Tuesday, February 1, 2022

කඩල ඇට නාහේ දමාගත් අයියා සහ නංගි

නංගිගෙ නාහෙටත් කඩල් ඇට රිංගවා තමන්ගේ නාහෙටත් දමාගෙන උතුරු කොන රෝහලට ආ පැංචියි එයාගේ අයියයි මට තවමත් මතක, එදා හදිසි ඒකකය වෙත කතා කළ අප කාටත් උගුර කන නාසය සම්බන්ද අත්දැකීම් නොතිබුණු නිසා ය. උතුරු කොන රෝහලේ අප වැඩ කළ එකක වලට අමතරව අපට තිබෙන දැනුම සහ අත්දැකීම් මත හදිසි අවස්ථා වලදී උදව් කරන්නට ද සිදු වේ. හොඳ වෙලාවට "කෝකටත් තෛලය" බවට පත්වන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් සිටින නිසා ඔහුගෙන් ඇසූ විට ඔහු ඒ සම්බන්ධයෙන් අත් දැකීම් ඇති බව කියා විගහින් එහි ඇවිත් උපකරණ කට්ටලය රැගෙන කඩලා ඇට පෝලිම නාහයෙන් සහ කන් වලින් එළියට ගත්තේ අපි හැම ගේම හිනා සහ ඒ දරුවන් වෙත එල්ලවූ අම්මගේ බැනුම්  මධ්‍යයේය. ඒ නිසාම මම ද සෑහෙන්න ඒ ගැන විමසිල්ලෙන් සිටියෙමි. 

දීපවාලී දිනයක මගේ දුව ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ටීචර් නළලත මොට්ටුවක් ඇලවූයෙන්
"මේක කටේ දමා ගනීවි" කියා මම ඊට විරුද්ධ වුවද ඇය කීවේ ඔවුන් එසේ නොවන්නට හොඳින් බලා ගන්නා බව ය.

හවස මොට්ටුව පෙනෙන්න නොතිබුණත් ගෙදර ඇවිත් මළ පහ දැමූ විට ඒ මොට්ටුව පැම්පර් එකේ මළ පහ සමග  ලස්සනට බැබලෙමින් තිබුණේ මට ටීචර්ව මතක් කරමිනි. ඒවගේම එක්වරක් රතු කහ වර්ණ චෝක් කැබලි මළපහ සමග දිදුලමින් තිබුණි. 

තව දිනයක මගේ රාත්‍රී වැඩ කාලයේ පැමිණියේ කුඩා පැංචන් දෙදෙනෙකි. කන් වල වැලි පුරවන් තිබුණේ මුහුදු වෙරළේ නාන්න ගිහින් සිටියදී ය. එසැනින් ඔවුන් උගුර කණ නාසය ඒ කකය වෙත යොමු කලේ කනෙන් එකක් පිරවුණු මුහුදු වැලි සමග ය. තවත් දරුවෙක් ප්ලාස්ටික් බට කැබැල්ලක් කටේ දමා පිඹිමින් සිටියදී හුස්ම සමග එයා ස්වරාලයේ ඔස්සේ පෙනහල්ල දක්වා ගොස් තැන්පත් විය. එය ගැනීමට කඩිනමින් ළමා රෝහලේ ශල්‍ය වාට්ටුව වෙත ගෙන ගියා මතක ය. 

එසේ යම් හානි අවම දෑ ගිල දමා පැමිණ  පසු ඒ දරුවන්ට මළපහ යන තුරු... "ගියාද ගියාද " කියා අසමින් සිට එම ද්‍රව්‍ය මළපහ ඔස්සේ පිට වූ විට මව්වරුන් සමග අපි ද ජය ගෝෂා නගමින් සැනසුම සුසුම් හෙලුවෙමු. 

ළමයි එසේමය. පරිස්සමින් බලා ගත යුතුය. පොඩි පමාවඇති ලොකු ලොකු අවුල් වෙන්නට. 

කුඩා දරුවන් මෙලෙස අහුවෙන සියල්ල කටේ දැමීම සාමාන්‍ය වර්ධනයේ කොටසක් වුණා ට 1995/ සිට  2015 දක්වා රෝහල්ගත වීම් ගණනය කළ පර්යේෂකයන් ඔහායෝ රෝහලේ සංගණනය කදි සොයා ගෙන තිබෙනවා ඒ රෝහල්ගත වීම් 2015 වන විට දෙගුණයක් වි තිබෙන බව. එමෙන්ම 75%කම අවුරුදු 5 ට අඩු දරුවන් බව. ගිල දැමූ දෑ අතර... කාසි , සෙල්ලම් බඩු කෑලි, ස්වර්ණාභරණ , බොත්තම් බැටරි ලෙස හදුන්වන පැතලි බැටරි සහ බෝල්ට් ඇන ස්කුරුප්පු ඇන සඳහන් කර තිබෙනවා. ආභාරණ ගිල දැමීමට ගැහැණු දරුවන් අතර බහුල බවක් සඳහන් කරනවා. 

ඇපල් කෑල්ල හිරවෙලා රෝහලට ගෙන එද්දිත්  මිය ගොස් සිටි දරුවෙක් ගැන මට මේ ලියන අවස්ථාවේ දී මතක් වේ. එමෙන්ම කටින් කැඩූ පොලිතීන් කෑල්ල,  ස්වරාලය අසල හිරවි හුස්ම ගැනීමට අපහසුවෙන් ඇඩමිට් කළ දරුවා ගේ කැස්ස සමග එය යන්තම් එළියට ආ හැටි මතක් වේ. 

බොහෝ විට ඔවුන් ගිල දමන කෑලි බෑලි මළපහ සමඟ පිටවෙන නමුදු අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති spincters හෙවත් වැහුම් ස්ථාන වලින් පිටවෙන්න ට නොහැකි වීම. චලනයේ අවුල් නිසා සිර වීම  සිදුවුවහොත් බඩවැල් තුළ යම් බාධකයක් හිර වීමක් ගොඩ නැගේ. එවිට දිරවු ආහාර ගුද මාර්ගය දෙසට තල්ලු වීම නැවතී බඩ ඇතුලේ obstruction හෙවත් සිර වීමක් දක්නට ලැබේ.
උදරය අසාමාන්‍ය ලෙස පිම්බීම නෙරා එම, උදරයේ දැඩි කැක්කුම ඇති වීම,  වමනය යෑම වැනි දෑ ලක්ෂණ ලෙස පෙනේ. 
කාසි ගිල , විවිධ ඇටවර්ග ගල්කැට ගිල පැමිණෙන ළමයි ඕනෑ තරම්.
බඩවැල් සිරවීමක් දක්නට ලැබෙන්නේ නැත්නම්, දරුවා සාමාන්‍ය ලෙස සිටිනවානම් අප  කරන්නේ මළපහ දමන තුරු දරුවා දැඩි නිරික්ෂණය යටතේ තබා ගැනීමයි. ගිල දැමූ දෙය අනුව එක්ස්රේ ගෙන බැලීම ultra sound මගින් පරීක්ෂ කර බඩවැල් සිරාවීමක් දක්නට ලැබේ දැයි පරීක්ෂා කරන හැක. එනමුදු බොහෝ දෑ ඉබේම මළ පහ සමග පිටවෙන් නමුදු දරුවාගේ වයස සහ ගිල් දැමූ එම දෙයෙහි ස්වභාවය මත මෙය තීරණය කරන්නේ වෛද්‍යවරුන් ය. එනිසා එවන් යමක් සිදුවූ වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. 

බොත්තම් බැටරි හෝ කුඩා බැටරි හරිම භයානකයි.
ඒවා දරුවන්ට හවුවෙන්න තියන්නම් එපා. මේ බැටරි ආම්ලික යුෂ සමඟ ප්‍රතික්‍රියා කර බඩ තුළ පුපුරා යා හැකියි. එසේ වූ දරුවන් ගැන කථා අනන්තවත් දකින්න ලැබෙනවා. එනිසා හැමදේම කටේ දමා ගන්නා වයසේ දරුවන් ඉන්නා  දෙමාපියන් මේ ගැන බොහෝ කල්පනා වෙන් ඉන්නා ලෙස මම නැවත වරක් ඉල්ලමි.
විශේෂයෙන් දරුවන්ට දෙන සෙල්ලම් බඩු වල බැටරි කොටස ආරක්ෂිතව ඇනයකින් සම්බන්ද කර වසා ඇති බව දකින්න ලැබුණත් එසේ නොමැති සෙල්ලම් බඩූ ගැන විමසිලිමත් වෙන්න. එවන් අනාරක්ෂිත බැටරි උපකරණ  දෙන්න එපා.
ඔබේ දරුවාට අහු වෙන්න ඉයර් බඩ්ස් ලෙස හඳුන්වන දුරකථන මෙවලම අහුවෙන්න තියන්න එපා. ඒවායේ කානට සම්බන්ද කරන රබර් කෑලි...ඇතැම් දරුවන් හරි ආසාවෙන් කටේ දමන බව දැන් දැන් ඇසේ. 
මගේ වෛද්‍ය මිතුරියක පැවසූවේ පුටුවේ දමා ඇති කුෂන් කෑලි කෑ දරුවෙක් අධික බඩ බුරුල් වී යෑ මක් සහිතව රෝහල් ගත කළ අයුරුය. 

කපුරු බෝල හරිම විෂ සහිතය.
කපුරු බෝල ඔබ නිවසේ තිබෙනවා නම් වහා ඉවත් කරන්න. මුත්‍රා සමග ලේ පිටවීම එක්ක එසේ රෝහල් ගත කළ දරුවා දැඩි සත්කාර ඒකකයේ දී අවසන් ගමන් ගිය හැටි මතක් වේ. 

මේ විවිධ මෙවලම් ඇසුරුම් සියල්ල හදන්නේ රසායනික අමුද්‍රව්‍ය යොදාගෙන ය ඒවා දරුවන්ට විෂ සහිත විය හැක. 

එනිසා වැඩියෙන් ප්‍රවේශම් වෙන්න. ශ්වසනාලයට ඇතුල් වුවහොත් පෙනහළු වලට හුස්ම ගන්නා වාතය ගෙන යන් කුඩා නාලයක් පහසුවෙන් මේ නිසා වැසී යා හැකියි. එවිට කින්නින් ඒ දේවල් එළියට නොගතහොත් පෙනහළුවලට හානි පැමිනේ. ඔක්සිජන් නිසි ලෙස නොලැබීමත් සමග ජීවිත හානි පාවා ඇතිවිය හැක. 

මෙන්න ඔබට කළ හැකි දේ 

මෙසේ ගිල ගන්නා බොහෝ දේ කරදරයක් නොමැතිව ශරීරය හරහා ගමන් කරයි, නමුත් සමහරක්  ගැටළු ඇති කළ හැකිය.  නියපොතු සහ ඇණ යන විට ඒවා නිසා ආහාර මාර්ගයේ බිත්ති සීරීමට ලක් විය හැක, නමුත් වඩාත් ගැටළු මතුකරන  වස්තූන් වන්නේ බැටරි සහ චුම්බක ය.  බැටරි මගින් ආමාශ බඩවැල් පුළුස්සා දැමිය හැකි අම්ලයක් නිකුත් කරයි.  චුම්බක හෙවත් කාන්දම් නම් ඊටත් වඩා භයානක යි. හදිසියේ වත් දරුවා ඔය පොඩි පෙති ලෙස ඇති කාන්දම් එකකට වඩා,ගිලලා නම් ඒවා එකිනෙක ආමාශය හෝ බඩවැල් තුළ ඇලෙනවිට බඩවැල් එකිනෙකඅතර සිරවිය හැක. මා ඉහත සඳහන් කළ අධ්‍යයනයේදී එම රෝහලට කාන්දම් ගිල ආ ලමුන්ගෙන් 13.3%කම එක්කට වඩා ගිල දමා තිබුණා.  ඒ එක්කම එහෙම ගිලපු ළමයින්ගෙන් 71%ක් ම රෝහල්ගත කරන්නත් වෙලා . 

අපි කියන්නේ prevention is better than cure කියලානේ . හොඳම ප්‍රතිකාරය වන්නේ වැළැක්වීමයි.  

ඉතින් වැඩිහිටියන්ට දරුවන්ට සෙල්ලම් බදු දීමේදී ඒවායේ ගහලා තියෙන 2+, 3+ කියා සඳහන් වයස් නිර්දේශය කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්.  එහෙම සඳහන් වෙන්නේ හේතුවක් ඇතුවයි. 

ළමයාට අත් පෙවිය හැකි මානෙන් කටේ දමා ගිලිය හැකි අනතුරු සහිත කුඩා දේවල් කිසිවක් තියන්න එපා.  මෙය පැවසීමට හරි පහසු බව මම දන්නවා , මටත් එහෙම කාලයක් ගත වුණු නිසා ඒත් ළමයා වෙනුවෙන් ඒ දේ කළ යුතුයි. 

  කාසි, බෙහෙත් වර්ග , බැටරි, ආභරණ ආරක්ෂිතව ගබඩා කිරීමට පුරුදු වෙන්න.  ආ ඒ එක්කම ම මතක තියා ගන්න  ඖෂධ වර්ග සහ රසායනික පිරිසිදු කිරීමේ ද්‍රාවණ හෝ ද්‍රව්‍ය ළමයින්ට අල්ලන්න බැරි තැන්වල තියන්න.

ඒ වගේම තේරෙන වයසක නම් හුස්ම හිරවෙන්න හැකි ද්‍රව්‍ය අපට අහිතකර ද්‍රව්‍ය කටේ දමන එකේ අහිතකර බව සහ හානිය දරුවාට වටහා දෙන්න. 
ඔබේ දරුවා යමක් ගිල දමා ඇතැයි ඔබ සිතන්නේ නම්, වහාම ඔබේ වෛද්‍යයවරයා අමතන්න.  ඔවුන්, කපුරු බෝල,  බැටරියක් හෝ චුම්බකයක් වැනි හානි දායක රසායන අඩංගු දෑ ගිල දැමූ බව ඔබ සිතන්නේ නම්, වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන යන්න. 
හැම විටම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. 
කුඩා දරුවන් මොකක් හෝ කටේ දමා ගන්න ඇහැ පිය හෙලන ප්‍රමාදය ඇති ! 
- වෛද්‍ය බෝධිනි සමරතුංග 

පින්තූර අන්තර්ජාලයෙනි. රවුම් කාසි හැඩය පෙන්වන එකස් රේ සටහන් ද ඇත. උපුටා පල කරන්නේ නම් පිටුව සබැඳිය share කරන මෙන් ඉල්ලා සිටිමි. 
 වැඩිදුර මා සඳහන් කළ අධ්‍යන කියවන්නට 

https://publications.aap.org/pediatrics/article/143/5/e20181988/77066/Foreign-Body-Ingestions-of-Young-Children-Treated

Tuesday, January 11, 2022

කළු පෙනහළු පෙන්වූ මහාචාර්යවරිය

විදුසර පුවත් පතේ පලවු ලිපියකි


මිනිස් සිරුරේ පටක අන්තිම සෛලය පෙනෙනකම් තුනීවට කපා සකසා තිබූ වීදුරු තැටි, අන්වීක්ෂයක ආධාරයෙන්, පරීක්ෂා කරමින් ඒවායේ පටක සැකැස්ම, සෛල ව්‍යූහය, මිනිස් සිරුරේ සෛල වෙනස් වෙන හැටි සහ වෙනස්වන විට දකින දේ වටහාගන්නා ව්‍යාධිවේදය කියන විෂය උගන්වන මහාචාර්යවරිය පළමු පාඩමට පර්යේෂණාගාරයට ආපු ගමන් හරි අපූරු ප්‍රශ්නයක් ඇහුවා.

"කියන්න බලන්න ඔයාලා අතරේ සිගරට් බොන අය කවුද?” කියන ඒ තමා ඇය ඇසූ ප්‍රශ්නය.

අපි නම් ඒ වන විටත් දැනගෙන හිටියා අප අතර දුම් බොන්නේ කවුද කියලා. ඇත්තටම අපේ යාලුවන්ගේ සිගරට් බීම අපට වදයක් වෙලා තිබුණේ. ඒ අතරත් බෙහෙවින්ම දුම් පානයට ඇබ්බැහි වෙලා හිටිය යහලුවා ඒ බව දන්න නිසා අපි අසල කවදාවත් සිගරට් බීවේ නෑ. එයා සිගරට් බොන්න පටන් අරන් තිබුනේ තරුණ කාලෙදී, ඒක ඒ රටේ හැටි. අපේ රටේ ඒ තරම් වයසකදී සිගරට් බොන අය අපි දැකලා තිබුනේ නැති තරම්. ඒ අපේ රටේ දුම් බීමට එරෙහිව ගෙන ගිය සෞඛ්‍ය ප්‍රචාරණ ක්‍රමවේදය නිසා. 

දුම් බීම ලොව පුරා මරණ මිලියන අටකට වගකියන බවත් සිගරට් බොන අයගෙන් අඩක්වත් ඒ නිසා ඇතිවන අතුරු ආබාධ නිසා මියයන බවත් ලෝක සෞක්‍ය සංවිධානයේ දත්ත වාර්ථා කරනවා. සෞඛ්‍ය අංශ නොයෙක් ආකාරයෙන් අනතුරු ඇඟෙව්වත්, දුම් කොළ ආශ්‍රිත ඇබ්බැහිවීම් අඩු කරගන්න අපහසු මිනිසුන් එයට ඇබ්බැහි වීමේ තත්ත්වයක් ඇති නිසා. දුම් පානය සහ දුම් කොළ ආශ්‍රිත විවිද නිශ්පාදන භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු අතර, පිළිකා, හෘද රෝග, දියවැඩියා, අධික රුධිර පීඩනය වගේ බොහෝ රෝග දක්නට ලැබෙනවා. ඒවගේම තමා දුම් රහිතව භාවිතා කරන දුම්කොළ නිශ්පාදන නිසා පිළිකා තත්ත්ව බොහෝමයක් ඇතිවෙනවා. එයින් සිදුවන ආර්ථික හානිය ගැන කියන සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ 80% වඩා දුම් කොළ භාවිතා කරන්නන් සිටින්නේ මධ්‍යම සහ අඩු ආදායම් ලබන පිරිස අතර බව.
දැන් අපේ යහළුවාගෙ කතාව දිහා බලමු. අපි කොච්චරවත් සිගරට් බොන්න එපා කිව්වට එයා කීවෙම, ඒක පුරුද්දක් සහ ඇබ්බැහියක් වෙලා කියලා. මේ අවුරුදු හයක විතර පුරුද්ද, අපි කිව්වා කියලා නවත්වන්න බෑ කියලාත් කියනවා. වැඩිහිටි අයෙක්ට යමක් පැහැදිලි කිරීම අපහසු නිසාත් යුරෝපා සමාජයේ තමාගේ හෝ අනෙකාගේ විදිහ වෙනස් කරන්න යන්නේ නැති නිසාත් අප ඒ හැටි එයාට කියන්න ගියෙත් නෑ. දේශන හෝ වැඩමුළු ඉවර වුණු ගමන් අතර මැද පොඩි විවේකයෙත් ඔහු එළියට දුවලා සිගරට් බොනවා.දුම්කොළ පිළිකා කාරකයක් වන අතර පිළිකා වර්ග බොහෝමයක් ඒ සමඟ ඈඳී තිබෙනවා.
පෙනහළු, ස්වරාලය, මුඛය , අන්නස්‍රෝතය, මුත්‍රාශය, වෘක්ක, බඩවැල්, ගුදමාර්ගය, ගැබ් ගෙල සහ ලියුකේමියා තත්ත්වය දුම්කොළ නිසා පිළිකා තත්ත්වයන් ඇතිවන ඉන්ද්‍රිය ලෙසට ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතන පෙන්වා දෙනවා. දුම් රහිත හෝ දුම් සහිත යන මේ ක්‍රමවලින්, දුම් කොළ වලින් මිනිස් සිරුරට සිදුවන හානිය බොහොම වැඩි බව ඔවුන් පෙන්වා දෙනවා.

ඉතින් උදෙන්ම අපේ මහාචාර්යවරිය ඇවිත් "සිගරට් බොන්නේ කවුද?" ඇහුවම ඒ වෙද්දි එහෙම බොන එකම කෙනාව, එයාටත් කලින් අපි පෙන්නුවා. 

"ආ මට ඔබට තෑග්ගක් තියෙනවා" කියූ ඇය වීදුරු පෙට්ටිවල ද්‍රාවණ පුරවා ගිල්වා තිබ්බ මිනිස්

අවයව අතරින් පෙනහළු දෙකක් තෝරාගෙන ඇවිත් ඔහුගේ මේසය උඩ තැබුවා.

" මෙන්න ඔයාගේ පෙනහළු දෙක.. දැම්ම තියා බලාගන්න" කියල ඇය පාඩම පටන් ගන්න

එයාගේ මේසෙට ගියා. කළු ගැහිච්ච පෙනහළු දෙකක් මේසය මත තිබුණා.

අපේ යාලුවා සෑහෙන වේලාවක් කල්පනා කරමින් හිටියා.

"ඇයි ප්‍රොෆ් මෙහෙම කරන්නේ" කියලත් ඇහුවා.

"යථාර්තයෙන් පැනලා යන්න බෑනේ දරුවා. කොහොමත් ඕටොප්සි කරද්දී ඔයාට මේවා හොඳටම පෙනෙයි. ආතෙරෝස්කෙලෝසිස් තත්ත්වය ඇති ධමනි මං පෙන්වන්නම්කෝ, යුරෝපේ, අපිට smokers lungs (දුම් බොන අයගේ පෙනහළු) සහ , Artherosclerosis (ධමනි බිත්ති ඝණ වීම්) අඩු නෑ" මහාචාර්‍යවරිය පැහැදිලි කරා. ඕටොප්සි කියන්නෙ ප්‍රාණය නිරුද්ධ සිරුරු විච්ජේදනය කර මරණයට හේතු සොයා බලන එකට. දෙවෙනි දවසෙත් මහාචාර්‍යවරිය පන්තියට ආ සැනින් බැලුවේ ඔහු ඉන්නවද කියලා.

"ආ කොහොමද දරුවා... ඉන්න ඉන්න.. මෙන්න ඔයාගේ පෙනහලු" අර වීදුරු පෙට්ටිය ඔහුගේ මේසය මත තියලා ඇය පාඩම පටන් ගන්නේ.

මේ පිටුවේ ඇති පින්තූරේ දැක්වෙන්නෙ smokers lungs, හෙවත් සිගරට් බොන කෙනෙක්ගේ පෙනහළු දෙකක්. ඔබ සිගරට් බොනවානම් මේ පින්තූරේ බිත්තියේ ගහගන්න. ඉන්පස්සේ දිනෙන් දින ඔබේ පෙනහළුවලට වෙන දේ ඔබේ හුස්ම ටිකට වෙන දේ වටහාගන්න. සිගරට් කියන්නේ ශරීර සෞඛ්‍යට අහිතකර දේවල් ගොන්නකින් එකක් තමා. ඒත ඒක අපට
ලේසියෙන් වලක්වාගත හැකි හානියක් ලෙස හඳුනාගෙන ඇත්තේ.

අපේ යාලුවා කීවේ එයා බීපු සිගරට් ප්‍රමාණයේ තරමට පෙනහළුවලට සිරුරට සිදුවුණු ඒ හානියෙන් මිදෙන්න අවුරුදු දහයක්වත් ගතවෙයි කියලා. ඒවගේම තමා දුම්කොළ ඇබ්බැහිය සහ දුම්පානයට වැට බඳින්න ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා (WHO FCTC). එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය යටතේ සාකච්ඡා කරන ලද පළමු ගිවිසුම යි. එය, උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍යයක් සඳහා මිනිසාට ඇති අයිතිය යළි තහවුරු කරන, සාක්ෂි මත පදනම් වූ ගිවිසුමක්. වෙළඳපල ඇති ඉල්ලුම, රටවල්වල ඇති විවිධ වෙළඳ සම්බාධක ලිහිල් වීම, වෙළඳපොළේ නිදහස වැනි කාරණා නිසා දුම්කොළ වසංගතය පැතිරීම පහසු කරයි. අප රට ද මේ ගිවිසුම හා එකඟතාවය පළකර එයට එකතු වූණේ 2016 දී ය. දුම්කොළ සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම සඳහා මිල සහ බදු වැඩි කිරීම , ප්‍රචාරණය වැලැක්වීම, ප්‍රජාව, දුම්කොළ දුමාරය ට නිරාවරණය වීමෙන් ආරක්ෂා කිරීම. දුම්කොළ නිෂ්පාදනවල අන්තර්ගතය නියාමන ය කිරීම වැනි දෑ මෙන්ම අප රටේ පවා ක්‍රියාත්මකවන බාල වයස්වල අයට දුම්වැටි විකිණීම තහනම් කිරීම, සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සහිත දවටන, පොදු ස්ථානවල දුම්පානය වැලැක්වීම වැනි බොහොම සාර්ථක දුම්කොළ දුම්වැටි ප්‍රචාරණය වළක්වන ක්‍රමවේද මේ හරහා දියත් වෙනවා.

ඒත් තවමත් දුම් රහිත දුම්කොළ භාවිතය අතින් අප රට වගේම දකුණු ආසියාතික රටවල් ඉදිරියෙන් ඉන්නවා. බුලත් විට වැනි දේ ඔස්සේ දුම් රහිත දුම්කොළ භාවිතය හරහා කලින් පැහැදිලි කළ පිළිකා, බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම තිබෙනවා. දුම්කොළ වවන තැන්වල වැඩකරන සේවකයින්ට පවා සෞඛ්‍ය හානි ඇතිවෙනවා. ආර්ථිකයට ඒ තුලින් මූල්‍යමය ශක්තියක් සැපයෙන නිසා දුම්කොළ වගාවට වැට බඳින්නට තවම අපහසු වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් අදවන විට මේ දුම් රහිත දුම්කොළ භාවිතය අවම කරන්නටත් විවිධ විදි විධාන ක්‍රියාත්මක වෙනවා. කළු පෙනහළු බැලූ යහළුවා තුළ හරි අපූරු වෙනසක් සිදුවෙනවා. තවත් දවස් දෙක තුනකට පස්සේ ඔහු මුළු පන්තියටම කියනවා,

"අවුරුදු 16 සිට නොකඩවා දුම් බීව මම මෙතැන් පටන් දුම් බොන්නේ නෑ. ඒක එහෙම තමා..ඔයාලා පිළිගන්නවානම් පිළිගන්න. ප්‍රොෆ් ඔයාට තමා මේකේ ප්‍රණාමය. මම බීපු දුම් තොගේට මගේ පෙනහළු දෙක දැනටමත් මෙහෙම වෙලා ඇති ඒත් තව අවුරුදු හතක් අටක් යද්දී මේ සියල්ල ඉවත්වෙලා යතා තත්ත්වයට පත් වෙයි." එහෙම කියලා එයා ආයෙම ඒ කළු පෙනහළු සහිත වීදුරු පෙට්ටිය ගිහින් රාක්කයෙන් තියනවා.අපි හැමෝටම එතැන් පටන් තිබ්බ ප්‍රශ්නේ යාලුවා අපට බොරුවක් කරනවාද කියලා බලන එක. සතියක් තිස්සේ අපි එක්කම රෝහල් සායන සියල්ලට යනවා. කිසිම ආකාරයකින් සිගරට් එකක් ගැන කතාවක් නෑ.

"ඔයාට නිකොටින් පැච් එකක්වත් එපාද ?” බැරිම තැන කෙනෙක් අහනවා. සිගරට් බීම නවත්වන්න අවශ්‍ය අය සමහර විට විකල්ප ක්‍රම භාවිතා කරනවා. ඒවා නිකොටින් පැච් හෙවත් දුම්කොළවල අඩංගු නිකොටින් නම් රසායනය කෘතිමව හම හරහා නිකුත් කරන ඇලවුම්, ඊළඟට වෙනත් රසායන අඩංගු දුම් පයිප්ප වැනි දෑ තිබෙනවා. ඒත් පර්යේශන පෙන්වා දෙන්නේ ඒවා වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකර්ම ලෙස භාවිතා කරන්නෙ නම් ඒවා අඩු කාලයකින් භාවිතය නවත්වන්න කියලයි. යහළුවා ඒ විකල්ප ප්‍රතික්ෂේප කරනවා.

"නෑ එපා. හිතට කීවා මේක නවත්වමු කියලා. දැන් ඇති කියලා හිතුවා ! එච්චරයි" එයාගේ කතාවෙන් අපි පුදුම වෙනවා.

"හිතට පුළුවන් නවත්වන්න. ඇඟේ ප්‍රශ්න ඉවසන්න ඕනෙ"අවුරුදු දෙකක හමුදා සේවය එහෙම නිමකරලා වෛද්‍යවරයෙක් වෙලා දැන් විශේෂඥ වෛද්‍යයවරයෙක් වෙන්න පූහුණුව ලබන මිතුරා කීවා.

එයා ආය කවදාවත් සිගරට් බිව්වේ නෑ.


වැඩිදුරකියවන්න, මෙහි කරුණු උපුටා ගත් තැන්.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙ පිටුව https://www.who.int/news-room/fact-sheets/detail/tobacco
FCTC ගැන - https://www.who.int/fctc/text_download/en/

Tobacco growing and sustainable development goals, Kulik, M.C. (2017) doi: 10.2471/BLT.16.175596

ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතනය, දුම්කොළ සම්බන්ද විස්තර - https://www.cancer.gov/about-cancer/causes-prevention/risk/tobacco 




Thursday, January 6, 2022

බයිසිකල් පැදීම....ලෝකයේ කතා

බයිසිකල් පැදීම..
(විදුසර ලිපි අංක 3, 2022 ජනවාරි පස් වැනි දා)
වෛද්‍ය බෝදිනි සමරතුංග

යුද්ධය අවසාන වූ සමයේ උතුරු ප්‍රදේශයේ මහ රෝහලක සේවය කරන කාලයේ අප නගරයෙන් ඔබ්බෙහි වූ ගම්මානවල පැවැති ජංගම වෛද්‍ය කඳවුරුවලට සහභාගි වුණා. විශාල වූ උදර සහිත, මන්ද පෝෂණයෙන් පෙළුණු දරුවන් දැකීම එකල සුලබ දසුනක්. එහෙත් ඉන් වසර ගණනාවකට පසු අග නගරය ආශ්‍රිත රෝහල්වල දී අප කෙමෙන් කෙමෙන් දුටුවේ අධි ස්ථුලතාවය සහිත නමුදු පෝෂණ ඌනතා තිබූ දරුවනුයි.         

“කොහොම ද මම බර අඩු කරගන්නෙ?” එසේ අසමින් සිටි මා ඉදිරියෙ සිටිය යෟවනයා අධික ලෙස ස්ථුලතාවයට පත් වී, ඒ නිසා ම බෝ නො වන රෝග ගණයට වැටෙන දියවැඩියාව වැළඳීමේ අවදානමක් පෙන්නුම් කළා. උසට සරිලන බර (BMI) හෝ නියමිත ඉන වට ප්‍රමාණය (waist circumference) යන මේවා මඟින් මැන බලා රෝගී තත්ත්වයන්ට ලක් වීමේ අවදානම සොයා බලන්නට හැකියාව තිබෙනවා. ළමා වාට්ටු සායනවල දී උස සහ බර සලකුණු කරද්දී එහි වෙනසක් පෙන්නුම් කරන දරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ විට පෙනී යන්නේ, අහිතකර ආහාර රටා සහ ශරීර ක්‍රියාකාරකම් නොමැති වීම මෙම තත්ත්වයන්ට හේතු වන බවයි.     

දිගු කාලයක් හිඳගෙන සිටීම නිසා දරුවන් පමණක් නො වේ වැඩිහිටියන් ද බොහෝ සෙයින් අචල ජීවිතයක් ගත කරනු අද දක්නට හැකියි. මේ අචල ජීවන රටාව එහෙමත් නැත්නම් එක තැනකට වෙලා දිගු කාලයක් සිටීමේ ආදීනව දැඩි ලෙස ලෝකය ගිල ගනිමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නේ ඒ හා බැඳුණු රෝග ගණනාවක් ලොව පුරා මරණවලට වගකියන නිසයි. වර්තමානයේ ශාරීරික ක්‍රියා කාරකම්වල යෙදීම සෞඛ්‍ය ප්‍රතිලාභයක් ලෙස හැඳින්වෙනවා. එමෙන් ම මා මීට පෙර සුව මඟ මතක ලිපිවල සඳහන් කළ පරිදි තිරසාර සංවර්ධන අරමුණු සඳහා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම සහ එක තැන රැඳී ඉන්නා කාලය අඩු කිරීම ඇතුළත් වෙන්නේ එ තුළින් සෞඛ්‍ය අංශයේ මෙන් ම එසේ නො වන අරමුණු බොහොමයක් සාක්ෂාත් කරගැනීමට මඟ පාදමින්. 

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ සතියකට මිනිත්තු 150ක පමණ ප්‍රමාණවත් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙනවා නම් අකාලයේ ඇති වන මරණ අනුපාතය 10%කින් අඩු කළ හැකි බවයි. නවීන ලෝකයේ තාක්ෂණික දියුණුව සහ තොරතුරු හුවමාරුව කොයි තරම් වැඩි අගයක පැවතිය ද භෞතිකමය වශයෙන් අක්‍රිය නිසා එය සෞඛ්‍යය කෙරෙහි අනිටු විපාක ඇති කරනවා. 
දරුවන් බොහෝ දෙනෙක් පාසල් තුළ වැඩි කාලයක් ගත කරන්නේ හිඳගෙන. ඉන් පසු අමතර පන්ති හෙවත් ටියුෂන් ගන්නේ ද හිඳගෙනයි. දවසෙන් වැඩි කාලයක් පාඩම් සඳහා ගත කරනා ඔවුන් හට ව්‍යායාම සඳහා කාලයක් ඉතිරි වන්නේ නැහැ. සමහර දරුවන් ශරීර සුවතා ව්‍යායාම සඳහා ජිම් එකකට වැනි විශේෂිත තැනකට යන නමුත් නිසි ව්‍යායාම පිළිබඳව හැදෑරීමක් හෝ මඟ පෙන්වීමක් නැති තරම්. ආහාර රටාව වුවත් සුවදායී නැහැ. ක්ෂණික ආහාර සහ පිෂ්ටය අධික තෙල් සහිත ආහාර දරුවන් අතර ප්‍රචලිතයි.  තිරසාර සංවර්ධනය ඇති කරන ශාරීරික ව්‍යායාම් ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කරන ඊවදරබ්ර් ඇතුළු පිරිස පවසන්නේ නිසි ශාරීරික ක්‍රියාකාරකම් කළමනාකරණය තුළින් බලශක්ති අර්බුදයට පවා විසඳුමක් ලැබෙන බවයි. ඒ තමන්ගේ දිනපතා ගමනාගමනය සඳහා පා පැදි භාවිතය හෝ පා ගමන් තුළින් ඉන්ධන දහනය නිසා ඇති වන හරිතාගාර 
වායු දූෂණය අවම වන නිසා. එනමුදු ලෝකයේ සෑම රටක් ම පා පැදි හෝ පා ගමන් සඳහා සුරක්ෂිත භාවයක් ඇති තැන් නො වෙයි. මෙහි දී, අනාරක්ෂිත මං තීරු, දවසේ සෑම කාලයක ම ආරක්ෂිතව ඇවිදිය නො හැකි සමාජ තත්ත්වයන් ඇති නගර නිසා, හෝ ආබාධිත තත්ත්වයන් නිසා මිනිසුන් පාගමන් හෝ පා පැදි භාවිතයෙන් වැළකී සිටිනවා. තවත් සමාජයන්හි සංස්කෘතික ජීවන ක්‍රම, ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඇති කරනා බෙදීම් නිසා ශාරීරික ක්‍රියාකාරකම් කිරීම සීමා වී තිබෙනවා.      
මා වෛද්‍යවරියක ලෙස උතුරු කොන රෝහලේ සේවය කරන කාලයේ භාවිත කළේ පා පැදියක්. එය මගේ ප්‍රථම සහ එක ම වාහනය වුණා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල බොහෝ පිරිසකගේ ප්‍රවාහන මෙවලම පා පැදිය වූ නිසා එය අපහසුවකින් තොර ව පරිහරණය කළ හැකි වූවා.  
“වෛද්‍යවරියක වී බයිසිකලයක් පදින්න ලැජ්ජා නැද්ද?” එසේ විමසුවේ ඇතැම් දකුණු කොන මිතුරන්.
එවන් වූ සමාජ ආකල්ප නිසා හිරු එළිය අවුරුද්ද පුරා ම ලැබෙන ශ්‍රී ලංකාව වැනි රටවල වුව ද ශරීරයට සුවය ගෙන දෙන පා පැදි භාවිතයෙන් සමාජය ඈත් වී සිටිනවා. පා පැදි භාවිතය තුළින් ඇති වන ප්‍රතිලාභ රැස දන්නේ නම් අප සමාජය වැඩි වැඩියෙන් පා පැදිය වෙත යොමු වනු ඇතැයි මට සිතෙනවා. මා දකින යුරෝපීය රටවල බයිසිකලයක් පැදගෙන රෝහලට හෝ වැඩපළට යෑම හරි ම සුලබ දසුනක්. වසරෙන් බාගයක් ම හිමෙන් වැසී යන මේ රටවල වුව ද බයිසිකල් මං තීරු පැය විසි හතර පුරා එළිය කරන අතර ඒවායේ හිම දිය වෙන්නට විදුලියෙන් උණුසුම් කරන බව ද දැකිය හැකියි. ඉතින් දැඩි හිම පතනයක් තිබිය දී වුව ද නගරය ආශ්‍රිත පා පැදි සහ ඇවිදින මං තීරු ඉතා පහසුවෙන් ආරක්ෂිත ව ගමන් කළ හැකි ලෙස පවතිනවා. දියුණු සමාජයන්හි එසේ වැඩි වැඩියෙන් ශාරීරික ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරද්දී දියුණු වෙමින් පවතින රටවල වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන්නේ රෝද හතරේ වාහනයක් ගැනීමටයි. ඇමෙරිකාව, කැනඩාව වැනි රටවල ආයතන ශරීර සුවතා ව්‍යායාම මධ්‍යස්ථාන (ජිම්) සඳහා අවුරුද්ද පුරා නොමිලේ භාවිත කිරීමට පහසුකම් සපයන අතර එවන් ආයතන සඳහා බදු සහන පවා ලබා දෙන බව සඳහන් වෙනවා. අධි රුධිර පීඩනය, හෘද රෝග මෙන් ම දියවැඩියාව වැනි බෝ නො වන රෝගවලින් වැළකීම සඳහා ද ශරීර සුවතා ක්‍රියාකාරකම්වල යෙදීම උපයෝගී වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ශාරීරික ව්‍යායාම හෝ ක්‍රියාකාරකම් සඳහා ලෝකයේ රටවල ජාතික ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම උදෙසා ඔවුන් ක්‍රමවේද සකස් කර මූලිකත්වය ගෙන ඇති බවයි. ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ආරක්ෂිත ස්ථාන නිර්මාණය කිරීම, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ක්‍රියාශීලී පුද්ගලයන් නිර්මාණය කිරීම උදෙසා මහජනතාව දැනුවත් කිරීම මඟින් වත්මන් සහ අනාගත පරම්පරාවන් හට බෝ නො වන රෝගවලින් ඇති අනිටු ප්‍රතිඵල මැඬපැවැත්වීමට හැකි වනු ඇති. එමඟින් බොහෝ  තිරසාර සංවර්ධන අරමුණු  සාක්ෂාත් කරගැනීමට හැකියි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට බයිසිකල් පැදීම දිරිමත් කිරීම සහ ආරක්ෂිත පාපැදි මාර්ග හඳුන්වා දීමෙන් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකි අතර බලශක්ති පරිභෝජනය, අධික කාබන්ඩයොක්සයිඩ් විමෝචනය, ඛනිජ ඉන්ධන පරිභෝජනය සහ මාර්ග තදබදයට ද එය විසඳුමක්. කොතෙක් මේ ගැන ලීව ද පා පැදි සඳහා වෙන් වූ මංතීරු නොමැති විට නගර තුළ පා පැදි ගමන භයංකර යැයි මට සිතෙනවා. බොහෝ දියුණු රටවල පවා පා පැදි සඳහා වෙන ම මං තීරු සකස් වී තිබෙනු දක්නට හැකියි. 

Ride For Life Sri Lanka වැනි සමාජ මාධ්‍ය සමූහ සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළින් අප රට පා පැදි ගමනාගමනය ස්ථාපිත කිරීම උදෙසා සාමූහික ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරනා බව පෙනෙනවා. මේ සටහන් කියවන දුවා දරුවන් වෙත කෙරෙන ආයාචනය නම් ශරීර ක්‍රියාකාරකම් හෙවත් ව්‍යායාම්වල යෙදීම අනිවාර්යයෙන් සිදු කිරීමට කුඩා කල සිට ම පුරුදු විය යුතු ය කියායි. ඒ සඳහා විශේෂ මධ්‍යස්ථානයකට හෙවත් ජිම් එකකට යෑම අත්‍යවශ්‍ය වන්නේ නැති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. බයිසිකල් පැදීම, යෝගා ව්‍යායාම, සුම්බා වැනි නර්තන ව්‍යායාම ක්‍රම හෝ අධික වේගයෙන් ඇවිදීම, දුරකථන සංවාදවල නිරත වන අතරෙහි ඇවිදීම, ගෙදර දොර පිරිසිදු කිරීම් වුව ද අධි බලයක් යොදා කිරීම තුළින් නිසි ශාරීරික ව්‍යායාම පරාසයක් කරගත හැකියි. දිනකට එවැනි අධි ක්‍රියාශීලී මිනිත්තු 30ක් ඔබට ශරීර සුවතාවය ඇති කරන බව පර්යේෂකයන්ගේ මතයයි.

පසුව ලියමි... දැඩි රස්නය හෝ වැහි ඇති දිනවල පවා බයිසිකල් ධාවනය කරගෙන වැඩට හෝ ඉස්කෝලෙ පැමිණෙන අය සඳහා වැහි කබා හෝ ඇඳුම් මාරු කර ගන්නට ස්ථාන සකස් විය යුතු ය. ඒ සඳහා ප්‍රමාණවත් සංවිධාන හෝ ආයතන සවියක් ලැබීය යුතුය. 

වැඩි දුර කියවීම සඳහා

Bjornara et al., (2016) Is there such a thing as sustainable physical activity? DOI:10.1111/sms.12669 

WHO Report (2017)  towards more physical activity, https://www.euro.who.int/data/assets/pdf_file/0018/353043/2017_WHO_Report_FINAL_WEB.pdf
            
Ride for life සමූහයේ ලින්ක් එක-  https://www.facebook.com/groups/1004298936724795/?ref=share

පසුගිය විදුසර පුවත් පත් කලාප සඳහා http://www.vidusara.com/

Tuesday, January 4, 2022

ඒ ළමයි බලන්න එපා නෝනා !

මේ කථාව මට ලියන්න මතක් වුණේ හසු මල්ලි එක්ක අද උදේ මේ ගැන වෙච්චි කථාවක් නිසා.
ඒ කාලේ අපේ ළමා රෝග ක්ලිනික් එකට ආපු විශේෂ ආබාධ සහිත දරුවෝ කීපදෙනෙක්ම හිටියා. මගේ ආලවට්ටම කථාවට ඉතින් සෙරමල්ලා හරිම යාලුයි මා එක්ක. කාරුණික වෙන ඒක  ඇත්තට ම මිනිස්සු න් ට උගන්වන්න ඕනේ කියා හිතෙන්නේ රෝහල් වලදී 
ඉස්සර ප්‍රසව හා නාරි ඒකකයේ වැඩ කරද්දී උතුරු කොනේ ලොකු මිස් කියන්නෙත්... "ඩොක්ටර් ඉතින් අම්මලා ටික නලවාලා බබාල කරලා සූප්පු ගහලා යනවා අම්මලා බබාල වුණාම අපිට තමා කරදරේ ඉන්පස්සේ" කියලා. 
වෝඩ් රවුන්ඩ් ඉවර කරලා එද්දී අහනවා "ඔයාගේ බබලා ටික නැලෙව්වද ?" කියලා.
"අනේ ඒ අය පව් මිස්"  කියා ගත්තු ගමන්නේ අපි ඉන්නේ.

එහෙම කියලා ඒ විදිහ වෙනස් වුණේ නෑ කොළඹට ආවමත්. ඉතින් කලින් මම කලින් ලීව කතාවල හිටිය ලාවන්යා වගේම තමා අනිත් ළමයිනුත් හරි යාලුයි.

එහෙම එන ඩවුන්ස් සින්ඩ්‍රෝමය තිබ්බ එක පුතෙක් මම එයාගේ හර්දය පෙනහළු සේරටම නලාව තිබ්බ ට පස්සේ එයා ම නලාවේ බෙල් කොටස අරන් ඔළුවට තියලා කියනවා එයාගේ ඔලුව බලන්න එතනයි ප්‍රශ්නෙ කියලා. බොහෝවිට මෙයාලා අභිනයෙන් පෙන්වන්නේ දේවල්.

ඒ තමා ඒ දරුවාට එයා ගැන තියෙන වැටහීම. මේවා එක්ක බොහෝවිට හිත ඇතුලෙන් අඬමින් කඳුළු උනන ඇස් දෙක හංගාගෙන වැඩ කරන්නේ.

දවසක් මම බලද්දී ක්ලිනික් එකේ කාලගොට්ටියක්... ඒ දරුවෙක්ට මා ළඟට යන්න එපා අනික් වෛද්‍ය වරිය ළඟට යන්න කියලා. මාවම හොයාගෙන ඇවිත් මම නැත්නම් බෑ කියලා ළමයා අම්මගේ අතින් ඇදගෙන යන්න හදනවා. 
"ඩොක්ටර් ඉන්න තත්ත්වේ අනුව ඔහොම ළමයි බලන්න හොඳ නෑ" වැඩිහිටි සේවිකාව එහෙම කරුණු දක්වනවා. මම ගර්බණි එතකොට.

"අනේ මොනවටද එහෙම කරන්නේ. ඔය වගේ ළමයි බල බල තමා කාලේ ගෙවෙන්නේ. කිසි ප්‍රශ්ණයක් නෑ. බඩේ ඉන්න කෙනා හැදෙන විදිහකට හැදෙයි. ඇරත් ජාන සහ කර්ම සැකැස්ම අපට වෙනස් කරන්න බෑනේ " වගේ අදහස් ගොඩක් කීවා මම.

මගේ යෙහෙළිය රන්දිකාගේ පුතා අසනීප වුණාම එයා එක්කම ඇඩ්මි වුණේ මගේ වාට්ටුවෙ.
රන්දිගේ දරුවා හිටපු ඇඳට එහා ඇඳේ හිටියේ cerebral palsy නිසා ආබාධිත තත්තවය ට පත්වූන බබෙක්. ඒ අම්මත් රන්දිකට කියලා තිබ්බා මේ දරුවා දිහා බලන්න එපා ඔයාට හොඳ නෑ කියලා ... මොකද රන්දිකාත් ගර්බණි තත්ත්ව යෙන් හිටියේ එවෙද්දි.

අන්න එහෙමයි හැටි මේ සමාජයේ... ඇයි අපි ඒ දරුවොන්ට වෙනම සලකන්නේ ? ඇයි අපි සුබ දේ අසුබ දේ කියා ඒ දරුවන් බලන්නවත් හොඳ නැති අය ලෙස වර්ගීකරණය කරන්නේ. එහෙම දරුවෝ බැලුවා කියා කුසේ ඉන්න දරුවා එහෙම වෙනවා කියා බොරු ආකල්ප වැරදි අදහස් සමාජය තුළ ස්ථාපිත වුණේ කොහොමද ?

මට මතකයි තව අපේ වෛද්‍යවරයෙක් වුණ උදිත අයියා කියන කථාවක්. "එහෙම බබලා හරිම වාසනාවන්තයෝ. පවුලටම වාසනාව ගෙනාවා. මෙයාලව හොදින් බලාගන්න . ඔයාලා බලන්න ඔයාලගේ පවුලම දියුණු වෙනවා" කියලා එයා ඒ අලුත් අම්මලාට තාත්තලාට කියනවා. 




Saturday, January 1, 2022

බයෝ ගෑස් බස් සහ අපූරු නත්තල් ගස


( විදුසර පුවත් පත දෙසැම්බර් 8 )
“බයො ගැස් බස් ඒක හරි අපූරු සංකල්පයක් ප්‍රොෆෙසර්, මං හිතන්නේ ආහාර නාස්තියට ඒක හොඳ විසඳුමක්” තිරසාර සංවර්ධන ගෝලීය අරමුණු ගැන ප්‍රථම දේශනය තිබූ වේලාවේ තරුණ ප්‍රජා වෛද්‍ය අංශයෙ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් එසේ තම අදහස් ප්‍රකාශ කළේය. 

“නෑ ඒක හොඳ විසඳුමක් නෙමේ මම නම් ඒකට කැමති නෑ.” ඒ තමා කතිකාචාර්‍යවරියගෙ පිළිතුර.

 ඉවත දමන ආහාර වලින් වාහන දුවන එක ඇයි හොඳ නොවෙන්නේ ? අප හැමට ඇගේ පිළිතුර ගෙන ආවේ විමතියකි. යුරෝපයේ එවැනි බස් රථ බහුලව දක්නට ලැබේ. එය ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවලින් පැමිණි අපට පුදුමයක් ගෙන දුන්නේ, අප රටේ ආහාර හිඟය සහ ආහාර නාස්තිය පවතින නමුදු කැළි කසල බැහැර කරන්න නියමිත යාන්ත්‍රණයක් නැතිව,  ඒවා යම් භූමියක ගොඩ ගසනවා මිසක එයින් ඵලදායි යමක් සිදු නොවන නිසා ය. එම බස්‍ රථ වල “bio gas bus” කියා සටහන් කර තිබේ.             

ඇය එසේ කියන්නට හේතුව පැහැදිලි කරගන්නට කලින්  “තිරසාර සංවර්ධනය” කියන දේ නිතර ඇහෙන නිසා ඒ ගැන පැහැදිලි කරගනිමු. කාලයක්‍ තිස්සේම අපි කාලගුණ විපර්යාස ,වසංගත, සම්පත් බෙදී යාමේ විෂමතා වගෙ දෙවල් ගැන දිගින් දිගටම ඇඟිලි දිගු කළේ සංවර්ධනය නාමයෙන් සිදු කරනා සම්පත් විනාශයන්වලට. මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය  යම් ක්‍රියාන්විතයක් දියත් කරන්නෙ1983 දී ඒ ගැන ක්‍රියා කරන්නට බ්‍රැන්ඩ්ට්ලන්ඩ් කොමිසම ( Brundtland Commission )පත් කිරීම මගින්. එහි වාර්ථාව එළි දක්වන්නෙ 1987 දී.  ලොකයෙ වර්තමාන පැවැත්ම සහ අනාගතයෙ සැකැස්ම ගැන එහිදී පුළුල් ලෙස සාකච්ජා කර තිබේ. 

තිරසාරත්වය යනු පෘථිවිය සහ එහි සම්පත් මගින් වර්තමාන අවශ්‍යතා සපුරාලන අතරම අනාගත පරම්පරාව සඳහා ද ඒවා සුරකින ආකාරය වන අතර මෙහිදී සංවර්ධන ක්‍රියාවලීන් හුදෙක් ආර්ථික ප්‍රතිලාබ ගැන පමණක් අරමුණු නොකර, සාමාජීය සහ පාරිසරික සුරක්ෂිතභාවය සමඟ සිදු කරන ආකාරය පිළිබඳ පුළුල් ලෙස විස්තර කෙරේ.  අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය තිරසාර සංවර්ධන ඉලක්ක, Sustainable Development Goals (SDGs) 17 සහ ඒ ඔස්සේ ප්‍රවේශ 169 මගින් සමාජය, පරිසරය සහ ආර්ථිකය එකට යා වුණු සංවර්ධනය පිළිබඳ සහ ඒ ආශ්‍රිත ගැටළු විසඳීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් ගෙන ඇත.  ස්වභාවික සම්පත්වලින් පරිසරය ආරක්ෂා කර ගනිමින් සමාජ ප්‍රගතිය සහ ආර්ථික සංවර්ධනය ළඟා කර ගත හැකි ආකාරය මේ දක්වා පැවති සම්මේලන සහ සම්මුතීන් පිළිබඳ ලිපි ලේඛණ පෙන්වා දේ.

මේ අරමුණු සියල්ල  2030 දී සාක්ෂාත් කරන්නට ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සකසන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය මුලික වී ඇත .  සමාජ අසමතුලිතතා, කුසගින්න, දරිද්‍රතාවය යන මේවා අද බොහෝ රටවල් බැට කන ගැටළු  වන අතර ඒවා අවසන් කිරීමට ගෝලීය මැදිහත්වීම තුළින් ලබා ගන්නට හැකි බවට විශ්වාසයක් තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, හරිතාගාර වායු විමෝචනය වැනි දේවල් මානව වර්ගයාට වර්තමානයෙදී සහ අනාගතයේදි දැඩිව බලපාන බවද ඒ නිසා සිදුවන කාළගුණ විපර්යාසයන් නිසා අවතැන් වීම්, බව භෝග ගොවි තැන් සහ වගාවන් විනාශ කරන බවද වර්තමානයේ පවා අපට දකින්නට ලැබේ. ඉතින් මේ ගැන වගකීම් සහිතව මැදිහත් වීමක් කරන්නට අවශ්‍ය බව මේ ඉලක්ක ඔස්සේ සාකච්ජා කෙරේ. අප රටේ පවා, සංවර්ධනය යැයි කියමින් සිදු කරනා ලද විවිධ ගොඩ නැගීම් නිසා ජල ගැලුම්, නාය යෑම් වැනි හදිසි ස්වභාවික විපත් සිදුවෙනවා ඔබ පසුගිය කාලයේ අත් දකින්නට ඇති. එපමණක් නොවේ මේ නිසා බෝවන රෝගවල පැතිරීම ද බහුල විය හැක. එවන් ස්වභාවික ව්‍යසන නිසා මූලික අවශ්‍යතා වන ආහාර, නිවාස, පිරිසිඳු ජලය වැනි දෑ සපයා ගැනීමේ ගැටළු පැන නගින අතර එනිසා දේශපාලනික අස්ථාවර භාවයන් සහ ආර්ථික අවපාතයන් ඇතිවේ.  තිරසාර සංවර්ධනය සමඟ බැඳුනු 2030 අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ ගෝලීය සම්මුතිය තුලින් නිසි  දේශපාලන නායකත්ව ප්‍රතිපත්ති සඳහා රාමුව සහ ක්‍රියාකාරී සැලසුම් ස්ථාපිත කරන්නට සහ දේශපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, ආර්ථික සැලසුම් මඟින් මැදිහත්වී ඇත. 

තිරසාර සංවර්ධන අරමුණු අතර ආහාර හිඟය වැලැක්වීම මෙන්ම ආහාර නාස්තිය අවම කිරීම සඳහාද කටයුතු සිදු කෙරේ. ලෝකයේම මිනිසුන්ට සපයන්නට තරම් ආහාර ලෝකය තුල නිපදවෙන නමුත්, ඒවා නිසි ලෙස බෙදා හැරීමක් හෝ භාවිතයක් නැති කම නිසා ආහාර නාස්තියක් සිදුවේ. ඉතින් කතිකාචාර්‍ය තුමිය මුලදී පැවසූ, ඉවත දමන ආහාර වලින් නිපදවන බයෝ මීතේන් වායුව යොදාගෙන ධාවනය වන බස් රථ නිසා ආහාර නාස්තියට හොඳ පිළිතුරක් නොවන බව ය. ඉවත දමන ආහාර මගින් මීතෙන් වායුව නිපදවනවා වෙනුවට ඒ අහාර මිනිසුන්ගේ පරිභෝජනය සඳහා භාවිතා කිරීම මගින් තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් වන බව ඇය අපට වටහා දෙන්නේ ඔවුන් ක්‍රියාත්මක කරන ආහාර නාස්තිය වළක්වන ව්‍යාපෘතියක් මගිනි. තොග වෙළෙඳ පලෙන් හෝ සුපිරි වෙළඳ සැල් වලින්, ඉවත දමන්නට ආසන්න කල් ඉකුත් වෙන්නට ළඟ ආහාර මළු සාදා (food bag) අඩු මුදලකට අඩු ආදායම් ලාභී පවුල්වලට ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කර තිබේ. එනිසා වෙළඳපලින් කුණු කූඩෙට දමන ආහාර නාස්තිය අඩු වී, ඒ වෙනුවට තව දුරටත් එම ආහාර පරිභෝජනය සඳහා යොදා ගැනීමට හැකි වී තිබේ.  
“බයෝ ගෑස් හදනවා වෙනුවට , ආහාර හිඟය ඇති දැනෙන තැනකට ඒ ආහාර ටික නාස්ති නොවෙන්න පාවිච්චි කරවන එක තමයි වඩා හොඳ තිරසාර අරමුණ” කථිකාචාර්යවරිය පැහැදිලි කළාය.       
ඉතා ඉක්මනින් ආහාර පරිහරණය කළ යුතු වුවත් ඉතා අඩු මුදලකට අවුරුද්ද පුරා මේ ආහාර මළු ලැබෙන එක අඩු ආදායම්ලාභී පවුල්වලට බොහොම සහනයක් ගෙන දී තිබේ. ඇත්තටම මිනිස් අවශ්‍යතාවය සඳහා නිපදවන ආහාර කුණු කූඩයට යන එක වළක්වාලීම තුලින් ආහාර අර්බුදයට යම් සහනයක් ගෙන එනවා නේද ? එය ලංකාව වගේ රටක අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරන්න හැකිනම් අප රටේ බහුතරයකට සහනයක් ගෙන දේවි කියා මට සිතේ. එමෙන්ම ඉහත පැවසූ මීතේන් වායුව සකස් කරන්නට ඉවත දමන ආහාර කුණු යොදා ගත්තද ඒ ආහාර වුවද ඉවත නොදමා පාවිච්චි කළ හැකිනම් එය අප වර්ථමාන ආහාර අර්බුදයට යම් තරමක සහනයක් ගෙන එනවා මෙන්ම ඉදිරි පරම්පරාවට ස්වභාවික සම්පත් සංරක්ෂණය කර තැබීමට පවා රුකුලක් වේවි. 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සමග සහ-සම්බන්දව, සියලු සංවර්ධන ක්‍රියාත්මක කිරීම මගින් පාරිසරික, සාමාජීය සහ ආර්ථික යන මේ සියළු ඒකක සහ-සම්බන්ද කර ගැනීමට අවකාශ ලැබේ. සෞඛ්‍ය-අධ්‍යන විශ්ව විද්‍යාල පිවිසුමේ සකස් කර ඇති මේ නත්තල් ගසේ තෑගි පාර්සල්, වර්තමානයට සහ අනාගතයට සුභ දායි පණිවිඩයක් ගෙන එන හොඳම සුභ පැතුම ලෙස මට දැනෙන්නේ එහෙයිනි. 

වැඩි දුර කියවන්න  
එක්සත් ජාතීන්ගේ සංවිධානය – තිර සාර සංවර්ධන ඉලක්ක https://sdgs.un.org/goals