Sunday, June 10, 2012

Dont worry ! we'll save them all ! කොයි මොහොතෙත් කල්පනාකාරීව !


"ඩොක්ටර් ලේබර් රූම් ඉන්දුමතී අම්මාගේ බබාගේ FHS අඩුවෙනවා" ප්‍රසූතිකාගාරයේ සේවයේ නියුතු හෙදි සොයුරිය එළියට පැමිණ කියූ සැනින් අප සියල්ලන් එදෙසට දිව්වෙමු. පරීක්ෂා කර බැලුවෙමු. තව දුරටත් බල බලා ඉන්නට බැරිය. ගර්භාශය තුලින් ශ්‍රාවය වන ඇම්නියොටික තරලයද අඳුරු පැහැ ගැන්වී ඇත. මෙකෝනියම් යනුවෙන් මේ තත්වය හඳුන්වයි. දරුවා ප්‍රසූත කිරීමට තරම් ගැබ් ගෙලද ප්‍රමාණයෙන් විශාල වී නොමැත. ඉක්මනින් සීසර් කර දරුවා එළියට ගත යුතුය. කඩිනමින් ඇය ශල්‍යාගාරය වෙත ගෙන ගොස් සීසර් සැත්කම මගින් දරුවා එළියට ගත්තෙමු. ඒ ඇගේ පළමු දරු උපතය. දරුවාද මවද සුව සේ සිටී. දරු ප්‍රසුතියක් යනු ස්වභාවික සිදුවීමකි. එයට විශේෂ මැදිහත්වීම් වෙදකම් පෙර කාලයේදී සිදු නොකල තරම් ය. එය ස්වභාවික සිදුවීමක් වුවද ප්‍රසූත සංකූලතා නිසා මරණයට පත්වන මව්වරුන් ගණනද ළදරුවන් ගණනද පෙර කල ඉතා විශාල විය. අවසානයේ නමුත් අද වෙන විට වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා, මාතෘ හා ළදරු මරණ අවම කරමින් දරු ප්‍රසූතිය වඩා විශ්වාසනීය ලෙස සහ සුවදායක ලෙස සිදු කිරීමට ක්‍රම වේද සහ නිර්නායක යොදා ඇත. හදිසි අවස්ථාවකදී ඉක්මන් සැත්කමක් කර දරුවා එළියට ගැනීමට හැකියාව ඇත. ඉන් දරුවාගේ ජීවිතයද, අනික් අතින් මවගේ ජීවිතයද බේරේ. 

ඇතැම් විට ගර්භාෂයෙන් පිටත සිදුවූ පිළිසිඳ ගැනීම් සමග අම්මලා පැමිණේ. ඔවුන් එන්නේ එක්කෝ සිහි නැතිව අධික ලෙස ලේ වහනය වෙමිනි. එසේ නැත්නම් ඉවසා ගත නොහැකි ලෙස බඩේ කැක්කුමක් සමගය. එවිට ඉක්මනින් රෝගියා ශල්‍යාගාරය වෙත ගෙන ගොස් ගර්භාෂයෙන් පිටත පුපුරා ගොස් ලේ ගලමින් තිබෙන ඒ සියල්ල ඉවත් කොට ලේ වහනය වන තැන සොයා පිලිසකර කිරීමට සැත්කම් කළ යුතුය. මේ සියල්ල ජීවිතයත් මරණයත් අතර දෝලනය වන කාල පරාසයන්‍ ය. සුළු වරදකින්, සුළු ප්‍රමාදයකින් අහිමි වෙන්නේ මිනිස් ජීවිතය. ඇතැම් විට එනිසා සෙසු දරුවන් හට මවක අහිමි විය හැකිය. ප්‍රසව හා නාරි වේද වාට්ටු වල සේවය කිරීම මෙනිසාම අධික පීඩනයක් ගෙන දේ. කොයි මොහොතෙත් සිටිය යුත්තේ කල්පනාකාරීවය.

අනිත්කොණ ප්‍රසව හා නාරි වේද වෛද්‍යවරයකු ලෙස "පස්තාච්චි" හදාරන අතරෙම වැඩ කරන්නට වුනා. මෙහෙට ස්ථිර ලෙස පත්වෙලා ආපු හැමෝටම උවමනාව තිබුනේ ඉක්මනින් පස්චාත් උපාධියේ පලවෙනි කොටස පාස් වෙලා කොළඹට යන්න. මාසෙකටම හම්බුවෙන නිවාඩු වලින් ගෙදර දුවන්න බලාගෙන ඉන්නකොට හැමොගෙම හිත්වල නිතර තිබුනෙ නොරිස්සුමක්. ඒත් මෙහෙ බොහොම කැමැත්තෙන් හිටපු අපි කිහිප දෙනෙක්ට නම් මෙහෙ සේවය කරන එක හිතට සැනසුමක් ගෙන දුන්නා. ඒ අපි ඉන්න තැන සතුටෙන් සිටින්නට පුරුදු වී සිටි නිසයි. 

සීසර්, වන්දීකරණ මෙන්ම අනෙක් සියලු ශල්‍යකර්ම කරනන්ට සිදුවුනේ පෙර පුහුණුව ලැබූ අප දෙදෙදෙනාට සහ මේ ක්ෂේත්‍රයේ වසර 6 පමණ පලපුරුද්ද ඇති අපේ ජේෂ්ඨ අයියාටයි. ඔහු යුද්ධය පැවති කාලයෙත් ඉන් පසුවත් දිගටම අනිත් කොණ සේවය කරන කෙනෙක්. 2009 දී මේ රෝහල කොටින් යටත් කරගෙන මෙහි සේවයකයින් සියලු දෙනා සමග ශල්‍ය උපකරණ සහ බෙහෙත් පුදුකුඩු ඉරිප්පු දක්වා ගෙන ගිය ගමනේදී අයියාත් අනිත් හෙදි සොයුරියනුත්, මිඩ් වයිෆ් මිස්ලාත් වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා යටත් වී ඔවුන් සමග කියන කියන තැනට යන්නට වුනාලු. රෝහලට පැමිණ වැඩ බාරගත්තු කාලයේ සිට මගේ වැඩේම මේ කතා හාර හාර අහන එකයි. ඒ කාලේ අන්තිමට විශ්වමඩු වලට එහා පාසැලක් තුල පරිඝණක ශාලාවේ වායුසමණ යන්ත්‍ර පණ ගන්වා සීසර් කිරීම් සහ හදිසි සැත්කම් සියල්ල සිදු කරාලු. නිර්වින්දක වෛද්‍යවරුන් නොමැති කල, අයියා කොන්දට විදින නිර්වින්දක ක්‍රමය (spinal anesthesia)  පාවිච්චි කරමින් ඔහුම නිර්වින්දනය කර සීසර් සැත්කම කර අම්මලා සහ දරුවන් බේරා ගත්තාලු. ඔහුට මේ ප්‍රදේශයේ මෙන්ම සියලු කාර්යය මණ්ඩලය අදටත් බෙහෙවින් ගෞරව කරති.  

ඉතා නිහඬ නිහතමානි පුද්ගලයකු වන ඔහු අපට වඩා ජේෂ්ඨ වුවද තවම අප හා උරනුර ගැටී වැඩ කරයි. කොහොම හරි 2009, අවසාන සටනට කලින් විශ්වමඩු ප්‍රදේශයේදී ඔහු ඇතුලු වෛද්‍යවරුන් පිරිස නිරුපද්‍රිතව නැවත අප හමුදා මගින් මුදාගන්නා ලදී. දැන් දෙවෙනි තුන්වෙනි ප්‍රසූතියට පැමිණෙන බොහෝ මව් වරුන්ගේ ප්‍රථම දරුවා ඉපිද තිබුනේ අර පෙර කියන ලද ශල්‍යාගාරයක් වූ පරිඝණක කාමරයේය. දෙවිවරුන් වැනි වෛද්‍යවරුන් සිටිනවා යැයි මා විශ්වාස කරන්නේ මෙවැනි පුද්ගලයින් හමුවූ නිසාය. නැවත මේ ප්‍රදේශයට සාමය උදාවීමත් සමගම, මීට එහා උතුරු මැද පලාතේ අගනුවර රෝහලේ සේවය කරමින් සිටි ඔහු සහ ජේෂ්ඨ වෛද්‍යවරයෙක් පැමිණ නැවත මේ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකය (obstetrics and gynecology unit) ස්ථාපනය කර,  UN and UNICEF එකේ අධාර ඇතිව ශල්‍යා ගාරය සහ ප්‍රසූතිකාගාරය යථා තත්වයට පත් කල හැටිනම් අපූර්ව විශ්මිත වැඩකි. සියල්ල මුදල් මත පද නම් කර සල්ලි කාක්කන් මෙන් චැනල් කරමින් දුවන වෛද්‍ය මුදලාලිලා සිටින අප රටේ, මෙවැනි වෛද්‍යවරුන් අප රටට වාසනාවකි. ඔහුගෙන් ලද පන්නර අපටද වඩා හොඳ වෛද්‍යවරුන් වීමට ලද මහඟු භාග්‍යයකි.
 අපගේ සති සායන , නොම්මර ප්‍රමාණයකට සීමා නොකර ගර්බණී සායනයට  පැමිණෙන සියලුම ගැබිණි මවුවරුන් මෙන්ම නාරිවේද සායනයට පැමිණෙන සියලුම ස්ත්‍රී රෝගීන් පරීක්ෂා කරන්නෙමු. මෑතකදී අලුතෙන් පමිණි අප විශේෂඥ වෛද්‍ය තුමන්ලා දෙදෙනාම පැවසුවේ මෙලෙස ලංකාවේ කිසිම රෝහලක සිදු නොකරන බවයි. මන්ද  සායන දිනකදී අප 300 පමණ දෙනා පරීක්ෂා කරන හෙයිනි. මේ සේවා කාලය ඉතා වෙහෙසකර වුනත්  , රෝගීන්ගෙන් අප වෙත ලැබෙන පැසසුම් නිසා ඒ වෙහෙස ඉවසාගන්නට පුලුවන් තරමේ එකකි. හදිසි සැත්කම් අවසානයේ, රිකවරි රූම් එකේදී අපේ අත ගෙන සිඹ අපට ස්තූති කරන අම්මලා ද, තම දරුවා නිරුපද්‍රිතව ප්‍රසූත කරන්නට උපරිම වශයෙන් ඇප කැපවූ නිසා වැඳ ස්තූති කරන අම්මලාද බොහෝය. අවසානයේ අපට ඉතිරි වෙන්නේ අනුන් වෙනුවෙන් තම දිවි නොතකා කරන ලද කැපවීම පමණි.
ක්ලිනික් වල ස්කෑන් කිරීමට බොහෝ වෙලා ගත වේ. තිබෙන්නේ එක ස්කෑන් යන්ත්‍රයක් පමණි. බොහෝ විට සවස 5 වන තෙක් ස්කෑන් කරන්නෙමු.  සැරෙන් සැරේ මාරුවෙන් මාරුවට අපි එකිනෙකා  පැමිණෙන සියලුම ස්කෑන් අවශ්‍ය අම්මලා ස්කෑන් කරන්නෙමු.  මන්ද ඔවුන් දුර බැහැර සිට අතේ මුදල වියදම් කරගෙන පැමිණෙන්නන් වන අතර අපමණ දුක් කරදර මැද දිවි ගෙවන්නන්ද වන නිසාය. මනුස්සකම සහ අනුන්ගේ දුක නොහඳුනන වෛද්‍යවරුන් ඇතැම් විට " ඔහොම කොහොමද වැඩ කරන්නේ.. ගිහින් හෙට එන්න කියන්න අනේ මටනම් බෑ හවස හතරෙන් පස්සේ නම් රෑ වෙනකම් ස්කෑන් කරන්න " යැයි පවසයි. "බැරි නම් නිකම් ඉන්න අපි පුළුවන් අය ඒ දේ කරන්නම්" කියා අපි අපේ සේවය උපරිම ලෙස කරන්නෙමු. 
අපේ විශේෂඥ වෛද්‍ය වරයා මෙවැනි වෙහෙසකර දිනක අපට කියුවේ "ඔව් , අම්මලා 500 පමණ හිටියත් අපි හැම කෙනාවම පරීක්ෂා කරමු. කමක් නෑ... වෙහෙස වුනත් , අපි හැමෝගෙම ජීවිත රැකගත්තා කියලා අපට සතුටු වෙන්න පුළුවන්" කියාය.("dont worry , there may be 500 mothers but be happy that we'll save them all at the end of the day") ඒ වදන් අපට මහා සවියක් විය. 

16 comments:

  1. වාසනාවන්....
    මෙ වගෙ දොස්තර නෝනලා මහත්වරු ඉන්නබව අහන්න ලැබීමත් සතුටක්. අනේ මොනවා උනත් ඔයගොල්ල කොළඹට නම් එන්න එපා. මොකද කිරි කලයක් උනත් ගොම බිංදුවක් වැටිලා නරක් වෙන්න ඉඩ තියෙන නිසා.
    මේ කොලඹ නම් ඔයවගෙ දොස්තර නෝනලා මහත්වරු හොයන එක පිදුරුගොඩේ වැටිච්ච ඉඳික‍ටුවක් හොයනවාට වඩා අමාරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. අපට මේ පළාත් වල සදාකාලිකව ඉනන්ටත් බැරිය.. අපේ දරු පවුල් ඉන්නේ කොළඹනේ..එනිසා ටික කලක් සේවය කර හිත් පුරවාගෙන කොළඹට යන්නට සිදුවේලු...

      Delete
  2. කාලෙකින්. සමහරවිට කාර්යබහුල හින්දා ලියන්නට වෙලාවක් නැතුව ඇති.
    ඔබලා කරන සේවය පිළිබඳව ඉතාම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. කාර් ය බහුල කමට වඩා අක්කෙ මේ කොම්පියුටරේ සිංහල වැඩ කරේ නෑ. ලැප් ටොප් එක වැඩ කරන්නෙම නැතුව ගියා. ඒකයි. දැන් ටිකක් තත්වය හොඳයි.

      Delete
  3. ආ කොම්පීතරේ හදාගෙන වගේ !! අපුරුයි ලියන්න ලියන්න හැකි හැම විටකම.. ඔබලා කරන මෙහෙය අපිට අගේ කරන්න අවස්තාවක්නේ ඒක..

    ReplyDelete
  4. දැන් නම් කොම්පියුටර් එක සිංහල ලියන්ට ඉඩ දෙනවා වගෙයි. ඔබ වැනිම තවත් අලුත් ලියන්නෙක් මෙන්න

    http://sonduru-nimnaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැන්දෙ.. මේක මම ඉතා ආසාවෙන් කියෙව්වා කාලෙකට කලින්. ආයෙ මිස් වෙලා තිබුනෙ. දැන්නම් ආයෙ ලියන්න පුළුවන්.

      Delete
    2. හෑ... මෙන්න මගේ බ්ලොග් එක ගැනත් කවිකාරි නැන්දා ලියලා. අක්කා මගේ බ්ලොග් එකත් කියවලද තිබුනේ :O
      ඒත් මම අදම තමා අනිත්කොන පැත්තට ආවේ (හෙට අනිද්දම අනිත්කොණට යන්න ඉන්න කෙනෙක් වෙලත්)

      Delete
  5. ඔබේ පෝස්ටු වලට ගොඩක් ආස කරන කෙනෙක් මම! සතුටුයි කාලෙකට පස්සේ ලිපියක් කියවීමට හැකි වීම ගැන! tc

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි.

      Delete
  6. මටත් හිතෙනවා මගේ කලවම් බ්ලොගේ අධිකරණ වෛද්‍ය අත්දැකීම් සටහන් කරන්න අක්කෝ..

    ReplyDelete
  7. දෙවිවරු වගේ වෙද්යේවරු දකින්න ලැබෙන්න අහම්බෙන්... ඒ වගේ වෛද්ය.වරු ඉන්න බව අහන්න ලැබීමත් සතුටක්... ඔබේ මනුෂ්යබත්වය ජාතිවාදයෙන් එහා‍ට ගිහින් තියෙනවා... ඒ ගැන වැඩියෙන්ම සතුටුයි....

    ReplyDelete
  8. රුපියල් ශත වලට යට වෙච්චි මේ කාලයේ ඔයවගේ හිතන ප්‍රසව හා නාරිවේද වෛද්‍යතුමෙකුත් ඊට කැමැත්තෙන්ම සහයෝගය දෙන අර කීව ජේෂ්ඨ වෛද්‍යවරයාත් ඔබත් ඇත්තටම රටට ආශිර්වාදයක්....!

    ReplyDelete
    Replies
    1. thanks mallia... hope u'll come this way to work with us soon !

      Delete
  9. ඉන්න තැන සතුටින් සිටීමට පුරුදුවී ඉන්න එක ලොකුම දෙයක් දිල්රූ. මම කොච්චර හිත හදාගෙන හිටියත් ඒකනම් මටත් ලේසි වැඩක් නෙවෙයි.
    henryblogwalker the Dude

    ReplyDelete
  10. කියන්න දෙයක් සිතා ගන්න අම්මරුයි, අතිවිශිෂ්ඨ සේවයක්,

    මුල් ලිපි කිය්වන කොට ම්ම හිතුවේ ඔබ "මානසික වෛද්‍ය තුමියක් කියා, මෙතන ඔබ සැත්කම් කරනවා. ???????

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !