රෝහල්වල ලු දකින්න පුළුවන් හදවතින්ම කෙරෙන යාඥා ... අහිමි වීම් ගැන ඒ තරම් දැනුනු තැනක් තවත් නම් නැතුව ඇති... මරණය හමුවේ සටන් වදින , ඇතැම් විට දිනන ඇතැම් විට පරදින ඇතැම් විට සටන අත් හර දමන්නට සිදුවන, DNR - Do not resuscitate ලේබලය සහිත ඇඳ ඉහපත් නිසා පණ අදින ලෙඩුන් බල බලා මරණයට දිනන්නට ඉඩ දී බලාගෙන ඉන්න වීම. මේ සියල්ලම අපේ ජීවිතේ කොටසක් වගේ... අප රෝහල් වල, රෝගියා හෝ ඥාතීන් විසින් විශේෂඥ වෛද්‍යවරයා දැනුවත් කර, අසාධ්‍ය වුනොතින් දිගින් දිගටම, පණ ගන්වන ක්‍රියාවලියේ යෙදෙන්නට එපා යැයි හෙවත් do not resuscitate කියා ඉල්ලා තිබුනොතින් එවැන්නන්... අසාධ්‍ය වූ විට අපට ඔවුන්ට සැනසිල්ලේ ඒ ගමන යන තෙක් බලා ඉනන්ට සිදුවේ. බොහෝ විට මේ ලෙස ඉල්ලන්නේ දිගු කාලයක් රෝගාබාද වලින් දුක් විඳි පිරිසයි. ඇතැම් විට රෝගාබාද සමග බොහෝ මහළු වයසේ සිටින අයද, ඔවුන්ගේ ඥාතීන් දුවා දරුවන් මෙවැනි ඉල්ලීම් කරනවා. එහි තීරණය විශේෂඥ වෛද්‍යවරයා අතේ ය.
මධ්‍යම රාත්‍රී දොළහ පසුවෙද්දීම රාත්‍රී සේවයේ යෙදී සිටින මා වෙත දුරකථන ඇමතුමක් ලැබුනේ පැයක පමණ කෙටි නින්ද හමාර කරමින්. රාත්‍රී සේවයේ නියුතු වෛද්‍යවරයා සිටිය යුත්තේ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ ය.
"ඩොක්ටර් අර බෙඩ් 2 එකේ රුක්මනී පේෂන්ට් ගේ සැචුරේෂන් ඩ්‍රොප් වෙනවා, එයාගේ දුව කලබල වෙලා ඩොක්ටර්ට එන්න කියන්නලු... ඒත් ඩොක්ටර් ඩී එන් ආර් නිසා අපි මොකද කරන්නේ. තව වෙලා තියෙනවා. " හෙදිය පවසයි.
රුක්මනී (අනවර්ථ නමකි) හැත්තෑ වියේ පසු වේ. හෘද රෝග මෙන්ම වකුගඩු රෝගයෙන්ද දැඩි ලෙස පීඩා විඳ දැන් අවසාන අදියරේ සිටින්නියකි. වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. සෑම රෝහල්ගතවීමකදීම ඇයගේ දරුවන් බොහෝමයක් පැමිණ යයි. බොහෝ කල් දුක් විඳි ඇයගේ පැතුම වූයේ, නැවත පණ ගන්වන්නේ නැතිව මියැදෙන්නයි. ඒ බව සෑම රෝහල් ගතවීමකදීම අප වෙත දැනුම් දෙයි. ඇගේ දරුවන්ගේ පැතුම ද දුක් නොවිඳ මව ට සැපවත් මරණයක් අත් වීමය.
පාන්දර 2 පසුවෙද්දී ඇගේ ජීවිත සටන නිමා විය. පරීක්ෂා කිරීම අතරතුර මතක් වෙන්නේ මද සිනහවෙන් අපේ කරදරකාරී පරීක්ෂා කිරීම් ගැන විහිළු කරන ඇයගේ මුහුණයි. අත්තම්මා කෙනෙක් සේ අපට සමීපව සිටි අයෙකි. නිතර වාට්ටුවට ආ අයෙකි. මගේ දෑසට කඳුළු නැගෙන්නේ පෘතග්ජන නිසාවෙනි. සටහන් කිරීම ෆෝම් පිරවීම, මරණ සහතිකය පිරවීම යන මේවා හමාර කර නැවත විවේක කාමරය වෙත එද්දී කොරිඩෝව දිගට අද්දමින් ඇවිදින පා හඬක් මතුවේ. කොරිඩෝවේ කිසිවෙකුත් නැත. මා පමණි. නිදිවරා සිටින නිසා වෙන් දැයි සිතමින් යද්දී නැවත මා පිටුපසින් එම හඬ පැමිණේ. හිත ගැස්සෙයි.
වාට්ටුවේ සුළු සේවකයන්, ඇටෙන්ඩන්ලා කියන හොල්මන් කතා සිහිවේ. හවස 6න් පසු ඔවුන් කොහේ යතත් යන්නේ තවකෙකු සමගය. ලේ පරීක්ෂා කිරීමට යැවූ සාම්පල සමග ගිය කෙනෙකු සිහි විසඥ වූ අයුරුත්, තල්ලු කල, ඇඳෙන් බිමට ඇද දැමූ කතාත් එමටය. ඒ සියල්ල දැන් සිහිවේ. ආ වේගයෙන්ම නැවත වාට්ටුව වෙත ගිය මට දකින්න ලැබෙන්නේ තිරයකින් වසා ඇති ඇගේ ඇඳ පිහිටි තැනයි.
"ඇයි ඩොක්ටර්" හෙදිය කලබල වේ.
"නෑ නිකම් " මගේ කතා හමුවේ ඔවුන් කලබල කරන්නේ කුමටද ?
පාන්දර 3 පසුවී ඇත. එළිමහන් පාරෙන් රෝහල් බුදු මැදුරට ගියෙමි. නිරාවරණව ගල් කණු සතරක් අතර මැදි කර සමාධියෙන් වැඩ සිටි බුදු පිළිමය හිත නිවා සනසයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා. මෙත් වැඩුවෙමි. මළගිය ඇත්තන්ට පින් දුන්නෙමි... නැවත නේවාසිකාගාරයට ගියෙමි. පසුව මා අතින් මෙසේ ලියැවෙයි.
ගව් ගනන් දුව ඇවිද හෙලූ දහඩිය බෝම
නැවතිලා ජීවිතය අතරමග නොකියාම
ඉනූ කඳුලැලි නිමක් දකින්නට නැත තාම
අවසාන හුස්ම පොද අතැර යන්නේ කොහොම