Wednesday, December 14, 2011

අනිත් කොණ අම්මලා සහ අපේ නිදහස

25 හැවිරිදි තරුණ මව අප අසලට කොර ගසමින් පැමිණියේ හැඬුම් බර මුහුණකිනි.
"අම්මේ කැක්කුම වැඩි නම් ලේබර් රූම් එකට එන්න " පවුල් සෞඛ්‍යය නිළදාරිනිය නැතහොත් මිඩ් වයිෆ් මිස් ඇයට පැවසුවාය.

එසැනින් ඇඳ අසලට ගොස් නිල් පාට හතරැස් කූඩයත් රැගෙන ඇය ප්‍රසූතිකාගාරය වෙත ගියාය. අපිත් යුහුසුළුව එහි ගියෙමු මන්ද ඇයට දරුවා ලැබෙන විට සියල්ලන්ම වාරු  දිය යුතු බැවිනි. ප්‍රසූතිකාගාරයේ ඇඳේ හිඳගත් ඈ දකුණු කකුළ වෙනුවට තිබුනු බොරු කකුල ගලවා මිස් කෙනෙක් වෙත දිගු කළාය. මා ඒ දසුන දෙස බලා සිටියේ කඳුළු පිරි දෑසිනි. දකුණු කකුළ දණහිසෙන් පහළ කොටස නැත. අවසාන සටනේ දී ත්‍රස්තයින් විසින් ඇටවූ බිම් බෝම්බයක් ඇගේ කකුළ බිලි අරගෙන තිබිනි.

 මිනිස් අපි වගේම සතා සර්පයා උනත් අද මේ බිමේ සිටින්නේ නිදහසේ සුව ලබමිනි. එදා ඇසුනු මෝටාර් හෝ බෝම්බ හඬ අද ඇසෙන්නේ නැත.
අත් නැති කකුල් නැති ඇස් නැති බොහෝ අම්මලා මේ කාලයේ - යුද්ධය අවසාන වී අවුරුදු දෙකකට පසු , දරුවන් ප්‍රසූත කරන්නට රෝහල් ගත වෙයි. බොරු කකුල් දෙකම ගලවා දරුවා ප්‍රසූත කළ අම්මලා ඕනෑ තරම් සිටී. එවෙලේට සේවයේ තරාතිරම බලන්නේ නැතිව දොස්තරලා වන අපිද පැමිණ ඔවුන්ට අත්වාරු දෙමින් හැකි තරම් සැත්කමින් තොරව සාමාන්‍ය අන්දමට ඔවුන්ගේ දරු ප්‍රසූතිය සිදු කිරීමට අපි වග බලා ගත්තෙමු. ඒ ඔවුන්ගේ ආබාධිත තත්වය සමග සැත්කම් කැපුම් තුවාල නිසා බොහෝ දුක් විඳින්නට සිදු වන නිසා වෙනි.  

"මොකද මේ වෙලා තියෙන්නේ.." අලුත් සර් පරීක්ෂා කරන හැම රෝගියෙකුගේම කුමක් හෝ හමේ පෙනෙන මැහුම් පහරක් පෙන්වමින් ඇසුවේය. 
"ෂෙල් අඩි " යනු ලැබෙන පිළිතුර වේ. 

හැමෝගෙම ඇඟේ කොහේ හෝ ෂෙල් කැබැල්ලකි. සමහර අම්මලාගේ දණහිසේ සැත්කම් නිසා දණහිස් නවන්නට බැරිය. ඇතැම් විට සිසේරියන් සැත්කම් කිරීමේ ප්‍රතිශතය මෙවැනි පසු කාලීන ප්‍රශ්ණ නිසා ඉහළ යයි.  මාතෘ ගැබිණි සායන වලදී අපේ ඇඟේ ලේ රත් වේ. ඒ ඔවුන්ගේ රුධිර හිමොග්ලොබින් අගයන් නිසාවෙනි. අපේ අලුත් සර් පැමිණි මුල් කාලයේ ඒ ගැන බොහෝ හිත් තැවුලෙන් කතා කළේය. අවුරුද්දක් පමණ මේ කොණේ සේවය කර අත්දැකීම් සහිත මා , මේ ඉතා පහළ හිමොග්ලොබින් අගයන් මේ පළාතේ හැමෝගෙම පාහේ තිබෙන බව කියූ විට සර් පවා පුදුම වුනා. අප කරන්නේ මුල් කාලයේ යකඩ පෙති , විටමින් සී ප්‍රතිකාර නියම කර, ප්‍රසූතියට ආසන්න වූ විගස ඔවුන් රෝහල් ගත කර ලේ පයින්ට් ගනන් ශරීර ගත කිරීමය. ඉතා පහළ අගයන් තිබේනම් අනිවාර්‍යයෙන් රෝහල් ගත කළ යුතුය. වයස අවුරුදු 40 පැනපු අම්මලා ද ගැබ් ගෙන අප සායන වලට පැමිණේ. ඔවුන්ගේ වයස සහ කලින් ලැබූ දරුවන් ප්‍රමාණයද වැඩි වීම නිසාම ප්‍රසූතිය සිදු වන වේලාවේදී භයානක හදිසි අවස්ථාවන්ට මුහුණ දිය හැකිය. 

රංගම්මා 42 හැවිරිදි වියේ පසුවේ. කලින් දරුවන් හත් දෙනෙකු ලැබී ඇත.
 "පවුල් සැලසුම් ක්‍රමයක් ගැන දන්නෙම නැද්ද අම්මා , බලන්න ඔයාගේ වයස , ඔයාගේ හිමොග්ලොබින් හොඳටම අඩුයි " ඒ වෙලාවටනම් එන්නේ කේන්තියක්.

 " ළමයි හත් දෙනෙක් ලැබුනට නෝනා දැන් ඉන්නේ එක ළමයයි " 

"ඇයි ඉතිරි ළමයින්ට මොකද වුනේ " 

" හතර දෙනෙක් යුද්ධෙන් නැති වුනා දෙන්නෙක් සුනාමි වලින් නැති වුනා " 
ඇසේ පිරුණු කඳුළු කැට කම්මුල් දිගේ බේරෙද්දී ඈ පවසයි. ඇත්ත, මෙහි බොහෝ පවුල් වල ඉරණම එයයි. ලොකු මහත් වෙච්චි දරුවන් ත්‍රස්තයන් විසින් පැහැරගෙන ගොස් ළමා සොල්දාදුවන් ලෙස බලෙන් තුවක්කු දී යුද්ධයට තල්ලු කොට දැන් මැරී ගොසිනි. උතුරු මුහුදු බඩ වෙන්නට සිටි පවුල් වල දරුවන් සුනාමියට හසුව ගොසිනි. දැන් ලැබූ නිදහසත් එක්ක ඔවුන් හට නැවතත් දරුවන් හදන්නට බියක් නොමැත. වයස 35 වැඩි අම්මලා ඕනෑ තරම් අපේ සායන වලට පැමිණේ.

 ඇතැම් අවුරුදු 18 අම්මලාට දරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් සිටී. පළමු දරුවා ලැබී තිබුනේ 15, 16 වියේදීය." ඇයි මෙතරම් ලාබාල වියේදී දරුවන් හැදුවේ " යැයි අපි අසද්දී ඔවුන් පැවසුවේ " ඒකාලේ බැඳලා ළමයි හැදුවේ නැත්නම් අපිවත් යුද්ධෙට අරගෙන යනවා" කියාය. 
ලක්ෂ්මි ,(අනවර්ථ නමකි) මට මුණ ගැසුනේ දෙවෙනි දරු ප්‍රසූතිය ලැබෙන්නට රෝහල් ගත වුනු කාලයේය. පළමු දරුවා ලැබී තිබුනේ 2009 මැයි මස 15 වෙනිදාය. පුදුමාතලන් පුදුකුඩු ඉරිප්පු අවසන් සටන කාලයේය. "මම කැක්කුම ඉවසගෙන හරි අමාරුවෙන් ආවේ . එනකොට වෙඩි වැදිලා කකුලේ කෑල්ලක් එල්ලෙනවා. එතකොට ආමි එකේ අය තමයි අපිව බේරගෙන උස්සගෙන ආවේ. මම මල්ලි මල්ලි කියලා දෙමළෙන් කෑ ගැහුවම ළඟට ආපු ආමි මල්ලිලා දෙන්නෙක් ඉක්මනින් මාව ඔසවගෙන වෙඩි අස්සෙන් මේ පැත්තේ ටෙන්ට් එකට අරගෙන ආවා. ඒ ඇවිත් ටික වෙලාවකින් දරුවා ලැබුනා. ඔක්කොම උදව් කළේ සිංහල අය තමයි ඩොක්ටර්. පුතාට දැන් අවුරුදු දෙකයි. අපි දැන් තමයි සතුටෙන් ඉන්නෙ" 

මට අනිත් කොණ අහන්නට දකින්නට අත්විඳින්නට ලැබුනු මේ කතා ලියන්නේ අපිට නිදහස ලබා දුන් විරුවන් වෙනුවෙන් ඇති වූ මහත් ගෞරවයක් , භක්තියක් සමගිනි . මේ පළාතට සේවය කරන්නට එන්නට කලියෙන් අපට තිබුනේ ඔවුන් ගැන අමුතු බියකි. ඔවුන්ට තිබුනේ අප ගැන බියක් සහ වැරදි වැටහීමකි. සිංහලයා නරකයි , දෙමළා නරකයි කියා දෙපැත්තට වෛර කරමින් සිටි සියල්ලෝම අද එක මිනිස් ජාතියක් ලෙස එකතු වී සිටී. අපි බිය වූ අපට බියවූ මිනිසුන් දහස් දෙනා අප හමුවේ වැඳ වැටී ස්තූති කරයි, රෝග සුව වී යද්දී ඇතැම් ආත්තම්මලා අප අත සිඹ , මුහුණ සිඹ තම දිවි බේරා දුන්නාට ස්තූති කරයි. අපි හැකි තරම් ඔවුන්ට කාරුණික වන්නෙමු. 
දිනක් අපි මාර්කට් එකට ගියෙමු. පොල් මිල අධිකය, එළවලු මිල ඊටත් අධිකය. අපි අතර කිහිප දෙනෙක් මිල ගණන් ගැන දොස් පවරමින් සිටියදී වෙළෙන්දා පැවසුවේ "එළවලු මාළු මිල උනත් අඩු තරමේ වේලක් හරි වේලක් කාලා අපි දෙයියනේ කියලා ඉන්නවා නෝනා, ඉස්සර මෙහෙම එළියට බැහැලා ඉන්නද ? අපි ඉල්ලුවේ මෙච්චරයි, අපිට යුද්ධෙ ඉවර කරලා දෙන්න කියලා ,දැන් ඒක හරිනේ. ඉතුරු හරිය බලාගන්න එක අපේ වැඩක්" අපි එලෙස ඉහළට බැන වදිද්දී මේ පළාතේ සාමාන්‍ය ජනයා තුල අපේ විරුවන් ගැන තිබෙන ගෞරවය එසේය. " ඇත්තනේ ... එහෙම නොවුනානම් අපි ඇවිත් මෙහෙම නිදහසේ සේවය‍ කරන්නද මේ පළාතේ" අපිටත් එසේ සිතුනා. එනමුත් රට දිනා දුන් විරුවන් බොහෝ දෙනෙකුට අද අමතක වී ගොසිනි. 

පහළ වීඩියෝ එකත් බලන්න.

 

මෙතරම් කල් නොලියා ඉන්න හේතුව - ඊසාන දිග මෝසම් වැස්ස ! නිතර විදුලිය ඇනහිටීම් සමග රෝහල පිරී ඉතිරීයන්නට ලෙඩ රෝග එක්ක අපිවත් ලෙඩ කරා ! තාමත් චුරු චුරුව..

13 comments:

  1. ඇත්ත....2009 අපි හිටියෙ කොහොමද, අපි හිටියෙ කොහෙද කියලා අපිටම මතක නැහැ.
    ඇත්තටම මොනවද දිනුවෙ...කවුරු වෙනුවෙන්ද දිනුවෙ කියන එක අපි නියම විදියට තේරුම් ගත්තද. දකුණෙ අපිට සාමය තරමකින් හෝ තිබුන නිසා ලෑබුන සාමයෙ වටිනාකම ටික දවසකින්ම අමතක වෙලා ගියා.....
    උතුරේ යුද්ධයෙන් පීඩා වින්ද අහින්සකයන්ට සාමය විතරයි එකම බලාපොරොත්තුව වුනේ..ඒ නිසා ඔවුන්ට ලැබුන සාමයෙ වටිනාකම අඩුවෙන්න තව කාලයක් යයි. ඒ දවස එන්න ඉස්සර රංගම්මලා ලක්ෂ්මිලා වෙනුවෙන් යමක් නොකලොත්...........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලකී අයියා...

      Delete
  2. වෙදකමට වඩා මනුස්සකම ගැන හිතට දැනෙන මේ සටහන් වලින් ඔබ මේ සමාජයට නොකියා පෙන්වන දේ හරිම සංවේදීයී ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් ...

      Delete
  3. බොහෝම සංවේදී සටහනක්. මගේ ඇස්වලට කඳුළු ආවා. අතිගරු ජනාධිපතිතුමා, ආරක්ෂක ලේඛම් තුමා, ත්‍රිවිධහමුදාපතිවරු, වීරෝධාර හමුදා රණවිරුවන්, ඇතුළු මේ යුද්ධය දිනාදීමට සහභාගී වූ සැමට හිස නමා ආචාර කරනවා. මේ කැත යුද්ධයේ අවසානයේ අප යා යුතු මඟින් පිට පැන්නේ ඇයි? අපි නැවත එක්වී මේ අහිංසක මිනිසුන්ගේ හදත් සුවපත් කරමු. සියල්ලන්ගෙන්ම මම ඉල්ලන්නේ එච්චරයි. දේශ්පාලනය වැඩක් නැහැ. අපි එක් වී මේ මිනිස්සුන්ට අනාගතයක් හදමු.

    ReplyDelete
  4. කවදත් වගේ මට ඇඬෙන ලිපියක්. ඔබලාට පිං

    ReplyDelete
  5. මේ තමයි යතාර්ථය.

    ReplyDelete
  6. හරි වටින ලිපියක්... කන්න නෑ කියල බොරුවට අඬන මිනිස්සු ඉන්න රටක නොකා හරි නිදහසේ ඉන්න ලැබෙන එකට සතු‍ටු වෙන මිනිස්සු ගැන කියෙව්වම ඇහැට කඳුලක් ආව... ඒ වගේ මිනිස්සුන්ට කරුණාවෙන් සේවය කරන ඔයාලටත් ගොඩක් පින්... එහෙම පිනක් කරන්න අවස්ථාවක් ලැබෙන එකත් වාසනාවක් මම හිතන්නේ...

    අදමයි මේ පැත්තේ ආවෙ... දැක්ක පළවෙනි ලිපියම ඉස්තරම්...

    ReplyDelete
  7. නෑ නෑ අපි කොච්චර කෑ ගැහුවත් මේ රටේ හමුදාව විඳින දේවල් අපේ රටේ මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. කොටින්ම කිව්වොත් හමුදාවෙ අයටත් රස්සාව එපා වෙලා ඉන්නෙ හැමෝගෙන්ම වෙන මදිපුංචිකම් නිසා. ඒක හැමෝම එකතු වෙලා වෙනස් කරන්න ඕනි. අපි එකා දෙන්න කෑ ගැහුවට වැඩක් නෑ. ඒත් එකා දෙන්නා හරි කෑ ගහන එක ගැන සතුටුයි.

    ReplyDelete
  8. මේ යථාර්ථය මෙලෙස උතුරේ තමන් ලබන අත්දැකීම් ඇසුරින් ම ලියා තැබීම ඉතා ම වැදගත් නංගි. මේක තමා උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ හෘද සාක්ෂිය. ඒත් ඇතැම් අන්තවාදී කල්ලිවල කොටි රූකඩ තමාන් වළිකන්නේ වෙන ම රාජ්‍යයක් හදලා මේ ජනතාව වහල්ලු විදිහට පාලනය කරන්න. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සාමයෙන් සමගින් ජීවත් වෙන්න. ඒත් මේ අන්තවාදීන්ට ඕන රට නැවත භේද භින්න කරන්න. ලොව පුරා ආයුධ වෙළෙන්දෝ සාම මුදලාලිවරුන්ටත් ඕන උන්ගේ බිස්නස් එක කර ගෙන යන්න.

    ඒ නිසා මේ රටට ආදරය කරන හැම කෙනෙකුට ම වගකීමක් තියෙනවා අවුරුදු 30ක් භේදභින්න වී සිටි උතුරු දකුණ දෙහද යා කරන්න. ඒක තමා තිරසාර සාමයේ උල්පත.

    දකුණින් උතුරට ගිහින් ත්‍රස්වාදය නිසා තුවාල වී වේදනාවෙන් පීඩිත හදවත් සුව කරන්න ඔබ කරන කාර්යභාරය මහමෙරක් තරම් වටිනවා නංගී. ඒ හෙදකම වෙදකමට වඩා වටිනවා. ඒ මිනිස්සුන්ට ඕන මේ රටේ පල්ල හැලිච්චි මාක්සවාදීන්ගේ වළව්කාරයින්ගේ ලිබරල්කාරයින්ගේ අනුකම්පාව නෙමේ. ආදරය කරුණාව ගෞරවය. සහෝදරත්වය.

    ඔබ වැනි රටට හිතැති මිනිසුන්ට ආදරය කරන සැබෑ ජීවකවරුන් තෝරා උතුරට යැවීම ආණ්ඩුවේ වගකීමක්. ඉන් ගොඩ නැගෙන බැඳීම බිඳ දමන්න කිසිවෙකුට බැරී වේවි. උතුර දකුණ සාදාතනික බැඳීමකින් වෙලී යාවි.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. පුළුවන් වෙලාවට ලියන්න.. හැබෑ ජීවිතේ දකින්න අපිට ඔබේ සටහන් වැදගත්..

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !