මම සිහිනයක් දකිමින් සිටියෙමි..... විඩා නොදැනෙන ක්ලිනික් දිනයක් ! කෑකෝ ගැසීම් නො ඇසෙන ක්ලිනික් දිනයක්. බොහොම සුව පහසුවෙන් ඇවිදින් හිඳගෙන සිනාපිරි මුහුණින් එකිනෙකා හා කතා බස් කරන දොස්තරලා සහ රෝගීන්...අමාරුවෙන් මග සොයා යා යුතු නොවන රෝගීන් පිරී ඉතිරී නොගිය කොරිඩෝ, ක්ලිනික් කාමර සහ බාහිර රෝගී අංශයක්. බොහොම සැනසිල්ලේ රෝහලට පැමිණ, උදෑසන සිට පෝළිම් වල රස්තියාදු නොවී, තමන්ගේ දොස්තර මුණ ගැහී කතා බස් කර සැනසිල්ලේ බෙහෙත් ගන්න පුළුවන් දවසක් ! එහෙම දවසක් කවදා ඒවිදැයි මම මෙන්ම ඔවුන්ද සිහින දකිනවා ඇතැයි මට සිතේ.
ඕනෑම ඒකකයක වැඩ කරද්දි ගොඩක්ම වෙහෙස දේ තමයි සතියට දෙතුන් පාරක් පවත්වන ක්ලිනික්. මේවට එන්නේ වාට්ටු වලින් රෝග නිර්ණය කලාට පසුව දිගු කාලීන ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්. ඔන්න ඉතින් මේවායේ වැඩ කරන අපටත් , සුළු සේවකයොන්ටත් , සහභාගි වෙන රෝගීන්ටත් එදා දවසනම් ඉතාම වෙහෙසකර දිනයක් ඒ බව අපි අත්දැකීමෙන් දනිමු.
ක්ලිනික් පටන් ගන්නේ උදේ 8 උනත් මේ රෝගීන් පාන්දර 5 සිට රෝහල් පෝලිම් වල. සමහරු බස් අල්ලා ගන්න බැරි නිසා ඊට කලින් දිනයේ පැමින රෝහලේ කොරිඩෝ දිගට තැන තැන නිදා ගෙන. අනේ සමහර වේලාවට වාට්ටුවේ ඇඳන් වැඩිපුර තියේනම් කතා කරලා දෙන්න ගිහින් සේවකයින්ගෙන් නෝක්කාඩු අහගත්තු වෙලාවලුත් නැත්තේම නෑ. රෝහල කියන්නේ ඉතින් නවාතැන්පලක් නෙමෙයිලු නේ !.
ඔන්න ක්ලිනික් එකට අපි යනකොට, ඒ කාමරේ දොරත් අහුරගෙන ලෙඩ්ඩු පිරිලා.. ඉඩ දෙන්න ඉඩ දෙන්න කියාගෙන යද්දි ඉතින් වාසනාවකට ස්ටෙත් එක කරේ තියෙන්නේ නැත්නම් අපිවත් ඇදලා අරගෙන පෝලිමට දානවා සිකුරුයි.
ඊළඟට ඉතින් එක දිගට බලාගෙන බලාගෙන යනවා, ප්‍රෙෂර් බලලා කොහොමද අහලා, පරීක්ෂන කරලා නම් ඒවා බලලා, බෙහෙත් අඩු වැඩි කරලා, නැත්නම් ඒවම ලියලා ඔක්කොම කරලා කොහොම හරි අපි එක්කෙනෙක් ලෙඩ්ඩු 100 වඩා බලනවා. ඒ අතරේ අපේ සුළු සේවකයින් මහා රෝගී ජන ගංගාව එහා මෙහා කරන්න සත්තම දාන එකත් ඇහෙනවා. පව්නේ ලෙඩ්ඩු. ඉතින් ඒකටත් මොනවා හරි කියනවා. කොහොම හරි පැය ගණන් පෝලිමේ ඉඳලා හිටගෙන ඉඳලා, බැණගෙන දොඩාගෙන අපි ළඟට එද්දි ප්‍රෙෂර් තියෙන අයගේ ප්‍රෙෂර් දෙගුණ තෙගුණ වෙලා.... ඊළඟට සමහරුන්ට කැරකිල්ල, උදේ ඉඳන් කාලා නෑනේ.
{හැබැයි අපේ විශේෂඥ වෛද්‍යතුමියටත් හිතා ගන්න බැරි අපි කොහොමද උදේ ඉඳන් හාමතේ ඉඳගෙනත් හිටගෙන වැඩ සේරම කරන්නේ කියලා . මේ පළාතේ විශ්ව විද්‍යාලයේ ළමයි කෑම නොකා කලන්තේ දාලා නිරන්තරයෙන් ඇඩ්මිට් වෙන සිරිතක් තියෙනවා.
ඔහොම ආපු දරුවෙක් කීවේ උදේ ආහාර වේල මග ඇරුනු බවයි. අපේ මැඩම් ගත් කටටම " මේ මගේ ඩොක්ටර්ස්ලා රෑ පුරාම ඇහැරලා , උදේට කාලත් නෑ. ඒගොල්ලොන් ඔහොම කලන්තේ දාන්නේ නෑනේ. " කියලාඅපිව පෙන්වමින් කීවාය. අපිට හරිම සතුටක් දැනුනා. අඩු තරමේ අපි මැරීගෙන කරන වැඩ කන්දරාව මැඩම්ට තේරෙනවනේ කියලා. දැන්නම් වැඩ අඩු වෙලත් උදේ කෑම වෙලාවට කන අපි, අච්චර වැඩ කන්දරාවක් එක්ක කොහොම නොකා නොබී වැඩ කරාද කියලා හිතෙනවා. }
දැන් ඔන්න ආයෙත් ක්ලිනික් එක... ඉතින් සමහරුන්ගේ ප්‍රෙෂර් කොයි තරම්ද කියනවානම් එසැනින් ඇඩ්මිට් කරන්න වෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඉතින් කාලා බෙහෙත් බොන මේ අය බස් එකට එන මහා පාන්දර ඉඳන් මේ වෙනකම් තේකක්වත් නොගෙන බෙහෙත් ගන්න පොර කන නිසා උදේ ප්‍රෙෂර් පෙති වඩිය මග හැරුනු නිසායි. ඔන්න ඊට පාස්සෙ එහෙම එන අයට රෝහල්ගත වෙන්න කියලා කිව්වම එතනත් ප්‍රශ්න " ගෙදරට කියලා ආවෙ නෑ. හෙට ඇවිත් ඇඩ්මිට් වෙන්න ද ?"
"අදට බෙහෙත් ටීක දෙන්න ආයෙ පස්සෙ ඇවිත් ප්‍රෙෂර් බලාගන්නම්"
" ඇඩ්මිට් වෙන්න නම් බෑ. දුවට බබා ලැබිලා, පුතාට විභාග, අල්ලපු ගෙදර ඇන්ටිගේ පුතාගේ ළමයගේ මගුල්ගෙදර "
ඔය වගේ නොයෙකුත් හේතු... හරියට අපි මේ ආසාවට ඇඩ්මිට් කරනවා වගේ. බැරිම නම් ඉතින් එවෙලෙම බෙහෙත් බීලා පැය බාගෙකින් පැයකින් ප්‍රෙෂර් බලලා, උපදෙස් දීලා තත්වයේ භයානක කම කියා දී ගෙදර යවනවා. සමහරුනම් අපිට බැන බැන ගෙදර යනවා.
ඒ අතරේ මේ අයගේ පරණ බෙහෙත් පොත් ( ඒ අයට වෙනම බෙහෙත් නීකුත් කරන පොතක් තියෙනවා, හරියට ඉස්සර කාලේ හාල්පොත වගේ, හැබැයි මේකනම් විකුණන්න උකස්තියන්න බෑ)
නිකුත් කරන කවුන්ටරයේ ඉන්න සුළු සේවකයොන්ට ඒ පොත් හොයාගන්න බැරි වුනොත් ඉතින් ඒ අයත් එක්ක රණ්ඩු, බේරගන්න බැරිම වෙනකොට අපි ළඟට එනවා , දෙගොල්ලොම, ඔන්න ඉතින් ලෙඩ බැලිල්ල පැත්තක තියලා රණ්ඩු බේරනවා. සමහරු දවල් වෙලා ඇවිත් පොත් නිකුත් කරන කවුන්ටරය වැහුවම ඒකටත් අපිව සොයන් එනවා. ඔක්කොම ඉතින් අපේ කර මත. රෝගින් දන්නවා අපිට කිව්වොත් ඉතින් කොහොම හරි වැඩේ කෙරෙන විත්තිය. අපි කොහොමද සායනයට එන අයව හිස් අතින් ගෙදර යවන්නේ.
ඔහොම ඉන්න අතරේ.... බැරිවෙලාවත් තමන්ට පුරුදු දිගු කලක් බොන පෙත්තක පාට මාරු වුනොත් ආයෙම හොයාගෙන එන්නේ අපිව. ඉතින් පාට බේරුමක් කරලා පෙති ටික හරි ගස්සලා හිතත් සනසලා දෙන්නත් වෙන්නේ අපිට.
ඒ අතරේ අපි ලියන පොතක අතපසු වීමක් හරි වැරදීමක් හරි විශේෂඥ වෛද්‍ය තුමියට හරි තූමාට හරි ගියොත්.... ඒකටත් ආයෙත් අපව සොයා පණිවිඩ එවනවා. මහා රෝගී ගඟ මොහොතකට නවතා ඒ අය වෙත දුවලා ඒකත් බලනවා, බැනුම් අහනවා, වැරදි හදනවා කපනවා ලීයනවා.
කොහොම කොහොම හරි රෝගීන් බලනවා. උපරිම කාලය එක්කෙනෙකුට මිනිත්තු 3 හෝ 4 යි. ආපු අලුත ඔන්න ඉතින් ගොඩක් වෙලා අරගෙන කොහොමද කියලත් අහලා නාඩි පෙණහළු හර්දය ඔය ඔක්කොම චෙක් කරපු නිසාත් මගේ පෝළිම ඉතා දිගට විහිදී එහි අඩුවක් ඇති වුනේ නැති නිසාත් සුළු සේවිකාවක් ඇවිත්, ඩොක්ටර් ඔහොම බෑ ඉක්මනින් බලන්න ... ඔන්න ඩොක්ටර්ගේ ලයින් එක විතරක් හොඳටම පිරිලා අද " යැයි කීවා මතකය.
ඉතින් ඔන්න අන්තිමට ක්ලිනික් එකේ සුළු සේවකයින් ඇවිත්, "හරි ඩොක්ටර් ඉවරයි ..." කියද්දී තමයි අපිට සැනසුම් සුසුම් හෙලෙන්නේ....
මගේ අදහස නම් ලංකාවේ රෝගීන්ට අපි නොමිලේ බෙහෙත් දෙන එකට වඩා බලන්න ඕනෙ රෝගීන් ඇති නොවෙන වැඩ පිලිවෙලක් ඇති කරන්න, සහ තව වෛද්‍යවරුන් වැඩියෙන් පුහුණු කරන්න. ඉතාමත් අනාධිමත් කාලයක සිටම ලංකාව කියන්නේ අධ්‍යාපනය, වෛද්‍ය වෘත්තිය වගේ දේවලින් ලෝකෙන්ම ඉහලින් සිටි රටක්. ඒ ගුණය අදත් පේනවා. ඒ නිසා පෙර අපේ වෛද්‍යවරු රෝගීන් සොයාගෙන ගියා වගේ අද අපි ක්‍රමයක් ඇති කරනව නම් රෝගියා ලඟට ගොස් ප්‍රතිකාර කරන, එතකොට ඉතාමත් අත්‍යාවශ්‍ය රෝගීන් අපිට රෝහල් ගත කරන්න පුළුවන්. අනික රෝගියාට අවශ්‍ය නියම වෛද්‍ය උපදෙස් ලබා දීමේ පහසුවත් ඇති වෙනවා.
ReplyDeleteවෛද්‍ය අධ්‍යාපනය ගත්තහම මම හිතන්නේ වෛද්‍ය විද්‍යාල 30 - 40 දමාලා හරි අපි වෛද්‍යවරුන් ඇති කලාට කමක් නැහැ. අපිට ඔවුන් ලෝකයට යවන්න පුළුවන්. මම දන්නවා ලංකාවේ වෛද්‍යවරුන්ට ලෝකයේ තිබෙන තැන.
මම මේ කියන්නේ බටහිර, ආයූර්වේද කියන අංශ දෙකම ගැන.
දවසක් අනුරාධපුරේ මහ ඉස්පිරිතාලෙට ගියා අප්පේ මේ ඇවිත් ඉන්න ඔක්කොම ලෙඩ්ඩුද කියල හිතුනා,මාර සෙනගක්නේ ඉන්නෙ.
ReplyDeleteහැමදේටම වෛද්‍යවරුන්ට බනින රෝගීන්ට බලන්න කදිම ලිපියක්. හරි අපූරුවට පැහැදිලි කරල තියනවා. දොස්තරල කියන්නෙත් මනුස්සයෝනෙ.. හොද වෛද්‍යවරයෙක් කියන්නේ දෙවියෙක් මටනම්.. අපි හැමෝම අවසනේ යන්නේ පිහිට පතාගෙන මොවුන් ලගටනේ...ඔවුන් අප වෙනුවෙන් කරන සේවය මිල කල නොහැකියි...
ReplyDeleteඅගනා ලිපියක්.
ස්තුතියි.......
ඔය කියන සෙවාව ගැනනම් අවන්කවම ස්තුති කරන්න ඔනේ. එත් මිට එහා පරිබාහිර පැත්තකුත් තියන්වා නේද?
ReplyDeleteඅසනීපයක් වෙලා ගතත් අබලන් වෙලා.. හිතත් අබලන් වෙලා ඩොක්ටර් ලඟට ගියාම හරියට බලන්නෙ නැහැ..ලෙඩේ ගැන ඇහුවත් හරියට අහන්නෙ නැහැ..ටුක් ගාලා බෙහෙත් ලියල දෙනව කියන නුරුස්සනා හැඟීමක් මටත් බොහොම කාලෙකට උඩදි තිබුනා..පස්සෙ ටික ටික ඇත්ත තත්වෙ තේරෙන කොට..ඒ හැඟීම නැතුව ගියා..ඒ එක්කම දුටුවා.. විනාඩි කිහිපයක් තුල අපි කියන වචන 2-3කින් හරියටම ලෙඩේ අඳුරගෙන.. බෙහෙත් දෙන කාරුණික හදවත...මේ ලිපිය පුරාවටම ලියල තියෙන අපි නොදකින සීමිත කාලයක් තුල කරන මහා යුද්ධය...හිතේ තියෙන හැඟීම් කියන්න තරම් වචන පොහොසත් නැහැ...
ReplyDeleteඇත්තටම හොද වෛද්‍යවරයෙක් කියන්නෙ දෙවි කෙනෙක්.මමත් මේ දවස් වල දිගටම ක්ලිනික් යනවා. ඒක නිසා කතාව නම් ඇත්ත.වෛද්‍යවරයා අදුරන රෝගීනට ඉක්මනින් අවස්ථාව ලැබෙනවා.මේක තමයි ඇත්ත.ඔයාගේ ඔය කියවන සේවයට නම් අවංකවම ස්තූති කරන්න ඕන.ඒත් මීට වඩා වෙනස් පැත්තකුත් තියෙනවා...........
ReplyDeleteපාසැල් කාලයේ සිට ම උදේට කාලා නෑවිත් කලන්තෙ දාලා වැටෙන ළමයි දැකලා තියනවා. කැම්පස් වල කහට තේ කෝප්පයෙන් විතරක් දවස ගෙවන අය දැකලා තියනවා. ඉතින් මට හිතෙන්නෙ උදේ කෑම විතරක් නෙමෙයි ඊට කළින් දවසේ දී ද හරි හැටියකට කෑම ලැබිලා නැති නිසාත් වෙන්නැති.
ReplyDeleteඅද ලංකාවේ බෙහෙත් ගන්න යන අය වැඩි වැඩියෙන් ඉන්නවා කියලත් හිතෙනවා යාළුවොන්ට නෑදෑයන්ට කතා කරද්දී ... ජීවන රටාව හැඩ ගැසිලා තියෙන්නෙ ලෙඩ දුකක් හැදෙන කම් සෞඛ්‍ය ගැන නොතකා සිටින්න ද කියලත් හිතෙනවා ඒ අයගේ හැදියාවන් ඇහෙද්දී.
පාසැල් වයසේ ළමයෙක්ගෙ අම්මා කෙනෙක් එක්ක කතා කරද්දී (වෙනත් ප්‍රශ්නයක් විසඳන වෑයමක දී) හැමදාම උදේ බේකරි කෑම කන්න ළමයාට සල්ලි දෙන බව දැනගන්නට ලැබුණ. ඇයි උදේ කෑම ගෙදර දී හදා ගන්න බැරි? අම්මා වැඩට යන කෙනෙක් ද නෙවේ. උසස් පෙළ ඉගෙන ගන්න දරුවා ගෙදර දී හදන කෑම කන්න අකමැතිලු. මාර ප්‍රශ්න අම්මලයි දූලයි හදාගෙන තියෙන්නෙ කියල හිතුණ.
බෙහෙත් පෙත්තකින් තත්වය සමනය කරන්න පහසු යැයි සිතන අය වැඩියි. ජීවන රටාව වෙනස් කිරීම ඊට වඩා සිරුරටත් මනසටත් හිතකර බව දකින්න හැකි අය හරි අඩුයි.
කදිම ලිපියක් doctor ... මෙවැනි දේ අප සමග බෙදා ගැනීම ගැන නැවත නැවතත් ස්තුත්යි...
ReplyDeleteවෛද්‍ය සේවාවන්හි නියම බර , වගකීම සහ ලංකාවේදී මුහුණ දෙන ප්‍රධානතම ගැටළු පිළිබඳ හොඳ විවරණයක් වන සටහනක් , බොහො විට සෞඛ්‍ය සේවකයන් වෙත විවිධ ගැටළු මතුවිමේදි ප්‍රධානතම සාධකයක් වන්නේ මේ අධික තදබදය , කෙතරම් අධික රෝගීන් සංඛ්‍යාවක් මිටියත් අපි මේ සියල්ලනට සත්කාරය ලබා දෙන්න උත්සාහ කළත් රෝගියා බොහොවිට සිතන්නේ තමන්නේ කාර්ය පමණක් ඉක්මණින් කර ගැනීම ගැන , ඒ අපේ වෙනත් දුෂ්කරතාවක් මඟ හරවා ගැනීමට වෙන්න පුළුවන්, නමුත් ඒ පීඩනයත් දරා ගන්නේ මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයමයි ...සරළ , වැදගත් ලිපියක් ...පළමු පැය තුල පැමිණ කියවූවත් සටහනක් තබන්නට ප්‍රමාද වුනා ,
ReplyDeletewell written AK, what about the temper tantrums when they miss clinics for months and come with heeps and loads of excuses. Write more v r waiting
ReplyDeleteඅපොයි, කතා කරන්න ගියොත් සසර එපා වෙන මාතෘකාවක්. :-)
ReplyDeleteකොච්චර ප්‍රශ්න මැද්දෙ කරන වැඩක්ද? අර අනගාරික ධර්මපාලතුමා කිව්ව දෙවල් සිහියෙ තියන් කරන්න ඕන වැඩක්.
අපි ලෙඩ්ඩුනේ .. ඉතින් අපිට ඔය පැත්ත පෙනෙන්නේ නැහැ.. සටහන කිය්වුවම තේරෙනවා දවසක් කොයිතරම් වෙහෙසකරද කියල. වයිද්යවරයෙක් ගැන මුලින්ම මට ලොකු ගවුරවයක් ආවේ මන් කොළඹ හදිසි අනතුරු වාට්ටුවට ඇතුල් කල දවසේ. මගේ නහය කැඩිලා එල්ලිලා තිබුනේ හදිසි අනතුරකට බඳුන්වීමෙන්.. එක මහල තිබුනේ අලුතින් පත්වෙලා ආපු පුංචි දොස්තර මහත්තයෙක් මට කිවූ විදිහට. .. කැළල ටික දවසයි තිබුනේ. ටික කලකින් එතන විසාල කැපුමක් නොතිබුන ගන්නට සුව උනා. ඒ කාලේ මං වයස විසිගානක තරුණය නිසා මගේ ලොකුම බය තිබුනේ විරූප වීම ගැනයි.. සිහිය එනකොට මන් අහල තියෙන එකම ප්‍රශ්නෙත් ඒකයි..
ReplyDeleteමහ වෙදනා - අපිත් හිතන්නේ ඕකමයි. වෛද්‍ය පුරප්පාඩු කොච්චරද, අනුරපුර රෝහලේම 100 පමණ තිබෙන එකේ ඈතට ඈතට යන්න කොයිතරම්ද.ඇත්තටම අපේ සමාජයේ වෙදකම ඉතා ඉහළින් සලකනවා.
ReplyDeleteනදී - හැමදාම එහෙම තමයි. සෙනග ගංගාව කොයිතරම්ද ?
ගිම්හානි - ඇත්තට කරන සේවය ඇගයීම ගැන ස්තූතියි. ඒත් හැම වෛද්‍යවරයාම එහෙම නොවෙන නිසා තමයි ගැටලු පැන නගින්නේ. අපිට ඉවසීම ප්‍රගුණ කරන්න හොඳම තැන තමා රෝහල.
පිස්සු පූසා - ඔව් ඇත්තට මෙය පැති කිහිපයකින් දකින්න පුළුවන් , අපේ පැත්තෙන්, ඊළඟට සුළු සේවකයින්ගෙ පැත්තෙන්, රෝගීන්ගේ පැත්තෙන්, ඉල්ලුම තරමට සැපයුම නම් නෑ තවම අපේ රෝහල් වල.
weni - මම ඇත්තටම බලාපොරොත්තු වුනේ මීට වඩා වෙනස් ප්‍රතිචාර, බැනුම් අහන්න වෙයිද කියා සිතුනා අපේ පැත්ත ගැන විතරක්ම ලියලා. එනිසා ස්තූතියි අගය කිරීමට.
කවිකාරි - ඔව් අපටත් දෙවීයන් කියා වැඳ වැටෙනවා මිනිස්සූ. ඔවුන් ඒ තරම් එවෙලෙට අසරණ වෙනවා. අපි තේරුම් ගන්න ඕනේ අප කොයි තරම් ඔවුන්ට වැදගත් ද වටිනවාද යන්න එවිට රෝගීන් හට ඉතා අගනා සේවයක් කරන්න පුළුවන්
arunishapiro - සහතික ඇත්ත. යාන්ත්‍රික ජීවන ක්‍රමයකට මිනිස්සු හුරු වෙලා. ඔය කඩචෝරු සෙල්ලම නීසා අයිස් පැකට් කාලා සෙම හදාගෙන කොච්චරනම් දරුවෝ ප්‍රමාණයක් බාහිර රෝගී අංශයට එනවද ? අපිට එහෙම හෙම්බිරිස්සාවක් කැස්සක් හැදුනත් කොත්තමල්ලි තම්බලා දෙනවා ඇරෙන්න ඉස්පිරිතාලේ ගියෙ නෑනේ ඒකට අද ? එක දවසේ හෙම්බිරිස්සාවටත් රෝහල්ගත වෙන්න තදියම. ජීවන රටාව සහ ආහාර පාන මේ දෙක හරියට හරිගියොත් ලෙඩ රෝග වලින් ඈත් වෙන්න ලේසියි.
ReplyDeleteදිනූෂා - ස්තූතියි ඇගයීම් වලට !
මහේෂ් - ඔබේ අගය කිරීමට ස්තූතියි. ඔව් ඇත්තටම ඒක නිසා තමයි, සුළු සේවකයින් සහ රෝගීන් ගැටුම් ඇති කරගන්නේ.
දිල් - ඔව් ක්ලිනික් නොඇවිදින් මාස ගණන් බෙහෙත් නැතුව ඉඳලා ලෙඩ වැඩිකරගෙන ආවම නම් තරහා එනවා. අපිට තරහා යන්නේ ඔවුන්ගේ ජීවිත ගැන ඔවුන් තැකීමක් නොකරන නිසානේ.
නලිනී අක්කා - සසර එපා වෙනවා. හෙම්බත් වීමේ උපරිමය තමයි ක්ලිනික් පැය 2-3.
සරත් ලංකාප්‍රිය - ස්තූතියි. ඇත්තටම අගය කිරීම සතුටක්. දෙපැත්තක් තියෙනවා. දෙපැත්තම හරි තමයි අපිට හිතෙන්නේ අපි හරි කියලා.
Clinic පටන් ගන්නෙ උදේ 8.00 ට නම් ඔයාලට උදේට කන්න බැරි වෙන්නෙ ඇයි ?
ReplyDeleteඒ ක්ලිනික් එකට කලින් වෝඩ් රවුන්ඩ් හෙවත් වාට්ටුවේ නේවාසික ලෙඩුන් බලන්න වෙන නිසා ඒක උදේ පාන්දර 6.30 හෝ 7.00 පමණ පටන් ගන්නේ.. යාන්තම් 8 වෙද්දි තමයි ඉවර කරගන්නේ. ඒ එක්කම එක හුස්මට දුවන්නේ ක්ලිනික් එකට.
Delete