Wednesday, September 26, 2018

චමත්ක කවීන් බණ්ඩාර විසින් රචිත, “චමත්කාර - සිතුවිලි අතර නතර වූ සිතුවිලි”


“කාලය හැමදාමත් අපූරු රටා මවනවා. එක පැත්තකින් බොහෝ දේවල් වෙනස් කරනවා. තවත් දේවල් ගොඩ නගනවා. බිඳ ඉහිරවනවා. ඒ අතරින් කාලයට වෙනස් කරන්න බැරි වුණු පෙර වගේම නිහඬව ගලාගෙන යන සිදුවීම් ඕනෑ තරම් හමු වෙනවා “ පිටු අංක 100 චමත්කාර
චමත්ක කවීන් පුතාගේ පස් වෙනි ග්‍රන්ථය දොරට වැඩීමේදී මට ඒ ගැන කතා කරන්න ලැබුන විට මම ඒක හරිම කැමැත්තෙන් භාර ගන්නවා. ඒ වන විටත් මම, චමත්ක කවීන් පුංචි කවියාගේ කවි කියවන, ඔහුගේ චමත්කාර තීරුව කියවන අතර ඔහුගේ කෙටි චිත්‍රපට, ළමා නාට්‍ය යන මේ සියළු තැන්හි දැක්වූ සමත්කම් ගැන දකිමින් ඔහු ගැන අප්‍රමාණ සෙනෙහසින් බලා හිඳි කෙනෙක්.
ඉතින් ඒ අපූරු පොත් පිංච දොරට වඩින අවස්ථාවේ මට වැටහුනා ළමා සාහිත්‍යය සහ ළමයින්ව සාහිත්‍යයට යොමු කිරීම කියන අපට තියෙන ප්‍රබලම අභියෝගය ගැන කතා කළ යුතුයි කියලා. යන එන අතර, හිත නෙත රැඳුණු බොහෝ කතන්දරවල සංවේදී කියවීමක් සහිත මේ කතන්දර බොහෝ දේ ගැන හිත තෙතමනය ඇති කරන සුළු ලියැවීම්. මේ වයසේ දරුවෙක්ගෙන් මෙවැනි වූ ලියැවීමක් කියවන්න ලැබීම මා පුදුමයට පත් කරනවා. ඒ අතරම මගේ හිතේ දුකක් ඇති වෙනවා. ඒකට හේතුව, අපේ රටේ මේ වන විට, මේ චමත්ක කවීන් පුතා වගේ දරුවෝ බිහි වෙන එක අඩු වෙලා තියෙන නිසා. ඒක මම දකින්නේ මීට අවුරුදු ගණනාවක ඉඳන්. ඉතින් මේ වගේ දක්ෂ දරුවන් බිහි කරන්න, අපේ රටේ ඉස්සරහට මොකක් හරි හිතකර වෙනස්කමක් අපට කරන්න පුලුවන් කියා මට හිතුන නිසා මම මේ ටික කියන්නම ඕනේ කියා හිතුවා.
අපේ රටේ මේ වෙනකොට සංවේදී මිනිස්සු දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. අනෙකාගේ අමාරුකම් කෙරෙහි, අනෙකාගේ දුබලතා කෙරෙහි හෝ අනෙකාගේ සැපසම්පත් කෙරෙහි සංවේදී වෙන මිනිස්සු අපිට නැති වෙලා තියෙනවා. මේ අපේ සමාජයේ රටේ පැවැත්මේ තියෙන ප්‍රබලම මරු පහර ලෙස අපි දකින්නේ මෙන්න මේ දේ. අපේ කාලයේදී, අපි කුඩා කාලයේ නම් අපි එතරම් ජන මාධ්‍ය සමග ගැටුණු පිරිසක් නෙමෙයි නමුත් අද දරුවන්ට පහසුවෙන් මාධ්‍යය සහ ඒ ආශ්‍රිත උපාංග පහසුවෙන් ළඟා කරගැනීමේ හැකියාව තිබිලත් ඔවුන් සෞන්දර්‍යාත්මක , සංවේදී මිනිසුන් බවට පත් වීම අඩු වෙලා තියෙනවා.
එහෙම අපි කතා කරද්දී ඇමෙරිකාව එංගලන්තය වගේ රටවල් පර් යේෂන කරනව අපේ ළමා පරපුර මේ ගැටළුවෙන් මුදවාගන්නේ කියලා, උදාහරණයකට කිව්වොත් අපි කොහොමද චමත්ක වගේ දරුවෝ මේ ලෝකෙට බිහි කරගන්නේ කියලා. මොකද අන්න එහෙම දරුවොන් තමා සමාජයේ සාර්ථක මිනිසුන් ලෙස වැඩදායක මිනිසුන් ලෙස වගකීම් දරන්නේ.
ඒක සහජ කුසලතාවය හෝ ඉබේ එන දෙයක් කියලා ලඝු කරලා පැත්තකට කරන්න බෑ. විශාල වගකීමක් තියෙනවා අපේ වැඩිහිටි පරම්පරාවෙන් විශේෂයෙන්ම අම්මට තාත්තට , දරුවන් මේ කෙරෙහි උනන්දු කරන්නට.
ජෝන් එස්. හටන් කියන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා පර් යේෂනයක් ප්‍රකාශයට පත් කරනවා. ඔහු මේ සඳහා යොදා ගන්නා දරුවන් 19 දෙනාගෙන් 40% අඩු ආදායම් ලාභී දරුවෝ. ඒ දරුවොන්ට ඔවුන් සුරංගනා කතා කියද්දී ඒ දරුවොන්ගේ මොළයේ ඇති වෙන වෙනස්කම් ඔවුන් බලලා තියෙනවා මේ පර් යේෂනයෙන් , දෙමාපියන් කුඩා කල සිට කතන්දර කියලා දෙනවානම් ඒ දරුවොන්ගේ මොළයේ වෙනස් කම් ඔවුන් මෙහිදී පැහැදිලිව දැකලා තියෙනවා.
දරුවෙක් අකුරක් කියවන්න ඉගෙන ගන්න කළින් සංඥාවක් රූපයක් හෝ ඉගෙන ගන්න කළින් ඉඳන් දෙමාපියන් දරුවෙක්ට කියාදෙන දේ තුලින් දරුවන්ගේ මොළයේ විශාල බලපෑමක් ඇති කරනවා කියලා ඔවුන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා.
අපේ රටේ අපේ අම්මලා තාත්තලා අත්තම්මලා සීයලා ඔවුන්ගේ ආභාෂයෙන්, දරුවන්ට ගහකොළ මල් පෙන්වලා කවි කතන්දර කියලා දරුවන්ට කුඩාකාලයේ ඉඳන් සෞන්දර් යය විඳින්න හුරු කළා. ඒත් අද අම්මලා තාත්තලා දරුවොන්ගෙන් ඈත්වෙලා මෙවලමක් අතට දෙනවා. මම මේ හට්න් ගේ පරීක්ෂනය මෙතැනදී කියන්න හේතුවුනේ, ළමා සාහිත්‍යයක්, ළමයින්ව කියවන්න ලියන්න පුරුදු කරන්න අවශ්‍ය බව කියන නිසයි.
නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය කියන දේ අවශ්‍යයි. පොතක් පතක් කියවද්දී අකුරු කියවද්දී, ළමා මනසේ පරිකල්පන ශක්තිය වැඩිවෙනවා කියන එක කියනවා. පරිකල්පනය තුලින් තමා සොඳුරු සෞන්දර්‍යාත්මක වටිනාකමින් යුත් නිර්මාණ කරන මිනිසුන් බිහිවෙන්නේ. එහෙම මිනිසුන් විනාශයක් ළඟා කරන්නේ නෑ කියා ඔවුන් කියනවා. එතකොට අපි ඇත්තටම කලාකරුවෝ කියා හඳුනාගත් පිරිස් අන් අය කෙරෙහි සංවේදී සොඳුරු මිනිසුන් විය යුතුයි නේද ?
කළින් ඉඳන් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට සුරංගනා කතා කියලා දෙන දරුවන්ගේ මොළයේ තිබෙන රූප ශබ්ද භාෂා කියන මේ තැන් ගැන වගකියන කොටස් ඉතා දැඩි දීප්තියකින් පෙන්නුම් කරලා තියෙනවා ක්‍රියාත්මකයි හෝ වැඩ කරන බව. එතකොට මම මෙතනදි මුලින්ම කියන පණිවිඩය තමයි චමත්ක වගේ දරුවෝ බීහිවෙන්නනම් ඔබලාගෙන් සියයට සියයක් ඔබේ සහය අවශ්‍යයි. මේ දරුවන්ගේ දක්ෂතා වැඩි දියුණු කරන්න ඔවුන්ව සංවේදී දරුවෝ කරන්න , ඔවුන්ට හැකි තරම් කතන්දර කියන්න. තිර වලින් , ස්ක්‍රීන් එකෙන් මුදවන්න කියන එක.
අයින්ස්ටයින් කියා තිබෙනවා ඔබට ඔබේ දරුවා බුද්ධිමතෙක් කරන්න උවමනානම් සුරංගනා කතා කියවන්න කියන එක
ළමා පරපුර තමයි මතු දාක වැඩිහිටියන් ලෙස සමාජය බාර ගන්න ඉන්නේ. ඔවුන් පොත් පත් ආභාෂයෙන් ඈත් වෙලා සෞන්දර්‍යාත්මක චින්තනයන්ගෙන් ඈත්වෙලා ස්ක්‍රීන් එකක් ඉස්සරහ ගාල නොවිය යුතුයි කියලා වෛද්‍ය විද්‍යාත්මක හේතුත් සමග පැහැදිලි කළ පර්යේෂන ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් හමුවෙනවා.
නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය (Imagination) කියන දේ අවශ්‍යයි. අන්න ඒ පරිකල්පන ශක්තිය කෙනෙක් තුල ඇතිවෙන්නේ , කුඩා කළ සිටම තියුණු වූ, හැඩගැස්වීමට ලක් වූ, නොයෙක්, සමාජීය සෞන්දර්යාත්මක දෙයින් පෝෂණය වූ මනසක් තුලින්.
දරුවෙක්ට පොතක් කියවීම තුලින්, කතන්දරයක් කීම තුලින්, ලැබෙන විඳීම සහ සංවේදනා , තිරයක් මත කාටූන් එකකින් හෝ චිත්‍රපටයකින් ලැබෙන්නේ නැතිව යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ මොළේ කියන්නේ බොහොම සංකීර්ණ දෙයක්. නිරන්තරයෙන් ඉගෙනීමට සහ මතක තබා ගැනීමට ලක්වෙනවා. සමාජයේ අසන දකින දේවල් වලින් පෝෂනය වෙනවා. පොතක් කියෙව්වම, ඒ අකුරු ඔස්සේ දරුවා හිතේ කතාව හදා ගන්නවා, දරුවෙක්ගේ හිතේ චිත්ත රූප මැවෙනවා, ඒ අකුරු ඔස්සේ මොළය තුල රූප මවාගෙන කතාව කියවනවා.
අද සමාජයේ තියෙන ආකල්ප නිසා අපේ දරුවෝ සෞන්දර්‍යයට , නිර්මාණකරනයට යොමු කිරීම අපහසුම කාර්යයක් වෙලා තියෙනවා. චමත්ක පුතා දිහා බලන් ඉන්නකොට මට පුදුම ආඩම්බරයක් දැනෙනවා ඔහුගේ දෙමාපියන් ගැන. ඔවුන් මේ දරුවාගේ දක්ෂතා හඳුනාගෙන ඔහුව හරි මගට යොමු කරලා ඔවුන්ගෙන් ඔහුට එහෙම සහයෝගයක් ලැබුනේ නැත්නම් ඔහුට මේ තරම් දුරක් එන්න අපහසුයි. අපි එකිනෙකාගේ අප තුල තියෙන අපට කරන්න පුළුවන් ප්‍රමාණය වෙනස් අපේ හැකියාවන් වෙනස්. ඒවා එක්ක ඉදිරියට යන්න අපේ දරු පරපුරට අපි උදව් වෙමු. ඒවගේම අපේ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට ඉඩකඩ ලබා දීලා ඔවුන් හට නිර්මාණකරනයේදී ලැබිය යුතු සහය ලබා දීම වැඩිහිටි පරම්පරාවේ වගකීම බවත් මතක් කළ යුතුමය.
මම තවමත් චමත්කාර පොතේ අකුරු අතර මේ කුඩා දරුවාගේ චින්තනයේ විස්මය කියවමින් සිටිනවා. අවට ලෝකය ගැනත් , මිනිස් සිත් වලින් එබී බලන වචන සහ සිතුවිලි වල අරුමයත් ඔහුගේ පන්හිඳට කැටිවෙන්නේ ඔහුටම ආවේනික වූ සරල සුගම්‍ය වදන් පේළි වලින්.
හිමි අහිමි දෑ ගැන, මිනිසුන්ගේ කියුම් කෙරුම් ගැන, ඔහුට දැනෙන අයුරින් ලියා දක්වන කතා විටෙක හිත් වල ඇති කරන්නේ ශෝකයක්. සමාජය දෙස ප්‍රකෘති සිහියෙන් බලා සිටින චමත්ක පුතා ඒවා අකුරු කරන්නේ මනා සංයමයකින්.
“ජිවිතය මොන තරම් අපූරුද ? හැම මොහොතක ම හැම දිනයක ම අලුත් පාඩමක් කියා දෙනවා” පිටු අංක 117
මම ඔබ දිහා බලමින් ඒ පාඩමේ අපූර්වත්වය දකිනවා. චමත්ක කවීන් වැනි දරුවන් වෙත අවශ්‍ය ගුරුහරුකම් මග පෙන්වීම ලබා දෙමින් ඔහුගේ හැකියාවන් ඔපමට්ටම් කරගැනීමට වඩා කැපවී සිටින දෙමාපියන් ඇතුළු සියළු දෙනා හට ඉතා ස්තූතිවන්ත වෙන්නේ සමාජයට වැඩ දායක සංවේදී සොඳුරු නිර්මාණකරුවෙක් සොඳුරු මිනිසෙක් බිහි කරන්නට, දරුවා තුල තිබෙන සහජ කුසලතා හඳුනාගන්නට, මේ හැල්මේ දිවයන අධ්‍යාපන තරඟයෙන් මදකට මිදෙන්නට අවකාශයක් ලබා දෙන්නට හැම අම්මෙක්ටම තාත්තෙක්ටම හැකි වේවා යැයි පතමිනි.
වෛද්‍ය බෝධිනී සමරතුංග

Wednesday, September 19, 2018

ටිකක් දිග මතකයක් !

එක්තරා උදයක
අතින් අල්ලන හුස්මක
මැකෙන හද රිද්මෙක
තාල හොයමින් උන්නෙමි
බෙර නලා නැතිවම
නටපු බලි තොවිලෙක
සිනා පමණක් ඉතිරිවිය හද
පැරණි සැමරුම් සිනාකැන් මැද
ඇඟිල්ලක දැවටෙන
සිඟිති අත් පහසට
බිළිඳු මදහසකට
නිවනු හැකි වෙයි හිතේ දහඩිය
අදත් විත් දොරකඩ
මතක පෙන්වයි ඇද
ඇඟිලි තුඩු වලටත්
මැවිය හැකි බව සැනින් ජීවය...

බෝධිනී සමරතුංග 2018

මේ කවිය ලියැවුනේ, මුහුණු පොතෙන් කරන ලද මතක් කිරීමක් දුටු විටයි.

“Bodhini Samaratunga is feeling exhausted.

September 8, 2017 ·

So I was holding 3 hearts this morning along with the other doctor. one decided to give us a hard time the other came out with a beautiful cry but a heavy weight on my chest ! You know what i mean 😓

I hope this country will be fine tuned when u grow up little one ! I wish you will be a "nick" who conquered the world amidst the challenges marked on him permanently !”

එක්තරා උදයක පුංචි හදවත් තුනක් හිතින් දරාගෙන
සිටියෙමි. කෘතිම ශ්වස්නය දෙන මෙවලම් ලැහැස්තිදැයි බලමින් අපි නො ඉවසිල්ලෙන් උන්නේ, එකම මව් කුස බෙදාගෙන සති තිස් ගණනක් එකට ඉඳලා එළියට එන්න බලන් හිටපු පුංචි පැංචන් දෙන්නෙක් පිළිගන්නයි. හැමදාම වගේ ඕනෙම නරක සිදුවීමකට ලැහැස්ති වෙමින්.

අපි දැනන් හිටියා එක් දරුවෙක් වැඩී නැති බව එනමුත් ඔවුන් එළියට එනකම් එතරම් දරුණු ලෙස ජාන විකෘති ඇති බව අපි දැනගෙන උන්නේ නෑ. අපි බලාපොරොත්තුවෙන් සිටි අවුල් රැසක් දරන් එළියට ආ පැංචා හිතුව තරම් අමාරු නොවුනත් එයාගේ නිවුන්නාට හොඳටම අමාරු වුනා. අවසානයේ ඔක්කොමලා හොඳින් හුස්ම වින්දත්, ආබාධ රැසක් දරන් ආපු පුංචි පැංචා නිසා මගේ හදවත බිඳුනා.

ඉතා දුෂ්කරතා මධ්‍යයේ ජීවිතේ ගෙවන ඒ පවුලට , මේ පැංචා බරක් බව වාට්ටුවේ නොමේරූ ළදරු ඒකකයේ හිටිය කාලයේදී හොඳටම වැටහුනා. කිහිප විටක් අපි දන්නා තරමින් ඒ අම්මාට මේ සිදුවීම පැහැදිලි කර දුන්නා. පාසැල් කාලයේ කළුතර ග්‍රේස් කුමරි ළමා නිවාසයට ගිය විට අපට මෙවන් දරුවන් වැඩිහිටියන් කොතෙකුත් මුණ ගැසුනා. ඔවුන් හරි ආදරණීය දරුවෝ. යුරෝපයේදී මෙවැනි දරුවෙක් හදාගන්නා අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් මට මුණ ගැහුණා. ඔවුන්ට මේ දරුවා ආශිර්වාදයක් ලෙස ඔවුන් සිතනවා. නිතරම සිනහවෙන් සිටින ඈ අම්මාට තාත්තාට බදා වැළඳ හාදු දෙමින් උන්නා. ආබාධ සහිත දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගේ කැපවීම දේවත්වයක් ලෙස මම දකිනවා. නමුත් අවාසනාවකට සමාජයේ සියළුම පන්ති වල මව්පියන්ට ඒ කැපවීම එලෙස කරන්නට හැකියාවක් ලැබෙන්නේ නෑ. ආර්ථික සහ සාමාජීය යුද්ධ වල ඔවුන් කොටු වෙලා.

එයා උස් මහත් වෙද්දිවත් අපේ රට , අපේ ජන සමාජය ආබාධ සහිත අය කෙරෙහි හිතකර සහ යෝග්‍ය එකක් වෙනු ඇතැයි මම නිතර සිතනවා. තව අවුරුදු දහයකින් හෝ මේ රට වෙනස් විය යුතුයි. එක් කොටසකට විතරක් හිතකර නොවිය යුතුයි කියා මම සිතනවා.

සිංගප්පූරුවේදී මා දුටුවේ ඒ රටේ කොතැනක ගියත් , ඒ ඕනෑම තැනකට ආබාධ සහිත රෝද පුටුවක හෝ ගමන් කළ අයෙක්ට පහසුවෙන් ළඟා විය හැකි ලෙස ලිෆ්ට් , වේදිකා සකස් කර තිබුනා. කොටින්ම බස් රථයේ රියැදුරු පැමිණ දොර අසල තිබූ වේදිකාවක් එළියට ඇද රෝද පුටුව සමග එම පුද්ගලයා ඇතුල් කර රෝද පුටුව ආරක්ෂිතව සකස් කරන ලද තැන හොඳින් තබා තමයි නැවත බසයට ගොඩ වී ගමනේ යෙදෙන්නේ.

ඉතින් මට මතක් වුනේම මේ කුඩා ජීවිත. අපේ රටේ සමාජය තවම හරි හැටි මේ දේවල් ගැන සංවේදී නොවීම අපි හැමගේම වගකිම් පැහැර හැරීමක් කියා මට සිතේ.


Thursday, September 13, 2018

ටිපීගේ සමයං samaga හරි දඟ පොඩි කාලේ


ප්‍රභානී තෙන්නකෝන් සොයුරිය විසින් රචිත,

ටිපීගේ සමයං
හරි දඟ පොඩි කාලේ
යන කෘති ද්විත්වය ගැන කතා කරන්නට ඇගේ පොත් දොරට වැඩුමේදී මට අවස්ථාව ලැබුනා. මේ පොත් දෙක ගැන මගේ කතා බහ මම හිතුවා ලියා තබන එක හොඳයි කියලා.

මොකද මේ පොත් දෙක වැඩිහිටියන් වශයෙන්ද, දෙමාපියන් වශයෙන්ද මම ,ඔබ අපි සෑම දෙනාම කියවිය යුතුම පොත් දෙකක් නිසා.
මේ පොත් ගැන මට කතා කරන්න තියෙන්නෙ වෙනස්ම මාතෘකාවක්. “ළමා මනස සහ මව්පිය භාවය“ මූලික කරගෙන මේ පොත් ගැන කතා කරන්න පුළුවන්දැයි යෝජනාවක් ලැබුනා. ඉතින් ඒ ගැන කියන්න මම ටිපීගේ සමයං පොතෙන් මෙන්න මේ කියමන් ටික එකතු කරගත්තා

ටිපී මහතාට එක තැනක එක විදිහකට ඉන්නවා යනු මරන්න දෙයකි.
ටිපී මහතා පරිසරය කෙරෙහි මහත්වූ ආදරයෙන් සිටින දරුවෙකි. ටිපී බොහෝ සේ ආදරණීය දරුවෙකි එමෙන්ම ඉතාමත් දඟ දරුවෙකි
“ටිපී මහතා ඉතාමත් කුතුහල පැංචෙකි.
ටිපී මහතා හා මග බැසීම යනු මහ අතුරු කරදර තොගයක මුලකි. ඔබ කවුරුත් දන්නා පරිදි ටිපී මහතා උපන්ගෙයිම දඟයෙකි

මේ සමාජයේ වැඩිහිටියන් බවට පත් වෙන්නේ යම්කිසි කාලයක දරුවන් හැටියට සමාජයේ හිටපු අය. සමාජයේ සියළු දේ විඳ දරාගෙන ලොකු මහත් වූ අය. මේ ලොකු මහත් වීමේදී අම්මා කෙනෙක් කියන කෙනාට ලොකු භූමිකාවක් තියෙනවා දරුවෙක් වෙනුවෙන්.  අම්මා සහ දරුවා අතර බැඳීම හරි විශාලව දැනුණු දෙයක්. මුහුණු පොතෙන් මම ප්‍රභානිගේ කතා කියවලා තියෙනව, හැම දෙයින්ම මම දකින්නේ තමන්ගේ ලෝකයම දරුවා කරගත්ත අම්මා කෙනෙක්.  සාර්ථක ලේඛිකාවක් මෙන්ම මේ දරුවාගේ ලෝකය ඉතා සුන්දරව විඳින මවක්.

නමුත් ලංකා සමාජය තුල මෙහෙම අම්මලා මම දකින්නේ හරිම අඩුවෙන්. මම පහුගිය අවුරුදු 4 ම වැඩ කළේ ළමා වාට්ටු වල , නමුත් මම ඒ කිසිම තැනක දැක්කේ නෑ, දරුවන්ගේ ලෝකය සුන්දරව විඳින අම්මලා. මොකද ඒක මම හිතන්නේ අපේ රටේ, අපේ සමාජයේ  ප්‍රශ්නයක්. මේ මම වුනත් වෛද්‍යවරියක් හැටියට ජීවිතය සහ රැකියාව එක්ක ඔට්ටු වෙන ගමන් මගේ දරුවාගේ ලෝකය විඳින්න කාලය අවස්ථාව මට අඩු වෙලා තියෙනවා. හෙදියන් ගුරුවරියන් මේ හැමෝටම තියෙන්නේ මේ ජීවන බරත් එක්ක මේ ආර්ථික යුද්ධයත් එක්ක අපේ රට පත්වෙලා තියෙන සාමාජීය ප්‍රශ්නත් එක්ක ගැටෙන ගමන් දරුවනේ ලෝකයට හදිස්සියේ එබෙන්නන් බවට පත් වෙලා.

නමුත් ටිපී හරිම වාසනාවන්තයි ! එයාට ඉන්නවා අම්මා කෙනෙක්, එයා පසුපස සෙවනැල්ලක් වගේ ඉඳගෙන එයා ගැන දකින, විඳින.  එයාගේ ඒ සුන්දර ළමා කාලය ඒ විදිහට විඳින්න ඉඩ දෙන අම්මා කෙනෙක්. ටිපී ගේ කතාව එහෙම ලියවෙනකොට ප්‍රභානිගේ පොඩි කාලේ ගැන කියවෙන හරි දඟ පොඩි කාලේ තුළින් අපිට ගමක ගම්බද පරිසරයත් එක්ක ගැටෙමින් හරි අපූරුවට ළමා කාලය ගත කරන දරුවෙක්  මුණ ගැහෙනවා. එතකොට සාහිත්‍යය ළමා මනස සහ මව්පිය බාවය කියන කාරණය ගැන කොහොමද සම්බන්දය ඇති කරගන්නේ කියලා හිතනකොට මට කතා කිහිපයක් මතක් වෙනවා.
එකක් මගේ මිතුරෙක් ගැන, ඔහු කිසි විටක අපි එක්ක කතා බහට එන්නෙ නෑ. වෙන්ව සිටින්නයි කැමති , කා එක්කවත් මුසු වෙන්න කැමති නෑ, වෙනම තමන්ගේ ලෝකයක ඉන්න කැමති කෙනෙක්, ෆෝන් එක දිහා බලාගෙන ඉන්න සිරිතක් තිබුනා. කාලයක් ගිය තැන ඔහු මා සමග මිතුරු වුන නිසා කියනවා. “ මට ගෑණු අය එක්ක හරි වෛරයි ඒකයි මට ඕගොල්ලොන්ව අල්ලන්නැත්තේ” කියලා. ඉන්පසුව කියනවා මගෙ අම්මා එක්ක මම දැඩි වෛරයකින් ඉන්නේ කියලා. තව ඔහොම කතා කරගෙන යද්දී කියනවා මගෙ අම්මා මම පොඩි කාලේ ළඟට අඬගහලා ඔළුව අත ගාලා කතන්දරයක් කියලා දීලවත් නෑ. මම වෛද්‍ය විද්‍යාලයේ ඉන්නකොට පවා මම කොහේ ඉන්නවද කියලවත් එයාට දැනුමක් තිබ්බේ නෑ. එයා කළේ බත් ටික උයලා කඳු ගහලා කෑම පිඟන් දෙන එක, රෙදි හෝදලා දෙන එක. ඒ වගේ වැඩ කරනවා මිසක් අපි එක්ක කතා බහ කරේ නෑ කියලා .  මේ කතාවෙන් අපට ලොකු පණිවිඩයක් දෙනවා. ඒ එහෙම හැදුණු දරුවා සමාජයෙන් අයින් වෙලා සමාජය සමග වෛරයෙන් ගැහැණු කෙරෙහි වෛරයෙන් ඉන්න කෙනෙක් බවට පත්වෙන්න සිදුවුනේ අම්මාගෙන් ලැබිය යුතු සෙනෙහස සහ මග පෙන්වීම නොලැබුණු නිසයි කියලා.
තව දරුවෙක් හමුවෙනවා අම්මා තාත්තා හරිම පොහොසත්, ඒ දරුවාට අවුරුදු තුනක් පමණ ඇති. ඒ දරුවා වාට්ටුවට ගෙනා විට, ඒ දරුවා හැසිරුණේ, කූඩු කළ සතෙක් ඉන් එළියට ගෙනාවා වගේ. කිසිම වචනයක් ඒ දරුවා කතා කළේ නෑ. අපි ඒ මව්පියන් සමග කතා බස් කළ විට අපිට තේරුණේ ඒ දරුවා හදන්නේ, වැසුණු පරිසරයක හෙවත් closed environment එකක කියලා. ඒ කියන්නේ කිසිම සමාජ ඇසුරක් නැතිව ඒ දරුවා හැදෙන්නේ. කවුරුත් ගෙදර එන්නේ නෑ ඒ අය බලන්න, පුළුල් තිර ඇති රූපවාහිනියෙන් කාටූන්  පෙන්වනවා. ගෙදර තියෙන්නේ අති විශාල සෙල්ලම් බඩු, ඔවුන් කුඩා සියුම් දේවල් කිසිම දෙයක් අල්ලන්න හෝ සෙල්ලම් කරන්න දෙන්නෙ නෑ ඒකට හේතුව ළමයා ගිළියි කටේ දමයි කියලා, අපි පරීක්ෂා කරද්දි තේරුණු දෙයක් තමයි ඒ දරුවට කුඩා සියුම් දේවල් අතේ ඇඟිලි වලින් හසුරුවන්න පෑනක් අල්ලන්න බොත්තමක් දාගන්න ඒ කිසිත් බැහැ. කාල සටහනකට ඒ දරුවව හදන්නේ, ඒ දරුවා ඒ වෙද්දිත් වචනයක් කතා කරන්නෙ නෑ මොකද ඒ දරුවා එක්ක කවුරුත් කතා කරන්නේ නෑ.
ඔය වගේ දහස් ගණන් දරුවෝ මට මුණ ගැහෙනවා මේ සමාජය තුල අතරමං වුණු. ඔවුන් දන්නේ නෑ ඔවුන් කළ යුත්තේ කුමක්ද කියලා. සමහර දෙමාපියෝ ඔවුන්ව පාසැලට ඇරලලා ගියාට පසුව ඔවුන් ආයේ දරුවන් දකින්නේ මහ රෑට. ඔය වගේ තත්වයන් තුල අපට ළමා සාහිත්‍යයක් ගැන කතා කරන්න සිදුවෙනවා. අධික වේගයෙන් මේ සමාජ තරඟයේ විභාග සහ අනෙකුත් දේ අතර දුවන දරුවන්ට කතන්දර පොත් කියවන්න කියනවා ඒක කොච්චර අමාරුද කියලා මම අත් දුටුවා. මොකද මම සේවය කළ වාට්ටුවේ තිබ්බ පොත් කබඩ් එකෙන් පොතක් අරන් කියවන්න කියලා දරුවන්ට ඇවිලිටි කරන්න අපට සිදු වුණා. දරුවන්ට පොත් අවශ්‍ය වුනේ නෑ ඔවුන් පුරුදු වෙලා තිබ්බේ තමන්ගේ මවගේ ජංගම දුරකථනයෙන් ගේම් ගහන්න. එක්කෝ වාට්ටුවේ රූපවාහිනිය ඉස්සරහ ඉඳගෙන වැඩිහිටි නාට්‍ය බලන්න. අපේ හෙද සොයුරියන් ඒ වෙනුවෙන් කැප වුනා. ඔවුන් පොත් කියවන්න උනන්දු කළා. කාලයක් යනකොට වාට්ටුවට ඇතුල් වෙන දරුවන්ට පොත් කියවන එක හුරුවෙලා ඔවුන් ඉල්ල ඉල්ල පොත් කියවන්න පුරුදු වුණා
මං හිතන්නේ දරුවෙක් කියන්නේ ගහක්.  ගහක් වැඩෙන්න හිරු එළිය ජලය හැමදේම අවශ්‍යයි වගේ. දරුවා වැඩෙන්නත්, දෙමාපියන්, වැඩිහිටියන්,පරිසරය සහ වටපිටාවෙන් ලැබෙන ආභාෂය ගොඩක් වැදගත්.
කෙනෙක්ගේ වර්ධනයක් වෙන්න නම් ඔහු අවට පරිසරය සමග ගැටෙන්න ඕනෙ අවට පරිසරයෙන් එන බාදා හඳුනාගන්න ඕනේ. ඒකට හොඳ උදාහරණයක් මට මේ පොතෙන් හමුවෙනවා. මේ පොතේ ඉන්න ටිපී මහතා දන්නේ නෑ කුකුලා හෝ කටුස්සා කවුද කියලා. එනිසා ඔහු ඔවුන් වැළඳගෙන සිපගන්න උත්සහ ගන්නවා. නමුත් ඉන්පසු ඔහු මේ පරිසරය තුලදී සත්වයින් හඳුනාගන්නවා.
අපේ දරුවන්ට වෙන්නේ මෙන්න මේ ටිකයි. ඔවුන් දන්නේ ටීවී එකේ යන කාටූන් ටිකයි , ජංගමයෙන් බලන ගේම් ට්කයි පමණයි, ස්ක්‍රීන් එකක කතාවක් බලද්දී ඒ කතාව ඔවුන් ඉදිරියේ රූප මට්ටමෙන් තිබෙනවා. එය මවා ගන්න විශේෂ වෙහෙසක් ගන්න ඕනේ නෑ. නමුත් පොතක අකුරෙන් අකුර ඒවා කියවද්දී මනස තුලින් මේ කතා රූපමය වශයෙන් මැවී පේනවා. අන්න එතකොටයි පරිකල්පන ශක්තිය වර්ධනය වෙන්නේ. විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා මේ දෙකෙන් දරුවෙක්ගේ මොළය වර්ධනයට අවශ්‍ය වෙන්නේ, මේ කතා කියවීම සහ කතන්දර ඇසීම තුලින් බව.
අද අපි දකින ඕටිසම් හෝ බුද්ධි හීන දරුවෙක් තුලින් දකින ලක්ෂණ අපි දකිනවා එක දිගට ටීවී හෝ පරිගණක තිරයකට ඇබ්බැහි වුණ දරුවන්ගෙන්. විද්‍යාඥයින් පෙන්වලා දෙනවා මේ ස්ක්‍රීන් ටයිම් එක කියන එක පුළුවන් තරම් අඩු කරලා මේ දරුවන්ව පොත පතට යොමු කරන්න කියලා. චිත්‍ර අඳින්න, කුරුටු ගාන්න දෙන්න කියලා. ඒවගේම පොතක් කියවන්න දෙන්න කියලා කියනවා සුරංඟනා කතා පොත් වැඩියෙන් කියවන්න දෙන්න කියලා කියනවා.

මේවායින් දරුවෙක් තුල තාර්කික බුද්ධිය, අවබෝදයෙන් අනතුරු වලකා ගන්න, වගකීම් ගන්න, මේ සියළු දේ ළමයා තුල වර්ධනය වෙනවා
ළමා මනසක වර්ධනයට විශේෂයෙන්ම සුරංඟනා කතා කියවන්න දීම ගැන, ඒ සුරංගනා කතා වල තිබෙන මනෝ විද්‍යාත්මක පසුබිම මොවුන් පැහැදිලි කරනවා. ඇල්බට් අයින්ස්ටයින් පවා කියා තිබෙනවා වැඩිපුර දරුවන්ට සුරංගනා කතා කියවන්න කියලා.
දැන් අපි දකින ටිපී ගත්තොත් ඔහුට මේ හැමදේම ලැබෙනවා, ප්‍රභානි ට ඇගේ අම්මගෙන් තාත්තගෙන් ලැබුණ ඒ දේවල්. මං එහෙම කියන්නේ මේ පොත් දෙකේ ඇති අපූරුම කතා ගොන්න නිසා.  අපිට මේ පොත තුලින් ගොරක යක්කු , මායා බෝංචි ඇට,ලොකට් ගෙඩි, පළා පොළඟා , එස්කොමෝ ගෙවල් හමුවෙනවා.  මේ දේවල් තුලින් අපිට ගෙනෙන්නේ ඒ සුන්දර ළමා කාලය ගැන සංඥා.
ඒත් මට අද සමාජයේ  හමුවෙන දරුවොන්ට මේ දේවල් ලැබෙන්නෙ නෑ.  සමහර විට ඔවුන් රෝහලේ වාට්ටුවේ ඉන්න තමා වඩා කැමති. මොකද ඔවුන්ට ගෙවල් වල නිදා ගන්න මෙට්ටයක්වත් නෑ. අපි සමහර විට බෙහෙත් බොන්න අදිමදි කරන දරුවන්ව බය කරන්න කියනවා,
“මේ බෙහෙත බිව්වේ නැත්නම් ගෙදර යවන්නේ නෑ, එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් දෙනවා කියලා”
මට හමුවෙන මේ අපූරු දරුවෝ කියන්නේ  “ හරි අපිව තියාගන්න අපි කැමතියි මෙහෙ ඉන්න” කියලා
මේ දරුවන්ගේ ලෝකය ඒ තරම් දූෂිත සහ දරුණු සමාජ වටපිටාවක් නිසා.
ඊළඟට මට හිතෙන දෙයක් තමා, ටිපීගේ සමයං කතාව කියවිය යුත්තේ අපේ රටේ අම්මලා තාත්තලා බව.  අම්මා කෙනෙක් දරුවෙක් කෙරෙහි සංවේදී විය යුත්තේ කොහොමද ඒදේවල් ඉවසිය යුත්තේ කොහොමද , අවශ්‍ය තැනදී දඬුවම් දිය යුත්තේ කෙසේද කියලා අපිට මේ කතා තුලින් වැටහෙනවා හරි දඟ පොඩි කාලේ කියවිය යුත්තේ අපේ ළමාවියෙන් නව යොවුන් වියට එළඹෙනදරුවන්.
කියමනක් තියෙනවා, our main task is to raise kids who don’t have to recover from their childhood කියලා.

අපි දෙමාපියන් වශයෙන් දරුවෝ හදන්න ඕනේ ඒ දරුවොන්ට තමන්ගේ කුඩා කාලයේ සිදුවෙච්ච දේවල් වලින් මිදෙන්න පුළුවන් දරුවෝ ඒ කියන්නේ  අපි බහුතරයක් ගත්තොත් මේ සමාජයේ වැඩිහිටියන් බවට පත් වුනාට, කුඩා කළ ඉඳන් අපට සිදු වෙච්ච අකරතැබ්බ , අකටයුතුකම්, දුක්කරදර හිරි හැර වලින් අපි අපේ මනස අසනීප කරගෙන ඉන්නේ. 

මේක තමයි අපේ රටේ ප්‍රධානම තියෙන සමාජ ප්‍රශ්නය.
ඒ අසනීප වුණු තුවාල වුණු මනසත් එක්ක වැඩිහිටියෝ බවට පත්වුනත්, සමාජයේ බහුතරයක් දන්නේ නෑ ඒ තුවාල හොඳ කරගන්න. පරිණත බවක් කොහෙත්ම දකින්න ලැබෙන්නෙ නෑ. මේ පරිණත බව නැති හින්දා තමයි අපි දකින්නේ, තාමත් දරුවෝ වගේ රණ්ඩු කරන පිරිස්, හැමදෙයින්ම හිත රිදෝගන්න පිරිස් සහ අනුන් කෙරෙහි සංවේදී නොවන පිරිස්. 

නමුත් මම හිතනවා මෙවැනි මේ පොත්  තුලින්  දෙමාපියන්ට ලොකු පණිවිඩයක් දෙනවා, සාර්ථක දරුවන් බිහි කරන්නේ කොහොමද කියලා, ඒ කියනෙනෙ පොත පතේ දැනුමෙන් සාර්ථක දරුවන් නොවේ සමාජ දැනුමෙන් පිරිපුන් දරුවන් බිහි කරන්නේ කොහොමද කියලා.
ඊළඟට මම මේ පොත් වල රසවත් තැන් දෙක තුනක් මම උපුටා ගන්නවා
එකක් තමා , ටිපී ගේ ටිපිකල් වැඩ, කියලා මට හිතුන තැන්. මම හිතලා බැලුවා ඇයි මේ ළමයට ටිපී කියන්නේ කියලා,
එකක් තමා ටිප්සි කියනවා විනෝදකාමී, බරක්පතලක් නැති හැසීරීම් වලට
තව තේරුමක් ලැබුනා, ඕනෑම මොහොතක නොපිට පෙරලෙන්න පුළුවන් කියන තේරුම.
ඔන්න අම්මා දවසක් ටිපීව මිත්තනියට බාරදීලා ගමනක් ගිහින් එනකොට මිත්තනියත් ඉන්නවලු ටිපීත් ඉන්නවලු, ගෙදර බඩු මුට්ටු විසිරිලා හතර අත. ටිපීගෙන් මේ සන්තෑසිය මොකක්ද ඇහුවම ලැබෙන පිළිතුර

“ෂ් ෂ් ෂ් කිටී දොයි” කියලා
“ඉලක්කම් ලිව්වද “
“කිටී දොයි අම්මේ”
“මේ සෙල්ලම් බඩු”
“කිටී දොයි අම්මේ සද්ද කරන්න එපා”

මෙලෙස අහන හැම ප්‍රශ්නෙටම පිළිතුර කිටී දොයි කියන ටිපීගෙන් අහලා වැඩක් නැති තැන මේ අම්මා තාත්තාගෙන් අහනවා, මෙච්චර විනාශයක් කරනකම් ඔයා මොකද කළේ කියලා.. එතකොට තාත්තා අම්මා දිහා බලලා කියනවලු “ෂ් කිටී දොයි” කියලා
මේ අපි දකින ටිපී. මේ වගේ කතා ගොන්නක්ම කියවන්න පුළුවන් ටිපීගේ සමයං පොතෙන් ඒ එක්කම මේ තරම් ඉවසීමක් සහ සාහිත්‍ය ගැන සංවේදී වෙන මේ අම්මා කුඩා කල, සාලය පුරාම සබන් පෙණ හලාගෙන තාත්තා ගෙනා සීත කබායක් ඇඳගෙන එස්කිමෝ ගෙවල් හදපු කතාව අපිට හමුවෙනවා හරි දඟ පොඩි කාලයෙන්.
පුතා කරන දඟ වැඩ ලියන අම්මා කළ දඟ වැඩ හමුවෙද්දි මට ඒ සිදුවීම් වල වෙනසක් පෙනෙන්නේ නෑ

ප්‍රභානි තමන්ගේ දරුවා කෙරෙහි සංවේදී අම්මා කෙනෙක්. ඒක එහෙම වෙද්දී මට හමුවෙනවා දරුවෝ , ඔවුන්ගේ දෙමාපියන් එක්ක ගැටුම් ඇතිකරගෙන යම් යම් විනාශකාරී දේවල් ඔවුන්ගේ ජීවිත වලට කරගත්තු.
අපේ වාට්ටු වලට එනවා දරුවෝ, අවුරුදු පහළොවේ 16 පමණක් නොවේ, අවුරුදු හතේ අටේ ළමයි අම්මලාට පාඩම් උගන්වන්න පැනඩෝල් බීලා වස බීලා.

එක දරුවෙක්ගෙන් ඇහුවම ඇයි පුතේ මෙහෙම කරගත්තෙ කියලා.
“අම්මා අයියට කිරි තේ දීලා මට ප්ලේන්ටි දුන්නා නිසා”
තව කෙනෙක් කියනවා, “අල්ලපු ගෙදර හරකා අල්ලන්න ගිය නිසා අම්මා බැන්නා ඒකයි”කියලා.
අද අම්මලාගේ දරුවන්ගේ විරසකය දැඩිව පෙනෙන්නට තියෙනවා.
දරුවෙක් කෙරෙහි මවක් ඉවසන්නේ කොහොමද කියන එක මේ පොත කියවද්දී අපිට මේ කතා තුලින් අපූරුවට වැටහෙනවා.
සමහර අම්මලාට තේරෙන්නෙ නෑ දරුවාගේ මනස තුල ඇතිවෙන සිතුවිලි කොහොම වෙයිද කියලා. අම්මා තමන්ගේ දුක හෝ කෝපය පිටකරගන්න වදන් හසුරනවා, ඒ දරුවාගේ මනස තුල ඒකෙන් සිදුවෙන හානිය ඇය දන්නෙ නෑ.  මේ සමාජයේ තියෙන ප්‍රචාරන රැල්ලත් එක්ක ඔවුන් පෙළඹෙනවා මොනවා හෝ දරුණු දෙයක් කරගෙන ජීවිතේ හානි කරගෙන අම්මට පාඩමක් උගන්වන්න.
එක පැත්තකින් අපි දරුවන්ට දොස් කියනවා දරා ගන්න ශක්තියක් නෑ කියලා අනිත් පැත්තෙන් අපේ දෙමාපියන් තුලදරුවන් තේරුම් නොගැනීම කියන දුර්වලතාවය පෙන්නුම්කරනවා.
ඉතින් ප්‍රභානි, මවක් හැටියට තමන්ගේ දරුවාගේ ළමාකාලය සුන්දරව ගෙවෙන්න අවශ්‍ය උපදේශනයසහ මගපෙන්වීම ලබා දෙනගමන්, අපිවරසවත් කරනවා මේවා ලියා තැබීම තුලින්
ඇගේ කුඩාකාලය ගැන මේ කෘතිය තුලින් අපට විශ්වාස කරන්න බැරි තරම් සුන්දර ළමා කාලයක් ගැන අපිව මොහොතකට වෙනස් සමාජයකට ගෙනයනවා. මොකද අපට මේවගේ ළමාකාලයක් තිබුනේ නෑ. අපි නාගරික සමාජය තුලදැඩි අර්බුධකාරී තත්වයන්ට මුහුණ දුන්නා. ප්‍රබානි හරි වාසනාවන්තයි. ඉතින් මේ වගේ සුන්දර ළමා කාලයක් අපේ දරුවන්ට ලබා දෙන්න පුළුවන්නම්, ඔවුන් සමාජය ගැන සංවේදී මිනිස්සු, සාහිත්‍යය ගැන ඇල්මක් ඇති මිනිස්සු සහ අනුන්ගේ දුක කෙරෙහි සානුකම්පිත මිනිස්සු බවට පත්වෙනු නො අනුමානයි.
හරි දඟ පොඩි කාලේ,
ටිපීගේ සමයං
මේ පොත් ද්විත්වය තුලින් අපිට මග හැරුණු දෑ, හරි ගැස්විය යුතු දෑ, කපා ඉවත් කළ යුතු දෑ, ළඟට ගෙන බදා වැළඳගතයුතු දෑ මේවා යැයි කියා දුන්නාට ප්‍රභානි තෙන්නකෝන් සොයුරියට ස්තූති වන්ත වෙමි.


වෛද්‍ය බෝධිනී සමරතුංග


Thursday, September 6, 2018

ළදරුවන්ගේ නින්ද




 ළදරුවන් වෙනම කාමරයක නින්ද පුහුණු කිරීම සුදුසු ද ?

මහාචාර්‍ය ජේම්ස් ජේ මැකෙනා යනු   co- sleeping හෙවත් මව සහ ළදරුවා එකම කාමරයේ නිදා ගැනීම ගැන, මව් කිරි දීම ගැන සහ SIDS හෙවත් හදිසියේ සිදුවන ළදරු මරණ ගැන පර් යේෂණ රාශියක් කළ කෙනෙක්. ඔහුගේ පැහැදිලි කිරීම් වල සංශිප්තයක් සමග නොයෙක් පර්යේෂන පත්‍රිකා උපයෝගී කරගෙන මේ සටහන මම ඔබ හැම වෙනුවෙන් සකස් කළේ කාන්තා සමූහයක ඇතිවූ වාද විවාදයක් ඇස ගැටුණු නිසා.
මේ කතා කරන්නේ අවට ලෝකය ගැන කොහෙත්ම වැටහීමක් නොමැති, කුඩාම බිළිඳුන් ගැනය. අවුරුදු 4 , 5 පසුවූ වැඩුණු දරුවන් ගැන නොවේ. එනමුත් ඔබේ දරුවාගේ වර්ධනය අනුව ඔවුන් ගැන ඔබ තීරණ ගන්න.
මේ විවිද ක්‍රම ගැන ලෝකේ හැම තැනම කතා බහ කෙරෙනවා. නමුත් පර් යේෂන සහ ක්‍රමෝපායන් මගින් විවිද කාල තුලදී හිතන් ඉන්න මතයේ හරි වැරදි සාකච්ජා කෙරෙනවා

අද වන විට ලෝකයේ බොහෝ අය (විශේෂඥ වෛද්‍යවරුන් පවා) කියන්නේ මව සහ ළදරුවා එකම කාමරයේ නිදා ගැනීම තමයි වඩාත් ම සුදුසු කියලා. හැබැයි මේ කියමන,  එකම ඇඳේ  වැඩිහිටියන් සහ බිළිඳුන් නිදියෑම කියා කියන්නේ නෑ. ඒක නම් අප කවුරුත් එකඟ නොවන දෙයක්. මමත් ළදරු සහ ළමා වාට්ටු වල වෛද්‍ය වෘත්තිකයෙක්ලෙස සේවය කළ අයෙක් මෙන්ම අවුරුදු තුනක කුඩා දරුවෙක්ගේ මවක්, එනිසා මේ ගැටළු ගැන වැඩිපුර සොයා බලනවා.  මම අන්තර්ජාලය තුල නවීන පර්යේෂන කියවනවා, එමෙන්ම ඇතැම් දේ එහෙම වෙන්නේ හෝ කියන්නේ ඇයි කියා සොයා බලනවා. ඒවාට විද්‍යාත්මක කරුණු සහ පදනම් සොයනවා.

ඇමෙරිකාවේ දී කරන ලද බොහෝ පරීක්ෂන වලදී, මරිකානුවන් තම දරුවන්ට හැකි ඉක්මනින් ස්වාධීන වීමට උගැන්වීමට උනන්දු වුවද, තනිවම දරාගැනීමට ළදරුවාට හෝ ඉතා කුඩා දරුවාට බල කිරීම ස්වාධීනත්වය පෝෂණය කිරීමේ ක්‍රමයක් නොවන බව මේ පර්යේෂන වලදී සොයාගෙන තිබෙනවා. ස්වාධීනත්වය ඇති වෙන්නේ ළදරුවාගේ අවශ්‍යතාවයන් ප්‍රමාණවත් පරිදි සපුරාලීම තුලින් එළබෙන සුරක්ෂිත බව මුසු වූ සම්බන්ධතාවයකින්. ඒ කියන්නේ දරුවාට මව/පියා සමග ඇති සබඳතාවය වැඩි දියුණු කිරීමෙන් බව මෙහිදී අවධාරණය කරනවා.

කිසිවක් කරගත නොහැකි ළදරුවකුට (සහ කුඩා දරුවකුට), නොසැලකීම හා නොසලකා හැරීම මගින් ඉතා ආවේගාත්මක පීඩනයක් සිතට ගෙන දේ. සුළු මානසික ආතතියෙන් පටන් ගෙන ඔවුන්ට දරාගත නොහැකි තරම් මානසික ආතතියක් ළදරුවන් කෙරෙහි ඇති කිරීම මොළයේ වර්ධනයට හානිකර බව මේ පර්යේෂන මගින් කියනවා.



මාස 6 කට අඩු ළදරුවන් සඳහා නිදාගැනීමේ වැඩසටහන් ක්‍රමානුකූලව සමාලෝචනය කරන ලද, සංවර්ධන හා හැසිරීම් යන අංශ රැසක පර්යේෂන පත්‍රිකා මෑතකදී ප්‍රකාශයට පත් කර තිබුනා . එම පර් යේෂන පත්‍රිකාවක සඳහන් පරිදී ළදරුවන් වෙනම නිදි කිරීමේ උපාය මාර්ගයන් මගින් එම ළදරුවන් මුල් ළමා වියේදී හෝ, පසුව ළමා කාලය තුළ තනිව හොඳින් නිදා ගැනීම හෝ,ඇඬීම අඩු වීම හෝ හැසිරීමේ ගැටළු වළක්වා ගැනීම වැනි දෑ වල වෙනසක් සිදු නොවන බව පෙන්නුම් කර ඇති බව නිගමනය කර ඇත. ළදරුවා මෙන්ම මව ද දරුණු මානසික අවපීඩනයෙන් ආරක්ෂා වීම එකට නිදාගැනීම තුලින් සිදුවෙන බවද සඳහන් වේ . සැබවින්ම, ළදරුවන්ගේ ජීවිතයේ මුල් සති හා මාසවලදී තනිව නිදාගැනීමේ දී SIDS ( sudden infant death syndrome)  හෙවත් හදිසියේ සිදුවන ළදරු මරණ ඇතිවීමේ අවදානමක් ඇතිවීම, මව්කිරි දීමේ ගැටළු වැඩිවීම, මවගේ කනස්සල්ල වැඩි වීම වැනි දෑ එහිදී අනාවරණය වී ඇත.

නෝත්‍ර ඩෑම් විශ්ව විද්යාලයේ මව්-බිළිදරු චර්යාත්මක නින්ද පිළිබඳ පර්යේෂන විද්‍යාගාරයේ අධ්‍යක්ෂ මහාචාර්‍ය ජේම්ස් මැකෙනා පවසන්නේ ජීව විද්‍යාත්මකව නිවැරදි ක්‍රමය නම් මව ළදරුවා එක ළඟ නිදා ගැනීම හෙවත් co sleeping බවත් , එය කිසිසේත්ම sleep training හෙවත් නින්ද පුහුණු කිරීම නොවන බවත් ය.
තාක්ෂණික වශයෙන්, එකට නිදා ගැනීම යනු ළදරුවා හා මව්පියන් එකිනෙකාගේ සංවේදක පරාසය තුළ ඇති අවකාශයේ නිදා ගැනීම ලෙස අර්ථ දැක්වේ.
බොහෝ විට එය එකම ඇඳ බෙදා ගැනීමට අදහස් කර නැත. එලෙස එකම ඇඳ බෙදා ගැනීමේදී අවදානම් බොහෝමයක් ඇත. වර්තමානයේ මහාචාර්‍ය මැකෙනා සහ තවත් බොහෝ අය එක්සත් ජනපදය තුළ කරන ලද පර් යේෂන අනුව ළදරුවා සහ මව්පියන් එකම කාමර අවකාශයේ නමුදු වෙන් වූ මතුපිටක් ඇති හෙවත් වෙන් වූ ඇඳක, බැසිනෙට් එකක කොට් එකක නිදා ගැනීම නිවැරදි බව පවසයි. නිදසුනක් වශයෙන්, බිලිඳු දරුවෙකු , දෙමාපියන්ගේ ඇඳ උඩ වෙනම කූඩයක හෝ ඇඳ අසල කුඩා ඇඳක් තුල තැබීම ගත හැක.

ළදරුවන්ට එසේ මව වඩා ළඟ වීම වැදගත් වන්නේ ඇයි?

උපතෙන් පසු, ළදරුවන් සහ මව විවිද අවස්ථා වලදී භෞතිකව සම්බන්ධ වන අතර, මෙම බැඳීම තුලින් ළදරුවන් ගේ මානසික වර්ධනය වඩා හොඳ වේ. උදාහරණයක් ලෙස මව්කිරි දීම, මොළයේ වර්ධනය හා අනාගතයේ දරුවාගේ සෞඛ්‍යය සඳහා ඉතා යෝගය. මව රැය පුරා ඇහැරෙමින් කිරි දීමේදී ළදරුවා කාමරය හෝ ඇඳ අසල සිටීමෙන් එය වඩා පහසුවේ. මමද එසේ කර ඇත්තෙමි. ඇත්තෙන්ම ඇයට මාස හතර පහ පමණ වන විට ඇඳ මත තියා ඇලවී කිරි දීම මට වඩා පහසු විය. රාත්‍රියේ දැඩි මහන්සියක් නොදැනිනි. ළදරුවන්ට සිදුවන හදිසි අනතුරු සහ හදිසි ළදරු මරණ සින්ඩ්රෝම් (SIDS) මව් කිරි දීම තුලින් අඩු වෙන බව ද පසු කාලයේ දියවැඩියාව සහ වෙනත් බරපතල සෞඛ්ය තත්වයන් ඇති වීම අඩු වන බව ද අපි ඉගෙන ගතිමු .

 මව්කිරි දීමෙන් මව්වරුන්ට පවා පසු ප්‍රසව මානසික පීඩන තත්වයන්, හෘද රෝග, දියවැඩියාව හා අධි රුධිර පීඩනය අවම කරන බව පර් යේෂකයින් පෙන්වා දේ . පියයුරු වල කිරි අඩු කැලරි (නමුත් ජීර්ණයට පහසුය). එබැවින් දරුවන් පැය දෙකකට  හෝ දෙකහමාරකට පමණ පෝෂණය වේ. ළදරුවා සමීපයේ නිදා සිටින විට මවට වුවද සැහැල්ලුවෙන් නිදා ගන්නට පුළුවන් බවද ඔවුන් පෙන්වාදෙන්නේ මවගේ මනසේ ඇති අනාරක්ෂිත බව පිළිබඳ සැකය සහ ආතතිය ඉන් ඉවත් වන නිසා ය . ළදරුවා සමීපයට හෝ ආසන්නව සිටීමෙන් පහසු ප්‍රවේශයක් ද ලබා දේ. ළදරුවාට භෞතික වශයෙන් සුරක්ෂිත පරිසරයක්ද ඉන් සකස් වේ.

ළදරුවා එක දිගට නිදාගන්න එක හොඳ ද ?

ඊළඟට එක් පර්යේෂනයකදී මහාචාර්‍ය මැකෙනා පෙන්වා දෙනවා ළදරුවන් රාත්‍රී කාලයේ  13-15 වාරයක් පමණ අවදි වෙනවාය කියා. එහෙත් එයට එකම හේතුව කිරි ඕනෑ වීම නොවන බවත් දරුවන් එසේ ඇහැරෙන විට ඔක්සිජන් මට්ටම සහ හෘද ස්පන්දන වේගය ඉහළ යන අතර , එය දරුවාගේ මොළය වර්ධනය, මාංශපේෂී වර්ධනය සහ ප්‍රතිශක්තිය වැඩිවිම සහ එහි ක්රියාකාරීත්වය සඳහා ඉතා හොඳ බව ඔවුන් පෙන්වා දේ. (නොමේරූ ළදරු ඒකක වල වැඩ කර ඇති නිසා මෙය අත්දැක තිබේ ) සැහැල්ලු නින්ද අවදිවීම තුලින් ශ්වසන අපහසුතා හෝ ශ්වසනය නැවතුම් අඩු කරන අතර දිගුකාලීනව මාරාන්තික විය හැකි ආශ්වාසය නතර කිරීම වළක්වයි. එනම් හදිසි ළදරු මරණ වලක්වාලනු ඇත.
නිතර නැගිටීමට හේතුව දරුවාගේ පමණක් නොවේ. 

මහාචාර්‍ය මැකෙනා,  පර්යේෂන වලදී එම මව්වරුන් 40% වාරයක් පමණ ළදරුවන් ඇහැරවන බව සොයාගෙන ඇති අතර, එම කාලය තුළ ළදරුවන් 60% වාරයක් පමණ මවුවරුන් අවදි කර ඇති බවත් නිරීක්ෂනය කර ඇත. ඔවුන් සිය පරීක්ෂණාගාරයේ නිදාගෙන සිටින විට රාත්‍රියට පෙනෙන කැමරා මගින් පෙන්නුම් කර තිබුනේ මව්වරුන් බොහෝ විට මවුවරුන් සංවේදීව දරුවන්"ස්පර්ශ කිරීම, අත ගෑම , පරික්ෂා කිරීම, කනට කෙඳිරීම වැනි සෙනෙහසින් කරන ඉඟි මගින් ළදරුවන් හොඳින් දැයි බලන බවත් ඉන් බිළිඳාගේ හෘද ස්පන්දන අනුපාතය හා ඔක්සිජන් මට්ටම ඉහල නැංවෙන බවත් ය.
එහෙත් දරුවා වෙනම කාමරයක හුදකලා කරවා ළදරුවන් කෘතිමව නින්දට දමන විට, මෙම සමීප අන්තර්ක්රියාකාරිත්වය හා එහි ශාරීරික හා මානසික ප්‍රතිලාභ අහිමි වනවා පමණක් නොව, SIDS වල අවදානමද ඉහල යන බව පර් යේෂකයින් පෙන්වා දෙයි. ඒ අතරම ළදරුවා තමන් සමීපයේ නිදි කරවාගැනීම කරනා සංස්කෘතීක හුරුව ඇති රටවල සමාජ වල මේ sids සිදුවීම බොහෝ දුරට අඩුවක් හෝ නැත්තටම නැති බව ඔවුන් පෙන්වා දෙයි.

දරුවන්ට ඕනෑ තරම් හඬන්නට දීම සුදුසු ද ?

දරුවන් හැඬීම යනු වෙනස් කළ යුතු හැදිය යුතු යමක් නෙමේ.  ළදරුවෙක් හඬනවා කියන්නේ ළදරුවා තුල යම් අපහසුතාවක්, යමක් හරියට නෑ කියා නිකුත් කරන කායික සංඥාවකි. ඇඬීම යනු වචන ඉගෙන ගන්නා තෙක් ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමය වේ. ඔවුන්ගේ හැඬීමට හරි ප්‍රතිචාරයක් පෙන්වා, ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කිරීම මගින් ළදරුවන් වටහා ගන්නවා ඔවුන්ගේ දෙමාපියන් තමන්ගේ සංඥාවට ප්‍රතිචාර දක්වන බව ,එවන් දරුවන් දිගු කාලීනව අඩුවෙන් අඬනු ඇති බවත් දැක ගන්නට ලැබේ. අනික් අතට, දරුවාගේ ඇඬීම නිරතුරු නොසලකා හරිනු ලැබුවහොත්, ඇගේ සංඥා පද්ධතිය අකාර්යක්ෂම වන බවත්  එක් පත්‍රිකාවක සඳහන් වේ. එවිට ඇගේ ස්වාභාවික ඉල්ලීම් ඉටු නොවීමෙන් වඩ වඩාත් කනස්සල්ලට පත්විය හැකිය. ළදරුවෙකුගේ සාමාන්ය රීතිය වන්නේ ඔබට ළදරුවෙක් නරක් කළ නොහැකි බවයි.

ඒවගේම අප මතක තියාගන්න ඕනේ එකට නිදා ගැනීම කියන්නේ ළදරුවන් තමා සමීපයේම එකම ඇඳ මත තබා ගැනීමම නොවන බව. එය අනාරක්ෂිත වන අවස්ථාද තිබෙනවා

  • දෙමාපියන්ගේ දුම්බීම, මත්පැන් පානය සහ මත් ද්‍රව්‍ය භාවිතය අසල නිදා සිටින ළදරුවාට අනතුරුදායක විය හැකිය. 
  • ළදරුවා මත පෙරලී හුස්ම ගැනීමට නොහැකිව දරුවන් මිය යා හැක. 
  • එනිසා තමන්ගේ ඇඳ අසල වෙන්කළ වෙනම ඇති ඇඳක හෝ ලීපටි ගසා වෙන්කළ ඇඳක, කොට් එකක දරුවන් තබන්නේ නම් සුදුසු බව අවධාරනය කළ යුතුය.
  • ළදරුවන්ට ඇඳෙන් ලිස්සා යා හැකි ස්ථාන, ඇඳන් හෝ මෙට්ට අතර ඇති හිඩැස් වැනි ස්ථාන සොයා බලා ඒවා අයින් කළ යුතුය.

ඉතින් දැන් ඔබලාට හිතෙනවා ඇති co sleeping හෙවත් මව සහ ළදරුවා එකම කාමරයේ නිදා ගැනීම මෙච්චර හිතකර සහ වර්ධනයට හොඳ ආකාරයෙන් බලපාන දෙයක්නම් තවමත් සමහර ළමා රෝග විශේෂඥයින් , නින්ද පුහුණු කිරීම හෝ වෙනම නිදි කිරීම කරන්න යැයි කියන්නේ ඇයි කියලා. ඒකටත් හේතු ලෙස පෙන්වා දෙන්නේ දැඩි ලෙස ආතතියට හෝ වෙහෙසට පත් වූ මව්වරුන්ට එයින් යම් තරමක සහනයක් ගෙන දෙනවා කියාය. හැබැයි ඒක ළදරුවාට කරන අගතියක් බව මහාචාර්‍ය මැකෙනා පෙන්වා දෙයි

මව සහ දරුවාගේ ජෛව විද්යාත්මක සංහිඳියාව biological harmony වර්ධනය වීමට ඉඩ නොදී තමන්ට ඕනෑ ලෙස නින්ද පුහුණුව ආරම්භ වන්නේ දෙමව්පියන් සහ ඔවුන්ගේ දරුවන් අතර ඇති මානසික සම්බන්ධතාවය පළුදු කරමින් යැයි ඔහු පෙන්වා දෙනවා . එයින් අනන්‍යතා අර්බුදයක් ඇතිවෙන්නේ නැද්ද කියන ප්‍රශ්නය පැන නගිනවා ළදරුවාට අනන්‍ය වූ හැසිරීම වෙනුවට අපට ඕනෑ ලෙස ළදරුවා වෙනස් කිරීමක් ඉන් සිදුවෙනවා යැයි ඔහු පෙන්වා දෙනවා. තවද, උත්ප්රාසාත්මක ලෙස, මවගේ නින්දේ කාර්යක්ෂමතාවය යනු ඇය කී වාරයක් නැගිට්ටේද යන්න නොව ඔවුන්ගේ සමස්ත මානසික ආතතිය බව ඔහු කියයි; නිදසුනක් වශයෙන්, මව්කිරි පමණක්ම දෙන මව්වරුන් රැයෙහි වැඩි වාරගනනක් ඇහැරුනත් ඔවුන් හොඳ ශරීර සෞඛ්‍යයකින් මානසික සමතුලිතතාවයකින් ඉන්නා බව ඔහු පෙන්වා දේ .

මම ද ගිය අවුරුද්දේ පවා සාකච්ජා කරද්දී මේ ගැන විශේෂඥ වෛද්‍යතුමිය පැවසුවේ co sleeping ළදරුවන්ට යෝග්‍ය බව දැන් පවතින මතය කියාය.

හැබැයි , මේ සටහන් බිළිඳුන් ළදරුවන් ගැනය. දරුවන් වැඩී උස් මහත් වන විට ඔවුන්ට ස්වාධීන වීමට කියා දිය යුතුය. ඒ ක්‍රියාකාරකම් සහ කතා බහ කිරීම තුලිනි. ඔවුන් වෙනම නිදා ගන්නේ කොයි කාලයේදැයි ඔබ දෙමාපියන් වශයෙන් තීරණය කළ යුතුය. හැබැයි ඒ සඳහා කිසිම දෙයක් නොතේරෙන කාලය සුදුසු දැයි ඔබම තීරණය කරන්න.


උපකාර කරගත් ලිපි සහ පර් යේෂන


http://cosleeping.nd.edu/safe-co-sleeping-guidelines/

https://www.ncbi.nlm.nih.gov/pubmed/24042081

http://www.mothering.com/articles/cosleeping-and-breastfeeding-the-perfect-combination/

http://www.developmentalscience.com/blog/2015/3/31/safe-cosleeping-is-better-for-babies-development