Tuesday, September 19, 2017

ඔය කෙල්ලෝ මොනවද දන්නේ !



ඔය කෙල්ලෝ මොනවද දන්නේ !
මෙය සිදුවී වසර කිහිපයකි, එනිසා ලියා තබන්නට සිත් විය.

උතුරේ කතා රැගත් අනිත්කොන පොත ගැන මා දන්නා හඳුනන අයෙක්, එක්තරා මහත්මියකට පැවසූ විට “අනේ ඔය කෙල්ලෝ මොනවා දන්නවද උතුර ගැන” යැයි පැවසූ බව ආරංචි විය.
ඒ මහත්මිය අපි මොනවා දන්නවා දැයි සැක පහල කළ අන්දම ගැන වැරැද්දක් මම නොදකිමි.
මොකද අපිත්,එහි යනකම්ම අනේ අපිමොනවා දන්නවාදැයි නොදැන සිටියෙමු.

ආච්චිලා පැමිණ " "තංගච්චී,ඩොක්ටර් අම්මා එංග ?" යැයි අසද්දී ( නංගී, දොස්තර කොහේද?)
"නාන් තාන් ඩොක්ටර්" යැයි කියද්දි...
මෙච්චර මේ කෙල්ලෝ කොහොමද දොස්තරලා වෙන්නේ යැයි ඔවුන්ද ඇස් ලොකු කරගෙන ඇසුවෝය.

දෙමළ වචනයක්වත් නොදැන එහි ගිය අපිට, දෙමළ ඉගෙන ගන්නටත්, ඉන්පසු ඔබ මෙහෙද අහන්න තරම් දෙමළකියවන්නටත් පුූලුවන් කළේ උතුර ය. එහි ගිය නිසා ය. “ඔයා දැන් සිංහල කතා කරන්නෙත් දෙමළ ඇක්සන්ට් එකකට ය කී අනුරාධපුර යහළුවෝ තවමත් ඒ කාලය ගැන මතක් කරති.

වවුනියාවේ සිට අපි බොහෝ විට අසාධ්‍ය ලෙඩුන් ගෙන ගියේ අනුරාධපුරය ට ය. එහි යන එන විට, අපට ලැබුනේ බොහෝ ලෙංගතු ආමන්ත්‍රණය. මේ කොනේ සිට රෝගීන් කෙසේ හෝ පණ ගන්වා , ගොඩ දාගෙන වෙහෙසී තවත් පැයක ගමනකින් එහි සැපැත් වෙන විට අපි බාගෙට මැරී සිටින්නෙමු. “ ඩොක්ටර් අන්න ඩොක්ටර්ස් රූම් එක, මූණ හෝදා ගන්න, මෙන්න පුටුව ඉඳ ගන්න “ වැනි සුහද ආමන්ත්‍රණ එහී දකින්නට ලැබිණි. වෛද්‍යවරුන් පවා උනුන් හා සුහදත්වයෙන් කටයුතු කෙරිණි.


යුද්ධය අවසානයේ දකින්න ලැබුනේ සියල්ල අහිමි වූ කොහෙන් කොහොම මේ අවුල ලිහා ගන්නේදැයි විමසූ සෙනග ගොඩවල් ය. එහි ගිය අපට දරන්නට සිදුවුනේ සියළු දේ අහිමි වූ මිනිසුන්ගේ අඳෝනා ය. උතුරේ ප්‍රධාන රෝහල් දෙකක සීමිත වෛද්‍යවරුන් සංඛ්‍යාවකගෙන් වැඩකටයුතු කළ යුතු වූයෙන් , ඇතැම් විට දවල්ට කන්න ලැබුනේ වඩයක් සහ මයිලෝ එකකි. එහෙමත් නැත්නම් උදේ අටේ සිට සවස හය දක්වා තියටර් ලිස්ට් එක ඉවර කරනකම් සැරෙන් සැරේ ලැබුන සීනි වැඩි තේ එකකි, පරිප්පු හෝ උළුඳු වඩයකි. හවසට බොහෝ විට එක කොත්තුව දෙකට බෙදන් කන්නේ එය ඒ තරම් විශාල නිසා ය.

උදේට නොකා කලන්තේ දමා එහි පැමිණෙන විශ්ව විද්‍යාල හෝ පාසැල් සිසුන් හට “ඔයාලා උදේ නොකා කලන්තේ දාලා එනවා. මගේ ඩොක්ටර්ස්ලා රෑට කාලත් නෑ, හරියට උදේට කාලත් නෑ, රෑ පුරාම ඇහැරගෙන ඒත් තාම වැඩ කරනවා”කියමින් කියූ විශේෂඥ වෛද්‍යවරියක් සිටියාය. මේවා මෙලෙස ලියන්න යැයි කියූවේත් විශේෂඥ වෛද්‍යවරුන්‍ ය.

එක් දිනක් මුළුල්ලේ අප හදිසි සැත්කම් පමණක් දහයක් කර තිබුණේ අතේ මතුවන කරගැට ද අමතක කරමිනි.

මුහුණ නොබැලූ එල් ටී ටී ඊ හිටපු සොල්දාදුවන්ද, මුහුණ බැලූ නමුත් සිංහල වචනයක් දොඩාගත නොහැකිව සිටි ගැහැණු මිනිසුන්ද, අපට අපේම අය වූයේ අනිත් කොනේ දී ය. ඒ අප ඔවුන්ගේ ජීවිත හා ගනුදෙනු කළ නිසා ය.


If u can bear to hear the truth u’ve spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things u gave ur life to,broken,
& stoop & build’em up with wornout tools;

Radyard kipling

ඔව් අප දුටුවේ, රඩ් යාඩ් කිප්ලිං ගේ if යන කාව්‍යයේ සඳහන් පරිදි, සියල්ල බිඳ වැටුණු, සුන් බුන් වී ගිය පසු ඒ අළු මතින් නැගී සිට ජීවිතය වෙර දරන උන් ය. ආයුධ අත හැර ජීවිතය සෙවූ ඔවුන් ය. සිංහලයා නරකයි, බිහිසුණුයි ම්ලේච්ජයි කියා උගෙන, සිංහල වෛද්‍යවරුන්ගෙන් ජීවිතය ඉගෙන ගත් ඔවුන් ය. සිංහලයාත් දෙමළාත්, මුසල්මානුවාත් අපි හැමෝම, රෝහල් ගේට්ටුවෙන් එපිට උස්මිටි කම් තරාතිරම් නැතිව සාමාන්‍ය මිනිසුන් බවට පත් වන බව ඔවුන් උගත්තේ අපෙනි.

රෝගීන් පිරී ඉතිරී යන වාට්ටු වල හිත හදන් වැඩ කරන්නට සිදුවුනේ ඒ තරම් ජන ගඟක් පාලනය කිරීම හැරෙන්න වෙන විකල්පයක් නොවූ නිසා ය. ඔවුන්ට රෝහල යනු ඔවුන්ගේ දූකට සහනයක් වුණු තැනක් විය. ඔවුන්ගේ දුක් කරදරසියල්ලම එහි මුදා හැරියේ එනිසා වෙන්නට ඇති. ඒ අය ට යම්කිසි හෝ සහනයක් වූයේ රෝහල් වල සෞඛ්‍ය කාර් යය මණ්ඩලය බව නොරහසකි.

බත් කන්න අකමැති ආච්චිලාට ,සීයලාට, හැට් කලෙක්ෂන් දමා ( සල්ලි එකතු කර) ආප්ප හෝ ඉඳි ආප්ප ගෙනාවේ HO ල ය ( house officers).


මේ කතා මේ ලෙසින් ලියා තැබුවේ නැත්නම් නැවත මතක් කිරීමද අමාරු කාර් යයකි. ඒ තරම් විවිධ වූ සංසිද්ධි දාමයන්ගෙන් අනිත්කොන දවස් සැකසී තිබුනි. විඳින දකින දෑ හිතෙන්, හදවතින් ස්පර්ශ කරන්නට හැකි යාව ඇත්තේ සුළු පිරිසකට බව මම දනිමි. ඒ සුළු පිරිස මුදලට ලොබ බැඳන් ඒ කාර් යයන් හි යෙදෙන්නේ නැති නිසා තවමත්, මිනිසුන් ඔවුන් දේවත්වයෙන් සලකති.


වෛද්‍ය විද්‍යාව යනු ඉන්ද්‍රජාලික බලවේගයක් හෝ දේවත්වයක් නොවේ. එය හුදෙක් විද්‍යාත්මක පරීක්ෂණ නිරීක්ෂන නිගමන ඔස්සේ පදනම් වුණු එකකි.


අප කරන්නේ අපේ සේවාව හරියාකාරව කිරීම ය. මේ ලියැවිලි වල එතෙන්නේ, සේවාව අතරතුර හදවතට දැනුණු මිනිස් හැඟීම් ය. ඒවා කිසි සේත්ම මට සිළිටු නොවේ.


අනිත්කොන කියැවිය යුත්තේ තරුණ පිරිසයි. වෛද්‍ය විද්‍යාව හදාරන්නට හිතන දරුවන් ද, වෛද්‍යවරුන් වෙන්න ඉගෙන ගන්න දරුවන්ද මේ පොත කියවිය යුතුම යැයි මම කියන්නේ, මගෙ අත් දැකීම් වලින් ඔබට ඉගෙන ගන්න යමක් තියේවි යැයි මා විශ්වාස කරන නිසා ය.

මම ලීවේ උතුරේ ප්‍රශ්න ගැන ය. මිනිසුන්ගේ ප්‍රශ්න ගැන ය. කකුල් , අත පය අහිමි වූ දරුවන් දැරියන් ගැන ය. අඩු වයසෙන් දරුවන් ප්‍රසූත කරන්නට වෙන දැරියන් ගැන ය. ළමා සොල්දාදුවන් ජීවිතය දිනන හැටිත්, හිටපු ත්‍රස්තයන්ගේ අඳෝනාත්, ඒ අතර තුර පිටු පිරවීය. හොර ගබ්සා මධ්‍යස්ථානවලට ගොස් අසාධ්‍ය වී එන, උතුරු කොනේ ගැහැණුන් ගැනත්, උතුරු කොන බොහෝ ප්‍රදේශ වල වැසියන් මුහුණ දී ඇති වකුගඩු රෝගයේ ඛේදාන්තයත්, මත් පැන් මත්ද්‍රව්‍ය වලට නතු වූ දරුවන් ගැහැණුන් මිනිසුන් ගැනත් ය. අපි දකින්නේම දුක පමණි. රෝග , මරණ, සමාජ අසාධාරණකම් ය.ආර්ථික යුද්ධයෙන් පෙළෙන මෙ රටේ දිළිඳුම පිරිස යන එන රෝහල් ය. ඇතැම් විට ඇඳුම් ගෙනත් දෙන්නත්, බත් වේලක් ගෙන දෙන්නත්, ගෙදර යන්න බස් එකට සල්ලි නැති නිසා අපි hat collection දමා සල්ලි එකතු කර දීපු කාලයක් ද විය.

අනිත්කොන පොතක් විය !
එනමුත් අනිත් කොන ගැන මේ තරම් පිරිස වද වුනේ හෝ පෝස්ට් වැටුනේද නැත. හොය හොයා ගොස් කියෙව්වේ ද නැත.  සමාජයේ අපිදකින අවැඩ අසාධාරණය සහ කම්පනය ගැන අපි වැන්නවුන් මුහුණු පොත බ්ලොග් සහ පොත් හරහා අපි ඕනෑවටත් වඩා මේ ප්‍රශ්න ගැන ලියමින් සිටින්නෙමු ! 

අපට කළ හැක්කේත් පාලකයන්ගේ හිත් ඇස් මෙදෙසට යොමු වන තෙක් ලියන්නට පමණි.
ඉතින් මහත්මියනි, මට ඔබේ වදන, සාහිත්‍ය ලෝකයේ හමුවන ප්‍රවීනයන්ගේ කතා අසා ඇති මට නම් පුදුමයක් නොවුණු බව කිව යුතුම ය. "ඔය කෙල්ලෝ මොනවද දන්නේ " කියා ප්‍රශ්න නොනගා පොත කියෙව්වා නම් ඔබට ඇත්තටම අපි එහි ගොස් කළ කී දෑ වැටහෙනු ඇතැයි මට සිතේ.

මුළින් මේ පොත් ජනගත නොවි පසුව මටම ඒ කාරිය කරන්නට වෙහෙසෙන්නට වූ නමුත් ඒ මහන්සිය සොඳුරු ය. මන්ද අනාගතයේ මේ රටේ තවත් යුද්ධයක් ඇති නොවෙන්නට, ජාතීන් එකිනෙකා යුද්ධ නොකරන්නට මනස හදන්නට මේ පොත ඉවහල් වෙන බවට මට සහතික නිසා ය.

අනිත් කොන සහ මනුපුර සක්මන
BMICH හිදී..

මිල රු 240/=, 160/=

සම පොත් J 286
සයුර පොත් H 11
කවි පොත් සල්පිල

ගෙදරටම ගෙන්වා ගැනීමට ග්‍රන්ථ, grantha.lk

14 comments:

  1. +++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. "ඔය කෙල්ලෝ මොනවද දන්නේ ! ...
    'ඔය කෙල්ලො දැනගත්තු දේ 'වලින් අරික්කාලක් වැඩිහිටි පරපුර දැනගෙන හිටියනම් අපිට ඔහොම ඛේදවාචකවලට මුහුණ පාන්න වෙන එකක් නැහැ දොස්තර නෝනා. මේක කිව්වෙ තව 'මහත්මියක්' වීමම ඛේදයක්මැයි. ඔබ තුමියගෙ පොත'තුන්බසින්ම' ප්‍රකාශයට පත් වේවා!ලංකාවෙ ඔක්කොමත් ඉන් පිටත ඉන්න සියල්ලෝමත් මේ පොත කියවත්වා!
    සුතධර හිමි

    ReplyDelete
  3. //අනිත්කොන කියැවිය යුත්තේ තරුණ පිරිසයි. වෛද්‍ය විද්‍යාව හදාරන්නට හිතන දරුවන් ද, වෛද්‍යවරුන් වෙන්න ඉගෙන ගන්න දරුවන්ද මේ පොත කියවිය යුතුම යැයි මම කියන්නේ, මගෙ අත් දැකීම් වලින් ඔබට ඉගෙන ගන්න යමක් තියේවි යැයි මා විශ්වාස කරන නිසා ය.//

    ++++++++++++++++++++++++++++++++++++++



    ReplyDelete
  4. වැඩ වර්ජන නිසාවෙන් මහජනයා තුලින් වෛද්‍යවරුන් කෙරෙහි ඇති පැහැදීම දිනෙන් දින පිරිහෙමින් යන කාලයක ඔබේ අනිත් කොන පොත උඩුගම් බලා පිහිනීමට වෙර වීරිය සපයන අත්වැලක් දයබර නංගී !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා අයියා.

      Delete
  5. Dear Dr. Bodhini
    There is a Sinhalese Proverb " Ballo Biruwata Thawalama Nawthinne Nehe"
    As mentioned in my earlier comments too, I got down your both books and read, Then only I felt that how much you are sensitive and outgoing to relive the Human suffering, irrespective of their creed or ethnicity. I think as doctors most of them have to be like you in treating the patients. However, rarely we can find doctors working like you and outdoing to do hat collections for to find food, bus fare or clothes etc, in treating patients. Especially been a southerner working in north and serving predominantly people from North, during war or post war days.
    After I read your Anith Kona, it brought my memories back how most of us as Sinhalese government servants worked in north as brothers and sisters with Tamil people. On our official visits to north we enjoyed hospitality of our Tamil colleagues, stayed with them and fed by them, until the dirty politics since 1956 and in 60's from both sides brought all this mishap.
    So, don't get disappointed, or annoyed. Please keep on writing as these are true stories and happenings, and more light to them is shed thanks to your writing skills.
    Wish you many successes

    ReplyDelete
    Replies
    1. thank you mr. tilak its a great pleasure to share these experiences which were once in a life time opportunity

      Delete
  6. අනිත් කොන මග ඇරුනා ඒත් ගෙන්න ගන්න ඕනි....

    ReplyDelete
  7. ගඟ ඉවුරෙ ඉන්න එක්තරා මහත්මිය ගඟේ දිග පළල ආනතිය එහෙම දන්නව ඇති... ගඟේ හැටි සොබාව දන්නෙ නෑ...කරවටක් ගිලී ඉවුරට පීනා හති ලමින් ගඟ මේ ලෙසැයි කියන දොස්තර නෝනාගේ ""අනිත් කොණ""..කියවමි. ස්තුතියි මැතිණිය ඔබේ ලියැවිල්ලට..

    ReplyDelete
  8. I've been reading your blog for years, though I don't comment. 2 years ago, when I was visiting my parents, I found "Anith Kona" with your signature on it. I was overjoyed by seeing the book and and needless to say, I read it right away. Thank you for your efforts, as a doctor and as an author!

    ReplyDelete
    Replies
    1. hi ama,Im so so delighted to hear this. thank you ! that is awesome to hear.

      Delete
  9. දොස්තර බෝදිනී දුව
    පහත දිගුව බලන්න ගාමිණී වියන්ගොඩ මහතාගේ ලිපිය
    https://www.slguardian.org/si/archives/16307

    ReplyDelete
    Replies
    1. sthuthiyi tilak mahathmaya.. ඇත්තෙන්ම ඇස් ඇරෙන සුළු ලිපියක් ! නොදන්නා කරුණු රාශියක්තිබුනා ඔබට ස්තූතියි.

      Delete
  10. ස්තුතියි දොස්තර නෝනා
    මම තවදුරටත් ඔබගේ ලිපි,කවි හා අදහස් හා රස විදිම්. සුබ පතමී

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !