Tuesday, July 19, 2011

රාත්‍රී වැඩ මුර සහ බාප්පාගේ රෝහල

මහ වැසි ඇද හැලෙන සමයට උණ වසංගතය හැම අතම බෝවේ. මාසයක පමණ උණ ඇති අයගේ ඉඳන් දවස් 2 උණ තිබෙන පුද්ගලයින්ද බුරුතු පිටින් රෝහල් ගත වේ. දිනකට රෝගීන් 60 පමණ වාට්ටුවට පැමිණේ. ඇඳන් උඩත් බිමත් යටත් ලෙඩ්ඩුන්ය. සැරින් සැරේ ලයිට් කපන හෙයින් රාත්රී සායනික වටය කරගැනීම ඉතා අපහසුය. මුතු බණ්ඩා (අනවර්ථ නමකි) රෝහල් ගත වෙන්නේ මේ කාලයේය. ඇදුම රෝගය උත්සන්න වී හදිසි ප්‍රතිකාර අංශයටත් ඉන් පසු අප වාට්ටුවටත් ඔහු සමග තව කිහිප දෙනෙක් එවා තිබිනි.
තිත් පොළඟකු දෂ්ඨ කිරීම නිසා රෝහල් ගත වූ මහළු රෝගියෙක් සහ තරුණ අයෙකුගේ මූත්‍රා පිටවීමට සවි කර තිබූ බෑගය දෙසම විමසිලිමත් වෙන්නට අපට සිදුවී තිබුනි. ඒ ඔවුන්ගේ තත්වය තවත් අසාධ්‍ය කරමින් මූත්‍රා සමග ලේ පිටවෙමින් තිබූ නිසාය. උස්සා කෙළින් කල හැකි ඇඳන් තිබුනේ කීහිපයකි. ප්‍රථම ඇඳන් දෙකේ ඇඳුම රෝගීන් දෙදෙනෙකුම අමාරුවෙන් හුස්ම ගනිමින් පසුවෙති. මුතු බණ්ඩා ඉන් අයෙකි. මාස 8 කට වැඩි කාලයක් සායනයට නොපැමිණි ඔහුගේ ඇදුම රෝගය උච්චතම අවස්ථාවේ තිබේ. රුධිරගත ඔක්සිජන් සහ හර්ද ස්පන්දනය මැනෙන මිනුම් උපකරණයට ( pulse-oxymeter ) ඔහුගේ ඇඟිල්ලකට සම්බන්ද කර තිබේ. ඔහුගේ පැරණි සායනික පොත් කියවද්දී මගේ කෝපයේ රතු කට්ට පනී. මාස 8 පමණ බෙහෙත් ගැනීමට ඇවිත් නැතිවා මදිවට දැන් ඇවිත් තියෙන්නේත් සති දෙකක සිට හුස්ම ගැනීමේ අපහසුවෙන් හිඳ එයද බොහෝ අසාධ්‍යය වූ විටයි.

ඇදුම රෝගය ඇති අය නොකඩවා බෙහෙත් ගත යුතුය. වාතය ගෙන යන නාල හැකිලීම කොයි මොහොතේ සිදුවෙයිද කිව නොහැක. ඇතැම් විට මේ රෝගය දරුණු වුවහොත් මරණය පවා සුළු මොහොතකින් උරුම වේ. මුතුබණ්ඩා හුස්ම ගන්නේ ඉතා අපහසුවෙනි. ඉහලට ගන්නා හුස්ම පිට කරන්නට වඩා අපහසු වේ. ඒ ඇදුම රෝගයේ ලක්ෂණයකි. දැන් ඔහුට ඔක්සිජන් සම්බන්ද කර මුහුණු වැස්මක්ද පළඳවා තිබේ. විඩෙන් විඩේ සැල්බියුටමෝල් සහ ඉප්රාවෙන්ට් නමින් හඳුන්වන සංකෝචනය වුන වායු නාල ප්‍රසාරණය කරන බෙහෙත්ද ඒ ඔස්සේම පෙණහළු වලට ලබාදෙමින් මහ රෑ වන තුරු අප සියලු දෙනා පසුවූයේ ඉතා දැඩි අවිනිශ්චිත බවකිනි.

මේ වාට්ටුවල සෑම දිනක්ම මේ වාගේය. තව ඇඳන් දෙකක හෙපරින් ශරීරගත කෙරෙන හර්ද රෝගීන් දෙතුන් දෙනෙකි. අමාරුම ලෙඩුන්ගෙන් අඩු නැත. අපට අමාරු දෙන අමාරු මවා ගන්නන්ගෙන්ද අඩු නැත. මොකුත් ලෙඩක් නැතුව ඉන්න හිටින්න තැනක් නැති නිසා රෝහල් ගත වෙන්නන්ද අඩු නැත.

අනෙක් ඇදුම රෝගියා මෙහි පැමිණ තිබුනේ කොළඹ සිටය. ඔහුගේ සහෝදරියගේ ගෙදර ආ වෙලේ යා ගත නොහැකිව ඇදුම රෝගය උත්සන්නව අප වාට්ටුවේ ප්රතිකාර ලබයි. යන්තම් ඔවුන්ගේ රුධිරගත ඔක්සිජන් අගය 95 % සහ ඊට වැඩි ප්‍රතිශත පෙන්වන්නට විය. ඔවුන් හුස්ම ගනිද්දී පවා අමාරුවක් දැන් පෙන්වන්නේ නැත.

මහ හඬින් ඇස්බැස්ටොස් වහලය මත ඇද හැලෙන වර්ශාව නිසා අප ද කෑ ගසා කථා කළ යුතුය. පොළොං විෂ ශරීර ගතවූ මහළු ගොවියාගේ දැසද අඩවන්ව ඇත. ඇස් පිය ඇරීමට නොහැකි ලෙස එසේ සිදුවන්නේ විෂ නිසාය.(මේ සර්ප විෂ ගැන සාවිස්තරාත්මක ලිපියක් සහෘද බ්ලොග් සටහනක පලවී තිබුනා මතකය). රාත්‍රී 11.30 පමණ රුධිර කැටි ගැසීමේ පරීක්ෂණය කළ හෙදි සොයුරිය මට පැවසුවේ එය කැටි නොගැසෙන බවය. එසේනම් නැවත වරක් එය කර බලනා අතරතුරේ AVS ( Anti venom serum ) නමින් හැඳින්වෙන පොළොං විෂට එරෙහිව නිපදවා ඇති ඒ ප්‍රති විෂ එන්නත් කළ යුතුය. පැය භාගයක් පමණ වෙලා හෙමින් ශරීරගත කළ යුතු ඒ විෂ හරණය කරන දියරය ශරීර ගත වෙන විට ඇතැම් විට ප්‍රතික්‍රියාවක් allergic reaction ආවොතින් රෝගියා මිය යා හැකියි. ඊට ප්‍රථම එන්නත් කළ යුතු ඇඩ්‍රිනලින් , හයිඩ්‍රොකෝටිසෝන් , කෘතිම ස්වසනය දිය යූතු වායු බෑග සහ මුඛය මගින් ඇතුල් කල හැකි බට වැනි දෑ සහිත ට්‍රොලිය සූදානමින් රෝගියා අසල තිබේ. දිනකට සර්ප දෂ්ඨ කිරීම් නිසා පස් දෙනෙකුවත් අවම වශයෙන් රෝහල් ගත වේ.
හොඳ හෙද පුහුණුවක් ලැබූ මිස්ලා වාට්ටුවේ ඉන්න නිසා තනියම සේවය කරන්න සිදුවූ දිනක වුනත් බය වෙන්න නම් කිසිම හේතුවක් නැත. ඒ ඔවුන් ඉතා හොඳින් අවධානයෙන් ඉන්න නිසාය. මිස් ඒ. වී. එස් හෙවත් විෂ නසන බෙහෙත සකස් කරමින් සිටියදී මාස දෙකකින් ගෙදර නොගිය බව සිහි විනි. අලුතින් බැච් එකක් එනකම් වෛද්ය පුරප්පාඩු තිබෙන මේ කාලයේ ගෙදර යන්න අපිට දෙන්නේත් දවස් 1 ½ නිවාඩුවකි. කොළඹ ගොස් පැමිණෙද්දි එය මගටම ඉවරයි. යන්තම් ඒ මහළු රෝගියාට කිසිදු කරදරයකින් තොරව සර්ප ප්රති විෂ එන්නත දි ගත හැකි විය. හර්ද ස්පන්දන වේගයේ හෝ රිද්මයේ වෙනසකුත් නැත. ඇදුම රෝගීන් දෙදෙනාම නින්දේය. මම සැහැල්ලුවෙන් පාන්දර 2 පමණ අපේ නිල නිවාසය වෙත පැමිණියෙමි.

නින්ද ආවා මතකය උදෑසන 5.00 පමණ යළි කාමරයේ දුරකථනය නාද වෙයි. කොළඹ සිට මෙහි පැමිණ රොහල් ගත වී සිටින අසිස් (අනවර්ථ නමකි) මහතාගේ ඇදුම රෝගය උත්සන්න වී ඔහුට හුස්ම ගැනීම දැඩි සේ අපහසු වී ඇත. මා කඩි මුඩියේ මුහුණ කට හෝදාගෙන වාට්ටුවට දිව්වෙමි. ඒ වනවිටත් අපේ මිස්ලා ඔක්සිජන් සහ ඖෂධ රැගත් ස්වසන උපකරණයට ඔහු සම්බන්ද කර නෙබියුලයිස් කරමින් සිටියෝය. ඔක්කෝටම වඩා ඔහු භය බිරාන්ත වී සිටී. ඒ ඔක්කෝටම වඩා අපට තරහ ආයේ අධික ලෙස වැසි වැටෙන ඉතා සීතල මේ සමයේ ඔහු බැනියමක්වත් නො ඇඳ උඩු කය නිරාවරණය කරගෙන සිටීමය. ඒ කාලයේදී අපත් වාට්ටුවට යන්නේ ජර්සියක් ඇඳගෙනය. යන්තම් උදෑසන හිරු එළිය වැටෙද්දී ඔහුගේ තත්වය සුව අතට හැරුණි. අනෙක් වෛද්‍යවරිය පැමිණියෙන් මම මුහුණ කට සෝදා ඇඳුම් මාරු කරගෙන එන්න පිටත් වුනෙමි.

ඊළඟට උදෑසන 7 පමණ අප සායනික වටය ආරම්භ කළෙමු. ඇඳන් පේළි දෙක බෙදාගෙන අප දෙදෙන එක පැත්තක සිට රෝගීන් බැලීම පටන් ගත්තෙමු. මුලින්ම සිටියේ මුතු බණ්ඩාය. දැන් පහසුවෙන් හුස්ම ගනිමින්. ඇඳේ ඉඳගෙන සිටීන හේ සුවයෙන් පසුවන හෙයින් මගේ දේශනාව දැන් දිය යුතුයැයි සිතිනි. මෙතෙක් කල් සායන වලට නොපැමිණ බෙහෙත් නොගෙන හිඳ දැන් අසාධ්‍යය වී පැමිණි ඔහුට රෝගයේ භයානක කම කියා දුනිමි. එනමුදු තරහ නොගෙන සිටීමද අපහසුය. සමහර වෙලාවට මෙසේ රෝගීන්ගේ නොසැලකිලිමත් කම නිසා ඔවුන්ගේ රෝගය උත්සන්න වී පැමිණි විට තරහ යන්නේ අපටය. එලෙස තරහ අරගෙන දෝස්මුර තබන විට අපට පව් සිදු වේද කියා නොයෙක්වර එකළ එකිනෙකාගෙන් විමසනවා මට මතකය.

“ අනේ මම මැරෙයිද නෝනා” මුතුබණ්ඩා අසරණව විමසයි. ඔහුට නොසැලකිලිමත් කම ගැන දොස් නැගීම ගැන මට දැන් දැනෙන්නේ දුකකි.

“කුඹුරු වැඩ තිබුනා . දරු පවුල රැකෙන්නේ ඒකෙන් . අනික පහු ගිය දවස් වල කලබල නිසා අපිට මෙහෙ එන්න බයේ හිටියේ. හුඟක් වෙලාවල හිටියේ ගස් උඩ , හැංගිලා, ඒකයි එන්න බැරි වුනේ නෝනා. අමාරුවක් නැති නිසා ඊට පස්සේ මතක් උනේම නෑ. දැන් තමයි තේරෙන්නේ භයානක කම.අනේ මම මැරෙයිද නෝනා ” කුසගිනි හා සටනේදී රෝගය ගැනවත් ඔහු සිතා නැත. මේ පැතිවල සිටින හැමෝගෙම ප්‍රධාන නිදහසට කාරණය වන යුධ කාලය (එකල ගැන ලියැවූනු පෙර සටහනක් ) නැවත මොහු මතක් කරයි.

“දැන්නම් තත්වය එතරම් භයානක නෑ. නමුත් ඕනෙම මොහොතක උත්සන්න වුනොතින් භයානක වෙන්න පුළුවනි” මම ඔහුට රූප සටහන් මාර්ගයෙන් අපට ශිෂ්‍යය කාලයේ කියා දී ඇති පරිදි ගත යුතු උරණ බෙහෙත් හෙවත් ඉන්හේලර් වර්ගය සහ පාවිච්චි කළයුතු කැප්ෂූල්/කරල් වර්ගයේ පාට සහ වැදගත්කම කියා දුන්නෙමි.

වාට්ටුවේ දින 4 පමණ ප්රතිකාර ගත් ඔහු සම්පූර්ණ සුවය ලබා, පිටව යන දවසේ අප අර ඩිස්චාජ් කාඩ් ලියමින් සිටි මොහොතක අපේ කාමරය වෙත පැමිණියේය.
“ගිහින් එන්නම් නෝනා.” කියූ ඔහු අප පුදුමයට පත් කරමින් අප ඉදිරියේ දණ ගසා වැඳ වැටුනේය. “අනේ තාත්තේ අපට පවු නැගිටින්න ඇයි මේ වඳින්නේ කියමින් අපි දෙදෙන පුටු පෙරළාගෙන නැගිට්ටෙමු. “ මගේ පණ බේරලා දුන්නේ නෝනලා.” ඇස් වල කඳුළු පුරවාගෙන ඔහු කීවේය. ඔහු අප ඈත සිට මෙහි පැමිණ කරනා සේවය මහත් සෙයින් අගය කරයි.

අප දෙන උපදෙස් හමුවේ අප හා උරණ වෙන අපේ සේවය ඩිමාන්ඩ් කරන, අපගේ සුළු කාල ප්‍රමාදයක් හෝ නුරුස්සන අගනුවර සිටින උසස් පන්තියේ උගතුන් රජයේ රෝහල් වලට පැමිණ ඔවුන්ගේ සිතැඟි ඉටු කරගන්න අප වෙත දමනා ගෝරනාඩු මතක් වේ.

මෑතකදී මා රෝහලේ ලෙඩුන් ඇතුලත් කරගන්නා ( admission ) කාමරයේ සේවය කරද්දී චාරිකාවක් යමින් සිටියදී පැජරෝ රථයක් පෙරලී මෙහි ගෙන ආ අතපය කැඩුනු සීරුනු ලේ ගලන තුවාල සහිත රෝගී කාන්තාවන් සහ පිරිමින් ,

“ අපිට මේ රෝහලට ඇතුල්වෙන්න බෑ දැන්ම අපිට ඇම්බියුලන්ස් එකක් දෙන්න කොළඹ යන්න “ යනුවෙන් නියෝග කරද්දී හිතට ආ සිතුවිලි ගොන්න තද කරගෙන ඉවසගෙන සියල්ලන්ගේම තත්වය විමසා බලා හදිසි අනතුරු වාට්ටුව වෙත පිටත් කළේ

“ තත්වය භයානක නිසා ඔයාලගේ ජීවිත බේරගන්න කටයුතු කරන්න මට ඉඩ දෙන්න” යැයි කියමිනි.
ඔවුන්ට ප්‍රතිකාර කරන අතර තුර , නිතර නිතර කෙරෙන ඒ නියෝග හමුවේ වෙහෙසට පත් වූ අපේ කාර් යය මණ්ඩලයේ අයෙක්,
“ඕනෙ ඕනෙ අයට ඕනෙ ඕනේ තැන්වලට ඇම්බියුලන්ස් ලෑස්ති කරන්න, මේ ඕගොල්ලොන්ගේ බාප්පගේ රෝහල නෙමෙයි. දොස්තරලට ඒගොල්ලොන්ගේ වැඩේ කරන්න ඉඩ දෙන්න නැත්නම් ටිකට් කපාගෙන යන්ඩ” යැයි කියනු මට ඇසිනි. ඒ සම්පත් කළමණාකරනය ඉතා දුර්වල මෙවැනි තැන් වල, අසාධ්‍ය රෝගියෙකු මේ රෝහලට පසුව ඇති මහා රෝහලක් වෙත යවා ගන්නත් ඇම්බියුලන්ස් එකක් ලෑස්ති කරගන්න විඳින අමාරුව දන්නේ අප විතරක්ම බැවිනි.

7 comments:

  1. ඇත්තමයි නංගි, ඔය වැනි අත්දැකීම්නම් අනන්තයි. දුක, තරහ, සතුට සියල්ල මුසු වුණු ජීවිතය.

    ReplyDelete
  2. අම්මෝ... ඇදුම නම් මතක් කරන්න එපා. මට මාස තුනේ ඉඳලලු තියෙන්නෙ. තුන් පාරක්ම දැන් නම් මැරෙනවාම තමයි කියල හිතෙන තරමටම මට ඇදුම වැඩි වුනා. අම්මේ ඒ වෙලාවට තියන ආතල් එක! පණ දාල ඇද්දත් හුස්ම ඇතුලට එන්නෙ නැති වුනාම පුදුම සනීපයක් තියෙන්නෙ. මම තාමත් ඉන්හේලර් එක ගන්නව.

    ReplyDelete
  3. @ නදිනි චන්දීමා - ඒකනම් ඇත්ත. හැම දේම පදමට මික්ස් වෙලා. හැබැයි මුල් කාලේ දුකම විතරක් වගේ. හැමදාම අලුත් වෙන විවිධාකාර චරිත මුණ ගැහෙන ඒකාකාරී නොවන ජීවිතේ හොඳයි නේද අක්කා.

    @ කසූන් - ස්තූතියි කියෙව්වට මේ ලියන ඒවා. මාත් කුඩා කාලයේ ඇදුම රෝගයෙන් පීඩා වින්දා. පස්සෙ ලොකු වෙද්දි හරි ගියා.ඉන්හේලර් පාවිච්චිය වගේම මාසෙන් මාසෙට ක්ලිනික් යන්න. රෝග ලක්ෂණ පහල වෙලා දරුණූ වෙනකම්ම ඉන්න එපා.

    ReplyDelete
  4. මෙහෙ හිටපු ලාංකිකයෙක් පෙනහළු ආබාධ වලින් සෑහෙන්න පීඩා වින්ඳ. පුංචි කාලේ සිට ලංකාවේ සිටිය දී සිගරැට් බීපු කෙනෙක්. ඒත් එයා සහ එයාගෙ නෝනා එයා වෙනුවෙන් කැප වී නොකඩවා කරපු බෙහෙත් අනුගමනය නිසා එයාව medical miracle එකක් හැටියට සලකලා පසුව ඒ ඉස්පිරිතාලයේ ඔක්සිජන් ප්‍රතිකාර ගැන නව වැඩපිළිවෙලකුත් ආරම්භ වුනා. ඔවුන් දෙදෙනා ලංකාවට ද ඇවිත් ගියා. එහෙත් මෙහෙත් ඇති බෙහෙත් සහ පහසුකම් අතර වෙනස දැකීම හැමදාම දුකට කාරණයක්. ඊටත් වඩා දුක හිතෙන්නෙ අර මුතු බණ්ඩා වැන්නන් ගැන ඇහෙද්දී ය. බෙහෙත් සහ ප්‍රතිකාර තිබුණත් කුසගිනි සහ දිවිබේරා ගැනීම ලෙඩේට වඩා මුල් තැනක් ගනිද්දී කෙසේ ඔහුට බනින්නට හැකි ද?

    ReplyDelete
  5. මගේ ලිපියට අක්කා දාල තිබුන කොමෙන්‍ටුව ඔස්සේ තමා මං ආවේ! අද තමා මගේ පලවෙනි පැමිනීම.ඇත්තටම බ්ලොග් අතර වල් පල් කියවන වෙලාවේ මෙවන් මගේ විෂයට අදාල බ්ලොග් එකක් කියවීමෙන් මගේ දැනුම උනත් වැඩි කරගන්න පුලුවන් වෙන එක ලොකු දෙයක්..මං වෛද්්‍ය සිසුවෙක් විදිහට ඇතැම් ලිපි ලිව්වම කියවන අය විවිධ ගැටලු ඉදිරිපත් කරනවා මගේ දැනුම් මට්ටමට ගොඩක් එහා ගිය..එවන් අවස්ථාවල මං මගේ ජේෂ්ඨයන්ගේ උද්ව් ලබා ගෙන තමයි පිලිතුරු දෙන්නෙ..දැන් මට අක්කගේ උනත් උදව් ලබා ගන්න පුලුවන් කියල හිතෙනවා..අඳුරගන්න ලැබීම සතුටක්!මගේ ලිපිවල අඩු පාඩු තියනවනම් පෙන්නල දෙන්න තරම් කාරුනික වෙයි කියල හිතෙනවා (අක්ක කිව්වට කමක් නැහැ නේද?නැත්නම් මැඩම් කියන්නද? :) )

    ReplyDelete
  6. ඇත්තෙන්ම , බොහෝ විට දිවා රෑ පුරාම වෙහෙසෙමින් දුක් වේදනා දරමින් කරන මේ සේවාවේ අප ලබන සුන්දරම ආදායම වන සුව වී යන “මිනිසෙක්“ වෙතින් කියැවෙන ““ගිහින් එන්නම්“ හෝ “බොහොම පිං“ හෝ “ගොඩක් ස්තුතියි“ වැනි වදනක ඇති වටිනාකම මිල කරන්න බැරි තරම් ,මාසය අවසානයේ ලබන වැටුපින් ලබන සතුටට වඩා අධ්‍යාත්මික සතුටක් මේ වචනයකින් ලබන්න පුළුවන් බව හැම කෙනෙක්ම දන්නවා නම් කොයි තරම් නම් සුන්දරද ?

    ReplyDelete
  7. @ arunishapiro - ඔව් මෙහෙ මිනිස්සු සෑහෙන්න බැට කාලා තියෙනවා කුසගින්නෙන් සහ මර බියෙන්, මේ ප්‍රතිකාර ක්‍රමය වගේම ගුණාත්මක භාවය ගැනත් නොයෙක් ප්‍රශ්ණ තියෙනවා, මහ රෝහල් වල තත්වය එය නම් කුඩා රෝහල් ගැන කුමන කතාද. මම කැමතියි කවදාහරි අපේ රටේ රෝහල් මිනිස්සුන්ට හිතකර පරිසර වෙනවානම් ඒ කිව්වේ ගුණාත්මක බව වැඩි වෙනවානම්. ඔහේ පෙති ගිල්ලවලා ගෙවල් වල යවනවට වඩා යමක් රෝහලක් තුලින් කරන්න පුළුවන් බවයි මගේ හැඟිම.

    @සබිත් - අක්කා කියන්න මල්ලී. මම විෂය ගැන ලියනවානම් අඩුයි, හුඟක්ම කරන්නේ අත්දැකීම් ලියන එක. මෙහෙම ලියන්න කිව්වෙත් එකළ මම වැඩ කරපු වාට්ටුවක කන්සල්ටන්ට් කෙනෙක්. මේ අත්දැකීම් බෙදා හදා ගන්න කරපු සුළු උත්සහයක් මල්ලී. ඒත් ඔයාට ගැටළු සහගත තැන් සහ ඔයාට අවශ්‍ය විස්තර සපයන්නම්. වෛද්‍ය සිසුවෙක් ලෙස ඔයා ලියන සවිස්තරාත්මක ලිපි අගය කළ යුතුයි.

    @ මහේෂ් - ඒකනම් සහතික ඇත්ත. ස්තූතියි කියලා වචනයෙන් නොකිව්වත් හීත නොරිදෙන යමක් නොකියා ගියානම් හොඳයි නේද. සමහරු පිටව යන්නේ හරියට අපේ ඕනෑකමට රෝහල් ගත කරා වැනි සිතුවිල්ලකින්.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !