Monday, February 27, 2012

කිරි පැකට් මෙච්චරකට ඔබලාට අච්චරක් !

ක්ලිනික් දවස කොහොමත් වෙහෙසකර දිනයක්, ක්ලිනික් බොහෝමයකට මා සැරින් සැරේ සේවය කරපු හැම අංශයකදීම වගේ සහභාගි වී තිබෙනවා. සමහර ඒවා රෝහල් වල පැවැතුන අතර තවත් සමහර ඒවා ඉස්කෝල වල , යුද්ධයෙන් මුදාගත් ප්‍රදේශවල පැවැත්වුනා. ඔය හැම එකකටම බෑ කියන්නේ නැතුව සහභාගි වෙන සිරිතක් අපේ තිබුනා.

ඒ අත්‍දැකීම් සොය සොයා යන තරුණ කාලේ, සේවය කිරීමට තිබුනු ඕනෑකම කියලා කිව්වත් නිවැරදියි. හැබැයි ඉතින් රෝහලේ සායන නම් අපි අනිවාර් යයෙන් කළ යුතුමයි. යුද්ධය අවසානයේ කල්මඩු, මඩු, මුලතීවු වැනි ප්‍රදේශවලත්, පසුව දිගු කාලයක් මැණික් ෆාම් වලත් පැවති සායන වලට බොහෝ විට සහභාගි වෙන්නට සිදු වුනේ අපිටයි.

සති කිහිපයකට වරක් එලෙස කොහේ හෝ ඉස්කෝලෙක පවත්වන සායන වලට අපේ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යතුමන්ලා සමග අපි සේරම සහභාගි වෙන්නේ ආරක්ෂක අංශවල පූර්ණ අනුග්‍රහය ඇතුවයි. විවිධ ඖෂධ කොම්පැනි වලින් නොමිලේ බෙහෙත් පෙට්ටි ගණන්ද නොයෙක් ආකාරයේ ස්පොන්සර් කිරීම්ද සමග ඈත ඉස්පිරිතාල නොමැති දුෂ්කර පළාත්වලට යන එක ඒ මිනිස්සුන්ට මොන තරම් සේවයක්ද කියලා හිතුනේ ළමයින් දෙතුන්දෙනා වඩාගෙන වැරහැලි වෙච්චි ඇඳුම් ඇඳගෙන පැමිණි ඒ මිනිස්සුන්ව දකිද්දියි. බොහෝමයක් දරුවන්ගේ බඩ ගෙඩි ඉදිරියට නෙරා තිබුනා, මන්ද පෝෂණය මෙන්ම පණු අමාරුවද ඔවුන් අතර සුලභයි.

 සමහර ගම්මාන වල අපේ වාහන බස් පිටු පස්සෙන් දුව ඇවිත් පොදි කකා ඉන්න අතන මෙතන සෙල්ලම් කරමින් හිටි ළමුන් සියල්ලම මොකක් හරි ලෙඩක් කියාගෙන පෝළිමේ පැමිණෙන්නේ, බෙහෙත් බොන්න වුවමනාවටම නොවේ. සිදුවන්නේ කුමක්දැයි ඔවුන්ට තිබෙන කුතුහලයටයි. එලෙස පැමිණෙන කුඩා දරුවන්ට කිසි ලෙඩක් නැති වුනත් වැහැරුණු ශරීර සහිතව පෝෂණ ඌනතානම් ඕනෑතරම් ඇති බව වැටහෙන නිසා විටමින් පෙති කාඩ් එකක් හෝ සමග ඔවුන් පිටත් කර හරින්නේ පිරිසිඳුකම ගැන දේශනාවක්ද දෙමිනි.

 අපි වාට්ටුවල, මහ රෝහලේ ක්ලිනික් කරද්දී ක්ලිනික් අවසානයේ එළියේ පොදි කකා බලන් ඉන්නේ ඩ්‍රග් රෙප් ලා හෙවත් ඖෂධ කොම්පැණි වල නියෝජිතයන්. ඒ ඔවුන්ගේ ඖෂධ වර්ග ගැන අපව දැනුවත් කිරීමට මෙන්ම අපි ලව්වා ඒ ඖෂධ රෝගීන් හට නිකුත් කිරීමටයි. අප රෝහල් වල, ඖෂධ නාමය මිසක් වෙළඳ නාමය පාවිච්චි නොකරන නිසාත් , ඇතැම් විට ලාබ ඖෂධ වර්ග වෙත්නම් පමණක් වෙළඳ නාමයෙන් ලියා දෙන නිසාත් අපට මොවුන්ගේ ක්‍රියාකාරකම් එතරම් වැදගත් වෙන්නේ නැත.

ඔය කියන දිනයේ අවසර ගෙන පැමිණියේ කිරි පිටි සමාගමක නියෝජිතවරයෙක්. ඔවුන්ගේ පිටි වර්ගය සහ එයින් කුඩා දරුවන්ගේ මොළය වර්ධනයට ලැබෙන පිටිවහල කියවලා කියවලා අන්තිමට ඔහු කියා සිටියේ, මේ කිරි පිටි වර්ගය පමණක් පාවිච්චි කරන්න යැයි අම්මලාට අපි ලියා දුන්නොතින් කොම්පැණියෙන් නොයෙක් වාසි අත්වන බවය. මට නම් එක විටම හිනහා ගියා. එදාවේල කන්න බොන්න සල්ලි නැති මේ කොණේ මිනිස්සුන්ට තව මව්කිරි වෙනුවට මේ කියන අහවල් පිටි එකත් දෙන්න කොහෙත්ම බැරිය.

" මේ දරුවන්ට සාමාන්‍ය පිටි කිරි වේලක් ලැබෙනවාද කියන එකත් සැක සහිතයි ඉතින් ඔබ කියන්නේ මට මේවාගේ අධික මිල පිටි වර්ගයක් ලියා දී ඒ දෙමාපියන්ට තවත් කරදරයක් වැඩි කරන්නද ?" මම ඇසුවා.

"ඇයි ඩොක්ටර් එහෙම කියන්නේ, මේක ලියලා දුන්නොත් ප්‍රෙස්ක්‍රිප්ෂන් මෙච්චරකට මේවගේ ප්‍රතිලාභ ලැබෙනවා, මෙච්චරක් වුනොත් විදේශ සංචාරයකට ස්පොන්සර් කරනවා. " .

" මේ මිනිස්සු දැන් තමයි ටිකක් නිදහසේ ජීවත් වෙන්නේ. බොහෝමයක් අය කරන්නේ කුලී වැඩ. දන්නවාද මේ දරුවන්ට නොයෙකුත් පෝෂණ ඌණතා. මස් මාළු හෝ කොළ එළවළු එදා වේලට එකතු කරගන්නේ හරිම අඩුවෙන් මේ අය. බොහෝ විට, පිටි කෑම වලට හුරු වෙලා. එදිනෙදා දවසේ පඩිය උපරිම රු. 300 පමණ ගන්න මෙවැනි පවුල් වලට අපි කොහොමද අමතර බරක් ඇති කරන්නේ. ඔන්න ඕගොල්ලෝ මේ වගේ අසරණ පවුල් වලට ඔය පිටි එක සහනදායි මිලකට නිකුත් කරනවානම්. එහෙම නැත්නම් තෝරාගත්තු පවුල් වලට නොමිලේ දෙන්න ක්‍රමයක් ඇති කරනවානම් එහෙනම් අනිවාර්යයෙන් ටිකක් සල්ලි තියෙන ආර්ථික අහේනියක් නැති අපි දන්න අයට උනත් මේ පිටි එක පාවිච්චි කරන්න කියන්න පුළුවන් ". මට එවෙලේ ඇතිවුනු සිතුවිලි එහෙම්මම එළියට දැම්මාය.

"ඩොක්ටර් වගේ කවුරුත් කතා කරේ නෑ. ඔහොම හිතන දොස්තරලා ඉන්න එකත් සතුටුයි." ඔහු පැවසීය.

" අපි සතියෙන් සතිය කුඩා දරුවන් වෙනුවෙන් පිට පළාත් වල සායන පවත්වනවා, මේ පළාතේ පාසැල් වල දරුවන්ගේ ඉගෙනීමට දුර්වල දරුවන් ගුරුවරුන් විසින් යොමු කළ විට ඔවුන් සහ ඔවුන්ගේ පවුල් පසුබිම ගැන විශ්ලේෂනය කරනවා. බොහෝමයක් දරුවන් පෝෂණ ඌණතා වලින් පෙළෙනවා. මේ කිරි වීදුරුවකට පෝෂණය විටමින් සියල්ල සපුරන්න පුළුවන්නම් එවැනි දරුවන් ඉන්න පවුල් වලට ඔබලා සහනයක් කිරීමට උත්සහ ගන්න පුළුවන්ද ? අන්න ඒවගේ දෙයක් කරනවානම් මම මේ කිරි පිටි එක  ගැන සල්ලි තිබෙන , ආර්ථික අහේනියක් නැති අය වෙත  කියන්නම් " .

"ඔබ අපිට වෙනස්ම පැත්තක් පෙන්වා දුන්නා. මම මේ ගැන අපේ මැනේජර් සමග කතා බස් කරන්නම්. මේක අළුත්ම ආකාරයක සමාජ සත්කාරයක් වේවි." මා කියූ සියල්ල සටහන් කරගත් ඔහු ඔහුගේ නේම් කාඩ් එකකුත් දී සමුගත්තා.

නමුත් අනිත් කොණ රෝහලෙන් පැමිණෙන තෙක්ම ඔවුන්ගෙන් ආයේ අහන්නට ලැබුනේ නෑ. නමුත් මේ ගැන කාටවත් දොස් කියා වැඩක් නැත. මේ අද සමාජය හැඩ ගැසී ඇති අන්දමය.

මා මේ කතාව මිතුරන් හමුවේ පැවසූ විට " පිස්සු ඩොකෙක් " කියා ඔවුන් කියන්නට ඇති යැයි එකෙක් පැවසීය. මොන තරම් ඇත්තද ? මේ අයුරෙන් සිතීම එක්තරා විදිහක පිස්සුවක් වුවද විය හැකිය.

හැමදාම ලියන්න තරම් කතා ගොඩක් තිබුනත් එක තැනක ඉඳගෙන ඉන්න වෙලාවක් නැති කමද, එහෙම වෙලාවක් ලැබුනම විදුලිය කැපීම් සිදු වීමද ලැප් ටොප් එක විදුලියෙන් මිස බැටරියෙන් ක්‍රියා නොකිරීමද , අනිත්කොණ කරන්ට් යෑම් ඊම් නිසා හොඳට තිබ්බ බැටරිය පිච්චී යෑමද සිදු විය. බයෝස් ද මොකද්ද මන්දා එකක අවුලක් කියලා කොම්පියුටර් දන්න මල්ලිලා කියන හරුපයක් නිසා ලැප් ටොප් එක ඉබේම ක්‍රියා විරහිත වීම වගේ හේතු ගොඩක් නිසයි මේ තරම් ලිපියක් ලියා ගන්න කල් ගත වෙන්නේ...

9 comments:

  1. මේ වගේ හැම දොස්තරලම හිතනවා නම් - අඩු ගානේ බහුතරය වත්... එහෙම උනානම් ඔය සමාගම් මිනිස්සුන්ට සුළු හරි සහනයක් දෙන්න පෙළඹෙනවනේ

    //මා මේ කතාව මිතුරන් හමුවේ පැවසූ විට " පිස්සු ඩොකෙක් " කියා ඔවුන් කියන්නට ඇති යැයි එකෙක් පැවසීය//

    ඔව් එහෙම කියන්න ඇති. රැල්ලට යන්නේ නැතුව වෙනස් යමක් කරන්න හදන හැමෝටම සමාජේ ඔය නම්බු නාමේ දෙනවනේ. ඒත් කමක් නැහැ. හිතට එකඟව ජීවත් වෙන එකයි වැදගත් :)

    ReplyDelete
  2. "ඩොක්ටර් වගේ කවුරුත් කතා කරේ නෑ. ඔහොම හිතන දොස්තරලා ඉන්න එකත් සතුටුයි."

    මටත් හිතුනෙ ඒකමයි.

    ReplyDelete
  3. මේ තරං අමාරු කම් මැද්දෙ වුනත් මෙවැනි ලිපි ඉදිරිපත් කිරීම බෙහෙවින් අගය කරනවා

    ReplyDelete
  4. I am so happy to read of your kindness, compassion and high principles. Drug companies have systematic programmes offering incentives to doctors. If only they followed through in a way to really help people in need!

    ReplyDelete
  5. විදේශ සංචාර දෙන කතාව මං මීට පෙරත් අහලා තිබුනා මගෙ ට්‍රවල් ඒජන්ට්ගෙං. හරිම දුකයි සමහරක් දොස්තර වරුංගෙ ක්‍රියා කලාපය ගැන හිතෙනකොටත්

    ReplyDelete
  6. මේ වගේ දුෂ්කර පළාත්වල සේවය කරන එක වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සේවයක්මයි.... ඒකෙන් ලොකු සතුටකුත් ලැබෙනවා ඇති....
    අර ඔබා මාම කිව්ව වගේ මේ තරම් දුෂ්කරතා මැද සටහනක් ලියන්න හිතෙන එකම මදැයි....

    ReplyDelete
  7. ජීවත් වෙන්න සල්ලි ඕන උනාට සල්ලි කියන්නේ හැමදේම නෙවෙයි! වැඩි වැඩියෙන් ලැබේවා ඔබට :D

    ReplyDelete
  8. ඔබ හරි.. සමාජය කොයිතරම් පුද්ගලික ලාභය පෙරටු කරගන්නවාද කියතොත් දෙයක් හරියට කරන කෙනා පිස්සෙක් හැටියටයි හඳුන්වන්නේ ..එහෙම සමාජයක ඒ විදිහේ පිස්සෙක් වෙලා ජීවත්වෙලා මියෙන එකේ ආත්ම තෘප්තියක් විතරක් තියෙනවා හැබැයි..

    ReplyDelete
  9. ඔබ වැනි පිස්සු ඩොකාලා ගැන මගේ හිත ආඩම්බරයකින් පිරී ඉතිරී යයි. අනිත් කොන ඔබට මගේ පවුලේ සියලුම දෙනාගේම ප්‍රණාමය.
    henryblogwalker the Dude

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !