ජීවිත් විය නොහැක, එහෙත් ජීවිතය අත් හැරිය නොහැකිය
ආපසු හැරෙන්නට නොහැකිය, දිවි නසා ගන්නටද නොහැකිය..
මේ ලිපිය ලියන්නට පෙළඹුවේ පසුගිය කාලයේ මගේ හිතට වද දුන් එක්තරා ඛේදජනක සිදුවීම් පෙළක් නිසාය.
1.මගේ හොඳම මිතුරියක් සිටියාය. ඇය මේ කාලය වන විට නව මසැති ගැබිණියකි. මට කතා කර විමසුවේ ඇය සමග දොස්තර ළඟට යා හැකිද කියාය.
මේ වන විට ඇයට අවුරුදු 2 දුවක සිටින අතර ඇගේ සැමියා සිටියේ වෙනතකය. එනම් අන් ගැහැණියක හා හාද වී ඇගේ ඇසුර පතා ඔහු ඇය අත හැර ගොස් සිටීයේ ඇය සිටි තත්වය හෝ සැලකිල්ලට නොගනිමිනි.
අමාරුවෙන් රථය පදවාගෙන පැමිණි ඈ ඉන් එළියට බැස බඩත් උස්සාගෙන පැමිණියේ අමාරුවෙනි. කැම්පස් යන කාලේ හාද වූ මේ දෙදෙනා අතර මෙතරම් විරසක වීම් සිදු වූයේ කෙසේදැයි පුදුමයකි.
"මම ඒ මිනිහට ඕනෙ මගුලක් කරගන්න කියලා ඩිවෝස් එක දෙනවා" ඇය කතා කලේ පුදුමාකාර වූ කළකිරීමකි.
ආදරයක් නැතැයි ද, දැනෙන්නේ නැතැයි ද, ආලය හීන වී ගොස් ඇතැයි ද ඔහු නොයෙක් වර පවසා ඇත.
පෙරදින ආලයෙන් මුසපත්ව නොයෙක් බස් තෙපලූ, පෝරු මස්තකයේ විවාපත් වී වසර 5 ඉක්මගිය තැන වෙන කතකගේ පහස සොයන් තම දෙ හැවිරිදි දරුවාත් ගැබිනි බිරින්දෑත් අතරමං කරන මිනිස් සිතක අරුමය විමසමින් මගේ යෙහෙළිය ලතවේ. බොහෝ වෙහෙසකර ඈගේ දෑස් වල හඬන්නට කඳුලක් නොමැති තරම් ය. පොදුවේ පිරිමි සංහතිය වෙතම ද්වේශයක් මගේ සිතෙහි ජනිත වේ.
පසුගිය දිනක නැවත ඇය කතා කරේ දහවල් එකට පමණය. "මම පාලිමන්ට් රෝඩ් එකේ එද්දි ඩ්‍රිබ්ලින් ඒපාර වාහනේ නවත්තලා ත්‍රීවිල් එකක කාසල් එකට ආවා. පුළුවන්නම් මට සුප් එකක් අරගෙන එන්න" ගැබිණි ඈ තම දෙහැවීරිදි දරුවා සමග තනියම කාර් එක එළාවගෙන යන අතරේ ඇයට ප්‍රසව වේදනා දැනී ඇත.ඇය දරුවා ප්‍රසූත කළේත් අන් කටයුතු කරගත්තේත් රෝහලේ යහළුවන් දෙමාපියන් ගේ උදව් උපකාර සහ සෙනෙහස මධ්‍යයේය. අර අධමයා පැමිණියේම නැත.
මට සුමිත්‍රා පීරිස් ලියූ "අග පිපි මල්" නවකථාව සීහි වේ.එහි එක් තැනක අමා මෙසේ සිතයි...
"අතිශය සුන්දර වූ යෞවනයක මිහිරී මතකය මුදා හැර වල්මත් වන්නට තරම් අසිතගේ සිත දැඩි වූයේ ඇයි දැයි ඇයට වටහා ගත නොහැකි විය. මුනිවත රැකීමෙන් ආරම්භ වූ අසිතගේ පරිවර්තනය, නොරිස්සුම , කෑ මොර ගෑම දක්වා වර්ධනය වන විට තමා උගත් සියලු දේ අමතක කර දමමින් පිළියම් සොයමින් උස් පහත් සියලුම තැන් වන්දනා කළ ආකාරය ඇයට සිහිපත් විය. සෙත් ශාන්ති, යැදුම් වැඳුම් කිසිවක් පල නොදී අසිත තව තවත් දැඩි වී දින ගණන් නිවසට නොපැමිණෙන්නට වූ කල හැඬුම , වේදනාව මිස අන් කිසිවක් තමාට දිරියක් වශයෙන් ශේෂ නොවීය. එහෙත් අසිත සඟවා ගත්තේ බලහත් කාරයෙන් එසේ නැතහොත් යැදීමෙන් , හැඬීමෙන් යළී ලබා ගත හැකි දෙයක් නොවේ." උපුටා ගැනීම... අග පිපි මල් නවකතාව
මගේ යෙහෙළිය මා ඉදිරියේ දිග හරින්නේද එවැනිම කතාන්දරයකි.
සංවර නොවූ සිතකට අයාලේ යන හිතකට තමන් කලින් විඳි සොඳුරු ගැහැණිය තනිකොට දමා විඳවන්නට දුක් වෙන්නට හැර දමා යා හැක්කේ කෙසේදැයි මට නොතේරේ. නමුත් පොදුවේ සෑම පිරිමියෙක්ම මේ වාගේ නොවන බව මම දනිමි.
2. මාලනී අම්මා (මෙය අනවර්ථ නාමයකි) අපේ වාට්ටුවට ඇතූලත් කරේ අධිකරණය මගින් දුන් නියෝගයකින්. ඇය මෙතෙක් ජීවත් වුනේ කොළඹ රැඳවුම් නිවාසයකයි. ඇයට මානසික රෝගයක් ඇති නිසා ඇගේ සැමියා ඇයව ඇයටත් නොදන්වා දික්කසාද කර තිබිනි. උසාවි නියෝගය මත ඇයව රෝහල් වාට්ටුවට එවා තිබුනේ උසාවියේ කලබල කර නිසාය.
"මහත්තයා නැතිව දරුවො නැතිව මේ වගේ දරුණු තීරණ විඳ දරා ගන්න වුනහම හොඳින් ඉන්න අයටත් පිස්සු හැදෙන්නෙ නැද්ද ?" ඇය අපෙන් විමසයි.
අවුරුදු 16 සහ 15 දරු දෙදෙනාද වැර වීර්‍යයෙන් ගොඩනගා ගත් නිවසද අත හැර හතලිස් අට හැවීරිදි වියේදී කාත් කවුරුවත් නැති අසරණියක් ලෙස ආණ්ඩුවේ රෝහලක සෙවන ලබමින් ජීවත් වේ. ටවුමට ගිය විට ඇය සිහිවී දිග හවුස්කෝට් ගවුම් කීප වර ගෙනැවිත් දූන්නෙමි. එවිට ඇයගේ නෙතු අගට කඳුළු එකතු වූ හැටි දුටිමි. හරී නම් ඇය බලා කියා ගන්න ඕනේ ඇගේ ස්වාමියා නොවේද ?
අග පිපි මල් හි අමා ද දරු දෙදෙනා සමග තනිවූවාය. නමුත් මේ අම්මා දරුවන්ද අහිමිව තනිවී මානසික රෝගී යන ලේබලයද අලවාගෙන අසරණව සිටී. නඩූ වාර කිහීපයක් පසු විය ඇගේ ස්වාමියාද දරුවන්ද ඇය බලන්නටවත් පැමිණියේ නැත උසාවි පැමිණියේද නැත. එවර අපේ එක් වෛද්‍යවරයෙක් ඔවුන්ගේ ගෙදරටම ගොස් යුතුකම් වගකීම් මෙන්ම මනුස්සකමද ලුණු ඇඹුල් ඇතිව පවසා පැමිණියේය. එවිට ඊළඟ නඩුවාරයේදී ඔවුන් උසාවි පැමිණියෝය. නඩුකාර උන්නාන්සෙද මිනිස් ගුණධර්ම සහ සාරධර්ම ගැන හොඳ දේශනාවක් කලාලු නමුත් අර මිනිස්සුන්ගේ හිත්නම් වෙනස් වුනේ නැත. දරුවන් පසු පස දුවන අම්මාද අම්මාගේ අත ගසමින් වේගයෙන් ඇවිද යන දරුවන්ද සැමියාද දුටු විට ඇය උසාවි ගෙන ගිය අපේ හෙද සොයුරියට හැඬුම් ආ බවත් ඇයද ඔවුනට කිව යුතු දෑ කියා පැමිණි වගත් පැවසීය.
3.සෙල්වි, අප වාට්ටුවට ඇතුල් කරේ කතා බහ අඩුවීමද ඔහේ කල්පනා කිරීමද කෑම අරුචිය සහ නිදි මත නො ඒම යන කාරණා සමගය. ඇය සමග කතා බස් කරද්දී වැටහුනේ, ඇගේ සැමියාට දාව අන් කතකට දෙමස් වියැති දරුවෙක් ඇති බව ඇය දැන ගත්ත දා පටන් මේ අමාරු ඇති වූ වගය. ඇයටද දරුවන් දෙදෙනෙකි. සැමියා මේසන් බාස් කෙනෙකි. දැන් ඔහුට බිරින්දෑවරු දෙදෙනෙකි. සෙල්විට තනිව හීඳිනාවිට නොයෙක් සද්ධ සහ කතාබස් ඇසෙන බව කීවේ අද උදයේය. දැනට ලෝකයේ ජීවත් නොවන ආගමික නායකයින් පැමිණ ඈ සමග කතාවස් කරන බවත් සැමියා විසින් ඇයට දුන් දුක ටිකෙන් ටික එමගින් පහව යන වගත් කියයි. සෙල්විගේ සැමියා ඇය රෝහල් ගත කර බව අසා පැමිණ ඉහ අත් ගසාගෙන වැලපේ. ගැහැණු දෙදෙනෙකුගේ ජීවිත අඳුරේ හෙලන්න හැඟීම්වලට වහල් වූ මේ මිනිසාට හැකිවූයේ කෙලෙසද
ඉඳින් හුදෙක් ඉඳුරන් පිනවීමටම පමණක් ජීවත් වෙන්නන්ගෙන් මීට වඩා යමක් බලා පොරොත්තු විය හැකිද ?
ඒ එක්කම ටී. බී ඉලංගරත්නයන්ගේ මා සිත් ගත් පොතක් වන "තිලක හා තිලකා " පොතේ එන කොටසක් මතකයට නැගේ
........තමා එදා සිට බාරගත් වගකීම් ගැන තිලකට සිතුණේ ය. තිලකාට දුකක් නො වන සේ සිය ජීවිතය හැඩ ගස්වා ගන්නට හැකි වේ ද ? ඇගේ සිත නො රිදෙන්නට, ඇයට සැප පහසුකම් සලසන්නට, දරු මල්ලන්ට තමාගේ යුතුකම් ඉටු කරන්නට ඔහුට හැකි වේද ? ..... පිටු අංක 14
4. බීමත් සැමියාගේ අඩම් තෙට්ටම් වලට ලක්වී අවසන ඔහු විසින් ගිනි තබා පුළුස්සා තිබූ දේවි ඇඟ පුරා පිළිස්සුම් තුවාල සහිතව කෙඳිරි ගාමින් ඉල්ලුවේ මැරෙන්නට පෙත්තක් දෙන්න කියාය. මුලදී සැමියා ඇය පීළිස්සූ බව කියූවද පසුව කල් ගත වෙද්දී තමාම ඇඟට ගිනි තියාගත් බව කීවාය. ඇගේ සැමියා රෝහලට පැමිණෙද්දී පවා බීමත්ව සිටි බවද නොයෙක් වර වාට්ටුවෙන් පිටතට එලවූ බවද වාට්ටු බාර හෙදියන් අප හා පැවසීය. දින 15 මුළුල්ලේ දුක් විඳි ඈ අවසන අවසන් සුසුම් හෙළුවේ පාසැල් යන කුඩා දරු තිදෙනෙකු අර බීමත් පියා වෙත තනි කරමිනි.
ගැහැණුන් හට දුකක් නොදෙන අනූපම ප්‍රේමයෙන් බිරිය සහ දරුවන් රකින බෝසත් ගුණ ඇති මිනිසුන් සිටිති. එවැනි සොඳුරු මිනිසුන් විරලය. දිනපතා සැමියාගේ අඩම් තෙට්ටම් නිසා කායික මානසික අඩම් තෙට්ටම් නිසා රෝහල් ගත වන කාන්තාවන් බොහෝය. ඔවුන් වෙනුවෙන්ම මේ වන විට රෝහල මගින් gender based violence desk යනුවෙන් පැමිණිලි විශ්ලේෂණය කර උපදේශනය සහ අවැසි උපකාර ලබා දෙන පිළිවෙලක් සකස් කොට ඇත්තේද එහෙයිනි.
වරද ඇත්තේ කොතැනද මට නො තේරේ.
සමහර මිනිස්සු ළඟ තියන හොඳ නරක හඳුනාගැනීමට ඇති නොහැකියාව ගැන මටත් හරි පුදුමයක් දැනෙනවා. හරි වැරැද්ද තේරුම් ගන්න බැරි ජීවිතයකින් ඇති පලය මොකක්ද ? මනුස්සයකුට ඉඳල හිටලා වැරදීමක් වෙන්න පුළුවන්. ඒත් මේ වගේ දේවල් කරන්න පුළුවන් කාටද ..?
ReplyDeleteසැමියා බිරිඳ අතර සම්භන්ධය විවිධ හේතු මත බිඳී යන්න පුලුවන්. ඒත් මනුස්සකම ඒ විදියට නැති වෙලා යන්න පුළුවන්ද.....
හැබැයි ඔය දරුවො දාලා තාත්තලා වගේම අම්මලාත් ඉන්නවා. ඒ මොනව වුනත් දරුවන්ට ආදරය කරන්න බැරි මනුස්සයෙක් ළඟ මොන විදියෙ ආදරයක්වත් තියෙන්න බැහැ කියලයි මට හිතෙන්නෙ. පුංචි අයගෙ සුරතල් බලනවා වගේම දඟකාරකම් ඉවසගෙන එයාලා දිහා ආදරයෙන් බලන කෙනෙක් පොදු මිනිස් සංහතියට ආදරය කිරීමට හැකි මනුස්සයෙක් විදියටයි මම දකින්නෙ.
ඔය වගේ ප්‍රශ්න නම් දැන් එන්න එන්නම වැඩි වෙනවා අක්කේ. සමාජය එන්න එන්නම පිරිහෙනවා. අනිත් එක මේ අක්ක කියල තියෙන්නේ ප්‍රශ්නයේ එක පැත්තක විතරයි. තමුන්ගේ මිනිහ, දරුවෝ ඉඳිද්දී වෙන මිනිස්සුත් එක්ක යන ගෑනුත් ඕන තරම් ඉන්නවනේ.
ReplyDelete"එවැනි සොඳුරු මිනිසුන් විරලය." කියපු කතාවට නම් විරුද්දයි අක්කේ.
අනුන්ගේ දුක තේරෙන මනුස්සකම් හඳුනන පිරිමින් හිඟ බව නම් පිරිමියෙක් හැටියටම මටත් හැමදාම හිතෙන දෙයක් තමයි.. උගත් කම තියෙන රැකියාවක් ඇති තමුන්ගේ ජීවිතය තමුන්ටම බලාගතහැකි ගැහැනියකට තනිව ජීවත්විය හැකි වුවත් සියයට අනුවක් ගැහැනුන් අපේ රටේ ජීවත්වෙන්නේ ස්වාමියාගේ පිහිටෙන්.. අද්යාත්මික පැත්ත පසෙක ලුවොත් අවම වශයෙන ආර්ථික වශයෙන් නැගිටගෙන ජීවත්වීමට හැකි මට්ටමට ගැහැණිය සවිමත් කිරීම අවශ්‍ය නමුත් අපේ රටේ තවමත් ඒ තත්වය බලාපොරොත්තුවිය හැකි තරමේ පදනමක් නැහැ ..මටත් දුවක් ඉන්නවා. මගේ බිරිඳත් මමත් හැම දේම කරන්නේ ඇය ස්වාධීන කරන්නයි. දැන් කාලේ මිනිස්සුන් මත යැපෙන්න ගෑනු දරුවෙක් හදන්න හොඳ නැහැ කියලයි ඇය හැමවෙලේම කියන්නේ.. , එක මමත් ඉහලින්ම පිළිගන්න දෙයක්.. එත් මට බයයි මගේ කෙල්ල කවදාහරි හොඳ මනුස්සයෙක් හොයා නොගත්තොත් කියල.. තීරණ ගන්නේ බොහෝවිට බුද්ධිය නෙවෙයිනේ ඔය දේවලදී. හදවත තමයි.. මොනවා කරන්නද උදේ හවා ප්‍රර්ථනා කරනවා මිස
ReplyDeleteමේ සමාජය අද වන විට ඔයා දැකපු දේවල්වලටත් වඩා ගොරබිරම් කියලයි මට හිතෙන්නේ. අද අපි ජීවත් වෙන්නේ සියල්ල මුදල මත තීරණය වන සමාජයක. එහෙම නැත්නම් ඕනම දෙයක මිල මිස වටිනාකම නොදන්න සමාජයක. පෞද්ගලිකත්වය, ආත්මාර්ථය ඉස්මතු වෙලා. සාමූහික බව, සංහිඳියාව, ළතෙත් බව වියැකිලා. මේ ගොරබිරම් සමාජය අද තිඹිරි ගෙයක් වෙලා තියෙන්නේ මිනිස්සු වෙනුවට යක්ෂයෝ බිහි කරන්න.
ReplyDeleteඔයා දැකපු හැම දේම මේ ඛේදවාචකයේ ප්‍රතිඵල නේද? එතකොට මොකක්ද මෙහි හේතුව? ඒ කියන්නේ බුදු දහමේ හේතුඵල දහම අනුව. ඒ තමයි අපි මත බලෙන් පටවපු ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒක උපන් දා සිට අපට පොම්ප කරන මේ රටේ අධ්‍යාපන ක්‍රමය.
සියලු මානව ගුණ විනාශ කරලා ආධ්‍යාත්මයක් නැති හිස් ලිපිකාරයෝ බිහි කරන මේ ක්‍රමය මගින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
අද වන විට විවාහය කියන්නේ හුදු ගනුදෙනුවක් විතරයි. දෙදෙනෙකු අතර ඇති වන ආකර්ශනය පදනම් කරගත් බැඳීමට වඩා අද විවාහය තීරණය කරන්නේ මිල මුදල් යාන වාහන අධ්‍යාපනය බලය වගේ දේවල්. මේවාට සාපේක්ෂව අධ්‍යාත්මික බැඳීම මකුලු හුයක් වගේ.
රෝම ලන්දේසී නීතිය ගේන්න පෙර මේ රටේ කවුරුවත් කසාද බැන්දේ නැහැ. හොඳට පවුල් කෑවා. එයාලා දික් කසාද වුණෙත් නැහැ. මැරෙන තුරු ළඟින් හිටියා. දුක සැප බැලුවා. ඒක ආධ්‍යාත්මික බැඳීමක්. අද විවාහය කියන්නේ නෛතික බැඳීමක් විතරයි. මව්පියන් දරුවන් අතරත් ඇත්තේ ගනුදෙනුවක් විතරයි.
මේ සඳහා අතරමග විසඳුම් නැහැ. විසඳුම තමයි අපි අපේ සම්ප්‍රදාය සොයා සිංහාවලෝකණය කිරීම. ඒ සදහා මුලින්ම කළ යුත්තේ මේ පුස්සන් බිහි කරන අනුකාරක අධ්‍යාපන ක්‍රමය වෙනුවට රටට ඵලදායි හදවතක් ඇති මිනිහෙක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීම. එමගින් අපිට සංවේදී හදවතක් ඇති මේ ජරා ජීර්ණ ක්‍රමය පරයා උඩුගං බලා යාහැකි මිනිසෙක් තනාගත හැකියි.
අද කාලෙ කාවවත් විස්වාස කරන්න බැරි තැනකට ඇවිත්.සමහර වෙලාවට අම්මා තාත්තා පවා.මේ යන විදිහට ලෝක විනාසය කියන එක ඇත්තක් වෙන්නත් ඉඩ තියෙනවා.
ReplyDeleteඔබ කරන දේ වැදගත් දෙයකි..ේම වාට පෙලඹෙන පුද්ගලයින් බ්ලොග් බැලුවේ නැතත් කවදා හෝ කවරකුට හෝ මෙය වැදගත් විය හැක...
ReplyDeleteපුලුල් ලෙස කතා කලයුතු වැදගත් මාතෘකාවක්!
ReplyDelete:( හිත් නේ. හිත් හීලෑ නැහැ කියලා කියනවානේ. ඒත් බුද්ධියෙන් කල්පනා කළා නම් මෙවැනි දේවල් වළකාගන්නට ඒ පිරිමි අයට පුලුවන් වන්න තිබුණා.
ReplyDelete