Thursday, July 7, 2011

වතුර ෆිල්ටර් කිරීම, වකුගඩු රෝගය සහ අපි....2

ආසනික් සහ වකුගඩු රෝගය ගැන හැමෝම කතා බස් කරන මේ කාලයේ .... පසුගිය ලිපිය හා සම්බන්දයි...

"මගේ මහත්තයා නැතිවුනේ වකුගඩු අමාරුව නිසා, ඒ එක්කම එයාගේ අක්කා, අම්මා තාත්තා, මාමා , තව මාමාගේ පුතෙක් අවුරුදු 36 , ඔහොම අපේ පවුල් දෙකේම ගොඩ ඈයෝ නෑතිවුනා නෝනා. හංගන්න ඕනේ නෑ. කියන්න මටත් වකුගඩු අමාරුව නේද ?" රෝගී කාන්තාව මා දෙසම බලාගෙන කියයි. ඇගේ ඇඳ ඉහ පතේ සඳහන් වූ ක්‍රියැටිනින් අගය දුටු මට බොහෝ දුකක් ඇතිවිය. ඒ යමක් කරන්නට බැරි තරම් අසාධ්‍ය වූ වකුගඩු රෝගීන් මේ පළාතේ බොහෝ සිටින නිසාය .

නාගම්මා නැවත වරක් රෝහල් ගත කර තිබුනා ඇය පෙලෙන වකුගඩු රෝගයේද අවසාන අදියරේ (End stage renal failure) සිටියාය. හුස්ම ගැනීමේ අපහසුතා සමග නීරක්තිය නිසා නිතර රෝහල් ගත වන ඇගේ ක්‍රියැටිනින් අගය බලා සිටියදී ඉහළ යනවාය. 42 හැවිරිදි ඇයගේ පෙනුම 80 වියැති අයකුගේ වගේය. දරුවන් 4 දෙනෙකුගේ මවක් වූ ඇයගේ බාලම දරුවාගේ වයස අවුරුදු 10 කි. යුද්ධය නිසා ස්වාමියා අහිමි ඇගේ දරුවන් රැකුනේ ඇය කුලී වැඩ කර හම්බ කරගන්නා මුදලකිනි. මේ ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ දුප්පත් හෙයින් කුලී වැඩ කරනුයේ හේනක නැත්නම් කුඹුරකය. එයද හැමදාම ලැබන සල්ලියක් නොවේ. රෝගීන් බලන වෙලාවට ඇගේ ඇඳ වටේ පොදි ගැහෙන ඒ දරුවන් රැගෙන එන ඇගේ පියා හෝ අයියා කෙනෙකු නිතර අපෙන් විමසන්නේ ඇය සුව වෙයිද කියාය. වකුගඩුවක් බද්ධ කරගැනීමට ඇති නොහැකියාව නිසා ඇය කෙමෙන් කෙමෙන් වකුගඩු මරුවාට බිලි වෙමින් සිටියාය. මේ වන විට ඇයට බෙහෙත් පෙති අහුරක් පමණ ගිල දමනවා හැරෙන්නට වෙන කරන්න ප්‍රතිකර්මයක් නොමැති විය. විටෙන් විට හුස්ම ගැනීම අපහසු වෙන විට දුම් අල්ලමින්ද පොටෑසියම් අගය වැඩිවෙන විට ඒ සඳහා එන්නත් ලබමින්ද එක් රෝහල් ගත කිරිමකදී රුධිර පයින්ට් 3 පමණ ශරීර ගත කරමින්ද ඉතා දුක්ඛිත අදියරක සිටි ඈ එක්තරා දවසක රෝහල් ගතවීමකින් පසු අප වාට්ටුවේදීම මිය ගියේ අප හැමගේ නෙත් වල කඳුළු ඉතිරි කරමින්.

වකුගඩු රෝගය කියන්නේ මේ ප්‍රදේශවල ජනයාගේ ජීවිත බිලි ගන්නා අංක එකේ මරුවා වී අවසානයි. පෙර කලනම් ඒ තැන තිබුනේ යුද්ධයයි. මුල් කාලයේ සායන වලදී සහ වාට්ටුවල එතරම් විශාල රෝගීන් ප්‍රමාණයක් දැකීම අපට පුදුමයක් විය. පසුගිය කාලයේ තිබූ වාතාවරණය නිසා රෝහලක් වෙත පැමිණීමේ අපහසු තාවයෙන් සිටි ඔවුන් මුල් වරට රෝහල වෙත පැමිණෙද්දී බොහෝ විට පසුවූයේ වකුගඩු රෝගයේ අවසාන අදියරේ.

කෑම අරුචිය, වමනේ යෑම සහ මූත්‍රා පිටිවීම අඩුවීම යන රෝග ලක්ෂණ සහිතව අප වාට්ටුව වෙත එක් දිනක පැමිණි කරුණාපාල නැමැත්තා මින් පෙර කිසිම රෝගයකට බෙහෙත් පෙත්තක්වත් බී තිබුනේ නැත. ඔහුද ගොවි තැනින් එදාවේල සකසා ගත්තෙකි. ඔහු දුටු මතින්ම වකුගඩු රෝගය ඇත්තෙකු බව වටහා ගන්නට වැඩි කාලයක් ගියේ නැත. වකුගඩු රෝගයේ තත්වය මැන බලන ක්‍රියැටිනින් අගය ඉතා ඉහල මට්ටමක පැවතියේය. ඔහු සිටින්නේ ඉතා අසාධ්‍යය තත්වයකයි. රුධිරයේ හිමෝග්ලොබින් අගයද 5 ටත් අඩුවෙනි. රුධිරයත් දිය යුතුමය. ඔහුගේ සහෝදර සහෝදරියන් දරු මුණුබුරන් ඇඳ වටේ රොක් වී ඇත. අමුත්තන් බැලීමේ වෙලාවට අපට නිවනක් නැත. හැමෝටම ඕනෑ වෛද්‍යවරයා මුණ ගැසෙන්නටය. කරුණාපාලගේ ඇඳ අසල රැඳි ඔහුගේ සොහොයුරෙක් වෙත අප මේ රෝගය සම්බන්ද සියලු දෑ විස්තර වශයෙන් පැහැදිලි කර දුන්නෙමු. ඉන්පසු වකුගඩුවක් බද්ධකිරීමේ අවශ්‍යතාවය මෙන්ම ඔහු දැන් සිටින තත්වය අසාධ්‍යය හෙයින් එය ඉක්මනින් කළ යුතු බවද කීවෙමු. ඔහුගේ එක් සහෝදරයෙක් සිටින්නේ ප්‍රධාන නගරයක රෝහලක් සමීපයේ නිසා එහි ගෙන යන බව අපට පවසා සිටියා. නමුත් අපේ මතය වූයේ රෝහලෙන් ඔබ්බට ගමනාගමනය සඳහා ඔහුගේ සෞඛ්‍යය තත්වය හොඳ නැති නිසා ටික කලක් මෙහි සිට තත්වය හොඳ අතට හැරුණු පසු අනුරපුර වකුගඩු සායනයට යොමු විය යුතු බවය. අප විශේෂඥ වෛද්‍යවරයාගේද අත්සන සහිතව ඔහුගේ රෝග විනිශ්චය රැඳි කාඩ් ලිපි සමග ඔහුගේ ටිකට් බලෙන්ම කපාගෙන ඔවුන් තම සොයුරාව තම කැමැත්තෙන් අගනුවර පිහිටි රෝහලක් වෙත රැගෙන ගියේ දැඩි බලාපොරොත්තු රැසක් සමගය. නමුත් යන අතර මගදී ඔහු මිය ගිය පුවත ඉන් දින කීපයකට පසුව අප වෙත රැගෙන ආවේ රෝහලේ සේවය කරන ඒ ගමේම කෙනෙකි. අගනුවර ගෙනියනවාට වඩා මේ ළඟ පිහිටි නුවර තිබූ මහා රෝහලට ගෙන ගියා නම් ! කියා අපට කියැවිනි. නමුත් මරණය කොයි මොහොතේ අප කරා ඒද කිව නොහැකි බවද මතක්වුනි. මෙහි ලියා සඳහන් කළ කිහිප දෙනා පමණක් නොව තව බොහෝ රෝගීන් වකුගඩු රෝගය නිසා මරණයට පත්වුනේ ඒ වාගේම ඛේදජනක අයුරිනි. වකුගඩු බද්ධ කිරීම සඳහා යොමු වූ ඇතැමෙක් තවමත් සායන සඳහා සහභාගි වෙති.

මේ ප්‍රදේශ වල සෑම කෙනෙක්ටම පාහේ අප දෙන පොදු උපදෙස් කිහිපයක් තිබුනා. ඒ වතුර උණු කර ෆිල්ටරයක් මගින් පෙරා පානය කරන ලෙසය. අවුරුදු ගණනාවක්ම ඉතා දැඩි අපහසුතා මැද ජීවිතය එක අතකින්ද මරණය අනික් අතින්ද අල්ලාගෙන ගස් ගල් උඩ රෑ පහන් කල මේ වැසියන් හට මේ ලැබුන නිදහස සමග වතුර ෆිල්ටර් කිරීම යනු සිතාගත නොහැකි සිහිනයකි. ඇතැම් කොට්ටාශ බාර සෞඛ්‍යය නිළදාරීන් විසින් දැනුවත් කිරීම සමග ප්‍රායෝගිකව මේ අය වෙත උපදෙස් ලබා දීම සිදුවුනත් හැමෝගෙන්ම එසේ සිදුවී නොමැති බව අපිට වැටහුනේ වකුගඩු රෝගය සෑදී එලෙස පැමිණෙන්නන් පානීය ජලය සම්බන්දයෙන් අප කරනා විමසීම් වලදී ඇස් ලොකු කරගෙන බලා සිටියදි ය. ඇතැමෙක් කියන්නේ ඔවුන් නල ළිං වල ජලය පානය කරන බවත් ප්‍රශ්නය ඇත්තේ වැව් දියේ බවත්ය. වැව් වල ජලය බීමට තබා නෑමටවත් සුදුසු නොවේ. දිනකට ඇඟ පුරා කුෂ්ඨ සහිතව ඇඟ පත දැවිල්ල සහ කැසීම සහිතව කිහිපදෙනෙකු බාහිර රෝගී අංශයටද වාට්ටුවලටද පැමිණෙන්නේ වැව් වල නෑම හේතු කරගෙනය. ඒවාට පිළියමක් යොදන්න කෙනෙක් හෝ යම් දෙපාර්තමේන්තුවක් තිබෙනවාද යන්න අප නොදන්නා කරුණකි.
වකුගඩු රෝගයේ තත්වය මැන බැලීමට අප සිදු කරන පරීක්ෂණය නම් රුධිරයේ ක්‍රියැටිනින් වල අගය මැනීමය. ඒ සමගම තව බොහෝ දේ පරීක්ෂා කළ යුතුය රුධිර හොමෝග්ලොබින්, පොටෑසියම් වැනි දෑ ඒ අතර වේ. දිනපතා රෝහල්ගතවන අයගෙන් බොහෝමයකගේ මේ අගය මැන බැලීම සිදු කරනවාමයි. රෝග ලක්ෂන පමණක්ම නොව ඔවුන්ගේ ගම් පළාතද අසා දැනගෙන අප එය සිදුකරන්නේ ඒ තරම්ම ප්රමාණයක් වකුගඩු රෝගය නිසා මිය යන නිසාවෙන්ය. බොහෝ විට අවසාන අවස්තාවේ සිටින අය සඳහා කළයුතු රුධිරයේ අහිතකර ද්‍රව්‍යය පෙරීම සඳහා මීට ඔබ්බෙන් පිහිටි අනුරපුර මහා රෝහල වෙත ඔවුන් යැවිය යුතුය. එසේ රුධිරය පෙරන යන්ත්‍ර සහ විශේෂඥයින් සහිත ඒකකයක් තියෙන්නේ මේ පළාතටම අනුරාධපුර රෝහලේ පමණකි. එලෙස වුවත් යැවිය හැක්කේ වකුගඩු බද්ධකිරීම සම්බන්දයෙන් සැලසුමක් ඇති (KT plans) අයවලුන් සහ ප්‍රථම වතාවට රෝග විනිශ්චය කර සායන වලට යොමු කළ යුතු අයවලුන්ය. අනෙක් සමහරක් දෙනා මරණාසන්නව පැමිණියත් ඔවුන් හට කළයුතු විශේෂ ප්‍රතිකර්මයක් නොමැති තරම්ය. අවසානයේදී බොහෝ දුක්ඛිත මරණයක් ඔවුන්ට හිමි වේ.

මෙහෙ වකුගඩු රෝගීන් ප්‍රමාණය කොතරම්ද කියතොත් කලක් ගතවෙත්ම මුහුණ දෙස බැලූ පමණින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ ලක්ෂන අනුව ඒ බව නිගමනය කරගන්නට අපට හැකි විනි. අප විශේෂඥතුමා පවා ඒ බව අපෙන් නොයෙක් අවස්ථාවල විමසා සිටියා. බොහෝ කල් සිට මේ ප්‍රදේශවල කුඹුරු වල පවතින රසායනික පොහොර නිසා මේ ප්‍රදේශ වල ජලය අපිරිසිඳු බව අප එකල සිට දැන සිටියෙමු. දැන් දැන් කියවෙන ආසනික කතාව නිසා එය එසේමයැයි සිතේ. සේවය කිරීමට පැමිණි දා පටන්ම විකිණීමට ඇති ලීටර් 20 වතුර බූලි සල්ලි දී රැගෙන පාවිච්චි කිරීමට අපිට සිදු විනි. නමුත් සාමාන්‍ය ජනයාට එසේ කිරීම අපහසුය. එම ලීටර් 20 වතුර බූලියක මිල රුපියල් 200 කි. කලක් මුළුල්ලේ රෝහලේ පැවති පිරිපහදු ජල කළමණාකරන ක්‍රමයද සැරින් සැරේ අකර්මන්ය වෙයි. ඒ අවැසි තරම් ප්‍රතිපාදන නොමැති හෙයිනි.

අඩුම තරමේ රජයේ හෝ යම් රාජ්ය නොවන සංවිධානයක් මගින් හෝ මෙම වතුර පෙරා පිරිපහදු කරන්නේ නම් මතුවට මේ ප්‍රදේශයෙන් වකුගඩු රෝගීන් ඇතිවීම වත් වලක්වා ගත හැකිය. එමෙන්ම මොවුන් ගේ පවුල් දැනුවත් කිරීම සහ පාසැල් මට්ටමින් දුවා දරුවන් දැනුවත් කිරීමද සිදු කළයුතුමය. එදාවේල හම්බ කරගැනීමට දහක් දුක් විඳින මේ මිනිස්සුන්ට ෆිල්ටරයක් ගැනීම යනු සිහිනයකි. ඔවුන් දිනකට පානය කරන වතුර ප්‍රමාණයද අල්පය.
මේ ප්‍රශ්නය ගැන මීට වඩා සැලකිල්ලෙන් ක්‍රියාත්මක විය යුතුමය.
කොළඹින් පැමිණ සැනකෙළි පවත්වා සංගීත සංදර්ශන පවත්වනවාට වඩා මෙවැනි දෑ තුලින් ඇත්තටම උතුරට වසන්තයක් උදා වෙනවා නො අනුමානය.

No comments:

Post a Comment

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !