Wednesday, April 27, 2016

ඔහු ඔහුත් එක්ක යුද්ධෙක....

කලින් කතාවේ ඩොක්ටර් කෙනෙක් යැයි පැවසූ ත්‍රස්තක්‍රියා හා සම්බන්ධ පුද්ගලයා ගැන ලියූ පෝස්ටුව බලාපොරොත්තු වුනාටත් වැඩිය ප්‍රතිචාර ලැබුනු ඒවගේම හිතන්නට තව පැති බොහෝමයක් ඇති බවට මට ඒත්තු ගැන්වූ එකක් වුනා.
ඒ පෝස්ටුවේ මතුකළ කාරණා නම් පුද්ගලික ප්‍රශ්න නොවේ පොදුවේ සමාජයේ මුල් බැසගෙන ඇති කරුණු ය. බොහෝ සෞඛ්‍ය සේවකයින්ට සිදු වුනා ත්‍රස්තයින් යටතේ සේවය කරන්න. බලෙන් කැඳවාගත් අයත් බහුල ය. දුක් වුනේ මිනිසුන් සුවපත් කිරීමට උගත්කමක් ඇති එවැන්නවුන් අත් අඩංගුවේ සිටීම ගැන ය . ඒසා විශාල ඛේදාන්තය අවසානය දුක්ඛදායි නොවේනම් පුදුමයක් ! එනමුත් ඒතරම් කරදර දුක් මැද උනත් මා දුටුවේ ඔවුන් සිනහ නගන අන්දමය.

රටේ අනිත් කොනේ හදවත් වල "ලබ් ඩබ්" ශබ්දය මයි රටේ මේ කොනෙත් හදවත් වලින් ඇහෙන්නේ කියා වටහා ගත් දවසට, මම කියන්නේ , අපි හැමෝම වටහා ගත් දවසට තමයි අනෙකාත් තමන් ලෙස හැඟෙන්න පටන් ගන්නේ.

එහෙම උනානම් මේ අපි දකින වෛරී අදහස් හෝ කියුම් නැති වේවි. මේ තරමින් හරි මේ දේවල් ලියන්න උනන්දුව ලැබුනේ අපි ඒ ගත කරමින් සිටි කාලය ආයේ කිසිවෙකුට මුණ ගැසෙන්නේ නැති නිසා මිසක, ලොකු කමකට පුරාජේරුවකට නොවන බව වටහා ගන්නා තුරු මේ සටහන් ඔබට සමස්ථ වෛද්‍ය ප්‍රජාව ගැනම ඇති වෛරයට භාජනය වන බව මා නොදන්නවා නොවේ.
කොළඹ සැප පහසුව සිටීම වෙනුවට ඈත දුෂ්කර සේවයෙහි යෙදෙන වෛද්‍යවරුන් අතරේ බ්ලොග් ලියන අය ලෙස අනිත්කොන ලියන මා ද, ලෝකයේ කොනක ලියන සිදූ ද  සිටී.

ගිය වර කතාව නවත්තපු තැනින් එහාට ලියන බවට වූ පොරොන්දුව නිසාම මේ ලිපියට කාලය වැය කළෙමි. මා මුලින්ම පත්වීම ලැබූයේ කායික රෝග වාට්ටුවේ වුනත් දමිළ බස කතා කරන්නට පුළුවන් කමක් ඇතිවූ නිසා මට මනෝ වෛද්‍ය ඒකකයෙහි සේවය කරන්නට ලැබෙනවා. මා එම ඒකකයෙන් යන එක ගැන විශේෂඥ වෛද්‍යවරිය අකමැති වුනත්, මනෝවෛද්‍ය අංශයේ අත්දැකීම් ලැබෙන නිසා ඒක මගේ අධ්‍යාපනයට වැදගත් නිසා , ඔවැනි කාරණා සලකා බලා ඇය මට අවසරය ලබා දෙනවා.

ඔබට මතක ඇති, මෙන්න මෙයා පැති මාරු කරලා ..ඔබ තමයි අන්තිම සටනේදී මගේ උරහිසට බෙහෙත් දැම්මේ කියන ගීතා වගේ ත්‍රස්ත සොල්දාදුවන්ගේ ඉඳන්, ආයුධ අතට දී බලෙන් යුද්ධයට ඇද දැමූ ළමා සොල්දාදුවන්, වෛද්‍ය පීඨයට තේරුණත් බලෙන් ඇදගෙන සටනට රැගෙන ගිය ශිෂ්‍යයින්, සිංහල කතා කරන හැමෝටම ගහපු, මම විතරක් බේරුණු ත්‍රස්තවාදී නෑදෑකම් තිබූ පුද්ගලයා වගේම මට දැන් මතකයට එන්නේ නැති සියලු කතා චරිත හමුවෙන්නේ ඒ කාලයේදී ය.

"විස්ස විද්‍යාලෙදි ගෙම්බෝ මරලා සත්තු කපලා පව් පුරෝගෙන ඉන්නේ ඕගොල්ලෝ " කියා මූණටම බැනපු,

"අපිව මේ කූඩු කරගෙන ඉන්නේ අපිට මොනවා කරන්නද ඈ ?" කියා අසමින්, තමන් ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ වැනි චරිත වලින් හඳුන්වපු ස්ත්‍රිය මට මුණගැසෙන්නේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටුව තුලදී.

ඒ කාලේ එහි පොකුණක් සාදා ඒකේ අලුත්වැඩියා පිරිසිඳු කිරීම් කරන්නටත් අපි වෛද්‍යවරුම එකතු වුන කාලේ ඇය වාට්ටුවේ දැල් අතරින් අප දෙස බලාගෙන ඔවැනි දේ කියවනවා අපෙන් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන්.
"අනේ පව් " කියා හිතෙනවා ඇරෙන්න ඔවුන් ගැන ද්වේශයක් කේන්තියක් හිතට ඇතිවෙන්නේ නැත්තේ ඔවුන් මානසික රෝගාබාද වලින් පීඩා විඳින්නන් ලෙස හඳුනාගන්න අපට පුළුවන් වුන නිසා. ඒවගේ පිරිස් අපට මේ සමාජය තුල කොතෙක් නම් මුණ ගැසෙනවා ද ? ඉන්පසු ටික කලකදී අප සමග යහළුවෙන ඔවුන්ගේ කතා අපට කියන්නේ ඒ විශ්වාසය නිසාම යි.

කලින් පෝස්ටුවේ මට මුණ ගැසුනු තැනැත්තා යලිත් හමු වෙන්නේ මනෝ වෛද්‍ය ඒකකය තුල... ඒ මගේ මාරුවත් සමග.
නමුත් ඔහු මා දන්නා බවක් පෙන්නුවේ නම් නෑ.

"මම හරි දුකෙන් ඉන්නේ... කරදරයි ජීවිතේ. " ඔහු ඉඳගත් සැනින් මා හට එහෙම කීවා. මුලදී ඔහුගෙන් ඇසුනේ චෝදනා අඳෝනා සහ කෝපාවිශ්ඨ වදන් පමණයි.
හමුදා සමග හෝ ආණ්ඩුව සමග ඇති කෝපය පිට කලේ අපට බනිමින්. විශේෂයෙන්ම සිංහල ජාතිකයෙක් වුන මට බනිමින්.

ටික කලක් ඔහොම ගෙවෙන විට ඔහු අප සම්බන්දයෙන් කේන්ති ගන්නා එක අඩුවුන බවක් දුටුවා.
 දැන් ඔහු අර නිතර එනවිට අත පය වල තිබුනු විලංගු දකින්න තිබුනේ නෑ.
රැවුල කපා, පිරිසිඳු සරමක් කමිසයක් හැඳි ඔහුගේ මුහුණේ දකින්න ලැබුනේ පැහැපත් බවක්.

"දැන් ඔබේ පෙනුම කොයි තරම් හොඳ ද ! " මම ඔහුට පැවසු විට ඔහුගේ මුහුණේ දකින්න ලැබුනේ විස්මයක්.

"දැන් ඔබට කොහොම ද ?"

"පෙර කාලේ තරම් හොඳ නෑ, දැන් අපේ පාලනය නෙමෙයිනේ... ඒත් මම හොඳින් ඉන්නවා. ඒත් ඒ කාලේ හොඳයි දැනට වඩා"

"ඇයි එහෙම කියන්නේ ?" මම විමසුවෙමි.

"නෑ ඉතින් ඒ කාලේ අපිනේ පාලනය කලේ මේ පැති. දැන් අපි ඉන්නේ අත් අඩංගුවේ නේ. හැබැයි මම නිදහස් වෙනවා තව කාලෙකින්. දන්නවද මගේ වයිෆ් ළමයා නැතිව ඉන්න එක තමයි දුක"

ඉන්පසු ඇතිවුනු කතා බහේදී ඔහු මට ඔහුගේ පවුල ගැන විස්තර කරමින් කියන්නේ ඔවුන් බටහිර රටකට ගොස් නෑයින් සමග සිටිය බවත් දැන් ආයෙත් ඔවුන්ගේ නිවස්නය බලා පැමිණි බවත්, ඔහු බලන්නට එන යන බවත් ය.

අපේ මුල් හමුවීමට වඩා ඔහු මා සමග මිත්‍රශීලී බවක් පෙන්වයි. ඒ මේ ඒකකය තුල පවතින වෙනස්කම් දැයි මට සිතේ. අප රෝගීන් හමුවෙන්නේ වෙනම කාමරයක් තුල දී ය. ඒ කතාබහට අපි කිහිප දෙනෙක් සහාභාගි වෙමු. වෛද්‍යවරු ,(medical officers) හෙද හෙදි, නිළධාරියෙකු (nursing officers) හෝ නිළධාරිනියක , උපදේශකයින් (counselors) සහ මානසික ඒකකයට අනුබද්ධ සමාජ සේවකයින් ( Psyco-social workers )පැමිණේ. මේ සියල්ලෝම රෝගීන් ගැන බොහෝ දුරට දන්නා ගෙදර අය තරම්ම හිතවත් පිරිසකි. ඔවුන්ගේ නිවෙස් වලට ආගිය පිරිස කි. එනිසා කතා බහ පහසු ය.

හාත් පස මලින් පිරී ගිය තුරු ගොමු ය. කොරිඩෝ වල ඉඳගැනීමට බංකු ඇත. වාට්ටුව මැද වතුර මල් , මත්ස්‍යයින් මලින් පිරි පොකුණකි, කුරුල්ලන්ගේ කිචිබිචිය අඩු නැත. මේ සියල්ල මෙලෙස තනවා ඇත්තේ මේ ඒකකයේ සිටින මානව හිතවාදී විශේෂඥ වෛද්‍යවරයාගේ අනුදැනුමින් ය. ඉතින් වාට්ටුවක සිටිනවා කියා සිතෙන්නේ නැති තරම් ය. ඇතුල් වෙන අය යන්නට අකමැතිය. ඒ ඔවුන්ගේ නිවෙස් වල පරිසරය මීට බොහෝ සෙයින් වෙනස් කලබලකාරී ඝෝෂා සහිත තැන් නිසා වෙන්නට පුළුවන.
මාස කිහිපයක දී මට හමුවූ ඔහුත් දැන් මා ඉදිරියේ සිටින ඔහුත් බොහෝ සෙයින් වෙනස් ය. ඔහුගේ වෙනස් වීම සැලකිය යුතු තරමේ එකකි.

"මට ඉස්සර නින්ද ගියේ නෑ. මම තරහෙන් හිටියේ. මට ඒකාලේ තිබුනු තත්වය මට තිබුනු සැප පහසුකම් ගැන විතරයි හිතුනේ. ඒනිසා මට තරහ ගිහින් හිටියේ." මේ සැකවින් ඔහු කියූ කරුණු කිහිපයකි.

"ඉන්පසු මට තේරුනා අපිට දැන් උනා වගේ ඉස්සර අපිත් මිනිස්සුන්ට කරානේ කියලා, මගේ අතින් මිනිසුන් කොයි තරම් මිය යන්න ඇති ද ? මම දන්නේ නෑ ඩොක් . මම අත් අඩංගුවේ ඉන්නවා වගේ ඉස්සර මිනිස්සු අපිත් එහෙම හිර කලානේ, දැන් මට දුක ඒ කාලේ කණපිට පෙරළුණු නිසා"

බොහෝ රෝගීන් එලෙස ඔවුන්ගේ පීඩනය ගැන තමන් සමගම සම්මුතියකට එයි. එහෙයින් ඔවුන්ගේ මානසික පීඩනය හෝ ආතතිය සැලකිය යුතු තරමින් අඩු වේ. පවතින තත්වයන් සමග සංහිඳියාවකට ඒමට ඔවුන් ගේ සිත් වලට හැකිවීම එක අතකට මනෝ උපදේශකයන්ගෙන් ද පැසසිය යුතු අන්දමේ සේවාවක් සිදුවේ. කිහිප ගමනක් ජීවිතය තොර කරගන්නට සිදූ ගීතා (අනවර්ථ නමකි) වෙන්කටේෂ් (අනවර්ථ නමකි ) වැනි චරිත ඔබට මගේ කතා තුලින්, පොතෙන් හමුවෙන්නට ඇති. ඔවුන් සියල්ලෝම තම මනෝ ව්‍යාදි සමග පොරබදමින් ජීවිතය ගොඩ නගන්නේ ඒ උපදේශනයන්ගේ උදව්වෙනි.

ඔහු මෙලෙස තමාගේ පවතින තත්වය සමග සාමකාමී වීම එක අතකට ඔහුගේ අනෙක් ප්‍රශ්නවලට ද විසඳුමකි යැයි මට සිතේ. පුනුරුත්ථාපනය අවසානයේ ඔවුන් සමාජගත විය යුතු වේ. නැවත ඔහු වෙත පැමිණි දරුවා සහ බිරිය සමග ජීවිතය ගෙවන්නට , රැකියාවක් කරන්නට ඔහුට සිදු වේ.

යුද්ධයක සැබෑ ජයග්‍රාහකයෝ හෝ පරාජිතයෝ නැත. යැයි කියමනක් තිබේ. මා දකින්නේ සිදුවූ ඛේදාන්ත වලට ජයග්‍රාහී ලෙස මුහුණ දුන්, ඒවාට සුබදායක ලෙස මුහුණ දෙන පිරිස්ම නොවේ. ඒත් ඔවුන්ගේ මේ මුහුණ දීම්, ගොඩ නැංවීම් සහ අවබෝධකර ගැනීම් ගැන මට ඇත්තේ මහත් ගෞරවය කි. ඒ , මට මෙහෙම උනානම් මේ තරම් දරා ගනීවි දැයි ?  අපි අපෙන්ම ප්‍රශ්න කර සිතා බැලිය යුතු කාරනයක් වන නිසා ය.

පසුගිය කතාවේ අවසානයේ බොහෝ අය ප්‍රශ්න කෙරුවාක් මෙන් ඔහු සැබැවින්ම වෛද්‍යවරයෙක් ද ?
එය එසේ නොවන බව දැනගත්තත් ඇයි එලෙස බොරුවක් කීවේ යන ඒ ප්‍රශ්නය මා කිසිම විටක ඔහුගෙන් ප්‍රශ්න කළේ නැත. ඔහු එලෙස මට කියන්නට හේතු වූ කාරනා දහසක් ඔහුගේ හිතේ තියෙන්නට ඇති. එය වරදක් නොවේ.

ඔහු කවරෙක් වුනත් මට ඔහු අනෙකුන් හා සමාන ය. ඔහු මට කවරාකාරයෙන් පෙනී සිටිය ද මගේ සේවය ලබන්නට එය කිසිවිටක ගැටළුවක් නොවේ.

අපේ ජාතිය විය යුත්තේ මනුස්ස ජාතිය යි. ආගම , කරුණාව සහ උපේක්ෂාව යි. වෛද්‍යවරයෙකු දිවුරුම් දෙන ප්‍රතිඥාවේ ද අඩංගු මෙවැනි කරුණු කාරනා ය.

ඩොක්ටර් යනු ගෞරව පදයක් නොවේ. වෛද්‍ය වෘත්තිකයන් හඳුන්වන පදය කි. ඔවුන් ට දොස්තර ,  "අම්මා" හෝ "අයියා" වෙන්නේ ඒ වෛද්‍යවරයා නම් කෙනා තුල ඇති මනුස්සකම නිසා ය. අපි එනකොට නැගිටින්න එපා, වඳින්න එපා, නෝනා කියන්න එපා, අම්මා කියන්න එපා යැයි මම, ඔබ කොතෙක් කීව ද, නැවැත්තුව ද එය එක් එක් මිනිසුන් තුල ඇති හොඳ නරක මත , මතුවටත් ඇතිවන තත්වය කි. මා කාලයක් සේවය කළ අනිත් කොන රෝහල් වලින් එනවිට ආපසු රැගෙන ආවේ මනුස්සකම ය.

සමස්ථ වෛද්‍ය ප්‍රජාවම එසේ නොවන බව දනිමි.  හරියට උපේක්ෂා පෙර පෝස්ටුවක දී කලාකරුවන් ගැන නැගූ තර්කය වගේම, කළු සුදු චරිත නැත. ඇත්තේ අළුපාට චරිත ය.
*/

36 comments:

  1. ඔබේ පොත ගැන (නෙලුම්) අජිත් ලියා තිබූ ලිපියෙන් ඔබ ගැන අදහසක් ලැබුනා.තම වියදමින් ඉගෙනුම ලබා රටට සහ රෝගීනට සේවයක් කරන ඔබ සහ ට්‍රාන්සිල්වේනියා ලියන රුවන් වැනි අය ,නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා රෝගීන්ව ඇපයට ගන්නා අයට හොඳ ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය තුල බැනුම් අසන පිරිස සෞඛ්‍ය සේවකයන්ම තමයි ඉනුත් වැඩිපුර දොස්තරලා. ඒ අතිශය මානුෂික රැකියාවක් කරන නිසා... ඒක එහෙම නොකර බේරගනන් හෝ අයිතිවාසිකම් දිනාගන්න ක්‍රමයක් නැති කරලා තියෙන්නෙත් දේශපාලනය නිසා... ඉස්සරහට පනතක් එනවලු ස්ට්‍රයික් කරන්න බැරි !

      Delete
  2. යුද මානසිකත්වය සමගම ජීවත් වූ ජනතාව සමග කල ගනු දෙනුවෙන් ඔබ බොහෝ පරිණත ආකාරයක ජීවිතය දෙස බලන බව මේ ලියමනෙන් පැහැදිලිවම පෙනේ. කොහෝම වුනත් හමෝම මනුස්සයෝ ලෙසට හිතන්න හැමෝම පුරුදු වෙනතුරු සමාජය නොහොම අමාරු තැනක් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි... අත්දැකීම් අපව පරිණත කරනවා... පොත පතෙන් හෝ අවට සමාජයෙන් උකහා ගත් දේ ප්‍රායෝගිකවීමෙන්ම තමා වඩා ඔප මට්ටම් වුනේ... එහෙම තේරෙන්න නම් මිනිස්සුගේ දුක දැනෙන්න පුළුවන් රස්සාවක යෙදෙන්න ඕනේ

      Delete

  3. //අපේ ජාතිය විය යුත්තේ මනුස්ස ජාතිය යි. ආගම , කරුණාව සහ උපේක්ෂාව යි.//
    ඔබ ඔබ දරණ වෘත්තිය දැරීමට ඉතා සුදුස්සෙක්. ඔබට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. තමන් සමගම සාමයකට හෝ harmony එකකට ආවම ඕක ඉබේම හිතෙනවා.

      Delete
  4. "අනිත් කොන" පොත කියවන්න ආසවක් ඇති වුනා අජිත් අයියාගේ පොස්ට් එක කියවීමෙන් අනතුරුව.

    අපි හැමෝගෙම ජාතිය මනුස්සකම වෙලා ආගම කරුණාවත් උපේක්ෂාවත් කර ගන්න පුළුවන් නම් මේ ලෝකේ ගොඩක් ලස්සන වේවි.

    ReplyDelete
    Replies
    1. කියවන්න අදහසුත් ලියන්න මල්ලි ! වෙනසක් කළ යුතුයි. මම මා වටේ ඉන්නා අය වෙනස් කරමින් ඉන්නවා ඒ වඩා හොඳ මිනිසුන් වීම සඳහා. අන්තර්ජාලය තුලත් එසේම යි. මා වටේ ඉන්නා හොඳ මිනිසුන්ගේ හොඳ මා උකහා ගන්නවා. නරක දේවල් බැහැර කරන්නේ කොහොමද කියා ඉගෙන ගන්නවා.

      Delete
  5. අන්තීම කෑල්ලට මම හරි කැමතියි... ඇත්තටම සුදු චරිත නෑ.... ඉන්නේ කළු හා අළු...

    ReplyDelete
    Replies
    1. සුදු චරිතවත් කලු චරිතවත් නැහැ කියලා කිව්වානං තවත් හරි නේද????? ඉන්නේ අළු විතරයි. ඒ අළුවල විවිධ මට්ටම් තියෙනවා.

      Delete
    2. නැහැ මාතලන් . අපි කැමති හා අකමැති දේ කරන අය පමණයි. හොඳ නරත මනින්නෙත් ඊට සාපේකෂවයි මට හිතෙන්නේ.

      Delete
    3. හැමෝගෙම හොඳ නරක තියෙනවා. ඉතා හොඳ මිනිස්සුත් ඉන්නවා. ඒ අය නිසා අපිටත් පුළුවන් අපේම නරක නැති කරගන්න . සුදු චරිත තියෙනවා. හමුවෙනවා අඩුයි

      Delete
  6. කියවලා ගියාට අදයි කොමෙන්ට් කරන්න ආවේ..
    /////රටේ අනිත් කොනේ හදවත් වල "ලබ් ඩබ්" ශබ්දය මයි රටේ මේ කොනෙත් හදවත් වලින් ඇහෙන්නේ කියා වටහා ගත් දවසට, මම කියන්නේ , අපි හැමෝම වටහා ගත් දවසට තමයි අනෙකාත් තමන් ලෙස හැඟෙන්න පටන් ගන්නේ.////
    ඒක සහතික ඇත්ත.. හැම හදවතේම රාවය එකයි. හැම කෙනාගෙම රුධිරය රතුපාටයි.. ඒත් මිනිස්සුන්ට අමතකත් ඒ දෙමයි..
    ඔබ ලබා අති අද්දැකීම් අපූරුයි.. ඒ වගේම මේ වගේ මිනිස්සුන්ට සේවය කරන්න ලැබුණ එක ගොඩාක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගී... ඒ අත්දැකීම් නම් මිල කළ නොහැකියි !

      Delete
  7. //අපේ ජාතිය විය යුත්තේ මනුස්ස ජාතිය යි. ආගම , කරුණාව සහ උපේක්ෂාව යි. වෛද්‍යවරයෙකු දිවුරුම් දෙන ප්‍රතිඥාවේ ද අඩංගු මෙවැනි කරුණු කාරනා ය.//
    එය නිතර සිහි කිරීම ගැන ඔබට මගේ ප්‍රනාමය! රටේ සෑම වෛද්‍ය වරයෙකුම මෙසේ සිතුවානම්?

    ReplyDelete
    Replies
    1. හැමෝම එහෙම හිතනවා කීප දෙනෙක් ඇරුණු කොට. මම සේවය කරන තැන් වල සිටි විශේෂඥ වෛද්‍ය වරුන් පවා එසේ සිතූ අය. ඔවුන් හිතුවේ මිනිසුන් ගැන විතරයි !

      Delete
  8. නළාවෙන් විතරක් නොවෙයි හදවතින් හදගැස්ම මැනිය හැකි ඔබ වැනි වෛද්යවරුන් තව බොහෝ රටට අවැසි කාලයක් මේ...

    ReplyDelete
    Replies
    1. එහෙම වෛද්‍යවරු බිහි කරන්න තව බොහෝ දේ සිදු කළ යුතුයි. විශ්ව විද්‍යාල වල සාරධර්ම, දර්ශන විද්‍යාව , සමාජ ආචාර ධර්ම කියා (මා ඉගෙන ගත් රටේ ) අපට හැම අවුරුද්දේම විෂයානුබද්ධිත ප්‍රායෝගික සැසිවාර තිබ්බා. අපිට වෛද්‍යවරු ලෙස රඟපාන්න වුනා රෝගීන් ලෙස අපේ මහාචාර්‍යවරු විවිධාකාරයෙන් අප හා කතා බස් කලා, බැන වැදීම් තර්ජන මෙන්ම කෑ කෝ ගැසීම් කලබල කිරීම් මේ සියල්ල ඔවුන් කලා... අපේ හැසිරීම සහ ආකල්ප බැලුවා. ඒවායේ අඩු පාඩු පෙන්වා දුන්නා. එහෙම පුහුණුවක් වෛද්‍ය ශිෂ්‍ය අවධියේ සිට තිබිය යුතුයි !

      Delete
  9. ප්‍රථිරූපය වෙනස් කල පෝස්ටුව.....//රටේ අනිත් කොනේ හදවත් වල "ලබ් ඩබ්" ශබ්දය මයි රටේ මේ කොනෙත් හදවත් වලින් ඇහෙන්නේ කියා වටහා ගත් දවසට, මම කියන්නේ , අපි හැමෝම වටහා ගත් දවසට තමයි අනෙකාත් තමන් ලෙස හැඟෙන්න පටන් ගන්නේ//නියම වෛද්‍යවරිය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.... මේ මා සේවය කල රෝහල් වල බහුතරයක් මේ වගේ... මානුෂීය වෛද්‍යවරු

      Delete
  10. මේ ඉන්නෙත් ඔබ වගේම ලියන ඩොක්ටර් කෙනෙක් යම් හේතුවකට ඔහු ලියන එක නැවතුණා
    සම්බන්ධ කරගන්න විදියක් නෑ විමුක්ති http://vimukthidehigolle.blogspot.com මාස තුනකින් අප්ඩේට් වෙලා නෑ

    මිනිස්සු සුදු කළු කියල පාට කරන්නෙත් මිනස්සුමයි අළුපාටයි කියන්නෙත් මිනිස්සුමයි ඇත්තම එක්කෙනෙක් තව කෙනෙක්ට සාපේක්ෂයි නේද
    එක් කුකයක එක්කෙනෙක් විතරක් හිටිය නං ඒ ඒ අය සාපේක්සව සසදන්න නොතිබ්බ වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්තටම සාපේක්ෂ දෙයක් .... මම අකමැතියි මේ බෙදීම් වලට

      Delete
  11. බෝධිනී
    මගේ අවුලක්ද නැත්තම් , මගේම අවුලක්ද මන්ද. මට ඒ මනුස්සයාගේ දෙබස් කියෝනකොට ජේද ගණන් ලියන්න දේවල් ඔලුවට එනවා. බලන්නකෝ ඔවුන්ගේ හිතේ තියෙන දේවල්, එකම වගේ පරිසර වලින් ආවය කියල හිතුවට අපි කොතරම්ම එකිනෙකාට වෙනස්ද?

    ඔහුගේ වෛද්‍ය බව හෝ එසේ නොවන බව නෙවෙයි වැදගත්කම වෙන්නේ. ඔහු එලෙස කියන්නේ ඇයිද යන්නයි. ඒ සංජානනය ඔහුට ලැබුනේ කොහෙන්ද?

    ඔවුන්ව බාහිරින් හඳුනාගෙන හෝ ප්‍රතිකාර වලට (හෝ) යොමු උනා. නමුත් ප්‍රතිකාර අවශ්‍ය යුධ මානසික බහුතරය නිදැල්ලේ. වඩාම භයානක වන්නේ ඔවුන් තනතුරු දරන්නන් වීමයි. නමුත් වරද ඇතිවන්නේ හෝ නිවැරදි කරගත හි වන්නේ හෝ ඔවුන් තුලින් නෙවෙයි. ඉම මට්ටමේ ඉන්න අප තුලින්.

    මම මෙහෙම කියන්නේ මගේ පුද්ගලික අත්දැකීමක් නිසා. වෙලාවක ලියන්නම් ඒ ගැන. ඔබ වගේ ලෙඩ්ඩු බැලුවේ නැහැ. නමුත් ඒ ලැබුණු අත්දැකීම මම අදටත් සලකනවා

    ReplyDelete
    Replies
    1. අනේ ලියන්න උපේක්ෂා ඒ ඔබේ අවුලක් නෙමේ... මටත් මේවා ලියද්දී බොහෝ දේ ඔහේ ලියවෙනවා ඒත් ඉතින් කතාවට අසාධාරණයක් නිසා මගේ මතය හැකි තරම් අඩුවෙන් ලියන්නේ... කතාවේ දෙබස් බොහෝ දෑ කියනවා... අර ඉන්දු සහ ෆේස් බුක් එකේ ඉන්දු කියපුවා වගේ... මේ අය එක්ක කතා කරලා මගේ ජීවිතේට එකතු වෙන දේත් විශාලයි. අපි හිතනවාට වඩා අවුරුදු 30 ක කාලයක් බොහොම දරුණුවට ඔඩු දුවපු ප්‍රශ්නයක් මේක. අපිට වැඩ කරන්න ලැබුනේ ඉතා කුඩා වපසරියක. සතියක් පාසා , හෝ මාසික හමු තමා තිබුනේ... එහෙමත් නැත්නම් අපිම ගියොත් මිසක කඳවුරු වලට... පොතේ ඒ විස්තර බොහෝමයක් ලීවා .

      Delete
  12. ඇත්ත.............. මිනිස්සු කියන්නේ ම මහ අමුතු ජාතියක්. මිනිසුන් ගැන ඉගෙන ගැනීම තමා ජීවත් වීම කියන්නෙත්..... ඔබේ රචනා ගැන හැමදාම වගේ සතුටක් දැනෙනවා.

    අජිත් අයියාගේ බ්ලොගයේ ගිය සාකච්ඡාව සහ කමෙන්ටු සාකච්ඡාව කියෙව්වා. අගෙයි කියලා තමා කියන්න තියෙන්නේ.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...අගය කිරීම වටිනවා !

      Delete
  13. ලංකාවෙ දොස්තරල ගැන මිනිස්සුන්ට තරහක් එන්න ලොකු හේතුවක් වෙනවා දොස්තරගෙ සන්නිවේදන හැකියාව.ගොඩක් අයට තමුන් ඉස්සරහ ඉන්නෙ ලෙඩෙක්,අර්ධ වශයෙන් බිඳීගිය පෞර්ශයක් කියන එක මතක නෑ.ලෙඩෙකුට තොරතුරක් ලබා දෙන්නෙත් උණු ඇසිඩ් වගේ... මේ ගැටළුවට විසඳුමක් විදිහට මේ වගේ බ්ලොග් වයිද්‍ය සිසුන්ට පරිශීලනය කරන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක සහ පොත ගැන කතිකාවක් ඇතිවුනා පුවත්පත් මණ්ඩලේදී 2014 ඔක්තෝබර්... එහිදී මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍ර , කතුවර දයා දිසානායක යන අය පැවසුවා මේ පොත අලුත් වෛද්‍යවරුන්ගේ අත්පොත ලෙස භාවිතා කළ යුතුයි කියලා.... ඇත්තටම එහෙම වෙනවානම් හොඳයි. මිනිසුන් සමග ඉතාම කටුක සහ ගැඹුරු ගනුදෙනුවක යෙදෙන්න අපිට සිදුවෙනවා මේ ක්ෂේත්‍රයේදී.. මේ පොත තවත් පරිශීලනය වෙනවානම් සහ තවත් විචාරයට ලක්වෙනවානම් කැමතියි...

      Delete
  14. ////ව්‍යාජ මිනිස්සුන්ට නඩත්තු කිරීමට ප්‍රතිරූපයක් ඇත. අව්‍යාජ මිනිසුන්ට එසේ නොමැත./////////

    මේ කියමනට මම හරි කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ! ඔය ප්‍රතිරූප වැඩක් වෙන්නේ නෑනේ මිනිසුන්ගේ හිත් වල රැඳෙන්නේ අව්‍යාජ මිනිස්සු !

      Delete
  15. මනුස්සකම අමතක වෙච්ච මිනිස්සුන්ට මනුස්ස කම මතක් කරලා දෙන්න පුළුවන් පෝස්ට් එකක්!

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තවත් ලියන්නම් !

      Delete
  16. අද මං අනිත් කොන පොත ගත්තෙ. :) ඒක කියවලා අදහස් කියන්න බලාපොරොත්තු වෙනවා..

    පේෂන්ට් කෙනෙක් කියන්නෙත් මනුස්සයෙක් කියල තේරුම් ගන්න වෛද්‍යවරු ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසා ඔබ වැනි වෛද්‍යවරු ඉතාමත් වටිනවා.. :)

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොමලා බලනකොට පේෂන්ට්ලා තමා නංගි කුමක් හෝ රෝගයකින් පීඩා විඳින

      Delete
  17. අපේ ජාතිය විය යුත්තේ මනුස්ස ජාතිය යි. ආගම , කරුණාව සහ උපේක්ෂාව යි. +++++++++++++++++++++++

    ReplyDelete
  18. මම හිතන්නේ මේ වෙනස් කිරීම පටන් ගන්න ඕනේ අපි ඉපදුනු දා ඉදලා , හැම කෙනෙක්ම වෙනමම කෙනෙක් විදිහට බලලා ඒ කෙනාට ලැබෙන්න ඕන නියම තැන කිසිම බලපැමකට යටත් නොවී දෙන්න නම් අපි අවට ඉන්න හැමකෙනෙක්ම ගැනම එක හා සමාන විදිහට දකින්න , ඉවසන්න, අගය කරන්න, තෙරුන් ගන්න , පිලි ගන්න පුරුදු කරන මනසක් හැදෙන්න ඕන. එතැනදී මිනිස්සු ගැන විතරක් නෙමේ, සත්තු, ගහ කොළ, අවට පරිසරය , ඉර , හද ඇතුළු සොබාදහමත් එක්ක තමන්ගේ අතුලාන්තයෙන්ම බැදෙන්න , රැකගන්න පුරුදු වෙන්න ඕනේ. කිසිම දෙයක් කිසිම බෙදලා වෙන් කරන්න නෙමේ, තියන විදිහ යථාරිතවදිව දකින්න මනස හුරුවිය යුතුයි. කෙනෙක්ට ඕන විදිහට දෙයක් වෙනස් කරන්න යාමෙන් වෙන ගැටළු එහෙම උනාම අවම කර ගන්න පුළුවන් , ඒ වගේම හැගීම් වල තාවකාලික බව තේරෙන කෙනෙක් වචන පිට කරන්න කලින් හිතනවා නම් මොන තරන් හිත රිදීම අඩු කර ගන්න පුළුවන් ද ? මම අනිත් කොන කියවන්නේ සැහෙන කල් ඉදලා, කරන සේවය ගැන නම් කියන්න වචන නැහැ. ඔබ කියල තියනවා වගේම ඉගෙන ගන්න අවධියේ ප්‍රායෝගික වෙනසක් විය යුතු බොහෝ තැන් ලංකාවේ තියනවා.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !