Sunday, April 3, 2016

කුඹුරක් නොදුටුව අපේ ළමයි !

ළමා රෝග වාට්ටුවේ අවුරුදු 3ක් පමණ සේවය කරන මට දුවා දරුවන්ගේ ලෝකය විනාශ වී ඇති අන්දම ගැන දුකක් සහ මේ ඛේදවාචකය පිළිබඳ ලොකු බියක් ඇති වී තිබෙනවා. එයට හේතුව මේ ළමා පරපුර මතු දිනක මේ රටේ පුරවැසියන් වී රටේ අනාගතය බාරගන්නා නිසාය.

මේ ළඟදී මට අපූරු පොත් දොරට වැඩුමකට සහභාගි වෙන්නට ලැබුනා. ඒ වැඩිහිටියන්ට සහ පොඩි හිටියන්ට යන දෙපිරිසටම ලියූ පොත් දෙකක් ජනගත කිරීමක්... ළමා සාහිත්‍ය උදෙසා පොත් ලියවෙනවා අඩු මෙවැනි කාලෙක, පරිවර්ථන පොත් සඳහා දරුවෝ වඩා කැමැත්තක් දක්වන එවැනි පොත් පත් වැඩි මෙවැනි කාලෙක, මනෝරි ලියනවඩුගේ සොයුරියගේ “නෙල්ලි කැලේ බංඩියා” කෘතිය ළමා පරපුර වෙත පිදෙන වටිනා ත්‍යාගයක්. අපේ රටේ පුරාණ ගති සිරිත්, ගම්බද පරිසරය , ගැමි හුරුව මනා ලෙස මේ පොතට කැටි කරන්නට කතුවරිය සමත් වී ඇත. මේ සඳහා පොත කියවූ මගෙන් ඒ ගැන අදහසක් විමසා සිටි මනෝරි අක්කාට.. මා ලියා දුන් ඒ සටහන පොතේ අන්තිම පිටුවේ ඇතුලත් කර ඇති බව ත් දුටුවා. මනෝරි අක්කා තවත් ළමා පොත් ලිවිය යුතුය. ඔබට ඒ සඳහා හොඳ හැකියාවක් ඇති බව මම කියමි. ළමා පොත කියවූ හැමෝම මා සමග එකඟ වනු ඇත. 

මතකත් ඇති ඔබට පෙර කාලෙක ලීව මේ වාට්ටු කතා.... 

" ආයෙ දිව්වොත් එහෙ මෙහෙ යවන්නේ නෑ ගෙදර... " මම සුපුරුදු භය කිරීමේ අවිය පාවිච්චි කරා අපේ වාට්ටුවේ හිටපු දඟම දඟ පැංචෙක්ට.

 " ආ කමක් නෑ මං මෙහෙ ඉන්න ආ....සයි" මේ නම් මහා ඇට්ටර පැංචෙක්. ඒත් මේ ඔවුන්ගේ ඉස්පිරිතාලේ ඉඳීමේ කැමැත්ත පිටුපස මහා ඛේදවාචක ගොඩක් හමුවෙනවා. 

ඔවුන්ගේ ගේදොර සමාජ වටපිටාව විපරම් කල විටයි වැටහෙන්නේ මේ දරුවාට නිදා ගන්න ඇඳක් ලැබුනේ ඉස්පිරිතාලෙදී බව, කුඩා ලෑලි ගෙවල් වල පැදුරු කඩමාලු වල , ඇතැම් විට වැඩිහිටි ආරක්ෂාවක් නැතිව මේ දරුවෝ නිදන්නේ. සමහර ගෙවල් වලට වැස්සට වතුර දැම්ම විට, කන්න බොන්න අඟහිඟ වුන විට, සමහර දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු සරුවල් වුන විට, දරුවන් උස්සාගෙන ඉස්පිරිතාලේ නවතින්න එන අම්මලාත් අඩු නෑ. ඔවුන්ට මේ පරිසර තුලදී ඇසෙන වාග් මාලාව නුසුදුසුය, දකින ආදර්ශයට ගන්නා දේ නුසුදුසුය.


"එහෙනම් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඔන්න දැඟළුවොත් එහෙම ආයෙත්" මගේ භය කරන ටැක්ටික් පාවිච්චි කරා. " අපෝ දෙන්න දෙන්න මං භය වෙයි ඕවට" ඔහු අත පෙන්වයි.


විශ්වාස කරන්න.. මේ පොඩ්ඩාගේ වයස අවුරුදු 4යි. ආයෙම සැරයක් දුටුවේ අම්මා කියන දෙයක් කනකට නොගෙන වාට්ටුව පුරා දුවන ආකාරයයි.


"එක විදියකට ඉන්නේ නෑ දුවනවා වාට්ටුව පුරාම ඉතින් කොහොමද අසනීප හොඳ වෙන්නේ" දඟකාර පැංචා දිහා බලාගෙන මම ඔහුගේ මවට කීවා.
 "අහන්නේම නෑ කියන දේ ඩොට්ට" ඇදුම වැඩි වී පැමිණි මේ පිරිස සිටින්නේ කොයි පුරයකද යන්න කතා බහෙන්ම වැටහේ. 
"බත් කෑවද පුතේ" මම ඔවුන් පරීක්ෂා කරන ගමන් යාළුකම් පාන්නට එසේ අසමි එතකොට මදක් හෝ මොවුන් සන්සුන් වේ. 
"අනේ මේ වැඩක් බලාගෙන යන්න" මේ පැංචා කියයි. 
" මේ දන්නවද මම හරි වසයි" ඇඟිල්ල උරුක් කරමින් පොඩි දුවෙක් දවසක් අප සැමට ගෝරනාඩු කල විට ඇගේ අම්මා කීවේ, "අනේ ඩොක්ටර් ගෙදරත් ඔහොමයි" කියාය.


ඒ ඔවුන් හැදෙන වැඩෙන පරිසරයේ ආභාෂය වෙන්නට පුළුවනි. දරුවන් හැදෙන්නේ වැඩිහිටියන් දිහා බලාගෙනයි. ඔවුන්ගේ කුඩා මනසවල් හරියට අඹන්නට පෙර තියෙන මැටි ගුලියක් වගේ. නමුත් ඔවුන් ජීවත් වෙන සමාජය විසින් ඔවුන්ව කුඩා වැඩිහිටියන් බවට පත්වෙලා.


මට හමුවෙනවා, අවුරුදු දහයටත් අඩු දරු දැරිවියන්, ජීවිතේ එපා වෙලා යැයි කියන. දිවි නහ ගන්න හදන (වැඩිහිටියන් බය කරගන්න ඇට්ටර කමට කරන අයත් ඉන්නවා) බහුතරය ගෙවල් වල වැඩිහිටි ප්‍රශ්න, සමාජ පීඩන හමුවේ ජීවිත් නොවිය යුතුය කියා සිතනවා.


ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ, කනට ඇහෙන්නේ ඒ වයසේ දරුවෙක් නොදැකිය යුතු, නෑසිය යුතු දේ. අපි කොහොමද මේ අයගේ පරිසරය වෙනස් කරන්නේ. අප වාට්ටුවේ තිබෙන රූපවාහිනී යන්ත්‍රය ඉදිරි පිට පොඩි දරුවෝ පෙළ ගැහෙනකොට නම් මම ඉතා කල්පනාකාරීයි, සමහර විට ළමා වැඩසටහන් අතරතුර පෙන්වන වෙනත් වැඩසටහන් ගැන සඳහන් කිරීම් ඇත්තටම දරුවන්ට සුදුසු නැතිවා වගේම අද තිබෙන දැන්වීම් ප්‍රචාරන ක්‍රමද බොහොම බාල වර්ගයේ ඒවාය. 

සිංදු කියා බලන්නට අසන්නට දෙයක් ඇත්තේම නැත. ඒ වගේම මට හමුවෙනවා නගුලක් දැක නැති කුඹුරකට බැස නැති, වැවක ගඟක නාපු නැති දරුවන් පිරිසකුත්, වැල වරකා නොදන්නා දරුවන්ද ජීවිතේට කාපු නැති බාලාංශ පන්ති වල දරුවන් ද හමුවෙනවා. අවාසනාවකට මේ දරුවන්ගේ නිවෙස් පරිසර වල වැඩිහිටි රූපවාහිනී වැඩසටහන් බලන්නට නිරන්තරයෙන්ම මේ කුඩා වුන් පුරුදු වි ඇති ගතියක් දකින්න ලැබෙනවා. රාත්‍රී 8 න් පසු රූපවාහිනිය ළඟ පොදි ගැහෙන්නට අප සමග රණ්ඩු සරුවල් කරන දරුවෝද එමටය. 

වාට්ටුවේ කුඩා උන් සඳහා පුස්ථකාලයක් පැවතියද අපි හරි හෙද සොයුරියන් හරි බලෙන් මතක් කළොත් මිසක් අර අම්මලාටවත් දරුවන්ට නිසි යමක් කියා දීමට උවමනාවක් නැති බවකුයි වැටහෙන්නේ. දෙමාපියන් බොහෝ වෙලාවට ඉන්නේ ඔවුන්ගේ අතේ තියෙන අර ස්මාර්ට් ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ඔළුව ඔබාගෙන එහෙම නැත්නම් අල්ලපු ඇඳේ අම්මා එක්ක ඕප දූප කතා කර කර. එහෙමත් නැත්නම් දරුවා එක්කම ඇවිඳින් රෝහලේ කොරිඩෝවේ ඇති ටීවී එකෙන් වැඩිහිටි වැඩසටහන් නරඹමින්.


අප වෙත එන බොහෝ දරුවන් කතා බහ කරන්නේ අඩුවෙන් බව දෙමාපියන් කියයි. බහුතරයක් දරුවන් ටී වී එකට, ලැප්ටොප් එකට, හෝ අයි පෑඩ් ෆෝන්, මේ ඕනෑ ආකාරයක ස්ක්‍රීන් ටයිම් එකකට හුරු වෙලා සිටින අය. මගේ කුඩා දරුවා පවා ටීවී එකක් හෝ ලැප්ටොප් එක හෝ දිහා හැල හොල්මනක් නැතිව බොහොම නිසොල්මනේ බලාගෙන සිටින අයුරුත් එයින් ඇය පවා අප සමග කතා බහ අඩු කළ අයුරුත් මගේ මතකයට නැගේ.


බටහිර රටවල “reduce screen time !” ලෙස පර් යේෂණ පවා සිදු කර දරුවන්ගේ මොළයට, පරිකල්පන ශක්තියට (imagination) මෙන්ම cognitive development , පරිසර සහ මනෝ මූලික වර්ධනයට ඉන් බෝහෝ හානි සිදුවන බව සොයා පැහැදිලි කර තියෙනවා.


ඔවුන් පවසනවා, දරුවන්ට සොබා දහම හා බද්ධ වෙන්න වෙලාවක් වෙන් කරන්න කියලා. මඩ වැලි අනන්න, ගලා යන ස්වභාවික ජලයේ සෙල්ලම් කරන්න ම් ගස් කොළන් අත් ගාන්න, සුරතල් සතුන් හා සෙල්ලම් කරන්න ඔවුන්ට ඉඩ දෙන්න කියලා. එහෙත් කොන්ක්‍රිට් වනාන්තර වල ගාල් වී සිටින අපි කොයි තරම් දුරට අපේ දරුවන් ව මෙවැනි දේවලට යොමු කරනවා ද ? දරුවන් ඇස් වලින් කන් වලින් වගේම ඇඟිලි තුඩු වලිනුත් මුල් අවධියේදී ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. එනිසා අත් වලින් අල්ලා බලා ඉගෙන ගන්න පරිසරයේ දේ ඔවුන්ට යොමු කිරීම වඩා වැදගත්. හැබැයි ඒ අල්ලන වැලි ගල් කැට, ගස් කොළ , කටේ දා ගන්නවා දැයි විමසිලිමත් වීම වැඩිහිටියන්ගේ වැඩක් !


ඒවගේම ඔවුන් තව දුරටත් පැහැදිලි කරනවා, දරුවන්ට මව් බසින් මුල සිට කතා කරන්න කියලා. පළමුව මව් බස හොඳින් ප්‍රගුන කරන දරුවෙක්ට වෙනත් බසක් ඉගෙනීම පහසු බව පර් යේෂන මගින් පැහැදිලි කරලා තියෙනවා. එමෙන්ම එහෙම දරුවන් ඉක්මනින් සමාජ සම්බන්ධතා මෙන්ම තමන් වැඩෙන පරිසරය ගැන මහා දැනුම් සම්භාරයක් ඉක්මනින් උකහා ගන්නවා කියලත් කියනවා. ඒකට හේතුව දරුවාට අවටින් ඇසෙන දේ තේරුම් ගත හැකිවීම වෙන්න පුළුවන්. ගෙදරක බහුත්‍රය සිංහල කතා කරමින් සිංහල ටීවී වැඩසටහන් පවා විකාශනය කරමින්, දරුවාට පමණක් ඉංග්‍රීසිය පමණක් හුරු කරවීම සහ කතා කිරීම මා අපේ සමාජයේ නිතර දකින වරදක්.



මේ ඔබට වැදගත් වේ යැයි හැඟෙන මා කියවූ අඩවි කිහිපයක්. මේවායෙන් තව බොහෝ තොරතුරු ලැබෙයි.
මෙන්න මේ ආටිකල් එක වෙබ් එම් ඩී එකෙන්. රෝගාබාද ගැන හරියාකාර තොරතුරු සොයාගන්නට සුදුසු වෙබ් ලිපිනයක්... reduce screen time in teens 
මේ තවත් එවැනි උපකාරී උපදෙස් දෙන වෙබ් අඩවි දෙකක්... healthy kids healthy future - නිරෝගී දරුවන් නිරෝගී අනාගතයක් සහ reduce screen time tools දරුවන් තිරයෙන් මුදා ගැනීමේ ක්‍රම උපායන්
ඉතින් මට සමාජයට දෙන්න පණිවිඩ බොහෝ මයි. නමුත් ලියන්නට ඇති කාල වේලාව අඩුයි. එනිසා හැකි සෑම විටම මේ ආකාරයෙන් ලියන්නට හිතා ගත්තා.

Monday, March 28, 2016

සේලයින් ඉල්ලන අම්මලා සහ මහණ යෝග

"සේලයින් එකක් දැම්මොත් හරියනවා ඩොක්ටර්.. ගිය පාරත් එහෙමයි කලේ"

දරුවා සමග හිඳගත් සැනින් මව පවසයි... ඇය කියන දේ ගැන වගක් නොකර... මුල සිට දරුවාගේ රෝග ඉතිහාසය ගැනීම දුෂ්කරය.. සේලයින් ගැනම කියවයි.

"මේ දරුවාට මීට කලින් තිබුනු රෝගාබාද මොනවද අම්මේ"

"මීට කලින් එක පාරක් උණ වමනේ ගියා.. සේලයින් දීලා හොඳ උනා.. සේලයින් එකක් දානවද ඩොක්ටර්..."

"ඇදුම උණ වලිප්පුව එහෙම ?"

"නෑ නෑ .. හැබැයි ඩොක්ටර් සේලයින් එකක් දීගත්තොත් හරි"

"සේලයින් වල තියෙන්නේ මොනවද කියලා දන්නව ද ? අම්මේ" මම බැරිම තැන අසමි.

"ම්.. නෑ" එවිට ඇය නිහඬ වේ.

"සෝඩියම් ක්ලෝරයිඩ්... ඒකියන්නේ අපි පාවිච්චි කරන ලුණු"

"විජලනය වුනොත් දරුවෙක්ගේ ඇඟෙන් වතුර ගොඩක් පිටවුනොත් වමනය හෝ බඩ එළිය මගින් එතකොට සේලයින් දාන්නම ඕනේ නැත්නම් ඒ දරුවාගේ ඇඟේ ලවණ සහ ජලය ප්‍රමාණය අඩුවෙලා ප්‍රශ්න ඇතිවෙන නිසා"

අම්මා කට ඇරගෙන බලාගෙන සිටී.

"නිකම් හෙම්බිරිස්සාව කැස්සට නම් හරියන එකක් නෙමේ අම්මේ"

සමහර අම්මලාට දරුවාට එන්නතක් විදින තුරු නින්ද යන්නේ නැත. ඇතැමුන් එන්නත් විදිනවාට විරුද්ධය.

අසාධ්‍යම තත්වයේ දරුවන් ගොඩ ගන්න වෙහෙසෙනකොට, අම්මා තාත්තා ඇතුලු නෑ සනුහරේම වාට්ටුවෙන් එළියට හෝ හදිසි ප්‍රතිකාර අංශයෙන් එළියට නෙරපන්නේ එහෙයිනි.

"how you speak to your children becomes their inner voice"

"දේවාලේ කපුවා කීවා ස්නායු රෝගයක් තියෙනවා කියලා, ඉස්සරහට මේ ළමයාට පිස්සු හැදෙයි කියලා.... ඔළුවේ ඇක්ස් රේ එකක්වත් අරන් බලන්න වෙයි නේද " දස වියැති දරුවෙක් ඉස්සර කරන් ආ අම්මා මගෙන් අසයි !

මේ එසේ ඇසූ පළමු අම්මා නොවන නිසා, මේ අය සමග කතා කිරීම දැන් පහසුය.
ඒ අම්මා කිසිම දිනක පාසැලකට ගොස් නොතිබිනි. සැමියා කුලී වැඩ කරයි. දරුවාගේ සම්පූර්ණ නම හෝ ඔවුන්ගේ වාසගම නොදනී. හේතුව වශයෙන් කියන්නේ... මහත්තයානේ නම් දාන්න ගියේ... යන්නයි.

තමන්ගේ නිවසේ ලිපිනයවත් නොදන්නා මවක් හමුවුනේ පළමුවතාවට ය. පැයක් පමණ කතා බස් කළත් මා සමග හෝ ඉන්පසුව විශේෂඥ වෛද්‍යතුමිය සමග හෝ එකදු වදනක් නොදොඩා කිසිම කලබලයක් නැතිව පුටුවේ වාඩිගෙන සිටියේය.

මෙවැනි කතා බොහෝමයි. දරුවා තරහෙන් සිටින බවත් මවට පවා ගසන බවත් පවසයි. ඒ කතා පසෙකලා මම ඔවුන්ගේ නිවෙස ගැන විමසා බැලුවෙමු. සිටින්නේ දේවාලයක් අසලයි... බීමත්ව රැයේ පැමිණෙන පියා මවට ගසන්නේ සණ්ඩු සරුවල් කරන්නේ දරුවන් ඉදිරිපිටය.

දරුවන්ට ඈ කතා කරන්නේද අපට එකඟ විය හැකි ආකාරයකින් නම් නොවේ. දරුවා ඉගෙනීමේ ප්‍රශ්න සහ පාසැලේ දරුණු ප්‍රචන්ඩ හැසිරීම නිසා පාසැල් කිහිපයක මාරුවෙන් මාරුවට අධ්‍යාපනය ලැබ දැන් මාස කීපයක සිට පාසැලක් නොමැතිව ගෙදර සිටී. කොතරම් ආදරයෙන් කතා කලත් දරුවා කටක් ඇරියේ නම් නැත.

"මෙයාගේ ඔළුවේ ඇක්ස්‍රේ අරන් බලනවද ඩොට්ටර් ?" අර මව යලිත් ඇවිටිලි කරයි.

අප කල්පනා කළේ... එක්ස් රේ වැනි විකිරණශීලී පරීක්ෂණයකට අර දරුවා භාජනය කර මේ මවගේ හිතේ මුල් බැසගත් අදහස ඉවත් කරනවා ද ? නැත හොත් එය අවශ්‍ය නැති බවත් දරුවාගේ මොළයේ අමාරුවක් නැති බවත් පැහැදිලි කරනවාද ?
මේ ලියන මොහොත වෙන විට ඒ ප්‍රශ්නය විසඳාගත්තත්, එවෙලේ අපිට තිබුනු අභියෝගය නම්, අපි ඒ මවගේ අදහස ගණනකට නොගෙන ගෙදර යැව්වොත්, ඇක්ස්‍රේ කියමින් තවත් රෝහලකට හෝ... ඔවුන්ගේ අභිප්‍රාය ඉටුවෙන තුරු පෞද්ගලික අංශයට හෝ යාවි යන්න ය.

රෝහල් පැමිණෙන මොවුන්ට බීමට යමක් (medications) දිය යුතුමය... දරුවන්ට මල්ටි විටමින් බෝතලයක් ලබා දුනිමු. ඉන් පසු යලිත් දිනෙක දරුවන් දෙදෙනා කැඳවාගෙන මව අප වෙත පැමිණියා. අධික කෝපය සහ කියන දෙයක් අහන්නේ නැතිකම ඒ දරුවන් හැදී වැඩුනු වටපිටාවෙන් උරුම වී ඇති බවක් වැටහුනි.

මව දරුවාගේ වැරදි සියල්ල අප වෙත කියන්නේ ඔහු ඉස්සරහම තියාගෙනය. කෙතරම් එපා කීවත් මේ අම්මලා නම් ඒවා අත් අරින්නේ නැත.

"අපෝ මෙයා නම් මෙහෙමයි, කිසි වැඩකට නෑ, පාඩම් කරන්නේ නෑ, වැඩිහිටියන්ට කට ගහනවා , එකට එක කියනවා" මේවගේ චෝදනා එමටයි.

දරුවෝ ඉස්සරහම මේවා අපිට, ඒ කියන්නේ පිටස්තර කෙනෙක්ට කීමෙන් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ඒක හානියක් කියලා මේ අම්මලා දන්නේ නැත.
කිහිපදෙනෙකුම වාට්ටුවේදි නම්... පසුව ගෙන්වා අවවාද කලත්... ක්ලිනික් වල මහා ජන ගංගාවත් එක්ක කොහොමද එහෙම කරන්නේ...

"ඔය අම්මා කීව සේරම දරුවන් ගේ වයසට කරන දේවල් නේ අම්මේ" යනුවෙන් සනසන්න ඒවගේම පසුව අවවාද කරන්න වගබලා ගන්න මම උත්සුක වෙන්නේ...අපි කුඩා කාලෙදි උනත් පිටස්තර කෙනෙක්ට අපේ වැරදි අම්මා කියද්දී අපි අකමැති වුන බව සිහිපත් කරමින්.

දේවාල කපුවන් කියන කරන දේවල් පසු පස යන මෙවැනි පිරිසක් අප වෙත එද්දී.. ඒවා නිසා දරුවන් අහිමි කරගන්නා දෙමාපියන්ද සිටිනවා.

මොළයේ පිළිකාවක් තිබුනු එවැනි පුතෙක් ඔපරේෂන් කරන්නට නොදී,,, අහවල් මාසේ පන්නලා ඔපරේෂන් කරොත්, දරුවා ජීවත් වෙනවා රාජ යෝගයක් තියෙනවා කියමින් අපාදුක් විඳි මව් පියා හා දරුවෙකුත් නිතර අප වාට්ටුවට ඇතුලත් වුනා මතකය. මේ දරුවාගේ කතා බහ ඇතුලු සියලුම ක්‍රියා කාරකම් නතර වී තිබිනි. නහයෙන් බටයක් දමා ආහාර දුන්නාය. නමුත් ඔහු ඒ කියන මස තෙක් ජීවත් නොවූ බව මට සිතේ... නිතරම අප වාට්ටුවටම පැමිණි ඔවුන් ඉන්පසු මේ වනතෙක්ම දකින්නට නොලැබුනු නිසා..)

සමහර දරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් නම් ඔවුන් බිය වැද්දීමට ක්‍රමයක් නැති තරම් ය, බොහෝ අසාධ්‍ය දරුවන් ද මව්පියන්ගේ උවමනා එපාකම් නිසා ගෙදර ගෙනියන්නට සැරසෙද්දි නම්, එහෙනම් පොළීසියට හරි ළමා ආරක්ෂන එකට හරි කියන්න වෙනවා යනුවෙන් අදහසක් දමන්නට බැරි එහෙම නීතියක් නැතැයි දැන ගන්නට ලැබුනු නිසාය.

මහණ යෝග

මට හමුවෙනවා බොහෝ අම්මලා...කුඩා අවුරුද්දක් යන්තම් පිරුණු දරුවන් හෝ දෙක තුන වයස් වල දරුවන් ගැන කියන්නේ "මස් මාළු කටේ තියන්නේ නෑ .. බිත්තර කන්නෙත් නෑ.. හරි පින්වන්ත දරුවෙක් " එහෙම කියලා "මහණ යෝගයකුත් තියෙනවා ඩොක්ටර් ". මේ සියල්ල නිතර ඇසෙන කතාය

"හරි අම්මේ, ඉතින් මෙයාට සසර තේරුම් ගත්ත කාලෙක මහණ වෙන්න දෙන්න. දැන් එයාට ඉස්කෝලේ ගිහින් ළමා කාලය ඒ ආකාරයෙන් ගෙවාගන්න ඉඩ දෙන්න. " හැකි පමණින් මා ඔවුන් දැනුවත් කළේ අපේ ඒ අවවාද වැඩක් නොවන බව දැනගෙනම ය.

ඔවුන්ගේ පවුල් පසුබිම ආර්ථික තත්වයන් සැලකිල්ලට ගත් කල මේ දරුවන් කුඩා කලම මහණ කරාවි යැයි අපටත් සිතෙනවා.
අප විශේෂඥ වෛද්‍යතුමිය පවා ඒ ගැන කණස්සල්ලට පත්වෙමින් කියන්නේ මේවාට විසඳුම් සෙවීම අපිට කෙතරම් අපහසු ද යන්නයි.

බහුතරයක් ළමයි බර අඩු.. ලෙඩ වැඩි.. පිරිස.
මේ අම්මලාගේ කන් කෙඳිරිය නම් දරුවෝ කන්නේ නෑ කියන එක.

දරුවන්ට කවන්නේ කොහොම ද ? කල් වේලා අරගෙන ලියා පැහැදිලි කරන්නම් ඉදිරි පෝස්ටුවක...

Friday, March 11, 2016

වෙහෙසෙන ගැහැණු... කාන්තා දිනයට අපිට හම්බුනා....?

දහවල් කෑම පැයෙන් පසු වාට්ටුවට පැමිණ සිටියදී, ඇය යලිත් පැමිණියාය...
අම්මා නංගී සහ ඇය...
ශෝකී දෙනෙත් තවමත් එසේය. රිපෝට් වගයක් පෙන්වන්න තියෙන බව මතකය.
"ඩොක්ටර් ගේ බබා මේ වගේ වෙන්න කියලා දුව අරගත්තා මේ පිංතූරය.." අම්මා පවසයි.

අට හැවිරිදි (හරියටම මතක නෑ) ඇය ඇතුලත් වුනේ හිසරදය කියාගෙනය... බොහෝ වෙලාවක් කල්පනාවෙන් පසුවේ...බැලූ බැල්මට දුක්බර මුහුණේ සිනහවක් හටගත්තේම නැත.
 නමුත් ඊට එහා ගිය අපැහැදිලි චිත්‍රයක් මට ඇගේ කතා බහෙන් තේරුම් ගිය නිසා.... අම්මාගෙන්  විමසද්දී ... හෙළි වුනේ දරු දෙදෙනාත් මේ අම්මාත් රැක බලාගන්නේ අම්මාගේ තාත්තා ඔහුගේ පැන්ෂන් පඩියෙන් බව. පියා වෙන ස්ත්‍රියක් හා දීග කයි...

"මාසෙකට ලැබෙන්නේ පන්දහසයි දරු තුන් දෙන්නාගේ වියදමට.. ඒකෙන් මොනවා කරන්නද, කන්න බොන්නම සෑහේන්නෙ නෑ" ඇය පවසයි.
දරුවාගේ කායික රෝගාබාද හෝ ලක්ෂණ නොවූයෙන් , මනෝවෛද්‍යතුමන් වෙත යොමු කලේ වෙනත් සැඟවුනු පීඩාවක් වේදෝයි සිතමිනි.‍

අප නිවැරදිය... ඇගේ පියාගේ වෙන්වීම ගැන නිරන්තර දුකෙන් කල් ගෙවයි... බොහෝ ආර්ථික දුෂ්කරතා නිසා පාසැලේ උවමනා ඉටුකිරීමට මව අපොහොසත් වේ. මෙවැනි කතා බස් බොහෝමයක් වේ.

"මේ මම ගොතපු බෑන්ඩ් ඩොක්ටර්ට... මේක මිස්ට " ඇය වෛවර්ණ රිබන් වලින් ගෙතූ අත් පළඳනා අපට බෙදයි.
අනේ අපි මොකද මේ වෙනුවෙන් කරන්නේ.. මුදල් දුන්නොත්.. ඒක දරුවාගේ හිතට නරක ආදර්ශයක්... එනිසා මම ඇයට කතා පොත් ටිකක් මිළ දී ගත්තෙමි. එනමුත් ප්‍රසූත නිවාඩු ගිය නිසා ඇයට ලබාදිය නොහැකි විය. නැවත ඇය අප වාට්ටුවට පැමිණියොත් ලබා දෙන්න යැයි තවම ඒවා කබඩ් එකක ය.

රහසේ වැලපෙන දුක්වෙන මේ කුඩා හිත් පොඩිති ගැන ඇතිවන්නේ අප්‍රමාණ දුකකි.. ඒ දුකම මට මහත් වෙහෙසකි...
ඉතින් මේ හිත හදාගන්නේ කොහොමද ? ඔවුන්ගේ ලෝකය සතුටු දායක තැනක් කරන්නේ කොහොම ද ?

.......................................................

ඇඳුමෙන් පැළඳුමෙන් ම ඔවුන් ඉතා දැඩි දුෂ්කරතා ඇති පවුලක් බව පැහැදිලියි.
දරුවාගේ වයසට වඩා දෙගුණයක් පහළින් බර සටහන් වේ. ඉළ ඇට පෑදී ඇත.
බඩ එළියේ යෑමත් වමනයත් සමග රෝහලට ඇතුල් විය.
"දැන් බඩ එළියේ කී පාරක් ගියාද "
මවට නිනවුවක් නැත... දෙපාරක් බව පවසයි... නමුත් අල්ලපු ඇඳේ අම්මා අපට බාධා කරමින් පැවසුවේ..." දෙපාරම වතුර වගේ ගියෙ නෑ ඩොක්ටර්... ඝනව ගියේ"  දරුවාගේ මව හිස සලයි.
මේ මව පිළිතුරු දෙන අයුරු සහ කතාබහ අමුතුය.

"බබා හොඳටම අඬනවා රෑට මොනව ද කෑවේ? '
මව පිළිතුරු නොදේ...
ආයෙත් මා හඬ වැඩිකර අසද්දී " මෙයා කන්නේ නෑ ඩොක්ටර් මොකුත්"
එහෙම බෑ දරුවා බඩගින්නේ ඉන්නේ.... අල්ලපු ඇඳේ ඉන්න දරුවගේ අම්මා, මා දෙස බලා හිස වනයි...
"කන්න දෙන්න මොනවා හරි තියෙනවනම් දරුවට " මම කීවාට , මොවුන් ළඟ කිසිවක් නැති බව මම අත්දැකීමෙන් දනිමි.
"ගෙදරින් බලන්න ආපු වෙලාවේ අනිත් දරුවෝ දෙන්නට ඒ බබාගේ බත් එක කැවුවා මේ අම්මා" අල්ලපු ඇඳේ අම්මා දිව විත් මට පවසයි...

මෙවැනි පරිසරයක මෙවැනි පීඩිත ජිවිත ගැන දකිමින්... හිත නොසැලී සිටින්නේ කොහොමද ?
රෝහලෙන් ලැබෙන නොමිලේ කෑම නිසාම රෝහල් ගත වන පිරිස කොපමණ ද?
ඇතැම් විට දරුවාට කිසිඳු රෝග ලක්ෂණයක් නැත.
...........................................

"මම රට ගියේ දරුවට හොඳින් සලකන්න එද්දි හොඳටම ලෙඩ වෙලා... අනේ ඩොක්ටර් බබාව දිගටම ක්ලිනික් ගෙනත් නෑ ගෙදර අය.. ආයෙම ක්ලිනික් දාලා දෙන්න"

තරුණ මවක් පැමිණ අප හමුවේ බැගෑපත් වේ.. අවුරුද්දකට වැඩි කාලයක් ක්ලිනික් හෙවත් සායන පරීක්ෂාවට නොපැමිණි දරුවාට මුත්‍රා ආසාධනයකට ප්‍රතිකාර කර ඉන්පසු ... සායනික පරීක්ෂාවට යොමු කරන ලදී.

" මහත්තයා නැතුව මං තනිවම දරුවා හදන්නේ " ඉස්සරනම් ඔහොම ඇහෙද්දී හිතුවේ මහත්තයා මැරිලා කියලා... දැන්නම් මෙවැනි කතා අහලා අහලම ...මේ කියන්නේ අධමයෙක් වෙන කසාදයක් හෝ අඹුවක් හොයාගෙන මේ දරුවත් මවත් අසරණ කළ බව වැටහේ.

"මම මෙහෙ රස්සාවක් හොයා ගත්තා නෝනා ආයේ මම යන්නේ නෑ.. ඉන්නේ මෙච්චරයිනේ මට. " මේ තරමින් හෝ ඔවුන්ගේ දුක බෙදා ගැනීම කෙතරම් අගනේද ?


.....................

රාත්‍රී වැඩමුරය අතර තුර...ගෙදරින් එන ඇමතුමකි
"පුතේ බබාට හොඳටෝම උණ... ඉක්මනින් එන්න බැරිද ?"
"අම්මා දැන් මේ හුඟක් අමාරු බබෙක් අරගෙන මහ රෝහලට යනවා" හිත පොළව මත පතිතවී කුඩු පට්ටම් වෙනවා වගේ දැනුනි...
"එහෙනම් කියන්න ...මොකද කරන්නේ" කළ යුතු දෑ ලියා පොතකුත් බෙහෙතුත් ලැහැස්ති පිට තිබේ... ඇයට උපදෙස් දී නැවත හැරෙද්දී වාට්ටුවේ සේවක පිරිස දුක් වේ " අනේ ඩොක්ටර් බබා අසනීපෙන් ද?...."
මොනවා කරන්නද...දරුවා බලා කියාගෙන උදව් කරන්නට මගේ අම්මා ඉන්න එක මට මහා ලොකු උදව්වකි.
" එක දරුවෙක් හස්බන්ඩ් අරන් යනවා එයාගේ ඔෆිස් එක ළඟ ඩේ කෙයා එකට... පොඩි එක්කෙනා මං අරන් එනවා මෙතන ළඟ ඩේ කෙයා එකට " දෙමාපියන් අහිමි මගේ යහළුවෙක් පවසයි. නැන්දා මාමාගෙන් උදව්වක් නැති බව පෙනේ.

රාත්‍රිය පුරා බොහෝ වෙහෙස වී ආ සැනින් යළි අසනීප දරුවා හා වෙහෙසෙමි

.................................................
මෙහි ඇතුල් වෙන බොහෝ දරුවන් අඩු බර සහිතය.
 ඔවුන්ගේ ගිලී ගිය දෙනෙත් කෝටු අත පය මවෙත ඉතිරි කරන්නේ දැඩි දුකකි.
 දැන් නම් පෝෂණය සම්බන්ධ පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරියක් සිටින නිසා ඇය මේ දරුවන් සහ භාරකරුවන් සියල්ලන්ම තනි තනිව හමුවී ඔවුන්ගේ ආහාර වේලෙහි අඩුපාඩු සොයා බලයි. නමුත් ආර්ථික අහේනියකින් පෙළෙන බොහෝ පවුල් වල මේ පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුව දෙනවදැයි සිතිය නොහැකිය. මේ දරුවන් බොහෝමයක් ආත්තම්මා හෝ ආච්චිගේ සෙවනෙහි ඇති දැඩි වේ. මව රට යෑම හෝ දෙන්නා දෙමහල්ලන්ගේ ආරවුල් නිසා දුක් විඳින්නේ තැලෙන්නේ මේ සිත් පොඩිති ය.

වසන්තා ආන්ටී, ඇගේ දියණියගේ පාසැලේ (විශාකා විදුහල) ආදි ශිෂ්‍ය සංගමය විසින් සිදුකරන පුණ්‍යකර්මයක් ගැන පවසා අප වාට්ටුව ගැනත් විමසුවාය. 

වාට්ටු බාර හෙද සොයුරිය සමග සාකඩ්ජා කොට අපට අවැසිම, ඔවුන්ගේ දීමනාවේ ප්‍රමාණයට සරිලන ලෙස... මේ දේ ලැබුනොත් හොඳයි යන්න පැවසුවේ ඊමේල් මගිනි. බර උස මැනීමට නිවැරදි උපකරණ මෙවලම් නැති එක මහත් අඩුවක්ව පැවතියා. ඇතැම් විට ක්ලිනික් එකෙන් බර මැන්න විට ග්‍රෑම් පන්සීයක් පමණ එහෙ මෙහෙ වේ.. එවිට අම්මලා ළමයි වාට්ටු එකින් එක පුරා ඇවිද්දවන්නට සිදුවේ.. එය කාලයත් ශ්‍රමයත් මහන්සියත් අපතේ යැවීමකි. උස මනින්නනම් වාට්ටුවේ කිසිත් නැත... බිත්තියකට හිටවා.... සලකුණු කර ටේප් එකකින් මැන ගනිමු.... බර අඩු දරුවන් ප්‍රමාණය ඉතාම ඉහළය. ඉතින්මෙවැනි අඩුපාඩු සොයා බලා සපුරාලන්නට හැකිවීම ගැන ඔවුන්ට බොහෝ කෘතඥ වෙමු.

වෛද්‍යවරුන් ලෙස අප කරන්නේ රෝගාබාද මැඩලීම පමණක් නොවේ. සමාජ සාධන කටයුතුත් ඒ අතරේ වේ. බොහෝමයක් එහෙමයි. සුළුතරයක් එහෙම නොවන අයත් සිටින බව අවබෝදයෙන් දනිමි. කිසිවෙක් කර දෙන තෙක් සිටින්නේ නැතිව අපිම පිළියම් සෙවීමට උත්සුක වන්නෙමු. මන්ද අප මේ ගොඩ නගන දේ අපට නොව අපේ අනාගත දරු පරපුරට පමණක්ම නිසා ය.

ඒ අස්සේ .. "අද කාන්තා දිනය... මොනවද හම්බුනේ ?' යෙහෙළියක් අසයි... ඇගේ රැකියා ස්ථානයේ නම් සියළු කාන්තාවන්ට මල් සහ කේක් ලැබුනු බව පවසයි.

 "අපිට නම් හම්බුනා.... වැඩ " මම කීවෙමි...

Sunday, March 6, 2016

මොළේට නහයෙන් වතුර යෑම සහ ඇඟේ ගෑවුනාම ඒඩ්ස් හැදීම.

"ඩොක්ටර්.."
මව දරුවා ඇඳෙහි තබා මවෙත පැමිණ යම් අපහසුතාවයකින් යමක් අසන්නට මෙන් සැරසෙයි.
"ඇයි අම්මා"
"පුතා සුයිමිං (swimming) කරන්න ගත්තට පස්සේ, මොලේට වතුර යනවත් වැඩි ඇති නේද?"
මෙවැනි අන්ඩර දෙමළ කතා අහලා අහලාම මේවට හිනාවෙන්න හෝ කලබල නොවෙන්න තරම් මානසිකත්වයක් අපට ඇතිවෙලා තියෙන නිසා හොඳයි.
" ඇයි අම්මාට එහෙම හිතෙන්නේ"
"නෑ වතුර යටදි නහයෙන් මොලේට වතුර යනවනේ" ඇගේ නොදැනුවත්කම මට මැනවින් වැටහිනි.
ඉන්පසු එළඹුනේ රූප සටහන් මගින් ඇයට මිනිසාගේ හිස්කබල මොළය සහ නාසය උගුර කට පිහිටා ඇති අන්දම පැහැදිලි කිරීමේ කාලයකි.
මද වෙලාවකින් පසු නර්ස් නෝනා කෙනෙක් "ඩොක්ටර් .........මොකද මේ බී එච් ටී (ඇඳ ඉහ පත) එකේ  මූණු ඇඳලා... ඇනටමි පාඩමක්වත් කියලා දුන්නද ?" කියා අසයි.
 මේවගේ අමුතු කතා අඩුවක් නැත
.......................

අමුත්තන් බලන්නට පැමිණෙන වේලාවලදී අපි පෙනෙන්නට හිටියොතින්, මුළු නෑ පරපුරම අප හමුවට පැමිණ රෝගියාගේ තත්වය විමසයි. ඉතින් විඩෙන් විඩේ ටිකට් පරීක්ෂා කරමින් නවතම තත්වයද කියන්නට සිදුවේ. ඔය අතර මවෙත පැමිණියේ නවීන පන්නයට ඇඳ පැළඳි තරුණයෙකි.
"ඩොක්ටර් මම අර ඇඳේ ඉන්න බබාගේ තාත්තා" ඔහු කීවේ මසකටත් අඩු වයසැති බබෙක් ගැන ය.
" ඩොක්ටර්ට කියන්න විශේෂ දෙයක් තියෙනවා... ඔහු හරි බරි ගැසී වාඩි විය.

"අපේ බබා අනිත් ළමයි වගේ නෙමෙයි හරි බුද්ධිමත්, මම ඩොක්ටර්ට කියන්න හිතුවේ ඩොක්ටර්ට තේරෙනවනේ මේ බබාගේ විශේෂත්වය නේද... බබාගේ මොලේ ඇඩ් වාන්ස්... "ඔහු පවසන්නට විය.

 ඉපදී දින විසි තිස් ගාණක් වන දරුවෙක් ගැනයි මොහු පවසන්නේ.. මමත් අසල මේසෙක වැඩ කරමින් උන්නු හෙද සොයුරියනුත් විශ්මයෙන් අසා සිටියෙමු.
" ඩොක්ටර් එයාගේ මොලේ වැඩී අනිත් දරුවන්ට වඩා . දැන්මම එයා ....... (පශ්චාත් භාගය) උඩ දාලා ඔළුව උස්සනවා " ඔතන තිත් පේළියේ භාවිතා කරන ලද වචනය ඔබට හිතා ගන්න පුළුවන් නේද ? හෙද සොයුරියන් පිරිස නැගිට විවේක කාමරය දෙසට දිව්වේ හිනාව නවත්තාගත නොහැකිව ය.
පෙර පරිදිම මෙවැනි කතා ගැන අවබෝදයෙන් හිටි නිසා මම නැගුනු හිනා හිතේ තියන් "බොහොම හොඳයි ඒකනම්" කියා හෙමින් විවේක කාමරය දෙසට ගියේ තව මොනවයින් මොනවා කියාවිද කියා සිතමිනි.

.....................
ගර්භනී අම්මාවරුන්ව පරීක්ෂා කරද්දී බඩේ නියපොතු පාරවල් තිබුනොත් අපි විශේෂයෙන් ඒ ගැන වද වෙනවා... ඇතැම් විට එය අක්මාව සම්බන්ධ රෝගාබාද තත්වයකට මුල පිරීමක් දෝ කියලා හිතලා. ඔන්න ඉතින් එහෙම හිතන් අම්මෙක්ගේ බඩ පරීක්ෂා කරනකොට

"නෝනා දන්නවද බඩ කසන්නේ ඇයි කියලා ? ඇතුලේ ඉන්න බබාගේ කෙස් වදිනවා බඩේ ඒකයි" ගර්භනී සමයේ . human anatomy  පාඩම, ගර්භාශය, දරුවා දක්වා තිබෙන පටල ප්‍රමාණය. ඉන්පසු උදරයේ හමේ සිට පහලට තිබෙන ස්ථර සියල්ල සිහිවේ.

 අත පය , හිස, මේවානම් උදරය අල්ලා බැලූ විට දැනේ ඒත් කෙස් ? දැන් ඇයට මෙය පැහැදිලි කරන්නේ ?
" මේන් මෙච්චරක් විතර ඝනකමක් තියෙනවා .   ඉතින් කොහොමද ඔයාගේ හමට බබාගේ කෙස් දැනෙන්නේ" මම අසමි.
 "ඕවා ඔයාලට තේරෙන්නෙ නෑ. " කියමින් ඇය නිහඬ වෙයි.

අපරාදේ පැහැදිලි කරන්න ගිය කාලය ! මම සිතින් සිතමි. බොහෝ විශ්වාස වලට පදනමක් නැති වුනත් ඒවා සමාජයේ මුල් බැසගෙන ඉවරයි.
....................................

කුලියා පිටියේ සිද්ධිය ගැන උනත් මෙහෙමයි.  HIV ආසාධනය ගැන තියා.. සාමාන්‍යයෙන් වෛරසයක් බැක්ටීරියාවක් කියන්නේ මොනවා දැයි නොදන්නා සාමාන්‍ය දැනීමක් සොයා නොයනා පිරිස් සිටින අපේ සමාජෙයේ ( මේ පිරිස බොහෝම වැඩියි. අත්දැකීමෙන් කියන්නේ ) හියුමන් ඉමියුනොඩෙෆිෂන්සි වෛරස් එක ගැන කුමන කතාද ?

"ඩොක්ටර් ලේ ගත්තා බබාගේ අද උදේ රිපෝට් එක කොහොමද දන්නෙ නෑ " තවත් අම්මෙක් ඔළුව කසමින් විමසයි..

" මේක අනුවනම් අම්මේ වෛරස් ආසාධනයක් වගෙයි. කොහොමත් වෛරස් උණට  බෙහෙත් නෑනේ. කරන්න තියෙන්නේ දරුවාට හොඳින් දියර වර්ග දෙන එක. දැනටනම් ඩෙංගු වගේ නෑ එනිසා දියර ප්‍රමාණය මනින්න ඕනේ නෑ.." දැන් මං බලා ඉන්දෙද්දී අම්මාගේ දෑස් විසල් වී වෙව්ලන්නට විය.

" අනේ ඩොක්ටර් බෙහෙත් නැති ලෙඩක්ද හැදිලා තියෙන්නේ අනේ මගෙ දරුවා" අම්මා විලාප තියන්නට සැරසේ.

"අම්මේ කලබල වෙන්න එපා මම කීවේ වෛරස් උණ හදන වෛරස් එක මරන්න ලෝකේ කොහේවත් බෙහෙතක් කරන්නේ නෑ..එහෙම කරන්න බෑ.. මේ වෛරස් එක ඇඟෙන්ම හදන ප්‍රතිදේහ වලින් විනාශකරන්න සහ ඒ හැදෙන දේ ශරීරයෙන් පිටවෙන්න ඕනෙ මුත්‍රා, බහිශ්‍රාවීය ද්‍රව්‍ය මගින්..හැබැයි බෙහෙත් වලින් අපිට ලක්ෂන පාලනය කරන්න, අමාරුකම් අඩු කරන්න පුළුවන්"

ඇයට වඩ වඩාත් පැහැදිලි කර දුනිමි.

බලන්න මෑතක සිදුවුන සිදුවීමත් මේ වගේමනේ ද ? ඇත්තටම එතැන සිටියානම් HIV (වෛරසය) යනු කුමක්දැයි දන්නා ගම්වාසියෙක්... දෙමාපියෙක්...ඒ ගැන රෝග සම්ප්‍රේෂනය වන ආකාරය ගැන දැනුමක් තිබුනේනම් මෙවැනි අනියත බියක් ඇති කරගෙන දරුවෙකුගේ ජීවිතය අඳුරු කරන්නට සිදු නොවෙනු ඇතැයි මට සිතේ. අඩුම තරමේ ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයා ? රටේ වගකිවයුතු පුද්ගලයින් ?


මේ දරුවා සම්බන්ධයෙන් උදව් උපකාර කරන්නට උවමනා යහළුවෙක් මගෙන් ඒ ගැන උදව්වක් ඉල්ලුවා මේ දරුවාගේ මව සමග කතා බස් කිරීමට. කලක් කුලියාපීටිය රෝහලේ සේවය කළ මගේ යහළු වෛද්‍යවරයෙකුගෙන් විමසූ විට ඔහු ප්‍රදේශයේ සෞඛ්‍ය නිළධාරී තුමෙක් සමගත් කතා කරා. එහිදී දැනගන්නට ලැබුනා,  මේ මවට හෝ දරුවාට HIV ආසාධනය නොමැති බව. මෙය හුදෙක් ගම්බද ඕපාදූප තත්වයක් බවද ඇසුනා.

කොහොමත් රෝගාබාධ පැතිරෙන ක්‍රමයක් තියෙනවානේ. ඩෙංගු, බරවා , මැලේරියා නම් මදුරුවා මගින්, එහෙම කියලා ඩෙංගු රෝගියෙක් අත ගෑව පළියට ඩෙංගු හැදෙන්නේ නෑ.

සීමාවාසික කාලයේ නම් ඩෙංගු රෝගීන් හතර පහක් පමණ වාට්ටුවේ සිටී. ඔවුන්ට විදින මදුරුවන් අපටද විදී.  එනමතු ඩෙංගු නම් සෑදුනේ නැත. කැස්ස හෙම්බිරිස්සා උණ තත්ව නම් බෝ වීම වැඩිය. මොකද ඒවා බොහෝවිට සංසරණය වන්නේ වාතය මගිනි.
අනවශ්‍ය බියක් සහ වැරදි කරුණු ගෙන හැර පෑමෙන් මේ රටේ වගකිවයුතු නිලතල දරන්නන් පවසන දෑ තුලින් ඔවුන්ගේම දැනුම් හීනතාවය බොහෝ සේ පැහැදිලි වේ.

 තමාම සොයා බලා කියවා දැනගන්නට  බැරිනම් වෛද්‍යවරයෙකුගෙන් අසා දැනගෙන කතා කරානම් කෙතරම් අගනේ දැයි මට සිතේ.
කට වසාගෙන ඉන්නා තාක් මෝඩයාද පණ්ඩිතයාය යන කියමන නොදන්නා ඉහළ තැන් වල ඉන්නා ඇමතිවරු... කටමැත දොඩා හත් පොලේ ගා ගනිති !


Friday, March 4, 2016

සිඟිති සෝ සුසුම් කුමටද ?

උදෑසන වාට්ටුවට පැමිණි මා, රෝගී දරුවන් පරීක්ෂා කර බලා, ඉන්පසු අප විශේෂඥ වෛද්‍යතුමිය සමග සායන වටයට සහභාගී වෙමින් සිටියදී හෙදිය විසින් මා කැඳවාගත්තේ, " ඩොක්ටර් ස්ටැට් ඇඩ්මිෂන් එකක්" කියමිනි.
ස්ටැට් නම් එවෙලේම එසැනින් බැලිය යුතුය !

අවුරුදු එකොළහක ගැහැණු දැරිවියකි. කලාන්ත වූ බවක් පවසයි. සිනහවක් නැති මුහුන වේදනාවෙන් සිටින බවක් පෙන්වයි.
"මොකද පුතේ උනේ" මම අසද්දී
"දන්නෙ නෑ ඩොට්ටර් " යනුවෙන් ඇය අසල සිටි වයස්ගත කාන්තාව පිළිතුරු බඳින්නට විය.
"ඔයා කවුද අම්මා ද?

මේ දරුවාගේ වැඩිහිටියා ලෙසින් ඉදිරිපත් වී සිටියේ ආච්චී ය.

එකකට එකක් නොපෑහෙන අමාරුකම් බොහෝමයක් ඇය පවසයි. පාසැල් යන්නට ද අකමැති ය. ඇය කියූ ආකාරයට මේ දරුවා බොහොම සතුටෙන් කිසි දුකක් නැතිව ඇති දැඩි වේ. එනමුත් මෙවැනි කතා සිය ගණනක අත්දැකීම් ඇති අපට නම් බොරු කියන අය තෝරා බේරා ගන්න බොහෝම ලේසි බව ආච්චීට වැටහෙන්නේ නැත. හෝරා කිහිපයකින් අම්මා පැමිණියත් ඇය පැවසුවේ දරුවන් සිටින්නේ ආච්චිත් සමග බවය.  දරුවන් මව්පිය සෙනෙහස් ආදරය නැතිව වැඩෙන බවක් වැටහේ.

පසුව ඇති වූ කතාබහකදී මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍යතුමන්ට මේ දරුවා පැවසුයේ ජීවිතය නැති කරගන්නට පවා සිතෙන බවකි.
අවුරුදු එකොළහක දරුවෙක්ට ජීවිතේ නැති කරගන්න හිතෙනවානම්, නිවස අත් හැර දමා කොහේ හෝ යන්න හිතෙනවානම් එය බරපතල ඛේදවාචකයක් යැයි මට සිතේ. ඇගේ කතාව අගමුල සොයා ගැන්ම අපහසු වී ඇත්තේ හරියාකාරව ඇත්ත දකින්නට අපොහොසත් වැඩිහිටි පිරිසක් නිසා ය. දැන් ඔවුන් මේ දරුවාගේ මානසික ආතතිය නිසා ඇති වී ඇති මේ තත්වයට පිළියම් සොයන්නට යන්නේ තොවිල් පවිල් වලිනි.

වෛද්‍යවරුන් ලෙස අප කරන්නේ රෝගාබාද මැඩලීම පමණක් නොවේ. සමාජ සාධන කටයුතුත් ඒ අතරේ වේ. බොහෝමයක් එහෙමයි. සුළුතරයක් එහෙම නොවන අයත් සිටින බව අවබෝදයෙන් දනිමි. කිසිවෙක් කර දෙන තෙක් සිටින්නේ නැතිව අපිම පිළියම් සෙවීමට උත්සුක වන්නෙමු. මන්ද අප මේ ගොඩ නගන දේ අපට නොව අපේ අනාගත දරු පරපුරට පමණක්ම නිසා ය.

මෙහි ඇතුල් වෙන බොහෝ දරුවන් අඩු බර සහිතය. ඔවුන්ගේ ගිලී ගිය දෙනෙත් කෝටු අත පය මවෙත ඉතිරි කරන්නේ දැඩි දුකකි.  දැන් නම් පෝෂණය සම්බන්ධ පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරියක් සිටින නිසා ඇය මේ දරුවන් සහ භාරකරුවන් සියල්ලන්ම තනි තනිව හමුවී ඔවුන්ගේ ආහාර වේලෙහි අඩුපාඩු සොයා බලයි. නමුත් ආර්ථික අහේනියකින් පෙළෙන බොහෝ පවුල් වල මේ පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුව දෙනවදැයි සිතිය නොහැකිය.
මේ දරුවන් බොහෝමයක් ආත්තම්මා හෝ ආච්චිගේ සෙවනෙහි ඇති දැඩි වේ. මව රට යෑම හෝ දෙන්නා දෙමහල්ලන්ගේ ආරවුල් නිසා දුක් විඳින්නේ තැලෙන්නේ මේ සිත් පොඩිති ය.

ඔය අතරේ තමයි මේ කවි පද පබඳින්නේ... සායන වලදී වාට්ටුවේදී මුණ ගැහෙන මේ කුඩා දරුවන් මගේ දෙනෙතට කඳුළු ගෙන දේ.

කඳුළු සිතුවම්…. (මනුපුර සක්මන කවි පොත )

කාසි පස්සෙම දුවන ජීවිත කෙරූ පව් ගැන නෑ හොයන්නේ
ගෙන්දගම් නගරයේ රස්නෙට නොවෙද හදවත තව දැවෙන්නේ
දුකින් බර නෙත් කඳුළු සිතුවම් කෝටු අතපය ඇස ගැටෙන්නේ
සැපක් සතුටක් නොමැති ලෝකෙක අනේ පොඩි උන් අපි තැවෙන්නේ

අම්මෙ දරුවා කන්නෙ නැද්දෝ නිතර එන උන් හා අහන්නේ
අම්ම නොව මං ආත්තම්මා මුන්ගෙ අම්මා නෑනේ නෝනේ
එක්කො එතෙරය නැතොත් මෙතෙරය එතෙර ගිය උන් නැහැනෙ එන්නේ
මෙතෙර දෙන්නා මරා කා ගෙන අම්මා වෙනතක රැඳී ඉන්නේ

කුණු කරත්තේ තල්ලු කරලයි මාත් නෝනේ දිවි ගෙවන්නේ
ඒකි ගිය හැටි අනේ පුදුමයි දරුවො දෙන්නත් මං බලන්නේ
අප්පා බස් වල ටිකට් කඩලයි පුංචි උන්ගේ බඩ පිරෙන්නේ
වැඩිය විස්තර ඔබට මොකටද බෙහෙත් වඩියක් ලියලා දෙන්නේ 

දැවුනු හිත් දැලි අඟුරු විලසට බොහෝ වියළිව සුසුම් ලන්නේ
නොවක් කරදර දරා ගන්නට මෙහෙම ගොරහැඩි වෙලා ඉන්නේ
බිමට බරවූ, කඳුළු පිරි නෙත් මගේ හදවත දවාලන්නේ
අත හැරුනු මව් සෙනෙහෙ සුවඳක් පුංචි හිත තවමත් තලන්නේ

පද බැඳුනු කවි පදත් අත ගා බලමි නෑ නොවැ හිත හැදෙන්නේ
වෙද නලාවත් අතේ දවටන් සැබෑ ලොව වෙත යලි දුවන්නේ
සිනා විසිරෙන හිතක් පුපුරා ඉකි ගසන හඬ තව ඇසෙන්නේ
රෝග දුක් මැඩලනා පුරයට හෙමින් පා ඔසවමින් යන්නේ


ලේන්සුවෙන් වැසූ දරුවාගේ කතාවට පසු, එවැනි අඟ හිඟපාඩු ඇති දරුවන් සඳහා පාවිච්චි කරන ලද එහෙත් ඉවත නොදැමූ ඇඳුම් සහ සෙල්ලම් බඩු බොහෝමයක් සොඳුරු හිත් ඇත්තන් අප වාට්ටුවට විටින් විට ගෙනැවිත් දේ.

අගනුවර රෝහලක් වුනාට, ළඟදී මහ රෝහලක් බවට පත්වුනාට මෙහි බොහෝ අඩුපාඩු තිබේ... වාට්ටුවේ තවම ඇත්තේ සිමෙන්ති බිමකි.

විටින් විට අපි සිටින මේස තබා ඇති කොටස සහ කොරිඩෝ, වාට්ටු බිම රතු පේන්ට් ආලේප කරත් ඒවා වියැකී යන්නේ බොහෝම ඉක්මනිනි.. ඒ මේ රෝහල් වල බිම සහ බිත්ති නිතර නිතර හෝදන පිරිසිඳු කරන නිසාය. මං හිතන්නේ දිනකට දෙවරක්වත් මේ බිම මොප් කරති.

දැන් අපි වෙහෙසෙන්නේ මේ  වාට්ටු බිම ටයිල් කර ගැනීමට උදව් උපකාර ලබා ගැනීමය ( රජයෙන් නොකරනවා නොවේ.. කරදෙන්න ගතවෙන කාලය බොහෝ දිගු ය. ආණ්ඩුවෙන් කර දෙන තෙක් බලා ඉන්න වුනොත් එය සිදුවන්නේ අවුරුදු ගණනාවකට පසුවය. එය අද ඊයේ නොව පෙර සිටම එසේමය)

ඊළඟට කොරිඩෝ වල දැල් ආවරන පමණක් තියෙන නිසා වැස්සකට හාත්පස තෙමේ... මේවාට ආවරණ
සපයන්න බොහෝ දෙනෙකුට අපි දැනුම් දුන්නත් එය තවම නම් සිදුවුනේ නැත.. රෝගී දරුවන්ට ඇති පුස්තකාලයත් සෙල්ලම් කරන ප්ලේ රූම් එකත් ඇත්තේ එවැනි කොරිඩෝවකට දැල් ආවරණ යෙදූ කොටසකය. මීයන් ඔහේ ඇතුල් වේ පිටවේ. සර්පයින් පවා වාට්ටුවට ඇතුල් වෙන්නේ ඒවායෙනි. එකෙක් දෙන්නෙක් රාත්‍රියේ පොළවේ නිදා උන් මව්වරුන් අසලින් යද්දී ඇස ගැටුනු නිසා විනාශයක් සිදු නොවීය. 


ඒ අතරම එච් අයි වී ඇතැයි සැක සිතමින් දරුවෙක්ට පාසැලක් පවා අහිමි කරන්නට තරම් මා පිය පිරිසක් සහාසික වී තිබේ.
"කොයි දව්වත් දව්වෙක්" යැයි පවසමින් බලු පැටව් පූස් පැටවුන්ට පවා කරුණාව පෑ ආත්තම්මලා අත්තලා සිටි රටක, බුදු දහමේ සීල සමාධි ප්‍රඥා වෙන් ආලෝකය ලබන්නට, පෝය දාට පන්සල් පිරී ඉතිරෙන රටක ඇත්තෝ මෙසේ හැසීරීම කොයි තරම් නම් විහිළුවක් දැයි මට සිතේ.

විපතට පත් දරුවාට සහනයක් සලසමින් අන්තර් ජාල සහෘදයෙක් පවසා සිටියේ ඔවුන් මේ අයට උපකාර කරන්නට සිතන බවය. ඒ නිසා වගකිවයුතු අංශවලට කල විමසීම් වලදී හෙලි වුනේ මේ දරුවාට හෝ මවට (මිය ගිය පියාට වත්) HIV වෛරසයෙන් ආසාධිත නොවන බවට පරීක්ෂන වලින් ඔප්පු වී ඇති බව ය. මේ ගැටළු සහගත තත්වය හරියාකාරව කරුණු කාරනා නොදන්නා, හෝ නො පිළිගන්නා වැඩිහිටි සමාජයක් විසින් ඇති කරන ලද්දකි. දැන් මේ දරුවා සහ මව සමාජයේ, ගමේ සෙසු පිරිස වෙත ඇතිකරගන්නේ වෛරයකි.

දරුවාට පීඩාවක් නොවන පරිදි මේ තත්වය මැඩලන්නට උත්සුක වුනානම් කෙතරම් අගනේ ද ?
වෛරස්, බැක්ටීරියා, දිලීර පරපෝෂිතයන් කොතෙකුත් පරිසරයේ සිටිති. ඔවුන් සංසරනය වන සහ අප ශරීරයට ඇතුල් වන අයුරු වෙනස් ය. HIV නම් රුධිර පාරවිලයනයකදී හෝ, රුධිරය ආසාධිත තරල ශරීරගත වීමෙන් පමණක් මේ රෝගයෙන් ආසාධිත වෙන්නට පුළුවනි. එන්නත්, හෝ පාරවිලයන වැනි ආකාරයේ රුධිර ශරීරගතවීමක් මගින්, ලිංගික සබඳතා මගින්, ආසාධිත මවකගෙන් දරුවාට මව් කිරි ඔස්සේ ලෙස මේ තුන් ආකාරයෙන් එය ශරීරගත විය හැක.
මේ මිනිසුන්ට ඇත්තේ අනියත බියකි. කැස්ස හෙම්බිරිස්සාව හැදෙනවා වගේ වාතය මගින් ඒඩ්ස් බෝ නොවේ. ඒවාගේම වැළඳුනු කෙනෙන් ඇල්ලුවාය කියාත් බෝ නොවේ ( වෛද්‍ය ශිෂ්‍ය අවධියේ අපිට නම් ආසාදන ගැන තියෙන පාඩම් මාලාවේදී ඔවුන් මුණ ගැසී පරීක්ෂා කර බලා, කුඩා දරුවන්නම් වඩාගෙනත් තිබේ)  ඇල්ලූ හෝ එක ළඟ වාඩිවී සිටි පමණින් බෝ වෙන්නේ නැත. අප රටේ සෞඛ්‍ය අධ්‍යාපනය ගැන ද මානුෂීය ගුණධර්ම ගැන ද ඇතිවෙන්නේ කම්පාවකි.

අනිත් කොන කතා පොතට මා ලියූ යුධ අවසානයේ උතුරේ රෝහල් අත්දැකීම් කතාන්දරයක කොටසක් මතක් වේ...

                    සැත්කම් කරද්දී බොහෝ විට ඉඳිකටු අතේ ඇනෙයි. සමහර විට රුධිර නාලිකා පිපිරේ. බොහෝ විට පෙකණිවැල කපද්දී රුධිරය දස අත විදිමින් විසිරේ.. අපේ නිරාවණය වූ මුහුණේ කොටසේ , ඇස්.. වල තැවරේ. මාතෘ හා ගැබිණි වාට්ටුවල සෑම අම්මෙක්ටම VDRL පරීක්ෂණය කර නොතිබිනි. (යුද්ධය හමාර වූ කාලයේ ය. ඔවුන්ගේ සායනික කාඩ් පත පවා නැතිව පැමිණේ.) හදිසි අවස්ථාවක කිසිවක් පරීක්ෂා නොකෙරේ. ඔවුන්ගේ රුධිරය කැපුම් තුවාල ඔස්සේ අප ශරීර ගත වේ. HIV , ඒඩ්ස් තිබෙනවාදැයි වත් නොද නී.
සීමාවාසික කාලය පටන් ගත් මුලදී නම් කැපුමක් මසද්දී අතේ ඉඳිකටුවක් නො ඇනුනු දිනක් නොවීය.
දිනක් සීසේරියන් සැත්කමක් අවසානයේ අත් වැසුම් ගලවද්දී මා දුටුවේ ඉඳිකටු පාරක් ඇනී ඇති අන්දම. ඉතා දුක්බරව..
"අපොයි අම්මාට භයානක ලෙඩ නොවේවායි ප්‍රාර්ථනා කරනවා " යි මම කියද්දී , නිර්වින්දක වෛද්‍යවරයා මා වෙත එමින් පැවසුවේ. රුධිර නාලිකාවට කැනියුලාව ඇතුල් කිරීමටයද්දී ඒ අම්මා දැඟලූ නිසා කටුව ඔහුගේ ඇඟිල්ලේ ඇනුනු බවයි. " මගෙත් ඇනුනා, හැදුනොත් අපි දෙන්නටම ..." ඔහු හිනාවෙමින් පැවසුවේය.
~ අනිත් කොන - a doctor's heart sutra ...

Tuesday, January 26, 2016

දැන් ඉතින් විසිකරන්න යෑ !



දහවල් එකොලහට පමණ ප්‍රසූතිකාගාරයෙන් මට ලැබෙන දුරකථන ඇමතුමෙන් කියවෙන්නේ දිනයක් හෝ වයසක් නොදන්නා දරු ගැබක් සහිත කාන්තාවක් ඇතුලු වූ බවත් ඇය දරුවා ලැබෙන්න ආසන්නයේ සිටින බවත් ය. මාස 8ක පමණ ගැබිණියක් වන මම හනි හනික  එදෙසට දිව ගියෙමි.

දරුවා ලැබෙන්නට ඔන්න මෙන්න නිසා දරුවාගේ ප්‍රමාණය ස්කෑන් කර බලා සති ගණන නිර්ණය කිරීමටද නොහැක. නොමේරූ දරුවෙක් බිහි වුනොතින්, නොමේරූ ළදරු ඒකකයකට හෙවත් PBU / NICU එකක දරුවා ඇතුල් කළ යුතුය. එවැනි ඒකකයක් අප මූලික රෝහලේ නොමැත. දැන් ඉතින් කරන්නට තියෙන්නේ මේ අවදානම් තත්වයෙන් මව වෙනත් රෝහලකට යැවිය නොහැකි නිසා දරුවා ඉපදුනු පසු තත්වය අනුව ක්‍රියා කිරීමය යන්න විශේෂඥවරයාගේ මතය විය.

මහ රෝහල් කිහිපයක නොමේරූ ළදරු ඒකක හා දුරකථනය ඔස්සේ සම්බන්ධ වී මෙවැනි තත්වයක් ඇති නිසා අවශ්‍ය වුනොත් එන බව පවසා දැනුවත් කර තැබුවෙමි. හදිසි තත්වයකට අවැසි උපකරණ, මෙවලම් ලැහැස්ති කර ගත්තෙමි. කෘතිම ස්වසනය දෙන්න අවශ්‍ය දෑ මෙන්ම උණුසුම ලබා දෙන විශේෂ ළදරු වෝමර් එකද ලැහැස්තිය. දැන් ඇත්තේ, මවට සහ දරුවාට කිසි කරදරයක් නොවේවා යැයි ,  සිතමින් බලා සිටීමය.

මේ අම්මා කිසිම දිනක සායනයකට හෝ වෛද්‍යවරයෙකු හමුවට ගොස් නැත, කොටින්ම දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටි කෙනෙකු නොවේ. විටමින් පෙති, පෝෂණය අවැසි ලෙස ලැබුනාදැයි නොදනී. ගෙදර තව දරුවන් දෙදෙනෙකු සිටින බව පැවසේ. ඇය පදිංචි වී සිටින්නේද මහා දුරකින් නොවේ. හරිනම් පවුල් සෞඛ්‍ය නිළදාරිනියන් මෙවැනි කතුන් ගැන සොයා බලා අදාල වෛද්‍ය නිළදාරීතුමන්ට දැන්විය යුතු නොවේද ?

මෙවැනි කතන්දර ඇසෙන පළමු අවස්ථාව මෙය නොවේ. ඕනෑ තරම් ස්ත්‍රීන් බඩේ කැක්කුමට බෙහෙත් ගන්නට බාහිර රෝගී අංශය වෙත පැමිණ, එසැනින් හදිසි ප්‍රතිකාර ඒකකයේ හෝ, අප වාට්ටුවට ගෙන එද්දී ට්‍රොලිය මත හෝ, ත්‍රීවීල් වල දරුවන් ප්‍රසූත කරති. ඔවුන් හැමෝටම ඇත්තේ  එකම එක කතාවකි. දරුවෙක් ලැබෙන්න සිටි බවක් දන්නේ නැත ! යන්නයි.
මේ කියවන ඔබට ද, අපට ද එය විශ්වාස නොකළ හැකි බව මම දනිමි. නමුත් ඔවුන් එක හෙලා පවසා සිටින්නේ එයයි.

සමහරුන් අවිවාහක තරුණියන් ය. අම්ම ලා තම දියණියන් රැගෙන එන්නේ ඉවසාගත නොහැකි බඩේ කැක්කුමට බෙහෙත් අරන් දෙන්න ය. නමුත් කැඳවීමක් ලැබෙන්නේ ප්‍රසව හා නාරි අංශයේ වෛද්‍යවරුන් වන අපට ය. බොහෝ විට පරීක්ශා කිරීමේදී.. දරුවාගේ හිස පිටතට පැමිණීමට ආසන්නය. එවිට, මේ බව පැවසූ විගස අර දියණියගේ අම්මාවරු හදිසි ඒකකය හෝ අප වාට්ටුව දෙවනත් වෙන්න කෑ කෝ ගසයි, බැණ වදියි. එක්කෝ අර දරුවා ලැබෙන්න ඔන්න මෙන්න අමාරුවෙන් සිටින දුවට ගුටි පූජාවක් කරයි. ඒවා බේරන්න වෙන්නේත් අපටමයි. සමහරුන් කලාන්ත වේ. ඔවුන් සියල්ලෝම මාස 8 ක් හෝ 9 ක් ගෙදර සිටින දරුවා ගැබ්බර බව නොදැන සිටි බව අපට කියති.

 ඉතින් අර මා මුලින් සඳහන් කළ අම්මා ! ඇය තව මිනිත්තු දහයකින් පමණ ඇය දරුවා ප්‍රසූත කළාය.... වේගයෙන් ගැහෙන හදවත් වලින් සහ බලාපොරොත්තු සහගත හිතින් සිටි අප සැම සනසමින් ඒ දරුවා ඉපදුනේ දෙවනත් වෙන්න අඬමිනි, නිසි ප්‍රමාණයට වැඩී තිබුනි. වෙනත් සංකූලතා නොතිබිනි.
දැන් දරුවා පරීක්ෂා කර ඉවත යන්නට කලින් ඇයවෙත පැමිණ දරුවා හොඳින් යැයි පැවසූ විට ඇය මට ද පෙර කතාවම පැවසුවාය. මාද එවිට අට මස් ගැබිණියකි.

"මට දැනුනෙවත් නෑ බඩේ බබෙක් ඉන්නවා කියලා " ඇය පවසයි.

 .....අනේ අම්මා ඔයා මටම කියනවනේ බබෙක් දඟලනවා දැනෙන්නේ නෑ කියලා....
කියන්නට බොහෝ දෑ තිබුනත් මා සිතින් සිතුවේ එයයි.
"දරුවා නිරෝගීයි, හොඳින් රැක බලා ගන්න අම්මේ, ප්‍රශ්නයක් තියෙනවා නම් අපට කියන්න අපි උදව් කරන්නම් " යැයි පවසා  ඉවත ගියේ, දරුවන් නැතිව කොතරම් ස්ත්‍රීන් ප්‍රමාණයක් දුක්වෙනවාද යන්න සිහිපත් කරමිනි.

 ඔවැනි ම තවත් සිදුවීමකදී දරුවා ලැබුනු පසු ඒ අම්මා කීවේ " දැන් ඉතින් වැඩී කියලා විසි කරන්නයෑ..." යනුවෙනි.
ඇයද සායනයකට හෝ වෛද්‍යවරයෙක් හමුවට ගොස් තිබුනේ නැත. දරුවා උපන්නේ හර්දයේ සංකූලතා සහිතවය. උපන් වෙලේ සිට වෙහෙසුනේ, වෛද්‍යවරුන් සහ හෙදියන් ය.
ඔක්සිජන් නල සම්බන්ද කර, විවිධ පරීක්ෂන, ඖෂධ දෙමින්, මොනිටර් දිහා දින ගණනක් බලාගෙන සිටියේ අපය. වෙහෙසුනේ අප ය. ඇය නොවේ. අවසන අපට ඇය පවසන්නේ "
දැන් ඉතින් හදා ගන්නට එපැයි, විසිකරන්න යෑ" යනුවෙනි.

අවධානම් තත්වයෙන් මිදුනු දරුවාට , හරියට කිරි ටිකක් දෙන්නේ නැත, දරුවා තුරුලු කරගන්නේම නැත. ඒ සඳහා නිතර විමසා බලන්නේ ද හෙද සොහොයුරියන් සහ අප ය. ඇතැම් විට, මළපහ කරගත් දරුවා සෝදා පිරිසිඳු කර දෙන්නේද අප හෙද සොයුරියන් ය. නාවන්නේ ද ඔවුන් ය.
ඇතැම් විට තවත් බරක් වෙන මේ දරුවන් අනවශ්‍ය නම් ඔවුන් කරන්නට තිබුනේ, අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන පවුල් සැලසුම් ක්‍රමවේදයක් අනුගමනය කිරීමය. ඒවා ගැන සමාජයේ දැනුවත් කිරීමද දැනුවත් වීමද අඩුය.
දරුවෝ නැති අම්මාවරු , දරු සුරතල් දකින්නට සිහින දකිමින් බලාපොරොත්තුවෙන් සිටී. මට මතක් වෙන්නේ ඔවුන් ය.
දැන් මේ දරුවන් හැදෙන්නේ, ඔවුන්ව ඕනෑ නැති වුන පරිසරයක, දෙමාපියන් හෝ මවෙක් සමග ය. ඒ පුංචි හිත හැදෙන හැටි, විඳින දෑ ගැන සිතා මා කම්පා වෙමි.

 ඔවුන් බොහෝමයක් දැඩි ආර්ථික අපහසුතා ඇති පවුල් ය. දැන් මේ දරුවන්ගේ අනාගතය කෙසේ වේදැයි අපට අනුමාන කල හැක. නමුත් මේ දරුවන් රැක ගැනීමට ක්‍රම වේදයක් අප රට තුල ක්‍රියාත්මක නැත. එළඹ ඇත්තේ දරුවන් ගැන වැඩියෙන් සිතිය යුතු කාලයකි !

Thursday, January 14, 2016

ලේන්සුවෙන් වැසූ දරුවා...


එක දිගටම වෙහෙසෙන්න සිදුවුනා, අවුරුදු දෙකක පමණ දරුවෙක්, තමන්ගේ ආච්චිගේ බෙහෙත් පෙති බෝතලෙන් බෙහෙත් පෙති කාලා... මුලින් අහන කොට සෙමට ගත්ත බෙහෙත් බව කීවත් දරුවාගේ අසාධ්‍ය රෝග ලක්ෂන හමුවේ, අම්මා පවසනවා ඇගේ මවට මානසික රෝගාබාධයක් ඇති බවත් ඒ සඳහා දිගටම බෙහෙත් බොන බවත්.. ඒවා බී ඇති බවත්.
උදරය සෝදා,(gastric lavage)  නහයෙන් බටයක් දමා (NG tube), විෂ උරාගන්නා ඖෂධීය රසායන උරාගන්නා ක්‍රියාකාරී අඟුරු (ඇක්ටිවේටඩ් චාකෝල්) දීම වැනි මූලික ප්‍රතිකාර වලට අමතරව... බෙහෙත කුමක්දැයි නොදන්නා නිසා විශේෂයෙන් සැලකිල්ලෙන් පරීක්ෂා කරමින් සිටින්නට වුනා.... .... බෙහෙත් වගේ දේවල් ප්‍රවේශම් තැනක, අල්මාරියක වගේ ලොක් කරන්න යතුරු දාන්න පුළුවන් තැනක තියන්න ඕනේ...විශේෂයෙන් ගෙදර කුස්සියේ ඇති භූමිතෙල්, විෂබීජනාශක, කෘමි නාශක මදුරු කොයිල් වැනි දේවල් දරුවන්ට ගන්න අතපොවන්න හැකි තැන් වල තියන්න එපා... දැන් මම ඒ අම්මට කියා දෙනවා. ඒ දරුවාගේ ඇඟ වැහෙන්න එලා තිබුනේ අම්මාගේ ලේන්සුව... ඒකත් පහළ කොටස විතරයි.. ඇයි ඇහුවම "හදිසි ඒකකයෙන් වමනේ කරව්වානේ... බඩ සේදුවා එතකොට ඇඳුම් තෙමුන නිසා ඉවත් කරා ගෙදරින් ගෙනෙනකම් ඇඳුමක් නෑ " කියන උත්තරේ දුන්නේ. වාට්ටුවේ දෙන්න කියලා ඇඳුමක් රෙදි කඩක් තිබුනේ නෑ.

යන්තම් ඒ දරුවා සුව අතට හැරෙනවිට... රෑ එකොළහට පමණ තව දරුවෙක් ගෙනෙනවා අවුරුදු 3 ක පමණ.... භූමිතෙල් බීලා ඇඟේ හලාගෙන... හැබැයි බීලා තියෙන්නේ හවස 5 පමණ ලු. ඇයි මෙච්චර පමා උනේ ඇහුවම අනිත් දරුවෝ දෙන්නත් එක්ක එන්න බැරි නිසා සැමියා වැඩ ඇරිලා එනකම් හිටියා කියලයි. අතේ මාස 3ක දරුවෙක් නිදි.. මේ දරුවා එක්ක තව අවුරුදු 5ක පමණ දරුවෙක්... මේ ඔක්කොමලා ඉතා කිලිටි ඇඳුම් ඇඳගෙන හිටියේ... දැන් ඉතින් කොහොමත් භූමිතෙල් පෙවුනාම වමනය කරවීම හෝ බඩ සේදීම කරන්නේ නැති නිසාත්, පෙවී ඇති ප්‍රමාණය ගැන නිනවුවක් නැති නිසාත්, වේලා ගත වී පැමිණි නිසාත් දරුවා මොනිටර් කිරීම හෙවත් සුපරීක්ෂා කාරීව බැලීම පමණයි අපට කරන්නට තිබුනේ.. පොඩ්ඩා නම් බොහොම දඟකරමින් හිටියා. සැමියා කම්කරුවෙක්...
දැන් ඊළඟ ප්‍රශ්නේ, “නවතින්න වෙයිද ඩොකටර්, ඇඳුම් ගෙනාවේ නෑ” අනේ ඉතින් අපේ ඇඟේ ලේ වතුර වෙන සුළු විදිහට දරුවෝ ගැන සැලකිලිමත් නොවන, ආර්ථික අපහසුතා ඇති මෙවැනි පවුල් වල මෙවැනි අඩු සමාජ අවබෝධයක් සහිත මව්වරු එක්ක කතා බහ කරලම දැන් විඩාවට පත් වෙලා ඉන්න අපි, වාට්ටුවේ අපි තියා ඇති ඇඳුම් වල මේ පැංචාට හරියන ඇඳුමක් තිබුනේ නැති නිසා... මුළු රෑම ඒ පැටියා අර ඇඳුමෙන්ම සිටියා..
කලින් මා කියූ පෙති බී පැමිණි දරුවාගේ අම්මා, මානසික රෝගියෙක් වන ආච්චී ළඟ දරුවා දමා යන්නේ..කඩේක වැඩට... තාත්තා කම්කරුවෙක්.. තව අවුරුදු 10 පමණ අයියා තමයි.. මල්ලී පෙති කනවා දැකලා කටට අත දාලා පෙති අරන් දාලා තියෙන්නේ... ඊළඟට...අම්මාට දේශනයක් දුන්නා ආච්චීත් මානසික රෝගියෙක් නිසා ඇයට දරුවන් බලා ගන්න දමා යන්න එපා කියලත්...
අද උදෑසන ඔවුන් බලන්න පැමිණි අල්ලපු ගෙදර වැඩිහිටියෙක් මට කියනවා... "අනේ ඩොක්ටර් බලන්න, අර වයසක ගෑණු කෙනාට ළමයි බලන්න බෑ.. පෙති බීලා නිදි මතේ ඉන්නේ වැඩි හරියක්... දැන් මේ බබා, වැටි වැටී ඇවිදිනකොට මත් වෙලා වගේ නිසා අපියි දැකලා ඇහුවේ අනිත් බබාගෙන් පුතේ මල්ලිට මොකද කියලා.. එතකොට ඒ ළමයා තමයි කීවේ මල්ලී ආච්චිගේ පෙති බීලා බව... අපි ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනාවා..."
ඒත් දැන් ඒ අම්මා අපිට ඔය කතා මොකුත් කීවේ නෑ... දරුවා දැන් බීවා උස්සගෙන ආවා වගේ තමා කතා කලේ... ඒ දරුවාටත්, ඇඳුම් ගෙනත් නෑ... ලේන්සුවක් පෙරවලා ! 
දෙමාපියන් ආර්ථික යුද්ධෙක... රටේ පාලකයන්ට මේවාගේ සංවේදී කතා අහන්න අත්දකින්න ලැබෙන්නේ නැතිවා ඇති... බොහෝමයක් අයට දරුවන්ට ඇඳුමක් පැළඳුමක් ලබා දෙන්නවත් මුදල් නෑ... ඒ අය දකින අපේ හිත් තමයි හඬා වැටෙන්නේ.. 
රටේ මිනිසුන් වෙනුවෙන් ක්‍රියා කල යුතු කාලයක... බහුතරයක් දෙනා බොහෝ දුක් විඳිමින් ජීවත් වෙන බව දකිනවා. මේ ගැන අපි මොකද කරන්නේ ? අසරණ අයට සහන සලසන ක්‍රමයක් අපේ රටේ රෝහල් තුල ඇති කරලා තියෙන්නේ එක්කෝ රෝහල් කාර් යය මණඩලයේ උත්සහයෙන් එහෙම නැත්නම් එන් ජී ඕ එකක හරි සහන පුණ්‍ය ආයතනයක අනුග්‍රහයෙන්. 
කිරි දරුවන් අරගෙන එන අම්මලා බොහෝමයකට නැපීස් නෑ.. අපි වාට්ටුවේ එකතුකරලා තිබෙන දේවල් වලින් ජීවානුහරණක කර කර දෙන්නේ... සමහර අම්මාලාට බෙඩ් ජැකට් නෑ... එකම එක කුණු ගඳ ගසමින් ඇඳගෙන ඉන්නවා... චීත්ත බෙඩ් ජැකට් මම කීප වරක් ගෙනැවිත් දුන්නා.. මා ඇන්ද ඒවා පවා ... සෝදා මැද ගෙනත් දුන්නා.
මට වෙලාවකට හීල්ලෙනවා... මේවගේ දරුවන් ඇස ගැටෙද්දී.. ඔවුන් පරික්ෂා කරද්දී, හිත පුරා බොහොම ලොකු දුකක් ඇතිවෙනවා. මට මගේ දරුවා මතක් වෙනවා. මගේ දරුවා දකිද්දී, දුක් විඳින මේ පොඩි ජීවිත මතක් වෙනවා. “රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ” කියන වචන ටික හිතේ දෝංකාර දෙනවා.
තව මොනවද අපට මේ ගැන කරන්න පුළුවන්... මතකනේ උතුරු කොනේ ජීවිත ගැන මම ලීවා. ඒ හා සමානව දුක් විඳින පිරිසක් මේ දකුණු කොනෙත් ඉන්නේ......
 "ඇයි මේ අපිරිසිඳු ඇඳුම් අන්දවන්නේ. ?"  අපේ ප්‍රශ්ණ ඇසීම් හමුවේ ඔවුන් නිරුත්තරයි... අසරණයි
හැමදාම අපි ගෙවල් පීරලා ඇඳුම් එකතු කරගෙන දෙනවා, සල්ලි වලට අරගෙන දෙනවා.. ...නමුත් එය සෑහෙන්නේ නෑ... එනිසයි මම මෙහෙම ලියන්න හිතුවේ... 
මේ සටහන කියවන සංවේදී හිත් ඇත්තවුන්ගෙන් මා ඉල්ලන්නේ.. ඔබේ කුඩා දරුවා ඇඳලා ඉවත දමන කුඩා වූ ඇඳුම් තිබේනම්... මා සේවය කරන රෝහල් ළමා වාට්ටුවට ලබා දෙන්න...ළදරු පැම්පර්ස් උනත් කමක් නෑ. ඒක විශාල පිනක්... මේ කුඩා අසරණ ජීවිත දැක්කම මට බොහෝම දුකක් දැනෙනවා.. අනේ උන් ඇති හැකි තැනක උපන්නා නම්... කියලා ! මේ කොළඹ ආසන්නම තිබෙන අති දුෂ්කර ජීවිත ගත කරන බොහෝ දුගී අයවලුන් යන එන රෝහලක් !

පසු සටහන : 
මේ සටහන ලීවේ මුහුණු පොතේ... මගේ යහළුවන්ට, නෑ හිතවතුන්ට... මෙහෙම ලියලා මුහුණු පොතේ දින දෙක තුනක් ඇතුලත බොහෝ සත්කාර හිත් තියෙන අයවලුන් අප රෝහලවෙත ආවා. අඳින්න බැරි නමුත් වෙනකෙනෙකුට ඇඳිය හැකි බොහෝ දෑ රැගෙන ආවා. සෙල්ලම්බඩු, පිටිකිරි ළදරුවන්ට අවශ්‍ය සනීපාරක්ෂක දෑ රැගෙන පැමිණි ඔවුන් ගෙනා දෙයින් වාට්ටුවේ තිබෙන එකම කබඩ් එක පිරී ඉතිරී ගියා. දැන් මේවා සැරෙන් සැරේ අවශ්‍යම කෙනෙක්ට පවුලකට ලබා දෙනවා. ඊළඟට අලුත උපන් බිළිඳුන් සිටින වාට්ටුවට ඔවුන් පරීක්ෂා කිරීමට ගිය විට එතැන තිබෙන දුෂ්කර බොහෝ දුගී අම්මලා, බිළිඳුන් වෙනුවෙන් අපේ වාට්ටුවෙන් ගෙන්වා නැපී, තුවා සහ අනෙකුත් දේ ලබා දෙනවා. 
ඔබ හැම දන්නවා රජයේ රෝහල් වලට එන්නේ දරිද්‍රතාවයේ බොහෝ ගිලී ඇති ජීවිත. අනුන් කරනකම් බලා නොසිට අපෙන් රටට සිදු විය යුතු දේ කරන එකයි වැදගත්කම !