Thursday, February 16, 2023

සිරීපාදේ දරු ප්‍රසූතිය

සිරීපාදේ ළමයෙක් උපන්නා කියලා වෙනස්ම කතාවක් යනවනෙ.  ඒ දරුවාට සහ මවට කිසිඳු කරදරයක් සිදුවී නැති බව තමා ඇසෙන්නේ. ඉතින් සමහරු ඒක හාස්කමක් ලෙස කියනවා පිනක් ලෙස අර්ථ දක්වනවා. මම කල්පනා කරනවා ඒක කොහොමද පිනක් වෙන්නේ බුදු අම්මෝ එකේ අවදානම මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද කියලා. ඉතින් මේවගේ අවදානම් තත්ත්ව ඇති විට මෙවන් ගමන් යෑම නුසුදුසුයි කියන එකත් පූජාභූමි වල දරුවෙක් ඉපදීම අමුතු එකක් ලෙස උත්කර්ශයට නංවන එකේ භයානක කමත් තේරුම් කිරීම අවශ්‍ය නිසා මම මේ ටික ලියන්න හිතුවා.

සමහර විට මේ වගේ අමුතු විශ්වාස සහ ශ්‍රද්ධාව නිසා ජීවිත හානි වෙන්න පුළුවන්. මොකද දරු ප්‍රසූතිය කියන්නේ ගොඩක් සංකුලතා එන්න පුළුවන් අවස්ථාවක්. ජීවිත අවදානම අතින් ගත්තොත් අම්මයි දරුවා යි… ජීවිත දෙකක වගකීම තියෙනවා.

ඒකයි ඉස්සර වගේ ගෙවල්වල දරු ප්‍රසූතිය කරන්නේ නැතිව ප්‍රසුතිකාගාර හෙවත් labour rooms ඉස්පිරිතාල වල පිහිටුවා, පුහුණුව සහ දැනුම ඇති වෛද්‍ය හෙද පවුල් සෞඛ්‍ය නිලධාරීන් එහෙම පත් කරලා…ඒ එක්කම ලොකු ඉස්පිරිතාලවල සැත්කම් කළ හැකි පහසුකම් ලබා දී තිබෙන්නේ.

උතුරට මහා වැසි ගංවතුර අරන් එන ඊසාන දිග මෝසම් හෝ බෙංගාල බොක්කේ මොනවා හරි කැළඹීමක් එද්දී ඒ කාලේ මුලින්ම කරන්නේ ප්‍රසූතියට දින ළඟ හෝ සංකුලතා ඇති ගර්බණි අම්මලා ටික ඉස්පිරිතාලේ එක්කන් එන ඒක. එයාලව ඉස්කොළවල අටවන තාවකාලික ගංවතුර සහන කඳවුරු වලවත් තියන්නේ නෑ මේ අය.

ප්‍රසූතිය වෙලාවේ සහ ඉන් පසු ඇතිවන අධික රුධිර වහනය නිසා මවගේ ජීවිතය පවා හානි කරනවා. ඒක තමා මාතෘ මරණ ඇති කරන ප්‍රධාන හේතුව වෙන්නේ. Post partum haemorrhage. ඒ මොහොතේ කුමක් වෙයිද කියා අප කාටවත් කලින් තීරණය කරන්න බෑ. මගේ නෑදෑ පොඩි අක්කා මරණයට පත්වුනේ කලින් නිර්ණය නොකළ කිසිම සංකූලතාවයක් නැතිව සාමාන්‍ය ප්‍රසූතියට සති 41 දී රෝහල් ගත වෙලා සාමාන්‍ය ප්‍රසූතිය වෙලාවේ දරුවාගේ සංකුලතා ඇවිදින් සිසේරියන් සැත්කම් කළ පසු (ශික්ෂණ රෝහල ක මහාචාර්ය ඒකකයක) ඉහත කී අධික රුධිර වාහන තත්ත්වය ඇතිවීම නිසා. ඉතින් මේ සිරීපාදේ මුදුනේ වගේ කිසිම පහසුකමක් නැති තැනක කවර කථා ද?

ඒවගේම තමා බිලිඳාට ඇතිවන සංකුලතා. ඉපදෙන දරුවාට ඒ මොහොතේ ඇතිවන සංකූලතා බොහොමයක් තිබෙනවා. උපන් ගමන් හුස්ම නොගන්නා අවස්ථා කොයි තරම් මගේ සේවා කාලය තුළ අත් දැකලා තියෙනවද ? ඒවගේම තමා සෞඛ්‍යාරක්ෂිත නොවන තැන්වලදී විෂබීජ වලට නිරාවරණ වීම, ශීත අධික පරිසරයට නිරාවරණය වීම එහෙමත්.

එතකොට මේ සිරීපාදේ ගිය අම්මා අවදානම් තත්ත්වයේ දාලා තියෙන්නේ තමන්ගේ ජීවිතය විතරක් නෙමේ තමන්ගේ දරුවාගේ ජීවිතයත් අවදානමට ලක් කරලා!

ලංකාවේ මාතෘ මරණ දකුණු ආසියාවේ දර්ශක අතරින් හොඳම අගය තියෙන්නේ ලංකාවේ ඒ ප්‍රසව හා නාරිවේදය වගේම පවුල් සෞඛ්‍ය ආයතනය ගෙන යන සුවිශාල මෙහෙයුම් යාන්ත්‍රණ නිසා.

ඉතින් මේ වගේ අවදානම් ගමන් යන හො යන්න ඉන්න මව්වරුන්ට වගේම මේ සිදුවීම් ජීවිත අවදානම නොතේරෙන ලංකා පොළොව උඩ ඉන්න සිය දහස් ගණනක් නොතේරුම් කම් ඇති මිනිසුන්ට මේ ගැන තේරුම් කරන්න හිතුනා.

මේ ගැන ලිව්ව කතාවක් තියෙනවා “ෆෝන් සිඹින මිස්ලා” කියලා එකත් මේ අන්තිමට එකතු කරනවා. දරුවෙක් පිළිසිඳ ගැනීම සමග ප්‍රාදේශීය පවුල් සෞඛ්‍ය නිලධාරීන් හෙවත් මීඩ් වයිෆ් මිස් ලා තමයි ප්‍රසූතිය දක්වාම මේ ගර්භනි අම්මලාගේ වගකීම දරන්නේ.

ගර්භානි කාන්තාවන්ට මෙවැනි අහිතකර අවදානම් ගමන් යන්න එපා කියලා දැනුවත් කිරීම් අපමණ කරනවා.

ඒවගේමයි එයාලා ගෙවල් ගානේ එන්නේ… සායන වලට ලියාපදිංචි කරගන්නේ එහෙම කළ යුතු නිසා. එක් කෙනෙක් හරි මිස් වුණොත් දෝෂාරෝපණය එන්නේ field midwife ට නිසා.

එතකොට කිසිම සායනයකට ඒ වෙනකම් නොගිය ඒ අම්මලා දරුවෝ ගැන දෝස්මුර යන්නේ අදාල ප්‍රදේශයේ මීඩ් වයිෆ් ට.

ඒත් ඒ මිනිසුන්ගේ ආකල්ප හදන ඒක අතින්නම් සෞඛ්ය අංශය තවමත් පසුගාමී යි.

මම කලින් උතුරු කොනේ ප්‍රසව හා නාරිවේදය අංශයේ වැඩ කළ නිසා දන්නවා මේ කාර් යය කොහි තරම් වගකීමක් ද කියලා.

ෆෝන් සිඹින මිස්ලා

ලෑන්ඩ් ෆෝන් එක හෙවත් දුරකථනය සිඹිමින් කතා කරන එක උතුරේ අනිත්කොන රෝහලේ ඉතා සුලබ දර්ශනයකි. මේවා එකල හිනා යන දේවල් වුණාට දැන් මතක් කරද්දී හිතට බොහෝ උණුසුම් සතුටක් ගෙන දෙනවා.

අපේ මිඩ් වයිෆ් මිස් BHT එක හෙවත් ඇඳ ඉහපත් ෆයිල් එකත් අරන් ෆෝන් එකෙන් හෙට හෝ අද හවස අපි ගෙදර යන්න ටිකට් කපන ගර්භණී හෝ දරුවා ප්‍රසූත කළ අම්මා කෙනෙක් ගැන විස්තර කියා ඇයට අප ඉදිරියේ දී ඇති සැලසුම, නැවත රෝහල්ගත විය යුත්තේ කවදාද යන මේ සියල්ල ඇයගේ නිවස්නය පිහිටි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව වෙත කීමය. බොහෝම ඈත සිග්නල් අඩු ප්‍රදේශවල සිට ඒ උදවිය කතා කරද්දී ඇහෙන්නැති නිසා රිසීවර් එක පැත්තක දමා ස්පීකර් එකට ලංවී මෙසේ කෑ ගහන මිස්ලා ගේ මේ වැඩේ ගැන අපි "ෆෝන් සිඹින මිස්" කියා විහිළු තහළු කරත් එයාලා ඒක දේවකාරියක් වගේ කරන්නේ.

අපේ මිස්ලා සහ අපි, වන්නි හදවතේ පිහිටි අපේ ඒකකය වෙත උතුරේ හැම පැත්තෙන්ම එන අම්මලා අපි බලාගත්තේ දරුවෝ වගේ.

මේ රෝහල නැවත පණ ගන්වන්න එහි හා හා පුරා ගිය තරුණ විශේෂඥ වෛද්‍යවරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට හැකිවුණා. අලුතෙන්ම යුරෝපා රටක් මුල්වෙලා හැදුව මේ රෝහල යුද්දෙ අවසානයේ තිබුණේ කහල ගොඩක් බිත්ති ටිකක් විතරයි. ඒක ඉන්පසු, ඉතා පිළිවෙල , ශල්‍යාගාර දෙකක් සහිත දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් කරන්න එවකට හිටි වෛද්‍ය අධිකාරී ඇතුලු සියල්ලෝම එකාමෙන් වැඩ කළා.

විශේෂඥ වෛද්‍යවරයා අවදානම් කරුණු සහිත “චෙක් ලිස්ට්” එකක් එක්ක කොලයක් හැදුවා. බලපු ගමන් අවදානම් අම්මලාව අවදානම්ද කියා ඕනෙම කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන් ආකාරයේ එකක්.

දකුණු පැත්තේ එක කරුණකට හරි ඉදිරියෙන් කතිරයක් තියනවානම් අවදානම් ගර්භනී අම්මා කෙනෙක්…ඒක දැන් එහෙ පාවිච්චි වෙනවද මන්දා. හැබැයි ඒක ඒ කාලේ හරි වැදගත් වුණා.

අපි ඒ අයව බලන්නේ ගර්බනි කාලය පුරාම එක් වරක් හෝ දෙවරක්, එහෙත් මාස් පතා ඒ අයව බලාගන්නේ එයාලගේ අදාල ගමේ මාතෘ සායන යෙන්..

එහෙත් එහිදී නොසලකා හරින ලද යමක් හෝ අලුත් රෝග තත්ත්වයක් අනාවරණය වුණොත්, අපේ ඉන්න මිඩ්වයිෆ් මිස්ලා ටෙලිෆෝන් එක සිඹ සිඹ කතා කරනවා අදාල ප්‍රදේශයේ මිඩ් වයිෆ් මිස්ට…

ස්කූටි එකේ විගහින් ඇවිත් හෙල්මට් අතින් අරන් වාට්ටුවට දුවගෙන එන්නත් වෙනවා. ඩෝස් එකක් හෙවත් දෝස්මුරයකුත් ලැබෙනවා.

මට මතකයි ලිෆ්ට් එකක්වත් වැඩ නොකරනකොට බඩදරු අම්මලා ස්ටෙචර් පිටින් පඩි පෙලේ උඩට උස්සන් යන්න අපිත් අත්වාරු දෙනවා.

දවසක් ඕපී ඩී එකෙන් වීල් චෙයා එකක එවපු අම්මෙක් පඩිපෙල පාමුල ඉඳගෙන දරුවා ප්‍රසූත කරනවා, සුළු සේවිකාව උඩට දුවන් ඇවිත් කියද්දී අපි පහළට දුවලා… එතනම සියලු ජීවානුහරණය කරන ලද තුවා ෂීට් එළලා දරුවා අරන් අම්මාව ස්ට්‍රෙචර් එකට දාගෙන උඩට දිව්වා…පඩි පෙළ පාමුල කියලා මොකද දරුවා එද්දී නවත්තන්නයෑ…

ලංකාවේ හැම අස්සක් මුල්ල ක් ගානේ ඇවිදලා ගර්භනී සහ ළදරු ගැටළු තමන් ගේ කරගෙන වැඩකරන සායන පවත්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල සියල්ලන්ට තුති පුදමි.

ඉතින් මේ සිරිපා අඩවියේ උපන් දරුවාට අම්මාට කිසි කරදරයක් නොවූ එක බොහොම වටිනවා. ඒත් එහෙමයි කියලා ආයේ මේවගේ අනුවණ කම් සිදු කරන්න පෙළඹවීමක් ඇති වුණොත් ඒක හරිම නරක වැඩක්. ජීවිත හානි වෙලා නවතින්න හැකි වැඩක්.. එනිසා කාරුණිකව ඉල්ලා සිටින්නේ තමන්ගේ ජීවිතේ අවදානමේ දමා ගන්න එපා කියලා.

වෛද්‍ය බෝධිනි සමරතුංග

මේ අවසාන පින්තූරය ෆේස් බුක් එකේ බෙදාගත් එකකි. අවශ්‍ය පණිවිඩය කෙටියෙන් කියන නිසා මෙහි පළ කරමි. 

ලංකා ටාගට් වෙබ් අඩවියේ පළ විය http://lankatarget.com/si/?p=26747




Sunday, February 12, 2023

මතක පාඩම් !

මුහුදෙන් ගොඩ ගැසූ තල්මස් පින්තූරේ එක්ක බොහොම වේදනාකාරී දසුනක් දකින්න ලැබෙනවා.

දරුවන්ට සහවේදනය, කරුණාව සහ මෛත්‍රිය උගන්වන්න ඕනේ වැඩිහිටියන් විසින්.
ඒත් ඒ වැඩිහිටි සමාජය ඒ වෙනුවට දරුවන්ට උගන්වන්නේ තමන්ගේ පැවැත්ම තමන්ගේ වර්ගයාගේ උසස්කම තමන්ගේ ගොඩ වැඩි කර ගන්නා ආකාරය ආදී දේවල්.

මට මතක් වෙනවා හරි අපූරු පාඩමක්. මගේ වයස අවුරුදු හයක් විතර ඇති. අම්මා වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් කීවා පුතේ අපි ගමනක් යමු කියලා. ටවුන්හෝල් ලිප්ටන් වටරවුමේ ඇවිදගෙන යනකොට පෙමන්ට් එක පැත්තක තෙත බරිත ළමා පොත් වේලෙන්න අතුරා තිබුණා. මහ වැසි ඇද හැලිලා කොළඹ පාරවල් පිරෙන්න වතුර පුරෝ දාලා තිබුණ කාලයක්. එතන ඒ ක්‍රිස්තියානි පල්ලිය ඉස්සරහ හිටිය සපත්තු මහලා ජීවිකාව ගෙන යන පවුලක්,මේ කියවන අයට මතක් වෙයි මම මේ කියන විස්තර. ඒ සපත්තු මහන කෙනාගේ දරුවෝ අර පේමන්ට් එක උඩ තමන්ගෙ තෙමුණු පොත් වේලනවා බොහෝ පොත් තෙතබරිත වෙලා තිබුණා. ඒක දැකලා තිබුණේ අම්මා ගෙදර එද්දී.....ඉතින් ගෙදර ඇවිත් මාවත් එක්කගෙන ආයෙත් අම්මා එතැනට ගියේ පොත් කඩේකට ගිහින් ඒ ළමයින්ට පොත් පෑන් පැන්සල් මිලදී අරගෙන. 
නැවත ගෙදර ඇවිත් මා එක්කම ගිහිල්ලා ඒ අයට තෑගි දුන්නේ මට ඒ පාඩම උගන්වන්න කියලා අද මට මතක් වෙනවා. ඒ තමයි මම පරාර්ථකාමය , සහවේදනය පිළිබඳව ඉගෙන ගත්ත මතක පාඩම. 

අපි හිටිය නිවාස අවට, අනන්තවත් බැල්කනිය හෝ පාරේ ගස් වලින් කොහා පැටව් පරෙයියෝ, ලේන් පැටව් එහෙම වැටිලා තුවාල වෙලා ඉන්නකොට එයාලා බේරා ගන්න පෙට්ටියක තුවායක් දමාගෙන වෙදකම් කරනවා, පාන්කඩයකින් කිරි පොවනවා මතකයි. 

පස්සේ කාලෙක ඕනම කලබලයක දී ව්‍යසනයකදී එලියට බැහැලා උදව් වෙන්න හදන , ගං වතුරේ පවා ගිහින් සහන උපකාර වෛද්‍ය ආධාර දුන්න මා එක්ක අම්මා කොයිතරම් එදිරී වුණත් ඒවා එයාලම අපි තුළ වගා කළ ගුණවත් කම් කියලා ඒ අයට අමතක යි. 
ගංවතුර ගැන කියා දීලා මගේ දරුවාගේ අමතර ඇඳුම් ෂිට් බ්ලැංකට්, සෙල්ලම් බඩු එහෙම අරගෙන ගියේ එයාගෙන්ම ඉල්ලාගෙන. 

වඩා ලොකු තැන ගන්න නෙමේ, සැනසීමෙන් ඉන්න හැකි මොහොත තෝරාගන්න දරුවන්ට සහවේදනය ඉගැන්වීම අවශ්‍යම වෙනවා. ඒක මේ පොත් කටපාඩම් කරලා ලැබෙන දෙයක් නෙමේ... ආදර්ශයෙන් මගපෙන්වීම ලැබෙන දෙයක්.

මේ මම කාලේකට කලින් අත් දුටු සිදුවීම්, දරුවෝ ආත්මාර්ථකාමී නෑ...ඒ අයව එහෙම කරන්නේ දෙමාපියන් !

සුපිරි වෙළඳ සැල් වල එළවළු කිරන්නත් වෙලාවකට බිල් ගහන තැන පෝළිමේ ඉන්න ඕනෙ. ඉතින් ගොඩක් අය කරන්නේ තමන්ට අවශ්‍ය එළවළු පළතුරු අරගෙන , පෝළිමේ ඉන්න එක. ඒත් සමහර අම්මලා කරන්නේ, දරුවන්ව කූඩේ එක්ක පෝළිමේ තියලා.. එයාලා එළවලු බෑග් අරන් ඇවිත් අර කාට් එකට දාන එක. ඒ දරුවොත් වෙන කාටවත් ළං වෙන්න දෙන්නෙ නෑ එතන මග අහුරගෙන ඒවා තරාදියට දානවා. ඒ සෙල්ලම් ඉවර වෙනකම් අපි විනාඩි 15 විතර බලන් ඉන්න ඕනෙ. හරිම ආත්මාර්ථකාමී වැඩක් ඒක.

ඊළඟට, ඔය චේන්ජින් රූම්ස්, ඉස්කෝලෙ යන වයසේ කෙල්ලො කාණ්ඩයක් දවසක්, මගෙන් බැනුමක් අහ ගත්තා, එක්කෙනෙක් ඇතුලට ගිහින්, එකක් අඳිනවා, දොර අරිනවා පෙන්වනවා, කට්ටිය එබීගෙන ඩිස්කස් කරනවා, ඒක හරි නෑ කියලා, ඔන්න දුවලා ගිහින් එක්කෙනෙක් තව එකක් ගෙනත් දෙනවා, කල්පනා කර කර සාකච්ජා කරනවා, දැන් ඇඳුම් අතේ තියන් කට්ටිය කීප දෙනෙක් පෝළිමේ. ඇයි මේ දරුවෝ මෙච්චර ආත්මාර්ථකාමී වුනේ ? මේවා කොහොම එන කතන්දර ද ?

 මට හිතෙන්නේ ගෙවල් වලින්ම අනුන් ගැන නොහිතන්න හදපු හැටි කියලයි. මම දරුවා වඩාගෙන, ලංකාවේ ගුවන් තොටුපලේ දි ඉඳගන්න පුටුවක් හොය හොයා යද්දී මම දැක්කා, පොඩි උන් තුන් දෙනෙක් දුව දුවා ඉන්න තැනක පුටු තුනක් හිස් වෙලා තියෙනවා. මම දරුවා වඩාගෙන එතැනට ගිහින් ඉඳගන්න යද්දී මාව තල්ලු කරගෙන ආපු තුන්දෙනා ඉඳගත්තා. මේ ලාංකික ළමයි තුන් දෙනෙක් ඒක මහා අවලස්සන වැඩක්. එයාලගෙ දෙමාපියන් දැක්කේ නෑ වගේ උන්නා. 

නමුත් මම සිංගප්පූරුවේදී, මගේ අවුරුදු දෙකක දරුවත් තියාගෙන අර පිටවීමේ පත්‍රිකා පුරවද්දී මම ඉඳන් හිටපු තැන තිබුන, මල් ගස් වටේ තිබ්බ ගල් කැට සියල්ල මගේ දරුවා එළියට අදිනවා දැක්කම මට දෙලෝ රත් වුනා. මම විගහින් ඇයවත් අල්ලාගෙන එක අතින් ඒවා නැවත දාද්දි.. මගේ සහයට දුවගෙන ඇවිත් උදව් කළේ විදේශික දරුවන් දෙදෙනෙක්. බටහිර රටක විය යුතුයි. ඔවුන් දෙදෙනාම මට වඩා ඉක්මනින් ඒ ගල් කැට ටික නැවත පෝච්චි වලට දැම්මා. මම ඔවුන්ට බොහෝ ස්තූති කළා ඔවුන්ගේ දෙමාපියන්ටත් ස්තූති කළා. 

දරුවන්ට සහවේදනය උගන්වන්න ඕනේ ඒක කරන්න පුළුවන් ඔයාලට. 
පුතේ ඔයාට රිදෙනවා වගේම මේ ලෝකේ හැම සතෙක්ටම රිදෙනවා. ඒ විතරක් ද ගහ කොළට පවා රිදෙනවා...
ගහක කොළයක් මලක් කඩන්නේ විනාශ කරන්නේ නැති දරුවෝ හදන වගකීම අපේ අතේ තියෙන්නේ. 

මේ අන්තිම කතාව මගේ දුවගේ... 

කූඩු කළ සතුන් බැලීම ආශ්වාදජනක නොවන බව මම ඇයට වටහා දුන් නිසා අපි සංචාරය කළ හෝ ජිවත් වූ කිසිම රටක සත්තු වත්තක් බලන්නට නොගියෙමු. universal studio Singapore හි සංචාරය කරද්දී මුහුදු ජීවීන් සිටින මුහුද යට තටාක නරඹා ඇත්තෙමු ඉතින් ඇයට මාළු මුහුදේ ජලයේ සිටින බවද ඔවුන් ටැංකි කළ යුතු නැති බවද වටහා දුන්නෙමි.

මෑතක ඇය මාළු ටැංකියක් ගැන විමසද්දී මාළු සිටිය යුත්තේ ටැංකියක නොවේ මුහුදේ සහ ජලාශවල බව ඇයට වටහා දුනිමි. 
"අපි සෙල්ලම් මාළු ටැංකියක් මාළු එක්ක හදමු..." ඇය එකඟ වුණු නිසා ඇය හා එකතුව යම් දෙයක් ගෙනැවිත් ඉවත දැමූ සව් කොළ ආශ්‍රයෙන් මාළු කිහිප දෙනෙක් සාදා ගත්තෙමු. 

"මර්මෙඩ් කෙනෙක්" ද එයට කොහොම හරි ඔබන්නට සිදුවිය.
" කෝ මෙයාගෙ ඇස්"
"ඇස් නෑ අම්මා. Think differently once in awhile. There can be mermaids without eyes"

දුවගේ අමුතු උත්තර එක්ක අපි එයාගේම සෙල්ලම් බඩු වක ඉවත දැමූ පෙට්ටිය යොදාගෙන මාළුත් එල්ලා සම්පූර්ණ කළෙමු.

විප්ලවය ආරම්භ විය යුත්තේ ගෙදරින්...මගේ විප්ලව සඳහා ඉතසිතින් එකඟ වෙන ශේ ට සහ තාත්තාට ස්තූතියි.

"ළමයින් සත්තු ගැන ඉගෙන ගන්නේ කොහොමද එතකොට ?" අසන තර්ක වෙනුවෙන් ස්වභාවික පරිසරයේ සතුන් සිටින වීඩියෝ ඇති බව මතක් කරමි.
ඩයිනසෝර් ගැන ඉගෙන ගන්නේ ඒ සතුන්ට දරුවන් ආශක්ත වෙන්නේ ඒ සතුන් හැබැහින් දැකලා නොවේ. 
ඒ බව මතක් කරමි

Saturday, February 11, 2023

අරුම පුදුම හිඟන්නෙක්

 මීට වසර කිහිපයකට කලින් කොළඹ ප්රධාන රෝහලකදී අරුම පුදුම හිඟන්නෙක් මුණ ගැසුණා.

කමිසයේ ඇරුණු බොත්තම් අතරින් පෙනෙන්නට සුදු ගෝස් කෑල්ලක් සහ ප්ලාස්ටර් අලවා තිබුනා. හේ අප අසළට පැමිණ "අද ටිකට් කැපුවා, මේ හමේ තුවාලෙට ගාන්න බෙහෙත් ක්රීම් එක ගන්න සල්ලි නෑ අනේ මහත්තයෝ පුළුවන්නම් උදව් කරන්න " යැයි තුන්ඩුවක් පෙන්වමින් කන් කෙඳිරිගෑවා. මා එහි සිටියේ හිතවත් රෝගී අයෙක් සමග කතා බස් කරමින් ඇඳක් අසළ.
"කෝ දෙන්න තුන්ඩුව"කියා මම බැලූ විට එහි තිබුණේ සස්ටජන් ටින් එකක් සහ මල්ටි විටමින් එකක නමක්.
ගැන කියා, එනමුත් ඔහුගේ දුක් කරදර සඳහා සහනයක් ලෙස මුදලක්ද දී මා ඔහුට ඔහු මේ කරන බොරුව ගැන පහදා දී, "මෙහෙම ඉස්පිරිතාල වලට එන්න බෑ කියලා දන්නවා නේද. සිකියුරිටි දැක්කොත් අල්ලලා පොලිසියට කියයි" කියා මා කියද්දීම හේ විග විගහින් වාට්ටුවෙන් පිටවුණා.
රජයේ රෝහල් යනු අන්ත අසරණ රෝගීන් සහ දරිද්රතාවයේ පහළම අඩියක ඉන්නා මිනිසුන් ගැවසෙන රෝහල් ය. එහෙම එකේ මෙවන් සංවිධානය වූ පිරිස් හෝ රෝගීන් ලෙස ඇතුල් වී මිනිසුන්ගෙන් මුදල් ගසාකන පිරිස් ඇතිවීම බොහෝ කණගාටුදායක තත්වයකි.
ඔබේ දැන ගැනීම පිණිස ලියා තබමි.

Friday, February 10, 2023

කෑම කවන මන්තර

“නිතර ෆිට් එක, කන්නේ නෑනෙ
ෆෝන් දීලයි කවා ගන්නේ
දුන්නෙ නැත්නම් මට තලන්නේ
කිසි හොඳක් නම් නෑනේ නෝනේ"

“මාළු මස්, දෙන්නයි කියන්නේ
බිත්තරත් හරි ගණන් නෝනේ
පළා නම් වත්තෙන් කඩන්නේ‍
ඒත් මුන් නෑ කට තියන්නේ”

“අහස උස මිල ගනන් ඇත්තට
ඩොක්ටර් නෝනට දැනෙනවද තව
පෝසනේ කිය කියා ලිව්වට
අපියි දන්නේ අපේ ගින්දර”

මව්වරුන් මැසිවිලි කියන්නේ
ජීවිතේ බර මට දැනෙන්නේ
හිතේ ගින්දර නෑ පෙනෙන්නේ
අපිත් ඒ ගින්නෙන් දැවෙන්නෙ

“පැංචො පැංචියො මේ අහන්නේ
වැඩෙන්නට ගුණ කෑම ඕනේ
බල කෙරිලි මේ මගේ නෑනේ
කන්න බැරිනම් බේත් දෙන්නෙ"

"ඇඳ අස කබඩ් මත පැණි බීම
හවසට චූන් පාන් පිටි කෑම
රෑට කොත්තුව ඕනෙමයි කීම
මේවා මා එක්ක බෑ ඔන්න"

"ෆෝන් පෙන්නා බත් දෙන්න
අපිට වේලා නෑ ඔන්න
කන්නෙ නැති අය එන්න
බෙහෙත් ඇත බත් ගිල්ලන්න”

පුංචි ළමෝ ඇස් විසල් කරන්නේ
“කනවා අපි බත්” ඉතින් කියන්නේ
මව් හිත් සැනසුම් සුසුම් හෙලන්නෙ
කෑම පිඟන් සැනකින් හිස් වෙන්නේ

කහ සුදු නූලෙන් අත සැරසෙන්නෙ
සුර තඩි ගෙල ඉන වට දවටන්නේ
රෝ දුක් කියමින් දෙවි නමදින්නේ
කාසි පඬුරු වී දෙවොල සිඹින්නේ

කන්න බොන්න අග හිඟයි කියන්නේ
දකින දකින දරු බිස්කට් කන්නේ
මාළු බනිස් කැන්ටිමෙන් ගෙනෙන්නෙ
ඉතින් කොහෙද බත් එළවලු කන්නේ

©බෝධිනි සමරතුංග‍

ලන්ඩන් කවි - ජනවාරි කලාප යේ පළවුණු කවියකි.

පින්තූරය - වාට්ටුව එක මොහොතක මව හෝ භාරකරුවෙක් නැතිව ඇඩ්මිට් වුණු පැංචන් දෙන්නෙක්ට කෑම කවන හෙදිය... සහ සාත්තු සේවිකාව. මේ කතාව මම කලින් ලියා ඇත.

#londonkavi #bodhini #bodhinisamaratunga



මුහමාලේ සුළඟ




කතෘ - ශර්මිලා විනෝදිනී , Sharmila Vinothini Thirunavukarasu
සිංහල පරිවර්තනය - ජී. ජී. සරත් ආනන්ද
සරසවි ප්‍රකාශන
එකිනෙකට වෙනස් සංස්කෘතින් දෙකක, හැදෑරීමක් නැති වුන එකිනෙකාට තේරෙන්නෙ නැති භාෂා දෙකක මිනිසුන් සිටින දශක ගණනාවක් පැවති ජනවාර්ගික අරගලයක්, ආයුධ සන්නද්ධ යුද්ධයක් දක්වා විකාශනය වෙච්චි රටක අපි උතුර කියවිය යුතුමය කියා මට සිතේ.
දශක ගණනාවක් සිංහල ජන සමාජයට මඟ හැරුණු උතුර පිළිබඳ ලියූ පොත් දැන් දැන් මුණ ගැසේ. සිංහල පොත් දමිළ බසට හරවන්න අපි උනන්දු වෙනව වගේම, දමිළ බසින් ලියූ පොත්, කියවන්නත් අපි උනන්දු විය යුතුය. මේ එවන් පොතක් කියවීමෙන් අනතුරුව මා ලියූ අදහස් ය.
අහස ද පොළොව ද ඕනෑම මොහොතක පුපුරන තලාවක...ජීවිතය උදුරවා ගෙන යන මොහොතවල් අපමණ වෙලාවක... ජීවත් වුණොත් වුණාවේ කියා පොළොවෙහි මුණින් තලා වී කන් වසා සිටි දරුවන් මිනිසුන් මට හමුවුනේ උතුරු කොනේ දී ය. ඒ මා වෛද්යවරියක ලෙස යුද්ධයෙන් පසු අවදියේ උතුරු කොන රෝහල් දෙකක සේවය කළ නිසා ය.
එකල හිතින් මිය ගිය නමුදු ගතින් පමණක් ජීවත් වූ අනන්ත අප්රමාණ මිනිසුන් ගේ හද ගැහෙන සර අසමින්, කේඬෑරි මැණික් කටු අත ගෙන නාඩි බලමින්, ඔවුන්ගේ බොහෝ සංවේදනා අපේ කර ගනිමින් ඒ කතන්දර අසමින් කඳුළු සලමින් සිටි තරුණ අවදිය මට මතක් වේ. එකම දේශයක ඉතා කුඩා දිවයිනක, උතුරේ දමිළ ජනයා විඳි පීඩා පිළිබඳ කරුණු කාරනා දකුණ තේරුම් ගත්තේ හරියටම මෑතක ය.
“සීයේ සීයේ බංකරේට පනින්න සීයේ.... ෂෙල් වෙඩි ළඟටම වැටෙනවා සීයේ ... පුපුරල වැටෙනවා”
පුපුරා වැටෙන හෙන ගෙඩි මැද්දේ පිපිරි නොගිය ජීවිත හයියෙන් අල්ලා ගත් විඳ දරා ගත් මේ පොතේ චරිත අතර හමුවන මිනිසුන් මට සැබෑවට හමුවූයේ උතුරු කොන රෝහල් සහ සායන වලදී ය. ශරීරයේ පෙනෙන්නට තියෙන සුව වූ තුවාල කැළැල් වලට යටින් සිතේ සුව නොවූ තුවාල අප්රමාණ තිබුණි. ශර්මිලා මේ පොතේ කතා දහයක දවටා ඇත්තේ එහෙව් සිත් බිඳි වන්නියේ ඛේදාන්තයන් මෙන්ම තම ජන සමාජයේ තොරතුරු ය.
සැනසුමක් සිහියක් ඇතිව තමන් උපන් ගොඩ නගා ගත් ගෙවල් දොරවල් ද අතැර පණ බේරා ගන්නට හිස් ලූ ලූ අත දිව ගිය, දිය අගල්, ගස් කඳන් වලට මුවා වී ජීවිතය පමණක් අපේක්ෂාවෙන්, දෙවියන්ගෙන් යැදි බොහෝ නිමේෂයන් මේ ජීවිත වල අඩුවක් නැත. තමන්ගේ මව පියා දරුවා කොහේ ඉන්නවාදැයි නිච්චියක් නොමැති දවස් මේ හිත් බොහෝ සෙයින් රෝගාතුර කර තිබිණි.
“අම්මා බලන්න ඕනෑ” යැයි කියන වෙණ්ණිලා ගේ කතාව කියවන මට මතක් වුණේ මට හමුවූ වෙණ්ණිලා වන් දරුවන් ය. පණ බේරා ගන්න දුවන, මරණය හමුවේ වුවද තමන්ගේ මව හමුවේයැයි බලාපොරොත්තුවෙන් සිටි වෙණ්ණිලාය. ඇතැම් විට මග වැරදුනු හෝ මඟහැරුණු එවන් දරුන්වන් ගේ ඉකිබිඳීම් සහ රිදුම් අදටත් ඔවුන්ගේ සිත් තුළ එසේමය
ආහාර, ඖෂධ , ඉන්දන මේ හැම අඩු පාඩු එක්ක දශක ගණනාවක් පීඩා විඳි උතුරු ජනයාගේ ජීවන අරගලය අද රටේ හැම තැනකටම දැනෙද්දී “දැන් මෙහෙම නම් උතුරු මිනිසුන්ට එදා කොච්චර අපහසු වෙන්න ඇත්දැයි අදහස් නැගේ. දෙපිල බෙදී සිටි දේශයක අගනුවර හැදී වැඩුණු මම ද මේ අපහසුකම්, මේ ඛේදාන්ත ගැන දැනුවත් වුණේ ජීවිතයේ තරුණ කාලය උතුරේ ගත කළ නිසා සහ අනුන්ගේ වේදනාව සහ ජීවන අරගලය වටහා ගන්නට හැකි තරම් මගේ හිතේ සහවේදනය පිළිබඳ වැටහීමක් තිබූ නිසා ය.
සමාජ තත්ත්වය තරාතිරම, මිල මුදල් ඇති කම යන මේ දේවල් ගැන වඩා වදවෙන සමාජයක ඒ කිසිත් නැති මිනිසුන්ට අත්වන ඉරණම මා හොඳින් දැක තිබේ. මේ කතා අපව හුදෙක් උතුරේ යුද්ධයට පමණක් කොටු කරන්නේ නැතිව සමස්ත සමාජයේ සංස්කෘතික , සදාචාරාත්මක පරිහානිය ද ගෙන හැර පායි. ගෘහස්ථ හිංසනය නිසා තම පවුල අහිමි වූ සිවඥානත්තාර්ගේ කතාව සහ තම ශ්රමය හූරා කන ධනපතියන්ට නො නැවුණු මහළු ගොවියාගේ කොන්ද පිළිබඳ කතා මේ සමාජ පරිහානිය පිළිබඳ කතිකා ගොඩ නගයි ඒවා සිංහල ජන සමාජයේ ද අඩුවක් නැත.
දශක ගණනක් සතුරන් සේ දෙපිළ බෙදී දේශපාලනික යුද්ධයක මරා ගත්තත්, ඒ මත දරා තම සහෝදර ජාතියට තවමත් වෛර ගිණි බිඳින පරම්පරාවක් දකිමින් ඉන්නා අතර මේ සිදුවීම් රටේ කොහේ වුනත් කුමන ජන සමාජයක වුණත් අඩුවක් නැතිව සිදුවෙන සමාජ අසාධාරණකම් බව සිහි වේ. ඉතින් අපි කොයි තරම් සමාන ද? මට සිතේ.
.“අධික වේගය මරුවා කැඳවයි” A9 මාර්ගයේ ඉගිල්ලෙන වාහන නිසා අහිමි වූ ජීවිත මට මතක් වේ. මේ කතා කියවද්දී නිරන්තරයෙන් මගේ සිත තුළ උතුරේ මතක එකින් එක නැවත ආවර්ජනය වෙයි. අවාසනාවන්ත ලෙස සමාජයෙන් අපහාස ලබනා වැන්ඳඹුවන් ගේ ජීවිත මේ පොතේ කතා අතර මුණ ගැසේ, මට මුණ ගැසුනු එවන් අපමණ ස්ත්රීන් සිහිවේ. මේ ලියන්නේ උතුරේද දකුණේද ස්ත්රීන් පිරිසක් විඳිනා ශෝකාලාපයන් බව සිහි නැගේ මේ ලියන්නේ මේ රටේම අම්මලාගේ බිරින්දෑවරුන්ගේ ශෝකාලාපය බව සිහිවේ.
පොතේ අවසානයට එද්දී, 2009 දී සියල්ල අවසන් කළ බව කියා උතුරට වසන්තය කැන්දන බවට ද ප්රතිඥා දුන් හැටි යළි මතක් වේ. එහෙත් සියල්ල අහිමි ව මළ මිනිසුන් සේ උපන්බිමේදී අවතැන් ලේබලය වැදුණු මිනිසුන්ගේ ජීවිතවලට වසන්තය උදා වේයැයි අපේක්ෂා කරමින් එහි වැඩ කළ මගේ තරුණ කාලය මට මතක් වේ. එසේ නොවුණ බව මුළු රටක් වටහා ගත්තේ රටේම මිනිසුන්ට මේ බැරි අපහසුකම් අඩම්තෙට්ටම් විඳින්නට වුනායින් පසුව බව කල්පනා වේ. පූන්තෝඩම් හි, මැණික්ෆාම් හි සහ අත් අඩංගුවේ සිටි විමුක්තිකාමීන් මා හමුවේ පැවසූ අතීත කතා මා විටින් විට ලියූ නමුදු ඒ සියල්ල නැවත නැවතත් සිතේ ආවර්ජනය වෙන්නේ ශර්මිලා ලියූ මේ කෙටි කතා කියවද්දී ය.
“මොනවා හරි තොරතුරක් ලැබේවි නේ දුවේ” මෙහි වැලපෙන අම්මා වැනි බොහෝ මව්වරුන්ගේ ඉකිබිඳුම් වැලපුම් යාදිනි නෑසූ කන්ව සිටි දේශයක, බෙහෙත් පෙති අහුරකින් නැතිවූ නින්ද ලබා ගැනීම පිණිස මානසික රෝග සායනයේ පෝළිම් ගැසී ඉන්නා ඒ මහත් හිස් වූ දෙනෙත් මට අද ද සිහිවේ. මේ රටේ එවන් මිනිසුන්ට සහනයක් ලැබුණු මොහොතක් තවම දැක නැත.
මේ පොත සිංහල බසින් පළ වීම අවශ්ය ම සමාජ කාරණාවක් , ශර්මිලා ! මා එසේ කියන්නේ දශක ගණනාවක් එකිනෙකා බෙදී සහ බෙදා අන්ත දෙකක ගමන් කළ ජාතීන් දෙකක භාෂා වෙනස මේ අර්බුද වැඩි කරන්නට හේතු වූ නිසා ය. සන්නිවේදනය බොහෝ ආරවුල් විසඳන නිසාම, ඔබ අප මෙතෙක් නො කියවූ උතුර කියවන්නට මේ පරිවර්තනයෙන් ඉඩ හසර ලැබෙනවා පමණක් නොව අප උතුර කියවිය යුත්තේ ඇයි ? කියන ප්රශ්නයට පිළිතුරු මේ පොතේ අඩු නැතිව හමුවේ.
“කුරිරු යුද්ධයට මැදිවී ගෙන්දගම් දුමාරය අතරේ සැඟවී ගිය ආදරණීය නැගණියට සෙනෙහසින්” කියා ශර්මිලා මේ පොත පටන් ගනිද්දීම ලියා තිබෙන පිදුම මගේ හිත සසල කළේ යුද්ධයෙන් අහිමි වීම් අඩු නැතිව තිබූ දේශයක, අහිමි වීම් බිඳ වැටීම්, විනාශ වීම් මිස සතුටු අන්දර හිතේ මතක් වුනේ හෝ ලියැවුනේ නැති නිසා ම ය. ඔවුන්ගේ ඇසින් ඔවුන්ගේ හදෙන් නැගෙන ඒ පසුගිය දශක ගණනාවක මතක අප කියවිය යුතුම ය. ඒ අපේ සහෝදර ජනයා වටහා ගැනීම පිණිසය, ඉතිහාසය පුරා දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් විකෘති කරනා ලද සත්ය ය වටහා ගැනීම පිණිස ය.
ඒ සඳහා වෙහෙසුණු කතෘ ශර්මිලාට ද , මේ කෘතිය පිළිබඳ ආරංචිය දුන් විදුනි බස්නායක ට ද පරිවර්තනය කළ ජී.ජී. සරත් ආනන්ද ට ද සරසවි ප්රකාශන ආයතනයට ද මගේ ගෞරවය ස්තූතිය ලියමි.
බෝධිනී සමරතුංග
පහත පින්තූරය නිර්මාණය කළේ Nuwan Tharanga Wickramage



Wednesday, February 8, 2023

ඉන්දියාව ද කියවන සායනික සටහන් නොවේ ! India reads Sayanika Satahan nove ...

ශ්‍රී ලාංකික ලේඛක රිශාන් ෂරීෆ් විසින් පරිවර්තනය කරන ලද සායනික සටහන් නොවේ හි දමිළ පරිවර්තනය ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයේ Chennai International Book Fair 2023 හි Vamsi Publications හි දී ජනවාරි 16 වැනිදා පල විය.

Tamil translation of My third book Sayanika Satahan Nove is now available at the Chennai International Book Fair 2023. Translated by M. Rishan Shareef

The book consist of 60 stories which addresses true work and life situations where medical facts are incorporated in story form. The stories not only bear medical problems but societal problems and highly sensitive issues that need to be addressed and discussed. 

සෞඛ්‍ය කතන්දර පොත් ලියන්නේ ඇයි ? 

පශ්චාත් යුද සමයෙහි උතුරු ප්‍රදේශයේ ප්‍රධාන රෝහල් දෙකක ( වවුනියා සහ කිලිනොච්චි) සේවය කරමින් අතිශය තීරණාත්මක කාලයක උතුරු ලද සමාජ අත්දැකීම් ඔස්සේ අනිත් කොන නමින් බ්ලොග් සටහන් ලියන ලදී. කතන්දර ඇසීමට මිනිසුන් කැමතිය ඒ නිසා නීරස වෛද්‍ය කරුණු සැබෑ ජීවන අත්දැකීම් හා මුසු කොට කතන්දර ආකාරයෙන් ලිවීමට පෙළඹුනි. ඉන් කියවන්නා තුල කියවීමට ආසාවක් ඇතිවේ. එසේ ලියූ බ්ලොග් කතන්දර ඔස්සේ ඉන්පසු අනිත් කොන නම් පළමු පොතද මනුපුර සක්මන නම් කවි පොතද 2014 වර්ශයේ ප්‍රකාශනය/ මුද්‍රනය කෙරිනි. 
 රෝගියා හෝ සමාජය රෝගය ගැන දැනුවත්නම් එයින් රෝගයට ප්‍රතිකාර කරන්නට පමණක් නොව, රෝගයක් වලක්වාගැනීමට ද මහඟු උපකාරයක් වෙයි. නමුත් අප රටේ සමාජය තුළ තිබෙන දුර්මත, මිත්‍යාවිශ්වාස සහ දැනුම ලබා ගැනීමේ අපහසුතා නිසා රෝග නිවාරණය සහ වලක්වා ගැනීම පිළිබඳ ඇත්තේ බොහොම අයහපත් ආකල්පයකි. මේ දැනුම් රික්තකය පිරවීම සඳහා සුලභ රෝග , සමාජ අර්බුද ගැටළු සහ සෞඛ්‍යමත් ජීවන රටාව පිළිබඳව කතන්දර කියන්නට මා පෙළඹුනි. 

එසේ සතිපතා ලේක් හවුස් රැස පුවත්පතෙහි සෞඛය පිටුව වෙනුවෙන් වසර දෙකක් ලියූ සායනික සටහන් නොවේ සෞඛ්‍ය කතන්දර රැගත් ලිපි 60ක් සායනික සටහන් නොවේ නමින් ද ග්‍රන්ථ.lk වෙතින් ප්‍රකාශනය කරන ලදි. 

රිශාන් ෂරීෆ් නම්රාජ්‍ය සම්මානලාභී ශ්‍රී ලාංකික ලේඛක/ පරිවර්තක මහතා එම පොත කියවා එය දමිල බසට පරිවර්තනය කරන්නට කතිකා කරගන්නා ලදි.
දමිළ බසට පරිවර්ථනය කරන ලද සායනික සටහන් නොවේ පොත, மருத்துவக் குறிப்புகள் அல்லாதவை
මරුත්තුවක් කුරිප්පුගල් අල්ලාදවෛ
Maruththuvak kurippugal allaadhavai නමින් ඉන්දියාවේ වම්සි මුද්‍රන සහ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශනයට පත් කරන ලද අතර එය පසුගිය 16 වැනිදා චෙන්නායි නගරයේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යාන්තර පොත් සල්පිලෙහි වම්සි ප්‍රකාශන ආයතනයේ කුටියේ දී අලෙවි කිරීම ආරම්භ කලා.

ලංකා ජන සමාජයේ ඇතිවූ ප්‍රශ්න බොහෝමයකට හේතුවන්නේ අනෙකා තේරුම් නොගැනීම සහ සන්නිවේදනයේ දුර්වලතා ය. මේ රටේ ජනවර්ග අතර සන්නිවේදනයට අනෙකාගේ බස දැන සිටීම මහත් ආශිර්වාදයක් බව මා වටහා ගත්තේ යුද්ධය අවසන් වී ඊළඟ වසරෙහිම උතුරු කොන ප්‍රධාන රෝහලක සේවය කිරීමට ගිය පසු ය. මේ පොතේ ඇති බොහෝ කතන්දර අප සමාජයේ ජීවන අරගලයෙහි හැඩතල පෙන්වා දෙයි. උතුර ද කියවිය යුතු රෝග වලකාගැනීමේ සිට යුද්ධය විසින් ඉතිරි කළ සමාජ ඉරිතැලීම් ද මෙහි කතා තුලින් ඔබට හමුවේ. තම මව් බිමේ දීම අවතැන් වූ ජනතාවගේ ඉකිබිඳුම් අහිමි වීම් හිත් බිඳීම්, හිත හදාගැනීම් මේ කතන්දර තුලින් හමුවේ. ඉතින් මේ පොතේ ආමන්ත්‍රනය අප රටේ සමස්ත ජනතාවටම නිසා සහෝදර දමිල ජනයා විසින් මේ පොත ඔවුන්ගේ බසින් කියවීම අවශ්‍යමය කියා මට සිතේ. 

ඔවුන් මේ කියවන්නේ දශක තුනක යුද්ධයක් පැවති රටක, උතුරු කරයම පුපුරා ගිය කාලයක උතුරු කොන රෝහලක සේවය කළ සිංහල වෛද්‍යවරියකගේ අත්දැකීම් ය. එකම රටක ජාතියෙන් වෙනස් වූ නිසාම ඇතැම් අවස්ථාවලදී අප වෙනස් සැලකුම් ලැබූ හැටි ය. ඉතින් ඉන්දියාවේ දමිල බසින් පරිවර්තනය වීම නිසා මේ පොත කියවීමට ලංකාවේ දමිල කියවන කතාකරන සහෝදර ජනතාවට ද අවකාශ සැලසේ. එමෙන්ම මේ රෝගාබාද පිළිබඳ සමාජය දැනුවත් කිරීම, වෛද්‍ය සන්නිවේදන සහ දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය සමාජ කාර්යයභාරයකි. එනිසා මේ දැනුම සමාන සමාජ තලයන් ඇති ආසියාතිකරයේ රටවල් කියවීමද එම සෞඛ්‍ය දැනුම බෙදා ගැනීමේ සමාජ කාර්යය ඉටු කිරිමෙහිලා වැදගත් පියවරකි.

වෛද්‍ය බෝධීනි සමරතුංග
📷 Pic credit Author/journalist Sujith Prasanga

Tuesday, September 20, 2022

The social function of music...

Penning my 2 cent after listening to this Powerful and extraordinary masterpiece!

Thank you Charitha Rakshitha Attalage / Kasun Edirisinghe
මේ රටේ අප්රමාණ ප්රශ්න තියෙද්දී ඒවා නොදැක්කා සේ මන දොල සපුරන තමන්ගේ පරිස්සම විතරක් බලා ගත් පිරිස් දැක බොහෝ කම්පිතව සිටින කාලෙක මේ ගීතය දකින්නේ.
එනිසාම මේ ගීතය වගේම මේ රූපමය පෙළ ගැස්ම ගැන වචනයක් ලියන්න ඕනේ කියා සිතුණා.
තවමත් නොවිසඳුණු අලි මිනිස් ගැටුම මෙහි මූල ප්රාප්ත යටි පෙළ ප්රස්තුතය වුවද බලන හැම තැනකම පෙනෙන්නාවු රාජ්ය යාන්ත්රණ යේ අවුල මේ සියල්ලට මූල බීජය වන්නේ ය.
හරියට තමන්ගේ රාජකාරිය නොකෙරන්නාවු බලය ඇති රාජ්ය පාලන සේවයක අවුල සහ ඒ ඔස්සේ ඇතිවන අප්රමාණ ප්රශ්න නිසා රටේ ජන ජීවන ව්යුහය දෙදරදේදී ඒ පීඩනයට හසු වන්නා වූ ආර්ථික සාමාජීය සහ මානසික වශයෙන් හෙම්බත් වූ ව්යාදියට පත් වූ ජනයාගේ ශෝකාලාපයෙන් ඔබට මට මිදෙන්නට නොහැකිය.
පරාක්රම කොඩිතුවක්කු ආලෝක සහ මිනිසා පොතේ කවි නොවේ නයි මිසක යනුවෙන් ලියන්නේ ද , ශ්රීමත් ෆිලිප් සිඩ්නි An apology for poetry නම් ලේඛනයේ සඳහන් කරන්නේ ද කලාකරුවාගේ සමාජ කාර්යභාරයයි. මා මෙයට කලින් ද චරිත අත්තල විසින් නිර්මාණය කළ, මව් නොමැති කළ පියකුට බිලිවූ දියණියකගේ නිර්මාණය ගැන ඔහුට පුද්ගලිකව ස්තුති කළේ මාගේ වෘත්තීය ජීවිතයේ එසේ හමුවූ දියණිවරුන් ගැන අනිතකොන පොතේ සටහනක් යොමු කරමිනි.
ගීතය පුරා සංගීතය... දුම්රියක් ගමන් ගන්නා හඬ සිහි කරවන නාද රටාවකින් ළගන්නා සුළුව හදවතේ ලබ් ඩබ් ස්වරය හා සමපාත වෙමින් ඇසේ.
ඔහුගේ සහ කසුන් එදිරිසිංහගේ නවතම නිර්මාණ ය අප හද ගැහෙන රිද්මය හා ඒකායන වන්නේ... මා ඒ කියූ කලාවේ හෝ නිර්මාණකරණයේ කාර්යභාරය
කලාවේ හෝ කලාකරුවාගේ සමාජ කාර්යභාරය මැනැවින් සපුරාලමින් !
මේ දොඩන හරූපය කුමක් දැයි සිතනවා නම් මේ ක්ලිප් එක බලන්න.
Kudos to the journalist and the artists who weaved this powerful and extraordinary masterpiece !
ලින්ක් එක ⬇️⬇️⬇️⬇️