Monday, January 23, 2012

ඊසාන දිග මෝසම් සහ ගංවතුරේ ට්‍රාන්සර් කිරීම...

ඊසාන දිග මෝසම් සුළං සහ වැසි නිසා මේ ප්‍රදේශයට දැඩි දුෂ්කර කාලයක් උදා වේයැයි සිතුවත් එය ගිය අවුරුද්දේ තරම් දැඩි ලෙස බලපෑවේ නෑ. ගිය වසරේ මේ කාලයේ තිබූ අධික ගංවතුර තත්වය සහ කුණාටු නිසා පාරවල් අවහිර වී තිබුනා ඒ මතකය යළිත් හිත අවදි කරද්දී යමක් ලියුවානම් හොඳයි සිතුනා. අපට මෙලෙස දුෂ්කර සේවය කරන්නටම කියා බල කිරීමක් නොතිබුනු අවධියක අපි මෙහි පැමිණියේ. අවැසි නම් කොළඹ මහ රෝහල් වල සේවය කරන්නට හැකි ලිස්ට් එකේ 40 , 50 වැනි ස්ථාන වල සිටි අයද මෙහි පැමිණ මේ සේවය  කරන්නේ හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන්මය.

මට මතකයට නැගෙන්නේ එකළ සියලුම පාරවල් කඩාගෙන වැව් දෝරගලා ගිහින් ගම්මාන පිටින් යටවෙලා තිබිච්ච කාලේදී හමුදාවත් රෝහලත් එකතු වී ගම්මාන වලින් ඒ මිනිස්සු අරගෙන ඇවිත් කඳවුරු වල වෛද්‍ය සායන පවත්වා බෙහෙත් කළ සැටිය.
ඒ කාලයේ දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරපු 65 හැවිරිදි වීරසේකර (අනවර්ථ නමකි) සීයා, මාසයකට පෙර කොළඹ මහ රෝහලට යවා හෘදයේ බයිපාස් සැත්කමක් කර නැවත ගමට පැමිණ තිබුනි. අධික වැස්ස නිසා කෑස්ස සහ ඇදුම සමග ඇතුල් කළ ඔහුගේ රුධිර පීඩනයද බලාගෙන ඉන්නකොට පහත වැටේ. දැඩි සත්කාර ඒකකයේද ඇඳන් සියල්ල පිරීතිබිනි.
ඉක්මනින් කොළඹ සැත්කම කළ කාඩියොලොජි යුනිට් එකට කතා කල අපේ විශේෂඥ තුමියට ඔවුන් පැවසුවේ හැකි ඉක්මනින් ඔහුව කොළඹ එවන ලෙසය. කොළඹ එවන්නේ කොහොමද පාරවල් සියල්ල යටවෙලාය. එසේනම් වැස්ස පායනකම් සිටිය යුතුය. එවැනි අවදානම් සහිත ලෙඩෙක් ට්‍රාන්සර් කරද්දී අනිවාර්‍යයෙන් දොස්තර සහ හෙදිය ඇතුලු සියල්ලෝම යා යුතුය. රෝගියා ගෙන යන වගකීම පැවරුනේ එවකට එම අංශයේ සේවයේ නියුතු වෛද්‍යවරිය වන මටය. කොළඹ යනවා කියන්නේ මහ රෝහලට නුදුරෙන් පිහිටි මගේ නිවසද පසු කරගෙන යනවා යන්නයි. එසේනම් වෛද්‍ය හිඟය නිසා නිවාඩු නොගෙන එක දිගටම සේවය කරන මට පැයකට හෝ රෝහලට පැමිණෙතොත් අම්මාවත් බලා කියාගෙන ආ හැකි නොවේද ?
රෝගියා ගෙන යන වගකීමේ බැරෑරුම් කම සහිතවම මම අම්මාට දුරකථනයෙන් කතා කළෙමි.
 " පිස්සුද.. මේ නිවුස් වලට කියනවා... අරහෙ ගංවතුර. අතනින් එහාට පාරවල් නෑ..අරහෙත් යටවෙලා,  මම කතා කරනවා හෙල්ත් මිනිස්ට්‍රියට (සෞඛ්‍ය අමාත්‍යාංශයට) "අම්මාගෙන් ඇසුනේ දෝස්මුරයකි.
 "අම්මා මොනවා කරන්නද එහෙම කෝල් කරලා "
 "ඇයි හෙලිකොප්ටර් යවලා ගෙන්න ගන්න පුළුවන්නේ"
 " දැන් ගංවතුර එතරම් දරුණු නෑ, අනික මේ වෙලාවේ ඇම්බියුලන්ස් එකක් හොයගත්තෙත් අමාරුවෙන්, හෙලිකොප්ටර් කොහෙන් හොයන්නද " මම අම්මාට පැහැදිලි කළෙමි.
"එහෙම කොහොමද ඕගොල්ලොන්ගෙ ජීවිත අනතුරේ දාලා ට්‍රාන්සර් එවන්නේ "

 අම්මා කලබලෙන් හොඳටම බැන වදී. අගනුවර සිටින ඇයට අපේ ජීවිත හෝ රෝගීන්ගේ දිවි රැකුමට අප කරනා මෙහෙවර නොතේරේ. මහ රෑ ටෝච් එළියෙන් වෛද්‍ය නේවාසිකාගාරය වෙත පැමිණෙද්දී සර්පයින් ඕනෑ තරම් අප ඉදිරියෙන් පාර මාරු වේ. එවිට මදක් නිසොල්මන්ව සිට ඔවුන් ගිය පසු යළි ගමන් කරන්නෙමු. කුඩා කල කළුවරට දැඩි බියක් දැක්වූ මා හට දැන් රැයත් දවාලත් කියා වෙනසක් නැත. ගෙදර සහ වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයේ සිටියදී පවා රෑ කළුවරට හොල්මන් වලට බිය වූ මට දැන් එහෙම දේවල් ගැන කිසිඳු බියක් චකිතයක් එන්නේ නැත. ඒ අනිත්කොණ ජීවිතය මා වෙනස් කර තිබූ තරමයි.
 " හරි අම්මා තවම ට්‍රාන්සර් කරන්න හිතනවා විතරයි. මට වඩා ඉහළ අයයි තීරණ ගන්නේ. හරියටම එනවානම් ඇවිත් දැනුම් දෙන්නම්,කලබල වෙන්න එපා " එහෙම කියා අම්මාව අස්වැසුවත් කොළඹට කිට්ටු වෙනකම් අම්මාටනම් ඇමතුමක් නොදෙන්නෙමියි මා සිතා ගත්තා.
සියලු ඖෂධ , හදිසි සත්කාර උපකරණ, එන්නත් , සියල්ල සමග රුධිර පීඩනය නංවා තැබීමට දැමූ ඖෂධ ශරීරගත කරන ස්වයංක්‍රීය එන්නත් කට්ටලයද සමග මම හොඳින්ම පුහුණුව සහ අත්දැකීම් බහුල ජේෂ්ඨ හෙදියත් අනෙක් සියලු අය වීරසේකර සීයා සහ ඔහුගේ පුතා කැටුව කොළඹ බලා අධික වේගයෙන් දිවෙන ඇම්බියුලන්ස් රථය තුලට වීමු. රථයේ දොර වසද්දී රෝහලට රැස්වූ ගම්මානයේ සියල්ලෝම ඉහ අත් දී සෙත් පැතුවේ, ගම්මානයේ ජේෂ්ඨ පුරවැසියෙක් වුනු සීයාගේ දිවි බේරා දෙන්න යැයි කියමිනි. උතුරේ සිට දිය උඩින් වලවල් වල වැටෙමින් පැමිනි ඇම්බියුලන්ස් රථයට ඇතැම් විට ඉදිරියේ පාරක් නොපෙනුනු හාත්පස පෙනුනේ විශාල වැවක් මෙනි... එවිට සුළු සේවකයා වතුරට බැස ඉදිරියට ඇවිද ගියේය. ඔහු පසු පසින් ඇම්බියුලන්ස් රථය හෙමින් ඉදිරියට දාවනය කෙරිනි. වලවල් වල වැටෙන විට රෝගියා නිදි කරවා සිටි ට්‍රොලිය වේගයෙන් එහෙ මෙහෙ විසිවේ. අපි සියලු දෙනා අත් වාරුවෙන් සීයා ට්‍රොලියේ තබාගෙන සිටියෙමු. ගමනේ බොහෝ දුර ගෙවුනේ එසේය.

සමහර තැන් වල එක පැත්තකින් පාරට ඇතුල් වෙන වතුර පිට වන්නේ වැව් වාන් දමන්නාක් මෙනි. ඇතැම් තැන්වල පාර එහෙම්පිටින්ම වතුරේ ගසාගෙන ගොසිනි. පැය කාලෙන් කාල රුධිර පීඩනය මනිමින් ස්වයංක්‍රීය එන්නතේ ඖෂධ ප්‍රමාණය අඩු වැඩි කරමින්... යන්තම් අප මීගමුව පාරේ හලාවත නගරයට සේන්දු විය.

 "දුවේ මොනවා හරි කාලා බීලා යමු " අනුරාධපුරය පසු වෙනවා එක්කම සියා විටින් විට ඇවිටිලි කරයි.

" බඩගිනිද සීයා" තත්වය අනුව ඉක්මන් ශල්‍යකර්මයක් කිරීමට ඉඩ තිබූ හෙයින් සීයාට නම් මොකුත් කන්න බොන්න දෙන්න බැරි බව මම කිහිප විටක් කියුවා මතකය.
"මට මොකුත් එපා , මම දැන් අවුරුදු 65ක් හිටියා. අපේ රට නිදහස් කරගන්නකම් මං උන්නු එකම මට ඇති." සීයා කියයි.
"ඕකත් වයසක්ද සීයේ, මොකුත් වෙන්නේ නෑ, මම සීයාව කරදරයක් නැතුව කොළඹ ගෙනියන්න ඕනේ." ආයෙමත් සැරයක් සීයා අප දෙස බලයි.
" ඇත්තමයි දුවේ මට මොකක් උනත් කමක් නෑ ඔය දරුවෝ පරිස්සමෙන් යන්න, ඩ්‍රයිවර් මහත්‍තයට කියන්න හෙමින් යන්න කියලා"
"හහා මේ ට්‍රැෆික් එකේ තව හෙමින් ගියොත් හෙට උදේ තමයි අපිට යන්න වෙන්නේ, සීයා කියවන්න එපා, මහන්සි දැනෙයි. සද්ධ නැතුව යමු" මගේ අණ කිරීම හමුවේ යළිත් කට පියාගෙන ට්‍රොලිය මත ඇස් පියා ගනී.
ආයේ මිනිත්තු 5 යද්දී සීයාට නැවත යමක් මතක් වේ. "අපි හිතුවේ නෑ මේ තරම් කල් ජීවත් වෙන්න. බෝම්බෙකින් හරි, කොටි පැනලා හරි අපි මරලා දාය් කියලමයි හිතුනේ. රට නිදහස් උනෙත් අපේ වාසනාවට ,  ඊට පස්සෙ සිංහල දොස්තර නෝනලා, මහත්තු ඇවිත් අපේ පළාතේ ඉස්පිරිතාලෙට. ඒ අය දකිද්දී ආයේ ලෙඩ හොඳ වෙනවා බෙහෙත් බොන්නත් කලින්"

දෙමළ ආත්තම්මා කෙනෙක් පසු ගිය දිනක මගේ අත සිඹ පැවසුවේ "ඩොක්ටර් අම්මා හිනා වෙලා කතා කරද්දිම මගේ ලෙඩ හොඳ වෙනවා" කියලා. මම එවිට සිනා වෙමින් ඇසුවේ " කැඩිච්ච දෙමළෙන් වරද්ද වරද්ද කතා කරද්දී ඕගොල්ලොන්ට හිනා ගිහින්ම ලෙඩ හොඳ වෙනවා නේද ? කියා.
මුල් කාලයේ ඒතරම්ම දෙමළ භාෂාව වැරදෙනවා. පාසැලේදී ඉගැන්නුවේද නැත. මෙහෙ එනකම් වචනයක් හෝ කතා කරන පරිසරයක සිටියේද නැත. දෙමළෙන් කන් කියන්නේ ඇස් වලටය , අපි කන් කියන්නේ කන් දෙකටය. කීල - පහල, මේල -  උඩ. ඕවා හැම තිස්සෙම පැටලේ.  නමුත් කෙසේ හෝ වචන අහුලමින් ඇටෙන්ඩන්ලාට සිංහල පුළුවන් දෙමල මිස්ලාට පින්සිද්ධ වෙන්න අපි දැන් දෙමළ කතා කරන්නෙමු. අලුතෙන් පැමිණි හෙදි සොයුරියක්, "ඩොක්ටර් දෙමළද" කියා අසන්න තරම් හොඳට දෙමළ කතා කරන්නෙමු... කාටද ඉතින්  ආඩම්බර.

 කොහොම හරි සීයාගේ , කෑම ටිකක් කාලා යමුයි කියන ආයාචන සියල්ල පැහැර හරිමින් අපි මීගමුවට පැමිණෙද්දී නැවත අම්මාගෙන් කෝල් එකක් පැමිණියා. "ආවා නේද ට්‍රාන්සර් එක අරගෙන, මම හිතුවා , සද්ධයක් නැති කොට" අම්මා දොස් කියයි. " හරි අපි මීගමුවේ. ලෙඩා බාරදීලා එන්නම් අම්මේ" අම්මලාට අපි කොච්චර ලොකු උනත් තවම ඔවුන්ගේ කුඩා දරුවන් ලෙස අපට සලකයි. රැකියාවෙන් අපි ඉහළින් හිටියත් අම්මට නම් ඒ කිසිවක් වැඩක් නැත. තවම අපට සලකන්නේ කුඩා දරුවෙක් ලෙස සිතාගෙනය. හවස 6 වෙන විට කොළඹ ආසන්න වෙද්දිම වත්තල ජා ඇල හරියේ සිට වාහන පෝලිම්‍ ගණන්. ඉතා පළපුරුදු රියදුරා නලාව හඬවමින් මගී මං තීරු සහ පදික වේදිකා ඔස්සේ රිය හසුරුවමින් ඇතැම් විට පාරේ දකුණු පැත්තෙන් පවා රිය පදවමින් පැය භාගෙන් කොළඹ මහ රෝහල වෙත පැමිණියා. කෙලින්ම හෘද චිකිත්සක අංශයේ දැඩි සත්කාර ඒකකය වෙත රෝගියා ඇතුල් කළ පසුය අප හිතට සැනසුමක් ලැබුනේ.

ඒ මම ලියුවේ ගිය අවුරුද්දේ සිදුවීමකි. මේ අවුරුද්දේ පාරවල් අලුත් වැඩියා කර තිබූ නිසාදෝ අපේක්ෂා කළ තරම් යටවුනේ නම් නැත. ගංවතුර බැස යාමට ක්‍රමයක් සකස් කර තිබුනා දැයි තවම නොදනී. මේ පැත්තේ ඇතැම් වැව් වාන් දැමුවත් ගිය වර තරම් නරක දසාවක් ලැබුවේ නැත. රෝගීන්ගෙන් වාට්ටු පිරී ඉතිරී ගියේ නැත. ඒ මහ රෝහලට එහා පිහිටි කුඩා රෝහල් සියල්ලටම පාහේ නව වෛද්‍යවරු පත්වී පැමිණ ඒවා පණ ගන්වා තිබූ නිසාය.(නමුත් ඒ අතරේ අදිසි බලවේග යොදා මාරුවීම් අරගෙන සැප පහසු අගනුවරට මාරුවීම් හදාගෙන ගිය ආත්මාර්ථකාමී එවුන්ද සිටිති) එනිසා මහ රෝහලේ තද බදය මදකට අඩු විය. නමුත් සැරින් සැරේ විදුලිය ඇණ හිටීම් සිදු විනි. ලියන්නට බැරිවෙන්න යම් තරමට එයද බල පෑවාය.
ඒ අනිත් කොණ තොරතුරුය. ඒ එක්කම ඊට එහා කොණේ කොළඹ පිහිටි නිවසේ මිදුල නම් වතුරෙන් හොඳටෝම යටවී තිබුනි. අඩි 4 පමණ වතුර මට්ටමක් සහිතව කොළඹ 7 වෝඩ් පෙදෙස ආසන්නයේ පාරවල් සහ කින්සි පාර හොඳටම යටවී තිබුනේ ගමන් කළ වාහන වලින් ආරුගම් බේ මුහුදේ දකින ආකාරයේ රළ ඇති කරමිනි.
 නිතර නොලිවීම ගැන සමාවෙන්න

23 comments:

  1. සමාව ඉල්ලිය යුත්තේ ඔබ අපෙන් නොව, පුටු රත්කරමින් වායසමනයන් යට හිඳින අප ඔබෙනුයි. ඔබ වැන්නවුන් කරන මේ දෙවන මානුශීය මෙහෙයුමට මගේ ආචාරය. ඔබගැන ආඩම්බරයි සොහොයුරිය. සුභපැතුම් !!!

    ReplyDelete
  2. ඒක තමා අපි බැලුවේ මොකද ලියන්නෙ නැත්තෙ කියල.:)

    ReplyDelete
    Replies
    1. නදී මෙහි ආවාට ස්තූතියි...

      Delete
  3. ඔබ හරිම පිංවන්තයි. ඔබලද මව වාසනාවන්තයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, අපි කරන දේ නිසා මිනිස්සුන්ගේ හිත්වල ඇතිවන වෙනසට මම හරිම කැමතියි. දැන් ඒ අය සහෝදර ජාතීන් දිහා සැකයෙන් තොරව බලන්නට පුරුදු වෙනවා.

      Delete
  4. ඔබලා කරන මේ මෙහෙවර අපේ සහෝදර ජාතිය සිංහල මිනිසුන් හා එකතුව තබන්නට බැඳේන පාලමක් වගෙයි.. ඔබ වැන්නන් තවත් සිටිනා බව ඇසීම සතුටක්.. හෙට එච්චර අවාසනාවන්ත නොවේවි කියල විශ්වාසයක් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. අත් අඩංගුවේ සිටි , යුද්ධයෙන් තුවාල ලැබූ ත්‍රස්තයින්ගේ රකුසු බැලුම් හමුවේත් දයාබරව ඔවුන්ට උවටැන් කල අපේ සිංහල වෛද්‍යවරු සහ හෙදියන් දුටු විට සිහිවුනේත් හෙට වාසනාවන්ත වන බවයි. අප මේ පළාත් වල සේවය කරන්නේ ඉතා සුළු කාලයකටය එනම් වසරක් හෝ එකහමාරක් පමණය...

      Delete
  5. මනුස්සකම ගැන හිත් සංෙව්දී කරවන ෙසාඳුරු අැත්ත කතාවක් ...

    ReplyDelete
  6. මම ඇත්තට ම ඔයා ගැන ආඩම්බර වෙනවා. අද මේ රටට අවහ්‍ය 13 හරි පළාත් සභා හරි නෙමේ. සමගිය සහෝදරත්වය. හදවත්වල බැඳීම. ඒ බැඳීම් ඔස්සේ පමණයි මේ සාමය සදාකාලික කළ හැක්කේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම, ඒක වටහා ගත්තොත් හැමෝම හරි වටිනවා ඉදිරිය සාමකාමී වෙන්න.

      Delete
  7. තරුණ ගෑනු ළමයි ගැන වද නොවෙන අම්මලා ඉන්න පුලුවන්ද?කාලෙකින් ආටිකල් එකක් දැක්කේ! කොහේ හිටියත් පරිස්සමින් ඉන්න!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලී

      Delete
  8. අම්මෝ කාලෙකිං ලිපියක් නැති හින්දා මම හිතුවෙ ලියන එක නවත්තලාවත්ද කියලා.කොළඹ මෙච්චර දොස්තරලා ඉඳලත් ඒ හැමෝම කොච්චර කාර්යබහුලද? ඉතිං ඈත පළාතක කොච්චර කාර්යබහුල ඇත්ද?මටත් දෙමළනං වචනයක් දෙකක් ඇරෙන්ඩ මොකුත්ම බෑ.ඔය පැත්තෙ වගේ ඉස්පිරිතාලෙකට ආවොත් ඒකත් ගොඩ දාගන්න පුළුවං වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. post intern එකටවත් නෝත් ඊස්ට් ඉල්ලලා ආවොත් , දෙමළත් ඉගෙන ගන්න පුළුවන්. ඊටත් වඩා ලොකු සේවයක්. ආත්ම තෘප්තිය උපරිමයි

      Delete
  9. පළවෙනි වතාවට මේ පැත්තට ගොඩවුනේ. දොස්තර නෝන මගෙ පෝස්ට් එකකට දාපු කොමෙන්ට් එකක් ස්පෑම් වෙලා තියෙනව දැකල කව්ද මේ ' අනිත් කොන ' කියල හොයන කොට මේ සයිට් එක දැක්කෙ. ආව එක ගැන සන්තෝෂයි.

    මේ පෝස්ට් එක කියවල ඇස් වලට කඳුළු ආව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. හැමදාම වෙනස්ම අත්දැකීම් බහුල ජීවිතේ ගැන යමක් ලියන්නයි උත්සහය...

      Delete
  10. ඔයා ඇත්තටම හරිම වාසනාවන්තයි.... වෙන මොනවත් හින්දා නෙවෙයි... කරන රස්සාව ඉතාමත්ම ලොකු තෘප්තියකින් කරගෙන යන බව පේන හින්දා.... ඒ වගේම තමයි ඒකෙන් වෙන සේවය.... අපේ පවුලෙ කෙනෙකුත් කොටි කටේ වැලිඔය ඉස්පිරිතාලෙ වැඩ කරද්දි අපි එයාව බලන්න ගිය ගමන සිහි වුනා.... අන්තිමට එයා ආපහු ආවෙ කොටි ඇවිත් යන්න කියල තර්ජනය කරාට පස්සෙ හමුදා ආරක්ෂාව යටතෙත් ටික කාලයක් ඉඳල....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ත්‍රස්තවාදයට විරුද්ධ වීම නිසා කොටි හපුයියන්ගේ තර්ජන අස්සේ ජීවත් වූ කාලයක් අනිත්කොණ වෛද්‍යවරුන් වූ අපටත් තිබුනා. ස්තූතියි මියුරු කියෙව්වාට, මට ලියන්නට තව දිරිය දුන්නට.

      Delete
  11. ලියන්න වෙලාවක් නැතුව ඇති.. එකයි අලුත් මොකුත් නැත්තේ..

    ReplyDelete
    Replies
    1. ලියන්න ගියහම තරහ ඇවිස්සෙනවා. මොකද ලිවීමට බාධා ඒ තරම් ඒකයි නොලියා හිටියේ.වේලාව කොහොම හරි හොයාගෙන, බාගෙට ලියද්දී කරන්ට් යනවා. එක්කෝ ලැප් එක ඕෆ් වෙනවා. ඇවිත් කියවන බලන ඔබට ස්තූතියි.

      Delete
  12. ඔබේ ලිපිය දැක්කාම ඉස්සර විදුසර පත්තරේට ලියන්න ආපු සමහර මිත්‍රයන්(වෛද්‍ය ශිෂ්‍යයන් ජංගම සායන තියන්න ගිහින් ලද අත්දැකීම් අපි එක්ක කියපු අවස්ථා සිහිවුනා. ඔබ වැනි අතලොස්සකුත් මුදලාලිලා කොටසකුත් බස් කොන්දොස්තරලා වගේ බහුතරයකුත් වෛද්‍යවරු ඉන්න බවයි මගේ අදහස. ඔබ වැනි සොඳුරු මිනිසුන්ට කොන්දොස්තරවරුන්ද නැවතත් වෛද්‍යවරු කළ හැකි නම්......(මගේ කොමෙන්ට් පල නොකරන්නේ නම් වැඩිය හොඳයි)

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !