Wednesday, April 27, 2016

ඔහු ඔහුත් එක්ක යුද්ධෙක....

කලින් කතාවේ ඩොක්ටර් කෙනෙක් යැයි පැවසූ ත්‍රස්තක්‍රියා හා සම්බන්ධ පුද්ගලයා ගැන ලියූ පෝස්ටුව බලාපොරොත්තු වුනාටත් වැඩිය ප්‍රතිචාර ලැබුනු ඒවගේම හිතන්නට තව පැති බොහෝමයක් ඇති බවට මට ඒත්තු ගැන්වූ එකක් වුනා.
ඒ පෝස්ටුවේ මතුකළ කාරණා නම් පුද්ගලික ප්‍රශ්න නොවේ පොදුවේ සමාජයේ මුල් බැසගෙන ඇති කරුණු ය. බොහෝ සෞඛ්‍ය සේවකයින්ට සිදු වුනා ත්‍රස්තයින් යටතේ සේවය කරන්න. බලෙන් කැඳවාගත් අයත් බහුල ය. දුක් වුනේ මිනිසුන් සුවපත් කිරීමට උගත්කමක් ඇති එවැන්නවුන් අත් අඩංගුවේ සිටීම ගැන ය . ඒසා විශාල ඛේදාන්තය අවසානය දුක්ඛදායි නොවේනම් පුදුමයක් ! එනමුත් ඒතරම් කරදර දුක් මැද උනත් මා දුටුවේ ඔවුන් සිනහ නගන අන්දමය.

රටේ අනිත් කොනේ හදවත් වල "ලබ් ඩබ්" ශබ්දය මයි රටේ මේ කොනෙත් හදවත් වලින් ඇහෙන්නේ කියා වටහා ගත් දවසට, මම කියන්නේ , අපි හැමෝම වටහා ගත් දවසට තමයි අනෙකාත් තමන් ලෙස හැඟෙන්න පටන් ගන්නේ.

එහෙම උනානම් මේ අපි දකින වෛරී අදහස් හෝ කියුම් නැති වේවි. මේ තරමින් හරි මේ දේවල් ලියන්න උනන්දුව ලැබුනේ අපි ඒ ගත කරමින් සිටි කාලය ආයේ කිසිවෙකුට මුණ ගැසෙන්නේ නැති නිසා මිසක, ලොකු කමකට පුරාජේරුවකට නොවන බව වටහා ගන්නා තුරු මේ සටහන් ඔබට සමස්ථ වෛද්‍ය ප්‍රජාව ගැනම ඇති වෛරයට භාජනය වන බව මා නොදන්නවා නොවේ.
කොළඹ සැප පහසුව සිටීම වෙනුවට ඈත දුෂ්කර සේවයෙහි යෙදෙන වෛද්‍යවරුන් අතරේ බ්ලොග් ලියන අය ලෙස අනිත්කොන ලියන මා ද, ලෝකයේ කොනක ලියන සිදූ ද  සිටී.

ගිය වර කතාව නවත්තපු තැනින් එහාට ලියන බවට වූ පොරොන්දුව නිසාම මේ ලිපියට කාලය වැය කළෙමි. මා මුලින්ම පත්වීම ලැබූයේ කායික රෝග වාට්ටුවේ වුනත් දමිළ බස කතා කරන්නට පුළුවන් කමක් ඇතිවූ නිසා මට මනෝ වෛද්‍ය ඒකකයෙහි සේවය කරන්නට ලැබෙනවා. මා එම ඒකකයෙන් යන එක ගැන විශේෂඥ වෛද්‍යවරිය අකමැති වුනත්, මනෝවෛද්‍ය අංශයේ අත්දැකීම් ලැබෙන නිසා ඒක මගේ අධ්‍යාපනයට වැදගත් නිසා , ඔවැනි කාරණා සලකා බලා ඇය මට අවසරය ලබා දෙනවා.

ඔබට මතක ඇති, මෙන්න මෙයා පැති මාරු කරලා ..ඔබ තමයි අන්තිම සටනේදී මගේ උරහිසට බෙහෙත් දැම්මේ කියන ගීතා වගේ ත්‍රස්ත සොල්දාදුවන්ගේ ඉඳන්, ආයුධ අතට දී බලෙන් යුද්ධයට ඇද දැමූ ළමා සොල්දාදුවන්, වෛද්‍ය පීඨයට තේරුණත් බලෙන් ඇදගෙන සටනට රැගෙන ගිය ශිෂ්‍යයින්, සිංහල කතා කරන හැමෝටම ගහපු, මම විතරක් බේරුණු ත්‍රස්තවාදී නෑදෑකම් තිබූ පුද්ගලයා වගේම මට දැන් මතකයට එන්නේ නැති සියලු කතා චරිත හමුවෙන්නේ ඒ කාලයේදී ය.

"විස්ස විද්‍යාලෙදි ගෙම්බෝ මරලා සත්තු කපලා පව් පුරෝගෙන ඉන්නේ ඕගොල්ලෝ " කියා මූණටම බැනපු,

"අපිව මේ කූඩු කරගෙන ඉන්නේ අපිට මොනවා කරන්නද ඈ ?" කියා අසමින්, තමන් ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ වැනි චරිත වලින් හඳුන්වපු ස්ත්‍රිය මට මුණගැසෙන්නේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටුව තුලදී.

ඒ කාලේ එහි පොකුණක් සාදා ඒකේ අලුත්වැඩියා පිරිසිඳු කිරීම් කරන්නටත් අපි වෛද්‍යවරුම එකතු වුන කාලේ ඇය වාට්ටුවේ දැල් අතරින් අප දෙස බලාගෙන ඔවැනි දේ කියවනවා අපෙන් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන්.
"අනේ පව් " කියා හිතෙනවා ඇරෙන්න ඔවුන් ගැන ද්වේශයක් කේන්තියක් හිතට ඇතිවෙන්නේ නැත්තේ ඔවුන් මානසික රෝගාබාද වලින් පීඩා විඳින්නන් ලෙස හඳුනාගන්න අපට පුළුවන් වුන නිසා. ඒවගේ පිරිස් අපට මේ සමාජය තුල කොතෙක් නම් මුණ ගැසෙනවා ද ? ඉන්පසු ටික කලකදී අප සමග යහළුවෙන ඔවුන්ගේ කතා අපට කියන්නේ ඒ විශ්වාසය නිසාම යි.

කලින් පෝස්ටුවේ මට මුණ ගැසුනු තැනැත්තා යලිත් හමු වෙන්නේ මනෝ වෛද්‍ය ඒකකය තුල... ඒ මගේ මාරුවත් සමග.
නමුත් ඔහු මා දන්නා බවක් පෙන්නුවේ නම් නෑ.

"මම හරි දුකෙන් ඉන්නේ... කරදරයි ජීවිතේ. " ඔහු ඉඳගත් සැනින් මා හට එහෙම කීවා. මුලදී ඔහුගෙන් ඇසුනේ චෝදනා අඳෝනා සහ කෝපාවිශ්ඨ වදන් පමණයි.
හමුදා සමග හෝ ආණ්ඩුව සමග ඇති කෝපය පිට කලේ අපට බනිමින්. විශේෂයෙන්ම සිංහල ජාතිකයෙක් වුන මට බනිමින්.

ටික කලක් ඔහොම ගෙවෙන විට ඔහු අප සම්බන්දයෙන් කේන්ති ගන්නා එක අඩුවුන බවක් දුටුවා.
 දැන් ඔහු අර නිතර එනවිට අත පය වල තිබුනු විලංගු දකින්න තිබුනේ නෑ.
රැවුල කපා, පිරිසිඳු සරමක් කමිසයක් හැඳි ඔහුගේ මුහුණේ දකින්න ලැබුනේ පැහැපත් බවක්.

"දැන් ඔබේ පෙනුම කොයි තරම් හොඳ ද ! " මම ඔහුට පැවසු විට ඔහුගේ මුහුණේ දකින්න ලැබුනේ විස්මයක්.

"දැන් ඔබට කොහොම ද ?"

"පෙර කාලේ තරම් හොඳ නෑ, දැන් අපේ පාලනය නෙමෙයිනේ... ඒත් මම හොඳින් ඉන්නවා. ඒත් ඒ කාලේ හොඳයි දැනට වඩා"

"ඇයි එහෙම කියන්නේ ?" මම විමසුවෙමි.

"නෑ ඉතින් ඒ කාලේ අපිනේ පාලනය කලේ මේ පැති. දැන් අපි ඉන්නේ අත් අඩංගුවේ නේ. හැබැයි මම නිදහස් වෙනවා තව කාලෙකින්. දන්නවද මගේ වයිෆ් ළමයා නැතිව ඉන්න එක තමයි දුක"

ඉන්පසු ඇතිවුනු කතා බහේදී ඔහු මට ඔහුගේ පවුල ගැන විස්තර කරමින් කියන්නේ ඔවුන් බටහිර රටකට ගොස් නෑයින් සමග සිටිය බවත් දැන් ආයෙත් ඔවුන්ගේ නිවස්නය බලා පැමිණි බවත්, ඔහු බලන්නට එන යන බවත් ය.

අපේ මුල් හමුවීමට වඩා ඔහු මා සමග මිත්‍රශීලී බවක් පෙන්වයි. ඒ මේ ඒකකය තුල පවතින වෙනස්කම් දැයි මට සිතේ. අප රෝගීන් හමුවෙන්නේ වෙනම කාමරයක් තුල දී ය. ඒ කතාබහට අපි කිහිප දෙනෙක් සහාභාගි වෙමු. වෛද්‍යවරු ,(medical officers) හෙද හෙදි, නිළධාරියෙකු (nursing officers) හෝ නිළධාරිනියක , උපදේශකයින් (counselors) සහ මානසික ඒකකයට අනුබද්ධ සමාජ සේවකයින් ( Psyco-social workers )පැමිණේ. මේ සියල්ලෝම රෝගීන් ගැන බොහෝ දුරට දන්නා ගෙදර අය තරම්ම හිතවත් පිරිසකි. ඔවුන්ගේ නිවෙස් වලට ආගිය පිරිස කි. එනිසා කතා බහ පහසු ය.

හාත් පස මලින් පිරී ගිය තුරු ගොමු ය. කොරිඩෝ වල ඉඳගැනීමට බංකු ඇත. වාට්ටුව මැද වතුර මල් , මත්ස්‍යයින් මලින් පිරි පොකුණකි, කුරුල්ලන්ගේ කිචිබිචිය අඩු නැත. මේ සියල්ල මෙලෙස තනවා ඇත්තේ මේ ඒකකයේ සිටින මානව හිතවාදී විශේෂඥ වෛද්‍යවරයාගේ අනුදැනුමින් ය. ඉතින් වාට්ටුවක සිටිනවා කියා සිතෙන්නේ නැති තරම් ය. ඇතුල් වෙන අය යන්නට අකමැතිය. ඒ ඔවුන්ගේ නිවෙස් වල පරිසරය මීට බොහෝ සෙයින් වෙනස් කලබලකාරී ඝෝෂා සහිත තැන් නිසා වෙන්නට පුළුවන.
මාස කිහිපයක දී මට හමුවූ ඔහුත් දැන් මා ඉදිරියේ සිටින ඔහුත් බොහෝ සෙයින් වෙනස් ය. ඔහුගේ වෙනස් වීම සැලකිය යුතු තරමේ එකකි.

"මට ඉස්සර නින්ද ගියේ නෑ. මම තරහෙන් හිටියේ. මට ඒකාලේ තිබුනු තත්වය මට තිබුනු සැප පහසුකම් ගැන විතරයි හිතුනේ. ඒනිසා මට තරහ ගිහින් හිටියේ." මේ සැකවින් ඔහු කියූ කරුණු කිහිපයකි.

"ඉන්පසු මට තේරුනා අපිට දැන් උනා වගේ ඉස්සර අපිත් මිනිස්සුන්ට කරානේ කියලා, මගේ අතින් මිනිසුන් කොයි තරම් මිය යන්න ඇති ද ? මම දන්නේ නෑ ඩොක් . මම අත් අඩංගුවේ ඉන්නවා වගේ ඉස්සර මිනිස්සු අපිත් එහෙම හිර කලානේ, දැන් මට දුක ඒ කාලේ කණපිට පෙරළුණු නිසා"

බොහෝ රෝගීන් එලෙස ඔවුන්ගේ පීඩනය ගැන තමන් සමගම සම්මුතියකට එයි. එහෙයින් ඔවුන්ගේ මානසික පීඩනය හෝ ආතතිය සැලකිය යුතු තරමින් අඩු වේ. පවතින තත්වයන් සමග සංහිඳියාවකට ඒමට ඔවුන් ගේ සිත් වලට හැකිවීම එක අතකට මනෝ උපදේශකයන්ගෙන් ද පැසසිය යුතු අන්දමේ සේවාවක් සිදුවේ. කිහිප ගමනක් ජීවිතය තොර කරගන්නට සිදූ ගීතා (අනවර්ථ නමකි) වෙන්කටේෂ් (අනවර්ථ නමකි ) වැනි චරිත ඔබට මගේ කතා තුලින්, පොතෙන් හමුවෙන්නට ඇති. ඔවුන් සියල්ලෝම තම මනෝ ව්‍යාදි සමග පොරබදමින් ජීවිතය ගොඩ නගන්නේ ඒ උපදේශනයන්ගේ උදව්වෙනි.

ඔහු මෙලෙස තමාගේ පවතින තත්වය සමග සාමකාමී වීම එක අතකට ඔහුගේ අනෙක් ප්‍රශ්නවලට ද විසඳුමකි යැයි මට සිතේ. පුනුරුත්ථාපනය අවසානයේ ඔවුන් සමාජගත විය යුතු වේ. නැවත ඔහු වෙත පැමිණි දරුවා සහ බිරිය සමග ජීවිතය ගෙවන්නට , රැකියාවක් කරන්නට ඔහුට සිදු වේ.

යුද්ධයක සැබෑ ජයග්‍රාහකයෝ හෝ පරාජිතයෝ නැත. යැයි කියමනක් තිබේ. මා දකින්නේ සිදුවූ ඛේදාන්ත වලට ජයග්‍රාහී ලෙස මුහුණ දුන්, ඒවාට සුබදායක ලෙස මුහුණ දෙන පිරිස්ම නොවේ. ඒත් ඔවුන්ගේ මේ මුහුණ දීම්, ගොඩ නැංවීම් සහ අවබෝධකර ගැනීම් ගැන මට ඇත්තේ මහත් ගෞරවය කි. ඒ , මට මෙහෙම උනානම් මේ තරම් දරා ගනීවි දැයි ?  අපි අපෙන්ම ප්‍රශ්න කර සිතා බැලිය යුතු කාරනයක් වන නිසා ය.

පසුගිය කතාවේ අවසානයේ බොහෝ අය ප්‍රශ්න කෙරුවාක් මෙන් ඔහු සැබැවින්ම වෛද්‍යවරයෙක් ද ?
එය එසේ නොවන බව දැනගත්තත් ඇයි එලෙස බොරුවක් කීවේ යන ඒ ප්‍රශ්නය මා කිසිම විටක ඔහුගෙන් ප්‍රශ්න කළේ නැත. ඔහු එලෙස මට කියන්නට හේතු වූ කාරනා දහසක් ඔහුගේ හිතේ තියෙන්නට ඇති. එය වරදක් නොවේ.

ඔහු කවරෙක් වුනත් මට ඔහු අනෙකුන් හා සමාන ය. ඔහු මට කවරාකාරයෙන් පෙනී සිටිය ද මගේ සේවය ලබන්නට එය කිසිවිටක ගැටළුවක් නොවේ.

අපේ ජාතිය විය යුත්තේ මනුස්ස ජාතිය යි. ආගම , කරුණාව සහ උපේක්ෂාව යි. වෛද්‍යවරයෙකු දිවුරුම් දෙන ප්‍රතිඥාවේ ද අඩංගු මෙවැනි කරුණු කාරනා ය.

ඩොක්ටර් යනු ගෞරව පදයක් නොවේ. වෛද්‍ය වෘත්තිකයන් හඳුන්වන පදය කි. ඔවුන් ට දොස්තර ,  "අම්මා" හෝ "අයියා" වෙන්නේ ඒ වෛද්‍යවරයා නම් කෙනා තුල ඇති මනුස්සකම නිසා ය. අපි එනකොට නැගිටින්න එපා, වඳින්න එපා, නෝනා කියන්න එපා, අම්මා කියන්න එපා යැයි මම, ඔබ කොතෙක් කීව ද, නැවැත්තුව ද එය එක් එක් මිනිසුන් තුල ඇති හොඳ නරක මත , මතුවටත් ඇතිවන තත්වය කි. මා කාලයක් සේවය කළ අනිත් කොන රෝහල් වලින් එනවිට ආපසු රැගෙන ආවේ මනුස්සකම ය.

සමස්ථ වෛද්‍ය ප්‍රජාවම එසේ නොවන බව දනිමි.  හරියට උපේක්ෂා පෙර පෝස්ටුවක දී කලාකරුවන් ගැන නැගූ තර්කය වගේම, කළු සුදු චරිත නැත. ඇත්තේ අළුපාට චරිත ය.
*/

Sunday, April 24, 2016

මමත් ඔයා වගේ ...

සලාං බලාං ...සලාං බලාං රෝහල් කොරිඩෝව දිගට දම්වැල් ඇතිල්ලෙන සද්දෙත් එක්ක මට සිහිවෙන්නේ පෙරහැරක යන අලි ඇතුන් ය. අත් දෙකෙත් මාංචු , කකුල් දෙකෙත් මාංචු, ඇතැම්විට ඒ දෙක අතරත් දම්වැලක්... ඒ එක්කම බොහොම භය බිරාන්ත වූ මුහුණු. ඇතැම් විට රකුසු වෙස් ගත් මුහුණු.‍

අනිත් කොන නමින් මා යුද්ධය අවසන් වූ තැන පටන් ජීවිත ගොඩ ගැනීමේ මානුෂීය මෙහෙවරට උරදුන් ආකාරය ලීවේ ඒකාලේ ඒ මොහොතේම ය.
පොත බවට පත්වුනේ ද ඒ කතාම ය. නමුත් දැන් මා ලියන්නේ මේ කොනේ අගනුවර සිට ය. කතා සිදුවීම් මතකයේ ඇති තැන් පීරා සොයා පිරිපහදු කරගෙන ය.

මට ඔහු හමුවෙන්නේ කායික රෝග වාට්ටුවේදී...
අර සලාං බලාං සද්ධ... යුනිෆෝම් කට්ටිය... ඇඩ්මිෂන් මේසයට ඇවිද විත්...

"මේවා ගලවන්න ඉතින්... මට කතා කරන්න බෑ ඔහොම" මම කාරුණිකව ඔහුගේ අත් පළඳනා මාංචු ඉවත් කරන්නට නියම කළෙමි.

"ඩොක්ටර් අලුත් ?" ඔහු ඇසුවේ දෙමළෙන්...

"ඕම් ! " මම එහෙම කියද්දී ඔහුගේ මුහුණේ සිනහවක් ඇඳුනා. මාත් දමිල බව හිතන්න ඇති ..

රෝගියා ඇතුලත් කරද්දී ඒ වෛද්‍යවරයා ලියූ සටහන දෙස මදකට මා දෑස යොමු කරද්දී මා සිතූ ආකාරයෙන්ම, කඳවුරු වල අත් අඩංගුවේ සිටින්නන් මෙහි ගෙන එන පොදු හේතු ගණනාවෙන් එකක් ! ලේ වමනය යෑම. එහෙම නැත්නම් මම මීට පෙර සඳහන් කළා වගේ, ෆිට් එකට දෙන පෙති නොබී සිටීම. ඒකෙන් වෙන්නේ ෆිට්ස් හෙවත් වලිප්පුව වැඩි වෙලා අසාධ්‍ය තත්වයෙන් මොවුන්ව රෝහල් ගත කරන එකයි. එහෙම ඇතුලත් වූවන් මුල් කාලයේදී නම් බොහෝ විට මා මග හරින බවක් වැටහුනා. නමුත් ඔවුන්ගේ බස හුරුවූ පසුව මා සමග වඩා මිතුරු වුනා.

"මම සිංහල, ඒත් ඔබට පහසු බසකින් කතා කරන්න, මොකද්ද ප්‍රශ්නෙ "

මා හිතූ අයුරින්ම, ලේවමනය ගොස් ඇත්තේ සිර කඳවුරේදීය. දුටු කෙනෙක් නැත.

"හරි එහෙනම් ආයෙ ගියොත් අපිට පෙන්වන්න ! යැයි කීවත් මොවුන් බහුතරයක් කැමැති දින කිහිපයක් රෝහලේ ගත කරන්නට නිසා රෝගවලට මුල්වෙන කිසිත් සොයා ගැන්ම අපහසු ය.

"ඩොක්ටර් මමත් ඔයා වගේ ඩොක්ටර් කෙනෙක්... " ඔහු එක්වරම පවසද්දී මට පුදුම සිතිනි.

"කොහොමද ඔබ අත් අඩංගුවට පත් වුනේ" මට ඕනෑ වුනා ඔහුගේ කතාව දැන ගන්න.

අප රටේ දශක දෙකකටත් වඩා ඔඩු දුවපු තුවාලයක් වී, ජීවිත හානි , ආර්ථිකමය අවපාත එක්කම සාමකාමි සහජිවනය විනාශකරන ලද්දේ යුද්ධය නිසා ය.

"මම ඒ පැත්තේ (ත්‍රස්තයින්ගේ) වෛද්‍යවරයෙක් ලෙස සේවය කළා. මගේ දුවයි නෝනයි ඉන්දියාවේ ඉන්නේ..."

"එතකොට ඔබ ඉගෙන ගත්තේ ?"

"ඉන්දියාවේ.." ඒ රටේ නගරයක් සඳහන් කරමින් ඔහු පැවසීය.

"හොඳට ඉගෙන ගත් නිසා මට ඉන්දියාවට යන්න එහෙ ඉගෙන ගන්න ලැබුනා. මෙහෙ ආවේ මේ ගම නිසා. ඉතින් එයාලට වැඩ කරන්න වුනා. " ඔහු ශෝකී මුහුණෙන් අතීත මතක එකිනෙක දිග හරින්නට විය.

"මම ----රමෙත් වැඩ කළා, ඉන්පසු එහෙ තියෙන රෝහලේ වැඩ කලේ අත් අඩංගුවට ගන්නකම්ම"

මොහු එහෙම කියද්දී , මට මතක් වුනේ ඒ කියූ සැනින් අප අහමුවට පැමිණෙන රෝගීන්ගේ නොයෙක් සංකූලතා වලට වගකියන්න වුනෙත් ඔය කියූ රෝහලෙන් පුහුණු නුපුහුණු ද වත් නොදන්නා වෛද්‍ය සභාවෙන් අනුමත හෝ ලියාපදිංචිය නොගත් වෛද්‍යවරු පිරිසක් විසින් කරන ලද සැත්කම් සහ ප්‍රතිකාර බවයි.

එසේ පැමිණි එක් ආච්චි අම්මා කෙනෙක් අපට පැවසුවේ මුත්‍රා කරන්නට දැඩි සේ තැටමිය යුතු බව ය. පරීක්ෂා කරද්දී ඇගේ යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසී තිබුනේ කුඩා හෝ සිදුරක් දකින්නටවත් නොමැතිව ය. ඇය අතේ තිබූනු කාඩ් පතකින් කීවේ ඇය ඒ කියූ ත්‍රස්තවාදීන් විසින් පාලනය කළ ප්‍රදේශයේ රෝහලෙන් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් කර ඇති බවය. එය යෝනිමාර්ගය හරහා කරන ලද VH& R යන නමින් හඳුන්වන සැත්කම කි. එහිදී ඇතිවූ සංකූලතා මගින් අර එවැනි ගැටළු සහගත තත්වයක් පැන නැංඟේ. ඒ ආත්තම්මාගේ මුත්‍රා මාර්ගය නැවත සකස් කරන්නට සිදුවුනා.

දැන් මොහු පවසන්නේ ඔහුත් ඒ කියන රෝහලේ වෛද්‍යවරයෙක් බව ය. සරම් කමිස හැඳගත් මොහුගේ මුහුණ පුරා රැවුල වැවී ඇත. කොණ්ඩය වැවී ඇත. දිස් වෙන්නේ ඉතා අසරණ සේයාවකි. එකම මේසයක දෙපැත්තක අප දෙදෙන ඉගෙනීමෙන් සමාන වුවත් තෝරාගැනීමෙන් වෙනස් වූ නිසා අද ඉරණම් දෙකක් උරුම වී ඇත. මට ඇති වුනේ කණගාටුවක්... තවත් වෘත්තීය සගයෙක් ගැන ඇතිවන දුකට සමාන දුකක්, කම්පාවක් සහ කළකිරීමක් !

"ඔබේ අපහසුතා මග අරින්නට හැකි පහසුකම් සලසන්නම් " මම ඔහු අස්වසමින් පැවසීමි.

"මිස්, මේත් ඩොක්ටර් කෙනෙක්. " කියමින් අලුත් නර්ස් මිස් ටද ඔහුගේ කතාව පැවසූ අතර අපි දෙදෙනාම ඉන්පසු කම්පා වීමු.

 මා නැවත කෑම පැයට නේවාසිකාගාරය වෙත ගිය අතර නැවත වාට්ටුවට ගිය සවස් යාමයේ... සේවා මුරයේ යෙදී සිටියේ පළපුරුදු මෙහි වසර ගණනක් සේවය කරන හෙදි සොයුරියකි.


"අනේ මිස් පව්නේ ඩොක්ටර් කෙනෙක් අර අත් අඩංගුවේ ඉන්නේ" මම මිස් ට මා ඇසූ කතාව කියද්දී...

 "අයියෝ ඩොක්ටර් අලුත්නේ , ඩොක්ටර් ට හොඳ ලණුවක් දීලා.. ඔය ඩොක්ටර් කෙනෙක් නෙමේ..ත්‍රස්තයෙක්... ඔය මනුස්සයා ඔහොමමයි. බොරු කියලා ඇටෙන්ෂන් ගන්නවා... අලුත් අයව අන්දනවා. ඩොක්ටර්ව රවට්ටලා " මිස් හිනාවෙවී කියද්දී මට හිතා ගන්නට බැරි විය. 
"වෙන්න බෑ මිස්... ඔයාලට නොකියා ඉන්න ඇති... මම මගේ හිතට දැනෙන දේ පවසුවෙමි.

"එයා එහෙම තමයි. අනික් ඩොක්ටර්ස්ලා දන්නවා එයා ගැන" ජේෂ්ඨ හෙදි සොයුරියත් එහෙම කියද්දී මට පිළිගන්නට ම විය. ඉන්පසු අපේ ජේෂ්ඨයින්ගෙන් විමසද්දී ඔවුන්ද ඒ බව සනාථ කළෝය.

සමහර විට මා අලුත් නිසා ඔහුට විශේෂ සැලකිල්ලක් ලබා ගැනීමට එසේ බොරුවක් ගෙතුවා වෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් අවධානය ලබා ගන්නට මෙසේ කියුවා වෙන්න පුළුවනි.

ඇයි මෙහෙම බොරු කිවේ යැයි ඔහුගෙන් මා ඇසුවේද නැත. මා ඔහුගේ බොරුව දන්නා බවක් පැවසුවේ ද නැත.
ඔහු මට ඒ ගැන කියන්නට ආවේත් නැත්තේ කනින් කොනින් කිසිවෙකු මගින් ඔහුගේ බොරුව අපි දන්නවා යැයි ඇසුන නිසා දෝ යැයි මට සිතුනි. ඔහු වාට්ටුවේ කෙරෙන සායනික වට වලදී පවා සිටියේ බොහොම භය පක්ෂපාතීව ය. 
නැවත මට ඔහු මුණ ගැසුනේ මනෝවෛද්‍ය ඒකකයේදී ය. (ඒ තවත් කතාවක් ! ඉක්මනින්ම ලියන්නම් )

පසුව ලියමි - මෙහි දී මං හිතන්නේ... දොස්තර කෙනෙක් බව පැවසීමෙන් වැඩි අවධානයක් ලබා ගන්න ඔහු උත්සහ කරන්නට ඇත්තේ ත්‍රස්තවාදි කෙනෙක් සහ දොස්තරකෙනෙක් යන දෙන්නා දිහා සමාජය බලන විදිහ වෙනස් නිසා කියා මට හිතෙනවා. කෙනෙකුගේ වෘත්තීය සලකා බෙහෙත් කිරීමක් අපෙන් සිදු නොවුනත්... කම්පා වීම හෝ අනුකම්පාව නම් ඒ වගේ තැනකදී සමාජයෙන් ලැබෙන්නේ වෙනස් විදිහට නේද ? මේ මට උපේක්ෂා සහ සෑම් ගේ අදහස් වලින් වැටහුනු දෙයක්. ඔහු එහිදී තමන්ගේ භයානක බව හෝ කරන ලද ක්‍රියාවන් සඟවාගන්න (අලුත් දොස්තරගෙන් අනුකම්පාව ලබා ගන්න) එහෙම කළා කියලා හිතන්න පුළුවන් !
වෘත්තීය අනුව එහෙම කියලා සැලකිලි වල ආකල්ප වල හෝ ප්‍රතිකාර වල වෙනසක් සිදු නොවන බවත් ඔබ දන්නවා ඇති යැයි සිතමි. වෛද්‍ය වෘත්තිය එහෙමයි... දොස්තර කෙනෙක් කියන්නේ මිනිසුන් ජීවත් කරන්නෙක් , ත්‍රස්තවාදියෙක් කියන්නේ ජීවිත නසන්නෙක්.. එතකොට ඒ දෙපිරිස දිහා සමාජය බලන විදිහ වෙනස්... සමහර විට ඒ නිසා ඔහු එහෙම බොරුවක් කරන්න ඇති...
ඔහුගේ හිතේ තමන් කළ කී දේවල් එක්ක සමාජය දැන් ඔහුව පිළිගන්නා ආකාරයත් එක්ක කළකිරීමක් තියෙන්න ඇති එනිසා ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස පෙනී සිටින්නට අකමැති වෙන්නට ඇති..

Sunday, April 3, 2016

කුඹුරක් නොදුටුව අපේ ළමයි !

ළමා රෝග වාට්ටුවේ අවුරුදු 3ක් පමණ සේවය කරන මට දුවා දරුවන්ගේ ලෝකය විනාශ වී ඇති අන්දම ගැන දුකක් සහ මේ ඛේදවාචකය පිළිබඳ ලොකු බියක් ඇති වී තිබෙනවා. එයට හේතුව මේ ළමා පරපුර මතු දිනක මේ රටේ පුරවැසියන් වී රටේ අනාගතය බාරගන්නා නිසාය.

මේ ළඟදී මට අපූරු පොත් දොරට වැඩුමකට සහභාගි වෙන්නට ලැබුනා. ඒ වැඩිහිටියන්ට සහ පොඩි හිටියන්ට යන දෙපිරිසටම ලියූ පොත් දෙකක් ජනගත කිරීමක්... ළමා සාහිත්‍ය උදෙසා පොත් ලියවෙනවා අඩු මෙවැනි කාලෙක, පරිවර්ථන පොත් සඳහා දරුවෝ වඩා කැමැත්තක් දක්වන එවැනි පොත් පත් වැඩි මෙවැනි කාලෙක, මනෝරි ලියනවඩුගේ සොයුරියගේ “නෙල්ලි කැලේ බංඩියා” කෘතිය ළමා පරපුර වෙත පිදෙන වටිනා ත්‍යාගයක්. අපේ රටේ පුරාණ ගති සිරිත්, ගම්බද පරිසරය , ගැමි හුරුව මනා ලෙස මේ පොතට කැටි කරන්නට කතුවරිය සමත් වී ඇත. මේ සඳහා පොත කියවූ මගෙන් ඒ ගැන අදහසක් විමසා සිටි මනෝරි අක්කාට.. මා ලියා දුන් ඒ සටහන පොතේ අන්තිම පිටුවේ ඇතුලත් කර ඇති බව ත් දුටුවා. මනෝරි අක්කා තවත් ළමා පොත් ලිවිය යුතුය. ඔබට ඒ සඳහා හොඳ හැකියාවක් ඇති බව මම කියමි. ළමා පොත කියවූ හැමෝම මා සමග එකඟ වනු ඇත. 

මතකත් ඇති ඔබට පෙර කාලෙක ලීව මේ වාට්ටු කතා.... 

" ආයෙ දිව්වොත් එහෙ මෙහෙ යවන්නේ නෑ ගෙදර... " මම සුපුරුදු භය කිරීමේ අවිය පාවිච්චි කරා අපේ වාට්ටුවේ හිටපු දඟම දඟ පැංචෙක්ට.

 " ආ කමක් නෑ මං මෙහෙ ඉන්න ආ....සයි" මේ නම් මහා ඇට්ටර පැංචෙක්. ඒත් මේ ඔවුන්ගේ ඉස්පිරිතාලේ ඉඳීමේ කැමැත්ත පිටුපස මහා ඛේදවාචක ගොඩක් හමුවෙනවා. 

ඔවුන්ගේ ගේදොර සමාජ වටපිටාව විපරම් කල විටයි වැටහෙන්නේ මේ දරුවාට නිදා ගන්න ඇඳක් ලැබුනේ ඉස්පිරිතාලෙදී බව, කුඩා ලෑලි ගෙවල් වල පැදුරු කඩමාලු වල , ඇතැම් විට වැඩිහිටි ආරක්ෂාවක් නැතිව මේ දරුවෝ නිදන්නේ. සමහර ගෙවල් වලට වැස්සට වතුර දැම්ම විට, කන්න බොන්න අඟහිඟ වුන විට, සමහර දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු සරුවල් වුන විට, දරුවන් උස්සාගෙන ඉස්පිරිතාලේ නවතින්න එන අම්මලාත් අඩු නෑ. ඔවුන්ට මේ පරිසර තුලදී ඇසෙන වාග් මාලාව නුසුදුසුය, දකින ආදර්ශයට ගන්නා දේ නුසුදුසුය.


"එහෙනම් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඔන්න දැඟළුවොත් එහෙම ආයෙත්" මගේ භය කරන ටැක්ටික් පාවිච්චි කරා. " අපෝ දෙන්න දෙන්න මං භය වෙයි ඕවට" ඔහු අත පෙන්වයි.


විශ්වාස කරන්න.. මේ පොඩ්ඩාගේ වයස අවුරුදු 4යි. ආයෙම සැරයක් දුටුවේ අම්මා කියන දෙයක් කනකට නොගෙන වාට්ටුව පුරා දුවන ආකාරයයි.


"එක විදියකට ඉන්නේ නෑ දුවනවා වාට්ටුව පුරාම ඉතින් කොහොමද අසනීප හොඳ වෙන්නේ" දඟකාර පැංචා දිහා බලාගෙන මම ඔහුගේ මවට කීවා.
 "අහන්නේම නෑ කියන දේ ඩොට්ට" ඇදුම වැඩි වී පැමිණි මේ පිරිස සිටින්නේ කොයි පුරයකද යන්න කතා බහෙන්ම වැටහේ. 
"බත් කෑවද පුතේ" මම ඔවුන් පරීක්ෂා කරන ගමන් යාළුකම් පාන්නට එසේ අසමි එතකොට මදක් හෝ මොවුන් සන්සුන් වේ. 
"අනේ මේ වැඩක් බලාගෙන යන්න" මේ පැංචා කියයි. 
" මේ දන්නවද මම හරි වසයි" ඇඟිල්ල උරුක් කරමින් පොඩි දුවෙක් දවසක් අප සැමට ගෝරනාඩු කල විට ඇගේ අම්මා කීවේ, "අනේ ඩොක්ටර් ගෙදරත් ඔහොමයි" කියාය.


ඒ ඔවුන් හැදෙන වැඩෙන පරිසරයේ ආභාෂය වෙන්නට පුළුවනි. දරුවන් හැදෙන්නේ වැඩිහිටියන් දිහා බලාගෙනයි. ඔවුන්ගේ කුඩා මනසවල් හරියට අඹන්නට පෙර තියෙන මැටි ගුලියක් වගේ. නමුත් ඔවුන් ජීවත් වෙන සමාජය විසින් ඔවුන්ව කුඩා වැඩිහිටියන් බවට පත්වෙලා.


මට හමුවෙනවා, අවුරුදු දහයටත් අඩු දරු දැරිවියන්, ජීවිතේ එපා වෙලා යැයි කියන. දිවි නහ ගන්න හදන (වැඩිහිටියන් බය කරගන්න ඇට්ටර කමට කරන අයත් ඉන්නවා) බහුතරය ගෙවල් වල වැඩිහිටි ප්‍රශ්න, සමාජ පීඩන හමුවේ ජීවිත් නොවිය යුතුය කියා සිතනවා.


ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ, කනට ඇහෙන්නේ ඒ වයසේ දරුවෙක් නොදැකිය යුතු, නෑසිය යුතු දේ. අපි කොහොමද මේ අයගේ පරිසරය වෙනස් කරන්නේ. අප වාට්ටුවේ තිබෙන රූපවාහිනී යන්ත්‍රය ඉදිරි පිට පොඩි දරුවෝ පෙළ ගැහෙනකොට නම් මම ඉතා කල්පනාකාරීයි, සමහර විට ළමා වැඩසටහන් අතරතුර පෙන්වන වෙනත් වැඩසටහන් ගැන සඳහන් කිරීම් ඇත්තටම දරුවන්ට සුදුසු නැතිවා වගේම අද තිබෙන දැන්වීම් ප්‍රචාරන ක්‍රමද බොහොම බාල වර්ගයේ ඒවාය. 

සිංදු කියා බලන්නට අසන්නට දෙයක් ඇත්තේම නැත. ඒ වගේම මට හමුවෙනවා නගුලක් දැක නැති කුඹුරකට බැස නැති, වැවක ගඟක නාපු නැති දරුවන් පිරිසකුත්, වැල වරකා නොදන්නා දරුවන්ද ජීවිතේට කාපු නැති බාලාංශ පන්ති වල දරුවන් ද හමුවෙනවා. අවාසනාවකට මේ දරුවන්ගේ නිවෙස් පරිසර වල වැඩිහිටි රූපවාහිනී වැඩසටහන් බලන්නට නිරන්තරයෙන්ම මේ කුඩා වුන් පුරුදු වි ඇති ගතියක් දකින්න ලැබෙනවා. රාත්‍රී 8 න් පසු රූපවාහිනිය ළඟ පොදි ගැහෙන්නට අප සමග රණ්ඩු සරුවල් කරන දරුවෝද එමටය. 

වාට්ටුවේ කුඩා උන් සඳහා පුස්ථකාලයක් පැවතියද අපි හරි හෙද සොයුරියන් හරි බලෙන් මතක් කළොත් මිසක් අර අම්මලාටවත් දරුවන්ට නිසි යමක් කියා දීමට උවමනාවක් නැති බවකුයි වැටහෙන්නේ. දෙමාපියන් බොහෝ වෙලාවට ඉන්නේ ඔවුන්ගේ අතේ තියෙන අර ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ඔළුව ඔබාගෙන එහෙම නැත්නම් අල්ලපු ඇඳේ අම්මා එක්ක ඕප දූප කතා කර කර. එහෙමත් නැත්නම් දරුවා එක්කම ඇවිඳින් රෝහලේ කොරිඩෝවේ ඇති ටීවී එකෙන් වැඩිහිටි වැඩසටහන් නරඹමින්.


අප වෙත එන බොහෝ දරුවන් කතා බහ කරන්නේ අඩුවෙන් බව දෙමාපියන් කියයි. බහුතරයක් දරුවන් ටී වී එකට, ලැප්ටොප් එකට, හෝ අයි පෑඩ් ෆෝන්, මේ ඕනෑ ආකාරයක ස්ක්‍රීන් ටයිම් එකකට හුරු වෙලා සිටින අය. මගේ කුඩා දරුවා පවා ටීවී එකක් හෝ ලැප්ටොප් එක හෝ දිහා හැල හොල්මනක් නැතිව බොහොම නිසොල්මනේ බලාගෙන සිටින අයුරුත් එයින් ඇය පවා අප සමග කතා බහ අඩු කළ අයුරුත් මගේ මතකයට නැගේ.


බටහිර රටවල “reduce screen time !” ලෙස පර් යේෂණ පවා සිදු කර දරුවන්ගේ මොළයට, පරිකල්පන ශක්තියට (imagination) මෙන්ම cognitive development , පරිසර සහ මනෝ මූලික වර්ධනයට ඉන් බෝහෝ හානි සිදුවන බව සොයා පැහැදිලි කර තියෙනවා.


ඔවුන් පවසනවා, දරුවන්ට සොබා දහම හා බද්ධ වෙන්න වෙලාවක් වෙන් කරන්න කියලා. මඩ වැලි අනන්න, ගලා යන ස්වභාවික ජලයේ සෙල්ලම් කරන්න ම් ගස් කොළන් අත් ගාන්න, සුරතල් සතුන් හා සෙල්ලම් කරන්න ඔවුන්ට ඉඩ දෙන්න කියලා. එහෙත් කොන්ක්‍රිට් වනාන්තර වල ගාල් වී සිටින අපි කොයි තරම් දුරට අපේ දරුවන් ව මෙවැනි දේවලට යොමු කරනවා ද ? දරුවන් ඇස් වලින් කන් වලින් වගේම ඇඟිලි තුඩු වලිනුත් මුල් අවධියේදී ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එනිසා අත් වලින් අල්ලා බලා ඉගෙන ගන්න පරිසරයේ දේ ඔවුන්ට යොමු කිරීම වඩා වැදගත්. හැබැයි ඒ අල්ලන වැලි ගල් කැට, ගස් කොළ , කටේ දා ගන්නවා දැයි විමසිලිමත් වීම වැඩිහිටියන්ගේ වැඩක් !


ඒවගේම ඔවුන් තව දුරටත් පැහැදිලි කරනවා, දරුවන්ට මව් බසින් මුල සිට කතා කරන්න කියලා. පළමුව මව් බස හොඳින් ප්‍රගුන කරන දරුවෙක්ට වෙනත් බසක් ඉගෙනීම පහසු බව පර් යේෂන මගින් පැහැදිලි කරලා තියෙනවා. එමෙන්ම එහෙම දරුවන් ඉක්මනින් සමාජ සම්බන්ධතා මෙන්ම තමන් වැඩෙන පරිසරය ගැන මහා දැනුම් සම්භාරයක් ඉක්මනින් උකහා ගන්නවා කියලත් කියනවා. ඒකට හේතුව දරුවාට අවටින් ඇසෙන දේ තේරුම් ගත හැකිවීම වෙන්න පුළුවන්. ගෙදරක බහුත්‍රය සිංහල කතා කරමින් සිංහල ටීවී වැඩසටහන් පවා විකාශනය කරමින්, දරුවාට පමණක් ඉංග්‍රීසිය පමණක් හුරු කරවීම සහ කතා කිරීම මා අපේ සමාජයේ නිතර දකින වරදක්.



මේ ඔබට වැදගත් වේ යැයි හැඟෙන මා කියවූ අඩවි කිහිපයක්. මේවායෙන් තව බොහෝ තොරතුරු ලැබෙයි.
මෙන්න මේ ආටිකල් එක වෙබ් එම් ඩී එකෙන්. රෝගාබාද ගැන හරියාකාර තොරතුරු සොයාගන්නට සුදුසු වෙබ් ලිපිනයක්... reduce screen time in teens 
මේ තවත් එවැනි උපකාරී උපදෙස් දෙන වෙබ් අඩවි දෙකක්... healthy kids healthy future - නිරෝගී දරුවන් නිරෝගී අනාගතයක් සහ reduce screen time tools දරුවන් තිරයෙන් මුදා ගැනීමේ ක්‍රම උපායන්
ඉතින් මට සමාජයට දෙන්න පණිවිඩ බොහෝ මයි. නමුත් ලියන්නට ඇති කාල වේලාව අඩුයි. එනිසා හැකි සෑම විටම මේ ආකාරයෙන් ලියන්නට හිතා ගත්තා.