්තේ හරි යාවිද බලන්නය.. හරි යන පාටක් නැත.
"තව පොඩ්ඩයි මේ ටික මට කරගන්න පුළුවන්" සර් කීවෙන් මා විගහින් ශල්‍යාගාරයේ පොළොවේම හිඳ ගත්තෙමි. ඔළුව පහත් කර ගත්තෙමි මදක් හරි යාගෙන එද්දී නැගිට එළියේ හාන්සි පුටුවට ගියෙන්, සීනි සංතෘප්ත ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණයක්ද ටිකකින් උණු උණු කිරි තේකක්ද ලැබුනෙන් යතා තත්ත්වයට පත් වීමි.
"දිට්ඨ දම්ම වේදනීය කර්ම" වෛද්‍ය ආර් ට හිනා වූ මට ආර් පැවසුවේය. දොස්තරලා දෙන්නෙක්ම කලන්තේ දැමූ හෙයින් හේතු සෙව්වෙමු. අලුත් සර් ලයිට් මදි කියද්දී තියටර් එකේ අතිරේකව ඇති බල්බ් එකක් සහිත ලාම්පුවක් ගෙන අත් උදව් දෙන අනෙක් වෛද්‍යවරයා සිටින පැත්තෙන් අපට කෙළින් අටවන හෙයින් මේ අලකලංචිය සිදුවන බව එක හේතුවක් විය.
"තියටර් එකේ  ඒ ලයිට් එක සැර වැඩී තමා. VH &R එකට ඇසිස්ට් කරද්දී කෙලින්ම ඔළුව උඩ. ඒක තමා ප්‍රශ්නේ"  වෛද්‍යවරු දෙන්නෙක් කලන්තේ දැමීමට හේතුව එසේ තීන්දු විය.

උතුරු කොන සේවය කළ කාලයේ රස කතා


Thursday, July 9, 2020

ප්‍රාඩ විලී

සුදු කෝට් එකත් දමාගෙන නළාවත් බෙල්ල වටේ දමාගෙන බොහොම ආසාවෙන් සායනික අධ්‍යාපනය පටන් ගත්ත තුන්වෙනි අවුරුද්ද මට කිසිදිනෙක අමතක නොවේ. බොහෝ රෝගාබාද ගැන ඒ වෙද්දිත් පොත පතෙන් කියවා ඇතැම්විට ඒවායේ මූලබීජ හේතුසාධක සහිතව හඳුනාගත් නමුත් අපි වෛද්‍යවරු කරන වැඩ කරමින් සැබැවින්ම වෛද්‍ය අධ්‍යාපනයට පිවිසුනා වගේ දැනෙන්න ගන්නේ ඔය කාලයේ. බොහෝ විට සති කිහිපයක් පුරා එක එක වාට්ටු සහ අංශවල මහාචාර්ය ඒකකවල අධ්‍යාපනය ලබන්නට සිදුවුන ඒ කාලය දැඩි වෙහෙසකර වූයේ ඇතැම් දිනවල සවස්වරුවේ අප දේශන සඳහාද සහභාගි විය යුතු නිසා.
මා මේ කියන කාලයේ ළමා රෝහලේ මහාචාර්ය ඒකකය වෙත ගිය අප සියල්ලම රැස් කර ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍යවරිය විසින් අපව, දෙතුන්දෙනාගේ කණ්ඩායම් සාදා රෝගී දරුවන්ගේ ඇඳ අංක බෙදා දුන්නාය.

ඒ අප ලද ඇඳ අංකය සොයාගෙන ගිය මට දකින්න ලැබුනේ ජනේලෙන් එපිට පෙනෙන කුඩා උද්‍යානය දෙස බලාගෙන සිටිනා ස්ථුල දැරියකි. අසල කවුරුත් නොරැඳීමට හේතුව ලෙස අනාථ ළමා නිවාසයක සිටින දැරියක බව හෙදිය අප හා කීවාය. 

"ලේසි නෑ කතා කරන්න නම් ඒත් ට්‍රයි කරලා බලන්න" කියමින් ඇයගේ සායනික සටහන් ගොනුව අප අසලින් රැගෙන ගියාය. 

අප දුටු සැනින් සිනහ වූ ඇයට අප හා කතා කරන්නට හැකි දැයි ඇසූ විට කතා කරන්න අපහසු බව කට පෙන්වමින් අභිනයෙන් පැවසූ ඇය මා අත තිබූ පෑන සහ කඩදාසි ගොනුව ඉල්ලා "ලියා දෙන්න දැ"යි අභිනයෙන් ඇසුවාය. බොහොම කැමැත්තෙන් ඇයට පොත දුන් අප දෙදෙන ඇගෙන් ප්‍රශ්න අහන්නට ගත් අතර සෑම ප්‍රශ්නයකටම පසු ඇය අපට අතින් සංඥා කර කොලයේ යමක් බොහොම වැර වීර් යයෙන් සටහන් කරන්නීය. නමුත් ඇය අප ඉදිරියේ හිඳගෙන ඉන්නා හැටියට ඇය ලියන්නේ කුමක්දැයි අපට නොපෙනේ.
ඔය ආකාරයෙන් අපට අසන්නට වුවමනා ප්‍රශ්න ඇසුවාට පසු ඇය ලියූ කොළය අපට දුන් අතර එහි වූයේ විවිධ හැඩයක් ගත් ඉංග්‍රිසි ආර් අකුරු පේළිගොඩකි. පිටුව පිරෙන්න ඇය ආර් R අකුරු ලියා තිබුණි. 
අප දෙස බලා පියකරු සිනහවක් පෑ දැරිය මේ බලා ඉන්නේ අප කියන්නේ කුමක්ද කියාය.

"හරිම ලස්සනයි " හැඬුම් අතරෙන් කියූ මා වාට්ටුවෙන් පිටට දිව ගියේ හැඬුම් නතර නොවුන නිසා ය. අවුරුදු දහ හතරක් පමණ වන ඇය බුද්ධි හීන දැරියකි. ඇගේම ලෝකයක් තනාගෙන ජීවත් වෙන සිනාමුසුව සිටින මේ දැරියගැන දැනෙද්දි මා එළියේ පඩිපෙළමුල හිඳගෙන ගලායන කඳුළට ඉඩ හැරියාය. 

ඇයගේ ජෛව ලක්ෂන අනුව සින්ඩ්‍රෝම රෝගයක ලක්ෂන මතක් වේ. අප ඉගෙන ගනිමින් සිටියේ එවන් මිනිස් ජාන සැකැස්මේ අඩු පාඩු කම් නිසා ඇතිවන ජානමය ආබාධ ගැන ය. 
"ඇය ජීවිත කාලය මුලුල්ලේම මෙහෙමයි, අපි මොකද කරන්නේ ?" ඉතා ප්‍රියමනාප මුහුණක් සහිත මේ දැරිය දෙස බලාගෙන මම ද යෙහෙළියද විටින් විට ඒ ප්‍රශ්නය අසා ගත්තෙමු. 

Prader-Willi සහලක්ෂණය යනු ශරීරයේ බොහෝ ඉන්ද්‍රිය අවයවවලට බලපාන සංකීර්ණ ජානමය තත්වයකි. 15 වෙනි ක්‍රෝමසෝමයේ ඇතිවන ජාන අඩුවීමක් හෝ නොපිහිටීමක් නිසා ඇතිවන මෙම තත්වය ඉතා කළාතුරකින් ඇති වෙන්නකි. මෙම ක්‍රෝමසෝම 15 ජාන නොපිහිටීම මොළයේ හයිපොතැලමස් යන කොටසේ සැකැස්මට බලපාන බව සොයාගෙන ඇත. එහෙත් මේ තත්ත්වය ඇතිවීමට හේතුව තවම සොයාගෙන නැත. එය ප්‍රවේනිගතව උරුමවන රෝගී තත්ත්වයක් නොවන බවද පැවසේ.

ළදරු අවධියේදී, මෙම තත්වය දුර්වල මාංශ පේශි, දුර්වල බුද්ධි වර්ධනය සහ කායික වර්ධනය මගින් සංලක්ෂිත වේ. ළමා කාලයේ සිටම,මේ දරුවන්ට අධික ආහාර රුචියක් ඇති අතර, එය අධික ලෙස ආහාර ගැනීමට සහ තරබාරුකමට හේතු වේ. ප්‍රාඩර්-විලි සින්ඩ්‍රෝමය ඇති සමහර පුද්ගලයින්ට, විශේෂයෙන් තරබාරුකම ඇති අයට දියවැඩියාව ඇතිවේ. (දියවැඩියාවේ 2 වර්ගය - වඩාත් සුලභ ආකාරය වේ) අධි රුධිර පීඩනය අක්මාව සම්බන්ද රෝගාබාද සහ පිත්තාශයේ ගල් ඇතිවීම වැනි තත්ත්වයන්ට ද ගොදුරු විය හැක.

ප්‍රාඩ-විලි සින්ඩ්‍රෝමය ඇති පුද්ගලයින්ට බුද්ධිමය දුර්වලතා සහ ඉගෙනීමේ දුර්වලතා ඇතිවේ. චර්යාත්මක ගැටළු බහුලව දක්නට ලැබේ. පාලනය කළ නොහැකි කෝපය, මුරණ්ඩුකම මොවුන් තුළින් දක්නට ලැබේ. මෙම තත්වයේ අතිරේක ලක්ෂණ අතර පටු නළල, ආමන්ඩ් හැඩැති ඇස් සහ ත්‍රිකෝණාකාර මුඛය වැනි සුවිශේෂී මුහුණේ ලක්ෂණ ඇතුළත් වේ; කෙටි උස; සහ කුඩා අත් සහ පාද. Prader-Willi සින්ඩ්‍රෝමය ඇති සමහර පුද්ගලයින්ට අසාමාන්‍ය ලෙස පැහැපත් සමක් සහ ලා පැහැති හිසකෙස් පිහිටිය හැක. බලපෑමට ලක් වූ පිරිමින් සහ බලපෑමට ලක් වූ කාන්තාවන් හට ප්‍රජනනය සම්බන්ද ගැටළු ඇත. ඒ නොවැඩුණු ලිංගික ඉන්ද්‍රිය පිහිටීම නිසාය. වැඩිවිය පැමිණීම ප්‍රමාද වී හෝ අසම්පූර්ණ වන අතර බොහෝ බලපෑමට ලක්වූ පුද්ගලයන්ට දරුවන් ලැබීමට නොහැකි වේ (නිසරු).

විශේෂ අධ්‍යාපනික ක්‍රම මගින් ඔවුන් හට සමාජයේ ජීවත්වීම සඳහා උපකාර කළ හැක. එහෙත් එය අද සමාජයේ සිදුවෙනවාද යන්න සැක සහිතය. ඇයගේ මව්පියන් ඇය ළමා නිවාසයක අත හැර දමා සිටියහ. මෙවන් දරුවන්ට හිතකර පහසු සුරක්ෂිත පරිසරයක් එවන් නිවාසවල බොහෝවිට දකින්නට නැත්තේය. ඇය රැක බලා ගන්නට වෙනම කෙනෙක් නොමැත.  එදා වෛද්‍ය ශිෂ්‍ය අවධියේ මෙවන් සිදුවීම් හමුවේ අතිශය සංවේදී වූ අතර දුක දරාගන්නට නොහැකිව හඬා වැටෙන අපේ කඳුළු පිටතට නොපෙන්වා සිටින්නට කාලයක් ගත වෙද්දී හැකි විය.

වෛද්‍ය බෝධිනී සමරතුංග
සායනික සටහන් නොවේ
රැස පුවත්පතේ පලවුණි.

Wednesday, July 1, 2020

ඒ කියන්නේ ඔබේ හදවත !

අටෝරාසියක් නරක මැද හොඳ වෙන්‍ට අපට ඉගැන්වූ සිබිල් නැන්දා නික්ම ගොසිනි. 

ඩිජිටල් තිර නොමැති, රූපවාහිනී නොමැති කාල ගෙවමින් සිටි අපට සිබිල් නැන්දාගේ පොත් ලෝකයක් මවා දුන්නා. උඩ ගිය බබා මගේ හිතේ බොහෝම ලොකුවට තැන්පත් වුණේ බත් කන්න හොර එකියක් වූ මටම ඒ පොත අම්මා කියා දුන් නිසාය. බත් නොකෑවොත් හුළඟේ ගසාගෙන යාවි යැයි බියක් මට දැනුදු මතක, යම් කාලයක් හුළඟ හමද්දී බංකුව වැරෙන් අල්ලා සිටි හැටි මතක් වෙන නිසා.

අඳින නඟාගේ චිත්‍ර දුටු අනුරාද අයියා ඔහුගේ මව සමඟ කලා භවනට යවන්නේ චිත්‍රකර්මය ඔපමට්ටම් කරගැනීමට ය. එහෙත් නිතර සිදුවෙන්නේ ඇඳිය යුත්ත ඉක්මනින් ඉවර කර සිබිල් නැන්දා සිටින අතක කොරිඩෝවේ පඩිපේලියක ඉඳගෙන ඇය වට කරන් ඉන්නා පොඩ්ඩොන්ට මෙපිටින් ඇගේ කතා අසන ගමන් ඇගේ හුරුවට චිත්‍ර ඇඳීම ය.

ජීවිතේ තෝරාගැනීම් නිසා චිත්‍ර කර්මය එහායින් තැබුවා මිසක ඇය නිසා පාට එකතුවූ මගේ ලෝකයේ ඇය අදටත් වීරවරියකි. වීරයෝ යනු මේ ලෝකේ මිනිස්සුන්ට ජීවිතේ පහසු කරන මිනිස්සුන්ට ! ලෝකෙට හොඳ ගෙනෙන මිනිස්සුන්ට. ළමයින්ට ඔබ කොයි තරම් හොඳ ගෙන ආවා ද ? ඉතින් ඔබ මගේ වීරවරියක් !

මට හැඟෙන්නේ මා මෙන්ම බොහෝ වැඩිහිටි යහළුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩි දියූණු වෙන්නට මෙන්ම මනුස්සකම සාරවත් වෙන්නට ඇයගේ පොත් උදව් කළ බව ය.

කොයි තරම් නිහතමානී නිරහංකාර , සොඳුරු වැඩිහිටියෙක්ද ඔබ ! ඒ ළෙංගතු හිනාව කතාව අදටත් මතකයේ තිබේ.
ඔබට සුබ ගමන් සිබිල් නැන්දා !
අපිව වෙනස්ම මිනිස්සු කළේ පොත පත... ඒ අතරින් මුල්ම පොත් ඔබේ පොත්! ඒ කියන්නේ ඔබේ හදවත !

Sunday, June 28, 2020

මහත් නොවී ඉන්න බේත්

 “මැඩොම්දුව ආවා අද ලේ පරීස්සන ටික කරගන්න” මේසය අසලට පැමිණි ඇය පවසන්නීය.

මම වහා නැගිට කොරිඩෝවේ කොනේම පුටුවේ සිටින ඇය වෙතට ගොස් සුව දුක් විමසා පැමිණෙමි. හිස කෙස් ගැලවී ගිය ඒ තට්ටය සහිත හිස සලුවකින් වසාගෙන බොහෝ කෘෂව සිටි ඇය සමග වදනක් කතා බහ කර ඇගේ ජීවිතය පහසු කරගැනීමට මොණර කොළ කිහිපයක් අත තබමි. ඇගේ නැන්දම්මා රෝහලේ කැළි කසල සුද්ධ පවිත්‍රකරන ඒජන්සියේ වැඩ කරන්නී ඇගේ දරුවන්ද රැක බලාගනීය.

පිළිකාව බොහෝ සෙයින් අද සමාජය වසා පැතිරෙමින් ජීවිත බොහෝමයක් විනාශකරමින් ලෝකයේ අංක එකේ මරුවා වී ඇත්තේ ඉක්මනින් පැතිර යන වසංගත රෝගයක් මෙනි. ශරීරයේ ඕනෑම තැනක අසාමාන්‍ය ලෙස සිදුවන සෛල වර්ධනයක් පිළිකාවක් ලෙස හැදින්විය හැක. අපේ රටේ බොහෝ දුරට අප දකින්නේ මුල් අවධියේදීම හඳුනාගෙන ප්‍රතිකාර කරානම් ජීවිතයට අවධානමක් නොමැතිව පිළිකා තත්ත්වය පාලනය කළ හැකිව තිබූ බව ය. බොහෝ පිරිසක් තමන්ගේ සිරුර තුළින් පිටට පෙනෙන්නට වර්ධනය වන ගැටිතිතුවාළ හෝ ගෙඩි පිළිබඳව හෝ අවදානයක් යොමු නොකරන්නෝය.

අද ලෝකයේ පිළිකා අවදානම සහ ආහාර රටාව අතර ඇති සබඳතාවය බොහෝ සෙයින් පෙන්වාදෙන අතර අපේ රටේ වැසියන් මේ ගැන දක්වන්නේ බොහෝ ඇල්මැරුණු ස්වභාවයකි.

රතු මස් සහ පිරිපහදු කළ ධාන්‍ය අධික ලෙස පරිභෝජනයද පිළිකා අවදානම වැඩි කරන බව පර් යේෂණ වලදී අනාවරණය විය. බටහිර ආහාර වේලක් (western diet) පිළිකා පර්යේෂකයන්ගේ නව අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සැකසූ රතු මස්පිරිපහදු කළ ධාන්‍ය වර්ග සහ සීනි අධික බීම සහ අධික සැර (spicy) ආහාර වේල්මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරන බවය. එමෙන්ම ශරීරයේ ඇතිවන ප්‍රදාහය (inflammation) තත්ත්වයන් පිළිකා අවදානමට සෘජුවම බලපාන බවද අද පිළිගන්නා පර් යේෂණ වලින් ඔප්පු කර ඇත. ශරීරය තුළ ප්‍රදාහය පාලනය කර ගැනීම සඳහා පරිපූර්ණ ලෙස මධ්‍යධරණී ආහාර වේලකට හෙවත් ධාන්‍ය වර්ගමේදය අවම ප්‍රෝටීන් වර්ග, මාළුපලතුරු හා එළවළු විශාල ප්‍රමාණයක් අඩංගු ආහාර වේලකට යොමු විය යුතු බව විශේෂඥයින් පෙන්වා දේ.

පසුගිය අවුරුද්දේ ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අයිකා ලාට්ස් විසින් කළ දේශන සැසියකට සහභාගි වීමට හැකි වුණෙන් අද ලෝකයේ සිදුවන නවීනතම පර් යේශන ගැන හැදෑරීමට හැකි විය.

දන්නවාද අනාගතේ කොච්චර කෑවත් මහත් නොවී ඉන්න පුළුවන් !”

 ඔහු එහිදී අප හා පැවසුවේ කිසි දාක මහත් නොවී සිටීමට හැකියාව සැලසෙන ජාන වෙනස් කිරීමේ පර් යේෂන දැනටමත් සාර්ථක ලෙස සිදුවෙමින් පවතින බවය. එහෙත් ඔහුගේ කණ්ඩායමේ විද්‍යාඥයින් පිරිසක් ඒ වෙනුවෙන් වැඩ කරන අතරේ තව පිරිසක් යොමු වුණේ ප්‍රජා සෞඛ්‍ය අංශය සමග එකතුවී රටේ ජීවනාලිය වන දරුවන් වෙත මේ පණිවිඩය ගෙන යෑමටය. එනම් “බටහිර ආහාර ක්‍රමයෙන් මිදීම තුළින් අධික ස්ථුලතාවය ආසාදනප්‍රදාහ සහ පිළිකා යන මේවායෙන් වැලකීමට හැක” යන පණිවිඩය රටේ ඉදිරි පරම්පරාව වෙත දැඩිව කාවැද්දීම පිණිස ඔවුන් පාසැලෙන් පාසැලට යමින්රට පුරා දරුවන් දෙමාපියන් ගුරුවරුන් දැනුවත් කරන බව ඔහු පැවසුවේය.

මා අප රටේ දරුවන්  දෙස මදකට හැරෙමි. “කොහොමද ඩොක්ටර් බර අඩු කරගන්නේ” ළමා වාට්ටුවේදී හමුවූ, බර කිලෝ 80ක් වූ එක් දැරිවියකගේ වයස අවුරුදු 12 කි. එවැනි දරුවන් බොහෝ දෙනෙක් මට හමුවේ.

රෑට තාත්තාට කියලාකොත්තු රොටී ෆ්‍රයිඩ් රයිස් ගෙන්නා ගන්නවා.හවසට චූං පාං ත්‍රීවිල් එක එනකම් බලං ඉන්නවා” මේ ඒ අම්මලා මට නොයෙක් අයුරින් කියන කතාවල සම්පින්ඩනයයි.

ටියුෂන් හැමදාමඒවයෙන් ඉඳගෙන ඉඳලා ඉඳලා එන්නේ මහ රෑට. ඉතින් ඇවිදින්න දුවන්න කාලයක් කෝ” දාහත් හැවිරිදි වියේදීම මේද අධික වීම සහ අක්මාව ඉදිමීම යන තත්ත්වයන්ට මුහුණ දෙන දුවා දරුවන් මට කොතෙක් හමුවේ.

චූං පාං රථ හංදියේ වඩේ පැටිස් කට්ලට් කඩ දකිද්දී මට සිතෙන්නේ අප රටේ ප්‍රජා සෞඛ්‍ය ගැන අප කොයි තරම් අවම සැලකිල්ලක් යොදන්නේද කියලාය. එළවළු පළතුරු පළා වර්ග බහුල අප රටට කොයි තරම් ආහාර විවිධත්වයක් තියෙනවා දැයි මට සිතේ.

බටහිර රටවල ඇත්තෝ අපේ රටේ පැරණි ආහාර රටාව ගැන ප්‍රශංසා කරන කළ අද මුළු මහත් සමාජයම බටහිර ආහාර රටාවකට හුරුවීක්ෂණික නූඩල්ස්ක්ෂණික පිටි කෑම ගිලිති. බර්ගර්බැදපු අලපෙතිමාස ගණන් පරණ මස් වෙනුවට නැවුම් කොළ එළවලු පලා වර්ග වලින් විවිධ අමුතු කෑම හදා දරුවන් පුදුම කරවමුමගේ මව එළවළු මාළු කේක් යැයි හඳුන්වමින්, විවිද එළවලු වර්ග තම්බා කේක් තැටියක් තට්ටු තට්ටු පුරවා කේක් ආකාරයෙන් එළවළු සහ මාළු කැවූ හැටි මතක් විය.

රටේ දරු පරපුර වැරදි ආහාර රටාවකට හුරු වෙමින් සිටින බව දැක දැක නිහඬව සිටිය නොහැකි නිසා ලියමි. ධාන්‍ය, එළවලු පළාවර්ග කන්න යැයි බල කරන්නේ නැතුව එය අපේ එදිනෙදා කෑම වේලට අනුගත කරගමු. බටහිර ආහාර වර්ග යනු සුඛෝපභෝගී ආහාරය යන මතය බැහැර කරලමු. එය පිළිකාවේ මුල ය !

 සායනික සටහන් නොවේ පුවත් පත් තීරුවෙන්...

මේ කතාව පොතේ නැත එහෙත් පොතේ ඊට කලින් පලවූ සමාජීය සෞඛ්‍ය කරුණු රැගත් කතන්දර 60 ක් ඇත.

"ග්‍රන්ථ" පොත් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශනය කරන ලදී.


Wednesday, May 27, 2020

ගංවතුර කතා

Dont let ur kids play in water... its not only river water... this is from last year....
වෝඩ් රවුන්ඩ් එකේ ඇසෙන්නේ මෙවැනි කතාය. 
"නියම වතුර ටික නේ ? පීනුවද ? කොච්චර වතුර තිබ්බද "

 "පීනුවේ නෑ ඇන්ටි ඉන ගාවට තිබුනේ.. " 

"අපෝ එහෙනම් ඕක්කොම පණුවෝ විශබීජ කකුල් වලින් ඇඟට ඇතුල් වෙලා ඇති ඒක තමා මේ වමනේ යන්නේ බඩ යන්නේ" (මම)

" අයියෝ ආයෙනම් බහින්නේ නෑ " 

"වැඩක් නෑ ඉතින් නියපොතු කනවනම් කොහොමත් ඔය ඉතිරි කුණු ජරාව බඩට යනවනේ" 

"අම්මෝ ආයෙ නියපොතු කන්නෙත් නෑ" දරුවන් බිය වැද්දීම කලාවක් ! 

වමනය , බඩ එළියේ යෑම හිස ඔසවමින් සිටි... පැංචන් රොත්තකි...කටු දැමීම, සේලයින් දීම, නිසා නර්ස් ඇන්ටිලා නරක ම අය වී ඇත.. (අපි ඒවා ඕඩර් කරන බව කියා නරක මිනිස්සු වෙන්නේ නැත. එහෙම කළොත් ආයේ ලෙඩ බලලා හමාර ය. කන්න බොන්න හෙමින් දෙන්න යැයි පැය 6ක් පමණ සේලයින් දුන් පසු කීවෙමි... මා මේ බව මීට දින කිහිපයකට කලින් කීවා මතකය. එවිට තත්වය මේ තරම් දරුණු නැත...ටැප් වතුර උණු කළාට මදි ය. පෙරා ගත යුතුය. ෆිල්ටර් කොහේ ද මේ ආපු වතුර පාරට ? ගංවතුරට අසුවී ඇති නිවෙස් වල බඩු මුට්ටු කිසිවක් පාවිච්චි කරන්න පුළුවන් ආකාරයෙන් නොවන බව ඕනෑම ප්‍රකෘති මනසක් ඇත්තෙකුට වැටහේ... අපි සෞඛ්‍ය පුරුදු ගැන දෙන දේශනා නිසා  වික්ෂිප්ත වූ හිස් බැල්මෙන් සිටිනා දෙමාපියන්ගෙන් සමාව ඉල්ලා ගනිමි. අඩු තරමේ දරුවන්ට දෙන පානීය ජලය පිරිසිඳු බෝතල් වතුර හෝ නටවා දෙන්න යැයි කියමි. 

"පෙරේදා ටිකට් කපලා යද්දි ගෙයි වහලෙටම වතුර, ආයෙ හැරිලා ගියේ බෝමිරිය ඉස්කෝලෙට... බබාට ආයෙම බඩ යනවා"

එන අය ළඟ ඇඳුම් මොකුත් නෑ...හැබැයි හොඳ වෙලාවට අපේ වාට්ටුවේ (ඩොක්ටර්ස්ලා)  බබාලගේ පොඩි වෙන ඇඳුම් බෑග් පිටින් ගෙනත් තියෙනවා. හෙට මම ඩියුටි එනකොට ආයෙම ගේනවා..... අද ක්ලිනික් ආපු සේරටම කීවා පොත් පරිස්සම් කරගන්න කියලා. වතුරේ සර්පයෙක් කාලා දුවෙක් ආවා...ප්‍රවේසම් වීම වටිනවා.
 ගඟ දිගින් දිගටම උගන්වන පාඩම මොකක්ද කියලා තේරුම් ගන්න වෙනවා...

Saturday, May 23, 2020

When it really gets ugly !

දූෂණය හමුවේ ! I always wonder where did we fail ?

I've been a pain bearer for almost all the women and girls, even children who were admitted to our wards. We could do only little to ease their pain. Even though they needed healing which was a life long process we could only give emergency Medications and listen to their stories !

I've been writing a blog a newspaper column and have written 2 books. You would have come across many of those stories mentioned below. Men seems to bear more body power and strength than the average women but that doesn't give them the power or superiority to violate one's right to live a secure life in this world. 
When i travel back and forth from north to colombo, many try to make a conversation with me, but give up as soon as I sharply say, "I dont want to talk" and for those who wouldnt stop even after a frown, I tell this "look, I'm a doctor working in the general hospital. I dont know you. so  leave me alone, I don't want to talk to you".
most of them back off apologizing !When we discussed about this issue, one of the counselors in our hospital said "doctor you are safe cause you could talk against it, but most of the innocent girls are harassed in buses cause they are unable to talk against them."

Once I've got into a pre booked night bus to north  and realized im the only female with few other men in the bus when my mom asked me if there were other women. I've got down In the next hospital and asked husband to come there to pick me. Even when the bus crew knew Im a doctor traveling to the hospital in north i was forced to get out Just cause i was shattered by the story of the indian girl who was raped and killed in a bus. We cant trust anyone anymore.

Its time to say its enough to violence , harassment ,rape and abuse against women.  Its time to stay "STOP". 

ගැහැණියකට නිදහසේ පාරේ තොටේ නොව තම නිවස තුලද අනාරක්ෂිත තත්වයක් ඇති කාලයකි මේ. පිරිමියකුගේ රැකවරණය ප්‍රේමය සහ සහජිවනය ඇති විය යුතු තැන අද ඇත්තේ දූෂණය පීඩනය සහ අඩම් තෙට්ටම් කිරීමය. 
අප රෝහලේ අල්ලපු වැටේ පැල්පත් වල සිටින පවුල් වල පිරිමි මත්පැන් කටගාගෙන පැමිණ තම බිරින්දෑවරුන් සමග කෝලහාල කරති. ඇතැම් විට ශබ්දය අපටත් ඇසේ. මත් විකාරෙන් තමන් ලෙයින් උපන් දුවා දරුවන් කෙළසා දූෂණය කර ඇතැම් විට ඔවුන්ට දාව දරුවන්ද ලැබෙන්න ගැබ්බර කරන පියවරුන් නිසා අනාථ වූ දරුවන් අපට මුණ ගැසේ... මම නොයෙක් විට ලියා තැබුවා ඔබට මතක ඇති.

1.ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද...හි අවුරුදු 14ක ගැබ්බර දියණිය තම පියාට දාව දරුවක ප්‍රසූත කල පුවත(ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද) , එමෙන්ම අවුරුදු 13 වූ ගෙදරට අවශ්‍ය දෑ ගෙන ඒමට කඩයට ගිය ටිකට කඩේ සිටි පිරිස විසින් සමූහ ලිංගික දූෂණයට ලක්වූ දියණියක් බොහෝ අමාරුවෙන් දරුවකු ප්‍රසූත  කළ අයුරු ඔබට මා ලියුවා මතක ඇති.

2.තම සැමියාගෙන් වූ අඩම් තෙට්ටම් විඳ දරාගත නොහැකිව වස විස බී දිවි නහගන්න පැමිණි ගැහැණුන් ගැන මා ලියුවා ඔබට මතක ඇති (දිවිමංසල මුණ ගැසුනු ජීවිත ) (accepting tolerating and forgiving) .

3.අනිත්කොණ තනිවුන ළමා මව්වරුන් ගැන ලියුවා ඔබට මතකද ? (unwanted teenage pregnancies )

4.තම බාල වයස්කාර අක්කාගේ පෙම්වතා විසින් අක්කා සහ නංගී දෙදෙනාම අපයෝජනය කල හැටි (the change is in you) ලියුවා මතකද ?

සිදුවීම් එතැනින් නැවතුනිද් ? නැත.... තවමත් දිනකට වරක් හෝ දෙවරක් එවැනි සිදුවීමක් ඇස කණ ගැටේ.

5.තම සැමියා විසින් පුළුස්සන ලද ගැහැණුන්, අත් හරින ලද නොසලකා හරින ලද, ගැබ්බර, දරුවන් රැකගෙන තනිවම ජීවන සටනේ යෙදෙන ගැහැණුන් ගැන ලියුවා ඔබට මතකද  ? ( ආපසු හැරෙන්නට නොහැකිය. ...gender based violence ! )

6.කුඩා පාසැල් දැරිවියන් යන එන් ලොජ් එකකට විරුද්ධව ක්‍රියාකරන්න ගොස් "මැරුම් කන්නේ නැතුව තමන්ගේ රාජකාරිය පමණක් කරන්න " යැයි ඉහළ වෛද්‍යවරයෙක්ගෙන් බැනුම් ඇසුවා මා ලියූ අයුරු ඔබට මතක ඇති. ( විහින් මැරෙන්නේ නැතුව...)

7. ෆේස් බුක් හමුවේ හැමදාම ඇහෙන කතා යන මැයෙන් ඉන්දියාවේ බස් සිද්ධිය ගැන සහ අපේ රටේ තත්වය ගැන ලියුවා ඔබට මතක ඇති...

මේ අවුරුදු 6 කට කලින් ලීව ලිපි ය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද මේ ලෝකේ හැම තැනම ද මේ දේවල් අඩු නැතුව සිදුවේ. ඉන්පසු රැස තීරු ලිපි මාලාවක්ම ලීවෙමි. 

ආගමට මුවාවී කුඩා ගැහැණු දරුවන් විවාහ කරගන්නා අතර එම දැරිවියන් පළමු රැයේදීම මිය යන බව ඔබ අසා ඇති. එහෙත් ඒ ගැන ලෝකයා මොකුත් නොකරන්නේ ඇයි දැයි මම කම්පා වෙමි. 

වැඩිය ඕනේ නෑ මේ රටේම නොමැරී රෝහල්වලට විත් දිවි බේරාගන්නා දැරිවියන් ගැහැණුන් ප්‍රමාණය කොතෙකුත්දැයි සොයා බලන්න. 

නොමැරී දිවි බේරාගන්නා ඔවුන් ඉන්පසු ඒ කැළල සහ ඒ බිහිසුණුදෑ සිහිපත් කරමින්, තමන් විනාශයට පත් කළ අධමයාගේ දරුවෙක් පවා ඇතැම්විට කුස දරමින් ජීවත් වෙන්නට සිදුවන සමාජයක... "අපෝ අපි හොඳයි ඒක කර්මය" කියමින් ඇය ඒ දුක විඳ දරාගන්නා හැටි ගැන අප්‍රාණිකවන සමාජයක ඇය ගැන කතා කරන්නට මිය යන්නම වුවමනා ද ? එවන් කළල සහ කැළැල් දරාගන්නා ගැහැණුන් සහ දැරිවියන් මගේ හිතේ සදා අමරණීය තැනක සිටින්නෝය. ඔවුනට සාධාරණයක් ඉටු කරන්නට ගබ්සා නීති සංශෝධනය ගැන කතා කළා ඔබට මතක ද ?

මිය ගිය විට පමණක් මාධ්‍ය ඔස්සේ ලොකු කලබගෑනියක් පෙන්වන නමුදු නොමැරී එහෙත් මැරි මැරී ජීවත් වන ඔවුන් ගැන කතා කරන්නේ කවදා ද ?

Sunday, March 8, 2020

ස්ත්‍රීත්වය - උනුන් දරා ගන්නා සුළුය

“ඩොක්ටර්…” කියූ ඇය මා ඔළුව ඔසවා බලන තෙක් මගේ පිටුපසට වී සිටියාය.

“අම්මා, ප්ලේට්ලට් නම් තවම සීයට එහා නැගලා නෑ. ඒත් සුදු රුධිරාණු වැඩි වෙන්න අරගෙන ඒක සුභ ලකුණක්. අද හවස රිපෝට් එක බලලා ඒකේ වෙනසක් තිබ්බොත් හෙට යන්න පුළුවන්”

“ලොකු දෙයක් ඩොක්ටර්. මම දැන් ආයෙම දුවලා හයට එනවා”

ඉතා කුඩා ශරීරප්‍රමාණයක් හිමි ඇය යළි දරුවාගේ ඇඳ ළඟට දුවයි. ඇගේ අම්මා දරුවා ළඟ උදේ සිට හවස් වනතෙක් ඉන්නා අතර අසල කර්මාන්ත ශාලාවක අත් උදව් සපයන ඇය නිවාඩු නැති හෙයින් රාත්‍රිය පුරා ඩෙංගු උණ සමග පොර බදනා දරුවා සමග ඔට්ටු වී, මූත්‍රා මැනිල්ලේ සිට දියර මැන මැන බොන්නට දීමත් අර දරුවාගේ කරදර ඉවසීමත් අප බලා සිටින්නේ විමතියෙනි.

උදෑසනම ඇගේ අම්මා පැමිණි සැනින් ඇය ලක ලැහැස්ති වී වැඩට යති. හවස පැමිණ දරුවාගේ ඇඳ ළඟ පුටුවක් තියාගෙන කුඩා කතන්දර පොත් කියවමින්, කටුවක් දමා නිතර ලේ ගනිමින් පරීක්ෂා කරනා අප හා උරණ වී සිටින දරුවා මේච්චල් කරගන්නට බොහෝ චාටු බස් දොඩන්නීය. හවස ගත් ලේ පරීක්ෂණ වාර්ථා ලැබුනේ මහ රෑය.

“ඔන්න ඩොක්ටර් මම අර අම්මට නිදියන්න පැදුරක් දීලා කිව්වා. දරුවත් නිදියන එකේ ඔයා ඇඳ ළඟ නිදියාගන්න කියලා” අපේ හිත හොඳ හෙදිය මා වෙත එමින් පැවසුවාය. ඒ අම්මා දින ගණනාවක් නින්දක් නොලැබ සිටි බව අපි හැමෝම දන්නා කරුණකි.

ළමා වාට්ටුවේදී ද, ප්‍රසව හා නාරිවේද වාට්ටුවේදීද , මට හමුවන ගැහැණුන් ප්‍රමාණ වූ දුක් කරදර කන්දක් පොදි බැඳ මහා මේරුව තරණය කරනු දකිමින් ඔවුන්ගේ අතොරක් නැති දරා ගැනිල්ලට යන්තම් හෝ උදව්වක් දෙමින් අපද එවන් වූ මහා බර පොදි දරාගෙන සිටින්නෙමු.

චිත්ත සන්තානයේ ඉපදෙන සිතුවිලි පුදුමාකාර ය. ගැහැණිය, තමන්ගේ ලෝකයේ ඕනෑ එපාකම් අනුව තම ජීවිතය වෙනස් කරගනී, යන මඟ සකසා ගනී. ඇතැම් විශිෂ්ඨ චිත්ත ශක්තියක් හිමි අයවලුන් තම සිතැඟි ඔස්සේ ජීවිතය සොයා යයි. අම්මා යන භූමිකාව හමුවේ ස්ත්‍රීන් තමන් මෙතෙක් යමින් සිටි මාවත අත හරින අයුරු, වෙනස් කරගන්නා අයුරු මට නිරන්තරයෙන් දකින්නට ලැබේ. මේ ලියන මම ද, ජීවිතයේ වගකීම් හමුවේ, මාතෘත්වය හමුවේ මගේ අරමුණු නවතා හෝ වෙනස් කරගෙන ඇත්තේ දරුවෙකුගේ කායික සහ මානසික වර්ධනය සඳහා මවගේ ආදරය සහ කැපවීම අවශ්‍ය බව හොඳින්ම දන්නා නිසා ය.


මට හමුවෙන බොහෝ ස්ත්‍රීන් හුදෙකලා වූවෝ ය. ඔවුන්ගේ හදවත ගැඹුරෙහි දිග පළල ගැඹුර විනිවිද පෙන්වන කතන්දර බොහෝ අප හමුවේ දිග හැරේ. මේ ලංකා සමාජය තුල හමුවෙන ස්ත්‍රී න්බොහෝ පීඩන හමුවේ ගොළුවී සිටී. සමාජය විසින් ඔවුනට හිමි කර දී ඇත්තේ එවැනි අනාරක්ෂිත බවකි.

ඇතැම් විට දරුවන් වෙනුවෙන්, දෙමාපියන් වෙනුවෙන්, සමාජයේ ජීවත් වීම වෙනුවෙන් තම සිතැඟි දෑ කප කරන අතරම නොරැඳෙන බන්දන රකින ස්ත්‍රීන් බොහෝ වෙති. ඔවුන් හුදෙකලාව තුළ නඟනා සුසුම් හඬ නෑසෙන සුළුය.

මා දකිනා ශක්තිමත්ම ජීවියා ස්ත්‍රීය වේ. එකී ස්ත්‍රිය මවක් වූ විට එම ශක්තිය දෙගුණ තෙගුණ වී ඇය තුළට ආරෝපණය වේ.

"මම රට ගියේ දරුවට හොඳින් සලකන්න එද්දි හොඳටම ලෙඩ වෙලා... අනේ ඩොක්ටර් බබාව දිගටම ක්ලිනික් ගෙනත් නෑ ගෙදර අය.. ආයෙම ක්ලිනික් දාලා දෙන්න"

තරුණ මවක් පැමිණ අප හමුවේ බැගෑපත් වේ.. අවුරුද්දකට වැඩි කාලයක් ක්ලිනික් හෙවත් සායන පරීක්ෂාවට නොපැමිණි දරුවාට මුත්‍රා ආසාධනයකට ප්‍රතිකාර කර ඉන්පසු ... සායනික පරීක්ෂාවට යොමු කරන ලදී.

" මහත්තයා නැතුව මං තනිවම දරුවා හදන්නේ " ඇය ද අප හමුවට එන්නාවූ බොහෝ කාන්තාවන් මෙන්ම තනිව අරගලයක නියුතු මවකි. සැමියා ඇය හැර ගොස් ය.

"මම මෙහෙ රස්සාවක් හොයා ගත්තා නෝනා ආයේ මම යන්නේ නෑ.. ඉන්නේ මෙච්චරයිනේ මට. " ඇය පවසන්නේ දෑස් කඳුළින් පුරවාගෙන ය.

ලංකා පොළොව මත මේ අරගලය බොහෝ වෙහෙසකර ය. කාන්තාව ගැන කතා කරද්දී බිඳී වැටෙනා ලෙහී වෙන්වෙනා පවුල් එමට ය. පවුලක් යනු මව පියා යන දෙදෙනාගේ ආදරය නිසාම නිර්මාණය විය යුත්තකි. හැඟීම් මත පදනම්ව හැඟීම් සන්තර්පනය කරන්නට යෑම තුළින්ම අද බොහෝ පවුල් සංස්ථා බිඳ වැටී ඇත. ඇතැම් විට ඒවා පවතින්නේ නාම මාත්‍රිකව පමණි. එය කෙතරම් දරුවන්ගේ මානසික වර්ධනයට බලපාන්නේදැයි අප හමුවේ දිග හැරෙන ශෝකාලාපයන් පැහැදිලි කරවයි.

“ඔබේ දරුවන්ට ආදරේ නම්, ඔවුන්ගේ මවට ආදරය කරන්න” මේ මා අන්තර්ජාලයේ දුටු ආදර්ශ පාඨයකි. අවාසනාවකට අද, නුසුදුසු පවුල් පරිසර තුල දරුවන් අතරමං වී සිටී. සියළු බර දරාගෙන ගැහැණිය හුදෙකලා අරගලයක ය.

මේ කාන්තා දිනයේ අප අමතක කරනා තවත් පැත්තක් ගැන මම අවධානය යොමු කරන්නට සිතුවා. ඒ කාන්තාව පත්වන මානසික ආතතිය හෝ අවපාත තත්ත්වයන් ගැනය. තනිව හෝ වෙන වෙනම නිහඬ අරගලයක යෙදී සිටීමෙන් හෙම්බත් වන අම්මලා, උදව් ඉල්ලද්දී...ඒ ගැන සැලකිලිමත් වන සමාජයක් නැති තරම් ය. අන්තර්ජාලය තුළ ඇති සමාජ මාධ්‍ය ජාලාවල නාමිකව හෝ නිර්නාමිකව ඔවුන් මේ වියවුල් කඳුළු අකුරු කරනු දැකීම මහත් වූ කම්පනයකි. අහිතකර විෂකුරු සමාජ පරිසර තුළ ඔවුන් තව දුරටත් වියවුලට පත්වනවා මිස එයින් මිදෙන්නට මංපෙත් විවර වෙන්නේම නැති තරම් ය.

රටක පැවැත්ම එහි ජීවත් වෙන රට වැසියාගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා සුබ දායක වන ලෙස අප වෙනස් කරගන්නේ කෙසේ ද?

ගැහැණියක හෝ මිනිසෙක් වේවා, පවතින ආර්ථික සාමාජීය ගැටළු සහ අවපාතයන් සේරමත් සමග වගකීම් සහිත බැරෑරුම් රැකියාවක් කරද්දී මනසට අත් වන ආතතිය බොහෝය. ‍ඒවා බොහෝ කායික රෝග කෙරෙහිද බලපාති.

දරුවා හෝ දරුවන් ද සමග සියදිවි නසාගන්නා මව්වරුන් ගැන අපට වසරකට කිහිප වරක් අසන්නට ලැබේ. මා මනෝවෛද්‍ය වාට්ටු තුළ සේවය කරද්දී එසේ සියදිවි නසා ගැන්මට තැත් කළ ස්ත්‍රීන් කිහිප දෙනෙකු මට මුණ ගැසී තිබේ.

සියළු දුක්වේදනා හමුවේ අවසන මව්වරුන් මෙලෙස දරුවන් හා දිවි නහගන්නා තත්වයට පත් වන්නේ නම් එය කොයි තරම් බරපතල කාරණයක් දැයි සමාජයක් වශයෙන් අපට දැනිය යුතු ප්‍රබල කාරණයකි.

තනිව වෙහෙසෙන මව්වරුන් බොහෝ ය. බොහෝ විට සිදුවෙන්නේ හිතේ ඇතිවන්නාවූ තුවාල සමග ඒවා සුව වීමටවත් කාලයක් හෝ ඉඩක් නොදී, ඇය කළ යුතු, වගකීම් , යුතුකම් ගැන කියමින් , “රටේ ලෝකේ හැමෝම කරනවා, ඉතින් ඔබත් කළ යුතුයි” කියා තවත් තෙරපීම ය.

සියල්ල ඉවසාගෙන කරනවා ඇරෙන්න විසඳුමක් නොදෙන සමාජයක අවසන ඔවුන් පුපුරා යෑමට ඉඩකඩ බොහෝය. බෝ නොවන රෝගවලින් ආතුර වූ සමාජයක, ගැහැණිය ද ඒවාට බොහෝ ඉක්මනින් ගොදුරු වෙන්නේ, තමා ගැන බලා ගන්නේ නැති නිසාය. උදේ රැයින් නැගිට දරුවන් වෙනුවෙන් වෙහෙසෙන, අම්මලා එක්කෝ එකතැන ඉඳගෙන වැඩය, නැත්නම් ගමනේ ය. අප සමාජයේද බොහෝ පිරිසක් දියවැඩියාව අධික රුධිර පීඩනය සහ ශරීරයේ මේද අධිකභාවය නිසා ඇතිවන රෝගාබාදවලින් පෙලෙති. අධි ස්ථුල බව බොහෝ කාන්තාවන් කෙරෙන් දක්නට ලැබෙන්නේ ඔවුන් තමා ගැන බලාගන්නේ නැති නිසාම යැයි සිතේ. වයසටවඩා වයස්ගත වූ බවක් පෙන්නුම් කරන්නේ ඔවුන් දරා ඉන්න බොහෝ දුක් දෝමනස්සයන් පිරි ජීවිත තුලින්ද එකතු කරන්නාවූ පීඩාකාරි තත්ත්වයන් නිසාය.

පවුලක ආදායම් සපයන්නා වීම, ස්වාමියා රහිතව දරුවන් උස්මහත් කිරීමට සිදුවීම ,රැකියා විරහිත භාවය, දීර්ඝ කාලීනව බලපවත්නා මානසික සහ කායික රෝගාබාද වැනි මේ කරුණු ගැන වඩා විවෘතව කතා කළ හැකි තැනක් හෝ ක්‍රමයක් අපට තිබිය යුතුය. විශේෂයෙන්ම ස්ත්‍රීන් සේවයක කරනා තමන්ගේ සේවා ස්ථානයේ වැඩ කරන අය සඳහා, මනෝ වෛද්‍ය උපදෙස් සහ තක්සේරු කිරීම් සිදු කළ යුතුය. සමාජයේ හෝ ප්‍රදේශයේ, ක්ෂේත්‍ර රැකියාවෙහි නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා, ප්‍රදේශය බාර ප්‍රාදේශීය සෞඛ්‍ය සායනයේ වෛද්‍ය සායනය වෙත සියලු පවුල් වල ඇති ප්‍රශ්න සහ ගැටළු ගැන දැන ගැන්මට ලැබෙන යාන්ත්‍රණයක් ඇති කළ යුතුය. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පවුල් සහ අහිතකර සමාජ පරිසරවල ජීවත්වන , ඔවුන්ගේ මානසික ගැටළු සහ සාමාජීය ගැටළු ගැන

සමාජය මනෝ වෛද්‍ය ගැටළු සහ ඒවාට සහයෝගය සොයා යන්න ඔවුන්ගේ හිතේ මනෝ ව්‍යාධි ගැන ඇති භීතිකාව ඉවත් කළ යුතුය. එවිට මානසික ගැටළු හංගා ගැනීමට වෙර දරන භාවය අඩු වෙනු ඇත.

සියල්ල අපහසු වූ සමාජයක ගැහැණුන් උනුන් වෙනුවෙන් සහයෝගය දැක්වීමට, උනුන් තලා පෙලීමට නොව වැටෙන තැනදී නැගිටුවාගැනීමට ස්ත්‍රීන් ලෙස අප පුරුදු පුහුණු විය යුතුය. ගැහැණිය අසරණවන, අඩම්තෙට්ටම්වලට ලක්වන කවර හෝ මොහොතකදී තවත් ඔවුන් පීඩනයට පත් කිරීමට නොව ඒ ඉන්නා කරදරෙන් මුදා නිදහස් කිරීමට හැකි සහයෝගිතා යාන්ත්‍රණයක් මේ ස්මාජයේ සකස් විය යුතුමයැයි මට සිතේ.

ලෝක කාන්තා දිනය සමරන එක් දවසක ගැහැණිය වෙනුවෙන් මේ ලියනා ලිවීම් හුදෙකලා නොවී දිනෙන් දින , එකිනෙකා වෙනුවෙන් වෙහෙසෙන, ඔසවා දරා සනසන සමාජ වටපිටාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශක්තියක් සපයනු ඇතැයි ද දරා ගැනීම් අපහසුම කාලයක අපි උනුන් වෙනුවෙන් දරා ගැනීමට වෙහෙසිය යුතුයැයි ද මම තරයේ විශ්වාස කරන්නෙමි.