Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Tuesday, January 26, 2016
දැන් ඉතින් විසිකරන්න යෑ !
දහවල් එකොලහට පමණ ප්‍රසූතිකාගාරයෙන් මට ලැබෙන දුරකථන ඇමතුමෙන් කියවෙන්නේ දිනයක් හෝ වයසක් නොදන්නා දරු ගැබක් සහිත කාන්තාවක් ඇතුලු වූ බවත් ඇය දරුවා ලැබෙන්න ආසන්නයේ සිටින බවත් ය. මාස 8ක පමණ ගැබිණියක් වන මම හනි හනික එදෙසට දිව ගියෙමි.
දරුවා ලැබෙන්නට ඔන්න මෙන්න නිසා දරුවාගේ ප්‍රමාණය ස්කෑන් කර බලා සති ගණන නිර්ණය කිරීමටද නොහැක. නොමේරූ දරුවෙක් බිහි වුනොතින්, නොමේරූ ළදරු ඒකකයකට හෙවත් PBU / NICU එකක දරුවා ඇතුල් කළ යුතුය. එවැනි ඒකකයක් අප මූලික රෝහලේ නොමැත. දැන් ඉතින් කරන්නට තියෙන්නේ මේ අවදානම් තත්වයෙන් මව වෙනත් රෝහලකට යැවිය නොහැකි නිසා දරුවා ඉපදුනු පසු තත්වය අනුව ක්‍රියා කිරීමය යන්න විශේෂඥවරයාගේ මතය විය.
මහ රෝහල් කිහිපයක නොමේරූ ළදරු ඒකක හා දුරකථනය ඔස්සේ සම්බන්ධ වී මෙවැනි තත්වයක් ඇති නිසා අවශ්‍ය වුනොත් එන බව පවසා දැනුවත් කර තැබුවෙමි. හදිසි තත්වයකට අවැසි උපකරණ, මෙවලම් ලැහැස්ති කර ගත්තෙමි. කෘතිම ස්වසනය දෙන්න අවශ්‍ය දෑ මෙන්ම උණුසුම ලබා දෙන විශේෂ ළදරු වෝමර් එකද ලැහැස්තිය. දැන් ඇත්තේ, මවට සහ දරුවාට කිසි කරදරයක් නොවේවා යැයි , සිතමින් බලා සිටීමය.
මේ අම්මා කිසිම දිනක සායනයකට හෝ වෛද්‍යවරයෙකු හමුවට ගොස් නැත, කොටින්ම දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටි කෙනෙකු නොවේ. විටමින් පෙති, පෝෂණය අවැසි ලෙස ලැබුනාදැයි නොදනී. ගෙදර තව දරුවන් දෙදෙනෙකු සිටින බව පැවසේ. ඇය පදිංචි වී සිටින්නේද මහා දුරකින් නොවේ. හරිනම් පවුල් සෞඛ්‍ය නිළදාරිනියන් මෙවැනි කතුන් ගැන සොයා බලා අදාල වෛද්‍ය නිළදාරීතුමන්ට දැන්විය යුතු නොවේද ?
මෙවැනි කතන්දර ඇසෙන පළමු අවස්ථාව මෙය නොවේ. ඕනෑ තරම් ස්ත්‍රීන් බඩේ කැක්කුමට බෙහෙත් ගන්නට බාහිර රෝගී අංශය වෙත පැමිණ, එසැනින් හදිසි ප්‍රතිකාර ඒකකයේ හෝ, අප වාට්ටුවට ගෙන එද්දී ට්‍රොලිය මත හෝ, ත්‍රීවීල් වල දරුවන් ප්‍රසූත කරති. ඔවුන් හැමෝටම ඇත්තේ එකම එක කතාවකි. දරුවෙක් ලැබෙන්න සිටි බවක් දන්නේ නැත ! යන්නයි.
මේ කියවන ඔබට ද, අපට ද එය විශ්වාස නොකළ හැකි බව මම දනිමි. නමුත් ඔවුන් එක හෙලා පවසා සිටින්නේ එයයි.
සමහරුන් අවිවාහක තරුණියන් ය. අම්ම ලා තම දියණියන් රැගෙන එන්නේ ඉවසාගත නොහැකි බඩේ කැක්කුමට බෙහෙත් අරන් දෙන්න ය. නමුත් කැඳවීමක් ලැබෙන්නේ ප්‍රසව හා නාරි අංශයේ වෛද්‍යවරුන් වන අපට ය. බොහෝ විට පරීක්ශා කිරීමේදී.. දරුවාගේ හිස පිටතට පැමිණීමට ආසන්නය. එවිට, මේ බව පැවසූ විගස අර දියණියගේ අම්මාවරු හදිසි ඒකකය හෝ අප වාට්ටුව දෙවනත් වෙන්න කෑ කෝ ගසයි, බැණ වදියි. එක්කෝ අර දරුවා ලැබෙන්න ඔන්න මෙන්න අමාරුවෙන් සිටින දුවට ගුටි පූජාවක් කරයි. ඒවා බේරන්න වෙන්නේත් අපටමයි. සමහරුන් කලාන්ත වේ. ඔවුන් සියල්ලෝම මාස 8 ක් හෝ 9 ක් ගෙදර සිටින දරුවා ගැබ්බර බව නොදැන සිටි බව අපට කියති.
ඉතින් අර මා මුලින් සඳහන් කළ අම්මා ! ඇය තව මිනිත්තු දහයකින් පමණ ඇය දරුවා ප්‍රසූත කළාය.... වේගයෙන් ගැහෙන හදවත් වලින් සහ බලාපොරොත්තු සහගත හිතින් සිටි අප සැම සනසමින් ඒ දරුවා ඉපදුනේ දෙවනත් වෙන්න අඬමිනි, නිසි ප්‍රමාණයට වැඩී තිබුනි. වෙනත් සංකූලතා නොතිබිනි.
දැන් දරුවා පරීක්ෂා කර ඉවත යන්නට කලින් ඇයවෙත පැමිණ දරුවා හොඳින් යැයි පැවසූ විට ඇය මට ද පෙර කතාවම පැවසුවාය. මාද එවිට අට මස් ගැබිණියකි.
"මට දැනුනෙවත් නෑ බඩේ බබෙක් ඉන්නවා කියලා " ඇය පවසයි.
.....අනේ අම්මා ඔයා මටම කියනවනේ බබෙක් දඟලනවා දැනෙන්නේ නෑ කියලා....
කියන්නට බොහෝ දෑ තිබුනත් මා සිතින් සිතුවේ එයයි.
"දරුවා නිරෝගීයි, හොඳින් රැක බලා ගන්න අම්මේ, ප්‍රශ්නයක් තියෙනවා නම් අපට කියන්න අපි උදව් කරන්නම් " යැයි පවසා ඉවත ගියේ, දරුවන් නැතිව කොතරම් ස්ත්‍රීන් ප්‍රමාණයක් දුක්වෙනවාද යන්න සිහිපත් කරමිනි.
ඔවැනි ම තවත් සිදුවීමකදී දරුවා ලැබුනු පසු ඒ අම්මා කීවේ " දැන් ඉතින් වැඩී කියලා විසි කරන්නයෑ..." යනුවෙනි.
ඇයද සායනයකට හෝ වෛද්‍යවරයෙක් හමුවට ගොස් තිබුනේ නැත. දරුවා උපන්නේ හර්දයේ සංකූලතා සහිතවය. උපන් වෙලේ සිට වෙහෙසුනේ, වෛද්‍යවරුන් සහ හෙදියන් ය.
ඔක්සිජන් නල සම්බන්ද කර, විවිධ පරීක්ෂන, ඖෂධ දෙමින්, මොනිටර් දිහා දින ගණනක් බලාගෙන සිටියේ අපය. වෙහෙසුනේ අප ය. ඇය නොවේ. අවසන අපට ඇය පවසන්නේ "
දැන් ඉතින් හදා ගන්නට එපැයි, විසිකරන්න යෑ" යනුවෙනි.
අවධානම් තත්වයෙන් මිදුනු දරුවාට , හරියට කිරි ටිකක් දෙන්නේ නැත, දරුවා තුරුලු කරගන්නේම නැත. ඒ සඳහා නිතර විමසා බලන්නේ ද හෙද සොහොයුරියන් සහ අප ය. ඇතැම් විට, මළපහ කරගත් දරුවා සෝදා පිරිසිඳු කර දෙන්නේද අප හෙද සොයුරියන් ය. නාවන්නේ ද ඔවුන් ය.
ඇතැම් විට තවත් බරක් වෙන මේ දරුවන් අනවශ්‍ය නම් ඔවුන් කරන්නට තිබුනේ, අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන පවුල් සැලසුම් ක්‍රමවේදයක් අනුගමනය කිරීමය. ඒවා ගැන සමාජයේ දැනුවත් කිරීමද දැනුවත් වීමද අඩුය.
දරුවෝ නැති අම්මාවරු , දරු සුරතල් දකින්නට සිහින දකිමින් බලාපොරොත්තුවෙන් සිටී. මට මතක් වෙන්නේ ඔවුන් ය.
දැන් මේ දරුවන් හැදෙන්නේ, ඔවුන්ව ඕනෑ නැති වුන පරිසරයක, දෙමාපියන් හෝ මවෙක් සමග ය. ඒ පුංචි හිත හැදෙන හැටි, විඳින දෑ ගැන සිතා මා කම්පා වෙමි.
ඔවුන් බොහෝමයක් දැඩි ආර්ථික අපහසුතා ඇති පවුල් ය. දැන් මේ දරුවන්ගේ අනාගතය කෙසේ වේදැයි අපට අනුමාන කල හැක. නමුත් මේ දරුවන් රැක ගැනීමට ක්‍රම වේදයක් අප රට තුල ක්‍රියාත්මක නැත. එළඹ ඇත්තේ දරුවන් ගැන වැඩියෙන් සිතිය යුතු කාලයකි !
Subscribe to:
Post Comments (Atom)
එවැනි අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට වැඩි වැඩියෙන් කටයුතු කරනවා සේම කලින් හඳුනාගැනීම සඳහා PHM සහ PHI ගේ දායකත්වය විධිමත් කිරීමට ද පියවර ගැනීම වැදගත්. ඒ සඳහා රජය පැත්තෙන් වගේම ජනතාව ගේ පැත්තෙනුත් දැනුවත් වීය යුතුයි.
ReplyDeleteඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ මල්ලී... ඇත්තටම, මම සේවය කල උතුරු ප්‍රදේශවල මීට වඩා මේ PHM MOH පිරිස වැඩ කලා, අපිට තිබුනේ ඔවුන් යොමු කරන සංකූලතා, සංකීර්ණ ප්‍රශ්න බැලීමට විතරයි. නමුත් දැන් මේ නගරයේදී නම් අපේ වැඩ කොටස පමණක් බලාගෙන ඉන්න වෙලා. මංදා මේවා කවදා හරි යයිද කියලා. රජයෙන් වගකීම් සහිත නිළදාරීන් පත් කරත්, ඒවායෙන් සමාජයේ එක්තරා පිරිසක් කොහොමත් මග හැර සිටිනවා. පී එඩ් එම් ලා කියන්නේ ඉතින් බලෙන් අල්ලන් ඇදගෙන එන්නත් බෑනේ කියලා.
Deleteඔයාගෙ ගොඩාක් ලිපි මාව හැමදාම අඬවනවා ඩොක්ටර්.
ReplyDeleteඔන්න මලී උඹ එහෙම හනේ මම දන්නෙවත් නෑ බඩේ දරුවෙක් හිටියා කියලා කියනවා එහෙම නෙවෙයි. නේද ඩොක්ටර්?
Deleteඒකනම් මාර කතාවක්! ළමයෙක් ඉන්නවා දැනුනෙවත් නෑ කියන එක. නොදැනුවත් කම වෙන්ටනම් බැහැ. ඒ ළමයි පව්. නිසි සැලකිල්ලක්, පෝෂණයක් මුකුත්ම නැතුව ඔහේ හැදෙනව ඇති. මේ කතාව ඇහැට කඳුළක් ගෙනාවා.
ReplyDeleteහිතා ගන්න බැරි උත්තර දෙන්නේ මේ අය. අපිට හොඳටම තේරෙනවා බොරු බව. අර House රූපවාහිනී කතා මාලාවේ වෛද්‍යවරයා වගේ "everybody lies !" කියලා කාවවත් විශ්වාස නොකර හිටියම තමයි හරි.
Deleteඑපා වෙනව අක්කෙ මේ වගේ ඒව අහද්දි.... මතක් වෙද්දි...
ReplyDeleteඑක අම්ම කෙනෙක් හිටියා. මේ වගේම කතාවක්. කවදාවත් සායනයකට ගිහින් නෑ.නමුත් ඇය විවාහකයි, දරුවෙක් ලැබෙන්න කියලා දැනගෙන හිටියා.
ඇයට තව දරුවෙක් හිටියා... නම, අපි කියමු ... සාමා කියල. මේ සාමා අපේ ළමා වාට්ටුවෙ හරි ප්‍රසිද්දයි. හේතුව සාමා ගෙ අම්ම එයා ගැන දක්වපු නොසැලකිල්ල.
ඉතින්, කොහොම හරි මේ සාමා ගෙ අම්මට තව දරුවෙක් ලැබෙන්න හිටියා. සාමා ව ළමා වාට්ටුවෙ නවත්වපු වෙලාවක තමයි අපි දැනගත්තෙ ඇය කිසිම මාතෘ සායනයකට ගියෙ නෑ කියලා ඒ වෙද්දිත්. ඇයත් ඒ වන විට 8 මසක් පමණ ගැබිණියක්. අන්තිමේදි ඇයව ප්‍රසව වාට්ටුවෙ සායනයෙ ලියාපදිංචි කෙරෙව්වෙ, අපේ වාට්ටුවෙ උවමනාවට.
අන්තිමේදි ඇයට දරුවා ලැබුණා....
ඊට සති දෙකකට පස්සෙ අපේ වාට්ටුවෙ හෙදියකට ඇයව හම්බෙලා තිබුණා, පාරෙදි. ඒ වෙලාවෙ ඒ හෙදිය ඇගෙන් අහලා, කෝ දරුවා කියල.
"ආ.... එයාව හදාගන්න දුන්න" කියල ඇය පවසලා තිබුණෙ කිසිම ගැටලුවක් නැති සැහැල්ලු විදියට.
දැනටත් මම දන්නෙ නෑ... සාමා ට මොකද වෙලා තියෙන්නෙ කියල දැන්. ඉස්සර වාට්ටුවෙන් දෙන HPD ටිකත් කෑවෙ අම්මා. අන්තිමට , අපේ මැඩම් කළේ අම්මටත් එක්කම HPD order කළ එක
අහ්නේ... ඔහොම කොයිතරම් නම් පිරිසක් ඉන්නවද ? දරුවන් හැදීමටත් නීති සම්පාදනය කළ යුතු නොවේද හිතෙනවා, නැති බැරි කම් තිබුනත් දරුවන් රකින අම්මලා තාත්තලා ඉන්නවා. සාමා ගැන දුක, ගැහැණු දැරිවියක් නිසා මේ අම්මාගේ නොසැලකිල්ලෙන් අපචාරයට ලක්වෙන්නත් පුළුවන් නේද ? රජයේ ළමා ආරක්ශන එකට කියන්න බැරිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට එතනින් ළමයා වෙන් කරලා ළමා නිවාසෙක හැදෙන එක වඩා හොඳ ද ? කියලා ප්‍රශ්නයක් ඇතිවෙනවා.
Deleteස්තුතියි. කියවන් එද්දි දුක හිතුණා.නොදැනුවත් කමද,, නැත්නම් වුවමණාවක් නැතිකමද හිතාගන්න බෑ. දැන් සමාජේ ගොඩක් දැනුවත් කියලා අපි හිතුවට එහෙම නෑ :(
ReplyDeleteදැනුවත් වීම අඩුයි... වෙනත් දේ ගැන උවමනාව වැඩියි...යමක් දැන් සිදු නොකළොත් ඉදිරියට බොහොම අපහසු සමාජයක් බිහි වෙන්නේ.
Deleteදෙන්න ගත්තම ඇති වෙනකන්ම දෙනවා නැති එකාට නැත්තටම නෑ..මොන තරම් අය දුක් විදිනවද දරුවන් නැතුව
ReplyDeleteඒකනම් පුදුම වැඩක්... ඇත්තටම ඇති හැකි පවුල් ඕනෑ තරම් දරු දුකින් වැලපෙන
Deleteදීර්ග වශයෙන් සලකා බලන විට ඔබේ බොහෝ සටහන් වලින් ගම්‍ය වෙන්නේ දීර්ග කාලයක සිට පවතින අක්‍රමවත් රාජ්‍ය පාලනය මේ සියලු ගැටළු වලට මුල බවයි.
ReplyDeleteමේ සටහනට අක්‍රමවත් රාජ්‍ය පාලනය සම්බන්ධ වන්නේ කෙසේදැයි යන්න යන්නේ කොහෙද මල්ලේ පොල් වැනි භූත ප්‍රකාශයක් ලෙස පෙනිය හැකි වුවද සත්‍ය නම් මේ පෙනෙන්නේ රටේ ජීවත් වන ශ්‍රී ලාංකික හෝ විදේශීය දරුවන්ට හරි හමන් ලිංගික අධ්‍යපනයක් ලබා නොදීමේ ආදීනවයි. මීට බොහෝ විට හේතුව නම්, ඊනියා සංස්කෘතික වාදී මෝඩයන් මෙන්ම සමහර ගුරුවරුන් පවා ලිංගික අධ්‍යාපනය පාසල් වලට ගෙන ඒමට විරුද්ධ වීමයි. අනෙක් පසින් උපත් පාලන ද්‍රව්‍ය ලග තබාගන්න කාන්තාවන් ගණිකාවන් ලෙසත් පිරිමින් සලෙලුන් ලෙසත් හංවඩු ගසන පොලිසියයි. මේවා වැලක්වීමට රාජ්‍ය පාලකයන් සමත් විය යුතුයි.
අනෙක, යොවුන් පරපුරේ මෙන්ම උගත් විශ්විද්‍යාල සිසුන්/සිසුවියන් අතර පවතින අති භයානක වුවත් භයානකත්වය නොදන්නා කමෙන් පවත්වාගෙන යන පුරුද්දක් නම් "හදිසි උපත් පාලන පෙති" භාවිතයයි. සමහර සිසුවියන් මේවා භාවිත කරන්නේ පැරසිටමෝල් මෙන් සරලව සිතාගෙනයි. සොදුරු යෞවනයේ සිටින ඔවුන්ගේ ලිංගික ක්‍රියාකාරකම් සැගවීමට හෝ වැලක්වීමට ක්‍රියා කරනවා විනා එසේ යෙදෙන අයට අනවශ්‍ය දරු උපතක් වලක්වා ගනිමින් ආශ්වාදජනක සතුටක් ලබන්නේ කෙසේද යන්න දැනුවත් කිරීමක් නැහැ. අවසානයේ මේ අති සාන්ද්‍ර හෝර්මෝන වල ප්‍රතිපල වන්නේ භයානක පිළිකා, මද සරුභාවය වැනි කදුළු කතාවකි. හමුදා සාමාජිකයන් වැනි නිවාඩුවට නිවසට පැමිණෙන අයගේ බිරියන් අතරද මේ "හදිසි උපත් පාලන පෙති" සාමාන්‍ය උපත් පාලනයක් ලෙස යොදාගැනීමේ අනුවන ක්‍රියාව දකින්න ලැබෙනවා. මේවා වැලක්වීමට හැකි නම් එය ලොකු පිනක් සහ සතුටක්.
විවාහයට පෙර ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු හමුවී හෝ රෝහලේ සායනයට ගොස් පවුල සැලසුමක් ගැන සාකච්චා කරන්නේ මේ සමාජයේ කීයෙන් කීදෙනෙක් ද ? උගත් යයි කියාගන්න සමාජයේ පවා කීයෙන් කීදෙනෙක්ද ? ඇදුම් මිලදී ගැනීම සාරි තේරීම, මධු සමයට හෝටල් තේරීම හැරුණු කොට යහපත් ලිංගික සෞඛ්‍යයක් පවත්වා ගැනීම, දරුවකු අපේක්ෂා කරන විටදී සහ අපේක්ෂා නොකරන විටදී හැසිරීම කෙසේ විය යුතුද, ගැබ් ගැනීමට පෙර විවාහ සහතිකයට අමතරව අත්‍යවශ්‍ය කරුණු මොනවාද යන්න සලකා බැලීමක් සිදු නොවන තරම් ය. සමහ තරුණියක් සිතන්නේ විවාහ වීම යනු ගැබ්ගැනීමට අවශ්‍ය වන එකම සුදුසුකම බවයි.
විවාහයට පෙර තම දරුවන් ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම කරන්නේ උගත් දැනුවත් දෙමවුපියන්ගෙන් පවා කොතරම් අතලොස්සක් ද ? ඔබ හොද මවක් නම් පියෙක් නම් දුව පුතා පෝරුවට නැග්ග වීමෙන් පමණක් සෑහීමට පත්නොවී, සුවදායක තෘප්තිමත් පවුල් ජීවිතයක් ගෙනයාමට ඔවුන්ට අවශ්ය කරන ලිංගික අධ්‍යාපනයත් ලබාදීම නිවසින් පිට කරන්න.
ඇතී හැකි අය මෙය මුලින් පටන් ගත්තොත් නැති බැරි ඇය පවුල් සෞක්‍ය සායනයටවත් ඇවිත් මේවා ඉගෙන ගනීවි.
එවිට විසිකරන්න බැරි නිසා දරුවන් හදන්නවත්, වැරදි ලිංගික පුරුදු නිසා මදසරුවී දරුවන් නැතිව දුක් විදින්නටත් සිදුවන අවස්ථා අඩු කරගත හැකි වේවි.
මේ ගැටළු වලට හේතුව මූලිකවම අපේ පරිපාලන ස්ට්‍රක්චර් එකේ ගැටළු, ග්‍රාමීය මට්ටමින් හොයා බැලීම් සිදු කළ යුතුයි. මේ විෂය ගැන නිදහස්ව කතා කල හැක්කේ වෛද්‍යවරුන්ට, උපදේශනය සඳහා වෛද්‍යවරුන්ගේ සේවය සහ දැනුම පාසැල් මට්ටමේ සිට ලබා දිය යුතුයි. මම හිතන්නේ පාසැල් මට්ටමින් මේ දේ කරන්න ඕනේ ඒවගේම දුෂ්කර හෝ අඩු ආදායම් ලාභීන් සිටින ප්‍රදේශවල, මොකද ඔවුන් බොහෝමයක් පාසැල් නොගිය අය නිසා.
Deletehttp://www.bbc.co.uk/news/uk-19657646
ReplyDeleteA team of doctors has flown to Afghanistan after a British servicewoman gave birth to a boy having not realised she was pregnant.
Originally from Fiji, the unnamed Royal Artillery gunner is said to have only learned she was about to give birth on Tuesday after having stomach pains.
Mother and baby are "stable" in Camp Bastion, Helmand province, said the Ministry of Defence.
The woman went to Afghanistan in March and her baby was five weeks premature.
අදම තමයි මම මේ පැත්තට ආවෙ. මේ වගේ දේවල් ගැන ලියන එක ලොකු දෙයක්. මොකද හැම කාන්තාවක්ම හැම දියණියක්ම මේවා කියවනවනම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ. ජයවේවා.
ReplyDelete