Tuesday, March 27, 2018

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය සංවාදයේදී - “අපි ඔක්කොම එකම රටක ක්‍රමය විසින් අවතැන් කරපු, වෙනස් කරපු පුද්ගලයෝ”
-වෛද්‍ය බෝධිනී සමරතුංග
January 27th 2018


මම මුලින්ම කියන්න ඕනේ මම බෞද්ධයෙක් මම හැදුනේ සිංහල බෞද්ධ පරිසරයක,නමුත් මම පාසැල් ගියේ කතෝලික පාසැලකට එතකොට මට කතෝලික දහම දැනුනේ මගේ යෙහෙළියන්ගෙන් සහ පාසැලේ තිබුණු ක්‍රම වේද තුලින්, නමුත් මට මේ පොත කියවද්දී අර මම ටැබූ සබ්ජෙක්ට් හැටියට , අපි මේ මහා භයානක දෙයක් කිව්වා වගේ මම අහද්දී, මගේ යෙහෙළියෝ මගේ කට වැහුව දේවල්  පැහැදිලි කරලා දුන්නා මේ පොතෙන්. ඒක ප්‍රබල කාරණයක්. මම බෞද්ධයෙක් හැටියට මට ගොඩක් දේවල් තිබුනා ඉගෙන ගන්න. ඒ වගේම මේ දහමේ තිබුණු  ගැඹුරු දර්ශනය සහ අධ්‍යාත්මයට තිබුණු කිට්ටුකම මම මේ පොත තුලින් දැක්කා. පොත ගැන බොහෝ ගැඹුරින් කතා කළ දේශන තිබුන නිසා මම අද කතා කරන්න ආවේ දේශ ද්‍රෝහියා කියන වචනයත් එක්ක මට තියෙන සබැඳියාව ගැන මම මේ පොතේ එන ආදිත්‍ය , හෙවත් චන්ඩි ජීසස් සහ අපි දැකපු විඳපු ඒ පශ්චාත් යුද සමයක ඒ වන්නිය පුපුරලා ගිහිල්ලා අපිව යවලා පැලැස්තර දමන්න හදපු සමයක මට දැනුන දේවල් තමා මම කතා කරන්න ආවේ.

කාලෙකට කළින් මම වැඩ කරා මනෝ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරියක් හැටියට,උතුරේ ප්‍රධාන රෝහලක, ඒක විතරයි ඒ පැත්තටම තිබුණු ප්‍රධාන රෝහල. අම්මලා එනවා කීප දෙනෙක්. එක අම්මෙක් ආවා එයාගේ එකම පුතා අවසාන සටනේදී ආගිය අතක් නෑ. පුතා කියන්නේ හිටපු ත්‍රස්ත සොල්දාදුවෙක්. මුලතිව් වනයේ කොහේ හරි නැතිවෙලා පුතාව. එයාට තිබුණු ප්‍රශ්නය,  (මේ ඔක්කොමලා ptsd හරි ඒ ප්‍රශ්න වැඩිවෙලා ඩිප්‍රෙෂන් හෙවත් විශාදිය තත්වයට පත් වුන අය). එයාට තිබ්බ ප්‍රශ්නෙ, මගේ දරුවාට අවසාන මළගම සිද්ධ කරන්න බැරි වුනා චාරිත්‍රානුකූලව , ඒක කරනකල් නින්ද යන්නෙ නෑ පුතා ඇවිත් මට අඬ ගහනවා " කියන එක.

තව හිටියා අම්මා කෙනෙක්, සිංහල සොල්දාදුවෙක්. ආමි එකේ සොල්දාදුවෙක්ගේ මවක්, මැදවච්චියෙන් එන්නේ අපේ සායනයට, ඇයටත් තිබුන ප්‍රශ්නය ඇගේ දරුවා අතුරුදහන් වෙලා තිබුනා, මිනී පෙට්ටියක්වත් ලැබුනේ නෑ අතුරුදහන් බව පමණයි දන්නේ.. කියන එක.

එතකොට තව හිටියා කීප දෙනෙක් යුද්ධයේ අර අවසාන මෙහෙයුමේදී , තමාගේ,( මම හිතන්නේ මම ළඟදී මෛතලී ගැන ලීවා,) මේ ඔක්කොම අනවර්ථ නම් මම සත්‍ය නම් භාවිතා කරන්නේ නෑ.

මෛතලීගේ පෙම්වතා අත් අඩංගුවට පත් වෙලා අතුරුදහන් වෙන්නේ මේ කාලයේදී. මේ අයගේ තිබුණු මේ ප්‍රශ්නත් එක්ක අපි දැනගෙන හිටියා, මේ සමාජ ක්‍රමය නෙමේ .. මේ දේශපාලන ක්‍රමයයි. අන්න ඒ ක්‍රමයට ද්‍රෝහී වන්නන් මිස දේශයට ද්‍රෝහිවන්නන් නොවන බව මම පසක් කර ගත්තේ වන්නියේදී. මොකද අපි ඔක්කොම එකම රටක ක්‍රමය විසින් අවතැන් කරපු වෙනස් කරපු පුද්ගලයෝ.

මම එහෙට යනකම් මම හිතන් හිටියේ කොටි කියන්නේ මහා භයානක මිනිසුන් කොට්ඨාසයක් කියලා. ඔවුන් හිතන් හිටියේ සිංහල අය කියන්නේ මහා දරුණු බොහොම නරක කට්ටියක්, මේ අපට ජීවත් වෙන්න දෙන්නේ නැති, කියලා.නමුත් මා ඔවුන් හා මා අතර, අපි අතර !  ඇත්තෙන්ම සිංහල වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් හිටියා..ඔවුන් හා අප අතර ගනුදෙනුවේදී අපි තේරුම් ගත්තා දේශද්‍රෝහීන් කියන්නේ කවුරුන්ද කියා. ඇත්තටම දේශයට ආදරය කරන්නන් සියළු සෙසු මනුෂ්‍ය කොට්ඨාසයන් වෙත ද එකම මානව දයාවෙන් ක්‍රියාකරන බව මා තේරුම් ගත්තේ වන්නියේදී.
එතකොට මේ අම්මලා දෙන්නාගේ කතාවෙදි අපිට දැනුණු දෙයක් තමයි ඔවුන් දෙන්නටම අවශ්‍ය උත්තරයක්. තමන්ගේ දරුවා ජීවත්ව ඉන්නවද නැද්ද ? ඔවුන් හැම තිස්සෙම කියන්නේ ඒ දේ. අපිට උත්තරයක් දුන්නොත් හිත හදාගෙන ජීවත්වෙන්න ලේසියි කියන එක !

අපි කොහොමද මේකට උත්තරයක් හොයන්නේ ?

අපේ මනෝවෛද්‍ය විශේෂඥ වරයා අන්තිමට ඇසුවේ ඔබට හිත හදාගන්න මොකක්ද කරන්න ඕනේ කියලා. මට මුලතිව් වනයට ගිහිල්ලා මගේ පුතා අන්තිමට හිටියයි කියන තැනට ගිහින් පූජාව තියනන් ඕනේ කිඅය්ලා. අපේ සර් ඒකටත් එකඟ වුනා.

සිංහල සොල්දාදුවාගේ අම්මාට තිබුණු ප්‍රශ්නය පුතා නැවත ගෙදර එයිද කියලා. අපිට ඒකට දෙන්න උත්තරයක් කවදාවත් තිබුනේ නෑ.

ඒ වගේ පරිසරයක ඉඳිද්දී මම මේ පොත කියවද්දී, ආදිත්‍යගේ මව ගැන කියවද්දී මට මැවිලා පෙනෙන්නේ මේ අම්මලා.

සිස්ටර් සෙව්වන්දි තමන් ඉන්න ඕනෙ තැන ගැන පවසමින් විටින් විට, අර විප්ලවවාදී අදහස් වලදී මතුකරන තර්කයන් වලදී මට මතක් වෙන්නේ අපිව. අපි, රජයේ සේවකයො හැටියට අපි ඉන්න ඕනෙ තැන අපේ ඔළුවෙන් පෙන්වා ගනිමින් නමුත් ඊට වඩා දුර දිවයන්න අපිට  ඇතැම් වෙලාවට සිදුවුනා.

මොකද ඒ සමයේදී අර කළින් කිව්වා වගේ, යුද්දේ ඉවර වුනාට පස්සේ මොකුත්ම ප්‍රශ්නයක් නෑ වගේ...මිනිස්සු සතුටෙන් ඉන්නවා...කියලා  හිතාගෙන මිසක් පශ්චාත් යුද සමයක ඇතිවන ප්‍රශ්න ගැන කතාවක් නෑ. උදව්වට ආපු එන් ජී ඕ ප්‍රමාණයත් හිටියේ නෑ. එතකොට රජයේ සේවකයන් හැටියට අපිට මේ සියළු දේ කරන්න සිදුවුනා දේශපාලන කියන අර කොටුව ඇතුලේ ඉඳගෙන. මට කියන්න මතක් කරන්න ඕනේ වුනේ... දැන් අවුරුදු හතක් ගෙවිලා නමුත් මම තාමත් ඔවුන් සමග කතා කරනවා, මොකද අපි ඔවුන් සමග සහෝදරත්වයෙන් හිටියේ. මැණික්ෆාම්වල සිටි පිරිස ඊළඟට පූන්තෝඩම්කඳවුරේ හිටි ළමා සොල්දාදුවන් විශේෂයෙන් අපි එක්ක ළෙංගතු වුනා. මොකදඔවුන්ට  නෑයෝ කියලා කියන්න කෙනෙක් හිටියේ නෑ, සෙන්චෝලේ මාංචෝලේ ළමා අනාථ කඳවුරුවල සිටි අයට නෑයෝ කියන්න කෙනෙක් හිටියේ නෑ. ඔවුන් දේශද්‍රෝහියෝ වුනේ, අර බෞද්ධ සාහිත්‍යයේ  කියන ගිරව් දෙන්නගේ කතාවේ වගේ මම කොළඹ ඉපදුන, ඔවුන් වන්නියේ ඉපදුන හින්දා කියලා මම නිතරම ඔවුන්ට පැහැදිලි කළා

අපේ රටේ මේ ප්‍රශ්නෙට තවම පිළිතුරක් නැති එක ගැන මම එක හේතුවක් ලෙස දකිනවා අපි ජයග්‍රහණය පොදු දෙයක් කරේ නෑ, ඒක අපි අපේ කරගත්තා කියා මටහිතෙනවා. ඔවුන්ව පරාජිතයන් බවට පත් කළා කියලා මට හිතෙනවා. නමුත් අපි එහිදී ඔවුන්ට , ඔවුන් දේශද්‍රෝහී නොවන බවත් මේ සමාජ ක්‍රමයක වෙනසක් පමණක් බවත් පැහැදිළි කරන්න නිතරම සිදුවුනා. එය ත්‍රස්තවාදයට එරෙහි වූ යුද්ධයක් මිස ජාතියකට එරෙහිව කළ යුද්ධයක් නොවන බව අප ඔවුන්ට පැවසුවා.
එතකොට මෙතන එක තැනකදී මම මේ පොතෙන් අරගත්තු දෙයක් මතක් කරනවා . ඒ තමයි “සංවාදයක් සිදු කළ යුතු තැන සංවාද කළ යුතුයි , යුද්ධයක් අවැසි නොවේ කියලා”

මේ පොතේ මට දැඩිව දැනුන දේ තමයි  බොහෝ වෙලාවට අපි යම් කිසි දෙයක් මතුපිටින් ස්පර්ශ කරලා තමයි කතා කරන්නේ, උදා හරණයක් තමා අපි යුද්ධය ගැන කවි ලීවා විශ්ව විද්‍යාල යන කාලේ, එතකොට අපි උතුරක් දැකලා තිබුනේ නෑ ඒමිනිස්සු කොහොමද කියලා දැක්කේත් නෑ, නමුත් එහෙ ගියාට පස්සේ කවියක් ලියා ගන්නට බැරි තරම් හිත ගොළු වුනා.

ඉතින් යම් කිසි කෙනෙක් ඇත්තටම මේ දේවල් වින්දට පස්සේ ඒවා දැක්කට පස්සේ ඒවා සමග අරගල කළාට පස්සේ දැනෙන දේ බොහෝ වෙනස්. ඒක මේ පොතෙන් මම බොහෝ ලෙසින් දැක්කා.

ඊළඟට 189 වෙනි පිටුවේ මට නිතරම මතකයේ රැඳුණු තැනක් තමයි. කුමාර් පියතුමා කියන මතකය දිග හැරින තැන

“මේ සියල්ල කීමෙන් පලක් නැති නමුදු ඔබ නිතරම සිහිපත් කරන්න අපි ජීවිතය වෙනුවෙන් බොහෝ වද වේදනා විඳ ඇති බව එය දරා ගැනීමේ සීමාව ඉක්මවා බොහෝ දුර ගොස් ඇතත් අපි තවමත් දරා ගනිමින් සිටින බව. ඔබේ යැදුමන් වලදී නිතර අප සිහි කරන්න. ඔබේ හදවත් තුල අපවෙනුවෙන් කඳුළක් හෙලන්නට සංවේදි ඉඩක් වෙන්කර තබා ගන්න, එය එසේ නොවුනත් ඇත්තෙන්ම ඔබ තුල අප වෙනුවෙන් ඉඩක් නොවුනත් අප ජීවත් වන බවත් සිහි කරන්න”

අපට සිදුවුනෙත් එයයි. අදටත් වන්නියේත් දකුණේත් නිවෙස් වල මව්වරු කඳුළු හෙළනවා, අදටත් බිරින්දෑවරු තමන්ගේ අහිමි වුන ස්වාමි පුරුෂයන් එනකම් බලාගෙන ඉන්නවා.
අපිව අද වන විට අපිට මේවා නොදැනෙන නොදකින සමාජයක් බවට පත් කරලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. යම්කිසි දවසක අපිටමේ දේවල්වල මේ ගැටළුව ලිහා ගන්න පුළුවන් වුනානම් මං හිතන්නේ, "දේශද්‍රෝහියාගේ නිර්මල හදවත" කියලා මේ පොත නම් කරන්න ඕන  නෑ. මං හිතන්නේ නෑ ආදිත්‍ය දේශද්‍රෝහියෙක් කියලා ඔහු මානව හිතවාදියෙක්. ඔහු සියල්ලන්ටම එක සේ ප්‍රේමකළා ,වාසනාවකට දොස්තරලා හැටියට අපි දිවුරුම් දෙනවා සියල්ලන්ටම කිසිම බැඳීමකින් හෝ තත්වයකින් ස්වායක්තව හැමෝටම එක සේ දයාව කරුණාව සහ වගකීම් ඉටු කළ යුතු බවට, අපට එසේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුනේ නෑ. නමුත් මා දන්නවා එසේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණ පිරිස් ගැන ඔවුන් යම්කිසි පිරිසකට හෝ පුද්ගලයෙකුට උදව් කළ පමණින්.

එනිසා මම හිතන්නේ මේ පොත ගැන  මම අන්තිමට ඉදිරිපත් කළ කාරණය අපි වඩාත් හදවත් වලට ගනන් ඕනේ. කිසිම පුද්ගලයෙක් දේශ ද්‍රෝහියෙක් වෙන්නේ නෑ ඔවුන් මේ සමාජ ක්‍රමයේ ද්‍රෝහියෙක්  වෙනවා මිසක් ඒකත් මේ ක්‍රමය පාලනය කරන්නන් විසින් ඇති කරන්නේ. එනිසා මානව හිතවාදියෙක් වූ පමණින් දේශ්ද්‍රෝහියෙක් වෙන්නේ නෑ කියා මා කතාව අවසාන කරනවා..

දේශද්‍රෝහියාගේ නිර්මල හදවත පොත ගැන වූ සංවාදයේදී

Sunday, March 11, 2018

නොපෙනෙන ලෝකය පෙනෙන වුන් සේ ජයගත් ඔවුන්....

ඔබ සතුටින්ද  ඉන්නේ සහ වෙනත් කතා

ජීවිතේට අභියෝග කරන්න පුළුවන් මිනිසුන් විරලය..... නෙතින් අප දකිනා ලෝකය ඔවුන් අසා විඳ ගත් අයුරු විශ්මය ජනකය.
මේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාදිත ජන සම්මේලනයේ , කාන්තා ජාතික සංසදයේ කාන්තා දින උත්සවයයි. එහිදී මා කළ කතාව

The sri lanka federation of visually handicapped held their womens day conference today. They launched their audio magazine and appreciated their fellow members with special talents. We were invited as guest speakers.
 මේ මගේ කතාවයි...

------------------------------------

ප්‍රථමයෙන්ම මම ස්තූති වන්ත වෙනවා, ම මෙහි ප්‍රධාන ආරාධිතයා හැටියට ඇවිත් කතාවක් කරන්නට ඉඩකඩ ලබා දීම ගැන.  මෙහි රැස්ව සිටින වීරවරියන් හට කතා බහ කිරීමට ලැබීම මා ලද භාග්‍යක් ලෙසසලකනවා

මමත් කාන්තාවක්, අන්තර්ජාලය තුල සමාජ ක්‍රියාකාරිනියක් බවට නොදැනීම පත්වුණ මට , ලංකා සමාජය තුල රජයේ වෛද්‍යවරියක් හැටියට ක්‍රියාකරන මම, බ්ලොග්, පොත් සහ පුවත්පත් ඔස්සේ ලිපි ලියන කියවන මම ඔබ හැම සහ ඔබේ ක්‍රියාකාරකම් නරඹමින්, අන්තර්ජාලය ඔස්සේ ඔබේ ලියැවීම් තුලින් ජීවිතය විඳිමින් ඔබ සැම ගැන අවබෝදයෙන් මා සිටිනවා.  මට ඔබ හැම දැනෙන්නේ ජීවිතයට අභියෝගයක් එල්ල කළ වීරත්වය කියන දේ නිතැතින්ම උරුම කරගෙන ඉන්නා පිරිසක් ලෙසයි.

මේ ලෝකේ ගත්තම මේ ලෝකේ කාන්තාවන් සහ පිරිමින් කියා දෙකොටසක් හිටියට, අපිට ලැබෙන අභියෝග කාන්තාවන් සහ පිරිමින් කියලා දෙකකට බෙදලා දීලා නෑ. එහෙම දීලා තියෙන එකම දේ තමා දරුවන් හැදීමේ හැකියාව.

මේ දරුවන් බිහි කිරීමේ කිරි දීමේ හැකියාව ඇරුණු කොට අනික් සියලුම දේ කාන්තාවන්ටද පිරිමින්ටද එකවගේ කළ හැකියි කියා මම විශ්වාස කරනවා.

එහෙම ලෝකෙක තවමත් කාන්තාවන්ව දුර්වල කණ්ඩායම බවට පත්වෙන්න හෝ නිතැතින්ම පත් කරන්න උත්සහ කිරීමක් මා දකිනවා.

කාන්තා දිනය යෙදී ඇති මාර්තු 8 වැනිදා වගේම මේ කාල සීමාවේත්, කවි කතා, වැකි ලියා පළ කරමින් අපි මේ ගැන මතක් කරනවා. අපි සුවිශේෂ කට්ටියක් අපි ගැනත් කතා කරමු කියලා ගෑණු අපි එක එක කණ්ඩායම් වලට බෙදිලා කටයුතු කරනවා. කට්ටියක් සම තැන ඉල්ලනවා කට්ටියක් නිසි තැන ඉල්ලනවා. සමහරු කියනවා පිරිමින්ට යටත් නොවී ඉමු කියලා. පුරුෂාධිපත්‍යය, ගෘහස්ථ හිංසනය වගේ බරසාර වචන ඇහෙනවා. මේ ඔක්කොම අස්සේ, “අපොයි හරි අමාරුයි ජීවිතේ, මේකනම් වැඩක්ම නෑ, මම හරි කරුමක්කාරියක් , කාලකන්නියෙක් , මට කිසි දෙයක් හරියන්නේ නෑ, “ කියාගත්ත පිරිසකුත් ඉන්නවා.

හැබැයි ඔය නිසි තැන සම තැන ඉල්ලන කෑ කොස්සන් ගැහිළි අස්සේ මම මෙහෙම දෙයක් කියනවා

“අපි අපේ ගැන හිතන් ඉන්න විදිහ හෝ තැන තමයි ලෝකය අපිව දකින හැටි තීරණය කරන්නේ, අපි අපිව මනසින් දාන තැන තමයි ලෝකය අපිව තියන්නේ”

The way in which we think of ourselves has everything to do with how our world sees us and how we see ourselves successfully acknowledged by the world.”- Arlene Rankin

බරසාරකතා නැතිව මම හිතුවා කතන්දර කීපයක් කියන්න.

ගොවි මහත්මයෙක්ට හමුවන උකුස්සාගේ බිත්තරයේ කතාව මට මතක් වෙනවා. ගොවි මහත්මයෙක්ට උකුස්සෙකුගේ බිත්තරයක් හමුවෙනවා. ඔහු ඒක රකින්න කිකිළියන්ගේ කොටුවෙන් තියෙනවා. ඒක රැකලා යම් කාලයකදී උකුසු පැටියෙක් එළියට එනවා. හැබැයි මේ උකුසු පැටියා ඉන්නේ කිකිළියන් අතරේ. මේ පැටියා කිකිළියන්ගේ ගති අනුගමනය කරනවා. ඔවුන් හැසිරෙන විදිහට හැසිරෙනවා. තමන්ගේ කිකිළි අම්මාගේ හැසිරීම් ඒ විදිහටම අරගෙන වැඩි දුර පියාඹන්න පවා මේ උකුස්ස්සාට නොහැකි වෙනවා. එක දවසක් ඈත අහසේ පියාසර කරන උකුස්සෙක් දැකලා එයාට හිතෙනවා. අනේ බලන්න කොච්චර ප්‍රතාපවත් කුරුල්ලෙක්ද, කෝච්චර ඉහළ අහසේ පියාඹනවද අනේ මම ලබන ආත්මෙවත් ඒවගේ කුරුල්ලෙක් වෙලා ඉපදෙන්න ඕනේ “ කියලා

මේ කතාවෙන් අපිට ගන්න වැදගත් කතාවක් තියෙනවා. අපි බොහෝ අය මේ උකුසු පැටියා වගෙයි. අපි හුරුවෙලා ඉන්නවා සමාජය විසින් අපව තියන්න උත්සහ කරන තැන හෝ අපව සංස්කෘතිය විසින් සීමා කරන තැන ඉඳගෙන “අනේ අපිට කමක් නෑ මෙහෙම හොඳයි “ කියලා හිතන්න.

මම කියන්නේ අපි එසේ විය යුතු නෑ. අපට පුළුවන් අපි කැමති ඕනෑම දෙයක් කරන්න සහ අපිට ඕනෑ තැනට  යන්න. තියෙන්න ඕනේ බොහොම දරුණු ඕනෑකමක් විතරයි. මම එහෙම කියන්නේ මේ කතා කරන මම උනත් මගේ සීමාවට පිට බොහෝ දේ කළ නිසා තමයි අද මම මෙතන ඉන්නේ.

දැන් මෙතන ඉන්න ඔබ කණ්ඩායමේ බහුතරයක් ජීවිතේ උපතින් හෝ පසුව ඔයාලට එල්ලවුන විශාල අභියෝගයක් සහ බාධකයක් , සුනුවිසුනු කර, ජය ගෙන සිටිනවා. සමාජයට බරක් නොවී ආදර්ශමත් ජීවිත ගත කරනවා. ඔයාලා අර උකුසු පැටියා වගේ වුනේ නෑ.

ඔයාලා ඉදිරියට දැම්ම NO කියන තීරණයටට why not…කියා අභියෝග කරලාතියෙනවා. ඒ නිසා කාන්තාවන් හැටියට මේ සමාජයේ අන් අයට වඩා ලොකු ආත්ම දහිරියක් සහ අභිමානයක් ඔබලා සතුයි කියා මා සිතනවා

ඒනිසා අපි අපි ගැහැණුන් හැටියට අපිට තියෙන ප්‍රශ්න මොනවද කියා කතා කරලා බලමු,  ඒවගේම ඒ ප්‍රශ්න වලට අපි මේ ජීවත් වන කාලයේ ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද කියා බලමු. දැන් මේ කතා කරන මම උනත් සර්ව සම්පූර්ණ බොහොම ශක්තිමත් හෝ උසස් කෙනෙක් කියන්න මම කැමති නෑ. මොකද අපි හැමෝ තුලම අඩු පාඩු කියන දේවල් අඩුවක් නැතිව තියෙනවා. එක්කෝ අපේ ශරීර හැකියාවන්, එක්කෝ අපේ අධ්‍යාපන හැකියාවන්, මේ හැම දෙයින්ම අපි වෙනස් වෙනවා. ඒවගේම තමයි සංවේදනාවන් තුලිනුත් අපි එකිනෙකා බොහෝ වෙනස්

එතකොට මට හිතෙනවා දෘශ්‍යාබාදිත පිරිසක් හැටියට අපට වඩා ඒ බාධක ඔයාලට බාදා වන බව මට වැටහෙනවා. මේ සමාජයේ නැති බැරි කම කියා පාමින් තමන්ට බෑ බෑ කියන මිනිස්සුන්ට ඔබ සැම හොඳ උත්තරයක් දීලා තියෙනවා. එනිසා මම හිතනවා මේ ජාත්‍යන්තර කාන්තා දිනයේ ආඩම්බර විය හැකි කාන්තාවන් පිරිසක් සිටිනවානම් ඒ ඕගොල්ලොන් කියලා

අපි ජීවත් වන සමාජය කිසිම විටෙක අනෙකා කෙරෙහි සංවේදී නොවන තැනක් බවට පත් වෙලා. අනෙකාගේ දුක කරදරය වෙනුවෙන් සහකම්පනය නොවන අය බවට පත් වෙලා. තමන්ගේ අල්ලපු වැටේ ඉන්න කෙනාගේ දුක් කරදර නොදකින මනුස්සයා, මුහුණු පොතේ සමාජ සත්කාර කරන බවට පින්තූර දානවා යොදුන් ගානක් ඈත ගම්මාන වලට ගිහින් පොත් පත් හෝ උපකරණ බෙදා දීලා. අන්න එහෙම සමාජයක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.

ගැහැණු හැටියට දැරිවියන් කාලේ ඉඳන්ම අපට ආරක්ෂා වෙන්න සිදුවෙනවා සමාජයෙන් සහ අපේම අයගෙනුත්. මේ ලෝකය ඒ තරම්ම දූෂිත බොහොම තිරිසන් ගති ඇති තැනක් බවට පත් වෙලා.

එනිසා මම හිතනවා, ඔබ සැම ප්‍රථමයෙන් තමන් ආරක්ෂා කරගන්න උත්සහ ගතයුතුයි කියලා. කොයිම වෙලාවකවත් ප්‍රචන්ඩත්වයට ඉඩ දෙන්න එපා. මොකද අපි මේ ඉන්න ශිෂ්ඨ යැයි සම්මත සමාජය තුල මෛත්‍රීය කරුණාව හෝ උපේක්ෂාව කියන මේ ගුණාංග දකින්න ඇත්තේම නැති නිසා .

එනිසා, අපි ගැහැණුන් වශයෙන් එකිනෙකා ආරක්ෂා කරගනිමින් එකිනෙකාගේ ප්‍රශ්න ගැන එක්ව ක්‍රියාත්මක විය යුතුයි. විශේෂයෙන් සමාජයෙන් එල්ලවන ලිංගික හිංසනය කියන මේ ප්‍රචන්ඩත්වය කෙරෙහි අපි දැඩිව ක්‍රියාත්ක විය යුතුයි.

ඔබ සංගමය හරහා හෝ, අපි එසේ හිංසනයට ලක්වූ කවරෙක් හෝ වෙත්නම් ඒ ගැන ක්‍රියාත්මක විය යුතුයි කියා මම හිතනවා. කිසිම කෙනෙක් තමන්ට කරදරයක් දුකක් ගෙන දෙන පීඩාවක් ඉවසාගෙන සිටිය යුතු නොවේ. කෙනෙක්ගේ කරදරයක් දුකක් කියන්නට හොඳ උපදෙසක් ලබාගන්නට , උපදේශන සේවාවක් අපේ සමාජයේ තිබිය යුතුයි. එය නිරන්තරයෙන් අධ්‍යනයට ලක්විය යුතුයි කියා මා හිතනවා.

මට මතක් වෙනවා අපි කුඩා කාලයේ අපේ අම්මා, ගෙදරට වැඩිහිටි හෝ පිරිමි කෙනෙක් ආවොත්,  ඔවුන්ට සාලයේ නිදාගන්න ඉඩ සකස් කරලා දීලා, කුඩා අපි සියල්ලන්වම කාමරයක දාලා ලොක් කරගෙන තමයි නිදා ගන්නේ, අපි ඒ කාලේ ඇයට හිනාවෙනවා, “මේ මොන බයක්ද, මොන කරදරයක්ද, දාඩිය දාගෙන කාමරයක ගාල් වෙන්නේ ඇයි කියලා” නමුත් දැන් අපට තේරෙනවා ඒ අපිව ආරක්ෂා කරන්නයි කියලා

මම දිනක් එක්තරා ලිපියක් ලීවා “ඔබේ යට ඇඳුමේ පාට කුමක් ද ?” කියලා , මගේ දෘෂ්‍යාබාදිත යහළුවන් කිහිප දෙනෙක් කීවා, ඔයා මේ දේ ලීව එක ලොකු දෙයක් බෝධිනී, අපි බොහෝ අය නිවෙස් වලදී කුඩා කාලයේ ලිංගික හිංසනයට ලක් වූවා කියා. අන්න ඒ හින්දා කාන්තා දිනයේ අපි වැදගත් පණිවිඩයක් ඔළුවට ගන්න ඕනේ, අපේ නිවෙස් තුලම හිංසනයට ලක්විය හැකි බව. ඔබට පුළුවන් කාන්තා සංසදය හරහා මේ ප්‍රශ්න වලට උදව් උපකාර , වෛද්‍ය උපකාර සහ උපදෙස් ලබා ගන්න.

අපේ වගේ සංස්කෘතිය ගැන මහ ඉහළින් කතා කරන රටක ජීවිත අඳුරු කරන මේ ප්‍රශ්න ගැන අපි විවෘතව කතා කරන්නේ නෑ. මේ සමාජයේ ජීවත් වන කාන්තාවට පීඩා කරන්නම තමයි සියලු දෙනා සහ සියලු  ක්‍රමවේද සැකසිලා තියෙන්නේ.  කිසිම පිරිමියෙක්ගේ හව්හරණක් නැතිව ජීවත් වෙන්න බෑ කියන එක මේ අපේ ලංකා සමාජයේ මුල් බැසගත්ත දෙයක් මං කියන්නේ අපි කාන්තාවන් හැටියට අපිටම උරුම වෙච්ච අභිමානයක් ඔස්සේ අපිටම පුරුදු වුන ක්‍රමයක් ඔස්සේ, රැකියාවක හෝ ස්වයං රැකියාවක යෙදෙනවානම් අපිට තනිව නැගී සිටින්න බොහොම පහසුයි කියන එකයි මම කියන්නේ.

යුරෝපයේ රටක මා දන්නා කාන්තාවක් තම අවුරුදු හයක පුතනුවන් සමග තනිවෙන්න සිදු වෙනවා ඇයට ඒ වෙලාවේ රැකියාවක්වත් නෑ. ඒ උනත් වසර ගණනාවක් ඇයව බලාගන්නේ රජය විසින්. ඇයට සුදුසු රැකියාවක් ලැබෙනකම් මාසිකව මුදලක් ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජයෙන් වෙන් කෙරෙනවා. ඒවාට ක්‍රමවේද එහි තියෙනවා. තවත් යහළුවෙක් සිටිනවා ඇයට කතා කරන්න බැහැ නමුත් ඇය සංඥා ක්‍රමයට සන්නිවේදනයේ යෙදෙනවා. ඇයටත් රජය මගින් ජීවිත කාලය පුරාම වේතනයක් ගෙවනවා, නමුත් ඇය, බිහිරි සංචාරකයින්ට මග පෙන්වන්නෙක් ලෙස කටයුතු කරමින් වේතනයක් ලබා ගන්නවා. ඔවුන් තනිව ගෙවල් වල ජීවත් වෙනවා. තනිව සමාජයේ සියලු වැඩ කටයුතු සිදු කරගන්නවා. අපේ රටේ ඇයි එහෙම සුරක්ෂිත භාවයක් නැහැ. ආබාධ සහිත ව ජීවිතය දිනන්නන් නොයෙක් කරදර සහ හිංසන වලට ගොදුරු වෙනවා. අපේ රාජ්‍ය ප්‍රතිපත්ති තුලින් මේ වගේ තැන් ගැන සොයා බලනවාද ?මේ සංසදය තුලින් අපට මෙවැනි සංවේදී ජීවන කාරණා ගැන රජයේ අවධානය ලබා ගැනීමට කටයුතු කරන්න පුළුවන් කියා මට හිතෙනවා.

අපේ නිවෙස්වලදීම අපි හිංසනයට ලක් වෙනවා නම් මේ තරම් බණ කියන බණ අහන රටක අපි එකිනෙකා කෙරෙහි ප්‍රචන්ඩ කාරී ලෙස හැසිරෙනවානම් එක කොයි තරම් දුක්ඛදායී තත්වයක් ද?

මේ දරුණු වීම් කෝප වීම් සහ කලහාකාරී කම්වලට හේතු මොනවද. අපි ඒ දේ ගැනත් හොයන්න ඕනෙ. සමාජය පිරිහිලා කියලා කියන අපිම එහෙනම් මොනවද ඒගැන කරන්න ඕනෙ. අපි කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ කියලා ඒවාට විසඳුම් හොයන්න ඕනේ. එතකොට මම අවුරුදු ගණනාවක් යුරෝපා රටක විදෙස් අධ්‍යාපනය ලබද්දී මම හිටියේ බොහොම සාමකාමී සමාජයක, අපිට පළමු අවුරුදු දෙකේ ඉගැන්නුවා දර්ශනය හෙවත් ෆිලෝසොෆි ඒ තුලින් සමාජය ගැන අවබෝදයක් වගේම අධ්‍යාත්මික වශයෙන් අප තුල විශාල වෙනසක් ඇතිකලා. එකිනෙකා කෙරෙහි සහකම්පනය වීම සහ සංවේදී වීම කෙරෙහි අපි වඩාත් නැඹුරු වුනා.

ඒක අපේ රටේ අද නැත්තටම නැති වෙලා. හැම ක්ෂේත්‍රයක් තුලම අපි දකිනවා, සංයමයක් නොමැති කම නිසා ඇති වන කලබල . පසුගිය දිනවල ඇතිවුනු කෝලහලත් එහෙමයි. පිස්තෝලයක් අරගෙන පාරේ චන්ඩි හැසිරීමක යෙදුනු ගැහැණිය තුලින්ද අපි දකින්නේ එයමයි.

අපි සමාජයක් වශයෙන් අපේ සියළු පුරවැසියන්ට සාමකාමී දිවි පැවැත්මක් සහ නිවහල් බවක් අහිමි කරලා තියෙනවා

අපි එහෙනම් මේ ඉගෙනුම හදා ගන්නේ කොහෙන්ද ? අපි අපේ කුඩා දරුවන්ගෙන් ම මේ ඉගෙනුම සහ සැකැස්ම හදා ගත යුතුයි. අපේ පාසැල් අධ්‍යාපනය විෂය මූලික වෙලා තියෙනවා. ඒකට අපි මේ යහපත් ක්‍රියාවන්,සාරධර්ම සහ ඉවසීම කියන දේවල් එකතු කළ යුතුයි. මම ඉගෙන ගත් පාසැලෙන් අපව, අවුරුද්දකට කිහිප වතාවක්, ග්‍රේස් කුමරි හෝ වෙනත් අනාථ නිවාසයකට හෝ මහළු නිවාසයකට එක්කන් යනවා. අපි ඒ පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කර ඔවුන්ට තෑගි බෝග ගෙනගිහින් බෙදා දෙනවා. ඔවුන් සමග කාලය ගත කරනවා. කුඩාකල පටන් ආබාධ සහිත පුරවැසියන් කෙරෙහි අපි සංවේදී වෙනවා. ඔවුන් විශාල අභියෝගයක් ජයගන්නා පිරිසක් බව අපි කුඩා කල සිට ඉගෙන ගන්නවා. එහෙම හැදුණු දරුවා කවදාවත් ප්‍රචන්ඩ කෙනෙක් හෝ සමාජයක් පෙළන්නට පෙළඹෙන්නේ නෑ.

ඉතින් ඒ වගේ ඉගෙනුමක් අපි සමාජය තුල ඇති කළ යුතුයි. කාන්තාවන් වශයෙන් මම ඔබ අපි හැම දෙනාටම සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කළ හැක්කේ එවිටයි කියා මම විශ්වාස කරනවා.

ඒවගේම, රජය විසින්, අභියෝග සමග ජීවිතය ජයගන්න ඔබ වැනි දිවි විරුවන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද සැලසිය යුතුයි කියා මට සිතෙනවා. උපාධිදාරීන් පවා බිහිව සිටින මෙවන් ප්‍රජාවක මා දන්නවා විරැකියාව දැඩි සේ තිබෙන බව. අපිට පුළුවන්නම් රාජ්‍ය ව්‍යවසාය තුලින් මේ අයගේ ජීවිත වලට හයියක් දෙන්න ඒක රටක් වශයෙන් අප අබාධ සහිත වූවන් ගැන සංවේදී බවට ලක්ෂනයක් කියා මම හිතනවා.

මම එක්තරා කාලයකදී ආබාද සහිත දරුවන් ජීවිත කාලය පුරාම රෝගාබාද සහිත දරුවන් එන යන වාට්ටුවක සේවය කරනවා. ඒ රෝගාබාද සුව කරන්න බැරි , ජීවිත කාලය පුරාම පවතින ජාන වලින් උරුම වෙන රෝගාබාද. මම දකිනවා එහි එන යන දරුවන්ගේ ඉඳන් තරුණයන් පවා හැමෝම ඉන්නේ ජීවිතය ගැන කලකිරීමකින් බව, “ඇයි මටම මෙහෙම වෙන්නේ “ කියා හිතමින් ඉන්නෙ.  අද මෙහෙම කතා කරන මේ මම උනත් මට කරදර කාලවලදී “ඇයි මෙහෙම වෙන්නේ?” කියා කම්පා වුනා. මම මේ දේවල් ඒ දරුවන්ගෙන් හොඳටම දැක්කා, එයාලගේ රෝගාබාද උත්සන්න වෙලා මේ ලෝකේ හැරයන්න පවා හිත කඩන් වැටුණු ඒ දරුවන්ට සිද්ධ වෙනවා. ඒ අතර මම දකිනවා දරුවන් පිරිසක් බොහොම උද් යෝගයෙන් ඉන්නවා. මම ඒ දරුවෙක්ගෙන් ඇහුවා “ කොහොමද ඔයා සතුටෙන් ඉන්නේ?” කියලා. ජීවිත කාලයම රෝගියෙක් ලෙස ජීවත් වෙමින්, මාසෙට දෙතුන් පාරක් රෝහල් ගත වෙමින් ඔවුන්ගේ ඒ සිටින දරුණු තත්වයත් එක්ක කොහොමද ඒ අය හිත හදාගෙන සතුටෙන් ඉන්නේ කියලා. එතකොට ඒ දරුවා මට කියනවා.

“ ඩොක්ටර් මම ඉගෙන ගත්තා මේ ඇතිවුණ දේ මට වෙනස් කරන්න බෑ කියලා, මට මේ රෝගය වෙනස් කරන්න බෑ කියලා. ඒක මගේ ජානවලින් ආපු දෙයක් ,හරියට අපි ඕගොල්ලොන්ට වුනත් ජාන මගින් එන නිදන්ගත රෝග තියෙන්න පුළුවන්. මට වෙනස් කරන්න බැරි ඒ දේ අයින් කරලා මම බැලුවා මට වෙනස් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. එතකොට මම දැක්කා, මට සතුටෙන් ඉන්න පුළුවන්, මට දුක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්, ඊළඟට මම දැක්කා මට අනිත් අයට උදව් කරන්න පුළුවන් කියලා ඒ මගේ සතුට තුලින්. මම සතුටින් ඉන්නකොට ඒ මගේ අම්මා තාත්තා උනත් සතුටෙන් ඉන්නවා කියලා මට තේරුනා , මම සතුටෙන් ඉන්නකොට මගේ ඇඟේ පතේ අමාරුත් ටික ටික අඩු වෙනවා කියලා මට තේරුනා” අන්න ඒ දේවල් තමයි ඔහුගේ සතුටේ රහස.

ඊළඟට ඔහු කියනවා, “ඩොක්ටර් මේ ලෙඩේ සම්පූර්ණයෙන් නිට්ටාවට සුවකරන්න හැකි බෙහෙතක් තිබ්බත් මට දැන් ඒක ඕනෙ නෑ කියලා” ඔහු කියනවා ඔහුගේ මේ රෝගය තුලින් ඔහු ජීවිත අවබෝදය ලබා ගත්තා කියලා. ඉතින් මම හිතුවා අපි මේ අපට නැති දේ ගැනම දුක් වෙවී ඉන්නා අතරේ මේ වගේ පොඩි පුතෙක්ගෙන් අහගත්ත මේ ඔවදන් වලින් කොයි තරම් වෙනසක් අපේ මේ ජීවිත වලට ඇති කරගන්න පුළුවන්ද කියලා. මමත් එදා ඉඳන් මට නැත්තේ මොනවද කියා දුක් වෙන්නේ නෑ, මට තියෙන දේ ගැන සතුටු වෙනවා කියලා. මම නැගිටිනකොට මම ජීවත් වෙනවා කියලා දැනෙන එක මට හුස්ම වැටෙන එක, මගේ හිසට ඉහළින් වහළක් තියෙන එක, පිරිසිඳු ජලය , පයට පෑගෙන්න මහ පොළොව තියෙන එක අන්න සතුටු වෙන්න කාරණා.  නිවෙස් නැති පිරිස්, පිරිසිඳු වතුර නැති තැන් බොහෝමයක් තියෙනව. මම ඔය වගේ මට තියෙන දේවල් ලැයිස්තු ගත කළා,  ඔහොම මට පුළුවන් දේ සහ තියෙන දේවල් බැලුවම ඒවා ඉතා විශාල ප්‍රමාණයක් බව මට වැටහුනා. ඇත්තටම ඒකෙන් මගේ ජීවිතේ විශාල වශයෙන් වෙනසක් ඇතිවුනා. මම සතුටෙන් ඉන්නකොට මගේ අවට අයත් සතුටෙන් ඉන්න බව මට තේරුනා.

ඉතින් මම දන්නවා, මෙතන ඉන්න බොහෝ දෙනෙක් ජීවිතයට එල්ලවුන දෘෂ්‍යාබාදිත බව කියන පීඩනය ජයගෙන, දරුවෝ පවා හදලා, මම දැක්කා ඒ දරුවෝ උසස් ලෙස පාසැල් විභාග ජයගෙන තෑගි පවා දිනා ගන්නවා. ඒ තරම් විශාල ධෛර්‍යයකින් ක්‍රියා කරලා ඔබ අද මේ තැනට ඇවිත් ඉන්නවා. ඉතින් ඔබට සතුටු වෙන්න කාරණා එකතුකරන්න අමාරු වෙන්නේ නෑ.

 ඉතින් මම තව බොහෝ වේලා කතා කරන්නේ නෑ.මට මතක් වෙනවා එක කතාවක්... ඒක කියලා මගේ කතාව අවසන් කරන්න හිතනවා.

මම උතුරු පළාතේ රැකියාව කරද්දී, ඒ යුද්ධය අවසාන වුනත් එක්කම වගේ, අපිට යන්න සිදුවෙනවා මැණික් ෆාම් කියන තාවකාලික කඳවුරු ප්‍රදේශයට, එහිදී මම දැක්කේ බොහෝ දිරිමත් කාන්තාවන්. ඔවුන් බොහෝ දෙනෙක් ආබාධිත තත්වයට පත් වී සිටියා. නමුත් ඒවා මැඩගෙන ඔවුන්ට ඕනෑ වුනේ නැවත ඔවුන්ගේ ගම් බිම් වලට ගිහින් වගා කරන්න. ඊට අවුරුද්දකට පමණ පසු, අපිට සිදුවුනා ඔවුන්ගේ ගෙවල් දොරවල් වලට යන්න. ඇතැම් තැන් වලදී මා දැක්කා, අම්මලා දුවලා පමණක් ඉතිරි වුන පවුල් වල ඔවුන් කිසි බියක් නැතිව, කූඩාරම් අටවගෙන ඔවුන්ගේ ඉඩම් වල වගා කරනවා. ඔවුන් ඉන්නේ අර ලා නිල් පාට යුනිසෙෆ් කූඩාරම් වල... මට එක පාරට හිතුනේ මේ වගේ පාළු පැත්තක, තනියම කූඩාරමක ඉන්න එක ආරක්ෂිත නෑ නේද කියලා.

“ ඔයාලට බය නැද්ද මෙහෙම තනියම ඉන්න එක “ කියලා මෙහෙම අනාරක්ෂිතව ඉන්න එක ගැන බයක් නැද්ද කියලා, මම ඒ තරුණ දුවගෙන් ඇහුවා... ,” මට බය කියන දේ දැන් දැනෙන්නේ නෑ ඩොක්ටර්, මට බය කියන එක තේරෙන්නෙ නෑ” කියලා.

මම ඒකෙන් තේරුම් ගත්තා යම් කිසි දෙයක් අපි හිතන්නේ නැත්නම්, අපට  තෙරෙන්නෙ නැත්නම් අපිට දැනෙන්නේ නැත්නම අපි ඒ දේ ගැන වද වෙන්නේ නෑ නේද කියලා…. මට හිතුනා “ඒක ඇත්ත නේද ? “ කියලා බය කියන එක මම දන්නේ නැත්නම් ඒක මට කරදරයක් වෙන්නේ අනේ නේද කියලා.

ඉතින් මම දන්නවා, ජිවිතේ බොහෝ බාධක මැඩගෙන ඔබ ආපු ගමනේදී, ඔබේ මේ දිරිමත් ගමනේදී තනිව ආ දුර ගැන මම විමසුවත් ඔබ කියාවි...කරදර ? බිය ? ඒවා අපිට දැනෙන්නෙ නෑ කියලා. මම දන්නවා මෙතන ඉන්න බහුතරයක් දෙනා ඒ තරම් ශක්තිමත් හිත් ඇතී අය කියලා. නැත්නම් ඔබට ඔබේ හිත හදාගෙන මේ තරම් ලොකු වීර ගමනක් එන්න බෑ.

මම දන්නවා මෙතන ඉන්න බොහෝ අය , ඒ ජීවිතයට එල්ල වුණු දෘෂ්‍යාබාදිතබව කියන පීඩනය මැඩගෙන , කළ හැකි සියළු කර්තව්‍යයන් වල යෙදෙන බව, බ්ලොග් ලියන, කතන්දර ලියන, මැහුම් ගෙතුම් කරන, පුටු වියන, පරිපාලන සේවයේ යෙදෙන ඔබ බොහෝ දෙනා, මේ සමාජයේ ඉන්නා අප වෙත ලොකු පණිවිඩයක් දෙනවා. ඒ , කිසිම දෙයක් ජීවත් වෙන්න බාධාවක් නොවන බවයි

ඉතින් කාන්තා දිනය මූලික කරගෙන , මේ අද පැවැත්වෙන සැමරුම් උත්සවයට මා හට ඔබ සැම වෙනුවෙන් කතා කරන්නට ලැබීම මම මහත් භාග්‍යයක් සේ සලකන අතර. ඔබ සංගමයේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා සුබපැතුම් එකතු කරමින් දිරිමත් ගමනක යෙදෙන්නට ඔබ සැමට ධෛර්‍යය ශක්තිය ලැබේවා කියා පතමි

ස්තූතියි.

වෛද්‍ය බෝධිනී සමරතුංග