Wednesday, October 26, 2011

ලෙඩක් හැදුනොත් අපි හැමෝටමයි.. වෙහෙසකර වෙද සිත !

දන්නා හඳුනන කෙනෙකුගේ දන්නා හඳුනන අයෙක් අප මහ රෝහලේ ශල්‍ය වාට්ටුවට ඇතුල් කර ඇතැයි දැනූම් දුන් නිසා පසු ගිය දිනක මම එහි ගියෙමි. එහි ගොස් එළියට විත් ගැහැණු වාට්ටුව අසලින් යද්දී මා වෙත දිව ආ තරුණියක්...

"ඩොක්ටර් ට මතකද මාව " කියා මගේ අතේ එල්ලීගෙන ඇසීය.

අතේ එල්ලෙන්න තරම් මාව දන්න මේ මම නොදන්න තරුණිය කවුරුන්දැයි මම මගේ මතකය පුරා තත්පර ගණ්නට ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයෙන් සෙව්වෙමි. නැත මුහුණ නම් මතකය , කවුදැයි අමතකය.

ටවුමට ගියෝතින් හැම තැනින්ම ඩොක්ටර් , ඩොක්ටර්. කොහොමද ඩොක්ටර්, කොහෙද මේ යන්නේ ඩොක්ටර්... ඉවරයක් නැත. මටනම් දැන් එය සොඳුරු කරදරයකි. ඔවුන් හට අමාරු වෙලාවක අපි කරදර වුනාක් මෙන් මා ගැන් ඔවුන් කරදර වෙයි.

"ඩොක්ටර් මම පැනඩෝල් බීලා ඇවිත්... රෑ වාට්ටුවේ ඉන්නකොට ..." ඇය එසේ කියද්දීම මට මතක් උනේ.. පැනඩෝල් හෝ වස බී පැමිණෙන තරුණියන්ට තරුණයන්ට මම දෙන අවවාද ගොන්නය. ඒ දෙන්නෙත් සිනා මුහුණින් නම් නොවේ. ආයේ වහ නම් බීලා එන්නේ නෑ කියන්නටම සත්තම දාන්න වෙන්නේ මේ දරුවන් කරනා මෝඩ වැඩ නිසාවෙනි.

"අනේ දරුවෝ සමාවෙන්න ලෙඩ්ඩු දාස් ගානක් බලනවනේ. නිච්චි නෑ. දැන් මොකද කරන්නේ"

"ඩෝක්ටර් එදා අපිට විකාර නවත්තලා ඉගෙන ගන්නයි කිව්වනේ... ජීවිතේ මේ ගමෙන් එහාට තියෙන දුර පෙන්වලා දුන්නනේ.. මම කැම්පස් යන්නයි ඉන්නේ"
"මට හරිම සතුටුයි දරුවෝ" මටත් වඩා උස මේ තරුණිය මා ඉදිරියේ දණ ගසා වැඳ වැටුනි.
"මේ මොකද දැන් මෙහෙ ඉන්නේ"
"ඇපෙන්ඩිසයිටිස් හැදිලා ඔපරේට් කලානේ " ඇගේ මවද පැමිණ හැඳුනුම්කම අලුත් කර ගති.

ඇය 17 හැවිරිදි වියේ සිටියදී, පෙම්වතා වෙන කෙල්ලෙකු හා හාද වුනා යැයි පැනඩෝල් පේති 30 පමණ බී අපේ වාට්ටුවට ඇතුල් කර තිබිනි. "ආයේ ඒ කොල්ලව ගෙනත් දෙන්න කියලා අඬනවා ඩොක්ටර්" අම්මා අප හා පැවසීය.

"අම්මේ ඉල්ලන ඉල්ලන දේ දීලා සැප දීලා දරුවෝ හැදුවා වගේම ඒ දරුවන්ට හරි දේ කියා දෙන්නත් දැනගන්න ඕනේ. ඔහොම කරන කොල්ලො වැඩක් තියෙනවද අම්මේ... ඔය ගෑණු ළමයි දීග තල දෙන්න කලින් හොඳට උගන්වන්න. "

ඊළඟ දවසේ අප වෙත පැමිණි අම්මා පැවසුවේ.. "අර කොල්ලා ආවනේ ඩොක්ටර් සැප දුක බලන්න, මම දුන්නා කම්මුලට පාරක් වාට්ටුව මැද්දෙම, ආයෙ පස්සවත් නොබලා ගියා." අම්මා අප වෙත පැමිණ කීවාය.

"අනම් මනම් අමතක කරලා ඉස්කෝලේ ගිහිං හොඳට විභාගේ කරන්න. කැම්පස් ගිහිං හොඳ රස්සාවක් ලැබුනම ඔයා දැන් දුක් වෙන්නේ මොනවටද කියලා හිතෙයි දරුවෝ" මම පුළුවන් තරම් ඇගේ හිත හැදුවෙමි.
දැන් ඒ තරූණිය අවුරුද්දකට පමණ පසු මගේ ඉදිරියේ හිටගෙන සිටී... මම සොම්නස් සහගත හැඟුම් සමග ඇයට සමුදුන්නෙමි.


දිනුක මල්ලි පසුගිය ලිපියට ලියූ කමෙන්ටුවක වැදෑමහ සම්බන්ද කතාවක් ලියා තිබූ නිසා
(දිනුක ජයකොඩි said...
වෛද්‍යවරු වීශේෂයෙන්ම අපේ රටේ අය ගොඩක් වෙලාවට ලෙඩ්ඩු ගැන හිතලා කටයුතු කරනවා.මේ ළඟදි සොයිසා එකේ බබෙක් හම්බ උන අම්මා කෙනෙක්ගේ වැදැමහ සම්පූර්ණයෙන් ඉවත් නොවීම නිසා රුධිර වහනය වීම නතර නොවුන වෙලාවෙ එතන හිටි වෛද්‍යවරිය අතට දමාගත් සාමාන්‍ය ශල්‍ය අත්වැස්මක් සහිතව ගර්භාශය තුලට අත දමා වැදෑමහේ ඉතිරි කොටස් ඉවතට ගන්නා ආකාරය මම බලාගෙන හිටියා.ඇත්තටම සෞඛ්‍ය සේවකයින්ට රෝගියෙකුගේ රුධිරය කියන්නෙ ඕනෙම රෝගයක් වැලඳීමට ඉඩ ඇති ආසාදිත ද්‍රව්‍යයක් ලෙස සලකන ලෙසයි උපදෙස් දී ඇත්තෙ.නමුත් මැණික් කටුව දක්වා පමණක් අත්වැසුම ඇති ඇයගේ වැලමිට දක්වාම අර අම්මාගේ රුධිරය තැවරුනා.ඇය ඒ ගැන යන්තම්වත් තැකුවෙ නෑ.ඇයට වැදගත් උනේ අර අම්මගේ ජීවිතේ. කට්ටිය නිරපරාදෙ දොස්තරලට බණිනවා තමයි.නමුත් කවුරුවත් ඔවුන්ගේ වැටුප ගැන දන්නෙ නෑ.බෝවෙන රෝග බහුල පරිසරයක ඉන්න සිදුවී තිබෙන ඔවුන්ට ඕනෙම මොහොතක ඕනෙම රෝගයක් වැළදෙන්න පුළුවන්.ඒත් කවුරුවත් ඒ ගැන පැමිණිළි කරනවා කවුරුත් අහල තියෙනවද?)
ඉහත comment එක නිසා මට ඊට සම්බන්ද කතාවකුත් මතක් වූනා... 

එක් දිනෙක සායනයකට පැමිණි අම්මා කෙනෙක් "ඩොක්ටර්ට මතකද මාව ? " මගෙන් ඇසුවාය.
"කී දෙනෙක් මතක තියා ගන්නද ?" මට සිතිනි.
"මේ ඩොක්ටර් තමයි මගේ වැදෑමහ එළියට අරගෙන මාව බේර ගත්තේ..." ඇය ඇගේ ස්වාමි පුරුෂයාට එකවනම පැවසීය, ඒත් මහ හයියෙනි, ඒ හඬට හෙදියද බෙල්ල උස්සා අප දෙස බැලීය .

ඇය පැවසූ ඒ සිදුවීම මට මතක් විනි. එදින අපේ අපේ විශේෂඥ වෛද්‍යවරයා නොමැති නිසා සීසේරියන් සැත්කම් හෝ මොනම හදිසි සැත්කමක්වත් කරන්නට නොහැකි නිසා සියලුම එවැනි හදිසි අවස්ථා කලින් හඳුනාගෙන ඊළඟ මහ රෝහල වෙත යවන ලද සති අන්තයක් විය.

ඒ මව දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ගර්භාෂයෙන් එළියට පැමිණියේ නැති නිසාත්, බොහෝ සේ රුධිරය වහනය වෙමින් තිබුන නිසාත් අප විශේෂඥ වෛද්‍යතුමන් මෙහි නොසිටීම නිසාත්,  ERPC ඉක්මනින් සැත්කමකට භාජනය කළ යුතු වූයෙන් , මීට එහා පිහිටි මහ රෝහලට යැවිය යුතු විනි. වේලාව රාත්‍රී 12යි. අනෙක් වෛද්‍යවරයා විසින් කිහිප වරක් උත්සහ කළද එය එළියටගැනීමට නොහැකි විය. පසුව මට කතා කළේය.

"අනේ වඳින්නම් මාව වෙන තැනකට යවන්න එපා. ඉක්මනින් මට මගේ දරුවා බලන්න ඉඩ දෙන්න"අම්මා ප්‍රසූතිකාගාරයේ ඇඳෙන් බිමට පැනීමට සැරසේ.

"මේ අම්මා මෙහෙම යැව්වොත් ගොඩක් බ්ලීඩ් වෙන්න ඉඩ තියෙනවා, අපි කොහොම හරි එළියට ගමු"

හුඟක් වෙහෙසවී සිටි අනෙක්  වෛද්‍යවරයා ෆෝම් පුරවන අතරේ... නැවත අවශ්‍ය ඖෂධ කැක්කුම් නාශක එන්නත් දෙමින්, හේදිය විසින් කපන ලද අත් වැසුම් එකින් එක මම වැලමිට දක්වා දමා ගත්තෙමි. වැදෑමහ සිරවූ විට, ඇඟිලි කපන ලද පිරිසිඳු අත්වැසුම් වැලමිටට එහා සිට එකිනෙක දමා ගත යුතුය.අන්තිමට ඇඟිලි සහිත අත් වැසුම් දමන විට මුලු අතම රබර් ගලවුස් නීසා තදවී ඇදුම් කයි. එහෙත් අපේ කාර්යය අප කළ යුතුය.

"අනේ මම මැරෙයිද නෝනා... අනේ කැක්කුමයි නෝනා.." අම්මා වැලපේ.

" හරි අම්මේ හොඳට හුස්ම ගන්න, කලබල වෙන්න එපා, තද කරන්නේ නැතුව මට උදව් වෙන්න" වැදෑමහ සම්පූර්ණ වශයෙන් එළියට ගැනීමට නොහැකි ලෙස එය කෑලි කැඩී ගොස් තිබිනි.

" අම්මේ හම්බුනේ දුවෙක්ද පුතෙක්ද, කීවෙනි දරුවාද ? ගෙදර ඉන්න දරුවන්ගේ වයසා කීයද ?"

"අප්පේ ගෙදර ඉන්නේ අයියලා දෙන්නෙක්ද එහෙනම් මේ නංගි බබාට ගැලවිල්ලක් නැති වෙයි"
මම ඇගේ අවධානය වෙනතකට යොමු කරන අතරේ  ටිකෙන් ටික කොටසින් කොටස එළියට ගත්තෙමි. අවසන එක කෑල්ලක්වත් නොතිබෙන බවට සනාථ කරගන්න තෙක් සියල්ල අවසන් කල පසු රුධිර වහනයද නැවතිනි. අම්මාව මීට එහා මහ රෝහලට යැවීමට හෝ සැතකමට භාජනය කිරීමට අවශ්‍ය වුනේ නැත. අම්මා දැඩි වෙහෙසින් සහ කැක්කුම් වේදනා නිසා මහන්සිය පත්වී සිටියාය. ජීවිත හා මරණය අතර පොර බදන අපිට මෙවැනි අත්දැකීම් ඕනෑ තරම් වේ.
අපි ඇය වෙත කිරි දෙන්න යැයි ඉක්මනින් දරුවා ලබා දුන්නෙමු. අම්මා ප්‍රසූත කාමරයෙන් ට්‍රොලිය මත සිට එළියට යද්දී මා වෙත බලා දෑත් එකතු කලාය.යළි පිටව යන තුරු... අප ඇයව මේ රෝහලින් එහා නොයවා බේරා ගැනීම ගැන ස්තූතියි කළාය.
දැන් ඒ අම්මා මා ඉදිරියේ සිටී. අපට සැනසෙන්න මේ ටිකම ඇති නොවේ ද ?

සැත්කම් කරද්දී බොහෝ විට ඉඳිකටු අතේ ඇනෙයි. සමහර විට රුධිර නාලිකා පිපිරීම හෝ බොහෝ විට පෙකණිවැල කපද්දී රුධිරය දස අත විදිමින් විසිරේ.. අපේ නිරාවණය වූ මුහුණේ කොටසේ , ඇස්.. වල තැවරේ. මාතෘ හා ගැබිණි වාට්ටුවල සෑම අම්මෙක්ටම VDRL පරීක්ෂණය කර නොතිබිනි. හදිසි අවස්ථාවක කිසිවක් පරීක්ෂා නොකෙරේ. ඔවුන්ගේ රුධිරය අප කැපුම් තුවාල ඔස්සේ අප ශරීර ගත වේ. ඒඩ්ස් තිබෙනවාදැයි වත් නොද නී.

සීමාවාසික කාලය පටන් ගත් මුලදී නම් කැපුමක් මසද්දී අතේ ඉඳිකටුවක් නො ඇනුනු දිනක් නොවීය.
දිනක් සීසේරියන් සැත්කමක් අවසානයේ අත් වැසුම් ගලවද්දී මා දුටුවේ ඉඳිකටු පාරක් ඇනී ඇති අන්දම. ඉතා දුක්බරව..

"අපොයි අම්මාට භයානක ලෙඩ නොවේවායි ප්‍රාර්ථනා කරනවා " යි මම කියද්දී , නිර්වින්දක වෛද්‍යවරයා මා වෙත එමින් පැවසුවේ. රුධිර නාලිකාවට කැනියුලාව ඇතුල් කිරීමටයද්දී ඒ අම්මා දැඟලූ නිසා කටුව ඔහුගේ ඇඟිල්ලේ ඇනුනු බවයි. "  මගෙත් ඇනුනා, හැදුනොත් අපි දෙන්නටම ..." ඔහු හිනාවෙමින් පැවසුවේය.

15 comments:

  1. ඔබගේ අනුවේදණීය කථා විලාශය එහි අන්තර්ගතය තරම්ම රසවත්. අප කරනා දේ මෙහෙම විවේකීව අපට මතක් වෙනකොට අපට යම් සතුටක් සැනසීමක් ලැබෙනව නම් එහි ඇත්තේ අපේ වැඩේට ලැබුනු වටිනාම මිලයි. හැබැයි අපි එහෙම මතක් කරන විට අපේ සිතට එන්නේ යම් පසුතැවිල්ලක් නම් ඒ කියන්නේ අපි කරලා තියන දේ ගැන නැවත හුතන්න වෙනවා. ඒ කියන්නේ අපි අපේ රාජකාරිය හරියට කරලා නැහැ. ඒ අතින් ඔබ උතුම වෛද්‍ය වෘත්තියට ගැලපෙන උතුම් කාන්තාවක්. ඔබට ජය සොයුරිය!!

    ReplyDelete
  2. ඔයවගෙ අසරණ උනවෙලාවට පිහිට උනාම දොස්තරවරු ඉතින් දෙවිවරු කියල හිතෙනව තමා.කොච්චර කැපකිරීමක් කරනවද?

    ReplyDelete
  3. මතු බුදුවන්නේ ඔබ වන් අය වෙන්ට ඇති

    ReplyDelete
  4. ඔබ කරන සේවය කරන්න වාසනාව ඇත්තේ ලක්ෂගනන්කින් එක්කෙනෙකුට විතරයි.. මන් හිතන්නේ පෙර පින් කිරීමේ බලයෙනුයි නිරායාසයෙන් මනුස්සයින්ව බේරන්න මේ වරය ලැබෙන්නේ කියලා.

    ReplyDelete
  5. දොස්තර මහත්තුරු කියන්නේ මෙන්න මේ වගේ අයට .

    ඔබට ජයම වේවා ..

    ReplyDelete
  6. මතක් කරගන්න බැරි අය ඇවිත් තමුංව බේර ගත්තු හැටි ගැන කියන කතා ඇහුවාම මට මතක් වුනේ තමුංව බේරගෙන ජීවිතේ දීල අමතක කලා කියල හිතවත්කමට ජනවර්ජනට මහ රෑ කන්‍යාරමයෙ වත්තෙදි පිචංඩිල දොස් කියපු හැටි...

    ReplyDelete
  7. අඩෝ සඳරු මල්ලියා..

    එතකොට දොස්තර නෝනල කියන්නෙ ..? :D

    ReplyDelete
  8. ස්තූතියි. හැමෝටම... සඳරු... දොස්තර නෝනලා ගැන මොකෝ කියන්නේ ඔන්න ඕවටනම් තද වෙනවා ! ‍‍

    ReplyDelete
  9. සපතේරු උන්නැහේ... ඔබ කිව්වේ මනුතාපයේ ජනවර්ජන ගැනද ? කතාව කියෙව්වා මතකය දැන්නම් කතාව අමතකය... ගොඩක් කතා පොත් කියෙව්වට නාට්‍ය බැලුවට එකළ කියවූ, බැලූ ඒවා දැන් මතක නැත.

    ReplyDelete
  10. දොස්තරවරුන්ගේ සේවය මිල කල නොහැකි දෙයක් . .

    මුදලට වෘත්තිය කැපකරපු සමහර දොස්තරවරුන් වරියක් කීපදෙනෙක් හැරුනු කොට බොහෝ වෛද්‍යවරුන් වරියන් උපරිමයෙන් තම සේවාව ඉටුකරන්නෝ . .

    ඒ නිසායි අපේ සමාජයේ දොස්තර වරුන් වෙත බොහෝම ගෞරවය්න් සලකනු ලබන්නේ . .

    ඔබලා වැනි අය අපට මහා ආඩම්බරයකි . .
    ජය

    ReplyDelete
  11. අදමයි මේ පැත්තට ආවෙ . . . අනිත් කතා ටිකත් කියවන්නං හිමීට . ..

    ReplyDelete
  12. දොස්තර නෝනලා වසයි කියලානේ කියන්නේ. ඉස්සර හිතාගෙන හිටියේ බබා ලැබෙන්න දොස්තර නෝනා කෙනෙක්ගෙන් උපදෙස් ගන්නවා කියලා. පස්සේ පස්සේ හැමෝම කියන්න ගත්තා දොස්තර මහත්තයෙක් ගැන සොයා බැලුවා නං හොඳයි කියලා. මේක කියැව්වහම හිතුනා දොස්තර නෝනාලා කියන තරම් වස නැහැනේ කියලා. ඒ වස වුනත් ලෙඩුන් ගැන කරුණාවෙන්නේ.

    පොඩි කාලේ දත් රුහිතෙට ගිහින් අම්මා එක්කගෙන ගිහින් පැලට් එකක් දැම්මා කොළඹ දන්තාරෝග්‍ය ශාලාවෙන්. අනේ මට වෙච්චි දේ, මං අතින් එකක් නැති වුනා. අම්මා මාව කෙලින්ම කැන්දාගෙන ගියේ ලොකු දොස්තර නෝනා ගාවට. හපේ හප්පෝ බැන්නා මට අම්මාවත් බැනලා නැති තරම්. :) පස්සේ කාලේ වැටහුනා ඒත් කරුණාව නිසා තමයි කියලා.

    ReplyDelete
  13. කාලෙකින් ලිපියක් දැක්කේ නෑ!බිසි ද?

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !