Friday, February 10, 2023

මුහමාලේ සුළඟ




කතෘ - ශර්මිලා විනෝදිනී , Sharmila Vinothini Thirunavukarasu
සිංහල පරිවර්තනය - ජී. ජී. සරත් ආනන්ද
සරසවි ප්‍රකාශන
එකිනෙකට වෙනස් සංස්කෘතින් දෙකක, හැදෑරීමක් නැති වුන එකිනෙකාට තේරෙන්නෙ නැති භාෂා දෙකක මිනිසුන් සිටින දශක ගණනාවක් පැවති ජනවාර්ගික අරගලයක්, ආයුධ සන්නද්ධ යුද්ධයක් දක්වා විකාශනය වෙච්චි රටක අපි උතුර කියවිය යුතුමය කියා මට සිතේ.
දශක ගණනාවක් සිංහල ජන සමාජයට මඟ හැරුණු උතුර පිළිබඳ ලියූ පොත් දැන් දැන් මුණ ගැසේ. සිංහල පොත් දමිළ බසට හරවන්න අපි උනන්දු වෙනව වගේම, දමිළ බසින් ලියූ පොත්, කියවන්නත් අපි උනන්දු විය යුතුය. මේ එවන් පොතක් කියවීමෙන් අනතුරුව මා ලියූ අදහස් ය.
අහස ද පොළොව ද ඕනෑම මොහොතක පුපුරන තලාවක...ජීවිතය උදුරවා ගෙන යන මොහොතවල් අපමණ වෙලාවක... ජීවත් වුණොත් වුණාවේ කියා පොළොවෙහි මුණින් තලා වී කන් වසා සිටි දරුවන් මිනිසුන් මට හමුවුනේ උතුරු කොනේ දී ය. ඒ මා වෛද්යවරියක ලෙස යුද්ධයෙන් පසු අවදියේ උතුරු කොන රෝහල් දෙකක සේවය කළ නිසා ය.
එකල හිතින් මිය ගිය නමුදු ගතින් පමණක් ජීවත් වූ අනන්ත අප්රමාණ මිනිසුන් ගේ හද ගැහෙන සර අසමින්, කේඬෑරි මැණික් කටු අත ගෙන නාඩි බලමින්, ඔවුන්ගේ බොහෝ සංවේදනා අපේ කර ගනිමින් ඒ කතන්දර අසමින් කඳුළු සලමින් සිටි තරුණ අවදිය මට මතක් වේ. එකම දේශයක ඉතා කුඩා දිවයිනක, උතුරේ දමිළ ජනයා විඳි පීඩා පිළිබඳ කරුණු කාරනා දකුණ තේරුම් ගත්තේ හරියටම මෑතක ය.
“සීයේ සීයේ බංකරේට පනින්න සීයේ.... ෂෙල් වෙඩි ළඟටම වැටෙනවා සීයේ ... පුපුරල වැටෙනවා”
පුපුරා වැටෙන හෙන ගෙඩි මැද්දේ පිපිරි නොගිය ජීවිත හයියෙන් අල්ලා ගත් විඳ දරා ගත් මේ පොතේ චරිත අතර හමුවන මිනිසුන් මට සැබෑවට හමුවූයේ උතුරු කොන රෝහල් සහ සායන වලදී ය. ශරීරයේ පෙනෙන්නට තියෙන සුව වූ තුවාල කැළැල් වලට යටින් සිතේ සුව නොවූ තුවාල අප්රමාණ තිබුණි. ශර්මිලා මේ පොතේ කතා දහයක දවටා ඇත්තේ එහෙව් සිත් බිඳි වන්නියේ ඛේදාන්තයන් මෙන්ම තම ජන සමාජයේ තොරතුරු ය.
සැනසුමක් සිහියක් ඇතිව තමන් උපන් ගොඩ නගා ගත් ගෙවල් දොරවල් ද අතැර පණ බේරා ගන්නට හිස් ලූ ලූ අත දිව ගිය, දිය අගල්, ගස් කඳන් වලට මුවා වී ජීවිතය පමණක් අපේක්ෂාවෙන්, දෙවියන්ගෙන් යැදි බොහෝ නිමේෂයන් මේ ජීවිත වල අඩුවක් නැත. තමන්ගේ මව පියා දරුවා කොහේ ඉන්නවාදැයි නිච්චියක් නොමැති දවස් මේ හිත් බොහෝ සෙයින් රෝගාතුර කර තිබිණි.
“අම්මා බලන්න ඕනෑ” යැයි කියන වෙණ්ණිලා ගේ කතාව කියවන මට මතක් වුණේ මට හමුවූ වෙණ්ණිලා වන් දරුවන් ය. පණ බේරා ගන්න දුවන, මරණය හමුවේ වුවද තමන්ගේ මව හමුවේයැයි බලාපොරොත්තුවෙන් සිටි වෙණ්ණිලාය. ඇතැම් විට මග වැරදුනු හෝ මඟහැරුණු එවන් දරුන්වන් ගේ ඉකිබිඳීම් සහ රිදුම් අදටත් ඔවුන්ගේ සිත් තුළ එසේමය
ආහාර, ඖෂධ , ඉන්දන මේ හැම අඩු පාඩු එක්ක දශක ගණනාවක් පීඩා විඳි උතුරු ජනයාගේ ජීවන අරගලය අද රටේ හැම තැනකටම දැනෙද්දී “දැන් මෙහෙම නම් උතුරු මිනිසුන්ට එදා කොච්චර අපහසු වෙන්න ඇත්දැයි අදහස් නැගේ. දෙපිල බෙදී සිටි දේශයක අගනුවර හැදී වැඩුණු මම ද මේ අපහසුකම්, මේ ඛේදාන්ත ගැන දැනුවත් වුණේ ජීවිතයේ තරුණ කාලය උතුරේ ගත කළ නිසා සහ අනුන්ගේ වේදනාව සහ ජීවන අරගලය වටහා ගන්නට හැකි තරම් මගේ හිතේ සහවේදනය පිළිබඳ වැටහීමක් තිබූ නිසා ය.
සමාජ තත්ත්වය තරාතිරම, මිල මුදල් ඇති කම යන මේ දේවල් ගැන වඩා වදවෙන සමාජයක ඒ කිසිත් නැති මිනිසුන්ට අත්වන ඉරණම මා හොඳින් දැක තිබේ. මේ කතා අපව හුදෙක් උතුරේ යුද්ධයට පමණක් කොටු කරන්නේ නැතිව සමස්ත සමාජයේ සංස්කෘතික , සදාචාරාත්මක පරිහානිය ද ගෙන හැර පායි. ගෘහස්ථ හිංසනය නිසා තම පවුල අහිමි වූ සිවඥානත්තාර්ගේ කතාව සහ තම ශ්රමය හූරා කන ධනපතියන්ට නො නැවුණු මහළු ගොවියාගේ කොන්ද පිළිබඳ කතා මේ සමාජ පරිහානිය පිළිබඳ කතිකා ගොඩ නගයි ඒවා සිංහල ජන සමාජයේ ද අඩුවක් නැත.
දශක ගණනක් සතුරන් සේ දෙපිළ බෙදී දේශපාලනික යුද්ධයක මරා ගත්තත්, ඒ මත දරා තම සහෝදර ජාතියට තවමත් වෛර ගිණි බිඳින පරම්පරාවක් දකිමින් ඉන්නා අතර මේ සිදුවීම් රටේ කොහේ වුනත් කුමන ජන සමාජයක වුණත් අඩුවක් නැතිව සිදුවෙන සමාජ අසාධාරණකම් බව සිහි වේ. ඉතින් අපි කොයි තරම් සමාන ද? මට සිතේ.
.“අධික වේගය මරුවා කැඳවයි” A9 මාර්ගයේ ඉගිල්ලෙන වාහන නිසා අහිමි වූ ජීවිත මට මතක් වේ. මේ කතා කියවද්දී නිරන්තරයෙන් මගේ සිත තුළ උතුරේ මතක එකින් එක නැවත ආවර්ජනය වෙයි. අවාසනාවන්ත ලෙස සමාජයෙන් අපහාස ලබනා වැන්ඳඹුවන් ගේ ජීවිත මේ පොතේ කතා අතර මුණ ගැසේ, මට මුණ ගැසුනු එවන් අපමණ ස්ත්රීන් සිහිවේ. මේ ලියන්නේ උතුරේද දකුණේද ස්ත්රීන් පිරිසක් විඳිනා ශෝකාලාපයන් බව සිහි නැගේ මේ ලියන්නේ මේ රටේම අම්මලාගේ බිරින්දෑවරුන්ගේ ශෝකාලාපය බව සිහිවේ.
පොතේ අවසානයට එද්දී, 2009 දී සියල්ල අවසන් කළ බව කියා උතුරට වසන්තය කැන්දන බවට ද ප්රතිඥා දුන් හැටි යළි මතක් වේ. එහෙත් සියල්ල අහිමි ව මළ මිනිසුන් සේ උපන්බිමේදී අවතැන් ලේබලය වැදුණු මිනිසුන්ගේ ජීවිතවලට වසන්තය උදා වේයැයි අපේක්ෂා කරමින් එහි වැඩ කළ මගේ තරුණ කාලය මට මතක් වේ. එසේ නොවුණ බව මුළු රටක් වටහා ගත්තේ රටේම මිනිසුන්ට මේ බැරි අපහසුකම් අඩම්තෙට්ටම් විඳින්නට වුනායින් පසුව බව කල්පනා වේ. පූන්තෝඩම් හි, මැණික්ෆාම් හි සහ අත් අඩංගුවේ සිටි විමුක්තිකාමීන් මා හමුවේ පැවසූ අතීත කතා මා විටින් විට ලියූ නමුදු ඒ සියල්ල නැවත නැවතත් සිතේ ආවර්ජනය වෙන්නේ ශර්මිලා ලියූ මේ කෙටි කතා කියවද්දී ය.
“මොනවා හරි තොරතුරක් ලැබේවි නේ දුවේ” මෙහි වැලපෙන අම්මා වැනි බොහෝ මව්වරුන්ගේ ඉකිබිඳුම් වැලපුම් යාදිනි නෑසූ කන්ව සිටි දේශයක, බෙහෙත් පෙති අහුරකින් නැතිවූ නින්ද ලබා ගැනීම පිණිස මානසික රෝග සායනයේ පෝළිම් ගැසී ඉන්නා ඒ මහත් හිස් වූ දෙනෙත් මට අද ද සිහිවේ. මේ රටේ එවන් මිනිසුන්ට සහනයක් ලැබුණු මොහොතක් තවම දැක නැත.
මේ පොත සිංහල බසින් පළ වීම අවශ්ය ම සමාජ කාරණාවක් , ශර්මිලා ! මා එසේ කියන්නේ දශක ගණනාවක් එකිනෙකා බෙදී සහ බෙදා අන්ත දෙකක ගමන් කළ ජාතීන් දෙකක භාෂා වෙනස මේ අර්බුද වැඩි කරන්නට හේතු වූ නිසා ය. සන්නිවේදනය බොහෝ ආරවුල් විසඳන නිසාම, ඔබ අප මෙතෙක් නො කියවූ උතුර කියවන්නට මේ පරිවර්තනයෙන් ඉඩ හසර ලැබෙනවා පමණක් නොව අප උතුර කියවිය යුත්තේ ඇයි ? කියන ප්රශ්නයට පිළිතුරු මේ පොතේ අඩු නැතිව හමුවේ.
“කුරිරු යුද්ධයට මැදිවී ගෙන්දගම් දුමාරය අතරේ සැඟවී ගිය ආදරණීය නැගණියට සෙනෙහසින්” කියා ශර්මිලා මේ පොත පටන් ගනිද්දීම ලියා තිබෙන පිදුම මගේ හිත සසල කළේ යුද්ධයෙන් අහිමි වීම් අඩු නැතිව තිබූ දේශයක, අහිමි වීම් බිඳ වැටීම්, විනාශ වීම් මිස සතුටු අන්දර හිතේ මතක් වුනේ හෝ ලියැවුනේ නැති නිසා ම ය. ඔවුන්ගේ ඇසින් ඔවුන්ගේ හදෙන් නැගෙන ඒ පසුගිය දශක ගණනාවක මතක අප කියවිය යුතුම ය. ඒ අපේ සහෝදර ජනයා වටහා ගැනීම පිණිසය, ඉතිහාසය පුරා දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් විකෘති කරනා ලද සත්ය ය වටහා ගැනීම පිණිස ය.
ඒ සඳහා වෙහෙසුණු කතෘ ශර්මිලාට ද , මේ කෘතිය පිළිබඳ ආරංචිය දුන් විදුනි බස්නායක ට ද පරිවර්තනය කළ ජී.ජී. සරත් ආනන්ද ට ද සරසවි ප්රකාශන ආයතනයට ද මගේ ගෞරවය ස්තූතිය ලියමි.
බෝධිනී සමරතුංග
පහත පින්තූරය නිර්මාණය කළේ Nuwan Tharanga Wickramage



1 comment:

  1. 💔 හෘදයාංගම සටහනක්... ඉඩ ඇති වෙලාවක අරන් කියවන්න බලන්නම්. ස්තූතියි මේ ගැන සඳහන් කලාට.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !