Thursday, November 21, 2013

අනිත් කොණෙන් මේ කොණට



කැමැත්තෙන් යමක් කරනවානම් වෙහෙසක් දැනෙන්නේම නැති තරම්. මා බොහෝ දෑ කළත් ඉක්මනින් වෙහෙසට පත්නොවීමට හේතුවත් එයයි මට සිතේ. රෝහල් වාට්ටු තුලම දවසේ බොහෝ වේලාවක් ගතකරන අපට සෑම දිනකම නැවුම් අත්දැකීම් රැසක් අප ජීවිතයට එකතු කරවයි. ලෙඩවීම රෝගී වීම බොහෝ දුකක් වුනත් නිරෝගී වී ගෙවල් දොරවල් බලා සිනා මුවින් පිටවී යන මිනිසුන් දුටු විට හිත පුරා ඇතිවන්නේ කියා නිමකල නොහැකි සතුටකි. ඒ වගේම බලාපොරොත්තු සුන්වූ සිතින් බොහෝ දුක් කරපින්නාගෙන ගෙවල් බලා යන පිරිසද අඩු නැත.

කවදාවත් සැලැස්මක් නැති ජීවිතේ බොහෝ කරදර දුක් දෝමනස්සයන් මග හැර සැහැල්ලුවෙන් සතුටෙන් සිටින්නට උත්සහ කරන සෑම දිනක් අග මේ මතකයන් බෙදා ගන්නට කියාගන්නට මේ බ්ලොග් පිටුව තිබීම ඒ දුෂ්කර කාලයේදී සැනසිල්ලක් වුනා... ජීවිත ජීවත් කරවන්නට තතනන්නන්ගෙන් කෙනෙකු වන මම මගේ අත්දැකීම් මෙලෙස සටහන් කරන්නේ විශේෂ පිරිසකගේ ඉල්ලීම මත.

අප විශේෂඥ වෛද්‍යතුමා මා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ පටන් සඟරා වලට ලියන බව දැනගෙන මා හට මේ දුක්ඛදායී ජීවිත ගැන ලැබෙන අත්දැකීම් ගැන අන්‍ අයටද දැනගන්න යමක් තිබෙන නිසා ලියන්නට යැයි කී නිසාත්, මගේ රූමා හෙවත් අනෙක් සහෘද වෛද්‍යවරිය සහ අපේ වෛද්‍ය අක්කලා අයියලා ලිව්වාද ? ලියනවාද ? ලියන්න ! යැයි නිරන්තරයෙන් කන් කෙඳිරි ගෑ නිසාත් මුහුණු පොත හරහා බ්ලොග් වලට පිවිස මේවා ගැන ලබාගත් දැනුම නිසාත් මේ සටහන් මෙසේ ලියැවුනා....

අගනුවරින් ඈත එහා කොණේ පිහිටි ප්‍රධාන ආරෝග්‍යශාලාවක එක්තරා වපසරියක එහෙ මෙහෙ යමින් ගතකරපු ජිවිතේ හරියට නැග්මක් බැස්මක් වක ගැසීමක් හෝ ගල් පර නැතිව ගලායන ගංගාවක් වගේ තිබුනා. නුහුරු පරිසරයක හිටියත් අපි සියල්ලෝම හැමදාම හවසට ටවුමට ගිහින් , වැව ළඟටත් ඇවිදලා එන්නේ හිත සැහැල්ලු කරගන්නත් එක්කමයි.ඒ එක්කම සංසාර පුරුද්දට වගේ එකතු වුන යහළුවන් පිරිස නිසා මේ අවට සිරි නරඹන්නත් පරිසරය හා සහගාමී වන්නත් හැකිවුනා. ලිවීම පුරුද්දක් කරගත් නිසා නොලියා ඉන්නත් බැරි තරම්.

බොහෝම සුන්දර ඒත් වැඩ අදික ටිකක් විතර දුෂ්කර කාලයක් ගත කරලා, යලිත් මේ කොණේ ප්‍රධානම රෝහලකට මාරුවීමක් ලැබී පැමිණෙන්නට වුනා. මගේ පවුලේ අයට නම් ඒක බොහෝම සතුටක්. මටත් එක්තරා විදිහකින් අස්වැසීමක් වුනා, මගෙම පවුලේ අය හා ජීවත් වෙන්න, නෑදෑ හිත මිතුරන්ගේ බණකට, දානයකට, මගුලකට, සාදයකට සහභාගි වෙන්න පුළුවන් වුනා.... කිලෝමීටර් ගණනාවක් අනිත් කොණට ගිහින් ඇවිත් හෙම්බත් වෙන ඒ ප්‍රවාහන කටයුතු නිසා නොවෙන්නම් , අනිත්කොණ රෝහලේම ඉන්නත් හිත් දුන්නා... එහෙම හිටපු අයත් ඉන්නවා....  කොහොමින් කොහොම හරි, මෙහෙ ආ පසු පුරුදු වුන දෙමළ වෙනුවට සිංහලෙන්ම කතා කරන්නත්, ඉඳ හිට මුණ ගැහෙන දෙමළ පිරිසට දෙමළින් කතා කරන්නත් සිදු වුනා... මෙහෙ රෝහලේ ක්ලිනික් පෝළිමේ සිටින අම්මලා තාත්තලා අපිට නොතේරෙනවායැයි සිතා දෙමළෙන් කතා වෙන දේවල් වටහාගෙන ඒවාට උත්තර දී...ඔවුන් පුදුමයට පත් කරවන්නත් වෙනවා... වෙහෙසකරම වැඩේ, හැමදාම නොයෙක් දේ අසාගෙන පැමිණෙන හිතවතුන්, නෑදෑයින් නිසා රෝහල පුරා දුවන්න සිදු වීමයි. (රෝහල පුරා දුවන්නේ ඔවුන්ව හමුවීමටයි) හරියට මම එනකම්ම ඉඳලා හැමෝම ලෙඩ වෙනවා වගේ.... කවුරුන් හරි කතා කරත් ඒ මගේ දුක සැප අහන්න නෙමෙයි, ඔවුන්ගේ සුව දුක් ලෙඩ රෝග වලට බෙහෙතක් අහගන්නයි. ඒත් රෝහලේ බොහෝ අය, වගේම මගේ මිතුරන් ඒ දේ සුබදායක විදිහට දුටුවේ නෑ. අයියෝ ඇයි ඔහොම වෙහෙසෙන්නේ... හැමදාම කවුරු හරි නිසා එහෙ මෙහෙ දුවනවා,ඔයාට නම් පිස්සු...... යැයි අවලාද ඇසුනු වාර අනන්තයි. ඒ ගැන බොහෝ දුකින් මගේ පියාට කියූ විට තමයි ඔහු මගේ හිත හැදුවේ... "කවුරුත් ළඟට ඔහොම ඔය විදියට පිරිසක් ඇදී එන්නේ නැතුව ඇති, ඒක ලොකු පිනක් පුතේ " කියමින්...

ඊයේ පෙරේදා මගෙන් ඇයි දැන් ලියන්නේම නැත්තේ කියා ඇසූ යහළුවෙක් ට මා කියූවේ
"ඒ තරම් නිදහසක් නෑනේ දැන්, හැම තිස්සේම වැඩ, එක්කෝ රෝහලේ , ගෙදර ආ පසු ගෙදර වැඩ, අනිත් කොණ සිටි කාලයේ තරම් සුන්දර කාලයක් ආයේ එන එකක් නෑ" කියාය.

"මතකද මම කිව්වා ඔයා ඔහොම කියයි කියලා..." යහළුවා පැවසීය.

මෙහි ආවත් අනිත් කොණ කතා අඩු නැතිව තවම මතකයේ තියෙනවා.... එනිසා අනිවාර් යයෙන් ඉඩ ලැබුනු වෙලාවලදී මේ බ්ලොග් පිටුවේ ඒ මතකයන් ලියැවේවි.


අර මගේ බයිසිකලයනම්, අනිත්කොණෙන් මෙකොණට ගෙන ආවා, ඒත් දැන්  ගෙදර මුල්ලක පුස් කනවා... මතකනේ  " අහෝ A 9 සහ බයිසිකල් පදින දොස්තරලා "ලිපියේ සඳහන් කළා.

" ඕක එහෙම පදින්න එපා පාරේ, බස් එකක් යට තමයි නවතින්න වෙන්නේ," ගෙදරින් සත්තමක් ආවා.
" අපෝ බයිසිකලයක්ද පැද්දේ.... මෙහෙ එහෙම පදින්න එපා ඔන්න, තත්වයට හොඳ නෑ" එහෙමත් කිව්වා සමහරු.... ගෙදරට පෙනෙන දුරින් පිහිටි රෝහලට පයින් ඇවිදිද්දී... " වාහනයක් නැද්ද ඩොක්ටර්, ලයිසන් නැද්ද , ඇයි පයින්, යමු මම ඇරලවන්නම් " යැයි කියන පිරිසද අඩු නෑ.... මිනිත්තු 10 ඇවිදින එක කොයි තරම් හොඳද කියා නොදැනෙන අය එක්ක කතා කරලා වැඩක් නෑ... "ණය වෙලා හරි කාර් එකක් ගන්න, සමාජ තත්වෙට ඒක වටිනවා" ඔහොමත් කියනවා සමහරු....

ඇත්තටම වාහනයක් තියෙන එක පහසුවක් තමයි, දුර ගමන් යන්න, පයින් යා නොහැකි දුරක් යෑමට එහෙම, ඒත් ,  කිලෝ මීටරයක් විතර දුරක් යන්න වාහනයක් මොකටද ?
සියල්ල තාවකාලික ලොවක, පවතින යථාර්තය තේරුම් ගත නොහැකි අයට යමක් තේරුම් කිරීම අපහසු නිසා සිනහවකින් පමණක් ඒවාට පිළිතුරු දෙනවා....

Sunday, October 6, 2013

අනිත් කොණත්, මේ කොණත් කොයි දරුවත් දරුවෙක්

මා අභියසට පැමිණි අවුරුදු 8 ක් වයසැති කුඩා පැංචාගේ අතේ තිබුනේ ගෙදර මිදුලෙන්(වෙරළෙන්) අහුලා ගත් සිප්පි කටු ගොඩක් සහ චිත්‍රයකි... "මේ බලන්න ඩොක්ටර් මේවයේ එක එක රටා තියෙනවා..." සිප්පිකටු ගොන්නත් චිත්‍රයත් මට බව කියයි. චිත්‍ර ගැන කියා දී , ඝනකම් කොළ සපයා,ඔහුගේ උනන්දුව වැඩි කරපු මට ලැබුනු තෑගිය. "ඩොක්ටර්ට ගෙනියන්න කියලා දවස් ගාණක් තිස්සේ චිත්‍රේ ඇන්දා" මව කිවාය.
the painting he gave me

 ඔහුගේ පියාද දක්ෂ චිත්‍ර ශිල්පියෙකි නමුත් කරන්නේ මුහුදු යෑමයි....ඒ පවුලේ දරුවන් තිදෙනෙකි. නමුත් දෙදෙනෙක්ම තැලසීමියා රෝගී දරුවන් ය. ඉතින් මේ අම්මා මාසයක් පතා ඔවුන් ඉපදී මාස කීපයක් ගිය තැන සිට රෝහලට මේ දරුවන් සමග ලේ දෙන්න, යකඩ අඩු කරන බෙහෙත් ගන්න පැමිණේ.

"ඇයි චිත්‍ර වලින් ආදායමක් එන දෙයක් කරන්නේ නැත්තේ " ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්ණ වලට සහනයක් ලෙස මේ ඒකකයේ තැලසීමියා රෝගීන්ගේ අරමුදලෙන් මාස් පතා රු 6000 පමණ මුදලක් පවා ලබා දෙන නමුත්, මුහුදු යෑම ස්ථාවර රස්සාවක් නොවන නිසා ඔවුන් අප අභියස දිග අරින් ඔවුන්ගේ දුක් අඳෝනා අසාගෙන විඳගන්නත් වෙන්නේ අපටමයි.
(තැලසීමියා රෝගය ගැන බොහෝ දෙනෙක් මේ ලිපි නිසා මගෙන් විමසුවා. මා මුල්ම ලිපියක රෝගය ගැන, එය වැළදීම සහ ප්‍රතිකාර යන මේ දේවල් ගැන හොඳින් පැහැදිලි කරදුන්නා, මෙන්න මේ ලින්ක් එකෙන් කියවන්න තැලසීමියා රෝගය )

රටේ අනිත් කොණ වන උතුරු ප්‍රදේශයේදී මට හමුවුන සුභාෂන් ( අනවර්ථ නමකි) මතක් වේ. (සුභාෂන්ලාගේ කතාව පෙර කලෙක ලීවා) ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයට ලක්ව ළමා සොල්දාදුවන් ලෙස යුද්ධයට මැදි වූ ඔවුන් යන්තම් දිවි ගලවාගත්තේ හමුදා භාරයට පත්වූ පසුය. යුද්ධය හමාර වූවාට පසු පුනුරුත්ථාපන කඳවුරේ සිටි ඔහු එහි සිටි දරුවන් හට උපදේශන සේවාව සැපයු අපට නිතර මුණ ගැසිනි, සුභාෂන් චිත්‍ර ඇඳීමේ දක්ෂ දරුවෙකි. තමාටත් වඩා බර ගිනි අවිය දී ඔහුගේ සියලු කුසලතා හැකියාවන් ත්‍රස්තයන් විසින් විනාශ කර තිබුනේය. නමුත් අප හමුවේ, පාට පැන්සල්, පාට තීන්ත පින්සල් ලැබ බොහෝ අලංකාර ලෙස අප ඒකකයේ බිත්ති පුරා චිත්‍ර ඇන්දේය. අති විශාල බොහොම උසස් ඝණයේ චිත්‍ර ! ඔවුන් ලියූ කවි සියල්ල අප අතට පත්කරේ බොහොම ලොකු සතුටකින්. ඒ කවි අතර , "අපට නව ජීවිතයක් ලැබුනා" යන අදහස තිබුනා.පොතක් වශයෙන් පළ කරන්නත් ඔවුන්ට අදහසක් තියෙනවා. ඒ ඔවුන් පිහිටවූ කලා සංගමය හරහා.

අනිත් කොණේ මට හමුවූ සුභාෂන් ද, රටේ මේ කොණේ රෝහලේ හමුවූ කුඩා පැංචාද බොහෝම දක්ෂ දරුවන් ය. සුභාෂන් බැට කෑවේ ආයුධ යුද්ධයෙනි, කුඩා පැංචා බැට කන්නේ ආර්ථික යුද්ධයෙනි. මට දුක මේ දරුවන් ඔවුන්ගේ දක්ෂතාවයන්ගෙන් ප්‍රයෝජන නොගෙන දෙමාපියන් සේ කුළීවැඩ කරන්නට පෙළඹුනොත් කියාය.

අනිත් කොණ දී හැම මසකදීම මානසික ඒකකයේ සායන වලදී හමුවූ ගැහැණු ළමුන් දෙදෙනා මට මතක් වේ. ඔවුන් දෙදෙනාම මානසික ආතතියට ලක්ව අප සායනයෙන් බෙහෙත් ගන්නා අයවලුන් විය. එක් අයෙක් උපතින්ම මානසික අබාධිත තත්වයට පත්වූ අයෙක් වන අතර ආදරයෙන් රැක බලාගන්නා මවගේ උත්සහයෙන් ජීවත් වේ. පියා ඇයව නොසලකා හැර ඇත.
"ඩොක්ටර් මේ මම මහපුවා " පිළිවෙලක් නැති මුත් මසා ඇති කොට්ට උර අප වෙත ගෙන එමින් ඈ පවසයි.

ඉතා උස, මහත ඇය හොඳ මනසකින් සිටියානම් නෙට්බෝල් බාස්කට්බෝල් වැනි උස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩාවක යෙදෙන්නට තිබුනි. " තාත්තා මට ආදරේ නෑ. මං දිහා බලන්නෙවත් නෑ " හැමදාම එකම චෝදනාවය.
" ෂා දැන් හරි ලස්සනයිනේ... ගෙදරදි තරහා ගත්තේ නෑ නේද මේ මාසේ..." මගේ ප්‍රශ්ණ කිරීම් හමුවේ ඇගේ මුහුණ ප්‍රසන්න හිනාවකින් පිරී යයි. ඉස්සරහට ඇදී ඇති දත් ඇඳි පොඩි කාලෙම හරි ගැස්සුවානම් මේ දරුවා කොච්චර ලස්සනද ? මට සිතිනි.

 ඔවුන්ට උවමනා අගය කිරීම් ය. පැසසුම් ය. මුළු දිවියම දුක්බර වුනු ඒ දරුවන් හට අපෙන් එවැනි සහනයක් ලැබේනම් ඒ කොයිතරම් හොඳයිද මට සිතුනා. ඒ මැහුම් එතරම් හොඳ නැති වුනත් ඈ ආසාවෙන් කරන දේ නිසා අපි හැම ඇයට ප්‍රශංසා කෙරුවෙමු.  "දුව උස මහත කළු  නිසා ගොඩක් දුකෙන් ඉන්නේ, තාත්තා මේ දරුවා නොසලකා හැරියත්, මෙයාගේ හැඩරුව තාත්තා වගේමයි ඩොක්ටර්" ඒ අම්මා හඬා වැටේ.

කොයි දරුවත් දරුවෙක්... අපේ සමහර වැඩිහිටියන් හැම දරුවෙක් කෙරෙහිම එකම සෙනෙහසින් ක්‍රියා කලද බොහෝ අය එසේ නොවේ. අවුරුද්දකට සැරයක් ලෝක ළමා දින සැමරුම් වලදී දරුවන්ට ටොපි චොකලට් තෑගි දෙන සමාජසේවා ආයතන වලින් උනත් මීට වඩා යමක් දරුවන් වෙනුවෙන් කළ හැකියි කියා මා සිතනවා. සෑම ගමකම , නගරයකම ප්‍රජා සෞඛ්‍ය සේවා ආයතන මගින් දරුවන්ගේ මානසික වර්ධනය මෙන්ම ඔවුන් ජීවත් වෙන වටපිටාවෙන් දරුවන්ට එල්ලවන බාධා අනතුරු පිළිබඳ සොයා බැලුවොතින් කොයි තරම් හොඳද.

Friday, September 20, 2013

අනිත්කොණේ අපි දෙමළ උගත් හැටි...

මනසට ආහාර.....මුහුනු පොතේන් බෙදා ගැනීමක්
රාජ්‍ය සේවකයො හැටියට අපිටත් අපි රජයේ පත්වීම අරගෙන අවුරුදු 2 ඇතුලත ස්ථීර වීම් සහ උසස් වීම් සඳහා පරිපාලන සම්බන්ද විභාගයකට මුහුණ දෙන්න
වෙනවා. හොඳ වේලාවට අපට සීමාවාසික කාලයේ මේ විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය නැත්තේ. එහෙම උනානම් අර මහා වැඩ කන්දත් එක්ක කොහොම කරන්නද ? මේ ළඟදි දවසක රටේ තැන තැන විසිරිලා හිටපු අපි සමහරෙක්ට එකට එක්කාසු වෙන්න චාන්ස් එකක් ආවා මීටිමක් නිසා. අගනුවරට කිට්ටුව සේවය කරපු මගේ හුඟක් යාළුවන්ට තිබ්බ ප්‍රශ්නේ තමයි ඔය විභාගෙට අවශ්‍ය දෙමළ බස කොහොම ඉගෙන ගන්නද කියලා. රටේ අනිත් කොණේ වැඩ කරපු දෙමළ බස පුරුදු පුහුණු වුන අපටනම් ඉතින් ඒක එතරම් ප්‍රශ්නයක් වුනේ නෑ. වෙලාවට එහෙම තැනක වැඩ කලේ කියලයි හිතුනේ.

වචනෙන් වචනේ දෙමළ අහුලගෙන කතා කරන අපිට හිනාවෙන්න අපේ යහළුවෙක් වන සීලන් නැති වුනාට සීලන් සිංහල කතා කරනකොට ශිෂ්‍යයින් කාලේ අපි සෑහෙන්න හිනා වුනා.
සීලන් , කාසල් රෝහලේ සායනීක පුහුණුවකදී අම්මා කෙනෙකුට කහින්න ඉගැන්නු හැටි මතක් වුනා. සීලන් සිංහල කතාකරන්නේ අහුලමිනි. රෝගියෙකුගේ ගැටිති, ඉදිමිච්චි තැන් පෙන්වා "ඒක මොනාද ?" කියලා අසද්දී අපි හිනාව නවත්තා ගත්තේ අමාරුවෙනි.
සායනයකදී , බඩේ තිබුනු හර්නියා එකක් පරීක්ෂා කරන්න ගිහින් "අම්මේ කහින්න" වෙනුවට "අම්මේ කහන්න" යැයි කියූ විට අර අම්මා හොල්මන් වී "කොහේ කහන්නද කියලා ඇසූ හැටිත් සීලන්ට ඒ විත්තිය නො ඇසී ආයෙත් "අම්මේ කහන්න හොඳට.. "යැයි සද්දෙන් පැවුසූ හැටිත් අර අම්මාගෙන් යමක් අහගන්නට කළින් , එය ඇසුනු අපි ළඟට ගොස් සීලන්ට ඒ ගැන පැහැදිලි කර අයුරුත් මතක් වෙද්දී දැනුත් මගේ මුවගට සිනහවක් නැගෙන්නේ නිරායාසයෙන්මයි.

 මම අනිත්කොණ යද්දී දෙමළ කතාකරන්න බැරි වුනෙන් හිත දෙගිඩියාවෙන් පෙළුනා. අපේ ජේෂ්ඨ වෛද්‍යවරයාත්, "දෙමළ බැරුව මෙහෙ වැඩ කරන්නේ කොහොමද ? ඉක්මනින් ඉගෙන ගන්න වෙයි , නැත්නම් ට්‍රාන්සර් එකක් අරගෙන දකුණට යන්න වෙයි" කියා අපේ සිතේ බිය තවත් වැඩි කලා. මේ රටේ ගොඩක් ප්‍රශ්ණ වලට මුල ජාතීන් අතර හොඳ සන්නිවේදන මාධ්‍යයක් වන මේ භාෂාව නොදැනීම කියලත් මට හිතුනා. සියයට අනූ අටක්ම දෙමළ පුර වැසියන් වසන ප්‍රදේශයක පළාතේම මහ රෝහලක සේවය කරන්න වුනහම අනිවාර්‍යයෙන් දෙමළ බස කතා කරන්නම වෙනවා. නැත්නම් රෝගීන්ගෙන් සායනික ඉතිහාසය ගැනීමේ සිට සායනික වටය සඳහාත්, පරිවර්ථක කෙනෙකුගේ සහය ලබාගන්න වෙනවා, ඒත් මේ පරිවර්ථකලත් අපූරු වැඩ කරලා අපේ සමහරුන්ට වැරදි ලෙඩ කියා තිබෙනවා පසුව ආරංචි වුනා.

මගේ පියාගෙන් ලැබුනේ අපූරු උපදෙසක්. "පුතේ මමත් කාලයක් තිස්සේ හිතුවේ දෙමළ ඉගෙන ගත්තානම් කොයි තරම් හොඳද කියලා.... ඒක මේ රටේ ජීවත් වෙන්න ගොඩක් වැදගත් වෙනවා. මේ ප්‍රශ්ණ බොහොමයකට මුල ඔය වගේ සුළු දේවල් තමයි. පුළුවන්නම් ඉගෙන ගන්න " කියලයි. ඒ වෙද්දි මම දැනන් උන්නේ වාංග පෝංග, ඔන්ඩු රෙන්ඩු මූන්ඩු නාල විතරමයි. ඉස්කෝලෙදිවත් ඉගෙන ගත්තෙ නෑ.. මං හිතන්නේ අපේ කාලේ ඒ දෙමළ විෂයය අනිවාර්‍යය නෑති නිසා අපිට ඉගෙන ගන්න පුළුවන් උනේ නෑ. මෙහෙන් යද්දී සිංහලෙන් දෙමළ උගනිමු පොත් කීපයක් ගෙනිච්චත්,වාට්ටුවල පීරී ඉතිරී යන රෝගී ගංගාවත් එක්ක මොන දෙමළ ඉගෙන ගන්නවද ... මම කලේ දෙමළ පුළුවන් සිංහල ඇටෙන්ඩන් කෙනෙක්ගේ සහය අරගෙන ලෙඩුන්ගෙන් අහන්න ඕනෙම ටික කොලේක ලියා ගත්තා... ඊට පස්සේ එයාලා දෙන්න පුළුවන් උත්තරත් ලියා ගත්තා. කටපාඩම් කරා.... කොළේ තියෙන ටික කීප සැරයක් ලෙඩුන් සිය ගණනකගෙන් අහද්දී නිකම්ම මතකේ හිටියා. එයාලා කියන උත්තර වල නොදන්නා වචන එවෙලෙම අහගෙන ලියාගත්තා...ඊට පස්සේ වචන අමුණන හැටි ඉගෙන ගත්තා... ඒ කියන්නේ , අපි උනත් කතා බහ කරද්දී පාවිච්චි කරන.... "ඉතින්, එතකොට, එහෙම නැත්නම්, ඊට පස්සේ, සමහර විට, ආයෙම, එහෙම කරොත්... වගේ ඒවා ටික ඉගෙන ගත්තම බොහොම ලේසි උනා වැඩේ... අතීත අනාගත වර්ථමාන යෙදුම්... අග වෙනස් වෙන හැටි .. ඒවානම් වරද්ද වරද්ද තමයි ඉගෙන ගත්තේ....

ඔන්න වෙලාවකට ආම්බල , පෝම්බල ,වචන දෙක ... පටලැවෙනවා, (ගෑණු පිරිමි) , කට්ටිල ( ඇඳ ) කුට්ටිල ( කාමරය ) පටලැවෙනවා. රෝගියාට ඇඳට නගින්න කීවම, සමහරු මොන කාමරයටද යන්නේ අහනවා.... බලද්දී මමයි පටලවන් තිබුනේ... ඔන්න ඔහොම කොහොම හරි සායනයේදී උනත් දෙන උපදෙස් ටික හොඳින් කටපාඩම් කරගෙන මතකේ තිබ්බා... එහෙම නිතරම භාවිතා කරද්දී දෙමළ බස හොඳටම හුරු වුනා. සති කිහිපයකින් අපට දමිළ ජාතික විශේෂඥ වෛද්‍යවරයෙක් පැමිණියා. මම ඔහුගේ සහයට ක්ලිනික් එකේ ඉන්න විට දෙමළ රෝගීන්ට දෙමළෙන්ම උපදෙස් දෙන විට ඔහු ඒ දෙස පුදුමයෙන් බලා ඉඳ,
"මෙහෙ ඇවිත් කොපමණ කල්ද?" ඇසුවා. මාසයක් පමණ බව පැවසූවිට, ඔහු එහි සිටි දෙමළ වෛද්‍යවරුන්ගෙන් ඇසුවේ ඔවුන්ට සිංහල පුළුවන්ද කියලයි. බැරි බව කී විට, මසකින් දෙමළ බස හොඳින් හසුරුවන එක ගැන මට ප්‍රශංසා කරා.
 "බලන්න මේ මිනිස්සු මෙහෙ ඇවිත් දෙමළ ඉගෙන ගෙන වැඩත් කරනවා ඔයාලට සිංහල ඉගෙන ගන්න කිසි උනන්දුවක් නෑ. සිංහල පළාතක වැඩ කරන්න උනොත් කොහොමද ?" කියා ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. හෙදියන්, සාත්තු සේවක , සේවිකාවන් සියලු දෙන දෙමළ බස පමණක් කතා කල නිසා දුරකථනයෙන් වුනත් රෝගියෙක් ගැන පවසන්නේ දමිළ භාෂාවෙන් පමණි. මා ඒ බාධකය ජය ගෙන තිබූ නිසා මට ඔවුන් හා හොඳින් කතා බස් කරන්නට හැකි වුනි. මීට එහා ප්‍රාදේශීය රෝහල් වලින් රෝගීන් පැමිනි විට ඔවුන් හා පැමිණි වෛද්‍යවරුන්, "ඔබේ උපන්ගම මෙහෙද ?"  අසන්නට විය.

 ඒකෙන් මගේ උච්චාරණය හරි බව මට වැටහිනි. දිනක් රෝගියෙක් අසාධ්‍ය වි මීට එහා පිහිටි මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යැවීමට ගිය විට ඇම්බියුලන්ස් රථයේ ප්‍රමාදයකට මා දෙමළෙන් අවශ්‍යතාවය  අසල සිටි ඔවර්සියර් වෙත පැවසූ අතර ඇම්බියුලන්ස් රථයේ රියැදුරාටද ඔහුගේ බසින්ම අවශ්‍ය කාරණය පැවසූයේ ඒතරමට අපට අනිත්කොණ සිටියදී ඒ වැසියන්ගේ බාසාව හුරුවී තිබීම නිසාය. රෝගියා බාරදී ආපසු එන ගමනේදි... රියදුරු මහතා විමසුවේ " ඩොක්ටර් තරහ ගන්න එපා මෙහෙම  අහනවට.. ඩොක්ටර් දෙමළද ? සිංහල ද? "
 "මම සිංහල. ඇයි එහෙම ඇහුවේ" මම විමතියෙන් ඇසුවෙමි.
 " ඩොක්ටර් දෙමළ කතා කරද්දී කියන්න බෑ සිංහල කියලා... මූණත් මේ පැත්තේ පාට නිසා...මම හිතුවේ ඩොක්ටර්ගේ ගම මෙහෙ කියලා"
මට දැනුනේ සතුටකි. ඒ ඔවුන්ගේ බස ඔවුන් වාගෙම හසුරුවන්නට මට හැකි වීම නිසයි. බසයක වුනත්, කඩපලේ වුනත් මට වෙනසක් නොදැනිනි. ඒ භාෂාව නිසා මට ඔවුන්ගේ සමාජය තුලට යෑම පහසු විනි. යුද්ධය ඉවර වූ අලුත අපි එහි ගිය නිසා එහි වාට්ටු වල එකිනෙකා අතර ඇතිවූ නොයෙක් තේරුම් නොගැනීම්, හැල හැප්පීම් වැනි දේ නවත්වන්න එය කදිම රුකුලක් විය.

හදිසි ලෙඩෙක් අරගෙන අගනුවර රෝහලකට ගිය විට, එහි වෛද්‍යවරයා දමිල ජාතිකයෙක් වූයෙන් මා අනිත්කොණේ බව පවසා ඔහු හා කතා බස් කර එන්නට යද්දී, හෙදි සොයුරියන් ඇසුවේ " ඩොක්ටර් දෙමළද ? " කියාය. " මම සිංහල " යැයි පැවසූවිට ඔවුන් කීවේ " අර ඩොක්ටර් එක්කත් දෙමෙළෙන් කතා කල නිසා අපි හිතුවේ ඩොක්ටර් දෙමළ කියලා, ඒත් සිංහල නමක් නිසා අහන්න හිතුනේ" මාසෙන් දවස් කිහිපයක් හැර මුළු මාසය පුරා ඒ බසින් කතා කරන විට දෙමළ හුරු වීම පුදුමයක් නොවේ. දුෂ්කර සේවයෙන් පසු ට්‍රාන්සර් ලබා කොළඹ පැමිණි විට වුවද මුල් කාලයේ නොදැනීම දමිළ බසින් කතා බස් කෙරුනේ ඒනිසා වෙන්නට පුළුවනි. එමෙන්ම දැන් වුනත් වාට්ටුවට පැමිණෙන සිංහල නොතේරෙනම පිරිස් කැඩිච්ච සිංහලෙන් කතා කරද්දී මම ඔවුන්ගේ බසින් කතා කරන විට මුහුණේ ඇති වන සිනහව දකින්නට මම බොහෝ සෙයින් ප්‍රිය කරමි. රාජ්‍ය සේවකයින් හැටියට රටේ ජන සමාජ වල භාවිතා කෙරෙන සියලු භාෂා දැන ගැනීම අප රාජකාරි පහසු කරවන්නක් විය.

Tuesday, September 17, 2013

මතට සිහි නැත්තන්ගේ කියුම් කෙරුම්

අපි වාට්ටුවල වැඩ කරද්දී බොහෝ වෙලාවකට ලෙඩුන් එක්ක ගනුදෙනු කරන්නේ යහළුවන් වගේ. ඒකෙන් ඔවුන් අපි එක්ක වඩා සමීප වෙනවා. අනික් අතට අපි එක්ක ගැටුම් ඇති කරගන්නෙත් නෑ. ඒත් අවශ්‍ය විටක ඔවුන්ට තදින් ඉන්නත් සිදුවෙනවා. ඒ අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස කරගන්න බැරි වෙන විට. ඒවගේම පිරිමි වාට්ටුවල නම්, අරක්කු සිගරට් වැනි දේ හොරෙන් වාට්ටුවට ඇතුල්වෙන ක්‍රම ගැන සැලකිල්ලෙන් ඉන්නවා වගේම , ඇතුලත් වීමේදී සාක්කු පරීක්ෂා කර බීඩි සිගරට් වැනි දේ අප සන්තකයට ගන්නත් සිදුවෙනවා. බොහෝ වෙලාවට අමුත්තන්ට බැලීමට එන්න තියන කාලයේදි, තේ එකක් ගෙනාවත් අප වාට්ටුව භාර හෙදි නිළදාරීන්ට නිළදාරිනියන්ට පෙන්වා යන්න වෙන තත්වයටම මේ හොරෙන් මත්පැන් ගෙන ඒම දරුණු වුනා.

කොන්ඩය දිගට වවාගත් රැවුල් කොට සහිත මුහුණේ තිබුනේ භයංකාර පෙනුමක්. බැලූ ගමන් මට තේරුනේ ඔහු බීමතින් සිටි වගයි. බලෙන්ම වගේ සහායකයන් දෙදෙනෙක් ඔහුව පුටුවට තියා අලවාගෙන වගේ සිටියා. මොනවා කරන්නද , කවුරු ආවත් කොහොම මොන තරාතිරමක කෙනෙක් වුනත් පරීක්ෂා කර බලා බෙහෙත් හේත් කළ යුතුයි. ඒ අපේ රාජකාරියයි. හදවතේ ගැස්ම වේගවත් වීම මට දැනුනත් අනික් අයට දැනෙන්නේ නෑනේ එනිසා නිර්භීතකමක් මවාගෙන මා ඔහු ඉදිරියට ගියා. "මේ මොකද මේ ?" මගේ උස් හඬින් සහායකන් දෙදෙනා ඈත් වුනා. ඔවුන්ගේ මුහුණේ තිබ්බෙත් මහ භයානක පෙනුමක්. අත් වල තැනින් තැන පච්ච කොටා තිබුනා. ඇඳන් සිටි ඇඳුම් වල උනත් මහ නගරං පෙනුමක් තිබුනේ.

"මොකද්ද අමාරුව " මම දෙතුන් වරක් විමසුවෙමි.

" ඩොක්ටර් දැනගන්න එපැයි මට තියෙන ලෙඩේ, මම කියන්න ඕනේද ඒකත් " බීමතින් වැනෙමින් සිටි මොහු හා කතා කර පලක් නොවන බැවින් සහායකයන්ගෙන් විමසූ විට ඔවුන් නගරයේ ප්‍රධාන වෙළඳ පොලේ පිරිසක් බවය. බැලූ බැල්මට වෙළෙන්දන් නොවන බවනම් වැටහුනි.

"ඩොක්ටර් එනවා නේද මාර්කට් එකට " එක් අයෙක් විමසුවේය. ඒ අලුත් හිතවත්කම් හදා ගැනීමටය. "හ්ම්ම්... " මා අපහසුතාවයට පත්වෙනු දුටු විට අප රෝහල් වාට්ටුවේ සාත්තු සේවකයින් දෙදෙනෙකු පැමිණ සහයකයින් පිටමං කළෝය. දෑස් පියැවී හිස පහත් කරගෙන අධික බීමත් කමින් සිටි මොහු හා කතාබස් කිරීම තේරුමක් නැති හෙයින් ඉක්මනින් පරීක්ෂා කළයුතු වූයේ විෂවීමක් වී ඇත්නම් කඩිනමින් ප්‍රතිකාර කළයුතු නිසාය. නම කියා කතා කළ සැනින් අත පය විසිරුවමින් නැගී සිටියේ රණ්ඩුවකට සැරසී ගහ ගන්නට මෙනි. ඒ ඇසිල්ලේ දුටුවේ සාක්කුවෙන් ඉවතට පැන තිබූ උල් පිහියා තුඩක් වැන්නකි. පුද්ගලයා භයානක කෙනෙක් වැනිය. හෙද සොයුරන් පැමිණියෙන් ඔවුන්ගේ සහයද ඇතිව සාත්තු සේවකයා සාක්කු සියල්ල පරීක්ෂා කරන ලදි. කිණිස්සක්, බ්ලේඩ් තලයක්, උල් ආයුධ එක්කම කැරට් අලයක්, මිරිස් කරල් කිහිපයක්ද සාක්කුවෙන් මතු වුනි. සියල්ල අප භාරයට ගන්නා ලදි. ඔහුට අවශ්‍ය හදිසි ප්‍රතිකර්ම සියල්ල කර තත්වය භයානක නොවූයෙන් දැඩි පරීක්ෂාව යටතේ තබන ලදි. මෙවැන්නෝ නිතර මා සේවය කළ කායික රෝග වාට්ටුවට ඇතුල් වෙති. එන්නේ අසිහියෙනි. බාර් එකකට පඩි පත පූදා සිහියත් විකල්ව පැමිනෙයි. සිහිය පැමිණෙන විට එක්කෝ සාක්කුවටම කිසිවෙක් විද ඇති බවක් පවසයි. ගෙදර යන්නවත් සල්ලි නොමැති බව කියයි. ගෙදර අයට දන්වන්න එපා යැයි අයදියි.

මහ රෑ මැද එසේ පැමිණි අයෙක් මහ රෑ ඇඳ මත නැගිට මූත්‍රා කරන්නට පටන් ගත් විට ඔහුව සන්සුන් කළේ නිද්‍රා සහගත බව ඇති කරන ඉන්ජෙක්ෂන් විදීමෙනි. තවත් අයෙක් පරීක්ෂා කරනන්ට යද්දී දකුණු අතෙන් එල්ල කර පහරින් නොවැටී සිටියේ අමාරුවෙනි. සිහිය ආ පසු නම් දොස්තරට පහර එල්ල කළ එක ගැන ඔහු හරිම කනස්සල්ලෙන් පසුවූවා. කිහිප ගමනක් සමාව ඉල්ලුවා. සිහිය විකල්වෙච්චි මිනිස්සුනේ... ඔවුන් ගැන ඇති වෙන්නේ අනුකම්පාවක්.

 පපුවේ අමාරුව සමග රෝහල් ගත කළ අයෙක් හවස අමුත්තන් පැමිණ ගිය පසු සිටියේ බොහෝ නොසන්සුන්වය... ගෙදර යා යුතු බවත් මෙහි සිටිමට බිය බවත් පැවසුවේය. හර්දයට රුධිරය සපයන රුධිර නාල අවහිර වීම නිසා ඇතිවන හාට් ඇටෑක් එකක් නිසා ඔහු හිටියේ හෙපරින් නම් පැය හතලිස් අටක් පුරා ශරීර ගත කරන එන්නත් කටු සම්බන්ද ස්වයංක්‍රීය බෙහෙත් පොම්පය සහිතවය. දැන් ගෙදර යා නොහැකි බව කී විට, නොසන්සුන්ව කටුව තමාම ඇද ගලවගෙන ඇඳ උඩට නැග කර්ටන් දමා තිබූ යකඩ සැකිලි ආදාරකයේ එල්ලී වාට්ටුවේ බිත්ති වලින් එළියට පැන්නේ කොරිඩෝවේ තිබූ ඇඳන් වල නිදා සිටි රෝගියෙක්ද පාගමිනි. යන්තම් එළියට දුවන්නට කලියෙන් අල්ලාගෙන විත් ඇඳට තබා බදින්නටත් වූයේ...ශරීරගත කරමින් සිටි බෙහෙත නිසාය. (ඇතැම් විට රුධිරයේ ඝනත්වය අඩු කරන බෙහෙත් වලින් මොළයේ රුධිර නාලිකා පුපුරා ගිය හැක එවිටද නොසන්සුන් හැසිරීමක් හෝ කලබල ගතියක් ඇතිවිය හැකිය) නමුත් ඊළඟ දින ආරංචි වූයේ... පැමිණි හිතවතෙක් ගංජා සහිත මත් ද්‍රව්‍යයක් දී තිබුනු බවය.මුළු රාත්‍රියේ අප සිටියේ අවදියෙනි... ඒ මොහුගේ ජීවිතය බේරා ගැනීමටයි... යම් කිසි විදිහකින් මොහුගේ ජීවිතයට යමක් සිදුවූයේනම් ? එනිසා යුද්ධයෙන් පසු කාලයේ කෙමෙන් ලිහිල් කරමින් සිටි වාට්ටුවල නීති රීති යළි තද කරන්නට සිදු වුනි... වාට්ටුවට ගෙන එන සියලු කෑම බීම අධීක්ෂනය කරන්නට හෙද හෙදි නිළධාරීන්ට සිදු වුනි. ප්ලේන්ටි ආකාරයෙන් ෆ්ලාස්ක් වල මත්පැන් ගෙන එන පිරිසක්ද සිටියෝය. තාවකාලික වින්දනයක් වෙනුවෙන් මිනිසුන් තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සැරසීම ශෝකජනකයි.


ආ අර වෙළඳ පොළේ මනුස්සයා නම් සිහිය ආ පසු බොහොම ලැජ්ජාවෙන් සිටියා, ටිකට් කපන්න කලින් අතුරුදහන් වුනා. හැබැයි පොළේදී දැක්කම නම් නිතර සිනහවකින් සංග්‍රහ කළා. මොනවා කරන්නද ? සමාජයේ සියළු තරාතිරම් වල මිනිසුන් අප වෙත පැමිනෙනවා. හැමෝටම එක වගේ බෙහෙත් කරන්නට සිදුවෙනවා. වරෙක මා ලියූවාක් මෙන් මේ මනුස්සයා මැරුනොත් හොඳයි ඩොක්ටර්... කියා ගමක කසිප්පු වෙළෙන්දා වාට්ටුවට ගෙන ආවිට අපට ගමේ අයෙක් කිව්වත්, මනුස්ස ජීවිතය සුරැකීමට අප වගකීමෙන් බැඳී සිටිනවා. එනිසා කොයි මනුස්සයත් අපට වටිනා ජීවිතයක්  ! 

Tuesday, June 11, 2013

මම මැරුණම මට තනියම ඉන්න වෙයිද ?

" මට බයයි....මම මැරුණම මෝචරියට ගියාම මට තනියමද ඉන්න වෙන්නේ අනිත් මළ මිනී එක්ක" කුඩා දැරිවියක් අසයි. එක අතක ඇත්තේ පැය විසි හතර පුරා හෙමින් හෙමින් ශරීර ගත කරන රුධිරයේ යකඩ ඉවත් කරන ඖෂධය රැගත් රැඳවුම හෙවත් අයි වී ස්ටෑන්ඩ් එකයි. ඔවුන් රෝද සහිත එය තල්ලු කරගෙන වාට්ටුව පුරා ඇවිදියි. අප මේසය අසලට එයි.

සමහර විට ඔවුන් අප හා ඔවුන්ගේ දුක සතුට හැඟීම් දැනීම් කියන්නේ, අප ඔවුන් ගේ ජීවිත වල ගැවසෙන කෙනෙක් නොවන නිසා වෙන්න පුළුවන්, සමහර විට අපි හොඳ ඇහුම්කන්දෙන්නන් බවට පත්වී ඇති නිසා වෙන්නත් පුළුවන්... එහෙම නැත්නම් අපිට කීවාම යම්කිසි සහනයක් ලැබෙයි කියලත් හිතනවා වෙන්න පුළුවන්. දවස පුරාම නන්නාඳුනන මෙන්ම නිතර දකින නිසා හඳුනන, බෙහෙත් කරන නිසා හඳුනන අයගේ දුක් ගැනවිලි මැසිවිලි, කරදර කම් කටොළු වලට කන් දීලා ඔද්දල් වෙච්ච හිතත් කරගහගෙන ගෙදර යන්නේ.... ඉතින් හවස හතරට අපේ වැඩ කාලය අවසන් වුනත්, සියළු වැඩ ඉවර වෙද්දී හවස 5 , 6 සමහර විට 7 ත් පසු වෙලා. මේ දවස් වල අහස අඳුරුම අඳූරුයි, කොයි මොහොතේ හරි කඩන් වැටෙන්න බලන් ඉන්නේ.ේ

  "මාත් ආසයි ඩොක්ටර් බඳින්න, දරුවෝ හදන්න...ලස්සනට ගෙයක් දොරක් හදාගෙන ඉන්න, මට ලස්සනට මහන්න පුළුවන් , හොඳට උයන්නත් පුළුවන්, ඒත් කවුද අපිව බඳින්න කැමති වෙන්නේ "

මා ඉදිරියේ ඉන්න මේ යෞවනිය බිමට බර කරගත්තු මුහුණින් කියද්දී මගේ හිත පුරා දැනුනේ අසීමිත දුකක්.

 "පුංචි කාලේ අම්මා අපිව උස්සගෙන ගිහින් බලෙන් බෙහෙත් විද්දේ... එයා අපිව ජිවත් කරපු නිසානේ ඩොක්ටර් අද අපි මෙහෙම හරි ඔළුව උස්සගෙන ඉන්නේ. " ඔව් මෙහි එන යන දරු දැරියන් හැමෝගෙම දෙමාපියන් වයස මාස තුන හතරේ සිට තම කිරි කැටි දරුවාද ඔසවාගෙන රෝහලේ දින ගනන් ගත කරපු දුක් බර කාල වකවානු ගෙවා ඇත්තේ. අද නව යෞවන වියේ පසුවන ඔවුන් තනිවම ඇවිත් තම බෙහෙත් ප්‍රතිකාර කරගන්නවා. ඔවුන් ජීවත් වෙනවා දකින, ඔවුන්ට කුඩා කල සිට ප්‍රතිකාර කළ මෙහි සිටින ජේෂ්ඨ වෛද්‍යවරිය පැවසුවේ, ඔවුන් ජීවත් වෙනවා දකින විට දැනෙන සතුට ඇයට කියා නිම කළ නොහැකි බවයි.

" ගෙදර ඔහේ ඉන්න එකත් එපාවෙලා. අපිට කොහෙන්ද ඩොක්ටර් රස්සා... එහෙම රස්සාවක් දෙනවානම් ඒකොම්පැනියේ බොස් ට තැලසීමියා තියෙන්න ඕනේ"

ඇය පැවසූ විට මා මොහොතකට ගල් ගැසුනා. සමාජය ඔවුන්ව කොයි තරම් අසරණ කරලා ඇද්ද ? ඇය පවසන්නේ ඔවුන්ට රස්සාවක් දෙන්න තරම් අනුකම්පා කරන්නේ තැලසීමියා වැළඳී ඒ රෝගයෙන් විඳිනා දුක දන්නා හඳුනන කෙනෙකුම වන්නට ඕනෑ බවයි. එකල සමාජයේ මේ පිළිබඳව තිබුන දැනුවත් බව අඩු නිසා , සමහර පවුල් වල දෙමාපියන් තමන් රෝග වාහකයන් බව නොදැනීම නිසා බොහෝ පවුල් වලට තැලසීමියා රෝගී දරුවන් දෙතුන් දෙනා සිටියා. හැබැයි අද ඒ දෙමාපියන්ගේ සහ වෛද්‍යවරුන්ගේ කැපවීම නිසා ඒ දරුවන් යෞවනත්වය විඳින වයස දක්වා උස්මහත් වී සිටිනවා. අධ්‍යාපනය පවා බොහෝ සෙයින් ඔවුන්ට පාඩු වී තිබුනා. සමහරු වැළඳුනු අතුරු ආබාධ නිසා වූ කරදර නිසා පාසැල් නොගොස් තිබුනා.

බොහෝ කාලෙකට කලින් මාරාන්තික රෝගයක් වුනු මෙය, ඉක්මනින් මැරෙන ළමයින් යයි හංවඩු ගැසුනු මොවුන් නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමග ඇතිවුනු නව ඖෂධ ක්‍රම නිසා අතුරු ආබාධ රහිතව හෝ අවමව ජීවීතය පවත්වාගෙන යාමට හැකි වෙලා තියෙනවා. ඒත් මාසෙකට සැරයක් රෝහල් ගත වීමද , ඉක්මනින් ආසාදන වලට ගොදුරු වීමේ ප්‍රවනතාවයද ඔවුන්ට තියෙනවා. ඕනෑම සුළු ආසාදනයකින් පවා නිසි ප්‍රතිකාර සිදු නොවුනහොත් මියයන්න පවා පුළුවන් බව ඔවුන් ලබා තිබෙන අත් දැකීම් වලින්ම දන්නවා. ඒ එසේ මිය ගිය ඔවුන්ගේ යහළුවන්ගේ මතක සහ ඔවුන්ට විඳින්න සිදුවුනු රෝගාබාද නිසාය.

 මේ ළඟදී දානෙකට මේ වාට්ටුවට වැඩි හාමුදුරුවන් වහන්සේ නමක්, මේ දරුවන් අමතා දේශනයක් කරන ලදී. එය අවසානයේ අප වෙත පැමිණි එක් දැරිවියක් පැවසුවේ...
"හාමුදුරුවෝ බණට කීවානේ ඩොක්ටර්ලා ටත් ලෙඩ හැදෙනවා කියලා. අනේ මං මේ වෙනකම් හිතුවේ ඩොක්ටර්ලාට ලෙඩ හැදෙන්නෙම නෑ කියලනේ"අප ලෙඩ දුක් හැදෙන්නේ නැති අමුතුම සුපිරි මනුස්සයන් පිරිසක් යැයි ඇය සිතාගෙන සිටී. වෙලාවක මටත් හිතෙනවා, මට සියළු රෝගීන්ගේ ලෙඩ දුක් කරදර සියල්ල එක මොහොතින් නැති කරන්න මට සුපිරි සුව කිරීමේ හැකියාවක් සහිත ශක්තියක් ලැබුනානම් කියලා.

මම ඇයට මා කලකට පෙර පීඩා විඳි රෝග තත්වය ගැන පැහැදිලි කළෙමි. " අනේ පව් නේද ඩොක්ටර් අර අලුත් ඩොක්ටර්, එයාටත් සනීප නැති වෙලානේ.." යැයි මා ගැන බොහෝ දුකින් ඇය අනෙක් වෛද්‍යවරිය හා පවසමින් දුක් වී තිබුනේ, තමන්ගේ රෝග තත්වය මොහොතකට අමතක කරමිනි.
"ඩොක්ටර්ගේ වයසේම වෙන්න ඇති මම" ඔවුන්ට පුතා යනුවෙන් මම ආමන්ත්‍රණය කරන නිසා එක් අයෙක් පවසයි. වැඩීම අඩු නිසා උසින් මෙන්ම මුහුණුවරින්ද ඔවුන් පාසල් යන වයසේ කුඩා දරුවන් බඳුය. (මෙම රෝගය ගැන පෙර ලිපියකින් ලීවෙමි, "මේ ලේ මට නොවේ " කියවන්න)

 "ඩොක්ටර් මට ලොකු වෙද්දි ලොකු වෙද්දි දැනෙද්දි මේ ජීවිතේ හැටි මේ ලෙඩෙන් ගැලවිල්ලක් නැති හැටි...සාමාන්‍ය ජීවිතයක් නැති හැටි මට කලකිරුනා, මම දිවි නහ ගන්නත් හිතුවා" මා ඉදිරියේ ඉන්න යෞවනයා කඳුළු පිරි දෑසින් පවසයි. "මම ඒ තුලින් තේරුම් ගත්තා ජීවිතේ කියන්නේ මොකද්ද කියලා. මේ තාවකාලික ජීවිතේ ගැන අවබෝදයක් නැතිව අපි කොයි තරම් පුහු වැඩකට නැති විච්චූරණ පස්සෙද දුවන්නේ කියලා. ඒ කාලේ මං හිතුවේ මට මේ ලෝකේ අන්තිම දරුණුම දේ වුන කෙනෙක් කියලා.
මේ ලෙඩේ ගැන, බෙහෙත් ගැන, මේ විඳින කරදරේ ගැන මට ලොකු තරහවක් තිබ්බේ. ඒත් අන්තිමට මට අවබෝධ වුනා, මේ සියල්ල තාවකාලික බව. මේ විඳීම්, දැනීම්, මේ රෝගය උනත්. මට ඒ ලැබුන දැනීම නිසා මම හිතන්නේ මට වුන හොඳම දේ මට මේ ලෙඩේ හැදුන එකයි ඩොක්ටර්. දැන් මේක නිට්ටාවට හොඳ කරන්න බෙහෙතක් තියෙනවා කිව්වත් මට ඕනෙ නෑ ඒක"

ඔහුගේ දුක්බර කතා පුවත මා හා පැවසුවත් මම මෙහි එය සටහන් කරන්නේ නෑ. මන්ද අකුරු කරගත නොහැකි තරම් ඒවා ලියන මගේ හිතට මේ තරම් කම්පනයක් ඇති කලාක් මෙන්ම කියවන ඔබේ හිතටත් බර වැඩි වෙනු ඇති බැවිනි. ඔවුන් බොහෝ ශක්තිමත් සිත් ඇත්තන් බවද , මට ඔවුන් විඳි දුක කොහොමටත් දරා ගන්නට බැරි බවද ඒ අතින් ඔවුන් ඉතා උසස් ශක්තිමත් අය බවද කතා බහ කරන විට මම ඔවුන් හා පවසමි. ඔවුන්ගේ දුක දරාගෙන ඔවුන් යන ගමන ප්‍රශංසා කරන්නෙමි.

ජීවිතය යනු විටෙක  මහා කම්පනයකි... එය මා යන මාවතේ හැල හැප්පීම් මෙන්ම හමුවෙන සියළු දෙන  මවෙත ගෙන එන දුක් කම්කටොළු හා බැඳි කම්පනයන් ය... මේ දුක් කරදර විඳීම් දැනීම් ඔස්සේ එය කොයිම විටකවත් සොඳුරු නොවේ යැයි මට සිතේ. ඔද්දල් වී ගිය හිත පොඩ්ඩකට හෝ සුවපත් කරන ඔබේ දයාබරත්වය රැඳි කමෙන්ටුවක් බොහෝ සෙයින් උපකාරී වෙනවාමයි.... කිසි දිනය හමු නොවූ නොදන්නා ඔබ , මෙහි රැඳී අකුරු කර, මොහොතක් හෝ මිඩංගු කර මා වෙනුවෙන් පුද කරන ඒ සහෝදරකමට , තනි තනිව ස්තූති කරන්නට බැරිවීම ගැන සමාවෙන්න.

Wednesday, May 8, 2013

මේ ලේ මට නොවේ….ලෝක තැලසීමියා දිනය වෙනුවෙනි.



පසුගිය දිනක ලේ දන් දීමේ මහඟු පුණ්‍ය කර්මයක් බ්ලොග් ලියන සොහොයුරු සොහොයුරියන් අතින් සිදුවුනා මතකයි. එය නම් අසීමාන්තික පිනක්. ලේ බිඳක් නිසා ජීවිත බේරුනු අවස්ථා මගේ මේ සුළු සේවා කාලය තුල අපමණයි . ඔබ දෙන ඒ ලේ බිඳෙන් , රෝගාබාද දහස් ගණනකින් පීඩා විඳින කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා මිලියන ගණනකගේ ජීවිත සුරැකෙන බව ඔබ දන්නවාද ? සමහර විට මා මේ කියන්න යන දේ සමග මේ සම්බන්ද අත්දැකීම් ඇති අයටත් අප සමග බෙදා හදා ගත හැකි කථා බොහෝමයක් ඇතිවාට සැක නැත.



මම කායික රෝග වාට්ටුවලදී, රක්ත හීනතාවය , යකඩ ඌණතාවය, වකුගඩු රෝගය,සහ අනෙක් නොයෙකුත් රෝග නිසා ලේ මදි කමින් සිටින , මග යන්න පණ නැතිව, කය වාරු නැති දහසකුත් දෙනා ලේ පයින්ට් එකක් දෙකක් ශරීරගත කරද්දී පණ ගැසී එන අයුරු ඇස් දෙකෙන් දැක ඇත්තෙමි. ශල්‍යාගාරවලදී අධික රුධිර වහනය වෙමින් ගෙන එන පණ අදින රෝගීන් කී දාහක් නම් ලේ පයින්ට් දහය පහළොව දී බේරාගෙන ඇතිඉතින් එහෙම අවස්ථාවලදී වෛද්‍යයවරු වන අපිට ලේ පයින්ට් එකක අගය දැනෙන්නේ රෝගීන්ටත් වඩා වැඩියෙන් අපි නිතර ජීවිත බේරාගන්න අරගල කරන නිසා. සුළු කලකට රුධිර රෝග ආශ්රිත වාට්ටුවක සේවය කරන්නට ලැබුනු ඉඩකඩින් ලේ බිඳක අගය බොහෝ සේ දැනුනා. අප ශිෂ්‍ය අවධියේ සිටම බොහෝ ලෙස මුණ ගැහුනු, තැලසීමියාව, හිමොෆීලියාව , සහ අනෙක් රුධිර සෛල ආශ්‍රි රෝගාබාද වලට ලක්වූ පොඩි දරුවන්ගේ ඉඳන් වැඩිහිටියන් දක්වා බොහෝ පිරිස් මුණ ගැසුනා.

ඔබ විශ්වාස කරනවාද , ඔබ දුන් ලේ බිඳ නිසා ජීවිතය ඉදිරියට පවත්වාගෙන යන දරුවන් දැරියන් මේ මිහිමත සිටිනවා කියාලෝක තැලසීමියා දිනය යෙදී තිබෙන අද වැනි දිනක තැලසීමියා රෝගය ගැන යමක් සටහන් කරන්නටම හිතුනේ, ඔවුන්ගේ සංවේදී සිතුවිලි මෙන්ම ඔවුන්ගේ දුක්බර ලෝකයට එබිකම් කරන්න ඔබට විනාඩි කිහිපයක් වැය කරන්නට හැකි යැයි සිතුනු නිසාමයි.

තැලිසීමියා රෝගයේදී රුධිරයේ ඇති හිමෝග්ලොබින් නැමැති ඔක්සිජන් ප්රවාහනය කරන සංඝටකය ක්රමාණුකූලව නිෂ්පාදනය නොවීම හා ඉක්මනින් රතු රුධිරානු බිඳී යෑම සිදුවේ. අපේ රට පිහිටි මේ දකුණු ආසියාතික කලාපයේ මෙම ජානමගින් උරුම වෙන මේ රෝගය බහුලව දක්නට ලැබේ. අපේ සිරුරේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ජාන නිසා බව ඔබ දන්නවා ඇති. මවගෙන් සහ පියාගෙන් උරුම වෙන ජාන ,යුගලය බැගින් අප සෛල වල තිබේ. හැම යුගලයකින්ම එකක් අම්මාගෙන් සහ අනෙක තාත්තාගෙන් අපට උරුම වේ. තැලසීමියා රෝග තත්වයද අපේ සිරුර තුල ඇති රුධිරයේ හිමෝග්ලොබින් සෑදීමේදී උපකාර වෙන ජාන වල ,රෝගී ජානයක් පැමිණීම මගින් සිදුවේ. සාමාන්යයෙන් අපට නිරෝගී ජාන දෙකක් අම්මාගෙන් සහ තාත්තාගෙන් උරුම විය යුතුය. නමුත් රෝගී ජාන දෙකක් උරුම වුනෝතින් තැලිසීමියා රෝගය ඇතිවේ. නිරෝගී එක් ජානයක් සහ රෝගී ජානයක් ලැබුනොතින් ඔවුන් තැලසීමියා වාහකයෙක් බවට පත්වේ. මේ ජාන බෙදීම් සහ රෝගය වැලදෙන ආකාරය පහත රූප සටහන් වලින් පැහැදිලි වේ.

ඉතින් ඉහත රූප සටහනේ ලෙස, වාහකයන් දෙදෙනෙකු අතර ඇති වන විවාහයෙන් තැලසීමියා රෝගී දරුවෙක් බිහිවෙන්න 25% ඉඩකඩක් ඇත. සම්පූර්ණ නිරෝගී දරුවෙක් මෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන වාහක තත්වය ඇති දරුවන්ද ඇති විය හැකි වුනත්, රෝගී දරුවෙක් ඇති වීමෙන් මුළු ජීවිතයම අඳුරු වී, සාමකාමි පවුල් පසුබිම් සියල්ල දුක්කදායි වෙනවා අප ඕනෑ තරම් දැක ඇත්තෙමු. එනිසා තැලසීමියා රෝගය ඔබේ හෝ පවුලේ කෙනෙකුට ඇති නම්, හෝ වාහක තත්වයක් ඇති බවට කලින් නිර්ණය කර ඇතිනම් අනිවාර් යයෙන් ඔබේ ලේ පරීක්ෂා කරගත යුතුය. මේ රෝගය එවැනි වලක්වාගත හැකි ක්‍රම වලින් හැකි පමණ අඩු කරගැනීමට හැකි බව විශ්වාසය.

 ඈත අතීතයේදි නම් මේ රෝගයට ලක්වූ දරුවන් ජීවිතේ පළවෙනි අවුරුද්ද දෙක ඇතුලත මරණයට ලක් වුනා. නමුත් දැන් රුධිර පාරවිලයනය හෙවත් ලේ ශරීරගත කිරීම නිසා මේ දරුවන් බොහෝ කල් ජීවිතය අත්විඳිනවා. ඔබ දන්නවාද බොහෝ පවුල් වලට සිටින්නේ තමන්ගේ රෝගී දරුවා පමණක්ම කියා. මන්ද මෙය ජානමය තත්වයක් නිසා එවැනි පවුල් වලට ඉපදෙන්නට වඩා ඉඩ ඇත්තේ රෝගී දරුවන් මේ හේතුව නිසා දෙමාපියන් ඊළඟට ඉපදෙන දරුවන් මෙවැනි ඉරණමකට ගොදුරු වේ යැයි බියෙන් තම එකම රෝගී දරුවා රැක බලාගෙන සිටිනවා.

මෙහිදී මට , ජීවිතේ බොහෝ දුක්ක දෝමනස්ස වලින් හෙම්බත්ව සිටින මොහොතක අපිට වඩා දුක් විඳින කෙනෙක් දැක්කම ඇතිවන ආත්ම අනුකම්පාව බොහෝ සෙයින් දැනුනා.  ජාන මගින් මහ තැලසීමියා රෝගය ඇතිවුනු කෙනෙක්ට තම ජීවිත කාලය පුරාම රුධිරය සහ ශරීරයේ යකඩ අඩු කරන බෙහෙත් එන්නත් මගින් ශරීරගත කරගන්න වෙනවා , දවසක් ගානෙම. ඔබ හිතන්න හැමදාම එන්නත් කටු අතේ පයේ ගහගෙන බෙහෙත් විදගන්න උනොත් පොඩි වයසේ ඉඳන්ම ඒක කොයි තරම් නම් දුකක් ද ? මේ කුඩා දරුවන් එන්නත් කටු වලට බයේ මුල් කාලයේදී හඬා වැටුනත් පසුව ඔවුන්ට මෙයින් තොර ජීවිතයක් නොමැති බව තේරුම් ගත් පසු බොහොම අමාරුවෙන් ඒ දුක ඉවසන අයුරු දුටුව විට අපිටත් ඇති වෙන්නේ දුකක්.

මේ රෝගය වලක්වාගත හැකිද ?

ඔව් පුළුවනි. ඒ තැලසීමියා රෝගය ජාන මගින් උරුම වෙන නිසා. මෙය උරුම වෙන්නේ රෝගකාරක ජාන දෙකම මවගෙන් සහ පියාගෙන් දරුවෙකුට උරුමවුනොත් නිසා මවගේ සහ පියාගේ ජාන ගැලපීම මගින් මේ රෝගය ඇති දරුවෙක් ඇතිවීම වැලැක්විය හැකිය. ඒසඳහා අවශ්‍ය ජාන තාක්ෂනික පහසුකම් අපේ රටේ තැලසීමියා රෝගය සම්බන්දයෙන් ප්‍රතිකාර කරන රෝහල් වල ඒකක සහ මධ්‍යස්ථාන වලින් නොමිලේම මේ සඳහා පහසුකම් සැපයෙනවා. තැලසීමියා පොරොන්දම ගලපනවා කියා දෙයක් අද සමාජයට එකතුවී ඇත්තේද මේ නිසාය. විශේෂයින් ලේ නෑයින් අතර විවාහ වලදී මෙන්ම, මෙවැනි රෝගයක් නිර්ණය කරගත් කෙනෙක් ඔබේ පවුල් වල දුරින් නෑදෑ කෙනෙකු හෝ ඉන්නවනම් ඔබේ රුධිරය පරීක්ෂා කරගැනීම නුවණට හුරුයි. කොහොමත් මේ රෝගය බහුලවම ඇති ප්‍රදේශ වල විවාහ වලට ප්‍රථම තැලසීමියා රෝග කාරක ජාන පරීක්ෂාව කරන්නට අද වෙන විට බොහෝ අය දැනුවත් වී තිබෙනවා.

මේ කියවන ඔබට මේ ගැන වැඩි විස්තර හෝ, තමන්ට තැලසීමියා රෝගී ජාන ඇති දැයි පරීක්ෂා කරගැනීම සඳහා පහත සඳහන් ඒකක වලට යොමු විය හැකිය. 

කුරුණෑගල මහ රෝහල, තැලසීමියා ඒකකය
මහ නුවර ශීක්ෂණ රෝහල, තැලසීමියා ඒකකය
අනුරාධපුරය ශික්ෂණ රෝහල , තැලසීමියා ඒකකය
රාගම - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහර, පිහිටි හේමාල්ස් තැලසීමියා සහන පියස 


යන මේ තැන් වලින් ඒ පරීක්ෂණ කර ගත හැකිය.

Image credit : image 2 : http://www.sengenics.com/ Image 3. www.thenews.com.pk