Wednesday, October 26, 2011

ලෙඩක් හැදුනොත් අපි හැමෝටමයි.. වෙහෙසකර වෙද සිත !

දන්නා හඳුනන කෙනෙකුගේ දන්නා හඳුනන අයෙක් අප මහ රෝහලේ ශල්‍ය වාට්ටුවට ඇතුල් කර ඇතැයි දැනූම් දුන් නිසා පසු ගිය දිනක මම එහි ගියෙමි. එහි ගොස් එළියට විත් ගැහැණු වාට්ටුව අසලින් යද්දී මා වෙත දිව ආ තරුණියක්...

"ඩොක්ටර් ට මතකද මාව " කියා මගේ අතේ එල්ලීගෙන ඇසීය.

අතේ එල්ලෙන්න තරම් මාව දන්න මේ මම නොදන්න තරුණිය කවුරුන්දැයි මම මගේ මතකය පුරා තත්පර ගණ්නට ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයෙන් සෙව්වෙමි. නැත මුහුණ නම් මතකය , කවුදැයි අමතකය.

ටවුමට ගියෝතින් හැම තැනින්ම ඩොක්ටර් , ඩොක්ටර්. කොහොමද ඩොක්ටර්, කොහෙද මේ යන්නේ ඩොක්ටර්... ඉවරයක් නැත. මටනම් දැන් එය සොඳුරු කරදරයකි. ඔවුන් හට අමාරු වෙලාවක අපි කරදර වුනාක් මෙන් මා ගැන් ඔවුන් කරදර වෙයි.

"ඩොක්ටර් මම පැනඩෝල් බීලා ඇවිත්... රෑ වාට්ටුවේ ඉන්නකොට ..." ඇය එසේ කියද්දීම මට මතක් උනේ.. පැනඩෝල් හෝ වස බී පැමිණෙන තරුණියන්ට තරුණයන්ට මම දෙන අවවාද ගොන්නය. ඒ දෙන්නෙත් සිනා මුහුණින් නම් නොවේ. ආයේ වහ නම් බීලා එන්නේ නෑ කියන්නටම සත්තම දාන්න වෙන්නේ මේ දරුවන් කරනා මෝඩ වැඩ නිසාවෙනි.

"අනේ දරුවෝ සමාවෙන්න ලෙඩ්ඩු දාස් ගානක් බලනවනේ. නිච්චි නෑ. දැන් මොකද කරන්නේ"

"ඩෝක්ටර් එදා අපිට විකාර නවත්තලා ඉගෙන ගන්නයි කිව්වනේ... ජීවිතේ මේ ගමෙන් එහාට තියෙන දුර පෙන්වලා දුන්නනේ.. මම කැම්පස් යන්නයි ඉන්නේ"
"මට හරිම සතුටුයි දරුවෝ" මටත් වඩා උස මේ තරුණිය මා ඉදිරියේ දණ ගසා වැඳ වැටුනි.
"මේ මොකද දැන් මෙහෙ ඉන්නේ"
"ඇපෙන්ඩිසයිටිස් හැදිලා ඔපරේට් කලානේ " ඇගේ මවද පැමිණ හැඳුනුම්කම අලුත් කර ගති.

ඇය 17 හැවිරිදි වියේ සිටියදී, පෙම්වතා වෙන කෙල්ලෙකු හා හාද වුනා යැයි පැනඩෝල් පේති 30 පමණ බී අපේ වාට්ටුවට ඇතුල් කර තිබිනි. "ආයේ ඒ කොල්ලව ගෙනත් දෙන්න කියලා අඬනවා ඩොක්ටර්" අම්මා අප හා පැවසීය.

"අම්මේ ඉල්ලන ඉල්ලන දේ දීලා සැප දීලා දරුවෝ හැදුවා වගේම ඒ දරුවන්ට හරි දේ කියා දෙන්නත් දැනගන්න ඕනේ. ඔහොම කරන කොල්ලො වැඩක් තියෙනවද අම්මේ... ඔය ගෑණු ළමයි දීග තල දෙන්න කලින් හොඳට උගන්වන්න. "

ඊළඟ දවසේ අප වෙත පැමිණි අම්මා පැවසුවේ.. "අර කොල්ලා ආවනේ ඩොක්ටර් සැප දුක බලන්න, මම දුන්නා කම්මුලට පාරක් වාට්ටුව මැද්දෙම, ආයෙ පස්සවත් නොබලා ගියා." අම්මා අප වෙත පැමිණ කීවාය.

"අනම් මනම් අමතක කරලා ඉස්කෝලේ ගිහිං හොඳට විභාගේ කරන්න. කැම්පස් ගිහිං හොඳ රස්සාවක් ලැබුනම ඔයා දැන් දුක් වෙන්නේ මොනවටද කියලා හිතෙයි දරුවෝ" මම පුළුවන් තරම් ඇගේ හිත හැදුවෙමි.
දැන් ඒ තරූණිය අවුරුද්දකට පමණ පසු මගේ ඉදිරියේ හිටගෙන සිටී... මම සොම්නස් සහගත හැඟුම් සමග ඇයට සමුදුන්නෙමි.


දිනුක මල්ලි පසුගිය ලිපියට ලියූ කමෙන්ටුවක වැදෑමහ සම්බන්ද කතාවක් ලියා තිබූ නිසා
(දිනුක ජයකොඩි said...
වෛද්‍යවරු වීශේෂයෙන්ම අපේ රටේ අය ගොඩක් වෙලාවට ලෙඩ්ඩු ගැන හිතලා කටයුතු කරනවා.මේ ළඟදි සොයිසා එකේ බබෙක් හම්බ උන අම්මා කෙනෙක්ගේ වැදැමහ සම්පූර්ණයෙන් ඉවත් නොවීම නිසා රුධිර වහනය වීම නතර නොවුන වෙලාවෙ එතන හිටි වෛද්‍යවරිය අතට දමාගත් සාමාන්‍ය ශල්‍ය අත්වැස්මක් සහිතව ගර්භාශය තුලට අත දමා වැදෑමහේ ඉතිරි කොටස් ඉවතට ගන්නා ආකාරය මම බලාගෙන හිටියා.ඇත්තටම සෞඛ්‍ය සේවකයින්ට රෝගියෙකුගේ රුධිරය කියන්නෙ ඕනෙම රෝගයක් වැලඳීමට ඉඩ ඇති ආසාදිත ද්‍රව්‍යයක් ලෙස සලකන ලෙසයි උපදෙස් දී ඇත්තෙ.නමුත් මැණික් කටුව දක්වා පමණක් අත්වැසුම ඇති ඇයගේ වැලමිට දක්වාම අර අම්මාගේ රුධිරය තැවරුනා.ඇය ඒ ගැන යන්තම්වත් තැකුවෙ නෑ.ඇයට වැදගත් උනේ අර අම්මගේ ජීවිතේ. කට්ටිය නිරපරාදෙ දොස්තරලට බණිනවා තමයි.නමුත් කවුරුවත් ඔවුන්ගේ වැටුප ගැන දන්නෙ නෑ.බෝවෙන රෝග බහුල පරිසරයක ඉන්න සිදුවී තිබෙන ඔවුන්ට ඕනෙම මොහොතක ඕනෙම රෝගයක් වැළදෙන්න පුළුවන්.ඒත් කවුරුවත් ඒ ගැන පැමිණිළි කරනවා කවුරුත් අහල තියෙනවද?)
ඉහත comment එක නිසා මට ඊට සම්බන්ද කතාවකුත් මතක් වූනා... 

එක් දිනෙක සායනයකට පැමිණි අම්මා කෙනෙක් "ඩොක්ටර්ට මතකද මාව ? " මගෙන් ඇසුවාය.
"කී දෙනෙක් මතක තියා ගන්නද ?" මට සිතිනි.
"මේ ඩොක්ටර් තමයි මගේ වැදෑමහ එළියට අරගෙන මාව බේර ගත්තේ..." ඇය ඇගේ ස්වාමි පුරුෂයාට එකවනම පැවසීය, ඒත් මහ හයියෙනි, ඒ හඬට හෙදියද බෙල්ල උස්සා අප දෙස බැලීය .

ඇය පැවසූ ඒ සිදුවීම මට මතක් විනි. එදින අපේ අපේ විශේෂඥ වෛද්‍යවරයා නොමැති නිසා සීසේරියන් සැත්කම් හෝ මොනම හදිසි සැත්කමක්වත් කරන්නට නොහැකි නිසා සියලුම එවැනි හදිසි අවස්ථා කලින් හඳුනාගෙන ඊළඟ මහ රෝහල වෙත යවන ලද සති අන්තයක් විය.

ඒ මව දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ගර්භාෂයෙන් එළියට පැමිණියේ නැති නිසාත්, බොහෝ සේ රුධිරය වහනය වෙමින් තිබුන නිසාත් අප විශේෂඥ වෛද්‍යතුමන් මෙහි නොසිටීම නිසාත්,  ERPC ඉක්මනින් සැත්කමකට භාජනය කළ යුතු වූයෙන් , මීට එහා පිහිටි මහ රෝහලට යැවිය යුතු විනි. වේලාව රාත්‍රී 12යි. අනෙක් වෛද්‍යවරයා විසින් කිහිප වරක් උත්සහ කළද එය එළියටගැනීමට නොහැකි විය. පසුව මට කතා කළේය.

"අනේ වඳින්නම් මාව වෙන තැනකට යවන්න එපා. ඉක්මනින් මට මගේ දරුවා බලන්න ඉඩ දෙන්න"අම්මා ප්‍රසූතිකාගාරයේ ඇඳෙන් බිමට පැනීමට සැරසේ.

"මේ අම්මා මෙහෙම යැව්වොත් ගොඩක් බ්ලීඩ් වෙන්න ඉඩ තියෙනවා, අපි කොහොම හරි එළියට ගමු"

හුඟක් වෙහෙසවී සිටි අනෙක්  වෛද්‍යවරයා ෆෝම් පුරවන අතරේ... නැවත අවශ්‍ය ඖෂධ කැක්කුම් නාශක එන්නත් දෙමින්, හේදිය විසින් කපන ලද අත් වැසුම් එකින් එක මම වැලමිට දක්වා දමා ගත්තෙමි. වැදෑමහ සිරවූ විට, ඇඟිලි කපන ලද පිරිසිඳු අත්වැසුම් වැලමිටට එහා සිට එකිනෙක දමා ගත යුතුය.අන්තිමට ඇඟිලි සහිත අත් වැසුම් දමන විට මුලු අතම රබර් ගලවුස් නීසා තදවී ඇදුම් කයි. එහෙත් අපේ කාර්යය අප කළ යුතුය.

"අනේ මම මැරෙයිද නෝනා... අනේ කැක්කුමයි නෝනා.." අම්මා වැලපේ.

" හරි අම්මේ හොඳට හුස්ම ගන්න, කලබල වෙන්න එපා, තද කරන්නේ නැතුව මට උදව් වෙන්න" වැදෑමහ සම්පූර්ණ වශයෙන් එළියට ගැනීමට නොහැකි ලෙස එය කෑලි කැඩී ගොස් තිබිනි.

" අම්මේ හම්බුනේ දුවෙක්ද පුතෙක්ද, කීවෙනි දරුවාද ? ගෙදර ඉන්න දරුවන්ගේ වයසා කීයද ?"

"අප්පේ ගෙදර ඉන්නේ අයියලා දෙන්නෙක්ද එහෙනම් මේ නංගි බබාට ගැලවිල්ලක් නැති වෙයි"
මම ඇගේ අවධානය වෙනතකට යොමු කරන අතරේ  ටිකෙන් ටික කොටසින් කොටස එළියට ගත්තෙමි. අවසන එක කෑල්ලක්වත් නොතිබෙන බවට සනාථ කරගන්න තෙක් සියල්ල අවසන් කල පසු රුධිර වහනයද නැවතිනි. අම්මාව මීට එහා මහ රෝහලට යැවීමට හෝ සැතකමට භාජනය කිරීමට අවශ්‍ය වුනේ නැත. අම්මා දැඩි වෙහෙසින් සහ කැක්කුම් වේදනා නිසා මහන්සිය පත්වී සිටියාය. ජීවිත හා මරණය අතර පොර බදන අපිට මෙවැනි අත්දැකීම් ඕනෑ තරම් වේ.
අපි ඇය වෙත කිරි දෙන්න යැයි ඉක්මනින් දරුවා ලබා දුන්නෙමු. අම්මා ප්‍රසූත කාමරයෙන් ට්‍රොලිය මත සිට එළියට යද්දී මා වෙත බලා දෑත් එකතු කලාය.යළි පිටව යන තුරු... අප ඇයව මේ රෝහලින් එහා නොයවා බේරා ගැනීම ගැන ස්තූතියි කළාය.
දැන් ඒ අම්මා මා ඉදිරියේ සිටී. අපට සැනසෙන්න මේ ටිකම ඇති නොවේ ද ?

සැත්කම් කරද්දී බොහෝ විට ඉඳිකටු අතේ ඇනෙයි. සමහර විට රුධිර නාලිකා පිපිරීම හෝ බොහෝ විට පෙකණිවැල කපද්දී රුධිරය දස අත විදිමින් විසිරේ.. අපේ නිරාවණය වූ මුහුණේ කොටසේ , ඇස්.. වල තැවරේ. මාතෘ හා ගැබිණි වාට්ටුවල සෑම අම්මෙක්ටම VDRL පරීක්ෂණය කර නොතිබිනි. හදිසි අවස්ථාවක කිසිවක් පරීක්ෂා නොකෙරේ. ඔවුන්ගේ රුධිරය අප කැපුම් තුවාල ඔස්සේ අප ශරීර ගත වේ. ඒඩ්ස් තිබෙනවාදැයි වත් නොද නී.

සීමාවාසික කාලය පටන් ගත් මුලදී නම් කැපුමක් මසද්දී අතේ ඉඳිකටුවක් නො ඇනුනු දිනක් නොවීය.
දිනක් සීසේරියන් සැත්කමක් අවසානයේ අත් වැසුම් ගලවද්දී මා දුටුවේ ඉඳිකටු පාරක් ඇනී ඇති අන්දම. ඉතා දුක්බරව..

"අපොයි අම්මාට භයානක ලෙඩ නොවේවායි ප්‍රාර්ථනා කරනවා " යි මම කියද්දී , නිර්වින්දක වෛද්‍යවරයා මා වෙත එමින් පැවසුවේ. රුධිර නාලිකාවට කැනියුලාව ඇතුල් කිරීමටයද්දී ඒ අම්මා දැඟලූ නිසා කටුව ඔහුගේ ඇඟිල්ලේ ඇනුනු බවයි. "  මගෙත් ඇනුනා, හැදුනොත් අපි දෙන්නටම ..." ඔහු හිනාවෙමින් පැවසුවේය.

Saturday, October 22, 2011

වතුර ෆිල්ටර් කිරීම, වකුගඩු රෝගය සහ අපි - .2

ආසනික් සහ වකුගඩු රෝගය ගැන හැමෝම කතා බස් කරන මේ කාලයේ .... පසුගිය ලිපිය 1 හා සම්බන්දයි...

අද උදෑසන හදිසි ප්‍රතිකාර අංශය වෙත ගිය වීට දුටුවේ දිගු කලක් තිස්සේ රෝගී වී සිටි ගොවි මහතෙකු ඉතා අසාධ්‍ය වී පැමිණි සිටි අයුරු ය. "end stage" අනෙක් වෛද්‍යවරයා මට පැවසීය.

"මගේ මහත්තයා නැතිවුනේ වකුගඩු අමාරුව නිසා, ඒ එක්කම එයාගේ අක්කා, අම්මා තාත්තා, මාමා , තව මාමාගේ පුතෙක් අවුරුදු 36 , ඔහොම අපේ පවුල් දෙකේම ගොඩ ඈයෝ නෑතිවුනා නෝනා. හංගන්න ඕනේ නෑ. කියන්න මටත් වකුගඩු අමාරුව නේද ?" රෝගී කාන්තාව මා දෙසම බලාගෙන කියයි. ඇගේ ඇඳ ඉහ පතේ සඳහන් වූ ක්‍රියැටිනින් අගය දුටු මට බොහෝ දුකක් ඇතිවිය. ඒ යමක් කරන්නට බැරි තරම් අසාධ්‍ය වූ වකුගඩු රෝගීන් මේ පළාතේ බොහෝ සිටින නිසාය .

නාගම්මා නැවත වරක් රෝහල් ගත කර තිබුනා ඇය පෙලෙන වකුගඩු රෝගයේද අවසාන අදියරේ (End stage renal failure) සිටියාය. හුස්ම ගැනීමේ අපහසුතා සමග නීරක්තිය නිසා නිතර රෝහල් ගත වන ඇගේ ක්‍රියැටිනින් අගය බලා සිටියදී ඉහළ යනවාය. 42 හැවිරිදි ඇයගේ පෙනුම 80 වියැති අයකුගේ වගේය. දරුවන් 4 දෙනෙකුගේ මවක් වූ ඇයගේ බාලම දරුවාගේ වයස අවුරුදු 10 කි. යුද්ධය නිසා ස්වාමියා අහිමි ඇගේ දරුවන් රැකුනේ ඇය කුලී වැඩ කර හම්බ කරගන්නා මුදලකිනි. මේ ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ දුප්පත් හෙයින් කුලී වැඩ කරනුයේ හේනක නැත්නම් කුඹුරකය. එයද හැමදාම ලැබන සල්ලියක් නොවේ. රෝගීන් බලන වෙලාවට ඇගේ ඇඳ වටේ පොදි ගැහෙන ඒ දරුවන් රැගෙන එන ඇගේ පියා හෝ අයියා කෙනෙකු නිතර අපෙන් විමසන්නේ ඇය සුව වෙයිද කියාය. වකුගඩුවක් බද්ධ කරගැනීමට ඇති නොහැකියාව නිසා ඇය කෙමෙන් කෙමෙන් වකුගඩු මරුවාට බිලි වෙමින් සිටියාය. මේ වන විට ඇයට බෙහෙත් පෙති අහුරක් පමණ ගිල දමනවා හැරෙන්නට වෙන කරන්න ප්‍රතිකර්මයක් නොමැති විය. විටෙන් විට හුස්ම ගැනීම අපහසු වෙන විට දුම් අල්ලමින්ද පොටෑසියම් අගය වැඩිවෙන විට ඒ සඳහා එන්නත් ලබමින්ද එක් රෝහල් ගත කිරිමකදී රුධිර පයින්ට් 3 පමණ ශරීර ගත කරමින්ද ඉතා දුක්ඛිත අදියරක සිටි ඈ එක්තරා දවසක රෝහල් ගතවීමකින් පසු අප වාට්ටුවේදීම මිය ගියේ අප හැමගේ නෙත් වල කඳුළු ඉතිරි කරමින්.

වකුගඩු රෝගය කියන්නේ මේ ප්‍රදේශවල ජනයාගේ ජීවිත බිලි ගන්නා අංක එකේ මරුවා වී අවසානයි. පෙර කලනම් ඒ තැන තිබුනේ යුද්ධයයි. මුල් කාලයේ සායන වලදී සහ වාට්ටුවල එතරම් විශාල රෝගීන් ප්‍රමාණයක් දැකීම අපට පුදුමයක් විය. පසුගිය කාලයේ තිබූ වාතාවරණය නිසා රෝහලක් වෙත පැමිණීමේ අපහසු තාවයෙන් සිටි ඔවුන් මුල් වරට රෝහල වෙත පැමිණෙද්දී බොහෝ විට පසුවූයේ වකුගඩු රෝගයේ අවසාන අදියරේ.

කෑම අරුචිය, වමනේ යෑම සහ මූත්‍රා පිටිවීම අඩුවීම යන රෝග ලක්ෂණ සහිතව අප වාට්ටුව වෙත එක් දිනක පැමිණි කරුණාපාල නැමැත්තා මින් පෙර කිසිම රෝගයකට බෙහෙත් පෙත්තක්වත් බී තිබුනේ නැත. ඔහුද ගොවි තැනින් එදාවේල සකසා ගත්තෙකි. ඔහු දුටු මතින්ම වකුගඩු රෝගය ඇත්තෙකු බව වටහා ගන්නට වැඩි කාලයක් ගියේ නැත. වකුගඩු රෝගයේ තත්වය මැන බලන ක්‍රියැටිනින් අගය ඉතා ඉහල මට්ටමක පැවතියේය. ඔහු සිටින්නේ ඉතා අසාධ්‍යය තත්වයකයි. රුධිරයේ හිමෝග්ලොබින් අගයද 5 ටත් අඩුවෙනි. රුධිරයත් දිය යුතුමය. ඔහුගේ සහෝදර සහෝදරියන් දරු මුණුබුරන් ඇඳ වටේ රොක් වී ඇත. අමුත්තන් බැලීමේ වෙලාවට අපට නිවනක් නැත. හැමෝටම ඕනෑ වෛද්‍යවරයා මුණ ගැසෙන්නටය. කරුණාපාලගේ ඇඳ අසල රැඳි ඔහුගේ සොහොයුරෙක් වෙත අප මේ රෝගය සම්බන්ද සියලු දෑ විස්තර වශයෙන් පැහැදිලි කර දුන්නෙමු. ඉන්පසු වකුගඩුවක් බද්ධකිරීමේ අවශ්‍යතාවය මෙන්ම ඔහු දැන් සිටින තත්වය අසාධ්‍යය හෙයින් එය ඉක්මනින් කළ යුතු බවද කීවෙමු. ඔහුගේ එක් සහෝදරයෙක් සිටින්නේ ප්‍රධාන නගරයක රෝහලක් සමීපයේ නිසා එහි ගෙන යන බව අපට පවසා සිටියා. නමුත් අපේ මතය වූයේ රෝහලෙන් ඔබ්බට ගමනාගමනය සඳහා ඔහුගේ සෞඛ්‍යය තත්වය හොඳ නැති නිසා ටික කලක් මෙහි සිට තත්වය හොඳ අතට හැරුණු පසු අනුරපුර වකුගඩු සායනයට යොමු විය යුතු බවය. අප විශේෂඥ වෛද්‍යවරයාගේද අත්සන සහිතව ඔහුගේ රෝග විනිශ්චය රැඳි කාඩ් ලිපි සමග ඔහුගේ ටිකට් බලෙන්ම කපාගෙන ඔවුන් තම සොයුරාව තම කැමැත්තෙන් අගනුවර පිහිටි රෝහලක් වෙත රැගෙන ගියේ දැඩි බලාපොරොත්තු රැසක් සමගය. නමුත් යන අතර මගදී ඔහු මිය ගිය පුවත ඉන් දින කීපයකට පසුව අප වෙත රැගෙන ආවේ රෝහලේ සේවය කරන ඒ ගමේම කෙනෙකි. අගනුවර ගෙනියනවාට වඩා මේ ළඟ පිහිටි නුවර තිබූ මහා රෝහලට ගෙන ගියා නම් ! කියා අපට කියැවිනි. නමුත් මරණය කොයි මොහොතේ අප කරා ඒද කිව නොහැකි බවද මතක්වුනි. මෙහි ලියා සඳහන් කළ කිහිප දෙනා පමණක් නොව තව බොහෝ රෝගීන් වකුගඩු රෝගය නිසා මරණයට පත්වුනේ ඒ වාගේම ඛේදජනක අයුරිනි. වකුගඩු බද්ධ කිරීම සඳහා යොමු වූ ඇතැමෙක් තවමත් සායන සඳහා සහභාගි වෙති.

මේ ප්‍රදේශ වල සෑම කෙනෙක්ටම පාහේ අප දෙන පොදු උපදෙස් කිහිපයක් තිබුනා. ඒ වතුර උණු කර ෆිල්ටරයක් මගින් පෙරා පානය කරන ලෙසය. අවුරුදු ගණනාවක්ම ඉතා දැඩි අපහසුතා මැද ජීවිතය එක අතකින්ද මරණය අනික් අතින්ද අල්ලාගෙන ගස් ගල් උඩ රෑ පහන් කල මේ වැසියන් හට මේ ලැබුන නිදහස සමග වතුර ෆිල්ටර් කිරීම යනු සිතාගත නොහැකි සිහිනයකි. ඇතැම් කොට්ටාශ බාර සෞඛ්‍යය නිළදාරීන් විසින් දැනුවත් කිරීම සමග ප්‍රායෝගිකව මේ අය වෙත උපදෙස් ලබා දීම සිදුවුනත් හැමෝගෙන්ම එසේ සිදුවී නොමැති බව අපිට වැටහුනේ වකුගඩු රෝගය සෑදී එලෙස පැමිණෙන්නන් පානීය ජලය සම්බන්දයෙන් අප කරනා විමසීම් වලදී ඇස් ලොකු කරගෙන බලා සිටියදි ය. ඇතැමෙක් කියන්නේ ඔවුන් නල ළිං වල ජලය පානය කරන බවත් ප්‍රශ්නය ඇත්තේ වැව් දියේ බවත්ය. වැව් වල ජලය බීමට තබා නෑමටවත් සුදුසු නොවේ. දිනකට ඇඟ පුරා කුෂ්ඨ සහිතව ඇඟ පත දැවිල්ල සහ කැසීම සහිතව කිහිපදෙනෙකු බාහිර රෝගී අංශයටද වාට්ටුවලටද පැමිණෙන්නේ වැව් වල නෑම හේතු කරගෙනය. ඒවාට පිළියමක් යොදන්න කෙනෙක් හෝ යම් දෙපාර්තමේන්තුවක් තිබෙනවාද යන්න අප නොදන්නා කරුණකි.

වකුගඩු රෝගයේ තත්වය මැන බැලීමට අප සිදු කරන පරීක්ෂණය නම් රුධිරයේ ක්‍රියැටිනින් වල අගය මැනීමය. ඒ සමගම තව බොහෝ දේ පරීක්ෂා කළ යුතුය රුධිර හොමෝග්ලොබින්, පොටෑසියම් වැනි දෑ ඒ අතර වේ. දිනපතා රෝහල්ගතවන අයගෙන් බොහෝමයකගේ මේ අගය මැන බැලීම සිදු කරනවාමයි. රෝග ලක්ෂන පමණක්ම නොව ඔවුන්ගේ ගම් පළාතද අසා දැනගෙන අප එය සිදුකරන්නේ ඒ තරම්ම ප්රමාණයක් වකුගඩු රෝගය නිසා මිය යන නිසාවෙන්ය. බොහෝ විට අවසාන අවස්තාවේ සිටින අය සඳහා කළයුතු රුධිරයේ අහිතකර ද්‍රව්‍යය පෙරීම සඳහා මීට ඔබ්බෙන් පිහිටි අනුරපුර මහා රෝහල වෙත ඔවුන් යැවිය යුතුය. එසේ රුධිරය පෙරන යන්ත්‍ර සහ විශේෂඥයින් සහිත ඒකකයක් තියෙන්නේ මේ පළාතටම අනුරාධපුර රෝහලේ පමණකි. එලෙස වුවත් යැවිය හැක්කේ වකුගඩු බද්ධකිරීම සම්බන්දයෙන් සැලසුමක් ඇති (KT plans) අයවලුන් සහ ප්‍රථම වතාවට රෝග විනිශ්චය කර සායන වලට යොමු කළ යුතු අයවලුන්ය. අනෙක් සමහරක් දෙනා මරණාසන්නව පැමිණියත් ඔවුන් හට කළයුතු විශේෂ ප්‍රතිකර්මයක් නොමැති තරම්ය. අවසානයේදී බොහෝ දුක්ඛිත මරණයක් ඔවුන්ට හිමි වේ.

මෙහෙ වකුගඩු රෝගීන් ප්‍රමාණය කොතරම්ද කියතොත් කලක් ගතවෙත්ම මුහුණ දෙස බැලූ පමණින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ ලක්ෂන අනුව ඒ බව නිගමනය කරගන්නට අපට හැකි විනි. අප විශේෂඥතුමා පවා ඒ බව අපෙන් නොයෙක් අවස්ථාවල විමසා සිටියා. බොහෝ කල් සිට මේ ප්‍රදේශවල කුඹුරු වල පවතින රසායනික පොහොර නිසා මේ ප්‍රදේශ වල ජලය අපිරිසිඳු බව අප එකල සිට දැන සිටියෙමු. දැන් දැන් කියවෙන ආසනික කතාව නිසා එය එසේමයැයි සිතේ. සේවය කිරීමට පැමිණි දා පටන්ම විකිණීමට ඇති ලීටර් 20 වතුර බූලි සල්ලි දී රැගෙන පාවිච්චි කිරීමට අපිට සිදු විනි. නමුත් සාමාන්‍ය ජනයාට එසේ කිරීම අපහසුය. එම ලීටර් 20 වතුර බූලියක මිල රුපියල් 200 කි. කලක් මුළුල්ලේ රෝහලේ පැවති පිරිපහදු ජල කළමණාකරන ක්‍රමයද සැරින් සැරේ අකර්මන්ය වෙයි. ඒ අවැසි තරම් ප්‍රතිපාදන නොමැති හෙයිනි.

අඩුම තරමේ රජයේ හෝ යම් රාජ්ය නොවන සංවිධානයක් මගින් හෝ මෙම වතුර පෙරා පිරිපහදු කරන්නේ නම් මතුවට මේ ප්‍රදේශයෙන් වකුගඩු රෝගීන් ඇතිවීම වත් වලක්වා ගත හැකිය. එමෙන්ම මොවුන් ගේ පවුල් දැනුවත් කිරීම සහ පාසැල් මට්ටමින් දුවා දරුවන් දැනුවත් කිරීමද සිදු කළයුතුමය. එදාවේල හම්බ කරගැනීමට දහක් දුක් විඳින මේ මිනිස්සුන්ට ෆිල්ටරයක් ගැනීම යනු සිහිනයකි. ඔවුන් දිනකට පානය කරන වතුර ප්‍රමාණයද අල්පය. ඇතැම් විට මොවුන් ව නාවන්නම සුළු සේවකයින් බොහෝ කෑ කොස්සන් ගැසිය යුතුය. ඒ වතුර අහේනිය නිසා ඔවුන් පුරුදු වී සීටින අයුරුය.
මේ ප්‍රශ්නය ගැන මීට වඩා සැලකිල්ලෙන් ක්‍රියාත්මක විය යුතුමය.
කොළඹින් පැමිණ සැනකෙළි පවත්වා සංගීත සංදර්ශන පවත්වනවාට වඩා මෙවැනි දෑ තුලින් ඇත්තටම උතුරට වසන්තයක් උදා වෙනවා නො අනුමානය.

Friday, October 21, 2011

We are doctors , so "saving lives" is not optional

ඔබ වෛද්‍යවරයෙක්... ජීවිත බේරා ගැනීම ඔබේ වගකීමයි.

අපට රැයක් දවාලක් නැත, තුන් වේල හරියට කෑමක් නැත. සීමාවාසික සමයේ සෑම වාට්ටුවකම, ලෙඩුන් සිය ගණනකම ජීවිත අප අතේය. ඇඩ්මිට් කරනා සෑම කෙනෙක්ම, පරීක්ෂා කර බලා අවශ්‍ය සියලුම පරීක්ෂණ , නිරීක්ෂණ නිගමන ආදිය ජේෂ්ඨ වෛද්‍යවරුන් පැමිණීමට කලින් සිදු කළ යුත්තේ අපියි. අසාධ්‍ය රෝගීන් සේරම බලා කියා තත්වය වාර්තා කරයුත්තේ අපියි. රැයක් දවාලක් නැතිව වැඩකරන අතරේ, වාට්ටුවෙන් ටිකට් කපා යන රෝගීන්ගේ වාර්ථා පත් ලිවිය යුත්තෙත් අපියි. මහ රෑ රෝහලට ඇතුල් කරපු රෝගියෙක්ගේ හදිසි පරීක්ෂණ සියල්ල ලෑබ් එකට යවා, නිදි මරාගෙන පරීක්ෂණ වාර්ථා ගෙන්වාගන්න ලැබ් එකත් එක්ක රණ්ඩු කරපු දින අනේකයි අප්‍රමාණයි. බොහෝ විට රෝහලේ සිදු කරගත නොහැකි පරීක්ෂණ පිටින් සිදු කරන්නට වෙන විට , ඒවාට මුදල් නැතිව ලතවෙන රෝගීන්ගේ අසරණ මුහුණු දකිද්දී අපි අපේ ළඟ තිබෙන සුළු මුදල එකතු කර ඔවුන්ට අවශ්‍ය පරීක්ෂණ ලබාදෙන්නේ අහවල් දෙයක් දිනාගන්න නොවේ !

සමහරෙක් හිතන්න පූළුවන් වෛද්‍යවරු වුනේ ඒකට නේද කියලා. ඔව් මේ අපේ රැකියාව , නමුත් අපේ සේවය අන් හැමටම වඩා බාරදූර්‍ය තීරණාත්මක රැකියාවක් වෙන්නේ ඇයි ? අපි මිනිසුන් ජීවත් කරවන නිසා. මැරෙන්න පණ අදිමින් පැමිණෙන රෝගියෙක් බොහෝ කරදර විඳ ගොඩ ගත් පසු ඔවුන් ගේ සැනසිලි මුහුණ බලමින් ඔවුන් පිං දෙමින් කියවන කියවිල්ල ඇසුවොත් ඕනෑම කෙනෙකුට තේරේවි වෛද්‍යවරයකුගේ සේවය කුමක්ද කියා. සරසවි ඇදුරන් වර්ජනය කලාට ජීවිත නැතිවෙන්නේ නැත, නමුත් වෛද්‍යවරුන් නොමැති කල ජීවිත නැතිවේ.

බෑග් උස්සාගෙන යෑමට සිදු වීම.

මාතෘ ගැබිණි වාට්ටු වල සේවය කරද්දී අනිවාර්‍යයෙන්ම අපි කාර් යක්ෂම විය යුතුයි. සුළු ප්‍රමාදය හෝ දැඩි අනතුරු දායක තත්වයන් ඇති වීමට බලපානවා.
එදින මා  රාත්‍රී වැඩ කළ දිනයකි, රාත්‍රී වැඩ බලන වෛද්‍යවරයා හට වාට්ටුවේ කාමරයක් තිබේ. ඒ ඕනෑම හදිසියකදී ඉක්මනින් ඒ අවස්ථාවට පැමිණීමටයි. ප්‍රසව හා නාරි වේද වාට්ටු කිහිපයක් ඇති අප මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනා ගණන 200 ඉක්මවයි. එදින ඉතා වෙහෙසකර දිනක් වූවාය. දරුවන් බිහි කරන්නට විළිරුදාවෙන් සිටි මවුවරුන් කිහිප දෙනෙකූම රාත්‍රී 12 වෙන විට තම වේදනා සැහැල්ලු කරගනිමින් දරුවන් නිරුපද්‍රිතව බිහි කර සිටියෙන් , කැපුම් තුවාල වලට අප මැහුම් දමා අවසන් කරන තෙක් වේදනාවෙන් මිරිකෙමින් සිටියෝය. දරුවෙක් බිහි කරනවා යනු මොනතරම් වේදනා කන්දක්ද ! සියල්ල නිම කර සටහන් කර මා නැවත වාට්ටුවේ අපේ ඔන් කෝල් කාමරයට පැමිණ යන්තම් ඇහැ පියවගත්තා පමණි. ඈත ප්‍රාදේශීය රෝහලකින් අප වෙත ට්‍රාන්සර් එකක් එවා තිබිනි.

ඒ 18 වියැති අම්මා කෙනෙක්. ඇගේ කුසේ දරුවාට සති 36 යි. වේලාව පාන්දර 3 පසුවූවා පමණි. ප්‍රසව වේදනා තිබෙන බවක් පවසයි. එවෙලේම ඇයට එම ප්‍රසව කැක්කුම් නැති කරන්නට , බෙහෙත් පෙත්තක් දිය යුතුවේ. මා මේසය අසල සිට ඇයගේ විස්තර සටහන් කරගෙන පරීක්ෂාකර බැලූවිට , තවම දරුවා බිහි වෙන්නට තරම් ගැබ් ගෙල වෙනස්කම් නැති බවද , එවැනි කැක්කුම් සහ දරුවාගේ හර්ද ස්පන්දනය මැන බැලෙන දත්ත සටහන් යන්ත්‍රයේන් එලියට ආ කොළයේ අනතුරු දායක තත්වයක් නැති බවද දුටුවාය.
අවුරුදු 18 වියැති මේ පොඩි අම්මා, පළමු දරුවා නිසා ගර්බනී කාලය අවසානයේ එන බොරු කැක්කුම් නිසා මෙලෙස කලබල වී ඇති සැටියකි. එවෙලේම අපි ඇයට අවශ්‍ය පෙති සියල්ල දුන්නෙමු. අම්මා එවිට වතුර බෝතලයක් ගෙන ආවේ නැති බව කියයි.

ඒ අසලම ඇති පළමු ඇඳේ සිටි අම්මා, අපි ඇයට නාලිනි කියමු. වකුගඩූ රෝගයෙන් මෙන්ම දියවැඩියාවෙන් පෙළෙන්නියක් නිසා ඇගේ 32 වැනි සතියේ සිටම අප රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. දියවැඩියා තත්වය පාලනය කරගත නොහැකි තරමට ඇගේ වකුගඩු රෝගී තත්වයද අසාධ්‍ය වී ඇත. අධික රුධිර පීඩනයෙන්ද ඈ පෙළේ. මූත්‍රා වල ඇල්බියුමින් + + + ය, එනම් ඉතා ඉහළ අගයක් ගනී, මෙය ගර්බනී සමයේදී නම් සූවදායක දෙයක් නොවේ. ඇගේ කුස තුල සිටින දරුවා හරි හැටි මෝරා වැඩී නැත(IUGR). අප මහ රෝහලේ අඩු බර නොමේරූ ළදරු ඒකකයේ ඇඳන් මේ වන විට පිරී ඇති නිසා ඇය දරුවා ප්‍රසූත කරන කාලය වන විට අනිවාර්‍යයෙන් , එම පහසූකම ඇති රෝහලකට යැවිය යුතුමය.
වතුර ඉල්ලන්නේ කාගෙන්දැයි අර 18 වියැති අම්මා ඔබ මොබ බලයි. හයියෙන් කතා කරන නිසා වාට්ටුවම දෝංකාර දෙයි. නාලිනී නින්දෙන් මිදී ඇස් ඇරගෙන අප දිහා බලාගෙන සිටිනු දුටු දැන් මේ මහ පාන්දර පැමිණි 18 වියැති අම්මා, නාලිනී වෙත ගොස් ඇයගෙන් වතුර ඉල්ලයි. මම දත්ත සටහන් කරමින් සිටිමින්ම ඔවුන් දිහා බලාගෙන සිටියෙමි. නාලිනී අම්මා ඔහේ බලාගත්තු අත බලාගෙන සිටී. කිසිදු හැල හොල්මනක් නැත. මමද හෙදියද නැගිට ඇඳ වෙත දිව්වෙමු.

නාලිනි නාලිනි... මම කෑ ගැසුවෙමි. හුස්ම ගනී, පුදුමයෙන් බලා සිටී. හෙදියක් වතුර ගෙන ඇගේ මුහුණ පිස දමයි. "ෂුගර් චෙක් කරන්න " තව කෙනෙක් සීනි චෙක් කරයි.
" ඩොක්ටර් 53 "
"50 %ඩෙක්ස්ට්‍රෝස්...ස්ටැට්" එවෙලෙම අපි රුධිරනාලිකා හරහා සීනි සහිත ද්‍රාවණය ශරීරගත කළෙමු.. මිනිත්තු 2, 3 යද්දී දෑස් පොඩි කරමින් නින්දෙන් ඇහැරුනාක් මෙන් අම්මා අප දෙස බලා " ඇයි මිස් මොකද උනේ" අසයි.  මිඩ් වයිෆ් මිස් පැමිණ කුස තුල දරුවාගේ හර්ද ස්පන්දනය මනින්නට බලයි. "ඇහෙන්නේ නෑ ඩොක්ටර්"
"මයි ගෝඩ්. ඉක්මනින් සී ටී ජී ගන්න"

ඒ අතර දුටුවේ බෙහෙත් පෙති අතේ තියන් ඉන්න 18 වියැති අම්මා වතුර කෝප්පයත් අතැතිව අප දෙස බලාගෙනම සිටී.. " ඒ අස්සේ මෙයා මොනවා කරගන්නද බොන්නයි කීව්වේ බෙහෙත්, ඊට පස්සෙ නිදා ගන්න

"  ඇය කඩි මුඩියේ බෙහෙත් ටික බොයි කූඩයත් අරගෙන ඇගේ ඇඳ වෙත යයි.
දැන් තියෙන්නේ ජේෂ්ඨ වෛද්‍යවරියට දන්වන එකයි. දුරකථනයෙන් ඇයට කතාකර සියලු විස්තර දන්වා, ළදරු ඒකකය වෙත කතා කර ඇඳන් නොමැති බවද සපත කරගත්තෙමි. ඉක්මනින් දරුවා ප්‍රසූත කළ යුතුය. හර්ද ස්පන්දනය අඩු වෙමින් වැඩි වෙමින් පවතී. ගත කරන්නට කාලයක් නොමැතිය. වහාම පැය භාගයක දුරින් තිබෙන අනෙක් රෝහලට ඇය යැවිය යුතුය. ජේෂ්ඨ වෛද්‍යවරියත් මමත්, හදිසියේ ෆෝම් සියල්ල් පුරවමින් අම්මාගේ බෑග් ලැහස්තිකරන සුළු සේවකයින්ට ඉක්මන් කරන්න යැයි කීවෙමු. අපට තිබෙන හදිසිය ඔවුන්ට නැත.
ඇම්බියූලන්ස් එකක් ලෑස්ති කරගන්න කිහිප විටක් කියා බැරි තැන තර්ජනය කරන්නටද සිදු විය. " දැන් මේ අම්මට හරි බබාට හරි මොකක් හරි උනොත් වගකියන්න ඕනේ ඔහෙලායි" ඔවුන් සමග යකා තදවී කෑ ගසා ගනිමින්. ට්‍රොලිය මත වම් ඇලයට හරවා නිදි කෙරූ අම්මා අරගෙන ප්‍රෙෂර් මීටර් සීනි පරීක්ෂා කරන ග්ලූකෝ මීටර් සියල්ල රැගෙන මමත් හෙදියත් යන්නට යත්ම මා දුටුවේ අර අම්මාගේ කකුල් හරියේම පටවා තිබූ ඇගේ ඇඳුම් බෑග් එකය. හෙදිය අතේ උපකරන සියල්ල ය. සුළු සේවකයින් දෙදෙනා ට්‍රොලිය තල්ලු කරයි. තව කවූරුත්නැද්ද ඔබ මොබ බැලිමි කවුරුත් නැත. මා එම බෑගය අතට ගතිමී. හා හා ඉක්මනට.. කෑ ගසමින් අම්මාව රැගත් ට්‍රොලිය රැගෙන ඇම්බියුලන්ස් එකට දීව්වෙමු.
නිරුපද්‍රිතව අම්මත් ඇගේ කුස තුල තිබෙන බබත් අනෙක් රෝහල වෙත ගෙන ගියෙමු. ඒ අම්මාට එවෙලේම හදිසි සිසේරියන් සැත්කමක් කර දරුවා බිහි කරන ලදී. මවගේ තත්වය කෙමෙන් කෙමෙන් යතා තත්වයට පත් විනි.

අපි නැවත බොහෝ හෝන්දු මාන්දු වී, වාට්ටුවට පැමිණියෙමු. ජේෂ්ඨ වෛද්‍යවරිය මා පැමිණෙත්ම රකුසු මුහුණක් මවාගෙන බැන වැදිනි.

"මං දැක්කා කරපු හපන්කම. පේෂන්ට් ගේ බෑග් උස්සගෙන ගියේ මොකටද ? ඒකට තමයි මයිනර් ස්ටාෆ් අය ඉන්නේ, මම කෑ ගහද්දිත් දුවලා ඉවරයි. තමන්ගේ තත්වෙ තියා ගන්න."  ඇය කියන කතාව යම් දුරකට ඇත්තය.
මොන තරම් අසාධ්‍ය කලබල තත්වයකදී උනත් අපි අපේ යුතු අයුතුකම් බලන්නේ නැතුව වැඩ කරන්නෙමු.
නමුත් එලෙස මට කෑ ගහපු ජේෂ්ඨ වෛද්‍යවරියත්, එවැනිම හදිසි අවස්ථාවක සුළු සේවකයන් ඇති පමණ නොසිටි අවස්ථාවක ට්‍රොලියක් තල්ලු කරගෙන හෙදියන් හා ශල්‍යාගාරය වෙත දිව ගියාය. ඇයට දැන් ඒවා මතක නැත. ඒ අපේ හැටි ය. හදිසි අවස්ථාවක අපිටනම් නොදන්නා පුද්ගලයාගේ පණ කෙන්ද රකිනවා ඇරෙන්නට වෙන කිසි දෙයක් මතකයට එන්නේම නැත.

ශල්‍යාගාරයේ රෝගියෙකු ඇඳකින් ට්‍රොලියකට මාරු කරන්නට උනත් කිසීවෙක් නැතිනම් අපි පැමිණ උදව් වන්නෙමු. හදිසි ප්‍රතිකාර දෙමින් ට්‍රොලී තල්ලු කරමින් අපි හරි හරියට වැඩ කරන්නෙමු. යුද්ධ ඇති කාලයේ අප ජීවිත ගැනවත් නොසිතා, ඈත පිහිටි වෛද්‍ය කඳවුරු වෙත ගොස් අවම පහසූකම් යටතේ සේවය කර පැමිණෙන්නෙමු. අපේ රටේ බහුතරයක් ඒ වෙනුවට දකින්නේ නුගුණය, දොස් ය. ඇතැම් විට රෝගීන්ම දරුණු ලෙස සියල්ලන්ටම බැනවදී , නමුත් ඔවුන්ගේ ජීවිත බේරුනු පසු අපි හමුවේ වැඳ වැටේ. කෙතරම් දොස් ඇසුවත් අපි අපේ සේවය ඉහළින්ම කරන්නෙමු. ඒ අපේ සිත් එලෙස සකස් වී තිබෙන නිසා ය.

Thursday, October 6, 2011

වෙන්කටේෂ් නැවතත් ළිඳට පැන්නේය....

වැඩ වැඩිවෙනවත් එක්කම වෙහෙසත් එක්ක හිතේ කලබලයත් වැඩී උනා. Stress, depression... ඔය වගේ ඒවට සාත්තු කරන අපිටත් ඒක අඩු වැඩියෙන් එන එක පුදුමයක් නොවේ කියලත් හිතුනා... නෙට් එන්න බැරි උනා. නෙට් එන්න ඕනෑකමක් ආවත් නිතර විදුලි කප්පාදුව නිසා අපට ඕනෑ වෙලාවට එන්න පුළුවන් කමක් තිබුනෙම නෑ. ලියන්නවත් බැරි තරම් හිත වෙහෙස වුනා. සේරම උනේ අපේ ඒකකයේ වෛද්‍යවරු කිහිපදෙනෙක් මාසයක සම්මන්ත්‍රණ සහ වැඩමුළුවකට පිටරට ගිය නිසා.
ඒ අතර තුර එක්තරා රාත්‍රීයකදී අප වාට්ටුවට දූරකථන ඇමතුමක් ආවා.

"ඩොක්ටර් අවුට් කෝල් එකක් "

නාද වෙන හඬින්ම කෝල් එකේ වගතුග කියන්න පුළුවන් මිස් එහෙම කියනවත් එක්කම මම අනිත් පසින් රිසීවරය ගත්තා.
" අනේ ඩොක්ටර් පුතාට ෆිට් එක හැදිලා වැටුනා කීප ගමනක්. තුවාලත් උනා මොකද කරන්නේ මම වෙන්කටේෂ් ගේ අම්මා" හඬමින් කතා කළ වෙන්කටේෂ් ගේ අම්මා ට මා පැවසුවේ හැකි ඉක්මනින් ඔහුව රෝහල් ගත කරන ලෙසයි.

වලිප්පුව නමින් හඳුන්වන epilepsy යන රෝගී තත්වය සමගම යන මානසික රෝග තත්වයද ඇති මේ තරුණයා මට මුලින්ම මුණ ගැසුනේ "ඇඟ කසනවා " යැයි හඬමින් පැමිණ අප කායික රෝග වාට්ටුවේ ප්‍රතිකාර ගත් නිසාය. දිගින් දීගටම එසේ පැමිණෙන ඔහුගේ  නිතර හැදෙන ෆිට් එක හෙවත් වලිප්පුවටද අවශ්‍ය ප්‍රතිකර්ම කරන අතරවාරයේ මානසික තත්වයේ දුර්වලතා තිබෙන බව හඳුනා ගත් අපි ඔහු මානසික සායනය වෙත යොමූ කළෙමු.

මට නැවත ඔහු මුණ ගැහෙන්නේ මානසික රෝග ඒකකයේ වැඩ බලන්නට සිදු වූ කාලයේය.
හොඳටම කලබල වී හඬමින්ද කියවමින් ද සිටි ඔහු අප වෙත ගෙන ආවේ පොලිසියයි. අඩි 6 උස , ඉතා පැහැපත් සමක් ඇති ප්‍රියමනාප සිනහවක් ඇති 29 හැවිරිදි මේ තරුණයා දුටු විට සීහිවෙන්නේ උතුරු ඉන්දියානු නළුවෙකි. ඒතරම් ඔහු කඩවසම්‍ ය.

"මේ මොකද  වෙන්කටේෂ් ?" මම ඇසුවෙමි.

"වඳින්නම් ඩොක්ටර් මට ගෙදර යන්න බෑ . මම ගෙදර හිටියොත් මාව මිනී මරුවෙක් කරන්න තමයි. "

කුඩා කළ සිට අවුරුදු විසි ගණනක් වෙනතුරු ඔවූන් හැදී වැඩුනේ කඳුරට වතු ආශ්‍රිත ප්‍රදේශයකය. එහෙයින් සිංහල කතා කරයි. ඔහුට සිටින්නේ අක්කා කෙනෙකු පමණයි. සා පෙළ කර අවසානයේ ඔහු ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සිංහල දේශපාලකතුමෙකුගේ ගෙදර සේවය කර ඇත. යුද්ධය නිමවී නැවත ඉඩම් ලැබීම හේතුවෙන් ඔවූන් මේ කොණ පදිංචියට පැමිණ තිබේ. අක්කාගේ මහත්තයා හෙවත් තම මස්සිනා විසින් නිතර පහරදීම් සහ කායික වදහිංසා වලට ලක් කිරීම හේතුවෙන් හේ දැඩි මානසික අසහනයකින් පෙලෙන බව කියයි.
තම සොයුරියට පවා නොසලකන ඒ මනුස්සයා කෙසේ හෝ මරණ බවට සපත කරයි. නිතර දිවි නසා ගැනීමට තැත් කර තිබුනු ඔහු, ළිඳට පැනීම, ගෙල වැල ලා ගැනීම හෝ වැවට දිව යෑම බොහෝ විට කළත් ඔහූගේ වෑයම සාර්ථක නොවූයේ කවුරු හරී හැම විටම ඔහු ගැන විමසිලිමත්ව සිටිය නිසාය.
එවර ඔහු වැඩි කාලයක් සිටියේ රෝහලේය. අක්කා සහ අම්මා නිතර පැමිණ ඉහ අත් බදාගෙන වැලපෙයි. මෙතරම් ප්‍රියමනාප හොඳ තරුණයෙකුට මෙසේ වීම ඉතා දුක්බරය. ඔහුගේ අක්කාගෙන් පසුගිය විස්තර විමසන කල පැවසුවේ...

"මම මහත්තයගෙන් වෙන්වෙලා ආවේ. මගේ මල්ලිට , මගේ පවුලට ඒ මිනිහා දුන්නෙ දුකම විතරයි. මල්ලිට අපි කසාද හොයනවා. ගෑණු ළමයින්ගේ පවුල් වලින් ඉක්මනින් කැමති වෙනවා. ඒත් මල්ලි ගිහින් ඒ අයට කියනවා එයාට මානසික අසනීපයක් තියෙනවා එනිසා ඒකත් එක්ක එයා එක්ක ඉන්න කැමති නම් විතරක් බඳින්න කියලා, ඉතින් ඒ අය කැමති වෙන්නේ නෑ"

"ඒ මොකද වෙන්කටේෂ්..." මම දිනක් විමසුවෙමී.

"එයාලා පව්නෙ ඩොක්ටර් අපේ ගෙදර අය මං ගැන ඇත්ත කියන්නේ නැතුව බන්දලා දෙන්න යන්නේ. ඒ ළමයා මට ලෙඩ කියලා දන්නේ නැතුව මාව බැන්දොත් පවුනේ ඩොක්ටර්"
දහස් ගණන් රැවටිලි කාරයන්. බොරු බේගල් කාරයන් සිටින මේ මහ පොළව උඩ හේ සත්‍යවාදීව කල් ගෙවයි. ඒ නිසාම දූක් විඳී.

"මට රස්සාවක් හොයලා දෙන්න පිං සිද්ධ වෙයි. මම අම්මයි අක්කයි බලාගෙන ඉන්නම්" ඔහුගේ මව සහ අක්කා මුළු පවුලම නඩත්තු කරන්නේ කුලී වැඩ කිරීමෙනි.
මීට පෙර කවරෙකු හෝ රස්සාවක් සොයා දෙන විට ඔහු ගේ ඇත්ත කියන්නට යෑම නිසා ඔහුට රැකියාව අහිමි වෙයි. හැම දේටම හරස් වන්නේ ඔහුගේ මානසික රෝගී තත්වයයි.

ඔහොම රෝහලේ ඉන්න එක දිනක් පාන්දර අපි වාට්ටූවට ගිය විට ඔහු පැමිණ මගේ පය පාමුල වැඳ වැටිනී.

"මේ මොකද මේ "

 "ඩොක්ටර් මම හැම එකෙක්ම මරලා මාත් මැරෙනවා "

හැමදාම කියන දේ නිසා අපි සුපුරුදු පරිදි ඔහුව අස්වසමින් කතා කළෙමු. ඒ අතර හෙද සොයුරන් හා සුළු සේවකයන් රෝගී වාට්ටුවේ ඔහුගේ ඇඳ සහ කබඩ් පරීක්ෂා කිරීමට යුහුසුළු විය. සිතුවා නිවැරදිය. මෙට්ටය යට තිබුනේ කඩු ආකාරයෙන් කැඩී ගිය වීදුරු කැබලි ගොඩකි. ඔහුට බොහෝ සේ අවවාද කර අප පැවසුවේ ඔහුව ජීවත් කරන්න අපිට උදව් වෙන්න කියාය.

එවැනි දිවි නසා ගන්න සිතුවිලි තිබෙන රෝගීන් ගැන වාට්ටුවේ සැවොම දැඩි විමසිලිමත් බාවයෙන් සිටිති. ආයෙත් දිනක වෙන්කටේෂ් ඇඳේ නොසිටි නිසා විමසිලිමත් වූ අප දුටුවේ ඇඳේ එළා තිබූ රෙද්දෙන් ගෙල වැලලා මියයන්නට තැත් කරමින් වැසිකිලියක ඔහු සීටි බවයි.
නමුත් වාසනාවකට කිසිවක් සිදු නොවිනි. අන්තිමේ මහ රෝහල වෙත සීටී ස්කෑන් සහ EEG වැනි පරීක්ෂණ සඳහාද යොමු කළ ඔහු උපදේශන කණ්ඩායමේ සහ වෛද්‍යවරුන් වන අපේ උපදේශනය සහ ඖෂධ මගින් ටීකෙන් ටික සුවය ලබමින් සිටියාය.
ගෙදර යන්නට හැකි තරමට සුව වූ ඔහු යන දවසේ අපේ සහ හෙදි සොයුරු සොයුරියන්ගේ දෙපා මුල වැඳ වැටිනි.
අඩි 6 පමණ උස මේ දේහ දාරී තරුණයා අප දෙපා මුල වැඳ වැටෙමින් පැවසුවේ "මගේ ජීවිතෙන් මම ඔයාලට ණය ගැතියි. මාව බේරගත්තට " කියාය. "තෙරුවන් සරණයි ගිහින් හොඳින් ඉන්න" අපි ද ඔහුට සුභ පැතුවෙමු.

නමුත් එසේ ගිය ඔහූ සතියක් පාසා අප හමුවට පැමිණ වාර්ථා කරන්නට සැලසුමක් ක්‍රියාත්මක කෙරිනි. එහෙව් සති කිහිපයකින් පසුය අර මා පෙර කියූ දුරකථන ඇමතුම පැමීණියේ.
ඉක්මනීන් රෝහල් ගත කළ ඔහු වලිප්පුව සඳහා දී තිබූ බෙහෙත් වඩි දින දෙක තුනක්ක් පාව්විච්චි නොකළ බවත්, මානසික රෝග ඖෂධ සියල්ල වීසි කළ බවත් අප දැන ගත්තේ මවගෙනි. එදින උදෑසන ඔහුගේ මාමා සමග බහින් බස් වූ ඔහු ළිඳට පැන දිවි නසා ගන්නට තැත් කර ඇත.

"අපි ආයෙත් හිටපූ තැනමයි !" අපිට සිතුනා.බොහෝ රෝගීන් සම්බන්දයෙන් මේ තත්වය මෙසේයි. ඔවුන් රෝහල් ගත වී සිටිද්දී නිවැරදි ලෙස බෙහෙත් ලැබීම සහ උපදේශනය , සාමකාමී වටපිටාව යන දේවල් හේතුවෙන් ඔවුන් ට හොඳින් සුව වේ. නමුත් ගෙවල් වලට ගිය විගස ආයෙත් සීයලු රෝග උත්සන්න වේ. ගෙවල් වල දී රණ්ඩු සරුවල් සහ මානසික පීඩනය වැඩියැයි මට සිතේ.

"වෙන්කටේෂ් ඇයි මෙහෙම කරගත්තේ. අපිට පොරොන්දු වෙලා ගියේ හොඳට ඉන්නවා කියලා නේද "
ඔහුගේ සූපුරුදු සිනහව මුහුණ මත ඇඳේ...

" ඔව් ඩොක්ටර්. මම හොඳට හිටියා බෙහෙත් බිව්වා. අහල පහල අය මම මිදුලේ ඉන්නකොටත් විහිළු කරනවා වෙරි වගේ මොකද කියලා. මේ බෙහෙත් වලට ටිකක් නිදිමත එනවනේ. මාමා ඇවිත් අම්මලට කිව්වා එහෙ උත්සවයක් තියෙනවා එන්න කියලා. මමත් එන්න හැදුවම ... මෙයා ලෙඩා මෙයා ඇවිත් එහෙ මොනවා කරයිද දන්නේ නෑ , එක්ක එන්න එපා කිව්වා.... මට දුක හිතුනා. මං නිසානේ අම්මටත් අක්කටත් කරදර නෑදෑයින් මෙහෙම කියන්නේ. ඒ හිංදා මං ළිඳට පැන්නා ...."

Wednesday, October 5, 2011

නුඹ මට ජීවිතය ඉගැන්නුවා....වෙද සිතක වත්කම

මේකලා ගමගේ...
ඔබේ ගී හඬ හිත නිවන
හද තවන මහා වැස්සක් වගේ ඇවිත්
මගේ හදවත සැනසුවා.


ඔබ අන්ධ යුවතියක් බව සඳහන් ඔබේ ජීවිත කතාව කියවූ විට මට මහත් කණගාටුවක් සහ දුකක් ඇති වුනා. (ඒක කියෙව්වේත් මේ ගීතය ඇසුවේත් යහළුවෙක් විසින් එවූ මේ අඩවියේ තිබුනු ලින්ක් එකෙන්.)
ඒ ඇස් හිස් මොළ යහතින් ඇති ඇතැමුන් ජිවිතයේ සියුම් සත්‍යය වටහා ගන්නේ නැතිව සදාකාලික ජීවත් වෙන්නන් ලෙස මුදල් හරි හම්බ කරමින් මිනිස්කම තලා පෙලා දමන අයුරු දුටූ විටයි.

යනෙන හැම තැන හමුවෙන රෝගින් නිසා
අවුරුදු ගණනක් මිඩංගු කර ඉගෙන ගත් මහා විෂය
නුඹේ පණ කෙන්ද රකින බව මට දැනුනා
දැනුනු ඒ හැඟීම විස්තර කරන්නට
වචන සොයනෙමි තවම මම

සම්පූර්ණයෙන් සූවවී ගෙදර යන විට
අප පය පාමුල වැඳ වැටෙන ඔබ
අපිට දේවත්වයෙන් පුදන විට....
දෑස් මුලට කඳුලක් එකතු වුනා හැමවිටම
ජීවිතය මට ඉගැන්වූ පිනම ඇති නේද
නුඹලාට නිරෝගිව කල් ගෙවන්නට...
මගේ හදවත පතුලේ මහා ලොකු බරක් අත හැර
ඇස් පෙනෙන මගේ ඇස් දෙකේ වටිනාකම මට පසක් කළ
මේකලා ගමගේ මෙන්ම රෝහල් වාට්ටු වල හමුවූ දෑස් අඳ සැවොම වෙත,
ජීවිතය මට තේරුම් කරන මට හැම දාම මුණ ගැහෙන
 දහසක් රෝගීන් හට මාගේ හද බැති ස්තූතිය හිමි වෙනවා
අපමණ බාධක කරදර මැද උනත් මෙකොණ
මා කරනා සේවය මට මහ මෙරක් වගේ
ඒ මගේ හිත කළ සේවයෙන් ලැබූ සතුටින් පිරී ඉතිරී ඇති නිසාය
.
ඒ... මට මේ ජීවිතයේ අරමුණ හා වටිනාකම පසක් කළ ගුරුවරුන් ඔවුන්ම වන නිසාවෙනි...

නොදන්නා කෙනෙකු නොව දහස් ගණනක් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කරලා. යන්න පූළුවන් දුවන්න පුලුවන් ඉදිරි සැතපුම් ගණනත් දුවලා. (running that extra mile ) අන්තිමට තමන්ගේ තරමට ප්‍රමාණයට වැඩ කරන්න කියලා ජේෂ්ඨයින්ගෙන් බැනුම් අහන අපි වගේ පොඩි වෛද්‍යවරුන්ට නම් ... අපේ සේවය බලාපොරොත්තුවෙන් අප වෙත එන කෙනා මගේ අම්මා වගේම අම්මෙක්. මගේ අප්පච්චී වගේම අප්පච්චියෙක්. මගේ නංගී අක්කා, අයියා මල්ලී වගේම අක්කෙක් නංගියෙක් අයියෙක් , මල්ලියෙක්.
එහෙම නොහිතන අධමයින්ට හිතෙන් සාප කෙරූ වාර අනන්තයි.
මේක රස්සාවක් නොවේ සේවයක් ! හැම තිස්සෙම අපි පත්වීම් ගන්න දවසේ ජේෂ්ඨ වෛද්‍යවරු අපට කියූදෑ මට මතක් වේ.

Tuesday, September 27, 2011

ආපසු හැරෙන්නට නොහැකිය. ...gender based violence !

 ජීවිත් විය නොහැක,  එහෙත් ජීවිතය අත් හැරිය නොහැකිය
ආපසු හැරෙන්නට නොහැකිය, දිවි නසා ගන්නටද නොහැකිය..

මේ ලිපිය ලියන්නට පෙළඹුවේ පසුගිය කාලයේ මගේ හිතට වද දුන් එක්තරා ඛේදජනක සිදුවීම් පෙළක් නිසාය.

1.මගේ හොඳම මිතුරියක් සිටියාය. ඇය මේ කාලය වන විට නව මසැති ගැබිණියකි. මට කතා කර විමසුවේ ඇය සමග දොස්තර ළඟට යා හැකිද කියාය.
මේ වන විට ඇයට අවුරුදු 2 දුවක සිටින අතර ඇගේ සැමියා සිටියේ වෙනතකය. එනම් අන් ගැහැණියක හා හාද වී ඇගේ ඇසුර පතා ඔහු ඇය අත හැර ගොස් සිටීයේ ඇය සිටි තත්වය හෝ සැලකිල්ලට නොගනිමිනි.

අමාරුවෙන් රථය පදවාගෙන පැමිණි ඈ ඉන් එළියට බැස බඩත් උස්සාගෙන පැමිණියේ අමාරුවෙනි. කැම්පස් යන කාලේ හාද වූ මේ දෙදෙනා අතර මෙතරම් විරසක වීම් සිදු වූයේ කෙසේදැයි පුදුමයකි.
"මම ඒ මිනිහට ඕනෙ මගුලක් කරගන්න කියලා ඩිවෝස් එක දෙනවා" ඇය කතා කලේ පුදුමාකාර වූ කළකිරීමකි.
ආදරයක් නැතැයි ද, දැනෙන්නේ නැතැයි ද, ආලය හීන වී ගොස් ඇතැයි ද ඔහු නොයෙක් වර පවසා ඇත.

පෙරදින ආලයෙන් මුසපත්ව නොයෙක් බස් තෙපලූ, පෝරු මස්තකයේ විවාපත් වී වසර 5 ඉක්මගිය තැන වෙන කතකගේ පහස සොයන් තම දෙ හැවිරිදි දරුවාත් ගැබිනි බිරින්දෑත් අතරමං කරන මිනිස් සිතක අරුමය විමසමින් මගේ යෙහෙළිය ලතවේ. බොහෝ වෙහෙසකර ඈගේ දෑස් වල හඬන්නට කඳුලක් නොමැති තරම් ය. පොදුවේ පිරිමි සංහතිය වෙතම ද්වේශයක් මගේ සිතෙහි ජනිත වේ.

පසුගිය දිනක නැවත ඇය කතා කරේ දහවල් එකට පමණය. "මම පාලිමන්ට් රෝඩ් එකේ එද්දි ඩ්‍රිබ්ලින් ඒපාර වාහනේ නවත්තලා ත්‍රීවිල් එකක කාසල් එකට ආවා. පුළුවන්නම් මට සුප් එකක් අරගෙන එන්න"  ගැබිණි ඈ තම දෙහැවීරිදි දරුවා සමග තනියම කාර් එක එළාවගෙන යන අතරේ ඇයට ප්‍රසව වේදනා දැනී ඇත.ඇය දරුවා ප්‍රසූත කළේත් අන් කටයුතු කරගත්තේත් රෝහලේ යහළුවන් දෙමාපියන් ගේ උදව් උපකාර සහ සෙනෙහස මධ්‍යයේය. අර අධමයා පැමිණියේම  නැත.


මට සුමිත්‍රා පීරිස් ලියූ "අග පිපි මල්" නවකථාව සීහි වේ.එහි එක් තැනක අමා මෙසේ සිතයි...


"අතිශය සුන්දර වූ යෞවනයක මිහිරී මතකය මුදා හැර වල්මත් වන්නට තරම් අසිතගේ සිත දැඩි වූයේ ඇයි දැයි ඇයට වටහා ගත නොහැකි විය. මුනිවත රැකීමෙන් ආරම්භ වූ අසිතගේ පරිවර්තනය, නොරිස්සුම , කෑ මොර ගෑම දක්වා වර්ධනය වන විට තමා උගත් සියලු දේ අමතක කර දමමින් පිළියම් සොයමින් උස් පහත් සියලුම තැන් වන්දනා කළ ආකාරය ඇයට සිහිපත් විය. සෙත් ශාන්ති, යැදුම් වැඳුම් කිසිවක් පල නොදී අසිත තව තවත් දැඩි වී දින ගණන් නිවසට නොපැමිණෙන්නට වූ කල හැඬුම , වේදනාව මිස අන් කිසිවක් තමාට දිරියක් වශයෙන් ශේෂ නොවීය. එහෙත් අසිත සඟවා ගත්තේ බලහත් කාරයෙන් එසේ නැතහොත් යැදීමෙන් , හැඬීමෙන් යළී ලබා ගත හැකි දෙයක් නොවේ."  උපුටා ගැනීම... අග පිපි මල් නවකතාව

මගේ යෙහෙළිය මා ඉදිරියේ දිග හරින්නේද එවැනිම කතාන්දරයකි.

සංවර නොවූ සිතකට අයාලේ යන හිතකට තමන් කලින් විඳි සොඳුරු ගැහැණිය තනිකොට දමා විඳවන්නට දුක් වෙන්නට හැර දමා යා හැක්කේ කෙසේදැයි මට නොතේරේ. නමුත් පොදුවේ සෑම පිරිමියෙක්ම මේ වාගේ නොවන බව මම දනිමි.

2. මාලනී අම්මා (මෙය අනවර්ථ නාමයකි) අපේ වාට්ටුවට ඇතූලත් කරේ අධිකරණය මගින් දුන් නියෝගයකින්. ඇය මෙතෙක් ජීවත් වුනේ කොළඹ රැඳවුම් නිවාසයකයි. ඇයට මානසික රෝගයක් ඇති නිසා ඇගේ සැමියා ඇයව ඇයටත් නොදන්වා දික්කසාද කර තිබිනි. උසාවි නියෝගය මත ඇයව රෝහල් වාට්ටුවට එවා තිබුනේ උසාවියේ කලබල කර නිසාය.
"මහත්තයා නැතිව දරුවො නැතිව මේ වගේ දරුණු තීරණ විඳ දරා ගන්න වුනහම හොඳින් ඉන්න අයටත් පිස්සු හැදෙන්නෙ නැද්ද ?" ඇය අපෙන් විමසයි.

අවුරුදු 16 සහ 15 දරු දෙදෙනාද වැර වීර්‍යයෙන් ගොඩනගා ගත් නිවසද අත හැර හතලිස් අට හැවීරිදි වියේදී කාත් කවුරුවත් නැති අසරණියක් ලෙස ආණ්ඩුවේ රෝහලක සෙවන ලබමින් ජීවත් වේ. ටවුමට ගිය විට ඇය සිහිවී දිග හවුස්කෝට් ගවුම් කීප වර ගෙනැවිත් දූන්නෙමි. එවිට ඇයගේ නෙතු අගට කඳුළු එකතු වූ හැටි දුටිමි. හරී නම් ඇය බලා කියා ගන්න ඕනේ ඇගේ ස්වාමියා නොවේද ?

අග පිපි මල් හි අමා ද දරු දෙදෙනා සමග තනිවූවාය. නමුත් මේ අම්මා දරුවන්ද අහිමිව තනිවී මානසික රෝගී යන ලේබලයද අලවාගෙන අසරණව සිටී.  නඩූ වාර කිහීපයක් පසු විය ඇගේ ස්වාමියාද දරුවන්ද ඇය බලන්නටවත් පැමිණියේ නැත උසාවි පැමිණියේද නැත. එවර අපේ එක් වෛද්‍යවරයෙක් ඔවුන්ගේ ගෙදරටම ගොස් යුතුකම් වගකීම් මෙන්ම මනුස්සකමද ලුණු ඇඹුල් ඇතිව පවසා පැමිණියේය. එවිට ඊළඟ නඩුවාරයේදී ඔවුන් උසාවි පැමිණියෝය. නඩුකාර උන්නාන්සෙද මිනිස් ගුණධර්ම සහ සාරධර්ම ගැන හොඳ දේශනාවක් කලාලු නමුත් අර මිනිස්සුන්ගේ හිත්නම් වෙනස් වුනේ නැත. දරුවන් පසු පස දුවන අම්මාද අම්මාගේ අත ගසමින් වේගයෙන් ඇවිද යන දරුවන්ද සැමියාද දුටු විට ඇය උසාවි ගෙන ගිය අපේ හෙද සොයුරියට හැඬුම් ආ බවත් ඇයද ඔවුනට කිව යුතු දෑ කියා පැමිණි වගත් පැවසීය.


3.සෙල්වි, අප වාට්ටුවට ඇතුල් කරේ කතා බහ අඩුවීමද ඔහේ කල්පනා කිරීමද කෑම අරුචිය සහ නිදි මත නො ඒම යන කාරණා සමගය. ඇය සමග කතා බස් කරද්දී වැටහුනේ, ඇගේ සැමියාට දාව අන් කතකට දෙමස් වියැති දරුවෙක් ඇති බව ඇය දැන ගත්ත දා පටන් මේ අමාරු ඇති වූ වගය. ඇයටද දරුවන් දෙදෙනෙකි. සැමියා මේසන් බාස් කෙනෙකි. දැන් ඔහුට බිරින්දෑවරු දෙදෙනෙකි. සෙල්විට තනිව හීඳිනාවිට නොයෙක් සද්ධ සහ කතාබස් ඇසෙන බව කීවේ අද උදයේය. දැනට ලෝකයේ ජීවත් නොවන ආගමික නායකයින් පැමිණ ඈ සමග කතාවස් කරන බවත් සැමියා විසින් ඇයට දුන් දුක ටිකෙන් ටික එමගින් පහව යන වගත් කියයි. සෙල්විගේ සැමියා ඇය රෝහල් ගත කර බව අසා පැමිණ ඉහ අත් ගසාගෙන වැලපේ. ගැහැණු දෙදෙනෙකුගේ ජීවිත අඳුරේ හෙලන්න හැඟීම්වලට වහල් වූ මේ මිනිසාට හැකිවූයේ කෙලෙසද
ඉඳින් හුදෙක් ඉඳුරන් පිනවීමටම පමණක් ජීවත් වෙන්නන්ගෙන් මීට වඩා යමක් බලා පොරොත්තු විය හැකිද ?

ඒ එක්කම ටී. බී ඉලංගරත්නයන්ගේ මා සිත් ගත් පොතක් වන "තිලක හා තිලකා " පොතේ එන කොටසක් මතකයට නැගේ
........තමා එදා සිට බාරගත් වගකීම් ගැන තිලකට සිතුණේ ය. තිලකාට දුකක් නො වන සේ සිය ජීවිතය හැඩ ගස්වා ගන්නට හැකි වේ ද ? ඇගේ සිත  නො රිදෙන්නට, ඇයට සැප පහසුකම් සලසන්නට, දරු මල්ලන්ට තමාගේ යුතුකම් ඉටු කරන්නට ඔහුට හැකි වේද ? ..... පිටු අංක 14



4. බීමත් සැමියාගේ අඩම් තෙට්ටම් වලට ලක්වී අවසන ඔහු විසින් ගිනි තබා පුළුස්සා තිබූ දේවි ඇඟ පුරා පිළිස්සුම් තුවාල සහිතව කෙඳිරි ගාමින් ඉල්ලුවේ මැරෙන්නට පෙත්තක් දෙන්න කියාය. මුලදී සැමියා ඇය පීළිස්සූ බව කියූවද පසුව කල් ගත වෙද්දී තමාම ඇඟට ගිනි තියාගත් බව කීවාය. ඇගේ සැමියා රෝහලට පැමිණෙද්දී පවා බීමත්ව සිටි බවද නොයෙක් වර වාට්ටුවෙන් පිටතට එලවූ බවද වාට්ටු බාර හෙදියන් අප හා පැවසීය. දින 15 මුළුල්ලේ දුක් විඳි ඈ අවසන අවසන් සුසුම් හෙළුවේ පාසැල් යන කුඩා දරු තිදෙනෙකු අර බීමත් පියා වෙත තනි කරමිනි.

 ගැහැණුන් හට දුකක් නොදෙන අනූපම ප්‍රේමයෙන් බිරිය සහ දරුවන් රකින බෝසත් ගුණ ඇති මිනිසුන් සිටිති. එවැනි සොඳුරු මිනිසුන් විරලය. දිනපතා සැමියාගේ අඩම් තෙට්ටම් නිසා කායික මානසික අඩම් තෙට්ටම් නිසා රෝහල් ගත වන කාන්තාවන් බොහෝය. ඔවුන් වෙනුවෙන්ම මේ වන විට රෝහල මගින් gender based violence desk යනුවෙන් පැමිණිලි විශ්ලේෂණය කර උපදේශනය සහ අවැසි උපකාර ලබා දෙන පිළිවෙලක් සකස් කොට ඇත්තේද එහෙයිනි.

වරද ඇත්තේ කොතැනද මට නො තේරේ.

Wednesday, September 14, 2011

ස්ටෙත් එක අරන් රෝහලට ආ තරුණිය...

තමන් වෛද්‍යවරියක යැයි කියා ගන්නා, කොළඹ වෛද්‍ය පීඨයෙන් ඉගෙන ගත් බව කියූ ඉංග්‍රීසි හෝ සිංහල තියා වෛද්‍ය විද්‍යාවේ වචන කීපයක් හැරෙන්න මෙලෝ මගුලක් නොදන්නා තරුණියක් රෝහලට ස්ටෙතසයක් රැගෙන පැමිණ සති කිහිපයක් තිස්සේ , වෛද්‍යවරියක ලෙස රඟපෑමේ යෙදෙද්දී , වෛද්‍යවරුන් වන අපම ඇයව අල්ලා ගත් අන්දම පෙර ලිපියකින් විස්තර කළෙමි. නොකියවූ අයට ලින්ක් එක  මෙන්න !

"ඔබ වෛද්‍යවරියක් බව ඔප්පු කිරීමට හැඳුනුම්පතක් තිබේද ?" අපි ඇසුවෙමු.
එවැන්නක් නැතී බව ද ගෙදර ඇතී බවද  ඒ තබා ජාතික හැඳූනුම්පතව්වත් ඇය ළඟ නැති බව ඇය පවසයි. සියලූ කතා බහ දමිළ බසිනි.
එසේනම් අප ලොකු දොස්තර මහතා හමුවිමට අප සමග එනවාදැයි ඇගෙන් ඇසූ විට එයටද ඇය එකඟ වුනාය. ඇය ගේ මහා බර බෑග් එකත් රැගෙන අපි වෛද්‍ය අධිකාරී තුමා වෙත ගියෙමු, යන අතරතුර පහළ තට්ටුවේ පිහිටි හමුදා පිරිස් සිටි මේසය වෙතද මෙවැනි සැක කටයුතු කෙනෙක් රැගෙන අපි යන හෙයින් හදිස්සියක් වුනොතින් ඉක්මනින් පැමිණෙන ලෙස දැන්වූවෙමු.
"මේකේ බෝම්බ ද දන්නේ නෑ" අමාරුවෙන් ඇගේ බෑගය රැගෙන යමින් සිටි මගෙන් එය ඉල්ලාගත් අයියා පැවසුවේය.
කිසිදාක දැක නොමැති තරුණියක් වෛද්‍ය අධිකාරී තුමා වෙත රැගෙන යනවා මෙන්ම, ඇය පැන යා හැකි නිසා,  ඇගේ බෑගයද ඉල්ලාගෙන ඔසවාගෙන යමින් සීටී අප ගැන මට පුදුම සිතිනි. පසුගිය කාලයේ නම් මෙවැනි කෙනෙක් දුටු පමණින් කත බස් කිරීම පවා අසලටවත් නොගොස් බියෙන් තැති ගැනීමට පුරුදු වී සිටි අපටනම් දැන් එවැනි බියක් කිසි විටෙකත් නොදැනෙයි. 

ඉරිදා මධ්‍යහනද පසුවී තිබිනි, සර් එනතුරු අපට ඇය සමග රැඳෙන්නට සිදු විනි. ඒ අතර තුර අපි දිගටම ප්‍රශ්ණ කරගෙන ගියෙමු. දන්නා හඳුනන හැමටම කෝල් කරමින් , ඇය සඳහන් කළ ඇගේ නමින් මේ අවුරුදු 10 ටම එවැනි සිසුවියක් කොළඹ හෝ යාපනය විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබ නොමැති බව සහතික කර ගත්තෙමු. ඒ බව ඇයට කියද්දී පවා ඇය පැවසුවේ, නෑ මම කොළඹ ෆැකල්ටි එකේමයි ඉගෙන ගත්තේ.  අහවල් ඉස්පිරිතාලේ ෆ්‍රී ඉන්ටර්ස් කරනවා, ෆාමටෝලොජික් නෝට් ඉල්ල ගැනීමට මෙහි ආවේ" කියමිනි. ( ඇය සඳහන් කල ෆ්‍රී ඉන්ටර්ස් යනු සීමාවාසික පත්වීම් ලැබෙන්න කලින් වෛද්‍යවරුන් හඳුන්වන නම ය pre - intern , ඇය ෆාමටොලොජික් කියා කීවේ අප pharmacology යනුවෙන් හඳුන්වන විෂය ය. ඇය මේ වචන කොහෙන් හෝ අසා කියවනා මිස දැනගෙන කියවන්නක් නොවන බව අපට වැටහිනි )

"හරි එහෙනම් අවසාන විභාගයට කරපු විෂයන් ටික කියන්නකෝ " අපේ කෙනෙක් විමසයි.

"බයෝ කෙමිස්ටි, මයික්‍රොබයොලොජි, ෆිසියොලොජි, ෆාමටොලොජික් " ඇය පැවසීය.

අප සියල්ලන්ටම මැයනම් කොහෙන් හෝ අසා දැන ගත් දෙයක් මිස කොළඹ තියා මොනම ෆැකල්ටියකවත් ඉගෙන ගෙන නොමැති බව වැටහිනි. අවසාන වසරේදී කරනු ලබන විෂයන් ඇය සඳහන් කළ ඒවා නොවේ. ඒ සියලු විෂයන් කරන්නේ පළමු වර්ෂ දෙක තුලදීය.

හරි කොළඹ ෆැකල්ටි එකේ අසවල් විෂය උගන්වන ප්‍රොෆෙසර්ගේ නම මොකද්ද?
තව කෙනෙක් ඇසුවේය. " සුසන්තිකා " ඇය පිළිතුරු දුන්නාය.
"කවුද සුසන්තිකා..... සුසන්තිකා ජයසිංහද ? " අයියා විමසුවේය.
"ඔව් ඔව් සුසන්තිකා ජයසිංහ" ඇය යුහුසුළුව පිළිතුරු දුන්නාය. ඇයට මද අස්වැසිල්ලක් දැනුනු බව මුහුණින් පෙනිනි. ඒ ඇය කියූ දෙය හරි ගියා යැයි ඇය සිතූ නිසාය. නමුත් අප නම් සිනහ නොවී සිටියේ ඉතා වැර වෑයමිනි.
"අනේ මම ගෙදර යන්න ඕනේ මම ඇත්ත කියන්නේ. මම ඩොක්ටර් කෙනෙක් තමයි. මේ මගේ ස්ටෙප් එක"
වෙද නළාව පෙන්වමින් ස්ටෙප් එක කියද්දිනම් අපිට සිනහව වලක්වාගත නොහැකි විය.

අප අසන ප්‍රශ්ණ හමුවේ තමන්ගේ බොරු හෙළි වන බව දැනගත් ඈ අඬන්නට විය.

ඉන්පසු දිගින් දිගටම අපි ඇයට පැවසුවේ ඇය වෛද්‍යවරියක නොවන බව අපට වැටහී අවසාන බවයි. එමෙන්ම ඇය සේවය කරනවායැයි කී අදාල රෝහල් වලට දුරකථනයෙන් කතා කොට දැනගත්තේ එහෙම ප්‍රී ඉන්ටර්න් කිසීවෙක් ඒවායේ වැඩ නොකරන බවයි. මේ තැනැත්තිය ඇත්ත සඟවන බව වැටහෙද්දී අප කළේ පොලිසිය වෙත බාර දීමය. එහිදී ඇගේ සත්‍ය නම් ගම් සහ විස්තර දැන ගන්නට ලැබිනි. ඒ වගේම ලොජ් වල රිසිට් , බිල්පත් බොහෝමයක් දැකගන්නට ලැබිනි. යාපනය පුස්ථකාලයෙන් සොරකම් කරන ලද ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහ බරැති ඉංග්‍රීසි පොතක්ද විය. එතෙක් යන එන තැන මිනිසුන්ව මුලා කිරීමට එයද යොදාගත් බවට සැක නැත. නිරන්තරයෙන් ඇගේ දුරකතථනයට කතා කල එක අයෙක් පැවසූවේ. ඇය වෛද්‍යවරියක් බව පැවසූ බවය, ඇය බස් එකේ ගිහින් තිබුනේත් ස්ටෙතස්කෝප් එක අතේ අරගෙනය.
ඒ කතා කල පුද්ගලයා අන්තිමට විමසුවේ "ඇත්තටම එයා ඩොක්ටර් කෙනෙක්ද ?" කියායි.

වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවෙන් ආහාර ගෙන තිබුනේද ස්ටෙතස්කෝප් එකේ පිහිටෙනි. එමෙන්ම රෝහලේ ඇය සැරි සැරූ වාට්ටු ගැනද ටිකෙන් ටික රෝහල් කාර්යය මණ්ඩලයෙන් හෙළි විනි.  ඇතැම් වාට්ටුවල සිටින දොස්තරලාගේ නම් ගම් විමසා ටෙලිෆෝන් නොම්මර පවා ඇය ඉල්ලාගෙන දුරකථනයට දමාගෙන තිබුනේ , අර ස්ටෙත් එක මගින් අපේ හෙදි සොයුරියන්වත් රවට්ටමිනි.  ස්ටෙත් එකක් නොව උපාධි සහතිකය අතේ අරන් ආවත් පිට කෙනෙක්ට රෝහලේ වාට්ටුවල දොස්තරලාගෙ නම් ගම් හෝ දුරකථන නොම්මර නොදෙන ලෙස අපි ඔවුන්ව දැනුවත් කළෙමු

මට සිතෙන්නේ සමහර විටක ඇය මානසික රෝගයකින් පෙලෙන්නියක් විය හැකිය. සමහර විට අප නොදන්නා ජාවාරමක් ස්ටෙත් එකත් පොතත් සමග වෛද්‍යවරියක ලෙස සමාජයේ පෙනී සිටිමින් කලාද සැක නැත. එයින් අපේ සිත් වලටනම් අවිනිශ්චිත බවක් සහ බියක් ඇතුල් විනි. ඕනෑම රෝහලක මෙසේ විය හැකිය. මෙසේ රඟපා ඕනෑ තරම් ලෙඩුන් අසරණයින් මෙන්ම සමාජයේ ඕනෑම ක්ෂේත්‍රයක අය මුලා කල හැකි නොවේද ?

හරියට උපාධියක්වත් නැතිව බෙහෙත් කරන හොර වෛද්‍යවරුන් හෙවත් quacks ලා ඕනෑ තරම් ලංකාවේ හතර දිග් භාගයේ සිටිති.  එවන් හොරුන් ගේ බොරු වෙදකම් නිසා ලෙඩ උත්සන්න වී අන්තිමට රජයේ රෝහල් වලට ගෙනෙන රෝගීන් ගණන විශාලය.

නළාවක් අතින් ගත් පමණින් කිසිවෙක් වෛද්‍යවරයෙකු නොවන බව මහජනයා වටහා ගත යුතුය.වෙද සිසුන් නම් සුදු කෝට් එක පිටින් එහෙ මෙහෙ පාරවල් දීගෙත් යන වග අපි දැක ඇත්තෙමු. නමුත් මා දන්නා තරමින් වෛද්‍යවරුන් කිසිවෙක් ස්ටෙත් එක බෙල්ලේ එල්ලාගෙන පාරේ ගමන් කරන්නේ නැත.
එමෙන්ම අහිංසක රෝගීන් බලන්න එන සෙනගට සත්තම දාන අතරෙම රෝහලේ වැඩකරන වෛද්‍යවරුන් කවුරුන්ද ඊළඟට අමුත්තන් දුටුවොත් කරන්නේ මොනවාද යන්න ගැන සැලකිලිමත් වෙන ලෙස අපි ආරක්ෂක මහතුන්ටද හොඳ දේශනාවක් කළෙමු. පෙර කලෙක මෙවැනි සිදුවීමක් උනානම් අප සියලු දෙනා භය බිරාන්තවෙනවා නො අනුමානය.

කොහොම උනත් තවමත් අපට තිබෙන නොවිසඳුන ප්‍රශ්ණය ඇය වෙස් වලාගෙන පැමිණියේ ඇයි යන්න යි.
ඇය නිදහස් කරන්නේ නම්, මානසික රෝග ඒකකය වෙත යොමු කරන ලෙස අපි පොලිසියෙන් ඉල්ලා සිටියෙමු. මන්ද කිසිඳු චෝදනාවක් නැත්නම් ඇය කළ රඟපෑම නිසැකවම හාරා අවුස්සා සොයා බැලිය යුතුය. එය මානසික රෝගයක් විය හැකිය.