“ සමාජ ජාල ගෘප් එකක පොඩි ළමයින්ගේ පින්තූර දමමින්, ලිංගික ක්රියා කිරීම ගැන ෆැන්ටසයිස් කරමින් පෝස්ට් ලියනවා. අනේ ඒ දරුවෝ සමහරු ස්කූල් යුනිෆෝම් එකෙන්. සමහරු අවුරුදු දෙකේ තුනේ දරුවෝ. මේ ගෘප් එක පේජ් රිපෝට් කළාට හරිගියේ නෑ මේකට මොකක්ද කරන්න පුළුවන්.”
ඒ මීට අවුරුදු දෙක තුනකට කලින් විශ්ව විද්යාල තරුණියක් මා අමතා කියන සිත කම්පාවන සුළු පුවතකි. ළමා ආරක්ෂණය පිළිබඳව කටයුතු කරන බොහෝ පාර්ශව වල මැදිහත් වීමෙන් සයිබර් අපරාද පිළිබඳව කටයුතු කිරීම ඒ තරම් ප්රචලිත නොමැති කාලයක වුණත් ඔවුන් ඉක්මනින් ක්රියාත්මක වී මේ කටයුතු සිදු කළ පුද්ගලයින් අත් අඩංගුවට ගත් බව පුවත් මගින් පළ වී තිබුණි. මෙවැනි ක්රියා සිදු කරන සමාජ මාධ්ය ජාලා පිටු හෝ සමූහ වල පලවෙන පින්තූර බොහෝමයක් දෙමාපියන් හෝ වැඩිහිටියන් විසින් සමාජ මාධ්යයේ පළ කළ ඒවා ය. දැන් අවුරුදු ගණනාවකට පසුව මානව අයිතිවාසිකම් සහ අනෙකාගේ පුද්ගලිකත්වය ගැන විස්තර සහ තොරතුරු ඕනෑ තරම් ප්රචලිත කාලයක වුවද ආචාර ධර්ම හෝ මානව හිමිකම් ගැන අවබෝදයක් ලංකා සමාජයේ නැති බව පෙනේ. මේවන විට අප රටේ පාසැල් බොහෝමයක් සමාජ මාධ්ය අවකාශ තුළ පිටු හෝ සමූහ පවත්වාගෙන යනු දක්නට ලැබේ. ඒවායේ එම පාසැලේ දරුවන්ගේ පින්තූර පල කරනු දක්නට ලැබේ.
මේ ලියන මා වුවද මේ දේවල් ගැන දැනුවත් වුණේ මේ ගැන කටයුතු කරන සමාජ මාධ්ය ක්රියාකාරීන්ගේ අදහස් සහ යුරෝපා සමාජයේ පවතින නීති රීති ගැන දැනුවත් වූ පසුවය. රෝගී සත්කාරයේදී හෝ සමාජය දැනුවත් කරනා වැඩ කටයුතු වලදී තමන් උත්කර්ෂයට නංවාගැනීම පිණිස ඇතැම්විට අවට සිටින දරුවන් මිනිසුන් මේ අයගේ මුහුණු සහිත ජායාරූප අන්තර්ජාලය තුළ පලකරන විට මේ ගැන අවබෝදයෙන් ක්රියා කරන්නේ කවුරුන්ද ?
සමාජ මාධ්යවල දරුවන්ගේ ඡායාරූප පළ කිරීම ඉතා අවිහිංසක ක්රියාවක් ලෙස පෙනෙන නමුත් එය අවදානම් විය හැකි හේතු කිහිපයක් තිබේ. දරුවන්ගේ පින්තූර අන්තර්ජාලය හරහා බෙදා ගැනීමට පෙර අප දෙවරක් සිතිය යුත්තේ මන්ද යන්න නැවත ලියා දැනුවත් කළ යුතු බව සිතේ.
දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ කැමැත්ත යන මේ දේවල් ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. සමහර වැඩිහිටියන් පවා සිතන්නේ දරුවන්ගේ කැමැත්ත ලබා ගැන්ම ප්රමාණවත් බවය. එහෙත් දරුවෙකුට හෝ ඔවුන්ගේ භාරකරුවන්ට ඒ සඳහා කැමැත්ත ලබා දිය හැකි යැයි සිතුවද දරුවන් ඉගෙනුම ලබන පාසල් තුලදී වුවද දරුවන්ට ඔවුන්ගේ ඡායාරූප බෙදා ගැනීමට දැනුවත් කැමැත්ත ලබා දිය නොහැකි බවද රාජ්ය භාරකාරත්වය යටතේ පවතින ආයතන හෙවත් රෝහල්, රජයේ කාර්යාල හෝ පාසල් තුළ කිසිවෙකුගේ උවමනාවට ජායාරූපගත කිරීම හෝ පටිගත කිරීම සිදුකළ නොහැකි බවද අප දැනුවත් වීම වටී.
එමෙන්ම දෙමාපියන් හෝ වැඩිහිටියන් තමන්ගේ හෝ තමන්ගේ නොවන දරුවන්ගේ වුවද පින්තූර වීඩියෝ අන්තර්ජාලය තුළ බෙදා හැරියද අද හානිකර නොවන ලෙස පෙනෙන දේ මතු දිනක දරුවන්ව අපහසුතාවයට පත් කළ හැකිය. ඇතැම් විට ජීවිතයේ පසුකාලීනව ඔවුන්ට බලපෑ හැකිය. යමක් පොදු අවකාශවල බෙදා ගත් පසු, එය සම්පූර්ණයෙන්ම ඉවත්කිරීම පවා කළ නොහැක්කකි. වැඩිහිටි සමාජය දරුවන්ට සුරක්ෂිත එකක් බව එක හෙළා පැවසිය හැකි නොවේ. ඇතැම් විට අන්තර්ජාල හෝ සමාජ ජාල තුළ මේ දත්ත ගබඩා වන අතර ඒවා නාඳුනන පිරිස් වෙත නිරාවරණය විය හැකිය. ඇතැම් විට අවුරුදු ගණනාවකට පසුව වුවද ආගන්තුකයින් හට මෙම දත්ත වෙත ප්රවේශ විය හැකිය.
ඔබ විසින් එකතු කරන ජායාරූප හෝ වීඩියෝ අනිසි ලෙස භාගත කරගෙන නුසුදුසු ලෙස භාවිතා කළ හැක. මා ඉහත සඳහන් කළ පරිදි ඉතා පහත් පෙළේ අනිසි වෙබ් අඩවි ඒවා භාවිතා කළ හැක. කනගාටුවට කරුණක් නම්, දරුවන් කෙරෙහි කායික හිංසන සිදු කරන මිනිසුන් වෙත අන්තර්ජාලය ඔස්සෙ මේ ජායාරූප හෝ දරුවන් නිරාවරණය වන බව ය. ඇතැම් දරුවන් පසු කාලීනව, තම ජීවිත බොහෝ පිරිසක් වෙත නිරාවරණය වන බව හෝ සමාජ ජාලා තුළ අන්තර්ගතයක් බවට පත් කරන බව හැඟී දෙමාපියන් හෝ වැඩිහිටියන් සමඟ ගැටුම් ඇතිකරගත් පුවත් මා දැක ඇත. මෙය දරුවන්ගේ ආත්ම අභිමානය සහ පුද්ගලිකත්වයේ සීමාවන් උල්ලංඝනය කරන අතර අනන්යතාවය පිළිබඳ ඔවුන්ගේ අවබෝධයට අනිසි ලෙස බලපානු ඇත.
ඇතැම් විට ඔබ සමාජ ජාලවල පළ කරන සමූහ පින්තූරවල සිටින දරුවන් සහ මිනිස්සුන් අපහසු, කරදරකාරී, භයානක පරිසරවලින් මිදී වෙනත් රටක රැකවරණය ලබා සැඟවී සිටින අය විය හැක. ඔබේ ක්රියාවෙන් ඔවුන්ගේ රහස්යභාවය අහෝසි විය හැක. ජීවත්වෙන ස්ථාන හෝ ගැවසෙන ස්ථාන ටැග් කිරීම මගින් ස්ථාන දත්ත අමුණා තිබිය හැකිය. විශේෂයෙන් ස්මාර්ට් ජංගම දුරකතනයකින් එවන් දෑ සිදුවේ. මෙහි භයානක බව වැඩිහිටියන් හට නොපෙනේ. එමඟින් නොදැනුවත්වම දරුවා ජීවත් වන පෙදෙස, පාසල හෝ සෙල්ලම් කරන ස්ථානය නාඳුනන පුද්ගලයින් වෙත හෙළිවෙනු ඇත. දරුවන් අනාරක්ෂිත කරන්නේ වැඩිහිටියන්ගේ මේ නොදැනුවත්භාවයයි.
එනිසා ඔබේ හෝ ඔබේ නොවන දරුවන්ගේ පින්තූර සමාජ මාධ්යවල දැමීමෙන් වලකින්න. ඔබේම දරුවන්ගේ වුණත් පුද්ගලිකත්වය ( privacy) සුරකින්න. පුද්ගලිකත්වය ගැන, මානව හිමිකම් ගැන ලංකාවේ නිසි අවබෝධයක් නොමැති වුවද වෙනත් බොහෝ රටවල වැඩිහිටි මෙන්ම ළමයින්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් නීති රීති පවතී.
මේ තත්ත්වයම රෝගීන් ගැවසෙන රෝහල් තුළද දක්නට ලැබේ. ඇතැම්විට රෝගී සත්කාරය සිදුකරන අයුරු අවට අයෙක් වීඩියෝ කර සමාජ මාධ්ය තුළ දමනු පෙනේ. අවාසනාවට මේ දේ සෞඛ්ය සේවකයන් විසින් ද සිදු කරන බව දකින අතර රාජ්ය ආයතනයක් වන රෝහල් තුළ තුළ රෝගී සත්කාරය හෝ ඒ සිදු කරන දේ, රෝගීන් සමග ජායාරූප හෝ පටිගත කිරීම නීති විරෝධී කටයුත්තකි. ඒ එමගින් රෝගීන්ගේ මෙන්ම සෞඛ්ය සේවකයින්ගේද පුද්ගලිකත්වය ට හානි දායක වන නිසාය. සෞඛ්ය අමාත්යාංශය හෝ වෛද්ය සභාව රෝගීන් ගේ පුද්ගලිකත්වය මෙන්ම සෞඛ්ය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි පටිගත කිරීම්වලට එරෙහිව නීති ක්රියාත්මක කළ යුතුය. එහෙත් ඇතැම් විට අධ්යාපනික දේ සඳහා රෝගීන් ගේ අවසරය ඇතිව වීඩියෝ රෙකෝඩ් කිරීම හෝ පින්තූර ගැනීම කෙරේ. එවිට එම දත්ත නෛතික රාමුවකට යටත් ව ලිඛිත අවසරය ලබා ගැන්ම සිදුවේ. රෝහල් ආශ්රිත පටිගත කිරීම් ප්රසිද්ධ මාධ්යවල පල කරද්දී ඒ සඳහා නීතිරීති සහ අවසර ගැනීමේ ක්රමවේද පවතී.
ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම ඕනෑම පුද්ගලයකුගේ ඩිජිටල් දත්තවල සුරක්ෂිතභාව්ය වෙනුවෙන් නොයෙකුත් නීති රීති පවතී (Personal Data Protection ACT No. 9, Computer crimes Act No. 24, Online safety act No.9 ). එමෙන්ම අධ්යාපන අමාත්යාංශය විසින් සමාජ මාධ්ය යෙදවුම් භාවිතය වෙනුවෙන් මාර්ගෝපදේශ ප්රමාණයක් ලිඛිතව 2024 නොවැම්බර් මස ඉදිරිපත් කළ බවද මතක් වේ.
දරුවන්ගේ සහභාගීත්වයෙන් තොරව වැඩිහිටියන් විසින් ඔවුන්ගේ අනාගත ඩිජිටල් පැවැත්ම හැඩගස්වමින් සිටිනු දක්නට ලැබෙන මේ කාලයේ දරුවන්ගේ පින්තූර හෝ වීඩියෝ ඩිජිටල් අවකාශ තුළ බෙදා ගනිද්දී ඒ සෑම ඡායාරූපයක්ම දරුවෙකුගේ ඩිජිටල් අනන්යතාවයට දායක වෙන බව මතක තබා ගත යුතුය. එසේ නිරාවරණය වීම ඔවුන් තෝරා නොගත් එකකි. අනාගතයේ මේ දත්ත කෙලෙස ඔවුන් කෙරෙහි බලපානු ඇතිදැයි ඔබ හෝ මා නොදන්නා නිසා මේ ගැන දැනුවත්වීම සහ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම වටිනවා යැයි සිතේ.
වෛද්ය බෝධිනී සමරතුංග
Mawbima, 17/4/2025 පුවත්පතේ පල විය.
No comments:
Post a Comment
ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !