Wednesday, February 27, 2013

අවසානයේ සියල්ල දරන්න වෙන්නේ අපටය...



 අප ඇයට රාජිනී කියමු, සැමියා අත්හැර දැමූ ඇයගේ සහ දරු දෙදෙනාගේ ජීවිත රැකෙන්නේ අලුතෙන් ඉදිවෙන මාර්ගයේ කම්කරුවෙක් ලෙස වැඩ කරමිනි. එහිම අත් උදව් දීමට පැමිණෙන විවාහකයෙක් සමග ඇය රහසේ සම්බන්දයක් අරඹන්නේ ඔය අතරය. අවුරුදු 24 ක තරුණ මවක් වන ඇයට හැඟීම් දැනීම් පාලනය කරගන්න යැයි අපට බැන වැදිය නොහැක. නමුත් සිදුවන්නේ අර මනුස්සයා අතින් ගැබ්බර වූ ඇයට අන්තිමේ තමන් හරි හම්බ කළ සල්ලි වලින් අනාරක්ෂිත ගබ්සාවක් කරගැනීමටයි. 

ඒ ගෙවල් ගානේ ගොස් කම්බිකූරු ස්පෝක් කම්බි වැනි දෑ ගර්භාෂයට ඇතුල් කරන බොහොම අපිරිසිඳු ලෙස මේවා කරන්නට පෙළඹුනු හොර ගබ්සා කරන ගැහැණියක මගිනි. දින ගණනක් උණ සහ යෝනි මාර්ගයෙන් ශ්‍රාවය වන සැරව සමග අප වෙත් ඇය ආවේ අර්ධ සිහිනැති තත්වයෙනි. මරණ ලද ආසාධිත කුඩා කලලය තවමත් ඇගේ ගර්භාෂයේ විය. ගැබ් ගෙල සහ යෝනි මාර්ගය අවට තුවාල වී තිබුනි. මුලදී බයිසිකලයෙන් වැටුනා කියා සුපුරුදු බොරුව කියාගෙන ආවත් අප ඇය පරීක්ෂා කරමින් දැඩිව මේ ලක්ෂණ සියල්ල ඇති බව කියා විමසා සිටියදී ඇය සත්‍යය පැවසුවාය.


රෝගීන් සිය දහස් ගණනක් පරීක්ෂා කර ඇති අපට බොරු කියා ගැලවෙන්න නම් බැරිය. ඇය අවසන පැවසුවේ ඇගේ දරුවන් දෙදෙනා යැපෙන්නේ ඇය මගින් නිසා ඇයට කරදරයක් වේ යැයි බියෙන් පොලීසියට නොකියන ලෙසය. නමුත් පොලීසියට නොකියා මේලෙස ගැහැණුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන කූට හොර ගබ්සා වෙළඳුන් වෙළඳියන් නිදැල්ලේ පසුවීමට ඉඩ දීමද කල නොහැකිම දෙයකි. පොලීසියේ නිළධාරීන් ගෙන්වා මේ ගැන කියා ඉක්මනින් යමක් කරන්න යැයි පැවසුවෙමු. මන්ද මේ මෙලෙස පැමිණි පළමු ගැහණිය නොවන නිසාය. ( පොළිස් නිළදාරිනියන් වෙස්වලාගෙන ගොස් අර හොර ගබ්සා කරන ගැහැණිය අල්ලා තිබුනා)

නමුත් ලිංගික අපයෝජනයට, දූෂණයට ලක්වන අහිංසක දරුවන් මේ කිසිත් නොදැන අවසන අපට හමුවෙන්නේ සති විස්සක හෝ තිහක ගැබිණියක් ලෙසයි. (මා කලින් එවැන්නියන් ගැන ඕනෑ තරම් ලිපි ලියා ඇත්තෙමි.) එවැන්නියන් හට කුඩා කාලෙකම මවක් වී දරුව් බර දරන්නට සිදුවීම කොයි තරම් අසාධාරණද ?  

ලංකාවේ පවතින නීතියට අනුව මවගේ ජිවිතයට තර්ජනයක්නම් මිසක ඒ කළලය හෝ වැඩෙන දරුවා ගර්භාශයෙන් පිටතට ගැනීමට නොහැකිය. ඒ නීතියත් සමග දූෂණයට ලක්වූවන් සඳහා දැඩි අසාධාරණයක් සිදුවෙනවා. මන්ද ඔවුන් ඒ තත්වයට පත්වෙන්නේ ස්ව කැමැත්තෙන් නොවන නිසා. නීති සංශෝදනය විය යුතු යැයි බොහෝ දෙනෙකුට සිතේ. ඒ තමන්ගේම මිනිසුන් සහ නන්නාඳුනන අයවලුන් අතින් දූෂණයට ලක්ව ළමා නිවාස වල හෝ පරිවාස ළමා අධිකාරිය බාරයේ ජීවිතයේ ඉතිරි ටික ගතකරන්නට වෙන ළමා මව්වරුන් අප නිරන්තරයෙන් දකින නිසාය.

වෛද්‍යවරු බැනුම් අහන කාලයක, හැකි තරම් පරිස්සමෙන් වැඩ කොටස කරන්නට වෛද්‍යවරු ගන්න උත්සහය අනේකයි.  වෙන්න පුළුවන් නරකම දේ හිතලා රෝගීන්හට ප්‍රතිකාර කරනවා මිසක කිසිම විටක අපි ලෙඩක් ගැන සුළුවෙන් තකන්නේ නෑ. ඒත් සමහර විට  සිදුවන වැරදීම් පුවත් පත් වල පළ කරන්නේ වෛද්‍යවරයාත් මිනීමරුවාත් සම කරමින්. පැය විසි හතර පුරා දිවා රෑ වෙහෙසමින් වැඩ කරන පිරිසක් වෛද්‍යවරු සහ හෙදියන්. ඒ අතරිනුත් රෝගියාගේ සම්පූර්ණ වගකීම රැඳී ඇත්තේ වෛද්‍යවරයා මතයි. පුද්ගලික රෝහල් ගැන කතා කරන්න ගියොත් ඒක වෙනමම කාලය කා දැමීමක්. එහි සිදුවන මුදල් ගැරීම ගැන අත්දැකීම් එමටයි. (මේ ලියන මම පුද්ගලික රෝහලක හෝ පෞද්ගලික තැනක කිසිදා සේවය නොකල එසේම අදද සේවය නොකරන්නෙක්). ඇත්තටම රජයේ රෝහල් වලින් රෝගීන් හට හැකි උපරිමය කෙරෙනවා. නමුත් ඒ කෙරෙන කෝටි සිය ගණන අතරින් එළියට එන්නේ වැරදුනු තැන් විතරයි.

පුද්ගලික රෝහල් හෝ හොර දොස්තරලා අතින් වැරදිච්ච ප්‍රතිකාර නිසා අතරමං වූ රෝගීන්ද අන්තිමට නතර වෙන්නේ මේ රජයේ රෝහල් වලමයි. ඉතින් එන්නෙත් වෙන්න ඕනෙ සේරම වෙලා. ඒ වෙලාවට අපටත් පුදුම තරහක් ඇති වෙන්නේ.... ගොඩක්ම මේ තත්වය උග්‍ර අතට හැරුණු රෝගීන් පැමිණෙන්නේ හොර ගබ්සා මධ්‍යස්ථාන වලින්. අධික රුධිර වහනය, අධික උෂ්ණත්වය සමග සමහර විට මනස පවා විකල් වූවන්..ඔක්කොම වැරදුනු විට උස්සාගෙන දුවගෙන එන්නේ අප වෙතයි. එතකොට වෙන්න ඕනා සියල්ල සිදුවෙලා හමාරයි. බොහෝමයක් හොර ගබ්සා මධ්‍යස්ථාන වල ගබ්සා කිරීම් නිසා අධික ලේ වහන වූ ස්ත්‍රීන් එන්නේ සුදු කඩදාසියක් තරම් සුදු මැලි වෙලා. එවෙලෙට ඉතා ඉක්මනින් රුධිරය දෙන්න වෙනවා. අපේ රෝහලේ තිබෙන දිස්ත්‍රික් රුධිර ගබඩාව හෙවත් ලේ බැංකුවේ එවෙලෙට තිබෙන රුධිර ඝණයක් නම් පහසුවෙන් ඉක්මනින් රුධිරය ලබා දිය හැකියි. නමුත් නෙගටිව් ලේ වර්ග වල හිඟයක් තිබෙන නිසා එවැනි කෙනෙක් ආ විට අපි බොහෝ අපහසුතාවයන්ට පත්වෙනවා. එවිට පැය 2, 3 වැනි කාලයක් බලන් ඉන්න සිදු වෙනවා ළඟම ඇති මහ රෝහලෙන් ලේ ගෙන්වන තෙක් රෝගියා ජීවත් කරවීමට.

ගබ්සාව නීතිගත කළ යුතුද නැද්ද කියා දෙපැත්තට අදිමින් වාද කරන්නන් අතරේ අපි හොර ගබ්සා මධ්‍යස්ථාන වටලන්නත් ඒවාට විරුද්ධව ක්‍රියාකරන්නත් පොලිසියට නිතර කියන්නේ මවකගේ ජීවිතය අන් කිසිම දෙයකට වඩා වටින බැවිනි. සල්ලි යහමින් ඇති අය බොහෝ ඉහළ පහසුකම් ඇති රෝහල් වලින් ඒ දේම කරගෙන නිරුපද්‍රිතව සිටින බවද අපි දනිමු. දරුවන් හය හත්දෙනෙක් සිටින අම්මලා හරි පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය නොකිරීම නිසා ගැබ්බර වී අප වෙත පැමිණේ. 

" අනේ මගේ වැඩිමහළු දුවටත් දරුවෙක් සිටිනවා . මම කොහොමද තව දරුවෙක් හදන්නේ" ඔවුන් පවසයි.

 "මොනවා හරි කරන්න බැරිද ? ඔවුන් විමසයි. 

"මොකුත්ම කරන්න බෑ. නීති තියෙනවා, මේක රජයේ රෝහලක්.!" අපි ඔවුන්ට අපේ රටේ නීතිගත් තත්වය පැහැදිලි කරන්නෙමු.

 "බලන්න, මේ අය නීතියෙන් තහනම් බව දැන දැනම  බය නැතුව ගබ්සාව ගැන අහන හැටි" ඇතැමෙක් පවසයි. 

ඒ තරම් ගබ්සාව අද සමාජයේ සාමාන්‍යදෙයක් බවට පත් වී හමාරය. රජයේ රෝහලේ වෛද්‍යවරයාගෙන් පවා පැමිණ ඒ ගැන විමසයි. අප කරන්නේ එවැනි අය ගැන දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරියා (MOH) මෙන්ම මාතෘ හා ළමා වෛද්‍ය නිළදාරියා (MOMCH) වෙත දැනුවත් කිරීමයි. ඒ ඔවුන් නීතියට පටහැනි දෙයක් කරොත් ... යන අවදානම නිසාය.



ඉස්පිරිතාලේදී ඔවුන් මරණයට පත්වුනොත් වැරැද්ද පැටවෙන්නේ අප මතිනි. එක්කෝ නිවැරදි පවුල් සැලසුම් ක්‍රම , ආරක්ෂිත ලිංගික අධ්‍යාපනයක් වැනි දෑ රටේ ව්‍යාප්ත කළ යුතුය. දැන් අප රටේ ආගමික හෝ සංස්කෘතික සංයමයක් හෝ සදාචාරයක් නොමැත . ඇත්තේම නැත. එය ආගමික නායකයන් මෙන්ම දේශපාලඥ යින්ද පිළිගත යුතුය. එනිසා කුඩා වියේ සිටම නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුය. නැත්නම් මා කලින් කීප විටක් ලියුවාක් මෙන් අවුරුදු 13, 14 වියේදී ගැබ්බර වූ දරුවන් මෙන්ම අනාගතය විනාස කරගෙන දුක්විඳින විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ද , අහිතකර ලෙස ජීවිතයට හානි දායක හොර ගබ්සා මධ්‍යස්ථාන වලට  ගිහින් තමන් උපයන සොච්චම පූජාකර ඊට ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට වෙන රාජිනී වැනි සිය දාහක් වෙනුවෙන් අප නැගී සිටිය යුතුමය.

එමෙන්ම නිසි එවැනි ලිංගික අධ්‍යාපනයක් නොමැති කාලෙක වෛද්‍යශිෂ්‍ය දිනුක ලියන මේ ලිපි මාලාව බ්ලොග් අතරම නොරැඳී සාමාන්‍ය ජනයා වෙතද ළඟාවන ක්‍රමයක් වේනම් මැනැවි යැයි සිදුනා. (ලිපි 16 පමණ වේ... මේ පළමු වැන්නයි. වැදගත් විෂය. 1


නිතර නොලිවීම ගැන සමාවෙන්න ලියන්න බොහෝ දේ තිබ්බත් මොකක් හරි කොම්පියුටර් කරදරයක් හරි අන්තර්ජාල කරදරයක් හරි වෙලා ඒ සියල්ලට බාදා කරනවා. අපි ඉතින් පැය 24 න් නිදන පැය කිහිපය හැරුනු කොට අනිත් වෙලාවට ඉන්නේ වාට්ටුවේ, එහෙම නැත්නම් ශල්‍යා ගාරයේ. නිල නේවාසිකාගාරයට ගිය විට තමයි ටිකක් හෝ නිදහසේ ඉඳින්නේ. එවෙලෙට ලියන්න ඕනෙ තරම් දේ හිතට ගලාගෙන ආවත් දැන් මාසෙක පමණ ඉඳලා මගේ එම් එස් වර්ඩ් එක අකර්මණ්‍ය වෙලා. කොම්පියුටර් වැඩ්ඩෙක් නොවන නිසා ඒක හදා ගන්න එකත් දවසින් දවසම කල් ගියා. ගෙදර ගිය විට මේ අර්බුද මතක් වෙන්නේ නෑනේ. කොහොම හරි ලියන්න ලැබෙන්නේ රෝහල් පුස්තකාලයට යන්නට වෙලාව හොයාගත්තම තමයි.

13 comments:

  1. මම මේලඟදී දැක්කා ප්‍රවෘත්තියක් ස්ථීර පවුල් සැලසුම් සැත්කම් සපුරා තහනම් කරලයි කියල.. ගැහැනුන්ට විතරක් නොවෙයි පිරිමින්ටත්.. මේකත් ගබ්සාවලට අතවැනීමක් තමයි නේද ?හුඟක් නූගත් දුප්පත් මවුවරුන්ට රෝහලෙන් පවුල් සායනයෙන් ලැබෙන උපදෙස්මත මේක කර ගත්තාම ඉන්පසු අර විදිහට මිනීමැරීමට සිදුවෙන්නේ නෑ. ඒත් ආගමික ජාතික අන්තවාදය නිසා දැන් ඒකත් නවතින පාටයි.. ලඟදී හාමුදුරුවරු කඩාපැනලා අර වගෙ තැනකට තර්ජනය කරලා මහ කලබැගෑනියක් කරලා තිබ්බ.. අර මිනිස්සු හදාගන්නා දරුවන්ට කන්න දෙන්නෙ ඔය මිනිස්සු වෙන්න ඇති ඊට පස්සෙ.. අපි ගෝත්‍රවාදයට ආපසු ගමන්කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත, අන්තිමේදී සියල්ලටම මුහුණ දෙන්න වෙන්නේ අසරණ ගැහැණියටයි.

      Delete
  2. ගබ්සාව නීතිගත කිරීම කියන්නෙ දරුවෙකුට ලෝකය දකින්න තියෙන අවස්ථාව අහිමි කිරීම නේද කියල හිතෙන එක වළක්වන්න බැහැ. නමුත් නොදැනුවත්කම නිසා ළමා මව්වරුන් වෙන අවස්ථාවල බලහත්කාර දූෂණවලට ලක්වුණු අවස්ථාවල සාධාරණ හේතු මත ඉඩ දුන්නට කමක් නෑ නේද කියලත් හිතෙනවා.. ඒත් මේ ගැන දරන්න ඕන මතය ගැන මගේ හිතත් පැහැදිලි තැනක නැහැ...

    නිවැරදි ලිංගික අධ්යා පනය ලබා දෙන එක නම් කළ යුතුම වැඩක්... නැත්නම් ඉදිරියෙදි මේ වගේ දුක්බර සිදුවීම් වැඩි වෙන එකයි වෙන්නෙ... කියවන්නට අර්ථවත්, මානුෂික දෙයක් දෙන ඔබේ බ්ලොග් අවඩියේ ලිපි අඩුවීම නම් කණගාටුවට කරුණක්.. ඒ නිසා පරිගණකයේ දෝෂ ටික හදා ගන්න... වෙලාවක් හොයාගෙන ලියන්න... ‍මේ වගේ ලියන දොස්තර නෝනල නැහැනෙ අපට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු... ඇත්තටම වෙලාවක් සහ ලියන්නට හිත හදාගන්නේ හරි අමාරුවෙන්...

      Delete
  3. බොහොම ඉස්තූතියි අක්කේ(අක්කා කිව්වට කමක් නෑ නේද? :) ) මගේ ලිපි ගැනත් කිව්වට.ඇත්තටම මේවා නිකං බ්ලොග්වල විතරක් දාලා වැඩක් නෑ.මේවා ගැන මිනිස්සු දැනුවත් කරන වැඩසටහන් කරන්ඩ පුළුවන්නං සෑහෙන්ඩ වටිනවා.ඔය ඇඟලුම් කම්හල්, විශ්වවිද්‍යාල (හමුදා පුහුණුව වෙනුවට ), වගේම ඔය අක්කා හිටපු වගේ දුෂ්කර පැතිවල ගම් මට්ටමෙන් දැනුවත් කිරීමේ වැඩ සටහන් තියන්ඩ තිබ්බනං මරු.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනුක මල්ලී පුළුවන්නම් පත්තරේකට යවන්න. ඇත්තටම සැලසුම් ක්‍රම අවශ්‍ය ආර්ථික වශයෙන් ඔවුන්ට ප්‍රශ්න තියෙන නිසා.

      Delete
  4. මේක ඉඳගෙන දවස් ගානක් සාකච්ඡා කරන්න පුලුවන් මාතෘකාවක්. දෙපැත්තටම සාධාරණ වගේ පේන හේතු තියෙනවා.

    ReplyDelete
  5. මුලින්ම කියන්ට තියෙන්නේ අර සැමියා දාලා දරු දෙන්නෙක් එක්ක තනි උනු මව දිහා වැරදි ඇහැකින් බලන්ට අපිට බැරි බවයි.

    අනෙක් කාරනාව නම් බාල කාලෙදිම ලිංගික අධ්‍යාපනය වැදගත්. ඒක ඉස්කෝලවලින්ම පටන් ගන්ට ඕනි.

    ගබ්සා කිරීම නීතිගත කලොත්, ඔය වගේ මෝඩකම හන්දා අමාරුවේ වැටෙන ගෑනුන්ට සහනයක් වෙයි. ඒත් ඒ හන්දා දූෂණ වැඩිවෙන්ටත් පුලුවනි. ඒ මගින් ප්‍රයෝජන ගන්න අය වැඩිවෙන හන්දා.

    දොස්තරලා විතරක් නෙමේ කැප වීමකින් වැඩ කරන හැම කෙනාටම විඳින්ට වෙන දෙයක් AK කියලා තියෙන්නේ. කොච්චර හොඳට වැඩ කලත්, එක්කෙනෙක් වැරැද්දක් කල හැටියේ හැමෝම බැනුම් අහනවා. ඒවා අහගෙන ඉවසීමෙන් කටයුතු කරන ඔයාලට ගොඩක් ස්තූතියි.

    ඒත් සමහරුන්ට නම් හරියට තරහා ගිහින්ලු.:D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා කියන දේ ඇත්ත.. මේ දේවල් මේ විදිහට සිදු නොවන එක තමයි වැරැද්ද....

      Delete
  6. ඕක ගැන අපි කලින් කතා කරපු නිසා මම කලින් ඇවිල්ලා සද්ද නැතුව ගියා ..

    ReplyDelete
  7. අනිත් කොණ, මට පේන්නෙ ඔයා සෑහෙන කාර්ය බහුලයි වාගේ. අපේ කමෙන්ට් තාම පේන්න නැත්තෙ ඒක වෙන්න ඇති.

    පොඩි යෝජනාවක් කරන්නද? ඔයාගෙ බ්ලොග් පෝස්ට් වල අකුරු පොඩ්ඩක් ලොකු කලොත් හොඳ නැද්ද. දැනටඔය සයිඩ් බාර් එකේ තියෙන අකුරු වල සයිස් එකමනෙ තියෙන්නෙ. නිකමට medium, large ට්‍රයි කරලා preview එක බලන්නකො.

    ReplyDelete
    Replies
    1. කාර් ය බහුල උනේ නෑ... ලෙඩ උනා... : ( හරි මම එහෙම කරන්නම්ම් ඩූඩ්

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !