Monday, June 26, 2017

ඩෙංගු උණට බෙහෙත් මොනවද ?

 දින කීපයකට කලින්, ආවා අත පය සීතලම සීතල වෙලා ලොකු දරුවෙක්,
ප්ලේට්ලට් ඊට කළින් දවසෙ, 190 එදා 70 , pcv ඉහළම අගයක්. හුස්ම ගන්න අමාරුයි. පපුව රිදෙනවා. බඩ දකුණු පැත්ත හොඳටම රිදෙනවා. ඇඟ ඇතුලේ හිස් ඉඩවල් තරල වලින් පිරිලා.  ඇගේ අත් පා සියල්ල අයිස් කුට්ටියක් වගේ සීතලයි.

දවසෙන් platelet බහින්න පුළුවන්ද ? ඔව්.
දින එකෙන් දෙකෙන් platelet නගින්නත් පුළුවන්ද ? ඔව්,

මොකද, ඩෙංගු කියන්නේ වෛරසයක්. මේ වෛරසය අපි එකිනෙකාගේ වෙනස් ශරීර වල වෙනස් ආකාරයට ක්‍රියාකරන්නේ අපේ ශරීරයෙන් දක්වන වෙනස්කම් සහ සටන් කරන ක්‍රමය අනුව. ඒ කීවේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්.

ඉස්සර මිනිස්සු වෛරස් උණට කළේ කොත්තමල්ලි වෙනිවැල්ගැට වගේ දේවල් බීලා හොඳට ද්‍රාවණ ඇඟට දාගෙන විජලනය වෙන එක නතර කරගන්න දින තුනක් උපරිම උණ අමාරුකම් තිබිලා හොඳ වෙනවා, ඇඟෙන් බෙහෙත හදාගෙන ඒකීවේ ප්‍රතිදේහ හදාගෙන වෛරස් වලට විරුද්ධව සටන් කරන නිසා.
ඉතින් අර තෙල් මේතෙල් හෝ ගල් කෑලි වලින් කරන්න පුළුවන් දෙයක්ද ඒක කියලා මටනම් හිතාගන්න බෑ. ඒක මගේ අවිශ්වාසෙ නේ. එනිසා ඔය විශ්වාස කරන අය ඒ ගැන කලබල වෙන්න එපා. මොකද අපි ඩෙංගුම අවුරුදු ගාණක් තිස්සේ දැකලා දැකලා, ඒකේ ක්‍රමවේදය , අවුල් වෙන තැන් සහ හරියටම හරිගස්සාගෙන ගොඩ දාගන්න ක්‍රම අපිට කියා දීලා සහ අත්දැකීමෙන්ම දන්නවා.

NS1 antigen positive නම් ඒ කියන්නේ ප්‍රතිදේහජනක පොසිටිව් නම්, දිනපතා කවුන්ට් කරලා ප්ලේට්ලට් හොඳයිනේ කියලා ගෙදර ඉන්න එපා. වෛද්‍ය උපදෙස් අරගන්න, වඩා හොඳ ඇඩ්මිට් වෙන එක.
antigen හෙවත් ප්‍රතිදේහ ජනක නෙගටිව් හෝ නැති වෙලත් ප්ලේට්ලට් බහින්න පුළුවන්ද ? ඔව්... ඒ ටෙස්ට් එකේ අවුල් තියෙන තැන් හමුවෙලා තියෙනවා. ඒක නෙගටිව් වෙලා සතියකින් පමණ පසු ප්‍රතිදේහ ටෙස්ට් එක කළාම ඒක පොසිටිව් වෙච්ච අවස්ථා තියෙනවා. ප්‍රතිදේහ antibody ටෙස්ට් එක කරන්න ඕනෙ ටිකක් කල් අරගෙන මොකද ඇඟේ ප්‍රතිදේහ හැදෙන්න කල් යනවා.
වයිරස් උණක් නේ, ඇඟෙන්ම ප්‍රතිදේහ හදලා ඒවට විරුද්ධව සටන් කරනවා. අමාරු වෙන්නේ ඇතිවන සංකූලතා වලින්.

මූත්‍රා ප්‍රමාණ මනින එක සහ දියර පාලනය තමයි මැජික් එක ! ඒක හරියටම කරගත්තොත් ගොඩ.


එදා ආපු දරුවගේ මුත්‍රා ගිහින් තිබ්බෙ නෑ ඒවෙනකොට පැය 8 විතර . ඒක මහ නරකම වැඩක්.. එනිසා අපි පීසීවී එකක් ඉක්මනින් බැලුවා, ඒ කියන්නේ, ඇඟේ ලේ වල ෛසල ප්‍රමාණ තරල ප්‍රමාණ අගය එතකොට ඒකෙන් අපිට විජලනයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. ඒවගේම නාඩි, හර්ද ස්පන්දනය, රුධිර පීඩනය, සහ බාහිරින් අපිට පෙනෙන දැනෙන දේ . හුස්ම ගනිද්දි පෙනහළු දෙකේම එකවගේ වාතය පිරෙනවද, අඩුද වගේ දේවල් නලාවෙන් ඇහෙනවා. එතකොට අර ඇඟේ හිස් අවකාශ වලට, ඉන්ද්‍රියන් වටා තරල පිරෙන එක අඳුරගන්න පුළුවන් කළින්ම. vascular leaking කියලා රුධිර නාල වල තරල අපේ ශරීරයේ හිස් අවකාශ වලට පිරෙන අයුරක් මෙහිදී දක්නට ලැබෙනවා
ස්කෑන් කරන්නේ පස්සෙ. අපි හොයාගත් දේවල් හරියටම හරිද බලන්න.


ඉතින් කළින් කීවා වගේ... වෛරසය ශරීරගත වුනත්, ලක්ෂන පහළ වෙලා රෝහල් ගත වෙන්න වෙන්නෙ 10% වගේ ප්‍රමාණෙකට, ඒකෙනුත් ඩෙංගු රුධිර වහනය වීම් සහිත රක්තපාත තත්වයට යන්නේ 1% විතර ප්‍රමාණයක්.

ඒක වාට්ටුවල වැඩ කරද්දී කොයි තරම් ඇත්තද කියලා හිතෙනවා. මේ මාස කිහිපයක් ම... ඩෙංගු අධික පළාත් ආශ්‍රිතව වසන නිසා ඩෙංගු උණ ලක්ෂන සහිත ළමුන් දෙතුන් දෙනෙක්වත් දිනකට ඇඩ්මිට් වෙනවා ඒ අයගෙන් එක්කනෙක් හෝ සමහර විට සියලු දෙනාම අඩු ප්ලේට්ලට් සහිතව සහ අසාධ්‍ය තත්වයට පත් වෙනවා. ඒ අතරිනුත් ශරීර අභ්‍යන්තරයේ තරල එක් රැස් වීම් සහිතව "leaking" කියන්නේ රුධිර වහන තත්වයන් සහිතව අසාධ්‍ය වෙන්නේ එක් අයෙක් හෝ දෙන්නෙක්...

දැන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් අපි 90% දෙනාට ඩෙංගු උණ වැළඳී රෝගාතුර වෙන්නෙ නෑ. 10% විතර දෙනෙක්ට හැදෙනවා, රෝහල් ගත වෙනවා, නමුත් ඒකෙනුත් අසාධ්‍යම වෙන්නේ 1%.කට.


අනික උණ දැඩිව තියෙන වෙලාවට, NS1 antigen හෙවත් ප්‍රතිදේහ ජනක පොසිටිව් , තියෙන වෙලාවට අන්න ඒ පුද්ගලයගෙන් ලේ බොන මදුරුවගේ ශරීරයට වෛරසය ඇතුල් වෙන්න පුළුවන්. නමුත් ඒ සැනින් ගිහින් විද්දට අවට අයට බෝ වෙන්නෙ නෑ. වෛරසය මදුරුවගේ ඇඟෙත් යම් කාලයක් තියෙන්න ඕනෙ. (සතියක් විතර ) ඉන් පස්සෙ විද්දම තමයි වෛරසය බෝ වෙන්න පුළුවන්. එතකොට නෙට් දාන්න කියන එකත් ප්‍රායෝගිකයි.. උණ තියෙන දින දෙක තුනේ ( viraemia ) විරේමියා හෙවත් වෛරසය ලේවල ඇති කාලය, සහ ඇන්ටිජන් පොසිටිව් වෙලා දින කිහිපයක් යන තෙක්.


දැන් බොහෝ අය හිතනවානේ ප්ලේට්ලට් නග්ග ගත්තොත් ඒක තමා ප්‍රතිකර්මය කියලා. ප්ලේට්ලට් බැස්ම කියන්නේ දර්ශකයක් විතරයි. ඒ වගේම සුදු රුධිරාණු අඩු වීම, නියුට්‍රොෆිල් අගය අඩු වීම, pcv අගය.. මේ සියල්ල බලන්න ඕනේ. යමෙක් ප්ලේට්ලට් ගාන කියලා උපදෙස් පතනවානම් ඒක කරන්න බැරි වැඩක්.

ඩෙංගු උණ ලක්ෂන ගැන අපට වඩා සමාජය දැනුවත් බව සැබැවි නමුත් එහෙනම් ඇයි අපිට මේ මරණ වලක්වා ගන්න බැරි.

ගොඩක්ම ඒකට හේතුව, අපේම නොසැලකිල්ල. රෝග වාහක මදුරුවන් බෝවන තැන් ගැන සැලකිල්ලක් නැතිවා වගේම, උණ හැදුනම තමන් ගැන බලා ගන්න උවමනාවකුත් නෑ.

එක තාත්තෙක් තමන්ගේ දරුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඩෙංගු උණ හැදිලා නවත්තගෙන හිටියා. අම්මා නැතිවෙලා තිබුනේ ඩෙංගු උණෙන්. දරුවන්ටත් උණ කියමින් ගෙදර වැඩ පළ කරමින්, තාත්තාට උණ ට ගෙනාපු බෙහෙත් බොමින් ඉඳලා ඒ අම්මා නහයෙන් ලේ ගලලා ගෙදර කලන්තෙ දාලා මැරිලා වැටෙනකන්.

මෙහෙම කතා ඕනෙ තරම්... ගොඩක් දරුවො එක්ක එන අම්මලාව අපි යවනවා වැඩිහිටි වාට්ටු වල ඇඩ්මිට් වෙන්න. බලද්දි අම්මලටත් උණ.

ඉතින් දවස් තුනකට වඩා උණ තියෙනවනම් අනිවාර් යයෙන් වෛද්‍යවරයෙක් හමුවෙලා රුධිර පරීක්ෂනයක් කරගන්න. ඩෙංගු ඇන්ටි ජන් උණ ගැනී පළමු දිනම හෝ දෙවෙනි දින කිරීම හොඳයි. සාමාන්‍ය රුධිර පරීක්ෂනයක් ඇති. ඒකේ සෛල ගණන් මගින් සහ පැක්ඩ් සෙල් වොලියුම් කියන රුධිරයේ සංඝටක වල ප්‍රමාණය යන මේ දත්ත වලින් වෛද්‍යවරයෙක්ට ඩෙංගු උණ හෝ නොවන බව අනුමාන කළ හැක.
උණට පැරසිටමෝල් ඇරෙන වෙනත් වේදනා නාශක ගන්න එපා ( උදා  ibuprofen, diclofenac sodium ගන්න එපා !!! )

අවශ්‍යම දේ හරියට මැනලා ශරීරගත කරන්න ඕනෙ තරල ප්‍රමාණයන් ඒ ආකාරයෙන්ම දෙන එක. ඒකට ශරීර ස්කන්ධය අනුව සහ රුධිර පරීක්ෂාවේ අගයන් සහ පිටවන මූත්‍රා ප්‍රමාණය මැන බලා ඒ අගයන් එක්ක සංසන්ධනය කරමින් තමයි බර අනුව අවම ප්‍රමාණ මෙන්ම උපරීම ප්‍රමාණ තීරණය කළ යුත්තේ. ඒකට රෝහල් ගත වීම අවශ්‍යමයි.

අර මම කළින් කීවා වගේ හරියට මේ දේවල් කළොත් ඩෙංගු රක්තපාත උණ තත්වය උනත් හොඳින් පාලනය කර ගත හැකියි. ඒත් ගෙවල් වල ඉඳගෙන ගොඩ වෙදකම් කරමින් අන්තිම මොහොතේ අමාරුම වෙලා ,රෝහල් ගත වුනාම නම්, මේ තත්වයෙන් ගොඩ ගන්න අමාරුයි. අවයව ඉන්ද්‍රිය පද්ධති වලට එතකොටත් වෙන්න පුළුවන් හානිය සිදුවෙලා නිසා.

අනික තමයි දරුවන් වුනත් බොන්න බෑ කියද්දී අම්මලා ආ එහෙනම් කමක් නෑ කියලා නිකම් ඉන්න එක.. එහෙමත් නැත්නම් "කන්නෙ නෑ බොන්නේ නෑ අනේ කවන්න " වගේ දෙයක් ලෙඩුන් උතුරා ගලන වාට්ටු වල එහෙමෙහෙ දුවමින් හෙදකම් කරන මිස්ලාට කියන එක. සේලයින් එකක් එල්ලනකම් ඔය දේ මතුරන එක.

අපි නම් ඩෙංගු උණ රෝගීන්ට නම් බොන්න කියන්නේ ජීවනී, ඒකත් අපි කියන ප්‍රමාණයකට තමයි. ඒක ගණනය කරන්නේ යන මුත්‍රා ප්‍රමාණය, ශරීරයේ බර සහ pcv වැනි අගයන් එක්ක සංසන්දනය කරලා. ගණනය කරලා.


ඊළඟට ආහාර, කඩේන් ගේන ඒවා නොදෙන තරමට හොඳයි. ඔය පිටට පාචනය , බඩ එළියේ යෑම වගේ දෙයක් ඇති වුනොත්. අපේ වාට්ටුවෙත් බබාලගෙ ලොකර් උඩ තියෙන්නෙම , ගෑස් පැණි බීම, කලරින් පුරවපු බෝතල්.
මම අම්මගෙන් අහන්නේ " ඔය බීම එකේ තියෙන ඒවා දනන්ව ද? ලේබල් එක කියවන්න, නොදන්න ජාති තියේ නම් දෙන්න එපා. " කියලයි

කොහොමත් ලෙඩින් ඉන්නකොට කඩ කෑම ගෑස් බීම නම් දෙන්නම එපා. ඊට අමතරව රතු පැහැය, හෝ ඊට කිට්ටු පැහැය ඇති කිසිම දෙයක් දෙන්න එපා. මොකද හදිසියේ වමනේ ගියොත්, මලපහ ගියොත් එහි රතු පැහැය තිබුනොත් අපට බේරුමක් කරගන්න අමාරුයි ඒ ලේ වමනේ යෑමක්ද නැත්නම් ආහාර වල ඩයි නිසා හෝ බීට්‍ රූට් නිසා වෙච්ච රතු පැහැ වීමක්ද කියලා.

ලෙඩ හොඳවෙන්න සියයට හැත්තෑ පහක් පමණ නිසි ආහාර ජලය සහ සනීපාරක්ෂාවයි වැදගත්. එනිසා අම්මලාට, බලා කියා ගන්නන්ට විශේෂ වගකීමක් තියෙනවා කුඩා දරුවන් සහ ඇඳන් වලට සීමාවූ වයසක රෝගීන් වෙනුවෙන් කරන්න !

උපුටා ගැනීම හෝ පිටපත් කිරීමට ප්‍රථම අවසර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
කළින් ලියූ මගෙම ලිපිය ! https://anithkona.blogspot.com/2017/04/blog-post_68.html

Thursday, June 22, 2017

කිලෝ පහේ බබෙක් ?

එදත් සුපුරුදු පරිදිම බොහොම බොහෝම වැඩ රාජකාරි අධික දවසක් වුනා අපෙ අනිත් කොනේ මහ රෝහලට.
අප වාට්ටු වල සැත්කම් සඳහා වුන දිනය නිසා වෛද්‍යවරුන්ගෙන් සමහරු හිටියේ ශල්‍යාගාරයේ. මමත් හිටියේ එදින ශල්‍යාගාරයේ සැත්කම් සඳහා සහභාගි වෙමින්.

යුද්ධය ඉවර වුනත් එක්කම කාලය නිසා අප උරමත විශාල වැඩ රාජකාරි කන්දරාවක් පැටවී තිබිනි.
මා කලින් කල ලියූවාක් මෙන්, ඔවුන්ට සියලු කරදර වලට විසඳුම රෝහලම විය. සියල්ලෝම කඳවුරු වල සිටි අතර නැවත නිවෙස් බලා ගියේ සුළු පිරිසකි.

සැත්කම් අතර තුර අප වෙත ආ දුරකථන ඇමතුමක් " POA 32, no clinic visits, no FHB heard, No fetal parts felt, abdomen is hard and it looks like a very big mass, os closed, Scan shows a mass, no fetus, but looks 38 weeks."

කියවන ඔබ හිතනවා ඇති මේ මොන හරුප ද කියලා, මේ  වෛද්‍ය බසින් කීවම තේරෙන්නෙ නෑ කියලා දන්න නිසා මම ඔන්න පැහැදිලි කරලා ලීවා.


එයින් කියවුනේ මෙන්න මෙහෙම දෙයක් අටක ගැබිණියක් අධික වේදනාවෙන් ඇවිත් නමුත් කිසිම ක්ලිනික් එකකට ගිහින් නෑ. ආපු ගමන් පරීක්ෂා කළාට තද ලොකු රවුම් ගුලියක් මිසක් බබාගේ කොටස් අහුවෙන්නෙ නෑ. ස්කෑන් එකෙත් මොකුත් පේන්නෙ නෑ.. හැබැයි බඩ නම් සති 38 වගේ තමයි. සර් ගෙන් අහන්න එවන්නද කියලා.,.. කැක්කුම වැඩී එයා කියන්නේ දරුවා ලැබෙන්න කියලයි"

එවෙලෙම සියලු කටයුතුූ සූදානම් කර ඇයව ශල්‍යාගාරයට එවා තිබුනා. විශේෂඥ වෛද්‍යවරයා ඇය ගෙනා සැනින්, ශල්‍යාගාරයේ තිබූ ස්කෑන් මැෂින් එක ආදාරයෙන් ඇය ගර්භනී නොවන බවත් ඉතා විශාල යමක් මුළු උදරයම වසා ඇති බවත් කීවා.

නමුත් ඒ අම්මා පිළිගත්තේ නෑ අපි කියන දේ...
" නෑ මට බබෙක් ලැබෙන්න හිටියේ. මම මූත්‍රා පරීක්ෂනේ කළා, මම විටමින් බීවා..... මට බබා දඟලනවා දැනුනා, මට වමනෙ ගියා. මම ක්ලිනික් ගියා එක සැරයක්. මම ඇඳුම් මැහුවා සේරම අරන් ආවේ"
ඔව් ඇය කූඩයක් පුරවලා අලුත උපන් දරුවට අවශ්‍ය සියළු දෑ රැගෙන ඇඩ්මිට් වෙලා තිබුනා.

ඔබම හිතන්න මේවා ඇහෙද්දී අපේ මනස කොයි තරම් සසල වෙනවාද කියා. හරි යට ක්ලිනික් ගියේ නැති හේතුව ඔබ දන්නා පරිදි යුද්ධයම තමා. එතකොට මේ අම්මා ඉන්පසුව හෝ ක්ලිනික් එකකට යොමු වුනේ නෑ.

ඇයට සියල්ල කිහිප විටක් පහදා දී, ඇගේ සැමියා නෑයින් පවා ගෙන්වාගන්නට උපදෙස් දුන් පසු ඇය එවෙලෙම සැත්කමට භාජනය කරනවා හැර වෙනත් විසඳුමක් අපට තිබුනේ නෑ. ප්‍රසව වේදනාවෙන් මෙන් ඇය කෑ ගසමින් හිටියා.

විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සී කුමාරසිරි මහතා සිදු කළ සැත්කමට සහයක වුනේ මමයි. අපේ බ්ලොග් ලියපු deeps නංගී දැන් කඳු තරණය කරමින් යනවිට යුරෝපයේ අපි කඳු නැග්ග හැටි කියන්නට ගොස් මට  ඒ අතීත ජායාරූප සහිත හාඩ් එක පිරික්සන්න හිතුනා. එහි ෆෝල්ඩරයක වන්නි මතක මෙසේ එක් රොක් වී තිබුනා.

ඇත්තෙන්ම අපිව පුදුම කරමින් එළියට ආවේ බබෙක් ද ? හිතා ගන්න පුළුවන්ද කිලෝ පහකට කිට්ටු මේ අමුත්තා කවුද කියලා.

ඇගෙම ඩිම්බ කෝෂයක ඇතිවූ පිළිකාවක්. මේක අපි පරීක්ෂා කරන්නට ව්‍යාධවේදී පරීක්ෂනවලට පවා යැව්වා. ඇයගේ සියලු සාම්පල ලබාගෙන පිළිකා සඳහා දිගින් දිගටම පර් යේෂන සඳහා ඇයව යොමු කළා.
ඒවගේම ඇගේ මනස හදන්නත් සෑහෙන්න අමාරු වුනා...ඒකට මනෝ වෛද්‍ය සහය පැතුවා.‍

දරුවෝ අවශ්‍ය ආදරණීය අම්මලා තාත්තලාට දරුවෝ නැති අතර අනවශ්‍ය අය දරුවන් පහ හය වදති. මේ ලෝක ධර්මතාවය සකස්වී ඇති හැටි පුදුමයි.


පින්තූර ගත්තේ : නිර්වින්දක වෛද්‍යවරයා.
කළු සුදු කළේ ආචාරධර්මයන්ට ගරු කිරීම වස් නරඹන අය තුල ජුගුප්සාජනක හැඟීම් අවම කිරීමටයි.
මගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් !

Tuesday, June 20, 2017

; තිතයි කොමාවයි ජීවිතෙයි !

මොකක්ද ඔය ටැටූ එක ?
මා අසල හිඳගෙන සිටි තරුණ විදේශීය ශිෂ්‍යාවගෙන් මම විමසුවෙමි. 

; මේකද ?  ඇය ඇගේ වම් අතේ මැණික්කටුව සමීපයේ තිබුනු මේ තිත සහ කොමාවක් සහිත සලකුණ පෙන්වමින් ඇසීය.

"මේ මට මතක් කර දීමක් ! මම ජීවිතේ අත හැරියේ නෑ කියලා."
"මට පැහැදිලි මදි" මම කීවෙමි.  ලිං මැඩියෙක් සේ ජීවත් වූ කාලයක් ගෙවමින් සිටි අපට අන්තර්ජාලය දැන ගන්න ලැබුනෙත් මේ විදේශගතව ඉගෙනුම ලැබූ කාලයේදී ය. අපට එකල විශ්වයම අතැඹුලක් සේ දැනගනන්ට ලැබුනේ මුතුහර සඟරාව, සමුදුර පුවත්පත හෝ නවයුගය වැනි සඟරා මගිනි. රූපවාහිනිය නැරඹුවේ නැති තරම්.

"මම ජීවිතේ එක්තරා කාලයකදී, දැඩි ලෙස විශාධියෙන් පෙළුනා. මව පියා දික්කසාද වී, මා සිටියේ මව එක්ක, ඇයට මා ගැන බලන්නට කාලයක් තිබුනේ නෑ. මම පාසැලේදී පවා ටිකක් කරදරකාරී ලෙස හැසිරුනා. මම පහළොස් හැවිරිදි වියේදී මට එය තවත් දරාගන්න බැරි වුනා. මට අවුරුදු දාහතක් පමණ වෙන විට මගේ මවත් විද්‍යාඥවරියක් නිසා මටත් ඉගෙනීම ගැන ලොකු පීඩනයක් තිබුනා. මට ජීවිතේ අත් හරින්නම හිතුන දවසක, මම ජීවිතේ නැති කරගන්න හිතුවා. අපි හිටිය තට්ටු ගොඩනැගිල්ලේ උඩින් පනින්න හෝ රේල් පාරේ කෝච්චියට පනින්න, මම හිතුවා. නමුත් මම කතාවක කියවූ දෙයක් සිහි වුනා. මම පාසැලේ ගුරුවරියකට කීවා. අවුරුද්දක් පමණ මම උපදේශනයට පවා යොමු වුනා. ඒ සිදුවීම මතක් කරගන්න. මම ජීවිතේ අත් හැරියේ නැති බව මටම මතක් කර දෙන්න මේ "  සෙමි කෝලන්  "   ටැටූ එක මට ගහගන්න හිතුනා. 


මේ විදේශ රටවල මේ දේවල් ගැන බොහෝ එළිපිට කතා කරන නිසාම. මනසට සිදුවිය හැකි දේ ගැන බොහොම විවෘතව මිනිසුන් දැනුවත් කරන නිසාම, සමාජය දැනුවත් ! එනිසා එකිනෙකා උදව් කරගන්නවා. 
නමුත් ඒ අතර දිවිනසාගැනීම් නැත්තේද නෑ. 

පසු කළෙක මගේ මව් බිමේ පශ්චාත් යුද සමයේ උතුරේ රෝහලක මානසික රෝගී අංශයේ සේවය කරද්දී මට හැම වයස් කාණ්ඩයකම අයවලුන් ජීවිතේ නසාගනන්ට තැත්කර අවසානේ රෝහලේ නතර වුන හැටි මම දකිමින් සිටියා. 

ජීවිතේ අමාරුයි තමයි. කරදරයි.
ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න
ඉගෙන ගන්න ක්‍රමයේ ප්‍රශ්න
හමුවන මිනිසුන්ගෙන් ප්‍රශ්න
පොදුවේ හැමෝම ඉන්නේ ලොකු පීඩනයකින් , ආතතියකින්. ඒක ට්‍රැෆික් එකේ පැයක් එහෙ මෙහෙ ගියොත් තේරෙනවා.
නමුත් මිනිසුන්ගේ මනස හැදීම ගැන අපේ රටේ කිසිම වගකීමක් ගන්නෙ නෑ. කිසිම ආයතනයක මම දන්න තරමින් මානසික සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න, ඒ ඒ අයගේ ප්‍රශ්න ගැන සාකච්ජා කරන්න මනෝවෛද්‍ය උපදේශන සේවා පවතින්නේ නෑ. මිනිසුන් මේ පීඩන නොයෙක් විට පුපුරා යනවා. දරා ගන්නට බැරි තරම් වෙන විට ජීවිතේ අත් හරිනවා. 

අපට හමුවෙන බොහෝ අය අපට ආශිර්වාද නොවී සාපයක්ම වෙනවා. නමුත් ඒ සියලු කරදර ඉවසන්න අපි පුරුදු විය යුතුමයි.

ටැටු හෙවත් පච්ච නොගැසුවත්  "සෙමි කෝලන්" semicolon  අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ! මේ ලියන මමත්,  මේ කියවන ඔබත් අනන්ත අප්‍රමාණ තරමක් පීඩන හමුවේ ජීවත් වීම තෝරාගත් බව මම දන්නවා. 

එනිසා අපි මේ කරදර කාර ජීවන අරගලයේ මග නැවතෙන්න හදන අපේම අයට සහයක් වෙමු ! 
දරාගන්න බැරි තරම් ප්‍රශ්න කවදාවත් බොහෝ කල් පවතින්නෙ නෑ. 
ඒ වෙලාවට කරන්න පුළුවන් දේවල් අපි ලැයිස්තුගත කරමු.

1.කතා කරන්න  - හොඳම යාළුවෙක්ට, තමන්ගේ ප්‍රශ්න වැඩි කරන සුළු අයට කතා කරන්න එපා. ඒවා ප්‍රචාරය කරන අයට කතා කරන්නත් එපා. එවෙලෙට ප්‍රශ්නෙ කතා කරන්න එතකොට ඒ බර සැහැල්ලු වෙනවා.
මමත් කිට්ටුම යෙහෙළියන් කිහිප දෙනාත් අන්තර්ජාල ගෘප් චැට් එකක් හරහා හැමදාම අපේ ජීවන අරගල කරදර, විඳදරාගැනීම් අත් හැරීම් බෙදා හදා ගන්නවා.
විශ්වාස කරන්න අපි බොහොම සැහැල්ලුවෙන් ජීවිතේට මුහුණ දෙනවා. හිතෙන් කරදරේ අත් ඇරියම ඒක අපේ හිතට කරදරයක් වෙන්නේ නෑ.
කරදර ගොඩ කලක් පවතින්නෙත් නෑ. 

2. සිංදුවක් අහන්න ! චිත්‍රපටියක් බලන්න ! පොඩ්ඩකට හරි කරදර කාරී සිතුවිලි අමතක වෙනවා.

3. මනෝ විශ්ලේෂණ උපදේෂන කරන තැන් ඕනෑ තරම් තිබෙනවා. ළඟම ඇති රෝහලේ මනෝවෛද්‍ය ඒකකය වෙත යන්න. ගමේ රෝහලේ ඉන්න ඕප දුප හොයන සේවක කට්ටිය නිසා අවුල් නම් ඊට එහා නගරෙකට යන්න"

හිතමින් කල් ගත කරන්න එපා ! මේ ලියන මම උනත් ජීවිතේ කරදර කාලවලදී ජීවිතේ අත්හැරියා නම් අද ලබා තිබෙන කිසිම ජයග්‍රහණයක් මට ළඟා වෙන්නේ නෑ. 

මැරෙන්න හිත හදා ගන්න ලේසියි. මොකද ඒ මොහොතේ දැනෙන පීඩනය දැඩි නිසා. 
නමුත් ඒ මොහොත ගත කරගන්න පුළුවන් ! ඒ ඔබේ සිතේ ශක්තිය නිසා
එදා අත් නොහැරිය ජීවිතේ අද බොහෝ අයට ආශිර්වාදයක් සේ සකස් කරගත් අය බොහෝ ය 
වෛද්‍යවරියක් වෙන්නට ඉගෙන ගත් මා අසල සිටි ශිෂ්‍යාවද එවැන්නියකි.
මම කැම්පස් තේරුනා කියමින් වාට්ටු කොරිඩෝවේ අතේ එල්ලුණු තරුණියද එවැන්නියකි.
මේ කියනව ඔබද එවැනිම වූ ජයග්‍රාහකයෙකි.
එනිසා එන්න අපි ජීවත් වෙමු ! ඒකයි අමාරුම කාරිය.

උපුටා ගැනීමට පෙර අවසර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
images from internet ! 

Thursday, June 15, 2017

කටකාරිලා දෙන්නයි බොහොම සොඳුරු හෝරා කිහිපයයි !

අද මට හරිම කටකාර දැරියක් මුණ ගැහුනා... ඒ ගැන ලියූ සටහනත් එකතුකරන්න හිතුවා.

Met the most talkative 7 year old today who made me speechless...

මොකද්ද ඩොක්ටර් මගෙ බඩ රිදෙනවා
ලේ එකක්වත් බලන්නකෝ
ස්කෑන් එකත් නෝමල් ලු, අරයගෙත් නෝමල්ලු, මම හිතන්නෙ මැශින් එක කැඩිලද කොහෙද...

මම : ඇයි ඒ ?

"ඉතින් මගෙ බඩ තාම රිදෙනවනේ මැශිම හොඳනම් ලෙඩේ පේනවනේ...

ආයෙ ටිකකින්
" මේ ඔයාට ඔය බටේ දිගේ ලෙඩ ඇහෙනවද ?"

"නෑ පුතේ සද්ද ඇහෙනවා"

" අම්මෝ මම හිතන ඒවත් ඇහෙනවා ඇති" තමන්ටම කියා ගනී...

මට නම් හිතෙන් හොඳටම හිනා...
"අම්මෙ මම ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට මටත් අහන්න පුළුවන් බටෙන් "  ඇය ජයග්‍රාහී හිනාවක් ඇතිව අම්මාට කියයි.
"ඇත්තටම බඩ රිදෙනවා හොඳේ මම රඟපාලා තෑගි ගන්නද ? ඔයාලා මට සල්ලි දෙනවද මෙහෙමෙම රිදෙනවා කිව්වම නෑනේ ... ඉතින් මං ඇත්තම ඇත්ත කියන්නෙ ඩොක්ටර් ඇන්ටි."
"මේ මං මේ බෙහෙතත් බිව්වා කලින් අර අතන ඩොක්ටර් ඩ--න් පෙතිත් දුන්නා ඒත් හරිගියෙ නෑමයි"
මොකද අනේ රිදෙනවා කීවම බඩම ඔබන්නේ ... එබුවම රිදෙනව කියලවත් දන්නැද්ද
දැන් ඔයා මේ බඩ ඔබන තුන් වෙනිඩොක්ටර් මේක නවතින්නෙ කවද්ද ... කිව්ව ගමන් ඔක්කොමලා කරන්නේ බඩ ඔබන එක"

ඔහොම කතා ගොන්නකින් පස්සෙ
මම වෝඩ් රවුන්ඩ් ඉවර වෙලා මේ පැංචි එහෙ මෙහෙ යද්දි අඬගහලා නලාව දාලා දුන්නා කන් දෙකට....
හාට් එකේ සද්දෙ අහන්න දුන්නා එයාගෙම. බඩරිදෙන නිසා බඩේ සද්දෙ අහන්න දුන්නා... ෂූ ෂූ ගානවා කියලා හරි සතුටක් ලැබුනා ඒ කෙල්ලට. බඩ ඇතුලේ මුහුදක් ඇතිය කියලා මිස්ලා හිනා වුනා. ඔන්න මම රවුන්ඩ් ඉවර වෙලා යනකොට මේ කෙල්ල අල්ලපු ඇඳන් වලටත් කියවලා ... මට ඇහෙනවා

" ඒ ඩොක්ටර් ඇන්ටී විතරයි මට නළාව දුන්නේ සද්ද අහන්න ...බඩ ඇතුලෙ හෝ ගානා පොකුණ වගේ" ඒ අස්සේ මට කෑ ගහනවා "ඩොක්ටර් ඇන්ටි තැන්ක් යූ, ගුඩ් නයිට් " කියලා .
හැබැයි ඇත්තම කථාව ඒ කෙල්ලගේ උත්තර වලට මම නිරුත්තර වුනු වාර අනන්තයි.
......................................................

 සැබෑ ආදරය ගැනත් යමක් ලියන්නයි කියා හිතුනා... ඒත් අපි දකින හැම තැනම බොරුවම තියෙන නිසා ඔය වචනෙත් නිකම් බොරුවක්ම කියලයි හිතුනේ...

ආදරය කියන්නේ මොන වගේ දෙයක්දැයි නොදැන ආදරය අපි නොයෙක් හැඩහුරුකම් වලින් සොයනවා. ඇහෙන් අල්ලාගන්නා දේට ආදරේ කරනවා. නෙත පිනවන හිත සනසන දේ තුලින් ආදරේ සොයනවා. ඒත් දෙනෙත් නැති හිත් වල පූදින ආදරය හුදෙක් වෙනත් මානයක් කරා මාව ගෙන යනවා.

කසුන් - සත්‍යා ...ජීවිතයේ බාධක වැටකඩොළු වලට අභියෝග කළ අපේ ආදරණීය බ්ලොග් රචක රචිකා යුවලගේ මංගල උත්සවයට ආරාධනා ලැබුනම ... මොන කරදර මැද්දේ හෝ යනවා මයි කියා හිතුවේ...උන් දෙන්නා ඒ තරම් මට ලෙංගතු නිසා මයි.... කොහේ දී කටහඬ ඇහුනත් "බෝධිනි අක්කා" අනිත් කොන.. කියමින් අතින් අල්ලා ගන්නා ඒ ලෙංගතු කමට...

ආදරයේ හැඩ තල නොයෙක් අයුරින් මම දුටුවා...ඒ හැම විටම මම එහි භෞතිකමය හැඩය මිසක් අධ්‍යාත්මික හැඩයක් දුටුවේ නෑ. තමන්ට ඕනෑ ලෙස වෙනස් කරගන්න මිසක් තියෙන ඒ හැඩ තල වලට ආදරය කරන්න කිසිවෙක් පෙළඹුනේ නෑ. එහෙම ලෝකයක දැන උගත් නමුත් "කේන්දර අවුල්" නිසා හැර යන මිනිසුන් මෙන් ම.... දුෂ්කර කාලයේදී හැරයන මිනිසුන්ද .... බොහෝ අකටයුතුකම් කර හැර යන මිනිසුන්ද ....
අනුන්ගේ දුකක්  කඳුළක් වෙහෙසක් නොදැනෙන මිනිසුන්ද දැක ඇත්තෙමි. 

එහෙව් ලොවක,
ඔවුන් සොඳුරු ලෙස ලෝකය විඳින අයුරු මා හදවතින්ම වින්දා
මගේ ඇස් වලින් දැක්කා...
මගේ හදවත පතුලේ මහා ලොකු බරක් අත හැර
ජීවිතේ අත් නොහැර ඉන්නට
ජීවිතේ වටිනාකම මට පසක් කළ...
ඒ මොහොත මට වටිනවා මහ මෙරක් තරම්
කටකාරි නගා ඇතුළු සියළු දෙනා හමුවූ ඒ දිනය හරි සොඳුරුයි...

Wednesday, June 7, 2017

හද සසල කළ ඒ තැන !

"අම්මා බබාගේ හර්ද ස්පන්දන වේගෙ අඩු වෙනවා , ඒ එක්කම මේ ඇතුලේ වතුර පාට හරි නෑ බබාට ඇතුලෙම කක්කා ගිහින් වගේ. ඔයාගේ ගැබ් ගෙලේ ප්‍රමාණය බබාට එන්න තරම් ලොකු වෙලා තුනී වෙලා නෑ. එනිසා අපි සීසර් කරනවා" අම්මාට එහෙම පැහැදිලි කර දුන්නා. ඒ අම්මා ඒ වෙනකොටත් හිටියේ ප්‍රසව වේදනාවෙන් බොහෝ වෙලා තිස්සේ ප්‍රසූතිකාගාරයේ.

"අනේ ඩොක්ටර් , ...මගෙ මහත්තයා කැමති නෑ සීසර් කරනවට, අනේ එයාගෙන් අහන්න ඩොක්ටර් එළියේ ඇති... " අඩු වෙන පොඩි හදවතක කම්පනය හමුවේ කිසිම අම්මා කෙනෙක් එහෙම දෙයක් කියන්නේ නෑ... අපිට කොහොම හරි ළමයා බේරන්න කියනවා මිසක. අනික සමහරු වේදනාවට කෑ ගහන්නේ, " ඩොක්ටර් සීසර් කරන්න සීසර් කරන්න " කියලා
ඒ එක්කෙනෙකුටවත් සීසර් කරාට පස්සෙ , සාමාන්‍ය ප්‍රසූතියකට වඩා වැඩි කාලයක් විඳවන්න වෙන බව මතක් වෙන්නේ නෑ.
 මේ අම්මා එහෙම කිව්වාම මම හෙදිය දිහා බැලුවා.... ඒ ඇගේ තුන්වෙනි හෝ හතරවෙනි දරු උපත.
"එහෙම කියනවා සමහරු ඩොක්ටර් එයාලගේ ආගමේ ප්‍රශ්නයක් ඒක "
ඊළඟට ඒ තාත්තාගෙන් ලැබී තිබුනේ ඔහුත් ආගමේ නියමයන්ට පටහැනි දෙයක් නොකරන බව ය. සීසර් කරන්න නම් එපා !ඔහු කීවාලු.

"මවගේ හෝ දරුවගේ ජීවිතයට හානි වුනත් සීසර් කරනවට අකමැතියි ! කියලා එක්තරා ආගමක ඒ තාත්තා   BHT එකේ පවා ලියලා අත්සන් කළා.
 මට මතක් වුනා, ලේ ගන්න බෑ ආගමට පටහැනී කියලා, අඩු හිමෝග්ලොබින් අගයක් සහිතව උනත් මැරුණත් කමක් නෑ කියලා බලෙන් ටිකට් කපාගෙන ගිය අම්මා ! අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් කීවා එහෙම ආගමක් නිසා ඔවුන්ට මවක් මැරෙන්න ඉඩ දෙන්න වුනා කියලා එංගලන්තෙදි.... ඒ ආගමේ නීති එහෙමලු.

 අම්මා ලේබර් රූම් හිටියේ ගැබ් ගෙල විශාල වීම බබාට එන්න ප්‍රමාණවත් නෑ බබාගේ හාට් බීට් එක අඩු වෙමින් තිබුනේ... ඩොප්ලර් එකෙන් අම්මටත් ඇහුනා ඒක.

මම ඇවිත් කීවා අම්මට " මෙහෙම වුනොත් ඔයාට බබා නැතිවෙන්න යන්නේ කියලා.  අපි දැනන් හිටියා මවගේ හෝ දරුවාගේ ජීවිතයට හානි වෙනවානම් අපිට සීසර් හෝ මොන ක්‍රමයකින් හරි ජීවිත බේරන්න පුළුවන් ලෙස මනුස්ස නීතිය වඩා බලවත් බව.
නමුත් ඒ අම්මා එකපාරම කීවා" මට දරුවා ඕනේ... ඩොක්ටර් කමක් නෑ සීසර් කරන්න මම අත්සන් කරනවා" කියලා, අර තාත්තා අත්සන් කරපු තැනට පහළින් අම්මා අත්සන් කළා !
 ඒ පාර සීසර් කලා. බබා ඉක්මනින් ප්‍රකෘති වුනා. වාසනාවකට ඒ බබාගේ නම් මෙකෝනියම් මිශ්‍රවුනු තරල වලින් ඇතිවන සංකූලතා තිබුනේ නෑ.
දරුවා පරීක්ෂා කරද්දී එයා මගේ ග්ලවුස් දැමූ අත අල්ලා ගත්තා හරි හයියෙන්... තැන්ක් යූ කියනවා වගේ මට හිතුනා ( සමහර වෙලාවට බොළඳ දේවල් හිතෙනවා). මම මේ කතාව නොලීවට ඒ අත් දෙකේ  ෆොටෝ එක මුහුණු පොතේ දැම්මා. " strong grip... tried to hold on but I have to let go" කියලා. (photo credit goes to a nursing officer)

  අලුත් බබා එක්ක මමයි මිඩ් වයිෆ් මිසුයි අම්මා ළඟට ගියාම අම්මා කීවා " දෙවියන්ට ස්තූති වේවා " කියලා...
මම මද සිනහවෙන් හිටියා.. ඇය දකින දෙවියන් සහ අපි දකින කර්මය  කියන මේ හැම වචනයක් අවසානයේ මම දකින්නේ මනුස්සකම නිසා....

ඒ බබාගේ අම්මා සමහර විට කවදාවත් කියන එකක් නෑ... එයාගේ ජීවිතේ බේරුවේ ඇයයි කියලා. එහෙම නැත්නම් අපි වෙන්නත් ඉඩ තිබ්බා. එහෙම වුනානම් ගොඩක් ඉදිරි ප්‍රශ්න අපිට එන්න තිබ්බා. හැබැයි ඒ තාත්තාව නම් ඒ වාට්ටුවේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරයා එහෙම අමතලා තිබ්බා. ඔහු ඒ ප්‍රශ්නෙ එතනින් එහාට ගෙනිච්චේ නෑ. 

Friday, June 2, 2017

ගං වතුර ගඟේ වතුරම නොවේ ! ඇස් උඩ තියන් අපේ දෙසුම් ඇසූ මිනිසුන්

කුඩා කාලයේ නම් මට මතක ගංවතුරකට තිබුනේ අපි දහයේ හෝ නමයේ ඉඳෙද්දී මුළු කොළඹම යට වුන ගංවතුර... අඩි කිහිපයක් පමණයි එහිදිත් යට වුනේ. අගනුවර මහල් නිවාසෙක සිටි අපට නම් කිසි බලපෑමක් වුනේ නෑ එනමුත් පහළ තට්ටුවල අයට නම් වතුර ගෙවල් තුලට දමා තිබුනා.
ඒ වතුරේ උනත් දියබුං ගැහිලි, ඇවිදිලි එහෙම කරන්න ලැබුනේ නෑ. මොකද ඒ වෙනකොටත් අපි තේරුම් ගත්තා, එහි භයානක කම. අසල ගලා බසින කුණු ඇලේ කැත කුණු පවා මේ වතුරට මිශ්‍රවී ඇතැයි කියමින් අම්මා අපව බිය වැද්දූ හැටි මතකයි.
"නින්ද යන්න බෙහෙතක් දෙන්න බැරිද ඩොක්ටර්..." මවක් මගෙන් අසද්දී මට හිතුනේ මේ ගලාගෙන ආ වතුරට ඇගේ හිත ගත පෑරිලා කියලයි,
"ඒ මොකෝ අම්මා" මම වික්ෂිප්ත වී ඇසුවෙමි.
"මට නෙමේ මෙයාලට" ඇය හිසින් තම පිරිමි දරුවන් දෙදෙනා පෙන්වමින් කියන්නට විය 
"බේර ගන්න බෑ ඩොක්ටර් වතුරෙමයි. කොහොම හරි පනිනවා." ඇය පැවසූ කතාව මට කිහිප දෙනෙක්ම පැවසීය.
මේ දෙවැනි සායනය විය. මෙහි පැමිණ ඉඳගත් විගස මා දුටුවේ... චුරු චුරු වැහි බීරම තිබුනත් පාරේ උඩුකය වැසෙන්නට ඇඳුමක් පවා නොඇඳි කකුල් දෙක හොඳටෝම තෙතබරිත වූ පොඩ්ඩෙකි. 
"මොකෝ මේ මෙහෙ එන්න" ඔහු අඬ ගා ගතිමි.
" කෝ ඇඳුම්. මොකද මේ ෂර්ට් එකක් නැත්තේ. සීතලයි නේද ?"
අන්තිම සායනය පැවැත්වූ තැන
ජායාරූපය මා විසින් ගත් එකකි. 
"ගෙදර යටවෙලා. ඇඳුම් ගෙදර" ඔහු එහෙන් මෙහෙන් උත්තර දී ඉස්සෙකු මෙන් පනින්නට සූදානම් වේ. එහෙ මෙහෙ බලන සැනින් අතුරුදන් වී සිටියේය.
නැවත අහම්බෙන් පාර දෙසින් දුටු විට අඬගා ගත්තෙමි.
"කෝ අම්මාට එන්න කියන්න." 
"අම්මා... උඩහ ගෙදරක" කියාගෙන ඔහු යළි දිව ගියේය. 
"එහෙනම් ඇඳුමක් කොහෙන් හරි හොයාගෙන ඇඳගන්න ඕනේ නැත්නම් අපි හොයලා දෙමු" එතන සිටි, බෙහෙත් සහ සියළු අත්‍යාවශ්‍ය දෑ සපයමින් වෛද්‍ය කඳවුරු සංවිධානය කළ තිලිණ හිරිපිටිය, සුනෙත් සංජීව, මංජුල සමරසේකර මල්ලිලාට කීවෙමි. 

ගංවතුර සමග හිස ඔසවන රෝගාබාධ ගැන මම විශාල විස්තරයක් ලීවෙමි. ඒ ගිය අවුරුද්දේ ලියූ ලිපියට තවත් දෑ එකතු කරමිනි. දිනමිණ පුවත් පතේ මෙන්න මෙදින ද, roar.lk හි එහි ඉංග්‍රීසි කරුණු දැක්වීමෙහි ලිපියට උපුටාගැනීමක් ද, බොහෝ සෙයින් මුහුණු පොත හරහා බෙදා ගැනීමක්ද දකින්නට ලැබිණි.
එනමුත් මෙවැනි ගම්මාන වල මිනිසුන් තවම විශාල වශයෙන් මේ වතුරෙන් ප්‍රවේසම් වීම ගැන දක්වන ආකල්පය අඩුය. 

දරුවන් ගං වතුරේ දියබුං ගසද්දී, හුදු විනෝදයක් සේ සලකන පිරිසක්ද වේ. 
ගිය අවුරුද්දේ ක්ල්නික් කරන්න ගොස් බෝට්ටු වලින් ගොස් ගොඩ බැස්සේ වතුරට ය. අපට ද මී උණට ගන්නා බෙහෙත් නොගත්ත බව මතක් වුනේ රෑ බෝ වී සායන ඉවර කරද්දී ය. 
ඉතින් සාමාන්‍ය මිනිසුන්ට ඒ ගැන අවබෝදයක් කොයින්ද?

සුළු කාලයක් වතුරේ බැස සිටි අපේ කකුල් ද කසන්නට විය. 
පොදුවේ එවැනි දද කුෂ්ඨ බිබිලි බහුලව දකින්නට ලැබිනි. සමහර පැරණි තුවාල පෑරී ඕජස් ගලමින් තිබිනි, ඉතින් අපට තුවාල පිරිසිඳු කරන ස්ථානයක් ද පවත්වන්නට සිදු විය. කකුලක් කපන ලද දියවැඩියා රෝගියෙක් ගේ නිවසටම ගිය හිතවත් වෛද්‍ය තරිඳු, තුවාලයේ වැසුම් ගලවා එය පරීක්ෂා කර බලා බෙහෙත් දමා වෙළුම්පටි වලින් වෙලන ලද්දේ එහි තත්වය හොඳ නැති බවත් වහා රෝහල්ගත විය යුතු බවත් කියමිනි. එයින් ශ්‍රාවය වුනු සැරව ප්‍රමාණය දුටු අපටද වැටහුනේ රෝහල් ගත වීම වඩාත් උචිත බවය.

හමේ රෝග පැතිරේ -
  මේ සායන දෙකේදීම අපට බහුලව දකින්න ලැබුනේ හමේ ආසාදන තත්වයන් ය. එය අර විෂ වතුර ට බැසීම නිසා ය. වැඩිහිටියන්ට වතුරට බහිනවා ඇරෙන්න විකල්පයක් නොමැත. ඔවුන් බඩු මුට්ටු රැගෙන දුවා දරුවන් රැකගෙන පැමිණියේද කරවටක් වතුරේ ගිලෙමිනි. 

ඉතින් වෛද්‍යවරුන් ලෙස සහභාගි වූ මම ද, වෛද්‍ය තරිඳු, වෛද්‍ය අමිල, වෛද්‍ය වාසනා යන මේ සියළු දෙනා අඩුවක් නොමැතිව, ගංවතුර සහ ඒ ආශ්‍රිත රෝග ගැන අවට සිටියවුන් සහ පැමිණි අය දැනුවත් කළා.

ඔය එන වතුරේ එන්නේ, හුදෙක් ගං දිය පමණක් නොවේ. රසායන පොහොර යෙදූ කුඹුරු වගා බිම් සෝදාගෙන ඒවාද, වැසිකිළි වල වල් අසූචි මළ මූත්‍ර සෝදාගෙන ඒවාද, ගව ඌරු කුකුල් ගොවිපලවල නම් ඒ සතුන්ගේ මළ මූත්‍රා ද, මඩ කාණු කුණු එක් රැස් වීම් වැනිදෑ ද අඩු නැතිව එයට එකතු වී තිබේ. ‍

"ඉතින් අපි ඒ වතුර බීවේ නෑ.." පණ්ඩිත පැංචෙක් පවසයි.

"වතුර පෙවෙන්නම ඕනෙ නෑ, වතුරේ ඉන්න ඇහැටවත් නොපෙනෙන බැක්ටීරියා, දිලීර, පණුවෝ එහෙම හමේ කුඩා සිදුරු මගින් ඇඟට ඇතුල් වෙනවා. ආ තව ඔයාලගේ තියෙනවනේ තුවාල ඔය කකුල් අත පයේ ඒවයෙනුත් ඔවුන් ඇඟට ඇතුල් වෙනවා. " කියද්දී නම් කිහිප දෙනෙක් නැමී තමන්ගේ තුවාල පරීක්ෂා කරනු දුටුවා.

"දැක්කද? ඇහුනද ? " කියමින් අම්මලා, තම කියන දේ නාහන කොළු පැටවුන්ට ඇඟිල්ලෙන් අනිමින් තරවටු කරන අයුරුත් දුටුවා. 

වතුරේ  ඇවිදිද්දි, උල් කටු ඇන, වීදුරු ඇනිච්ච පිරිස් ද හිටියා. වැඩිහිටියන්නම් ටෙටනස් ප්‍රතිවිෂ එන්නත විදගෙන තිබුනේවත් නෑ. ඔවුන්ටද එහි වැදගත් කම පැහැදිලි කර, වහාම ළඟම රෝහලට යන්නට උපදෙස් දුන්නේ අප ළඟ එන්නත් නොතිබුණු නිසාමයි.

හමේ ආසාදන සඳහා ගිය අවුරුද්දේ ගංවතුර කාලේ ලැබූ අත් දැකීම් සමග, අප දුටුවා, බැක්ටීරියා නාශක anti bacterial,  දිලීර නාශක anti fungal and , අසාත්මිකතා නසන anti allergic යන මේ ක්‍රියා තුනම සම්පූර්ණ වන ගුණ ඇති ක්‍රීම් වර්ග ඉක්මන් ප්‍රතිඵල ලබා දෙන බව. ඉතින් එවැනි ක්‍රීම් වර්ග ගෙන එන්නට තිලිණ සහ සුනෙත් මල්ලිලා යුහුසුළු වුනා. ඇතැම් තුවාල සඳහා බැක්ටීරියා නාශක පමණක් දෙන්න වුනේ ඒවායේ තත්වය ගැන සැලකිල්ලට ගනිමින්.
එමෙන්ම අසාත්මිකතා අඩු කරන, විවිධ ආලේපන වර්ග ද අපට ඔවුන් ලබා දුන්නා ( acqous cream , calamine lotion)  
බොහෝ සෙයින් උගුර නාසය ආශ්‍රිත සෙම් රෝග පැතිරීමක් දකින්න ලැබුනා. උණ තත්වය ඇති කුඩා දරුවන්ට පැරසිටමෝල් පොවා තිබුනේ අතේ මිම්මට උණ බලමිනි. 
උණ කටුවකින් උණ බැලීමේ වැදගත්කම කියා දෙමින් නියමිත මාත්‍රාව ගන්නා හැටි කියා දෙමින් ඔවුන් දැනුවත් කරද්දී අප වෙත උණ කටු කිහිපයක් රැගෙන අර මල්ලිලා නැවත පැමිණියා. උණ බලන රසදිය කටු අම්මලාට ලබා දුන්නා.
සායන වලට යා ගත නොහැකි වී, ඉන්සියුලින් නොමැතිව සිටි රෝගීන් දෙදෙනෙකු වෙත එය ගෙනැවිත් මාත්‍රාව ලියා දුන් අතර, එම රෝගීන් ඒවා එන්නත් කරගන්න දැනුවත් වී සිටියා. 
අවුරුදු අසූවක පමණ ආච්චී කෙනෙක් දඩිබිඩියේ කඩිසරව එහෙ මෙහෙ දුවමින් සිටියා. ඇය පැමිණියේ ප්‍රෙශර් බලා ගන්න. රුධිර පීඩනය හුඟක් ඉහළ බව කී විට. "ගංවතුර බලන්න අන්න අරහේට ඇවිද්දා. උදේ පෙති බොන්න අමතක වුනා" යැයි කීවා. පොත බලා ඇගේ මාත්‍රාවට බෙහෙත් ලබා දී එතැන රඳවාගෙන රුධිර පීඩනය මදක් හෝ අඩුවෙන්නේ දැයි පරීක්ෂා කර යැව්වා. මන්ද එක පාර එය අඩු කිරීමේදී නොයෙක් සංකූලතා ඇති විය හැකි නිසා. 

ඔය අතර මට මතක් වුනේ,  මම උතුරේ වැඩ කරද්දී ඉගෙන ගත් දෙයක්...

අපට සිටි විශේෂඥ වෛද්‍යවරයා ලංකාවට පැමිණි විගස එහි පත්වීම අරන් ආපු ඩොක්ටර් සම්පත් ඥානරත්න, සුව නොවන සැත්කම් තුවාලයකට කෝමාරිකා මදය දමා දින තුනක් පමණ එලෙස මදය ආලේප කර එම සැරව සහ ඕජස් ඉවත් වෙන විට සහ ඉන්පසු මැහුම් දැමූ එම තුවාලය සුව අතට හැරුණු හැටි අප දුටුවා... විශේෂඥ වෛද්‍යවරයා හෝ අප කෝමාරිකා වලට කියන දමිල වචනය නොදැන සිටි නිසා අන්තර්ජාලයෙන් කෝමාරිකා ශාකයක රූප සටහනක් ගෙන ඔවුන්ට පෙන්වා දෙමින් එය ගෙන්වා ගත්තා. තුවාල දද කුෂ්ඨ සඳහා එය අගනා බවත් මතක් වුනා

මගේ දරුවාට පවා දාඩිය බිබිළි ආසාදන ඇති වූ විට මා ගෙවත්‍තෙන් කඩා ගන්නා කෝමාරිකා කොළයක මදය ගානවා. දින දෙකෙන් සියළු දේ සුව විය.
ආලේපන වර්ග හිඟ තැන් බොහෝය. එනමුත් ආසාදිත තුවාල සඳහා විෂබීජ නාශකයක් අවශ්‍ය වේ. ආයුර්වේද වෛද්‍ය මතයද ඔවුන් කෝමාරිකා සුලබව භාවිතා කරන බව ය. 

අප සහභාගී වුණු සායන වලදී ද එක ටියුබ් එකක් බෙදා දෙන්නට හෝ පවුලකට එකක් වශයෙන් දෙන්නට පවා සිදු වුන නිසා, මෙවැනි ආලේපන වල අඩුවක් වෙළඳපලේ දක්නට ලැබෙන නිසාත්, ඇතැම් සායන වල මේවා ඇත්තේම නැති නිසාත් යන කරුණු නිසා අප ගෙදර දොර පහසුවෙන් ලබා ගත හැකි ස්වභාවික විෂබීජ නාශක ගුණ ඇති දෑ ගැන දැනුවත් වීම වටී. 

චාන්දනී මෙන්ඩිස් මහත්මිය පැවසුවේ, නිදිකුම්භා තැම්බූ වතුර වලින් තුවාල සෝදන බවත් කහ දියර වල විෂබීජ නාශක ගුණය ඇති බවත් ය. 

මෙවැනි අත්හදා බැලීම් කරමින් අපේ අය තුවාල වැඩි කරගනීදෝ කියා මට ද සිතුනේ මේ ගැන ඇති වුණු සංවාදයේදී විශේෂඥ ප්‍රජා වෛද්‍ය උත්පලා මහත්මිය එය පෙන්වා දුන් විට ය.  ඇය පැවසූ ලෙස, මෙය නව සෛල ජනනය කරන නමුත් එහි තිබෙන තෙතමනය බැක්ටීරියා වර්ධනයට රුකුලක් වේවිදැයි සිතිනි. මෙවැනි දේ කරමින් අපේ මිනිසුන් නිසි ප්‍රතිකාර නොගෙන සිටී දැයි සැකයක් ද මටද ඇති වුනා.

ආයුර්වේද වෛද්‍ය මනෝජ් මහතා සහ වෛද්‍ය පවන් මහතා ඒ ගැන දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර ඔවුන්ගේ මතය නම් කෝමාරිකා විෂබීජ නාශක ගුණ ඇති ඖෂධයක් බවය.
එනිසා අප මතක තබා ගත යුතුයි දද කුශ්ඨ වැනි දෑ තුවාල ආදියට වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අවශ්‍ය බවත්, සැරව ගලමින් කසමින් දිය බුබුළු දමමින් තිබෙන්නේ නම් ඒවා වැඩි වෙන්නට ප්‍රථම වෛද්‍ය උපදෙස් සහ බෙහෙත් ලබා ගත යුතු බවත් යන මේ කරුණු ය . 

මේ අතර අපේ වාට්ටුව ද පිරී ඉතිරී යමින් ඩෙංගුද, පාචනය වමනය බඩ එළියේ යෑම් ද ඩෙංගු නොවන නමුත් එසේ හැසිරෙන වෛරස් උණ ද අඩු නැතිව යහමින් තිබේ.
ඩෙංගු ගැන විමසුම අඩු වුනා දෝ යැයි මට සිතේ. ඔයින් මෙයින් දින දෙක තුනක් මට ද වෛරස් උණ සහ වමනය වැළඳී  අකර්මන්‍ය ව ඇඳ උඩ තපින්නට සිදු වුනේ.... වඩුවාගේ ගෙදර පුටුව නෑ වගේ, වමනයට දෙන පෙත්තක් හෝ පැරසිටමෝල් පෙත්තක් මා ළඟ නැති බවද පසක් කරමිනි. යන්තම් දරුවාට ගෙනැවිත් තිබූ සිරප් වලින් රැය ගෙවාගෙන පසුවදා වාට්ටුවේ වැඩ ට ද ගියේ නිවාඩු ගැනීමේ අපහසුතා ඇති නිසා ය.

වෛද්‍ය බෝධිනි සමරතුංග
(මේ ලිපි උපුටා ගන්නේ නම් ඒ බව මට දැනුම් දී අවසර ලබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි)

පළමු ලිපිය... https://anithkona.blogspot.com/2017/05/blog-post.html

Friday, May 26, 2017

ගංවතුර ආයෙමත් ! කියවන්න කරුණු ටිකක් !

ඩොක්සිසයික්ලින් මී උණ සහ ගංවතුර ගැන මේ ගිය අවුරුද්දේ දුන්න උපදෙස් - මේ සැරෙත් ඕනෙ වෙයි නේ... ගිය පාර මේවා ලියන්න ප්‍රමාද වුනා. අපිත් බීවේ වතුරට බැස්සාට පස්සෙ.

---------------------------------------------
doxycyclin ගැන මී උණ ගැන අපේ විශේෂඥ වෛද්‍යවරිය විසින් ක්ෂුද්‍ර ජිවී විශේෂඥ වෛද්‍යතුමිය හා සාකච්ජා කොට ලබාගත් තොරතුරු - (වැරදි තොරතුරු ගොඩක් සංක්‍රමණය වෙන නිසා මුහුණු පොතේ මේ ටික ඉක්මනින් ඇඩ් කරන්න හිතුවා...)

වෛද්‍ය නිර්දේශය මත ඩොක්සිසයික්ලින් 200 mg බොන්න ඕනේ...සතියකට එක වරක් ! වතුරට බහින්න දවස් 3 කට කලින් හෝ වතුරට බැහැලා දවස් 3ක් ඇතුලත මේක බොන්න ඕන.
ඒ ඩෝස් එක සතියකට එක වරක් පමණයි ඒකත් වතුරෙන් මිදුනම නම් දිගටම බොන්න ඕනෙ වෙන්නෙ නෑ.
දවස් 3 කට වඩා වතුරේ බැහැලා උන්නා නම් දැන් ඉතින් වැඩක් නෑ බීවට කියලා තමා කීවේ....
ප්‍රෙග්නන්ට්/ගර්භනී අය, අවුරුදු 12 ට අඩු ළමයි සහ කිරිදෙන අම්මලා... කලින් අසාත්මික තා තිබුන අය ... ටෙට්‍රාසයික්ලින් කියන බෙහෙත් කාණ්ඩයට අසාත්මිකතා තිබුනු අය ඩොක්සි බොන්න එපා

ඩොක්සි ගන්න බැරි අය මොකද කරන්නේ ? එයාලට නිර්දේශ කරන්නේ ඇසිත්‍රොමයිසින්... azithromycin ඒක 500mg මිලිග්‍රෑම් දවසට එක වරක් දවස් 3ක් සතියට සැරයක් තමයි නිර්දේශය . හැබැයි මේකත් ගර්භනී මව්වරුන්ට හොඳ නෑ.... පොඩි දරුවන්ට ඔය 500mg දෙන්න යන්න එපා.. අවුරුදු 12 අඩු දරුවන්ට ඕනෑම බෙහෙතක් දෙන්නේ බර අනුව.. ඒ නිසා වෛද්‍යවරයෙක් හමුවෙලා දරුවාගේ බරට නියමිත මාත්‍රාව ඉල්ලා ගන්න.

හිතුමතේ බෙහෙත් ගන්න එපා... ඩොක්සි සයික්ලින් උනත් ! මේවාට කොහොමත් වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යයි. එනිසා ඕනෑම බෙහෙතක් ගන්න කලින් සෑම විටම වෛද්‍ය උපදෙස් ගන්න.

මෙසේ දැනුවත් කිරීමෙන් ඔබට මේ ගංවතුර තත්වය සමග වැඩියෙන් හිස ඔසවන රෝගාබාද ගැන වැටහීමක් ලැබෙනු ඇතැයි සිතේ...

වෛද්‍ය කඳවුරු සටහන් - ගංවතුර ආශ්‍රිත රෝගාබාද ගැන සුළු කෙටි විග්‍රහයක් !‍‍

සහන සලසන්නෙත් ජීවිත යුද්ධයක් අතරින් නිසයි මේ දේ ලියන්න පමා වුනේ... අප රෝහල වෙත එන පිරිස සහ අපි ඒ පෙදෙස්වලටම ගොස් ක්‍රියාත්මක කළ සේවා වලදී අපට වැටහුන කරුණු කිහිපයක් මේ... ඔවුන්ට අවශ්‍ය ආහාර ලැබෙන බව තේරෙනවා. නමුත් සනීපාරක්ෂාව ගැන වඩාත් සිතිය යුතුයැයි සිතෙනවා.

ශ්වසන ආබාධ - මා පරීක්ෂා කළ ළදරු ළමා සියල්ලන්ගේම තිබුනේ ශ්වසන ආබාධ උගුර ආශ්‍රිත සෙම් ගෙඩි තත්ව සහ හෙම්බිරිස්සාව නිසා නාසය අවහිර වීම වැනි බැරෑරුම් නොවූ තත්වයන්. පෙනහළු ආශ්‍රිත ඇදුම තත්වයන් තිබූ දරුවන් සිටියේ සුළුවෙන්.

මී උණ - ඩොක්සිසයික්ලින් ම ඉල්ලන පිරිසක් හිටියා- අවුරුදු 8ට අඩු දරුවන්ට දෙන්න එපා කියලා බොහොම තදින් කීවා. ඇත්තටම එහෙම තමා CDC එකෙන් කියන්නේ.. ඉතින් පොදුවේ දරුවන්ට දෙන්න එපා කියලත් , කිරිදෙන අම්මලාට මේවා බොන්න එපා කියලත් අර ෂෙයා වන පෝස්ට් වල දැම්මනම් හොඳයි නේද කියා සිතුනා

උණ - උණ තිබුන දරුවන්ගේ මව්වරුන් කීවේ අතට රස්නෙ දැනෙන්නේ කියලයි... ඔවුන්ට උණ මැනීමට උණ කට්ටක් තිබුනේ නෑ. ඉන්පසු අපි කළේ එක් එක් කඳවුරට උණ කටුව බැගින් ලබා දීම ය. උණ බලා එය 98.4 F- වැඩි අගයක්නම් පැරසිටමෝල් දෙන ලෙස ය. එනිසා උණ කටු ඔවුන්ට ලබා දීම අත්‍යාවශ්‍ය යැයි සිතේ.. වැහි බීරම සීතල පරිසරයකදී කොහොමත් ඔතා ඇති ළදරුවන්ගේ ශරීර උෂ්ණත්වය අත තියා බැලුවොතින් වැඩි නිසා ය. පැරසිටමෝල් නිරපරාධේ දරුවන්ට දෙන එක සුභදායක නොවන නිසා ය.

තුවාල - තුවාල ඇති අය බොහෝය. දෙමාපියන් කියන්නේ වතුරේ නටනවා එහෙ මෙහෙ යනවා, තුවාල කරගන්නවා කියාය. තුවාල හොඳවීමටනම් මුළින් දරුවන් වතුරෙන් මුදවා ගත යුතුයි. ඒක අමාරු බව දන්නවා නමුත් වැසිකිළි වලවල් පවා උතුරා ඒවායේ අපද්‍රව්‍යද මිශ්‍රවී ඇති නිසා මේ වතුරේ දියබුං ගසමින් නෑම නම් යෝග්‍ය නොවේ. පෙවෙන එකත් හොඳ නැත.

Rash , දද කුෂ්ඨ - පොදුවේ තිබුනු skin rashes දද කුෂ්ඨ , දාඩිය බිබිලි සහ වතුරේ බැස සිටි නිසා කැසීම් තිබුනු අයට aqueous cream ලබා දුන්නා... කොන්ඩිස් දමා සෝදන්න කියා කීවා...පුස් සහ බැක්ටීරියා වලට විරුද්ධව ක්‍රියාකරන ක්‍රීම් වර්ග තිබුනේ සුළුවෙන් නිසා එක ටියුබය බෙදා දෙන සිදුවුනා...

බඩ එළියේ යෑම - ඩයරියා හෙවත් බඩ එළියේ යෑම වැනි තත්ව ද තිබුනි...probiotics.. පාවිච්චි කිරීමට අපහසු, ඒවා නැති තැන් වලදී යෝගට් එකක් කන්න දෙන්න යැයි කීවෙමු.

වමනය - පාචනය , වමනය, බඩ එළියේ යෑම හිස ඔසවමින් සිටී... දරුවන් ඉක්මනින් විජලනය විය හැකි බැවින් අනාථ කඳවුරු වල සිටින මව්වරුන් දැනුවත් කිරීම වටී. බොහෝ දරුවන් රෝහල් ගත කරන විට අධික ලෙස විජලනය වී තිබුනි.
වමනය යෑම බොහෝ දරුවන්ට තිබුනි. ඒ කෑම බීම නිසා හෝ පෙර කියූ පරිදි වතුර පෙවීම නිසා විය හැකිය. ජීවනී වැනි දේවල් වලින් ලේසියෙන්ම විජලනය තත්වය පාලනය කරන්නට පුළුවනි.

වමනය කී වරක් ද? බඩ එළියේ යෑම කී වරක් ද ? සංයුතිය කුමක් ද ? ලේ හෝ රතු පැහැයට යමක් පිටවී ද? මෙවැනි ප්‍රශ්න වලට ටිකක් ලොකු දරුවන්ගෙන් නම් ඔවුන්ගෙන්ම සහ කුඩා දරුවන්ගේ නම් අම්මලාගෙන් උත්තර ලබා ගත හැකියි. බොහෝ දරුවන් සිටින්නේ ආච්චී හෝ පුංචිලා සමග ය. මව බොහෝ විට අප වෙත නො එන්නේ තව දරු පිරිසක් කෑම්ප් එකේ සිටින නිසා ය. ඉතින් මේ ආච්චිලා පුංචිලා දරුවන්ගේ සායන ඉතිහාසය නොදනී. අසාත්මිකතා allergies තියෙන්නේ මොනවාට දැයි නොදනී.

ප්‍රෝ බයොටික් පරිහරණය අපේ රටට අළුත් නොවුනත් එතරම් ප්‍රසිද්ධ නොවේ.... එයින් සිදුවෙන්නේ අපේ බඩවැල් තුල ඉන්නා හිතකර බැක්ටීරියා ( ආහාර ජීර්ණයට උදව් වන) අප ශරීරය තුලට දැමීමය. එයට හේතුව නම් බඩ එළියේ යෑමකදී බොහෝ විට සිදුවෙන්නේ අපට හිතකර අපේ බඩවැල් වල අභ්‍යන්තර ස්ථර ආරක්ශා කරන බැක්ටීරියා වර්ග අඩු වීමය. ඉතින් ඕනෑම වර්ගයක ප්‍රෝබයෝටික් නාමය යටතේ ඇති කැප්ෂුල් හෝ දිය කර සාදාගත හැකි සැෂේ පැකට් උදේ හවස පානය කිරීමෙන් ඇත්තටම වීශේෂ ඖෂධ නොමැතිව බඩ එළියේ යෑම නවතාගත හැකිය. යෝගට් වලද මේවා තිබේ.. ඇතැම් යෝගට් වර්ග වල ඒ ගැන සඳහන් වේ. බඩ එළියේ යන අයට, බැක්ටීරියා නාශක ඖෂධ ඉක්මනින් ලබා නොදෙන්නේ එහෙයිනි.

ජීවනී වැනි පානයක් විශේෂයෙන් සාදා දිය යුත්තේ විජලනයෙන් සහ ලවණ ඇඟෙන් පිටවීම වැලැක්වීමටය...පිරිසිඳු නටවා පෙරා නිවාගත් ජලය පානය කළ යුතුය.

මාස පහ හෝ හයට වැඩි ළදරුවන්ට ළදරු කිරිපිටි දෙන්නේ නම් ඔබ පාවිච්චිකරන ළදරු බෝතල් හොඳින් තම්බා ගත යුතුයි. ඒ සඳහා පහසුකම් නැත්තේ නම් සකස් කර ගත හැකි බත් කැඳ සහ පෙරහන් ගා ගත් කැබළි ආහාර දෙන්නේ නම් වඩා හොඳය. අපිරිසිඳු බෝතල් යොදාගැනිම නිසා ළදරුවන්ට දරුවන්ට බඩ එළිය පාචනය වැනි දෑ බෝ විය හැක. එනිසා ඔබ මව් කිරි දෙන්නේ නම් එය දිගටම කරන්න. පිටි කිරි දෙන්නේ නම් බෝතල් ජීවානුහරණය (sterilizing ) සහ තම්බා ගැනීම වැනි පහසුකම් ඇති තෙක් එය නවතා මව් කිරි පමණක් සෙසු ආහාර සමග දිය යුතුය...

වතුරේ විෂ - වතුරේ වැඩි කාලයක් සිටීම නිසා වැඩිහිටි තරුණ මහළු දුවා දරුවන් සැමගේම ඇඟිලි කරු වණවී කසන්නට පටන් ගෙන ඇත. එම වතුරේ දණක් උසට ගමන් කළ අපගේද කකුල් කසන්නට පටන්ගත්තේ ඒ ආවේ ගඟේ වතුර පමණක්ම නොවන නිසා ය.
එයට විවිධ අපද්‍රව්‍ය කුණු එක් රැස් කරන කුණු කඳු සහිත පෙදෙස් වලින්, අසූචි මුත්‍රා ඉවත් කරන වලවල් වලින් ආදි බොහෝ අපද්‍රව්‍ය එකතු වී තිබේ... එනිසා දරුවන්ට අපි යන වෛද්‍ය කඳවුරු සියල්ලකදීම වතුරේ නැටුවොත් මේ දේවල් වේ යැයි බිය වැද්දීමක් කරන්න යැයි මව් පියන් ඉල්ලති.... අපි හැකි පමණ උපදෙස් දෙන්නෙමු. දරුවන්ට වතුරේ සෙල්ලම් කරනන් දෙන්න එපා !

වෛද්‍ය බෝධිනි සමරතුංග
Article By Dr. Bodhini Samaratunga

Friday, May 19, 2017

අපි තවම රැවටෙනවා !

මට මතක දෙදහස් දහය මැයි මස... හා පුරා උතුරට ගිහින් හිටියේ, ඒ වෙද්දිත් රෝහල පුරාම ආයුධ අතින් ගත් සොල්දාදුවන් සිටියා.

මුහුණ නොබලන අත් අඩංගුවට පත් ත්‍රස්තවාදීන් සමග මුහුණ බලන් කතා කරන්න සිදුවෙනවා. අත අල්ලා නාඩි බලා රුධිර පීඩනය පවා මනින්න සිදුවෙනවා. සුළු සේවකයා කිහිප ගමනක් සැර දැමූ පසු ඔවුන් අවනත වෙනවා. සමහරු මුහුණ අනික් පස හරවාගෙනම ඉන්නවා ඕනෑ දෙයක් කරපුදෙන් වගේ. ඔය අතර හෙදියක් මට කියනවා, "අහවල් කෙනා පිහියක් තියන් ඉඳලා අපට අනින්න. ඒ වුනත් අපේ කරුණාවන්තකම හමුවේ අදහස වෙනස් කරගෙන" කියලා.
තවත් එඩිතර මිස් කෙනෙක් ඒ පිහිය ඉල්ලගෙන එනවා. ඒ අත් අඩංගුවට පත්වෙච්ච ත්‍රස්තයින්.
ඔවුන් මෙන්ම අයි ඩී පී හෙවත් internally displaced people, තමන්ගේ උපන්බිම් වලම සරණාගතයින් බවට පත්වෙච්ච පිරිසක් සිටියා. ඔවුන් ද විටෙන් විට රෝහල් ගත වෙනවා.

මනෝ වෛද්‍ය සායනයේදී අපට මැණික් ෆාම් නමින් හැඳින්වූ ඒ ප්‍රදේශයට ද යන්න සිදු වෙනවා. එහෙම දුර යන හැම වරෙකම, වාහනේ ඉස්සරහම සීට් එක මට ලැබෙනවා. හේතුව මම එකම සිංහල වෛද්‍යවරිය වීමයි.රෝහල් කාර් යය මණ්ඩලය සමග යන විට අපේ විශේෂඥ වෛද්‍යවරයා පවා පසු පසට නගින්නේ "වාහනය චෙක් කරන්න නැවැත්තුවම අපේ මේ ඩොක්ටර්ගේ හිනාව නිසා, පොඩි කතාබහකින් පස්ස්සේ අපිට ඒ දේ මගහැර ඉක්මනින් යා ගන්න පුළුවන් " කියලයි. ඔව් ඒක එහෙම තමා, අපිව උනත් නැවැත්තුවම "ඉන්නෙ කොහෙද කොහොමද ඩොක්ටර් කියමින් අපේ හැඳුනුම්පත් පරීක්ෂා කරද්දී අපි මහ රෝහලේ කියන පමාවෙන් හරි යන්න ඩොක්ටර් කියමින් අපේ වාහනයට ඉඩ දෙනවා.

war happens when language fails ! මම ඔවුන්ගේ බස ඉගෙන ගන්නවා... කථා කරනවා.

එම සායන වලට යන අප හමුවේ දුක් දොම්නස්, කඳුළු ගංගා ඇද හැලෙනවා. බෙහෙත් අහුරකින් ඔවුන්ගේ කරදර ලෙඩ දුක් සියල්ල සුව වේ නම් කියා සිතූ වාර අනන්තයි.
යුද්ධය අවසාන වූ වා යැයි මේ දිනවල සැමරුම් හෝ මතක ලියැවීම් බොහෝ ය. ඒ ගැන කල්පනා කරද්දී, යුද්ධය අවසාන වුන එක ගැන, ත්‍රස්ත ක්‍රියා නැවැතුණු එක ගැන මට සිතෙන්නේ කුමක්දැයි මා කල්පනා කෙරුවෙමි.
ත්‍රස්තවාදී ස්වභාවයට තිත තැබූ, අවුරුදු 30ක් අප රට ආර්ථික සාමාජීය සහ ජනබෙදීම් යන ආගාධයට ඇද දැමූ මේ කුරුරි යුද්ධය නොවී නම් අප රට කොයි තරම් දියුණුවක් ලබා ගත හැකිව තිබුනේද ? රටට ආදරය කරන මිනිසුන් පිරිසක් යාන්ත්‍රණය හැසිරුවානම් මේ රට කොයි තරම් ඉහළට ගොස් තිබෙන්නට ඇති ද? මට කල්පනා විනි.

ඔව් මට පුළුවන් ඒ ගැන ලියන්න !
ඒ මා ඔවුන්ගේ දුක දරමින් ඔවුන් සමග ඔවුන්ගේ එකෙක් වෙමින් ජීවත් වුන නිසා !
ඒ නිසා මම කියමි,
දරුවනි , යුද්ධ නොකරන්න ! එහි වීරකමක් නැත. යළිත් අප උතුර දකුණ බෙදන්නට අර අඳින දේසපාලකයින්ට කියා දිය යුතු පාඩම එයයි. 

අවුරුදු ගණනාවක් ත්‍රස්ත ළමා සොල්දාදුවන් , ත්‍රස්තයින් සමග සංහිදියාව සහ පුනුරුත්ථාපනය පිළිබඳ උතුරේ සිට වැඩ කළ මා මෙන්ම මම එක් අවස්ථාවක ලියූ කථාවක සඳහන් එම දරුවන් තාත්තා යැයි හඳුන්වන හමුදා නිළදාරී මහත්මයා පැවසුවේත් මේදේ මය. "මගේ දරුවන් හා මේ දරුවන් යුද්ධ නොකරන අනාගතයක් හැදීමයි මගේ අරමුණ" ඔහු කීවේය.

යුද්ධය වීරකමක් නොවේ. ඒ බව මම ද දන්නෙමි.
 යුද්ධයේ ජයග්‍රහන සැමරුම් නැත. වැලපීම්, අහිමි වීම් සහ සුනු විසුණු වීම් බහුලය.
බොරු කකුල හෝ දෙකම ගලවා දරුවන් ප්‍රසූත කල දමිල අම්මාවරුන්ට උර දී ඇත්තෙමි, කලපුවෙන් එපිටට සොල්දාදුවන්ගේ කරමතින් පැමිණ දරුවන් ප්‍රසූත කළ අම්මලා මුණ ගැසී ඇත. මිනිස් පළිහක් මෙන් ඔවුන් බොහෝ කරදර මතින් ගෙවුණු කාලය ගැන මට බොහෝ කතා කියා දුනි. 

යුද්ධයේ ජයග්‍රහන සැමරුම් නැත. වැලපීම්, අහිමි වීම් සහ සුනු විසුණු වීම් බහුලය.
එකම වාට්ටුවේ දෙපස රණ විරුවත් ත්‍රස්තයත් ඩෙංගු උණෙන් බැට කෑ අවදියක ඔවුන් දෙදෙනාම කියා දුන් පාඩම වුනේ එයයි. මහ උන් ගේ ඊළමට ළමා විය අත හැරුණු ගීතා පැවසූයෙත් එයයි.

එදා උන් අප බිම දිනා දුන් නිදහස නොවේ නම් අදත් ගීතලා වැනි දහසක් දරුවන් ආයුධ අත දරන් මැරී වැටෙනු ඇත.

"මම අළුත්ම දකුණු ඉන්දීය ෆිල්ම් එකේ ලිරික්ස් කළා අක්කා" කියමින් මට ඉන්බොක්ස් පණිවුඩ එන්නේ නැති වේවි. ඒ වෙනුවට ඒ දක්ශ සංගීත/ කවි රචකයා ආයුධ අත දරා මිය ඇදී තිබෙන්නට ඇති...

එදා විරුවන් ජීවිත පරදුවට තියලා ත්‍රස්තවාදය නැති කරේ නැත්නම් "අක්කේ මම ප්‍රින්ටිං ප්‍රෙස් එකක් කරනවා" මට ඉන්බොක්ස් පණිවිඩ නො ඒවි. 

එහෙනම් දෙදහස් එකොළහේ ඔවුන්ගේ කලා සංගමයෙන් සාහිත්‍ය කවි කතා පොත් ලියැවේවිද ? පොත් පිළිගැන්වීමෙන් පස්සෙ වැල්ලවත්තේ තෝසෙ කඩේක එකට හිඳ තෝසෙ කන්නට හැකි වේවිද ?
ඔවුන්ගේ කවි පොත නිසා ඔවුන්ගේ මනස සෑදීම නිසා ඔවුන් සාර්ථක වූ නිසා බැනුම් අහපු කෙනෙක් අපේ විශේෂඥ වෛද්‍යතුමා, ඒ යුද්ධයෙන් ජීවත් වූ පිටරට හිටි ඩොලර් කාකන්ගෙන්, ඩයස්පෝරාවෙන්. තවමත් ඔහු ඒ ප්‍රදේශවල සේවය කරනවා. මිනිසුන්ගේ මනසට බෙහෙත් කරන්නේ පෙති වලින්ම පමණක් නොවන බව අපට වඩ වඩාත් ඒත්තු ගැන්වූයේ ඔහුය.

එදා මළ මිනිසුන් මෙන් සිටි අප අද නිල් අහස බලා පියඹන්නේ යැයි කවි ලියූ ඔබලා ගැන මම අද බොහෝ සතුටු වෙනවා. ඒ ඔබට අහිමි වූ ජීවිත් වීමේ නිදහස නැවත ලැබුණු නිසා. 
කඩතොළු සහිතව හෝ එය මිය නොගිය නිසා.

" අපි රැවටුනා ඩොක්ටර් " තමිලිනීට කලින් ඒ සත්‍ය වටහාගත් අත පය වාරු නැති හිටපු ත්‍රස්තයින් පැවසූයේත් එයයි.
අද මා ලියන්නෙත් එයයි.

දෙපැත්තෙම අපි තවම රැවටෙනවා ! 

Sunday, May 14, 2017

වතුකරයේ දෝංකාරය...

නාගම්මා හෙමි හෙමින් සාරිය අඳිමින් ලෑස්ති වුනේ ගමේ යන්නයි. ඒත් ඇයට යන්නට කිසි ප්‍රියතාවයක් තිබුනේ නෑ. කොඳු ඇටයේ ප්‍රශ්නයට අඳින ගර්ඩල් එකත් ඊට උඩින් සාරියත් පටලවාගෙන ඇය වතුකරයේ ඇගේ නිවස වෙත යන්නේ, ක්ලිනික් කාඩ් , එක්ස් රේ කොළ රැගෙන නැවත පැමිණීමටයි.
"මම නෝනා ළඟ මැරෙනකම් වැටිලා ඉන්නම් දුව ළඟටනම් යන්න බෑ" ඇය මගේ මව හා පවසයි.

නාගම්මා මෙහි පැමිණියේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කිරීමට ය. නමුත් මා සහ මගේ මව දුටුවේ, ඇය කොන්දේ අමාරුවකින් පසුවන බවය. ඇගේ අමාරුකම් නිසා අප බර වැඩ නොකරන ලෙසත්, සුළු වැඩ කරන ලෙසත් බර උස්සන්නේ නැතිව ඉන්නා ලෙසත් නිතර කියමින් ඇගේ අමාරුකම් අඩු කරන්නට යුහුසුළු වුනා. මගේ මව ඇයට කොඳු අමාරුවට තෙල් බෙහෙත් පවා ගාන්න යැයි දෙමින් මා ලව්වා ද බෙහෙත් ගෙන්වා දුන්නා. ද
"දුව ගහනවා බනිනවා, හම්බ කරලා සල්ලි එවපන් කියනවා" අනෙක් මෙහෙකාරිය වන ඇගේ ගමේම කෙනෙක් වන තරුණිය අප හමුවේ පැවසීය. "මම බැන්නා දුවට ෆෝන් එක අරන්, අත පය හොඳට තියෙන උඹෙ මිනිහට කියලා හම්බකරගනින්, මේ කොන්ද කැඩිච්ච වයසක ගෑනිට ඉන්න දෙන්න , කොන්දක් නැද්ද ඔය ගෙදර මිනිස්සුන්ට" කියලා.
දරුවන්ගේ දරුවන් ඔසවා බලා කවා පොවා ඇති දැඩි කළ නිසා කොන්දේ අමාරුව යැයි ඇය පවසයි. නමුත් ඔවුන්ට නහින දෙහින කාලේ වුව ද නිදහසේ ගත කළ නොහැකි ය.
වතුකරයේ බහුතරයක් පිරිස කම්කරුවන් ලෙස ද, මෙහෙකරුවන් ලෙසද සේවය කරති.

අප හමුවේ නිරන්තරයෙන් මෙවැනි කතා දිග හැරේ. බොහෝ වයස්ගත අම්මලා තාත්තලා හරි හම්බ කරන්නේ තවමත් තම දරුවන්ට මුණුපුරන්ටය. ඔවුන්ව කොළඹ රටේ රස්සාවට පිටමං කරන්නේ අත පය හතර හොඳින් තිබෙන වැඩුණු දරුවන් ය.
එක්කෝ තිබෙන්නේ වත්තේ දළු කැඩීම ය. නැත්නම් මෙවැනි මෙහෙකාරකම් සොයා පැමිණීම ය. මෙහෙකරුවන් ගෙන එන අයවලුන් යැයි පිරිසක් ද මේ ගම් වල සිටිති. තැරැව්කරුවන් මෙන් ඔවුන්ද රුපියල් පන්දහසක් හෝ දහ දහසක් එක් මෙහෙකරුවෙක් සැපයීම් වෙනුවෙන් ලබා ගනී. ඇතැම් අය ගෙන එන්නේ ලෙඩ ගානේ ඉන්නා ගෙවල් වලට බරක් වූ වයස්ගත වූවන්‍ ය. ඔවුන් පැමිණි විට ඔවුන්ගේ සියළු ලෙඩ දුක් කරදර වලට බෙහෙත් හේත් කරන්නටද සිදුවේ.
මගේ මවට නම් මා සිටින නිසා මෙහෙම පැමිණෙන අය ගේ බෙහෙත් හේත් කිරීම් ආදිය පහසුවේ. මම ඉතින් ඔවුන්ට අපේ රෝහලේ ක්ලිනික් කාඩ් සාදවා සියළු රෝගාබාද වලට බෙහෙත් හේත් සහ රසායනික පරීක්ෂන පහසුකම් සියල්ල සිදුකර දෙමි.
තවත් පිරිසක් වන්නේ තනිව දරු බර දරන සැමියා අත් හැර දැමූ ගැහැණුන් ය. ඔවුන්ද කීප දෙනෙක් නොයෙක් වර අප වෙත මෙහෙකාරකම් කරන්නට පැමිණියෝය.

ඉන් එකියක් වන සීලා, දරු තිදෙනෙක්ගේ මවකි. ඇය දරුවන් තම මවට බාරදී පැමිණ තිබුනේ ඇගේ සැමියා යැයි අපට හඳුන්වන ලද මිනිසෙක් සමග ය. පසුව ආරංචි වුනේ සැමියා ඇය අත හැර තවත් බාල වයස්කාර කෙල්ලක හා පවුල් කන බව ය. නිරන්තරයෙන් පොලිසීවල පැමිණිලි කරන ඔවුන්ගේ කලබගෑනි වලට ගමේ යන්නට ඕනෑ යයි නිවාඩු ගන්නා නිසා ඇය ගේ සේවය අත් හිටවන්නට සිදු වීනි.
තව කෙනෙක් පැමිණියේ... "මිනිසුන් හා නිදියලා හරි මට සල්ලි හොයන් වරෙන්" යැයි පැවසූ බීමත් සැමියාගෙන් බේරීම සඳහා ය. ඇය උපයන සියල්ල හූරා කෑවේ ඒ මිනිසාය. දරුවන් තිදෙනා නැන්දම්මා ළඟ දමා පැමිණි මේ අයගේ කඳුළු ගංගා අප හමුවේ ගලා යයි. අපි සංවේදී වී බොහෝ උදව් උපකාර කරමින් ඔවුන්ගේ දුකට පිහිටවන්නට හැකි සියළු උදව් කරන්නෙමු.

මේ එන කිසිවෙකුත් රැකියාවක් ඕනෑ යැයි ඕනෑකමින් නොපැමිණෙයි. ඔවුන්ට ඕනෑ මදකට හෝ සල්ලි ස්වල්පයක් සොයාගෙන ඔවුන්ගේ වත්මන් ප්‍රශ්න වලට තාවකාලික විසඳුමක් ලබා ගැනීමට ය.
ඇතැමෙක් එන්නේ මසක් හෝ දෙකක් වැඩ කර සල්ලි කීයක් හරි හම්බ කරගෙන තැරැව්කරුවන් හරහා තව කොහේ හෝ වැඩක් සොයා ගැනීමටය. තැරැව්කරුවන්ටද එය කදිම ය. ඔවූන්ට මසකින් දෙකකින් ආයෙත් සල්ලි උපයා ගත හැකිය.

එහෙත් රැකියාවක දැඩි ඕනෑ කමින් පැමිණි එක් දරු මවක් වන සුසීලා තවමත් අප හා රැඳී සිටී. ඇගේ කතාවත් ඉතා දුක්බරය. සැමියා ඇය අත හැර ගොසිනි. දරුවා වැඩෙන්නේ කුඩම්මා ළඟ ය. විටින් විට දරුවා අසනීප වේ. ඒ අර කුඩම්මා කන්න බොන්න නොදී සිටීම හෝ පිළුණු ආහාර දීම, කොහේ හරි තනිව ඇවිදින්නට ගිහින් වැටී තුවාල වීම වැනි දේ හරහා ය. මා ඉතින් එවිට එහි දිසා රෝහලට කෝල් දමා සුව දුක් විමසා මෙහෙන් මේ කෙල්ල යන තෙක් දරුවා ගැන සොයා බලන අතර මසකට සැරයක් ඇය එසේ දිව ගොස් පැමිණෙයි.
ඒජන්සි කරුවෝද නොයෙක් නූල් සූත්තර කාරයන් ය. අප්‍රිය සහගතම කොටසකි. අප නම් එක් වරක් එලෙස ඒජන්සියක සහය පැතුවද ඔවුන් ලබා දුන් කෙනා කළේ මට අරක බෑ මේක බෑ, මෙහෙම බෑ කියමින් අයිස්ලන්තයෙන් බට අයෙක් මෙන් සිටීම ද, ගෙදර නොයෙක් ප්‍රශ්න කියමින් ගමේ යෑම ද වේ. අන්තිමේ අප ඇය ද ඒජන්සියද අමතක කර දැමුවේ නැවත ඒවායින් කිසිවෙක් නොගන්නේ යැයි අදිටන් කරමිනි.
(නම් ගම් මනංකල්පිතය)

Saturday, May 6, 2017

දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු - 2

මතකනේ බෑග් පැක් කරන් ගෙදර යන්න හිතපු සිද්ධිය.... ඒකේ ඉතිරිය ලියන්න ටිකක් වේලා ගතවුනා.
මේ පළමු කොටස https://anithkona.blogspot.com/2017/04/blog-post_29.html
 දැන් ලියන්න හිතුවේ එදා නවත්තපු තැනින් ඉස්සරහට...
මතකනේ අපට එන්න කීවා ... විශේෂ මීටිමක් කියලා.
අපි රැස්වීම් ශාලාවට යද්දී, ලොකු ලොක්කන් සියලුදෙනා රැස්වී සිටියා. ඔවුන්ගේ මුහුණු ඉතා බැරෑරුම් බොහොම කරදරකාරී ස්වභාවයක් පෙන්නුම් කළේ.
එහි ඉඳන් ඉන්න අපේ සගයන්ගෙන් මොකද කියා ඇහුවම "ඇයි දන්නැද්ද ? පෝස්ටරෙ ගැන" වගේ දේවල් ඇහුවා. වාට්ටුවල සිටි අපි කාටවත් ඒ ගැන කිසිම වැටහීමක් තිබුනේ නෑ.

ඒ එක්කම
"අපි එන්න කීවේ විශේෂ ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා, " පාලක තුමා බොහොම සීරුවට වචන එකතු කළා
"අද උදෑසන වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ... (තනිකඩ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරියන්ට වෙනම නේවාසිකාගාර දෙකක් පැවතියා. පවුල් වුන අයට නම් ගෙවල් දී තිබුනා)"ටිකක් විශාල දමිල බසින් පරිගණක අකුරු ලියනය කරවන ලද ඒ 4 සයිස් කොළයක් පෙන්වමින් ඔහු පවසන්නට වුනා.
ඔව් එදා උදෑසනම තනිකඩ වෛද්‍යවරු ඉන්න නේවාසිකාගාරයේ ප්‍රධාන දොර හරිද්දිම එහි දොරේ අලවා තිබුණු පෝස්ටරයේ මෙසේ ලියැවී තිබුනාලු... අවුරුදු ගණනාවක් මේ පළාත් වල වර්ජනයක් තිබුනේ නෑ, සිංහල වෛද්‍යවරු ආවම තමා වර්ජනය කළේ. වහාම සිංහල ම්ලේච්ජ දොස්තරලා මෙහෙන් පිටවෙලා යන්න නැත්නම් අපි කරන දේ බොහොම දරුණු වෙයි.

 ඒක පට්ටපල් බොරුවක්. මම මීට අවුරුද්දකට කළින් මීට පහළින් තිබුණු මහ රෝහලේ වැඩ කරද්දිත් වර්ජන කීපයක් දියත් උනා, අනේ මේ රෝහලත් ඒවට එකතු උනා.
"සිංහල ම්ලේච්ජ දොස්තරලා ගෙදර පලයව් " මෙන්න මෙහෙම අන්තිමට ලියා තිබුනා.

නිවාඩු ගන්නේ නැතුව යන්නේ නැතුව එක දිගට සේවා මුර අතිකාල ගෙවීම්වලටත් වැඩියෙන් වැඩ කරමින් අපි මෙහෙ කන කට්ට එක්ක බැලුවම මේක  කියවද්දි බොහෝ අය අත් කම්මුල් වල තියාගෙන oh my god, අනේ අපොයි, ඕහ් කියමින් කම්පා වුනා.

මේක නම් කොහෙත්ම ඊයේ බෙහෙත් ගන්න ආපු කෙනෙක්ගේ වැඩක් නොවේ. මොකද, මාතෘ සායනය මානසික සායනය පැවැත්වූවා. බාහිර රෝගී අංශයේ අයත් ඒවගේම අමාරුම ලෙඩුන් හදිසි සත්කාර ඒකකයට අරන් බෙහෙත් දී ඩිස්චාච් කර තිබුනා. ඉතින් අපහසුවකට කියා පත් වුන කෙනෙක් හෝ දොස් කියමින් හැසිරුණු කෙනෙක් එහි සිටියේ නෑ.

දමිළ ජාතික විශේෂඥ වෛද්‍යවරියක් වෙව්ලමින් කතා කරන්නට වුනේ " කවුරු නමුත් ඊයේ සිද්ධියෙන් දේශපාලනික ප්‍රශ්නයක් ඇති කරන්න යන්නේ. මේ වන්නියේ හදවත, මෙහි නැවත ප්‍රශ්න ඇති වුනොත් ඒක ජාත්‍යාන්තරයට යන්නේ වෙනත් මුහුණු වරකින්. කාටද මෙහෙම ලියන්න පුළුවන්, මේ සිංහල දමිළ මුස්ලිම් ඔක්කොම වෛද්‍යවරු ඉන්නවා, සිංහල පිරිස වැඩියි තමා නමුත් කිසිම රෝගීන් හෝ වෛද්‍යවරුන් අතර මේ වන තෙක් කිසිම ආරවුලක් සිදු වෙලා නෑ." ඇය බොහෝ දුක් වුනා.
මෙහෙ පිරිස සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රශ්නයකදී වෛද්‍ය අධිකාරී වෙත යෑමට පෙළඹුනා. එනිසා මේක රෝගියෙක් හෝ රෝගීන් විසින් කරන ලද්දක් නොවන බව වැටහුනා.
එහෙත් අර අච්චර බරපතල ලෙස මුරදමාගෙන ඉන්න රෝහල් මුර උන්නැහේලාගේ ඇස් වහලා නේවාසිකාගාරයට පැමිණ දොරක මෙවැනි දෙයක් අලවන්න නම් ඇතුලෙන් උදව්වක් තියෙන්න ඕනෑ ය කියලත් හිතුනා.
ඒවගේම මේ වර්ජනය දියත් වුනේ දෙස්පළුවෙක්ට විරෝධය පාන්න නිසා ඔවුන්ගේ මැදිහත් වීමකුත් ඇති යැයි සිතුනා.

ඉතින් ඔය ඔක්කොම අවසානේ ඇත්තටම ජීවිත බියක් නාවා නම් ඔබ පුදුම විය යුතුයි. දැඩි නිහඬ බව සමග අප හිටියේ කරන්නෙ කුමක්දැයි සිතමිනි. අපේ නේවාසිකාගාරයේ නම් තනි කාමර පෙළක් දොරවල් ඇරෙන්නේ විවෘත කොරිඩෝවකටය. එහි අවසානයේ සින්ක් එකක් හයි කර ඇත.

 හාත් පස නිරාවරණය වෙන්නේ එපිටින් ඇත්තේ කැලෑ රොදක් මෙන්ම ගම්මානය ය. අප කෑම කා අත සෝදාගන්නත් , තේ බී කෝප්ප සෝදන්නත් එන්නේ මෙතැනටය. එතැන පමණක් එළිය වන අතර හාත් පස ඝණ කළුවර ය. ඉන් එක පසෙක ඇත්තේ පොදු වැසිකිළි නාන කාමර ය. මේ කොරිඩෝ දිගට නයි පොළොඟුන් පවා ඇදී යයි. ඇතැම් විට කකුලක සීතලට යමක් දැනුනොත් බලනව විට ඉන්නේ ඉතා කුඩා ගස් ගෙම්බෙකු ඇලවිලාය... ඉතින් මෙහෙම තැනක අපිට ජීවිත හානි වන යමක් කරන්න ඕනෑ ලෙස පුළුවන.
සමහරු කීවේ එක හෙලාම අප රෝහල අත් හැර යා යුතු බවයි. නමුත් මෙහි පැහැදිලිව ඇත්තේ පළිගැනීමක් සහ බැරෑරුම් යමක් සිදු කිරීම සඳහා කොනිති ගැන්වීමක් යැයි අපට එවෙලේ සිතුනේම නැත. බොහෝ දෙනෙක් හට කතා කරගැනීමටත් නොහැකි සේ භය බිරාන්ත වී සිටිනු දක්නට ලැබින.

"ඔයාලා ගන්න තීරණයක් කිසි ප්‍රශ්නයක් නෑ, නමුත් මේක ගැන කතා කරන්න තව පැය කිහිපයකින් , මේ ප්‍රදේශය භාර මූලික පුද්ගලයා එනවා. " විශේෂඥ වෛද්‍යවරයෙක් එහෙම කීවා. " අපි කෝකටත් බලමු එයාලා කියන්නේ මොකක්ද කියලා"
ඔය අතරේ දැඩි ලෙස කලබල වෙන අය පැවසුවේ, අනිවාරය‍යෙන් ගෙදර යමු කියා ය. හිතන්න වෛද්‍යවරු  40ක් පමණ බෑග් සියල්ල් පැක් කරගෙන රෝහලෙන් පිට වෙනවා. රෝහලේ වෛද්‍යවරු කී දෙනෙක් ඉතිරි වේවි ද ? මේ පළාත ගම් බිම් නිසා ඉන්නා 4ක් හෝ 5 ක් වැනි සුළු පිරිසක් ඉතිරි වේවි, විශේෂඥ වෛද්‍යවරු පවා  පිටවෙන්න සිදුවෙනවා ඔවුන් ද සිංහල  අය.
අප මෙහි සේවය කළ මේ කාලය පුරාවට සිංහල හෝ දමිළ යැයි බෙදීමක් ඇති වුනේ නෑ. දැන් අපට බෙදා වෙන් කර ඉතින් පලයව් කියා කියන්නත් පෙළඹිලා.
අන්තිමේ අපි වටහා ගත්තා රෝහලක් තනි කරනවා කියන එකේ බැරෑරුම්කම. ඒවගේම මේකෙන් රටේ තත්වයට වෙන හානිය. මෙහෙම දේවල් මීට පෙර ත් සිදුවී තිබුනා. ඒ වෛද්‍යවරයෙක් ත්‍රස්තයින් විසින් මරාදැමීමත් සමග උතුරු නැගෙනහිර වෛද්‍යවරුන් ඒ පළාත් වලින් ඉවත් විම වැනි සිදුවීමක්. මට දින වකවානු මතක නැත.
කොහොම උනත් ගෙවල්වල මිනිස්සු කලබල කරන්නේ නැතුව ඉමු කියලත් කතා වුනා. මොකද අපෙන් කිලෝ මීටර 700 පමණ ඈතින් ඉන්න ඔවුන් මෙවැනි දේකින් බොහෝ සේ කලබල වන බව අපි අත්දැකීමෙන් දන්නා නිසාය.

මේ අතර මේ ප්‍රශ්නය දන්වා සමථයකට පත් කරන්න මැදිහත් වුණු, හමුදා නායක තැන, කලබල වී බොහොම අවුලෙන් සිටි අප සියල්ලන් වෙත රාත්‍රී ආහාරය ගෙන එන්නත් අමතක කළේ නෑ. ඔහු අප සැම රැස් කර මෙහෙම කීවා.
"මේක මෙහෙ මනුස්සයෙක් කරා වෙන්න බෑ. එදා ආපු මිනිස්සුන්ට මේ වර්ජනයේ අරමුණත් බෙහෙත් ගන්න ආව අයට කරදරයක් නැතිව අවශ්‍යතා බලා කියා උදව් කිරීමත් සිදුවුන නිසා, මේ මිනිස්සුන්ට රෝහල ගැන මේ තරම් වෛරයක් එන්න විදිහක් නෑ. අනික ස්ට්‍රයික් කළේ සිංහල වෛද්‍යවරු පමණක් නොවෙයිනේ. මේක තනිකර කලබලයක් ඇති කරලා උතුර අස්ථාවරයි කියලා ප්‍රචාරයක් ගෙනියන්න කරපු දෙයක්. වෛද්‍යවරු රෝහලක් අත ඇරලා යනවා කියන එක උතුරේ යුද්ධෙ ආයෙ පටන් ගන්නවා වගේ දෙයක් අදහසින් ප්‍රචාරය කරන්නත් පුළුවන් මොකද මේක ඔවුන්ගේ හදවත. " ඔහු පැහැදිලි කළා.

"මේක ලොකු දෙයක් කරලා ප්‍රචාරනය වුනොත් වාසි වෙන්නේ මේකෙන් දේශපාලන වාසි හෝ තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න හදන අයට ම තමා. අසරණ වෙන්නේ මෙහෙ මිනිස්සු, රෝගීන්, මොකද ආයෙම වෛද්‍යවරු ගෙන්වා ගන්න බොහොම අමාරු වෙන්න පුළුවන් " ඔහු නැවත පැවසුවා.
අන්තිමේ මම අර පසුගිය කොටසේ කියූ ලෙස ත්‍රිවිද හමුදාව මැදිහත් වී, අපට ආරක්ෂාව දැඩි ලෙස පනවා, අපේ ජීවිත වගකීම ඔවුන් මත පවරා ගත්තා.
උදේ හවස හමුදා වලින් අවට සෝදිසි කිරීම් සිදු වුනා. අප වටා ආරක්ෂාවක් ඇති බව වැටහුනා. මීට පෙර රෝහලේ එලෙස හමුදාවෙන් සිටියේ නැත.
අපි ත් පෝස්ටරය ගැන සිදුවීම ගෙවල්වල යනකම් ඒ උදවියටවත් පැවසුවේ නෑ. මම නැවත දකුණට පත්වීම් ලැබ පැමිණෙන්නේ මේ සිදුවීම වෙලත් අවුරුදු 2කට පසුව.
ඒවනතෙක් කිසිම විටක අපිට මෙහෙම පෝස්ටරයක් හෝ කලබලයක් සිදුවුනෙත් නෑ. අපේ නේවාසිකාගාර මාරු වුනෙත් නෑ.
 හැබැයි අර කොරිඩෝවේ සින්ක් එකේ කෝප්ප හෝදනකොට හෝ අත සෝදාගන්න කට්ට කරුවල රාත්‍රියේ එන විට, රෝහලට රාත්‍රී වැඩ මුරයට යන්න වෙන විට, හදිසි අවස්ථා වල දෙවැනි රාත්‍රී සේවා වෛද්‍යවරයා ඕනෑ වී කැඳවීම් ලැබෙන විට අර පෝස්ටරය මතක් වී තිගැස්සීමක් ඇති වෙනවා.
ගෙදර පලයව් කීවට සිංහල දොස්තරලා ගියෙත් නෑ.... ආයේ එහෙම සිදුවීමක් සිදුවුනෙත් නෑ !

පසුව ආරංචි වුනා, එය දේශපාලන මැදිහත් වීමකින් ඇලවුණු එකක් බව !

Monday, May 1, 2017

සුබ ගමන් විචාරකතුමා !

විචාරක ...
අසමි හොයමි දකිමි... ඔන්න ඔහොම නමක් මම මුළින් දැක්කේ... 
මම ද අනවර්ථ නමකින් හෙමි හෙමින් ලියූ අනිත්කොන බ්ලොග් එකේ, හැම කතාවකටම වගේ ප්‍රතිචාරයක් දක්වන විචාරක මහතා ගේ ලියමන් තුලින් මා දැන ගත් දෑ බොහෝ ය. 
ඔහුගේ දියණියද වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලද බව සඳහන් කළා මතකය.
වෛද්‍ය රුවන් ජයතුංගයන් රචිත සංග්‍රාමයට පසු, පොත ගැන සඳහන් කරමින් මා මනෝවිද්‍යාත්මක පොත් පත් වෙත යොමු කළේ ඔහුය. 
නමුත්, පුද්ගලිකව මා ඔහු දැන හෝ දැක හඳුනගෙන නොසිටියෙමි.
ඔහුගේ ලෙඩ දුක් ගැන දැන ගත්තේ බ්ලොග් සම්මාන උළෙලෙහිදීය. දුරකථනය ඔස්සේ ඔහු පැවසුවේ ඔහු සමග කතා බස් කරන්නට එන ලෙසය. විදෙස් ගත වූ නිසා එය නොහැකි වු අතර මා පමා වූවා වැඩිය.
ඔහුගේ සුව දුක් විමසීමට කුරුණෑගල රෝහලට කතා කළ විට ඔහුගේම සිසුවියක් වූ දැනට එහි සිස්ටර් කෙනෙක් වන මහත්මියක් බොහෝ සෙයින් කුළුපගුවී කතා බස් කර ඔහුට ලැබුන සම්මානය ගැන ඔවුන්ද බොහෝ සතුටු වන බව පැවසුවා. දින තුනකට කළින් ඇය මා ඇමතුවත් මා විදෙස්ගතවී සිටින නිසා ඒමට නොහැකි බව මා දැන්වූවා.
බ්ලොග් ලියන පිරිසෙන් ඔහු වැනි. වැඩිහිටියන් ගැන මගේ ඇත්තේ ගෞරවයක් , නිරතුරු ඔවදන් දෙමින්, අප දිරිමත් කරමින් බොහෝ නිහතමානී ලෙස හැසිරුණු අයෙකි.
බොහෝ අය ප්‍රිය කරන චරිතයකි.
බ්ලොග් පිටුව හරවත්, දැනුම් සම්බාරයක් රැගත් තැනකි.
ඉතින් ඔබෙ නික්ම යෑමෙන් ඇති වුන හිඩැස මහත් සේ දැනේ.
ආයුබෝවන් විචාරකතුමා....විචා මාමා
we miss you !

Saturday, April 29, 2017

දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු !

"දැන් ඉතින් බෑග් පැක් කරන් ගෙදර යමු " කෙනෙක් එහෙම කියමින් කොරිඩෝවේ එහෙ මෙහෙ ගියා.
"එහෙම ගිහින් කොහොමද ? එතකොට හොස්පිටල් එක ?" තව කෙනෙක් විමසිලිමත් වුනා.
 "දැන් ඕගොල්ලො පරිස්සමට ක්වාටර්ස් එකට ගිහින් ඉන්න. ගෙදර යන්න ඕනෙ නම් ලෑස්ති වෙන්න" එහෙමත් කීවා කලබල වුන කෙනෙක්..

රෑ හතට විතර කෝල් එකක් එනවා මම දන්න නම්බර් එකකින්... අපේ පවුලේ හිතවතෙක් වන ඒ මහතා රැකියාව කළේ මේ ප්‍රදේශයේ බව දැනගෙන හිටියට කතා බහ කළාට ඔහුගේ තරාතිරම වත් මම දැනගෙන හිටියේ නෑ ඕන්.

"පුතා මොකක්ද හොස්පිටල් එකේ ප්‍රශ්නෙ ?"
"ආ අන්කල්ටත් ආරංචි වුනා ද ?" මම සිදුවූ දේ සහ දැන් තත්වය පැහැදිලි කරමින් , "මේ ප්‍රදේශයේ නායක නිලධාරී තැන එනවලු දැන් සාකච්ජාවකට,  ඔක්කොම ඩොක්ටර්ස්ලා එන්න ඕනෙ නෑ කියලා, අපිට කීව නිසා ආවේ නෑ. අර කට්ටිය රැස් වෙලා ඉන්නවා. අපි දැන් ක්වාටර්ස් එකේ"

"එතකොට ගෙදර ගියා කීවේ ඩොක්ටර්ස්ලා" ඔහු තවත් ප්‍රශ්නයක් ඇහුවා.

"මම හිතන්නේ කොහොමත් අද නිවාඩු යන්න හිටියේ ඔය කියන කෙනා සහ තව කෙනෙක්, ඒ දෙන්නා ඔය සුපුරුදු නිවාඩුවට ගියේ"
"මයි ගෝඩ්, කොළඹට නිව්ස් එක ගිහින් තියෙන්නේ ඩොක්ටර්ස්ලා හොස්පිටල් එක අත ඇරලා යනවා කියලානේ" මට සිනහා නැගුනි. කවුරු හරි ප්‍රශ්නෙ ලොකු බැරෑරුම් කරන්න හිතාන,  කියන්න ඇත්තේ,අපි මේවා අත ඇරලා යනවා කියලා වෙන්නැති... මෙවැනි සුළු දේ මහ දේවල් කරන පිරිස් නිසා ප්‍රශ්න කලබල සහ සටන් දක්වා පැතිරෙනවා කියලා නම් තේරෙනවා.

"මම ගේට්ටුව ගාව ඉන්නේ පුතා අපි ක්වර්ටර්ස් එක ළඟ නවත්වන්නම් එළියට එන්න"
"ආ අන්කල් අර සාකච්ජාවටද එන්නේ ? අර මෙහෙ ලොක්කා එනවා කීව"
"ඒ මම තමා" ඔහු කී විට, මට පුදුම සිතිනි ඔහු ඒ ගැන මින් පෙර සඳහනක් හෝ කර තිබුනේ නැත.

අඩේ.. මම දැනන් නොසිටිය මේ ප්‍රදේශයේ හමුදා ප්‍රධානියා ඔහුය. මෙතරම් නිහතමානී අයෙක් මා ජීවිතය පුරාවට දැක නොතිබිනි. ඒ ප්‍රදේශයේ පිරිස පවා ඔහු ගැන හරි පැහැදීමකින් සිටි අතර, ආරවුල් වලදී පවා හමුදා මූලස්ථානයේ සහය පැතූ අයුරු ගැන කතන්දර බොහෝ ය. අර අනාථ නිවාසයේ දරුවන් මාමා කියමින් දිව ඇවිත් වඩා ගන්නට අත් දිගු කළේ මොහුට ය. අනිත්කොන ට ඕස්ට්‍රේලියාවෙන් එවූ බඩු ගොන්නක්... මා එයින් මාරුවීම් ලබා ආවට පසුව ලැබුන නිසා, මා එහි නොසිටි නිසා,  ඒවා බාරගෙන බෙදා දී තිබුනෙත් මේ මහත්මයා ප්‍රමුඛ හමුදා පිරිසම ය.

හාත් පස වසා ගත් සැඳෑ කළුවරය, ගේට්ටුව අසල ඇති ලයිට් කණුවේ බල්බයෙන් මලානික එළියක් විහිදුවයි.
මම විගහින් ගේට්ටුව ළඟට ගියෙමි. ඩිෆෙන්ඩර් රථ දෙකක් පැමිණ, එකකින් බැස්සේ අපේ හිතවත් අන්කල් ය. ඔහු බසිනවාත් සමගම සෙබළු කිහිප දෙනෙක් බැස වට විය.

දැන් මේ කියවන ඔබ හැම හිතනවා ඇති මේ අලකලංචිය මොකක්ද කියලා. මම මෙතෙක් මේක නොලියා හිටිය කතා ගොන්නෙන් එකක්.  මීට අවුරුදු ගානකට කලින් වෙච්ච දෙයක් නිසා , දැන් ලීවට කමක් නෑ කියල හිතුනේ. අපි කලබල නොවූ නිසා මේ කිසිවකින්, කිසිම ආකාරයේ පුවතක් මැවුනේ නෑ. එනිසා ලෝක ප්‍රවෘත්තියක් වෙලා, රටේ අවුලක් ඇති කරන්නට පවා තිබුණු සිද්ධියක් ඉබේම නිවී ගියා.

අනිත්කොන කියන්නේ කොහොමත් ලෝක අවධානය ඉහළින්ම තිබුනු පෙදෙසක් නේ. ඉතින් මේ අනිත් කොනේ යුද්ධෙ ඉවර උනත් එක්ක එහි ගිය වෛද්‍ය බැටෑලියන් එක මම හිතන්නේ සීයකට වැඩී. මම අයිති උනේ එහි හදවත වගේ තිබුනු අග නගරේ මහ රෝහලට පත් වුනු 30ක වගේ වෛද්‍ය පිරිසකට.

සුපුරුදු පරිදි අපි ඉතින් වැඩ රාජකාරි වල යෙදෙනකොට, රෑ වාට්ටු වටයට පවා සියළු වෛද්‍යවරු එනකොට අපේ විශේෂඥ වෛද්‍යවරයත් දින කිහිපයක් බලලා කීවා " මොකද මේ හැමෝම හැම තිස්සෙම වාට්ටුවේ... ඔයාලා හැමෝම එන්න ඕනේ නෑ, හතරෙන් පස්සෙ රෑට ඔන්කෝල් එක්කෙනා හිටියම ඇති" කියලා

"අනේ සර් කාමරේ උන්නත් කරන්න වෙන වැඩක් නෑනේ. " ඔන්න ඕකයි අපේ උත්තරේ... අපිට වාට්ටුව නිකම් ගෙදර වගේ.

ඔය අතරේ අපිට ආරංචි වෙනවා, මීටත් උඩින් තියෙන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යාවරයෙක්ට, දේශපාලන බුවෙක් පහර දීලා කියලා... ඒකත් ඔය රෝහලේ ටෙන්ඩර් ප්‍රශ්නෙකට දෙස්පළුවෙක් අත පෙවිමක්ලු, ඒ වෙලාවේ ඒකට විශේෂඥ වෛද්‍යවරයා විරුද්ධ වෙලා. එතෙන්දි තමා ඔහුට දෙස්පළුවා පහරදීලා තියෙන්නේ.  ඉතින් මේකට විරුද්ධතාවය පාන්න ඊළඟ දවසේ මුළු ද්‍රිස්තික්කයේම රෝහල් වල වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක නිරත වෙන්න කියලත් අපට පණිවිඩයක් ආවා.

කොහොමත් ඔය වර්ජන කීවට රෝහලේ බාහිර රෝගී අංශයේ බෙහෙත් නොදෙන එක විතරයි වෙන්නේ. හැබැයි මේ රෝහලක වර්ජනයක් නම් පැය දෙක තුන බස් වල එන රෝගීන්, බොහෝ ඈත ඉඳන් රුපියල් සීයක් කුලී වැඩ කරලා හොයන් එන අසරණ රෝගීන් නිසා ඔවුන්ව රෝහල්ගත කරලා හෝ බෙහෙත් ටික දීලා යවන්නත් ක්‍රමවේද සකසනවා.

එදින උදේ සාකච්ජාවේදී අපේ ඒකකයේ (ප්‍රසව හා නාරිවේද) විශේෂඥ වෛද්‍යවරයා සහ අපි වෛද්‍යවරු තුන් දෙනා ට තිබුනේ ගර්භනී මව්වරුන්ගේ ක්ලිනික් එක. සතියට සැරයක් පවත්වන මේ ක්ලිනික් එකට සීයකට වඩා පිරිසක් පැමිණෙනවා. "මේක මිස් වුනොත්, අපිට ආයේ මේ අය හමුවෙන්නේ මාසෙකින්නේ... මේ ගොල්ලොන්ට එන යන දවස් නොකීවොත් සමහර විට අමාරු වෙනකම්ම එන එකකුත් නෑ. මාතෘ මරණ කීපයක් තමා සිද්ධවෙන්නේ , එනිසා මම නම් ක්ලිනික් එක කරනවා, මොකද කියන්නේ ඕගොල්ලො ?" සර් ඇසුවා.
"හරි , අපිත් ලෑස්තියි. " අපි තුන්දෙනාම එකඟ වුනා. කොයි තරම් ජිවිත සහ මරණ අතර අවධානම් ඇති ඒකකයක්ද කියනවා නම් ඇතැම් දිනක අපි එක දිගට පැය විසි හතරක් වැඩ කරන වෙලාවලුත් තිබුනා... ඒ පිට රෝහල් වලින් එවන හදිසි අවස්තා එක්කමයි. දවසක් උදේ ඉඳන් රෑ හය හත වෙද්දි...මාත් අනෙක් වෛද්‍යවරයාත්... සීසර් සැත්කම් දහයක් කර තිබුනා. ඇතැම් විට සහය වෙන්න වෛද්‍යවරයෙක් නැති නිසා හෙද හෙදියන් සමග සැත්කම් සිදු කළේ. අපේ විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ නිසා, කිසිම බියක් නැතිව වැඩ කළ කාලයක්.

සැත්කම් මේසය මට වඩා උස නිසා බොහෝ විට එයට යකඩ ආධාරකයක් මත සිටගන්න පවා සිදුවෙනවා. මම වැරෙන් ගැට දමමින් මසද්දී, "ඕවා ලේසියෙන් ගැලවෙන්නෙ නෑ ගෑණු ගැට නේ" කියමින් විහිළු කරමින් අප වෙහෙසකර තත්වයෙන් මුදන්නට පවා ඔහු අවට සැරි සරමින් උත්සහ කරනවා. අදටත් සැමරුමක් සේ මගේ දකුණු අතේ මැහුම් මහද්දී, ඉඳිකටුව රඳවන අඬුව වදින තැන ඇතිවුනු කරගැටය ඉතිරි වී තිබෙනවා.

ප්‍රසූතිකාගාරයේ වුනත් දිනකට දරු උපත් දහයක් වත් උපරිම සිදු වෙනවා, (හෝ ඊට වැඩී) ඉතින් ඒ හැමෝගෙම කැපුම් තුවාල මහන්නෙත් අපිමයි. මැහුම් එළියට නොපෙන්නෙන්න මහන්න උපරිම උත්සහය ගන්නා අපේ මැහුමක් ආසාධනය වෙලා මෙහි නැවත කිසිවෙක් පැමිණියේ නැත.
ඒතරම් දුෂ්කර අවධියක... අපිට වර්ජනයක් කරනවා කියන එක විහිළුවක් වුනා. නමුත් විරෝධතාවයක් ලෙස එය කළ යුතු වුනා.
අප එ නිසා සියළු ගර්භනී මව්වරුන් , අපේ වාට්ටුවට ගෙන්වා ගත්තා. මානසික රෝග සම්බන්ද වෛද්‍යවරයාත්, ඔහුගේ රෝගීන් බලන බව කීවා. ඉතින් අපි අපේ වාට්ටුව පිටුපස කොරිඩෝවට ගර්භණී මව්වරුන් ගෙන්වාගෙන, එතැන තිබූ ස්කෑන් රූම් එකේ ඔවුන්ව පරීක්ෂා කරමින් සායනය පැවැත්වූවා. වාට්ටුවේ මිස්ලත් මිඩ් වයිෆ් මිස්ලත් හරි හරියට උදව් වුනා.

මීට කළින් මා සේවය කළ මනෝ වෛද්‍ය වාට්ටු වලදිත් වැඩ වර්ජන වලදී අපි සායනය නම් අත හැරියේ නෑ. මනෝ ව්‍යාධියෙන් පසුවෙන පුද්ගලයින්ට එය තවත් බරක් සහ ප්‍රශ්න රැසක් නිසා අපි අපේ සායන පැවැත්වූවා. ඔවුන්ට ගෙදරින් පිටවෙන්න ඇති එකම කාරණයත් සායනය පැවැත්වෙන දිනය.. ඒවගේම ඔවුන්ගේ බෙහෙත් ටික ඒ අයට මාසයක් ජීවිතේ පවත්වාගෙන යන්න තියෙන අමෘතය වගේ. බොහෝ අය බෙහෙත් වලටම ජීවිතේ බාරදීලා හිටියේ. සමහරුන්ට සුව වෙන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. ඇතැම් විට රෝහල් ඖෂධාගාරයෙන් නිකුත් කරන සුපුරුදු බෙහෙතක පාට හෝ හැඩය වෙනස් වෙලා තිබුනත්, ඒ අය නැවත පෙති මුල් උස්සගෙන අපි ළඟට දුවන් එන පුරුද්දක් තිබුනා.

 රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් වුවද පැවසුවේ, නිසි සුදුසුම ආකාරයෙන් වර්ජන දිනයේ කිසිම නේවාසික රෝගියෙකුට හෝ හදිසි අවශ්‍යතා ඇති අයට අකටයුත්තක් නොවන සේ සේවය කරන්න කියා මිසක සේවය අත් හරින්න කියා නොවේ.

ඔයින් මෙයින් වර්ජනය පැවැත්වූ දින ගෙවුන නමුත් අපිට නම් එය සුපුරුදු පරිදි වැඩ රාජකාරි බහුල දිනයක් වුනා. පත්තර සහ මීඩියා වලින්ද බාහිර රෝගී අංශය වැඩ නැති බව වාර්ථාකර තිබුනා.
එනමුත්  පසුවදා වෛද්‍යවරුන් සියල්ලන්ට රැස්වීම් ශාලාවට රැස් වෙන්න කියා හදිසි පණිවිඩයක් ආවා.
ඒකත් වර්ජනය සම්බන්ධ මොකක් හරි වෙන්න ඇති කියලා අපි හිතුවේ....
ඒත් අන්තිමේ අපි හිතුවේ වත් නැති තරම් දරුණු දෙයක් අහන්න ලැබුනේ...
ඉතිරිය ඊළඟ පෝස්ට් එකෙන් ලියන්නම්....

Monday, April 24, 2017

මේ රට අපේ තමා ඒත් !

අපිටත් මේ රට හදන්න යමක් කරන්න පුළුවන් කියලා හිතුනේ... මම ලියූ මෙන්න මේ පෝස්ට් එකට.. සහ මුහුණු පොතේ ලියූ මේ "මගී ආරක්ෂාව ගැන නොසිතන්නේ ඇයි - https://anithkona.blogspot.sg/2017/03/blog-post_16.html    සටහනට ඉක්මන් ප්‍රතිචාර ලැබී තිබෙනු දකින්න ලැබුනම යි.
 දැන් ඔය නිදහස් චතුරශ්‍රයේ නිදහසේ ඉන්න දෙන්න කියලා කෑ ගැහුවා වගේ කට්ටිය මෙහෙම දකින අඩු ලුහුඬු කම් ගැන වැඩියෙන් ලීවොත් මේවා අපිටම හදා ගන්න පුළුවන් නේද කියාත් හිතුනා.  මෙන්න ඒ පෙර  ලිපිය -

වැරදි හදා ගන්න ඉක්මනින් ක්‍රියාත්මක වුනු ඔවුන්ට ස්තූතියි... කලින් පාර අසල ගොඩ ගැසූ පස් කඳු නැති අතර තාවකාලික පටි යොදා වලවල් සලකුණු කර මගීන්ට යෑමට පාරක් පාදා තිබුනේ මෙලෙසයි. හොඳටම ප්‍රවේසම් සහිත නැති වුනත් මේ වෑයමට ස්තූතියි.


ඒ වගේම තවත් යමක් සටහන් කරන්නයි කියලත් මතක් වුනා... මා සේවය කරන රෝහලේ විශේෂයෙන් මම වැඩ කරන වාට්ටුවේ විවිධ අවශ්‍යතා සැරෙන් සැරේ මම මුහුණු පොත ඔස්සේ දැනුවත් කරනවා.. එතකොට මගේ පාසැල් මිතුරන් බ්ලොග් මිතුරන් විටින් විට ඔවුන්ට හැකි අයුරින් යම් යම් උදව් කර තිබෙනවා.
ඔහොම කතා බහ යන අතරේ, එක්තරා  හිතවත් මාධ්‍යවේදී සොයුරෙක් මට කියනවා, අපි ඇවිත් ශ්‍රමදානයක් කරන්නම් කියලා...

ඔය අතරේ අපට මතක් වෙනවා වාට්ටුවේ ඇඳන් ළදරු ඇඳන් එහෙම තීන්ත ගාලා පිළිසකර කළ යුතු බව...
"ඉතින් දැම්ම රෝහලේ නඩත්තු අංශෙට ඔය වැඩේ  කරන්න බැරි වෙයි කියලා කීවේ" කියලා අන්තිම සාකච්ජා වලදී
"අපිට පුළුවන්නම් කරගන්න තීන්ත දෙන්නම් කීවා රෝහලෙන් " යන්න ඇසුනම, අපේ විශේෂඥ වෛද්‍යතුමියත් අපිට බැරිද තීන්ත ගාන්න කට්ටියක් හොයා ගන්න කියලා අහද්දී මම කලින් ම "නංගී අපි ඇවිත් ශ්‍රමදානයක් කරන්නම් , ඔය තීන්ත ගාන වැඩ වගේ" යැයි අපිට ශ්‍රමදානය ගැන මතක් කළ පිරිස ගැන කීවා.
කොහොම හරි පේන්ට් ගන් දෙකක්ද සොයා ගෙන බොහොම අමාරුවෙන් සූ ගාලා පස් දෙනෙක් වගේ පිරිසක් සොයාගෙන ( එන්නම් කියලා නෑවිත් සිටි පිරිසකුත් හිටියා )

අන්තිමේ අපි කොහොම හරි ඉන්න පිරිස සේරම එකතු කරගෙන මේ වැඩේට බැස්සා.... මමත්  ඇතුලුව. වාට්ටුවේ සියලුම කොට් සහ බෙඩ්ස් නම් සේරම පේන්ට් කර ගත්තා.
මුහුණු පොතෙන් පමණක් දැනගෙන හිටි පතිරණ අයියා, තුෂාර, සාරංග, දසුන් ගම්ලත්, කමි සහ බොහෝ දෙනෙක් ස්වේච්ජාවෙන් ඇවිත් අපට උදව් කළා.
එහෙම නොවෙන්න අදටත් අපේ වාට්ටුවේ පරණ තීන්ත කෑලි කැඩෙන දරුවන් දත් ගහනකොට ඒවා බඩට ද යන අර පරණ තීන්ත ඇති ඇඳන් ළඳරු කොට් තියෙන්නට පුළුවනි.
 මේ සටහන ලියැවුනේ කුණු කන්ද කඩන් වැටෙන්න කළින්. ඒත් ඒ කුණු කන්ද ඇති ප්‍රදේශයේම මූලික රෝහලක වැඩ කරන මට පසුගිය අවුරුද්දේ ගංවතුර කාලේ කනින් කොනින් ඇසුනේ කුණු කන්ද ජර්මනියට බාර දෙන්නට යන බවත් අවුරුද්දකින් බැලුවොත් ඔතන කන්දක් නොතිබෙන්න පුළුවන් බවත් ය. අනේ මන්දා ඒ කියන කතා කොහොම වුනත් අන්තිමේ ඉතා ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් ව පැවති කුණු කසල පිරිච්ච මේ ප්‍රදේශය , ඊටත් වඩා ඛේදනීය තත්වයක් ඇති කරමින් නාය ගියේ ජීවිත රැසක් බිල්ලට ගනිමින්.
කුඩා කාලයේ , ජර්මනිය ප්‍රංශය වැනි රටවල සංචාරය කරද්දී මම දුටුවේ ඔවුන් ඉතා පුදුම සහගත ලෙස කුණු බක්කි කිහිපයක බෝතල් වෙනම, ප්ලාස්ටික් පොළිතීන් වෙනම සහ දිරන ආහාර ද්‍රව්‍ය වෙනම බැහැර කරන බවය.
ජර්මනියේ නැන්දා උනත් "ඔන්න පුතේ මේකට දිරන කෑම ජාති, මේකට පොලිතීන් කොළ කඩදහි..." කියා අපි ගිය දවසෙම කසළ බැහැර කරන අන්දම පැහැදිලි කර දුන්නා මේ එක්දහස් නමසිය අනූ ගණන් වලදී. "බැරි වෙලාවත් පොලිතීන් කොළයක් වැටුනොත් මේකට.." කියා මම ඇහුවම නැන්දා කිව්වේ එතකොට දඩ ගහන බවත් එහෙම බැරි විම් නම් කොහෙත්ම සිදු කළ යුතු නැති දෙයක් බවත් ය.

 මට මතකයි එකල මට දී තිබුනු කැමරාවෙන් (ඩිජිටල් නොවන) රීල් දමා පාවිච්චි කරන කැමරාවෙන් මම මේ කුණු බක්කි වල ෆොටෝ එහෙමත් ගත්තා. ඇයි මේ ෆොටෝ නාස්ති කරන්නේ කියලා අහද්දී වැඩිහිටියන් මම කීවේ, "නේචර් ක්ලබ් එකේදී මේවා පෙන්වලා අපේ ඉස්කෝලෙත් මෙහෙමෙ වැඩක් කරන්න ඕනෙ" කියලයි.
ඔව් , නැවත පැමිණි පසු අපි එවැනි දේවල් පාසැලේ ක්‍රියාත්මක කළා , ඒක මම හිතන්නේ සුළු කාලයකට පමණක් ක්‍රියාත්මක වී නිලතල මාරුවත් සමග හෝ යම්කිසි ප්‍රශ්නයක් මත ඇණහිටියා. ඒ ගැන මතකය අඩුයි. පාසැල් කාලයේ  ඇතැම් සංසිද්ධීන් අමතකම වෙලා ගිහින්.

කසළ නිසි අන්දමින් බැහැර කළ යුතුයි. යුතුමයි. දැන් මා වෙසෙන කැළණිය ප්‍රදේශයේ නම් පොළිතීන් කඩදහි වෙනම එකතු කරන අතර, දිරන ආහාර ද්‍රව්‍ය වෙනම එකතු කරනවා. එකතු කරන පිරිස කීවේ එම ආහාර ද්‍රව්‍ය ඌරු කොටු සඳහා ලබා දෙන බවය.

කුණු වෙන් කළ යුතුමය ! ප්ලාස්ටික් යකඩ නොදිරන දෑ නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෙස වෙන් කර ගත යුතුය. දැන් වෙන්නේ සේරම එක ගොඩේ ගොඩ ගසන එක හෝ වල දමන එක, පස් පුරවන එක. මම හිතන්නේ නෑ ඒකෙන් මහ පොළවට සෙතක් වේවි කියලා.
අනික, කුණු ගැන වදවෙන එක අපි කාගේත් යුතුකම බව ඇත්ත නමුත් නිසි ක්‍රමවේද සැකසිය යුත්තේ රට කරවන්නට අප එතෙන්ට පත් කර, මහජන මුදලෙන් පඩි ගන්නා , නඩත්තු කරනා ආයතන සහ දේශපාලකයින් ය. එනිසා අපේ ටොපි කොළය නිසා මීතොටමුල්ලට අපිත් වගකිව යුතුයි කියන ආණ්ඩුව හෝ පාලක පක්ෂ බේරන සුළු වැකි ගැන නම් මට දැනේන්නේ අපුලක්. කසල කළමණාකරනය කිරීම ගැන ප්‍රායෝගික පුහුණුව සහ අධ්‍යාපනය ලැබූ උගත් බුද්ධිමත් ශ්‍රී ලාංකික ප්‍රජාවක් සිටිනවා. මේ අවස්ථාවේ ඔවුන්ගෙන් උපදෙස් සහ උදව් ලබා ගැනීම කළ යුතුයි. ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු රජයේ ආයතන වගකීම ගත යුතුයි. ‍
මේ රට අපේ තමයි. නමුත් හැමෝටම හැම දේ ගැනම ලොකු ඉගෙනීමක් නැති නිසා. ඒ අදාල සුදුසු දේ සඳහා හැකියාව ඇති සුදුස්සෝ පත්කළ යුතුමයි. එක අපි කාගේත් වගකීම යැයි මට සිතේ. 

Wednesday, April 5, 2017

උණ වලිප්පුවට මොකද කරන්නේ ?

"ඉක්මනින් එන්න ඩොක්ටර් බබෙක් ඇරෙස්ට් වෙලා " හදිසි ප්‍රතිකාර අංශයට ඒ වගේ හදිසි තත්වයන් ඇති වුනාම එහි සිටින ඩොක්ටර්ට අමතරව ළමා වාට්ටුවල වැඩ රාජකාරි කරන අපිවත් කැන්දාගන්නවා ඉක්මනින්. එතකොට දරුවෙක් ගැන කොහොමත් හොඳම අවශ්‍යම දේ ඒ සම්බන්ද වැඩි පුහුණුව ලැබූ අත්දැකීම් බහුල අප ඒකකයේ කෙනෙක් ගෙන්වා ගැනීමයි.
මීට පෙරද කීප වරක් එහි ගොස් ඇත්තෙමි.
මා යන විටත් ඔවුන් දරුවා වම් අතට හරවා , ගුද මාර්ගය ඔස්සේ දරුවාට වලිප්පුව පාලනයට දිය යුතු , ඩයසෙපෑම් නම් බෙහෙත ඇතුලත් කර තිබේ. නමුත් ෆිට් එක නැවතුනේ නැති නිසා පසුව එය එන්නතක් ආකාරයෙන් දෙන විට දරුවාගේ ශ්වසනය සහ හර්ද ස්පන්දනය අඩු වී තිබේ. නමුත් පැය දෙක තුනකදී දරුවා යථා තත්වයට පත් විනි.

වලිප්පුව (seizure) කියන රෝගය ගත්තම ඒකෙත් විවිධ ප්‍රබේද තියෙනවා, සරල, උණ සහිතව,  සංකීර්ණ උණ සහිතව සහ ඇතැම් විට උණ රහිතව. මේ තත්වයන්ගෙන් වැඩි වශයෙන් සිදු වෙන්නේ, අධික ශරීර උෂ්ණත්වය සමග මුළු ඇඟම  හෝ අත් , පය වෙන වෙනම හෝ ,   රිද්මයානුකූලව චලනය වෙමින් ඇස් උඩ යමින් දරුවා දරදඬු වෙමින් ටික වේලාවකට සිහි විසඥ වීමය.
ඒවගේම එවිට කටින් සෙම වැනි ශ්‍රාවයක් පිට විය හැක.
මළ මූත්‍රා පිට විය හැක.

මේවායේ වරිගීකරණය අපි සිදු කරන්නේ ලක්ෂන අනුව ය. මෙය ඇති වීමට හේතුව තවමත් පැහැදිලිව විස්තර නොවන අතර එය අධික උෂ්නත්වයට අප ශරීරය ප්‍රතික්‍රියා දක්වන ආකාරයක් බව පැවසේ. සත්වයින් යොදා කරන ලද පරීක්ෂන වලදි එයට සයිටොකයින් (cytokines) නම් සෛල වලින් පිටවන කුඩා අංශු සහ ඒ ආශ්‍රිත පද්ධතිය ( cytokine network)  බලපාන බවත්, ස්නායු අතර සන්නිවේදනයට මෙය බලපෑම් කරන බවත් සොයාගෙන ඇත. කොහොමත් දරුවන් කුඩා කළ වලිප්පු තත්වය ඇති වීමට මොළයේ දරා ගැනීමේ ශක්තිය අඩු වීමත් හේතු වෙනවා ( seizure threshold ). මෙය කොහෙත්ම බය විය යුතු තත්වයක් නොවන බවයි මගේ වැටහීම.

බොහෝ විට මේ වලිප්පුවට ප්‍රධාන  හේතුව වෛරස බැක්ටීරියා ආදී ආසාධන යි. ඒ වගේම පවුලේ අනිත් අයගේ රෝග ඉතිහාසයේ එවැනි වලිප්පු තත්වයන් තිබේනම්, දරුවන්ටද එය ඇති විය හැක. ඇතැම් විට මොළය සම්බන්ධ ආසාධන තත්වයන් වලදී ද ඇති විය හැක. මීට අමතරව මොළයට ඔක්සිජන් සැපයුම අඩාල වුන අවස්ථාවලදීද වලිප්පු තත්වයන් උණ රහිතව ද ඇති විය හැක.

දරුවාට පළමු වර උණ වලිප්පුව සෑදී ඇති නිසා මවට, පියාට  හෝ ගෙදර අයට ඒ සම්බන්ද අත්දැකීමක් නැත. ඔවුන් දරුවා ඔසවාගෙන ගෙන ඇවිත් තිබුනේද කෙළින් අතටය.

ඇතැම් විට අප වෙත ගෙන එන දරුවන් ට නැවත වාට්ටුවේදී  දිව හැපී තිබෙනු දකින මව්වරුන් බොහෝ සසල වේ. ඇතැම් අය වැඩිහිටි උපදෙසින් කටට යකඩ ඇණ , ලී කැබලි දමා දත් පූට්ටුවීම නවත්වන්න උත්සහ කර තිබේ. ඇතැම් දරුවන්ට උණ වලිප්පුව හැදුනම මව්වරුන් ක්ලාන්ත වේ. එහෙමත් නැත්නම් ඉහ අත් බදා වැලපේ.
 කළ යුත්තේ මේ කිසිවක් නොවේ...... ෆිට් එකක් ආවම මොකද කරන්නේ කියන එක පැහැදිලි කරන්න අම්මලාට කියවන්න මවිසින් රචිත අත් පත්‍රිකාවෙහි සටහනක් මෙහි පල කරන්නට සිතුනා. ප්‍රයෝජනවත් වේයැයි සිතුනා.
මෙන්න ඒ පත්‍රිකාව

උණ වලිප්පුව හෙවත් උණ සමග එන ෆිට් එකකදී කළ යුතු දේ...


උණ සමග එන වලිප්පුව, දරුවන් කුඩා කාලයේ දී ඇති විය හැකි තත්වයක්, වයස මාස 6 සිට අවුරුදු 6 දක්වා දරුවන්ට උණ සමග මේ තත්වය ඇති විය හැක.


සිදු කළ යුතු දෑ

· එවිට දරුවාව වම් පැත්තට හරවා, සුමට මතුපිටක හාන්සි කරවන්න.

· මුහුණ පැත්තකට හැරවීම වැදගත් එවිට වමනය, සෙම පිටතට පැමිණීම පහසු කරවන අතර ශ්වසන මාර්ගය අවහිර නොවේ. (නැතහොත් හුස්ම හිර විය හැකිය)

· දරුවා අසලම සිටින්න.

· දරුවාගේ වලිප්පු ලක්ෂණ පටන් ගත් වේලාව සහ අවසන් වුනු වේලාව, කොපමණ වේලාවක් පැවතියේද යන්න නිවැරදිව සටහන් කරගන්න.

· දරුවාගේ ඉරියව් සහ චලනයන් නිරීක්ෂණය කරන්න. (ඇස් උඩ යෑම, එක අතක්, පයක් හෝ සම්පූර්ණ ශරීරය චලනය වීම)

· මිනිත්තු 5 කට වඩා ෆිට් එක තිබේ නම් ළඟම ඇති රෝහලට දරුවා රැගෙන යන්න.

· බෙහෙත් හෝ වෙනයම් කිසිම දෙයක් ෆිට් එක වෙලාවේ දරුවාගේ කටට ඇතුල් කරන්න එපා. දිව හැපීම සිදු වුවද මොනයම් දෙයක් හෝ ඔබේ අතවත්, දරුවාගේ කට තුළට නොදමන්න. ‍



· සාමාන්‍යයෙන් වලිප්පුව තත්වය මිනිත්තු 5-10 වැනි කාලයක් තුල සමනය වේ. එසේ නොමැති නම් වැඩි දුර ප්‍රතිකාර දිය යුතු වේ.

(මේ කරුණු හරි වැරදි බලා , අනුමත කළේ අප විශේෂඥ වෛද්‍යතුමියයි)

photos from  : https://kidsaid.com.au  and http://www.aboutkidshealth.ca//En

Sunday, April 2, 2017

වෛරස් උණට බෙහෙත් තියේ ද ?

"වෛරස් උණ වගේ තමා පේන්න තියෙන්නේ.. "
ලේ රිපෝට් එකක් ගැන ඇසූ මවකට මා පැහැදිලි කර දුන්නා.

" මේ සුදු රුධිරානු, මේ තියෙන්නේ ලිම්ෆොසයිට් කියන සෛල වර්ගය... ඒක වැඩී නේ. සුදු රුධිරාණු අඩු වෙනවා වෛරස් උණ වලදී" එහෙම පැහැදිලි කරද්දී අම්මලා කට අයාගෙන බලන් ඉන්නේ විද්‍යා පාඩමට පාසැලේදිවත් හරියට සවන් නොදීමේ ආදීනව මතක් කර ගනිමින්. සමහරු තේරෙනවා වගේ ඉන්නවා. ඔව් ඔව් කියලා ඔළුවත් වනනවා. නමුත් ඔවුන් බොහෝ අය සමාජයේ අඩුම ආර්ථික තත්වයන් යටතේ ඇති දැඩි වුන , වසර පහ හෝ හයට වඩා පාසැල් නොගිය, ලාබාල මව්වරුන්.

"ඉතින් ඩොක්ටර් බෙහෙත් දෙනවනේ " එහෙමත් අහනවා අම්මලා.

මට ඕනෙ නම් අනිත් අය කියනවා වගේ "හරි අපි බෙහෙත් දෙනවා" කියලා ගොඩින් බේරන්න පුළුවන් වුනත් වඩා හොඳයිනේ තේරුම් කරන එක, එනිසා සැරයක් මම අම්මෙක්ට කීවා,

" මේක වෛරස් උණක්නේ , වෛරස් වලට ලෝකේ කොහේවත් හරියටම බෙහෙත් නෑ අම්මා"කියලා.

"මොනවා මගෙ දරුවාගෙ ලෙඩේට බෙහෙත් නෑ" ඔන්න ඔහොම එක අම්මෙක් ඉහ අත් බදා වැලපෙන්න තියා ගත්තයින් පසු එක පාරම ඔය වගේ කතා කියන්නේ නෑ.
මම අහනවා "වෛරස් කියන්නෙ මොනවද කියලා දන්නවනේ අම්මා... බැක්ටීරියා වගේ නෙමේ. වෛරස ඉතින් ඇඟෙන්ම සටන් කරලා ප්‍රතිශක්තිය ඇති කරන් ඇඟෙන්ම අයින් වෙන්න ඕනෙ " වගේ තේරෙන විදිහකට කියලා දෙනවා.
නැත්නම් සමහර විට මේ කියන දේවල් පත්තර වල ගිහින් හරි ජංජාලයක් වෙන්නත් තිබුනා. බෙහෙත් නැති ලෙඩක් ය කියලා මුළු ගම්මාන පිටින් කලබල වෙන්නත් තිබුනා.

ඔව් වෛරස නිසා අපි බොහෝ අකරතැබ්බ වලට මුහුණ පානවා.

H1N1ඉන්ෆ්ලුවන්සා වෛරස ( කුරුළු උණ , සූකර උණ උණ කියමින් හඳුන්වන වෛරස), ඩෙංගු වෛරසය, වසූරිය, පෝලියෝ, ඊළඟට පැපොල කම්මුල්ගාය...මේ අවුරුදු සමය එළෙඹෙන්නේ වාට්ටු පිරී ඉතිරී යෑමත් සමග ය. අධික තද බදය සහිත සාප්පු සංකීර්ණ සහ නිමි ඇඳුම් වෙළඳ සැල් වල තෙරපෙන මව්වරුන් දරුවන් මා කොතෙකුත් දැක ඇත.... නමුත් රෝහල් ගත වෙන්නට ඔවුන් බය අනික් අයගේ රෝග බෝ වේ යැයි බියෙනි
මේවට දෙයියන්ගෙ ලෙඩ කීවෙත්, ඉබේම වැළඳිලා ඉබේම හොඳ වෙන නිසා ය කියලත් මතයක් තියෙනවා

මේ වෛරස එක්ක ගණු දෙනුව හරි අමාරු වෙලා තියෙන්නේ වෛරස් ශරීරයට ඇතුල් වූ වහාම අපේ සෛලයක් ආක්‍රමණය කරගෙන ඒවා ඇතුලේ ජීවත් වෙන නිසා. ඉතින් ආසාධිත සෛල හඳුනාගෙන ඒකට විරුද්ධව සටන් කිරීම අපේ ඇඟෙන්ම සිදුවිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් බැක්ටීරියා වලට නම් රුධිරය ඔස්සේ දෙන ප්‍රතිජිවක වලින් ලෙහෙසියෙන් ආසාධනය මැඩ පැවැත්විය හැකිය.

ඉතින් දැන් මේ නිතර තමන්ව වෙනස් කරගන්නා වෛරස නිසා අපිටත් ඒවට අපේ ඉමියුන් සිස්ටම් එක හෙවත් ඔය රෝග එක්ක සටන් කරන සොල්දාදුවො සෙට් එක ( Immune system) ලෑස්ති කරන්න බෑ. දැන් ඔය පොඩි කාලේ ඉඳන් දෙන එන්නත් වලින් කරන්නේ අපේ ඉමියුන් සිස්ටම් එක හෙවත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට , මෙන්න මේ ආකාරයේ වෛරස් එන්න පුළුවන් ඒවට මෙහෙමයි සටන් කරන්න ඕනෙ කියලා පොඩි පෙරහුරුවක් දෙන එක... පොඩි ප්‍රමාණයකින් එම වෛරස හෝ කොටස් එන්නත් කරන නිසා රෝගය හැදෙන අවධානම බොහොම අඩු ප්‍රතිශතයක තියෙන්නේ. එතකොට ඒ උගත් පාඩම් වල උපකාරයෙන්, බොහෝ ළදරු කාලයේ වැළඳිය හැකි ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා වෙනවා.

ඉතින් වෛරස වලට බෙහෙත් නෑ... ඒක හරි ! අපිට කරන්න පුළුවන් සැර බාල කරන එක, දැනීම් විඳීම් අඩු කරන එක. උණ, වේදනාව, දද කුෂ්ඨ එහෙම ඒවට අවශ්‍ය ප්‍රතිකාර කරන එක.
ඉතින් ඩෙංගු උණත් එහෙමයි. වෛරස් ඝනයට වැටෙන්නේ. ෆ්ලාවි විරිඩෙ කියලයි ඔන්න අපි ඉගෙන ගත්තෙ.

මේ මාස කිහිපයක් ම... ඩෙංගු අධික පළාත් ආශ්‍රිතව වසන නිසා ඩෙංගු උණ ලක්ෂන සහිත ළමුන් දෙතුන් දෙනෙක්වත් දිනකට ඇඩ්මිට් වෙනවා ඒ අයගෙන් එක්කනෙක් හෝ සමහර විට සියලු දෙනාම අඩු ප්ලේට්ලට් සහිතව සහ අසාධ්‍ය තත්වයට පත් වෙනවා. ඒ අතරිනුත් ශරීර අභ්‍යන්තරයේ තරල එක් රැස් වීම් සහිතව "leaking" කියන්නේ රුධිර වහන තත්වයන් සහිතව අසාධ්‍ය වෙන්නේ එක් අයෙක් හෝ දෙන්නෙක්...
දැන් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් අපි 90% දෙනාට ඩෙංගු උණ වැළඳී රෝගාතුර වෙන්නෙ නෑ. 10% විතර දෙනෙක්ට හැදෙනවා, රෝහල් ගත වෙනවා,  නමුත් ඒකෙනුත් අසාධ්‍යම වෙන්නේ 1%.කට.

"ඩෙංගු කියන්නෙ මැරෙන්න ඕනෙ ලෙඩක් නෙමේ... ඔන්න තමන් යටතේ ඉන්න ලෙඩෙක් මැරුනොත්, හවුස් ඔෆිසර්ව තමයි මම යවන්නේ මිනිස්ට්‍රියේ තියෙන නඩු විභාග වල වග උත්තර බඳින්න" වැහි කාලේ පටන් ගන්නකොටම කායික වෛද්‍ය වාට්ටු වල සීමාවාසික පත්වීම භාර ගත්ත මටත් අනිත් සීමාවාසික වෛද්‍යවරියටත් අපේ, විශේෂඥ වෛද්‍ය තුමිය දුන්න විධානයෙන් අපි භය බිරාන්ත වෙලා ගියා.

ඒකාලේ එක දිගට ඇඳන් පහ හය දෙපැත්තෙම ක්‍රිටිකල් ලෙඩ්ඩු මූත්‍රාත් ලේ පැහැයෙන් යන අය, කොහොම හරි කරදරයක් නොවී එක මනුස්සයෙක් වත් නොමැරී අනේ අපේ දුෂ්කර සේවා කාලය නිමා වුනා.මතකනේ අර මම කලින් ලීවේ, එක පැත්තක කොටි ත්‍රස්තයෙක් සහ අනික් පැත්තේ ලංකා හමුදාවේ සොල්දාදුවෙක් දෙන්නම, ඩෙංගු උණ් හැදිලා ඉන්නකොට කළ කී දෑ එහෙම.  හැබැයි වාට්ටුවේ කොච්චර ලෙඩ්ඩු හිටියත් ඒ අයට විදින මදුරුවෝ අපිට විද්දත් ඩෙංගු නම් හැදුනේ නෑ.
"ඩෙංගුවත් හැදෙන්න, සර්පයෙක්වත් කන්න... "  කියමින් ගත කළ අති දුෂ්කර සමයක් ද මේ වෙනකොට ගෙවුනා කියලත් මතක් වුනා.
ඉතින් දැනුත් ඒ කියලා වෙනසක් නෑ. මේ ලියන මම සීමාවාසික වෛද්‍යවරු නැති මූලික රෝහලක සේවය කරන නිසා අප මත සියලු බර පැටවී තිබෙනවා.

ඩෙංගු උණ ලක්ෂන ගැන අපට වඩා සමාජය දැනුවත් බව සැබැවි නමුත් එහෙනම් ඇයි අපිට මේ මරණ වලක්වා ගන්න බැරි.
ගොඩක්ම ඒකට හේතුව, අපේම නොසැලකිල්ල. රෝග වාහක මදුරුවන් බෝවන තැන් ගැන සැලකිල්ලක් නැතිවා වගේම,  උණ හැදුනම තමන් ගැන බලා ගන්න උවමනාවකුත් නෑ.

එක තාත්තෙක් තමන්ගේ දරුවෝ තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඩෙංගු උණ හැදිලා නවත්තගෙන හිටියා. අම්මා නැතිවෙලා තිබුනේ ඩෙංගු උණෙන්. දරුවන්ටත් උණ කියමින් ගෙදර වැඩ පළ කරමින්, තාත්තාට උණ ට ගෙනාපු බෙහෙත් බොමින් ඉඳලා ඒ අම්මා නහයෙන් ලේ ගලලා ගෙදර කලන්තෙ දාලා මැරිලා වැටෙනකන්.

මෙහෙම කතා ඕනෙ තරම්... ගොඩක් දරුවො එක්ක එන අම්මලාව අපි යවනවා වැඩිහිටි වාට්ටු වල ඇඩ්මිට් වෙන්න. බලද්දි අම්මලටත් උණ.
ඉතින් දවස් තුනකට වඩා උණ තියෙනවනම් අනිවාර් යයෙන් වෛද්‍යවරයෙක් හමුවෙලා රුධිර පරීක්ෂනයක් කරගන්න. ඩෙංගු ඇන්ටි ජන් හෝ ඇන්ටි බොඩී කිරීම අනිවාර්යය නෑ. සාමාන්‍ය රුධිර පරීක්ෂනයක් ඇති. ඒකේ සෛල ගණන් මගින් සහ පැක්ඩ් සෙල් වොලියුම් කියන රුධිරයේ සංඝටක වල ප්‍රමාණය යන මේ දත්ත වලින් වෛද්‍යවරයෙක්ට ඩෙංගු උණ හෝ නොවන බව අනුමාන කළ හැක.
අවශ්‍යම දේ හරියට මැනලා ශරීරගත කරන්න ඕනෙ තරල ප්‍රමාණයන් ඒ ආකාරයෙන්ම දෙන එක. ඒකට ශරීර ස්කන්ධය අනුව සහ රුධිර පරීක්ෂාවේ අගයන් සහ පිටවන මූත්‍රා ප්‍රමාණය මැන බලා ඒ අගයන් එක්ක සංසන්ධනය කරමින් තමයි බර අනුව අවම ප්‍රමාණ මෙන්ම උපරීම ප්‍රමාණ තීරණය කළ යුත්තේ. ඒකට රෝහල් ගත වීම අවශ්‍යමයි.
හරියට මේ දේවල් කළොත්  ඩෙංගු රක්තපාත උණ තත්වය උනත් හොඳින් පාලනය කර ගත හැකියි. ඒත් ගෙවල් වල ඉඳගෙන ගොඩ වෙදකම් කරමින් අන්තිම මොහොතේ අමාරුම වෙලා ,රෝහල් ගත වුනාම නම්, මේ තත්වයෙන් ගොඩ ගන්න අමාරුයි. අවයව ඉන්ද්‍රිය පද්ධති වලට එතකොටත් වෙන්න පුළුවන් හානිය සිදුවෙලා නිසා.
අනික තමයි දරුවන් වුනත් බොන්න බෑ කියද්දී අම්මලා ආ එහෙනම් කමක් නෑ කියලා නිකම් ඉන්න එක.. එහෙමත් නැත්නම් "කන්නෙ නෑ බොන්නේ නෑ අනේ කවන්න " වගේ දෙයක් ලෙඩුන් උතුරා ගලන වාට්ටු වල එහෙමෙහෙ දුවමින් හෙදකම් කරන මිස්ලාට කියන එක. සේලයින් එකක් එල්ලනකම් ඔය දේ මතුරන එක.


ඊළඟට ආහාර, කඩේන් ගේන ඒවා නොදෙන තරමට හොඳයි. ඔය පිටට පාචනය , බඩ එළියේ යෑම වගේ දෙයක් ඇති වුනොත්. අපේ වාට්ටුවෙත් බබාලගෙ ලොකර් උඩ තියෙන්නෙම , ගෑස් පැණි බීම, කලරින් පුරවපු බෝතල්.

 මම අම්මගෙන් අහන්නේ " ඔය බීම එකේ තියෙන ඒවා දනන්ව ද? ලේබල් එක කියවන්න, නොදන්න ජාති තියේ නම් දෙන්න එපා. " කියලයි
 කොහොමත් ලෙඩින් ඉන්නකොට කඩ කෑම ගෑස් බීම නම් දෙන්නම එපා. ඊට අමතරව රතු පැහැය ඇති කිසිම දෙයක් දෙන්න එපා. මොකද හදිසියේ වමනේ ගියොත්, මලපහ ගියොත් එහි රතු පැහැය තිබුනොත් අපට බේරුමක් කරගන්න අමාරුයි ඒ ලේ වමනේ යෑමක්ද නැත්නම් ආහාර වල ඩයි නිසා හෝ බීට්‍ රූට් නිසා වෙච්ච රතු පැහැ වීමක්ද කියලා.

ලෙඩ හොඳවෙන්න සියයට හැත්තෑ පහක් පමණ නිසි ආහාර ජලය සහ සනීපාරක්ෂාවයි වැදගත්. එනිසා අම්මලාට, බලා කියා ගන්නන්ට  විශේෂ වගකීමක් තියෙනවා කුඩා දරුවන් සහ ඇඳන් වලට සීමාවූ වයසක රෝගීන් වෙනුවෙන් කරන්න !
photo credit : dinamina.lk

Tuesday, March 28, 2017

බ්ලොග් සම්මාන උළෙල සහ අනිත් කොන විත්ති..

"කොහොමද මැඩම් " කාලයකට පස්සෙ ඔහුගේ වචන ගලාගෙන ආවා.

"අපොයි ඔය මැඩම් ඕනෙ නෑ මල්ලි" මම සුපුරුදු වචන ටික කීවා.

"අක්කෙ... මම ලිරික්ස් කරා ෆිල්ම් එකකට"

"ඉතින් මොක කළත් ඕවා මට ප්‍රසිද්ධියේ සතුටෙන් ලියන්න බෑනේ.... " ඔවුන් ගේ පසුගිය කාලය සමග ඇති බිහිසුණු සබැඳියාවන් ගැන ඔවුන් ඇත්තේ කළ කිරිමෙනි. එනිසා ඒවා ෂෙයා කරගැනීමට හෝ උදම් ඇනීමට ඔවුන් බියෙන් සිටී. මට නම් ඔවුන් සැබෑම වීරයන් ! ඒ ඔවුන් බොහෝ කරදර විඳ, බොහෝ අකටයුතුකම් මැද, යළිත් ජීවිතය ජය ගත් නිසා ය. හිත් හදා ගත් නිසා ය.

ඔවුන් මෙන්ම මම ද බියවූ කාලයක් විය. එකල ලීවේ අනවර්ථ නමකිනි.

"කවුද මේ අයගෙන් විශේෂ හැකියා තියෙන අය " කියා ඇසූ විශේෂඥ වෛද්‍යවරයා ද,

"මෙන්න මෙයාට ලියන්න පුළුවන්" යැයි කියූ ලක්මිණි අක්කා ද, මතක් කළ යුතුම ය.

ඉන්පසු වෝඩ් රවුන්ඩ් එකේදී එක් මවක්, දරුවන් කිහිප දෙනෙක් සුනාමියෙන්ද, ඉන්පසු යුද්ධයෙන්ද අහිමිව නැවත බොහෝ වයස්ගතව දරුගැබක් සහිතව පැමිණ අපේ ප්‍රශ්න කිරීම් හමුවේ හඬා වැටෙමින් කතාව කියද්දී..

" මේවා ලියන්න පුළුවන් නේද, ලියන්න මේ කතා " යැයි විශේෂඥ වෛද්‍යවරයා පැවසූ..ඒ මොහොත නොවේනම් මා අනිත්කොන ගැන සිතන්නේවත් කොහොමද අර මහා වැඩ කන්දරාවේ ගිලෙමින් උතුරු කොණේ තනිවී සිටි ජීවිතේ දුෂ්කරම අවදියේ මට මේ බ්ලොග් ලියවිල්ල අපූරුම ආශිර්වාදයක් වුනා.
උතුරේම මහා රෝහල වූ හෙයින් ගලන ජන ගංගා මෙන්ම ඔවුන්ගෙන් ගලන කඳුළු ගංගා ද දරන්නට වුනේ අපට ය. බොහොම අබලන් වෛද්‍ය නේවාසිකාගාරයේ අපේ කාමරයට පැමිණි පසු බොහෝ විට මා කලේ මේ දුක් කතා මෙහි සටහන් කිරීම ය. අනිත්කොන නම මතක් වෙන්නේ මේ සඳහා සුදුසු නමක් සිතන විට ය. ඉතින් මා අනිත් කොන වූයේ බ්ලොග් එකෙන් පොතක් මුද්‍රණය වෙනකම් විතර ය.

මුලදී බොහෝ මිතුරු හමු සහ බ්ලොග් සම්මාන උළෙල වලින් වැලකී සිටියේ අනවර්ත නමකින් ලියූ හෙයිනි. රටේ තීරණාත්මකම අවධියක බොහෝ සංවේදී පරිසරයක වැඩ රාජකාරි කිරීම මෙන්ම ඒවා ලිවීම ද හරි පරිස්සමෙන් කළ යුතු වූවා.දුර බැහැර නිසාම ආයේ ඕවට යන්න එන්න බැහැයි සිතුන වාර ද විය.

නිදහස් සිතුවිලි බ්ලොගයේ රන්දි නොවේනම් පොතක් කරන්න මගෙ හිතකවත් තිබුනේ නැත. ඉතින් ඔහොම මෙහෙම ලියාගෙන කියාගෙන ආ බ්ලොග් පිටුවට අවුරුදු දෙකක් පමණ නරක දසාවක් ලැබුනේ රාජකාරි අධික වීමෙනි. දැන් ඇයට දෑවුරුද්දකි. මෙවර බ්ලොග් සම්මාන උළෙලට මගේ පිටුවත් නිර්දේශ වී තිබිණි.

බ්ලොග් සම්මාන උළෙලෙහි  වසරේ හොඳම බ්ලොග් ලිපිය -  අධ්‍යාපන අංශයෙහි ප්‍රථම ස්ථානය ද, හොඳම බ්ලොග් අඩවිය සඳහා කුසලතා සම්මානය ද අනිත් කොන ලියන ම වෙත හිමි විය.
මට සම්මාන පිරි නැමූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහ කරූ ජයසූරිය මහතා සම්මාන දෙන විට, මා වැඩ කළ රෝහල් සහ දැන් සිදු කරන කාර් යය භාරය ගැනත් විමසන්න අමතක කළේ නෑ. 




නාලක ගුණවර්ධන මහතා එදින කියූ ලෙසම, මගේ පවුලේ උදවිය පවා කියන අයුරෙන් ඩේටා වැය කරමින් අප මේ පුරවන වෙබ් අවකාශයේ අපේ ලියමන් වලට ඇගයීමක් ලැබෙනවා නම් එය කොතරම් හොඳ දැයි මට සිතුනි.
ගෙවීමක් නැතිව ලියලා මොකට ද ? කියා මූණටම විමසූ ලේඛක පිරිස් උන්නා. එනමුත් මගේ වපසරිය තුල මා ලියන මේ බ්ලොග් පිටුවේ ලිවීම තරම් නිදහසක් සහ මගේ චිත්ත සන්තානයේ උපදින හැඟීම් විඳීම් වචනයට පෙරලා ගත හැකි අන් තැනක් මට තිබුනේම නැත. එනිසා මම දිගටම අකුරු කළෙමි.

බ්ලොග් සම්මාන උළෙල ගැන විවිධ වූ මතවාද තියෙන්න ට ඇති. එනමුත් පොදු අවකාශයක සමස්ථ බ්ලොග් කරුවන් සියල්ලන්ම අගයමින් ඔවුන්ගේ වියදමින් අපට මෙවැනි උළෙලක් පැවැත්වීම ගැන නෙළුම් යාය බ්ලොග් අඩවියට බොහෝ තුති පිරිනමමි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු කාලෙක, ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහියෙන් කියවිය යුතුයැයි මා සිතනවා. අවුරුදු 10 තිස්සේ බ්ලොග් ලියමන සැරින් සැරේ කඩින් කඩ ලියවුනත් , මා වටා රැඳි බ්ලොග් කියවන අදහස් දක්වන දිරි දෙන පාඨක පිරිස නොවූවා නම් කොහෙන්ද ලියන්නට ඔක්සිජන් !

උතුරේදී නම් ලියන්න බොහෝ වේලාව ඉඩ කඩ තිබූ නමුත් වසර දෙකක් පමණ දරුවා නිසා , රැකියාව නිසා හිතූ තරම් ගොඩක් ලිපි ලියන්නට බැරි විය.
මම දැන් වැඩ කරන මේ කොළඹ රටේ රෝහලේ අපේ විශේෂඥතුමිය සහ වෛද්‍ය අධ්‍යක්ෂක තුමිය මේ මගේ ලියවිලි ගැන බොහෝ ප්‍රශංසා කරන අතර, රෝහලේ සිදුවෙන විශේෂ අමුතු කතා ගැන , "අපි බෝධිනීට කතාවක් ලියන්න කියමු මේ ගැන" වගේ ඒවා කියමින් මා නිතර මතක් කරන බව ද ආරංචි වේ.

"මේ අපේ ටැලන්ටඩ් ඩොක්ටර්" කියමින් මා සභා මැද හඳුන්වා දෙන එතුමිය, රෝහලේ යම් යම් උත්සව වලදී මෙහෙය වීම කතා පැවැත්වීම වැනි දෑ ගැන මට නිරතුරු ප්‍රශංසා කරයි. එහෙම අධ්‍යක්ෂකතුමියන් ළඟ වැඩ කිරීමට ලැබීම ද භාග්‍යයක් සේ සලකමි.

පොත් වැඩ සහ ලියන වැඩ වලදී මගේ ලොකුම සහයක වන හස්බන්ඩාට රාජකාරි සඳහා පිට රටක යන්නට සිදුවූ බැවින් ඔහුට නෙළුම් යායට සහභාගි වෙන්නට බැරි විය. දෑවුරුදු කුඩා පැංචී සමග වේදිකා නාට්‍ය බැලීමට ගොස් නවරඟහලෙන් පිටත ඇවිදිමින් නාට්ටිය බැලීමට නොව ඇසීමට සිදුවූ උගත් පාඩම් මතක ඇති බැවින් අම්මා කැමැත්තෙන්ම ඇය සමග ගෙදර නැවතුණි. මගේ නංගීත් ඇගේ සැමියාත්, මා සමග යන්නට පැමිණියේ ඔවුන්ගේ වැඩ රාජකාරි පසෙක හෙලමිනි.

අප ලියූ බ්ලූක්ස් ( බ්ලොග් ලිපි පොත්) සඳහා මේසයක් මෙවරත් තිබෙන බැව් කියා තිබුණු නිසා බ්ලොග් පොත් ගොන්නකුත් රැගෙන පැමිණියේ. 
බස්සිගේ, දිනේෂ්ගේ, කොළඹ ගමයාගේ, තිලකසිරි ගේ, ඩෝසන් ප්‍රීතිගේ, තරූ අක්කගේ, රන්දිගේ සහ මගේ පොත් ඒ වෙන විටත් ගෙන ඇවිත් තිබූ නමුත් එතෙන්ට ආ විට මේසයක් නොතිබූ බැවින්, ( පොත් මේසේ කැන්සල් යැයි වැරදි වටහා ගැනීමක් නිසා) තරු රසීත් මමත් මේසයක් හොයාගෙන , ඒ වැඩේ කොහොම හරි කළ නිසා , බ්ලොග් සහෘදයන් හා කතා බහ කිරීමටද අතපසු වුණු බව දැනිනි. බොහෝ අය සොයාගෙන ඇවිත් කතා කළ අතර ඇතැමුන් හඳුනා ගත නොහැකි තරම් වෙනස් වී සිටියහ. අපිට සහය වුනු, උපුල් නිශාන්ත මල්ලී, සහ අජිත් ධර්මකීර්ති අයියාද මතක් කළ යුතුමය.
එතැනට පැමිණි සජිත් සාරංග අයියා අපි වෙනුවෙන් එහි රැඳී සිට අපව සම්මාන පිරි නැමෙන කාලයේ නිදහස් කිරීම වෙනුවෙන් ඔහුට අපගේ හර්දයාංගම ස්තූතිය පිරිනමමු.
කොහොම හරි එක සැරයක් වාට්ටු පේන්ට් කරන වැඩේදී කම්කරු වුන මට, මෙවර බ්ලොග් සම්මාන උළෙලෙදි පොත් විකුණන්න සිදුවුනා. අනිත් අයගේ පොත් ඒ වන විටත් ගෙනැවිත් තිබූ බැවින්, අපි ඒ දේ කළා මිසක ! ගිය වර අපිට තිබුනේ බ්ලුක්ස් පොත් ටික බාර දෙන්න විතරයි. 



ස්තූතියි !

අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූ, අප ද පුදුමයට පත් කෙරූ, මේ උළෙල සංවිධානය වෙනුවෙන් බ්ලොග් කරුවන් වන අප වෙනුවෙන් නෙළුම් යායට මෙන්ම අපේම බ්ලොග්කරුවන් කිහිප දෙනාට ද ස්තූති කළ යුතුයි. විවිධ අඩු ලුහුඬු කම් තිබුන නමුත් කළ කී දෑ සඳහා ස්තූතිය පිරි නමමි.

මම හිතන්නේ තනි තනිව එක එක මතවාද පවතින බ්ලොග් ලෝකයේ අප සැමට මෙවන් ඇගයීමක් ලැබෙන එකම උළෙල මෙය බව ය. අප සියල්ලන් එක වේදිකාවක ඇගයීම අගේ කොට සැලකිය යුතුයි.
එනමුත්, බ්ලොග් සම්මාන ටික එක දිගට දීගෙන දීගෙන ගිහින් ඉවර කළානම් මීට වඩා අපට උළෙලෙහි පැවති විවිධාංගයන් රසවිඳින්න තිබුනා නේදැයි සිතුනා.

ඉතා විශිෂ්ට නාට්‍යයක් අන්තිමට දමා හිස් අසුන් වලට නාට්‍ය පෙන්වූ බවත්, මමත් තව කිහිප දෙනෙකුත් , එය අවසාන වෙන තෙක් නැරඹූ බවත් කීව යුතුම ය. ඔපෙරාව සහ කුඩා දරුවාගේ නැටුම දිග වැඩි බවත් ජනයි ප්‍රියයි කියන දෙන්නගේ විහිළු නම් කිතිකවා ගත යුතු බවත්, සභාව නිහඬ ව සිටීම සහ ඔවුන් දෙන්නා හිනා වීමෙන් එය මනාවට පෙන්වූ බවත් කිව යුතුම ය.
" අපි මචං" සිංදු ටික නම් මරු. හැබැයි ඔවුන් ද කඩ කඩ තැනින් තැන එක් කිරීම සිදු නොකළ යුතු වුනා.
කොටින්ම අපේ පාසැලේ සහ විශ්ව විද්‍යාලයේදී පවා , සම්මාන උළෙල වල සම්මාන දීම එක පාරම ඉවර කර ඉන්පසු කොන්සර්ට් පෙන්වීමයි කළේ.... එතකොට සම්මාන ගත් අයටත් එය පහසුවක් වන අතර කන්නයි බොන්නයි එළියට යන පිරිසටත් විවේක වේලාවක් වෙන් කර ඒවැඩේ කරන්න දුන්නානම් හොඳයි නේද කියා සිතුනා.

ඇත්තටම ඊළඟ බ්ලොග් සම්මාන උළෙල මීටත් වඩා සාර්ථක වෙයි. දැන් එයට මාවත් හෙළි පෙහෙළි කර තිබෙනවා නොවෙද... ලබන වර , මෙවර බ්ලොග් තෝරමින් සිටි අය අගය කළ යුතු බවයි අපි කිහිපදෙනෙක් සිතුවේ. ඔවුන්ගේ බ්ලොග් ලිපි කිසිම දවසක ඇගයීමක් වෙන්නේ නෑ. එනිසා තෝරන පිරිස වෙනස් වෙමින් ඒ සඳහා ද අවස්ථාවක් දිය යුතුයි සිතුනා. ( අටම්පහුර, කල්‍යාණ මිත්‍ර, තරු රසී, කොළඹ ගමයා වැනි බ්ලොග් ලිපි ) අපි මීට වඩා බ්ලොග් අවකාශය තුල සක්‍රීය විය යුතු බවත් සිතුනා. ෆේස් බුක් එක නිසා එය අඩුවී ඇති බවයි මගේ හැඟීම.
බ්ලොග් ලියලා මොකටද.. මොනවද ලැබෙන්නේ කියා ඇතැම් විට ලේඛක අයම මට කියා තිබෙනවා. නමුත් බ්ලොග් කියන්නෙත් වෙනම මාධ්‍යයක් බව. ලෝකයේ බ්ලොග් ලිපි සඳහා විශාල තැනක් තිබෙන බව ලාංකික සමාජය දන්නේ නෑ... ඉතින් ලියන්නට එදා සිට දිරි දුන් අදටත් දිරි දෙන සැමට බොහෝ ස්තූතියි... මට ඊටත් වඩා සතුට බොහෝ විවිධ වූ ලියැවීම්, සිතීම් ඇති පිරිසක් බ්ලොග් ලියා ඇගයීමට ලක්වීම ගැන.

Tuesday, March 21, 2017

මට, ඔහු නැවත හමුවිය....

ඉතින් මට ඔහු නැවත මුණ ගැසුනේ අහම්බෙනි.

දවල් කෑමට මා අප නේවාසිකාගාරය වෙත දිව ගොස්, නැවත පැමිණියේ පයින් ය. (බයිසිකලයක් පදින මම) රෝහලේ ඇතුල් වීමේ ගේට්ටුවේ සිට රෝහල දෙසට පැමිණෙමින් සිටියදී.... ඔවුන් දෙදෙනෙක් මා පසු පස එන බව මට තේරුනි.

රෝහලේ කොරිඩෝවේද මොවුන් පැමිණේ. දැන් දැන් මට අරවා මේවා කියමින් මේ තරුණ කොළු ගැටව් දෙදෙනා මා පසු පස පැමිණේ. ඔවුන් සිතන්නේ මා ද ඔවුන්ගේ වයසේ කෙනෙකු ලෙස ය. හමේ පාටේ වෙනස හෝ ඇඳුම නිසා ද එසේ සිතනවා වෙන්නට පුළුවන්.

"කරුණාකර ඔහොම හැසිරෙන්න එපා. " මම ඔවුන්ට රවා බලා බැරි තැන කීවේ දැන් ඔවුන් මා සමග පඩිපෙළද නගිමින් සිටින නිසාය. ලෙඩුන් බලන්න අමුත්තන්ට වෙන්වූ වේලාව අවසන් වී පැයකුත් ගත වී ඇත.

කියන කියුම් ආදර වැකි දරන් ඉන්න බැරි තරමට වැඩි වෙද්දී මම හැරී නැවත පඩිපෙළ බැස්සෙමි. එතනින් කොරිඩෝවට පිවිසෙද්දීම සිටියේ අප රෝහලේ සෙකියුරිටි මහතෙකි.

"මෙන්න මේ දෙන්නා .. මොකද බලන්න. " මම කීවේ එපමණයි. අර තරුණයින් දෙදෙන මොනවදෝ කියා ඔහු සමග බහින් බස් වෙද්දී මා එතැනින් ඉවත් වී උඩට ගියෙමි. උන් දෙන්නා අල්ලාගෙන පොළිස් පෝස්ට් එක වෙත යනු දුටු විට තිගැස්මක් ඇති විය.

සිංහල වෛද්‍යවරුන්ට ගෙදර පල කියලා පෝස්ටරයක් ගැසුවේත් මේ රෝහලේම ය. හා එහෙනම් යමු ගෙවල් වල කියා සිතූ වෛද්‍යවරුන්ට ඉන් පසු සිදුවූයේ නොසිතූ දෙයකි.... එය ලොකු කතාවක් නිසා ඒක වෙනම පෝස්ට් එකක ලියන එක හොඳයි කියා සිතේ.

නැවත වැඩ හමාර කර මා කොරිඩෝවේ යද්දී මා දෙසට දිව ආවේ අර කොළු ගැටව් දෙදෙනා සමග හුරු පුරුදු මුහුණකි. බෙල්ලේ වූ සලකුණෙන් මම ඔහු හැඳින ගතිමි.


"ඩොක්ටර්... මෙහෙ "

"ආනේ... කරුණන් ( අනවර්ථ නමකි ) දැන් අඳුරගන්න බැරි තරම් වෙනස් වෙලා නේ..." මම කීවෙමි. උතුරු අහසේ දම් තැඹිලි පැහැ ගන්වමින් හිරු බැස යන්න කිට්ටු ය.

"මේ ඩොක්ටර් මේ දෙන්නා ඩොක්ටර් කෙනෙක් කියලා දන්නැතුව ඩොක්ටර්ට විහිළු කළේ... ඒකට සමාවෙන්න කියන්න බලාගෙන හිටියේ"

ඔවුන්ගේ මුහුණු වලින් දිස් වූයේ කලින් මෙන් කෙළිලොල් දඟකාර බවක් නොවේ... බයාදු බියගුලු බවකි.

කොහෙදෝ ඉඳන් එතැනට පැමිණි මුර සේවක මහතා ද "ඩොක්ටර් ස්ටෙත් එක බෙල්ලේ දාගෙන යන්න එන්න" යැයි කීවේ. මා කිසිම විටක පුරුද්දට එහෙම නොකරන නිසාය. මම නම් ඕක තිස්සේම එහෙ මෙහෙ ගෙනියන්න බැරි නිසා අපෙ වාට්ටුවේ මේසයේම තියා එමි.

"හරි හැබැයි එහෙම කාටවත් කරදරයක් වෙන්න හැසිරෙන්න එපා. ගෑණු අයට ගෞරවයෙන් සලකන්න පුරුදු වෙන්න. කිසිම කෙනෙක් ඔයාලගෙ සෙල්ලම් බඩු නෙමෙයි" මෙන්න මේවගේ තේරුමක් එන ඒවා මම කීවා පුළුවන් දෙමළ පාවිච්චි කරලා. කරුණන් බොහොම ලෙංගතු හිනාවක් මුහුණේ රඳවාගෙන සිටියේය

"ඒකනේ මේ ඩොක්ටර් මම දන්නේ අහවල් ඉස්පිරිතාලේ ඉඳන්...." කළින් මේ උතුරු කොනේම තව රෝහලක වැඩකරද්දී කරුණන් හමුවූ කතාව ඔහු මතක් කරේ අර තරුණයන් දෙදෙනාට ය. බොහෝ මිනිසුන් මේ නගර කිහිපයේම ඇවිදින නිසා ඔවුන්ට මා මතකය. ජීවිතයේ බොහෝ පීඩාකාරී අවදියක, මේ මිනිසුන්ගේ ලෙංගතු බව නිසා තවත් මෙහි රැඳුනා මිසක කැමැත්තෙන් රැඳෙන පිරිස බොහෝ අඩුය.

"දැන් කොහොමද කරුණන්.. බටේ ගැලෙව්වේ කොයි කාලෙද ?" මට මතක තිබුනේ බෙල්ලෙන් ඇතුල් කළ ප්ලාස්ටික් නළ මාර්ගයක ආධාරයෙන් හුස්ම ගනිමින්...කතා කළ කරුණන් වය. දැන් ඒ බටය නැත, කැළලක් පමණක් පෙනේ.

"හොඳටම හොඳ වුනා ඩොක්ටර්, දැන් මේ අසලම ඉන්නේ. නිතර එනවා මෙහෙ මනෝ සායනය ට, දන්නැද්ද ඉතින්... " ඔහු හිනා වුනේ මා ඔහුගේ ඉතිහාසය හොඳින් දන්නා නිසාය.

"ඩොක්ටර් මගෙ කතාව ලියන්න.." යැයි ඇවිටිලි කළේ මනෝ වෛද්‍ය ඒකකයේ මම අර බැටරි බසිමින් සිටි ලැප්ටොප් එක අටවගෙන ඉන්දුගේ කතා ලියද්දී ය. නමුත් මට එය කරන්නට බැරි විය. බාගෙට ලියූ කතාවට එකතු කරන්නට මේ උඩ කොටස මතක් වුනේ අද ය.

ඔහු මුළින් මුණ ගැසුනේ, කායික වාට්ටුවේ දී ය. කෘමිනාශක බී ජීවිතේ නැති කරගන්න උත්සහ කර තිබිනි. මේ යොවුන් වයසේ කොලු කුරුට්ටෝ නිතර ඔහොම එන්නේ ආදර පළ හිලව් වලටය. පොඩි උන් එන්නේ අම්මලාට් වැඩිහිටියන්ට පාඩම් උගන්වන්න තමන් ම කෘමිනාශක පානය කරගනිමිනි. ඒ ගැන එකල පෝස්ට් කීපයක්ම ලීවා මතක ය.


කරුණන් ගේ කතාව වෙනස් ය. ඔහුට පවුලේ සියල්ලන් අහිමි වුනේ යුද්ධයෙනි. ඔහුට සිටියේ නෑදෑ වන බාප්පා කෙනෙකු පමණි.

ඔහු මොහුව කඩේක වැඩට යොදවා තිබිණි. එතැන මුදලාලි එක්ක බහින් බස් වී කෘමිනාශක පානය කර තිබිණි.

දෙවන දින මොහුගේ තත්වය බරපතල විය. තමන් අසල දෙවඟනන් රැඳී සිටින බවත් අහසේ වළාකුළු මත පාවෙන බවත් කීවේ අප විශේෂඥ වෛද්‍යතුමියට ය. දැඩි සත්කාර ඒකකයේදී ශ්වසන අපහසුතා නිසා.. බෙල්ලේ ශ්වාසනාලය ඇති කොටසේ සිදුරක් සාදා බටයක් දමන්නට සිදුවුනේ, නිරන්තර ශ්වසන අපහසුව නිසාය.

ඔහු එහි දින ගණනාවක් ද ඉන්පසු කායික වාට්ටුවේද ගත කර තිබිනි.

නැවත හමුවෙන්නේ මනෝ වෛද්‍ය ඒකකය තුල ය. කඩේ මුදලාලි සමග ආරෝවකිනි. ඔහු මරණ බවට සපත කරයි. බාප්පා සමග රණ්ඩුවකි. ඉතින් මේවා සමනය කරන්නට බොහෝ කතා කියා දිය යුතුය. ඔවුන්ට කියන කතා අසා මිස්ලා කියන්නේ "ඩොක්ටර් කොච්චරවත් කියන අවවාද කතන්දර අහලා අපි හැදෙනවා" කියලයි.

මනෝ ව්‍යාදියකින් පෙලෙන , විශාදිය හොඳටම ඇති මේ දරුවන්ට අවවාද කිරීම ගඟට ඉණි කපනවා වැනි ය. කරුණන් ගේ තත්වය ද එසේම ය. දෙමාපිය සොයුරු සොයුරියන් නැතිව මොහු තනිවී සිටී. ඔවුන් කෙදිනක හෝ හමුවේවි දැයි ඔහු විටෙක කල්පනා කරයි. මේ යුද්ධයකින් පසු ඇතිවන අතුරු ප්‍රතිඵලය ය. සමස්ථ ජන සමාජයම පුපුරා යෑමකට ලක් වූයේ අවුරුදු ගණනක සිට ය. එය වැලැක්විය හැකි දෙයක් නොවේ. ඒ විඳීම් සහ අහිමි වීම් සියල්ලන්ට එක ලෙස දැනිනි. ඇතැම් අය ඒවා හමුවේ ගල් ගැහුණු හිත් ඇතිව සිටි අතර ඇතැම්හු පුපුරා හැලින.
"ඩොක්ටර්ට තේරෙන්නෙ නෑ තනි වුනාම දැනෙන දේ" ඔහු මා හා පවසයි. " මට කාත් කවුරුවත් නෑ. "
 "මට හොඳට තේරෙනවා කරුණන්,  මේ මමත් තනියෙම ඉන්නේ.. මගේ අයත් මෙහි නෑනේ. අනික අපිට වගකීම් එහෙමත් දරන්න වෙලානේ"
"අනේ ඕගොල්ලොන්ගෙ දැනීම් "
හෝ
"ඩොක්ටර්ට මොන තනියක් ද" වගේ යමක් කියවමින් අප අසලින් ඉවත් වේ.

ඉතින් ඒ සා විසල් කාලයක් අප හමුවේ සිටි කරුණන් දැන් වැඩ කිසිත් නොකර බාප්පා ගේ නිවස්නයේ හෝ රෝහල් භූමිය තුල දවස ගෙවයි. මා හමුවෙන්නේ එවිට ය.

"ඩොක්ටර් දන්නෙ නෑ මේ කොල්ලෝ.. ඩොක්ටර් පොඩි නිසා තේරෙන්නෙ නෑ. මොනවා හරි ප්‍රශ්නයක් නම් මට කියන්න.." බෙල්ලේ අර බටය නොපෙනෙන්න කළින් බැඳ තිබූ ලේන්සුව නැත. දැන් බටය ද නොමැත.

"ඉතින් මොකද කාරුණන් කරන්න ඉන්නේ"

"මට තවම සනීප මදි ඩොක්ටර්"

"මේ හොඳට ඉන්නේ... ඔන්න මනස්ගාත අමතක කරලා රස්සාවක් කරන්න.." මම කියද්දී අර සුපුරුදු හීන් සිනහවෙන් පිළිතුරු දුන්නේ ඔහු " මගෙ ඔළුව හරි නෑ නේ" කියා ය.

මෙහි මට හමුවෙන බොහෝ දෙනෙක්, ඔවුන් ගත කළ කටුක කාලය නිසා කයින් මෙන්ම මනසින් රෝගී වී සිටී. කරුණන් ඔහුගේ සියලු සිදුවීම් වලට බාප්පාට හෝ කඩේ මුදලාලිල බණිමින් කල් ගන්නාක් මෙන්, අප ද අපේ කරදර අනුන් නිසා සිදුවූ බව සිතමින් කල් ගත කරනු මා අනන්තවත් දැක අසා තිබේ.

නමුත් කළ යුත්තේ එය නොවේ. අප අපටම අවංක වීම ය. අප අතින් වැරදි සිදුවන බව වටහා ගැනීම ය. අප අපට සමාව දීම ය. තනිව සිත තනා ගත යුතුම ය.

මා ඔහුට මට වැටහෙන අයුරින් කර්මය සහ භවය ගැන කීවේ, ආයෙත් ජීවිතය වරද්දවා ගන්න මෙවැනන්ට ගත වෙන්නේ සුළු මොහොතක් නිසා ය.

අපේ හිත හදා ගත යුත්තේ අපම ය. නැත්නම් දිනක පසු තැවිලි වෙන්නට සිදුවෙන්නේ අපටම ය.