Tuesday, August 16, 2011

ජනාත්‍රිගේ කතාව

රජයේ ඉහළ නිළයක් දරන තාත්තා කෙනෙක් දොස්තර ජනාත්‍රී ඉදිරියේ පුටුවේ ඉඳගත්තේ ඇස් දෙකේ පුරවගත් කඳුළු එක්කම....
"මගෙ එකම දුව ඩොක්ටර් කොහොම හරි බේරලා දෙන්න." ඔහුගේ වචන පටලැවිනි.
දෙමාපිය අවවාද නුරුස්සන සිතින් නිදි බෙහෙත් සහ පැනඩෝල් පෙති ගොන්නක් පානය කළ දැරිය සිහිසුන්ව යන්ත්‍ර වලට සවි කර ඇත.
"අපි කිසිම අඩු පාඩුවක් කලේ නෑ ඩොක්ටර්. උදේ දවල් රෑ තුන්වේලම මගේ අතින් අනලා කැව්වේ. වාහනෙන් ගෙනිච්චේ ගෙනාවේ. ඉගෙන ගත්තේ නෑ ඒකත් කමක් නෑ , ගැලපෙන්නේ නැති කොල්ලෙක් එක්ක යාළුවෙලා අන්තිමට, ඒකට අපි පොඩ්ඩක් බැන්නා , මම පාරකුත් ගැහුවා. ඒපාර අනේ... මගේ දුව..." ඒ අම්මාගේ වැලපිල්ල අහං ඉන්න අමාරුය.

"කොච්චර සැප දුන්නත් වැඩක් නෑ. කියන දේ නාහන දරුවෝ හැදුවහම. මොකෝ ඉතින් මොනවා තිබ්බත් වැඩක් තියෙනවද හරියට ජීවත් වෙන්න උගන්නන්නේ නැතිව." ඇඳ ළඟ සුසුම් හෙළන මව පෙන්වමින් සිස්ටර් කියයි.

ඇඳ මත සිහිසුන්ව පසුවෙන තරුණිය තම වයසේමය. ඩොක්ටර් ජනාත්‍රීට තමන්ගේ කුඩා කාලය මතක් වෙයි. අගනුවර පිහිටි  මහල් නිවාස සංකීර්ණයක ඉතා පොඩි ගෙයක තම සොහොයුරු සොයුරියන් සමග නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ ඇති දැඩි වූ අයුරු ඇයට මතක් වේ.
ඒ ගෙයි සාලය දැන් තමා ජීවත් වන වෛද්‍ය නිල නිවසේ කාමරයක් තරම් ය. එය එතරම් කුඩා විය.  අවට නිවැසියන්ගේ කෑ කෝ ගැසීම්ද බහුලය. ගායකයෙක් වන්නට තතනන අසල ගෙයක අයියෙක් මහා හඬින් රේඩියෝව දමන්නේද පාඩම් කරන්නට පොත අතට ගන්නා වෙලාවටමය. පහළ ගෙයක ඉන්නා අන්කල් කෙනෙක් හැමදාම බීගෙන ඇවිත් ඒ ඇන්ටී සමග ගෝරි අල්ලද්දී  ඒ දරුවන් පැමිණෙන්නේද ජනාත්‍රිලාගේ ගෙදරටය. රැකියාවට යන දෙමාපියන් දෙදෙනා වැඩ ඇරී පැමිණෙන්නේ සවස් කාලයේය. එතෙක් ගෙදර පැමිණි සැනින් ශීතකරණයේ තියෙන හොදි රත් කර බතක් උයන්නට සිදුවේ. බැරි වෙලාවත් අම්මාට උයන්නට වෙලාවක් නැති වුනොතින් දවල් කෑමද පිස ගත යුතුය. පාසැලෙන් දෙන වැඩ කරන්නේ සවස් වරුවේය. රෑට යළි අහර පිසීමට අම්මාට උදව් කල යුතුය. එක පැත්තක පිහිටි පොදු ක්‍රීඩාංගනයට රැස්වෙන කොල්ලෝ කුරුට්ටෝ මහ රෑ වන තුරු ක්‍රිකට් ගසති. කෑ කෝ ගසති. ගසන බෝල පාරක් දෙකක් කාමර වලටද පැමිණේ.

ඇතැම් විට වාර විභාග ළඟ එද්දී අහල පහල ඝෝෂාකාරී බව නිසා පාඩම් කරගන්නට බැරිවා වාගේය.
අම්මා කියන්නේ "කොන්දට උඩින් කරත්තයක් ගියත් තමන්ගේ වැඩේ කරන්න ඕනෙ අනම් මනම් ඔළුවට දාගන්නේ නැතුව "  ගෙදර හැමදේටම තියෙන එකම මේසයේ ඔක්කොමලා පොත් පත් අරන් පාඩම් වැඩ කරන්නේ ඉගෙනීම මිසක් වෙන සරණක් නැති නිසාමයි. එවෙලෙට කොන්දට උඩින් යන කරත්ත විෂුවලයිස් කරගනිමින් පාඩමේ යෙදෙනවාය. රෑ වෙන තුරු පාඩම් කරද්දී තේ හදා දෙමින් නිදි වරන අම්මාද , රස්සා දෙක තුනක් කරමින් වැර වීර් යයෙන් මුදල් උපයන තාත්තාද ඔවුන්ට ආදරය සමග ජීවිතය පිළිබඳ හොඳ නරක කියා දෙන්නට උත්සහ කළෝය.


තමන් ගොඩ ගන්න දෙමාපියන් විඳින දුක දුටු ජනාත්‍රී කුඩා කල සිටම උත්සහ කලේ අල්පේච්ජ ජීවිතයක් ගත කරන්නටයි.  ඕනෑ නැති විච්චූරණ වටල මුදල් නාස්ති නොකොට අරපිරිමැස්මෙන් ජීවත් වෙන්නට දෙමාපියන් දරණ උත්සහයට මේ දරුවන්ද නොසෑහෙන්න උදව් උපකාර කලේ හොඳින් ඉගෙන ගනිමින් ඒ කල පාසැල් දරුවන් යොමු වන බාහිර අනවශ්‍ය නාස්තිකාර දෑ වලින් තම සිත මුදවා ගනිමින් ය.  ඉගෙනීමේ දස්කම් නිසා අගනුවර ඉහළ පාසැලක් ලැබ ඉගෙනුම ලැබුවත් බස් එකෙන් යන එන , සුදු ගවුම් දෙක සෝද සෝදා අඳිමින් සිටි ඇය තම ළඟම මිතුරියන්ටවත් තමන්ගේ අගහිඟකම් දුෂ්කරතා පෙන්නුවේ නැත.  අම්මාට අසනීප වී මාස 6 පමණ එක්තැන්වී සිටි කාලයේ , උසස් පෙළ ලියන අතර උදේ රැයින් නැගිට උයා පිහා ගෙදර වැඩ සේරම කරන්නට සිදු වුනේ ජනාත්‍රිටය. දූක ළඟට සැප ලැබෙනු ඇතැයි ඇය නිතර සිතුවාය. පාඩම් කළේ මහජන පුස්ථකාලයේ පාඩම් ශාලාවෙහිය. ඇතැම් දින වල උදේ 7 එහි ගොස් නැවත පැමිණෙන්නේ සවස 6 ටය. තමන්ගේ සහ සහෝදර සහෝදරියන්ගේ ටියුෂන් සහ අනෙකූත් වියදම් සේරම දරන්නට ඇත්තේ දෙමාපියන් දෙදෙනා උපයන පඩිය පමණි. ඔවුන් මේ හැටි වෙහෙසෙන්නේ තම දරුවන් වෙනුවෙන් බව කුඩා කල සිටම ජනාත්‍රි සහ සොයුරු සොයුරියන් මැනවින් වටහාගෙන සිටියෝය.

ඇතැම් විට තම මවගේ සොයුරා ඔහුගේ දරුවන් රැගෙන පැමිණෙන ඒ වාහනයෙන්ම ජනාත්‍රී සහ අනෙක් සොයුරු සොයුරියන්ද පැමිණ ගේ ළඟින් බස්සවාගෙන යයි. ඇතැම් විට ඒ පාරෙ ට්‍රැෆික් යැයි ගව්වක් දුරින් නවත්වා බස්සවයි. එවිට කට්ට අව්වේ, පයින්ම ඉතිරි දුර ගෙවා යන්නට සිදුවේ.  මාමාගේ දරුවන්ට KFC හෝ චයිනීස් කවන්නට සිතුනූ දිනක, සෙසු දරුවන් වාහනයේ සිටියදී ඔහුගේ දරුවන් පමණක් ගෙන ගොස් කවා පොවා රැගෙන එයි. එවිට අනෙක් අයට සිදු වන්නේ වාහනයට වී අර කඩවල වීදුරූ තුලින් ඔවුන් ආහාර ගන්නා අයුරු බලාගෙන වේලි වේලි සිටින්නටය. තම මව හෝ පියා සමග මේ ගැන එදා නොදොඩා සිටියේ ඔවුන්ට දැඩි දුකක් ඇතිවේයැයි සිතූනු නිසාය. උසස් පෙළ ළකුණු එන්නට ප්‍රථම "විශ්ව විද්‍යාල වලටනම් යන්න එපා රස්සාවක් කරන්න යැයි" බල කෙරුවේද එවැනි නෑයින් ය. හැබැයි ඒ සියලු නෑයින්ගේ දරුවන් උසස්පෙළ අසමත් වී අද කිසිවක් කරගත නොහැකිව සිටී.

ඒ සියලු දුෂ්කරතා මැඩ වෛද්‍ය විද්‍යාලයට ගොස් වෛද්‍යවරයෙක් ලෙස දිවුරුම් දුන් දා දෙමාපියන්ගේ සතුට ඉහ වහා ගිය අයුරු දුටු ඇයට තමන් විඳි දුක් කන්ද අවසන සැනසුම් සුසුම් හෙළීය. ඉගෙන ගන්න එකා නේ කියමින් දුප්පත් නෑයින් රුපියල් 100, 200 මිට මෙළවූ අයුරු ඇයට සිහිපත්‍ වේ. අගනුවර යමක් කමක් ඇති පවුල් වල දරුවන්ට ටියුෂන් දී මාසික වියදම සොයා ගත් අයුරුද මතක් වේ. අද ඇය ජේෂ්ඨ වෛදවරියකි. දරුවන් ඉගෙනීමෙන් දස්කම් පාද්දී දෙමාපියන්ගේද ආර්ථික මට්ට්ම යහපත්වී නව නිවසක් තනා සාමකාමි පෙදෙසක වාසය කරන්නට ඔවුනට හැකියාව ලැබී ඇත.

දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලැබූ ඒ අවදියේ ප්‍රේමාරාධනා වලින්ද අඩුවක් නොවීය. එකළ ඇය සා. පෙළ පන්තියේ සිටියාය. ඕවට පැටලුනොත් ඉගෙන ගන්න බැරිවෙයි. හොඳින් ඉගෙන ගෙන අපි ඉන්නා තත්වයෙන් පොඩ්ඩක් හරි ගොඩ එන්න ඕනේ ඇය අර ආරාධනාවට පැහැදිලි කර දී එය ප්‍රතික්ෂේප කළාය.

දෙමාපියන් උනාම දරුවන්ට සැප දෙන එක වැරැද්දක් නෙමෙයි. ඒත් දුකත් පෙන්වන්න ඕනේ. සමාජයේ පය ගහලා ඉන්න උගන්වන්න ඕනේ. අපි පොඩි කාලේ දුක් විඳිද්දී ... අපේ යහළුවෝ සැප විඳිද්දී ඇයි අපට මේ වගේ තිබුනේ නැත්තේ කියා දුක හිතුනු වාර අනන්තයි.යාළුවන්ගේ ගෙවල් වල ගිය විට, තනි කාමරයක් තමන්ගේම කියලා පොත් මේසයක් , පොත් රාක්ක අල්මාරි ඒ දේවල් දකිද්දී ඒකාලේ ඇති වුනේ කියා නීම කල නොහැකි දුකකි. දුක හා ගැටෙමින්, පොරබදමින්, අමාරුකම් මැද පාඩම් කරමින් ජීවිතය ජයගත් අද, එදා අපි දුක දැකපු නිසා සමාජය වඩා හොඳින් තේරුම් ගත්තා නේදැයි, ජනාත්‍රීට සිතුනාය. අද යාන වාහන නිවාස මෙන්ම හොඳ රැකියාවක්ද උරුම ඇය මෙන්ම ඇගේ සහෝදර සහෝදරියන් දෙස බලා දෙමාපියන් සැනසේ.

"ඩොක්ටර් අර poisoning patient ගේ saturation drop වෙනවා" මහ රෑ හෙදිය දුරකථන ඇමතුමක් දෙයි. ඇය ගත් බෙහෙත් වල සැර වැඩි කමට ශ්වසන පද්ධතිය අඩපන වී ඇත. යුහුසුළුවූ සැම නහයෙන් බට දමන්නට බැරි තැන ශ්වරාලය විද බටයක් දමා (tracheotomy ) ඇය කෘතිම ශ්වසන පද්ධතියට සවි කළෝය. දැන් එම තරුණිය නැවත හුස්ම ගනී. දැඩි සත්කාර ඒකකයේ දින 19 සිටි ඈ හොඳටම හොඳවී සිහිය ලැබ සිටියදී, ඇය පැවසුවේ " තමන්ගේ දෙමාපිය දෙදෙනා නපුරු බවත් ඔවුන් සමග නැවත ජීවත්විය නොහැකි බවත්‍ ය.
එතෙක් නිදි නොලැබ දින පතා ඇය අසළ සිටි මව කළ දුෂ්කර ක්‍රියා දැක්කේ අප පමණි.

තරුණියගේ හිත හැදීමට දොස්තර ජනාත්‍රී නිරන්තරයෙන් ඇය ළඟට වී ඇගේ ජීවිත කතාව ඇය හා පැවසුවාය. ඇයට අහිමි වූයේ මොනවාද ? පොඩි කාලේ ඉඳන් සැප සම්පත් පමණක්ම දී උස් මහත් කළ දෙමාපියන් ගේ අගය සහ ජීවිතය ජයගන්න ඇය කිසිම උත්සහයක් නොදැරූ හැටි , දෙමාපියන්ට සැනසෙන්නට කිසිවකකඑය නොකෙරූ සැටි, ඇයට වැටහෙන්නට විය.
පසූදින අම්මා තාත්තා පැමිණි පසු ඒ තරුණිය ඔවුන්ගෙන් සමාව ඉල්ලමින් ඔවුන් බදාගෙන හඬන්නට විය.

දරුවන්ට සැප දෙනවා වාගේම  දුකත් පෙන්නා දිය යුතුමය ජනාත්‍රීට සිතේ.
(සත්‍ය කතාවක් ඇසුරිනි)

12 comments:

  1. "දරුවන්ට සැප දෙනවා වාගේම දුකත් පෙන්නා දිය යුතුමය"

    මේ කතාව හරියටම හරි! සියලු සැප සම්පත් දීලා, ගෙදරින් ඉස්කෝලෙටයි - ඉස්කෝලෙන් ගෙදරටයි වාහනෙන් ගෙනිහිල්ලා, සමාජයෙන් වෙන් කරලා ළමයි හැදුවම මේ වගේ දේවල් සමහරවිට බලාපොරොත්තු වෙන්න වෙනවා... පොලොවේ පය ගහලා ජීවත් වෙන්න කොයි දරුවත් පුරුදු පුහුණු කරන එක දෙමව්පියන්ගේ වගකීමක්! එතකොට ළමයි ඉගෙන ගනියි මේ වගේ ගොං වැඩ නොකර ඉන්න...

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත. ලමයි බෝනික්කෝ වගේ හදනව අපි වින්ද දුක් ලමයින්ට දෙන්න ඕනේ නෑ කියල,ඒක හොදයි ඒත් අන්තිමට අම්මලා විදින දුක් උන්ට තේරෙන්නෙ නෑ.මුරන්ඩු වෙනව.කියන දෙයක් අහන්නෙ නැතුව යනව.

    ReplyDelete
  3. "දරුවන්ට සැප දෙනවා වාගේම දුකත් පෙන්නා දිය යුතුමය" ,හරිම වැදගත් උපදෙසක් මෙය , අද සමාජයේ බොහෝවිට තම දෙමව්පියන් සුළු තරවටුවක් කළත් මැරෙන්න හදන තරුණ දරුවන් බොහොමයි.ඔවුන් දකින ලෙහෙසිම උත්තරේ මරණය , ඒ වෙනුවෙන් කරන තර්ජනාත්මක ස්වරූපය තමයි මේ , ඒත් අපි අපේ වයසේදි කොයි තරම් නම් තරවටු ලබල ඇත්ද ? ටික වෙලාවක් අඬල , ආයෙත් තාත්තගාවට , අම්ම ගාවට යන්න තරම් බැඳිමක් එදා අපේ තිබුණා , ඒත් අද අම්ම-තාත්ත විඳව විඳව හරි “මල් යහනාවල“ ළමයි රදවල හදන නිසා , ඔවුන්ට දුක , වේදනාව , දරන්න අමාරුයි , පොළොවේ පය ගහල ඉන්න අමාරුයි , 
    වැදගත් අදහසක් රසවත්ව දුන්නාට ස්තුතියි

    ReplyDelete
  4. ළමයින්ට සැප වගේම, දුක, ගෙදර ප්‍රශ්න, ආර්ථිකයෙ සීමා ආදිය පුංචි කාලෙ ඉඳලම දැන ගන්න ඉඩ අරින්න ඕන. අනික, ඔය පස්සෙන් ඉඳගෙන පරිස්සම් කරන්නෙ නැතුව තනියෙන් පරිස්සම් වෙන හැටි කියලා දෙන එක දෙගොල්ලන්ටම ලේසියි. හැම දේම අවසාන තීරණය දෙන්නෙ නැතුව, ළමයින්ට තනියෙන් වගකීම අරගෙන, තමන්ගෙ ජීවිතේ ගැන තීරණ ගන්න අරිනවනම් ළමයි වඩාත් සැනසිල්ලෙ ඉඳී.
    සම්පූර්ණයෙන් දෙවිදිහක දෙන්නෙක්ව උදාහරණෙට අරන් ලියවුණු කතාවක්.

    ReplyDelete
  5. අපි ගෙදරින් කාපු ගුටි වලට මෙහෙම පෙති බොන්න ගියානම් .. සිය සැරයක්වත් මැරිලා..දවසකට සැරයක්වත් ගෙදරින් ගුටියක් කන වැඩක් නොකලොත් ඉතින්.. වේලක් කෑවෙ නැති ගානයි..

    ReplyDelete
  6. එන්න ටිකක් පමා වුනා වැඩ අධිකව තිබූ නිසා.
    මගේ නෙතට කඳුලක් ගෙනාව ඔබගේ සංවේදී කථාව. මමත් පූර්ව යොවුන් අවදියේ සිටින දුවකගේ පියෙක්. මගේ දියණියටත් ඔය හැම සැපම දෙනවා. නමුත් මම හැම වෙලේම මට නොලැබුනු ඇයට ලැබෙන දේ ගැන ඇය දැණුවත් කරනවා, වගේම ඇයට ප්‍රායෝගිකව අත් විදීමටත් සලසනවා. එහෙම නොවුනොත් කවදාවත් යහපත් පුරවැසියෙක් හදලා සැනසිල්ලේ මැරෙන්න බැරි වෙයි. මේවා කවුරුත් කියවිය යුතු කථා.
    ඔබට ස්තුතියි!

    ReplyDelete
  7. ගොඩක්ම වැදගත් අදහසක් අක්කෙ. ළමයි ජීවිතය කියන දේ තේරුම් ගන්නෙ තමන්ට ඒක විඳින්න ලැබෙන විදියෙන්. ඔහොම සුර සැප දීල හැදුවම ළමය හිතන්නෙ මේක තමයි ජීවිතේ කියල. හැබැයි එහෙම ඉඳල එක පොඩ්ඩක් හරි අර රටාව වෙනස් වුනොත් ඒක දරා ගන්න බෑ. අක්ක කිව්ව වගේ උවමනාවෙන්ම හරි ජීවිතේ දුකක් විඳින්නත් ඉඩ දෙන්න ඕන පොඩි කාලෙ ඉඳල.

    ReplyDelete
  8. දරුවන්ට ඉල්ලන ඉල්ලන එක දීල,කියන කියන දේ කරනව වගේ අනුවන දෙයක් නෑ දෙමාපියන් කරන.ඉතින් මේ දරුවො ලොකු උනාමත් බලාපොරොත්තු වෙන්නෙ ඒකම තමා.
    විරුද්ද උනාම වයිර බැද ගන්නවා.වැඩිහිටියෙක් අවවාද දුන්නොත් ඒක පිලිගන්න කැමති නෑ. දුක කියන දේ පුරුදු කරන්න ඕන. සාමාන්‍ය දරුවො ජීවත්වෙන්නෙ කෝමද කියන එක කියා දෙන්න ඕන.
    මේ සදලුතල වල ඉන්න දරුවෝ පසුගිය නායකත්ව පුහුනුවේදී කල කී දෙවල් ඇසුවාම පුදුමයි..
    සැම දෙමාපියෙක්ම හිතන්න ඕන මේ දරුවෝ හැමදාම දෙමාපිය තුරුලේ ඉන්නේ නෑ. සමාජෙට යන්න ඕන. සමාජෙට ඔරොත්තු දෙන විදියට දරුවෝ හදන්න ඕන. ඔක්කොටම වඩා වැදගත් මේ පොලොවෙ පය ගහල ජීවත් වෙන්න උගන්වන්න ඕන.

    ReplyDelete
  9. ස්තූතියි. මෙහෙට වැස්ස සහ අකුණු සැර එනිසා පරිගණක භාවිතය අවම කර ඇත. වැස්ස පටන් ගන්නේද අපිට නිවාඩු වෙලාවටමය. අදහස් දැක්වු නිතර මගේ සටහන් සමග සිටින ඔබ හැමෝටම ස්තුතියි. වෙන් වෙන් වශයෙන් පෙර පරිදි මගේ ප්‍රතිචාර ලියන්නට මේ කාලයේ නොහැකිවීම ගැන කණගාටුයි

    ReplyDelete
  10. ජීවිතය ගැන පාඩම් කියල බ්ලොග් එකේ නම ඉස්සරහින් වරහන් ඇතුලේ ලිවුවත් කමක් නැහැ ! දෙමාපියන දුක් විඳිමින් දරුවන්ට සැප දීම හැමදාමසිදුවූ සාමාන්‍ය දෙයක්.. එත් දරුවන්ට දුක වටහාගැනීමට සැලසීම ඒ වගේම වැදගත්.. මගේ දුවට මං ඒ වගේ කළා. තවමත් පුළුවන් තරම් සැප දෙනවා.. . හැබැයි ධර්ම දේශනාවත් යනවා.. ඒ කාලේ කෑමක් වීසි කලොත් මම කියනවා .. අමතක කරන්න එපා කන්නේ කොහොමද කියල ලතවෙන අම්මල තාත්තල.. කෑමක් නැතුව මැරෙන ළමයි අපේ රටේ ඉන්නවා කියල.. ඔන්න ඉතින් තාත්තීගේ දේශනාව.පටන් ගත්ත,.. මං ඉතිරිටික කියන්නද ?කියල එයා කෝචෝක් එකට අහනවා. හැබැයි ඒ හැම දේම හිතට අරන්.. පොළොවේ පයගහල ජීවත් වෙන්න එයාට පුළුවන් තාත්තට වගේම.. .. හැතැප්ම දාස ගානක් ඈත රටක එයා හිටියත් මට ළඟ ඉන්නවා වගේ විශ්වාසයි..

    ReplyDelete
  11. සියල්ල දෙන විට දෙන්න අමතක කරන වැදගත්ම දේ තමයි තමන් හා අදහස් හුවමාරුවට නිදහස. අපේ මතය ඔබේ ද මතය විය යුතුයි කියන අය ගහන්නෙ නැති, කන්න බොන්න අඳින්න නොදී ඉන්න අයට වඩා හිතේ වේදනාව දැඩි කරන අය.

    ReplyDelete
  12. කදිම ලිපියක්................
    ගත යුතු දේ බොහොමයි

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !