අනෙක් වෛද්‍යවරයාට නිවසේ වැඩකටයුත්තක් යෙදුන නිසා වැඩ අධික සති අන්තයේ ඇයට නිවාඩු දෙන්නට සිදුවුනා. ඒ සති අන්තයේ දවසක රාත්‍රී මට ඇමතුමක් ලැබුනේ අප වාට්ටුවට හදිසි සත්කාර ඒකකයෙන් රෝගියෙක් එවා ඇති බවත් ඔහු සිංදු කියමින් කෑ කෝ ගසමින් හැසිරෙන බවත් ය. විඩාව මොහොතකට හිතෙන් පිටමංකරගෙන මම වාට්ටුව වෙත ගියේ මානසික වාට්ටුවට යැවිය යුතු රෝගීන් මෙඩිකල්/ කායික රෝග වාට්ටුවට එව්වේ මොන එහෙකටදැයි සිතමිනි. මා යනවිට දුටුවේ වාට්ටුවේ කොරිඩෝවේ ඇඳක හිඳගෙන සිටි තරුණයෙක් කකුල් පද්දමින් සිංදු කියන අන්දමයි.
" මා ආදරණීය මගේ අම්මා වෙතටයි... මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි "
එකත් එකටම හමුදාවේ සිටිය අයෙක්...! මට එකපාරටම හිතුනා. ඔහු දෙස බලමින් මා ඇතුල් වෙත්ම හෙදියගේ මුහුණේ වූයේ නොසන්සුන් බවක්. "ආපු වෙලාවේ ඉඳන් සිංදු කියනවා. ඒක නවත්වන්න කිව්වම පිරිත් කියනවා " නර්ස් මිස් චෝදනා කළාය.
"සංජීව (අනවර්ථ නමකි ) මෙහෙ එන්න ...."
මගේ අණින් ඔහුගේ සිංදුව නැවතුනි. එහෙත් ආවේ නැත .
"අංගොඩ කාඩ් එකක් තියෙනවා පේෂන්ට් ළඟ " හෙදිය පැවසීය.
දෙතුන් වර කතා කර නොපැමිණියෙන් , මම සුළු සේවකයත් හෙදියත් සමග ඔහු සමීපයට ගියෙමි.
අපේ ප්‍රශ්ණ කිරීම් ඉදිරියේ ඔහු හෙමින් හෙමින් තම ආගිය තොරතුරු පවසන්නට වීය.
"මොකද මේ කියන දේ අහන්නේ නැත්තේ? "
"මට පිස්සුනේ ඩොක්ටර් ... මේං කාඩ් එක.... හැබැයි පිස්සු හැදුනේ මේ .. මෙන්න මෙතන ෂෙල් කෑල්ලක් වැදුනට පස්සෙ සිහි නැතිව මාස එකහමාරක් ඉස්පිරිතාලේ හිටියා. සිහිය ආවට පස්සෙ මම දන්නේ යුද්ධෙ ඉවරයි කියලා.. ෂෙල් කෑල්ල... මේ.... ඒක තාම ඇතුලේ. දොස්තරලා කීවා ගන්න බෑ කියලා. ඔපරේෂන් කරලා අයින් කරන්න බෑ කිව්වා. "
තම හිස් මුදුන පෙන්වමින් හේ පවසයි. අල්ලා බැලූ අපට ඉහළට එසැවී තිබූ තද යමක් අත ගැටිනි. ඔහු ළඟ තීබුනු X- Ray වලින් එය ඇත්ත බව පැහැදිලි විනි. කහ පැහැති ඩයග්නෝස් කාඩ් එකද අප වෙත දිගු කරයි. කීවා නිවැරදිය.
ඔහු B. A. D. හෙවත් Bipolar affective disorder යන තත්වයෙන් පෙළේ.හැබැයි මේ තත්වය ඇති වෙන්නට, ජාන, රසායනික අසමතුලිතතාවය, මානසික ව්‍යාකූලතා සහ පාරිසරික සාධක වැනි බොහෝ දෑ හේතුවේ. (genetic, biochemical, psychodynamic, and environmental factors.) තමන්ගේ මොළයට කිඳා බැස ඇති ෂෙල් යකඩ කැබැල්ල නිසා මෙහෙම උනා යැයි ඔහු සිතාගෙන සිටී. නමුත් හේතු සාධක වූ දෑ බොහෝය.
යුද වාතාවරණය සහ ඒ ආශ්‍රිත මුහුණ දූන්නු අත්දෑකීම් නිසා මෙලෙස සිදුවන්නටද බොහෝ සෙයින් හැකියාව ඇත. එවැනි බොහෝ දෙනෙකු හෙවත් ආයුධ රැගෙන යුද්ධ කරන්නට සිදුවූ දෙපැත්තේම අය සහ මැදිවූ සාමාන්‍ය ජනයා යන මේ සෑම කෙනෙකුම මුණ ගැසී ඇත. සියල්ලන් කෙරෙහි වූ පොදු මානුෂීය හැඟීමෙන් ප්‍රතිකාර කළ, අපට, ඒ ගැන කියන්නට විස්තර බොහෝය.
" කවදා ඉඳන්ද මෙහෙම උනේ? "
" දෙදාස් නමයේ මැයි 18 තමයි මට ෂෙල් එක වැදුනේ. අපි තමයි ෆ්‍රන්ට් එකේ හිටියේ . මට දුක යුද්දෙ...අන්තිම වෙනකම් බලගන්ඩ ඉන්න බැරි වූන එකයි. තව දවසක් හිටියනම් මට ඒ ඇති. මම සිහි නැතිවෙලා මාව කොළඹ යැව්වා. ඔපරේෂන් කරාට පස්සෙ අංගොඩ දැම්මා. කලින් මෙහෙම තිබ්බෙ නෑ."
ඒ සියල්ල එලෙසින්ම අර කාඩ් එකේද සඳහන්ව ඇත. ඒ කතාව අසමින් සිටි අපට දුකද කණගාටුවද දැනෙන්නට විය.ඔහු පරීක්ෂා කර අවසානයේ, කඳුලු සමග හැඬුම්බර වූ අහිංසක හෙදි සොයුරිය නැවත ඔවුන්ගේ විවේක කාමරය වෙත දිව ගියාය.
"සංජීව බැඳලද ?"
"නෑ යාළුවෙලා හිටපු ළමයා තරහා වුනානේ , ඇයි මට පිස්සුනේ ..." එසේ කියමින් මහ හඬින් හිනාවෙයි.
යුද්ධය පැවති වකවානුවේ ඒ ආශ්‍රිත පළාත්වල සේවය කළ අප සැමගේ ජීවිත ආරක්ෂා වුන නිසා අද අපි අපේ අය එක්ක සුවසේ සිටින්නෙමු. ඒත් ජීවිත කැප කළ ඔවුන් අද මෙසේ නොයෙක් ආකාරයෙන් අසරණව සිටී. සංජීවගේ ගෙවල් මීට එහා පළාතක බව පවසයි.
"දැන් මේ කොහෙද යන්නේ?"
"තවම පඩිය හදලා නෑ. මට රස්සාව කරන්න බැහැනේ ඩොක්ටර් මේ අසනීපේ නිසා. ඒකට ලියුම් ගන්න ආවා" මූලස්ථානයට පැමිනෙමින් සිටින අතර පපුවේ සහ බඩේ දැවිල්ලක් ඇල්ලූ නිසා බස් එකේ කෑ ගසද්දී අවට සිටි අය ඔහුව මේ රෝහල වෙත ඇතුල් කර තිබිනි. යුද්ධය ඉවර වී අවුරුදු 2 පමණ වුවද තවම ඔවුන්ගේ ජීවිත එකලස් වී නොමැත.
"මට හොඳටම හොඳ වෙයිද ඩොක්ටර් .."
මම හිතේ දුක තදකරගෙන ඔහුගේ ඉතිහාස දත්ත සමග පරීක්ෂණ තොරතුරු සටහන් කරන්නට අප මේසය වෙත ගියෙමි.
" සැනකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි... " දැන් ඔහු ගයන්නේ ක්ලැරන්ස්ගේ ගීයකි. මුළු වාට්ටුවම ඔහුගේ ගී හඬින් පිරීයයි.
" මේ මොන කරදරයක්ද ! " සමහර ලෙඩුන් නර්ස් මිස්ලාට චෝදනා කරයි.
මේ මහ රෑ සිංදු කියන්න එපා කියා කීප වරක් පැවසූ සාත්තු සේවකයාද කොච්චර කියුවත් වැඩක් නෑ කියමින් , එපා වී පැමිණෙයි. නින්ද යෑමට බෙහෙතක් දුන් පසු සිංදුව නැවතිනි, මද වෙලාවකින් හේ නිදන්නට විය. පසුදා පාන්දර සිට මහ හඬින් පිරිත් කියූ බව පසුදින හෙදිය මට පැවසුවාය.
පසුදින විශේෂඥ වෛද්‍යතුමිය සායනික වටය කරන අතරතුර එකපාරටම ඔහුගේ මහා ඝෝෂා සහගත සිංදු ඇසෙන්නට වීය.
"ආ දැන් වාට්ටුවට රේඩියෝ එකක් තියෙනවා වගේ " ඇයද විහිළුවෙන් ඔහුගෙන් අපට ඇතිවූ කන්දොස්කිරියාව ඉවසුවාය.
දැන් ඔහුට "සිංදු කියන මල්ලී" කියා නමකුත් පට බැඳී ඇත. බැරෑරුම් කායික රෝග කිසිවක් නොවූ නිසා ඔහුගේ උදරගත ගැස්ට්‍රයිටිස් රෝගයට බෙහෙත් කළ අතර ඔහුගේ ඥාතීන් පැමිණි පසු ඔවුන් හා රෝහලෙන් පිටවී ගියේය.
_______________________
ඔව් මේ වගේ යුද්ධය නිසා ඇති වූ අතුරු එහෙමත් නැත්නම් පශ්චාත් යුධ ප්‍රශ්න දැන් අපිට අමතකයි වගේ. නමුත් රට වෙනුවෙන් මහන්සි වූ ජීවිත දුන් සහ මේ වගේ අයට ඒ තුවාල තාම තියනවා.
ReplyDelete"යුද්ධය පැවති වකවානුවේ ඒ ආශ්‍රිත පළාත්වල සේවය කළ අප සැමගේ ජීවිත ආරක්ෂා වුන නිසා අද අපි අපේ අය එක්ක සුවසේ සිටින්නෙමු. ඒත් ජීවිත කැප කළ ඔවුන් අද මෙසේ නොයෙක් ආකාරයෙන් අසරණව සිටී."
ReplyDeleteඔය දේවල් කීයෙන් කී දෙනාටද අක්කෙ මතක තියෙන්නෙ? ඒ කාලෙ නම් බොහෝම උජාරුවෙන් කතා කලේ 'අපේ හමුදාව' කියල. දැන් ඉතින් යුද්ධෙ නැති නිසා ඒ මිනිස්සු වැඩක් නෑ අපේ උන්ට. ලංකාවෙ අපිට බොහොම ඉක්මනට මුල අමතක වෙනව නෙ. අර චැනල් 4 වීඩියෝ එක අල්ලගෙන මුලු හමුදාවම වැරදි කාරයො කියල හංවඩු ගහන්න හදන බ්ලොග් කාරයෝ පවා ඉන්නවනෙ. අද අපි බයක් නැතුව පාරක බැහැල යන්නෙ ඒ මිනිස්සු නිසා කියල ඕකුන්ට මතක නෑ.
මේවගේ කීදෙනෙක් නම් ඇත්ද?යුද්දයෙන් ඇතිවෙච්ච "තුවාල" මැකෙන්න තව පරම්පරාගානක් ගතවෙයි.
ReplyDeleteඒ මිනිස්සුන්ගෙ යුද්ධෙ තවම ඉවර නැහැ. තව වසර ගණනාවක්, සමහරවිට ජීවිත කාලයම පවතීවි. ඔවුන්ගෙ ලෙයින් දහදියෙන් දිනා දුන් බිමෙහි අස්වැන්න නෙළාගන්නවුන්ට මතකවත් තියේද මේ මිනිසුන්ව?
ReplyDeleteමෙවැනි වීරයන් කීදෙනෙක් නම් තවමත් යුද්ධය නිසා අසරණව ඉන්නවා ඇතිද... මේ යුගය අමතක කරලා අපේ මිනිස්සු දැන් පාට පාට වලට බෙදිලා උන් උන්ව මරාගන්නේ පොදු හතුරෙක් නැතිහින්ද කියල මට හිතෙන්නේ... අපේ මිනිස්සු දැන් මෙහෙම අය ඉන්නවද කියලවත් දන්නේ නැහැ... අපි යුද්ධය දින්නට මනුස්සකම් අතින් ගොඩක් පැරදිලා ... doctor මේ දේවල් ලියල දැනුවත් කරනවට ගොඩක් පින්
ReplyDeleteඔන්න රණවිරුවන්ට ගිය කල... අඩු ගානෙ ඔය වගේ තත්වයක් තියෙද්දිවත් පඩිය හදාගන්න ඇවිදින්න සිද්ද වෙන්නෙ නැති තැනට වැඩ කරන්න අපිට බැරී වුණානෙ..
ReplyDeleteතවත් “කොණක්“ ගැන හිතන්න පෙළඹෙන “අනිත් කොණේ“ හෘදයාංගම සටහනක් ...
ReplyDeleteමේ වගේ සින්දු කියන මල්ලිලාත්.. සින්දුවක්වත් කියාගන්න බැරිව ඉන්න මල්ලිලාත් මේ කුරිරු යුද්යෙන් අපිට ඉතුරු කලා..
ReplyDeleteමෙයාලගේ අඹුදරුවෝ, දෙමාපියන් මොනතරම් දුක් විදිනවා ඇත්ද??
දැනටමත් බොහෝ අයට අමතකයි මොවුන්කල සේවය හා කැපකිරීම්.බොහොම ස්තුතියි මොවුන් වෙනුවෙන් සටහනක් තැබුවාට.
මම ඩොක්ටර් රුවන් එම්. ජයතුන්ගගෙ "සංග්‍රාමයෙන් පසු" කියන පොත මිලදී ගත්ත 2008 දි. තවමත් කියවල ඉවර කලේ නැහැ. කතා 1-2ක් කියවන කොට ඒ ගොල්ලන්ගෙ ජීවිත ගැන හිතන කොට කඳුලක් ඇහැට නැගෙනවමයි..
ReplyDeleteයුද්දෙන් මටත් අහිමි වෙච්ච දේවල් බොහොමයි ..
ReplyDeleteබොහොම ස්තූතියි මේ ලිපිය ලියලා අපේ හිත් වලට පොඩ්ඩක් හරි තට්ටු කිරීම ගැන ..
යුද්දය අවසන් වුනාට සැබෑ යුද්දය පටන් ගත්තේ ඊට පස්සෙයි! යුද සෙබලුන් සියලු දෙනාට අනිවාර්්‍යයෙන් conslng කල යුතුයි..එය කොයි තරම් දුරට වෙනවද කියල මං දන්නෙ නෑ!
ReplyDeleteමෙහෙට වැස්ස සහ අකුණු සැර එනිසා පරිගණක භාවිතය අවම කර ඇත. වැස්ස පටන් ගන්නේද අපිට නිවාඩු වෙලාවටමය. අදහස් දැක්වු සැමට ස්තුතියි. වෙන් වෙන් වශයෙන් පෙර පරිදි මගේ ප්‍රතිචාර ලියන්නට නොහැකිවීම ගැන කණගාටුයි. සමාවෙන්න
ReplyDeleteමුණු පොතේ යාලුවෙක් දාලා තිබුණු ලින්ක් එකකින් ආවේ...කියෙව්වා, එත් කමෙන්ට් කරන්න කිසිම දෙයක් හිතට එන්නේ නැහැ...just sad
ReplyDeleteඔවුන් වෙනුවෙන් කල යුතුදේ බොහෝමයි. එය අප සැමගේ යුතුකමයි. මේ ගැන කතා බහ කරන බොහෝ දෙනෙකුගේ අදහස් වලට වඩා බෝධිනී මට ඔබේ මේ ලිවිල්ල වටී. මන්ද ඔබ මේ දුක් කන්ද අත්දැකීමෙන් දත් බැවිනි.
ReplyDelete