කලින් කතාවේ ඩොක්ටර් කෙනෙක් යැයි පැවසූ ත්‍රස්තක්‍රියා හා සම්බන්ධ පුද්ගලයා ගැන ලියූ පෝස්ටුව බලාපොරොත්තු වුනාටත් වැඩිය ප්‍රතිචාර ලැබුනු ඒවගේම හිතන්නට තව පැති බොහෝමයක් ඇති බවට මට ඒත්තු ගැන්වූ එකක් වුනා.
ඒ පෝස්ටුවේ මතුකළ කාරණා නම් පුද්ගලික ප්‍රශ්න නොවේ පොදුවේ සමාජයේ මුල් බැසගෙන ඇති කරුණු ය. බොහෝ සෞඛ්‍ය සේවකයින්ට සිදු වුනා ත්‍රස්තයින් යටතේ සේවය කරන්න. බලෙන් කැඳවාගත් අයත් බහුල ය. දුක් වුනේ මිනිසුන් සුවපත් කිරීමට උගත්කමක් ඇති එවැන්නවුන් අත් අඩංගුවේ සිටීම ගැන ය . ඒසා විශාල ඛේදාන්තය අවසානය දුක්ඛදායි නොවේනම් පුදුමයක් ! එනමුත් ඒතරම් කරදර දුක් මැද උනත් මා දුටුවේ ඔවුන් සිනහ නගන අන්දමය.
රටේ අනිත් කොනේ හදවත් වල "ලබ් ඩබ්" ශබ්දය මයි රටේ මේ කොනෙත් හදවත් වලින් ඇහෙන්නේ කියා වටහා ගත් දවසට, මම කියන්නේ , අපි හැමෝම වටහා ගත් දවසට තමයි අනෙකාත් තමන් ලෙස හැඟෙන්න පටන් ගන්නේ.
එහෙම උනානම් මේ අපි දකින වෛරී අදහස් හෝ කියුම් නැති වේවි. මේ තරමින් හරි මේ දේවල් ලියන්න උනන්දුව ලැබුනේ අපි ඒ ගත කරමින් සිටි කාලය ආයේ කිසිවෙකුට මුණ ගැසෙන්නේ නැති නිසා මිසක, ලොකු කමකට පුරාජේරුවකට නොවන බව වටහා ගන්නා තුරු මේ සටහන් ඔබට සමස්ථ වෛද්‍ය ප්‍රජාව ගැනම ඇති වෛරයට භාජනය වන බව මා නොදන්නවා නොවේ.
කොළඹ සැප පහසුව සිටීම වෙනුවට ඈත දුෂ්කර සේවයෙහි යෙදෙන වෛද්‍යවරුන් අතරේ බ්ලොග් ලියන අය ලෙස අනිත්කොන ලියන මා ද, ලෝකයේ කොනක ලියන සිදූ ද සිටී.
ගිය වර කතාව නවත්තපු තැනින් එහාට ලියන බවට වූ පොරොන්දුව නිසාම මේ ලිපියට කාලය වැය කළෙමි. මා මුලින්ම පත්වීම ලැබූයේ කායික රෝග වාට්ටුවේ වුනත් දමිළ බස කතා කරන්නට පුළුවන් කමක් ඇතිවූ නිසා මට මනෝ වෛද්‍ය ඒකකයෙහි සේවය කරන්නට ලැබෙනවා. මා එම ඒකකයෙන් යන එක ගැන විශේෂඥ වෛද්‍යවරිය අකමැති වුනත්, මනෝවෛද්‍ය අංශයේ අත්දැකීම් ලැබෙන නිසා ඒක මගේ අධ්‍යාපනයට වැදගත් නිසා , ඔවැනි කාරණා සලකා බලා ඇය මට අවසරය ලබා දෙනවා.
ඔබට මතක ඇති, මෙන්න මෙයා පැති මාරු කරලා ..ඔබ තමයි අන්තිම සටනේදී මගේ උරහිසට බෙහෙත් දැම්මේ කියන ගීතා වගේ ත්‍රස්ත සොල්දාදුවන්ගේ ඉඳන්, ආයුධ අතට දී බලෙන් යුද්ධයට ඇද දැමූ ළමා සොල්දාදුවන්, වෛද්‍ය පීඨයට තේරුණත් බලෙන් ඇදගෙන සටනට රැගෙන ගිය ශිෂ්‍යයින්, සිංහල කතා කරන හැමෝටම ගහපු, මම විතරක් බේරුණු ත්‍රස්තවාදී නෑදෑකම් තිබූ පුද්ගලයා වගේම මට දැන් මතකයට එන්නේ නැති සියලු කතා චරිත හමුවෙන්නේ ඒ කාලයේදී ය.
"විස්ස විද්‍යාලෙදි ගෙම්බෝ මරලා සත්තු කපලා පව් පුරෝගෙන ඉන්නේ ඕගොල්ලෝ " කියා මූණටම බැනපු,
"අපිව මේ කූඩු කරගෙන ඉන්නේ අපිට මොනවා කරන්නද ඈ ?" කියා අසමින්, තමන් ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ වැනි චරිත වලින් හඳුන්වපු ස්ත්‍රිය මට මුණගැසෙන්නේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටුව තුලදී.
ඒ කාලේ එහි පොකුණක් සාදා ඒකේ අලුත්වැඩියා පිරිසිඳු කිරීම් කරන්නටත් අපි වෛද්‍යවරුම එකතු වුන කාලේ ඇය වාට්ටුවේ දැල් අතරින් අප දෙස බලාගෙන ඔවැනි දේ කියවනවා අපෙන් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන්.
"අනේ පව් " කියා හිතෙනවා ඇරෙන්න ඔවුන් ගැන ද්වේශයක් කේන්තියක් හිතට ඇතිවෙන්නේ නැත්තේ ඔවුන් මානසික රෝගාබාද වලින් පීඩා විඳින්නන් ලෙස හඳුනාගන්න අපට පුළුවන් වුන නිසා. ඒවගේ පිරිස් අපට මේ සමාජය තුල කොතෙක් නම් මුණ ගැසෙනවා ද ? ඉන්පසු ටික කලකදී අප සමග යහළුවෙන ඔවුන්ගේ කතා අපට කියන්නේ ඒ විශ්වාසය නිසාම යි.
කලින් පෝස්ටුවේ මට මුණ ගැසුනු තැනැත්තා යලිත් හමු වෙන්නේ මනෝ වෛද්‍ය ඒකකය තුල... ඒ මගේ මාරුවත් සමග.
නමුත් ඔහු මා දන්නා බවක් පෙන්නුවේ නම් නෑ.
"මම හරි දුකෙන් ඉන්නේ... කරදරයි ජීවිතේ. " ඔහු ඉඳගත් සැනින් මා හට එහෙම කීවා. මුලදී ඔහුගෙන් ඇසුනේ චෝදනා අඳෝනා සහ කෝපාවිශ්ඨ වදන් පමණයි.
හමුදා සමග හෝ ආණ්ඩුව සමග ඇති කෝපය පිට කලේ අපට බනිමින්. විශේෂයෙන්ම සිංහල ජාතිකයෙක් වුන මට බනිමින්.
ටික කලක් ඔහොම ගෙවෙන විට ඔහු අප සම්බන්දයෙන් කේන්ති ගන්නා එක අඩුවුන බවක් දුටුවා.
දැන් ඔහු අර නිතර එනවිට අත පය වල තිබුනු විලංගු දකින්න තිබුනේ නෑ.
රැවුල කපා, පිරිසිඳු සරමක් කමිසයක් හැඳි ඔහුගේ මුහුණේ දකින්න ලැබුනේ පැහැපත් බවක්.
"දැන් ඔබේ පෙනුම කොයි තරම් හොඳ ද ! " මම ඔහුට පැවසු විට ඔහුගේ මුහුණේ දකින්න ලැබුනේ විස්මයක්.
"දැන් ඔබට කොහොම ද ?"
"පෙර කාලේ තරම් හොඳ නෑ, දැන් අපේ පාලනය නෙමෙයිනේ... ඒත් මම හොඳින් ඉන්නවා. ඒත් ඒ කාලේ හොඳයි දැනට වඩා"
"ඇයි එහෙම කියන්නේ ?" මම විමසුවෙමි.
"නෑ ඉතින් ඒ කාලේ අපිනේ පාලනය කලේ මේ පැති. දැන් අපි ඉන්නේ අත් අඩංගුවේ නේ. හැබැයි මම නිදහස් වෙනවා තව කාලෙකින්. දන්නවද මගේ වයිෆ් ළමයා නැතිව ඉන්න එක තමයි දුක"
ඉන්පසු ඇතිවුනු කතා බහේදී ඔහු මට ඔහුගේ පවුල ගැන විස්තර කරමින් කියන්නේ ඔවුන් බටහිර රටකට ගොස් නෑයින් සමග සිටිය බවත් දැන් ආයෙත් ඔවුන්ගේ නිවස්නය බලා පැමිණි බවත්, ඔහු බලන්නට එන යන බවත් ය.
අපේ මුල් හමුවීමට වඩා ඔහු මා සමග මිත්‍රශීලී බවක් පෙන්වයි. ඒ මේ ඒකකය තුල පවතින වෙනස්කම් දැයි මට සිතේ. අප රෝගීන් හමුවෙන්නේ වෙනම කාමරයක් තුල දී ය. ඒ කතාබහට අපි කිහිප දෙනෙක් සහාභාගි වෙමු. වෛද්‍යවරු ,(medical officers) හෙද හෙදි, නිළධාරියෙකු (nursing officers) හෝ නිළධාරිනියක , උපදේශකයින් (counselors) සහ මානසික ඒකකයට අනුබද්ධ සමාජ සේවකයින් ( Psyco-social workers )පැමිණේ. මේ සියල්ලෝම රෝගීන් ගැන බොහෝ දුරට දන්නා ගෙදර අය තරම්ම හිතවත් පිරිසකි. ඔවුන්ගේ නිවෙස් වලට ආගිය පිරිස කි. එනිසා කතා බහ පහසු ය.
හාත් පස මලින් පිරී ගිය තුරු ගොමු ය. කොරිඩෝ වල ඉඳගැනීමට බංකු ඇත. වාට්ටුව මැද වතුර මල් , මත්ස්‍යයින් මලින් පිරි පොකුණකි, කුරුල්ලන්ගේ කිචිබිචිය අඩු නැත. මේ සියල්ල මෙලෙස තනවා ඇත්තේ මේ ඒකකයේ සිටින මානව හිතවාදී විශේෂඥ වෛද්‍යවරයාගේ අනුදැනුමින් ය. ඉතින් වාට්ටුවක සිටිනවා කියා සිතෙන්නේ නැති තරම් ය. ඇතුල් වෙන අය යන්නට අකමැතිය. ඒ ඔවුන්ගේ නිවෙස් වල පරිසරය මීට බොහෝ සෙයින් වෙනස් කලබලකාරී ඝෝෂා සහිත තැන් නිසා වෙන්නට පුළුවන.
මාස කිහිපයක දී මට හමුවූ ඔහුත් දැන් මා ඉදිරියේ සිටින ඔහුත් බොහෝ සෙයින් වෙනස් ය. ඔහුගේ වෙනස් වීම සැලකිය යුතු තරමේ එකකි.
"මට ඉස්සර නින්ද ගියේ නෑ. මම තරහෙන් හිටියේ. මට ඒකාලේ තිබුනු තත්වය මට තිබුනු සැප පහසුකම් ගැන විතරයි හිතුනේ. ඒනිසා මට තරහ ගිහින් හිටියේ." මේ සැකවින් ඔහු කියූ කරුණු කිහිපයකි.
"ඉන්පසු මට තේරුනා අපිට දැන් උනා වගේ ඉස්සර අපිත් මිනිස්සුන්ට කරානේ කියලා, මගේ අතින් මිනිසුන් කොයි තරම් මිය යන්න ඇති ද ? මම දන්නේ නෑ ඩොක් . මම අත් අඩංගුවේ ඉන්නවා වගේ ඉස්සර මිනිස්සු අපිත් එහෙම හිර කලානේ, දැන් මට දුක ඒ කාලේ කණපිට පෙරළුණු නිසා"
බොහෝ රෝගීන් එලෙස ඔවුන්ගේ පීඩනය ගැන තමන් සමගම සම්මුතියකට එයි. එහෙයින් ඔවුන්ගේ මානසික පීඩනය හෝ ආතතිය සැලකිය යුතු තරමින් අඩු වේ. පවතින තත්වයන් සමග සංහිඳියාවකට ඒමට ඔවුන් ගේ සිත් වලට හැකිවීම එක අතකට මනෝ උපදේශකයන්ගෙන් ද පැසසිය යුතු අන්දමේ සේවාවක් සිදුවේ. කිහිප ගමනක් ජීවිතය තොර කරගන්නට සිදූ ගීතා (අනවර්ථ නමකි) වෙන්කටේෂ් (අනවර්ථ නමකි ) වැනි චරිත ඔබට මගේ කතා තුලින්, පොතෙන් හමුවෙන්නට ඇති. ඔවුන් සියල්ලෝම තම මනෝ ව්‍යාදි සමග පොරබදමින් ජීවිතය ගොඩ නගන්නේ ඒ උපදේශනයන්ගේ උදව්වෙනි.
ඔහු මෙලෙස තමාගේ පවතින තත්වය සමග සාමකාමී වීම එක අතකට ඔහුගේ අනෙක් ප්‍රශ්නවලට ද විසඳුමකි යැයි මට සිතේ. පුනුරුත්ථාපනය අවසානයේ ඔවුන් සමාජගත විය යුතු වේ. නැවත ඔහු වෙත පැමිණි දරුවා සහ බිරිය සමග ජීවිතය ගෙවන්නට , රැකියාවක් කරන්නට ඔහුට සිදු වේ.
යුද්ධයක සැබෑ ජයග්‍රාහකයෝ හෝ පරාජිතයෝ නැත. යැයි කියමනක් තිබේ. මා දකින්නේ සිදුවූ ඛේදාන්ත වලට ජයග්‍රාහී ලෙස මුහුණ දුන්, ඒවාට සුබදායක ලෙස මුහුණ දෙන පිරිස්ම නොවේ. ඒත් ඔවුන්ගේ මේ මුහුණ දීම්, ගොඩ නැංවීම් සහ අවබෝධකර ගැනීම් ගැන මට ඇත්තේ මහත් ගෞරවය කි. ඒ , මට මෙහෙම උනානම් මේ තරම් දරා ගනීවි දැයි ? අපි අපෙන්ම ප්‍රශ්න කර සිතා බැලිය යුතු කාරනයක් වන නිසා ය.
පසුගිය කතාවේ අවසානයේ බොහෝ අය ප්‍රශ්න කෙරුවාක් මෙන් ඔහු සැබැවින්ම වෛද්‍යවරයෙක් ද ?
එය එසේ නොවන බව දැනගත්තත් ඇයි එලෙස බොරුවක් කීවේ යන ඒ ප්‍රශ්නය මා කිසිම විටක ඔහුගෙන් ප්‍රශ්න කළේ නැත. ඔහු එලෙස මට කියන්නට හේතු වූ කාරනා දහසක් ඔහුගේ හිතේ තියෙන්නට ඇති. එය වරදක් නොවේ.
ඔහු කවරෙක් වුනත් මට ඔහු අනෙකුන් හා සමාන ය. ඔහු මට කවරාකාරයෙන් පෙනී සිටිය ද මගේ සේවය ලබන්නට එය කිසිවිටක ගැටළුවක් නොවේ.
අපේ ජාතිය විය යුත්තේ මනුස්ස ජාතිය යි. ආගම , කරුණාව සහ උපේක්ෂාව යි. වෛද්‍යවරයෙකු දිවුරුම් දෙන ප්‍රතිඥාවේ ද අඩංගු මෙවැනි කරුණු කාරනා ය.
ඩොක්ටර් යනු ගෞරව පදයක් නොවේ. වෛද්‍ය වෘත්තිකයන් හඳුන්වන පදය කි. ඔවුන් ට දොස්තර , "අම්මා" හෝ "අයියා" වෙන්නේ ඒ වෛද්‍යවරයා නම් කෙනා තුල ඇති මනුස්සකම නිසා ය. අපි එනකොට නැගිටින්න එපා, වඳින්න එපා, නෝනා කියන්න එපා, අම්මා කියන්න එපා යැයි මම, ඔබ කොතෙක් කීව ද, නැවැත්තුව ද එය එක් එක් මිනිසුන් තුල ඇති හොඳ නරක මත , මතුවටත් ඇතිවන තත්වය කි. මා කාලයක් සේවය කළ අනිත් කොන රෝහල් වලින් එනවිට ආපසු රැගෙන ආවේ මනුස්සකම ය.
සමස්ථ වෛද්‍ය ප්‍රජාවම එසේ නොවන බව දනිමි. හරියට උපේක්ෂා පෙර පෝස්ටුවක දී කලාකරුවන් ගැන නැගූ තර්කය වගේම, කළු සුදු චරිත නැත. ඇත්තේ අළුපාට චරිත ය.
*/