Monday, February 27, 2012

අනිත්කොණ තනිවුනු ළමා මව්වරුන්...

unmarried, unwanted / teenage  pregnancy යන පාඨයත් සමග  MOMH (medical officer- mental health) , MOMCH (medical officer- maternal and child health) විසින් අප සායන වෙත යොමු කරන එවන ළමා මව්වරුන් දුටු විට සිතට බොහෝ කළකිරීම් ඇතිවේ. අවුරුදු 15, 16 වියේ පසුවන අය (පිසාචයන් මැද ලිපියේ ලියූවාක් මෙන් ) මෙන්ම 18, 19 වියේදී විවාහ වී ගැබ්බරව දරුවන් ප්‍රසූත කිරීමට එන මව්වරුන් මේ ප්‍රදේශවල සීග්‍රයෙන් ඉහළ යයි. මේ ගැන හොයා බලන්නටම ප්‍රොෆෙසර් කෙනෙකුත් මේ ළඟදී මේ ප්‍රදේශයට පැමිණියාලු. මේ ප්‍රදේශ වල වැඩිහිටියන්ගේ නම් අදහස යුද්ධයෙන් නිදහස් වී අවසානයේ අසීමාන්තිකව ලැබුනු නිදහස නිසා මේ තරම් සමාජය පිරිහීමකට ලක්වුනා කියලයි.
මුහුණ දකිද්දීම කුස දරා සිටින බර පොදිය ගැන ඇත්තටම  ඕනෑම කෙනෙක්ට දුකක්ඇතිවේ. ඊළඟ ප්‍රශ්ණය බැඳලාද යන්නයි.
බොහෝමයක් දෙනාගෙන් ලැබෙන පිළිතුර - වයස හරි නැහැ එනිසා රෙජිස්ටර් කරලා නෑ කියලා යන්නයි. මහත්තයා ළඟ ඉන්නවද ඇහුවොතින් එයටද ඔව් කියා පිළිතුරු දෙන්නේ කිහිප දෙනෙයි.

මාලතී අවුරුදු 17 වියැති දැරිවියකි. යුද්ධය අවසානය වන විට ඇයට සහ ඇගේ මවට ඉතිරි වුනේ ඔවුනොවුන්ගේ පිළිසරණ පමණි. යටි බඩේ කැක්කුමයැයි කියමින් රෝහල් ගතවුනු ඇයට ප්‍රසව වේදනා නොවන බව වැටහුනේ පරීක්ෂා කර බැලීමේදීය. සති 29 පමණ වෙන නිසා ඔහොම කැක්කුම් සමහර විට ඇතිවෙනවා කියා පවුල් සෞඛ්‍ය ය නිළදාරිනිය විසින් ඇයට පැහැදිලි කර දෙද්දී වයසක අපේ නර්ස් මිස් පැවසුවේ.. පාසැල් යන වයසේ ඔහොම දේවල් කරගත්තම ඉතින් දුක් විඳින්න තමයි වෙන්නේ කියාය.

"මාලතී ඉස්කෝලේ ගියාද ?"
 " ඔව් ඕ ලෙවල් කරා" ඇගේ ප්‍රතිඵල මා හා කියයි.
 "ඒ දෙකයි බී හතරයි ඉතිරි ඒවා සී " .

"ඉතින් දරුවෝ මේ තරම් හොඳ රිසල්ට්ස් අරගෙනත් ඇයි ඉගෙනීම නතර කර ගත්තේ" මම ඇසුවෙමි.
ඇගේ මව පැවසුවේ... "තාත්තා නැති මේ දරුවා තව තියාගෙන මට රැකගන්න ශක්තියක් නෑ එනිසා එයාගේ මස්සිනාට බන්දලා දුන්නා"
 මා මීට ඉහතදී අනිත් කොණ අම්මලා සහ අපේ නිදහස ලිපියේ ලියුවාක් මෙන් මේ අම්මලාගේ ජීවිත මෙලෙස වෙනස් වීම ගැන ඔවුන්ට දැඩි ලෙස දොස් කියන්නටද නොහැකිය. ආර්ථික මට්ට්මෙන් සහ සමාජ උපකාරවලින් දැනුවත් කිරීම් වලින් අඩු ප්‍රදේශ වල මේ ආකාර දේ සිදුවෙන එක පුදුමයක් නොවේ. දරු ප්‍රසූතියේදී කැක්කුම ඉවසාගත නොහැකි ඒ දරුවන් හඬා වැලපේ. දරුවන් ලැබෙද්දී ඔහොම තමයි කියමින් වේදනා නාශක දෙනවා හැරෙන්න වෙන විකල්පයක් නොමැත. එවැනි දේ කරගත්තේ ඇයි කියා බැන හඬ ගාන්නටද පරක්කු වැඩිය. මේ ප්‍රදේශ වල නව යොවුන් වියේ සිටින දරුවන් මෙන්ම 13, 14 වියේ සිටින දරුවන්ද මෙවැනි දෑ ගැන දැනුවත් කළ යුතුමය. මන්ද ඔවුන් නොදැනීම ඔවුන් අපයෝජනයට ලක්වෙන නිසාවෙනි.

නන්දනී දරු ප්‍රසූතිය සඳහා අපේ රෝහලට ඇතුල්වෙද්දී ඇයගේ කුසට මාස 10 සම්පූර්ණ වී තිබුනි. නමුත් කීසිම දිනක ඇය මාතෘ සායනයකට සහභාගී වී තිබුනේ නැත. මහ රෑ බොහෝ අමාරු ප්‍රසව වේදනා සහිතව පැමිණි ඇයගේ රුධිර ඝණය, රුධිර හිමෝග්ලොබින් මට්ටම හෝ කුසේ ඉන්න දරුවා එක් පාරක් හෝ ස්කෑන් කර බලා නොතිබිනි. සුපුරුදු පරිදි මෙලෙස කරන්නේ ඇයිදැයි දෝස් මුරයක් සමග ඇය ස්කෑන් පරීක්ෂා කරන විට ඇයගේ නෙතින් කඳුළු කැට කඩා හැලිනි. මොකක් නැතත් මේකනම් කරගන්න දන්නවා... සුපුරුදු පරිදි වැඩිහිටි මිස්ලාගේ දෝෂාරෝපණය ඇසේ.

 "අනේ ඩොක්ටර් මම බී ඒ ග්‍රැජුවේට් කෙනෙක්. මම ටීචිං ලැබෙන කම් හිටියේ. "නන්දනී ඇගේ කඳුළු කථාව මා හමුවේ දිග හැරියාය.

පවුලේ වැඩිමහළු දරුවා වන ඇය නොයෙක් දුෂ්කරතා මැද ඉගෙන ගෙන ....... විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් කාලයේ දැන හඳුනගෙන සිටි එහිම ශිෂ්‍යයෙක් සමග පෙම් සබඳතාවක් පවත්වා තිබුනි. මේ අදමයා විසින් ඇගේ අකමැත්ත පිට * (ඇයට අනුව) මේ සා කරදරයක් සිදු කර පසුව ආදරය පිටින් දමා බොහෝ පොරොන්දු දී ඇය ගැබ්බර වූ විට ... මේ දරුවා තමාගේදැයි සැක කරන බව ඇයට පැවසුවාලු.

" පොලිසි යන්නනේ තිබුනේ... " මගේ අදහසය.

"මෙච්චර දෙයක් කරලා එහෙම කැත කතා කරන්න පුළුවන්කමක් තියෙන මිනිහෙක්ගෙන් මොකද්ද ඇති වැඩේ ඩොක්ටර්. මම පුළුවන් විදිහට දරුවා හදා ගන්නවා. මම ගමින් ඈත මේ පළාතේ යාළුවෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නේ බබා ලැබෙනකම්. "

නීතිය අනුව මෙවැනි සිදුවීම් අප රෝහල් පොලීසියට හෝ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ යුතුය. දරුවෙක් තනියම හදා වඩා ගැනීම කළ හැකි නොවෙන බවත් ඇයට මේ සඳහා සාධාරණයක් ඉටු විය යුතු බවත් බොහෝ වෙලා රැගෙන අප පැහැදිලි කර දුන්නෙමු. ඇයට ඒසා අපරාධයක් කළ ඒ මිනිසාගේ මුහුණ බලන්නටවත් අවස්ථාවක් උදාවුනොතින් එය ඇයට කළ නොහැකි දෙයක් බව ඇය පුන පුනා කීවාය. ඇය දරුවා ප්‍රසූත කළ පසු ඉහත සඳහන් අංශ වෙත අපි ඇය යොමු කෙරුවෙමු. දින දෙකක් යන්නට මත්තෙන් ඇය දරුවාද සමග වාට්ටුවෙන් අතුරුදහන් වී තිබුනි.

 උපාධිදාරිනියක් වූ ඇයගේ හෙට දවස යහපත් වේවා යැයි කියා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙනයමක් අපට කළ නොහැකිය. ඒසා කරදරයක් වුනත් දරුගැබ විනාස නොකර රැක ගත් ඒ අම්මා ගැන එහෙම මතකයක් ඉතිරි වෙද්දී සමාජයට මුහුණ දෙන්නට බැරිව, ආර්ථික ප්‍රශ්ණ හෝ සාමාජීය ප්‍රශ්ණ කන්දක් නිසා අන්තිමේ තමන්ගේ දරුගැබ විනාස කරගන්න නොයෙක් නීතිවිරෝදී ක්‍රම උපායන් සහ නීති විරෝදී ගබ්සා මධ්‍යස්ථාන වලට යන අම්මලාද අන්තිමේ බොහෝ කරදර සිදු කරගෙන නතර වෙන්නේ රෝහලේ නාරිවේද වාට්ටුවේ හෝ මෝචරියේය. ඔහොම පැමිණෙන හැමෝටම තිබෙන්නේ එකම කතාවකි. ඉබේ සිදුවීමක් ලෙස අපට කියූවත් පරීක්ෂා කර බලද්දී අලගිය මුලගිය තැන් සේරම අම්මලා එකින් එක හෙළි කරනවා. එවැනි දේ නිසා ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කොට එලොව ගොස් මෙලොව ආ අම්මලාද ඕනෑ තරම්. රටේ නීතිරීති පද්ධතියක් තිබුනත් එය සමාජයට කොතරම් අනුගතද යන්න නැවත සොයා බැලීම වටී. නැත්නම් නිරපරාදේ නාස්ති වෙන්නේ නොදැනුවත්කම නිසා කරදරේ වැටෙන ජීවිත පමණි.

ඊළඟට අපේ නාරිවේද සායන වලට සති හයකට පසු පවුල් සංවිධාන ක්‍රම වේදයක් අනුගමන කිරීමට මේ කුඩා අම්මලා පැමිනෙන්නේ අලුත උපන් කිරි කැටියත් කර ගහගෙන. එහෙම පැමිණෙන ඔවුන්ගේ අත්වල ඉන්නේ නොයෙක් විච්චූර්ණ කර අන්දවා ගත් බෝනික්කන් වැනි දරු පැටවුන්‍ ය. දරුවන්ට අධික රස්නය දැනෙන විච්චූරන ඇඳුම් මෙන්ම කණකර ආයිත්තම් පුරවලාය. අර කුඩා ඇඟිළි වලටත් රත්තරන් මුදු පළඳලා.අපේ අවවාද  නිසා ඇතැමෙක් එවෙලේම ඒවා ගලවනවා. ඔවුන්ට දොසක් කියන්නත් බෑ, ඇයි ඉතින් ළමා වියේදී අම්මලා වුනු මේ අම්මලාට මේ දරුවා බෝනික්කෙක් වගේ හැඩ කරන්නට සිත් දීම පුදුමයක් නොවෙයි නේද ?

කිරි පැකට් මෙච්චරකට ඔබලාට අච්චරක් !

ක්ලිනික් දවස කොහොමත් වෙහෙසකර දිනයක්, ක්ලිනික් බොහෝමයකට මා සැරින් සැරේ සේවය කරපු හැම අංශයකදීම වගේ සහභාගි වී තිබෙනවා. සමහර ඒවා රෝහල් වල පැවැතුන අතර තවත් සමහර ඒවා ඉස්කෝල වල , යුද්ධයෙන් මුදාගත් ප්‍රදේශවල පැවැත්වුනා. ඔය හැම එකකටම බෑ කියන්නේ නැතුව සහභාගි වෙන සිරිතක් අපේ තිබුනා.

ඒ අත්‍දැකීම් සොය සොයා යන තරුණ කාලේ, සේවය කිරීමට තිබුනු ඕනෑකම කියලා කිව්වත් නිවැරදියි. හැබැයි ඉතින් රෝහලේ සායන නම් අපි අනිවාර් යයෙන් කළ යුතුමයි. යුද්ධය අවසානයේ කල්මඩු, මඩු, මුලතීවු වැනි ප්‍රදේශවලත්, පසුව දිගු කාලයක් මැණික් ෆාම් වලත් පැවති සායන වලට බොහෝ විට සහභාගි වෙන්නට සිදු වුනේ අපිටයි.

සති කිහිපයකට වරක් එලෙස කොහේ හෝ ඉස්කෝලෙක පවත්වන සායන වලට අපේ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යතුමන්ලා සමග අපි සේරම සහභාගි වෙන්නේ ආරක්ෂක අංශවල පූර්ණ අනුග්‍රහය ඇතුවයි. විවිධ ඖෂධ කොම්පැනි වලින් නොමිලේ බෙහෙත් පෙට්ටි ගණන්ද නොයෙක් ආකාරයේ ස්පොන්සර් කිරීම්ද සමග ඈත ඉස්පිරිතාල නොමැති දුෂ්කර පළාත්වලට යන එක ඒ මිනිස්සුන්ට මොන තරම් සේවයක්ද කියලා හිතුනේ ළමයින් දෙතුන්දෙනා වඩාගෙන වැරහැලි වෙච්චි ඇඳුම් ඇඳගෙන පැමිණි ඒ මිනිස්සුන්ව දකිද්දියි. බොහෝමයක් දරුවන්ගේ බඩ ගෙඩි ඉදිරියට නෙරා තිබුනා, මන්ද පෝෂණය මෙන්ම පණු අමාරුවද ඔවුන් අතර සුලභයි.

 සමහර ගම්මාන වල අපේ වාහන බස් පිටු පස්සෙන් දුව ඇවිත් පොදි කකා ඉන්න අතන මෙතන සෙල්ලම් කරමින් හිටි ළමුන් සියල්ලම මොකක් හරි ලෙඩක් කියාගෙන පෝළිමේ පැමිණෙන්නේ, බෙහෙත් බොන්න වුවමනාවටම නොවේ. සිදුවන්නේ කුමක්දැයි ඔවුන්ට තිබෙන කුතුහලයටයි. එලෙස පැමිණෙන කුඩා දරුවන්ට කිසි ලෙඩක් නැති වුනත් වැහැරුණු ශරීර සහිතව පෝෂණ ඌනතානම් ඕනෑතරම් ඇති බව වැටහෙන නිසා විටමින් පෙති කාඩ් එකක් හෝ සමග ඔවුන් පිටත් කර හරින්නේ පිරිසිඳුකම ගැන දේශනාවක්ද දෙමිනි.

 අපි වාට්ටුවල, මහ රෝහලේ ක්ලිනික් කරද්දී ක්ලිනික් අවසානයේ එළියේ පොදි කකා බලන් ඉන්නේ ඩ්‍රග් රෙප් ලා හෙවත් ඖෂධ කොම්පැණි වල නියෝජිතයන්. ඒ ඔවුන්ගේ ඖෂධ වර්ග ගැන අපව දැනුවත් කිරීමට මෙන්ම අපි ලව්වා ඒ ඖෂධ රෝගීන් හට නිකුත් කිරීමටයි. අප රෝහල් වල, ඖෂධ නාමය මිසක් වෙළඳ නාමය පාවිච්චි නොකරන නිසාත් , ඇතැම් විට රෝහලේ නොමැති ඖෂධ වර්ග වෙත්නම් පමණක් වෙළඳ නාමයෙන් ලියා දෙන නිසාත් අපට මොවුන්ගේ ක්‍රියාකාරකම් එතරම් වැදගත් වෙන්නේ නැත.

ඔය කියන දිනයේ අවසර ගෙන පැමිණියේ කිරි පිටි සමාගමක නියෝජිතවරයෙක්. ඔවුන්ගේ පිටි වර්ගය සහ එයින් කුඩා දරුවන්ගේ මොළය වර්ධනයට ලැබෙන පිටිවහල කියවලා කියවලා අන්තිමට ඔහු කියා සිටියේ, මේ කිරි පිටි වර්ගය පමණක් පාවිච්චි කරන්න යැයි අම්මලාට අපි ලියා දුන්නොතින් කොම්පැණියෙන් නොයෙක් වාසි අත්වන බවය. මට නම් එක විටම හිනහා ගියා. එදාවේල කන්න බොන්න සල්ලි නැති මේ කොණේ මිනිස්සුන්ට තව මව්කිරි වෙනුවට මේ කියන අහවල් පිටි එකත් දෙන්න කොහෙත්ම බැරිය.

" මේ දරුවන්ට සාමාන්‍ය පිටි කිරි වේලක් ලැබෙනවාද කියන එකත් සැක සහිතයි ඉතින් ඔබ කියන්නේ මට මේවාගේ අධික මිල පිටි වර්ගයක් ලියා දී ඒ දෙමාපියන්ට තවත් කරදරයක් වැඩි කරන්නද ?" මම ඇසුවා.

"ඇයි ඩොක්ටර් එහෙම කියන්නේ, මේක ලියලා දුන්නොත් ප්‍රෙස්ක්‍රිප්ෂන් මෙච්චරකට මේවගේ ප්‍රතිලාභ ලැබෙනවා, මෙච්චරක් වුනොත් විදේශ සංචාරයකට ස්පොන්සර් කරනවා. " .

" මේ මිනිස්සු දැන් තමයි ටිකක් නිදහසේ ජීවත් වෙන්නේ. බොහෝමයක් අය කරන්නේ කුලී වැඩ. දන්නවාද මේ දරුවන්ට නොයෙකුත් පෝෂණ ඌණතා. මස් මාළු හෝ කොළ එළවළු එදා වේලට එකතු කරගන්නේ හරිම අඩුවෙන් මේ අය. බොහෝ විට, පිටි කෑම වලට හුරු වෙලා. එදිනෙදා දවසේ පඩිය උපරිම රු. 300 පමණ ගන්න මෙවැනි පවුල් වලට අපි කොහොමද අමතර බරක් ඇති කරන්නේ. ඔන්න ඕගොල්ලෝ මේ වගේ අසරණ පවුල් වලට ඔය පිටි එක සහනදායි මිලකට නිකුත් කරනවානම්. එහෙම නැත්නම් තෝරාගත්තු පවුල් වලට නොමිලේ දෙන්න ක්‍රමයක් ඇති කරනවානම් එහෙනම් අනිවාර්යයෙන් ටිකක් සල්ලි තියෙන ආර්ථික අහේනියක් නැති අපි දන්න අයට උනත් මේ පිටි එක පාවිච්චි කරන්න කියන්න පුළුවන් ". මට එවෙලේ ඇතිවුනු සිතුවිලි එහෙම්මම එළියට දැම්මාය.

"ඩොක්ටර් වගේ කවුරුත් කතා කරේ නෑ. ඔහොම හිතන දොස්තරලා ඉන්න එකත් සතුටුයි." ඔහු පැවසීය.

" අපි සතියෙන් සතිය කුඩා දරුවන් වෙනුවෙන් පිට පළාත් වල සායන පවත්වනවා, මේ පළාතේ පාසැල් වල දරුවන්ගේ ඉගෙනීමට දුර්වල දරුවන් ගුරුවරුන් විසින් යොමු කළ විට ඔවුන් සහ ඔවුන්ගේ පවුල් පසුබිම ගැන විශ්ලේෂනය කරනවා. බොහෝමයක් දරුවන් පෝෂණ ඌණතා වලින් පෙළෙනවා. මේ කිරි වීදුරුවකට පෝෂණය විටමින් සියල්ල සපුරන්න පුළුවන්නම් එවැනි දරුවන් ඉන්න පවුල් වලට ඔබලා සහනයක් කිරීමට උත්සහ ගන්න පුළුවන්ද ? අන්න ඒවගේ දෙයක් කරනවානම් මම මේ කිරි පිටි එක  ගැන සල්ලි තිබෙන , ආර්ථික අහේනියක් නැති අය වෙත  කියන්නම් " .

"ඔබ අපිට වෙනස්ම පැත්තක් පෙන්වා දුන්නා. මම මේ ගැන අපේ මැනේජර් සමග කතා බස් කරන්නම්. මේක අළුත්ම ආකාරයක සමාජ සත්කාරයක් වේවි." මා කියූ සියල්ල සටහන් කරගත් ඔහු ඔහුගේ නේම් කාඩ් එකකුත් දී සමුගත්තා.

නමුත් අනිත් කොණ රෝහලෙන් පැමිණෙන තෙක්ම ඔවුන්ගෙන් ආයේ අහන්නට ලැබුනේ නෑ. නමුත් මේ ගැන කාටවත් දොස් කියා වැඩක් නැත. මේ අද සමාජය හැඩ ගැසී ඇති අන්දමය.

මා මේ කතාව මිතුරන් හමුවේ පැවසූ විට " පිස්සු ඩොකෙක් " කියා ඔවුන් කියන්නට ඇති යැයි එකෙක් පැවසීය. මොන තරම් ඇත්තද ? මේ අයුරෙන් සිතීම එක්තරා විදිහක පිස්සුවක් වුවද විය හැකිය.

හැමදාම ලියන්න තරම් කතා ගොඩක් තිබුනත් එක තැනක ඉඳගෙන ඉන්න වෙලාවක් නැති කමද, එහෙම වෙලාවක් ලැබුනම විදුලිය කැපීම් සිදු වීමද ලැප් ටොප් එක විදුලියෙන් මිස බැටරියෙන් ක්‍රියා නොකිරීමද , අනිත්කොණ කරන්ට් යෑම් ඊම් නිසා හොඳට තිබ්බ බැටරිය පිච්චී යෑමද සිදු විය. බයෝස් ද මොකද්ද මන්දා එකක අවුලක් කියලා කොම්පියුටර් දන්න මල්ලිලා කියන හරුපයක් නිසා ලැප් ටොප් එක ඉබේම ක්‍රියා විරහිත වීම වගේ හේතු ගොඩක් නිසයි මේ තරම් ලිපියක් ලියා ගන්න කල් ගත වෙන්නේ...

Monday, January 23, 2012

ඊසාන දිග මෝසම් සහ ගංවතුරේ ට්‍රාන්සර් කිරීම...

ඊසාන දිග මෝසම් සුළං සහ වැසි නිසා මේ ප්‍රදේශයට දැඩි දුෂ්කර කාලයක් උදා වේයැයි සිතුවත් එය ගිය අවුරුද්දේ තරම් දැඩි ලෙස බලපෑවේ නෑ. ගිය වසරේ මේ කාලයේ තිබූ අධික ගංවතුර තත්වය සහ කුණාටු නිසා පාරවල් අවහිර වී තිබුනා ඒ මතකය යළිත් හිත අවදි කරද්දී යමක් ලියුවානම් හොඳයි සිතුනා. අපට මෙලෙස දුෂ්කර සේවය කරන්නටම කියා බල කිරීමක් නොතිබුනු අවධියක අපි මෙහි පැමිණියේ. අවැසි නම් කොළඹ මහ රෝහල් වල සේවය කරන්නට හැකි ලිස්ට් එකේ 40 , 50 වැනි ස්ථාන වල සිටි අයද මෙහි පැමිණ මේ සේවය  කරන්නේ හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන්මය.

මට මතකයට නැගෙන්නේ එකළ සියලුම පාරවල් කඩාගෙන වැව් දෝරගලා ගිහින් ගම්මාන පිටින් යටවෙලා තිබිච්ච කාලේදී හමුදාවත් රෝහලත් එකතු වී ගම්මාන වලින් ඒ මිනිස්සු අරගෙන ඇවිත් කඳවුරු වල වෛද්‍ය සායන පවත්වා බෙහෙත් කළ සැටිය.
ඒ කාලයේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරපු 65 හැවිරිදි වීරසේකර (අනවර්ථ නමකි) සීයා, මාසයකට පෙර කොළඹ මහ රෝහලට යවා හෘදයේ බයිපාස් සැත්කමක් කර නැවත ගමට පැමිණ තිබුනි. අධික වැස්ස නිසා කෑස්ස සහ ඇදුම සමග ඇතුල් කළ ඔහුගේ රුධිර පීඩනයද බලාගෙන ඉන්නකොට පහත වැටේ. දැඩි සත්කාර ඒකකයේද ඇඳන් සියල්ල පිරීතිබිනි.
ඉක්මනින් කොළඹ සැත්කම කළ කාඩියොලොජි යුනිට් එකට කතා කල අපේ විශේෂඥ තුමියට ඔවුන් පැවසුවේ හැකි ඉක්මනින් ඔහුව කොළඹ එවන ලෙසය. කොළඹ එවන්නේ කොහොමද පාරවල් සියල්ල යටවෙලාය. එසේනම් වැස්ස පායනකම් සිටිය යුතුය. එවැනි අවදානම් සහිත ලෙඩෙක් ට්‍රාන්සර් කරද්දී අනිවාර්‍යයෙන් දොස්තර සහ හෙදිය ඇතුලු සියල්ලෝම යා යුතුය. රෝගියා ගෙන යන වගකීම පැවරුනේ එවකට එම අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරිය වන මටය. කොළඹ යනවා කියන්නේ මහ රෝහලට නුදුරෙන් පිහිටි මගේ නිවසද පසු කරගෙන යනවා යන්නයි. එසේනම් වෛද්‍ය හිඟය නිසා නිවාඩු නොගෙන එක දිගටම සේවය කරන මට පැයකට හෝ රෝහලට පැමිණෙතොත් අම්මාවත් බලා කියාගෙන ආ හැකි නොවේද ?
රෝගියා ගෙන යන වගකීමේ බැරෑරුම් කම සහිතවම මම අම්මාට දුරකථනයෙන් කතා කළෙමි.
 " පිස්සුද.. මේ නිවුස් වලට කියනවා... අරහෙ ගංවතුර. අතනින් එහාට පාරවල් නෑ..අරහෙත් යටවෙලා,  මම කතා කරනවා හෙල්ත් මිනිස්ට්‍රියට (සෞඛ්‍ය අමාත්‍යාංශයට) "අම්මාගෙන් ඇසුනේ දෝස්මුරයකි.
 "අම්මා මොනවා කරන්නද එහෙම කෝල් කරලා "
 "ඇයි හෙලිකොප්ටර් යවලා ගෙන්න ගන්න පුළුවන්නේ"
 " දැන් ගංවතුර එතරම් දරුණු නෑ, අනික මේ වෙලාවේ ඇම්බියුලන්ස් එකක් හොයගත්තෙත් අමාරුවෙන්, හෙලිකොප්ටර් කොහෙන් හොයන්නද " මම අම්මාට පැහැදිලි කළෙමි.
"එහෙම කොහොමද ඕගොල්ලොන්ගෙ ජීවිත අනතුරේ දාලා ට්‍රාන්සර් එවන්නේ "

 අම්මා කලබලෙන් හොඳටම බැන වදී. අගනුවර සිටින ඇයට අපේ ජීවිත හෝ රෝගීන්ගේ දිවි රැකුමට අප කරනා මෙහෙවර නොතේරේ. මහ රෑ ටෝච් එළියෙන් වෛද්‍ය නේවාසිකාගාරය වෙත පැමිණෙද්දී සර්පයින් ඕනෑ තරම් අප ඉදිරියෙන් පාර මාරු වේ. එවිට මදක් නිසොල්මන්ව සිට ඔවුන් ගිය පසු යළි ගමන් කරන්නෙමු. කුඩා කල කළුවරට දැඩි බියක් දැක්වූ මා හට දැන් රැයත් දවාලත් කියා වෙනසක් නැත. ගෙදර සහ වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයේ සිටියදී පවා රෑ කළුවරට හොල්මන් වලට බිය වූ මට දැන් එහෙම දේවල් ගැන කිසිඳු බියක් චකිතයක් එන්නේ නැත. ඒ අනිත්කොණ ජීවිතය මා වෙනස් කර තිබූ තරමයි.
 " හරි අම්මා තවම ට්‍රාන්සර් කරන්න හිතනවා විතරයි. මට වඩා ඉහළ අයයි තීරණ ගන්නේ. හරියටම එනවානම් ඇවිත් දැනුම් දෙන්නම්,කලබල වෙන්න එපා " එහෙම කියා අම්මාව අස්වැසුවත් කොළඹට කිට්ටු වෙනකම් අම්මාටනම් ඇමතුමක් නොදෙන්නෙමියි මා සිතා ගත්තා.
සියලු ඖෂධ , හදිසි සත්කාර උපකරණ, එන්නත් , සියල්ල සමග රුධිර පීඩනය නංවා තැබීමට දැමූ ඖෂධ ශරීරගත කරන ස්වයංක්‍රීය එන්නත් කට්ටලයද සමග මම හොඳින්ම පුහුණුව සහ අත්දැකීම් බහුල ජේෂ්ඨ හෙදියත් අනෙක් සියලු අය වීරසේකර සීයා සහ ඔහුගේ පුතා කැටුව කොළඹ බලා අධික වේගයෙන් දිවෙන ඇම්බියුලන්ස් රථය තුලට වීමු. රථයේ දොර වසද්දී රෝහලට රැස්වූ ගම්මානයේ සියල්ලෝම ඉහ අත් දී සෙත් පැතුවේ, ගම්මානයේ ජේෂ්ඨ පුරවැසියෙක් වුනු සීයාගේ දිවි බේරා දෙන්න යැයි කියමිනි. උතුරේ සිට දිය උඩින් වලවල් වල වැටෙමින් පැමිනි ඇම්බියුලන්ස් රථයට ඇතැම් විට ඉදිරියේ පාරක් නොපෙනුනු හාත්පස පෙනුනේ විශාල වැවක් මෙනි... එවිට සුළු සේවකයා වතුරට බැස ඉදිරියට ඇවිද ගියේය. ඔහු පසු පසින් ඇම්බියුලන්ස් රථය හෙමින් ඉදිරියට දාවනය කෙරිනි. වලවල් වල වැටෙන විට රෝගියා නිදි කරවා සිටි ට්‍රොලිය වේගයෙන් එහෙ මෙහෙ විසිවේ. අපි සියලු දෙනා අත් වාරුවෙන් සීයා ට්‍රොලියේ තබාගෙන සිටියෙමු. ගමනේ බොහෝ දුර ගෙවුනේ එසේය.

සමහර තැන් වල එක පැත්තකින් පාරට ඇතුල් වෙන වතුර පිට වන්නේ වැව් වාන් දමන්නාක් මෙනි. ඇතැම් තැන්වල පාර එහෙම්පිටින්ම වතුරේ ගසාගෙන ගොසිනි. පැය කාලෙන් කාල රුධිර පීඩනය මනිමින් ස්වයංක්‍රීය එන්නතේ ඖෂධ ප්‍රමාණය අඩු වැඩි කරමින්... යන්තම් අප මීගමුව පාරේ හලාවත නගරයට සේන්දු විය.

 "දුවේ මොනවා හරි කාලා බීලා යමු " අනුරාධපුරය පසු වෙනවා එක්කම සියා විටින් විට ඇවිටිලි කරයි.

" බඩගිනිද සීයා" තත්වය අනුව ඉක්මන් ශල්‍යකර්මයක් කිරීමට ඉඩ තිබූ හෙයින් සීයාට නම් මොකුත් කන්න බොන්න දෙන්න බැරි බව මම කිහිප විටක් කියුවා මතකය.
"මට මොකුත් එපා , මම දැන් අවුරුදු 65ක් හිටියා. අපේ රට නිදහස් කරගන්නකම් මං උන්නු එකම මට ඇති." සීයා කියයි.
"ඕකත් වයසක්ද සීයේ, මොකුත් වෙන්නේ නෑ, මම සීයාව කරදරයක් නැතුව කොළඹ ගෙනියන්න ඕනේ." ආයෙමත් සැරයක් සීයා අප දෙස බලයි.
" ඇත්තමයි දුවේ මට මොකක් උනත් කමක් නෑ ඔය දරුවෝ පරිස්සමෙන් යන්න, ඩ්‍රයිවර් මහත්‍තයට කියන්න හෙමින් යන්න කියලා"
"හහා මේ ට්‍රැෆික් එකේ තව හෙමින් ගියොත් හෙට උදේ තමයි අපිට යන්න වෙන්නේ, සීයා කියවන්න එපා, මහන්සි දැනෙයි. සද්ධ නැතුව යමු" මගේ අණ කිරීම හමුවේ යළිත් කට පියාගෙන ට්‍රොලිය මත ඇස් පියා ගනී.
ආයේ මිනිත්තු 5 යද්දී සීයාට නැවත යමක් මතක් වේ. "අපි හිතුවේ නෑ මේ තරම් කල් ජීවත් වෙන්න. බෝම්බෙකින් හරි, කොටි පැනලා හරි අපි මරලා දාය් කියලමයි හිතුනේ. රට නිදහස් උනෙත් අපේ වාසනාවට ,  ඊට පස්සෙ සිංහල දොස්තර නෝනලා, මහත්තු ඇවිත් අපේ පළාතේ ඉස්පිරිතාලෙට. ඒ අය දකිද්දී ආයේ ලෙඩ හොඳ වෙනවා බෙහෙත් බොන්නත් කලින්"

දෙමළ ආත්තම්මා කෙනෙක් පසු ගිය දිනක මගේ අත සිඹ පැවසුවේ "ඩොක්ටර් අම්මා හිනා වෙලා කතා කරද්දිම මගේ ලෙඩ හොඳ වෙනවා" කියලා. මම එවිට සිනා වෙමින් ඇසුවේ " කැඩිච්ච දෙමළෙන් වරද්ද වරද්ද කතා කරද්දී ඕගොල්ලොන්ට හිනා ගිහින්ම ලෙඩ හොඳ වෙනවා නේද ? කියා.
මුල් කාලයේ ඒතරම්ම දෙමළ භාෂාව වැරදෙනවා. පාසැලේදී ඉගැන්නුවේද නැත. මෙහෙ එනකම් වචනයක් හෝ කතා කරන පරිසරයක සිටියේද නැත. දෙමළෙන් කන් කියන්නේ ඇස් වලටය , අපි කන් කියන්නේ කන් දෙකටය. කීල - පහල, මේල -  උඩ. ඕවා හැම තිස්සෙම පැටලේ.  නමුත් කෙසේ හෝ වචන අහුලමින් ඇටෙන්ඩන්ලාට සිංහල පුළුවන් දෙමල මිස්ලාට පින්සිද්ධ වෙන්න අපි දැන් දෙමළ කතා කරන්නෙමු. අලුතෙන් පැමිණි හෙදි සොයුරියක්, "ඩොක්ටර් දෙමළද" කියා අසන්න තරම් හොඳට දෙමළ කතා කරන්නෙමු... කාටද ඉතින්  ආඩම්බර.

 කොහොම හරි සීයාගේ , කෑම ටිකක් කාලා යමුයි කියන ආයාචන සියල්ල පැහැර හරිමින් අපි මීගමුවට පැමිණෙද්දී නැවත අම්මාගෙන් කෝල් එකක් පැමිණියා. "ආවා නේද ට්‍රාන්සර් එක අරගෙන, මම හිතුවා , සද්ධයක් නැති කොට" අම්මා දොස් කියයි. " හරි අපි මීගමුවේ. ලෙඩා බාරදීලා එන්නම් අම්මේ" අම්මලාට අපි කොච්චර ලොකු උනත් තවම ඔවුන්ගේ කුඩා දරුවන් ලෙස අපට සලකයි. රැකියාවෙන් අපි ඉහළින් හිටියත් අම්මට නම් ඒ කිසිවක් වැඩක් නැත. තවම අපට සලකන්නේ කුඩා දරුවෙක් ලෙස සිතාගෙනය. හවස 6 වෙන විට කොළඹ ආසන්න වෙද්දිම වත්තල ජා ඇල හරියේ සිට වාහන පෝලිම්‍ ගණන්. ඉතා පළපුරුදු රියදුරා නලාව හඬවමින් මගී මං තීරු සහ පදික වේදිකා ඔස්සේ රිය හසුරුවමින් ඇතැම් විට පාරේ දකුණු පැත්තෙන් පවා රිය පදවමින් පැය භාගෙන් කොළඹ මහ රෝහල වෙත පැමිණියා. කෙලින්ම හෘද චිකිත්සක අංශයේ දැඩි සත්කාර ඒකකය වෙත රෝගියා ඇතුල් කළ පසුය අප හිතට සැනසුමක් ලැබුනේ.

ඒ මම ලියුවේ ගිය අවුරුද්දේ සිදුවීමකි. මේ අවුරුද්දේ පාරවල් අලුත් වැඩියා කර තිබූ නිසාදෝ අපේක්ෂා කළ තරම් යටවුනේ නම් නැත. ගංවතුර බැස යාමට ක්‍රමයක් සකස් කර තිබුනා දැයි තවම නොදනී. මේ පැත්තේ ඇතැම් වැව් වාන් දැමුවත් ගිය වර තරම් නරක දසාවක් ලැබුවේ නැත. රෝගීන්ගෙන් වාට්ටු පිරී ඉතිරී ගියේ නැත. ඒ මහ රෝහලට එහා පිහිටි කුඩා රෝහල් සියල්ලටම පාහේ නව වෛද්‍යවරු පත්වී පැමිණ ඒවා පණ ගන්වා තිබූ නිසාය.(නමුත් ඒ අතරේ අදිසි බලවේග යොදා මාරුවීම් අරගෙන සැප පහසු අගනුවරට මාරුවීම් හදාගෙන ගිය ආත්මාර්ථකාමී එවුන්ද සිටිති) එනිසා මහ රෝහලේ තද බදය මදකට අඩු විය. නමුත් සැරින් සැරේ විදුලිය ඇණ හිටීම් සිදු විනි. ලියන්නට බැරිවෙන්න යම් තරමට එයද බල පෑවාය.
ඒ අනිත් කොණ තොරතුරුය. ඒ එක්කම ඊට එහා කොණේ කොළඹ පිහිටි නිවසේ මිදුල නම් වතුරෙන් හොඳටෝම යටවී තිබුනි. අඩි 4 පමණ වතුර මට්ටමක් සහිතව කොළඹ 7 වෝඩ් පෙදෙස ආසන්නයේ පාරවල් සහ කින්සි පාර හොඳටම යටවී තිබුනේ ගමන් කළ වාහන වලින් ආරුගම් බේ මුහුදේ දකින ආකාරයේ රළ ඇති කරමිනි.
 නිතර නොලිවීම ගැන සමාවෙන්න

Wednesday, December 14, 2011

අනිත් කොණ අම්මලා සහ අපේ නිදහස

25 හැවිරිදි තරුණ මව අප අසලට කොර ගසමින් පැමිණියේ හැඬුම් බර මුහුණකිනි.
"අම්මේ කැක්කුම වැඩි නම් ලේබර් රූම් එකට එන්න " පවුල් සෞඛ්‍යය නිළදාරිනිය නැතහොත් මිඩ් වයිෆ් මිස් ඇයට පැවසුවාය.

එසැනින් ඇඳ අසලට ගොස් නිල් පාට හතරැස් කූඩයත් රැගෙන ඇය ප්‍රසූතිකාගාරය වෙත ගියාය. අපිත් යුහුසුළුව එහි ගියෙමු මන්ද ඇයට දරුවා ලැබෙන විට සියල්ලන්ම වාරු  දිය යුතු බැවිනි. ප්‍රසූතිකාගාරයේ ඇඳේ හිඳගත් ඈ දකුණු කකුළ වෙනුවට තිබුනු බොරු කකුල ගලවා මිස් කෙනෙක් වෙත දිගු කළාය. මා ඒ දසුන දෙස බලා සිටියේ කඳුළු පිරි දෑසිනි. දකුණු කකුළ දණහිසෙන් පහළ කොටස නැත. අවසාන සටනේ දී ත්‍රස්තයින් විසින් ඇටවූ බිම් බෝම්බයක් ඇගේ කකුළ බිලි අරගෙන තිබිනි.

 මිනිස් අපි වගේම සතා සර්පයා උනත් අද මේ බිමේ සිටින්නේ නිදහසේ සුව ලබමිනි. එදා ඇසුනු මෝටාර් හෝ බෝම්බ හඬ අද ඇසෙන්නේ නැත.
අත් නැති කකුල් නැති ඇස් නැති බොහෝ අම්මලා මේ කාලයේ - යුද්ධය අවසාන වී අවුරුදු දෙකකට පසු , දරුවන් ප්‍රසූත කරන්නට රෝහල් ගත වෙයි. බොරු කකුල් දෙකම ගලවා දරුවා ප්‍රසූත කළ අම්මලා ඕනෑ තරම් සිටී. එවෙලේට සේවයේ තරාතිරම බලන්නේ නැතිව දොස්තරලා වන අපිද පැමිණ ඔවුන්ට අත්වාරු දෙමින් හැකි තරම් සැත්කමින් තොරව සාමාන්‍ය අන්දමට ඔවුන්ගේ දරු ප්‍රසූතිය සිදු කිරීමට අපි වග බලා ගත්තෙමු. ඒ ඔවුන්ගේ ආබාධිත තත්වය සමග සැත්කම් කැපුම් තුවාල නිසා බොහෝ දුක් විඳින්නට සිදු වන නිසා වෙනි.  

"මොකද මේ වෙලා තියෙන්නේ.." අලුත් සර් පරීක්ෂා කරන හැම රෝගියෙකුගේම කුමක් හෝ හමේ පෙනෙන මැහුම් පහරක් පෙන්වමින් ඇසුවේය. 
"ෂෙල් අඩි " යනු ලැබෙන පිළිතුර වේ. 

හැමෝගෙම ඇඟේ කොහේ හෝ ෂෙල් කැබැල්ලකි. සමහර අම්මලාගේ දණහිසේ සැත්කම් නිසා දණහිස් නවන්නට බැරිය. ඇතැම් විට සිසේරියන් සැත්කම් කිරීමේ ප්‍රතිශතය මෙවැනි පසු කාලීන ප්‍රශ්ණ නිසා ඉහළ යයි.  මාතෘ ගැබිණි සායන වලදී අපේ ඇඟේ ලේ රත් වේ. ඒ ඔවුන්ගේ රුධිර හිමොග්ලොබින් අගයන් නිසාවෙනි. අපේ අලුත් සර් පැමිණි මුල් කාලයේ ඒ ගැන බොහෝ හිත් තැවුලෙන් කතා කළේය. අවුරුද්දක් පමණ මේ කොණේ සේවය කර අත්දැකීම් සහිත මා , මේ ඉතා පහළ හිමොග්ලොබින් අගයන් මේ පළාතේ හැමෝගෙම පාහේ තිබෙන බව කියූ විට සර් පවා පුදුම වුනා. අප කරන්නේ මුල් කාලයේ යකඩ පෙති , විටමින් සී ප්‍රතිකාර නියම කර, ප්‍රසූතියට ආසන්න වූ විගස ඔවුන් රෝහල් ගත කර ලේ පයින්ට් ගනන් ශරීර ගත කිරීමය. ඉතා පහළ අගයන් තිබේනම් අනිවාර්‍යයෙන් රෝහල් ගත කළ යුතුය. වයස අවුරුදු 40 පැනපු අම්මලා ද ගැබ් ගෙන අප සායන වලට පැමිණේ. ඔවුන්ගේ වයස සහ කලින් ලැබූ දරුවන් ප්‍රමාණයද වැඩි වීම නිසාම ප්‍රසූතිය සිදු වන වේලාවේදී භයානක හදිසි අවස්ථාවන්ට මුහුණ දිය හැකිය. 

රංගම්මා 42 හැවිරිදි වියේ පසුවේ. කලින් දරුවන් හත් දෙනෙකු ලැබී ඇත.
 "පවුල් සැලසුම් ක්‍රමයක් ගැන දන්නෙම නැද්ද අම්මා , බලන්න ඔයාගේ වයස , ඔයාගේ හිමොග්ලොබින් හොඳටම අඩුයි " ඒ වෙලාවටනම් එන්නේ කේන්තියක්.

 " ළමයි හත් දෙනෙක් ලැබුනට නෝනා දැන් ඉන්නේ එක ළමයයි " 

"ඇයි ඉතිරි ළමයින්ට මොකද වුනේ " 

" හතර දෙනෙක් යුද්ධෙන් නැති වුනා දෙන්නෙක් සුනාමි වලින් නැති වුනා " 
ඇසේ පිරුණු කඳුළු කැට කම්මුල් දිගේ බේරෙද්දී ඈ පවසයි. ඇත්ත, මෙහි බොහෝ පවුල් වල ඉරණම එයයි. ලොකු මහත් වෙච්චි දරුවන් ත්‍රස්තයන් විසින් පැහැරගෙන ගොස් ළමා සොල්දාදුවන් ලෙස බලෙන් තුවක්කු දී යුද්ධයට තල්ලු කොට දැන් මැරී ගොසිනි. උතුරු මුහුදු බඩ වෙන්නට සිටි පවුල් වල දරුවන් සුනාමියට හසුව ගොසිනි. දැන් ලැබූ නිදහසත් එක්ක ඔවුන් හට නැවතත් දරුවන් හදන්නට බියක් නොමැත. වයස 35 වැඩි අම්මලා ඕනෑ තරම් අපේ සායන වලට පැමිණේ.

 ඇතැම් අවුරුදු 18 අම්මලාට දරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් සිටී. පළමු දරුවා ලැබී තිබුනේ 15, 16 වියේදීය." ඇයි මෙතරම් ලාබාල වියේදී දරුවන් හැදුවේ " යැයි අපි අසද්දී ඔවුන් පැවසුවේ " ඒකාලේ බැඳලා ළමයි හැදුවේ නැත්නම් අපිවත් යුද්ධෙට අරගෙන යනවා" කියාය. 
ලක්ෂ්මි ,(අනවර්ථ නමකි) මට මුණ ගැසුනේ දෙවෙනි දරු ප්‍රසූතිය ලැබෙන්නට රෝහල් ගත වුනු කාලයේය. පළමු දරුවා ලැබී තිබුනේ 2009 මැයි මස 15 වෙනිදාය. පුදුමාතලන් පුදුකුඩු ඉරිප්පු අවසන් සටන කාලයේය. "මම කැක්කුම ඉවසගෙන හරි අමාරුවෙන් ආවේ . එනකොට වෙඩි වැදිලා කකුලේ කෑල්ලක් එල්ලෙනවා. එතකොට ආමි එකේ අය තමයි අපිව බේරගෙන උස්සගෙන ආවේ. මම මල්ලි මල්ලි කියලා දෙමළෙන් කෑ ගැහුවම ළඟට ආපු ආමි මල්ලිලා දෙන්නෙක් ඉක්මනින් මාව ඔසවගෙන වෙඩි අස්සෙන් මේ පැත්තේ ටෙන්ට් එකට අරගෙන ආවා. ඒ ඇවිත් ටික වෙලාවකින් දරුවා ලැබුනා. ඔක්කොම උදව් කළේ සිංහල අය තමයි ඩොක්ටර්. පුතාට දැන් අවුරුදු දෙකයි. අපි දැන් තමයි සතුටෙන් ඉන්නෙ" 

මට අනිත් කොණ අහන්නට දකින්නට අත්විඳින්නට ලැබුනු මේ කතා ලියන්නේ අපිට නිදහස ලබා දුන් විරුවන් වෙනුවෙන් ඇති වූ මහත් ගෞරවයක් , භක්තියක් සමගිනි . මේ පළාතට සේවය කරන්නට එන්නට කලියෙන් අපට තිබුනේ ඔවුන් ගැන අමුතු බියකි. ඔවුන්ට තිබුනේ අප ගැන බියක් සහ වැරදි වැටහීමකි. සිංහලයා නරකයි , දෙමළා නරකයි කියා දෙපැත්තට වෛර කරමින් සිටි සියල්ලෝම අද එක මිනිස් ජාතියක් ලෙස එකතු වී සිටී. අපි බිය වූ අපට බියවූ මිනිසුන් දහස් දෙනා අප හමුවේ වැඳ වැටී ස්තූති කරයි, රෝග සුව වී යද්දී ඇතැම් ආත්තම්මලා අප අත සිඹ , මුහුණ සිඹ තම දිවි බේරා දුන්නාට ස්තූති කරයි. අපි හැකි තරම් ඔවුන්ට කාරුණික වන්නෙමු. 
දිනක් අපි මාර්කට් එකට ගියෙමු. පොල් මිල අධිකය, එළවලු මිල ඊටත් අධිකය. අපි අතර කිහිප දෙනෙක් මිල ගණන් ගැන දොස් පවරමින් සිටියදී වෙළෙන්දා පැවසුවේ "එළවලු මාළු මිල උනත් අඩු තරමේ වේලක් හරි වේලක් කාලා අපි දෙයියනේ කියලා ඉන්නවා නෝනා, ඉස්සර මෙහෙම එළියට බැහැලා ඉන්නද ? අපි ඉල්ලුවේ මෙච්චරයි, අපිට යුද්ධෙ ඉවර කරලා දෙන්න කියලා ,දැන් ඒක හරිනේ. ඉතුරු හරිය බලාගන්න එක අපේ වැඩක්" අපි එලෙස ඉහළට බැන වදිද්දී මේ පළාතේ සාමාන්‍ය ජනයා තුල අපේ විරුවන් ගැන තිබෙන ගෞරවය එසේය. " ඇත්තනේ ... එහෙම නොවුනානම් අපි ඇවිත් මෙහෙම නිදහසේ සේවය‍ කරන්නද මේ පළාතේ" අපිටත් එසේ සිතුනා. එනමුත් රට දිනා දුන් විරුවන් බොහෝ දෙනෙකුට අද අමතක වී ගොසිනි. 

පහළ වීඩියෝ එකත් බලන්න.

 

මෙතරම් කල් නොලියා ඉන්න හේතුව - ඊසාන දිග මෝසම් වැස්ස ! නිතර විදුලිය ඇනහිටීම් සමග රෝහල පිරී ඉතිරීයන්නට ලෙඩ රෝග එක්ක අපිවත් ලෙඩ කරා ! තාමත් චුරු චුරුව..

Wednesday, October 26, 2011

ලෙඩක් හැදුනොත් අපි හැමෝටමයි.. වෙහෙසකර වෙද සිත !

දන්නා හඳුනන කෙනෙකුගේ දන්නා හඳුනන අයෙක් අප මහ රෝහලේ ශල්‍ය වාට්ටුවට ඇතුල් කර ඇතැයි දැනූම් දුන් නිසා පසු ගිය දිනක මම එහි ගියෙමි. එහි ගොස් එළියට විත් ගැහැණු වාට්ටුව අසලින් යද්දී මා වෙත දිව ආ තරුණියක්...

"ඩොක්ටර් ට මතකද මාව " කියා මගේ අතේ එල්ලීගෙන ඇසීය.

අතේ එල්ලෙන්න තරම් මාව දන්න මේ මම නොදන්න තරුණිය කවුරුන්දැයි මම මගේ මතකය පුරා තත්පර ගණ්නට ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයෙන් සෙව්වෙමි. නැත මුහුණ නම් මතකය , කවුදැයි අමතකය.

ටවුමට ගියෝතින් හැම තැනින්ම ඩොක්ටර් , ඩොක්ටර්. කොහොමද ඩොක්ටර්, කොහෙද මේ යන්නේ ඩොක්ටර්... ඉවරයක් නැත. මටනම් දැන් එය සොඳුරු කරදරයකි. ඔවුන් හට අමාරු වෙලාවක අපි කරදර වුනාක් මෙන් මා ගැන් ඔවුන් කරදර වෙයි.

"ඩොක්ටර් මම පැනඩෝල් බීලා ඇවිත්... රෑ වාට්ටුවේ ඉන්නකොට ..." ඇය එසේ කියද්දීම මට මතක් උනේ.. පැනඩෝල් හෝ වස බී පැමිණෙන තරුණියන්ට තරුණයන්ට මම දෙන අවවාද ගොන්නය. ඒ දෙන්නෙත් සිනා මුහුණින් නම් නොවේ. ආයේ වහ නම් බීලා එන්නේ නෑ කියන්නටම සත්තම දාන්න වෙන්නේ මේ දරුවන් කරනා මෝඩ වැඩ නිසාවෙනි.

"අනේ දරුවෝ සමාවෙන්න ලෙඩ්ඩු දාස් ගානක් බලනවනේ. නිච්චි නෑ. දැන් මොකද කරන්නේ"

"ඩෝක්ටර් එදා අපිට විකාර නවත්තලා ඉගෙන ගන්නයි කිව්වනේ... ජීවිතේ මේ ගමෙන් එහාට තියෙන දුර පෙන්වලා දුන්නනේ.. මම කැම්පස් යන්නයි ඉන්නේ"
"මට හරිම සතුටුයි දරුවෝ" මටත් වඩා උස මේ තරුණිය මා ඉදිරියේ දණ ගසා වැඳ වැටුනි.
"මේ මොකද දැන් මෙහෙ ඉන්නේ"
"ඇපෙන්ඩිසයිටිස් හැදිලා ඔපරේට් කලානේ " ඇගේ මවද පැමිණ හැඳුනුම්කම අලුත් කර ගති.

ඇය 17 හැවිරිදි වියේ සිටියදී, පෙම්වතා වෙන කෙල්ලෙකු හා හාද වුනා යැයි පැනඩෝල් පේති 30 පමණ බී අපේ වාට්ටුවට ඇතුල් කර තිබිනි. "ආයේ ඒ කොල්ලව ගෙනත් දෙන්න කියලා අඬනවා ඩොක්ටර්" අම්මා අප හා පැවසීය.

"අම්මේ ඉල්ලන ඉල්ලන දේ දීලා සැප දීලා දරුවෝ හැදුවා වගේම ඒ දරුවන්ට හරි දේ කියා දෙන්නත් දැනගන්න ඕනේ. ඔහොම කරන කොල්ලො වැඩක් තියෙනවද අම්මේ... ඔය ගෑණු ළමයි දීග තල දෙන්න කලින් හොඳට උගන්වන්න. "

ඊළඟ දවසේ අප වෙත පැමිණි අම්මා පැවසුවේ.. "අර කොල්ලා ආවනේ ඩොක්ටර් සැප දුක බලන්න, මම දුන්නා කම්මුලට පාරක් වාට්ටුව මැද්දෙම, ආයෙ පස්සවත් නොබලා ගියා." අම්මා අප වෙත පැමිණ කීවාය.

"අනම් මනම් අමතක කරලා ඉස්කෝලේ ගිහිං හොඳට විභාගේ කරන්න. කැම්පස් ගිහිං හොඳ රස්සාවක් ලැබුනම ඔයා දැන් දුක් වෙන්නේ මොනවටද කියලා හිතෙයි දරුවෝ" මම පුළුවන් තරම් ඇගේ හිත හැදුවෙමි.
දැන් ඒ තරූණිය අවුරුද්දකට පමණ පසු මගේ ඉදිරියේ හිටගෙන සිටී... මම සොම්නස් සහගත හැඟුම් සමග ඇයට සමුදුන්නෙමි.


දිනුක මල්ලි පසුගිය ලිපියට ලියූ කමෙන්ටුවක වැදෑමහ සම්බන්ද කතාවක් ලියා තිබූ නිසා
(දිනුක ජයකොඩි said...
වෛද්‍යවරු වීශේෂයෙන්ම අපේ රටේ අය ගොඩක් වෙලාවට ලෙඩ්ඩු ගැන හිතලා කටයුතු කරනවා.මේ ළඟදි සොයිසා එකේ බබෙක් හම්බ උන අම්මා කෙනෙක්ගේ වැදැමහ සම්පූර්ණයෙන් ඉවත් නොවීම නිසා රුධිර වහනය වීම නතර නොවුන වෙලාවෙ එතන හිටි වෛද්‍යවරිය අතට දමාගත් සාමාන්‍ය ශල්‍ය අත්වැස්මක් සහිතව ගර්භාශය තුලට අත දමා වැදෑමහේ ඉතිරි කොටස් ඉවතට ගන්නා ආකාරය මම බලාගෙන හිටියා.ඇත්තටම සෞඛ්‍ය සේවකයින්ට රෝගියෙකුගේ රුධිරය කියන්නෙ ඕනෙම රෝගයක් වැලඳීමට ඉඩ ඇති ආසාදිත ද්‍රව්‍යයක් ලෙස සලකන ලෙසයි උපදෙස් දී ඇත්තෙ.නමුත් මැණික් කටුව දක්වා පමණක් අත්වැසුම ඇති ඇයගේ වැලමිට දක්වාම අර අම්මාගේ රුධිරය තැවරුනා.ඇය ඒ ගැන යන්තම්වත් තැකුවෙ නෑ.ඇයට වැදගත් උනේ අර අම්මගේ ජීවිතේ. කට්ටිය නිරපරාදෙ දොස්තරලට බණිනවා තමයි.නමුත් කවුරුවත් ඔවුන්ගේ වැටුප ගැන දන්නෙ නෑ.බෝවෙන රෝග බහුල පරිසරයක ඉන්න සිදුවී තිබෙන ඔවුන්ට ඕනෙම මොහොතක ඕනෙම රෝගයක් වැළදෙන්න පුළුවන්.ඒත් කවුරුවත් ඒ ගැන පැමිණිළි කරනවා කවුරුත් අහල තියෙනවද?)
ඉහත comment එක නිසා මට ඊට සම්බන්ද කතාවකුත් මතක් වූනා... 

එක් දිනෙක සායනයකට පැමිණි අම්මා කෙනෙක් "ඩොක්ටර්ට මතකද මාව ? " මගෙන් ඇසුවාය.
"කී දෙනෙක් මතක තියා ගන්නද ?" මට සිතිනි.
"මේ ඩොක්ටර් තමයි මගේ වැදෑමහ එළියට අරගෙන මාව බේර ගත්තේ..." ඇය ඇගේ ස්වාමි පුරුෂයාට එකවනම පැවසීය, ඒත් මහ හයියෙනි, ඒ හඬට හෙදියද බෙල්ල උස්සා අප දෙස බැලීය .

ඇය පැවසූ ඒ සිදුවීම මට මතක් විනි. එදින අපේ අපේ විශේෂඥ වෛද්‍යවරයා නොමැති නිසා සීසේරියන් සැත්කම් හෝ මොනම හදිසි සැත්කමක්වත් කරන්නට නොහැකි නිසා සියලුම එවැනි හදිසි අවස්ථා කලින් හඳුනාගෙන ඊළඟ මහ රෝහල වෙත යවන ලද සති අන්තයක් විය.

ඒ මව දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ගර්භාෂයෙන් එළියට පැමිණියේ නැති නිසාත්, බොහෝ සේ රුධිරය වහනය වෙමින් තිබුන නිසාත් අප විශේෂඥ වෛද්‍යතුමන් මෙහි නොසිටීම නිසාත්,  ERPC ඉක්මනින් සැත්කමකට භාජනය කළ යුතු වූයෙන් , මීට එහා පිහිටි මහ රෝහලට යැවිය යුතු විනි. වේලාව රාත්‍රී 12යි. අනෙක් වෛද්‍යවරයා විසින් කිහිප වරක් උත්සහ කළද එය එළියටගැනීමට නොහැකි විය. පසුව මට කතා කළේය.

"අනේ වඳින්නම් මාව වෙන තැනකට යවන්න එපා. ඉක්මනින් මට මගේ දරුවා බලන්න ඉඩ දෙන්න"අම්මා ප්‍රසූතිකාගාරයේ ඇඳෙන් බිමට පැනීමට සැරසේ.

"මේ අම්මා මෙහෙම යැව්වොත් ගොඩක් බ්ලීඩ් වෙන්න ඉඩ තියෙනවා, අපි කොහොම හරි එළියට ගමු"

හුඟක් වෙහෙසවී සිටි අනෙක්  වෛද්‍යවරයා ෆෝම් පුරවන අතරේ... නැවත අවශ්‍ය ඖෂධ කැක්කුම් නාශක එන්නත් දෙමින්, හේදිය විසින් කපන ලද අත් වැසුම් එකින් එක මම වැලමිට දක්වා දමා ගත්තෙමි. වැදෑමහ සිරවූ විට, ඇඟිලි කපන ලද පිරිසිඳු අත්වැසුම් වැලමිටට එහා සිට එකිනෙක දමා ගත යුතුය.අන්තිමට ඇඟිලි සහිත අත් වැසුම් දමන විට මුලු අතම රබර් ගලවුස් නීසා තදවී ඇදුම් කයි. එහෙත් අපේ කාර්යය අප කළ යුතුය.

"අනේ මම මැරෙයිද නෝනා... අනේ කැක්කුමයි නෝනා.." අම්මා වැලපේ.

" හරි අම්මේ හොඳට හුස්ම ගන්න, කලබල වෙන්න එපා, තද කරන්නේ නැතුව මට උදව් වෙන්න" වැදෑමහ සම්පූර්ණ වශයෙන් එළියට ගැනීමට නොහැකි ලෙස එය කෑලි කැඩී ගොස් තිබිනි.

" අම්මේ හම්බුනේ දුවෙක්ද පුතෙක්ද, කීවෙනි දරුවාද ? ගෙදර ඉන්න දරුවන්ගේ වයසා කීයද ?"

"අප්පේ ගෙදර ඉන්නේ අයියලා දෙන්නෙක්ද එහෙනම් මේ නංගි බබාට ගැලවිල්ලක් නැති වෙයි"
මම ඇගේ අවධානය වෙනතකට යොමු කරන අතරේ  ටිකෙන් ටික කොටසින් කොටස එළියට ගත්තෙමි. අවසන එක කෑල්ලක්වත් නොතිබෙන බවට සනාථ කරගන්න තෙක් සියල්ල අවසන් කල පසු රුධිර වහනයද නැවතිනි. අම්මාව මීට එහා මහ රෝහලට යැවීමට හෝ සැතකමට භාජනය කිරීමට අවශ්‍ය වුනේ නැත. අම්මා දැඩි වෙහෙසින් සහ කැක්කුම් වේදනා නිසා මහන්සිය පත්වී සිටියාය. ජීවිත හා මරණය අතර පොර බදන අපිට මෙවැනි අත්දැකීම් ඕනෑ තරම් වේ.
අපි ඇය වෙත කිරි දෙන්න යැයි ඉක්මනින් දරුවා ලබා දුන්නෙමු. අම්මා ප්‍රසූත කාමරයෙන් ට්‍රොලිය මත සිට එළියට යද්දී මා වෙත බලා දෑත් එකතු කලාය.යළි පිටව යන තුරු... අප ඇයව මේ රෝහලින් එහා නොයවා බේරා ගැනීම ගැන ස්තූතියි කළාය.
දැන් ඒ අම්මා මා ඉදිරියේ සිටී. අපට සැනසෙන්න මේ ටිකම ඇති නොවේ ද ?

සැත්කම් කරද්දී බොහෝ විට ඉඳිකටු අතේ ඇනෙයි. සමහර විට රුධිර නාලිකා පිපිරීම හෝ බොහෝ විට පෙකණිවැල කපද්දී රුධිරය දස අත විදිමින් විසිරේ.. අපේ නිරාවණය වූ මුහුණේ කොටසේ , ඇස්.. වල තැවරේ. මාතෘ හා ගැබිණි වාට්ටුවල සෑම අම්මෙක්ටම VDRL පරීක්ෂණය කර නොතිබිනි. හදිසි අවස්ථාවක කිසිවක් පරීක්ෂා නොකෙරේ. ඔවුන්ගේ රුධිරය අප කැපුම් තුවාල ඔස්සේ අප ශරීර ගත වේ. ඒඩ්ස් තිබෙනවාදැයි වත් නොද නී.

සීමාවාසික කාලය පටන් ගත් මුලදී නම් කැපුමක් මසද්දී අතේ ඉඳිකටුවක් නො ඇනුනු දිනක් නොවීය.
දිනක් සීසේරියන් සැත්කමක් අවසානයේ අත් වැසුම් ගලවද්දී මා දුටුවේ ඉඳිකටු පාරක් ඇනී ඇති අන්දම. ඉතා දුක්බරව..

"අපොයි අම්මාට භයානක ලෙඩ නොවේවායි ප්‍රාර්ථනා කරනවා " යි මම කියද්දී , නිර්වින්දක වෛද්‍යවරයා මා වෙත එමින් පැවසුවේ. රුධිර නාලිකාවට කැනියුලාව ඇතුල් කිරීමටයද්දී ඒ අම්මා දැඟලූ නිසා කටුව ඔහුගේ ඇඟිල්ලේ ඇනුනු බවයි. "  මගෙත් ඇනුනා, හැදුනොත් අපි දෙන්නටම ..." ඔහු හිනාවෙමින් පැවසුවේය.

Saturday, October 22, 2011

වතුර ෆිල්ටර් කිරීම, වකුගඩු රෝගය සහ අපි - .2

ආසනික් සහ වකුගඩු රෝගය ගැන හැමෝම කතා බස් කරන මේ කාලයේ .... පසුගිය ලිපිය 1 හා සම්බන්දයි...

අද උදෑසන හදිසි ප්‍රතිකාර අංශය වෙත ගිය වීට දුටුවේ දිගු කලක් තිස්සේ රෝගී වී සිටි ගොවි මහතෙකු ඉතා අසාධ්‍ය වී පැමිණි සිටි අයුරු ය. "end stage" අනෙක් වෛද්‍යවරයා මට පැවසීය.

"මගේ මහත්තයා නැතිවුනේ වකුගඩු අමාරුව නිසා, ඒ එක්කම එයාගේ අක්කා, අම්මා තාත්තා, මාමා , තව මාමාගේ පුතෙක් අවුරුදු 36 , ඔහොම අපේ පවුල් දෙකේම ගොඩ ඈයෝ නෑතිවුනා නෝනා. හංගන්න ඕනේ නෑ. කියන්න මටත් වකුගඩු අමාරුව නේද ?" රෝගී කාන්තාව මා දෙසම බලාගෙන කියයි. ඇගේ ඇඳ ඉහ පතේ සඳහන් වූ ක්‍රියැටිනින් අගය දුටු මට බොහෝ දුකක් ඇතිවිය. ඒ යමක් කරන්නට බැරි තරම් අසාධ්‍ය වූ වකුගඩු රෝගීන් මේ පළාතේ බොහෝ සිටින නිසාය .

නාගම්මා නැවත වරක් රෝහල් ගත කර තිබුනා ඇය පෙලෙන වකුගඩු රෝගයේද අවසාන අදියරේ (End stage renal failure) සිටියාය. හුස්ම ගැනීමේ අපහසුතා සමග නීරක්තිය නිසා නිතර රෝහල් ගත වන ඇගේ ක්‍රියැටිනින් අගය බලා සිටියදී ඉහළ යනවාය. 42 හැවිරිදි ඇයගේ පෙනුම 80 වියැති අයකුගේ වගේය. දරුවන් 4 දෙනෙකුගේ මවක් වූ ඇයගේ බාලම දරුවාගේ වයස අවුරුදු 10 කි. යුද්ධය නිසා ස්වාමියා අහිමි ඇගේ දරුවන් රැකුනේ ඇය කුලී වැඩ කර හම්බ කරගන්නා මුදලකිනි. මේ ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ දුප්පත් හෙයින් කුලී වැඩ කරනුයේ හේනක නැත්නම් කුඹුරකය. එයද හැමදාම ලැබන සල්ලියක් නොවේ. රෝගීන් බලන වෙලාවට ඇගේ ඇඳ වටේ පොදි ගැහෙන ඒ දරුවන් රැගෙන එන ඇගේ පියා හෝ අයියා කෙනෙකු නිතර අපෙන් විමසන්නේ ඇය සුව වෙයිද කියාය. වකුගඩුවක් බද්ධ කරගැනීමට ඇති නොහැකියාව නිසා ඇය කෙමෙන් කෙමෙන් වකුගඩු මරුවාට බිලි වෙමින් සිටියාය. මේ වන විට ඇයට බෙහෙත් පෙති අහුරක් පමණ ගිල දමනවා හැරෙන්නට වෙන කරන්න ප්‍රතිකර්මයක් නොමැති විය. විටෙන් විට හුස්ම ගැනීම අපහසු වෙන විට දුම් අල්ලමින්ද පොටෑසියම් අගය වැඩිවෙන විට ඒ සඳහා එන්නත් ලබමින්ද එක් රෝහල් ගත කිරිමකදී රුධිර පයින්ට් 3 පමණ ශරීර ගත කරමින්ද ඉතා දුක්ඛිත අදියරක සිටි ඈ එක්තරා දවසක රෝහල් ගතවීමකින් පසු අප වාට්ටුවේදීම මිය ගියේ අප හැමගේ නෙත් වල කඳුළු ඉතිරි කරමින්.

වකුගඩු රෝගය කියන්නේ මේ ප්‍රදේශවල ජනයාගේ ජීවිත බිලි ගන්නා අංක එකේ මරුවා වී අවසානයි. පෙර කලනම් ඒ තැන තිබුනේ යුද්ධයයි. මුල් කාලයේ සායන වලදී සහ වාට්ටුවල එතරම් විශාල රෝගීන් ප්‍රමාණයක් දැකීම අපට පුදුමයක් විය. පසුගිය කාලයේ තිබූ වාතාවරණය නිසා රෝහලක් වෙත පැමිණීමේ අපහසු තාවයෙන් සිටි ඔවුන් මුල් වරට රෝහල වෙත පැමිණෙද්දී බොහෝ විට පසුවූයේ වකුගඩු රෝගයේ අවසාන අදියරේ.

කෑම අරුචිය, වමනේ යෑම සහ මූත්‍රා පිටිවීම අඩුවීම යන රෝග ලක්ෂණ සහිතව අප වාට්ටුව වෙත එක් දිනක පැමිණි කරුණාපාල නැමැත්තා මින් පෙර කිසිම රෝගයකට බෙහෙත් පෙත්තක්වත් බී තිබුනේ නැත. ඔහුද ගොවි තැනින් එදාවේල සකසා ගත්තෙකි. ඔහු දුටු මතින්ම වකුගඩු රෝගය ඇත්තෙකු බව වටහා ගන්නට වැඩි කාලයක් ගියේ නැත. වකුගඩු රෝගයේ තත්වය මැන බලන ක්‍රියැටිනින් අගය ඉතා ඉහල මට්ටමක පැවතියේය. ඔහු සිටින්නේ ඉතා අසාධ්‍යය තත්වයකයි. රුධිරයේ හිමෝග්ලොබින් අගයද 5 ටත් අඩුවෙනි. රුධිරයත් දිය යුතුමය. ඔහුගේ සහෝදර සහෝදරියන් දරු මුණුබුරන් ඇඳ වටේ රොක් වී ඇත. අමුත්තන් බැලීමේ වෙලාවට අපට නිවනක් නැත. හැමෝටම ඕනෑ වෛද්‍යවරයා මුණ ගැසෙන්නටය. කරුණාපාලගේ ඇඳ අසල රැඳි ඔහුගේ සොහොයුරෙක් වෙත අප මේ රෝගය සම්බන්ද සියලු දෑ විස්තර වශයෙන් පැහැදිලි කර දුන්නෙමු. ඉන්පසු වකුගඩුවක් බද්ධකිරීමේ අවශ්‍යතාවය මෙන්ම ඔහු දැන් සිටින තත්වය අසාධ්‍යය හෙයින් එය ඉක්මනින් කළ යුතු බවද කීවෙමු. ඔහුගේ එක් සහෝදරයෙක් සිටින්නේ ප්‍රධාන නගරයක රෝහලක් සමීපයේ නිසා එහි ගෙන යන බව අපට පවසා සිටියා. නමුත් අපේ මතය වූයේ රෝහලෙන් ඔබ්බට ගමනාගමනය සඳහා ඔහුගේ සෞඛ්‍යය තත්වය හොඳ නැති නිසා ටික කලක් මෙහි සිට තත්වය හොඳ අතට හැරුණු පසු අනුරපුර වකුගඩු සායනයට යොමු විය යුතු බවය. අප විශේෂඥ වෛද්‍යවරයාගේද අත්සන සහිතව ඔහුගේ රෝග විනිශ්චය රැඳි කාඩ් ලිපි සමග ඔහුගේ ටිකට් බලෙන්ම කපාගෙන ඔවුන් තම සොයුරාව තම කැමැත්තෙන් අගනුවර පිහිටි රෝහලක් වෙත රැගෙන ගියේ දැඩි බලාපොරොත්තු රැසක් සමගය. නමුත් යන අතර මගදී ඔහු මිය ගිය පුවත ඉන් දින කීපයකට පසුව අප වෙත රැගෙන ආවේ රෝහලේ සේවය කරන ඒ ගමේම කෙනෙකි. අගනුවර ගෙනියනවාට වඩා මේ ළඟ පිහිටි නුවර තිබූ මහා රෝහලට ගෙන ගියා නම් ! කියා අපට කියැවිනි. නමුත් මරණය කොයි මොහොතේ අප කරා ඒද කිව නොහැකි බවද මතක්වුනි. මෙහි ලියා සඳහන් කළ කිහිප දෙනා පමණක් නොව තව බොහෝ රෝගීන් වකුගඩු රෝගය නිසා මරණයට පත්වුනේ ඒ වාගේම ඛේදජනක අයුරිනි. වකුගඩු බද්ධ කිරීම සඳහා යොමු වූ ඇතැමෙක් තවමත් සායන සඳහා සහභාගි වෙති.

මේ ප්‍රදේශ වල සෑම කෙනෙක්ටම පාහේ අප දෙන පොදු උපදෙස් කිහිපයක් තිබුනා. ඒ වතුර උණු කර ෆිල්ටරයක් මගින් පෙරා පානය කරන ලෙසය. අවුරුදු ගණනාවක්ම ඉතා දැඩි අපහසුතා මැද ජීවිතය එක අතකින්ද මරණය අනික් අතින්ද අල්ලාගෙන ගස් ගල් උඩ රෑ පහන් කල මේ වැසියන් හට මේ ලැබුන නිදහස සමග වතුර ෆිල්ටර් කිරීම යනු සිතාගත නොහැකි සිහිනයකි. ඇතැම් කොට්ටාශ බාර සෞඛ්‍යය නිළදාරීන් විසින් දැනුවත් කිරීම සමග ප්‍රායෝගිකව මේ අය වෙත උපදෙස් ලබා දීම සිදුවුනත් හැමෝගෙන්ම එසේ සිදුවී නොමැති බව අපිට වැටහුනේ වකුගඩු රෝගය සෑදී එලෙස පැමිණෙන්නන් පානීය ජලය සම්බන්දයෙන් අප කරනා විමසීම් වලදී ඇස් ලොකු කරගෙන බලා සිටියදි ය. ඇතැමෙක් කියන්නේ ඔවුන් නල ළිං වල ජලය පානය කරන බවත් ප්‍රශ්නය ඇත්තේ වැව් දියේ බවත්ය. වැව් වල ජලය බීමට තබා නෑමටවත් සුදුසු නොවේ. දිනකට ඇඟ පුරා කුෂ්ඨ සහිතව ඇඟ පත දැවිල්ල සහ කැසීම සහිතව කිහිපදෙනෙකු බාහිර රෝගී අංශයටද වාට්ටුවලටද පැමිණෙන්නේ වැව් වල නෑම හේතු කරගෙනය. ඒවාට පිළියමක් යොදන්න කෙනෙක් හෝ යම් දෙපාර්තමේන්තුවක් තිබෙනවාද යන්න අප නොදන්නා කරුණකි.

වකුගඩු රෝගයේ තත්වය මැන බැලීමට අප සිදු කරන පරීක්ෂණය නම් රුධිරයේ ක්‍රියැටිනින් වල අගය මැනීමය. ඒ සමගම තව බොහෝ දේ පරීක්ෂා කළ යුතුය රුධිර හොමෝග්ලොබින්, පොටෑසියම් වැනි දෑ ඒ අතර වේ. දිනපතා රෝහල්ගතවන අයගෙන් බොහෝමයකගේ මේ අගය මැන බැලීම සිදු කරනවාමයි. රෝග ලක්ෂන පමණක්ම නොව ඔවුන්ගේ ගම් පළාතද අසා දැනගෙන අප එය සිදුකරන්නේ ඒ තරම්ම ප්රමාණයක් වකුගඩු රෝගය නිසා මිය යන නිසාවෙන්ය. බොහෝ විට අවසාන අවස්තාවේ සිටින අය සඳහා කළයුතු රුධිරයේ අහිතකර ද්‍රව්‍යය පෙරීම සඳහා මීට ඔබ්බෙන් පිහිටි අනුරපුර මහා රෝහල වෙත ඔවුන් යැවිය යුතුය. එසේ රුධිරය පෙරන යන්ත්‍ර සහ විශේෂඥයින් සහිත ඒකකයක් තියෙන්නේ මේ පළාතටම අනුරාධපුර රෝහලේ පමණකි. එලෙස වුවත් යැවිය හැක්කේ වකුගඩු බද්ධකිරීම සම්බන්දයෙන් සැලසුමක් ඇති (KT plans) අයවලුන් සහ ප්‍රථම වතාවට රෝග විනිශ්චය කර සායන වලට යොමු කළ යුතු අයවලුන්ය. අනෙක් සමහරක් දෙනා මරණාසන්නව පැමිණියත් ඔවුන් හට කළයුතු විශේෂ ප්‍රතිකර්මයක් නොමැති තරම්ය. අවසානයේදී බොහෝ දුක්ඛිත මරණයක් ඔවුන්ට හිමි වේ.

මෙහෙ වකුගඩු රෝගීන් ප්‍රමාණය කොතරම්ද කියතොත් කලක් ගතවෙත්ම මුහුණ දෙස බැලූ පමණින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ ලක්ෂන අනුව ඒ බව නිගමනය කරගන්නට අපට හැකි විනි. අප විශේෂඥතුමා පවා ඒ බව අපෙන් නොයෙක් අවස්ථාවල විමසා සිටියා. බොහෝ කල් සිට මේ ප්‍රදේශවල කුඹුරු වල පවතින රසායනික පොහොර නිසා මේ ප්‍රදේශ වල ජලය අපිරිසිඳු බව අප එකල සිට දැන සිටියෙමු. දැන් දැන් කියවෙන ආසනික කතාව නිසා එය එසේමයැයි සිතේ. සේවය කිරීමට පැමිණි දා පටන්ම විකිණීමට ඇති ලීටර් 20 වතුර බූලි සල්ලි දී රැගෙන පාවිච්චි කිරීමට අපිට සිදු විනි. නමුත් සාමාන්‍ය ජනයාට එසේ කිරීම අපහසුය. එම ලීටර් 20 වතුර බූලියක මිල රුපියල් 200 කි. කලක් මුළුල්ලේ රෝහලේ පැවති පිරිපහදු ජල කළමණාකරන ක්‍රමයද සැරින් සැරේ අකර්මන්ය වෙයි. ඒ අවැසි තරම් ප්‍රතිපාදන නොමැති හෙයිනි.

අඩුම තරමේ රජයේ හෝ යම් රාජ්ය නොවන සංවිධානයක් මගින් හෝ මෙම වතුර පෙරා පිරිපහදු කරන්නේ නම් මතුවට මේ ප්‍රදේශයෙන් වකුගඩු රෝගීන් ඇතිවීම වත් වලක්වා ගත හැකිය. එමෙන්ම මොවුන් ගේ පවුල් දැනුවත් කිරීම සහ පාසැල් මට්ටමින් දුවා දරුවන් දැනුවත් කිරීමද සිදු කළයුතුමය. එදාවේල හම්බ කරගැනීමට දහක් දුක් විඳින මේ මිනිස්සුන්ට ෆිල්ටරයක් ගැනීම යනු සිහිනයකි. ඔවුන් දිනකට පානය කරන වතුර ප්‍රමාණයද අල්පය. ඇතැම් විට මොවුන් ව නාවන්නම සුළු සේවකයින් බොහෝ කෑ කොස්සන් ගැසිය යුතුය. ඒ වතුර අහේනිය නිසා ඔවුන් පුරුදු වී සීටින අයුරුය.
මේ ප්‍රශ්නය ගැන මීට වඩා සැලකිල්ලෙන් ක්‍රියාත්මක විය යුතුමය.
කොළඹින් පැමිණ සැනකෙළි පවත්වා සංගීත සංදර්ශන පවත්වනවාට වඩා මෙවැනි දෑ තුලින් ඇත්තටම උතුරට වසන්තයක් උදා වෙනවා නො අනුමානය.

Friday, October 21, 2011

We are doctors , so "saving lives" is not optional

ඔබ වෛද්‍යවරයෙක්... ජීවිත බේරා ගැනීම ඔබේ වගකීමයි.

අපට රැයක් දවාලක් නැත, තුන් වේල හරියට කෑමක් නැත. සීමාවාසික සමයේ සෑම වාට්ටුවකම, ලෙඩුන් සිය ගණනකම ජීවිත අප අතේය. ඇඩ්මිට් කරනා සෑම කෙනෙක්ම, පරීක්ෂා කර බලා අවශ්‍ය සියලුම පරීක්ෂණ , නිරීක්ෂණ නිගමන ආදිය ජේෂ්ඨ වෛද්‍යවරුන් පැමිණීමට කලින් සිදු කළ යුත්තේ අපියි. අසාධ්‍ය රෝගීන් සේරම බලා කියා තත්වය වාර්තා කරයුත්තේ අපියි. රැයක් දවාලක් නැතිව වැඩකරන අතරේ, වාට්ටුවෙන් ටිකට් කපා යන රෝගීන්ගේ වාර්ථා පත් ලිවිය යුත්තෙත් අපියි. මහ රෑ රෝහලට ඇතුල් කරපු රෝගියෙක්ගේ හදිසි පරීක්ෂණ සියල්ල ලෑබ් එකට යවා, නිදි මරාගෙන පරීක්ෂණ වාර්ථා ගෙන්වාගන්න ලැබ් එකත් එක්ක රණ්ඩු කරපු දින අනේකයි අප්‍රමාණයි. බොහෝ විට රෝහලේ සිදු කරගත නොහැකි පරීක්ෂණ පිටින් සිදු කරන්නට වෙන විට , ඒවාට මුදල් නැතිව ලතවෙන රෝගීන්ගේ අසරණ මුහුණු දකිද්දී අපි අපේ ළඟ තිබෙන සුළු මුදල එකතු කර ඔවුන්ට අවශ්‍ය පරීක්ෂණ ලබාදෙන්නේ අහවල් දෙයක් දිනාගන්න නොවේ !

සමහරෙක් හිතන්න පූළුවන් වෛද්‍යවරු වුනේ ඒකට නේද කියලා. ඔව් මේ අපේ රැකියාව , නමුත් අපේ සේවය අන් හැමටම වඩා බාරදූර්‍ය තීරණාත්මක රැකියාවක් වෙන්නේ ඇයි ? අපි මිනිසුන් ජීවත් කරවන නිසා. මැරෙන්න පණ අදිමින් පැමිණෙන රෝගියෙක් බොහෝ කරදර විඳ ගොඩ ගත් පසු ඔවුන් ගේ සැනසිලි මුහුණ බලමින් ඔවුන් පිං දෙමින් කියවන කියවිල්ල ඇසුවොත් ඕනෑම කෙනෙකුට තේරේවි වෛද්‍යවරයකුගේ සේවය කුමක්ද කියා. සරසවි ඇදුරන් වර්ජනය කලාට ජීවිත නැතිවෙන්නේ නැත, නමුත් වෛද්‍යවරුන් නොමැති කල ජීවිත නැතිවේ.

බෑග් උස්සාගෙන යෑමට සිදු වීම.

මාතෘ ගැබිණි වාට්ටු වල සේවය කරද්දී අනිවාර්‍යයෙන්ම අපි කාර් යක්ෂම විය යුතුයි. සුළු ප්‍රමාදය හෝ දැඩි අනතුරු දායක තත්වයන් ඇති වීමට බලපානවා.
එදින මා  රාත්‍රී වැඩ කළ දිනයකි, රාත්‍රී වැඩ බලන වෛද්‍යවරයා හට වාට්ටුවේ කාමරයක් තිබේ. ඒ ඕනෑම හදිසියකදී ඉක්මනින් ඒ අවස්ථාවට පැමිණීමටයි. ප්‍රසව හා නාරි වේද වාට්ටු කිහිපයක් ඇති අප මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනා ගණන 200 ඉක්මවයි. එදින ඉතා වෙහෙසකර දිනක් වූවාය. දරුවන් බිහි කරන්නට විළිරුදාවෙන් සිටි මවුවරුන් කිහිප දෙනෙකූම රාත්‍රී 12 වෙන විට තම වේදනා සැහැල්ලු කරගනිමින් දරුවන් නිරුපද්‍රිතව බිහි කර සිටියෙන් , කැපුම් තුවාල වලට අප මැහුම් දමා අවසන් කරන තෙක් වේදනාවෙන් මිරිකෙමින් සිටියෝය. දරුවෙක් බිහි කරනවා යනු මොනතරම් වේදනා කන්දක්ද ! සියල්ල නිම කර සටහන් කර මා නැවත වාට්ටුවේ අපේ ඔන් කෝල් කාමරයට පැමිණ යන්තම් ඇහැ පියවගත්තා පමණි. ඈත ප්‍රාදේශීය රෝහලකින් අප වෙත ට්‍රාන්සර් එකක් එවා තිබිනි.

ඒ 18 වියැති අම්මා කෙනෙක්. ඇගේ කුසේ දරුවාට සති 36 යි. වේලාව පාන්දර 3 පසුවූවා පමණි. ප්‍රසව වේදනා තිබෙන බවක් පවසයි. එවෙලේම ඇයට එම ප්‍රසව කැක්කුම් නැති කරන්නට , බෙහෙත් පෙත්තක් දිය යුතුවේ. මා මේසය අසල සිට ඇයගේ විස්තර සටහන් කරගෙන පරීක්ෂාකර බැලූවිට , තවම දරුවා බිහි වෙන්නට තරම් ගැබ් ගෙල වෙනස්කම් නැති බවද , එවැනි කැක්කුම් සහ දරුවාගේ හර්ද ස්පන්දනය මැන බැලෙන දත්ත සටහන් යන්ත්‍රයේන් එලියට ආ කොළයේ අනතුරු දායක තත්වයක් නැති බවද දුටුවාය.
අවුරුදු 18 වියැති මේ පොඩි අම්මා, පළමු දරුවා නිසා ගර්බනී කාලය අවසානයේ එන බොරු කැක්කුම් නිසා මෙලෙස කලබල වී ඇති සැටියකි. එවෙලේම අපි ඇයට අවශ්‍ය පෙති සියල්ල දුන්නෙමු. අම්මා එවිට වතුර බෝතලයක් ගෙන ආවේ නැති බව කියයි.

ඒ අසලම ඇති පළමු ඇඳේ සිටි අම්මා, අපි ඇයට නාලිනි කියමු. වකුගඩූ රෝගයෙන් මෙන්ම දියවැඩියාවෙන් පෙළෙන්නියක් නිසා ඇගේ 32 වැනි සතියේ සිටම අප රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. දියවැඩියා තත්වය පාලනය කරගත නොහැකි තරමට ඇගේ වකුගඩු රෝගී තත්වයද අසාධ්‍ය වී ඇත. අධික රුධිර පීඩනයෙන්ද ඈ පෙළේ. මූත්‍රා වල ඇල්බියුමින් + + + ය, එනම් ඉතා ඉහළ අගයක් ගනී, මෙය ගර්බනී සමයේදී නම් සූවදායක දෙයක් නොවේ. ඇගේ කුස තුල සිටින දරුවා හරි හැටි මෝරා වැඩී නැත(IUGR). අප මහ රෝහලේ අඩු බර නොමේරූ ළදරු ඒකකයේ ඇඳන් මේ වන විට පිරී ඇති නිසා ඇය දරුවා ප්‍රසූත කරන කාලය වන විට අනිවාර්‍යයෙන් , එම පහසූකම ඇති රෝහලකට යැවිය යුතුමය.
වතුර ඉල්ලන්නේ කාගෙන්දැයි අර 18 වියැති අම්මා ඔබ මොබ බලයි. හයියෙන් කතා කරන නිසා වාට්ටුවම දෝංකාර දෙයි. නාලිනී නින්දෙන් මිදී ඇස් ඇරගෙන අප දිහා බලාගෙන සිටිනු දුටු දැන් මේ මහ පාන්දර පැමිණි 18 වියැති අම්මා, නාලිනී වෙත ගොස් ඇයගෙන් වතුර ඉල්ලයි. මම දත්ත සටහන් කරමින් සිටිමින්ම ඔවුන් දිහා බලාගෙන සිටියෙමි. නාලිනී අම්මා ඔහේ බලාගත්තු අත බලාගෙන සිටී. කිසිදු හැල හොල්මනක් නැත. මමද හෙදියද නැගිට ඇඳ වෙත දිව්වෙමු.

නාලිනි නාලිනි... මම කෑ ගැසුවෙමි. හුස්ම ගනී, පුදුමයෙන් බලා සිටී. හෙදියක් වතුර ගෙන ඇගේ මුහුණ පිස දමයි. "ෂුගර් චෙක් කරන්න " තව කෙනෙක් සීනි චෙක් කරයි.
" ඩොක්ටර් 53 "
"50 %ඩෙක්ස්ට්‍රෝස්...ස්ටැට්" එවෙලෙම අපි රුධිරනාලිකා හරහා සීනි සහිත ද්‍රාවණය ශරීරගත කළෙමු.. මිනිත්තු 2, 3 යද්දී දෑස් පොඩි කරමින් නින්දෙන් ඇහැරුනාක් මෙන් අම්මා අප දෙස බලා " ඇයි මිස් මොකද උනේ" අසයි.  මිඩ් වයිෆ් මිස් පැමිණ කුස තුල දරුවාගේ හර්ද ස්පන්දනය මනින්නට බලයි. "ඇහෙන්නේ නෑ ඩොක්ටර්"
"මයි ගෝඩ්. ඉක්මනින් සී ටී ජී ගන්න"

ඒ අතර දුටුවේ බෙහෙත් පෙති අතේ තියන් ඉන්න 18 වියැති අම්මා වතුර කෝප්පයත් අතැතිව අප දෙස බලාගෙනම සිටී.. " ඒ අස්සේ මෙයා මොනවා කරගන්නද බොන්නයි කීව්වේ බෙහෙත්, ඊට පස්සෙ නිදා ගන්න

"  ඇය කඩි මුඩියේ බෙහෙත් ටික බොයි කූඩයත් අරගෙන ඇගේ ඇඳ වෙත යයි.
දැන් තියෙන්නේ ජේෂ්ඨ වෛද්‍යවරියට දන්වන එකයි. දුරකථනයෙන් ඇයට කතාකර සියලු විස්තර දන්වා, ළදරු ඒකකය වෙත කතා කර ඇඳන් නොමැති බවද සපත කරගත්තෙමි. ඉක්මනින් දරුවා ප්‍රසූත කළ යුතුය. හර්ද ස්පන්දනය අඩු වෙමින් වැඩි වෙමින් පවතී. ගත කරන්නට කාලයක් නොමැතිය. වහාම පැය භාගයක දුරින් තිබෙන අනෙක් රෝහලට ඇය යැවිය යුතුය. ජේෂ්ඨ වෛද්‍යවරියත් මමත්, හදිසියේ ෆෝම් සියල්ල් පුරවමින් අම්මාගේ බෑග් ලැහස්තිකරන සුළු සේවකයින්ට ඉක්මන් කරන්න යැයි කීවෙමු. අපට තිබෙන හදිසිය ඔවුන්ට නැත.
ඇම්බියූලන්ස් එකක් ලෑස්ති කරගන්න කිහිප විටක් කියා බැරි තැන තර්ජනය කරන්නටද සිදු විය. " දැන් මේ අම්මට හරි බබාට හරි මොකක් හරි උනොත් වගකියන්න ඕනේ ඔහෙලායි" ඔවුන් සමග යකා තදවී කෑ ගසා ගනිමින්. ට්‍රොලිය මත වම් ඇලයට හරවා නිදි කෙරූ අම්මා අරගෙන ප්‍රෙෂර් මීටර් සීනි පරීක්ෂා කරන ග්ලූකෝ මීටර් සියල්ල රැගෙන මමත් හෙදියත් යන්නට යත්ම මා දුටුවේ අර අම්මාගේ කකුල් හරියේම පටවා තිබූ ඇගේ ඇඳුම් බෑග් එකය. හෙදිය අතේ උපකරන සියල්ල ය. සුළු සේවකයින් දෙදෙනා ට්‍රොලිය තල්ලු කරයි. තව කවූරුත්නැද්ද ඔබ මොබ බැලිමි කවුරුත් නැත. මා එම බෑගය අතට ගතිමී. හා හා ඉක්මනට.. කෑ ගසමින් අම්මාව රැගත් ට්‍රොලිය රැගෙන ඇම්බියුලන්ස් එකට දීව්වෙමු.
නිරුපද්‍රිතව අම්මත් ඇගේ කුස තුල තිබෙන බබත් අනෙක් රෝහල වෙත ගෙන ගියෙමු. ඒ අම්මාට එවෙලේම හදිසි සිසේරියන් සැත්කමක් කර දරුවා බිහි කරන ලදී. මවගේ තත්වය කෙමෙන් කෙමෙන් යතා තත්වයට පත් විනි.

අපි නැවත බොහෝ හෝන්දු මාන්දු වී, වාට්ටුවට පැමිණියෙමු. ජේෂ්ඨ වෛද්‍යවරිය මා පැමිණෙත්ම රකුසු මුහුණක් මවාගෙන බැන වැදිනි.

"මං දැක්කා කරපු හපන්කම. පේෂන්ට් ගේ බෑග් උස්සගෙන ගියේ මොකටද ? ඒකට තමයි මයිනර් ස්ටාෆ් අය ඉන්නේ, මම කෑ ගහද්දිත් දුවලා ඉවරයි. තමන්ගේ තත්වෙ තියා ගන්න."  ඇය කියන කතාව යම් දුරකට ඇත්තය.
මොන තරම් අසාධ්‍ය කලබල තත්වයකදී උනත් අපි අපේ යුතු අයුතුකම් බලන්නේ නැතුව වැඩ කරන්නෙමු.
නමුත් එලෙස මට කෑ ගහපු ජේෂ්ඨ වෛද්‍යවරියත්, එවැනිම හදිසි අවස්ථාවක සුළු සේවකයන් ඇති පමණ නොසිටි අවස්ථාවක ට්‍රොලියක් තල්ලු කරගෙන හෙදියන් හා ශල්‍යාගාරය වෙත දිව ගියාය. ඇයට දැන් ඒවා මතක නැත. ඒ අපේ හැටි ය. හදිසි අවස්ථාවක අපිටනම් නොදන්නා පුද්ගලයාගේ පණ කෙන්ද රකිනවා ඇරෙන්නට වෙන කිසි දෙයක් මතකයට එන්නේම නැත.

ශල්‍යාගාරයේ රෝගියෙකු ඇඳකින් ට්‍රොලියකට මාරු කරන්නට උනත් කිසීවෙක් නැතිනම් අපි පැමිණ උදව් වන්නෙමු. හදිසි ප්‍රතිකාර දෙමින් ට්‍රොලී තල්ලු කරමින් අපි හරි හරියට වැඩ කරන්නෙමු. යුද්ධ ඇති කාලයේ අප ජීවිත ගැනවත් නොසිතා, ඈත පිහිටි වෛද්‍ය කඳවුරු වෙත ගොස් අවම පහසූකම් යටතේ සේවය කර පැමිණෙන්නෙමු. අපේ රටේ බහුතරයක් ඒ වෙනුවට දකින්නේ නුගුණය, දොස් ය. ඇතැම් විට රෝගීන්ම දරුණු ලෙස සියල්ලන්ටම බැනවදී , නමුත් ඔවුන්ගේ ජීවිත බේරුනු පසු අපි හමුවේ වැඳ වැටේ. කෙතරම් දොස් ඇසුවත් අපි අපේ සේවය ඉහළින්ම කරන්නෙමු. ඒ අපේ සිත් එලෙස සකස් වී තිබෙන නිසා ය.