Sunday, June 24, 2012

You are your country ! අපිට තියෙන ප්‍රශ්ණ...

බයිසිකල් පැදීම සම්බන්ධයෙන් ලියූ ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම සිතට ඒක අස්වැසිල්ලක්. උඩුගං බලා පීනන අය දිහාවපර ඇසින් බලන අයද, තමන්ගේ ගොඩට දමාගණන්ට ඉහළ නගින අය කපා කොටා බිම හෙළන අයද බහුල සමාජයේ හිතකර වෙනසදිහා හිතකර ලෙස බැලූ ලිපි කියවන ඔබ වන්නන් සිටීම භාග්‍යයක්.

කිහිප ගමනක් A 9 ප්‍රධාන මාර්ගයේ ගමන් කළද දැන්නම් ඒ වෙනුවට අතුරු මාර්ග යොදා ගනිමින් මාර්කට් එකට, ෆුඩ් සිටි එකට ළඟාවෙන්නේ හැමෝගෙන්ම ලැබූ අවවාද සහ සතියේ සෑම දිනකම දකින්න ලැබෙන අනතුරු හා මරණ නිසා.

අහෝ A9 ලිපිය ලියූ දිනට පසුවදා… වාට්ටු වල වැඩ අවසන් කොට පහළට පැමිණෙද්දීම A9 ප්‍රධාන මාර්ගයේම පිහිටි ප්‍රාදේශීය රෝහලකඇම්බියුලන්ස් රථයක් නැවැත්තුවා. අපේ හිතවතියක් වන ඒ රෝහලේ වෛද්‍යවරිය කඩිමුඩියේ එළියට බැස, කෑ ගසා සියල්ලන් රැස් කරඇතුළේ තිබූ ස්ටෙචරය සමග රෝගියා හදිසි සත්කාර ඒකකය වෙත තල්ලු කරගෙන ගියාය.

දහවල් 12 පමණ වූයෙන් ETU (emergency treatment unit) හෙවත් හදිසි සත්කාර ඒකකය එවෙලාවේ බොහෝ කලබල නිසා අපි තිදෙනාදනිල නිවාසයට යන ගමන නවත්වා එහි දිව ගියේ උදව් කිරීමටය.
රෝගියා දුටු මතින්ම බොහෝ අසාධ්‍ය යැයි සිතුණි. අපේ හිතවත් වෛද්‍යවරිය කීවේ,  බයිසිකලයේ ගමන් ගත් ඔහු, ටිපර් රථයක් හප්පාගෙන ගොස් ඇති බවය. ඔළුවට හානි සිදු වී ඇත. ඔක්සිජන් ප්‍රතිශතය බලාගෙන ඉඳෙද්දී පහළ බසී. නාසයෙන් කටින් ලේ ගලයි.ශ්වසන මාර්ග සියල්ලම අවහිර වී ඇත. මොළයට දැඩි හානි සිදුවූ බවක් පෙන්වයි. ඔහුට සිහියක් නැත. නිර්වින්දන වෛද්‍යවරයා බටයක්දමා ශ්වසනය යථා තත්වයට පත් කරන්නට උත්සහ ගත්තද බටය දිගේ පැමිණෙන්නේ ලේ පමණි. හර්දයද අකර්මණ්‍ය වී ඇත. අනෙක් අයවටවී කෘතිම හර්ධ ස්පන්දනය ඇති කිරීමට උරස් ප්‍රදේශය තෙරපයි. එහෙත් රිද්මයේ වෙනසක් නැත. දෙතුන් පාර විදුලි සැර මගින් හෘදයක්‍රියාත්මක කිරීමට උත්සහ ගත්තද එය සාර්ථක වූයේ නැත. ඔහු මිය ගොසිනි. අපි පිටතට පැමිණියෙමු.


එක දරුවෙක් වඩාගෙන තවත් දරුවෙක් අතින් අල්ලාගෙන ඔහුගේ බිරිඳ ETU එකේ දොරකඩ බලාගෙන සිටී. ඇය සිතන්නේ ඔහු ජීව්ත්වේය කියාය. අප නැවත නිල නිවස වෙත ගියෙමු. දැන් රෝහල දෙසින් මහත් විලාප හඬක් ඇසේ. නිර්වින්දක වෛද්‍යවරයා පිටතට පැමිණඔහුගේ බිරිඳට කනගාටුදායක පුවත පවසන්නට ඇති.

තරුණ මව දරුවන් දෙදෙනෙකු සමග තනිවී සිටී. කුලී වැඩ කර එදාවේල සරි කරගත් ඒ 32 හැවිරිදි තරුණ පියා, ටිපර් රථ බයිසිකල්ගැටුමෙන් ලොව හැර ගොසිනි !

මගේ යෙහෙළියක් මා දෙස බලා “ පේනවා නේද.. තව බයිසිකල් පදිනවා” යැයි මා දෙස ඔරවාගෙන දොඩවයි. ඔව් එය ඇත්තෙන්ම භයානකයි ! (අත්දැකීමෙන් දනිමි.) රජය හෝ වගකිවයුතු ආයතනයක් මේ දේවල් ගැන සැලකිලිමත් වෙනවානම් හොඳයි සිතේ.

රටේ නායකයින් කීප දෙනෙක් මාස කිහිපයකට කලින් මේ අනිත්කොන රෝහලට පැමිණියා මතකය. ඒ පැමිණෙද්දී නම් දින 3 ඇතුළතරෝහල කළ එළි වී අමුතුම සිරියක් ගෙන ආවේ අපේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පින් සිදු වෙන්නටයි. උත්සවයට කලින් දින එක්ලේකම්වරයෙක් රෝහලේ පිවිසුම් කොරිඩෝවේදී, අපි හවස වැඩ ඉවරවෙලා නිල නිවාසයට යමින් සිටියදී මුණ ගැසිණි.

“මම අහවලාගේ ලේකම් , ඩොක්ටර්ස්ලා කොහේද, කොහොමද කොයි පළාතේද. මෙහෙ හොඳද” යනුවෙන් ඇරඹි කතා බහ අවසානයේ.

“මොනවද ඩොක්ටර් තියෙන අඩු පාඩු” යැයි ඇසුවේය.

“අඩු පාඩු නම් එමටයි. අපට තියෙන්නෙ එකම එක ශල්‍යාගාරයයි.(operation theatre) ඉතින් හදිසි සැත්කම් අවස්ථා පැමිණි විට ඇතුළේකරමින් ඉන්න සැත්කම නවත්වා ඒ ලෙඩා එළියට අරගෙන අර හදිසි සැත්කම කරන්න වෙනවා. එහෙම නැත්නම් ඇතුළේ එක ඉවරවෙනකම් එළියේ ලෙඩා ජිවත්කරන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා”

“ඒ කිව්වේ”

“දැන් හිතන්න, කකුලක් කැඩිච්ච රෝගියෙක්ගේ සැත්කම කරමින් ඉන්නකොට, බබෙක් හම්බුවෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේප්‍රශ්නයක් වෙලා හදිසියෙන් සීසර් කරන්න උණොත්. මිනිත්‍තු කිහිපයකින් ඒ දේ කරනන් ඕනේ. හැකි තරම් ඉක්මනින්. ඉතින් එතකොටඅර තියටර් එකේ ඇතුළේ ඉන්න ලෙඩා ඉක්මනින් සිහි ගන්වා එළියට ගන්න වෙනවා.”මම පැහැදිලි කළෙමි.

“ආ හරි. ඔව් ඩොක්ටර් ඒක ගැන මම සටහන් කරගන්නම්”

“තව.. මේ රෝහලේ ලිෆ්ට් එකක්වත් වැඩ කරන්නේ නෑ. දැන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු 3ක්. වාට්ටු සහ ශල්‍යාගාර තියෙන්නේ දෙවෙනි තට්ටුවේ. ස්ටෙචර් පිටින් කර මතින් උස්සගෙන තමයි පඩිපෙළ නගින්නේ. හදිසියෙවත් රෝගියා වීල් චෙයා එකේ ගෙනාවොත්, සුළු සේවකයන්ට තේරෙන්නේ නෑනේ රෝගියාගේ තත්වය, එයාලා රෝගියා පයින් පඩිපෙළ දිගේ ගෙනියනවා. මේ ළඟදි දවසකත් පඩිපෙළ පාමුල අම්මා කෙනෙක් බබෙක් ප්‍රසූත කළා. අපි සේරම පල්ලෙහාට දුවලා තමයි දරුවා ගත්තේ. ඒකට අපිට කාටවත් බනින්න බෑ. දරුවෙක්ප්‍රසූත කරද්දී වීල් චෙයා හෝ ස්ටෙචර් එකේ ඒ අම්මව උඩට උස්සගෙන එන්න බෑනේ. සමහර විට හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ශල්‍යාගාරයට ගෙන යන හදිසි රෝගීන් පවා කර මතින් පඩිපෙලින් ගෙන යද්දී කොයි තරම් අමාරුද ඒකට විකල්පයක් නෑ. එනිසා පුළුවන්නම් මේ ලිෆ්ට් දෙකක් බිල්ඩිමේ දෙකොනේ තියෙනවා ඒ දෙක හරි ගස්සලා දෙන්න.”

“හොඳයි ඩොක්ටර්.. මම ඇහුවේ ඩොක්ටර්ස්ලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මෙහේ. ඉඳුම් හිටුම් , පහසුකම්” එතකොටයි මට තේරුණේ මොහු අසන්නේ අපේ පුද්ගලික අවශ්‍යතා ගැන කියා.

“ඕ සමාවෙන්න. නෑ අපිට නම් එහෙම කියන්න තරම් අපහසුකමක් නෑ. කියන පරක්කුවෙන් අපට අවශ්‍ය සියල්ල අපිට සපයන්න මෙහෙ පිරිස ඉන්නවා. එකම දේ මේවායේ තියෙන දේවල් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕනෙකම තියෙන අය හෝ පිරිස නෑ. ඒකියන්නේ maintenance, මේ දේවල් හරියට maintain කරනවානම් හොඳයි. එතකොට ගොඩක් කල් පවතිනවා. අනික අපිට කොහොම හරි එදා වේල කාලා බීලා ඉන්න හැකියාව තියෙනවා, ඒ උණත් මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ට නම් සෑහෙන්න අමාරු ඇති. දැන් පාරවල් හැදෙන නිසා වාහන යනවා නෙමෙයි පියාඹනවා. දවසකට එකක් හෝ දෙකක් මාර්ග අනතුරු මරණ” මම ආයෙත් මාතෘකාවෙන් පිට කියවනවා.

පිටි ටින් රැගෙන වාට්ටුවටආපු ඩ්‍රග් රෙප් මල්ලී මා එක්ක කතා කළාට පසු ආයේ පැත්ත පළාතේ නො ආවා මෙන්. මොහුද හිතන්න ඇතිකතා කරපු මෝඩකම කියා. “අපේ ට්‍රාන්සර් ඉක්මනින් හරි ගස්සාගන්න බලන්න තිබ්බනේ කියලා” මේ කතා බහ ගැන කියූ විට අපේඑකෙක් කියයි.

තවත් කිරි පිටි කොම්පැනියකීන් මෑතකදී අප සොයා පැමිණියා. ඉතා මිල අධික අධි පෝෂණ කිරි පිටි එකක් වන එම ටින් එකක් නොමිලේමගේ මේසය මත තියන්නත් ඔවුන් අමතක කළේ නෑ. මේ පළාතේ පෝෂණ ඌනතා තියෙන අම්මලා කොතෙකුත්ද. ඔවුන් මා හට ටින් එකදුන් විටම මම කළේ අප වාට්ටුවේ සිටින එවන් මන්ද පෝෂණය සහ දැඩි රක්ත හීනතාවයෙන් පෙළෙන, රුධිර පාරවිලයනය කරමින් සිටිනඅම්මා කෙනෙකු කැන්දා ඔවුන්ට ඇගේ තත්වයද පහදා දී මට ලැබුණු ටින් එක ඇයට පිරි නැමීමයි. "ඔයාලටත් ලොකු පිනක් ! මම කීවෙමි.

"ඩොකටර්ට සහන මිලකට ලබා දෙන්න පුළුවන්" ඔවුන් කියයි.

"අපි දොස්තරලා අපිට කොහොම හරි මේ දේ අවශ්‍යනම් ගන්න පුළුවන් මල්ලී, ඒ උණත් මේ මිනිස්සු හරිම දුප්පත් එයාලට අවශ්‍ය යකඩපෙති උණත් නොමිලේ දෙන නිසා එයාලා බොනවා. නමුත් අපිට ඊට වඩා දෙයක් කරන්න බෑ.මං දන්නවා ඕගොල්ලොන්ට පුළුවන්නම් මීටවඩා මේ සත්කාර වලට උදව් කරන විත්තිය. ඕගොල්ලො මේ කරන ප්‍රජා සත්කාර උණත් ගොඩක් හොඳයි මම සුබ පතනවා." ඔවුන් අපකරන සමාජ සත්කාර වලට කියූ සැණින් පැමිණ පුළුවන් තරමින් උදව් උපකාර කරයි.

"ඩොක්ටර් නම් මහ පුදුම වැඩ කරන්නේ... මං දැක්කා කරපු දේ" අපේ නර්ස් මිස් කෙනෙක් කියයි.

ඒ අතර අපි ම් මාස ගණනාවක් ලියුම් ලියා… මීටින් තබා, වගකිවයුත්තන් දැනුවත් කර, අපේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනා සහවිශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු දෙදෙනා යන මේ හතර දෙනාගේ මැදිහත් වීම නිසා දැන් අපට ශල්‍යාගාර දෙකක් ලැබී තිබේ.එනිසා දැන් හදිසි සැත්කම් එසැනින් සිදු කරන්නට අපට හැකියාව තිබේ. නමුත් ලිෆ්ට් දෙකනම් තාම වැඩ කරන්නේ නැත. ඒකත් අපිම කෑගසා හදාගත්තොත් මිසක් !
අප ඒකකයට අලුතෙන් පැමිණි විශේෂඥ වෛද්‍යතුමා කියුවේ… අඩු තරමේ මේ රෝහලේ සියල්ල අප කියූ සැණින් ක්‍රමානුකූලවසිදුවෙනවා. වෙන ප්‍රධාන රෝහලක මෙහෙමවත් පහසුකම් නෑ කියලයි. ඒ කතාව නම් සෑහෙන්න ඇත්ත. මෙහෙ දොස්තරලාට නියමගෞරවය සහ සැලකීම නො අඩුවම ලැබෙනවා. මොකද මේ මහ රෝහලේ කොඳු නාරටිය වන්නේ අපි නිසා.

Im doing what ever I can to change the unwanted into something productive and healthy.


Tuesday, June 12, 2012

අහෝ A9 සහ බයිසිකල් පදින දොස්තරලා



 “ඩොක්ටර් රාජන් ගේ නංගියි දරුවයි හැප්පිලා එතනම මැරිලා මල මිනී දෙක ඕ ඩී එකට ගෙනාවේ . එවෙලේ රාජන් තමයි ඇඩ්මිෂන් රූම් එකේ හිටියේ, ඩොක්ටර්ට හිතා ගන්න බැරි උනා. අපි ඒ වේගෙන්ම ඇක්සිඩන්ට් වෝඩ් එකට ගෙනිච්චා ඒත් දෙන්නම එතනමයි.”

ඕ.පී.ඩී එක හෙවත් බාහිර රෝගී අංශයේ වැඩ කරන මගෙම හිතවත් දොස්තර කෙනෙක් එදා හවස අප වෙත ගෙන ආපු ආරංචියෙන් අපට අනේ අපොයි කියවුනා. A9 මාර්ගය දැන් වඩා හොඳින් පිළිසකර කර තිබෙන නිසා මේ මාර්ගයේ යන එන රියදුරන් රථ වාහන ධාවනය කරන්නේ හරියට අත්තටු ලැබුනා වගෙයි.

රාජන්ගේ නැගණිය සහ දරුවා මෝටර් බයිසිකලයේ ගමන් කරද්දී ටිපර් රථයක් විසින් යට කර දමා තිබුනේ රෝහල පෙනෙන මානයේ තිබුනු කහ ඉරක් අසලමයි. එපමණක් නොව දිනකට එක වරක් හෝ තුවාල වීම් නිසා ඇතුල් කරන රෝගීන්ද මසකට මරණ කීපයක්ද සිදුවේ.

අද උදේ ශල්‍යාගාරයේ සැත්කම් සිදු කරන අතර කණ වැටුනේ මීට දිනකට උඩදී බයිසිකලය ටිපරයක හැපී මෙහි ගෙන ආ දරුවා මිය ගිය බවය. මෙවැනි මරණ නිරන්තරයෙන් සිදුවේ. 

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විශ්‍රාමික ශ්ල්‍යාගාර සිස්ටර් හෙවත් ප්‍රිපාලන හෙද සොයුරියගේ එකම පුතා යාපනයේ සිට ගෙදර එද්දී වෑන් රථයක හැපී මිය ගියේ ඔහු බයිසිකලයක ගමන් කරද්දීය. එම සිදුවීම අපට බොහෝ සංකා ගෙන දුන්නා මන්ද ඇය අප නිතර ඇස ගැටෙන දොඩන කෙනෙක් නිසා. නන්නඳුනන කවරෙකු උනත් මේ සියල්ලන්ගේම ජීවිත වටිනාකම කියා නිම කළ නොහැක. නොසැලකිලිමත් කමට වඩා ටිපර්, බස් රථ වල තිබෙන්නේ වේගයෙන් ධාවනයයි. සමහර විට ඇම්බියුලන්ස් රථයෙන් හදිසි රෝගීන් ප්‍රවාහනය කිරීමේදි පවා බස් රථ අපට ඉඩ දෙන්නේම නැති තරම්. එවෙලෙට එම බස් රථ අංක සටහන් කරගෙන පොලිසියට ලබා දීමට තරම් තරහවක් ඇති වෙනවා. ඇම්බියුලන්ස් හදිසි ගිලන් රථයක් යනු කුමක්දැයි කියාවත් ඉගෙනුමක් නොලැබූ බස් රථ රියදුරන් A9 මාර්ගයේ සිටී කියා මම බය නැතුව ඕනෑම තැනක කියන්නේ එහෙයිනි.


මේ ප්‍රදේශයේ බොහෝමයක් පිරිස පුස් බයිසිකලයෙන් ගමන් බිමන් යති. එය සාමාන්‍ය ජනයාගේ වාහනයයි. ගැහැණු පිරිමි බේදයකින් තොරව , ඇතැම්විට පිරිමින්ට වඩා ගැහැණු පුස් බයිසිකලයෙන් ගමන් බිමන් යති. එහෙත් උතුර දකුණ යාවීමත් සමගම වාහන එන්න එන්නම වැඩි වීමත් එක්කම පුස් බයිසිකල් වල ගමන් කරන මිනිස්සුන්ට සිදුවන අනතුරුද වැඩිවේ.

බයිසිකලයක් පදින මම...

මම ද අනිත්කොණ පැමිණි පසු ගෙදර තිබෙන බයිසිකලය මෙහෙ ගෙනෙන්නට හැදුවෙමි. ඔව් මම කුඩා කල සිටම එක එක ජාතියේ බයිසිකල් කිහිපයක සාඩම්බර අයිතිකාරයෙක් වීමි. මම වැඩෙනවාත් සමගම බයිසිකලයේ ප්‍රමාණයත් වැඩි විය. ඒත් ප්‍රවාහන අවහිරතා නිසා දිනෙන් දින දැනට මා ගෙදරදී පාවිච්චි කරන්න අම්මා අරගෙන දූන්නු බයිසිකලය මෙහි ගෙන එන එක කල් ගියාය. 
අනෙක් හැමෝම කාර් ගන්න හීන මවද්දී මගේ සිහිනය වුනේ බයිසිකලයක් ගැනීමයි. ඒ එය පරිසරයට හිතකාමී එකම වාහනය වන නිසාය. පරිසරයට හානි නොකර ජීවත්වෙන්න පොඩි කාලේ ඉඳන්ම පුරුදු වී ඇති නිසා දුම් දමන ඛණිජ තෙල් බොන වාහන වලට කොහෙත්ම ආසා නැත. එමෙන්ම එය සෞඛ්‍යයටද හිත කරය. මා බයිසිකලයක් පදින බව දැනගත් ඇතැම් පොෂ් යැයි කියා ගන්නා මිතුරෝ “අපොයි ලැජ්ජා නැද්ද ඩොක්ටර් කෙනෙක් වෙලා බයිසිකල් පදින්න” යැයි කීවෝය.

“ඉතින් මම තමයි ගන්නම ඕනේ. මෙච්චර ඉගෙන ගෙන කාර් එකක් පදිනවානම් මගේ ඉගෙනීමෙන් ඇති වැඩේ මොකක්ද ? මම ආඩම්බර වෙනවා මම ඩොක්ටර් කෙනෙක් වෙලා බයිසිකලයක් ගත්තු එක ගැන. මම ජීවිතේ දිනා ගත යුතු සියල්ල දිනා ගත් කෙනෙක්. උපරිම වශයෙන් ආදරයද රැකවරණයද ලබන අතර සාමකාමීව ජීවිතය ගෙන යන්නට හැකියාව ලැබුනු කෙනෙක්. අනික මම ඉගෙන ගත්තු කෙනෙක්. බුද්ධිමත් අය දන්නවා පරිසරයේ වටිනාකම” 

මගේ උත්තරයෙන් සියල්ලෝම කටවල් පියා  ගත්තෝය. මම විතරක් නොවේ, තව බොහෝ වෛද්‍යවරුද පෙර කල සිටි ශල්‍ය වෛද්‍ය විශේෂඥතුමා වැනි විශේෂඥ වෛද්‍යවරු පවා බයිසිකලයෙන් රෝහලට පැමිණේ.අපි කුඩා කල සිටම පරිසරයට ආදරය කිරීමට පුරුදු වූ අය වන්නෙමු. මිහි මඬලේ දරුවෝ කථාවෙන් ඒ බව මගේ මුල් කථාවලදී කියා ඇත්තෙමි. 





එවන් දෙයක් වටහා ගත නොහැකි උන් කියන දේ අසා මම නිහඬව සිනහ නගා සිටියෙමි. ඒ මෝඩයින් දාහක් සමග තර්ක කර දිනිය නොහැකි බැවිනි. ඉතින් ඔන්න ඔහොම මම බයිසිකලයක් පැද්දත් බොහෝ වෙලාවට A9 ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන්නම නො හැකිය. බොහෝ විට කරන්නේ අතුරු පාරවල ගමන් කර අදාල ස්ථානයට යන එකයි. එහෙම නැත්නම් මාර්ගයෙන් එපිට කැලෑ පාරේ ගමන් කරන එකයි. මොකද A9 එකේ බයිසිකලයෙන් ගියානම් එහෙම  A9 එකේ යන ටිපර් සංඛ්‍යාවයි බස් පෝළිමයි , බස් තරඟයයි නිසා අපේ රෝහලට තව දොස්තර කෙනෙක් අඩු වෙන එකයි වෙන්නේ. දොස්තරලා අඩු මේ දවස් වල එහෙම දෙයක් උනොත් කොහොමත් අමාරුවේ වැටෙන්නේ රෝහල නිසා. සියල්ලන්ගේම ආයාචනයෙන් මම හැකිතාක් දුරට A9 වලින් මිදී සිටින්නෙමි. එමෙන්ම බයිසිකලයෙන් නගරය දිහාට යද්දී, අප හඳුනාගෙන අතවනන රෝගීන් බොහෝය.

අපේ රටේ දේශපාලකයින් රට රටවල සංචාරය කරනවා යැයි මම සිතමි. එහෙත් ඔවුන් අනිත්කොණ කියවනවා යැයි මම නොසිතමි. 


කෙසේ හෝ වෙනත් රටවල බයිසිකල් පදින්නට පදික වේදිකාවේම වෙන් කළ තීරුවක් තිබෙනවා. ඉතින් ඒක මහ මාර්ගයේ සෙසු වාහන වලටද පහසුවක් වගේම බයිසිකල් පදින අයටද හිතකරයි. අපේ රටේ මාර්ගවල ආරක්ෂාව වැඩිනම් මෙලෙස විකල්ප මාර්ග තීරුවක් තිබේනම් මීට වඩා බයිසිකල් පදින්නට මිනිස්සු උනන්දු වෙනවා ඇති යැයි මට සිතේ.


ඉඳගෙන පමණක් වැඩ නොකරන, ශල්‍යාගාරයේදී පැය ගණන් සිටගෙන සිටින අපට වෙරිකෝස්  , අධික රුධිර පීඩනය, දියවැඩියාව මෙන්ම තරබාරුව වැනි තත්වයන්ට ඉක්මනින් ළඟා වීමේ අවධානමක් තිබෙනවා. එමෙන්ම පරිගණක ආශ්‍රිතව වැඩ කරන අයටද මේ අවධානම වැඩියෙන් තිබෙනවා. එනිසා බයිසිකලයක් පැදීමෙන් බොහෝ දුරට මේ තත්වය අඩු කරගන්න පුළුවන් වෙන එකනම් ෂුවර්.  මොකද හැමෝම ජිම් එකකට හෝ ශරීර සුවතාවයට කියලා වයායාම් නොකරන නිසා. අනික අපේ රටේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ, ෆ්‍රයිඩ් රයිස් , කොත්තු රොටී, පරාටා වැනි පිටි තෙල් අධික කෑම වලින් කුස පුරවාගන්නයි එනිසා වෙන්නේ තවත් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන එකයි.




උතුරු කොණේ සියල්ලන්ගේම වගේ හිතකර වාහනය බයිසිකලයයි. එනිසා පොදු ජනයාටද අපි වැනි බයිසිකල් පදින දොස්තරලාටද හිත සුව පිනිස A9 මාර්ගයේ භයානක බව අඩු කළ යුතුය.


මෙය හදිසියේ හෝ කවුරු හරි පරිසර හිතකාමි මහතෙකුගේ හෝ සංවිධානයක ඇස ගැටුනොත්, මහ මාර්ගයට යාබද ව බයිසිකල් මංතීරුවක් සකසන එක ගැන මීට වඩා අපේ රටේ මිනිස්සුන්ගේ හිත් වල අවධානයක් ඇති කරන්න. බයිසිකල් පදින එක මීට වඩා මිනිස්සුන්ට කිට්ටු කරන්න උත්සහ ගත්තොත් හොඳයි කියලා හිතනවානම් ඔබලා කරන කැම්පේන් එකකට අපිද (බයිසිකල් පදින දොස්තරලා ) උපරිම වශයෙන් සහය දක්වන්නෙමු.
මිහිකත සම්පතක්. දිනෙන් දින වැඩි වෙන පරිසර හානියට සමගාමීව පරිසරය දැන් අපිට අහිතකර වෙන්නට පටන් අරගෙන. එක්කෙනෙක් හෝ මේ ගැන හිතා කටයුතු කරන්නේනම් මොන තරම් හොඳ ද?

මම නිතරම සිතුවේ… “ලෝකේ ඔබ දකින්න ඕනේ වෙනස ඔබම වෙන්න” කියාය. 
Be the change you want to see in the world !

ඒ නිසාම මම නිතරම හිතකර වෙනසක් බවට පත්වීමි.
ඔබත් පුළුවන්නම් කරන්න !


Image credit.. Earthian  on face book.and the rest from google search.

Sunday, June 10, 2012

Dont worry ! we'll save them all ! කොයි මොහොතෙත් කල්පනාකාරීව !


"ඩොක්ටර් ලේබර් රූම් ඉන්දුමතී අම්මාගේ බබාගේ FHS අඩුවෙනවා" ප්‍රසූතිකාගාරයේ සේවයේ නියුතු හෙදි සොයුරිය එළියට පැමිණ කියූ සැනින් අප සියල්ලන් එදෙසට දිව්වෙමු. පරීක්ෂා කර බැලුවෙමු. තව දුරටත් බල බලා ඉන්නට බැරිය. ගර්භාශය තුලින් ශ්‍රාවය වන ඇම්නියොටික තරලයද අඳුරු පැහැ ගැන්වී ඇත. මෙකෝනියම් යනුවෙන් මේ තත්වය හඳුන්වයි. දරුවා ප්‍රසූත කිරීමට තරම් ගැබ් ගෙලද ප්‍රමාණයෙන් විශාල වී නොමැත. ඉක්මනින් සීසර් කර දරුවා එළියට ගත යුතුය. කඩිනමින් ඇය ශල්‍යාගාරය වෙත ගෙන ගොස් සීසර් සැත්කම මගින් දරුවා එළියට ගත්තෙමු. ඒ ඇගේ පළමු දරු උපතය. දරුවාද මවද සුව සේ සිටී. දරු ප්‍රසුතියක් යනු ස්වභාවික සිදුවීමකි. එයට විශේෂ මැදිහත්වීම් වෙදකම් පෙර කාලයේදී සිදු නොකල තරම් ය. එය ස්වභාවික සිදුවීමක් වුවද ප්‍රසූත සංකූලතා නිසා මරණයට පත්වන මව්වරුන් ගණනද ළදරුවන් ගණනද පෙර කල ඉතා විශාල විය. අවසානයේ නමුත් අද වෙන විට වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා, මාතෘ හා ළදරු මරණ අවම කරමින් දරු ප්‍රසූතිය වඩා විශ්වාසනීය ලෙස සහ සුවදායක ලෙස සිදු කිරීමට ක්‍රම වේද සහ නිර්නායක යොදා ඇත. හදිසි අවස්ථාවකදී ඉක්මන් සැත්කමක් කර දරුවා එළියට ගැනීමට හැකියාව ඇත. ඉන් දරුවාගේ ජීවිතයද, අනික් අතින් මවගේ ජීවිතයද බේරේ. 

ඇතැම් විට ගර්භාෂයෙන් පිටත සිදුවූ පිළිසිඳ ගැනීම් සමග අම්මලා පැමිණේ. ඔවුන් එන්නේ එක්කෝ සිහි නැතිව අධික ලෙස ලේ වහනය වෙමිනි. එසේ නැත්නම් ඉවසා ගත නොහැකි ලෙස බඩේ කැක්කුමක් සමගය. එවිට ඉක්මනින් රෝගියා ශල්‍යාගාරය වෙත ගෙන ගොස් ගර්භාෂයෙන් පිටත පුපුරා ගොස් ලේ ගලමින් තිබෙන ඒ සියල්ල ඉවත් කොට ලේ වහනය වන තැන සොයා පිලිසකර කිරීමට සැත්කම් කළ යුතුය. මේ සියල්ල ජීවිතයත් මරණයත් අතර දෝලනය වන කාල පරාසයන්‍ ය. සුළු වරදකින්, සුළු ප්‍රමාදයකින් අහිමි වෙන්නේ මිනිස් ජීවිතය. ඇතැම් විට එනිසා සෙසු දරුවන් හට මවක අහිමි විය හැකිය. ප්‍රසව හා නාරි වේද වාට්ටු වල සේවය කිරීම මෙනිසාම අධික පීඩනයක් ගෙන දේ. කොයි මොහොතෙත් සිටිය යුත්තේ කල්පනාකාරීවය.

අනිත්කොණ ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරයකු ලෙස "පස්තාච්චි" හදාරන අතරෙම වැඩ කරන්නට වුනා. මෙහෙට ස්ථිර ලෙස පත්වෙලා ආපු හැමෝටම උවමනාව තිබුනේ ඉක්මනින් පස්චාත් උපාධියේ පලවෙනි කොටස පාස් වෙලා කොළඹට යන්න. මාසෙකටම හම්බුවෙන නිවාඩු වලින් ගෙදර දුවන්න බලාගෙන ඉන්නකොට හැමොගෙම හිත්වල නිතර තිබුනෙ නොරිස්සුමක්. ඒත් මෙහෙ බොහොම කැමැත්තෙන් හිටපු අපි කිහිප දෙනෙක්ට නම් මෙහෙ සේවය කරන එක හිතට සැනසුමක් ගෙන දුන්නා. ඒ අපි ඉන්න තැන සතුටෙන් සිටින්නට පුරුදු වී සිටි නිසයි. 

සීසර්, වන්දීකරණ මෙන්ම අනෙක් සියලු ශල්‍යකර්ම කරනන්ට සිදුවුනේ පෙර පුහුණුව ලැබූ අප දෙදෙදෙනාට සහ මේ ක්ෂේත්‍රයේ වසර 6 පමණ පලපුරුද්ද ඇති අපේ ජේෂ්ඨ අයියාටයි. ඔහු යුද්ධය පැවති කාලයෙත් ඉන් පසුවත් දිගටම අනිත් කොණ සේවය කරන කෙනෙක්. 2009 දී මේ රෝහල කොටින් යටත් කරගෙන මෙහි සේවයකයින් සියලු දෙනා සමග ශල්‍ය උපකරණ සහ බෙහෙත් පුදුකුඩු ඉරිප්පු දක්වා ගෙන ගිය ගමනේදී අයියාත් අනිත් හෙදි සොයුරියනුත්, මිඩ් වයිෆ් මිස්ලාත් වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා යටත් වී ඔවුන් සමග කියන කියන තැනට යන්නට වුනාලු. රෝහලට පැමිණ වැඩ බාරගත්තු කාලයේ සිට මගේ වැඩේම මේ කතා හාර හාර අහන එකයි. ඒ කාලේ අන්තිමට විශ්වමඩු වලට එහා පාසැලක් තුල පරිඝණක ශාලාවේ වායුසමණ යන්ත්‍ර පණ ගන්වා සීසර් කිරීම් සහ හදිසි සැත්කම් සියල්ල සිදු කරාලු. නිර්වින්දක වෛද්‍යවරුන් නොමැති කල, අයියා කොන්දට විදින නිර්වින්දක ක්‍රමය (spinal anesthesia)  පාවිච්චි කරමින් ඔහුම නිර්වින්දනය කර සීසර් සැත්කම කර අම්මලා සහ දරුවන් බේරා ගත්තාලු. ඔහුට මේ ප්‍රදේශයේ මෙන්ම සියලු කාර්යය මණ්ඩලය අදටත් බෙහෙවින් ගෞරව කරති.  

ඉතා නිහඬ නිහතමානි පුද්ගලයකු වන ඔහු අපට වඩා ජේෂ්ඨ වුවද තවම අප හා උරනුර ගැටී වැඩ කරයි. කොහොම හරි 2009, අවසාන සටනට කලින් විශ්වමඩු ප්‍රදේශයේදී ඔහු ඇතුලු වෛද්‍යවරුන් පිරිස නිරුපද්‍රිතව නැවත අප හමුදා මගින් මුදාගන්නා ලදී. දැන් දෙවෙනි තුන්වෙනි ප්‍රසූතියට පැමිණෙන බොහෝ මව් වරුන්ගේ ප්‍රථම දරුවා ඉපිද තිබුනේ අර පෙර කියන ලද ශල්‍යාගාරයක් වූ පරිඝණක කාමරයේය. දෙවිවරුන් වැනි වෛද්‍යවරුන් සිටිනවා යැයි මා විශ්වාස කරන්නේ මෙවැනි පුද්ගලයින් හමුවූ නිසාය. නැවත මේ ප්‍රදේශයට සාමය උදාවීමත් සමගම, මීට එහා උතුරු මැද පලාතේ අගනුවර රෝහලේ සේවය කරමින් සිටි ඔහු සහ ජේෂ්ඨ වෛද්‍යවරයෙක් පැමිණ නැවත මේ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකය (obstetrics and gynecology unit) ස්ථාපනය කර,  UN and UNICEF එකේ අධාර ඇතිව ශල්‍යා ගාරය සහ ප්‍රසූතිකාගාරය යථා තත්වයට පත් කල හැටිනම් අපූර්ව විශ්මිත වැඩකි. සියල්ල මුදල් මත පද නම් කර සල්ලි කාක්කන් මෙන් චැනල් කරමින් දුවන වෛද්‍ය මුදලාලිලා සිටින අප රටේ, මෙවැනි වෛද්‍යවරුන් අප රටට වාසනාවකි. ඔහුගෙන් ලද පන්නර අපටද වඩා හොඳ වෛද්‍යවරුන් වීමට ලද මහඟු භාග්‍යයකි.
 අපගේ සති සායන , නොම්මර ප්‍රමාණයකට සීමා නොකර ගර්බණී සායනයට  පැමිණෙන සියලුම ගැබිණි මවුවරුන් මෙන්ම නාරිවේද සායනයට පැමිණෙන සියලුම ස්ත්‍රී රෝගීන් පරීක්ෂා කරන්නෙමු. මෑතකදී අලුතෙන් පමිණි අප විශේෂඥ වෛද්‍ය තුමන්ලා දෙදෙනාම පැවසුවේ මෙලෙස ලංකාවේ කිසිම රෝහලක සිදු නොකරන බවයි. මන්ද  සායන දිනකදී අප 300 පමණ දෙනා පරීක්ෂා කරන හෙයිනි. මේ සේවා කාලය ඉතා වෙහෙසකර වුනත්  , රෝගීන්ගෙන් අප වෙත ලැබෙන පැසසුම් නිසා ඒ වෙහෙස ඉවසාගන්නට පුලුවන් තරමේ එකකි. හදිසි සැත්කම් අවසානයේ, රිකවරි රූම් එකේදී අපේ අත ගෙන සිඹ අපට ස්තූති කරන අම්මලා ද, තම දරුවා නිරුපද්‍රිතව ප්‍රසූත කරන්නට උපරිම වශයෙන් ඇප කැපවූ නිසා වැඳ ස්තූති කරන අම්මලාද බොහෝය. අවසානයේ අපට ඉතිරි වෙන්නේ අනුන් වෙනුවෙන් තම දිවි නොතකා කරන ලද කැපවීම පමණි.
ක්ලිනික් වල ස්කෑන් කිරීමට බොහෝ වෙලා ගත වේ. තිබෙන්නේ එක ස්කෑන් යන්ත්‍රයක් පමණි. බොහෝ විට සවස 5 වන තෙක් ස්කෑන් කරන්නෙමු.  සැරෙන් සැරේ මාරුවෙන් මාරුවට අපි එකිනෙකා  පැමිණෙන සියලුම ස්කෑන් අවශ්‍ය අම්මලා ස්කෑන් කරන්නෙමු.  මන්ද ඔවුන් දුර බැහැර සිට අතේ මුදල වියදම් කරගෙන පැමිණෙන්නන් වන අතර අපමණ දුක් කරදර මැද දිවි ගෙවන්නන්ද වන නිසාය. මනුස්සකම සහ අනුන්ගේ දුක නොහඳුනන වෛද්‍යවරුන් ඇතැම් විට " ඔහොම කොහොමද වැඩ කරන්නේ.. ගිහින් හෙට එන්න කියන්න අනේ මටනම් බෑ හවස හතරෙන් පස්සේ නම් රෑ වෙනකම් ස්කෑන් කරන්න " යැයි පවසයි. "බැරි නම් නිකම් ඉන්න අපි පුළුවන් අය ඒ දේ කරන්නම්" කියා අපි අපේ සේවය උපරිම ලෙස කරන්නෙමු. 
අපේ විශේෂඥ වෛද්‍ය වරයා මෙවැනි වෙහෙසකර දිනක අපට කියුවේ "ඔව් , අම්මලා 500 පමණ හිටියත් අපි හැම කෙනාවම පරීක්ෂා කරමු. කමක් නෑ... වෙහෙස වුනත් , අපි හැමෝගෙම ජීවිත රැකගත්තා කියලා අපට සතුටු වෙන්න පුළුවන්" කියාය.("dont worry , there may be 500 mothers but be happy that we'll save them all at the end of the day") ඒ වදන් අපට මහා සවියක් විය. 

Friday, May 18, 2012

ලියන්නට පැමිණි විට ඔබ ගිහින් සහ යන එක දුකනම් ඇයි හිනා වෙන්නේ ?


දිගු කලක් ලියන්නට බැරි විය. එහෙත් දිගු කලකින්  ලියන එකම එක සටහනට හෝ පැමිණ අදහස් දක්වා තව ලියන්නට හිත දිරිමත් කල ඔබා මාමේ , ඔබේ වියෝව හිත සසල කළා . එහෙත් ආවොතින් යා යුතුය නියමයෙන් ඔබ ගිහින්.මරණය අපට ඉතා කිට්ටුය, සසල වන සිතේ සටහන් ලියු බ්ලොග් පිටු එකිනෙක බලා හිත සනසන්නට වචනයක් ලියු අය අතරෙන් ඔබද කෙනෙකි. මා කවුරුන්ද කොහේ සිටීද යන්න කිසි දිනක නො විමසු, ලියු දෑ පමණක් කියවූ, බ්ලොග් ලියන අය අතර කාගෙවත් සිත නොරිද්දා විහිළුවෙන් තහළුවෙන් හැමෝගෙම සිත් සතුටු කල සටහන් ලියු ඔබ මම පුද්ගලිකව නොදැන සිටියෙමි. ලංකාවේ සිටින බව දැනන් උන්නේ නැත.රෝගීව සිටියාද නොදනිමි. සිංහල සකසාගෙන නැවත ලියන්නට එද්දී ඔබ ගොසින්. ඔබට නිවන් සුව මාමේ ! 


දිනය හරියටම මතකයේ නැත... මානසික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සේවය කරන කාලයේ මම සහ අනිත් වෛද්‍යවරයා හට එදින නියමිතව තිබුනේ මාසික ක්ලිනික් හෙවත් සායන වලට නොපැමින කට්ටි පනින ලෙඩුන් සොයා අපේ ප්‍රජා සත්කාර නිළධාරීන් ( උසස් පෙළ සමත් ගෑණු දරුවන් ටිකක්, ඉතා අඩු පඩියකට RDHS එකට සේවයට බඳවා ගෙන තිබෙනවා. ඔවුන් කරන සේවයට සරිලන වැටුපක් ලැබෙන්නේ නෑ.) ගමක් ගානේ ඇවිදලා නිවෙස් වලට ගිහින් සොයා බලලා අපට ඉදිරිපත්කරන නම් ගම් සහ ලිපිනයන් අනුව හෙද නිළදාරින් , ඇටෙන්ඩන්ලා සමග ගම්මාන වලට ගිහින් නිවසේදීම ඔවුන්ව බලලා බෙහෙත් විද , බොන බෙහෙත් ඔවුන් වෙත ලබා දී පැමිණීම හෝ ඉතා අසාධ්‍ය තත්වයේ සිටින අයෙක් වෙත්නම් එම ප්‍රදේශයේ පොලීසියේ සහයත් සමග ඇම්බියුලන්ස් එකක පටවා එවා ඔවුන් රෝහල්ගත කිරීම, යන මේවා අප විසින් සිදු කරනවා. අප මහ රෝහලේ තිබෙන මානසික සෞඛ්‍ය ඒකකය මේ උතුරු පළාතේම බොහෝම විශාල වපසරියක සේවා දියත් කර තිබෙන නිසා හැම දේම මූලික වෙලා කටයුතු කරන්න වුනේ වෛද්‍යවරුන් වන අප තිදෙනා සහ විශේෂඥ වෛද්‍යතුමායි. සුපුරුදු පරිදි නර්ස් මිස් මම සහ අයියා ( අනික් වෛද්‍යවරයා) ගැහැණු ඇටෙන්ඩන් කෙනෙකු සහ ප්‍රජාසත්කාර නිළදාරීන් දෙදෙනා සමග ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර් යාලයෙන් අපට ලබා දුන්නු ඩබල් කැබ් වාහනයේ හෝම් විසිට් යනුවෙන් හඳුන්වන  ලෙඩුන්ගේ නිවෙස් සොයා ගමන් කළෙමු.

එදින මා එම  home visit යනුවෙන් හැඳින්වූ සායනයට සහභාගී වුනු ප්‍රථම දිනයයි. ප්‍රථමයෙන් තිබුනේ නගරයට ආසන්නයෙන් විද්‍යා පීටය අසල තිබුණු ගම්මානයක රෝගීන් දෙතුන් දෙනෙකු බලන්නටයි. පළමු නිවස්නය වෙත අපි ගියෙමු. ඔබ විස්වාස කරනවද , එහි වහලෙහි උස මා තරමටමය 
 අපි එහි ගොස් කතා කර විට එලියට පැමිණි කාන්තාවක් අප විමසන රොගී කත ඇතුලෙහි නිදි බව පැවසුවාය. සායන කිහිපයකටම නොපැමිණි ඇයගේ රෝග තත්වය උත්සන්න වී දැන් දහවල් කාලයේම නිදා ගන්නටත් රාත්‍රියට ඇහැරී ඉන්නටත් නොයෙක් විට කෝපයෙන් අන් යට බැන වදින්නටත් පෙළඹෙන බව ඇය කීවාය. ඒ අප හා කතා කලේ ඇගේ සැමියාගේ දෙවෙනි භාර්යාව  බව පසුව අප දැනගතිමු. හන තල කොළ සහ ඉවත දමන ටකරන් කාඩ් බෝඩ් වලින් සාදා තිබූ ඒ නිවහනේ දැන් පවුල් දෙකක් ජිවත් වේ. හරියට ගෙයක් දොරක් ඉන්න හිටින්න තැනක් නොමැති මේ පුද්ගලයා කුලී වැඩ  කරමින් පවුල් දෙකක් නඩත්තු කරන එකත් පුදුමයක්. ඔහු පැමිණි විට රෝහලට පැමිණ අප හමුවෙන්න යයි කියමින් අපි අර අඩි 6 වත් උස නැති ගෙදර ඇතුලට බෙල්ල නවාගෙන පිවිස නිදා උන් ඇයට එන්නත් සහ අනෙක් බෙහෙත්  ලබාදී  . පොතද ලියා දී එලියට පැමිණියෙමු. 
'ඇයි මේ මිනිස්සු මෙහෙම ජිවත් වෙන්නේ .' අවට වූ එවැනිම ගෙවල් විසි තිස් ගණනක් දුටු මට බොහෝ දුක සිතිනි. මේවා දකින පළමු පුද්ගලයා මම නොවේන බව දනිමි. එත් මේව දුටු මහතුන් (රජයේ හෝ රාජ්‍ය නොවන සංවිධාන ) මොකුත් උදව්වක් නොකළ එක මට ලොකු විමතියක් විය. සතියකට දෙතුන් දින එක එක සංවිධාන වලින් අප හමුවීමට පැමිණ සමාජ සත්කාර කරමු යයි පොරොන්දු වන අය මතකයට නැගෙද්දී මොවුන් ගැන කා එක්ක හරි කියා උදව්වක් ලබා දීමට මට කල්පනා විය. මා සමග ගිය අනෙක් වෛද්‍ය සහෝදරයාගේ කැමෙරා ෆෝන් එක ඉල්ලා ගෙන නිවැසියන්ගේ අවසරය ඇතුව හාත්පස ෆොටෝ ගතිමි. අනෙක් වෛද්‍යවරයා මේ අංශයේ බොහෝ කල් සේවය කර තිබෙන බැවින් ඉස්සර ආ ගිය විට මේවා දුටු වී නැතිදැයි විමසමින් මම ඔහුටද දොස් කීවෙමි. ඔහු ඒ සියල්ල සිනහ සෙමින් අසාගෙන සිටියේය. '' අපි මේ අයට මොකක් හරි උදව්වක් කරමු අයියේ...'' මම  අනිත් වෛද්‍ය වරයාට පවසමින් බොහෝ කම්පා වීමි. 
ඔහු වාහනයට ගොඩ වී පැවසුවේ. ''පොඩ්ඩක් ඉන්න අද හවස වෙද්දී ඔයාට උදව් කරන්න හිතෙන අය කොච්චරද කියා අපි බලමු'' කියලයි.
නිවෙස්  විසි තිස් ගනනෙහිම තත්වය එයම විය. ආදී 5 හෝ 6 උස නැති ගෙවල් සහ ඒවා තුල සිටි විවිද රෝග වලින් පීඩා විඳි මිනිසුන්...
ඉන්පසු මම අප හා පැමිණි එම ප්‍රදේශයේ මනෝ සෞඛ්‍ය නිලදාරියා සමග කතා බස් කලෙමි. ඔහු පැවසුවේ මොවුන් එක්දාස් නමසිය අසූ ගණන් වල සිට  සිටින්නේ  මෙයාකාරයෙන් බවයි. ඔවුන්ට ඔවුන් සිටින තත්වයෙන් පොඩ්ඩක් හෝ හොඳ තැනකට එන්නට උවමනාවක් නැත. මුඩුක්කු මෙන් දිස්වූ එම ගම්මානය ගොඩ ගන්නට නොයෙක් වර නොයෙක් දෙනා ඉදිරිපත් වූ බව උදාහරණ සහිතව ඔහු පැවසීය. ඊළඟ ගෙදරට පැමිණි විට අනෙක් වෛද්‍යවරයා නැවත මට ඔහුගේ කැමරා ෆෝන් එක දිගු කළේය.


 ''කමක් නැහැ හැම එකම එක වගේ . අවුරුදු 20 බැරි වුන දේ පිටස්තර මට තනිවම වෙනස් කරන්න බැරි බව මම වටහා ගත්තා '' මම කීවෙමි. 

''මාසේ වැඩි දවස් ගණනක් රෝහලටම කොටු වෙලා වැඩ කරන අපිට මේවා කරන්න අමාරුයි. කරන්න පුළුවන් අයටවත් මේ අයට උදව්වක් කරන්න ඕනේ කමක් නැති කොට නංගී කොහොම කරන්නද, අනික් එක හැමදේම දේශපාලනීකරණය වෙලා ඉවරයි.ඒ අය ඉන්නේ රජයේ ඉඩම් වල ඒවායේ ස්ථිර නිවස හදාගන්න ඔවුන් කැමති නැහැ. ඔය ජිවන ක්‍රම වෙනස් කරන්න කාටවත් බැහැ '' මෙය ඇසු අපේ ජේෂ්ඨ වෛද්‍යවරයා පැවසුවේය.
ඔය අතර අපි ගිය සමහරක් ගෙවල් වල මානසික රෝගී තත්වය උත්සන්න වූ රෝගීන් මන්නා, කැති පොරෝ අරගෙන අප පසු පස පන්නා ආ අවස්ථාද, පාරවල් දිගේ දුව යන අය පසුපස දිවගොස් අල්ල ගත අවස්ථාද එමටය. එවැනි අවස්ථාවල පොලිසියේ සහය අපට නො අඩුව ලැබිණි. සමහර ගෙවල් වලදී අපව බොහොම සුහදව පිළිගත් ඔවුන් නිවෙස ඇතුලට යන හැම විටම බෙල්ල දිගු කර විමසිලිමත් ව සිටිය යුතු වුනේ, කොයි වෙලේ පිහියක් හෝ මන්නයක් උස්සාගෙන ඒවිදැයි සැකයෙන්. 
කුණු ගොඩවල් වලින් කාමරය පුරවාගෙන එම කුණු ගොඩේ ජීවත්වෙමින් සිටි මානසික රෝගී තත්වය උත්සන්න වූ රෝගීන් අසලට ඔවුන්ගේ පවුලේ අයවත් ලං වෙන්නේ නැති කොට, අප ඒකකයේ ප්‍රජා සේවා නිලධාරීන් හෙද සොහොයුරන් සහ වෛද්‍යවරුන් වන අපි ගොස් කුණු කන්ද අවුස්සා එම රෝගීන් නොයෙක් දංගලීම් කෑකෝ ගැසීම් , නියපොතු වලින් හීරීම් අත පය වලින් පහර දීම අස්සේ එන්නත් විද ඇම්බියුලන්සයේ දමාගෙන එන්නේ නොයෙක් බාධක මැද්දෙහි ය. 


සේවා කාලය අවසන් වී  අනිත්කොණ එම රෝහලෙන් සමුගෙන පැමිණිදා සිතට බොහෝ දුකක් දැනුනා. මා සමුගෙන එන විට ජායරූපගන්න අවස්ථාවෙහි. අපේ නේවාසික වාට්ටුවේ සිටි රෝගී තරුණියක් පැමිණ මනෝ උපදේශන නිලදාරිනියගෙන් විමසුවේ ''ෆොටෝ ගන්නේ ඇයි'' කියාය.
'' මේ ඩොක්ටර් යනවා මෙහෙන් එකයි'' අයට පිළිතුරු ලැබිණි. ඊළඟ සමුහ ජායාරූපය ගනිද්දී එතනට පැමිණි ඇය,
 '' ඩොක්ටර් යනවට දුක නැද්ද. ඇයි ඕගොල්ලෝ ෆොටෝ වලට හිනාවෙලා ඉන්නේ. අඬන්න, අඬන්න , දුක පෙන්නන්න '' යනුවෙන් කියුවාය. 
''බලන්න මෙයා හිතන දුර '' කියා අපේ කෙනෙක් පැවසුවා මතකය.
පැමිණි පළමු දින ''චින්න පුල්ලේ '' (පොඩි ළමයා) නමින් මා ඇමතු ඇය schizophrenia නමින් හදුන්වන මානසික රෝගයෙන් පෙලෙන්නියකි. මම පොඩි ළමයෙක් නොවේ මෙහි දොස්තර බව කොතෙක් කීවද, දොස්තරලා වයසයි, ඔයා තාම පොඩියි '' යනුවෙන් මට නිරන්තරයෙන්ම 'චින්න පුල්ලේ ' නමින්ම අමතයි.  ඇගේ සැමියා සිටියේ විදේශගතවය. ඇගේ schizophrenia රෝගී තත්වය දැන ගෙනම ඇය හා විවාහ වූ ඔහු නිතර අප හා කතා බස් කර ඇය ගෙන විමසයි. සැමියා සිටින රට ගුවන් යානයෙන් යන්නට දැඩි බියකින් පෙලෙන ඇය එහි ගෙන්වා ගන්නට නොහැකිව ඔහු කම්පා වෙයි. 
''ඩොක්ටර් ඇයි යන්නේ'' යනුවෙන්, හඬන්නට වූ ඇය මා සමග ජයා රූපයකට පෙනී සිටියේද දුක්බර හැඬුම් මුහුණෙනි.  

මේ කියවන ඔබලා සමහර විට වෛද්‍යවරුන් මෙවැනි සත්කාර කරනවාදැයි නොදැන සිටියා වෙන්න පුළුවනි. වෛද්‍යවරු සුළුතරයක් අරුණු විට බහුතරය මානුෂික ගුණාංග වලින් හෙබි පිරිසකි. විවිධ අංශ රැසක සේවය කර අත්දැකීම් ඇති මා ශ්‍රේෂ්ටතම වෛද්‍යවරු දුටුවේ මානසික වෛද්‍ය ඒකකයේ සේවය කරද්දීය. දැන් මා සේවය කරන්නේ මාතෘ හා ගැබිණි වාට්ටු වලය. පෙර කල ලැබුණු අසීමිත කැපවීමේ පුහුණුව නිසා අපෙන් ප්‍රතිකාර ගැනීමට එන කවරෙකුට හෝ උපරිම සේවය කරන්නට සිත හැදී පැහැදී තිබේ.

All thanks to google transliteration which resolved my sinhala typing issue for the moment !

Sunday, May 6, 2012

I wanted to write :(


Preethi Vesak every one !
Anithkona is enjoying Vesak at the other end of the country. The forces people have arranged many events. There is a dansala and pahan koodu pradarshanaya. Im seeing many Vesak lanterns around the area and people seem to enjoy the freedom and serenity even though the economical burden grows stronger each day. I cant believe its been 3 years since the war ended.


During this vesak season I came across a different kind of a budu guna geeya on youtube...Lyrics is so meaningful and the places shown on the video seem to have a historical value.



I wanted to write... more and more stories.. but everything seems to go towards the wrong direction
well,  nothing's really wrong with life.. its blooming and changing everyday ! saving lives , devoting our selves as usual, to save a strangers life, over this end of the country,  I'm a senior now and that means less work and more bossing around. More responsibilities and worries as well.
The only worry right now is my laptop, giving me trouble all the time..

The old one just died cause the battery couldnt stand this heavy fluctuating electricity. The geeks say there's a driver software error.. as well. It just shuts down on its own and when it wants. Some one who's an expert in the subject needs to have a good look at my beloved Mr Asus. so Im waiting for them to fix it.

Then after some time I got a new mini laptop from My wonderful brother. It is so handy to use.I was happy once again.. yeyii I could write but alas ! then the internet dongle stopped working. Finally overcame this by getting a new dongle.

Just my luck ! Now the mini lap wouldnt show sinhala unicode properly. Its got windows XP and google chrome. I've done what ever the geeks told me to do. Installed the correct pack and all but still it wouldnt show sinhala.
So I guess I have to wait until I get a normal sinhala typing facility.

Until then , Stand by me... :) I love the songs put together by "Playing for Change" It feels so good to know that there are others who want to change the world in a different way !



Monday, February 27, 2012

අනිත්කොණ තනිවුනු ළමා මව්වරුන්...

unmarried, unwanted / teenage  pregnancy යන පාඨයත් සමග  MOMH (medical officer- mental health) , MOMCH (medical officer- maternal and child health) විසින් අප සායන වෙත යොමු කරන එවන ළමා මව්වරුන් දුටු විට සිතට බොහෝ කළකිරීම් ඇතිවේ. අවුරුදු 15, 16 වියේ පසුවන අය (පිසාචයන් මැද ලිපියේ ලියූවාක් මෙන් ) මෙන්ම 18, 19 වියේදී විවාහ වී ගැබ්බරව දරුවන් ප්‍රසූත කිරීමට එන මව්වරුන් මේ ප්‍රදේශවල සීග්‍රයෙන් ඉහළ යයි. මේ ගැන හොයා බලන්නටම ප්‍රොෆෙසර් කෙනෙකුත් මේ ළඟදී මේ ප්‍රදේශයට පැමිණියාලු. මේ ප්‍රදේශ වල වැඩිහිටියන්ගේ නම් අදහස යුද්ධයෙන් නිදහස් වී අවසානයේ අසීමාන්තිකව ලැබුනු නිදහස නිසා මේ තරම් සමාජය පිරිහීමකට ලක්වුනා කියලයි.
මුහුණ දකිද්දීම කුස දරා සිටින බර පොදිය ගැන ඇත්තටම  ඕනෑම කෙනෙක්ට දුකක්ඇතිවේ. ඊළඟ ප්‍රශ්ණය බැඳලාද යන්නයි.
බොහෝමයක් දෙනාගෙන් ලැබෙන පිළිතුර - වයස හරි නැහැ එනිසා රෙජිස්ටර් කරලා නෑ කියලා යන්නයි. මහත්තයා ළඟ ඉන්නවද ඇහුවොතින් එයටද ඔව් කියා පිළිතුරු දෙන්නේ කිහිප දෙනෙයි.

මාලතී අවුරුදු 17 වියැති දැරිවියකි. යුද්ධය අවසානය වන විට ඇයට සහ ඇගේ මවට ඉතිරි වුනේ ඔවුනොවුන්ගේ පිළිසරණ පමණි. යටි බඩේ කැක්කුමයැයි කියමින් රෝහල් ගතවුනු ඇයට ප්‍රසව වේදනා නොවන බව වැටහුනේ පරීක්ෂා කර බැලීමේදීය. සති 29 පමණ වෙන නිසා ඔහොම කැක්කුම් සමහර විට ඇතිවෙනවා කියා පවුල් සෞඛ්‍ය ය නිළදාරිනිය විසින් ඇයට පැහැදිලි කර දෙද්දී වයසක අපේ නර්ස් මිස් පැවසුවේ.. පාසැල් යන වයසේ ඔහොම දේවල් කරගත්තම ඉතින් දුක් විඳින්න තමයි වෙන්නේ කියාය.

"මාලතී ඉස්කෝලේ ගියාද ?"
 " ඔව් ඕ ලෙවල් කරා" ඇගේ ප්‍රතිඵල මා හා කියයි.
 "ඒ දෙකයි බී හතරයි ඉතිරි ඒවා සී " .

"ඉතින් දරුවෝ මේ තරම් හොඳ රිසල්ට්ස් අරගෙනත් ඇයි ඉගෙනීම නතර කර ගත්තේ" මම ඇසුවෙමි.
ඇගේ මව පැවසුවේ... "තාත්තා නැති මේ දරුවා තව තියාගෙන මට රැකගන්න ශක්තියක් නෑ එනිසා එයාගේ මස්සිනාට බන්දලා දුන්නා"
 මා මීට ඉහතදී අනිත් කොණ අම්මලා සහ අපේ නිදහස ලිපියේ ලියුවාක් මෙන් මේ අම්මලාගේ ජීවිත මෙලෙස වෙනස් වීම ගැන ඔවුන්ට දැඩි ලෙස දොස් කියන්නටද නොහැකිය. ආර්ථික මට්ට්මෙන් සහ සමාජ උපකාරවලින් දැනුවත් කිරීම් වලින් අඩු ප්‍රදේශ වල මේ ආකාර දේ සිදුවෙන එක පුදුමයක් නොවේ. දරු ප්‍රසූතියේදී කැක්කුම ඉවසාගත නොහැකි ඒ දරුවන් හඬා වැලපේ. දරුවන් ලැබෙද්දී ඔහොම තමයි කියමින් වේදනා නාශක දෙනවා හැරෙන්න වෙන විකල්පයක් නොමැත. එවැනි දේ කරගත්තේ ඇයි කියා බැන හඬ ගාන්නටද පරක්කු වැඩිය. මේ ප්‍රදේශ වල නව යොවුන් වියේ සිටින දරුවන් මෙන්ම 13, 14 වියේ සිටින දරුවන්ද මෙවැනි දෑ ගැන දැනුවත් කළ යුතුමය. මන්ද ඔවුන් නොදැනීම ඔවුන් අපයෝජනයට ලක්වෙන නිසාවෙනි.

නන්දනී දරු ප්‍රසූතිය සඳහා අපේ රෝහලට ඇතුල්වෙද්දී ඇයගේ කුසට මාස 10 සම්පූර්ණ වී තිබුනි. නමුත් කීසිම දිනක ඇය මාතෘ සායනයකට සහභාගී වී තිබුනේ නැත. මහ රෑ බොහෝ අමාරු ප්‍රසව වේදනා සහිතව පැමිණි ඇයගේ රුධිර ඝණය, රුධිර හිමෝග්ලොබින් මට්ටම හෝ කුසේ ඉන්න දරුවා එක් පාරක් හෝ ස්කෑන් කර බලා නොතිබිනි. සුපුරුදු පරිදි මෙලෙස කරන්නේ ඇයිදැයි දෝස් මුරයක් සමග ඇය ස්කෑන් පරීක්ෂා කරන විට ඇයගේ නෙතින් කඳුළු කැට කඩා හැලිනි. මොකක් නැතත් මේකනම් කරගන්න දන්නවා... සුපුරුදු පරිදි වැඩිහිටි මිස්ලාගේ දෝෂාරෝපණය ඇසේ.

 "අනේ ඩොක්ටර් මම බී ඒ ග්‍රැජුවේට් කෙනෙක්. මම ටීචිං ලැබෙන කම් හිටියේ. "නන්දනී ඇගේ කඳුළු කථාව මා හමුවේ දිග හැරියාය.

පවුලේ වැඩිමහළු දරුවා වන ඇය නොයෙක් දුෂ්කරතා මැද ඉගෙන ගෙන ....... විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් කාලයේ දැන හඳුනගෙන සිටි එහිම ශිෂ්‍යයෙක් සමග පෙම් සබඳතාවක් පවත්වා තිබුනි. මේ අදමයා විසින් ඇගේ අකමැත්ත පිට * (ඇයට අනුව) මේ සා කරදරයක් සිදු කර පසුව ආදරය පිටින් දමා බොහෝ පොරොන්දු දී ඇය ගැබ්බර වූ විට ... මේ දරුවා තමාගේදැයි සැක කරන බව ඇයට පැවසුවාලු.

" පොලිසි යන්නනේ තිබුනේ... " මගේ අදහසය.

"මෙච්චර දෙයක් කරලා එහෙම කැත කතා කරන්න පුළුවන්කමක් තියෙන මිනිහෙක්ගෙන් මොකද්ද ඇති වැඩේ ඩොක්ටර්. මම පුළුවන් විදිහට දරුවා හදා ගන්නවා. මම ගමින් ඈත මේ පළාතේ යාළුවෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නේ බබා ලැබෙනකම්. "

නීතිය අනුව මෙවැනි සිදුවීම් අප රෝහල් පොලීසියට හෝ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ යුතුය. දරුවෙක් තනියම හදා වඩා ගැනීම කළ හැකි නොවෙන බවත් ඇයට මේ සඳහා සාධාරණයක් ඉටු විය යුතු බවත් බොහෝ වෙලා රැගෙන අප පැහැදිලි කර දුන්නෙමු. ඇයට ඒසා අපරාධයක් කළ ඒ මිනිසාගේ මුහුණ බලන්නටවත් අවස්ථාවක් උදාවුනොතින් එය ඇයට කළ නොහැකි දෙයක් බව ඇය පුන පුනා කීවාය. ඇය දරුවා ප්‍රසූත කළ පසු ඉහත සඳහන් අංශ වෙත අපි ඇය යොමු කෙරුවෙමු. දින දෙකක් යන්නට මත්තෙන් ඇය දරුවාද සමග වාට්ටුවෙන් අතුරුදහන් වී තිබුනි.

 උපාධිදාරිනියක් වූ ඇයගේ හෙට දවස යහපත් වේවා යැයි කියා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙනයමක් අපට කළ නොහැකිය. ඒසා කරදරයක් වුනත් දරුගැබ විනාස නොකර රැක ගත් ඒ අම්මා ගැන එහෙම මතකයක් ඉතිරි වෙද්දී සමාජයට මුහුණ දෙන්නට බැරිව, ආර්ථික ප්‍රශ්ණ හෝ සාමාජීය ප්‍රශ්ණ කන්දක් නිසා අන්තිමේ තමන්ගේ දරුගැබ විනාස කරගන්න නොයෙක් නීතිවිරෝදී ක්‍රම උපායන් සහ නීති විරෝදී ගබ්සා මධ්‍යස්ථාන වලට යන අම්මලාද අන්තිමේ බොහෝ කරදර සිදු කරගෙන නතර වෙන්නේ රෝහලේ නාරිවේද වාට්ටුවේ හෝ මෝචරියේය. ඔහොම පැමිණෙන හැමෝටම තිබෙන්නේ එකම කතාවකි. ඉබේ සිදුවීමක් ලෙස අපට කියූවත් පරීක්ෂා කර බලද්දී අලගිය මුලගිය තැන් සේරම අම්මලා එකින් එක හෙළි කරනවා. එවැනි දේ නිසා ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කොට එලොව ගොස් මෙලොව ආ අම්මලාද ඕනෑ තරම්. රටේ නීතිරීති පද්ධතියක් තිබුනත් එය සමාජයට කොතරම් අනුගතද යන්න නැවත සොයා බැලීම වටී. නැත්නම් නිරපරාදේ නාස්ති වෙන්නේ නොදැනුවත්කම නිසා කරදරේ වැටෙන ජීවිත පමණි.

ඊළඟට අපේ නාරිවේද සායන වලට සති හයකට පසු පවුල් සංවිධාන ක්‍රම වේදයක් අනුගමන කිරීමට මේ කුඩා අම්මලා පැමිනෙන්නේ අලුත උපන් කිරි කැටියත් කර ගහගෙන. එහෙම පැමිණෙන ඔවුන්ගේ අත්වල ඉන්නේ නොයෙක් විච්චූර්ණ කර අන්දවා ගත් බෝනික්කන් වැනි දරු පැටවුන්‍ ය. දරුවන්ට අධික රස්නය දැනෙන විච්චූරන ඇඳුම් මෙන්ම කණකර ආයිත්තම් පුරවලාය. අර කුඩා ඇඟිළි වලටත් රත්තරන් මුදු පළඳලා.අපේ අවවාද  නිසා ඇතැමෙක් එවෙලේම ඒවා ගලවනවා. ඔවුන්ට දොසක් කියන්නත් බෑ, ඇයි ඉතින් ළමා වියේදී අම්මලා වුනු මේ අම්මලාට මේ දරුවා බෝනික්කෙක් වගේ හැඩ කරන්නට සිත් දීම පුදුමයක් නොවෙයි නේද ?

කිරි පැකට් මෙච්චරකට ඔබලාට අච්චරක් !

ක්ලිනික් දවස කොහොමත් වෙහෙසකර දිනයක්, ක්ලිනික් බොහෝමයකට මා සැරින් සැරේ සේවය කරපු හැම අංශයකදීම වගේ සහභාගි වී තිබෙනවා. සමහර ඒවා රෝහල් වල පැවැතුන අතර තවත් සමහර ඒවා ඉස්කෝල වල , යුද්ධයෙන් මුදාගත් ප්‍රදේශවල පැවැත්වුනා. ඔය හැම එකකටම බෑ කියන්නේ නැතුව සහභාගි වෙන සිරිතක් අපේ තිබුනා.

ඒ අත්‍දැකීම් සොය සොයා යන තරුණ කාලේ, සේවය කිරීමට තිබුනු ඕනෑකම කියලා කිව්වත් නිවැරදියි. හැබැයි ඉතින් රෝහලේ සායන නම් අපි අනිවාර් යයෙන් කළ යුතුමයි. යුද්ධය අවසානයේ කල්මඩු, මඩු, මුලතීවු වැනි ප්‍රදේශවලත්, පසුව දිගු කාලයක් මැණික් ෆාම් වලත් පැවති සායන වලට බොහෝ විට සහභාගි වෙන්නට සිදු වුනේ අපිටයි.

සති කිහිපයකට වරක් එලෙස කොහේ හෝ ඉස්කෝලෙක පවත්වන සායන වලට අපේ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යතුමන්ලා සමග අපි සේරම සහභාගි වෙන්නේ ආරක්ෂක අංශවල පූර්ණ අනුග්‍රහය ඇතුවයි. විවිධ ඖෂධ කොම්පැනි වලින් නොමිලේ බෙහෙත් පෙට්ටි ගණන්ද නොයෙක් ආකාරයේ ස්පොන්සර් කිරීම්ද සමග ඈත ඉස්පිරිතාල නොමැති දුෂ්කර පළාත්වලට යන එක ඒ මිනිස්සුන්ට මොන තරම් සේවයක්ද කියලා හිතුනේ ළමයින් දෙතුන්දෙනා වඩාගෙන වැරහැලි වෙච්චි ඇඳුම් ඇඳගෙන පැමිණි ඒ මිනිස්සුන්ව දකිද්දියි. බොහෝමයක් දරුවන්ගේ බඩ ගෙඩි ඉදිරියට නෙරා තිබුනා, මන්ද පෝෂණය මෙන්ම පණු අමාරුවද ඔවුන් අතර සුලභයි.

 සමහර ගම්මාන වල අපේ වාහන බස් පිටු පස්සෙන් දුව ඇවිත් පොදි කකා ඉන්න අතන මෙතන සෙල්ලම් කරමින් හිටි ළමුන් සියල්ලම මොකක් හරි ලෙඩක් කියාගෙන පෝළිමේ පැමිණෙන්නේ, බෙහෙත් බොන්න වුවමනාවටම නොවේ. සිදුවන්නේ කුමක්දැයි ඔවුන්ට තිබෙන කුතුහලයටයි. එලෙස පැමිණෙන කුඩා දරුවන්ට කිසි ලෙඩක් නැති වුනත් වැහැරුණු ශරීර සහිතව පෝෂණ ඌනතානම් ඕනෑතරම් ඇති බව වැටහෙන නිසා විටමින් පෙති කාඩ් එකක් හෝ සමග ඔවුන් පිටත් කර හරින්නේ පිරිසිඳුකම ගැන දේශනාවක්ද දෙමිනි.

 අපි වාට්ටුවල, මහ රෝහලේ ක්ලිනික් කරද්දී ක්ලිනික් අවසානයේ එළියේ පොදි කකා බලන් ඉන්නේ ඩ්‍රග් රෙප් ලා හෙවත් ඖෂධ කොම්පැණි වල නියෝජිතයන්. ඒ ඔවුන්ගේ ඖෂධ වර්ග ගැන අපව දැනුවත් කිරීමට මෙන්ම අපි ලව්වා ඒ ඖෂධ රෝගීන් හට නිකුත් කිරීමටයි. අප රෝහල් වල, ඖෂධ නාමය මිසක් වෙළඳ නාමය පාවිච්චි නොකරන නිසාත් , ඇතැම් විට රෝහලේ නොමැති ඖෂධ වර්ග වෙත්නම් පමණක් වෙළඳ නාමයෙන් ලියා දෙන නිසාත් අපට මොවුන්ගේ ක්‍රියාකාරකම් එතරම් වැදගත් වෙන්නේ නැත.

ඔය කියන දිනයේ අවසර ගෙන පැමිණියේ කිරි පිටි සමාගමක නියෝජිතවරයෙක්. ඔවුන්ගේ පිටි වර්ගය සහ එයින් කුඩා දරුවන්ගේ මොළය වර්ධනයට ලැබෙන පිටිවහල කියවලා කියවලා අන්තිමට ඔහු කියා සිටියේ, මේ කිරි පිටි වර්ගය පමණක් පාවිච්චි කරන්න යැයි අම්මලාට අපි ලියා දුන්නොතින් කොම්පැණියෙන් නොයෙක් වාසි අත්වන බවය. මට නම් එක විටම හිනහා ගියා. එදාවේල කන්න බොන්න සල්ලි නැති මේ කොණේ මිනිස්සුන්ට තව මව්කිරි වෙනුවට මේ කියන අහවල් පිටි එකත් දෙන්න කොහෙත්ම බැරිය.

" මේ දරුවන්ට සාමාන්‍ය පිටි කිරි වේලක් ලැබෙනවාද කියන එකත් සැක සහිතයි ඉතින් ඔබ කියන්නේ මට මේවාගේ අධික මිල පිටි වර්ගයක් ලියා දී ඒ දෙමාපියන්ට තවත් කරදරයක් වැඩි කරන්නද ?" මම ඇසුවා.

"ඇයි ඩොක්ටර් එහෙම කියන්නේ, මේක ලියලා දුන්නොත් ප්‍රෙස්ක්‍රිප්ෂන් මෙච්චරකට මේවගේ ප්‍රතිලාභ ලැබෙනවා, මෙච්චරක් වුනොත් විදේශ සංචාරයකට ස්පොන්සර් කරනවා. " .

" මේ මිනිස්සු දැන් තමයි ටිකක් නිදහසේ ජීවත් වෙන්නේ. බොහෝමයක් අය කරන්නේ කුලී වැඩ. දන්නවාද මේ දරුවන්ට නොයෙකුත් පෝෂණ ඌණතා. මස් මාළු හෝ කොළ එළවළු එදා වේලට එකතු කරගන්නේ හරිම අඩුවෙන් මේ අය. බොහෝ විට, පිටි කෑම වලට හුරු වෙලා. එදිනෙදා දවසේ පඩිය උපරිම රු. 300 පමණ ගන්න මෙවැනි පවුල් වලට අපි කොහොමද අමතර බරක් ඇති කරන්නේ. ඔන්න ඕගොල්ලෝ මේ වගේ අසරණ පවුල් වලට ඔය පිටි එක සහනදායි මිලකට නිකුත් කරනවානම්. එහෙම නැත්නම් තෝරාගත්තු පවුල් වලට නොමිලේ දෙන්න ක්‍රමයක් ඇති කරනවානම් එහෙනම් අනිවාර්යයෙන් ටිකක් සල්ලි තියෙන ආර්ථික අහේනියක් නැති අපි දන්න අයට උනත් මේ පිටි එක පාවිච්චි කරන්න කියන්න පුළුවන් ". මට එවෙලේ ඇතිවුනු සිතුවිලි එහෙම්මම එළියට දැම්මාය.

"ඩොක්ටර් වගේ කවුරුත් කතා කරේ නෑ. ඔහොම හිතන දොස්තරලා ඉන්න එකත් සතුටුයි." ඔහු පැවසීය.

" අපි සතියෙන් සතිය කුඩා දරුවන් වෙනුවෙන් පිට පළාත් වල සායන පවත්වනවා, මේ පළාතේ පාසැල් වල දරුවන්ගේ ඉගෙනීමට දුර්වල දරුවන් ගුරුවරුන් විසින් යොමු කළ විට ඔවුන් සහ ඔවුන්ගේ පවුල් පසුබිම ගැන විශ්ලේෂනය කරනවා. බොහෝමයක් දරුවන් පෝෂණ ඌණතා වලින් පෙළෙනවා. මේ කිරි වීදුරුවකට පෝෂණය විටමින් සියල්ල සපුරන්න පුළුවන්නම් එවැනි දරුවන් ඉන්න පවුල් වලට ඔබලා සහනයක් කිරීමට උත්සහ ගන්න පුළුවන්ද ? අන්න ඒවගේ දෙයක් කරනවානම් මම මේ කිරි පිටි එක  ගැන සල්ලි තිබෙන , ආර්ථික අහේනියක් නැති අය වෙත  කියන්නම් " .

"ඔබ අපිට වෙනස්ම පැත්තක් පෙන්වා දුන්නා. මම මේ ගැන අපේ මැනේජර් සමග කතා බස් කරන්නම්. මේක අළුත්ම ආකාරයක සමාජ සත්කාරයක් වේවි." මා කියූ සියල්ල සටහන් කරගත් ඔහු ඔහුගේ නේම් කාඩ් එකකුත් දී සමුගත්තා.

නමුත් අනිත් කොණ රෝහලෙන් පැමිණෙන තෙක්ම ඔවුන්ගෙන් ආයේ අහන්නට ලැබුනේ නෑ. නමුත් මේ ගැන කාටවත් දොස් කියා වැඩක් නැත. මේ අද සමාජය හැඩ ගැසී ඇති අන්දමය.

මා මේ කතාව මිතුරන් හමුවේ පැවසූ විට " පිස්සු ඩොකෙක් " කියා ඔවුන් කියන්නට ඇති යැයි එකෙක් පැවසීය. මොන තරම් ඇත්තද ? මේ අයුරෙන් සිතීම එක්තරා විදිහක පිස්සුවක් වුවද විය හැකිය.

හැමදාම ලියන්න තරම් කතා ගොඩක් තිබුනත් එක තැනක ඉඳගෙන ඉන්න වෙලාවක් නැති කමද, එහෙම වෙලාවක් ලැබුනම විදුලිය කැපීම් සිදු වීමද ලැප් ටොප් එක විදුලියෙන් මිස බැටරියෙන් ක්‍රියා නොකිරීමද , අනිත්කොණ කරන්ට් යෑම් ඊම් නිසා හොඳට තිබ්බ බැටරිය පිච්චී යෑමද සිදු විය. බයෝස් ද මොකද්ද මන්දා එකක අවුලක් කියලා කොම්පියුටර් දන්න මල්ලිලා කියන හරුපයක් නිසා ලැප් ටොප් එක ඉබේම ක්‍රියා විරහිත වීම වගේ හේතු ගොඩක් නිසයි මේ තරම් ලිපියක් ලියා ගන්න කල් ගත වෙන්නේ...