Sunday, July 24, 2011

මහසෝනා, සූනියම් අප්පච්චී සහ වැරදුනූ ගුරුකම්

උදෑසන සායනික වටය අවසානයේ මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍ය කාමරයේ අප සාකච්ඡා කරමින් සිටියේ එදින යන්නට නියමිතව සිටි ප්‍රාදේශීය රෝහලක සායනක් පිළිබඳවය. වැසුනු රෝහල් අලුතින් ඇරීම කෙසේ වෙතත් පවතින රෝහල් වලද වෛද්‍යවරු හිඟය බොහෝ සෙයින් වේ. එනිසා අප මහ රෝහලේ වෛද්‍යවරුන් සැරෙන් සැරේ මාසිකව අවට ප්‍රාදේශීය රෝහල් බොහෝමයක සායන පවත්වන්නේ රෝහලේ වැඩකටයුතු වලට අමතරවය.

ගැහැණියකගේ විලාපයක් ඇසුනේ මෙවිටය. මෝචරිය මේ අසල නිසා එහි ගෙන ආ මළ රෝගියෙකුගේ පිරිස මෙලෙස වැලපෙද්දී ඒ හඬ මෙදෙසට ඇසේ එනිසා අප කළබල වුනේ නෑ. නමුත් ටික වේලාවකින් අපි දුටුවේ ට්‍රොලියක තියාගෙන හතර පස් දෙනෙක් අත පය අල්ලා ගත් කාන්තාවක් කෑ ගසමින් ට්‍රොලිය වේගයෙන් කොරිඩෝව දිගේ මෙදෙසට ඇදී එන බවයි. සිංහල භාෂාවේ නරකම වචන ඇගේ කටින් පිටවේ.
.... මගේ මොළය පුච්චන්න නේද යන්නේ... යනුවෙන් ඈ කෑ ගසයි. මා සමග සිටි අනෙක් වෛද්‍යවරයා දමිල නිසා ඔහුට එතරම් ඈ ආවේගශීලී ලෙස කියූ දෑ නොතේරුණ අතර ඇය ගෙන ආ ඇගේ සැමියා පැවසුවේ ඇයට මල ගිය පෙරේත දිෂ්ඨියක් ඇති බවය.
එවිටම ඕ පී. ඩී. එකෙන් කෝල් එකක් ආවේ එහි සිටි රෝගීන් ඇතුලත් කිරීමේ කාමරයේ වෛද්‍යවරයාටද ඇය පහරදුන් බව කියමිනි.
ආවේගයත් කෝපයත් එක සේ ඇවිස්සුනු ඒ වෙලාවේ ඇයට කතා කිරීම අපහසුය. සන්සුන් වීමට නින්ද යෑමට එන්නත් විද ඇය ඇඳට දමා අත පය ගැට ගැසූ සාත්තු සේවකයින් පිරිස යන්නට සැරසේ.
ඇයට අපී සුනීතා කියමු. 29 හැවිරිදි වියේ වූ ඇයගේ මුහුණින් කියා පෑවේ ඉතා දුෂ්කර ජීවිතයක සලකුණුය. අපි .... අහවල් පළාතෙන් ඇගේ සැමියා ඔවුන්ගේ තොරතුරු හෙළි කරන්නට විය. මම සහ අපේ ඒකකයේ උපදේශන සේවයේ නියුතු උපදේශකතුමිය , ඇගේ ස්වාමිපුරුෂයා සමග කතා බහ කළෙමු.
"මෙයාට පේන කියන්න පුළුවන්න් වරමක් තියෙනවා කිව්වා. ආවේසයකුත් එනවා. ගෙවල් වටේම ඉන්න නෑයෝ ඉරිසියයි. ඒකනිසා ගුරුකම් කරනවා. මම රැකියාව කරන්නේ මෙහෙ , මෙයා මාව හොයාගෙන ඇවිත් තිබූනා. අපට දරුවන් දෙන්නෙක් ඉන්නවා"

"ගමේ ඉන්න බෑ වටේම නෑයෝ අපට කරදර කරනවා, ගූරුකම් කරනවා. මෙයාගේ මොලේ අවුල් වුනෙත් ඒ අය ගුරුකම් කරලා.. ඒ ගුරුකම් කපන්න මම වරින් වර රු. 50 000 සහ ලක්ෂ දෙකක විතර මුදලක් වියදම් කරා."

"ඉතින් ඊට පස්සේ හරි ගියාද ?" මම ඇසුවෙමි.

"ටික දවසක් හොඳින් හිටියා, ඊට පස්සෙ ආයෙම මෙහෙම කියවන්න ගත්තා.මෙයාට පෙරේතයෙක් වැහෙනවා. හොඳ තොවිලයක් කරලා මිසක් ඒක අහක් කරන්න බැරිවෙනවා කියලා ගුරුකම කපපු අය කිව්වේ "

මුලින්ම ඇගේ ස්වාමි පුරුෂයාගේ මනසේ තිබෙන වැරදි වැටහීම් ඉවත් කළ යුතු බවයි අපට වැටහුනේ. ඇය, එක්සර්සයිස් පොත් දෙකක් පිරෙන්නට ඇගේ ජීවිත කතාව ලියා තිබී ස්වාමි පුරුෂයා විසින් අප අතට පත් කළාය. ඒ කතාව කියවූ අපට පසක් වූයේ ඔවුන් සීටින මුළු ගම්මානයම හදි හූනියම් ගුරූකම් පිළිබඳව විශ්වාසයෙන් සිටින බවය. මගුලක් වැරදුනත් කිසිවෙක් මියගියත් ඒ කාගේ හෝ හූනියමක් ගුරුකමක් නිසාලු, රෝගී වුනත් ඔවුන් දුවන්නේ තොවිල්පලට මිසක් රෝහල්වලට නොවේ.

"රෑට සූනියං අප්පච්චි මගේ ළඟට එනවා දරුවෝ. එයා ඇවිදින් ඔය හැමෝම කරන දේවල් මට කියනවා. මගේ මේ.... වෙන්න හේතුවත් අපේ අයියගේ පවුලයි අම්මයි එකතුවෙලා මට කරන හූනියම් නිසා"

ගුරුකම් කියන දේවල් දකින්නවත් දැනෙන්නවත් තියෙන දෙයක් නොවන බව අපි මුලින්ම ඔහුට සහ ඇයට පැහැදිලි කළෙමු. කවරෙක් හෝ කියූ පළියට, කරා යැයි කියූ පළියට ගුරුකම් පළ දරනවානම් එහෙනම් මේ ලොකේ මේ තරම් පොළිසි හමුදා හෝ අධිකරණ අවශ්‍ය නැහැ නේද ? අපි ඔහුට පැහැදිලි කර දුන්නෙමු. ගුරුකම් කියලා අන්තිමට තමන් විසින්මයි තමන්ට අවැඩ කරගෙන තියෙන්නේ.

"ඔය කියන නෑයෝ කවුරුවත් රු. ලක්ෂ ගණන් වියදම් කරලා ලෝකෙට ණය වුනාද ?
ඒ නෑයෝ යාලුවෝ කවුරුවත් මෙහෙම ඔළුව අවුල් කරගෙන රෝහල් ගත වුනාද ?
ඒ අය කාගෙවත් ගෙවල් වල ප්‍රශ්න වෙලා තියෙනවද ?
දරුවන්ට ඉස්කෝලෙ යන්න බැරි වෙලා , ගේදොර වතු පිටි පාළු වෙලා අම්මා කෙනෙක් මෙහෙම හැසිරෙනකොට ගුරූකම කරගෙන තියෙන්නේ කවූද ? තමන්ම තමන්ටම . ඒ කියන්නේ තමන්ගේම හිත නේද ? "

අපේ ප්‍රශ්ණ ඉදිරියේ ඔහු මෙන්ම ඇයත් මෙතෙක් ඔවුන් මුලා වී සිටි අන්දම වටහා ගේන මෙහි යථාර්තය තේරුම් ගත්තේය. මානසික අවපීඩනයකට ලක්වී සිටි ඇය මානසික රෝගියෙක් කියා ලේබල් අලවන්නට අපි උත්සුක නොවූයේ වටින් පිටින් පැමිණෙන කරදර බාධක දරාගැන්මට නොහැකි වූ තැන තද හිත් නැත්තෝ, යතාර්ථය වටහා ගත නොහැකි අය මෙලෙස තමන්ගේ කරදර සිදුවන්නේ අනුන් නිසා යැයි කියති. ගුරුකම් අණවින කොඩි වින නොයෙක් දෑ පසු පස දුවති.

මීට ටික කලකට කලින් මහසෝනා වැහී මෙහි ආ අනෝමා මට සිහිවේ. මුලින් ඇය කායික රෝග වාට්ටුවට ඇතුලත් කරද්දී තනියම දොඩවන එකට අමතරව කෑ ගසමින් හූ තියමින් වාට්ටුව වටේ සහ අනෙක් වාට්ටු වලට දිවීමද, කෙස් බුරුතු පිටින් කඩා ඇද දත්මිටි කෑවායි ඒ වාට්ටුවල මිස්ලා මා හා කියුවා මතකය. ඇඳට බැඳ තබා තිබුනු ඇය අප වාට්ටුවට ගෙනාවේද අත් පා බැඳ සතෙකු විලසිනි. ඇයට නිතර නිතර වැහෙන්නේ මහසෝනා බවට ගමේ කට්ටඬි මහතා හඳුනාගෙන තිබුනාලු තෝවිල්ද නැටුවාලු, කොහොම හරි අල්ලපු වැටේ ඉඩම් ප්‍රශ්නෙකට ගුරුකම් කරගෙන නඩු කියාගෙන කරදර විඳගෙන හිටිය ඇය එකපාරට මෙහෙම වෙද්දී ගමේ අයෙක් මෙහි ගෙන ඒමට කටයුතු කරලා තියෙනවා.

මෙහි ගෙන එද්දී දත කට තද කර පියාගෙන අමුතු භයංකාර බැල්මෙන් අප දෙස බල බලා දිව එළියට දමමින් හූ තියමින් වෙව්ලමින් සිටි ඇයද එක බෙහෙත් වඩියකින්ම සුව වී අත් වැඳගෙන පැවසූවේ. " අනේ මට දැන් හොඳයි සහනයයි නෝනා මේ වාට්ටුවේ දවස් දෙකක් තුනක් ඉන්න දෙන්න " කියාය. ඇගේ කතාවද ඉහත කතාව වගේමය. ඇයත් කරලා තියෙන්නේ දේවාල කිහිපයකට ගොස් මුදල් සම්බාරයක් වියදම් කර තමන්ගේ හතුරු අය වෙත ගුරුකම් කරන එකයි. මෛත්‍රී , උපේක්ෂා වැනි ගුණාංග වෙනුවට ඔවුන්ගේ හිත් වල පැල පදියම් වෙලා ඇත්තේ අනුන් තමන් වෙනුවෙන් නරක කරද්දී තමුන්ද එකටෙක කිරීම කල යුතුය යන වැරදි අගතියට මුල පුරන දෑය.
දින කිහිපයක් නොකඩවා බෙහෙත් ගත් අතර මහසෝනා ආයෙත් ඇය සොයා ආවේද නැත. අප උපදේශන සේවයේ නියුතු නිළදාරීන් විසින් මොවුන්ට නිසි උපදෙස් දී හරි මගට යොමු කරන්නේ හිත් වල ඇති වැරදි වැටහීම් තේරුම් බේරුම් කර දෙමිනි. ගෙදර ගිය විටක මේ විස්තර කියද්දී මගේ අම්මා පවා බිය වී " අනේ පුතේ බලාගෙන ඔය යක්කු වැහෙන අය ළඟට යන්නේ හොඳට බුදු ගුණ සිහි කරගන්න "කියා කීවාය.

රෑ 12 වාට්ටූවේ සිට අපේ නිල නිවාස වෙත තනියම යන අපිට නම් තවම කිසිම යකෙක් මූණට මුණ ගැසී නැත. සොහොන් පොළවල් අසලින් රාත්‍රියේ ගමන් කර ඇත්තෙමි. වාට්ටුවේ මහ රෑ පාන්දර මිය ඇදෙන රෝගීන් අසළ හිඳ නැවත නිල නිවාසයට පැමිණෙන්නේ තනියමයි. මොන මළ යකෙක්වත් මුන ගැසුනේ නැත. සියල්ල තියෙන්නේ හිත් වලයි.
දැන් අනෝමා තනියම ඇවිත් අප සායනයෙන් බෙහෙත් රැගෙන යයි. මූණත් එළිය වී ඇත. දුව සමග සිටින ඇගේ සිතට ශාන්තිය ගෙන දුන්නේ අපේ මානසික සායනය මගිනි. ඒ ගුරුකම්. යක්ෂ ප්‍රේත වැනී බාහීර බලවේගයන්හි ඇත්ත ඔවුන්ට තේරූම් කර දීමෙනි.
දැනට මහසෝනා , මල ප්‍රේත දීෂ්ඨි කීපයක් මෙන්ම ෆැකල්ටි කාලයේදී මානසික වාට්ටු තුල , රීරි යකාගේ සිට කඩවර දෙයියෝ දක්වාද පත්තිනි අම්මා, ජේසු තූමන්, මරිය තුමී , බුදුන් වැනි ලෝක පූජිත චරිත තමන් යැයි කියාගන්නා අය මෙන්ම මේ ලෝකේ විනාස නොවී බේරාගැනීම සඳහා මෙහි පැමිණී අයද දැක ඇත්තෙමි.ඒ සියල්ලන් සිටියේ මානසික රෝගී වාට්ටු තුලය.

මනස සියල්ලටම පෙරටු වේ ! දුර්වල වුන හිත නිසා හිතේ ඕනෑ එපාකම් පිරිමහගන්න අන් අය වෙත දුෂ්ඨ කම් කරමින් අවසානේ තමන්ම නැසෙන මිනිසුන් මේ ලෝකේ කොයි තරම්ද ? හානියක් වුනානම් වුනේ ඒ නපුරුකම් දුෂ්ඨකම් කරපු අයටම මිසක් ඒවා දරාගත් අයට නොවන බව ඉහත කතා වලින් ඔබට වැටහෙන්නට ඇති. එනිසා හිතේ වහලෙක් නොවී අපි හරි වැටහීමකින් අනාගතයට පිය නගමු.

ප.ලි - මේ ලිපියෙහි සඳහන් වෙන්නේ මනසින් රෝගී වූවන් පිළිබඳවය. රෝග සුව කිරීම් ගැන නොවේ.

20 comments:

  1. මනස තාමා හැමදේටම මූලික වෙන්නේ.

    ReplyDelete
  2. ඔය හොල්මන් කතා ඇතැම්විට රෝහල් සේවකයන් තුළත් තියෙනවා. අපේ සංස්කෘතියත් එක්ක පෑහී තියෙන මෙවැනි විශ්වාසයන් නිසා නිසි ප්‍රතිකාර නිසි වේලාවට නොලැබෙන, තියෙන ආර්ථික අහේණිය තවත් වැඩි කරගන්න අය එමටයි.

    ReplyDelete
  3. ඔව් එකනම් ඇත්ත... නමුත් අර කතෝලිකයින් කියන තැන "ජේසු තුමන්, මරිය තුම්ය " ගැන යම් කිසි නිවැරදි කිරිමක් වෙන්න ඔනේ... ජේසු තුමා එදා යම් කිසි ලෙසකින් ජනයා හට සුව සහනය දුන්නත් මරිය තුම්යනම් කවදාවත් ම්නිසුන්ව සුව කරලා නැ මරිය තුම්ය ජේසු තුමාගේ මැනියන් පමනයි.
    අනිත් අතින් ඔබ කියු ජේසු තුමා පෙන්වා ලෙඩ සුව කරන අය මේ සමාජයට.... පිලිලක්..!! අන්න එක නම් ඇත්ත...

    ReplyDelete
  4. @නදී - ස්තූතියි.

    @නලිනි අක්කා - ඒකනම් ඇත්ත අක්කෙ.මුල් කාලයේ අපිවත් බය කලා නේ මෝඩරිය ළඟ හොල්මන් තීයෙනව. ගැබිණි වාට්ටුවේ ලේබර් රූම් එකේ හොල්මන් තියෙනවා කියලා.

    @ වෙලාව ළඟයි - තමන් ජේසූ තුමන් හෝ මරිය තුමිය බව කියාගන්නා මානසික රෝගීන් මුණ ගැසුනේ මානසික රෝගී වාට්ටු තුලය. මේ ලිපියෙන් පාදක කර ගත්තේ රෝග සුව කීරීම් ගැන නොවේ. තමන් ගේ මනසට නතු වී නොයෙක් චරිතයන්ට ආදේශ වූවන් පිළිබඳවය. ඔබේ අදහසට ස්තූතියි.

    ReplyDelete
  5. ඔබගේ අඩවියට පාර කියපු ලාංකීය සිතුවිලි වලට ස්තූති වෙන්න ඕනි.. ලිපි ටික කියෙව්ව සේරම එක හුස්මට.. ඇත්තටම හරිම සංවේදී ලිපි පෙලක්..

    ReplyDelete
  6. මෙහෙම කතාබහක් ඔබ වැනි තැනක ඉන්නා අයෙක් විසින් සංවාදයට ගැනීම ඉතා වැදගත්. ප්‍රසිද්ධ සිංහල පුවත්පත් වලින් ඕවා හාස්කම් විදියට දාන ලිපි තවමත් කියවන්න ලැබීම දුකට හේතුවක්.

    ReplyDelete
  7. ආ ඒ බවක් මට හරියකට තේරුනේ නැනේ ඩොක්ටර් අනේ ඉතින් සමාවෙන්න ඔබතුමාට අපහාසයක් වුවානම්

    ReplyDelete
  8. වෑඩේ කියන්නෙ ඔය මන්තර ගුරුකම් කරන උදවිය දාන දැන්වීම් අපේ ජාතික පුවත්පත් වල පි‍ටු ගණනින් පළ වෙනවා. සමහර දැන්වීම් හරිම සූක්ෂමයි. හරියට පත්තරෙන් ලියන ලිපියක් වගේ පේන්නයි දැන්වීම දාන්නෙ

    ReplyDelete
  9. Weni - ස්තූතියි කියෙව්වට. අදහස් වටිනවා.

    arunishapiro - ඇත්තටම මේවා නිසා විනාස වෙන පවුල් සහ ජීවීත දැක්කම මෙහෙම නෙමෙයි මාධ්‍ය මගින් කතා කළ යුතුම දෙයක් ලෙස හැඟෙනවා. විද්‍යාව මේ තරම් දියුණු වෙලත්, මාධ්‍ය මේ තරම් මිනිසුන්ට කිට්ටු වෙලත්, අධ්‍යාත්මික සහ ආගමික නැඹුරුව වගේම availability එක වැඩි වෙලත් ඇයි තවමත් මේවා පවතින්නේ යන්න ගැටලුවක්. නොපෙනෙන බලවේග තිබිය හැකියි ඒ ගැන මම වාද කරන්න කැමති නෑ. නමුත් ඒවාට මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් කියා තවමත් සිතන එක නම් විශ්වාස කරන්න බෑ.

    වෙලාව ළඟයි - නෑ නෑ කිසිම අපහාසයක් සිදුවුනේ නෑ. ඔබේ අදහස් වටිනවා, මෙහි පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අර අපැහැදිලි තැනක් පැහැදිලි කලා පමණයි. සංවාදයේ යෙදීම ගැන සතුටුයි.

    විසිතුරු - පත්තර වලත් පල වෙනවා, මිනිස්සුත් විශ්වාස කරනවා. අන්තිමට සේරම නිසා විඳවන්නේ කරනා අයමයි

    ReplyDelete
  10. හැමදේම දෙපැත්තක් තියනවා අක්කේ.විහින් ලෙඩ වෙන අය වැඩියි.ආත්ම ශක්තිය අඩු අය හැම දේටම තමන්ට නොපෙනෙන දේවල පිහිට පතන්නේ.මිනිස්සුන්ට එන ප්‍රශ්න වලට මූන දෙන්න බැරිවුනාම ඉතිං කට්ටඩි සාස්තර කාරයො ළඟට ගිහිල්ලා අතරමං වෙනවා,,ඒත් අපට නොපෙනෙන නොතේරෙන හැම දේම ප්‍රතික්ශේප කිරීම තියෙන්නේ බටහිර විද්‍යාවෙ.ඊට එහා දේවල් තියෙන්න පුළුවන්,ඒත් යන මඟ පැහැදිළි මාර්ගය දන්න බෞද්ධ අපට ඒවා පස්සේ යන්න අවශ්‍යතාවයක් නෑයි කියන එකයි මගේ හැඟීම.

    ReplyDelete
  11. හරිම ලස්සනට ලියල තියනවා .... , ඉතා හොද ලිපියක් මෙවැනි මානසික රෝග ඇති අය විශාල පිරිසක් අපි අතර ඉන්නවා .
    ඔබගේ අඩවිය අදයි මම දැක්කෙ පාර හොය ගත්තෙ වෙද ගෙදරින් ...... පරන ලිපි කීපයකුත් කියෙව්වා ...... ඔක්කොම ලිපිටික විවේක වෙලාවක කියවන්න ඕනි

    ReplyDelete
  12. බටහිර මාණසික විද්‍යාව අසම්පූර්ණයි. ඒ පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නැති නිසා. බුද්ධාගමට අනුව, මරණයට පත් වෙන්නාගේ විඤ්ඤාණය ( ඛණඩ වශයෙන් ඉපදී මිය යාම සමගම ආසන්න චිත්තය සමග උපදින චිත්තය සමග ) වෙන භවයක උත්පත්තිය සිද්ධ වෙනවා. අවසානයෙන් පහල වූ චිත්තයට අනුව ප්‍රේත භවයක පහල වුවහොත් අවසාන වශයෙන් ඇති වූ තෘෂ්නාවට අනුව උත්පත්තියත්, නව චිත්ත පරම්පරාවකුත් බිහි වෙනවා.
    http://rightmindfulness.wordpress.com/
    මේ ලින්ක් එක බලන්න. තවද මේ පිලිබඳ සම්පූර්ණ විස්තරයක් මහාසි සයදෝව් හිමියන්ගේ පටිච්ච සමුප්පාදය නම් පොතේත්, රේරුකානේ චන්දවිමල නා හිමියන්ගේ පටිච්ච සමුප්පාද විවරනය යන පොතේත් විස්තර සිහිතව තිබෙනවා. බුදු රජාණන් වහන්සේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියල දේශනා කරල තියෙන්නෙ, සියල්ලටම මුල් වන්නේ සිත බව යන බව සැබෑය. නමුත් ප්‍රේත භූත කරදර නැති බවක් දේශනා කොට නැත. බටහිර මනෝ විද්‍යාවේ අඩු ලුහුඬු තැන් හඳුනා ගෙන බෞද්ධ අභිධර්මයේ සත්‍යතාවයත් සම්පූර්ණත්වයත් හඳුනාගන්න වෑයම් කරන්න. මම දන්න හැටියට බටහිර මනෝවිද්‍යාව සත්‍ය බව පිලිගනියි නම් ඒ චිත්තය "සෝමනස්සසහගත දිට්ඨිගත සම්පයුත්ත අස්ංකාරික ඒකම්" වශයෙන් හඳුන්වන අකුසල් චිත්තයකි.

    ReplyDelete
  13. ඉහත ප්‍රතිචාරය හා සම්බන්ධයි. බටහිරෙන් එන මනෝ විද්‍යාව පිලිගන්න බැහැ කියන්නෙ ඒකෙ තියෙන සිද්ධාන්ත අසත්‍ය නිසා. උදාහරණයක් වශයෙන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දෙස බලන්න. ඔහු සාමාන්‍ය මනුශ්‍යයෙක් කිසිම භාවනාත්මක ප්‍රඥාවක් ඔහුට නැහැ. ඔහුගේ සිත පවා පිරිසිදු නැහැ. ඔහුට දාව ඔහුගේ බිරියගේ සොයුරියට දරුවෙක් ලැබුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. තව ඔහු සිය මව කෙරෙහි පවා කාමාශාවන් තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා එවැනි කාමාතුරයන් ප්‍රකාශ කරන අදහස් කාමාතුර අදහස් බව මගේ පිලිගැනීමයි. යම්කිසි කෙනෙකුට ලිංගික අදහස් පහල වුවහොත් ඒ ආශාවන් මුදුන් පමුනුවා ගන්නා ලෙසට අද බටහිර මනෝ විද්\‍යාව අනුබල දෙනවා.රේමන්ඩ් මූඩි, බ්‍රයන් වයිස්, මයිකල් සැබොම් වැනි අතලොස්සක් මරණින් ඔබ්බෙහි වෙනත් ජීවිතයක් ඇති බව පිලිගන්නවා. වැඩිතරයක් අය පිලිගන්නේ පැරණි මතයමයි. ලංකාවේ වෛද්‍ය වරු පවා, භාවනාවේ අගය ප්‍රකාශ කලාට, භාවනාව යොදා ගන්නේ මෙලොව ඇති සැප සම්පත් සඳහාය. මෙලොව ඇති සැපසම්පත් භාවනාවේ නියම ප්‍රතිපල නොව අතුරු ප්‍රතිපල පමණකි

    ReplyDelete
  14. මේවගේ තත්ත්ව හිතට කාවද්දල , ඔවුන් මානසිකව රෝගීන් බවට පොළඹවල , ඒ තුලින්ම ලාභ ප්‍රයෝජන ගන්න කට්ටඩි යැයි කියා ගන්නා කපටි රැළක් මාධ්‍ය සහයෝගයෙන් බිහි වෙමින් පවතිනවා ,
    තවත් යමක් සිතන්නට හොඳ කතාවක් .

    ReplyDelete
  15. මගේ "කාලාකාශයෙහි" පලවූ කවියකට ඔබ විසින් දැමූ කොමෙන්ටුවක් හරහායි මා "අනික් කෝ‍ණට" පැමිණියේ! ඒකාකාරී ශෛලීන්ගෙන් ලියැවෙන සිංහල බ්ලොග් ගොන්න ඇතුලේ "අනික් කොණ" ඉතා සුවිශේෂී හා ඉහල ස්ථානයක් දරන බව මග හැ‍ඟෙනවා! කොටින්ම කිව්වොත් "පට්ට වැඩක්"!!
    සුබ පැතුම් සොයුරිය!! තව තවත් ලියන්නට දිරිය ශක්තිය ලැබේවා!!

    ReplyDelete
  16. අනුරුත් - ස්තූතියි මල්ලි. ඔව් යන මග හරියට තේරුම් ගත්තොත් නිරවුල්ව ජීවත් විය හැකියි නේද.

    සමීර - ස්තූතියි. ගොඩක් සමාජය හා ගැටෙන නිසා ලැබෙන කෝටියක් අත්දැකීම් බෙදා හදා ගන්නට කරපු උත්සහයක් පමණයි. ඔබේ දිරිගැන්වීමට ස්තූතියි.

    සරත් ගුණතුංග - ජේෂ්ඨ වෛද්‍යවරයෙක් වන ඔබතුමා ඉදිරිපත්කරන සියල්ල සමග වාදයක් නොමැත. බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව අසම්පූර්ණයි. ඒක ඇත්ත. නොපෙනෙන බලවේග නොමැති බව අපට ඔප්පු කර නිගමනය කරගන්නට නොහැකිය. හැමදේම දෙපැත්තක් තිබේ. මා උත්සහ කළේ අපේ රටේ අඩු ආදායම්ලාභී ග්‍රාමීය ජනයා වැටී සිටින ගැටලුව පැහැදිලි කිරීමය. හැම විටම අපට හමුවූ සියල්ලන්ම මනස රෝගී වූවන්‍ ය. ඔබේ පැමිණීමත් අදහසුත් ගොඩක් වටිනවා.

    ReplyDelete
  17. මහේෂ් - ඒක තමයි හරියට නොදන්නා කම නිසා ඔවුන්ට සිදුවන්නේ එකම ගමේ එකිනෙකා සමග විරසක වී ගුරුකම් කර කා කොටා ගැනීමයි. අන්තිමේ මඩිය තර වෙන්නේ වෙනත් අයෙකුගේ. මේවා අදටත් රෝහල් වලදී බෙහෙවින් දකින සිදුවීම්.

    සහන් - කලාශය නෙත ගැටුනේ අහම්බෙන් . ඔබේ පැමිණීම මෙන්ම මේ දිරිගැන්වීම් වලටද ගොඩක් ස්තූතියි.

    මගේ අරමුණ මේ අත්දැකීම් බෙදා ගැනීම පමණයි. ඒ සඳහා බ්ලොග් ලියන්නට දිරි ගැන්වූ හැමෝටම ස්තූතියි.

    ReplyDelete
  18. ඇත්තටම හරිම අපූරු අත්දැකීමක්නෙ... මේවගේ ලෙඩ තියන අය ගොඩ දෙනෙක් නිසිමඟපෙන්වීමක් නැති නිසා නිරපරාදේ කට්ටඩින්ට අහුවෙනවා.. නිරපරාදේ වටින ජීවිතයි ඒකෙන් නාස්ති වෙන්නේ

    ReplyDelete
  19. මිනිසා ජිව්තය ගැනපවා දන්නෙ අල්පයකි..ඉතින් ඒගැන සොයන්නෙ ඇයි..
    -කොම්ෆියුසියස්

    ReplyDelete
  20. විද්‍යාව අවිද්‍යාව අතර සිරවී සිටීමට වඩා දැනුම සොයා යාම වැදගත් .... මේ පිළිබඳ වැඩගත් කරුනු රැසක් පහත බ්ලොග් අඩවියෙහි ඇත
    https://sandaruwn.blogspot.com

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !