Thursday, December 23, 2021

ඔසප් සනීපාරක්ෂාව

 ඔසප් සනීපාරක්ෂාව යනු කාන්තාවකගේ අයිතිවාසිකමකි.

- වෛද්ය බෝධිනී සමරතුංග
කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා බදු පැනවීම, බදු අඩු කර ඒවායේ මිල අඩු කිරීම සහ නැවත ආනයනිත සනීපාරක්ෂක තුවා සඳහා බදු වැඩි කිරීම විටින් විට කරලියට එමින් කතා බස් කෙරෙන මොහොතක, මැතිවරණ වේදිකාවලදී පවා කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දෙන්නට පොරොන්දු වන රටක, පොදුවේ සියළු කාන්තාවන් ජීවිතේ එක්තරා කාලයකදී අත්විඳින්නාවූ මේ සංසිද්ධිය විවිද ජන කොටස් සහ සමාජ ස්ථරයන්ට දැනෙන විඳින අන්දම වසර ගණනාවක් මුළුල්ලේ අත් දකිමින් සිටින්නේ ප්රසව හා නාරිවේද වාට්ටු තුලදී කාන්තාව සම්බන්ද ගැටළු විසඳමින් සිටින අතරය.
ඔසප් වීම යනු කාන්තාවන් බලෙන් ඉල්ලා ඔවුන් මත පටවාගත් ක්රියාවලියක් නොවේ. ඒනිසා ඒ අතිශය ස්වභාවික සංසිද්ධිය නිසා ඇයට ආර්ථික හෝ සංස්කෘතික බාදාකිරීම් සිදුවිය යුතු නොවේ. එය ශිෂ්ටසම්පන්න මානුෂීය සමාජයක හුරුව විය යුතුය.
කාන්තා ශරීරය තුල සිදුවන අතිශය ස්වභාවික ක්රියාදාමයක් වන නමුදු විවිද සංස්කෘතීන් තුල විවිද රටවල් තුල ඔසප් වීම ගැන ඇති කර තිබෙන සමාජ හැසිරීම වෙනස් ය. ඒ කුමන අදහස් සමාජ ගත වුව ද ශිෂ්ටාචාරගතවූ මානව සමාජයක ආචාර ධර්ම උතුම්කොට සලකන මිනිසුන් වැඩියෙන් සිටිනා මානව සමාජයක කාන්තාවකට සිය භෞතිකමය ශරීරය විසින් උරුම කර දී ඇති තත්ත්වයක් වෙනුවෙන් තමන්ගේ සෞඛ්යට තර්ජනයක් නොවන ලෙස කළමණාකරනය කරගැනීමට අවශ්ය සහන සැලසීම සමාජයක වගකීමක් ලෙස මම දකිමි.
ඔසප් සනීපාරක්ෂක කළමනාකරණයෙහි ( menstrual hygiene management ) වැදගත්කම කාන්තා කායික සෞඛ්යය යටතේ පැහැදිලි කර දෙන්නේ 'ඔසප් කාලයේදි, රුධිරය අවශෝෂණය කළ හැකි පිරිසිඳු, ඔසප් කළමණාකරන ද්රව්යය භාවිතය සහ පිරිසිඳු වීම සඳහා සබන් ජලය යන දෑ භාවිතය පිළිබඳව සමාජීය අවබෝදය පුළුල් කරමිනි.
“මම වැඩි විය පත්වුණු දවසේ ඉඳන් ඇන්දේ රෙදි කෑලි. ඒවා ගෙදර ගැහැණු අය භාවිතා කරන පරණ වුණු චීත්තවලින් කපාගත්තු ඒවා. අනික ළිඳ ළඟ ඒවා හෝදන්න රෑ වෙනකම් ඉන්න වෙනවා. නැත්නම් හැමෝටම පේනවනේ. රෑට වනලා උදේට ඒව ගන්නත් ඕනේ කාටවත් පේන්න කළින්.” මේ අප රටේ මෙන්ම ලෝකයේ බොහෝ ගැහැණුන්ගේ ඔසප් කතන්දරය ය.
අප රටේ රජයේ රෝහල් ප්රසව හා නාරිවේද වාට්ටු තුල අදටත් “සනීපාරක්ෂක තුවා” (sanitary pads) සුළු සේවිකාවන් අතින් නිර්මාණය වී විෂබීජාණුහරණය කර භාවිතා වේ. එසේ සකස් කරන්නේ එහි එන බහුතරයක් සනීපාරක්ෂක තුවා ගෙන එන්නේ නැති, සනීපාරක්ෂක තුවා භාවිතය පිළිබඳව දැනීමක් නොමැති, වාණිජ සනීපාරක්ෂක තුවා කිසි දිනෙක භාවිතා කර නොමැති කාන්තාවන් නිසා ය. අපට වාට්ටු තුල හමුවන කාන්තාවන්ට අනුව එය මහා මුදල් නාස්තියකි. එකල එනම් 2010 දී රුපියල් 100 හෝ 200ක දෛනික ආදායමක් ලබන ඔවුන්ට රු 80-100 පමණ වූ සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් යනු මහා නාස්තියකි. “ඕවා ඇඳලා විසිකරන්න ඔච්චර ගෙවන්නේ කොහොමද ?” වන්නියේ හමුවූ ස්ත්රීන් මාගෙන් විමසුවා මතක ය.
අදටත් අප රටේ බහුතරයක් ආර්ථික අපහසුතා ඇති සමාජ ස්ථරයන් හි, මිලදී ගැනීමට ඇති එක් වරක් පමණක් භාවිතා කළ හැකි කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතය අවම ය. ඒ වෙනුවට සෝදා පාවිච්චිකරනා රෙදි කැබලි භාවිතා කරයි. මේවා බොහෝ විට වේලාගන්නේ ද කාටවත් නොපෙනෙන තැනක වැනීමෙනි. මාස් ශුද්ධිය ඇති වීම සමාජයේ කාන්තාවන්ට දැරිවියන්ට අතිශය වේදනාකාරී අත්දැකීමක් බවට පත්වෙන්නේ එලෙසය. මෙසේ අපිරිසිඳු රෙදි කැබලි හෝ වැඩි වේලාවක් පැළඳ සිටින සනීපාර්ක්ෂක තුවා මඟින් බැක්ටීරියා දිලීර ආසාදන සම මතුපිට මෙන්ම මෞත්ර ලිංගික පද්ධතිය ආශ්රිතවද ඇතිවීමේ අවධානමක් පවතී. පැය 4 කට වඩා භාවිතා කරන සනීපාරක්ෂක තුවා මත බැක්ටීරියා සහ දිලීර වර්ධනය වන බව පර් යේෂණ මගින් පෙන්වා දී ඇත.
ඉන්දියාවේ ඔඩිෂා හි 2018 සිදුකර ඇති එවැනි පර් යේෂණයකදී පෙන්වා දී තිබුනේ මාස් ශුද්ධිය ඇතිවන කාලයේදී ඒ සඳහා භාවිතා කරන අපිරිසිඳු ආකාරයේ ක්රමොපායන් සහ කාන්තා ප්රජනන සෞඛ්යයට හානි ගෙන දෙන ආසාදන අතර සෘජු සම්බන්දයක් ඇති බවය. එහි අතුරු ප්රථිඵල ලෙස, ප්රජනන සෞඛ්යයට බලපාන තත්ත්ව මෙන්ම ජීවිත හානි ගෙන දෙන ආසාදන තත්ත්ව පවා ඇතිවිය හැක.
ඔසප් වීමේ කාලය සෞඛ්ය සම්පන්නව කළමනාකරණය කර ගැනීමට හැකිවීම කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකමකි. උතුම් මානවීය ගුණදර්ම අගයන, මානව අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව වදවෙන සමාජයක එවන් පහසුකම් වෙනුවෙන් ප්රතිපාදන සකස්විය යුතුයැයි මා උදක්ම විශ්වාසකරමි.
ජෛව හායනයට ලක්විය හැකි ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන හෝ වාණිජමය වශයෙන් ලබා ගත හැකි සනීපාරක්ෂක තුවා, ටැම්පොන් හෝ ඔසප් කෝප්ප භාවිතා කිරීම පුද්ගලික කැමැත්ත අනුව තෝරාගත හැක. එනමුත් ආර්ථිකමය ගැටළු නිසා යම් සමාජයක කාන්තාවන් සහ දැරියන් ඔසප් සෞඛ්යාරක්ෂිත පිළිවෙත් පවත්වා ගැනීමට නොහැකි එම නිසා ඔවුන් සෞඛ්ය අවදානම් තත්ත්වයන් හට නිරාවරණය වේ නම් එය ඛේදවාචකයකි.



Wrote for the Leo club of Sri Jayawardene University

Wednesday, December 22, 2021

පළා කෑම

අප වසන ගම් පෙදෙසේ නිවසට අත් උදව්වට යන එන ස්ත්‍රියක් වේ. ගම ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ ඇය අතේ පණිවිඩ එවීමෙනි. මගෙන් අසා දැනගෙන එන්න යැයි දිනකට ප්‍රශ්න දෙක තුනක්වත් මට ලැබේ.

"නෝනා අර අපේ අර අහවල් කෙනාගේ දුවගෙ බබා දැන් මාසයක් විතර වෙනවා. මව්කිරි දෙන්නෙ නෑ පිටිකිරි දෙන්නෙ කියලා අහන් එන්න කීවා හොඳ පිටි වර්ගයක්"  මම තුෂ්නිම්භූත වීමි. එදාවේල අමාරුවෙන් ගෙවා ගන්නා කුලී වැඩ කරන මේ මිනිසුන් ආර්ථික වශයෙන් සවි ශක්තිමත් නැත.

 " මව්කිරි නොදෙන්නේ ඒ අම්මාගේ කිරි නැද්ද ?"

අම්මට හොඳට කිරි තියෙනවා. ඒ බබා නිතරම කක්කා පොඩ්ඩ පොඩ්ඩ දමන නිසා නැන්දම්මා කීවලු ඒ අම්මට දියවැඩියාව නිසයි එහෙම වෙන්නේ එනිසා මව් කිරි දෙන්න හොඳ නෑ බබාට කියලා" මෙවැනි දෑ ඇසීම අපට අමුතු නැත. විවිධ වූ විශ්වාසයන්ගෙන් ගහන සමාජයක හිතකර මෙන්ම අහිතකර උපදෙස්ද මෙලෙස ඇසේ.

ළදරුවන්ට කොහොමත් කක්කා පොඩ්ඩ පොඩ්ඩ යනවා. කහිද්දීකිඹිහුම් යද්දී... එහෙම තමයි. ඒකෙන් ඒ අම්මට දියවැඩියාව තියෙනවා කියන්න බෑ"

 " ආ එයාගේ නැන්දම්මා තමයි එහෙම කරන්න කියලා තියෙන්නේ"

අම්මට දියවැඩියාව තිබුනත් කිරි දෙන්න ඕනේ දරුවට. දියවැඩියාව තිබුන අම්මලා උනත් දරුවට කිරි නොදී ඉන්න කියලා එහෙම කතාවක් කොහෙවත් නෑ"  මම පැහැදිලි කළෙමි.

"ඒ අම්මට වයස කීයද ?"

"අවුරුදු 20ක් ඇති"

 " අනේ තරුණ ළමයෙක්නේ... දියවැඩියාව බබා ලැබෙන්න ඉද්දී චෙක් කරනවාදියවැඩියාව හැදෙන්න විවිද හේතු සාධක ගොඩක් තියෙනවා. ඒකට වෙනම පරීක්ෂණ තියෙනව.  බබා නිතර කක්කා දානවා කියලා අම්මට දියවැඩියාව කියන්න බෑ, එහෙම කියලා අම්මගේ මව්කිරි නවත්වන්න කියලා නිර්නායක කොහේවත් නෑ" මම පැහැදිලි කළෙමි..

ඇරත්මාස 6ක් වෙනකම් අනිවාර් යයෙන් මව් කිරි පමණක් දෙන්න ඕනේ.. දරුවෙක්ට හොඳින් වැඩෙන්න එයාලගේ ප්‍රතිශක්තියට ලෙඩරෝග වලින් වැලකෙන්න මව්කිරි ඕනෑ." ඇයට පැහැදිලි කළෙමි

ආ මං කියන්නම්.. අපරාදේ එයාලා පිටිකිරි දෙන්න හදනවා" කියමින් ඇය පණිවිඩය රැගෙන ගියාය.

 ඒ මම ඇසූ බොහොම වෙනස් ජාතියේ කතාගොන්නෙන් එකකි.

කිරි පිටි සම්බන්දයෙන් අමුතු කතා ඇහෙන මේ කාලයේදී වෛද්‍යවරියක් සහ මවක් ලෙස මම ද මෙවැනි උපදෙස් මටද කියන්නට එන සමාජයක ජීවත්වන නිසා මව්වරුන් වෙත ඇති මෙවැනි බලපෑම් ගැන හොඳාකාරවම දනිමි.

අවුරුදු ගණනාවක් ළමා වාට්ටු වල සේවය කර ඇත්තෙමි. මව් කිරි ප්‍රවර්ධනය සහ ස්තාපනය පිළිබඳව උපදේශකයෙක් ලෙස වැඩමුළු වලට පවා සහභාගි වීමි. මව් කිරිදීමේ වැදගත්කම අවබෝද කර ගත්තෙමි.

දරුවෙක් වැඩෙද්දී මාස හයක සිට ඝණ ආහාරවලට හුරු පුරුදු කිරීම අදවන විට සියළු දෙනා පුරුද්දක් වශයෙන් කරති. අවුරුදු 1- 2 පමණ වන විට මව් කිරි දීම ද අත්‍යාවශ්‍ය නොවන බව ද දරුවාට අවශ්‍ය පෝෂණකොටස් ලැබෙන්නේ ඝණ ආහාරවලින් බවද ඉගෙන ඇත්තෙමි.

“බර වැඩි වෙන්න පිටි එකක්වත් ලියලා දෙන්න ඩොක්ටර්” යැයි සායනවලදී අපට අනන්තවත් මව්වරු ආයාචනා කරති. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය බහුල ආහාරවේලකින් ලැබෙන පෝෂණයට සම කරන්නට කිරිපිටි වලින් නොහැකි බව අප ඔවුනට වටහා දෙන්නෙමු.

ඇමෙරිකාවේ වෙසෙන ජිම් ක්වික් යනු වේගයෙන් කියවීමමතකය වැඩිදියුණු කිරීම සහ ප්‍රශස්ත මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විශේෂඥයෙකි ඔහු රටවල් 150 කට අධික සංඛ්‍යාවක සෑම වයස් කාණ්ඩයකම  සහ සෑම වෘත්තියකම නියැලී සිටින්නන් සඳහා වේගවත් ඉගෙනීමේ ක්‍රම පිළිබඳ වැඩමුළු සහ පුහුණු කිරීම් සිදු කරයි. මෑතක ඔහු සිදු කරන ලද මතක ශක්තිය වැඩි කිරීම පිළිබඳ වැඩමුළුවකදී ඔහු පැවසුවේ, මොළයේ වර්ධනය සිදු කරන මොළයට හිතකර කෑම වර්ග පිළිබඳවය. ගොටු කොළ, අලිගැට පේර, බ්‍රොක්කලි, පොල් තෙල්, බිත්තර, සැමන් මාළු, කහ, වෝල් නට් සහ ඩාක් චොකලට් මේ ලැයිස්තුවේ අන්තර්ගතය. ගොටු කොළ රිසි සේ වැවෙන, පොල් තෙල්ද ඇති මේ රටේ මව්වරුන් මේවා ගැන දැනුවත් නැත. සත්ත්ව හෝ ශාක මේදය අඩංගුමාජරින් හෝ මේද තැවරුම් බටර් යැයි කියා භාවිතා කරති. දරුවන් හට බර වැඩි කර ගන්නයැයි නොයෙක් තැන ඇසෙන දෑ ගෙනැවිත් ගිල්ලති.

දරුවෙකුගේ වර්ධනය සිදුවෙන මූලික වයස්කාණ්ඩ වලදී නිසි පෝෂණයක් සහිත කෑම වර්ග ලබා දිය යුතුය. ප්‍රෝටීන බහුල ආහාර මෙන්ම පළාවර්ගද බොහෝ සෙයින් අප ආහාරවට්ටෝරු වලින් ඇත්වී ඇති බව මට වැටහේ.

ගෙවත්තේ පෝච්චියක ගොටු කොළ හෝ නිවිති වවාගත හැකි බව මා ප්‍රායෝගිකව දනිමි. දිනපතා කොළ දහයක් සෝදා ලියා දරුවාගේ කෑමවේලට එකතුකළ හැක. දරුවන් යනු පුහුණු කරගත හැකි පිරිසකි. දිනපතා මෙවැනි පෝෂණයක් සහිත ආහාරවේලක් දරුවාට දීමෙන් ඇත්තටම ඔවුන් ඒ දේට හුරුවන බව මම දන්නේ මගේ දරුවා සම්බන්දයෙන් මට ඇති අත්දැකීමෙනි. අමු තක්කාලි, රතු ලූණු සහ කොළ පැහැති පළා වර්ග කොයි තරම් හිතකර දැයි බොහෝ බටහිර රටවල ලිපි මගින් සාකච්ජා කෙරේ. මුරුංගා කොළ මිටක්, කතුරු මුරුංගා කොළ මිටක්, ගොටු කොළ මිටක් එකතුකරගැනීම තුළින් අත්වන වාසි, නොයෙක් පෝෂණ ඇතැයි කියමින් ගිල්ලන පෝෂණ පැකට් හෝ ද්‍රාවණ තුළින් ලබා ගැනීම අපහසුය.

 සායනික සටහන් නොවේ- වෛද්‍ය බෝධිනී සමරතුංග

From newspaper column 

Wednesday, December 15, 2021

ත්‍රීපෝෂ පැකට් දෙක

ත්‍රී පෝෂ පැකට් දෙකකට බුද්ධත්වය පැතීම....

this was written in 2014 ....

රජයේ මාතෘ සායන වලදී නොමිලේ දෙන අර ත්‍රීපෝෂ පැකට් දෙක මොන තරම් නම් වටිනවාද කියලා තේරුම් ගියේ මට මෑතකදී. (2014) 

මා වැඩ කරන ළමා සායනයේදී දරුවන්ට පෝෂණ ඌනතා ඇතැයි කියා ත්‍රිපෝෂ ලබා ගැනීමට කොයි තරම් නම් අම්මලා අපට ආයාචනා කරනවාද ? නමුත් නිසි බර උස ඇති දරුවන්ට බොරුවට ලියුම් ලබා දිය නොහැකි බව කියා ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්නට වුනේ එහෙම ක්‍රමවේදයක් නොමැති නිසාමයි. එනමුත් අඩු ආර්ථික මට්ටමක් සහිත ඔවුන් හට මේ ත්‍රිපෝෂ පැකට් දෙක ගෙදර ඉන්නා කුඩා වුන් රොත්තකගේ බඩගින්න නිවන යාන්ත්‍රනයකි.

මා ගැබිනි අවධියේ රෝහලේ පැවති මාතෘ සායනයේ රෙජිස්ටර් වෙන්නට සිදුවිනි. ඒ නීතිය එහෙමමය. වාට්ටුවේ වැඩ කරන අතර තුර අල්ලපු ගොඩනැගිල්ලේ සායනයට ගිහින් එන්න පුළුවන් වීම එක්තරා විදියක පහසුවකි. 

එහිදී ගැබිනි මව්වරුන්ට ත්‍රීපෝෂ, ෆෝලික් ඇසිඩ් පෙති, යකඩ පෙති විටමින් සී නොමිලේ මසක් ගානේ ලබා දේ

පළමු සායනයේදීම , මා ඔවුන්ට පැවසුවේ… මට එම දීමනාව අනවශ්‍ය බවය. ඒ මට මහා ලොකුවට පෝෂණය සපයාගන්න ධනස්කන්ධයක් හිමි නිසා නම් නොවේ. 

රජයෙන් ලැබෙන වැටුපෙන් ඒ දේවල් ලබා ගන්නට පුළුවන් කමක් මට තියෙන නිසාත් මගේ පුද්ගලික ප්‍රින්සිපල්ස් අනුව මට අවැසි දේ මට සපයා ගන්නට තරම් මුදලක් අතට ලැබෙද්දී ඒ නිකම් ලැබෙන දේ මට වඩා අසරණ කෙනෙක් වෙනුවෙන් වෙන් කිරීම යෙහෙකැයි සිතන්නට පුරුදු වී ඇති නිසාත් ය. මා සායනයෙන් විටමින් පෙත්තක්වත් ලබා ගන්නේ නැත. 

 මා එම දීමනාව අනවශ්‍ය බව කීවාට, ගැබිනි මට වෙන් කර ඇති කොටස කොහොමත් ලැබෙන බවක් ඔවුන් කීවෝය. “ අනේ මිස් මෙතනට එන දරුවෝ ගොඩක් ඉන්න ගැබිනි අම්මෙක්ට ඔය ත්‍රීපෝෂ ටික දෙන්න..” මගේ කටෙන් පිටවෙනවාත් සමගම අසල සිටි දෙදෙනෙක් දිව ආවෝය. “අනේ ඩොක්ටර්ට එපා නම් අපිට ඒක දෙන්න ලැබෙන්න ඉන්න දරුවටත් පින් මගෙ රත්තරන් මැඩම්… ඔය ආදී ලෙස පින්සෙන්ඩු වෙමින් බුදු බව පවා ප්‍රාර්ථනා කරන්නට විය. ඒ ත්‍රීපෝෂ පැකට් දෙකකට ! 

 දැන් ඔවුන් මා  සායනයට යන සෑම මසකම මට ලැබෙන දීමනාව ලබා ගනී.  අසනීප නිසා එහි යන්නට බැරි වුන පසුගිය දිනෙක කෙනෙක් පැමිණ මගේ කාඩ්පත රැගෙන ගොස් ඒවා ලබාගෙන නැවත කාඩ් පත මට ගෙනැවිත් දුන්නේ පින් සිද්ධ වෙනවා යැයි මතක් කරමිනි. දැන් ඒ පැකට් දෙකට බැල්ම දාන පිරිසද වැඩිය. අයියෝ මැඩම් මට දෙන්න තිබුනානේ.. ඇතැමෙක් පවසයි. .  සමහරු අර උන්දැලාගෙන් ඒ ගැන විමසයි. ඔවුන් මට ඇමතුම් දේ “ මැඩම්ට ඕනෙද පැකට් දෙක අහවලා කියනවා මැඩම්ට දෙන්න කියලා”… “නෑ මට ඕනෑ නෑ. මං ඉල්ලුවෙත් නෑ.. ඕනෑ කෙනෙක් ඕනේ දෙයක් කරගන්න”  . 

 මා ඇතැම් විට අපේ paediatric සායන හමාර කොට වාට්ටුවට එන ටිකට පාර දිගේ දිව එන ගැබිනි මව්වරුන් මුණ ගැසේ... ඔවුන් සිතන්නේ මා සායනයට ගොස් පැමිණෙන ගැබිණි මවක් කියාය. "අද ත්‍රීපෝෂ දීලා ඉවරද ?" , "තවම ත්‍රීපෝෂ දෙනවද " ඔවුන් මගෙන් විමසයි. ඒ කිසිඳු අම්මා කෙනෙක් ත්‍රීපෝෂ ගෙනියන්නේ ඔවුන්ගේ පෝෂණය සඳහානම් නොවේ... ගෙදර සිටින අන් දරුවන්ගේ කුස පිරවීමටය.. මොකක්ද මේ රටට උනේ ! 

Friday, December 10, 2021

මා....

සිත් බිඳුණු පණ සිඳුණු යුද්ධයේ ශෝකාලාපය‍

උතුරු කොන කතාවක් කියවද්දී උතුරු කොන ගත කළ අවුරුදු හතරක කාලය මගේ මනසෙහි ඇඳෙන්නේ නිරායාසයෙනි. ඒ සමගම හිතෙන් ඇසෙනා සංගීතවත් ගීතයකි. ඒ බෙනට් රත්නායකයන්ගේ “ඉර හඳ යට” චිත්‍රපටයේ එන, මේ ඉරහඳ යටදීම ආදරේ කරන්න ජීවිතේ විඳින්න.. ගීතයේ සංගීත කණ්ඩයයි. 
මා නවකථාව කියැවූයේ මේ අපූරු සංගීතය මගේ මනසේ නිරන්තරයෙන් නින්නාද වෙද්දීය. 
උතුර දකුණ බේදබින්න කළ යුද්ධයේ අතුරු ප්‍රතිඵල අපි අදටත් අත් විඳින්නෙමු. ඒ ගැන නිරන්තරයෙන් ලියන්නෙමු. 
මොරටුවේ ග්‍රන්ථ පොත් හල වෙත සැප්තැම්බරයේ ගිය ගමනේදී මා පොත රැගෙන ආවෙමි. “ආ අක්කාට කියවන්න මේක නියමයි.” කීවේ බ්ලොග් ලිවීම නිසාම සහෝදරයන් වූ දසුන් සමීර මල්ලීය.”මා කියලා නවකතාවක් කියෙව්වා...ඩොක්ටර්වමයි මතක් වෙන්නේ...” පවි ජයවර්ධන සොයුරිය මුහුණු පොත මත ලියූ කමෙන්ටුවකින් මගේ කියවීමේ ආශාව තීව්‍ර විය. එතෙක් කියවමින් සිටි පොතට සමුදී මා නමැති පොත එක හුස්මට කියවන්නට වීමි.

සරල බස් වහර සහ කියවන්නා වෙහෙසට පත් නොකරන ලෙස කතාව ගලා යෑම අපූරුවට හසුරුවන කතුවරයෙක් ලෙස මා චූලාභය ශාන්ත කුමාර හේරත් මහතා හඳුනාගෙන සිටියේ සූරිය කුසුම නවකතාවෙනි. පොත අතින් බිම තියන්නට බැරිවෙන්නට එකින් එක වචන පුරුද්දන ආකාර ළගන්නා සුළුය. 

දවස් දෙකෙන් පොත කියවා හමාර කළේ පොත කියවන්නට වූ තැනේ සිට එහි අවසානයක් දකින තෙක් හිතේ ඇතිවූ කුතුහලය හේතුවෙනි. අතීතය තුළ වැලලීගිය මේ වෛද්‍යවරියගේ කතන්දරය මේ සා බැරෑරුම් , ඛේදනීය එකක් වේයැයි කිසිවිටක මම ද නොසිතුවෙමි.

දෙමළාට, දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්දැයි අසන මිනිසුන් හට දිය හැකි පිළිතුරක් “මා” යන අපූර්ව කෘතියෙන් පෙන්වා දේ. 83 ජූලි කලබලයේ සිට මේ රටට අනවශ්‍ය ඛේදනීය තත්ත්වයක් නිර්මාණය කරමින් එදා මුළු මහත් දේශයක මලගම ලියා දෙන්නට සමස්ථ දේශපාලන යාන්ත්‍රණයට හැකිවූ අයුරු අපි කොතෙකුත් කතන්දර මගින් දැක බලා කියවා ඇත. “මා” ඒ සිදුවීම ඉතා සියුම් ලෙස ග්‍රහණය කරන ලද කෘතියකි. ත්‍රස්තවාදී යාන්ත්‍රණය අප බැහැර කළ යුත්තේ ඇයි දැයි කියන්නට මට බොහෝ ජීවමාන සාක්ෂි හමුවූයේ උතුරු කොනේදීය. “මා” නවකතාව කියවද්දී මට ඒ කතා චරිත සංසිද්ධීන් මනසෙහි මැවී පෙනේ. පසුබිමින් ඇසෙන්නේ මානව සුවඳේ වෙලෙන්නට අඬ ගසන මේ ඉර හඳ යටදී ආදරේ පමණක්ම විඳිය යුතු බව අපට වඩ වඩාත් පසක් කරවන ඒ චිත්‍රපට ගීතයයි. 

“ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් පුතේ. අපි කොයි තරම් ප්ලෑන් කළත් ජීවිතේට මුහුණ දෙනක්ට ඒ ප්ලෑන් වෙනස් වෙනවා..” කවිතා තමන්ගේ ශෝචනීය අතීතය සිහිපත් කරමින් පවසන්නීය. 
ඒකට තමා ජීවිතේ කියන්නේ… මා සේවය කර සමුදුන් වන්නිය ගැන මතක අවුස්සමින් හිතන්නට මානුෂීය කාරණා රැසක් ඉතිරි කළ “මා” පොත ලීවාට ඔබට බොහෝ ස්තූතිකරමි. එය ප්‍රබන්දයක් වුවද වන්නියේ අමාරුම කාලයක ජීවත් වූ මට එයට සමීප බොහෝ කතන්දර මතක් වූ අතර ඒවා මෙහි එන ඇතැම් සිදුවීම් හා සමපාත වූයේ පුදුමාකාර ලෙස ය.

වෛද්‍ය නේවාසිකාගාරයට බෝම්බයක් අටවන්නට එය ගෙන ආ කොටි ත්‍රස්තවාදියා අතින් එය ගේට්ටුවට මෙපිටින් පුපුරාගොස් තිබුණේ ඔහුගේ අත්වැරැද්දකිනි. ඒ වන විට ඔහුගේ සොයුරිය එහි වෛද්‍යවරියක ලෙස සේවය කළ බවද අක්කා හමුවීමට නිතර පැමිණි බව ද ඇසුණි. මේ යුද්ධයේ එවන් අපහසු සහෝදර බැඳුම් අනන්තවත් හමුවිණි. අත් අඩංගුවේ පසුවන තම සොයුරා හමුවීමට දකුණු කොනේ සිට පැමිණෙන වෛද්‍ය සොයුරාද මට මතක් විණි. එමෙන්ම ත්‍රස්තවාදයට උල්පන්දම් දෙමින් රටබෙදන්නට වුවමනා යුද්ධයේදි එපිට සිටගත් වෛද්‍යවරුන් ද, එපිට රෝහල් පණ ගන්වා එහිම සේවය කළ වෛද්‍යවරුන්ද වෛද්‍යවරියන්ද මට සිහිවේ. අවසාන සටනේදී මුලතීව් කැලයේ, නන්දිකඩාල් කලපුවේ ජීවිත රැකගත් පිරිස පසුව මට හමුවිණි. හිසෙහි යකඩ කැබැලිද හිතෙහි බොහෝ දුක් වැලපිලිද රැගත් ඔවුන් සුවපත් වෙන්නට බොහෝ කල් ගත විය. පාසැලක පරිගණක කාමරය ශල්‍යාගාරයක් බවට පත් කර සිසේරියන් සැත්කම් කළ සහෝදර වෛද්‍යවරයා, ඔවුන්ව බලෙන් රඳවාගෙන මිනිස් පළිහක් ලෙස සිවිල් වැසියන්ද කිලිනොච්චි රෝහලේ සියළුම බඩු බාහිරාදියද සමඟ එහි සේවය කළ සියල්ලන්ද රැගෙන තැනින් තැන යමින් හමුදාව විසින් ඔවුන්ව මුදාගන්නා තෙක් ගත කළ කාලය සිහිපත් කරන්නේය. මුලතිව් කැලයේ වෛද්‍ය සේවා ලබා දෙමින් කවිතා සහ අරුල් ජීවිත බේරාගැනීමේ යුද්ධයේ කොටස් කරුවන් වූ හැටි “මා” පොතෙන් කියවද්දී නැවත නැවතත් මා දෑස් අභියස ඒ අතීත කතා මැවී පෙනේ. යුධ වැදුණු සමාජය තුළ ඇත්තේ මේ කතාවෙහි ලියැවී ඇති දුක කඳුළ සහ අහිමිවීමම ය.

එදා මෙන්ම අදත් අළු යට ඇති ගිනි පුළිඟු මෙන් ඕනෑම මොහොතක බුර බුරා නැගෙන්නට හැකි ජාතිවාදී ගිනි සුලභය. මවකට පුතෙක් වෙන්කරන්නට, දෙහදක බැඳි ආදරයක් සැක කරන්නට ත්‍රස්තවාදය නම් බල ලෝභී මර්දනකාරී ඒ යාන්ත්‍රණයට හැකි වූ අයුරු මේ කතන්දරයෙන් කියැවේ. උතුරේ දෙමළා ද දකුණේ සිංහලයාද මුසල්මානුවාද ත්‍රස්තවාදයෙන් බොහෝ පීඩා වින්දෝය. කුඩා කාලයේදීම මව පියා අහිමි වූ දරු දැරියන්ද, දරුවන් අහිමි වූ මව්පියන්ද, කේඬෑරි අත්වලින් ආයුධ ඔසවාගෙන නොතේරෙන යුද්ධයක කොටස් කරුවන් වූ දරුවන්ද මට හමුවී තිබේ.

“යුද්ධයක් ආයේ එපා පුතේ” යැයි අපේ අනාගත පරම්පරාවට දයාර්දයෙන් ඉල්ලා සිටීමට මේ අවුරුදු තිහකටත් වැඩි යුදයේ ශෝචනීය මතක, අහිමිවීම් සහ ඛේදවාචක ප්‍රමාණවත් යැයි මට සිතේ.මේ කතාව ප්‍රබන්දයක් වුවද මේ හා සමාන කතන්දර අපි දශක ගණනාවක් මුළුල්ලේ ඇසුවෙමු වින්ඳෙමු අත් දුටුවෙමු. “මා “ නවකතාවෙහි කැටි වූ මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ අප හදවතට වඩාත් දැනෙන්නේ එහෙයිනි. 
බෝධිනී සමරතුංග- 2019