Tuesday, March 28, 2017

බ්ලොග් සම්මාන උළෙල සහ අනිත් කොන විත්ති..

"කොහොමද මැඩම් " කාලයකට පස්සෙ ඔහුගේ වචන ගලාගෙන ආවා.

"අපොයි ඔය මැඩම් ඕනෙ නෑ මල්ලි" මම සුපුරුදු වචන ටික කීවා.

"අක්කෙ... මම ලිරික්ස් කරා ෆිල්ම් එකකට"

"ඉතින් මොක කළත් ඕවා මට ප්‍රසිද්ධියේ සතුටෙන් ලියන්න බෑනේ.... " ඔවුන් ගේ පසුගිය කාලය සමග ඇති බිහිසුණු සබැඳියාවන් ගැන ඔවුන් ඇත්තේ කළ කිරිමෙනි. එනිසා ඒවා ෂෙයා කරගැනීමට හෝ උදම් ඇනීමට ඔවුන් බියෙන් සිටී. මට නම් ඔවුන් සැබෑම වීරයන් ! ඒ ඔවුන් බොහෝ කරදර විඳ, බොහෝ අකටයුතුකම් මැද, යළිත් ජීවිතය ජය ගත් නිසා ය. හිත් හදා ගත් නිසා ය.

ඔවුන් මෙන්ම මම ද බියවූ කාලයක් විය. එකල ලීවේ අනවර්ථ නමකිනි.

"කවුද මේ අයගෙන් විශේෂ හැකියා තියෙන අය " කියා ඇසූ විශේෂඥ වෛද්‍යවරයා ද,

"මෙන්න මෙයාට ලියන්න පුළුවන්" යැයි කියූ ලක්මිණි අක්කා ද, මතක් කළ යුතුම ය.

ඉන්පසු වෝඩ් රවුන්ඩ් එකේදී එක් මවක්, දරුවන් කිහිප දෙනෙක් සුනාමියෙන්ද, ඉන්පසු යුද්ධයෙන්ද අහිමිව නැවත බොහෝ වයස්ගතව දරුගැබක් සහිතව පැමිණ අපේ ප්‍රශ්න කිරීම් හමුවේ හඬා වැටෙමින් කතාව කියද්දී..

" මේවා ලියන්න පුළුවන් නේද, ලියන්න මේ කතා " යැයි විශේෂඥ වෛද්‍යවරයා පැවසූ..ඒ මොහොත නොවේනම් මා අනිත්කොන ගැන සිතන්නේවත් කොහොමද අර මහා වැඩ කන්දරාවේ ගිලෙමින් උතුරු කොණේ තනිවී සිටි ජීවිතේ දුෂ්කරම අවදියේ මට මේ බ්ලොග් ලියවිල්ල අපූරුම ආශිර්වාදයක් වුනා.
උතුරේම මහා රෝහල වූ හෙයින් ගලන ජන ගංගා මෙන්ම ඔවුන්ගෙන් ගලන කඳුළු ගංගා ද දරන්නට වුනේ අපට ය. බොහොම අබලන් වෛද්‍ය නේවාසිකාගාරයේ අපේ කාමරයට පැමිණි පසු බොහෝ විට මා කලේ මේ දුක් කතා මෙහි සටහන් කිරීම ය. අනිත්කොන නම මතක් වෙන්නේ මේ සඳහා සුදුසු නමක් සිතන විට ය. ඉතින් මා අනිත් කොන වූයේ බ්ලොග් එකෙන් පොතක් මුද්‍රණය වෙනකම් විතර ය.

මුලදී බොහෝ මිතුරු හමු සහ බ්ලොග් සම්මාන උළෙල වලින් වැලකී සිටියේ අනවර්ත නමකින් ලියූ හෙයිනි. රටේ තීරණාත්මකම අවධියක බොහෝ සංවේදී පරිසරයක වැඩ රාජකාරි කිරීම මෙන්ම ඒවා ලිවීම ද හරි පරිස්සමෙන් කළ යුතු වූවා.දුර බැහැර නිසාම ආයේ ඕවට යන්න එන්න බැහැයි සිතුන වාර ද විය.

නිදහස් සිතුවිලි බ්ලොගයේ රන්දි නොවේනම් පොතක් කරන්න මගෙ හිතකවත් තිබුනේ නැත. ඉතින් ඔහොම මෙහෙම ලියාගෙන කියාගෙන ආ බ්ලොග් පිටුවට අවුරුදු දෙකක් පමණ නරක දසාවක් ලැබුනේ රාජකාරි අධික වීමෙනි. දැන් ඇයට දෑවුරුද්දකි. මෙවර බ්ලොග් සම්මාන උළෙලට මගේ පිටුවත් නිර්දේශ වී තිබිණි.

බ්ලොග් සම්මාන උළෙලෙහි  වසරේ හොඳම බ්ලොග් ලිපිය -  අධ්‍යාපන අංශයෙහි ප්‍රථම ස්ථානය ද, හොඳම බ්ලොග් අඩවිය සඳහා කුසලතා සම්මානය ද අනිත් කොන ලියන ම වෙත හිමි විය.
මට සම්මාන පිරි නැමූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහ කරූ ජයසූරිය මහතා සම්මාන දෙන විට, මා වැඩ කළ රෝහල් සහ දැන් සිදු කරන කාර් යය භාරය ගැනත් විමසන්න අමතක කළේ නෑ. 




නාලක ගුණවර්ධන මහතා එදින කියූ ලෙසම, මගේ පවුලේ උදවිය පවා කියන අයුරෙන් ඩේටා වැය කරමින් අප මේ පුරවන වෙබ් අවකාශයේ අපේ ලියමන් වලට ඇගයීමක් ලැබෙනවා නම් එය කොතරම් හොඳ දැයි මට සිතුනි.
ගෙවීමක් නැතිව ලියලා මොකට ද ? කියා මූණටම විමසූ ලේඛක පිරිස් උන්නා. එනමුත් මගේ වපසරිය තුල මා ලියන මේ බ්ලොග් පිටුවේ ලිවීම තරම් නිදහසක් සහ මගේ චිත්ත සන්තානයේ උපදින හැඟීම් විඳීම් වචනයට පෙරලා ගත හැකි අන් තැනක් මට තිබුනේම නැත. එනිසා මම දිගටම අකුරු කළෙමි.

බ්ලොග් සම්මාන උළෙල ගැන විවිධ වූ මතවාද තියෙන්න ට ඇති. එනමුත් පොදු අවකාශයක සමස්ථ බ්ලොග් කරුවන් සියල්ලන්ම අගයමින් ඔවුන්ගේ වියදමින් අපට මෙවැනි උළෙලක් පැවැත්වීම ගැන නෙළුම් යාය බ්ලොග් අඩවියට බොහෝ තුති පිරිනමමි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු කාලෙක, ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහියෙන් කියවිය යුතුයැයි මා සිතනවා. අවුරුදු 10 තිස්සේ බ්ලොග් ලියමන සැරින් සැරේ කඩින් කඩ ලියවුනත් , මා වටා රැඳි බ්ලොග් කියවන අදහස් දක්වන දිරි දෙන පාඨක පිරිස නොවූවා නම් කොහෙන්ද ලියන්නට ඔක්සිජන් !

උතුරේදී නම් ලියන්න බොහෝ වේලාව ඉඩ කඩ තිබූ නමුත් වසර දෙකක් පමණ දරුවා නිසා , රැකියාව නිසා හිතූ තරම් ගොඩක් ලිපි ලියන්නට බැරි විය.
මම දැන් වැඩ කරන මේ කොළඹ රටේ රෝහලේ අපේ විශේෂඥතුමිය සහ වෛද්‍ය අධ්‍යක්ෂක තුමිය මේ මගේ ලියවිලි ගැන බොහෝ ප්‍රශංසා කරන අතර, රෝහලේ සිදුවෙන විශේෂ අමුතු කතා ගැන , "අපි බෝධිනීට කතාවක් ලියන්න කියමු මේ ගැන" වගේ ඒවා කියමින් මා නිතර මතක් කරන බව ද ආරංචි වේ.

"මේ අපේ ටැලන්ටඩ් ඩොක්ටර්" කියමින් මා සභා මැද හඳුන්වා දෙන එතුමිය, රෝහලේ යම් යම් උත්සව වලදී මෙහෙය වීම කතා පැවැත්වීම වැනි දෑ ගැන මට නිරතුරු ප්‍රශංසා කරයි. එහෙම අධ්‍යක්ෂකතුමියන් ළඟ වැඩ කිරීමට ලැබීම ද භාග්‍යයක් සේ සලකමි.

පොත් වැඩ සහ ලියන වැඩ වලදී මගේ ලොකුම සහයක වන හස්බන්ඩාට රාජකාරි සඳහා පිට රටක යන්නට සිදුවූ බැවින් ඔහුට නෙළුම් යායට සහභාගි වෙන්නට බැරි විය. දෑවුරුදු කුඩා පැංචී සමග වේදිකා නාට්‍ය බැලීමට ගොස් නවරඟහලෙන් පිටත ඇවිදිමින් නාට්ටිය බැලීමට නොව ඇසීමට සිදුවූ උගත් පාඩම් මතක ඇති බැවින් අම්මා කැමැත්තෙන්ම ඇය සමග ගෙදර නැවතුණි. මගේ නංගීත් ඇගේ සැමියාත්, මා සමග යන්නට පැමිණියේ ඔවුන්ගේ වැඩ රාජකාරි පසෙක හෙලමිනි.

අප ලියූ බ්ලූක්ස් ( බ්ලොග් ලිපි පොත්) සඳහා මේසයක් මෙවරත් තිබෙන බැව් කියා තිබුණු නිසා බ්ලොග් පොත් ගොන්නකුත් රැගෙන පැමිණියේ. 
බස්සිගේ, දිනේෂ්ගේ, කොළඹ ගමයාගේ, තිලකසිරි ගේ, ඩෝසන් ප්‍රීතිගේ, තරූ අක්කගේ, රන්දිගේ සහ මගේ පොත් ඒ වෙන විටත් ගෙන ඇවිත් තිබූ නමුත් එතෙන්ට ආ විට මේසයක් නොතිබූ බැවින්, ( පොත් මේසේ කැන්සල් යැයි වැරදි වටහා ගැනීමක් නිසා) තරු රසීත් මමත් මේසයක් හොයාගෙන , ඒ වැඩේ කොහොම හරි කළ නිසා , බ්ලොග් සහෘදයන් හා කතා බහ කිරීමටද අතපසු වුණු බව දැනිනි. බොහෝ අය සොයාගෙන ඇවිත් කතා කළ අතර ඇතැමුන් හඳුනා ගත නොහැකි තරම් වෙනස් වී සිටියහ. අපිට සහය වුනු, උපුල් නිශාන්ත මල්ලී, සහ අජිත් ධර්මකීර්ති අයියාද මතක් කළ යුතුමය.
එතැනට පැමිණි සජිත් සාරංග අයියා අපි වෙනුවෙන් එහි රැඳී සිට අපව සම්මාන පිරි නැමෙන කාලයේ නිදහස් කිරීම වෙනුවෙන් ඔහුට අපගේ හර්දයාංගම ස්තූතිය පිරිනමමු.
කොහොම හරි එක සැරයක් වාට්ටු පේන්ට් කරන වැඩේදී කම්කරු වුන මට, මෙවර බ්ලොග් සම්මාන උළෙලෙදි පොත් විකුණන්න සිදුවුනා. අනිත් අයගේ පොත් ඒ වන විටත් ගෙනැවිත් තිබූ බැවින්, අපි ඒ දේ කළා මිසක ! ගිය වර අපිට තිබුනේ බ්ලුක්ස් පොත් ටික බාර දෙන්න විතරයි. 



ස්තූතියි !

අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූ, අප ද පුදුමයට පත් කෙරූ, මේ උළෙල සංවිධානය වෙනුවෙන් බ්ලොග් කරුවන් වන අප වෙනුවෙන් නෙළුම් යායට මෙන්ම අපේම බ්ලොග්කරුවන් කිහිප දෙනාට ද ස්තූති කළ යුතුයි. විවිධ අඩු ලුහුඬු කම් තිබුන නමුත් කළ කී දෑ සඳහා ස්තූතිය පිරි නමමි.

මම හිතන්නේ තනි තනිව එක එක මතවාද පවතින බ්ලොග් ලෝකයේ අප සැමට මෙවන් ඇගයීමක් ලැබෙන එකම උළෙල මෙය බව ය. අප සියල්ලන් එක වේදිකාවක ඇගයීම අගේ කොට සැලකිය යුතුයි.
එනමුත්, බ්ලොග් සම්මාන ටික එක දිගට දීගෙන දීගෙන ගිහින් ඉවර කළානම් මීට වඩා අපට උළෙලෙහි පැවති විවිධාංගයන් රසවිඳින්න තිබුනා නේදැයි සිතුනා.

ඉතා විශිෂ්ට නාට්‍යයක් අන්තිමට දමා හිස් අසුන් වලට නාට්‍ය පෙන්වූ බවත්, මමත් තව කිහිප දෙනෙකුත් , එය අවසාන වෙන තෙක් නැරඹූ බවත් කීව යුතුම ය. ඔපෙරාව සහ කුඩා දරුවාගේ නැටුම දිග වැඩි බවත් ජනයි ප්‍රියයි කියන දෙන්නගේ විහිළු නම් කිතිකවා ගත යුතු බවත්, සභාව නිහඬ ව සිටීම සහ ඔවුන් දෙන්නා හිනා වීමෙන් එය මනාවට පෙන්වූ බවත් කිව යුතුම ය.
" අපි මචං" සිංදු ටික නම් මරු. හැබැයි ඔවුන් ද කඩ කඩ තැනින් තැන එක් කිරීම සිදු නොකළ යුතු වුනා.
කොටින්ම අපේ පාසැලේ සහ විශ්ව විද්‍යාලයේදී පවා , සම්මාන උළෙල වල සම්මාන දීම එක පාරම ඉවර කර ඉන්පසු කොන්සර්ට් පෙන්වීමයි කළේ.... එතකොට සම්මාන ගත් අයටත් එය පහසුවක් වන අතර කන්නයි බොන්නයි එළියට යන පිරිසටත් විවේක වේලාවක් වෙන් කර ඒවැඩේ කරන්න දුන්නානම් හොඳයි නේද කියා සිතුනා.

ඇත්තටම ඊළඟ බ්ලොග් සම්මාන උළෙල මීටත් වඩා සාර්ථක වෙයි. දැන් එයට මාවත් හෙළි පෙහෙළි කර තිබෙනවා නොවෙද... ලබන වර , මෙවර බ්ලොග් තෝරමින් සිටි අය අගය කළ යුතු බවයි අපි කිහිපදෙනෙක් සිතුවේ. ඔවුන්ගේ බ්ලොග් ලිපි කිසිම දවසක ඇගයීමක් වෙන්නේ නෑ. එනිසා තෝරන පිරිස වෙනස් වෙමින් ඒ සඳහා ද අවස්ථාවක් දිය යුතුයි සිතුනා. ( අටම්පහුර, කල්‍යාණ මිත්‍ර, තරු රසී, කොළඹ ගමයා වැනි බ්ලොග් ලිපි ) අපි මීට වඩා බ්ලොග් අවකාශය තුල සක්‍රීය විය යුතු බවත් සිතුනා. ෆේස් බුක් එක නිසා එය අඩුවී ඇති බවයි මගේ හැඟීම.
බ්ලොග් ලියලා මොකටද.. මොනවද ලැබෙන්නේ කියා ඇතැම් විට ලේඛක අයම මට කියා තිබෙනවා. නමුත් බ්ලොග් කියන්නෙත් වෙනම මාධ්‍යයක් බව. ලෝකයේ බ්ලොග් ලිපි සඳහා විශාල තැනක් තිබෙන බව ලාංකික සමාජය දන්නේ නෑ... ඉතින් ලියන්නට එදා සිට දිරි දුන් අදටත් දිරි දෙන සැමට බොහෝ ස්තූතියි... මට ඊටත් වඩා සතුට බොහෝ විවිධ වූ ලියැවීම්, සිතීම් ඇති පිරිසක් බ්ලොග් ලියා ඇගයීමට ලක්වීම ගැන.

Tuesday, March 21, 2017

මට, ඔහු නැවත හමුවිය....

ඉතින් මට ඔහු නැවත මුණ ගැසුනේ අහම්බෙනි.

දවල් කෑමට මා අප නේවාසිකාගාරය වෙත දිව ගොස්, නැවත පැමිණියේ පයින් ය. (බයිසිකලයක් පදින මම) රෝහලේ ඇතුල් වීමේ ගේට්ටුවේ සිට රෝහල දෙසට පැමිණෙමින් සිටියදී.... ඔවුන් දෙදෙනෙක් මා පසු පස එන බව මට තේරුනි.

රෝහලේ කොරිඩෝවේද මොවුන් පැමිණේ. දැන් දැන් මට අරවා මේවා කියමින් මේ තරුණ කොළු ගැටව් දෙදෙනා මා පසු පස පැමිණේ. ඔවුන් සිතන්නේ මා ද ඔවුන්ගේ වයසේ කෙනෙකු ලෙස ය. හමේ පාටේ වෙනස හෝ ඇඳුම නිසා ද එසේ සිතනවා වෙන්නට පුළුවන්.

"කරුණාකර ඔහොම හැසිරෙන්න එපා. " මම ඔවුන්ට රවා බලා බැරි තැන කීවේ දැන් ඔවුන් මා සමග පඩිපෙළද නගිමින් සිටින නිසාය. ලෙඩුන් බලන්න අමුත්තන්ට වෙන්වූ වේලාව අවසන් වී පැයකුත් ගත වී ඇත.

කියන කියුම් ආදර වැකි දරන් ඉන්න බැරි තරමට වැඩි වෙද්දී මම හැරී නැවත පඩිපෙළ බැස්සෙමි. එතනින් කොරිඩෝවට පිවිසෙද්දීම සිටියේ අප රෝහලේ සෙකියුරිටි මහතෙකි.

"මෙන්න මේ දෙන්නා .. මොකද බලන්න. " මම කීවේ එපමණයි. අර තරුණයින් දෙදෙන මොනවදෝ කියා ඔහු සමග බහින් බස් වෙද්දී මා එතැනින් ඉවත් වී උඩට ගියෙමි. උන් දෙන්නා අල්ලාගෙන පොළිස් පෝස්ට් එක වෙත යනු දුටු විට තිගැස්මක් ඇති විය.

සිංහල වෛද්‍යවරුන්ට ගෙදර පල කියලා පෝස්ටරයක් ගැසුවේත් මේ රෝහලේම ය. හා එහෙනම් යමු ගෙවල් වල කියා සිතූ වෛද්‍යවරුන්ට ඉන් පසු සිදුවූයේ නොසිතූ දෙයකි.... එය ලොකු කතාවක් නිසා ඒක වෙනම පෝස්ට් එකක ලියන එක හොඳයි කියා සිතේ.

නැවත වැඩ හමාර කර මා කොරිඩෝවේ යද්දී මා දෙසට දිව ආවේ අර කොළු ගැටව් දෙදෙනා සමග හුරු පුරුදු මුහුණකි. බෙල්ලේ වූ සලකුණෙන් මම ඔහු හැඳින ගතිමි.


"ඩොක්ටර්... මෙහෙ "

"ආනේ... කරුණන් ( අනවර්ථ නමකි ) දැන් අඳුරගන්න බැරි තරම් වෙනස් වෙලා නේ..." මම කීවෙමි. උතුරු අහසේ දම් තැඹිලි පැහැ ගන්වමින් හිරු බැස යන්න කිට්ටු ය.

"මේ ඩොක්ටර් මේ දෙන්නා ඩොක්ටර් කෙනෙක් කියලා දන්නැතුව ඩොක්ටර්ට විහිළු කළේ... ඒකට සමාවෙන්න කියන්න බලාගෙන හිටියේ"

ඔවුන්ගේ මුහුණු වලින් දිස් වූයේ කලින් මෙන් කෙළිලොල් දඟකාර බවක් නොවේ... බයාදු බියගුලු බවකි.

කොහෙදෝ ඉඳන් එතැනට පැමිණි මුර සේවක මහතා ද "ඩොක්ටර් ස්ටෙත් එක බෙල්ලේ දාගෙන යන්න එන්න" යැයි කීවේ. මා කිසිම විටක පුරුද්දට එහෙම නොකරන නිසාය. මම නම් ඕක තිස්සේම එහෙ මෙහෙ ගෙනියන්න බැරි නිසා අපෙ වාට්ටුවේ මේසයේම තියා එමි.

"හරි හැබැයි එහෙම කාටවත් කරදරයක් වෙන්න හැසිරෙන්න එපා. ගෑණු අයට ගෞරවයෙන් සලකන්න පුරුදු වෙන්න. කිසිම කෙනෙක් ඔයාලගෙ සෙල්ලම් බඩු නෙමෙයි" මෙන්න මේවගේ තේරුමක් එන ඒවා මම කීවා පුළුවන් දෙමළ පාවිච්චි කරලා. කරුණන් බොහොම ලෙංගතු හිනාවක් මුහුණේ රඳවාගෙන සිටියේය

"ඒකනේ මේ ඩොක්ටර් මම දන්නේ අහවල් ඉස්පිරිතාලේ ඉඳන්...." කළින් මේ උතුරු කොනේම තව රෝහලක වැඩකරද්දී කරුණන් හමුවූ කතාව ඔහු මතක් කරේ අර තරුණයන් දෙදෙනාට ය. බොහෝ මිනිසුන් මේ නගර කිහිපයේම ඇවිදින නිසා ඔවුන්ට මා මතකය. ජීවිතයේ බොහෝ පීඩාකාරී අවදියක, මේ මිනිසුන්ගේ ලෙංගතු බව නිසා තවත් මෙහි රැඳුනා මිසක කැමැත්තෙන් රැඳෙන පිරිස බොහෝ අඩුය.

"දැන් කොහොමද කරුණන්.. බටේ ගැලෙව්වේ කොයි කාලෙද ?" මට මතක තිබුනේ බෙල්ලෙන් ඇතුල් කළ ප්ලාස්ටික් නළ මාර්ගයක ආධාරයෙන් හුස්ම ගනිමින්...කතා කළ කරුණන් වය. දැන් ඒ බටය නැත, කැළලක් පමණක් පෙනේ.

"හොඳටම හොඳ වුනා ඩොක්ටර්, දැන් මේ අසලම ඉන්නේ. නිතර එනවා මෙහෙ මනෝ සායනය ට, දන්නැද්ද ඉතින්... " ඔහු හිනා වුනේ මා ඔහුගේ ඉතිහාසය හොඳින් දන්නා නිසාය.

"ඩොක්ටර් මගෙ කතාව ලියන්න.." යැයි ඇවිටිලි කළේ මනෝ වෛද්‍ය ඒකකයේ මම අර බැටරි බසිමින් සිටි ලැප්ටොප් එක අටවගෙන ඉන්දුගේ කතා ලියද්දී ය. නමුත් මට එය කරන්නට බැරි විය. බාගෙට ලියූ කතාවට එකතු කරන්නට මේ උඩ කොටස මතක් වුනේ අද ය.

ඔහු මුළින් මුණ ගැසුනේ, කායික වාට්ටුවේ දී ය. කෘමිනාශක බී ජීවිතේ නැති කරගන්න උත්සහ කර තිබිනි. මේ යොවුන් වයසේ කොලු කුරුට්ටෝ නිතර ඔහොම එන්නේ ආදර පළ හිලව් වලටය. පොඩි උන් එන්නේ අම්මලාට් වැඩිහිටියන්ට පාඩම් උගන්වන්න තමන් ම කෘමිනාශක පානය කරගනිමිනි. ඒ ගැන එකල පෝස්ට් කීපයක්ම ලීවා මතක ය.


කරුණන් ගේ කතාව වෙනස් ය. ඔහුට පවුලේ සියල්ලන් අහිමි වුනේ යුද්ධයෙනි. ඔහුට සිටියේ නෑදෑ වන බාප්පා කෙනෙකු පමණි.

ඔහු මොහුව කඩේක වැඩට යොදවා තිබිණි. එතැන මුදලාලි එක්ක බහින් බස් වී කෘමිනාශක පානය කර තිබිණි.

දෙවන දින මොහුගේ තත්වය බරපතල විය. තමන් අසල දෙවඟනන් රැඳී සිටින බවත් අහසේ වළාකුළු මත පාවෙන බවත් කීවේ අප විශේෂඥ වෛද්‍යතුමියට ය. දැඩි සත්කාර ඒකකයේදී ශ්වසන අපහසුතා නිසා.. බෙල්ලේ ශ්වාසනාලය ඇති කොටසේ සිදුරක් සාදා බටයක් දමන්නට සිදුවුනේ, නිරන්තර ශ්වසන අපහසුව නිසාය.

ඔහු එහි දින ගණනාවක් ද ඉන්පසු කායික වාට්ටුවේද ගත කර තිබිනි.

නැවත හමුවෙන්නේ මනෝ වෛද්‍ය ඒකකය තුල ය. කඩේ මුදලාලි සමග ආරෝවකිනි. ඔහු මරණ බවට සපත කරයි. බාප්පා සමග රණ්ඩුවකි. ඉතින් මේවා සමනය කරන්නට බොහෝ කතා කියා දිය යුතුය. ඔවුන්ට කියන කතා අසා මිස්ලා කියන්නේ "ඩොක්ටර් කොච්චරවත් කියන අවවාද කතන්දර අහලා අපි හැදෙනවා" කියලයි.

මනෝ ව්‍යාදියකින් පෙලෙන , විශාදිය හොඳටම ඇති මේ දරුවන්ට අවවාද කිරීම ගඟට ඉණි කපනවා වැනි ය. කරුණන් ගේ තත්වය ද එසේම ය. දෙමාපිය සොයුරු සොයුරියන් නැතිව මොහු තනිවී සිටී. ඔවුන් කෙදිනක හෝ හමුවේවි දැයි ඔහු විටෙක කල්පනා කරයි. මේ යුද්ධයකින් පසු ඇතිවන අතුරු ප්‍රතිඵලය ය. සමස්ථ ජන සමාජයම පුපුරා යෑමකට ලක් වූයේ අවුරුදු ගණනක සිට ය. එය වැලැක්විය හැකි දෙයක් නොවේ. ඒ විඳීම් සහ අහිමි වීම් සියල්ලන්ට එක ලෙස දැනිනි. ඇතැම් අය ඒවා හමුවේ ගල් ගැහුණු හිත් ඇතිව සිටි අතර ඇතැම්හු පුපුරා හැලින.
"ඩොක්ටර්ට තේරෙන්නෙ නෑ තනි වුනාම දැනෙන දේ" ඔහු මා හා පවසයි. " මට කාත් කවුරුවත් නෑ. "
 "මට හොඳට තේරෙනවා කරුණන්,  මේ මමත් තනියෙම ඉන්නේ.. මගේ අයත් මෙහි නෑනේ. අනික අපිට වගකීම් එහෙමත් දරන්න වෙලානේ"
"අනේ ඕගොල්ලොන්ගෙ දැනීම් "
හෝ
"ඩොක්ටර්ට මොන තනියක් ද" වගේ යමක් කියවමින් අප අසලින් ඉවත් වේ.

ඉතින් ඒ සා විසල් කාලයක් අප හමුවේ සිටි කරුණන් දැන් වැඩ කිසිත් නොකර බාප්පා ගේ නිවස්නයේ හෝ රෝහල් භූමිය තුල දවස ගෙවයි. මා හමුවෙන්නේ එවිට ය.

"ඩොක්ටර් දන්නෙ නෑ මේ කොල්ලෝ.. ඩොක්ටර් පොඩි නිසා තේරෙන්නෙ නෑ. මොනවා හරි ප්‍රශ්නයක් නම් මට කියන්න.." බෙල්ලේ අර බටය නොපෙනෙන්න කළින් බැඳ තිබූ ලේන්සුව නැත. දැන් බටය ද නොමැත.

"ඉතින් මොකද කාරුණන් කරන්න ඉන්නේ"

"මට තවම සනීප මදි ඩොක්ටර්"

"මේ හොඳට ඉන්නේ... ඔන්න මනස්ගාත අමතක කරලා රස්සාවක් කරන්න.." මම කියද්දී අර සුපුරුදු හීන් සිනහවෙන් පිළිතුරු දුන්නේ ඔහු " මගෙ ඔළුව හරි නෑ නේ" කියා ය.

මෙහි මට හමුවෙන බොහෝ දෙනෙක්, ඔවුන් ගත කළ කටුක කාලය නිසා කයින් මෙන්ම මනසින් රෝගී වී සිටී. කරුණන් ඔහුගේ සියලු සිදුවීම් වලට බාප්පාට හෝ කඩේ මුදලාලිල බණිමින් කල් ගන්නාක් මෙන්, අප ද අපේ කරදර අනුන් නිසා සිදුවූ බව සිතමින් කල් ගත කරනු මා අනන්තවත් දැක අසා තිබේ.

නමුත් කළ යුත්තේ එය නොවේ. අප අපටම අවංක වීම ය. අප අතින් වැරදි සිදුවන බව වටහා ගැනීම ය. අප අපට සමාව දීම ය. තනිව සිත තනා ගත යුතුම ය.

මා ඔහුට මට වැටහෙන අයුරින් කර්මය සහ භවය ගැන කීවේ, ආයෙත් ජීවිතය වරද්දවා ගන්න මෙවැනන්ට ගත වෙන්නේ සුළු මොහොතක් නිසා ය.

අපේ හිත හදා ගත යුත්තේ අපම ය. නැත්නම් දිනක පසු තැවිලි වෙන්නට සිදුවෙන්නේ අපටම ය.


Thursday, March 16, 2017

මගී ආරක්ෂාව ගැන නොසිතන්නේ ඇයි ?

මගී ආරක්ෂාව ගැන මේ තරම් නොසිතන රටක් මම දැක නැත්තේ.. මීට වඩා අන්ත රටවල් වල මම ඇවිද නැති නිසා වෙන්න ඇති.
මෙහෙම හිතුනේ කාලයක් තිස්සේ නගරයේ තැනින් තැන, බෝක්කු තැනීම්,  ගුවන් පාලම් තැනීම් සඳහා ඇති කරන ලද කැණීම් සහ මාර්ග බාධක හේතුවෙන්. 
හුදෙක් වාහන පාලනය සහ වාහන යෑම් ඊම් ගැන පමණක්ම සිතන පිරිසක් මේ ආශ්‍රිත වැඩ රාජකාරි කරන්නේ යැයි මට සිතේ. 
කොටින්ම දූලි වලා නැගෙන එවැනි තැන් වල පයින් ගමන් කරන පදිකයන් හට ඇතැම් විට මාර්ගයට බැස ගමන් කිරීමට පවා සිදුවේ. පාර අයිනේ ඇති පදික වේදිකා දැන් දකින්නට නොලැබේ... දිය පිරුණු අගල් සහ ඇතැම් තැනක බාගෙට බිඳ හෙලන ලද ගොඩනැගිලි සුන් බුන් ය. 
මේවා මෙහෙම තියෙනවාට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැති බව වැටහෙන්නේ කිහිප ගමනක් නොව දිනපතා ඒ අසලින් යන එන අප වැන්නන්ට ය.

මේ මං සන්ධියේ පමණක් නොව , තව බොහෝ ජනාකීර්ණ පාරවල් වල පදික වේදිකා වල මිනිසුන්ට ගමන් කිරීමට නොහැකි වන සේ බාධක රැසකි. එක්කෝ වාහන නවත්වා ඇත, එසේත් නැත්නම් කුණු ගොඩවල් පුරවා ඇත. දකින හැම විටක ඒවා හැකි ලෙස ජායාරූපගත කරන්නේ, මේ රට මෙසේ විය යුතු නැතැයි සිතමිනි. ඒ ගැන යම් දිනක ලියන්නේ යැයි සිතමිනි. වැඩි වශයෙන් පාගමනින් යා හැකි දුර යන්නට පුරුදු පුහුණු වුන අප වැන්නන්ට නම් මේ කිසිම සැලසුමක් නැති ඉදි කිරීම් බිඳ හෙළීම් සහ පටු මං මාවත් ගෙන එන්නේ කළ කිරීමකි.

මාර්ග තද බදය අවම කිරීමට වෙන රටවල නම් වැඩි වශයෙන් පා පැදි සහ පයින් ගමනේ යෙදීම සෞඛ්‍යයට පවා හිතකර බව ප්‍රචාරනය කරමින් දිරි දෙන අතර අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය සැකසී ඇත්තේ කෙසේ හෝ වාහනයක ගමන් කිරීමට ය. නගර සැලසුම් වුනත් පදිකයින්ට හිතකර අන්දමින් සැකසී නැත. කාලයක් ඉතා පුළුල් පදික වේදිකා තනා දුන්නද දැන් යළි යළිත් ඒවා පටු වෙමින් පවතී.




මේ හුදෙක් කා දෙසවත් චෝදනා පැටවීමට හෝ වැරදි උළුප්පා වෙනත් වාසි ලබා ගැනීමට හෝ නොවේ. පදිකයින් පසුවන අපහසුතාවයන් පෙවා දීමට ය. 
ඇතැම් විට මේ ආකාරයෙන් වාහන නවත්වා ඇති පදික වේදිකා වල ගමන් කිරීමට අපට මහ පාරට අවතීර්ණ වීමට සිදුවේ. 

මේ උදාහරණ ලෙස , වෙනත් රටවල අනුගමනය කරන ක්‍රම වේදයන් වේ. යුරෝපා රටවල සංචාරය කර ඇති මා මෙවැනි ආරක්ෂිත පදික ආවරණ සහ ගොඩනැගීම් ඇති තැන් අනන්තවත් දැක ඇත.
ඇයි අපට මෙවැනි දෑ ගැන සැලකිලිමත් විය නොහැක්කේ  ? මට සිතේ.





එමෙන්ම වාහන වල පටවා නොයෙක් දෑ ගෙන යන්නන් ඒවා ගෙන යන්නේද කිසිඳු ආරක්ෂිත උපක්‍රම භාවිතයකින් නොවේ.
එවැනි අනාරක්ෂිත ආකාරයේ භාණ්ඩ ප්‍රවාහනය කරන ඇතැම් රථ මගේ කැමරාවට හසු වී ඇත.


 කැළණි විහාරය අසල ඇති පාලම මත , පෝය දිනවල එකම එක තද බදයකි.. ඒ වෙළඳුන් ඒ පාලම මත දෙපස ඇති පටු පදික වේදිකා මත වෙළඳ බඩු අටවාගෙන සිටීම නිසා ය. සැදැහැතියන් ගමන් කරන්නේ පාර මතිනි. එය කෙතරම් අනතුරුදායක දැයි කිසිවෙකුට නොවැටහෙන්නේ මන්දැයි නොතේරේ.
මෙවැනි තවත් බොහෝ දෑ දකිමින් සිටින්නෙමි. කටුනායක හයිවේ එකෙන්, දළුගම දෙසට දිවෙන ෆ්‍රී වේ මාර්ගය නුවර පාරට වැටෙන්නේ මයික්‍රෝ කොම්පැනිය අසලිනි.  මයික්‍රෝ කොම්පැනියට මදක් ඔබ්බෙන් දැන් නැගීගෙන එන කුණු කන්දකි. ඒ අසලම කුණු ඇලක් ද, ජරා ජීර්ණ වූ ඇල මාර්ගයක් ද පෙනේ. දෙමටගොඩ දුම්‍ රිය පල අසල ගුවන් පාළමේ කොළඹ දෙසට ගමන් කරද්දී වම් පැත්තේ පෙනෙන්නේ මීතොටමුල්ල කුණු කන්දයි. එය හරි හැටි එළිය නොමැති දිනක දිස්වෙන්නේ සැබෑ කන්දක් ලෙසය. මේ කුණු ප්‍රශ්නය තව ත් ඉවරයක් නැත. ඩෙංගු රෝගීන් දිනෙන් දින ඉහළ යයි. හැම දාම දෙතුන් දෙනෙක් වාට්ටුවේ අසාධ්‍ය තත්වයට පැමිණ (critical phase monitoring ) දැඩි සත්කාර ක්‍රමවේදයට ඇතුල් වේ.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී.. අපි තනි තනිව ජීවන අරගලයේ යෙදෙන්නෙමු. ප්‍රශ්න දාහක් නොයෙක් වර නොයෙක් වෙසින් තැනින් තැන මතුවේ. ප්‍රශ්න එහෙම්ම ම තියෙද්දී අපි බොහොම ආත්මාර්ථකාමී ලෙස අපේ ගැන පමණක් බලා ගනිමින් සිටින්නෙමු.


Sunday, March 5, 2017

ඇයට තිබුනේ මගේ නමමයි... ලාවන්‍යා !

එයාට තිබ්බේ මගේ නම මයි... හිතන්නකෝ ලාවන්‍යා කියලා.
ඉතින් ලාවන්‍යා ඇඩ්මිට් උන වෙලේ ඉඳන් වාට්ටුවේ ඉන්න කට්ටිය අන්ද මන්ද වෙනවා.
"මෙන්න ඩොක්ටර්ගේ රිපෝට් ඇවිත්..." ඇතැම් විට නම නිසා මට එහෙම කියනවා.
එහෙම කියන ගමන් බී එච් ටී එක චෙක් කරලා. "ආ ඩොක්ටර්ගේ නෙමෙයි " කියලත් කියනවා එසැනින්.
ලාවන්‍යාගේ මොළේ ස්කෑන් සහ මොළයේ ස්නායුගත ක්‍රියාකාරිත්වය ගැන පරීක්ෂා කරන EEG ස්කෑන් එකේ රිපෝට් ආවමත් ඔක්කොමලා ආයෙම කලබල වෙලා. එතකොට ලාවන්‍යා ගෙදරත් ගිහින්. "ඩොක්ටර් මොකද මේ ඊ ඊ ජී කළේ... වගේ සිතුවිලි එක්ක. දෙවෙනි නම තිබුනත්, ක්ලිනික් එකේ ලෙඩ්ඩු බලමින් හිටි මට කෝල් කරලා අහනවා " ඩොක්ටර් ඊ ඊ ජී එකක් කරාද " කියලත්. ඒ තරම් කලබල වෙනවා නම ගොඩක් ඇසෙන නමක් නොවන නිසා.

ඉතින් ලාවන්‍යා අපිට හමුවෙනකොට එයා හිටියේ කොහොමත් බර අඩු, කේඬෑරි අත පය එක්ක. වැඩීමේ දුර්වලතා එක්ක. ෆිට් එකක් සෑදී මුලින්ම ඇඩ්මිට් කළ විටත් මම තමා මුලින්ම බැලුවෙත්.

"අම්මෙ අර ඩොක්ටර්ට තියෙන්නෙ මගෙ නමමයි" ඇයත් එහෙම කියලා තිබුනා.
"ඩොක්ටර් ගේ නමත් මේකම නේ" අම්මත් ඇසුවා.

මම කතා කරන විදිහ නිසා ද මන්දා ලාවන්‍යා මා එක්ක ගොඩක් හිතවත් උනා.
ඒ වෙනකොටත් එකම පන්තියේ දෙපාරක් සිටි නිසා, නිතර ෆිට් එක හැදෙන නිසා, ලියන එක හෙමින් නිසා වගේ බොහෝ දේවල් නිසා ලාවන්‍යා ගේ පාසැල් ගමන කඩින් කඩ සිදු වුනේ.
"ෂා අද නම් සුදු වෙලා. .... උස ගිහින්. දැන් ලස්සන වෙලා .. ආ මෙයා කනවා නේද හොඳට. එහෙම නේද මෙහෙම නේද කියමින් " මගේ අර ආටෝප කතාවට ලාවන්‍යාගේ මුහුණ විකසිත වෙනවා. හරි අහිංසකව හිනා වෙනවා.

නිතර හැමෝ එක්කම තරහ ගන්න, තමන්ගෙම කොණ්ඩෙ අහුරු පිටින් කඩා ගන්න, අම්මාට ගහන , වද දෙන, රෑ වෙනකම් ටීවී බලන්න වලිකන, කොළ කෑලි කටේ දමා ගිලින... මේ පැංචිගේ වැඩ ගැන කතා බස් කරන එකත් ඒවාට පිළියම් සොයන එකත් අතිශය සංකීර්ණ එකක් වුනා.

කොහොම හරි පාසැලේ වැඩ කටයුතු සොයා බලන්න පොත් බෑග් එකම ගෙනෙන්න කියා විශේෂඥ වෛද්‍යතුමිය ඒ සියල්ල පරීක්ෂා කරමින් ඇයට වැඩ පවරමින්, පැයක් දෙකක් තිස්සේ ඇගේ අවබෝධතා මට්ටම සහ හැකියාවන් බලා කියා ගත්තා.

මේ දරුවාට යම් කිසි සහනයක් ලබා දිය යුතුයි කියා පාසැලටත් ලියුම් යැව්වා. ඊට අමතරව තමන්ටම හානි කරගනිමින් අනුන් හා උදහස් වෙන පහර දෙන වැඩ නිසා ඒවාට පිළියමක් ලෙස මනෝ වෛද්‍ය අංශයේ වෛද්‍යවරයාටද යොමු කළා. ඔහු දරුවන් හා කතා බස් කරන්න බොහෝ සමත් පුද්ගලයෙක්.
ඔහොම නිතරම ෆිට් එක හැදෙන ගතිය පාලනය කරන්න අපිට හැකියාවක් ලැබුනා... අවුරුදු දෙකකට කළින් හැදුනු අන්තිම ෆිට් එක දැන් මේ වෙනකොට නැත්තටම නැති තරම්.
ක්ලිනික් එකට ආවොත් මගේ ළඟ ඉන්න ලෙඩුන් අයින් වෙනකම් ඉඳලා අම්මා එක්ක කොහොම හරි මාවම පෙන්වලා මා ළඟට එන බවක් පෙනෙන්න තිබුනා. ඒක ඒ අම්මත් කීවා. ඇයට අවශ්‍ය විදිහට මා කතා කරනවත් ඇති. අම්මා නගන චෝදනා වලට මම දරුවා අම්මා ඉදිරිපිට අපහසුතාවයට පත් නොකර හැකි තාක් සාමාන්‍ය කරණය කරන්න ඉගෙන ගත්තේ මගේ විශේෂඥ වෛද්‍යවරියගෙන්.
මෑතකදී අළුතින් පේන්ට් කරපු ඇඳන් වල පහුවදා පොඩ්ඩෙක් චෝක් එකකින් පාට කරලා... අපි ඉතින් ආයේ ඇන්දොත් ටිකට් කපන්නේ නෑ වගේ එකක් ලාවට කිව්වා.
විශේෂඥ වෛද්‍යවරිය ගත් කටටම කීවනේ "කමක් නෑ ඔයා ඕනෙ තැනක අඳින්න අපි ගෙදර යවනවා" කියලා
අර දරුවට හෙන විශාල හිනාවක් ගියා. පස්සෙ අපිට ඇය කියලා දුන්නා දරුවන්ගේ පරිකල්පන ශක්තිය සහ ඔවුන්ට යමක් එපා කියන මට්ටම ගැන. විශේෂයෙන් ඔය නිර්මාණශීලී දේවල් දරුවෙක්ට කරන්න එපා කියන එක භයානකයි කියන එකත්. කොහේ ඇන්දත් කමක් නෑ කියලා හිතන්න කීවා. වාට්ටු වගේද දරුවෙක්ගේ පරිකල්පන නිර්මාණශීලීත්වය.
මට මතකයි අපි පොඩි කාලෙත් ගෙදර බිත්ති පුරා ඇන්දා කියලා.

කොහොම හරි දැන් අපේ ලාවන්‍යා ත් මා එක්ක බොහොම කුළුපගු වුනා. ඇයට මම වගේ වෙන්න ඕනේ බවක් වැටහුනා. අම්මා කිව්වා මා ගැන කියලා ඒ විදිහට මම කියූවා කියලා දේවල් කරනවා කියලත්.

ඉතින් මම කියනවා " ආ මම නම් ඔය වයසෙ මෙහෙම තරහ ගත්තෙ නෑ.. මම නම් අම්මට උදව් කළා. අම්මා පව් නේ " ඔය වගේ දේවල් කියනවා.

කොහොම හරි ළඟදී දැන ගත්තා එයාගේ වැඩ හොඳයි කියලා. හොඳට ලකුණු ගන්න බවත්, අර තරහ යෑම් ගොඩක් අඩු බවත්. දැන් බරත් වැඩිවෙලා අපේ පෝෂණවේදී වෛද්‍යවරියගේ අනුදැනුම මත ආහාර වේලත් වෙනස් කරලා.
"ආ දැන් ලස්සන වෙලා.."
"ෂා උස ගිහින්, සුදු වෙලා..." වගේ දේවල් මම කියද්දී ඇගේ මුහුණ මලක් වගේ ලස්සනයි.

ඒ එක්කම දුක පැත්තකුත් ආරංචි උනා. මෙයා මෙච්චර කල් හිටියේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කොටසේ ලු. ඉතින් වෙන දරුවෙක්ගේ පොතක් බලාගෙන ලු ලියන්නේ ටීච කියන ඒවා. නමුත් දැන් ලාවන්‍යා හොඳින් ලකුණු ගන්න නිසා අර දරුවන්ගේ දෙමාපියන්ට රිදිලා. ඔවුන් ළමයින්ට කියනවලු ලාවන්‍යාට උදව් කරන්න එපා කියලා
ඒ එක්කම අර පිටපත් කරගන්න ළඟ ඉන්න ළමයගේ පොතේ ඒ ළමයා වැරදියට ලියනවලු. පොතක් හදිසියකට අතපසු වුන වැඩ කරගන්න ඉල්ලුවත් දෙන්නේ නෑලු. ඉතින් ලාවන්‍යාගේ අම්මට දැන් නිතර ඉස්කෝලේ ගිහින් ඒ වෙනුවට මෙයාට උදව් කරන්න සිදුවෙලා. ඒකට කලාපෙන් පවා අවසර අරගෙන.

ඒවගේම ලාවන්‍යා අඩු කාලයකදී දැඩි සීග්‍ර වර්ධනයකින් හොඳ අතට හැරුණු නිසා අප ඒකකයට තවත් එවැනි දුර්වලතා ඇති දරුවන් යොමු කරාලු ඒ පාසැලේ ගුරුතුමී.
මට ඇති දුක දරුවන්ගේ සිත් වලට තරඟය ඇතුල් කරලා මේ දරුවාට උදව් කරමින් හිටි දරුවන්ගේ අම්මලා අප්පලා.. දැන් ලාවන්‍යා හොඳින් වැඩ කරද්දී තමන්ගේ දරුවන් අභිබවා යාවි යැයි බියෙන් කටයුතු කිරීම ය.

තවම ලාවන්‍යාගේ කියවන විට ලිවීම වේගවත් නැති නිසා ළඟ ඉන්න ළමයගෙන් බලාගෙන ලු ලියන්නේ. ඉතින් දැන් අම්මා ඉස්කෝලෙ යනවා ඒ වෙනුවට දරුවා වෙනුවෙන්.

"ඩොක්ටර්ස්ලා නිසා තමා මෙයා මේ තරම් ඉක්මනින් හරි ගියේ" ඇගේ බරත් වැඩි වෙලා, අතුරු ආබාධත් අඩු වෙලා, පාසැල් වැඩත් හොඳින් කරන නිසා අම්මා අපට ස්තූති කරනවා.
" නෑ අම්මා අපිට පුළුවන් උපදෙස් දෙන්න විතරයි. ඒක ඔයාගේ කැපවීම ම තමා. අම්මා මේ තරම් මේ දරුවාට උදව් නොකළා නම් කොහොමද මේ දරුවා මේ තරම් ඉක්මනින් හොඳ වෙන්නෙ. ඔයාගේ ජයග්‍රහණය මේක ඔයාගේ මහන්සිය" මම ඒ මව අස්වැසුවෙමි.

ගුරුතුමිය නම් බොහෝ උදව් කරන බව ද, ඇය නිසාම ඔවුන් කියවන වේගය අඩු වෙන් පිටපත් ලිවීම සඳහා කියවන බවද ඒ අම්මා කීවා.
දවසට මිනිත්තු 10 පමණ ගෙදරදී කියවන විට ලිවීම කරන්න යැයි මම මවට උපදෙස් දුන්නා. හෙමින් හෙමින් කියවන වේගේ වැඩි කරමින් ඇය ඒ සඳහා හුරු කළ හැකි බවද මා පෙන්වා දුන්නා.
අවශ්‍ය නම් තව ටිකක් කල් බලා පාසැලේ සියලු දෙමාපියන් අමතන්න අවස්ථාවක් ලබා ගැනීමත් කළ යුතු වේ යැයි මට සිතුනා. දරුවන්ගේ සිත් මල් වගේ. ඒ මල් කැකුළු කඩා පොඩි කර දමන්නේ ඔවුන්ගේ සිත් වලට කැළි කසළ එකතු කරන්නේ වැඩිහිටියන් ය. තමන්ගේ දරුවාට වඩා හොඳින් වැඩ කරන දරුවන් කෙරෙහි ද්වේශයෙන් පසුවෙන ඔවුන් තමන්ගේ දරුවා හදා ගන්නට , උනන්දු කරන්නට වෙහෙස නොවී අනෙක් දරුවාගේ ඉගෙනුම කඩා කප්පල් කරන්න වෙහෙසෙයි. මේ මරා ගැනිල්ල ඉවර වෙන්නේ කවදා ද ?

මම මේ ඒකකයෙන් ගියත් මගේ වර්ණනා කිරීම් හමුවේ විකසිත වෙන ලාවන්‍යාගේ හිනාව මට හැමදාම මතක තියේවි.
අම්මාගේ සායෙන් අදිමින් මගේ පෝළිමටම එන්න මාන බලන මේ පොඩි එකීව කොහොමත් මතක තියේවි.

Thursday, March 2, 2017

මේද බදාම....

for my heart people !.... written while dwelling with life and its variables...

හා, ඔය ගත්ත කඩදහි පටි බලන්න
නලාව තිය තියා අහන්න
මේද බදාම ම ඕනෑ නැත
කිරීටක ධමනියක් වැහෙන්න


මේ විඳින දුකත් ඇති
හා , බොරුද කියන්න
මේ හද ගැස්ම අමුතුද
ඔය හැටිම බලන්න


තනිව දිවි බර උහුලනා හැටි,
බොහෝ නොසරුප් විඳවනා හැටි
අනුන්ගේ අගුපිලක වැතිරී
කොහොම හරි දින ගෙවා ගත යුතු

හදවත උනත් උහුලයි
දරා ගන්නට හැකිවෙයි
හද බිඳුණු තැන මෙතැනයි
ඉතින් අදවත් කියන්න

වෙහෙසකර හිතකට
මතක බිඳු පොදකට
මිය ඇදුණු මොහොතට
හැකිද පණ දෙන්න

රිදෙන තැන මෙතැනයි
එතැන පෙන්වන්න
හද රිදුම් හද බිඳුම්
ඇති ද පෙන්වන්න

රිද්ම පටි අච්චරක
නැතිද ඔබ දැක්ක....

ඒ රිදුම් හද බිඳුම්,
සටහනෙක රැඳේවිද
මොනිටරෙන් පෙනේවිද
එකෝ එක කියාවිද

...මේද බදාම ඕනෑ ම නැත
කිරීටක ධමනියක් වැහෙන්න !


බෝධිනී සමරතුංග
2017 මාර්තු <3 br="">