"සේලයින් එකක් දැම්මොත් හරියනවා ඩොක්ටර්.. ගිය පාරත් එහෙමයි කලේ"
දරුවා සමග හිඳගත් සැනින් මව පවසයි... ඇය කියන දේ ගැන වගක් නොකර... මුල සිට දරුවාගේ රෝග ඉතිහාසය ගැනීම දුෂ්කරය.. සේලයින් ගැනම කියවයි.
"මේ දරුවාට මීට කලින් තිබුනු රෝගාබාද මොනවද අම්මේ"
"මීට කලින් එක පාරක් උණ වමනේ ගියා.. සේලයින් දීලා හොඳ උනා.. සේලයින් එකක් දානවද ඩොක්ටර්..."
"ඇදුම උණ වලිප්පුව එහෙම ?"
"නෑ නෑ .. හැබැයි ඩොක්ටර් සේලයින් එකක් දීගත්තොත් හරි"
"සේලයින් වල තියෙන්නේ මොනවද කියලා දන්නව ද ? අම්මේ" මම බැරිම තැන අසමි.
"ම්.. නෑ" එවිට ඇය නිහඬ වේ.
"සෝඩියම් ක්ලෝරයිඩ්... ඒකියන්නේ අපි පාවිච්චි කරන ලුණු"
"විජලනය වුනොත් දරුවෙක්ගේ ඇඟෙන් වතුර ගොඩක් පිටවුනොත් වමනය හෝ බඩ එළිය මගින් එතකොට සේලයින් දාන්නම ඕනේ නැත්නම් ඒ දරුවාගේ ඇඟේ ලවණ සහ ජලය ප්‍රමාණය අඩුවෙලා ප්‍රශ්න ඇතිවෙන නිසා"
අම්මා කට ඇරගෙන බලාගෙන සිටී.
"නිකම් හෙම්බිරිස්සාව කැස්සට නම් හරියන එකක් නෙමේ අම්මේ"
සමහර අම්මලාට දරුවාට එන්නතක් විදින තුරු නින්ද යන්නේ නැත. ඇතැමුන් එන්නත් විදිනවාට විරුද්ධය.
අසාධ්‍යම තත්වයේ දරුවන් ගොඩ ගන්න වෙහෙසෙනකොට, අම්මා තාත්තා ඇතුලු නෑ සනුහරේම වාට්ටුවෙන් එළියට හෝ හදිසි ප්‍රතිකාර අංශයෙන් එළියට නෙරපන්නේ එහෙයිනි.
"how you speak to your children becomes their inner voice"
"දේවාලේ කපුවා කීවා ස්නායු රෝගයක් තියෙනවා කියලා, ඉස්සරහට මේ ළමයාට පිස්සු හැදෙයි කියලා.... ඔළුවේ ඇක්ස් රේ එකක්වත් අරන් බලන්න වෙයි නේද " දස වියැති දරුවෙක් ඉස්සර කරන් ආ අම්මා මගෙන් අසයි !
මේ එසේ ඇසූ පළමු අම්මා නොවන නිසා, මේ අය සමග කතා කිරීම දැන් පහසුය.
ඒ අම්මා කිසිම දිනක පාසැලකට ගොස් නොතිබිනි. සැමියා කුලී වැඩ කරයි. දරුවාගේ සම්පූර්ණ නම හෝ ඔවුන්ගේ වාසගම නොදනී. හේතුව වශයෙන් කියන්නේ... මහත්තයානේ නම් දාන්න ගියේ... යන්නයි.
තමන්ගේ නිවසේ ලිපිනයවත් නොදන්නා මවක් හමුවුනේ පළමුවතාවට ය. පැයක් පමණ කතා බස් කළත් මා සමග හෝ ඉන්පසුව විශේෂඥ වෛද්‍යතුමිය සමග හෝ එකදු වදනක් නොදොඩා කිසිම කලබලයක් නැතිව පුටුවේ වාඩිගෙන සිටියේය.
මෙවැනි කතා බොහෝමයි. දරුවා තරහෙන් සිටින බවත් මවට පවා ගසන බවත් පවසයි. ඒ කතා පසෙකලා මම ඔවුන්ගේ නිවෙස ගැන විමසා බැලුවෙමු. සිටින්නේ දේවාලයක් අසලයි... බීමත්ව රැයේ පැමිණෙන පියා මවට ගසන්නේ සණ්ඩු සරුවල් කරන්නේ දරුවන් ඉදිරිපිටය.
දරුවන්ට ඈ කතා කරන්නේද අපට එකඟ විය හැකි ආකාරයකින් නම් නොවේ. දරුවා ඉගෙනීමේ ප්‍රශ්න සහ පාසැලේ දරුණු ප්‍රචන්ඩ හැසිරීම නිසා පාසැල් කිහිපයක මාරුවෙන් මාරුවට අධ්‍යාපනය ලැබ දැන් මාස කීපයක සිට පාසැලක් නොමැතිව ගෙදර සිටී. කොතරම් ආදරයෙන් කතා කලත් දරුවා කටක් ඇරියේ නම් නැත.
"මෙයාගේ ඔළුවේ ඇක්ස්‍රේ අරන් බලනවද ඩොට්ටර් ?" අර මව යලිත් ඇවිටිලි කරයි.
අප කල්පනා කළේ... එක්ස් රේ වැනි විකිරණශීලී පරීක්ෂණයකට අර දරුවා භාජනය කර මේ මවගේ හිතේ මුල් බැසගත් අදහස ඉවත් කරනවා ද ? නැත හොත් එය අවශ්‍ය නැති බවත් දරුවාගේ මොළයේ අමාරුවක් නැති බවත් පැහැදිලි කරනවාද ?
මේ ලියන මොහොත වෙන විට ඒ ප්‍රශ්නය විසඳාගත්තත්, එවෙලේ අපිට තිබුනු අභියෝගය නම්, අපි ඒ මවගේ අදහස ගණනකට නොගෙන ගෙදර යැව්වොත්, ඇක්ස්‍රේ කියමින් තවත් රෝහලකට හෝ... ඔවුන්ගේ අභිප්‍රාය ඉටුවෙන තුරු පෞද්ගලික අංශයට හෝ යාවි යන්න ය.
රෝහල් පැමිණෙන මොවුන්ට බීමට යමක් (medications) දිය යුතුමය... දරුවන්ට මල්ටි විටමින් බෝතලයක් ලබා දුනිමු. ඉන් පසු යලිත් දිනෙක දරුවන් දෙදෙනා කැඳවාගෙන මව අප වෙත පැමිණියා. අධික කෝපය සහ කියන දෙයක් අහන්නේ නැතිකම ඒ දරුවන් හැදී වැඩුනු වටපිටාවෙන් උරුම වී ඇති බවක් වැටහුනි.
මව දරුවාගේ වැරදි සියල්ල අප වෙත කියන්නේ ඔහු ඉස්සරහම තියාගෙනය. කෙතරම් එපා කීවත් මේ අම්මලා නම් ඒවා අත් අරින්නේ නැත.
"අපෝ මෙයා නම් මෙහෙමයි, කිසි වැඩකට නෑ, පාඩම් කරන්නේ නෑ, වැඩිහිටියන්ට කට ගහනවා , එකට එක කියනවා" මේවගේ චෝදනා එමටයි.
දරුවෝ ඉස්සරහම මේවා අපිට, ඒ කියන්නේ පිටස්තර කෙනෙක්ට කීමෙන් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ඒක හානියක් කියලා මේ අම්මලා දන්නේ නැත.
කිහිපදෙනෙකුම වාට්ටුවේදි නම්... පසුව ගෙන්වා අවවාද කලත්... ක්ලිනික් වල මහා ජන ගංගාවත් එක්ක කොහොමද එහෙම කරන්නේ...
"ඔය අම්මා කීව සේරම දරුවන් ගේ වයසට කරන දේවල් නේ අම්මේ" යනුවෙන් සනසන්න ඒවගේම පසුව අවවාද කරන්න වගබලා ගන්න මම උත්සුක වෙන්නේ...අපි කුඩා කාලෙදි උනත් පිටස්තර කෙනෙක්ට අපේ වැරදි අම්මා කියද්දී අපි අකමැති වුන බව සිහිපත් කරමින්.
දේවාල කපුවන් කියන කරන දේවල් පසු පස යන මෙවැනි පිරිසක් අප වෙත එද්දී.. ඒවා නිසා දරුවන් අහිමි කරගන්නා දෙමාපියන්ද සිටිනවා.
මොළයේ පිළිකාවක් තිබුනු එවැනි පුතෙක් ඔපරේෂන් කරන්නට නොදී,,, අහවල් මාසේ පන්නලා ඔපරේෂන් කරොත්, දරුවා ජීවත් වෙනවා රාජ යෝගයක් තියෙනවා කියමින් අපාදුක් විඳි මව් පියා හා දරුවෙකුත් නිතර අප වාට්ටුවට ඇතුලත් වුනා මතකය. මේ දරුවාගේ කතා බහ ඇතුලු සියලුම ක්‍රියා කාරකම් නතර වී තිබිනි. නහයෙන් බටයක් දමා ආහාර දුන්නාය. නමුත් ඔහු ඒ කියන මස තෙක් ජීවත් නොවූ බව මට සිතේ... නිතරම අප වාට්ටුවටම පැමිණි ඔවුන් ඉන්පසු මේ වනතෙක්ම දකින්නට නොලැබුනු නිසා..)
සමහර දරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් නම් ඔවුන් බිය වැද්දීමට ක්‍රමයක් නැති තරම් ය, බොහෝ අසාධ්‍ය දරුවන් ද මව්පියන්ගේ උවමනා එපාකම් නිසා ගෙදර ගෙනියන්නට සැරසෙද්දි නම්, එහෙනම් පොළීසියට හරි ළමා ආරක්ෂන එකට හරි කියන්න වෙනවා යනුවෙන් අදහසක් දමන්නට බැරි එහෙම නීතියක් නැතැයි දැන ගන්නට ලැබුනු නිසාය.
මහණ යෝග
මට හමුවෙනවා බොහෝ අම්මලා...කුඩා අවුරුද්දක් යන්තම් පිරුණු දරුවන් හෝ දෙක තුන වයස් වල දරුවන් ගැන කියන්නේ "මස් මාළු කටේ තියන්නේ නෑ .. බිත්තර කන්නෙත් නෑ.. හරි පින්වන්ත දරුවෙක් " එහෙම කියලා "මහණ යෝගයකුත් තියෙනවා ඩොක්ටර් ". මේ සියල්ල නිතර ඇසෙන කතාය
"හරි අම්මේ, ඉතින් මෙයාට සසර තේරුම් ගත්ත කාලෙක මහණ වෙන්න දෙන්න. දැන් එයාට ඉස්කෝලේ ගිහින් ළමා කාලය ඒ ආකාරයෙන් ගෙවාගන්න ඉඩ දෙන්න. " හැකි පමණින් මා ඔවුන් දැනුවත් කළේ අපේ ඒ අවවාද වැඩක් නොවන බව දැනගෙනම ය.
ඔවුන්ගේ පවුල් පසුබිම ආර්ථික තත්වයන් සැලකිල්ලට ගත් කල මේ දරුවන් කුඩා කලම මහණ කරාවි යැයි අපටත් සිතෙනවා.
අප විශේෂඥ වෛද්‍යතුමිය පවා ඒ ගැන කණස්සල්ලට පත්වෙමින් කියන්නේ මේවාට විසඳුම් සෙවීම අපිට කෙතරම් අපහසු ද යන්නයි.
බහුතරයක් ළමයි බර අඩු.. ලෙඩ වැඩි.. පිරිස.
මේ අම්මලාගේ කන් කෙඳිරිය නම් දරුවෝ කන්නේ නෑ කියන එක.
දරුවන්ට කවන්නේ කොහොම ද ? කල් වේලා අරගෙන ලියා පැහැදිලි කරන්නම් ඉදිරි පෝස්ටුවක...
හද දවන සටහන්! "LIKE" කියන්න බැරි ඒ් නිසා ය...
ReplyDeleteඔව්.. මේවා ඛේදාන්ත... මෙවැනි දරුවන් සමාජයට උස් මහත් වෙන්නේ දරුණු පුද්ගලයන් ලෙසයි. අන්න ඒ දේට මා දුක් වෙනවා
Deleteළමයින්ට කලින් අම්මලාට ප්‍රතිකාර කරන්න වෙයි වගේ...
ReplyDeleteඑහෙමත් කරනවා... ඇතැම් විට.
Deleteතවමත්, කට්ටඩියා සහ වෛද්‍යවරයා අතර වෙනස නොදන්නා අම්මලාට, අම්මා කියනවද වෙන නමක් කියනවද කියලා හිතාගන්න බැහැ.
ReplyDeleteකොහොමත් එයාලා ටිකට් කපන් යනවා නූල් දාන්න, දෙහි කපන්න... බලි අරින්න
Deleteමේ අනුවේදනීය කතාව කියවද්දී මට හිතුනේ අපේ සමාජය මොනතරම් නොදියුනුද, අකාරුණිකද කියල. හොඳ සටහනක්
ReplyDeleteඔව් අයියේ තවමත් එසේමයි... සමාජයේ එක් ස්තරයක් ඉහළටම යද්දී තවත් පිරිසක් ටීවී වටේ එක් රොක් වෙලා පහළටම යනවා
Deleteසම්පූර්ණ ඇත්ත. සමහර අම්මලා දොස්තරවරුන්ට වෙදකම උගන්වන්න එනවා මමත් දැකලා තියෙනවා. නොදැනුවත්කමට සමාව දීල ඉවසීමෙන් වැඩ කරන්න වෙනවා, නේද දුවේ? ඒකනේ, සමාජය විවිධයි, විෂමයි කියන්නෙ.
ReplyDeleteඒක ඇත්ත අක්කන්ඩි...බහුතරය එහෙමයි
Deleteදෙමව්පියන් දැනුවත් කරන වැඩ ගමින් ගමට වෙන්න ඕන.. හැම ගමකම රජයේ නිලධාරීන් හතර පහක් හිටියත් මේ වෙනුවෙන් හරි වැඩපිළිවෙලක් නැහැනෙ...
ReplyDeleteමාධ්‍යවලට පුලුවන් අම්මලා දැනුවත් කරන වැඩසටහන් කරන්න... අර පිටරට මෙගා නාට්‍ය දාන වෙලාවෙ මේ වගේ දැනුවත් කිරීම් සහිත නාට්‍යවත් හදල පෙන්වනවනම්...
කළ යුතු වැඩ කප්පරක් තිබියදී අපි මේ කරමින් ඉන්නෙ මොනවද කියල තමයි හිතෙන්නෙ..
මම තව මොනා කරන්නද කියලත් හිතෙනවා...
Deleteමටත් එහෙම ම හිතුණා තරූ... ඔයාලා බෝධිනී ලා දිහා බලන කොට මට ලැජ්ජත් හිතෙනවා. අපි වයසට යනතුරුත් සමාජයට යුතුකම් ඉටු කළේ නැහැ නේද කියලා...
Deleteහරිම අමාරු වැඩක් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන එක...:(
ReplyDeleteපොඩ්ඩක් හරි වෙනස් කරන්න බලනවා !
Deleteකවදා හරි එකේ හොඳ ප්‍රතිපල හම්බ වෙයි.
Deleteසමහර වෙලාවට අම්මලාටත් අත්තම්මලා සහ වෙනත් වැඩිහිටියන්ගෙ බලපෑම නිසා ඔය වගේ දේවල් කරන්න වෙනවා. නූගත් දෙමව්පියන් වගේම සමහර උගත් (බුද්ධිමත් නැති) අම්මලත් දේවාල පස්සෙ යනවා දැකලා තියනවා...
ReplyDeletePatient education is easy but parent education is difficult
ReplyDelete