Friday, May 18, 2012

ලියන්නට පැමිණි විට ඔබ ගිහින් සහ යන එක දුකනම් ඇයි හිනා වෙන්නේ ?


දිගු කලක් ලියන්නට බැරි විය. එහෙත් දිගු කලකින්  ලියන එකම එක සටහනට හෝ පැමිණ අදහස් දක්වා තව ලියන්නට හිත දිරිමත් කල ඔබා මාමේ , ඔබේ වියෝව හිත සසල කළා . එහෙත් ආවොතින් යා යුතුය නියමයෙන් ඔබ ගිහින්.මරණය අපට ඉතා කිට්ටුය, සසල වන සිතේ සටහන් ලියු බ්ලොග් පිටු එකිනෙක බලා හිත සනසන්නට වචනයක් ලියු අය අතරෙන් ඔබද කෙනෙකි. මා කවුරුන්ද කොහේ සිටීද යන්න කිසි දිනක නො විමසු, ලියු දෑ පමණක් කියවූ, බ්ලොග් ලියන අය අතර කාගෙවත් සිත නොරිද්දා විහිළුවෙන් තහළුවෙන් හැමෝගෙම සිත් සතුටු කල සටහන් ලියු ඔබ මම පුද්ගලිකව නොදැන සිටියෙමි. ලංකාවේ සිටින බව දැනන් උන්නේ නැත.රෝගීව සිටියාද නොදනිමි. සිංහල සකසාගෙන නැවත ලියන්නට එද්දී ඔබ ගොසින්. ඔබට නිවන් සුව මාමේ ! 


දිනය හරියටම මතකයේ නැත... මානසික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සේවය කරන කාලයේ මම සහ අනිත් වෛද්‍යවරයා හට එදින නියමිතව තිබුනේ මාසික ක්ලිනික් හෙවත් සායන වලට නොපැමින කට්ටි පනින ලෙඩුන් සොයා අපේ ප්‍රජා සත්කාර නිළධාරීන් ( උසස් පෙළ සමත් ගෑණු දරුවන් ටිකක්, ඉතා අඩු පඩියකට RDHS එකට සේවයට බඳවා ගෙන තිබෙනවා. ඔවුන් කරන සේවයට සරිලන වැටුපක් ලැබෙන්නේ නෑ.) ගමක් ගානේ ඇවිදලා නිවෙස් වලට ගිහින් සොයා බලලා අපට ඉදිරිපත්කරන නම් ගම් සහ ලිපිනයන් අනුව හෙද නිළදාරින් , ඇටෙන්ඩන්ලා සමග ගම්මාන වලට ගිහින් නිවසේදීම ඔවුන්ව බලලා බෙහෙත් විද , බොන බෙහෙත් ඔවුන් වෙත ලබා දී පැමිණීම හෝ ඉතා අසාධ්‍ය තත්වයේ සිටින අයෙක් වෙත්නම් එම ප්‍රදේශයේ පොලීසියේ සහයත් සමග ඇම්බියුලන්ස් එකක පටවා එවා ඔවුන් රෝහල්ගත කිරීම, යන මේවා අප විසින් සිදු කරනවා. අප මහ රෝහලේ තිබෙන මානසික සෞඛ්‍ය ඒකකය මේ උතුරු පළාතේම බොහෝම විශාල වපසරියක සේවා දියත් කර තිබෙන නිසා හැම දේම මූලික වෙලා කටයුතු කරන්න වුනේ වෛද්‍යවරුන් වන අප තිදෙනා සහ විශේෂඥ වෛද්‍යතුමායි. සුපුරුදු පරිදි නර්ස් මිස් මම සහ අයියා ( අනික් වෛද්‍යවරයා) ගැහැණු ඇටෙන්ඩන් කෙනෙකු සහ ප්‍රජාසත්කාර නිළදාරීන් දෙදෙනා සමග ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර් යාලයෙන් අපට ලබා දුන්නු ඩබල් කැබ් වාහනයේ හෝම් විසිට් යනුවෙන් හඳුන්වන  ලෙඩුන්ගේ නිවෙස් සොයා ගමන් කළෙමු.

එදින මා එම  home visit යනුවෙන් හැඳින්වූ සායනයට සහභාගී වුනු ප්‍රථම දිනයයි. ප්‍රථමයෙන් තිබුනේ නගරයට ආසන්නයෙන් විද්‍යා පීටය අසල තිබුණු ගම්මානයක රෝගීන් දෙතුන් දෙනෙකු බලන්නටයි. පළමු නිවස්නය වෙත අපි ගියෙමු. ඔබ විස්වාස කරනවද , එහි වහලෙහි උස මා තරමටමය 
 අපි එහි ගොස් කතා කර විට එලියට පැමිණි කාන්තාවක් අප විමසන රොගී කත ඇතුලෙහි නිදි බව පැවසුවාය. සායන කිහිපයකටම නොපැමිණි ඇයගේ රෝග තත්වය උත්සන්න වී දැන් දහවල් කාලයේම නිදා ගන්නටත් රාත්‍රියට ඇහැරී ඉන්නටත් නොයෙක් විට කෝපයෙන් අන් යට බැන වදින්නටත් පෙළඹෙන බව ඇය කීවාය. ඒ අප හා කතා කලේ ඇගේ සැමියාගේ දෙවෙනි භාර්යාව  බව පසුව අප දැනගතිමු. හන තල කොළ සහ ඉවත දමන ටකරන් කාඩ් බෝඩ් වලින් සාදා තිබූ ඒ නිවහනේ දැන් පවුල් දෙකක් ජිවත් වේ. හරියට ගෙයක් දොරක් ඉන්න හිටින්න තැනක් නොමැති මේ පුද්ගලයා කුලී වැඩ  කරමින් පවුල් දෙකක් නඩත්තු කරන එකත් පුදුමයක්. ඔහු පැමිණි විට රෝහලට පැමිණ අප හමුවෙන්න යයි කියමින් අපි අර අඩි 6 වත් උස නැති ගෙදර ඇතුලට බෙල්ල නවාගෙන පිවිස නිදා උන් ඇයට එන්නත් සහ අනෙක් බෙහෙත්  ලබාදී  . පොතද ලියා දී එලියට පැමිණියෙමු. 
'ඇයි මේ මිනිස්සු මෙහෙම ජිවත් වෙන්නේ .' අවට වූ එවැනිම ගෙවල් විසි තිස් ගණනක් දුටු මට බොහෝ දුක සිතිනි. මේවා දකින පළමු පුද්ගලයා මම නොවේන බව දනිමි. එත් මේව දුටු මහතුන් (රජයේ හෝ රාජ්‍ය නොවන සංවිධාන ) මොකුත් උදව්වක් නොකළ එක මට ලොකු විමතියක් විය. සතියකට දෙතුන් දින එක එක සංවිධාන වලින් අප හමුවීමට පැමිණ සමාජ සත්කාර කරමු යයි පොරොන්දු වන අය මතකයට නැගෙද්දී මොවුන් ගැන කා එක්ක හරි කියා උදව්වක් ලබා දීමට මට කල්පනා විය. මා සමග ගිය අනෙක් වෛද්‍ය සහෝදරයාගේ කැමෙරා ෆෝන් එක ඉල්ලා ගෙන නිවැසියන්ගේ අවසරය ඇතුව හාත්පස ෆොටෝ ගතිමි. අනෙක් වෛද්‍යවරයා මේ අංශයේ බොහෝ කල් සේවය කර තිබෙන බැවින් ඉස්සර ආ ගිය විට මේවා දුටු වී නැතිදැයි විමසමින් මම ඔහුටද දොස් කීවෙමි. ඔහු ඒ සියල්ල සිනහ සෙමින් අසාගෙන සිටියේය. '' අපි මේ අයට මොකක් හරි උදව්වක් කරමු අයියේ...'' මම  අනිත් වෛද්‍ය වරයාට පවසමින් බොහෝ කම්පා වීමි. 
ඔහු වාහනයට ගොඩ වී පැවසුවේ. ''පොඩ්ඩක් ඉන්න අද හවස වෙද්දී ඔයාට උදව් කරන්න හිතෙන අය කොච්චරද කියා අපි බලමු'' කියලයි.
නිවෙස්  විසි තිස් ගනනෙහිම තත්වය එයම විය. ආදී 5 හෝ 6 උස නැති ගෙවල් සහ ඒවා තුල සිටි විවිද රෝග වලින් පීඩා විඳි මිනිසුන්...
ඉන්පසු මම අප හා පැමිණි එම ප්‍රදේශයේ මනෝ සෞඛ්‍ය නිලදාරියා සමග කතා බස් කලෙමි. ඔහු පැවසුවේ මොවුන් එක්දාස් නමසිය අසූ ගණන් වල සිට  සිටින්නේ  මෙයාකාරයෙන් බවයි. ඔවුන්ට ඔවුන් සිටින තත්වයෙන් පොඩ්ඩක් හෝ හොඳ තැනකට එන්නට උවමනාවක් නැත. මුඩුක්කු මෙන් දිස්වූ එම ගම්මානය ගොඩ ගන්නට නොයෙක් වර නොයෙක් දෙනා ඉදිරිපත් වූ බව උදාහරණ සහිතව ඔහු පැවසීය. ඊළඟ ගෙදරට පැමිණි විට අනෙක් වෛද්‍යවරයා නැවත මට ඔහුගේ කැමරා ෆෝන් එක දිගු කළේය.


 ''කමක් නැහැ හැම එකම එක වගේ . අවුරුදු 20 බැරි වුන දේ පිටස්තර මට තනිවම වෙනස් කරන්න බැරි බව මම වටහා ගත්තා '' මම කීවෙමි. 

''මාසේ වැඩි දවස් ගණනක් රෝහලටම කොටු වෙලා වැඩ කරන අපිට මේවා කරන්න අමාරුයි. කරන්න පුළුවන් අයටවත් මේ අයට උදව්වක් කරන්න ඕනේ කමක් නැති කොට නංගී කොහොම කරන්නද, අනික් එක හැමදේම දේශපාලනීකරණය වෙලා ඉවරයි.ඒ අය ඉන්නේ රජයේ ඉඩම් වල ඒවායේ ස්ථිර නිවස හදාගන්න ඔවුන් කැමති නැහැ. ඔය ජිවන ක්‍රම වෙනස් කරන්න කාටවත් බැහැ '' මෙය ඇසු අපේ ජේෂ්ඨ වෛද්‍යවරයා පැවසුවේය.
ඔය අතර අපි ගිය සමහරක් ගෙවල් වල මානසික රෝගී තත්වය උත්සන්න වූ රෝගීන් මන්නා, කැති පොරෝ අරගෙන අප පසු පස පන්නා ආ අවස්ථාද, පාරවල් දිගේ දුව යන අය පසුපස දිවගොස් අල්ල ගත අවස්ථාද එමටය. එවැනි අවස්ථාවල පොලිසියේ සහය අපට නො අඩුව ලැබිණි. සමහර ගෙවල් වලදී අපව බොහොම සුහදව පිළිගත් ඔවුන් නිවෙස ඇතුලට යන හැම විටම බෙල්ල දිගු කර විමසිලිමත් ව සිටිය යුතු වුනේ, කොයි වෙලේ පිහියක් හෝ මන්නයක් උස්සාගෙන ඒවිදැයි සැකයෙන්. 
කුණු ගොඩවල් වලින් කාමරය පුරවාගෙන එම කුණු ගොඩේ ජීවත්වෙමින් සිටි මානසික රෝගී තත්වය උත්සන්න වූ රෝගීන් අසලට ඔවුන්ගේ පවුලේ අයවත් ලං වෙන්නේ නැති කොට, අප ඒකකයේ ප්‍රජා සේවා නිලධාරීන් හෙද සොහොයුරන් සහ වෛද්‍යවරුන් වන අපි ගොස් කුණු කන්ද අවුස්සා එම රෝගීන් නොයෙක් දංගලීම් කෑකෝ ගැසීම් , නියපොතු වලින් හීරීම් අත පය වලින් පහර දීම අස්සේ එන්නත් විද ඇම්බියුලන්සයේ දමාගෙන එන්නේ නොයෙක් බාධක මැද්දෙහි ය. 


සේවා කාලය අවසන් වී  අනිත්කොණ එම රෝහලෙන් සමුගෙන පැමිණිදා සිතට බොහෝ දුකක් දැනුනා. මා සමුගෙන එන විට ජායරූපගන්න අවස්ථාවෙහි. අපේ නේවාසික වාට්ටුවේ සිටි රෝගී තරුණියක් පැමිණ මනෝ උපදේශන නිලදාරිනියගෙන් විමසුවේ ''ෆොටෝ ගන්නේ ඇයි'' කියාය.
'' මේ ඩොක්ටර් යනවා මෙහෙන් එකයි'' අයට පිළිතුරු ලැබිණි. ඊළඟ සමුහ ජායාරූපය ගනිද්දී එතනට පැමිණි ඇය,
 '' ඩොක්ටර් යනවට දුක නැද්ද. ඇයි ඕගොල්ලෝ ෆොටෝ වලට හිනාවෙලා ඉන්නේ. අඬන්න, අඬන්න , දුක පෙන්නන්න '' යනුවෙන් කියුවාය. 
''බලන්න මෙයා හිතන දුර '' කියා අපේ කෙනෙක් පැවසුවා මතකය.
පැමිණි පළමු දින ''චින්න පුල්ලේ '' (පොඩි ළමයා) නමින් මා ඇමතු ඇය schizophrenia නමින් හදුන්වන මානසික රෝගයෙන් පෙලෙන්නියකි. මම පොඩි ළමයෙක් නොවේ මෙහි දොස්තර බව කොතෙක් කීවද, දොස්තරලා වයසයි, ඔයා තාම පොඩියි '' යනුවෙන් මට නිරන්තරයෙන්ම 'චින්න පුල්ලේ ' නමින්ම අමතයි.  ඇගේ සැමියා සිටියේ විදේශගතවය. ඇගේ schizophrenia රෝගී තත්වය දැන ගෙනම ඇය හා විවාහ වූ ඔහු නිතර අප හා කතා බස් කර ඇය ගෙන විමසයි. සැමියා සිටින රට ගුවන් යානයෙන් යන්නට දැඩි බියකින් පෙලෙන ඇය එහි ගෙන්වා ගන්නට නොහැකිව ඔහු කම්පා වෙයි. 
''ඩොක්ටර් ඇයි යන්නේ'' යනුවෙන්, හඬන්නට වූ ඇය මා සමග ජයා රූපයකට පෙනී සිටියේද දුක්බර හැඬුම් මුහුණෙනි.  

මේ කියවන ඔබලා සමහර විට වෛද්‍යවරුන් මෙවැනි සත්කාර කරනවාදැයි නොදැන සිටියා වෙන්න පුළුවනි. වෛද්‍යවරු සුළුතරයක් අරුණු විට බහුතරය මානුෂික ගුණාංග වලින් හෙබි පිරිසකි. විවිධ අංශ රැසක සේවය කර අත්දැකීම් ඇති මා ශ්‍රේෂ්ටතම වෛද්‍යවරු දුටුවේ මානසික වෛද්‍ය ඒකකයේ සේවය කරද්දීය. දැන් මා සේවය කරන්නේ මාතෘ හා ගැබිණි වාට්ටු වලය. පෙර කල ලැබුණු අසීමිත කැපවීමේ පුහුණුව නිසා අපෙන් ප්‍රතිකාර ගැනීමට එන කවරෙකුට හෝ උපරිම සේවය කරන්නට සිත හැදී පැහැදී තිබේ.

All thanks to google transliteration which resolved my sinhala typing issue for the moment !

10 comments:

  1. වෙදැදුරන් අතරේ අනුන් දුක් පෙනෙන දැනෙන දෙවි දේවතාවුන් ඉන්න බව මමත් අත්දැක තිබෙනවා. ඒ හැම දෙනෙකුටම ඔබ මෙන් ලියන්නට හැකිනම් මිනිස්සු දුර්මත ඉවතදාවී.. හැම දේම හැම කෙනාම මුදලට යටවී නැති බව වටහා ගනීවි.. ඔබේ සටහන් කියෙවුවාම මට හිතන්නේ හෙට එච්චර කළුවර නොවේවි කියලයි.. ඔබට ඒ සේවය එසේම කරගෙන යාමට දිරිය හා ශක්තිය ලැබේවා.

    ReplyDelete
  2. අර මනුස්සය කියල තියෙන්නේ ඇත්ත.. මටත් හිතෙන්නේ ඔයා තාම සින්න පුල්ලේ කෙනෙක් කියලයි..

    ReplyDelete
    Replies
    1. sahathika aththa aiye... oya kathawa hamoma kiyanawa.. got to grow up now

      Delete
  3. මම හිතන්නෙ ඔය මිනිස්සුන්ට ගොඩක්ම තියෙන්නෙ කම්මැලිකම.මොකද වෙන මිනිස්සු රජයේ ඉඩං බලෙං අල්ලගෙන ගෙවල් හදාගෙන හොඳට ජීවත් වෙන්නෙ නැද්ද?

    ReplyDelete
  4. දුව, මේක මගේ බ්ලොග් එකේ ඔයාගේ සටහනට දැම්මේ.. එක දකින එකඟ නැහැ කියල හිතිලයි මේකෙත් ලියන්නේ.

    සංවේදී හිතක් ලැබීම හොඳයි එත් වෙලාවකට ඒක සාපයක් වෙනවා. අපිට යමක් කරන්න පුළුවන් සීමාවෙන් එපිට දේ ගැන අසීමිතව දුක්වීම කොතනින් හරි නවත්වන්න ඕන..බන කීවට මමත් ඉන් මිදිලා නම් නැහැ. පුංචි කාලේ මගේ මේ අධි සංවේදී බව ගැන අපේ අම්ම කියපු කතාවක් මට මතකයි.. බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ එක හාමුදුරු කෙනෙක් පාරේ පිඩු සිඟා යනකොට එක ප්‍රේතයෙක් දකිනවා. ඒ ප්‍රේතයා හාමුදුරුවන්ට මොකක් හරි ගහක මුලක් දෙනවා. ඊට පස්සේ හාමුදුරුවන්ට ලක්ෂ ගණන් ප්‍රේතයින් (කුඩා සතුන් වෙන්න ඇතී) පෙනෙන්න ගන්නවා. කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කිවුවොත් හාමුදුරුවන්ට ඇවිදින්න තරම්වත් ඉඩක් නැහැ ඇවිද්දොත් කී දෙනෙක් මැරෙයිද කියල හිතන්න බැහැ. ඉතින් එදා හාමුදුරුවෝ එකතැන හිටගෙන බොහෝකාලයක් ඉන්නකොට බුදු හාමුදුරුවන්ට මේක පෙනෙනවා. බුදු හාමුදුරුවෝ චිත්ත බලයෙන් අර හාමුදුරුවන්ට කියනවා අර මුල විසි කරන්න කියල. එහෙම නොකලොත් බඩගින්නේ එතනම මැරෙන්න වෙන නිසා. හාමුදුරුවෝ මුල විසි කලා" ඔය කතාව කියලා අම්ම කිවුවා තමුන්ට පුළුවන් දේ කරන්න ඉතිරි දේ හිතෙන් අයින් කරන්න.. එක එක කෙනාගේ කර්ම ශක්තියේ හැටියටයි ජීවිතේ ලැබෙන්නේ කියල..
    මුල විසි කරන එක නම් ලේසි වැඩක් නෙවෙයි දුව..

    ReplyDelete
  5. අනිත්කොන, ඒ ඔයාගෙ බ්ලොග් නම වුනත් ඒ නමින් අමතන්න හිත් දෙන්නේ

    නැහැ. දිල්රු කියා ඇමතීම වරදක් නොවේ යයි හිතනවා. මම ආවේ මගේ

    බ්ලොග් එකේ දාලා තිබ්බ කමෙන්ට් එක හරහා. 2009යේ ඉඳන් ලියන මේ

    බ්ලොග් එක මම නොදැන හිටියෙ කොහොමද කියලා පුදුමයි. අනිත් ලිපි පස්සෙ

    කියවන්න ඕනෙ.
    "වෛද්‍යවරු සුලුතරයක් හැරුණු විට බහුතරය මාණුෂික ගුණාංග වලින් හෙබි

    පිරිසකි." කියන කොටසට පෞද්ගලිකව දන්න වෛද්‍ය මිත්‍රයන් හුඟාක් ඉන්න

    මම මුලුමනින් එකඟයි. මම අනිත් වෘත්තීනුත් ඔය විදියම තමයි. කීප දෙනෙක්

    තමයි මුලු වෘත්තියෙම ගෞරවය කන්නෙ.
    ඔය home visits සමාජය හඳුනන්නනවා ඇත්තෙ "අන්න පිස්සො

    අල්ලං යන්න ඇවිත්", නැතිනම් "අන්න අරකිගෙ පිස්සුව තදවෙලා පිස්සං

    කො‍ටුවෙන් ඇවිත් අල්ලං ගියා" වගෙ යෙදුම් වලින් වෙන්න ඇති

    අනිවාර්යයෙන්ම.

    තව එක දෙයක්. මානසික රෝහල් ගැන අපි අහලා තියෙන කතා සුන්දර නෑ. ඒ

    වගෙම මානසික රෝහල් ගැන අපි බලලා තියෙන හොලිවුඩ් චිත්‍රපටි පවා දායක

    වෙලා තියෙන්නෙ ඒ චිත්‍රය තවත් අඳුරු පාට වලින් පාට කරන්න. බලලා ඇතිනෙ

    One Flew Over The Cuckoo's Nest?
    henryblogwalker the Dude

    ReplyDelete
  6. Try this also. I use this!!

    http://singreesi.vndv.com/download.htm

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. thanks alot i will try this.seems my laptop (which is under repair) got sinhala installed and everythings fine now. will start writing once again when I get it back

      Delete
  7. http://ctkumara.blogspot.com/2012/06/blog-post_09.html?showComment=1339254222467#c8650114945849545933

    හැකිනම් මොවුන්ට පහදා දෙන්න.

    ReplyDelete
  8. හරිම අපුරු අමතක නොවන ආකාරයේ අත්දැකීම් ටිකක්නෙ.. බෙහෙත් නොගන්නා මානසික රොගීන් සොයාගෙන ගෙදරට ගිහිල්ලාම මේ විදියට ප්‍රථිකාර කරන එක ලොකුම ලොකු පිනක්. ඒ මොකද සමහර විට ඔවුන් තමන්ගේම පවුලෙන් වුනත් කොන් වෙලා කිසිම හවුහරනම් නැතිව ජීවත් වන නිසා

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !