Sunday, February 12, 2023

මතක පාඩම් !

මුහුදෙන් ගොඩ ගැසූ තල්මස් පින්තූරේ එක්ක බොහොම වේදනාකාරී දසුනක් දකින්න ලැබෙනවා.

දරුවන්ට සහවේදනය, කරුණාව සහ මෛත්‍රිය උගන්වන්න ඕනේ වැඩිහිටියන් විසින්.
ඒත් ඒ වැඩිහිටි සමාජය ඒ වෙනුවට දරුවන්ට උගන්වන්නේ තමන්ගේ පැවැත්ම තමන්ගේ වර්ගයාගේ උසස්කම තමන්ගේ ගොඩ වැඩි කර ගන්නා ආකාරය ආදී දේවල්.

මට මතක් වෙනවා හරි අපූරු පාඩමක්. මගේ වයස අවුරුදු හයක් විතර ඇති. අම්මා වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් කීවා පුතේ අපි ගමනක් යමු කියලා. ටවුන්හෝල් ලිප්ටන් වටරවුමේ ඇවිදගෙන යනකොට පෙමන්ට් එක පැත්තක තෙත බරිත ළමා පොත් වේලෙන්න අතුරා තිබුණා. මහ වැසි ඇද හැලිලා කොළඹ පාරවල් පිරෙන්න වතුර පුරෝ දාලා තිබුණ කාලයක්. එතන ඒ ක්‍රිස්තියානි පල්ලිය ඉස්සරහ හිටිය සපත්තු මහලා ජීවිකාව ගෙන යන පවුලක්,මේ කියවන අයට මතක් වෙයි මම මේ කියන විස්තර. ඒ සපත්තු මහන කෙනාගේ දරුවෝ අර පේමන්ට් එක උඩ තමන්ගෙ තෙමුණු පොත් වේලනවා බොහෝ පොත් තෙතබරිත වෙලා තිබුණා. ඒක දැකලා තිබුණේ අම්මා ගෙදර එද්දී.....ඉතින් ගෙදර ඇවිත් මාවත් එක්කගෙන ආයෙත් අම්මා එතැනට ගියේ පොත් කඩේකට ගිහින් ඒ ළමයින්ට පොත් පෑන් පැන්සල් මිලදී අරගෙන. 
නැවත ගෙදර ඇවිත් මා එක්කම ගිහිල්ලා ඒ අයට තෑගි දුන්නේ මට ඒ පාඩම උගන්වන්න කියලා අද මට මතක් වෙනවා. ඒ තමයි මම පරාර්ථකාමය , සහවේදනය පිළිබඳව ඉගෙන ගත්ත මතක පාඩම. 

අපි හිටිය නිවාස අවට, අනන්තවත් බැල්කනිය හෝ පාරේ ගස් වලින් කොහා පැටව් පරෙයියෝ, ලේන් පැටව් එහෙම වැටිලා තුවාල වෙලා ඉන්නකොට එයාලා බේරා ගන්න පෙට්ටියක තුවායක් දමාගෙන වෙදකම් කරනවා, පාන්කඩයකින් කිරි පොවනවා මතකයි. 

පස්සේ කාලෙක ඕනම කලබලයක දී ව්‍යසනයකදී එලියට බැහැලා උදව් වෙන්න හදන , ගං වතුරේ පවා ගිහින් සහන උපකාර වෛද්‍ය ආධාර දුන්න මා එක්ක අම්මා කොයිතරම් එදිරී වුණත් ඒවා එයාලම අපි තුළ වගා කළ ගුණවත් කම් කියලා ඒ අයට අමතක යි. 
ගංවතුර ගැන කියා දීලා මගේ දරුවාගේ අමතර ඇඳුම් ෂිට් බ්ලැංකට්, සෙල්ලම් බඩු එහෙම අරගෙන ගියේ එයාගෙන්ම ඉල්ලාගෙන. 

වඩා ලොකු තැන ගන්න නෙමේ, සැනසීමෙන් ඉන්න හැකි මොහොත තෝරාගන්න දරුවන්ට සහවේදනය ඉගැන්වීම අවශ්‍යම වෙනවා. ඒක මේ පොත් කටපාඩම් කරලා ලැබෙන දෙයක් නෙමේ... ආදර්ශයෙන් මගපෙන්වීම ලැබෙන දෙයක්.

මේ මම කාලේකට කලින් අත් දුටු සිදුවීම්, දරුවෝ ආත්මාර්ථකාමී නෑ...ඒ අයව එහෙම කරන්නේ දෙමාපියන් !

සුපිරි වෙළඳ සැල් වල එළවළු කිරන්නත් වෙලාවකට බිල් ගහන තැන පෝළිමේ ඉන්න ඕනෙ. ඉතින් ගොඩක් අය කරන්නේ තමන්ට අවශ්‍ය එළවළු පළතුරු අරගෙන , පෝළිමේ ඉන්න එක. ඒත් සමහර අම්මලා කරන්නේ, දරුවන්ව කූඩේ එක්ක පෝළිමේ තියලා.. එයාලා එළවලු බෑග් අරන් ඇවිත් අර කාට් එකට දාන එක. ඒ දරුවොත් වෙන කාටවත් ළං වෙන්න දෙන්නෙ නෑ එතන මග අහුරගෙන ඒවා තරාදියට දානවා. ඒ සෙල්ලම් ඉවර වෙනකම් අපි විනාඩි 15 විතර බලන් ඉන්න ඕනෙ. හරිම ආත්මාර්ථකාමී වැඩක් ඒක.

ඊළඟට, ඔය චේන්ජින් රූම්ස්, ඉස්කෝලෙ යන වයසේ කෙල්ලො කාණ්ඩයක් දවසක්, මගෙන් බැනුමක් අහ ගත්තා, එක්කෙනෙක් ඇතුලට ගිහින්, එකක් අඳිනවා, දොර අරිනවා පෙන්වනවා, කට්ටිය එබීගෙන ඩිස්කස් කරනවා, ඒක හරි නෑ කියලා, ඔන්න දුවලා ගිහින් එක්කෙනෙක් තව එකක් ගෙනත් දෙනවා, කල්පනා කර කර සාකච්ජා කරනවා, දැන් ඇඳුම් අතේ තියන් කට්ටිය කීප දෙනෙක් පෝළිමේ. ඇයි මේ දරුවෝ මෙච්චර ආත්මාර්ථකාමී වුනේ ? මේවා කොහොම එන කතන්දර ද ?

 මට හිතෙන්නේ ගෙවල් වලින්ම අනුන් ගැන නොහිතන්න හදපු හැටි කියලයි. මම දරුවා වඩාගෙන, ලංකාවේ ගුවන් තොටුපලේ දි ඉඳගන්න පුටුවක් හොය හොයා යද්දී මම දැක්කා, පොඩි උන් තුන් දෙනෙක් දුව දුවා ඉන්න තැනක පුටු තුනක් හිස් වෙලා තියෙනවා. මම දරුවා වඩාගෙන එතැනට ගිහින් ඉඳගන්න යද්දී මාව තල්ලු කරගෙන ආපු තුන්දෙනා ඉඳගත්තා. මේ ලාංකික ළමයි තුන් දෙනෙක් ඒක මහා අවලස්සන වැඩක්. එයාලගෙ දෙමාපියන් දැක්කේ නෑ වගේ උන්නා. 

නමුත් මම සිංගප්පූරුවේදී, මගේ අවුරුදු දෙකක දරුවත් තියාගෙන අර පිටවීමේ පත්‍රිකා පුරවද්දී මම ඉඳන් හිටපු තැන තිබුන, මල් ගස් වටේ තිබ්බ ගල් කැට සියල්ල මගේ දරුවා එළියට අදිනවා දැක්කම මට දෙලෝ රත් වුනා. මම විගහින් ඇයවත් අල්ලාගෙන එක අතින් ඒවා නැවත දාද්දි.. මගේ සහයට දුවගෙන ඇවිත් උදව් කළේ විදේශික දරුවන් දෙදෙනෙක්. බටහිර රටක විය යුතුයි. ඔවුන් දෙදෙනාම මට වඩා ඉක්මනින් ඒ ගල් කැට ටික නැවත පෝච්චි වලට දැම්මා. මම ඔවුන්ට බොහෝ ස්තූති කළා ඔවුන්ගේ දෙමාපියන්ටත් ස්තූති කළා. 

දරුවන්ට සහවේදනය උගන්වන්න ඕනේ ඒක කරන්න පුළුවන් ඔයාලට. 
පුතේ ඔයාට රිදෙනවා වගේම මේ ලෝකේ හැම සතෙක්ටම රිදෙනවා. ඒ විතරක් ද ගහ කොළට පවා රිදෙනවා...
ගහක කොළයක් මලක් කඩන්නේ විනාශ කරන්නේ නැති දරුවෝ හදන වගකීම අපේ අතේ තියෙන්නේ. 

මේ අන්තිම කතාව මගේ දුවගේ... 

කූඩු කළ සතුන් බැලීම ආශ්වාදජනක නොවන බව මම ඇයට වටහා දුන් නිසා අපි සංචාරය කළ හෝ ජිවත් වූ කිසිම රටක සත්තු වත්තක් බලන්නට නොගියෙමු. universal studio Singapore හි සංචාරය කරද්දී මුහුදු ජීවීන් සිටින මුහුද යට තටාක නරඹා ඇත්තෙමු ඉතින් ඇයට මාළු මුහුදේ ජලයේ සිටින බවද ඔවුන් ටැංකි කළ යුතු නැති බවද වටහා දුන්නෙමි.

මෑතක ඇය මාළු ටැංකියක් ගැන විමසද්දී මාළු සිටිය යුත්තේ ටැංකියක නොවේ මුහුදේ සහ ජලාශවල බව ඇයට වටහා දුනිමි. 
"අපි සෙල්ලම් මාළු ටැංකියක් මාළු එක්ක හදමු..." ඇය එකඟ වුණු නිසා ඇය හා එකතුව යම් දෙයක් ගෙනැවිත් ඉවත දැමූ සව් කොළ ආශ්‍රයෙන් මාළු කිහිප දෙනෙක් සාදා ගත්තෙමු. 

"මර්මෙඩ් කෙනෙක්" ද එයට කොහොම හරි ඔබන්නට සිදුවිය.
" කෝ මෙයාගෙ ඇස්"
"ඇස් නෑ අම්මා. Think differently once in awhile. There can be mermaids without eyes"

දුවගේ අමුතු උත්තර එක්ක අපි එයාගේම සෙල්ලම් බඩු වක ඉවත දැමූ පෙට්ටිය යොදාගෙන මාළුත් එල්ලා සම්පූර්ණ කළෙමු.

විප්ලවය ආරම්භ විය යුත්තේ ගෙදරින්...මගේ විප්ලව සඳහා ඉතසිතින් එකඟ වෙන ශේ ට සහ තාත්තාට ස්තූතියි.

"ළමයින් සත්තු ගැන ඉගෙන ගන්නේ කොහොමද එතකොට ?" අසන තර්ක වෙනුවෙන් ස්වභාවික පරිසරයේ සතුන් සිටින වීඩියෝ ඇති බව මතක් කරමි.
ඩයිනසෝර් ගැන ඉගෙන ගන්නේ ඒ සතුන්ට දරුවන් ආශක්ත වෙන්නේ ඒ සතුන් හැබැහින් දැකලා නොවේ. 
ඒ බව මතක් කරමි

5 comments:

  1. මම හිතන්නේ තල්මස් පැටවුන්ගේ ඇග අඩ නැගලා ඉන්න එක වෙන්න ඕන. ඒකේන් වන්නේ තව දුරටත් ඒ සත්න්ට හුස්ම ගැනීම අපහසු විම වැඩි විම විතරයි. සතුන්ගේ ඇග උඩ නැගපු අය කොහොමත් ටිකක් සහකම්පනය අඩුයි.
    ටැංකි වල හදන මසුන් නම් හදන්න වෙන්නේ ටැංකි වලම තමයි. මොකද ඔවුන්ට මිනිස් බගපැම නැතිව ස්වභාවික පරිසරයේ දිවිපැවැත්ම කර ගන්න ඔවුන්ට නොහැකිය

    ReplyDelete
  2. ඒ සතුන්ගේ ඇඟ උඩ නැගල හිටිය අය ගැන කතා කරන්න අකමැතියි.
    නමුත් සහකම්පනය කියන දේ කොටන්න බෑ. ඒක හුරුවට එන දෙයක්.

    අම්මල කරන්නෙ මොකක්ද දරුව කරන්නෙ ඒක. සෝ අම්මලත් එහෙම නං දරුවත් එහෙමයි.
    අක්කගෙ දරුවත් අක්කත් ඒ හුරුවට යන්නෙ නියමාකාරයෙන් ඒ හුරුව ලැබුණ නිසා

    ReplyDelete
  3. බහුතරයක් දෙමව්පියො දාර්ශනකියො නෙමෙයි. එයාලට තමන්ගෙ දෙමව්පියන්ගෙන් උරුම වුන මානසික තත්ව, parenting styles ඊට අමතරව ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න ගොඩක් එක්ක ඉන්නෙ....

    ලංකාවෙ ඔහොම වෙන එක සාමාන්‍යයි..

    ReplyDelete
  4. කාලෝචිත ලියවිල්ලක්. ඒත් සිතට ගතයුතු අය මෙතැනට එනවද සැකයි.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !