Thursday, July 14, 2011

othello's syndrome සහ අපි

"පවුල් ආරවුල් විසඳන එක අපේ ඒකකයේ කාර්යයක් නොවුනාට.. ඒක ඉබේම අප ඒකකයට බාරදීලා වගෙයි දැනෙන්නේ.." අපේ ජේෂ්ඨ වෛද්‍යවරයා අප හා පැවසුවේ එලෙස අප වෙත යොමුවී තිබූ පවුලක ආරවුලක් සමතයට පත් කරන්න වෙහෙසෙද්දීයි. මේ පවුල අප වාට්ටුව වෙත යොමු වීමට ප්‍රධාන හේතුව වූනේ එම පවුලේ ස්වාමි පුරුෂයා රෝහල් ගත කර තිබූ නිසා.පුරුෂයා රෝහල් ගත කර තිබුනේ රසායනික පොහොරක් පානය කර දිවි නසා ගැනීමට හදපු නිසා. ඔහු හා කතා බස් කරද්දී වැටහුනේ ඔහු මානසික වශයෙන් බොහෝ ලෙස පීඩා විඳින්නෙක් බව.

දරු දෙදෙනෙකුගේ මව් පියන් වන මේ තරුණ යුවල එකිනෙකා දිහා නොබලන්නට තරම් විරසක වී සිටියා. බාල වයසේදී විවාහ වී සිටි ඔවුන් දෙදෙනාම විසි අට හැවිරිදි වියේ පසුවූවා.


අපේ මේසය දෙපස හිඳ ගෙන සිටි අඹු සැමි යුවල එකිනෙකාට පුප්පන්නට වීය. පෙර දිනයක මා වාට්ටුවේ සිටින වෙලාවක එහි පැමිණී එම පුරුෂයාගේ බිරිඳ මා වෙත ඇවිත් ඇසුවේ තනියම පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියායි.

"මම ආවේ එයාව බලන්න්න නෙමෙයි. මට දුක් විඳලා ඇති වෙලා ඩොක්ටර් "

"හැමෝම ඉතින් ඔහොම තමයි කියන්නේ. හැමෝම දුක් විඳිනවා හැමෝටම දුක් විඳලා ඇති වෙලා තමයි."

අසල සිටි අපේ ජේෂ්ඨ වයසක හෙදි සොයුරිය අපේ කතාවට සම්බන්ද වීමේ අරමුණින් එතැනට පැමිණියා. කොහොමත් ඇය වාට්ටූවේ සිටින රෝගීන් ගැන විමසිලිමත්. ඒවගේම වයස අඩු අපිට ජීවිතේ ගැන වැඩි තේරුමක් නෑ කියලා වහෙන් ඔරෝවෙන් නොයෙක් වෙලාවට කියන්නත් වාට්ටුවේ කුමන ප්‍රශ්නයකට හෝ හොට දාන්න, අපේ අදහස් වල වෙනසක් කරන්න මේ අපේ ජේෂ්ඨ හෙද සොයුරියට පුළුවන් කමක් තියෙනවා ඒ අපේ හිත් වල ඇය ගැන තිබෙන ලෙංගතු හැඟීම නිසා. නමුත් ඇත්තටම සායනික දැනුම ඇරෙන්න ජීවීත දැනුම අඩු අපිත් ඇයට සලකන්නේ අපේ වැඩිහිටියෙක් හැටියට මිසක් ඇය ගැන අපිට කිසිම අවස්ථාවක තරහා යන්නේ නෑ. මොකද මේ වාට්ටුවේ අනික් හෙද සොයුරියන්ද වෛද්‍යවරයාට උපරිම ගෞරවයෙන් සලකන අප හා මිතුරන් මෙන් ක්‍රියා කරන අය බවට පත්වුනේ ජේෂ්ඨ හෙද සොයුරිය නිසාම බැවිනි. අනෙක් වාට්ටූවල සීමාවාසික වෛද්‍යවරු හා ගැටෙන්නම වෛද්‍යවරයාගේ වැරැද්දක් හොයන්නම සැදී පැහැදී සිටීන හෙද හෙදියන් දකිනකොට අපට අප ගැන ආදරෙන් කටයුතු කරන අය සීටීම කෙතරම් හොඳද කියාමයි සිතෙන්නේ. වාට්ටුවේ සායනික වටවල අතපසුවීම් හසු වෙනකොට අපේ කෑ ගැසීම් ඉවසා සිටින්නත් ඒවාට හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නත් ඔවුන් සියලු දෙනා කටයුතු කරද්දී එලෙස කෑ ගැසීම ගැන අපටම ඇති වෙන්නේ ලැජ්ජාවක්. නමුත් කේන්තියෙන් පුපුරා බැන අඬ ගසන හෙදියන් වෙනුවට කාරුණික හෙදියන් මේ වෛද්‍ය වාට්ටුවේ සිටීම අප ලද භාඟ්‍යයක්.
ඉතින් කලින් සඳහන් කළ 28 හැවිරීදි තරුණ මව මා ඉදිරිපස අසුනේ හිඳ ගනිද්දී කිසිදු ඉරියව්වක් හැඟීමක් නොමැති ඇගේ සුදු මැලි වී ගිය මුහුණ ඇතුලට ගිලුනු ඇස් වල පිරී තිබුනූ කඳුළු කියා පෑවේ දුක්බර ඉතිහාසයක සුළ මුලයි. ඇයට අපි කල්පනා කියමු.

"මම බැන්දේ අවුරුදු 18 දී. මෙයා මා එක්ක කතා බස් කරලා කරලා ඒයාගේ ඒ අදහස් වලට කැමති වෙලා මම ගෙදරට විරුද්ධව කසාද බැන්දේ. ඒත් මම ඒ ලෙවල් පාස් වෙලා බාහිර කරලා රස්සාව හදා ගත්තා. ලොකු පුතාට දැන් වයස 9යි විභාග කලේ දරුවා ඔඩොක්කුවේ තියාගෙන පාඩම් කරලා. මෙයා ආරක්ෂක සේවයට ගියා. ටික ටික බීමට ඇබ්බැහීවෙලා අන්තිමේ ගෙදර එන හැම වෙලාවෙම බනීන්නයි ගහන්නයි මාව සැක කරන්නයි පටන් ගත්තා. ගිය සතියේ සෙල් ෆෝන් එකත් කුඩු කරා. මට වෙන මනුස්සයෙක් ඉන්නව කියනවා ඩොක්ටර් මට වෙන මනූස්සයෙක් ඕනෙ නම් මම මොකටද දුක් විඳගෙන මෙයා එක්ක හිටියේ අවුරුදු 10 ක්ම. දැන් දෙවෙනි බබාට මාස 9 ඒ දරුවා මෙයාගෙද සැකයිලු. ගෙදර ආවම බයිසිකල් මාක් මිදුලේ තියෙනවා කියලා මිදුලට වෙලා ඒවා චෙක් කරනවා. මම දැන් ඉන්නේ අම්මලගෙ ගෙදර. මම දන්නෙත් නෑ සමහර වෙලාවට වත්තේ හැංගිලා ගේ දිහා බලාගෙන ඉන්නවා. ගෙදරට යන එන අය ගැන.මම මේ හැම දේම කරේ මගේ උවමනාවට කියලා කියනවා. එයාව බැන්දේ, ළමයි හැදුවේ , ගෙවල් හැදුවේ. මට ගුටි කාලා ඇති වෙලා මම තනියම ඉන්නම් ඩොක්ටර් කොහොමත් මේ මනුස්සයා මාව දාල ගිහින් මාස ගණන් පිට ඉඳලා එන්නේ...දරුවාටත් ගහනවා ලොකු පුතා කියන්නේ ලොකු උනහම තාත්තාට අම්මාට ගහන්න දෙන්නේ නැහැ කියා. දරුවොත් දුක් විඳිනවා " මේ ඇය කියූ විස්තරයෙන් කොටසක්.
දරුවන්ට තාත්තා කෙනෙක් සීටිය යුතු බවට ජේෂ්ඨ හෙදි සොයුරිය තර්ක කරයි
මෙහෙම අමනුස්සයෙක් එක්ක ඉන්න පූළුවන්ද... මම ඉන්නේ වෙනත් මතයක. ඒත් මගේ හිතේ නැගෙන සිතුවීලි පිට නොකරන්නට මම බොහෝ වෙහෙස ගත්තා මොකද අන්තිමේ. ඩොක්ටර් මෙහෙම කිව්වා කියලා හතර වටේ යන්නේ මගේ නම නිසායි.

ඇගේ කතාව අවසානයේ මම ඇයට පසු දින උදෑසන පැමිණ අප රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ තුමා මුණ ගැසෙන සේ උපදෙස් දුනිමි. මන්ද ඇය කියන ලක්ෂණ අනුව ඔහු තුල පවතින සැකය හා අනෙකුත් මතයන් වලට උපදෙස් දීමට සුදුසුම පුද්ගලයා ඔහු බැවිනි.

ඒ අවස්ථාවට මමද සහභාගි වුනෙමි.ඒ මනෝ වෛද්‍ය ඒකකයේ වැඩ බලන වෛද්‍යවරයා ලෙස නොයෙක් වර මමද එහි සේවය කළ නිසාය.
"මෙයාට වෙන මිනිස්සු ඉන්නවා. එයා රස්සාවට යනවා එපා කියද්දි. ෆෝන් පාවිච්චි කරනවා" ඔහු පවසන්නට විය.
ඔහු ඉගෙන ගෙන ඇත්තේ 10 වසරට පමණි. තම බිරිඳ තමාට වඩා උසස් රැකියාවක් කිරීම ඔහුට අද මදි පුංචි කමකි. ඇය ගැන තොරතුරු සොයන්නට පසු පසින් යන එකද වත්තේ සැඟවී සිටින එකද අනෙක් චෝදනාද ඔහු පිළිගත්තේ. මට මෙයාව සැකයි ඒකයි කියමින්. එලෙස බහින් බස් වූ දිනයක ඔහු ඇගේ ජංගම දුරකථනය කඩා කුඩු කර ඇයට පෙනෙන්නට වස බෝතලයක් කටේ හලාගෙන තිබේ.

ඔහු කතා කරන විලාශයද අසාමාන්‍යයි. කෙතරම් සමතයකට පත් කරන්න හැදුවත් ඇය ඔහු ඉදිරියේ කොතරම් කිව්වත් ඔහුගේ සැකය එසේමයි ඔහු කියයි. ඔහුගෙන් වෙන්වෙන්නට ඇය පොලිස් පොත් වල පැමිණිලි දමා ඇති බව ඇය අවසානයේ කීවේය. ඒ ඔහු ඒ කෝලාහලය වූ දින ඇගේ මවට ගසා අත කැඩී ඇය රෝහල්ගත කරන්නට සිදු වූ බැවිනි කථා බහ අවසානයේ අප විශේෂඥ තුමාගේ මතය වූයේ ඔහුට ඇත්තේ "Othello syndrome" යනූවෙන් හඳුන්වන මානසික රෝගී තත්වය බවයි. මේ නිසා තම බිරිඳ හෝ සැමියා දෙස සැකයෙන් බලන්නටත් ඇතැම් විට කලහකාරී ලෙස හැසිරෙන්නටත් රෝගීන් පෙළඹෙනවා.

ඔවුන්ගේ පවුල් ප්‍රශ්ණයට විසඳුමක් නොමැති තැන අපේ විශේෂඥතුමාගේ මතය වූනේත් ඔවුන් වෙන්විය යුතු බවය. මේ මෙවැනි ප්‍රශ්ණ නිසා අප වෙත පැමිණි එකම අඹු සැමි යුවල නොවේ. මෙවැනි කතා සිය ගණනින් අසා ඇත දැක ඇත නමුත් අවසානයක් නැත. සියල්ලෝම තමන්ගේ හිතැඟි ඉටු කරගන්නට තම තම නැණ පමණින් කටයුතු කරන්නේ අන් ජීවිත ගණනාවක් අඳුරේ හෙළමිනි. තාත්තා නැතිව ජීවත් වෙන්නට සිදු වන දරුවන්ද , දෙමාපියන් නැතිව තනිවන දරුවන්ද අවසන විඳින්නේ කෙතරම් පීඩනයක්දැයි මෙහි ඇති අනාථ නිවාස වල සායනවලට යද්දී හොඳාකාරවම අපි දැක ඇත්තෙමු.
ඉහත සිදුවීමේ අවසන විශේෂ්ඥ වෛද්‍යතුමා අප දෙසට හැරී මේ ගැන අපි හිතන්නේ මොනවාදැයි ඇසුවේය.
"මම තාම බැඳලා නැති එක ගැන සැනසීමක් දැනුනා (I said, "Im glad that Im not married")" යන්න මගේ කටෙන් එක විටම පිටවුනූ වචන පෙළයි.

9 comments:

  1. ජීවිත අද්දැකීම් අඩු ,පොඩි වයසෙන් විවාහ වීම,බිරිද තමන්ට වඩා ඉහල රස්සාවක් කිරීම වගේ දේවල් මේ ප්‍රශ්නෙට බලපානව වෙන්න බැරිද?පිරිමියාට ඒ දේ තදින් දැනෙනව ඇති සමහර විට.

    ඔය හා සමානම අද්දැකීමකට මගේ නෑදෑ සොයුරියකට මුහුනදෙන්න සිද්ද උනා.ඒ දෙන්නා යාලුවෙලා තිබ්බෙ උසස්පෙළ කාලේ.පිරිමියා ට කැම්පස් යන්න හැකියාවක් තිබ්බෙ නෑ.ඒ නිසා ගෑණු ලමයත් කැම්පස් යන එක වැලැක්කුවා.එයාල බැදලා දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නව.පිරිමියාට දැන් වෙන සම්බන්දතාවක්.ඒ මනුස්සය රට යන්න වීසාත් හදාගන හොරෙන්.කියන ඒව ඇහුවම අනේ නොබැද ඉන්න එක කොච්චර නිදහසක් ද කියල හිතෙනව.දෙවනි බබාට මාසයක් වත් නෑ තව.

    සමාවෙන්න ලින්ක් එකක් දානවට මෙන්න ඒ ගැන මම් ලිව්ව කතාව.

    http://galaayanajeevithaya.blogspot.com/2011/05/blog-post_06.html

    ReplyDelete
  2. @ගලා යන ජීවිතය - සමාව ඉල්ලන්න ඕනෙ නෑ මම කැමතියි ලින්ක් දානවට. මම ඉස්සර වෙලා නැති කම නිසා එතරම් කියවන්න පුරුදු වුනේනෑ නමුත් දැන් වෙලා ඇති නිසා කියවනවා ලියනවා. ඔයාගේ බ්ලොග් පිටුව අදම කියවන්න ඕනෙ.
    ඔව් සමහර පිරිමි අය කැමතියි තමන්ගේ බිරිඳ තමන්ට වඩා ඉහළට ඉගෙන ගන්නවට හොඳ රස්සාවක් කරනවට. නමුත් සමහරු එහෙම නෑ. ඒ හැසිරීම සහ හිතීම දුර දිග ගියහම කළහකාරී දරුණූ පියවර ගන්නත් ඔවුන් පෙළඹෙනවා. එනිසා බොහෝ විට බිරිඳ දරුවාවගේම ස්වාමියත් දුක් විඳිනවා. අනේ අන්තිමට බලන්නකෝ පිරිමියා වෙනස් වුන නිසා ඒ අක්කා තනි වෙනවනේ දරුවො දෙන්නත් එක්ක. කලකදි රසලු කලකදි වහ වෙනවාලු කියන්නේ ඕක තමයි

    ReplyDelete
  3. අදයි ආවේ ඔබේ නිවහනට. කියවන්න කැමති සටහන් බොහොමයක් තියනවා. ස්තූතියි මෙවැනි සටහන් ලියන්නට කාලයක් වැය කරනවාට. ජය වේවා!

    ReplyDelete
  4. ස්තූතියි ! පුළුවන් වෙලාවට ලියනවා. මේ දුක් වැඩි සතුට ලාවට තියෙන ජීවිතේ නිසා හෙම්බත් වෙලා ඉන්න වෙලාවට බ්ලොග් අතර හිඳීම සතුටක්

    ReplyDelete
  5. ඔය පුද්ගලයටනම් පැහැදිලිවම මානසික රෝගයක් තියෙනවනෙ. මමනම් හිතන්නෙ රණ්ඩු වෙවී එකට ඉන්න දෙමවුපියන් නිසා ළමයින්ට ඇති වෙන පීඩනය බොහොම වැඩියි වෙන් වී නමුත් සමාදානයෙන් ඉන්න දෙමවුපියන්ගෙන්. අනෙක් කරුණ, ළමයි කොහොමත් ලොකු වුණහම දෙමවුපියන්ගෙන් ඈත් වෙනවා. ඊට පස්සෙ නිකම් හූල්ලන්න ඕනෙ නෑ, "මම මෙච්චර ඉවසන්, කැප කිරීම් කරගෙන දුක් වින්දෙ දරුවො නිසාය; එහෙම මං දිහා දරුවො දැන් බලන්නෙ නැත." කියලා. කාගෙ කාගෙත් ජීවිත වඩාත් සතුටෙන් ගෙවන්න පුළුවන් නොගැලපෙන මිනිස්සු එක්ක අමාරුවෙන් නොඉඳ අයින් වුණහම.
    අර ඔයා දීලා තියෙන උත්තරේටනම් මමත් 100% එකඟයි.

    ReplyDelete
  6. හරිම වැදගත් මාතෘකාවක් , සජීවිව අකුරු කරලා තිබෙනවා ...ඒ වගේම අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඔබ පවත්වාගෙන යන වැදගත් වෘත්තීය සම්බන්ධතාවය පිළිබඳව මමත් සෞඛ්‍ය සේවකයෙක් විදියට ඔබට ගරු කරනවා ...

    ReplyDelete
  7. @ නලිනි අක්කා - ඔව් නොගැලපීම් කැපකිරීම් කරන්න බැයිනම් අයින් වෙන එක තමයි හොඳ. ඒ උත්තරේට එකඟ වුනේ ඔයයි මායි විතරයි. හැමෝම මගේ මතය වෙනස් කරන්නමයි දේශන පවත්වන්නේ.

    @මහේෂ් - ස්තූතියි. වෘත්තීය සබඳතාවය හොඳින් පවත්වාගෙන යන ක්‍රමය ඇත්තටම අපිට ජීවිත සනසන්න , ජීවත් කරවන්න ලොකු අස් වැසිල්ලක් වුනා. අන් අය ගැන උපේක්ෂාවෙන් කරුණාවෙන් ක්‍රියා කරද්දී කොහොමත් ඒ හැමගේ හිත් දිනා ගන්න එච්චර අමාරු නැහැ නේද ?

    ReplyDelete
  8. Hey this is cool men. I never thought you were serious when he said you wrote. Im over excited to see the newly discovered other side of u Dr Mal.

    ReplyDelete
  9. thank u for reading anithkona Dilru. yes he knew I was writing.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !