Monday, August 22, 2011

බෙහෙත් නැති වෙනකොට ....

සති කිහිපයකට කලින් ලියූ මේ සටහන පළ නොකර තිබුනේ හිතේ ඇතිවුන දුකත් කළකිරිමත් නිසා මේ වගේ දේවල් එක දිගට ලිවීම නොකළ යුතු බව සහෘදයෙක් කියූ නිසාය. එනමුත් දින වකවානු සඳහන් නොවන නිසා මෙසේත් සිදු වන බව ලියා තැබීම වටිනවා යැයි සිතේ.

"මේ බෙහෙත නැති නිසා පිටින් ගන්න ලියාගෙන එන්න කිව්වා." එක රෝගියෙක් පරීක්ෂා කරමින් සිටින අතරේ පැමිණි රෝගියෙක් පැවසීය. උදරගත ගැස්ට්‍රයිටිස් වැනි රෝග සඳහා සහ ඇතැම්විට කැක්කුම් පෙති සමග බොන්නට දෙන ෆැමොටිඩීන් සහ ඔමෙප්‍රසෝල් යන ඖෂධ දෙවර්ගයම දැන් සති කිහිපයක සිට රෝහලේ ඕ පී ඩී ෆාමසියෙන් නිකුත් නොකෙරේ. ආයෙ ආයෙත් නියම කරන ඖෂධ කුඩා තුන්ඩු වල නැවත ලියා දෙන්නට සිදු වන්නේ පිටින් ගන්නටයි. දිවයින පත්තරයේ සඳහන් වූයේ අත්‍යාවශ්‍ය ඖෂධ 40 පමණ හිඟයක් ඇති බවය. දැන් හිඟ ඖෂධ ගැන සඳහන් කර අප වාට්ටු හෝ ඒකක සඳහා ලබා දෙන පොතේ ලැයිස්තුව ටිකෙන් ටික දිග වෙන්නේ රජයේ රෝහලුත් පුද්ගලික රෝහල් ගානට දමමිනි.
"මේ බෙහෙත මෙහෙ නෑ පිටින් ගන්න " යැයි නියම කරනකොට දුප්පත් රෝගීන්ගේ මුහුණේ මැවෙන අසරණ සහගත බැල්ම මග හරිමින් අපි වැඩෙහි යෙදෙන්නෙමු. ගමේ ඔවුන්ගේ කුඩා නගරයේ පුද්ගලික ඩිස්පැන්සරියට නොගොස් පැය කිහිපයක් ගෙවා රජයේ මහ රෝහල වෙත ඔවුන් පැමිණෙන්නේ නොමිලේ වෙදකම මෙන්ම බෙහෙත් ද ලබා ගැනීම සඳහාය.

නියුමෝනීයාව හෙවත් පෙනහළු වල ආසාදනයක් සෑදී රෝහල් ගත වුන සුන්දරම් මහතා වාට්ටුවෙන් පිට වූයේ දින දෙකකට කළිනි. ඔහුට මෙයින් පිටවෙද්දි තව සතියකට පාවිච්චි කිරීමට co-amoxyclav නම් ඇන්ටිබයොටික් පෙති වර්ගය අප විශේෂඥ වෛදතුමිය විසින් නියම කරන ලදී. මේ පෙති වර්ගයනම් ඕපීඩී ෆාමසියේ තිබෙන්නේ කලාතුරකිනි. පෙත්තක් රු 70 - 80 පමණ වේ. සමහර වෙළඳ නාමයන්ගෙන් ලීවොතින් අඩු වර්ගයේ ඒවාද තිබෙන බව දන්නෙමු. ඉතින් මේ බව අපේ විශේෂඥවෛද්‍යතූමියට කියා පෙත්තක් රු. 32 වැනි අඩුම මිලට ලබා ගැනීමට හැකි වෙළඳ නාමයක් අපේ විශේෂඥතුමියගෙන් අසා දැනගෙන අපි ලියා දෙන්නෙමු.
නැවත රෝහල් ගත වූ සුන්දරම් මහතා මේ පෙති කිසිවක් පිටින් මිලදී ගෙන නැත. මොකද සතියක් සඳහා මුදලින් රු. 700 පමණ වියදමක් දරන්නට වන හෙයිනි. කුලී වැඩ කර එදා වේල සකසා ගන්නා ඔවුන්හට මෙවැනි මුදලක් දැරිය නොහැකි බව ඔහු කියයි. අනික සති එකහමාරක් පමණ රෝහල් ගත වී සිටි නිසා කුලී වැඩක් කරගැන්මටද නොහැකි විය. ඔහුගේ ජීවිත කතාව අසා සිටියදී හිතේ බොහෝ දුක් දැනේ.

අතේ බඳින ඔරලෝසූව වීසි තිස් දහකට මිලදී ගන්නා මිනීසුන් ඉන්න ලෝකෙක එදා වේල හම්බ කරගන්න රු.200 දවස් කුලියට වැඩෙහි යෙදෙන ඔවුන් කෙතරම් දුකක් විඳිනවාද අපිට සිතේ. පැමිණි එක් රෝගියෙක් පවසා සිටියේ, රෝහල ඉදිරිපිටම තිබෙන ෆාමසියකින් රු 1000 ඉල්ලා සිටි බවයි. ඔවුන්ගේ දෛනික ආදායම රු. 100 හෝ 200 කි. වරද ඇත්තේ කොතැන ද ?

හර්දය රෝගයෙන් පෙළෙන සෙල්වරාසා මහතා ඉතා අසාධ්‍යව රෝහල් ගත කර තිබේ. දරුවන් සියල්ලෝම සිටින්නේ කැනඩාවෙහිය. එනමුදු ඔවුන් අම්මා තාත්තා ගැන නොබලන බව වැටහුනේ ඔහුගේ බිරිඳ අනෙක් රෝගීන්ටද පිටතින් අවශ්‍ය කෑම වතුර වැනි දෑ ගෙනැවිත් දී රු.5, 10 වැනි මුදලක් ලබා ගන්නා බවත් පැවසූ විටය.  { " දරුවන්ට එකතු වෙලා මාසෙකට ඩොලර් සීය සීය එව්වත් මේ දෙමාපියන්ට හොඳින් ජීවත් වෙන්න පුළුවන්නේ ", අපේ ජේෂ්ඨ වෛද්‍යවරයා අපට කීවේ දැඩි කළකිරීමකිනි }

මීට පෙර එක්තරා කාල වකවානුවකදී මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් දැඩිව පැතිරෙන අවධියේ ඒ සඳහා සුදුසුම බෙහෙත නැති වූ නිසා රෝගින් මුහුණ පෑ කරදරද මතක් වේ. පෙති නොමැතිව රෝහල් වල ලෙඩුන් දුක් විඳින් අයුරු දැකීම දුකකි.  මෙවැනි අගහිඟතා මැඩලීමට රජය සම්පූර්ණ සහයෝගය සහ ශ්‍රමය දක්වන බවද අපි දනිමු. නමුත් අන්තිමට කරදරයට පත්වන්නේ අසරණ රෝගීන් පමණි.

අප අතේ තිබෙන මුදල් නෝට්ටුවක් දෙකක් ඔවූන්ගේ අතේ තියන්නට අප හිත කරුණාවන්ත වුනත් ඇතැමුන් අපේ කරුණාව දිගටම බලාපොරොත්තු වන බැවීන් එසේ කිරීමද අපහසුය.

10 comments:

  1. මොනවා ලියන්නද ? ඇත්ත තිත්තයි .. මම රජයේ සේවයේ බොහොම කාලයක් හිටි නිසා මේ වගේ තත්ත්ව ඇතිවෙන්නේ පාලකයින්ගේ වරදින් කියන එක කියන්න වෙනවා.. නිකරුනේ බොරු සෝබන වලට වැයකරන කොටි ගණන් මුදල් අයි බැරි අත්‍යවශ්‍ය බේත් වලට වය කරන්න ?ඒ මුදල් එන්නේ අසරණ මිනිසූ පිටි කිලෝවට පාන් ගෙඩියට ලාම්පුතෙල් ටිකට ගෙවන බද්දෙන් නේද ? ඔබ මේ ඇතුලාන්තය ලියන නිසා අපි දන්නවා. නමුත් සාමාන්‍ය මනුස්සය වරද පටවන්නේ දොස්තරටයි මිසීලටයිනේ.. නියම වරද කාරයෝ බේරිලා. අය්යෝ ලියන්න ගියොත් ඔලුව කුනුවෙනවා. මම ලංකාව දාල ආවේ කරගන්න බැරි තරමට කුණුගොඩවල් නිසයි.. ඔබ වැනි මිනිස්සුන්ගේ දුක හඳුනන වයිද්යවරු ඉන්දීමත් හිතට සහනයක්..

    ReplyDelete
  2. මා සේවය කළ හෘද රෝග ඒකකයේ වියපත් පියෙක්(වයස අවුරුදු 73ක) මා සමග කී කතාවක් නම් , ඔහු ට තවත් ජීවත් විය හැක්කේ මාසයක් බවයි , අපේ විශේෂඥ වෛද්‍යවරයා පවා නිමය කළ ඖෂධ මත ඔහුට යම් කළක් අනතුරක් නැතිව සිටිය හැකි බව පවසත්දීත් ඔහු මෙසේ පවසන්නේ අැයි දැයි සියල්ල ඉවත්ව ගිය පසු මම විමසුවා , “මහත්තයෝ මම කරන්නේ තේ වතු වල සුද්ද කිරීම වැඩ , එයින් තමයි මාසෙට බෙහෙත් වලට ඕන මුදල හොයා ගන්නේ , දැන් තියෙන කාෂ්ඨක අවුවට තේ පැල පිච්චිලා මහත්තයෝ , දැන් ඉතින් අපිට වැඩ නෑ , ලබන මාසේ නොවැස්සොත් මට අදායමක් නැහැනේ , මට වටන රස්සාවක් කරන්න බැහැ ලෙඩෙයි වයසෙයි හැටියට ..ඉතින් ඒ මගේ ජීවිතේ අන්තිම මාසේ නේ මහත්තයෝ , මොකද මාසෙකට රැපියල් තුන්දාහක් මේ බෙහෙත් ටිකට යනවා “ ...අපි ඔහුව සමාජ සහනාධෘර වෙත යොමු කලත් එයින් මේ අධික මිල , ජීවිතාරක්ෂක ඖෂධ මිලදී ගත හැක්කේ දින 10කට පමණි .. නිදහස් සුව සේවාව තුල පවතින මෙවන් අවස්ථා ගැනත් සංවේදී කතා බහක් යෙදුනාට තුති

    ReplyDelete
  3. මම මේ ගැන නිර්භයව ඔබේ අදහස් පලකලාට ඔබට තුති පුදමි. මේක අද හැම තැනම තියන ප්‍රශ්නයක්. අපි අපේ රෝහල්වල ඔළුවට, කොන්දේ අමාරුවට, දදයට, වෙන වෙන දහසක් ලෙඩ දුක් වලට ගාන්නේ එකම ලාභම තෙල. අනේ මන්ද බටහිර, ආයූර්වේද අපි කවුරුත් අසරණයි. මොනවා කරන්නද මට නම් හිතා ගන්නවත් බැහැ. කාට කියන්නද?

    ReplyDelete
  4. බෙහෙත් නැතිබව ලංකාවෙ රෝහල් වල තියෙන හැමදාම තියෙන සාමාන්‍ය ලෙඩක්. අපි සීමාවසිකව වැඩ කරන කොට අපට ලැබුනෙ මාසෙකට රු 505/=. ඒ 1971දි. එකෙන් අපට කාලා ඇඳලා යන්තම මාසෙ පිරිමහ ගන්න පුලුවන් වුනා. මන්ත්‍රී තුමෙක් මට පොඩි තරවටුවකුත් දාල ඉන්න අවස්ථාවක (ඇට පොඩි කරන බවට ) මමත් යන්න ලෑස්ති වෙලා හිටියෙ. කෘමි නාශක යක් බීපු තරුනියක් ආව දෙමාපියන් සමග. පෙම් පල හිලව්වකට ඒක බීල තියෙන්නෙ. අපේ වාට්ටුවෙ ඒ දවස් වල නුවර 12 වාට්ටුවෙ. වාට්ටුවෙ ඇට්‍රොපීන් නැහැ. ගේන්න ඒ දුප්පත් මිනිස්සුන්ට සල්ලිත් නැහැ. ඒ බව කිව්වම ඒ තරුනියගෙ මවගෙ ඇස් වලින් සට සට ගාල කඳුලු වැක්කෙරෙනව. මේ වෙලාවට නැති මිනිස් කම මොකටදැයි කියල හිතිල මගේ ලඟ තිබුන සල්ලි වලින් මම ඇට්‍රොපීන් ගෙන්ව ගෙන ලෙඩා ලඟ ඉඳගෙන ඇහේ බබා වෙනස් වන්තුරු විනාඩියෙන් විනාඩියට (මගේ ලොකු මහත්මයගෙ වෙදකම එහෙමයි )ඇට්‍රොපීන් ලේ නහරයට දුන්නා. ඇට්‍රොපීන් වයල් හයක් දෙන කොට ඔන්න යන්තම් ලෙඩා ගෙ තත්වය වෙනස් වුනා. ඊට පස්සෙ කාලෙක අනුරාධ පුරේ ශ්‍රී මහ බෝදියෙ උඩ මලුවටම යන්න මට වාසනාව ලැබුන. මගේ අතින්ම මම බෝදීන් වහන්සෙට සිවුරක් පූජ කරල ඒකෙන් සතුටු වුනා. මම වෙදකම් කරපු ලෙඩා අදත් ජීවතුන් අතර ඉන්න බව මම දන්නවා. ශ්‍රී මහා බෝදීන් වහන්සේට සිවුරෞ පූජාවත් ඒ ලෙඩා වෙනුවෙන් වුන කැප වීමත් මට එක වගේමයි. ලෝකෙ තියෙන ප්‍රශ්න මට විසඳන්න බැරි බවත් සියල්ල කර්මානුරූපව සිදුවන බවත්, මට කල හැක්කේ සීමා සහිත දේ බවත් වැටහෙන්න තවත් බොහෝ කලක් ගත වුනා. බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටි කාලෙවත් දේව දත්තයා අපායෙන් ගලවන්න බැරි වුනා. ලෝකෙ හැටි ඔහොම තමයි.අතිශයින්ම සංවේගී දේවල් සිද්ධ වෙනවා. නමුත් අපි මොනවා කරන්නද?

    ReplyDelete
  5. මොනවා ලියන්නද කියල හිතාගන්න බැරිව ඉන්නේ... හැමදාම කියනවා වගේ මේ දේවල් අප සමග බෙදාගැනීම හරිම වටිනවා doctor...

    ReplyDelete
  6. දවසක් බෙහෙත් වගයක් ගන්න ෆාමසියකට ගිහින් ඉද්දි ඔයවගේම අම්ම කෙනෙක් බබෙක්ව වඩාගන බෙහෙත් ගන්න ඇවිත් හිටියා,ඉස්සරවෙලාම ඇහුවේ බෙහෙත් වලට කීයක් යයිද කියල.2000 ගානක් මතකේ හැටියට.පස්සෙ දවස් 2කට බෙහෙත් ඉල්ලගන ගියා.මට ගොඩක් දුක හිතුනා.

    ReplyDelete
  7. සහතික ඇත්ත..
    ඊටත් වඩා මානුෂීය විදිහට මේ දෙස බලන ඔබ වැනි වෛද්‍යයවරුන් සිටීම ගැන සතුටු වෙනවා..

    ReplyDelete
  8. ස්තූතියි ඔබේ අදහස් වලට. මේ දින වල වැඩ කටයුතු අධික නිසා නිතර අදහස් වෙන් වෙන්ව ලියන්නටත් බැරි වුනේ. කියවපු හැමෝටම ස්තූතියි

    ReplyDelete
  9. මොකද සද්දයක් නැත්තේ කියලයි බැලුවේ !

    ReplyDelete
  10. ඔබේ අත්දැකීම් අප හමුවේ තැබීම ඇත්තෙන්ම අගය කරනවා. එසේම ඔබ වැනි කාරුණික වෛද්‍යවරියන් මුණ ගැසීමත් ආශිර්වාදයක්, ඔය පැත්තේ රෝගීන්ට.
    ඔබේ නිර්මාණ හැකියාව දියුණු වේවා! ඉන් සෙතක් ශාන්තියක්ම වේවා!

    ව්‍යාජ දොස්තර නෝනාට මොකද අවසානයේ වුණේ?

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !